දුටුගැමුණු රජු කල පිරිණිවන් පෑ මලියදේව හිමියන් ලංකාවේ අන්තිම රහත් තෙරනම නොවේ. සැබැවින්ම, අද වුව රහතුන් බිහි විය හැකිය. ඒ සදහා අවශ්‍ය වන්නේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ ශ්‍රී සද්ධර්මය සීල සමාධි ප්‍රඥා වශයෙන් දියුණු කොට සාක්ෂාත් කිරීමයි.

ඔබත් බුදුරදුන් පෙන්වා වදාළ උත්තම දහම් මාර්ගයේ ගමන් කරන්න


Powered by දහම් විල


ලිපි සඳහා පහත මාසය අනුව ලිපි පටුන බලන්න

වතාවත් කිරීමයි සිල් පිරීමයි

හාපිටිගම කල්එළිය 
ජයසුමනාරාම මූල මහා විහාරයේ 

මක්කානිගොඩ අස්සජි හිමි

සම්බුදුදහම සිව්වනක් පිරිස සීල සමාධි ප්‍රඥා යන ත්‍රිවිධ ශික්ෂා මාර්ගයෙහි ක්‍රමිකව හික්මවමින්, යොදවමින්නිර්වාණගාමිණිප්‍රතිපදාව වෙත සමීප කරවන දහමකි. ඒ සඳහා අනුපූර්ව වැඩපිළිවෙළක් දේශිතය. චරිතය සකස් කිරීමත්, මනස හික්මවීමත්, නුවණැසින් ලෝකය හා ජීවිතය විනිවිද දැකීමත් එමඟින් නිර්දේශිතය. නිර්වාණගාමී ප්‍රතිපදාවේ මූලය ශීලයයි. කාය වාග් සංවරය ඇති කොට පුද්ගලයාගේ බුද්ධිය අවදි කිරීම අත්‍යවශ්‍ය වූවකි. සීලයෙන් පිරිසුදුවම එය කළ යුතු ය.
යෝචාවචර ජීවිතයක් ගත කරන්නකු තම සීලාදී ගුණ ධර්ම පූරණයෙහි දී වතාවත් කිරීම අවශ්‍යම කරුණකි. චුල්ලවග්ග පාලියෙහි සඳහන් කරන පරිදි වත් නොපුරන්නේ නම් සිල් නොපුරයි. අපිරිසුදු සිල් ඇති අනුවණයා, චිත්ත සමාධිය නොලබන බව එහි සඳහන් වෙයි. සිල් වර්ග කරන අවස්ථාවේ දී අභිසමාචාරික හා ආදි බ්‍රහ්මචරියක යනුවෙන් කොටස් දෙකකට බෙදා දක්වා ඇත. බ්‍රහ්මචර්යාවට මුල්වන ශික්ෂාවන් ආදි බ්‍රහ්මචරියක ශික්ෂාවන් වන අතර උසස් හැසිරීමට ඉවහල්වන පිළිපැදීම් ආභිසමාචාරික නම් වෙයි. ධර්මානුධර්ම ප්‍රතිපත්තියට ජීවත්වන අනුගාමිකයින් ඊට අදාළ වූ උසස් චර්යාවන් ප්‍රගුණ කළ යුතුය. නැතිනම් වතාවත්වල යෙදිය යුතු ය.
භික්ෂු ජීවිතයෙහි හැඩගැස්ම ඇතිවන්නේ සාමණේර අවධියේ පටන් ය. දහර සාමණේර සාමණේරීන් විසින් අනුගමනය කළයුතු වත් පිළිවෙත් ආරාමික ජීවිතයේ ප්‍රකට ලක්ෂණයක් විය. වැඩිහිටියන් නවක පැවිද්දන්ට ආදර්ශයක් වන ලෙස ඉහත සඳහන් කළ ආභිසමාචාරික වත් පිළිවෙත් හි යෙදීම සිදුවිය. ඒ අනුව පැවිද්දන් විසින් අනුගමනය කළයුතු වත් දහහතරක් සඳහන්ව ඇත.
එම වත් නම් 1. උපාධ්‍යාය වත 2. සද්ධි විහාරික වත 3. ආචාරිය වත 4. අන්තේවාසික වත 5. ආගන්තුක වත 6. ආවාසික වත 7. ගමික වත 8. අනුමෝදනා වත 9. භක්තාග්‍ර වත 10. පිණ්ඩපාත වත 11. ආරණ්‍ය වත 12. සේනාසන වත 13. ජන්තාපර වත 14. වැසිකිලි වත යන වත් ය. උපාධ්‍යායන් වහන්සේ යනු පැවිදි ජීවිතයට ඇවැසි ධර්මඤාණය ලබාදෙමින් ශ්‍රමණ සාරුප්‍ය ලෙස අරඹා දිවිපෙවත පිළිබඳව ගුරුහරුකම් ලබා දෙන වැඩිමහලු භික්ෂුවක් ය. සමීපයෙහි වෙසෙමින් අවශ්‍ය උපදේශයන් ලබා ගනිමින් උපාධ්‍යයන් වහන්සේ සමීපයෙහි වාසය කළ යුතු වෙයි. විශේෂයෙන් නිස සමාදන් විය යුත්තේ ද උපාධ්‍යයන් වහන්සේ වෙතිනි. උපසම්පදාවට පත්වන නවක භික්ෂූන් වසර පහක් ගතවෙනතුරු උපාධ්‍යයන් වහන්සේ ආශ්‍රයෙහි නිස සමාදන්ව වාසය කළ යුතු ය. වසර පහක අවමයකට යටත් වාසය කිරීමට බැඳී සිටී. එම නියමිත වසර පහ තුළ අපේක්ෂිත ධර්ම විනය ඤාණය ප්‍රමාණවත් නොවන්නේ නම් තවත් වසර පහක් හෝ ඊට වඩා කාලයක් හෝ නිස සමාදන්ව සිටිය යුතු ය. උපාධ්‍යයන් වහන්සේ සෑහීමට පත්වන ආකාරයෙන් ක්‍රියා කළ යුතු ය. ප්‍රවෘජ්‍යාවෙහිදීත් උපසම්පදාවෙහිදීන් උපාධ්‍යායග්‍රහණය කළයුතු බව නියමයකි.
උපාධ්‍යයන් වහන්සේ පිළිබඳව චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානප්‍රත්‍ය යන සිව්පස පිළිබඳ සොයා බැලීම, සම්පාදනය කරදීම, පිළිගැන්වීම, අස්පරස්කර තැබීම, පිරිසුදු කිරීම වැනි කාරණා වතාවත් ලෙස දක්වා ඇත. ආචාර සමාචාර දැක්වීම්, විනය ධර්ම විචාරා දැන ගැනීම, උන්වහන්සේ නොවිමසා කටයුතු නොකිරීම, වැනි වතාවන් හැටකට ආසන්න ප්‍රමාණයක් දැක්වෙයි. මේ මඟින් උපාධ්‍යායන්වහන්සේ හා සද්ධිවිහාරිකයන් වහන්සේ අතර මනා බැඳීමක් ගොඩනැගෙන අතර ධර්ම විනය ප්‍රගුණ වීමත්, ශික්ෂාකාමී බව වර්ධනය වීමත්, සුවච කීකරු ගුණ වර්ධනයත් ඉක්මන් ධර්ම මෝක්ෂ ප්‍රතිලාභයක් සැලසෙන බව ඉතා පැහැදිලිය. උපාධ්‍යායන් වහන්සේගේ ගුණය ශීලය රැකදීමත් සද්ධිවිහාරිකයාගේ කාර්යක් බව “උපාධ්‍යායන්වහන්සේ ඇවතකට ආසන්නව කථා කෙරේ නම් අවසරගෙන වැළැක්විය යුතුය.’ ඉඳින් උපාධ්‍යායන් වහන්සේට ශාසනයේ අනභිරතියක් උපන්නේ නම් එය සන්සිඳුවිය යුතු ය. සුදුස්සකු ලවා හෝ සන්සිඳු විය යුතු ය. ධර්ම කතාවක් හෝ කළ යුතුය. එමෙන්ම උපාධ්‍යායන් වහන්සේට කුකුසක් හෝ උපන්නේ ද දෘෂ්ටිගතියක් හෝ උපන්නේ ද සද්ධිවිහාරික නම විසින් විසඳාලිය යුතුය. සුදුස්සකු ලවා හෝ විසඳවාලිය යුතු ය. ධර්ම කතාවක් හෝ කළ යුතු ය. යන වතාවත් වලින් පැහැදිලිය. උපාධ්‍යායන් වහන්සේගේ ආජීව පාරිශුද්ධිය පිළිබඳවද තමන්ටත් වගකීමක් ඇති බව මේ කරුණුවලින් තහවුරු කර ඇත.
“සද්ධිවිහාරික වත්” යටතේ උපාධ්‍යායන් වහන්සේ තම සද්ධි විහාරිකයා වෙනුවෙන් කළයුතු වතාවන් සඳහන් වෙයි. අසනීප කරදරයකට පත් වූ සද්ධිවිහාරිකයාට පැන් තැබීම, දානය පිණ්ඩපාතය බෙදීම, ශුද්ධපවිත්‍ර කිරීම උපස්ථාන කිරීම කළ යුතු ය. එමෙන්ම ගුණයෙන් සීලයෙන් පිරිහෙන්නේ නම් ඒවායින් මුදාගෙන ආරක්ෂා කිරීම උපාධ්‍යවරයාගේ වගකීමක් ද වෙයි.
අනතුරුව සඳහන්වන “ආචාර්ය වත” හා “අන්තේවාසික වත” ඉහතින් සඳහන් කළ “උපාධ්‍යාය හා සද්ධිවිහාරික වත”ට සමාන වෙයි. එම නියමයන් පිළිපැදීමෙන් එම වතාවත් සිදු කළා වන්නේ ය. ආචාර්යවරයා යනු පැවිදි උපසම්පදාවේ දී ගුරු තනතුරේ පිහිටන කෙනාය. ශිෂ්‍යයා පිළිබඳ සම්පූර්ණ වගකීම දරනුයේ උන්වහන්සේය අන්තේවාසිකයා යනු අතවැසි පුද්ගලයා ය. එනම් තම විහාරස්ථානයෙහි වාසය කරන ගෝලයින් ය. ඔවුනොවුන් පිය පුතු සඤ්ඤාවෙන් ක්‍රියා කළ යුතු යනු විනය නියමයයි. දෙමාපියන්ගෙන් ඈත් වූ දරුවාට දෙමාපියන් වන්නේ ආචාර්ය උපාධ්‍යායවරුන්මය.
භික්ෂු ජීවිතය “පරපටිබද්ධ” වූවකි. එනිසා බොහෝවිට චාරිකාවේ සැරිසරමින් මහජනයාට හිතසුව පිණිස ක්‍රියා කළහ. ඒ යන ගමනේ දී අතර මඟ හමුවන ආරණ්‍යයක, සේනාසනයක නැවතීයෑම පිළිවෙතයි. එබඳු අවස්ථාවේ දී ආගන්තුකව පැමිණෙන භික්ෂූන් පිළිගෙන අවශ්‍ය පහසුකම් සලසාලීම නේවාසික භික්ෂූන්ගේ වගකීමයි. ඒ වෙනුවෙන් නියමිත වතාවත් සමූහයකි. එමෙන්ම ආගන්තුකව පැමිණෙන්නෙන් ද පිළිපැදිය යුතු වතාවත් ඇත. ආගන්තුක වත තුළින් පෙන්වා දී ඇත්තේ එසේ ආගන්තුකව පැමිණෙන්නන් සතු කාර්ය භාරයයි. තමන් පැමිණි තැන ඇති වැඩපිළිවෙළ හඳුනාගෙන එම ආරාමික පරිසරයට හානියක් නොවන ලෙස හැසිරිය යුතු ය. ක්‍රියා කළ යුතු ය. එම ස්ථානයෙහි ඇති උපකරණ ද්‍රව්‍ය ආරක්ෂා කළ යුතු ය. පිරිසුදුව පරිහරණය කළ යුතු අතර තමා පිටවී යන විට අනතුරුව එන අයට ප්‍රයෝජනයට ගත හැකි ආකාරයෙන් අව්වේ වේලා පිළිවෙලකට අසුරා තබා යා යුතු ය. වැසිකිලි කැසිකිළි පිරිසුදු කර තැබීමද වතාවතකි.
“ආවාසය” යනු නේවාසිකාගාරයයි. නැතහොත් “පන්සලයි” ආවාසයක වැඩවාසය කරන භික්ෂූන් වහන්සේලා විසින් පිළිපැදිය යුතු වත ආවාසික වතයි. විහාරස්ථානයක තිබිය යුතු අංගෝපාංග ක්‍රමිකව තබා ගෙන එන යන භික්ෂූන් වහන්සේලාගේ සුවපහසුව ආරක්ෂාව සුරැකෙන ලෙසින් ක්‍රියා කිරීම නේවාසික භික්ෂූන්ගේ වගකීම වෙයි. විහාරස්ථානයට වඩින වැඩිහිටි හිමිවරුන් පිළිගැනීම, පාසිවුරු ගෙන නිසිතැන්හි තැන්පත් කිරීම පැන් පහසු කිරීම, ගිලන්පස පිළිගැන්වීම පවන් සැලීම වැනි වතාවත් කළ යුතු ය. පිටතින් ආගන්තුකව පැමිණෙන අයගේ පහසුව තකා විහාරස්ථානයේ වැඩපිළිවෙළ කියාදිය යුතු ය. විහාරස්ථානයෙහි ආගමික වතාවත් සිදුකරන පිළිවෙළ, දන් පැන් වළඳන වේලාවන් දැන්වීමාදිය ද ඊට අයත් වේ.
“ගමිකවත” නමින් හැඳින්වෙන්නේ ගමනාරම්භක භික්ෂූන් විසින් පිළිපැදිය යුතුවතයි. තමන් සිටි ස්ථානයේ උපකරණ ආදියෙහි ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත්ව ක්‍රියා කළ යුතුය. ඒවා රැක තබා යාමත් අන්‍ය පිරිසකට පරිභෝගයට අවස්ථාව සැලසීමත් ඉන් අදහස් කෙරේ.
“අනුමෝදනා වත” යනුවෙන් සඳහන් වන වත දානය වළඳා අවසන දායකයන්ගේ සිතේ සතුට වඩන ආකාරයෙන් කළයුතු අනුශාසනයයි. එය බුද්ධ නියමයකි.පිරිසේ සිටින ප්‍රධාන භික්ෂූන්වහන්සේ නමක් විසින් එය ඉටුකළ යුතු ය. “අනුමෝදනා වත සපුරන තෙර නමට ථෙරානුථෙර සතර පස්නමක් රැඳී සිටිය යුතු බවට නියමයක් පනවා ඇත. කළ පින්කම පිළිබඳව අනුව සිතා සතුටට පත්වීමට එමඟින් දායකයාට අවස්ථාව ලැබේ. බුද්ධ කාලයේ දී එලෙස අනුමෝදනා අවස්ථාවේ දී මඟඵල ලැබූ දායකයන් පිළිබඳ කතා පුවත් ඇත.
නව වෙනිව සඳහන් වන්නේ “භත්තාග්‍ර වතයි” එනම් දානය වළඳන ශාලාවේ වතයි. තමන් වාසය කරන විහාරස්ථානයෙහි නිර්මිත දැනුම් දීම අනුව විනයෙහි දක්නා පරිදි පා සිව්රු දරා පිණ්ඩපාතය සඳහා වැඩිය යුතු ය. මහජනයාගේ ප්‍රසාදය වැඩෙන ලෙස හැසිරෙමින් පිණ්ඩපාතය ලබාගෙන දානශාලාව වෙත පැමිණ වටපිට නොබලා දානය වැළඳිය යුතු ය. දාන ශාලාව අපිරිසුදු නොවන ලෙස ඉඳුල් වතුර බැහැර කිරීම ද වතකි. සියලුම භික්ෂූන් වහන්සේලා දානය වළඳා අවසන්වන තුරු අත නොසේදීම ද වතකි. දානය දෙන දායකයන්ගේ ප්‍රසාදයත් භික්ෂූන්ගේ විනයානුකූල පැවැත්මත් රැකෙන වැඩපිළිවෙළක් එයට අන්තර් ගත ය.
“පිණ්ඩචාරිකා වත” දසවැනිව සඳහන් වේ. භික්ෂුව පිඬු පිණිස හැසිරීමේ දී ශාසනානුලෝමික විය යුතු ය. ඒ සඳහා ගම් පිවිසෙන භික්ෂුව සිවුර හැඳීමේදී තෙමඩුළු වසා පිරිමඩුළුකොට අඳනය හැඳ බඳපටිය බැඳ තනිපොට සිව්රත් දෙපට සිවුරත් එක්කොට පොරවා ගණ්ඨිපාස ගැට ගසා සෝදාගත් පාත්‍රය ගෙන සන්සුන්ව සංවරව ගමට පිවිසිය යුතු ය. පිණ්ඩපාතය බෙදනු කැමතිද? යන්න දායකයන්ගේ ඉරියව්වලින් හැඳිනගෙනම ඒ තැනට යායුතු අතර වම් අතින් සඟල සිවුරු කොන ඔසවා පාත්‍රය විවෘත කර දායකයාට බෙදීමට හැකිවන ලෙස සිටිමින් පිළිගත යුතු ය. පිණ්ඩපාතය ලබාගත් පසු දානශාලාවට පැමිණ ආසන පැනවීම, පැන්තැබීම ආදිය කළ යුතු ය. අන් අයගේ පහසුව සැලසීම කෙරෙහි තමන් අවධානය යොමු කළයුතු බව මේ වත්වලින් අවධාරණය කොට ඇත.
එකොළොස් වැනිව දක්වා ඇත්තේ “ආරණ්‍ය වත”යි බුද්ධකාලීන බොහෝ භික්ෂූහු ආරණ්‍යයකම විසූහ. ආරණ්‍යයක වසන විට තමතමන් විසින් පිරියයුතු වත් පිළිවෙත් ගැන මනාව දැන සිටිය යුතු ය. බුදුරජාණන් වහන්සේ වැඩසිටි අවධියෙහි එක්තරා ආරණ්‍යයක වැඩ සිටි භික්ෂූන් එහි ජලය ආදිය සම්පාදනය නොකොට දිශානුදිශා ආදිය නොදැන වාසය කළහ. දිනක එක්තරා හොරු පිරිසක් එහි පැමිණ පැන් ඉල්ලූහ. ගිනිගානාදඬු හා ගින්දර ගැනත්, නැකැත් ගැනත්, දිශා අනුදිශා ගැනත් ඇසූහ. ඒ අවශ්‍යතා ඉටුකරලීමට එම භික්ෂූන් අපොහොසත් වූයෙන් හොරුන් වෙතින් පහර කෑහ. එය අරමුණු කරගෙන ආරණ්‍යවාසීන් පිළිපැදිය යුතු වත් පැනවීමට තීරණය කර ඇත. වේලාසනින් අවදිවී බණ භාවනා කටයුතුවල යෙදීම, බඩු බාහිරාදිය සුරක්ෂිතව තබා පිඬු පිණිස හැසිරීම, සංවර ලෙස ගමන් කිරීම, සඟල සිවුරු දැරීම, ජලය හා ගිනිගානා දඬු සපයා තැබීමාදිය එයට ඇතුළත්ව ඇත.
අනතුරුව දක්වා ඇත්තේ “සේනාසනවත්” ය. සේනාසනය ශුද්ධ පවිත්‍ර කිරීම, පාත්‍රාසිව්රු තැන්පත් කරන අයුරු, ගී‍්‍රෂ්ම හා වර්ෂා කාලවල දොර ජනෙල් භාවිතා කිරීම වැසිකිළි කැසිකිළි පවිත්‍ර කිරීම, වැඩිහිටි අය නොවිමසා කටයුතු නොකිරීම වැනි කරුණු ඊට ඇතුළත්ය.
දහතුන්වන වත “ජන්නාඝ වතයි” එනම් නාන පැන් පහසුවන ස්ථානය සම්බන්ධ වත්ය. පැන් සැකසීමේ දී අධික ලෙස, දර යොදා ගිනි නොදැල් විය යුතු මෙන්ම වැඩහිටි අණට කීකරු විය යුතු බවත් එහි සඳහන් ය. එහි පවිත්‍රතාවය රැක ගැනීමට ක්‍රියා කළ යුතු ය. වැඩිහිටි ස්වාමීන්වහන්සේලාට පැන් පහසුව සඳහා උදව්දීමත් හා අවසන් වූ අයට බාධා නොවන ලෙස නෑමත් වැදගත්ය. අවසානයට පැන්තොටට ගිය කෙනා මැටි ආදී සියල්ල සෝදා පවිත්‍ර කොට ගිනි නිවා දොර වසා පුටු ආදිය අසුරා තැබිය යුතු බවද සඳහන් වෙයි.
අවසාන වශයෙන් සඳහන් වන්නේ “වැසිකිළි වතය” විහාරාරාමයක ඉතා පවිත්‍රව තිබිය යුතු අංගයකි, වැසිකිළිය. ශරීර කෘත්‍ය කිරීමේ දී වැඩිහිටි පිළිවෙල (වෘද්ධපටිපාටිය) අනුදැන නැත. එම ස්ථානයට ආ අනුපිළිවෙල අනුව එම කාර්ය කළ හැකිය. පැමිණි පිළිවෙලින් සිට උගුර පෑදීමන් ඇතුළත කෙනෙකු සිටින්නේ නම් ඔහුත් උගුර පෑදීමත් කළයුතු ය. සෝදන බඳුනෙහි ජලය ඉතිරි නොකළ යුතු ය. පුසන් කුරු (කසළ මඟ රැඳෙන කොටස් ඉවත් කරන ඉරටු) භාජනය පිරී ඇත්නම් ඒවා ඉවත් කළ යුතු ය. නිතර වැසිකිලිය පවිත්‍රව තබා ගත යුතු ය. බුද්ධකාලයෙහි වැසිකිළි බඳුනක ජලය ඉතිරිකොට යාම නිසා විනයධර හා ධර්මධර භික්ෂූන් දෙපිරිස අතර වාදවිවාද ඇතිවිය. ඔවුන්ට සමඟි වන ලෙස බුදුරජාණන් වහන්සේ අවවාද කළත් සමඟි වී නැත. එනිසා අවවාදයක්ම නොවූ භික්ෂූන් අතහැර බුදුරජාණන් වහන්සේ පාරිලෙයියක වනයට වැඩම කළ බව ඉතා ප්‍රකටය.
ඉහතින් සඳහන් කළ වත් පිරීමෙන්ම සිල් පිරෙන බවත් එය චිත්තසමාධියට හේතුවක් වන බවත් විදර්ශනා නුවණින් ධර්මය දකින එබඳු තැනැත්තා නිවන ලබන බවත් චුල්ලවග්ගපාලියෙහි දී දක්වා ඇත. වත් නොපුරන තැනැත්තා සිල් පිරීම නොකරන බවත් අපිරිසුදු සිල් ඇති නුවනැති තැනැත්තාට සිත එකඟ කර ගත නොහැකිය. එකඟ නොවූ විසිරුණු සිත් ඇත්තේ මොනවට දහම් නොදකී. සදහම් නොදකින තැනැත්තා දුකෙන් නො මිදෙයි. වත් පුරන තැනැත්තා සිතේ එකඟ බව ලබනු ඒකාන්තය. ඔහු ඤාණවන්තයෙකි. නුවණින් ජීවිතය හා ලෝකය විනිවිද දැකීමෙහි සමත්ය. සදහම් දකින්නා සියලු දුකෙන්ම අත්මිදීම ලබන්නේ ය.
අනතුරුව දක්වා ඇත්තේ “සේනාසනවත්” ය. සේනාසනය ශුද්ධ පවිත්‍ර කිරීම, පාත්‍රාසිවුරු තැන්පත් කරන අයුරු, ගී‍්‍රෂ්ම හා වර්ෂා කාලවල දොර ජනෙල් භාවිතා කිරීම වැසිකිළි කැසිකිළි පවිත්‍ර කිරීම, වැඩිහිටි අය නොවිමසා කටයුතු නොකිරීම වැනි කරුණු ඊට ඇතුළත්ය.
දහතුන්වන වත “ජන්නාඝ වතයි” එනම් නාන පැන් පහසුවන ස්ථානය සම්බන්ධ වත්ය. පැන් සැකසීමේ දී අධික ලෙස, දර යොදා ගිනි නොදැල් විය යුතු මෙන්ම වැඩහිටි අණට කීකරු විය යුතු බවත් එහි සඳහන් ය. එහි පවිත්‍රතාවය රැක ගැනීමට ක්‍රියා කළ යුතු ය. වැඩිහිටි ස්වාමීන්වහන්සේලාට පැන් පහසුව සඳහා උදව්දීමත් හා අවසන් වූ අයට බාධා නොවන ලෙස නෑමත් වැදගත්ය. අවසානයට පැන්තොටට ගිය කෙනා මැටි ආදී සියල්ල සෝදා පවිත්‍ර කොට ගිනි නිවා දොර වසා පුටු ආදිය අසුරා තැබිය යුතු බවද සඳහන් වෙයි.
අවසාන වශයෙන් සඳහන් වන්නේ “වැසිකිළි වතය” විහාරාරාමයක ඉතා පවිත්‍රව තිබිය යුතු අංගයකි, වැසිකිළිය. ශරීර කෘත්‍ය කිරීමේ දී වැඩිහිටි පිළිවෙල (වෘද්ධපටිපාටිය) අනුදැන නැත. එම ස්ථානයට ආ අනුපිළිවෙල අනුව එම කාර්ය කළ හැකිය. පැමිණි පිළිවෙලින් සිට උගුර පෑදීමන් ඇතුළත කෙනෙකු සිටින්නේ නම් ඔහුත් උගුර පෑදීමත් කළයුතු ය. සෝදන බඳුනෙහි ජලය ඉතිරි නොකළ යුතු ය. පුසන් කුරු (කසළ මඟ රැඳෙන කොටස් ඉවත් කරන ඉරටු) භාජනය පිරී ඇත්නම් ඒවා ඉවත් කළ යුතු ය. නිතර වැසිකිලිය පවිත්‍රව තබා ගත යුතු ය. බුද්ධකාලයෙහි වැසිකිළි බඳුනක ජලය ඉතිරිකොට යාම නිසා විනයධර හා ධර්මධර භික්ෂූන් දෙපිරිස අතර වාදවිවාද ඇතිවිය. ඔවුන්ට සමඟි වන ලෙස බුදුරජාණන් වහන්සේ අවවාද කළත් සමඟි වී නැත. එනිසා අවවාදයක්ම නොවූ භික්ෂූන් අතහැර බුදුරජාණන් වහන්සේ පාරිලෙයියක වනයට වැඩම කළ බව ඉතා ප්‍රකටය.
ඉහතින් සඳහන් කළ වත් පිරීමෙන්ම සිල් පිරෙන බවත් එය චිත්තසමාධියට හේතුවක් වන බවත් විදර්ශනා නුවණින් ධර්මය දකින එබඳු තැනැත්තා නිවන ලබන බවත් චුල්ලවග්ගපාලියෙහි දී දක්වා ඇත. වත් නොපුරන තැනැත්තා සිල් පිරීම නොකරන බවත් අපිරිසුදු සිල් ඇති නුවනැති තැනැත්තාට සිත එකඟ කර ගත නොහැකිය.
එකඟ නොවූ විසිරුණු සිත් ඇත්තේ මොනවට දහම් නොදකී. සදහම් නොදකින තැනැත්තා දුකෙන් නො මිදෙයි. වත් පුරන තැනැත්තා සිතේ එකඟ බව ලබනු ඒකාන්තය. ඔහු ඤාණවන්තයෙකි. නුවණින් ජීවිතය හා ලෝකය විනිවිද දැකීමෙහි සමත්ය. සදහම් දකින්නා සියලු දුකෙන්ම අත්මිදීම ලබන්නේ ය.

සිතෙන් එහා...

ඇස, කන, නාසය, දිව, කය යන සියල්ලෙහි ම අනිත්‍ය බව, දුක් ගෙන දෙන බව, අනාත්ම බව සිතින් විමසා බැලූ මට ඉතිරි ව ඇත්තේ සිත අනිත්‍ය, අනාත්ම, දුක් සහිත බව විමසා බැලීමට යි.
ඇසින් දකින රූපයේ හැඩරුව, පාට, විශාලත්වය, හොඳ, නරක මේ සියලු විස්තර තැන්පත් වන්නේ සිතෙහි ය. අසන්නට ලැබුණු ශබ්දයේ මිහිරි අමිහිරි බව, ගොරහැඬි බව, සියුම් බව, මේ සියල්ල රැඳෙන්නේ සිතේ ම යි. නාසයට දැනෙන ගඳ-සුවඳ ගැනත්, දිවට දැනෙන රස ගැනත්, කයට දැනෙන පහස ගැනත් හඳුනාගන්නා ආකාරය සිතෙහි රැඳෙයි.
ඇසින් දුටු රූපය නිසා රූපය දුටු අවස්ථාවේ ඇසත්, රූපයත් එකතුවෙන් චක්ඛු විඤ්ඤාණ සිත ඇති වෙනවා. ඒ සමඟ ම ඇස, රූපය, චක්ඛු විඤ්ඤාණය, එකතුවෙන් චක්ඛු සම්ඵස්සය ඇති වෙනවා. එයින් රූපය හඳුනාගන්නා සඤ්ඤාවට අනුව සැප හෝ දුක් හෝ උපේක්ෂා වේදනාව පහළ වෙනවා. වේදනාව ඇති වන දැනෙන ආකාරයට ආශාව නැත් නම් තරහව නිසා සිතිවිලි සකස් වීම සිදු වෙනවා. ඒ සිතිවිලිවලට ආශා කිරීම කියන්නේ තණ්හාවෙන් නැවත නැවත උපාදාන කිරීම යි (සිතින් තදින් බඳීම). ඒ අනුව එම රූපයට ආශා කරනවා.

රූපය නිසා ඇති වූ වේදනාවට, ඇසට ආදි මේ සියල්ල කෙරෙහි ම සිතින් බැඳෙනවා. රූපය නිසා ඇති වූ වේදනා, සඤ්ඤා, සංඛාර (සිතිවිලි) විඤ්ඤාණ යන පංච ස්කන්ධ ධර්මයන්ට සිතින් නැවත නැවත බැඳෙමින් පංච උපාදාන ස්කන්ධ ධර්මයන් ලෙස සකස් වෙනවා. මේ උපාදානය (සිතින් ග්‍රහණය කරගැනීම) සිතේ රැඳෙන මතකය බවට පත් වෙනවා. ඇසින් දුටු රූපය ගැන නැවත නැවත සිතමින් සිතිවිලි ආශාවෙන් හෝ තරහ සිතින් ඇති වුණේ නැත් නම් ඒ රූපය පිළිබඳ ව මතකය සිතේ රැඳෙන්නේ නැහැ. රූපය පිළිබඳ ව සිතේ රැඳුණ මතකය නිසා නැවත වරින් වර ඒ ගැන සිහි කරමින් සිතිවිලි ඇති කරගන්න අවුරුදු ගණනක් ගත වුණත් පුළුවන් වෙනවා.

එවිට ඒ මොහොතේ පවා මුලින් රූපය දුටු දිනයේ ඇති වූ ලෙසින් ම වේදනා, සඤ්ඤා ආදි නාම ධර්ම පහළ වෙනවා; සිතිවිලි සකස් වෙනවා. එවිට සිතත් සිතේ ඇති වුණ අරමුණත් නිසා මනෝ විඤ්ඤාණ සිත පහළ වෙනවා. ඒ නිසා ඵස්සය ඇති වෙනවා. ස්පර්ශයට අනුව වේදනා, සඤ්ඤා පහළ වෙනවා; සිතිවිලි නැවත නැවත සකස් වෙනවා. ඒ ඇති වන පංචස්කන්ධ ධර්ම නිසා උපාදානය ඇති වෙනවා. උපාදානයට අනුව සසර නැවත උපතකට අවශ්‍ය කර්මභව සකස් වෙනවා. ජාතිය හෙවත් ඉපදීම නිසා ජරාව, ව්‍යාධිය, මරණය, සෝක පරිදේව ආදියෙන් දුකින් දුකට පත් වෙනවා.
නාසයට දැනුණ ගඳ සුවඳ පිළිබඳවත් මෙලෙසින් ම අතීත මතකය තුළින් ඕනෑ ම මොහොතක සිතිවිලි ඇති කරගන්නට පුළුවනි. ඒ ඇති වන සිතිවිලි මුලින් නාසයට එම සුවඳ දැනෙන විට ඇති වූ සිතිවිලි විලසින් ම සිතට දුක හෝ සතුට ලබා දෙනවා.
දිවට දැනුණ රසයක් නිසා මේ විදියට ම ඒ රසය ගැන සිතමින් පසු දිනක, නැත් නම් වෙනත් ඕනෑ ම වෙලාවක සිතිවිලි (නාම ධර්ම) ඇති කරගන්නට පුළුවනි. තිත්ත රස කසායක් වගේ බෙහෙතක් බීපු ආකාරය මතකයට නැඟෙන විට ඒ මොහොතේ පවා සිතට දැනෙන්නේ අමිහිරි බවක්. ඒ වගේ ම රසවත් ආහාරයක් ගැන සිහි වන විට කටට කෙළ උනනවා. රසය පිළිබඳ ආශාව නිසා ඛේට ග්‍රන්ථි පවා ඒ මොහොතේත් ක්‍රියාත්මක වෙනවා.
එලෙසින් ම කයට දැනුණු විවිධ ස්පර්ශයන් පිළිබඳ ව සිහිපත් කරමින් සතුටින් නැවත එය මෙනෙහි කරන විට සිතිවිලි ඇති වෙනවා. දුක් වේදනාවක් දැනුණත් එය ගැන පසු ව සිතන විට සිතිවිලි ඇති වෙනවා. මැදහත් වේදනාවක් ගැනත් ඒ වගෙ ම නැවත සිතද්දී සිතිවිලි ඇති වෙනවා. කුමන අරමුණක් ගැන හෝ ද්වේෂ සිතිවිලි ඇති වුණොත් නැවත එය සිතන විට ඇති වන්නේ ද්වේෂ සිතිවිලි ම යි.
මේ ආකාරයට අතීත රූප, ශබ්ද, ගන්ධ, රස, පහස නිසා විවිධ කුසල් අකුසල් සිතිවිලි ඕනෑ ම මොහොතක ඇති වන්නට පුළුවනි. අනාගතය ගැන සිතමින් ඒ විදියට ම සිතිවිලි ඇති කරගන්නත් පුළුවනි.
ගෙයක් සෑදීමට බලාපොරොත්තුවෙන් ඒ ගෙය මෙවැනි විදියට හදනවා යැ යි සිහින මවමින් සිතිවිලි ඇති වෙනවා. ඒ වගේ ම දානයක් දෙන්නට, වන්දනා ගමනක් යන්නට සැලසුම් කරමින් සිතිවිලි ඇති වෙනවා.
අධ්‍යාපනය ලබන කෙනකුට මම ඉගෙනගෙන වෛද්‍යවරයෙක්, ගුරුවරයෙක්, ඉංජිනේරුවෙක් වෙනවා යැ යි සිහින මවාගන්න පුළුවනි.
සිතින් කුමන ආකාරයේ සිතිවිලි ඇති වුණත් ඒවා කුසල් හෝ අකුසල් සිතිවිලි ම යි. මේ සිතිවිලි ආශාවෙන්, නැත් නම් තරහවෙන් එසේ නැත් නම් මෝහයෙන් (මුළාවෙන්) ග්‍රහණය කරනවා. ඒ සිතිවිලි අනිත්‍යයට යන දුක් ගෙන දෙන පාලනය කළ නොහැකි සිතිවිලි බව දන්නේ නැහැ. එනිසා මුළා වෙනවා. නමුත් සිතිවිලි අනිත්‍ය යි; අනාත්ම යි.
භාවනා කරන සමාධියක් උපදවාගැනීමට උත්සාහ කරන අවස්ථාවලදී මේ සිතිවිලි ඇති වී නැති වී යන අයුරු සිතින් ම දකින්නට පුළුවනි. සමහර වෙලාවට කොපමණ උත්සාහ කළත් භාවනා අරමුණේ සිත රඳවාගන්නට බැහැ: විවිධ සිතිවිලි ගලා එනවා. එවිට සිතිවිලි අනිත්‍යයට යන අනාත්ම දෙයක් බව වැටහෙනවා. ඒ වගේ ම ගැඹුරු සමාධිමත් අවස්ථාවක සිතිවිලි සිතට ගලා ගෙන ඒම නතර වෙලයි තියෙන්නේ. සමාධියෙන් මිදෙන විට නැවත සිතිවිලි ගලා එන්නට පටන් ගන්නා විට ම සිතට ලොකු බරකුත් දැනෙනවා. සැහැල්ලු බව සිතේ සංසිඳී ඇති බව නැති වන විට දුකක් දැනෙනවා. සිතිවිලි ඇති වෙමින් නැති වෙමින් යෑම සිතට අපහසුවක් බව එවිට වැටහෙනවා.
ඇති වෙන සෑම සිතිවිල්ලක් ම මොහොතින් නැති ව යනවා. නිරුද්ධ වී යනවා: රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන පංච ස්කන්ධ ධර්ම ඇති වී නැති වී යෑමක් පමණ යි. ඉතිරි වන කිසිවක් නැහැ. එහෙත් මේ ඇති වී නැති වී යන පංචස්කන්ධ ධර්මයන්ට මුළා වෙනවා. නිත්‍ය, සුභ, ආත්ම වශයෙන් මුළා වෙනවා. අනිත්‍ය, දුක් සහිත අනාත්ම දෙයක් බව නොදන්නා මෝඩකම නිසා ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් උපාදාන කරනවා. පංච උපාදාන ස්කන්ධ ධර්ම බවට පත් වෙනවා. එයින් සසර ගමන නොනැවතී සකස් වෙනවා. උපාදාන ප්‍රත්‍යයෙන් භවය සකස් වෙනවා. භව ප්‍රත්‍යයෙන් ජාතිය, නැවත ඉපදීම නිසා ජරාව, ව්‍යාධි, මරණ සෝක පරිදේව දුක් ලැබෙනවා.
සිතේ ඇති වන කුසල්, අකුසල් සිතිවිලි සසර දුක් ලබා දෙමින් කල්ප ගණන් මැරෙමින් ඉපදෙමින් දුක් විඳින්නට සලස්වනවා. සතර අපා දුකට වැටෙනවා. කලාතුරකින් දිව්‍ය ලෝකවල, බ්‍රහ්ම ලේකවල ඉපදෙනවා. මනුෂ්‍ය ලෝකයේ ඉපදෙනවා. මේ කොයි ලෝකයක ඉපදුණත් ඒ භවයේ සිටින තුරුත් විඳින්නේ දුකක් ම යි. පංචස්කන්ධ ධර්මයන්ගේ පැවතීම ම දුකක් බව බුදු පියාණන් පෙන්වා දී තිබෙනවා.
අද මිනිසකු හැටියට ඉපදී සිටියත් මැරෙන මොහොතේ ඇති වන අවසාන සිතිවිල්ල ද්වේෂ සහගත සිතක් වුණොත් යකකු වෙලා ඉපදෙන්න පුළුවනි; නැත් නම් අපායේ ගිනිදැල් මැද නිරි සතෙක් වෙන්න පුළුවනි. එදාට ඇති වන්නේ ඒ භවයට ගැළපෙන විදියේ සිතක්. අද තිබෙන සිත එදාට නැහැ. ඒ භවයට ගැළපෙන විදියේ සිතිවිලි උපදින සිතක් තමයි එදාට ඇති වන්නේ. සිත භවයෙන් භවයට වෙනස් වෙනවා. අද මිනිසෙක් ලෙස ලැබී තියෙන උසස් වූ මනස (සිත) අපායේ නිරි සතකුට නැහැ. උපදින භවයට අනුව ඇති වන සිතේ සිතිවිලිත් එයට සරිලන විදියට වෙනස් වෙනවා. තිරිසන් සතකුගේ සිතිවිලි ඊට වඩා වෙනස්. මනුෂ්‍යයකු හැටියට කන-බොන කෑමට නොවෙයි තිරිසන් සතකු පි‍්‍රය කරන්නේ. තිරිසන් සතෙක් ඕනෑම ජරාවක් කනවා. මැරිල කුණු වෙලා ගිය සතෙකුගේ මස් ටික කන්න බලු කපුටු රෑන් පොරකනවා. ඒ තිරිසන් සතුන් මිනිස් භවයක ඉපදුණොත් කුණු වෙලා ගිය මස් කන්න ප්‍රිය වෙන සිතක් එදාට ඇති වන්නේ නැහැ. මේ සිත වෙනස් වෙනවා: භවයෙන් භවයට සිත වෙනස් වෙනවා. සිතේ ඇති වන සිතිවිලිත් මොහොතින් මොහොත වෙනස් වෙනවා. මේ සිත අනිත්‍ය දෙයක් බව, දුක් ඇති වන දෙයක් බව, අනාත්ම දෙයක් බව මෙයින් වැටහෙනවා.
ධම්මපදයේ මුල් ගාථා දෙකෙන් අපිරිසිදු සිත නිසා භවයෙන් භවයට දුක් ලැබෙන බවත්, පිරිසිදු සිතින් කරන කියන දේ නිසා සැප විපාක ලැබෙන බවත් බුදුපියාණන් පෙන්වා දී තිබෙනවා. ඒ වගේ ම සිතේ ඇති වන සිත කිලිටි කරන ක්ලේශ ධර්මයන් දුරු කිරීමෙන් නිවන් සුවය අත්කරගැනීමටත් මාර්ගය බුදු පියාණන් පෙන්වා දුන්නා.
පාපි සිතිවිලි නිසා සතර අපායේ දුක් විඳින්නට සිදු වෙනවා. කුසල් සිතිවිලි නිසා දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක ආදියේ සැප විඳින්නට ලැබෙනවා. මනුෂ්‍යයකු හැටියට ඉපදී හොඳ ඇඳක සැපට නිදාගත්තත්, බල්ලකු වෙලා ඉපදුණොත් නිදාගන්න පි‍්‍රය කරන්නේ පයින් හාරා හදාගත්ත පස් ගොඩක. ඒ ඒ භවයට අනුව ඇස, කන, නාසය, දිව, කය යන ඉන්ද්‍රියන්ට ගෝචර වන රූප, ශබ්ද , ගන්ධ, රස, පහස සියල්ල වෙනස් වෙනවා. ඒ අනුව සිතක් සිතේ ඇති වන සිතිවිලිත් වෙනස් වෙනවා.
මැරෙන මොහොතේ බුදුගුණ, ධර්මයේ ගුණ ආදි කුසල් සිතක් ඇති වුණොත් දිව්‍ය ලෝකයක ඉපදෙන්න පුළුවන්. එවිට දිව්‍ය ශරීරයට ලැබෙන පහස මීට වඩා සුවදායක යි. ඒ අනුව සතුටින් සැහැල්ලුවෙන් ඉන්නට පුළුවන් සුවපත් සිතක් ඇති වෙනවා.
ඒත් ඒ දිව්‍යමය ශරීරයත්, ඒ සිතත් අතහැරී ඒ භවයෙන් සමු ගන්නට දවසක් එනවා. දෙවියකු හැටියට ඉහළ ම සැප වින්දත්, ඒ සුවය අතහරින්නට සිදු වන විට සිතට විශාල දුකක් දැනෙනවා. සැපය අත්හරින්නට යන මොහොතේ දරාගන්න බැරි දුකක් ඇති වෙනවා. ශක්‍ර දෙවියන් ආයුෂ ඉවර වී යන මොහොතේ බුදු පියාණන් වහන්සේ ළඟට ඇවිත් දුකින් ඒ ගැන කියා ඇති බව පොතපතින් දැනගන්න තිබෙනවා. කුමන භවයක ඉපදුණත් මේ සිත නිසා දුකක්මයි ලැබෙන්නේ. ඇස, කන, නාසය, ආදියට හමු වන අරමුණු නිසා දුකක් ම යි ඇති වන්නේ. ඇසට ප්‍රිය රූප නිසා සතුටක් ලැබුණත්, ඒ අරමුණු නැති වී යෑම නිසා දුකක් ලැබෙනවා. ඒ වගේ ම ප්‍රිය රූපවලට ආශා කිරීම නිසා සසර නැවත ඉපදෙමින් නැවත නැවත දුකින් දුකට පත් වෙනවා. අප්‍රිය අරමුණු නිසාත් ඒ වගේ ම එයින් සිතට දුකක් ඇති වෙනවා. අප්‍රිය අරමුණු සමඟ ගැටීම දුකක්. ඒ වගේ ම ද්වේෂ සිතින් සිතිවිලි ඇති වීම සසර දුකටත් හේතු වෙනවා. මේ විදියට ම අනිත් ඉන්ද්‍රියන්ට ගෝචර වන අරමුණු නිසාත් ලැබෙන්නේ දුකක් ම යි. මේ සියලු සිතිවිලි නැති වී යනවා. මොහොතක් පාසාම සිතිවිලි කෝටි ගණන් ඇති වනවා; පවතිනවා; නැති වෙනවා. ඉතිරි වන දෙයක් නැහැ. සියල්ල හිස් දෙයක් බවට පත් වෙනවා.
ඒ වගේ ම ඇස කන, නාසය ආදි ඉන්ද්‍රියන් අනිත්‍යයට යනවා; මෝරා වයසට යනවා; ජරාවට පත් වෙනවා. මරණයේදී මේ සියල්ල අතහැර දමන්නට සිදු වෙනවා. මේ රූපය එදාට අතහැර දමන්නට සිදු වෙනවා.
සිතිවිලි නිසා දුකක් ම යි ලැබෙන්නේ. සිතේ පැවතීම නිසා විවිධ සිතිවිලිවලින් කුසල් අකුසල් සිදු වෙනවා. එයින් දුකක් ම යි විඳින්නේ; දුකක් ම යි ලැබෙන්නේ. මේ සිත දුකක් ම යි. සිත අනිත්‍ය යි; දුක යි; අනාත්ම යි; අනිත්‍ය යි; දුක යි; අනාත්ම යි; අනිත්‍ය යි; දුක යි; අනාත්ම යි...
සිතේ ඇති වන සිතිවිලි අනිත්‍ය යි; දුක යි; අනාත්ම යි; අනිත්‍ය යි; දුක යි; අනාත්ම යි...
සිතේ ඇති වන සිතිවිලි නිසා දුකක්මයි ලැබෙන්නේ...
සිතිවිලි නිසා ම යි දුක් ඇතිවන්නේ...
ප්‍රිය සිතිවිලිත් නැති වෙනවා...
සිතිවිලි පාලනය කළ නොහැකි අනාත්ම දෙයක්. සිතිවිලි මට ඕනෑ විදියට ඇති කරගන්නත් බැහැ. ඕනෑ විදියට නැති කරගන්නත් බැහැ. සිතිවිලි අනාත්ම යි. සිතිවිලි අනාත්මයි.
සිත අනිත්‍ය යි; දුක යි; අනාත්ම යි...
සිතිවිලි අනිත්‍ය යි; දුක යි; අනාත්ම යි...
සිතිවිලි අත්හරිමි... අත්හරිමි... අත්හරිමි...
සිතිවිලි අත්හැරී ගිය ඒ ශාන්ත සුවයෙන් සැමදෙනා ම සුවපත් වෙත්වා!
සීතා පද්මිනි ලියනගේ

වස්සානයයි සිවුරේ කථාවයි තුන්සිවුර


“අනුජානාමි භික්ඛවෙ. න රජනානි, මූල රජනජ ඛන්ධරජනං
නචරජනං පන්තරජනං,පුපථරජනජ, ඵලරජනං”
එනම්, 1.මුල් පඬු, 2. දඬු පඬු 3.පොතු පඬු 4. කොළ පඬු 54. මල් පඬු 6. ගෙඩි පඬු
එහෙත් ජබ්බග්ගිය භික්ෂූන් වහන්සේලා විවිධ වර්ණයෙන් යුතු සිවුරු පරිභෝග කළ හෙයින් පඬු පෙවීම සඳහා නොගත යුතු වර්ණ ද දැක්වේ.
1.නිල්, 2.දම් 3.කොළ 4. රෝස 5. කළු 6. තද රතු 7. තද කහ
මෙම වර්ණයන් සිවුරු පඬු පෙවීමට භාවිතා නොකරයි.සිවුරේ පැහැය විය යුත්තේ පඬු පැහැයයි. එය වීරාගි බවෙහි සංකේතයයි. 1.පඬු පිසින උදුනක් 2. පඬු සැළියක් 3. පඬු කිණිස්සක් 4.පඬු හැන්දක් 5.පඬු කළයක් 6.පඬු ඔරුවක්
ආදිය වරින් වර අනුමත කළහ. මේ නිසා භික්ෂූන් වහන්සේලා පඬු පෙවු මගධ ක්ෂේත්‍රය මෙන් සැකසූ සිවුරු පරිභෝග කළහ.
මෙම පසුබිම යටතේ සිවුරු බහුලව පරිභෝග ද භික්ෂූන් තුළ අල්පේච්ඡ බව නැති වී ගොස් බහුභාණ්ඩ තත්වයට පැමිණියේය. ඒ නිසා සමහර භික්ෂූහු සිවුරු පොදි ඔසවාගත් හිසෙහිද සිවුරු විසි කොට කරෙහිද සිවුරු විසිකොට උකුළෙහි ද තබා ඒ ගමන් කරන භික්ෂූන් විශාලාවෙහි සිටින බව බුදුන් වහන්සේ දුටහ. ඒ නිසා සිවුරු පරිභෝජනයෙහි සීමා තබන්නට සිත් විය. එහෙයින් තුන් සිවුරක් මෙසේ අනුමත කළහ.

“අනුජානාමි භික්ඛවෙ නිචීවරං දිග – ණං සංඝාමිං 
එකචචියං උත්තරාසංඝං, එකවචියං අන්තරාවාසකං”

මහණෙනි, මම දෙපටක් ඇති සඟල සිවුරුද එක් පටක් ඇති උතුරු සඟළ සිවුරුද, එක් පටක් ඇති අඳනා සිවුරුද අනුදනිමි” යනුවෙන් වදාළහ. මෙය වරදවා වටහාගත් භික්ෂූන් වහන්සේලා එක් තුන් සිවුරකින්ම ආරාමවෙහිද නවතුන් සිවුරකින් ගමෙහිද,අනෙක් තුන් සිවුරකින් නෑමෙහිද යෙදීමෙන් ඔවුන්ගේ අල්පේච්ඡ බව ඉක්මවා ගොස් සංකීර්ණත්වය පැමිණියේය. එහෙයින් අතිරේක සිවුරු දැරීම අනුමත නොකළහ.
එසේම අවස්ථානුකූලව විවිධ වස්ත්‍රයෙන් කළ සිවුරු මෙසේ අනුමත කළහ.
1.අලුත් වස්ත්‍රයෙන් හා වරක් සේදු වස්ත්‍රයෙන් කළ දෙපටක් ඇති සඟල සිවුර 
2.එක් පටක් ඇති උතුර සඟල සිවුර 
3. එක් පටක් ඇති අඳනා සිවුර 
4.පැරණි වස්ත්‍රයෙන් කළ සිවුපටක් ඇති සඟල සිවුර 
5.පැරණි වස්ත්‍රයෙන් කළ දෙපටක් ඇති උතුර සඟළ සිවුර 
6.පැරණි වස්ත්‍රයෙන් කළ දෙපටක් ඇති අඳනා සිවුර 
7.පාංසුකූලයෙහි කැමති පමණ පට ඇති සිවුර 
8.කඩපිලෙන් අවුළා ගත් වස්ත්‍රයෙන් කළ සිවුර එසේම සිවුරෙහි අණ්ඩලීම ක්‍රම කිහිපයක් වශයෙන් දැක්වීය.

1.අග්ගළං – අණ්ඩලිම 
2.තුන්නං – නූලෙන් එල්ලීම 
3.ඔවට්ටිකං – වැට් කොට මැසීම 
4.කණ්ඩුසතං – හෙවත් කෑලිපිට කෑලි ඇල්ලීම 
5.දැළහී කම්මං – දැඩි කිරීම

මෙසේ සිවුරු පරිහරණය කළ අතර එහෙත් ජබ්බග්ගිය භික්ෂූහු විවිධ වර්ණ වලින් යුතු සිවුරුවලට අමතරව විනය නීති ඉක්මවා ගිය වස්ත්‍ර ද දැරූහ. එනම්
1.නොසිඳු දාවලු ඇති සිවුරු දැරීම 
2.දික් දාවලු ඇති සිවුරු දැරීම 
3. මල්කම්කළ දාවලු ඇති සිවුරු දැරීම 
4. පෙණසේ ගෙතු දාවලු ඇති සිවුරු දැරීම 
5.සැට්ට දැරීම 
6.හිස් වෙළුම් දැරීම

මෙහිදි බුදුරජාණන් වහන්සේගේ පැනවීම වූයේ ඒ සියල්ල දැරීම දුකුලා ඇවැත් වන බවයි.
”න භික්ඛවෙ සබ්බනීලකානි චීවරානි ධාරෙනනබ්බානි . න
සබ්බපීනකානි චීවරානි ධාරෙනබ්බානි. න සබ්බලොහිතකානි චීවරානි ධාරෙනබ්බානි, න සබ්බමඤ්ජෙට්ඨකානි චීවරානි ධාරෙනබ්බානි, න සබ්බ කණහානි චීවරානි ධාරෙත ‘බානි. න සබ්බ මහාරධගරත්තානි චීවරානි ධාරෙතබ්බානි, න සබ්බපමහානාමතේහානි චිවරානි ධාරෙතබ්බපානි, න සබ්බමහානාමතේහානි චිවරානි ධාරෙතබ්බානි, න අච්ඡින්නදසානි චීවරානි ධාරෙ තබ්බානි, න දීසදසානි චීවරානි ධාරෙනබ්බානි. න පුප්ඵදසානි චීවරානි ධාරෙතබ්බානි. න ඵණදසානි චීවරානි ධාරෙතබ්බානි, න කකුචුකං ධාරෙතබ්බං ,නිරීටකං ධාරෙතබ්බානි, න වෙඨනං ධාරෙතබ්බං,යො ධාරෙය්‍ය ආපන්හි දුක්කටස්ස”
මේ ශික්ෂාපදයට අනුව පහත දැක්වෙන සිවුරු නො දැරිය යුතුයි. එනම්
1.සියල්ල නිල්පැහැති සිවුරු නො දැරිය යුතුයි 
2.සියල්ල රන්වන් වූ සිවුරු නො දැරිය යුතුයි 
3.සියල්ල රතු පැහැති සිවුරු නො දැරිය යුතුයි 
4. සියල්ල මදටිය පැහැති සිවුර නො දැරිය යුතුයි 
5. සියල්ල කළු පැහැති සිවුරු නො දැරිය යුතුයි 
6. සියල්ල රන්මෑපිට පැහැති සිවුරු නොදැරිය යුතුයි 
7 . සියල්ල මුසුපැහැති සිවුරු නො දැරිය යුතුයි 
8. නොසිඳී දාවලු ඇතිසිවුරු නො දැරිය යුතුයි 
9. දික් දාවලු ඇති සිවුරු නො දැරිය යුතුයි 
10. මල් දාවලු ඇති සිවුරු නො දැරිය යුතුයි 
11. පෙණ දාවලු ඇති සිවුර නො දැරිය යුතුයි 
12.අඟිය නො දැරිය යුතියි 
13. සැට්ට නො දැරිය යුතුයි 
14. හිස් වෙළුම් නො දැරිය යුතුයි

යමක් මෙම නො දැරිය යුතු සිවුරු දරන්නේ නම් දුකුලා ඇවැත් සිදුවේ.
සිවුරු පරිහරණ වැදගත් අංගයක් වශයෙන් වැසි සළුව දැක්විය හැකිය. මුල් යුගයේ භික්ෂූන් අතර වැසි සළුව භාවිතා නොවු අතර විශාඛා උපාසිකාවගේ ඉල්ලීම පරිදි අනුමත කළහ. විශාඛාවගේ ඇරයුම මත දානයට වඩින්නට භික්ෂූන් සූදානම් වීමට බොහෝ වේලාවක් ගතවිය. එයට හේතුව වූයේ ජේතවනයට වසින්නා වූ වැස්සෙන් භික්ෂූන්ගේ කය තෙමීමයි. ඉන්පසු භික්ෂූන් වහන්සේලා පසුදින බැහැර කළ සිවුරු ඇතිව කය තෙමූහ. අවසන සිරුරු සිහිල්කොට සුවපත් වු සිරුර ඇති භික්ෂූන් වහන්සේලා තම තමන්ගේ විහාරවලට වැඩියහ. මෙම කාරණය දුටු විශාඛා උපාසිකාව දන් වළදා අවසන් වු බුදුරජාණන් වහන්සේගෙන් වර අටක් ඉල්ලීය. එයින් එක් වරයක් වූයේ වැසි සළුව පරිහරණ අනුමැතිය ලැබීමයි.
මෙසේ සිවුරු භාවිත සිවුරු ප්‍රයෝජනයට ගත නොහැකි කල්හි ඒවා විවිධ අරමුණූ විෂයෙහි යෙදෙව්වේය
1.දිරාගිය සිවුරුවලින් ඇතිරිලි තනා ගැනීම 
2.දිරාගිය ඇතිලිරි වලින් බිසිඋර තනා ගැනීම 
3.දිරාගිය බිසිඋරවලින් බිමට අතුරන බුමුතුරුණු තනා ගැනීම.
4. දිරාගිය බුමුතුරුණුවලින් පාපිස්නා බිසි තනා ගැනීම 
5.දිරාගිය පාපිස්නාවලින් දුවිලි පිසදමයි 
6.පොළොව පිස දැමූ රෙදි කැබලි මැටි හා මිශ්‍රකර බිත්තිවල ආලේප කරයි.

මෙසේ විවිධ සංශෝධනවලින් යුක්තව භික්ෂූන් වහන්සේලා භාවිතා චීවරය විවිධාකාර සංවර්ධනය විය. එය භික්ෂූ ජීවිතේ මූලික අරමුණ ආරක්ෂා වන පරිදි අනන්‍යතාවය සුරැකෙන පරිදි විවිධ වෙනස්කම්වලට යොමු විය. නමුත් එය පරම්පරාවෙන් පරම්පරාවට නොවෙනස්ව පැවත එම විශේෂ ලක්ෂණයකි.

මාංශ අනුභවයෙන් බෞද්ධයාගේ ආජිව පාරිශුද්ධභාවය කිළිටිවේද?

ශාස්‌ත්‍රපති කරඳන සමිත හිමි,
ශ්‍රී සුධර්මානන්ද පුරාණ මහා විහාරය, කොරසේ, උඩුගම්පොල


මෙවන් පැනයකට එකවිටම 'ඔව්' කියා හෝ 'නැත' කියා හෝ පිළිතුරක්‌ දිය නොහැකිය. මන්ද මේ සම්බන්ධව ග්‍රහණය කරගන්නා වැරැදි දෘෂ්ටි ගැනීමට ඇති අවස්‌ථා වැඩි නිසාය. මේ නිසා යමක්‌ දෙස පක්‌ෂග්‍රාහීව නොව මධ්‍යස්‌ථව බලා එහි පවතින යථා ස්‌වරූපය දැනගැනීම කළ යුතුය. බුදුපියාණන් වහන්සේ මාංස අනුභවය අනුමත කළේද? යන්න පිළිබඳව තොරතුරු පෙළ දහම තුළින් සපයාගත යුතුය. ඒ අනුව අපගේ පළමු අවදානය යොමු වන්නේ 'ම-Cධිම නිකායේ ජීවක සූත්‍රය' වෙතය. ජීවක සුත්‍රයට අනුව ජීවක තෙම බුදුපියාණන් වහන්සේගෙන් විමසා සිටින්නේ මාංස අනුභවය පිළිබඳ පැනයකි.

'ස්‌වාමීනි, ශ්‍රමණ ගෞතමයන් උදෙසා කරන ලද තමා පිණිස කරන ලද, මාංශ ඒ බව දැන දැන වළඳන්නාහයි මා අසා ඇත. මෙහි සත්‍ය, අසත්‍යතාව කුමක්‌ද? (ම. නි. ෂෂ, බු.ජ.මු. 1973, 54 පිටුව). 

ජීවකතුමන් බුදුපියාණන් වහන්සේගෙන් මෙවැනි පැනයක්‌ විමසා ඇත්තේ තමාට සමාජයෙන් අසන්නට ලැබුනු පුවතක්‌ වශයෙන්ය. එතුමාට අවශ්‍යවූයේ එහි පවතින සත්‍ය අසත්‍යතාව දැනගැනීමය.

ජීවක තුමන්ගේ පැනයට අනුව එම ක්‍රමයට මාංස අනුභවය කිරීම 'උද්දීස්‌සක්‌ත මංසං' ලෙස දැක්‌වේ. එනම් තමා උදෙසා මාංස සැකසීමට ප්‍රාණවධය සිදුකර සැකසූ මාංසය. මේ පැනයට බුදුපියාණන් වහන්සේගේ පිළිතුර වූයේ 'නැත' හෝ 'ඔව්' යන්න නොවේ. බුදුරජාණන් වහන්සේ එතුමාට කරුණු පැහැදිලි කිරීම තුළින්ය. 

ජීවක මම කරුණු තුනකින් මාංස පරිභෝජනය නොකළ යුතු යෑයි වදාරමි. එනම්,

1. දක්‌නා ලද දෙයයි

2. අසන ලද දෙයයි

3. සැක කරන ලද දෙයයි

මේ කරුණු තුනෙන් මාංස පරිභෝජනය නොකර යුතුය. ජීවන ඇදුරුතුමනි, මේ කරුණු තුනකින් පිරිසිදුව මාංස පරිභෝජනය කළ යුතු යෑයි වදාරමි'. (ම.නි. ෂෂ බු.ජ.මු. 1973, 54 පිටුව)

1. නොදක්‌නා ලද්දෙ යෑයි

2. නො අසන ලද්දෙ යෑයි

3. සැක නොකර ලද්දෙ යෑයි

ජීවක ඇදුරුතුමනි, මෙම කරුණු තුනෙන් යුක්‌ත පිරිසිදු වූ මාංසය පරිභෝජනය කළ යුතු යෑයි වදාරමි'.

මෙම පිළිතුරට අනුව වැළඳිය යුතු හා නොවැළඳිය යුතු ද යන්න සකාරණව පැහැදිලිව බුදුපියාණන්වහන්සේ දේශනා කළ සේක.

බුදුසමයට අනුව මාංස පරිභෝජනයේදී අනුගමනය කළ යුතු පිළිවෙල ආකාර තුනක්‌ යටතේ වැඩිදුරටත් විස්‌තර කරනු ලබයි.

1. අදිට්‌ඨ පාරිශුද්ධිය

2. අසූත පාරිශුද්ධිය

3. අපරිසංකිත පාරිශුද්ධිය 

යන්න ත්‍රිකෝටික පාරිශුද්ධිය වේ. ත්‍රිකෝටික පාරිශුද්ධියේ පළමු අංගය අදිට්‌ඨ පාරිශුද්ධියයි. එනම් තමා වෙනුවෙන් ප්‍රාණියකුගේ දිවිය තොර කළ බව දක්‌නා ලද මත්ත්‍ය මාංස නොවැළඳිය යුතු වන අතර අදිට්‌ඨ පාරිශුද්ධිය තුළදී 'තමා' උදෙසාම මැරූ බව නොදුටු බවයි. 'පවත්න මාංස්‌ අදිට්‌ඨ මාංස වශයෙන් දැක්‌විය හැකිය. පවත්න මාංස යනු වෙළෙඳ පොළෙහි විකිණීම පිණිස තබාඇති මාංසයි. (ම.පා. ෂෂෂ බු.ජා.මු. 1957, 554-592 - පිටු) නූතනයේ දානය සඳහා භික්‌ෂුන්ට පූජා කරනු ලබන්නේද වෙළෙඳපළින් ගෙනවිත් සකසා පිරිනමන මාංශයි. එම මාංශ භික්‌ෂුන්ට කැපය. 

02. අසූත පාරිශුද්ධිය

ත්‍රිකෝටික පාරිශුද්ධි ධර්ම අතර දෙවැන්න අසුත පාරිශුද්ධයයි. තමන් උදෙසා වධයට පමුණුවා ගන්නා ලද බව නොඇසූ මත්‍ය මාංස 'අසූතං මංසං' නම් වෙයි. බොහෝ විට දන් පූජාකරන දායකයෝ තම දාන මුරය සඳහා හොඳ දිය මසක්‌ අවශ්‍ය යෑයි තම හිතවත් මසුන් මරන්නකු හට කියා දිය මස්‌ ලබා ගනිති. මසුන් මරන්නා 'අපේ දානයට හොඳ මාළුවෙක්‌ අසවල් දවසට අවශ්‍ය යෑයි' පැවැසූ විට මසුන් මරන්න යන්නේ එම ඉල්ලීම ඉටු කිරීමේ අදහසිනි. එම නිසා මසුන් මරන්නා දානය සඳහා මසුන් මරන්න පෙළඹෙයි. තවද දායකයා එම දානය පිළියෙල කර පිළිගන්වන්නේද 'අපේ හාමුදුරුවනේ මේවා හොඳ අලුත් මාළු අසවලාට කියලමයි ගෙන්න ගත්තේ' වශයෙන්ද පවසමිනි. මෙසේ වූ කල මේ මාංස 'සුත මාංසය' හෙවත් තමා වෙනුවෙන්ම ප්‍රාණඝාතය කොට පිළියෙල කරන ලද මාංසයක්‌ වශයෙන් අකැප වන්නේය. විශේෂයෙන්ම එවන් මාංස දානයක්‌ යමෙක්‌ පිළියෙල කරන්නේ නම් ඉහත පරිදි එය ලබාගැනීම නොකළ යුතුය. ඒ සඳහා උචිත වන්නේ අසූත පාරිශුද්ධියට අයත් තමන් උදෙසා කළ බව නොඇසූ මාංසය.

03. අපරිසංකිත පාරිශුද්ධිය

ත්‍රිකෝටික පාරිශුද්ධියෙහි තෙවැනි අංගය වන මෙය අටුවා විවරණයට අනුව පරිසංකිතයේ ප්‍රභේද තුනක්‌ දක්‌වා ඇත. 

1. දිට්‌ඨ පරිසංකිතං

2. සුත පරිසංකිතං

3. තදාභය විමුක්‌ත පරිසංකිතං වශයෙන් මෙම අවස්‌ථා තුන පැහැදිලි කිරීම පිණිස අටුවාව උදාහරණක්‌ද දක්‌වා ඇත. 'දැල් වරදැල් ආදී ආයුධ අතැතිව ගමෙන් පිටව වනයට පිවිසෙන මිනිස්‌සු, භික්‌ෂුන් වහන්සේ නමක්‌ දකිති. මොවුන් වනගත වූයේ දඩයම පිණිස ය. පසුදින එම භික්‌ෂුව පිඬු පිණිස වඩියි. ගම්වැසියෝ මසත්‍ය මාංශ සහිත ආහාර පානයෙන් භික්‌ෂුන් වහන්සේ පුදති. (සා.පා. වි. අට්‌ඨ ෂෂ ස.හේ.මු. 1945, 435, 436 පිටු.)

ඉහත සංසිද්ධිය විවරණය කොට බලන විට එහි දිට්‌ඨ පරිසංකිතය අන්තර්ගත වන අයුරු ප්‍රකටය. ආයුධ ගෙන වනයට පිවිසෙන විට ඔවුන්ට හමුවූවේ භික්‌ෂුවකි. ඔවුන් ප්‍රාණවධය පිණිස හැසිරෙන විට මුවා, ගෝණා ආදි සත්වයන් දැක එම සතුන් ප්‍රාණවධය කොට ගෙන එන මාංස භික්‌ෂුවට පුද දුන්නේය. ඉන් දිට්‌ඨ පරිසංකිතය ඇති වේ. සැකය පහළ වේ. පරිසංකිත පාරිශුද්ධිය නම් තමා වෙනුවෙන් කළ මාංසයක්‌ සැකයෙන් තොර මාංශයක්‌ වීමයි.

සුත පරිසංකිත අවස්‌ථාව වන්නේ සැකය තම ශ්‍රවණය සාධාරණීකරණය නිසා වන්නකි.

තදාභය විමුක්‌ත පරිසංකිතය ඉහත අවස්‌ථා දෙකටම වඩා හාත්පසින්ම වෙනස්‌ය. මන්ද යත් මෙහි සැකය උපදවන දැකීමක්‌ හෝ ඇසීමක්‌ හෝ නොමැතිව ම සැකය ජනනය වන බැවිනි. එනම් භික්‌ෂුව පිඬු පිණිස ගමට වැඩි කල ගම්වැසියෝ මත්ස්‍ය මාංස සහිත ආහාර පානයෙන් භික්‌ෂුන් වහන්සේ පුදති. මෙම මාංසය තමා උදෙසාම කළ මාංසයකැයි සැක පහළ වේ නම් එය තදාභයමුක්‌ත පරිසංකිතයයි. (සමන්ත පාසාදිකා ෂෂ කොටස, සංස්‌කරණය, හේවාවිතාරණ මුද්‍රණය 1945-436 පිටු)

ත්‍රිකෝටික පාරිශුද්ධිය ලෙස හැඳින්වෙනුයේ එම මාංස සම්පාදනය කෙරෙහි තමා සෘජුව හෝ චක්‍රව හෝ සම්බන්ධතාවක්‌ නොමැති බවයි. ඒ සඳහා කුමන හෝ ආකාරයකින් අනුබල නොදුන් බවයි. අකුසල ධර්මය සිදුවන්නේ මාංස අනුභවය නිසා නොවේ. එම මාංස ලබාගැනීම උදෙසා කළ ප්‍රාණඝාත ක්‍රියාව නිසාය යන්න මේ ත්‍රිකෝටික පාරිශුද්ධතාව තුළින් ප්‍රකට වන ධර්ම විවරණාර්ථයයි.

ප්‍රාණඝාතයෙන් මිදී, අකුසල කර්ම සිදුනොවන පරිදි මාංස පරිහරණය පිණිස යම් හෝ ඉඩක්‌ ඇත. එම ඉඩකඩ භාවිත කර අවශ්‍ය අයට මාංස පරිහරණය කළ හැකිය. මේ සඳහා පවතින අවකාශය බුදුපියාණන් වහන්සේ විසින් පෙන්වා දීමක්‌ විනා අසුරාලීමක්‌ සිදුකර නොමැත. එය ත්‍රිකෝටික පාරිශුද්ධියයි. ත්‍රිකෝටික පාරිශුද්ධියෙන් යුත් මාංශ අනුභවයට සුදුසු බවත්, ත්‍රිකෝටික පරිශුද්ධියට නොයුතු මාංස අනුභවයට නොසුදුසු බවත් බුදුපියාණන් වහන්සේ අනුදැන වදාරන සේක.

ගිජුකුල පව්වෙන් බසින්නා වූ භික්‌ෂුන් වහන්සේලා සිංහයකු විසින් ඉඳුල් කළ මසක්‌ දැක, එය පිසවා අනුභව කළාහුය. කිම, අපි පරිජි ඇවැත් අවන්නමෝ දැයි ඔවුනට කුකුස්‌ ඇතිවිය. බුදුරාජණන් වහන්සේට මේ පවත් සැල කළාහුය. බුදුපියාණන් වහන්සේ මහණෙනි, සීහවිඝාතයෙහි ඇවැත් නොවේ, යෑයි වදාළ සේක. (පා.පා. බු.ජ.මු. 1959-132 පිටුව)

මේ පරිදිම ව්‍යාඝ්‍රයකු විසින් ඉඳුල් කළ, දිවියකු විසින් ඉඳුල් කළ, කරබාන වලසකු විසින් ඉඳුල් කළ, වෘකයකු විසින් ඉඳුල් කළ, මස්‌ දැක ඉතිරිය පිසවා වළ¹, තමා පරිජි වූයේ දැයි වූ කුකුස නිසා බුදුපියාණන් වහන්සේගෙන් විමසූ කල උන්වහන්සේ පරිජි නොවන බවත්, තිරිසන් ගතසතුන්ට අයත් දෙයෙහි වරද රහිත බවත් වදාරා ඇත. (පා.ප. බු.ජ.මු. 1959, 132 පිටුව)

බුදුපියාණන් වහන්සේ යමක්‌ කැප යෑයි වදාරා ඇත්නම් අප ඒ ගැන ප්‍රශ්න, සැක ඇති කරගත යුතු නැත. මස්‌ මාංශ අනුභවය ගැන සැලකීමේදී මස්‌ වර්ග දහයක්‌ අකැප බව වදරා ඇත.

1. මිනී මස්‌ 

2. අශ්ව මස්‌

3. ඇතුන්ගේ (අලි) මස්‌

4. සුනඛ මස්‌ 

5. සර්ප මස්‌

6. සිංහ මස්‌

7. ව්‍යාඝ්‍ර මස්‌

8. දිවි මස්‌

9. වලස්‌ මස්‌

10. කළු හිස්‌ වලස්‌ මස්‌ යන දහයයි.

මෙම මස්‌ වර්ගයන් අකැප යෑයි වදාරා ඇත්තේ යම් යම් හේතූන් මුල්කරගෙනය. ඇතැම් දුර්භික්‌ෂවලදී මිනීමස්‌ පවා අනුභව කළහ. එක්‌තරා භික්‌ෂුන් වහන්සේ නමක්‌ සඳහා මිනීමස්‌ ලැබිණි. බුදුපියාණන් වහන්සේ මිනීමස්‌ වැළඳීම 'ථුලැසි' නම් වූ අවැතක්‌ බව වදාළහ. ඇතුන් අසුන් රාජ පරිභෝග වස්‌තු නිසා, සුනඛ සර්ප මස්‌ පහත් පිළිකුල් නිසාද, සිංහ, ව්‍යාඝ්‍රාදී මස්‌ අනුභවය කළ භික්‌ෂුන් වහන්සේට එම ගන්ධය නිසා සිංහාදීන්ගෙන් පීඩා විඳීමට සිදුවන නිසාත් එම මාංස අකැප බව වදාළ සේක. සෙසු මාංස අකැප බවත් දක්‌වා නැති අතර, බුද්ධ ප්‍රමුඛ ආර්යය වූත්, අනාර්ය වූත් භික්‌ෂු සංඝයා මාංස වැළ බව අපේ ත්‍රිපිටක සාහිත්‍ය හා සීහල වථුව වැනි පෙළපොත්වල සඳහන් වේ.

ඉහත සඳහන් කරන ලද තොරතුරුවලට අනුව අප බැසගත හැකි තීරණය වන්නේ බුදුපියාණන් වහන්සේ මාංස අනුභවය පිsළිබඳ කරුණෙහිදී ඉතා පැහැදිලි මතයක සිටි බවයි. කැමති අයට අනුභවයන්, අකමැති අයට ඉන් මිදීමටත් අවකාශය ඇත. යමෙක්‌ මාංස අනුභවය කරන්නේ නම් ඒ කවරාකාර මාංසයක්‌ විය යුතු දැයි යන්න දේශනා කර ඇත. එය ධාර්මික විවරණයකි. ප්‍රාණඝාතයෙන් මිදී මාංස අනුභවය කළ හැකි බවත් එවැනි අවස්‌ථාවක්‌ වරදක්‌ නොවන බවත් එමගින් අකුසල් සිදුනොවන බවත් ගම්‍ය වේ.

සැදැහැවත් දෙවියෝ කරත් බොහෝ පින්කම්

දෙවියන්ට පින් කරන්න පුළුවන්ද? බැරිද? කියා සැකයක් අප බොහෝ දෙනා තුළ පවතිනවා. බොහෝ දෙනෙකුගේ අදහස දෙවියන්ට පින් කරන්න බැහැ. නමුත් දෙවියන්ට පින් අනුමෝදන් වියහැකි බවයි.
ඔබට ඒ සම්බන්ධව උදාහරණයක් කියන්නම් 'කන්ථක' දිව්‍ය පුත්‍රයාගේ ජීවිතය පිළිබඳව. ගිය ජීවිතයේ කන්ථක ලෙස තිරිසන් ආත්මයක සිට මේ ජීවිතයේ කන්ථක දිව්‍ය පුත්‍රයා ලෙස දිව්‍ය ආත්මයක් ලබනවා. එසේ දිව්‍ය ආත්මයක් ලැබුණේ බෝසතාණන් වහන්සේගේ ගමනට කළ උපකාරයට ආනිශංස ලෙසයි.
දිනක් මුගලන් මහරහතන් වහන්සේ දිව්‍ය ලෝකයේ සැරිසරද්දී මේ දිව්‍ය පුත්‍රයා මුණගැසී අසනවා 'ඔබට බුදුරජාණන් වහන්සේ මුණ ගැසුණේ නැද්ද 'කියා. එවිට දිව්‍ය පුත්‍රයා කියනවා බුදුරජාණන් වහන්සේ මුණ ගැසුන බවත්, එහිදී චතුරාර්ය සත්‍යය ධර්මය කියාදුන් බවත්. මේ කන්ථක දිව්‍ය පුත්‍රයා සෝතාපන්න ශ්‍රාවකයෙකු වූයේ දිව්‍ය ජීවිතයක සිටිද්දීයි. එසේනම් දෙවියන්ටත් සෝතාපන්න වෙන්න පුළුවන්. ශක්‍ර දෙවියා මාතෘ දිව්‍යරාජයා ආදී දෙවිවරු පිළිබඳව ඔබ අසා ඇති. අප කන්ථක දිව්‍ය පුත්‍රයා මෙතැනට උපමා කළේ මිනිස් ආත්මයක සම්බන්ධතාව-යක් නොමැති නිසායි.
තථාගතයන් වහන්සේ අපට වදාළා ‘සෝත’ කියන්නේ ආර්ය අෂ්ඨාංගික මාර්ගයට කියන නමක්. ‘ආපන්න’ කියන්නේ පැමිණුනා. එසේනම් සෝතාපන්න කියන්නේ ආර්ය අෂ්ඨාංගික මාර්ගයට පැමිණුනා කියන එකයි. කන්ථක දිව්‍ය පුත්‍රයා සෝතාපන්න වූවා කියන්නේ ආර්ය අෂ්ඨාංගික මාර්ගයට පැමිණුනා කියන එකයි. දෙවියන්ට ආර්ය අෂ්ඨාංගික මාර්ගයට පැමිණෙන්න පුළුවන් බව මෙහෙම පැහැදිලියි. සීල, සමාධි, ප්‍රඥා ලෙස ආර්ය අෂ්ඨාංගික මාර්ගය තුළ තිබෙනවා ස්කන්ධ තුනක්. සෝතාපන්න වූ දෙවිවරුන් ආර්ය අෂ්ඨාංගික මාර්ගයට පැමිණුනා කියන්නේ ඒ දෙවියන් පැමිණුනේ සීල, සමාධි, ප්‍රඥා තුළටයි. බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ ඇතැම් දේශනාවලදී වදාළා ආර්ය අෂ්ඨාංගික මාර්ගය වඩනවා නම් ඔහු තුළ පුණ්‍යාභිසංක, කුසලාභිසංක වශයෙන් පින් කුසල් රැස්වෙන බව. ඔහුගේ ජීවිතයට පින් ගඟක්, කුසල් ගඟක් ගලනවා.
සමාජයේ තිබෙන මතයට යට නොවී අප බුද්ධ දේශනා ඉස්මතු කිරීමෙන් පමණයි මේ දේවල් විමසිය යුත්තේ. දෙවිවරු නිතර රැස්වී සිල්පද පිළිබඳව සාකච්ඡා කරනවා, තෙරුවන් වන්දනා කරනවා. වචනයෙන් වන අකුසලයෙන් වළකින නිසා වචනයෙන් සිල් රකිනවා. බොහෝ දෙවිවරු ප්‍රාණඝාතයෙන්, සොරකමින්, වැරැදිකාම සේවනයෙන් වැළකී සිල් රකිනවා. සීලය රකිනවිට පින් ගඟක්, කුසල් ගඟක් ගලනවා. දෙවිවරු සතර සතිපට්ඨානය වඩනවා. එවිට සමාධියට පත්වෙනවා. මේ සඳහා ඔබට උදාහරණයක් කියන්නම්. එක් ස්වාමින් වහන්සේ නමක් භාවනා කරමින් සිටියා. භාවනාව තුළින් හොඳින් සිත සමාධිමත් වුණා. ටික වෙලාවකදී උන්වහන්සේ සමාධිමත් සිත තුළම අපවත් වුණා. ඕපපාතික උපතක් ලෙස දෙවිලොව උපත ලැබුවා. උන්වහන්සේ දිව්‍ය කය ලැබුවේ මනුෂ්‍ය ලොවදී වාඩිවෙලා සිටිය ඉරියව්වෙන්ම යි. අත්දෙකත්, කකුල් දෙකත් තබාගෙන සිටි භාවනා ඉරියව්වෙන්ම දිව්‍ය කය ලැබුණේ. මෙහිදී සිදුවූ විරල දේ නම් සිතත් එසේම යි. මිනිස් ලොව වඩමින් සිටි භාවනාවේ ඉතිරි කොටසයි දිව්‍ය ආත්මය ලැබූවිට මෙනෙහි කළේ. සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා කියන මනසිකාරය කරමින් සිටියානම් ‘සියලු සත්ත්වයෝ සුවපත් වෙත්’ කියන විටම අපවත් වෙලා දිව්‍ය කය විසින් මෙනෙහි කළේ ‘වා’ කියන කොටස යි. ඒ ස්වාමින් වහන්සේට සිතුනේම නැහැ මම අපවත් වුණා, දැන් දිව්‍ය ලෝකයේ ඉන්නේ කියා. ඒ තරමටම එතැන ගලායාමක් සිදුවුණා. දිව්‍යාංගණාවෝ මේ දිව්‍ය පුත්‍රයා සතුටු කරන්න ඇවිත් මොකද මෙයා ආව ගමන් භාවනා කරන්නේ කියා බැලුවා. පස්සේ තේරුණා සිදුවී ඇති දෙය. දිව්‍ය කණ්නාඩියක් ගෙනවිත් ඒ දිව්‍යාංගනාවෝ මේ දෙවියට කථා කළා දැක්කම පුදුමසගහත වෙන ලෙස. මේ දෙවියන් එකපාරටම ඇස් ඇර බලා සිදුවූ දේ තේරුම් ගෙන දුක්වෙලා ගිහින් බුදුරජාණන් වහන්සේ හමුවේ කියනවා ස්වාමිනි, මේ දිව්‍යාංගනාවන්ගෙන් මට හරිම කරදරයි කියා. එහිදීත් උන්වහන්සේ වදාළේ පින්වත් දිව්‍ය පුත්‍රය, ඔබ ධර්මය අවබෝධ කළහැකි ලෝකයකයි ඉපදිලා ඉන්නේ. ධර්මය අවබෝධ කරන්න කියා. එසේනම් අපට පැහැදිලියි මේ අවස්ථා සියල්ලෙන්ම කියවෙන්නේ දෙවියන්ට සීලය පමණක් නොවේ සමාධියත් වඩන්න පුළුවන් බව. සමාධිමත් සිතක් දෙවියන්ට ඇතිකර ගන්න බැරිනම් අර සිත එසේ ගලාගෙන යන්නේ නැහැ. කැඩෙනවා. ඒ වගේම දෙවියන් ප්‍රඥාව දියුණු -කරනවා. බිම්බිසාර රජතුමා මිය ගොස් ‘ජනවසභ’ දිව්‍ය පුත්‍රයා ලෙස දෙව්ලොව උපත ලැබුවා. ඒ දිව්‍ය පුත්‍රයා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ඇවිත් කියනවා ස්වාමිනි කරයි සනංකුමාර බ්‍රහ්මරාජයාගෙන් අප සෑම පෝයකදීම සිල් සමාදන් වෙලා බණ අහනවා. සමහර රහතන් වහන්සේලාත් දිව්‍ය ලෝකයට වැඩම කර ධර්ම දේශනා කරනවා. එසේ නැත්නම් දිව්‍යලොව සිටින ධර්ම කථික දිව්‍ය පුත්‍රයෝ ධර්මය දේශනා කරනවා. එහෙමනම් දෙවියන්ට ධර්මය අහන්න, ධර්මය සාකච්ඡා කරන්න පුළුවන් බවත්, සීල, සමාධි, ප්‍රඥා වඩන්න පුළුවන් බවත් ඒ ඔස්සේ අපට හිතන්න පුළුවන්.
බුදුරජාණන් වහන්සේ දිනක් දිවසින් බලනවා මට ඉහළින් සිටින, ගෞරවයෙන් සලකන්න පුළුවන් කෙනෙක් සිටිනවාද කියා.මනුස්ස ලෝකයේ එහෙම කෙනෙක් සිටිනවාද? දෙව්ලොව දෙවියන් අතර, බ්‍රහ්ම ලොව බ්‍රහ්මයන් අතර කෙනෙක් සිටිනවාද? කියා බැලුවා. එසේ කිසිවකු සිටියේ නැහැ. ඒ වගේම තමන් වහන්සේට වඩා සමාධියෙන් උසස් කෙනෙක් මේ ලෝක තුනේ කොතැනක හෝ සිටිනවාද කියා විමසා බැලුවා. සිටියේ නැහැ. ප්‍රඥාව ඔස්සේත් මේ ලෝක තුනේම තමන්ට වඩා උසස් කෙනෙක් සිටිනවාද කියා විමසා බැලුවා. සිටියේ නැහැ.උන් වහන්සේ දිව්‍ය ලෝකයෙත් බ්‍රහ්ම ලෝකයෙත් සීල, සමාධි, ප්‍රඥා වශයෙන් උතුම් කෙනෙක් සිටිදැයි විමසා බැලුවා. ඒ ලෝකවලත් සිටියේ නැහැ.එතැනින් නො නැවති විමුක්තිය ගැනත්, විමුක්ති ඥාන දර්ශනය ගැනත් සෙව්වා. එහෙනම් මනුස්ස ලෝකයේ පමණක් නොවේ විමුක්තියට පත් වූ ශ්‍රාවකයන් දෙවිලොවත් බ්‍රහ්ම ලොවත් සිටිනබව මින් පැහැදිලියි.
බෝසතාණන් වහන්සේ දෙවිලොව සිට පස්මහ බැලුම් බලා මිනිස් ලොවට වැඩම කළ නිසා බොහෝ දෙනා සිතුවා මිනිස් ලොව පමණයි නිවන අවබෝධ කරන්න පුළුවන් කියා. නමුත් අප දන්නවා නිර්වාණබෝධයට මුල් වූ ලෝක තිබෙනවා. සුද්දාවාස බ්‍රහ්ම ලෝකයේ ඉපදෙන්නේ දෙව්ලොව හෝ මිනිස් ලොව දී අනාගාමි වූ පිරිස පමණයි. ඒ සුද්දාවාස ලොව සිටින සියලුම දෙනා අනාගාමී හෝ එහිදී රහත් වූ අයයි. සුද්දාවාස බඹලොව අදත් රහතන් වහන්සේලා වැඩ සිටිනවා.මිනිස් ලෝකයෙන් එහා ලෝකවල සෝතාපන්න, සකෘදාගාමි, අනාගාමි, අරහත් කියන මාර්ගඵල ලබන්න පුළුව-න්නම් බෝසතාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වෙන්න මිනිස් ලෝකයටම ආවේ ඇයි? කියා ඔබට සිතේවි.බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වය පැතිරුනේ මනුස්ස, බ්‍රහ්ම, දිව්‍ය ලෝක තුළයි. ඒ ශ්‍රාවකයන් අතර මනුස්සයන්ට වඩා දෙවියන් උසස්. දෙවියන්ට වඩා බ්‍රහ්මයන් උසස්. බ්‍රහ්ම ලෝකයේ බුදුවීමට හැකිවුවත් බෝසතාණන් වහන්සේ බ්‍රහ්ම ලෝකයේ ඉපදුණොත් බ්‍රහ්මයන්ට ධර්මය ඇසෙනවා. නමුත් දෙවියන්ටත් මිනිසුන්ටත් ධර්මය ඇසෙන්නේ නැහැ. එක ලෝකයකට පමණක් ධර්මය සීමා වෙනවා. ඒ වගේම දෙවිලොව බුදු වූවානම් දෙවියන්ටත්, බ්‍රහ්මයන්ටත් ධර්මය ඇසෙනවා. නමුත් මිනිසුන්ට ධර්මය ඇසෙන්නේ නැහැ. ඒනිසා උන්වහන්සේ දෙව්ලොව බුදු වුණෙත් නැහැ. මනුස්ස ලෝකයේ සම්බුද්ධත්වයට පත්වුණාම මිනිසුන්ටත්, දෙවියන්ටත්, බ්‍රහ්මයන්ටත් ධර්මය ඇසෙනවා. ඒ ලෝක තුනටම පහසුවක් සැලැසෙනවා. ඒ නිසා ශ්‍රාවකයන් සිටින ලෝක තුනටම ධර්මය දීම බුද්ධ කෘතය යි. ඒ බුද්ධ කෘතය සාර්ථක කර ගන්න පුළුවන්. පහළම තැන සිට ඉහළම තැනට ධර්මය බෙදාදීම සඳහාමයි උන්වහන්සේ මනුස්ස ලෝකයේ බුදු වෙන්නේ.
ඒ වගේම දෙවියන්ටත් මල් පහන් පූජා කරන්න, දන්පැන් පූජා කරන්න පුළුවන්. මහාකාශ්‍යප මහරහතන් වහන්සේ නිරෝධ සමාපත්තියට සමවැදිලා හත්වන දින නැඟී සිටිවිට ශක්‍ර දේවේ-න්ද්‍රයා මෙය දැක දුගී වෙස්ගෙන දුගියෙකු සේ දන් දුන් අයුරු ඔබ දන්නවා. මහාකාශ්‍යප මහරහතන් වහන්සේ එසේ නැවත කරන්න එපා යැයි ශක්‍රයාට අවවාද කළ විට ඔහු කියා සිටියේ “අනේ ස්වාමිනි, මගේ ආයුෂ අඩු වේගෙන යනවා. ඒකයි මම දන් පූජා කළේ” කියා. එසේනම් දෙවියන්ට පුළුවන් ආයුෂ අඩුවෙනවිට නැවත පින්කර ගන්න. ඒ වගේ බොහෝ රහතන් වහන්සේලාට දෙවියන් විසින් දන්දුන් අවස්ථාවන් ගැන සඳහන් වෙනවා. තථාගතයන් වහන්සේගේ දළදා වහන්සේ නමක් දෙව්ලොව සිළුමිණී සෑයේ වැඩ සිටිනවා. ඒ දළදා වහන්සේට ඉතාමත් ගෞරවයෙන් දෙවියන් විසින් මල්පහන් පුදමින් සත්කාර කරනවා. ඒ වගේම මහපරිනිබ්බාන සූත්‍රයේ සඳහන් වෙනවා දෙවියන් විසින් පිරිනිවන් පාන්න සූදානම් තථාගතයන් වහන්සේට මල් වරුසා වස්සවා ගෞරව කළ බව. එහෙමනම් දෙවියන්ට පින් කරන්න බැහැ කියන දේ වැරැදි මතයක්. දෙවියන්ට ධර්මාව-බෝධය සඳහා ඕනෑතරම් ඉඩකඩ තිබෙනවා. එදා බුද්ධ කාලයේ සිටි පින්වත් ශ්‍රාවකයෝ අද දෙව්ලොව ඉපදී තවත් ඉහළ මඟළුල ලබන්න ධර්මය පුරුදු කරනවා ඇති.
එනිසා තථාගතයන් වහන්සේගේ ‘සත්ථා දේවමනුස්සනාං’ සම් බුදුගුණයෙන් හොඳින් තේරුම් ගෙන ඒ ගුණයට සැමදා නමස්කාර කරමු.
නයනා නිල්මිණි

එන්න ධර්මය දකින්න

වල්පොල ගෝතම හිමි

අපට තථාගතයන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මය 'ඒහිපස්සික ධර්මයක්'. එන්න ඇවිත් දකින්න, පුළුවන් කියන ධර්මයක් බව ඔබ දන්නවා. බුදුරජාණන් වහන්සේ ගේ ධර්මය තුළ පැහැදිලිවම දකින්න, අවබෝධ කරන්න දෙයක් තිබෙන නිසා අප මේ ධර්මය ශ්‍රවණය කරද්දී ඒකාන්තයෙන්ම අවබෝධය සඳහාම ලැබෙන ධර්මයක්ම බලාපොරොත්තු වෙන්න ඕන. මේ ශාසනය තුළදී අපට කළයුතු කාරණා හතරක් තිබෙනවා. ඒ අවබෝධ කළයුතු දෙයක්, ප්‍රහාණය කළයුතු දෙයක්, සාක්ෂාත් කළයුතු දෙයක් හා ප්‍රගුණ කරන්න දෙයක් තිබෙනවා.
අද අප නාමරූප කියන්නේ කුමක් ද කියා විමසා බලමු. නාමරූප කියා කියද්දී 'නාම 'කියන්නේ එකක්. 'රූප' කියන්නේ තව එකක්. ‘මච්ච’ කියන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ වදාළා නාම එක අන්තයක්. රූප තව අන්තයක්. මැද තිබෙන්නේ විඤ්ඤාණය ලෙස. ඔබ දන්නවා බට මිටි දෙකක් එකට හේත්තු කළා වගේ කියන උපමාව. එහිදී එක බට මිටියක් නාමරූප. අනෙක් බට මිටිය විඤ්ඤාණය යැයි වදාළා. මේ බට මිටි දෙක එකට එකතු කළාට පස්සේ මෙතැන දෙකක් නැහැනේ. බුදුරජාණන් වහන්සේ වදාළා මේ බටමිටි දෙක එකතු කර තිබෙන තාක් තිබෙනවා. එකක් වැටුන දාට අනෙකත් වැටෙනවා. එහෙනම් පැහැදිලිව නාමරූප වලින් වෙන් වූ දෙයක් ලෙස භාග්‍යවතුන් වහන්සේ මේ විඤ්ඤාණය පැහැදිලි කර දී තිබෙන්නේ.
තථාගතයන් වහන්සේ වදාළා නාම කියන්නේ වේදනා, සංඥා, චේතනා, ඵස්ස, මනසිකාරය ලෙස. රූප කියන්නේ මේවා සමඟ හට ගන්න හේතු වූ සතරමහ ධාතුන්ගෙන් හට ගත්ත දෙයට යි. උදාහරණයක් ලෙස ක්‍රීම් කැකර් බිස්කට් එකක් ගැන හිතන්න. මේ බිස්කට් එක මතක් වූ ගමන් ඔබට මනසිකාරයක් හට ගන්නවා ඒ ක්‍රීම් කැකර් මුල්කරගෙන. ඒ සමඟම විඤ්ඤාණයෙන් ඒ ක්‍රීම් කැකර් දැන ගන්නවා. එතැන මනසත්, ක්‍රීම් කැකර් නම් වූ අරමුණත්, විඤ්ඤාණය නමැති දැන ගැනීමත් යන කරුණු තුනක් තිබෙනවා. මනසයි, අරමුණයි, විඤ්ඤාණය යි කියන මේ කරුණු තුනට තනි නමක් ලෙස ‘ඵස්ස’ නැත්නම් ‘ස්පර්ෂය’ කියනවා. ඒ ස්පර්ෂය නිසා වේදනාවත්, සංඥාවත්, චේතනාවත් හටගන්නවා. මොකක්ද වේදනාව. ක්‍රීම් කැකර්වලට කැමැති කෙනෙකුට සැප වේදනාවක්, එයට අකැමැති අයට දුක් වේදනාවක් හා තව කෙනෙකුට දුකක් හෝ සැපක් නැති උපේක්ෂා වේදනාවක් හට ගන්න පුලුවන්.
ඊළඟට සංඥාව. සංඥාව අපට බඩගිනි හදනවා. මේ බිස්කට් එකක් කන්න කියා එහි ගුණ වර්ණනාව සංඥාව යි. ව්‍යාපාරික- යාගේ සංඥාව සකස් කරන්නේ චේතනාවෙන් වැඩ ගන්නයි. වේදනා, සංඥා, චේතනා හා සංඥාව ආපු ගමන් දැන් මේක මේ වෙලාවට හොඳයි කියා ඒ සමඟම කන්න ඕන කියන චේතනාව පහළ වෙනවා. ඒ චේතනාව මුල් කරගෙන කන්න ඕන ආකාරයට කය හසුරුවනවා. කන්න අවශ්‍ය දේට වචන හසුරුවනවා. හිත හසුරුවනවා. කය, වචනය, සිත හසුරුවලා ඒ චේතනාව මුල් කරගෙන අවශ්‍ය දේ ගන්නවා. දැන් බලන්න ක්‍රීම් කැකර් කියන එක මතක් වනවිට මනසිකාරයත්, ස්පර්ෂයත්, වේදනා, සංඥ, චේතනා කියන පහම හට අරගෙන ඉවරයි. මේ පහටයි නාම කියන්නේ. ඒ නාමයට හේතුවුණේ රූපය යි. රූපය සතරමහ ධාතුන්ගෙන් හටගත් ක්‍රීම් කැකර් එක. මේ නාමය මුල්කරගත් නාමය නිසා දැනගත් රූපය තමා ක්‍රීම් කැකර් එක කියන්නේ. මේ පහම හට ගත්තේ නැත්නම් නාම ධර්ම හටගන්නේ නැත්නම් අප ක්‍රීම් කැකර් එකක් ගැන දන්නේ නැහැ. ඒ මනැස පැත්ත. ඇස ඔස්සේත් මෙය කථා කරන්න පුළුවන්.
බුදුරජාණන් වහන්සේ වදාළා ‘නාමරූප පච්චයා සලායතනං’. නාමරූප නිසා ඇසක් හට ගන්නවා. නාමරූප නිසා ඇසක් හට ගන්නේ කොහොමද? ක්‍රීම් කැකර් එක සතරමහ ධාතුන්ගෙන් හට ගත් දෙයක්. මේ සතරමහ ධාතුන්ගෙන් හටගත් ක්‍රීම් කැකර් ඒකේ තිබෙනවා ඇසට පෙනෙන ස්වභාවයක්. ඒ ඇසට පේන ස්වභාවයටයි රූප කියන්නේ. ඒ ඇසට පේන දේ මුල්කරගෙන මනසිකාරයක් හට ගන්නවා. ඒ මනසිකාරය තුළින් විඤ්ඤාණය ඇතිවෙලා දැන ගන්නවා. එවිට ඇසයි, රූපයයි, ඇසේ විඤ්ඤා- ණය යි තුනම හට අරගෙන. එහෙනම් එතැන තිබෙන්නේ කරුණු තුනේ එකතුව වූ ස්පර්ෂය යි. සතරමහා ධාතුන්ගෙන් හට ගත් ක්‍රීම් කැකර් එක නම් රූප ධර්ම තමා නාම ධර්මයෙන් දැන ගන්නේ. මේ නාම රූප දෙකේ හට ගැනීම නිසා ඒ මොහොතේ ඇස ක්‍රියාකාරි වුණා. යම් තැනක ඇසක් ක්‍රියාකාරි වුණාද එහෙනම් ඒක ආයතනයක්. ක්‍රියාකාරි තැනට අප කියන්නේ ආයතනයක් කියලනේ. අප හිතමු යම් මාධ්‍ය ආයතනයක් පිළිබඳව. ඒක මාධ්‍ය ආයතනයක් බවට පත්වුණේ එහි සේවක පිරිසක් ඉන්නවා. මාධ්‍යයක් හසුරුවන්න දක්ෂ. ඒ පිරිසට උපකාරි වෙන උපකරණ තිබෙනවා. උපකරණ ටිකත් සේවකයොත් අතර යම් ක්‍රියාකාරීත්වයක් ආවද එසේනම් එය ආයතනයක්. මේ නාම ධර්ම වන වේදනා, සංඥා, චේතනා, ඵස්ස, මනසිකාර සේවකයෝ පස් දෙනෙක් වගේ ඒ සේවකයන්ට උපකාරි වන්නේ සතරමහා ධාතුන්ගෙන් හටගත් රූපය යි. ක්‍රීම්කැකර් එක උපකරණය වුණා. ක්‍රීම් කැකර් නම් වූ සතරමහ ධාතුන්ගෙන් හටගත් උපකරණය මුල්වෙලා නාම නම් වූ අර සේවකයෝ වැඩ කරද්දී එතැන ඇසක් ක්‍රියාකාරියි. ඇසක් ක්‍රියාකාරීනම් ඒක ආයතනයක්. කන ඔස්සේත් හට ගන්න පුළුවන්. ක්‍රීම් කැකර් වූ සතරමහ ධාතුවෙන් හටගත් රූපය මුල්වෙලා ඇසට පේන ස්වභාවයයි, රූපයක් ලෙස ක්‍රීම් කැකර් එකක් දැක්කේ. ක්‍රීම් කැකර් එකේ තිබෙනවා කනට ඇසෙන ස්වභාවයක් “කරාස්” යන ශබ්දයක් එහි ඇසෙනවා. එවිට සිදුවන්නේ මනසිකාරයක් හට අරන් ස්පර්ෂයක් හට ගැනීමයි. මනසිකාරය හටගත් ගමන් ක්‍රීම් කැකර් එකේ ශබ්දය මුල්වෙලා එහිදී කනත්, ‘කරස්’ යන ශබ්දයත් විඤ්ඤාණයෙන් දැන ගත්තා. කනින් ඒ ශබ්දය විඤ්ඤා-ණය දැන ගනිද්දී අර කරුණු තුන එකතු වෙලා ස්පර්ෂය හට ගත්තා. ස්පර්ෂය තමා නාම ධර්මයන්ගේ මනසිකාරය සමඟ තිබෙන අනෙක් කරුණ. ස්පර්ෂයත් සමඟ වේදනාවක් චේතනා-වක් සංඥාවක් අර ‘කරස්’ ශබ්දයත් එක්ක හට ගන්නවා. 'කන' ක්‍රියාකාරි වුණා ‘කරස්’ කියන ශබ්දයත් සමඟ කොහොමද ක්‍රියාකාරි වුණේ? ක්‍රීම් කැකර් නම් වූ සතරමහ ධාතුන්ගෙන් හට ගත් රූපය තුළ තිබෙන ඇහෙන ස්වභාවය ඒ නාම ධර්ම උපකාරයෙන් දැන ගත්තා. ඒ නාමධර්ම හටගත් නිසා ක්‍රීම් කැකර් නම් වූ රූපයේ ‘කරස්’ ශබ්දය දැනගත්තා කියන්නේ ඒ වෙලාවේදී කන ක්‍රියාකාරි වෙලා. නාමරූප නිසයි ක්‍රියාකාරි වුණේ. එසේනම් එතැනදී කරස් කියන විටම කන ආයතනයක් වශයෙන් හට ගත්තා. ඒක නාමධර්ම නැති වූ ගමන් නැති වෙනවා. ඇස, කන, අනිත්‍යයි කියන්නේ ඒකයි.
ඇසත් හට ගත්තා වගේම කනත් හට ගත්තා වගේම ක්‍රීම් කැකර් එක මුල් වූ සතරමහ ධාතුවලින් හට ගත් රූපය මුල්වෙලා නාසයක් ක්‍රියාකාරි ආයතනයක් වෙන්න පුළුවන්. නාසයට ක්‍රීම් කැකර් එකේ සුවඳ දැනෙන විටම මනසිකාර හට ගෙන ස්පර්ෂය හට ගන්නවා. ස්පර්ෂ හටගත් විට වේදනා, සංඥා, චේතනා තුනම හට ගන්නවා. දැන් නාම ධර්ම සියල්ලම හට අරගෙන ඉවරයි. නාසයට සුවඳ දැනෙන විටම මේ නාමධර්ම ටික හට ගත්තානම් මේ නාමධර්ම හට ගන්නේ කුමක් දැන ගැනීමෙන් ද? සතරමහ ධාතුන්ගෙන් හට ගත් ක්‍රීම් කැකර් නම් වූ රූප ධර්මය දැන ගැනී-මෙන්. ඒ රූප ධර්මය නාම ධර්මයෙන් දැන ගනිද්දී එතැන ක්‍රියාකාරීත්වයක් හැදිලා. ක්‍රියාකාරීත්වයක් හැදුනා කියන්නේ නාසය ආයතන සමඟ එක්වෙලා අර සුව දැනගත් මොහොතේ. එතැන ‘නාමරූප පච්චයා සලායතනං’. එහෙමනම් ක්‍රීම් කැකර්එක මුල්වෙලා ඇසට පේන ස්වභාවය නිසා ඇස නාමරූප සමඟ ක්‍රියාකාරි වුණා. කනට ‘කරස්’ කියන ශබ්දය ඇසී නාමරූප ධර්ම නිසා කන ක්‍රියාකාරි වුණා.ඒ වගේම ක්‍රීම් කැකර් එකේ තිබෙන නාසයට දැනෙන ස්වභාවය නිසා නාසයත් නාමරූප නිසා ක්‍රියාකාරි ආයතනයක් වෙනවා.ඒ වගේම ක්‍රීම්කැකර් එක දිවට තියනවිට දිවට ඒ රසය දැනෙනවා. එවිටම මනසිකාරය, ස්පර්ෂය හට ගන්නවා. වේදනා, සංඥා, චේතනා, තුනම හට ගන්නවා. රස දැනෙද්දී දිවට නාමධර්ම ටික හට අරගෙන. නාමධර්ම හට ගත්තේ සතරමහ ධාතුන්ගෙන් දැනගන්න ක්‍රීම් කැකර් එක නම් වූ රූප ධර්මය නිසායි. නාම ධර්මයන්ගෙන් රූප ධර්මය දැනගත්විට එය ක්‍රියාකාරී යි. දිිව ක්‍රියාකාරි ආයතනයක් වුණා නාමරූප නිසා. දිව ආයතනයක් ලෙස ක්‍රියාකාරි වුණා ක්‍රීම්කැකර් එකක් මුල් වෙලා. එසේනම් ක්‍රීම්කැකර් එක මුල්වෙලා ඇසට පෙනෙන, කනට ඇසෙන, ස්වභාවය, දිවට දැනෙන ස්වභාවය වගේම කයටත් ක්‍රීම් කැකර් එකෙහි ඇති ගොරෝසු, සියුම් පහසක් දැනෙනවා. එවිටත් කයට දැනුන ඒ පහස මුල්වෙලා නාම ධර්ම පහ හට ගන්නවා. මනසිකාර, ස්පර්ෂ, වේදනා, සංඥා, චේතනා හට ගන්නවා. ඒ නාමධර්ම ටික හටගන්නේ රූප ධර්ම මුල්වෙලයි. ඒ වගේම ක්‍රීම්කැකර් එක අල්ලන විට නාමරූප හට ගන්නවා. නාමාරූප හටත්විට ඒ නාමරූප නිසා සලායතන වශයෙන් කය ආයතනයක් වෙලා ඒ කියන්නේ ක්‍රීම් කැකර් එක මනසට මතක් වන විටම, ක්‍රීම් කැකර් වූ රූප ධර්මය මුල් වෙලා නාම ධර්ම හට අරගෙන ක්‍රීම් කැකර් වූ රූප ධර්මය මනසින් දැන ගත්තා. එවිට මනස ක්‍රියාකාරි ආයතනයක් වුණා.
නයනා නිල්මිණි