දුටුගැමුණු රජු කල පිරිණිවන් පෑ මලියදේව හිමියන් ලංකාවේ අන්තිම රහත් තෙරනම නොවේ. සැබැවින්ම, අද වුව රහතුන් බිහි විය හැකිය. ඒ සදහා අවශ්‍ය වන්නේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ ශ්‍රී සද්ධර්මය සීල සමාධි ප්‍රඥා වශයෙන් දියුණු කොට සාක්ෂාත් කිරීමයි.

ඔබත් බුදුරදුන් පෙන්වා වදාළ උත්තම දහම් මාර්ගයේ ගමන් කරන්න


Powered by දහම් විල


ලිපි සඳහා පහත මාසය අනුව ලිපි පටුන බලන්න

වතාවත් කිරීමයි සිල් පිරීමයි

හාපිටිගම කල්එළිය 
ජයසුමනාරාම මූල මහා විහාරයේ 

මක්කානිගොඩ අස්සජි හිමි

සම්බුදුදහම සිව්වනක් පිරිස සීල සමාධි ප්‍රඥා යන ත්‍රිවිධ ශික්ෂා මාර්ගයෙහි ක්‍රමිකව හික්මවමින්, යොදවමින්නිර්වාණගාමිණිප්‍රතිපදාව වෙත සමීප කරවන දහමකි. ඒ සඳහා අනුපූර්ව වැඩපිළිවෙළක් දේශිතය. චරිතය සකස් කිරීමත්, මනස හික්මවීමත්, නුවණැසින් ලෝකය හා ජීවිතය විනිවිද දැකීමත් එමඟින් නිර්දේශිතය. නිර්වාණගාමී ප්‍රතිපදාවේ මූලය ශීලයයි. කාය වාග් සංවරය ඇති කොට පුද්ගලයාගේ බුද්ධිය අවදි කිරීම අත්‍යවශ්‍ය වූවකි. සීලයෙන් පිරිසුදුවම එය කළ යුතු ය.
යෝචාවචර ජීවිතයක් ගත කරන්නකු තම සීලාදී ගුණ ධර්ම පූරණයෙහි දී වතාවත් කිරීම අවශ්‍යම කරුණකි. චුල්ලවග්ග පාලියෙහි සඳහන් කරන පරිදි වත් නොපුරන්නේ නම් සිල් නොපුරයි. අපිරිසුදු සිල් ඇති අනුවණයා, චිත්ත සමාධිය නොලබන බව එහි සඳහන් වෙයි. සිල් වර්ග කරන අවස්ථාවේ දී අභිසමාචාරික හා ආදි බ්‍රහ්මචරියක යනුවෙන් කොටස් දෙකකට බෙදා දක්වා ඇත. බ්‍රහ්මචර්යාවට මුල්වන ශික්ෂාවන් ආදි බ්‍රහ්මචරියක ශික්ෂාවන් වන අතර උසස් හැසිරීමට ඉවහල්වන පිළිපැදීම් ආභිසමාචාරික නම් වෙයි. ධර්මානුධර්ම ප්‍රතිපත්තියට ජීවත්වන අනුගාමිකයින් ඊට අදාළ වූ උසස් චර්යාවන් ප්‍රගුණ කළ යුතුය. නැතිනම් වතාවත්වල යෙදිය යුතු ය.
භික්ෂු ජීවිතයෙහි හැඩගැස්ම ඇතිවන්නේ සාමණේර අවධියේ පටන් ය. දහර සාමණේර සාමණේරීන් විසින් අනුගමනය කළයුතු වත් පිළිවෙත් ආරාමික ජීවිතයේ ප්‍රකට ලක්ෂණයක් විය. වැඩිහිටියන් නවක පැවිද්දන්ට ආදර්ශයක් වන ලෙස ඉහත සඳහන් කළ ආභිසමාචාරික වත් පිළිවෙත් හි යෙදීම සිදුවිය. ඒ අනුව පැවිද්දන් විසින් අනුගමනය කළයුතු වත් දහහතරක් සඳහන්ව ඇත.
එම වත් නම් 1. උපාධ්‍යාය වත 2. සද්ධි විහාරික වත 3. ආචාරිය වත 4. අන්තේවාසික වත 5. ආගන්තුක වත 6. ආවාසික වත 7. ගමික වත 8. අනුමෝදනා වත 9. භක්තාග්‍ර වත 10. පිණ්ඩපාත වත 11. ආරණ්‍ය වත 12. සේනාසන වත 13. ජන්තාපර වත 14. වැසිකිලි වත යන වත් ය. උපාධ්‍යායන් වහන්සේ යනු පැවිදි ජීවිතයට ඇවැසි ධර්මඤාණය ලබාදෙමින් ශ්‍රමණ සාරුප්‍ය ලෙස අරඹා දිවිපෙවත පිළිබඳව ගුරුහරුකම් ලබා දෙන වැඩිමහලු භික්ෂුවක් ය. සමීපයෙහි වෙසෙමින් අවශ්‍ය උපදේශයන් ලබා ගනිමින් උපාධ්‍යයන් වහන්සේ සමීපයෙහි වාසය කළ යුතු වෙයි. විශේෂයෙන් නිස සමාදන් විය යුත්තේ ද උපාධ්‍යයන් වහන්සේ වෙතිනි. උපසම්පදාවට පත්වන නවක භික්ෂූන් වසර පහක් ගතවෙනතුරු උපාධ්‍යයන් වහන්සේ ආශ්‍රයෙහි නිස සමාදන්ව වාසය කළ යුතු ය. වසර පහක අවමයකට යටත් වාසය කිරීමට බැඳී සිටී. එම නියමිත වසර පහ තුළ අපේක්ෂිත ධර්ම විනය ඤාණය ප්‍රමාණවත් නොවන්නේ නම් තවත් වසර පහක් හෝ ඊට වඩා කාලයක් හෝ නිස සමාදන්ව සිටිය යුතු ය. උපාධ්‍යයන් වහන්සේ සෑහීමට පත්වන ආකාරයෙන් ක්‍රියා කළ යුතු ය. ප්‍රවෘජ්‍යාවෙහිදීත් උපසම්පදාවෙහිදීන් උපාධ්‍යායග්‍රහණය කළයුතු බව නියමයකි.
උපාධ්‍යයන් වහන්සේ පිළිබඳව චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානප්‍රත්‍ය යන සිව්පස පිළිබඳ සොයා බැලීම, සම්පාදනය කරදීම, පිළිගැන්වීම, අස්පරස්කර තැබීම, පිරිසුදු කිරීම වැනි කාරණා වතාවත් ලෙස දක්වා ඇත. ආචාර සමාචාර දැක්වීම්, විනය ධර්ම විචාරා දැන ගැනීම, උන්වහන්සේ නොවිමසා කටයුතු නොකිරීම, වැනි වතාවන් හැටකට ආසන්න ප්‍රමාණයක් දැක්වෙයි. මේ මඟින් උපාධ්‍යායන්වහන්සේ හා සද්ධිවිහාරිකයන් වහන්සේ අතර මනා බැඳීමක් ගොඩනැගෙන අතර ධර්ම විනය ප්‍රගුණ වීමත්, ශික්ෂාකාමී බව වර්ධනය වීමත්, සුවච කීකරු ගුණ වර්ධනයත් ඉක්මන් ධර්ම මෝක්ෂ ප්‍රතිලාභයක් සැලසෙන බව ඉතා පැහැදිලිය. උපාධ්‍යායන් වහන්සේගේ ගුණය ශීලය රැකදීමත් සද්ධිවිහාරිකයාගේ කාර්යක් බව “උපාධ්‍යායන්වහන්සේ ඇවතකට ආසන්නව කථා කෙරේ නම් අවසරගෙන වැළැක්විය යුතුය.’ ඉඳින් උපාධ්‍යායන් වහන්සේට ශාසනයේ අනභිරතියක් උපන්නේ නම් එය සන්සිඳුවිය යුතු ය. සුදුස්සකු ලවා හෝ සන්සිඳු විය යුතු ය. ධර්ම කතාවක් හෝ කළ යුතුය. එමෙන්ම උපාධ්‍යායන් වහන්සේට කුකුසක් හෝ උපන්නේ ද දෘෂ්ටිගතියක් හෝ උපන්නේ ද සද්ධිවිහාරික නම විසින් විසඳාලිය යුතුය. සුදුස්සකු ලවා හෝ විසඳවාලිය යුතු ය. ධර්ම කතාවක් හෝ කළ යුතු ය. යන වතාවත් වලින් පැහැදිලිය. උපාධ්‍යායන් වහන්සේගේ ආජීව පාරිශුද්ධිය පිළිබඳවද තමන්ටත් වගකීමක් ඇති බව මේ කරුණුවලින් තහවුරු කර ඇත.
“සද්ධිවිහාරික වත්” යටතේ උපාධ්‍යායන් වහන්සේ තම සද්ධි විහාරිකයා වෙනුවෙන් කළයුතු වතාවන් සඳහන් වෙයි. අසනීප කරදරයකට පත් වූ සද්ධිවිහාරිකයාට පැන් තැබීම, දානය පිණ්ඩපාතය බෙදීම, ශුද්ධපවිත්‍ර කිරීම උපස්ථාන කිරීම කළ යුතු ය. එමෙන්ම ගුණයෙන් සීලයෙන් පිරිහෙන්නේ නම් ඒවායින් මුදාගෙන ආරක්ෂා කිරීම උපාධ්‍යවරයාගේ වගකීමක් ද වෙයි.
අනතුරුව සඳහන්වන “ආචාර්ය වත” හා “අන්තේවාසික වත” ඉහතින් සඳහන් කළ “උපාධ්‍යාය හා සද්ධිවිහාරික වත”ට සමාන වෙයි. එම නියමයන් පිළිපැදීමෙන් එම වතාවත් සිදු කළා වන්නේ ය. ආචාර්යවරයා යනු පැවිදි උපසම්පදාවේ දී ගුරු තනතුරේ පිහිටන කෙනාය. ශිෂ්‍යයා පිළිබඳ සම්පූර්ණ වගකීම දරනුයේ උන්වහන්සේය අන්තේවාසිකයා යනු අතවැසි පුද්ගලයා ය. එනම් තම විහාරස්ථානයෙහි වාසය කරන ගෝලයින් ය. ඔවුනොවුන් පිය පුතු සඤ්ඤාවෙන් ක්‍රියා කළ යුතු යනු විනය නියමයයි. දෙමාපියන්ගෙන් ඈත් වූ දරුවාට දෙමාපියන් වන්නේ ආචාර්ය උපාධ්‍යායවරුන්මය.
භික්ෂු ජීවිතය “පරපටිබද්ධ” වූවකි. එනිසා බොහෝවිට චාරිකාවේ සැරිසරමින් මහජනයාට හිතසුව පිණිස ක්‍රියා කළහ. ඒ යන ගමනේ දී අතර මඟ හමුවන ආරණ්‍යයක, සේනාසනයක නැවතීයෑම පිළිවෙතයි. එබඳු අවස්ථාවේ දී ආගන්තුකව පැමිණෙන භික්ෂූන් පිළිගෙන අවශ්‍ය පහසුකම් සලසාලීම නේවාසික භික්ෂූන්ගේ වගකීමයි. ඒ වෙනුවෙන් නියමිත වතාවත් සමූහයකි. එමෙන්ම ආගන්තුකව පැමිණෙන්නෙන් ද පිළිපැදිය යුතු වතාවත් ඇත. ආගන්තුක වත තුළින් පෙන්වා දී ඇත්තේ එසේ ආගන්තුකව පැමිණෙන්නන් සතු කාර්ය භාරයයි. තමන් පැමිණි තැන ඇති වැඩපිළිවෙළ හඳුනාගෙන එම ආරාමික පරිසරයට හානියක් නොවන ලෙස හැසිරිය යුතු ය. ක්‍රියා කළ යුතු ය. එම ස්ථානයෙහි ඇති උපකරණ ද්‍රව්‍ය ආරක්ෂා කළ යුතු ය. පිරිසුදුව පරිහරණය කළ යුතු අතර තමා පිටවී යන විට අනතුරුව එන අයට ප්‍රයෝජනයට ගත හැකි ආකාරයෙන් අව්වේ වේලා පිළිවෙලකට අසුරා තබා යා යුතු ය. වැසිකිලි කැසිකිළි පිරිසුදු කර තැබීමද වතාවතකි.
“ආවාසය” යනු නේවාසිකාගාරයයි. නැතහොත් “පන්සලයි” ආවාසයක වැඩවාසය කරන භික්ෂූන් වහන්සේලා විසින් පිළිපැදිය යුතු වත ආවාසික වතයි. විහාරස්ථානයක තිබිය යුතු අංගෝපාංග ක්‍රමිකව තබා ගෙන එන යන භික්ෂූන් වහන්සේලාගේ සුවපහසුව ආරක්ෂාව සුරැකෙන ලෙසින් ක්‍රියා කිරීම නේවාසික භික්ෂූන්ගේ වගකීම වෙයි. විහාරස්ථානයට වඩින වැඩිහිටි හිමිවරුන් පිළිගැනීම, පාසිවුරු ගෙන නිසිතැන්හි තැන්පත් කිරීම පැන් පහසු කිරීම, ගිලන්පස පිළිගැන්වීම පවන් සැලීම වැනි වතාවත් කළ යුතු ය. පිටතින් ආගන්තුකව පැමිණෙන අයගේ පහසුව තකා විහාරස්ථානයේ වැඩපිළිවෙළ කියාදිය යුතු ය. විහාරස්ථානයෙහි ආගමික වතාවත් සිදුකරන පිළිවෙළ, දන් පැන් වළඳන වේලාවන් දැන්වීමාදිය ද ඊට අයත් වේ.
“ගමිකවත” නමින් හැඳින්වෙන්නේ ගමනාරම්භක භික්ෂූන් විසින් පිළිපැදිය යුතුවතයි. තමන් සිටි ස්ථානයේ උපකරණ ආදියෙහි ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත්ව ක්‍රියා කළ යුතුය. ඒවා රැක තබා යාමත් අන්‍ය පිරිසකට පරිභෝගයට අවස්ථාව සැලසීමත් ඉන් අදහස් කෙරේ.
“අනුමෝදනා වත” යනුවෙන් සඳහන් වන වත දානය වළඳා අවසන දායකයන්ගේ සිතේ සතුට වඩන ආකාරයෙන් කළයුතු අනුශාසනයයි. එය බුද්ධ නියමයකි.පිරිසේ සිටින ප්‍රධාන භික්ෂූන්වහන්සේ නමක් විසින් එය ඉටුකළ යුතු ය. “අනුමෝදනා වත සපුරන තෙර නමට ථෙරානුථෙර සතර පස්නමක් රැඳී සිටිය යුතු බවට නියමයක් පනවා ඇත. කළ පින්කම පිළිබඳව අනුව සිතා සතුටට පත්වීමට එමඟින් දායකයාට අවස්ථාව ලැබේ. බුද්ධ කාලයේ දී එලෙස අනුමෝදනා අවස්ථාවේ දී මඟඵල ලැබූ දායකයන් පිළිබඳ කතා පුවත් ඇත.
නව වෙනිව සඳහන් වන්නේ “භත්තාග්‍ර වතයි” එනම් දානය වළඳන ශාලාවේ වතයි. තමන් වාසය කරන විහාරස්ථානයෙහි නිර්මිත දැනුම් දීම අනුව විනයෙහි දක්නා පරිදි පා සිව්රු දරා පිණ්ඩපාතය සඳහා වැඩිය යුතු ය. මහජනයාගේ ප්‍රසාදය වැඩෙන ලෙස හැසිරෙමින් පිණ්ඩපාතය ලබාගෙන දානශාලාව වෙත පැමිණ වටපිට නොබලා දානය වැළඳිය යුතු ය. දාන ශාලාව අපිරිසුදු නොවන ලෙස ඉඳුල් වතුර බැහැර කිරීම ද වතකි. සියලුම භික්ෂූන් වහන්සේලා දානය වළඳා අවසන්වන තුරු අත නොසේදීම ද වතකි. දානය දෙන දායකයන්ගේ ප්‍රසාදයත් භික්ෂූන්ගේ විනයානුකූල පැවැත්මත් රැකෙන වැඩපිළිවෙළක් එයට අන්තර් ගත ය.
“පිණ්ඩචාරිකා වත” දසවැනිව සඳහන් වේ. භික්ෂුව පිඬු පිණිස හැසිරීමේ දී ශාසනානුලෝමික විය යුතු ය. ඒ සඳහා ගම් පිවිසෙන භික්ෂුව සිවුර හැඳීමේදී තෙමඩුළු වසා පිරිමඩුළුකොට අඳනය හැඳ බඳපටිය බැඳ තනිපොට සිව්රත් දෙපට සිවුරත් එක්කොට පොරවා ගණ්ඨිපාස ගැට ගසා සෝදාගත් පාත්‍රය ගෙන සන්සුන්ව සංවරව ගමට පිවිසිය යුතු ය. පිණ්ඩපාතය බෙදනු කැමතිද? යන්න දායකයන්ගේ ඉරියව්වලින් හැඳිනගෙනම ඒ තැනට යායුතු අතර වම් අතින් සඟල සිවුරු කොන ඔසවා පාත්‍රය විවෘත කර දායකයාට බෙදීමට හැකිවන ලෙස සිටිමින් පිළිගත යුතු ය. පිණ්ඩපාතය ලබාගත් පසු දානශාලාවට පැමිණ ආසන පැනවීම, පැන්තැබීම ආදිය කළ යුතු ය. අන් අයගේ පහසුව සැලසීම කෙරෙහි තමන් අවධානය යොමු කළයුතු බව මේ වත්වලින් අවධාරණය කොට ඇත.
එකොළොස් වැනිව දක්වා ඇත්තේ “ආරණ්‍ය වත”යි බුද්ධකාලීන බොහෝ භික්ෂූහු ආරණ්‍යයකම විසූහ. ආරණ්‍යයක වසන විට තමතමන් විසින් පිරියයුතු වත් පිළිවෙත් ගැන මනාව දැන සිටිය යුතු ය. බුදුරජාණන් වහන්සේ වැඩසිටි අවධියෙහි එක්තරා ආරණ්‍යයක වැඩ සිටි භික්ෂූන් එහි ජලය ආදිය සම්පාදනය නොකොට දිශානුදිශා ආදිය නොදැන වාසය කළහ. දිනක එක්තරා හොරු පිරිසක් එහි පැමිණ පැන් ඉල්ලූහ. ගිනිගානාදඬු හා ගින්දර ගැනත්, නැකැත් ගැනත්, දිශා අනුදිශා ගැනත් ඇසූහ. ඒ අවශ්‍යතා ඉටුකරලීමට එම භික්ෂූන් අපොහොසත් වූයෙන් හොරුන් වෙතින් පහර කෑහ. එය අරමුණු කරගෙන ආරණ්‍යවාසීන් පිළිපැදිය යුතු වත් පැනවීමට තීරණය කර ඇත. වේලාසනින් අවදිවී බණ භාවනා කටයුතුවල යෙදීම, බඩු බාහිරාදිය සුරක්ෂිතව තබා පිඬු පිණිස හැසිරීම, සංවර ලෙස ගමන් කිරීම, සඟල සිවුරු දැරීම, ජලය හා ගිනිගානා දඬු සපයා තැබීමාදිය එයට ඇතුළත්ව ඇත.
අනතුරුව දක්වා ඇත්තේ “සේනාසනවත්” ය. සේනාසනය ශුද්ධ පවිත්‍ර කිරීම, පාත්‍රාසිව්රු තැන්පත් කරන අයුරු, ගී‍්‍රෂ්ම හා වර්ෂා කාලවල දොර ජනෙල් භාවිතා කිරීම වැසිකිළි කැසිකිළි පවිත්‍ර කිරීම, වැඩිහිටි අය නොවිමසා කටයුතු නොකිරීම වැනි කරුණු ඊට ඇතුළත්ය.
දහතුන්වන වත “ජන්නාඝ වතයි” එනම් නාන පැන් පහසුවන ස්ථානය සම්බන්ධ වත්ය. පැන් සැකසීමේ දී අධික ලෙස, දර යොදා ගිනි නොදැල් විය යුතු මෙන්ම වැඩහිටි අණට කීකරු විය යුතු බවත් එහි සඳහන් ය. එහි පවිත්‍රතාවය රැක ගැනීමට ක්‍රියා කළ යුතු ය. වැඩිහිටි ස්වාමීන්වහන්සේලාට පැන් පහසුව සඳහා උදව්දීමත් හා අවසන් වූ අයට බාධා නොවන ලෙස නෑමත් වැදගත්ය. අවසානයට පැන්තොටට ගිය කෙනා මැටි ආදී සියල්ල සෝදා පවිත්‍ර කොට ගිනි නිවා දොර වසා පුටු ආදිය අසුරා තැබිය යුතු බවද සඳහන් වෙයි.
අවසාන වශයෙන් සඳහන් වන්නේ “වැසිකිළි වතය” විහාරාරාමයක ඉතා පවිත්‍රව තිබිය යුතු අංගයකි, වැසිකිළිය. ශරීර කෘත්‍ය කිරීමේ දී වැඩිහිටි පිළිවෙල (වෘද්ධපටිපාටිය) අනුදැන නැත. එම ස්ථානයට ආ අනුපිළිවෙල අනුව එම කාර්ය කළ හැකිය. පැමිණි පිළිවෙලින් සිට උගුර පෑදීමන් ඇතුළත කෙනෙකු සිටින්නේ නම් ඔහුත් උගුර පෑදීමත් කළයුතු ය. සෝදන බඳුනෙහි ජලය ඉතිරි නොකළ යුතු ය. පුසන් කුරු (කසළ මඟ රැඳෙන කොටස් ඉවත් කරන ඉරටු) භාජනය පිරී ඇත්නම් ඒවා ඉවත් කළ යුතු ය. නිතර වැසිකිලිය පවිත්‍රව තබා ගත යුතු ය. බුද්ධකාලයෙහි වැසිකිළි බඳුනක ජලය ඉතිරිකොට යාම නිසා විනයධර හා ධර්මධර භික්ෂූන් දෙපිරිස අතර වාදවිවාද ඇතිවිය. ඔවුන්ට සමඟි වන ලෙස බුදුරජාණන් වහන්සේ අවවාද කළත් සමඟි වී නැත. එනිසා අවවාදයක්ම නොවූ භික්ෂූන් අතහැර බුදුරජාණන් වහන්සේ පාරිලෙයියක වනයට වැඩම කළ බව ඉතා ප්‍රකටය.
ඉහතින් සඳහන් කළ වත් පිරීමෙන්ම සිල් පිරෙන බවත් එය චිත්තසමාධියට හේතුවක් වන බවත් විදර්ශනා නුවණින් ධර්මය දකින එබඳු තැනැත්තා නිවන ලබන බවත් චුල්ලවග්ගපාලියෙහි දී දක්වා ඇත. වත් නොපුරන තැනැත්තා සිල් පිරීම නොකරන බවත් අපිරිසුදු සිල් ඇති නුවනැති තැනැත්තාට සිත එකඟ කර ගත නොහැකිය. එකඟ නොවූ විසිරුණු සිත් ඇත්තේ මොනවට දහම් නොදකී. සදහම් නොදකින තැනැත්තා දුකෙන් නො මිදෙයි. වත් පුරන තැනැත්තා සිතේ එකඟ බව ලබනු ඒකාන්තය. ඔහු ඤාණවන්තයෙකි. නුවණින් ජීවිතය හා ලෝකය විනිවිද දැකීමෙහි සමත්ය. සදහම් දකින්නා සියලු දුකෙන්ම අත්මිදීම ලබන්නේ ය.
අනතුරුව දක්වා ඇත්තේ “සේනාසනවත්” ය. සේනාසනය ශුද්ධ පවිත්‍ර කිරීම, පාත්‍රාසිවුරු තැන්පත් කරන අයුරු, ගී‍්‍රෂ්ම හා වර්ෂා කාලවල දොර ජනෙල් භාවිතා කිරීම වැසිකිළි කැසිකිළි පවිත්‍ර කිරීම, වැඩිහිටි අය නොවිමසා කටයුතු නොකිරීම වැනි කරුණු ඊට ඇතුළත්ය.
දහතුන්වන වත “ජන්නාඝ වතයි” එනම් නාන පැන් පහසුවන ස්ථානය සම්බන්ධ වත්ය. පැන් සැකසීමේ දී අධික ලෙස, දර යොදා ගිනි නොදැල් විය යුතු මෙන්ම වැඩහිටි අණට කීකරු විය යුතු බවත් එහි සඳහන් ය. එහි පවිත්‍රතාවය රැක ගැනීමට ක්‍රියා කළ යුතු ය. වැඩිහිටි ස්වාමීන්වහන්සේලාට පැන් පහසුව සඳහා උදව්දීමත් හා අවසන් වූ අයට බාධා නොවන ලෙස නෑමත් වැදගත්ය. අවසානයට පැන්තොටට ගිය කෙනා මැටි ආදී සියල්ල සෝදා පවිත්‍ර කොට ගිනි නිවා දොර වසා පුටු ආදිය අසුරා තැබිය යුතු බවද සඳහන් වෙයි.
අවසාන වශයෙන් සඳහන් වන්නේ “වැසිකිළි වතය” විහාරාරාමයක ඉතා පවිත්‍රව තිබිය යුතු අංගයකි, වැසිකිළිය. ශරීර කෘත්‍ය කිරීමේ දී වැඩිහිටි පිළිවෙල (වෘද්ධපටිපාටිය) අනුදැන නැත. එම ස්ථානයට ආ අනුපිළිවෙල අනුව එම කාර්ය කළ හැකිය. පැමිණි පිළිවෙලින් සිට උගුර පෑදීමන් ඇතුළත කෙනෙකු සිටින්නේ නම් ඔහුත් උගුර පෑදීමත් කළයුතු ය. සෝදන බඳුනෙහි ජලය ඉතිරි නොකළ යුතු ය. පුසන් කුරු (කසළ මඟ රැඳෙන කොටස් ඉවත් කරන ඉරටු) භාජනය පිරී ඇත්නම් ඒවා ඉවත් කළ යුතු ය. නිතර වැසිකිලිය පවිත්‍රව තබා ගත යුතු ය. බුද්ධකාලයෙහි වැසිකිළි බඳුනක ජලය ඉතිරිකොට යාම නිසා විනයධර හා ධර්මධර භික්ෂූන් දෙපිරිස අතර වාදවිවාද ඇතිවිය. ඔවුන්ට සමඟි වන ලෙස බුදුරජාණන් වහන්සේ අවවාද කළත් සමඟි වී නැත. එනිසා අවවාදයක්ම නොවූ භික්ෂූන් අතහැර බුදුරජාණන් වහන්සේ පාරිලෙයියක වනයට වැඩම කළ බව ඉතා ප්‍රකටය.
ඉහතින් සඳහන් කළ වත් පිරීමෙන්ම සිල් පිරෙන බවත් එය චිත්තසමාධියට හේතුවක් වන බවත් විදර්ශනා නුවණින් ධර්මය දකින එබඳු තැනැත්තා නිවන ලබන බවත් චුල්ලවග්ගපාලියෙහි දී දක්වා ඇත. වත් නොපුරන තැනැත්තා සිල් පිරීම නොකරන බවත් අපිරිසුදු සිල් ඇති නුවනැති තැනැත්තාට සිත එකඟ කර ගත නොහැකිය.
එකඟ නොවූ විසිරුණු සිත් ඇත්තේ මොනවට දහම් නොදකී. සදහම් නොදකින තැනැත්තා දුකෙන් නො මිදෙයි. වත් පුරන තැනැත්තා සිතේ එකඟ බව ලබනු ඒකාන්තය. ඔහු ඤාණවන්තයෙකි. නුවණින් ජීවිතය හා ලෝකය විනිවිද දැකීමෙහි සමත්ය. සදහම් දකින්නා සියලු දුකෙන්ම අත්මිදීම ලබන්නේ ය.