දුටුගැමුණු රජු කල පිරිණිවන් පෑ මලියදේව හිමියන් ලංකාවේ අන්තිම රහත් තෙරනම නොවේ. සැබැවින්ම, අද වුව රහතුන් බිහි විය හැකිය. ඒ සදහා අවශ්‍ය වන්නේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ ශ්‍රී සද්ධර්මය සීල සමාධි ප්‍රඥා වශයෙන් දියුණු කොට සාක්ෂාත් කිරීමයි.

ඔබත් බුදුරදුන් පෙන්වා වදාළ උත්තම දහම් මාර්ගයේ ගමන් කරන්න


Powered by දහම් විල


ලිපි සඳහා පහත මාසය අනුව ලිපි පටුන බලන්න

ධර්ම දායාදය ලබමු. සදහම් සරණ යමු.!!!

(ධර්ම රත්නය ධර්ම ගරුත්වය සහ ධර්ම සන්නිවේදනය-දෙවන කොටස.) නමෝ තස්ස භගවතෝ අරහතෝ, සබ්බ ධම්මේහි අප්පටිහත ඥානචාරස්ස, දසබල ධරස්ස, චතු වේසාරජ්ජ විසාරදස්ස, සබ්බ සත්තුත්තමස්ස, ධම්මිස්සරස්ස, ධම්ම රාජස්ස, ධම්මස්සාමිස්ස, තථාගතස්ස සබ්බඤ්ඤුණෝ සම්මා සම්බුද්ධස්ස…!. !!.. !!! 

“පින්” යනු සැපයට නමකි. බෞද්ධයෝ පින් කැමති වෙති. නිවන් දකිනා තාක් අපට පිහිටට එන්නේ පිනය. මේ ලිපිය ලිවීමෙන් මම පින් පුරා ගනිමි. ධර්ම ගෞරවයෙන්ම ධර්මය ලිවීමෙන් කීමෙන් මහත් කුසලයක් පිනක් සිදුකරගත හැකිය. එය සසර දුකින් මිදී නිවන සාක්ෂාත් කිරීම පිණිසත් මෙලොව අභියෝග ජය ලැබීම පිණිසත් උපකාර වෙයි. ඇසීමෙන්, පැහැදීමෙන්, නිවැරදිව ඉගෙනීමෙන්, මතක තබා ගැනීමෙන් සහ ජීවිතයට මුසු කර ඒ අනුව පිළිපැදීමෙන් සැබෑම යහපත දියුණුව සලසන සියල්ල අතරින් භාග්‍යවතුන්වහන්සේගේ ශ්‍රී සද්ධර්මයම ප්‍රධාන ද අද්විතීයද වෙයි. එයට හේතුව පළමු ධර්මයෙහි ස්වාක්ඛාත ගුණයයි. එනම් මුල, මැද, අග මනාව දේශනා කර තිබීමයි. අඩුත් නැති වැඩිත් නැති සියලු අතින් පරිපූර්ණ යම ඉගැන්වීමක් වෙයිද, මේ විශ්වයෙහි එවැනි එකම ඉගැන්වීම භාග්‍යවත් අරහත් සසම්මා සම්බුදු රජාණන් වහන්සේලාගේ ශ්‍රී සද්ධර්මයම පමණි. අනෙකුත් සියලුම දහම්, ඉගැන්වීම්, විෂයයන් සර්වඥ වූ තථාගත සම්මා සම්බුදු වරයෙක්හු විහින් දේශනා කරන ලද්දේ නොවෙයි. එබැවින් ඒ සියල්ල අසම්පූර්ණය.

භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය සැබවින්ම ආශ්චර්යමත්ය. ධර්මය මෙලොවදීම සුන්දර විපාක ගෙන දෙයි. දහම “සන්දෘෂ්ටික” යයි කීවේ එබැවිනි. එය කල් නොයවාම ප්‍රතිවිපාක ගෙනදෙයි. එනම් අකාලික ගුණයෙන් යුතුය. දහම් ගුණ පාඨ පිලිබඳ පැහැදිලි විස්තරයක් පසුගිය ලිපියෙහි සඳහන් විය. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයෙහි ඇති මේ අසිරිමත් බව ධර්මය අසන කියවන සමහර දෙනෙකුට තේරුම ගන්නට නොහැකි වී ඇත්තේ භාග්‍යවතුන් වහන්සේගේ හෝ ධර්මයෙහි වරදින් නොව ඔවුන්ගේම වරදිනි. ධර්මය පෙන්වන සැබෑ සහනය ඔබටත් මටත් දුරින් ඇති දෙයක් වන්නේ ධර්මයේ සංදෘෂ්ටික ගුණයෙහි හෝ අකාලික ගුණයෙහි අඩුවක් නිසා නොව අපේම දුර්වලතා නිසාය. ධර්මය ගැන කෙස් පැලෙන තර්ක කරමින් ඒ ඇසුරින් න්‍යායාචාර්ය වරුන් වීමෙන් සමහර කාලික ප්‍රයෝජන සහ සුළු සුළු ප්‍රතිලාභයන් ලබන්නට හැකි නමුත් ධර්මයේ සැබෑ දායාදයට එය ඉතා දුරය. එනිසා ධර්මයේ සැබෑ දායාදයට උරුම කරුවන් වන ලෙසින් ධර්මයෙහි පිහිට මෙලොවදීම ලද හැකි පරිදි කටයුතු කිරීමට ක්‍රියා කල යුතුය. ඒ සඳහා මග පෙන්වන අප තිලෝගුරු භාග්‍යවත් අරහත් සම්මා සම්බුධු රජාණන් වහන්සේ විසින්ම දේශිත උතුම් වූ සුත්‍ර දේශනා දෙකක් විග්‍රහ කිරීම මෙම ලිපියේ අරමුණයි. 

සොතානුධත සූත්‍රය

සොතානුධත සූත්‍රය (සිංහල කියවීම “සෝතානුධත සූත්‍රය” වශයෙනි) ත්‍රිපිටකයෙහි සූත්‍ර පිටකයෙහි අංගුත්තර නිකායෙහි චතුක්ක නිපාතයෙහි චතුත්ථපණ්නාසකයෙහි මහා වග්ගයෙහි එන පළමු සූත්‍ර දේශනාවයි.

නිධාන කථාව
භාග්‍යවතුන් වහන්සේ මෙම උතුම් සූත්‍ර දේශනාව දේශනා කරන ලද්දේ ධර්මය ඇසීමෙහි උනන්දු නොවූ භික්ෂූන් වහන්සේලා පන්සීය නමක් අරමුණු කරගෙනය. බ්‍රාහ්මණ වංශයෙහි ඉපිද සියලු වේද ග්‍රන්ථ සහ ශාස්ත්‍ර හදාරා සිටි උගත් බමුණන් පන්සීය දෙනෙක් බුදු සසුනෙහි මහණ වූහ. අනතුරුව ඔවුන් ත්‍රිපිටකය සහ අට්ටකතා උගෙන ධර්මය ඇසීමට උනන්දු නොවී මද වූ දහම් ගෞරව ඇතිව සිටියහ. මේ හේතුවෙන් ධර්මය කෙරෙහි පිළිපැදිය යුතු ආකාරයත් එසේ පිළිපැදීමෙන් ලැබෙන ආනිශංසයත් දක්වමින් භාග්‍යවතුන් වහන්සේ මෙම සූත්‍රය දේශනා කරන ලදී.
නවාංග ශාස්තෘ ශාසනය
සොතානුධතා සූත්‍රයෙහි “ධර්මය” ලෙස භාග්‍යවතුන් වහන්සේ විසින් විග්‍රහ කර දක්වන්නේ නවාංග ශාස්තෘ  ශාසනයයි. එනිසා පළමුව නවාංග ශාස්තෘ ශාසනය ලෙස ධර්මය බෙදා දක්වන ආකාරය ගැන අවබෝධයක් ලබා ගනිමු. සූත්‍ර, විනය, අභිධර්මය ලෙස ත්‍රිපිටකය වශයෙන් බෙදා දක්වා ඇති සද්ධර්මය අංග නවයකින් යුක්ත වෙයි.
එනම්, සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා , උදාන, ඉතිවුත්ථක, ජාතක, අබ්භූතධම්ම, සහ වේදල්ල යන අංග නවයයි.
සුත්ත- සූත්‍ර නමින් ඇති තථාගත වචන හෙවත් දේශනා මීට අයත්ය. සියලු සූත්‍ර පිටකය මෙම වර්ගීකරණයේදී “සුත්ත” යන්නට අයත් නොවේ. උභතෝ විභංගය, නිද්දේසය, සුත්ත නිපාතයේ මංගල සූත්‍රය රතන සූත්‍රය ආදී වශයෙන් සූත්‍ර නමින්ම එන දේශනා යන ත්‍රිපිටක කොටස්ද සූත්‍ර නමින්ම එන දේශනාවන්ද මීට ඇතුලත් වෙයි.
ගෙය්‍ය – ගාථා සහිත සූත්‍ර ගැනෙන්නේ මෙම කොටසටයි. විශේෂයෙන් සංයුක්ත නිකායේ “සගාථක වර්ගය”  සහ ගාථා සහිත සූත්‍ර මෙහිලා ගැනෙයි.
වෙය්‍යාකරණ – සියලු අභිධර්ම පිටකය, ගාථා රහිත අනෙකුත් සූත්‍ර සහ නවාංග ශාස්තෘ ශාසනයෙහි අනෙකුත් අංග අටට අයත් නොවන සියලු ධර්ම කොටස් අයත් වන්නේ වෙය්‍යාකරණ යන මෙම කොටසටයි.
ගාථා – ධම්ම පද, ථෙර ගාථා, ථෙරි ගාථාපාලි”, සුත්ත නිපාතයේ සූත්‍ර නමින් නොමැති ගාථා මීට අයත් වෙයි.
උදාන – භාග්‍යවතුන් වහන්සේ සහ ආර්ය සංඝයා වහන්සේලා විසින් සතුට සහිතව ප්‍රකාශ කල “උදානයන්” ඇතුලත් උදාන පාලිය ඇතුළු දහම් කොටස් මීට අයත් වෙයි.
ඉතිවුත්ථක - තවත් සූත්‍ර විශේෂයකි. ත්‍රිපිටකයෙහි “වුත්තං හෙ තං භගවා” යනුවෙන් “භාග්‍යවතුන් වහන්සේ මෙය වදාරණ ලදී” යනුවෙන් ආරම්භ වන සූත්‍ර මෙහිලා ගැනෙයි. ඛුද්දක නිකායෙහි “ඉතිවුත්තක පාලි” නමින් මෙම සූත්‍ර විශේෂයෙන් සංග්‍රහ වී තිබේ.
ජාතක – අපණ්ණක ජාතකයේ පටන් සියලු ජාතක පාලියට අයත් දේශනා හෙවත් ජාතක කථා මීට අයත් වෙයි.
අබ්භූතධම්ම – ආශ්චර්යයි අද්භුතයි  (අච්ඡරියා අබ්භූතධම්මා) යනුවෙන් විවිධ දහම් කරුණු ගෙනහැර පාන දේශනාවන් මෙහිලා ගැනෙයි.
වේදල්ල – මහත් වූ නුවණද මහත් සතුටද මිශ්‍රවූ ප්‍රශ්න විසඳීම් වශයෙන් කරන ලද විශේෂ දේශනා මීට අයත් වෙයි. 

සොතානුධත සූත්‍රය

සූත්‍රය ආරම්භ වන්නේ උතුම් ශ්‍රී සද්ධර්මය (නවාංග ශාස්තෘ ශාසනය) මැනවින් අසා, මැනවින් දරා (මතක තබා ගෙන), වචනයෙන් පුරුදු පුහුණු කොට, සිතින් පිරික්සා බැලූ,  නුවණින් දකින ලද පුද්ගල තෙමේ සතර ආකාරයක අනුසස් වලට හිමි බවට දේශනා කරමිනි. මෙම අනුසස් සතර දැක්වීමට පෙර තිලෝගුරු භාග්‍යවතුන් වහන්සේ විසින් ඉහත දක්වා ඇති පරිදි ධර්මය උගත යුතු නිසි පිළිවෙල පිලිබඳ විමසා බලමු.
භාග්‍යවතුන් වහන්සේ විසින් මෙම සූත්‍රයෙහි ධර්මය ඉගෙනීමෙහි අදියර පහක් විස්තර කර තිබේ.
පළමු පියවර
සුතා – මැනවින් කන්යොමා ඇසීම.
සූත්‍රයක්, ගාථාවක් ඇතුළු නවාංග ශාස්තෘ ශාසනයට අයත් දහම් කොටසක් අසන විට එය පාලියෙන් බුද්ධ වචන වලින්ම මැනවින් ඇසිය යුතුය.
දෙවන පියවරධතා – මැනවින් මතක තබා ගැනීම.
පාලියෙන් අසන ලද ධර්මය (සූත්‍ර දේශනා ගාථා ආදිය) ධාරණය කොටගෙන මැනවින් නිවැරදිව මතක තබා ගත යුතුය.
තෙවන පියවරවචසා පරිචිතා – භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව වචනයෙන් වචනය මැනවින් කියා පුහුණු කිරීම.
සතරවන පියවරමනසානුපෙක්ඛිතා – වචනයෙන් වචනය මැනවින් සිතින් අරුත පිරික්සා බලමින් තහවුරු වීම.
පස්වන පියවරදිට්ඨියා සුප්පටිවිද්ධා -  විදසුන් නුවණින්, හාත්පසින් දැකීම.
ධර්මස්වාමී වූ භාග්‍යවතුන් වහන්සේ විසින්ම පෙන්වා දී ඇති මෙම ක්‍රමය ධර්මය උගෙනීමෙහි නොවරදින මාර්ගයද, සුදුසුම මාර්ගයද වෙයි. එසේම ධර්මය සහ ධර්ම සන්නිවේදනය පිලිබඳ වර්තමානයේ පවතින ගැටළු සමහරකට සුදුසුම පිළිතුරුද මෙම උතුම් සූත්‍ර දේශනාවෙන්ම අපට ලබා ගත හැකිය. 

ධර්මය දේශනා කල යුතු සහ උගත යුතු භාෂාව.

ධර්මසන්නිවේදනයේදී යොදා ගතයුත්තේ කවර භාෂාවද? ත්‍රිපිටක පාලි භාෂාව වෙනුවට සූත්‍ර ධර්ම තම තමන්ගේ භාෂාවෙන් පමණක් උගෙනීම ප්‍රමාණවත්ද? සියලු ධර්මය සිංහල භාෂාවට හෝ සරල සිංහල භාෂාවට පරිවර්තනය කල යුතු නොවේද? ආදී ප්‍රශ්න සමහර බෞද්ධයන් මතු කරනු අප දැක ඇත. මෙම ගැටළු සඳහා සුදුසුම පිළිතුර ධර්මානුකූලව ලබා ගැනීමට භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කර ඇති ඉහත සඳහන් පියවර ක්‍රමය අපට උපකාරී වෙයි.

පළමු පියවරෙන් (සුතා)ගැනෙන්නේ මැනවින් ධර්මය කන්යොමා අසා සිටීමයි. නවාංග ශාස්තෘ ශාසනයට හෙවත් සද්ධර්මයට අයත් කවර හෝ කොටසක් එහි ශබ්දය නිවැරදිව කන්යොමා අසා සිටීම ඉතා වැදගත් වෙයි.එහිදී පාලි භාෂාව ගැන අවබෝධයක් නැත්තෙකුට නොවැටහෙන්නට හැකිය. නමුත් භාග්‍යවතුන් වහන්සේගේ වචනය කෙරෙහි ධර්මගෞරවයෙන් මැනවින් අසා දෙවන පියවරෙහි දක්වා ඇති ආකාරයට මැනවින් ධාරණය කරගත යුතුය. එනම් මැනවින් මතක තබා ගත යුතුය. තෙවන පියවර හෙවත් “වචසා පරිචිතා” යන්නෙන් දැක්වෙන්නේ සුත්‍රයක හෝ වෙනත් දහම් කොටසක වචනයෙන් වචනය ශබ්දයෙන් ශබ්දය මැනවින් කියා (හෝ ලියා හෝ) පුරුදු පුහුණු කිරීමයි. සතර වන පියවර විශේෂයෙන් අර්ථය විමසමින් දැන ගැනීම පිළිබදවයි. “මනසානුපෙක්ඛිතා” යන මෙම අදියර සම්පූර්ණ කරන දහම් ශ්‍රාවකයා තමන්ට වැටහෙන තමන්ගේ බසින් ධර්මය අසා ධරා වචනයෙන් පුරුදු පුහුණු කරන ලද ධර්මය අර්ථ වශයෙන් මැනවින් විමසමින් ඉගෙන ගත යුතුය.මෙම අවස්ථාව වන විට ශ්‍රාවකයා තමා ඇසූ උතුම් ධර්මය වචනයෙන් පුරුදු පුහුණු කොට (බුද්ධ වචන පාලියෙන්), තමන්ගේ මවු බසින් වචනයෙන් වචනය අරුත දැනගෙන එහි නිරුක්තිය, අර්ථය මනසින් විමසා මනාව නිවැරදිව තහවුරු කරගෙන සිටී. පස්වන පියවරේදී හෙවත් “දිට්ඨියා සුප්පටිවිද්ධා” යනුවෙන් දක්වන අදියරේදී අසා ධරා, වචනයෙන් පරිපූර්ණ ලෙස පුරුදු පුහුණු කොට, මනසින් අරුත විමසා ස්ථිරව තහවුරු වූ ධර්මය සිය ජීවිතයට ගලපා ගනී. උතුම් බුද්ධ ශාසනයෙහි යමක් ජීවිතයට පරිපූර්ණව ගලපා ගැනීම යන්නෙන් අදහස් වන්නේ “ප්‍රඥාවෙන්ම” ධර්මය දැක එහි නොසෙල්වෙන පරිදි තහවුරු වීමයි. එහි විවිධ මට්‌ටම් තිබේ. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අසන්නා එය කොතරම් ජීවිතයට ගලපා ගන්නේද යන්න එම ශ්‍රාවකයාගේ ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා යන ඉන්ද්‍රිය ධර්ම දියුණු වී ඇති ප්‍රමාණය නීවරණ යටපත් වී ඇති ප්‍රමාණය ආදිය මත රඳා පවතී. ශ්‍රාවකයාගේ ශ්‍රද්ධාව, වීර්ය මෙන්ම ඔහුගේ සසර කුශල ශක්තියද එහිදී බලපැවැත්වෙන බව අපගේ විශ්වාසයයි. කෙසේ වෙතත් මෙම පස්වන පියවර ත්‍රිපිටක ධර්මය  මැනවින් උගෙන (ඉහත දක්වා ඇති පරිදිම) උතුම් බහුශ්‍රැතයෙකු වීමේ සිට  විදසුන් නුවණින් ධර්මය දකින, කෙලෙස් දුරු  කරන මට්ටම දක්වා විහිදෙන බව සූත්‍රයෙන්ම අපට පැහැදිලි වෙයි.

මෙම පියවර පහ විමසා බැලීමේදී අපට පැහැදිලි වන්නේ, පළමු දෙවන පියවරයන් පැහැදිලිවම බුද්ධ භාෂිතය පාලි බසින්ම සිදු කෙරෙන බවයි. නවාංග ශාස්තෘ ශාසනයට අයත් දහම් කොටස් ඒ අයුරින්ම බුද්ධ වචනයෙන්ම ඇසීමටත් මතක තබා ගැනීමටත් ඇත්තේ පාලි භාෂාවයි. තුන්වන පියවරද එනම් වචනයෙන් වචනය මැනවින් පුරුදු පුහුණු කර මතක තබා ගැනීමද පාලි භාෂාව සමග සම්බන්ධ වෙයි. එහිදී අර්ථය පිලිබඳ අවබෝධයක් ලබන ශ්‍රාවකයා තමන්ගේ භාශාවෙන් ධර්මයේ අරුත විමසීමට යොමු වන බව පැහැදිලිය. නමුත් එම වචනයෙන් වචනය පුහුණු කිරීමේදී බුද්ධ භාෂිත පාලි වචනය කෙරෙහි වන අවධාරණයද පැහැදිලිය. සතරවන පියවරෙහිදී තම තමන්ගේ මවු භාෂාවන්ට අනුව අරුත විමසීම සිදුවන බැවින් තම භාෂාවෙන් ධර්මය කියවා, අසා, විමසා අවබෝධය කරා යොමු විය යුතු බව පැහැදිලිය. පස් වන පියවර නුවණින් ධර්මය දැකීම උදෙසා කෙරෙන උත්සාහයකි. එය විදසුන් වැඩීම දක්වා ඒ ඒ ශ්‍රාවකයා අනුව විහිදී යයි.

මේ අනුව අපට පැහැදිලි වන්නේ තමතමන්ගේ භාෂාවන්ට ධර්මය ඉගෙනීමේදී ප්‍රධානත්වය ලැබෙන්නේ සතර වන පියවරේදී හෝ උපරිම වශයෙන් තුන්වන පියවරේදී බවයි. මුල් පියවර් තුනේදීම බුද්ධ භාෂිත වූ පාලි භාෂාවට ප්‍රධානත්වය හිමිවෙයි. එනිසා භාග්‍යවතුන් වහන්සේ විසින් පෙන්වා දී ඇති මෙම ක්‍රමය ධර්ම ගෞරවයෙන් පිළිපැදීමට අප සැම උත්සහ ගතයුතු බව මගේ අදහසයි.

මෙහිදී ඇතිවියහැකි අනවබෝධයන් වැළකීම සඳහාද කරුණු කිහිපයක් කිව යුතුය. අප විසින් ඉහත සඳහන් කරුණු වලින් කියවෙන්නේ සොතානුධත සූත්‍ර දේශනාවේදී භාග්‍යවතුන් වහන්සේ විසින් පෙන්වා දෙන ආනිසංශ සතරක් ලබා ගැනීමට හැකිවන ධර්මය උගෙනීමෙහි මාර්ගයයි. එනිසා පාලි භාෂාව ගැන කිසිදු අවබෝධයක් නැති නමුත් සිංහල බසින් ධර්මය අසා ධරා ශ්‍රද්ධාවට පැමිණි ඔබ අතර සිටින බොහෝදෙනාට ධර්මයෙන් ප්‍රතිපල ලබා ගත නොහැකි බවක් කිසිසේත්ම  එයින් අදහස් නොකරන ලදී (තර්ක ක්‍රම අනුව කරුණු තෙරුන් ගැනීමට අධ්‍යාපන ක්‍රමයෙන්ම හුරු වී ඇති අපට බොහෝ විට වැරදි අවබෝධයන් මතු වෙයි). ඔබ මවුබසින් උගෙන ඇති ශ්‍රී සද්ධර්මය ශ්‍රද්ධාවෙන් වීර්යයෙන් පිළිපැදීමෙන් ඔබට ලැබිය හැකි ආනිශංස අනන්ත අප්‍රමාණ වෙයි. එහි කිසිදු ගැටළුවක් නැත. නමුත් සොතානුධත සූත්‍රයේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කර වදාළ පරිදි ධර්මය උගෙන ගන්නා ශ්‍රාවකයා එම භවයේදී මාර්ග පල නොලැබුවත් ඔහුට හිමි වන විශේෂ  ආනිසංශ සතරක් භාග්‍යවතුන් වහන්සේ දේශනා කර තිබේ. 

සොතානුධත සූත්‍රය (ඊළඟ කොටස)

සූත්‍රය ආරම්භයේදීම ඉහත සඳහන් පරිදි ධර්මය නවාංග ශාස්තෘ ශාසනය ඉගෙන පිළිපදින ශ්‍රාවකයාට අනුසස් සතරකින් එකක්  හිමි වන බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන සේක.

පළමු ආනිසංශය
භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කරන සේක,

මහණෙනි,
මෙසේ උතුම් වූ  නවාංග ශාස්තෘ ශාසනය මැනවින් අසා, ධාරණය කොටගෙන, වචනයෙන් වචනය පුහුණු කොට, මනසින් අරුත විමසා, නුවණින් ධර්මය විනිවිද දකින්නට ක්‍රියා කරන ශ්‍රාවකයාට එම භාවයේදීම මාර්ග පල ලබා ගැනීමට නොහැකි වුවහොත්, ඔහු යම් දිව්‍ය නිකායක (යම් දෙව් ලොවක) උපදී. එසේ උපදින ඔහුට සැප සහිතව, පහසුවෙන්ම තමා ඇසූ,ධාරණය කරගත්, මැනවින් පුහුණුකළ ධර්මය සිහි වෙයි.මෙම සිහිය උපදීමට සමහර විට අවුරුදු සියදහස් ගණනින්, ලක්ෂ ගණනින් හෝ දිගු කාලයක් ගත විය හැකිය. නමුත් ඔහු එම  දිව්‍ය සැපතෙහි සිටියදීම යම් කලෙක එසේ ධර්මය සිහි වෙයි. එසේ දහම් පද සිහි වනවාත් සමගම කල් වේලා නොගොස්ම ඔහු මාර්ග පල ලබයි. මහණෙනි මෙසේ ධර්මය අසා, මතකයෙහි රඳවාගෙන, වචනයෙන් පුහුණු වී, වචනයෙන් වචනය අරුත විමසාදැන, නුවණින් විනිවිද දකින්නට ක්‍රියා කරන ලද ශ්‍රාවකයා එම පළමු ආනිශංසය කැමති විය යුතුය. (එම ආනිශංසයට හිමිකරුවකු වෙයි).

දෙවන ආනිශංසය
භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කරන සේක.

තවද මහණෙනි,
මෙසේ උතුම් වූ  නවාංග ශාස්තෘ ශාසනය මැනවින් අසා, ධාරණය කොටගෙන, වචනයෙන් වචනය පුහුණු කොට, මනසින් අරුත විමසා, නුවණින් ධර්මය දකින්නට ක්‍රියා කරන ශ්‍රාවකයාට එම භාවයේදීම මාර්ග පල ලබා ගැනීමට නොහැකි වුවහොත්, ඔහු යම් දිව්‍ය නිකායක උපදී. නමුත් ඔහුට තනිවම ධර්ම පද සිහිවන්නේ, වැටහෙන්නේ නැත. නමුත් මෙම දෙව් පිරිස අතරට එක්තරා සෘද්ධිමත් භික්ෂූන් වහන්සේ නමක් වැඩම කොට ධර්මය දේශනා කරයි. එවිට ඔහුට තමන් පෙර භවයෙක, ධර්මය උගෙන බුද්ධ ශාසනයෙහි ධර්මය අසා ධාරා වචනයෙන් වචනය පුහුණු කොට අරුත දැන සිතින් විමසා නුවණින් විනිවිද දකින්නට ක්‍රියා කරන ලද්දේද, එම පෙර භවය සිහි වෙයි. ධර්මය විනය සිහි වෙයි. එසේ සිහිවනවාත් සමගම  කල් නොයවාම මාර්ග පල ලබයි. මෙසේ ධර්මය අසන්නට ලැබීමට බොහෝ කාලයක් ගතවිය හැකිය. නමුත් යම් විටෙක එම දිව්‍ය සැපතෙහිදීම මෙසේ ධර්මය සිහිවෙයිද ඔහු කල් නොයවාම මාර්ගපල ලබයි.

මහණෙනි, යම්සේ  බෙර ගැසීමෙහි අතිදක්ෂ වූ, බෙර හඬෙහි නිපුණ වූ යම් පුරුෂයෙක්, මහා නගර දෙකක් අතර වූ ඉතා‍ දීර්ඝ මාර්ගයක, නුහුරු නුපුරුදු මගක ගමන ගන්නේ, යම් දෙසකින් ඇසෙන බෙර හඬක් වෙත් නම් ඔහු නිසැකවම, ඒ බෙර ශබ්දයක් බව පහසුවෙන් කල්නොයවා හඳුනා ගනීද, එසේම ධර්මය උගෙන බුද්ධ ශාසනයෙහි ධර්මය අසා ධරා වචනයෙන් වචනය පුහුණු කොට අරුත දැන සිතින් විමසා නුවණින් විනිවිද දකින්නට ක්‍රියා කරන ලද්දේද, අනතුරුව දිව්‍ය නිකායක උපදීද ඔහුට තමා විසින්ම ධර්මය සිහි නොවූයේ සෘද්ධිමත් භික්ෂුවක් එහි වැඩම කර දේශනා කරන ධර්මය ඇසීමෙන් එම පෙර භවය සිහි වෙයි. ධර්මය විනය සිහි වෙයි. එසේ සිහිවනවාත් සමගම  කල් නොයවාම මාර්ගපල ලබයි.

තෙවන ආනිශංසය
භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කරන සේක,

මහණෙනි,
මෙසේ උතුම් වූ  නවාංග ශාස්තෘ ශාසනය මැනවින් අසා, ධාරණය කොටගෙන, වචනයෙන් වචනය පුහුණු කොට, මනසින් අරුත විමසා, නුවණින් ධර්මය දකින්නට ක්‍රියා කරන ශ්‍රාවකයාට එම භාවයේදීම මාර්ග පල ලබා ගැනීමට නොහැකි වුවහොත්, ඔහු යම් දිව්‍ය නිකායක උපදී. එහිදී ඔහුට තනිවම ධර්මය නොවැටහෙයි. සෘද්ධිමත් වශීතා ඇති භික්ෂුවක් ද ධර්මය දේශනා නොකරයි. නමුත්, යම් දේව පුත්‍රයෙක් (ධර්මධර වූ හෝ ධර්මය ඇසු හෝ ධර්මකථික දේව පුත්‍රයකු හෝ) එහිදී ධර්මය දේශනා කරයි. එසේ ධර්ම කථික දිව්‍ය පුත්‍රයකු දේශනා කරන ධර්මය අසන මොහුට මේ මා ඇසු, දැරූ, පුහුණු කල,මනසින් අරුත විමසු, නුවණින් විනිවිද දකින්නට ක්‍රියා කල ධර්මයම බව සිහිවෙයි. එසේ ධර්මවිනය සිහි වනවාත් සමගම ඔහු කල්නොයවාම මාර්ගපල වලට පත්වෙයි. මෙසේ ධර්මය අසන්නට සිහිවන්නට මග පල ලබන්නට බොහෝ අවුරුදු සියගණන් දහස ගණන ලක්ෂ ගණන ගතවිය හැකිය. නමුත් ඔහු මෙසේ දිව්‍ය සැපතෙහි සිටියදීම ධර්මය සිහිවී කල් නොයවාම මගපල ලබයි.

මහණෙනි, යම්සේ සක් හඬ (හක්ගෙඩි),  විෂයෙහි අතිදක්ෂ වූ, සක් හඬෙහි නිපුණ වූ යම් පුරුෂයෙක්, මහා නගර දෙකක් අතර වූ ඉතා‍ දීර්ඝ මාර්ගයක, නුහුරු නුපුරුදු මගක ගමන ගන්නේ, යම් දෙසකින් ඇසෙන සක්  හඬක් වෙත් නම් ඔහු නිසැකවම, පහසුවෙන්ම ඒ සක් හඬක් බව පහසුවෙන් කල්නොයවා හඳුනා ගනීද, එසේම ධර්මය උගෙන බුද්ධ ශාසනයෙහි ධර්මය අසා ධාරා වචනයෙන් වචනය පුහුණු කොට අරුත දැන සිතින් විමසා නුවණින් විනිවිද දකින්නට ක්‍රියා කරන ලද්දේද, අනතුරුව දිව්‍ය නිකායක උපදීද ඔහුට තමා විසින්ම ධර්මය සිහි නොවූයේ අන්‍ය වූ ධර්ම කථික දිව්‍යපුත්‍රයකු විසින් දේශනා කරන ධර්මය ඇසීමෙන් මේ තමා විසින් අසා, ධාරා, වචනයෙන් වචනය පුහුණු කරන ලද, සිතින් විමසන ලද, නුවණින් විනිවිද දකින්නට ක්‍රියාකරන ලද  ධර්මය විනයයි  සිහි වෙයි. එසේ සිහිවනවාත් සමගම  කල් නොයවාම මාර්ග පල ලබයි.

සතරවන ආනිශංසය

මෙසේ උතුම් වූ  නවාංග ශාස්තෘ ශාසනය මැනවින් අසා, ධාරණය කොටගෙන, වචනයෙන් වචනය පුහුණු කොට, මනසින් අරුත විමසා, නුවණින් ධර්මය දකින්නට ක්‍රියා කරන (පියවර පහට පිලිවෙලින් උගත්) ශ්‍රාවකයාට එම භාවයේදීම මාර්ග පල ලබා ගැනීමට නොහැකි වුවහොත්, ඔහු යම් දිව්‍ය නිකායක උපදී. මෙසේ වූ ඔහුට එහි සිටින තමා විසින්ද ධර්මය සිහි නොවෙයි. සෘද්ධිමත් භික්ෂුවකගෙන්ද ධර්මය අසන්නට නොලැබෙයි. ධර්මකථික දේව පුත්‍රයෙක්ද දහම් නොදෙසයි. එනමුත්,ඔහු සමග සසුනෙහි නවාංග ශාස්තෘ ශාසනය පුහුණු කල වෙනත් දිව්‍ය පුත්‍රයෙක් විසින් ඔහුට පෙර භවය සිහිකරයි. “මතකද ඔබට නිදුකාණෙනි, මතකද ඔබට, යම් තැනෙක පෙර අප විසින් යම් ධර්ම විනයක් පුහුණු කොට බ්‍රහ්මචර්යාවක් සම්පූර්ණ කළා” යනුවෙනි. එවිට, “වහා මතකයට එන ඔහු “මතකයි නිදුකාණෙනි, මතකයි” යනුවෙන් සිහිකොට ධර්ම විනය සිහිවනවාත් සමගම කල් නොයවාම මාර්ග පල ලබයි.
මහණෙනි, යම් සේ වැලි කෙලියේ පටන් එක්ව ක්‍රීඩා කල යහළුවන් දෙදෙනෙක්, පසුව කවදා හෝ කොතැනක හෝ යලි හමුවී, එක් අයකු විසින්, මතකද ඔබට අප පෙර කුඩාකල අසවල් තැන අසවල් පරිදි සෙල්ලම් කල බව” ආදී වශයෙන් පවසද්දී, බොහෝ කල් එක්ව සිටි අනෙකාටද පහසුවෙන් ඒ බව මතකයට එන්නේ, සිහියට එන්නේ යම්සේද, එසේම ධර්මය උගෙන බුද්ධ ශාසනයෙහි ධර්මය අසා ධරා වචනයෙන් වචනය පුහුණු කොට අරුත දැන සිතින් විමසා නුවණින් විනිවිද දකින්නට ක්‍රියා කරන ලද්දේද, අනතුරුව දිව්‍ය නිකායක උපදීද ඔහුට ඔහු සමග ධර්මවිනය මැනවින් පුහුණු කල එහි උපන් අන්‍ය වූ දිව්‍ය පුත්‍රයකු විසින් සිහි කරනුයේ, මේ තමා විසින් අසා, ධාරා, වචනයෙන් වචනය පුහුණු කරන ලද, සිතින් විමසන ලද, නුවණින් විනිවිද දකින්නට ක්‍රියාකරන ලද  ධර්මවිනයයි  සිහි වෙයි. එසේ සිහිවනවාත් සමගම  කල් නොයවාම මාර්ග පල ලබයි.

මේ අයුරින් උතුම් වූ නවාංග ශාස්තෘ ශාසනය (ත්‍රිපිටකගත ශ්‍රී සද්ධර්මය) මැනවින් අසා ධරා වචනයෙන් පුහුණු කර සිතින් විමසා නුවණින් විනිවිද දක්නට ක්‍රියා කරන ශ්‍රවකයාහට මෙම අනර්ඝ ආනිශංස සතර අයත් වෙයි. එනිසා, උත්සාහයෙන් ත්‍රිපිටක ධර්මය හැකිපමණ උගෙනීමටත් ශීලය පරිපූර්ණ කොට දුගතියෙන් මිදී සුගතියෙහි තහවුරු වීමටත් ඔබ අප සැම උත්සහ ගතයුතුය.

තිසරණයෙහි මැනවින් පිහිටන්නා අසීමිත ධර්ම ගෞරවයකින් යුක්ත වෙයි. ධර්ම ගෞරවය ඇති අයගේ ලක්ෂණ කිහිපයක් අප වටහා ගත යුතුය. මේ සඳහා සුදුසුම උදාහරණය ගෞතම බුදුසසුනෙහි අතිඋතුම් වූ ධම්ම සේනාපති, අග්‍රශ්‍රාවක වූ, මහා ප්‍රාඥ, භාග්‍යවතුන් වහන්සේගේ ඖරස පුත්‍ර මහා සාරිපුත්ත මහරහතන් වහන්සේය. උන්වහන්සේගේ මහා ප්‍රඥාව අනෙකුත් සියලු ශ්‍රාවකයන් අභිබවා සිටී. නමුත් උන්වහන්සේගේ චරිතයෙහි දක්නට ලැබෙන උතුම් වූ  නිහතමානි බව ආශ්චර්යමත් ආදර්ශයකි. උන්වහන්සේට එක්තරා භික්ෂූන් වහන්සේනමක් ව්‍යාජ චෝදනාවක් කරන අවස්ථාවකදී තමන් වහන්සේ පිළිබඳව කරන ලද කරුණු දැක්වීම ධර්මයෙහි සිංහනාදයක් ලෙසින් දැක්වෙයි. එහිදී උන්වහන්සේ ධර්මය ඉදිරියේ තමන් වහන්සේ “සැඩොල් කොලුවකු” වැනි නිහතමානි බැවින් යුක්ත බව දක්වා තිබේ.

අප සමහර දෙනා ධර්මය මදක් අසා, එයින් මානය වපුරා ගනිති. තමන්ම දන්නවා යයි සිතා තර්ක විතර්ක කරති. ධර්මය මැනවින් ඉගෙන ගන්නා අයකුගේ ප්‍රධාන ලක්ෂණයක් නම්, එසේ ධර්මය වැඩිදුරට ඉගෙන ගන්නා තරමට තමන්ට ධර්මයෙහි ගැඹුරත්, තමන්ගේ නොවැටහීමත් වඩ වඩාත් ප්‍රකට වීමෙන් අතිශය නිහතමානී ගුණ ඇති කෙනෙකු වීමය. ධර්මය මහා සාගරය වැනිය. ධර්මය භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ විශ්මිත වූත්, අප්‍රමේය වූත් අවබෝධයයි. මහා සාරිපුත්තයන් වහන්සේ පවා පවසන්නේ භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රඥාව උන්වහන්සේට සිතා ගැනීමටවත් නොහැකි තරම් අප්‍රමාණ බවයි. එනිසා අපි ඔබ සැම ඉමහත් ධර්ම ගරුත්වයෙන් යුතුව ක්‍රියා කල යුතු වෙමු. ධර්මය අසන විට සංයුක්ත නිකායෙහි, “අනීවරණ සූත්‍රය” දක්වා ඇති පරිදි ඒ මොහොතෙහිම නීවරණ ධර්ම (කෙලෙස්) යටපත් වී ධර්මාවබෝධය ලැබීම උදෙසා මහත් වූ බලාපොරොත්තු සහිතවද, අසන දේ සිතින් මෙනෙහි කරමින්ද , සියලු සිත එක් රැස් කරගෙන , කන්යොමු කරගෙනම ධර්මය ඇසිය යුතුය. ඔබෙත් මගෙත් සියලු දෙව් මිනිසුන්ගේත් එකම පිහිට ධර්මයයි. දේව වාදීන් අදහන බලවත් මහා බ්‍රහ්මයා  ඇතුළු, තමන් ලෝකය මැව්වේය යි සිතා සිටින මිත්‍යාවෙන් වැසුණු දෙවිවරු ඇතුළු සියලු ලෝක ධාතූන්හි සත්වයන්හට අවසාන එකම පිහිට භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේලාගේ ධර්මයයි. අපි ඒ උතුම් ධර්ම දායාදයට උරුම කරුවෝ වෙමු. ප්‍රමාද වී පසුතැවිලි නොවෙමු.

ඔබ සැමට උතුම් තෙරුවන් සරණයි…!!! 


මූලාශ්‍ර-
සංයුක්ත නිකාය- (ශ්‍රී සම්බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව)
අංගුත්තර නිකාය- (ශ්‍රී සම්බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව)
සූවිසි මහා ගුණය- (අතිශය ගෞරවාර්හ රේරුකානේ චන්දවිමල මහනාහිමි)
ආතාපි වෙබ් අඩවියේ ධර්ම දේශනා – (කල්‍යාණ මිත්‍ර, ගරු ධර්මාචාර්ය සමින්ද රණසිංහ සොහොයුරා)
- සසිත් රාජසූරිය

සටහන-
ශ්‍රද්ධාවෙන් සහ ධර්ම දානමය චේතනාවෙන් මේ ලිපි ලිවීමෙහි ප්‍රතිපල නොයෙක් අයුරින් අත් විඳිමි. අසංවර සිතිවිලි සහ වචන වලින්ද නිරවුල් සිහියෙන් කරන සවන්දීමකින් හෝ උත්සාහවත් ඉගෙනීමකින් තොර නිශ්ඵල තර්ක වලින් ගහන බොහෝ ප්‍රතිචාර මැද එක් කලණ මිතුරෙක් “රහත් ඵලයට පත් මහා තෙරණුවන්” සහ “රහත් ඵලයට පත් සිල් මාතාව” නමින් අති උතුම් ආචාර්ය මන් භූරිදත්ත රහතන් වහන්සේගේ සහ කායිව් රහත් සිල් මාතාවගේ චරිතාපදානයන් කියවීම සඳහා යොමුව සඳහන් කර තිබිණ. එම පොත් දෙක මුල සිට අගට සතුටින් කියවීමෙන් මා තුල තිසරණය කෙරෙහි ඇති පැහැදීම තවත් දියුණු තියුණු විය. ධර්මයෙහි අකාලික ගුණයද, ආර්ය මහා සංඝ රත්නයෙහි අවිච්චින්න පැවැත්ම කෙරෙහිද මා තුල ඇති පැහැදීම තවත් තහවුරු විය. එම යොමුව සඳහන් කල “ශ්‍රී ලන්කන්” යන අන්වර්ථ නාමයෙන් යුත් අයට අපගේ ඉමහත් කෘතවේදී බවද පුණ්‍යානුමෝදනාවද පිරිනැමෙයි.