දුටුගැමුණු රජු කල පිරිණිවන් පෑ මලියදේව හිමියන් ලංකාවේ අන්තිම රහත් තෙරනම නොවේ. සැබැවින්ම, අද වුව රහතුන් බිහි විය හැකිය. ඒ සදහා අවශ්‍ය වන්නේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ ශ්‍රී සද්ධර්මය සීල සමාධි ප්‍රඥා වශයෙන් දියුණු කොට සාක්ෂාත් කිරීමයි.

ඔබත් බුදුරදුන් පෙන්වා වදාළ උත්තම දහම් මාර්ගයේ ගමන් කරන්න


Powered by දහම් විල


ලිපි සඳහා පහත මාසය අනුව ලිපි පටුන බලන්න

දෙවියෝ, දෙවි පිහිට සහ දෙවියන්ට පිහිට- I

(භාග්‍යවතුන් වහන්සේ සක්වල සහ අපි – තෙවන කොටස) 

නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස, දසබල ධරස්ස, චතු වේසාරජ්ජ විසාරදස්ස, සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුණෝ සම්මා සම්බුද්ධස්ස.!..!!…!!!. 

 ප්‍රවේශය 
 සාරාසංඛ්‍ය කල්පලක්‍ෂාධික කාලයක් මුළුල්ලෙහි අනුන්ගේ දුකින් දුක්පත් වූ, අනුන්ගේ සුවයෙන් සුවපත් වූ, අනුන් උදෙසා නිවනක් හල, සත්ත්වයන් කෙරෙහි කරුණාවෙන් “සසර” වැනි තැනකට නොභියව බැසගත්, ඇසක් වැනි අවයවයක් උදුරා දන් දුන්, හදවතක් වැනි නොසිතිය හැකි තැනක් පලා මස් දන් දුන්, දරුවන් වැනි රැකිය යුතු වූවන් ගැති කොට දී, ලය ස්නේහ ඇති අඹුවන් වැනි සතුකොට විසිය යුත්තන් ඉල්ලූවන් අත තබා දන් දුන්, “රජ” යයි නොසිතා වනයට වන්, ධන යයි නොසිතා යාචකයන් දොරින් දොර හල, තමා මහත් වූ පුරුෂයෙකි යි නොසිතා අනුනට කයින් මෙහෙ කල, හිස යයි නොසිතා කපා දන් දුන්, මස යයි නොසිතා සැතින් ලියා දන් දුන්, ලේ යයි නොසිතා සැතින් පලා දන් දුන්, දානාදී පාරමී පූරණ බලයෙන්ම උතුම් බෝමැඩ වැඩ හිඳ ස්ව ක්ෂේත්‍ර වූ වජ්‍රාසනයට උරුමව අනුත්තර වූ සම්මා සම්බුද්ධත්වයෙහි චතුරංග සමන්නාගත මහා විරිය කල, සියලු දෙවි බඹුන් බියව පලා යද්දී මහත් බල ඇති කම් ලොවට අධිපති වසවර්ති මාර තෙම පරාජය කොට, සකල ක්ලේශ මාරයන්ද දවා හල, ධර්ම රාජ්‍යය කල, ධර්මස්වාමී වූ මගේ ස්වාමී වූ තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ බුදු ඇසින් දුටු, ප්‍රඥා ඇසින් බලා දෙසූ, දෙවියන්ගේ තතු දහමෙහි එන පරිදි මෙහි ලියනු ලැබෙයි. සැඳැහැඇත්තෝ අසත්වා!!! 

 ආරම්භය 
 “දෙවියෝ” යන මේ වචනය තරම් මනුෂ්‍ය වර්ගයා අතර කුතුහලය දනවන ලෙසින් මුල් බැසගත් අනෙක් වචනයක් නැති තරම්ය. දෙවියන් පිලිබඳ මනුෂ්‍ය ආකල්ප අදහස් සහ ඉගැන්වීම් අතිශය සංකීර්ණ, පුළුල් සහ විසිතුරු වෙයි. කෙසේ වෙතත් වාසනාවකට මෙන් භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වන අපට අන් කවර පිරිසකටත් වඩා දෙවියන් පිලිබඳ මිත්‍යා වලින් බැහැර වූ නිරවුල් අවබෝධයක් ලබා ගැනීමටත්, දෙවියන් අතර ඉපදීමටත් දෙවියන් වෙතද පවතින් සසර බියෙන් නිදහස් වීමටත් බග විවරව තිබෙන්නේ භාග්‍යවතුන් වහන්සේගේ මහා කරුණාවත් මහා ප්‍රඥාවත් නිසාමය. මෙම ලිපියෙන් ශ්‍රී සද්ධර්මය පුරාවට දෙවියන් පිළිබඳව පවතින තොරතුරු නිරවුල් අනුපිලිවෙලකින් සටහන් කිරීමට අපේ ශක්ති පමණින් උත්සහ කරනු ලැබෙයි. දෙවියන් පිළිබඳව සහ දිව්‍ය ලෝක පිළිබඳව විස්තර සහිත දේශනා සටහන් කරන්නට පෙර ඒවා නිරවුල්ව තේරුම ගැනීමට හැකි වන පරිදි දෙවියන් සම්බන්ධයෙන් පොදු කරුණු සහ විශේෂ කරුණු කිහිපයක් පළමුව විස්තර කරනු ලැබේ. 
 “දේවතා”, “දේව” යනුවෙන් ධර්මයෙහි හඳුන්වන්නේ සසරෙහි සැරිසරන සත්ත්ව කොට්ඨාශයකි. දිව්‍ය තල වශයෙන් ගත කල සදිව්‍ය ලෝකයක් ගැන පැහැදිලි දේශනා හමුවෙයි. නමුත් බොහෝ විට “දේවතා” යන වචනය සඳහන් දහම් කරුණු විමසා බැලීමේදී පෙනී යන්නේ එමගින් දෙවියන් මෙන්ම බ්‍රහ්මය්න්ද බොහෝ විට හඳුන්වා ඇති බවයි. ඒ අනුව පොදුවේ ගත කල සියලු දෙවියන් ද බ්‍රහ්මයන්ද “දේවතා” නැතහොත් “දේව” යන බෞද්ධ හැඳින්වීමට අයත් වෙයි. කියන ලද පරිදි දෙවියන්ද තවත් සත්ත්ව කොට්ඨාශයක් වන බැවින් ඔවුන් පොදුවේ ධර්මයෙහි හැඳින්වෙන පංච උපදානස්කන්ධ (රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන) වල ක්‍රියාකාරීත්වයෙන් සැකසී ඇත. එනිසා දෙවියන් පිලිබඳ කරුණු කීමට ප්‍රථම “සත්ත්වයා” යනුවෙන් විග්‍රහ කෙරෙන්නේ කවරක්ද යන්න ගැන යම අවබෝධයක් ලැබීම සුදුසුය. චිත්ත, මනෝ නැතහොත් විඥාන යනුවෙන් හැඳින්වෙන සිත, මනස හෙවත් විඥානය සියලු සත්ත්වයන්ට පොදු වූ ප්‍රධානතම අංගය වෙයි. මෙහිදී සිත් උපදීම මහා කල්ප පන්සියයකට තාවකාලිකව නවතා දමා ඇති “අසඥසත්ත්වය”, “අසංඥීතලය” නම් බ්‍රහ්ම තලයක්ද ඇති බව සටහන් කොට තැබීම සුදුසුය. කියන ලද පරිදි “සත්ත්වයා” යනු පංචඋපාධානස්කන්ධයම බැවින් දෙවියන් යනුද පංචඋපාදානස්කන්ධයන් ම වෙයි. ඒ නිසා දෙවියන්ට රූපයක් තිබේ. වේදනා දැනෙයි. දෙවියන්ද සැප දුක් විඳිනු ලැබෙයි. දෙවියන්ටද සිත් පහල වෙයි. දෙවියන්ද චතුරාර්ය සත්‍යඅවබෝධයෙන් නිවන් දකින තෙක් කෙලෙස් සහිතය. එනිසා දෙවියන්ද පින් පවු හෙවත් කුසල් අකුසල් රැස්කරයි. නමුත් දිව්‍ය උපත, නැතහොත් දෙවියන් අතර උපත ලැබීම “සුගතිය”කි. දෙවියන් සැප දුක් විඳින බව ඉහතින් කියනු ලැබූවද දෙවියන් මනුෂ්‍යයන්ට සහ අනෙකුත් සත්වයන්ට සාපේක්ෂව විඳිනු ලබන්නේ අතිශයින් ඉහල සැපතකි. සමහර දිව්‍ය තලයන්හි “දුකක්” යනුවෙන් විශේෂයෙන් කිවහැකි කායික හෝ මානසික වේදනා විශේෂයක් නැති තරම්ය. එනිසා බොහෝ විට දෙවියන් විෂයෙහි “දුක” යන්න විග්‍රහ කෙරෙන්නේ සාමාන්‍ය “දුක් විඳින” යන අරුතින්ම නොව “විපරිණාම දුක්ඛ” නැතහොත් අස්ථිර අනිත්‍ය යන අදහසින් කියවෙන ගැඹුරු වූ උතුම් දුක්ඛ සත්‍යයට අදාළ දුකකි. 

දෙවියන්ගේ උපත 
අණ්ඩජ, ජලාබුජ, සංසේදජ සහ ඕපපාතික යනුවෙන් සියලු සත්ත්වයන් උපදින යෝනි නොහොත් ආකාර සතරක් භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කොට වදාරා තිබේ. අණ්ඩජ යනු “අණ්ඩ” හෙවත් බිත්තරයකින්, බීජයකින්, කටුවකින් වටව, සිවියකින් වටව තිබෙන තත්ත්වයෙන් පහල වී එයින් උපදින සත්ත්වයන්ය. කුකුලන්, බොහෝ පක්ෂීන්, බොහෝ මත්සයන් ආදී සතුන් මෙම යෝනියෙන් උපදී. “ජලාබුජ” යෝනියෙන් ප්‍රධාන වශයෙන් අදහස් කෙරෙන්නේ මවු කුසකින් උපදින සත්ත්වයන්ය. මවු කුසක ද්‍රවමය තරලයක් මත වැඩී ඉන් උපදින සත්ත්වයන් යන අරුත මෙහි තිබේ. බහුතර මනුෂ්‍යයන්, සිවුපාවුන් වැනි තිරිසන් සතුන් ආදීන් මේ යටතට ගැනෙයි. “සංසේදජ” සත්ත්වයෝ යනු දිය සීරාව, තෙතමනය සහිත, කුණු, මුත්‍ර, අශුචි ආදී අපිරිසිඳු තන්හි ඒ ඒ ස්ථාන ඇසුරුකොටගෙන උපදින ඒවායෙහි වැඩෙන සත්ත්වයෝය. සමහර තිරිසන් සත්ත්වයෝ (සමහර පණුවන්, කෘමීන් ආදී), සමහර ප්‍රේතයෝ මෙසේ සංසේදජ යෝනියෙහි උපදිති. “ඕපපාතික” සත්ත්වයන් වනාහි ඒ ඒ කුසල අකුසල කර්මානුරූපව සියලු අංග ප්‍රත්‍යංග සහිතව, පිරිපුන් ශරීරයෙන් එකවර පහල වන සත්ත්වයෝය. ප්‍රධාන වශයෙන් චාතුම්මහරාජිකාදී සියලු දෙවියෝ, සියලු බ්‍රහ්මයෝ, බොහෝ ප්‍රේතයෝ, සමහර තිරිසන් සත්ත්වයෝ, බොහෝ අසුරයෝ මෙන්ම සියලු නිරය භූමීන්හි උපදින “නිරි සත්ත්වයෝ” මෙසේ ඕපපාතික යෝනියෙන් උපති. මේ අනුව දෙවියන් ප්‍රධාන වශයෙන් “ඕපපාතික” යෝනියෙන් උපදින සත්ත්වයන් වෙයි. එනම් ඒ ඒ කාර්ම විපාක වලට අනුරූපව, ඒ ඒ චුති ප්‍රතිසන්ධි සිත් වලට අනුරූපව සියලු අංග ප්‍රත්‍යංග සහිත පූර්ණ ශරීර සහිතව දෙවියන් පහල වෙයි. තවද ඒ ඒ දෙවියන්ගේ පුණ්‍ය ශක්තීන්ට අනුරූපවම ඒ ඒ දෙවියන්ගේ සැප සම්පත් ලක්ෂණ ස්වරූප ආදියද ඕපපාතික උත්පත්තියේ දීම කර්මජ (කාර්ම විපාක වශයෙන්) ඒ ඒ දිව්‍ය තලයන්හි පහල වන බවට කරුණු තිබේ. දෙවියන්ගේ වාසස්ථාන, ආභරණ, වට පිටාවේ පරිසරය ආදිය මෙසේ පහල වන ආකාරය අතිශය විසිතුරුව ඒ ඒ කාර්ම විපාකයන්ට අනුව සැකසී පහල වන ආකාරය “විමානවත්ථු” ත්‍රිපිටක ග්‍රන්ථයෙහි මැනවින් විස්තර කෙරී ඇත්තේ අතිශය විසිතුරු විස්තර සහිතවය. දිව්‍යමය උපතක් ලබන්නේ පින් බලයෙනි. දෙවියන් අතර උපත ලැබීමෙහි පෙර භවයේ ශීලය විශේෂයෙන් බලපැවැත්වෙන බවත් එම භවයේ කරන ලද විශේෂ පුණ්‍යකාර්ම විශේෂයෙන් උපස්ථම්භක වන් බවත් කිව යුතුය. දෙවියන් ප්‍රධාන වශයෙන් ආකාශස්ථ සහ භූම්‍යස්ථ වශයෙන් කොටස් දෙකකට වෙන් කෙරෙයි. ආකාශයෙහි හෙවත් පෘථිවි භූමියෙන් ඉහල පිහිටා තිබෙන “චාතුර්මහාරාජිකය” හි පටන් ඉහලට ඇති දිව්‍ය තලයන්හි දෙවියෝ “ආකාශස්ථ” වෙති. පෘථිවි භූමියට සම්බන්ධව එහි පිහිටා තින්බෙන “විමාන” නමින් හැඳින්වෙන අපේ ඉන්ද්‍රියට ගෝචර නොවන වාසස්ථාන ඇසුරුකොටගෙන පහල වී ජීවත් වන දෙවියෝ “භූම්‍යස්ථ” දෙවියන් වෙති. වෘක්ෂලතා ඇසුරෙහි විමාන වල සිටින “වෘක්ෂ දෙවියෝ”ය දාගැබ් වෙහෙර විහාර ආශ්‍රිතව වාසය කරන “ආරක්ෂක දෙවියෝ”ය සමහර පින් ඇති මිනිසුන්ගේ නිවාස, ගෘහ භාණ්ඩ, ධජ, ආදී ස්ථාන සහ ද්‍රව්‍ය ඇසුරුකොටගෙන ඇති විමානයන්හි වාසය කරන “විමාන දෙවියෝ”ය, සාගර, ගංගා, ආරණ්‍ය ආදී විශේෂ සුන්දර ස්ථාන වලට අධිගෘහිත “විමාන දෙවියෝ” ය, ඉතා කුඩා තෘණ ආදී පැලැටි ඇසුරෙහි පවා පහල වන “තෘණ දෙවියෝ”ය ආදී වශයෙන් අතිශය විශාල පරාසයක ඇති ප්‍රභල මෙන්ම බලයෙන් අඩු වූද ආයුෂ, වර්ණ, සැප, බල ආදියෙන් විශා‍ල පරාසයක විවිධත්වයක් සහිත වූද දිව්‍යමය උත්පත්ති ලැබුවෝ භූම්‍යස්ථ දෙවියන් අතර සිටිති. සියලු භූම්‍යස්ත දෙවියන්ද චාතුර්මහාරාජික දෙව් ලොව යටතේ ඊට අයත්වද සලකා පාලනය වන බව දක්වා තිබේ. 

දෙව් සැප – දෙවියන්ගේ ශරීර ස්වභාවය, ශරීර ප්‍රභාව (ආලෝකය), ඉන්ද්‍රිය ශක්තිය. 
ධර්මයෙහි සඳහන් කරුණු අනුව පැහැදිලි වන්නේ නිසැක වශයෙන්ම දෙවියන්ගේ ශරීර ස්වභාවය අපේ “චක්ඛුඉන්ද්‍රියට” සාමාන්‍ය තත්වයන් යටතේ ගෝචර නොවන සියුම් ස්වභාවයක්‌ ගන්නා බවයි. විශේෂයෙන් මනුෂ්‍ය ශරීරය තරම් භෞතිකය රළු නොවන සියුම් ශරීර ස්වභාවයක් සහිතව දෙවියන්ගේ ශරීරය සැකසී ඇති බව පැහැදිලිය. තවද දෙවියන්ගේ ශරීරය විෂයෙහි සෑමවිටම පාහේ විශේෂයෙන් සඳහන් කෙරෙන කරුණක් වන්නේ ශරීර ප්‍රභාවයි. ඒ ඒ දෙවියන් සතු මහේශාක්‍ය බව, බලය, දෙවියන් අතර හිමි ස්ථානය ආදිය තීරණය වීමේදීද මෙම ශරීර ප්‍රභාව විශේෂ වැදගත් කමක් උසුලන බව උදාහරණ වලින් පෙනෙන්නට තිබේ. දිව්‍ය ශරීරයෙහි ප්‍රභාව අතිශය ප්‍රභල, අතිශයින් වර්ණවත්, හිරු සඳු ගේ ආලෝකය පරදවන මහත් වූ ආලෝකයකි. කරුණු විමසා බැලීමේදී පෙනී යන්නේ මිනිස් ලොවට පැමිණෙන දෙවියන් විෂයෙහි මෙම අතිශය දීප්තිමත් ආලෝකය මනුෂ්‍යයන්ට ඉන්ද්‍රිය ගෝචර වන බවයි. දෙවියන්ගේ ඉන්ද්‍රිය පද්ධතිය මනුෂ්‍යයන්ට සාපේක්ෂව සහ ඒ ඒ පහල දිව්‍ය තලයන්ට සාපේක්ෂව සියුම් සහ ප්‍රබල බව පෙනෙන්නට තිබේ. ඉහල ඉහල දිව්‍ය තලයන්හි දෙවියන්ට පහල පහල දිව්‍ය තලයන්හි දෙවියන් ඉන්ද්‍රිය ගෝචර වන නමුත් පහල දිව්‍ය තලයන්හි දෙවියන්ට ඉහල දිව්‍ය ගෝචර වීම සීමා සහිතය. චාතුර්මහාරාජිකයේ දෙවියන් සහ තව්තිසා වැසි දෙවියන් අතර නම් විශේෂ සම්බන්ධතාවක් තිබෙන බව දක්වා ඇත. එම දිව්‍ය තල දෙකම “ශක්‍ර” නමින් හැඳින්වෙන තනතුර ලබන බලවත් දෙව්රජ කෙනෙකු යටතේ පාලනය වන බැවිනි. දෙවියන්ගේ ඉන්ද්‍රිය පද්ධතියෙහි විශේෂයෙන් “දිව්‍ය ඇස” සහ “දිව්‍ය කන” (දිබ්බ සෝත/ දිබ්බ චක්ඛු) පිලිබඳ කරුණු සඳහන් වෙයි. අතිශය සියුම් දේ දැකිය හැකි අතිශය සියුම් දේ ඇසිය හැකි ඉතා දුර තිබෙන දේ දැකීමට හැකි ඉතා දුරින් හටගන්නා ශබ්ද ඇසීමට හැකි ඇස් කන් දෙවියන්ට හිමිය. දෙවියන්හට බොහෝ සෙයින් පරචිත්ත විජානනය සහ යම් ප්‍රමාණයක පුබ්බේනිවාසානුස්සති ඥානයක් හිමිවන් බව පෙනෙයි. මෙම ශක්තීන්හි විවිධ වෙනස්කම්, මට්ටම් සහ විවිධත්වයන් දක්නට තිබේ. භෞතික බාධාවන්ගෙන් තොර අතිශය වේගවත් චලන ශක්තියක්ද දෙවියන් සතුය. සියුම් ශරීර සහිත දෙවියන් පහසුවෙන් විශේෂ ආධාර රහිතවම මනුෂ්‍ය ලෝකය ඇතුළු වෙනස් ස්ථාන වලට ගමන් කරන බව දක්වා ඇත. ඒ ඒ දිව්‍ය තලයන්හි විවිධාකාර විමානයන් පිහිටා තිබේ. මහා ප්‍රසාදයන් සහිතව, අතිශය ප්‍රසන්න වූ අලංකාර ගංගා ජලාශ, අලංකාර වෘක්ෂලතා, දිව්‍යමය සුගන්ධයෙන් යුත් මල් පල ආදිය දෙවියන් සතුය. මනරම් උයන්, විසිතුරු බලවත් දිව්‍යමය සතුන් (මෙම සතුන් තිරිසන් අපායට අයත් නොවන දිව්‍යමය ප්‍රතිසන්ධි ඇති සත්ත්වයෝය. සමහර එවන් දිව්‍යමය සතුන් අවස්ථානුකූලව එම සත්ත්ව ස්වරූප ගන්නා දේව පුත්‍රයෝ වෙති.), සප්ත රත්නයන් සහ මහත් වූ මාණික්‍ය රත්නයන් දෙවියන් සතු වෙයි. භූම්‍යස්ථ දෙවියන්ගේ ආයුෂ පිළිබඳව නිශ්චිත කාල පරාසයක් නැත. අදාළ කාර්ම විපාකය ඇති තාක් ඔවුනට ආයුෂ තිබේ. දින සතේ සිට කල්පයක් දක්වා ආයුෂ ඇති භූම්යස්ථ දෙවියෝ වෙති. චාතුර්මහාරාජිකය ඇතුළු අනෙකුත් දිව්‍ය තලයන්ට අදාල නිශ්චිත ආයුෂ ප්‍රමාණයන් කියා ඇත. පෙර ලිපියෙහි සඳහන් කරන ලද නමුත් පහසුව උදෙසා නැවත මෙහි එම වගුව දක්වනු ලැබේ. ඉතාම විශේෂ අවස්ථා හැරුණු කොට බොහෝ සෙයින් දෙවියන් පරමායුෂ විඳින බව පෙනෙන්නට තිබේ. දිව්‍ය සැප යනුවෙන් හඳුන්වන්නේද ඉතා ඉහල කාම සම්පත්තීන්ය. කාමයෝ යනු ඇස, කන, නාසය, දිව, ශරීරය යන ඉන්ද්‍රීන් පිනවීමට උපකාර වන විවිධ වස්තූන් වෙති. දිව්‍යමය ආහාර, දිව්‍ය ප්‍රභාව සහිත, වර්ණවත් සියුම් සුවදෙන වස්ත්‍රාභරණ, රූපශ්‍රීයෙන් අනූන දිව්‍යාංගනාවන්, දිව්‍ය විමාන ආදී විසිතුරු විචිත්‍ර සම්පත් ඇසුරෙහි දෙවියන් කම් සැප විඳියි. තවද මනුෂ්‍යයන්ට මෙන් නොව ඉතා දීර්ඝ කාලයක් ඊකාන්ත වශයෙන් යම් කම් සුවයක පහස විඳිමින් සිටීමට දෙවියන්ට හැකියාව තිබේ. දිව්‍යමය ක්‍රීඩා, රති සුව වින්දනය දෙවියන් සතු කාමයන්ට අයත් වෙයි. නමුත් බොහෝ සම්යග්දෘෂ්ටික දෙවියන් කම් සැපෙහි නියැලී නමුත් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයෙහි පිහිටා ශීලාදී ගුණධර්මයන්හි කුශල කර්මයන්හි යෙදෙන බවටත් දානාදී කුශල කර්මයන්හි උත්සාහවත් වන බවටත් බොහෝ කරුණු තිබේ. 


කාමාවචර භූමි    (කාම සුගතිය)
කාමාවචර භූමි    (කාම සුගතිය)ඉහලට ඇති දුර ආසන්නතම තලයේ/ලෝකයේ සිටය
පිහිටීම ඉහලටදිනකට මනුෂ්‍ය වර්ෂආයුෂ(දෙව්ලොව  වර්ෂ වලින් )මුළු ආයුෂ මනුෂ්‍ය වර්ෂයෙන්
සදෙව් ලොව6පරිනිම්මිත වසවත්තියයොදුන් 42000160016000අවු: 92,160,00000
5නිම්මාණරතියයොදුන් 420008008000අවු: 23,040,00000
4තුසිතයයොදුන් 420004004000අවු: 5,760,00000
3යාමයයොදුන් 420002002000අවු: 1,440,00000
2තාවතිංසය (තව්තිසාව)යොදුන් 420001001000අවු: 360,00000
1චාතුර්මහාරාජිකයයොදුන් 4200050500අවු: 90,00000
මනුෂ්‍ය ලෝකය – ආයුෂ අවුරුදු 10 සිට අවුරුදු අසංඛ්‍ය 10140 විහිදෙයි.(චාතුම්මහාරාජිකයට යොදුන් 42000 ක් පහලින් සංජීවයට යොදුන් 15000 ක් ඉහලින් පිහිටා ඇත.)
ඉහලට ඇති දුර ආසන්නතම තලයේ/ලෝකයේ සිටය (යොදුනක් යනු සැතපුම් දහසයකි)


දෙවියන් අතර ඉපදීමටත් දිව්‍ය සැප සම්පත් ලඟා කර ගැනීමටත් නිවන් දක්නා තෙක් සතර අපායෙහි දුකට නොවැටී සිටීමටත් අතිශය පිරිපුන් උතුම් වූ මගපෙන්වීම් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයෙහි ඇතුලත් වෙයි. දන් දීම, ශීලය පරිපූර්ණ කිරීම සහ “දෙවතානුස්සතිය” වැඩීම එහිදී විශේෂ වෙයි. දෙවියන් අතර ඉපදීමට කැමති යම් පිවත් කෙනෙක් වෙත්නම් ඒ ඒ දෙවියන් දිව්‍යමය උත්පත්තීන් ලබා ගැනීම උදෙසා යම් ප්‍රතිපදාවක් ගන්නා ලද්දේද ඒ ප්‍රතිපදාවන්හි නියැලිය යුතුය. භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ සියලු ගති දන්නා සේක. ඒ ඒ ගතියට පැමිණෙන මාර්ගයද දන්නා සේක. මජ්ඣිමනිකාය මහාසීහනාද සූත්‍රයෙහි සාරිපුත්ත මහරහතන් වහන්සේ අමතා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන ලද පරිදි භාගවතුන් වහන්සේ යම් සත්ත්වයක් දෙවියන් අතර උපදින මාර්ගය ඒකාන්ත වශයෙන් දන්නා සේක. උන්වහන්සේ මෙහෙ දේශනා කොට වදාළ සේක. 

සාරිපුත්තය, මම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයකු මෙසේ මගේ සිතින් ඔහු සිත පිරිසිඳ දනිමි. කය බිඳීමෙන් මරණින් මතු යම්සේ ස්වර්ගයෙහි (දිව්‍ය/බ්‍රහ්ම තල) උපදින්නේද, මේ පුද්ගල තෙමේ ඒ ආකාරයෙන් පිළිපදී. ඉරියවු පවත්වයි. ක්‍රියා කරයි. සාරිපුත්තය පසු කලෙක මිනිස් ඇස ඉක්මවූ පිරිසිඳු දිවැසින්, කය බිඳීමෙන් මියගොස් ඒකාන්ත සැප ඇති, සුගති නම වූ ස්වර්ගයෙහි උපන් මහත් වූ ඒකාන්ත වූ සැප වේදනා විඳින ස්වර්ගයෙහි උපන් ඒ පුද්ගලයා දකිමි. 
සාරිපුත්තය, යම් සේ ප්‍රාසාදයක් වේද, එහි ඇතුලත පිටත මනාව වැසූ අගුලු දැමූ, සිහිල් වාතය ඇති, මෘදු පලසින් කරන ලද බුමුතුරුණු පලස් උඩු වියන් ඇති පළඟක් (ආසනයක් හෝ සයනයක්) ඇති මහත් සුවපහසු කුටියක්ද‌ වේද, එකල්හි ග්‍රීශ්මයෙන් තැවුණු, ක්ලාන්ත වූ, පිපාසයෙන් පීඩිතව දුර්වල වූ ජල තෘෂ්ණාවෙන් යුත් පුද්ගලයෙක් යම් සේ ඒ ප්‍රාසාදය වෙතම, ඊටම යොමු වී ඇති එකම මාර්ගයෙන්, ඒ ප්‍රාසාදය උදෙසාම එන්නේද, එකල්හි ඒ පුරුෂයා දකින යම් ඇස් ඇති පුරුෂයෙක්, “මොහු මේ ප්‍රාසාදය වෙතම, ඊටම වැටී ඇති එකම මාර්ගයෙන් එන්නේය”යි කියන්නේද, පසුව ඒ ප්‍රාසාදය වෙත පැමිණ ඒ පළඟෙහි සැප ඇතිව හිඳින හෝ නිදන ඒ පුරුෂයා දකින්නේය. එසේම, සාරිපුත්තය, මම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයකු මෙසේ මගේ සිතින් ඔහු සිත පිරිසිඳ දනිමි. කය බිඳීමෙන් මරණින් මතු යම්සේ ස්වර්ගයෙහි (දිව්‍ය/බ්‍රහ්ම තල) උපදින්නේද, මේ පුද්ගල තෙමේ ඒ ආකාරයෙන් පිළිපදී. ඉරියවු පවත්වයි. ක්‍රියා කරයි. සාරිපුත්තය පසු කලෙක මිනිස් ඇස ඉක්මවූ පිරිසිඳු දිවැසින්, කය බිඳීමෙන් මියගොස් ඒකාන්ත සැප ඇති, සුගති නම වූ ස්වර්ගයෙහි උපන් මහත් වූ ඒකාන්ත වූ සැප වේදනා විඳින ස්වර්ගයෙහි උපන් ඒ පුද්ගලයා දකිමි. 

මෙසේ සියලු ගති දන්නා වූ දක්නා වූ භාග්‍යවතුන් වහන්සේ අපට “දෙවතානුස්සතිය” වැඩීමට මගපෙන්වා වදාළ සේක. දෙවියන් විෂයෙහි පවත්නා විශේෂ ලක්ෂණ පහක් ඇසුරින් දෙවතානුස්සතිය වැඩිය හැකිය. සද්ධා, ශීල, සුත, චාග, ප්‍රඥා යනු එම උතුම් ධර්මයෝ වෙති. දෙවියන් අතර ඉපදුනු සත්ත්වයන් එසේ දිව්‍යමය උපතක් ලබා ඇත්තේ ශ්‍රද්ධාව, ශීලය, ධර්මය අසනලද සහ ධාරණය කර ගන්නා ලද බව, ත්‍යාගශීලී බව, ප්‍රඥාවන්ත බව යන ගුණ ධර්ම වැඩීම, බහුල ලෙස පුහුණු කිරීම, එම ගුණ ධර්මයන්හි පිහිටා සිටීම හේතුවෙනි. එනිසා දෙවියන් හා එක් වීමට කැමති අප සියලු දෙනාද භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයෙහි ශ්‍රද්ධාවට පැමිණීමත්, නීති පංචශීලය සහ විශේෂයෙන් මසකට දින කිහිපයක් වත් උතුම් වූ පූර්ණ උපෝසථ අෂ්ටාංගික ශීලය සමාදන් වීමත්, ත්‍රිපිටක ශ්‍රී සද්ධර්මය ඉගෙනීමත් එය දැරීමත්, ත්‍යාගශීලී ගුණයෙන් යුතුව සංඝයා උදෙසාත් සිල්වත් අන්‍යයන් උදෙසාත්, අසරණයන් උදෙසාත් දන් දීමත්, දශ පුණ්‍ය ක්රියාවන්හිම යෙදෙමින් දෘෂ්ටිය සෘජු කරගනිමින් ප්‍රඥාව වර්ධනය කර ගැනීම උදෙසාත් කටයුතු කල යුතුය.

එසේ එම ගුණ ධර්ම පහ දියුණු තියුණු කරගැනීමෙන් ඔබට “දෙවතානුස්සතිය” වැඩීමට ශක්තිය අවකාශ ලැබේ. දෙවතානුස්සතිය වැඩීම පිළිබඳව අතිශය සංක්ෂිප්ත විස්තරයක් මෙසේය. 

1. තිසරණ සහිත පංච ශීලය සමාදන් වී හෝ අෂ්ටාංග ශීලය සමාදන් වී හෝ ශීලයෙහි පිහිටා මෙහෙ මෙනෙහි කල යුතුය. 
2. යම්සේ චතුර්මහාරාජිකාදී දිවය තලයන්හි දෙවියන් යම් ශ්‍රද්ධාවකින් යුක්ත වේද, මමද එබඳු වූ ශ්‍රද්ධාවකින් යුක්ත වෙමි. 
3. යම්සේ චතුර්මහාරාජිකාදී දිවය තලයන්හි දෙවියන් යම් ශීලයකින් යුක්ත වේද, මමද එබඳු වූ ශීලයකින් යුක්ත වෙමි. 
4. යම්සේ චතුර්මහාරාජිකාදී දිවය තලයන්හි දෙවියන් යම් සුත ගුණයකින් යුක්ත වේද, මමද එබඳු වූ සුත ගුණයෙන් යුක්ත වෙමි. 
5. යම්සේ චතුර්මහාරාජිකාදී දිවය තලයන්හි දෙවියන් යම් චාග ගුණයෙන් යුක්ත වේද, මමද එබඳු වූ චාග ගුණයෙන් යුක්ත වෙමි. 
6. යම්සේ චතුර්මහාරාජිකාදී දිවය තලයන්හි දෙවියන් යම් ප්‍රඥාවකින් යුක්ත වේද, මමද එබඳු වූ ප්‍රඥාවකින් යුක්ත වෙමි. 

මේ අයුරින් ඒ ඒ දිව්‍ය තලයන් වෙන් වෙන් වශයෙන් ගෙන මෙනෙහි කිරීමටත් වැඩීමටත් කටයුතු කල යුතුය. එය ඔබට දෙවියන් අතර ඉපදීමට නිසැකව හේතුවන දහම් මගකි. 

දෙවියන් පිලිබඳ මේ ලිපි පෙළ අප සකසන්නේ හුදෙක් ඒ ගැන විස්තර කියවීමන් තර්ක කිරීමෙන් වින්දනයක් ලබා ගැනීමට නොව, අප සියලු දෙනාටම සුගති මග විවර කර ගැනීමට හැකි වන පරිදි අපේ දෘෂ්ටිය සෘජු කර ගැනීමටත් කුසල් දහම්හි උනන්දු කිරීමටත් කටයුතු කිරීමේ අරමුණෙනි. දෙවියන් පිලිබඳ ලිවීමට සහ සකස් කිරීමට ඇති කරුණු සහ නිරවුල්ව සටහන් කල යුතු කරුණු අතිරාශියකි. නාග ලෝකය, ඒ ඒ දිවය ලෝකයන්හි විශේෂ විස්තර, දෙවියන්ට ඇති විශේෂ ප්‍රශ්න, සම්‍යග් දෘෂ්ටික සහ මිත්‍යාදෘෂ්ටික දෙවිවරු, අන්‍යාගම් වලට සම්බන්ධ දෙවි වරු, මැවුම්වාදය සහ නිර්මාණ වාදයට සම්බන්ධ දෙවිවරු, භූම්‍යස්ථ දෙවි වරු, ගාන්ධර්වයෝ, යක්ෂයෝ, කුම්භාණ්ඩයෝ යන විශේෂ දිව්‍ය නිකායයන් ආදිය ගැන විශේෂ කරුණු දැක්විය යුතුය. එනිසා, ලිපි ගණනාවකින් එම කරුණු ඉදිරිපත් කරමින් ඒ ඒ සෑම ලිපියකින්ම ධර්මය කෙරෙහි දැඩි උනන්දුවක් ඇති කිරීමට අවශ්‍ය දේශනා උපුටා දක්වමින්ද ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි. ඊළඟ ලිපියෙන් භාග්‍යවතුන් වහන්සේගේ මහා සාමය සූත්‍ර දේශනාව සඳහා පැමිණි දෙවියන් පිලිබඳ විස්තර සහ තවත් කරුණු රාශියක් පලපොරොත්තු වන්න. 

 තෙරුවන් සරණයි!!! 

සසිත් රාජසූරිය 

August 20, 2013 at 12:01 am | lanka C news 
මූලාශ්‍ර 
මජ්ඣිම නිකාය 
මහා සීහනාද සූත්‍රය 
විමානවත්ථු පාලි 
පේතවත්තු පාලි 
අභිධර්මාර්ථ ප්‍රදීපිකාව 
විශුද්ධි මාර්ගය.