දුටුගැමුණු රජු කල පිරිණිවන් පෑ මලියදේව හිමියන් ලංකාවේ අන්තිම රහත් තෙරනම නොවේ. සැබැවින්ම, අද වුව රහතුන් බිහි විය හැකිය. ඒ සදහා අවශ්‍ය වන්නේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ ශ්‍රී සද්ධර්මය සීල සමාධි ප්‍රඥා වශයෙන් දියුණු කොට සාක්ෂාත් කිරීමයි.

ඔබත් බුදුරදුන් පෙන්වා වදාළ උත්තම දහම් මාර්ගයේ ගමන් කරන්න


Powered by දහම් විල


ලිපි සඳහා පහත මාසය අනුව ලිපි පටුන බලන්න

ලොව දැකීම 2


රෝහිතස්ස සූත්‍රය ඇසුරෙන් පූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමි පැවැත්වූ දේශනයක අවසන් කොටසයි මේ.

හොඳට බලන්න, බුදු රජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා පංච උපාදානස්කන්ධයේ උදය, වැය දකින්න කියලා. අවිද්‍යා ප්‍රත්‍යයෙන්, කර්ම ප්‍රත්‍යයෙන්, තණ්හා ප්‍රත්‍යයෙන් හා ආහාර ප්‍රත්‍යයෙන් පංච උපාදානස්කන්ධයේ ඇති වීම සිදු වෙනවා කියන ඒ බුද්ධ දේශනාව අනුව, පෙනීම කියන සිද්ධිය ඇති වුණේ මෙහෙමයි, නැති වුණේ මෙහෙමයි කියලා දකින්නට අපිට පුළුවන් වෙන්න ඕන.
මෙතැනදී පෙර අවිද්‍යාව නිසා කර්ම, ඒ කර්මයට මරණාසන්න මොහොතේදී තණ්හා කළ නිසා ප්‍රතිසන්ධි ආවා. ඒ ප්‍රතිසන්ධි සිතේ වූ නාම-රූප ධර්මවලට අනුව කන-බොන ආහාරය නිසා මේ ආයතන ටික හැදුණා. ඒ ආයතන නිසා ස්පර්ශ හැදුණා නේද කියලා අපිට පටිච්ච සමුප්පාදයට අනුව බලන්න වෙනවා.
“අවිජ්ජා පච්චයා සංඛාරා, සංඛාර පච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණ පච්චයා නාමරූපං, නාමරූප පච්චයා සළායතනං, සළායතන පච්චයා ඵස්සෝ” කියලා බලන්නට පුළුවන් නම්, මේ පෙනෙන දේට හේතු වශයෙන් ගන්නට වෙන්නේ ඒ ටිකයි. පෙනෙනවා වාගේම, පෙනෙන දේ ඇති වෙන්න හේතු වෙච්ච හේතු ටිකත් නැති වෙනවා කියලා නේද? පංච උපාදානස්කන්ධයේ උදය වැය බල-බලා හිටියොත් මේ පින්වතුන්ට රූප සංඥාව අතහැරෙනවා.
රූප සංඥාව කියන්නේ මොකක්ද? රූපයක් තියෙනවා කියලා රූපයට නැඹුරු වෙලා ඉන්නවා කියන සිද්ධියටයි. රූපයක් තියෙනවා කියලා හැඳිනීමට කියනවා රූප සංඥාව කියලා. පටිච්ච සමුප්පදායට අනුව පෙනෙන දේ අරභයා හිත තියලා බැලුවොත් ඉන්නේ රූප සංඥාවෙන් මිදිලා. ආයතන ටික නිසාම රූප පෙනෙනවා කියලා තේරෙයි. එතකොට තේරෙනවා, දකින්නට ඉස්සර තිබුණත් නොවෙයි; දැක්කායින් පස්සේ තිබුණත් නොවෙයි. ආයතන ටික නිසාමයි පෙනෙන්නේ. ආයතන ටිකේ හැකියාව නිසා මේ අවකාශ ධාතුවේ රවුම්වට, දිගට, මහතට, රූප කලාප රාශි වෙලා අපට පෙනෙනවා. බාහිර ධාතුව නිසා හැඩතල හදලා අපට පෙන්නන්නේ ඒ ඒ ආයතනයේ හැටියටයි.
අවකාශ කියන-එක සංඛතයි. වැඩි දෙනෙක් කියන්නේ නිවනත් අවකාශ වාගෙයි, අවකාශය ඉබේම තියෙන-එකක්, ඒක හැදිච්ච-එකක් නොවෙයි කියලයි. නමුත් මම කියනවා අවකාශය ප්‍රත්‍යයෙන් උපන්-එකක්. අවකාශයත් සංඛතයි, අවකාශය හේතූන්ගෙන් හටගත්-එකක් කියලා. අවකාශය අසංඛත නම් හැමදාම එක වගේ තියෙන්ට ඕන. එක එක ස්පර්ශයට අනුව අවකාශය වෙනස් වෙනවා නම්, ඒ අවකාශය සංඛතයි නේද? අවකාශය අපේ කර්මයට අනුව සකස් කරගත් එකක් නොවෙයිද? බුදු රජාණන් වහන්සේ දේශනා කළා මේ අවකාශය සහිත ලෝකයක් තියෙන්ට බෑ මේ අධ්‍යාත්මයේ සිදු වන සිද්ධියෙන් තොරව කියලා.
බ්‍රහ්මලෝකයේ ඉන්න බ්‍රහ්මයෝ තව්තිසා දෙව්ලොවට එනකොට තව්තිසා වැසි දෙවියන්ට ඒ අය පෙනෙන්නේ නැහැ. පෙනෙන්න නම් රළු ආත්මයක් මවාගෙන එන්න ඕන. තව්තිසා වැසි දෙවියන් මනුෂ්‍ය ලෝකයට එන විට අපිට පෙනෙන්නේ නැහැ; රළු ආත්මයක් මවාගෙන ආවොත් තමයි අපිට පෙනෙන්නේ. මේ අවකාශය තුන් දෙනාට වෙනස්. තව්තිසා වැසි දෙවියන්ට මේ අපේ රූපය ඇතුළෙන් යන්නට පුළුවන්. මේකෙ ගැටෙන්නේ නෑ අවකාශ නිසා. හැබැයි එයාට ඒ මට්ටමේ රූප හරහා යන්න බෑ, ගැටෙනවා.
බ්‍රහ්මයන්ට අපෙත් දෙවියන්ගේත් රූප හරහා යන්න පුළුවන්, අවකාශයයි. හැබැයි එයාට ඒ මට්ටමේ රූපවල යන්න බැහැ. වදිනවා; ගැටෙනවා. එතකොට මේ ආයතන හයෙන් බැහැරව හිස් අවකාශය කියලා එකක් වත් නෑ. ඔය අවකාශය ඉතිරි වුණොත් තමයි අපිට ඒකේ තියෙන රූප ඉතිරි වෙන්නේ. හිස් අවකාශයක් හැදිලා තියෙන්නේ ආයතන හයට සාපේක්ෂව නම් “සළායතන පච්චයා ඵස්සෝ” කියන තැන තේරෙනවා නම්, දකින්න ලෝකය කියන-එක ආයතනයටමයි සම්බන්ධ වෙනනේ කියලා. මේ පටිච්ච සමුප්පාදය හරහා බුදු දහමෙන් පෙන්නන කාරණය ගොඩාක් ගැඹුරුයි. මීට වඩා ගොඩාක් ලස්සනට විස්තර සහිතව විග්‍රහ කරලා පෙන්නුවොත් ආශ්‍රව ගෙවෙනවා කියන-එක පුදුමයක් නොවෙයි.
ඒ නිසා මම අනුමානයෙන් මතක් කළ තැනක් තියෙනවා දකින්න. සෑම ආගමකටම, සෑම දර්ශනයකටම වඩා බුදු දහම වටිනවා කියන්නේ කුමක් නිසාද? වෙනත් ආගම්වල දර්ශනවල ‘ලෝකය’ කියලා කියන තැන තියෙන ලෝකයක ඉපදුණා. උපදින්නට ඉස්සර වෙලත් ලෝකය තිබුණා, තියෙන ලෝකයේ ජීවත් වෙලා මැරිලා යනවා කියන අදහසයි දෙන්නේ. ඔය දර්ශනයට වඩා බුදුදහම වටින්නෙත්, ශ්‍රේෂ්ඨ වෙන්නෙත් ඔය කාරණය මතමයි.
ඉපදෙන්නට ඉස්සර වෙලා ලෝකය තිබුණා නොවෙයි; ආයතන ටිකේ ඉපදීමම ලෝකයේ ඉපදීමයි. තිබෙන ලෝකයක් ඇසුරු කරනවා නොවෙයි; ආයතන ටිකේ ඇසුරු කිරීමම ලෝකයේ ඇසුරු කිරීමයි. ඒ ඇසුරු කළ, ජීවත් වුණ ලෝකයේ ඉඳලා මැරිලා යනවා. ලෝකය ඉතිරි වෙනවා නොවෙයි; ආයතන ටිකේ නැති වීමම ලෝකයේ නැති වීමයි කියන තථාගත දර්ශනය දකින්ට.
මෙන්න මේකමයි ලෝකය පිළිබඳ ඇත්ත. කවදාවත් වරදින්නේ නෑ. සම්මුති දේශනාව අනුව අරමුණක් දකින්නට ඉස්සර තිබුණා නොවෙයි; දැක්කායින් පස්සේ තියෙනවා නොවෙයි; අවස්ථාවට ආයතනය නිසා හැදිලයි පෙනෙන්නේ.
කවුරුහරි ඇහුවොත් ඇයි එහෙම කියන්නේ කියලා ඔබට තවම උත්තරයක් දෙන්ට බැරි වෙයි; නමුත් දැනගෙන ඉන්න: “අවිජ්ජා පච්චයා සංඛාරා, සංඛාර පච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණ පච්චයා නාමරූපං, නාමරූප පච්චයා සළායතනං, සළායතන පච්චයා ඵස්සෝ” බුදු රජාණන් වහන්සේ මෙය ඔප්පු කරලා පෙන්නන්නේ මේ න්‍යායෙනුයි කියන-එක. කෙටියෙන් කියනවා නම් මේ දර්ශනයත්, මේ දර්ශනය පෙන්නන්න හේතුව පටිච්චසමුප්පාදය බවත් දැනගන්න. සෑම දහමක්ම අහලා ඔතැන්ට ගළප-ගළපා බලන්න. අහක නොයන නිවැරැදි උත්තරයකට එයි. ඊට මෙහා බුදු රජාණන් වහන්සේ දේශනා කළා කීවාට විශ්වාස කරන්න එපා. බුදු රජාණන් වහන්සේ දේශනා කළේ දහමට විනයට ගැළැපෙනවා නම් බාර ගන්ට, නැත් නම් බැහැර කරන්න කියලනේ.
මේ දහම ලිහලා මීට වඩා තේරෙන මට්ටමකට ආවොත් මේ පින්වතුන් ගොඩ යනවා කියන-එකත් පුදුමයක් නොවෙයි කියල මට හිතෙනවා. එහෙම ලිහලා පෙන්නන්න පුළුවන් වුණොත් නිවන් දකිනවා කියන-එක ප්‍රශ්නයක් නොවෙයි. නමුත් මේ අද, මේ පවතින ස්වභාවය ලිහා නොදෙන තාක්, නිවන් දකිනවා කියන-එක නම් ප්‍රශ්නයක් තමයි. අපට හීනයකින් වත් මෙවැනි දර්ශනයක් අහන්නට ලැබුණේ නෑ. හැම වෙලාවෙම අහන්න ලැබෙන්නේ “ලෝකය තියෙනවා, ඒ තියෙන ලෝකයේ තණ්හා නොකර ඉන්න” කියන-එකයි. නමුත් තියෙනවා කියන ලෝකය පිළිබඳ නිත්‍ය සංඥාවෙන් මිදෙන ක්‍රමයක් පෙන්නන්නේ නෑ. ඒ නිසා හොඳට මතක තියාගන්න: මේ පටිච්චසමුප්පාදය දේශනා කරලා තියෙන්නේ නිකං නොවෙයි. මේ ලෝකය තුළ අපි විඳින්නේ අපේ කර්මයමයි කියන-එක ඒකෙන් පෙන්නනවා.
තව පැත්තකින් බැලුවොත් ‘ඇත’ හෝ ‘නැත’ කියන උත්තර ගන්ට අපට හරි පහසුයි.
නමුත් කෙනෙකුට ‘නැත’ කියන තැනින් මිදෙන්නට පුළුවන් නම් ‘ඇත’ කියන-එකට පත් නොවී, හා ‘ඇත’ කියන තැනින් මිදෙන්නට පුළුවන් නම් ‘නැත’ කියන තැනට පත් නොවී, ඒක හරි වටිනා දෙයක්, ආශ්චර්යවත් දෙයක් වෙනවා.
අපට හිතෙනවා නම් අපාය, දිව්‍යලෝක හා බ්‍රහ්මලෝක තියෙනවා කියලා, ඒක ශාස්වත දෘෂ්ටියට වැටෙනවා. අපාය, දිව්‍යලෝක හා බ්‍රහ්ම ලෝක නෑ කියන උච්ඡේද දෘෂ්ටියට වැටෙන්නේ නැතිව, ඒ දෘෂ්ටියෙන් මිදෙන්න පුළුවන් නම් ලෝකයට හිතාගන්නට වත් බැරි තරමට ඒක හරි වටිනවා. තියෙනවා කියන ශාස්වත දෘෂ්ටියෙන් මිදෙන්න ලෝකයා දන්නවා; හැබැයි, ඒ සමඟම අපාය, දිව්‍යලෝක ආදිය නෑ කියලා උච්ඡේද දෘෂ්ටියට පත් වෙලා. ඒ නිසා කෙරෙන්න ඕන උච්ඡේද දෘෂ්ටිය ඇසුරු නොකර ශාස්වත දෘෂ්ටියෙන් මිදෙන්න ඕන; ශාස්වත දෘෂ්ටිය ඇසුරු නොකර උච්ඡේද දෘෂ්ටියෙන් මිදෙන්න ඕන. එතකොට එයාට ඉතිරි වන එකම න්‍යාය, එකම මාර්ගය වෙන්නේ මධ්‍යම ප්‍රතපදාවයි.
“අවිජ්ජා පච්චයා සංඛාරා, සංඛාර පච්චයා විඤ්ඤාණං” කියලා බුදු රජාණන් වහන්සේ දේශනා කළේ අපායට යන මට්ටමේ කර්මයක් කළොත්, මරණාසන්න මොහොතේදී ඒ කර්මය මතක් වුණොත්, ඊළඟ ප්‍රතිසන්ධි සිත ඇති වන්නේ, ඒ කර්මයේ තියෙන ගති මට්ටමට අනුවයි. ඊට පස්සේ, ඒ ප්‍රතිසන්ධි සිතට අනුව නාම රූප දෙකත්, ඒ නාම රූප දෙකට අනුව සළායතනත්, ඒ සළායතනවලට ගැළපෙන මට්ටමේ ක්රූර වූ, කටුක වූ, තියුණු වූ ස්පර්ශ මට්ටමකුත් ඇති වෙනවා. එතකොට ඒකට ස්පර්ශ වෙන්නේ දුක එන මට්ටමේ රූප විතරයි. එතකොට එවැනි කර්මයක් තියෙනවා නම් අපායෙ ඉපදෙන්නෙ නෑ කියන්න බෑ. බැරි වෙලා හරි මෙහෙම කර්මයක් නො තිබී, ප්‍රතිසන්ධි සිතකුත් ඇති නොවුණොත්, ඒ මට්ටමේ නාම රූප හා ආයතන නිසා ස්පර්ශයක් සිදු නොවන නිසා ‘තියෙනවා’ කියන්ටත් බෑ. හැබැයි හොඳට මතක තියාගන්න, “මෙය ඇති කල්හි මෙය වෙයි” කියන-එක.
අපායට යන, ලෝකය හඳුන්වන මට්ටමේ කර්මයක් තිබුණොත් විඤ්ඤාණය ප්‍රතිසන්ධි වශයෙන් ගිහින් අපා දුකක්ම ස්පර්ශ කරන්න වෙනවා.
අවිද්‍යා, කර්ම, විඤ්ඤාණ, නාම රූප, සළායතන හා ස්පර්ශ නිරුද්ධ වුණොත් වේදනාවද ඇති වන්නේ නැති නිසා දුකක් ඇති වන්නේ නැහැ. ඒ නිසා, ‘මෙය ඇති කල්හි මෙය වෙනවා, මෙය නැති කල්හි මෙහෙම දෙයක් වෙන්නේ නෑ’ කියලා තේරුම් ගන්න.
ඒ නිසා අපාය නෑ කියන්න බෑ; තියෙනවා කියන්නත් බෑ. ඒ නිසා මෙබඳු වූ ස්පර්ශයක් ස්පර්ශ කරනවාද, නැද්ද කියන-එක ඔබ සතුයි කියන බව “ඒතේ තේ උභෝ අන්තේ අනුපගම්ම මජ්ක්‍ධිමා පටිපදා.” මධ්‍යම ප්‍රතිපදාවෙන් තීරණය කරනවා.
අපාය, දිව්‍යලෝක මෙහේ තියෙනවා නම් කවදාවත් මට නැති කරන්න බැහැ. ඕවාට යන්නම වෙනවා. මේ මනුෂ්‍ය ලෝකයේම ඉඳගෙන අපාය උපදවාගෙන ඒ මොහොතෙම අපායෙ දුක් විඳිනවා. ආයතන ටික නිසා ලෝකය උපදවාගෙන දුක් විඳින බව අවිද්‍යාවෙන් පිරුණ මනසකට පෙනෙන්නේ නැහැ. කෙලෙස් නිසා අපට දැනෙන්නේ තියෙන එකක දුක් විඳිනවා කියලයි.
ඒ වාගේමයි, මනුෂ්‍ය ලෝකය කියලා එකකුත් නෑ කියන්ටත් එපා; තියෙනවා කියන්ටත් එපා. අවිද්‍යා මට්ටම මත මනුෂ්‍යයෙක් වෙන කර්මයක් කළොත් ඒ කර්මය මත ප්‍රතිසන්ධි වශයෙන් විඤ්ඤාණය බැසගත්තොත්, නාම රූප හැදුණොත්, ඒ නාම ධර්ම මත රූපයයි ආයතන ටිකයි හැදුණොත්, මේ මට්ටමේ ස්පර්ශ වෙනවා දැකලා මනුෂ්‍ය ලෝකය තියෙනවා කියලා කියයි. ඉපදෙන්ට ඉස්සර තිබුණු හින්දාවත්, ඉපදුණාට පස්සේ තියෙන මනුෂ්‍ය ලෝකය කියලාවත් නොවෙයි, මේ මනුෂ්‍ය ලෝකය මෙහෙම හමු වුණේ ඇයි කියලා දකින්න.
“අවිජ්ජා පච්චයා සංඛාරා” කියපු තැනින් දකින්න: මේ කර්මය නිසා ප්‍රතිසන්ධි වශයෙන් විඤ්ඤාණය පැමිණියා; ඒ විඤ්ඤාණය නිසා නාම රූප දෙක හැදිලා; ඒකෙ ආයතන ටික හැදුණ නිසා මේ මට්ටමේ රූප ප්‍රකටයි; ඒ ප්‍රකට නාම රූප ‘මගෙ දුව, මගෙ පුතා’ කියල ඔය පෙනෙන ඇහෙන මට්ටමේ හැදිලා තියෙන ඔක්කෝම නව කර්මයි.
ඒ නිසා මේ පටිච්ච සමුප්පාද ක්‍රමයට ලෝකය හැදෙනවා දැක්කහම මනුෂ්‍ය ලෝකය නෑ කියන්නට එපා. හැබැයි මේ මට්ටමේ අවිද්‍යාව, කර්ම නැති වෙලා, ප්‍රතිසන්ධි විඤ්ඤාණයක් ඇති නොවී, නාමරූප ආයතන ටික හැදුණේ නැත් නම් මේ වැනි ස්පර්ශයක් වෙනනේ නෑමයි. ඒ නිසා මේ වාගේ රූප හමු වෙනවාද නැද්ද කියන-එක තීරණය වන්නේ මෙහෙන්, මනසින් අවිද්‍යාව නිසා කර්ම රැස් කිරීමෙනුයි. මේ ආයතන ටිකේ මේ ක්‍රියාව නොදන්නා නිසා ලෝකයට බැඳුණාම, බැඳිලා තියෙන්නේ මෙහෙන්, මනසින්. ඒ නිසා මනුෂ්‍ය ලෝකය තියෙනවා කියලා ගන්නත් එපා.
“අවිජ්ජා නිරෝධෝ සංඛාර නිරෝධා, සංඛාර නිරෝධෝ විඤ්ඤාණ නිරෝධා, විඤ්ඤාණ නිරෝධෝ නාමරූප නිරෝධා” කියන මේ සිද්ධියෙන් තවත් හොඳ කාරණාවක් හෙළි වෙනවා. බුදු රජාණන් වහනසේ දේශනා කරනවා:
“යේභූය්‍යෙන කච්චාන, ලෝකෝ, අත්ථිතඤ්චේ ව නත්ථිතිතඤ්ච.” “කච්චාන, මේ ලෝකය බොහෝ සෙයින් ඇත සහ නැත කියන අන්ත දෙක ඇසුරු කරනවා.”
“ලෝක සමුදයඤ්ච ඛෝ කච්චාන, යථාභූතං සම්මප්පඤ්ඤාය ඵස්සතෝ යා ලොකේ අත්ථිති යා ලෝකේ නත්ථි ති.” “කච්චාන, ලෝකය ඇති වෙන හැටි හා නැති වෙන හැටි යම්කිසි කෙනෙක් නුවණින් දන්නවා නම්, ඇත්ත ඇති හැටියෙන් දකිනවා නම්, කවදාවත් එයා ලෝකය තියෙනව කියන්නෙත් නෑ; නෑ කියන්නෙත් නෑ.
“ඒතේ තේ උභෝ අන්තේ මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අභිසම්බුද්ධො.” මේ අන්ත දෙකට නොපැමිණි තථාගතයෝ අභිසම්බුද්ධත්වයට පත් වුණා.
මේ පටිච්ච සමුප්පාදය හරහා නොගොස් පුළුවන් නම් මේ ලෝකය තුළින්ම එතෙර වෙන්න පුළුවන්ද බලන්න. බාහිරය ඇත්ත වෙච්ච, මෙවැනි දර්ශනයක් නොදන්නා ඔබට බාහිරය ඇත්ත වෙච්ච ලෝකයක් හම්බ වෙන්නේ ඉබේමයි. අවිද්‍යාව අපි ළඟ ගුළිය පිටින්ම තියෙන නිසා ඒක තුළ ඉඳගෙන තණ්හාව නැති කරන්න පුළුවන් කියලා හීනයකින් වත් හිතන්න එපා.
ඒ නිසා සත්පුරුෂයෙක් හැටියට මට කරන්න පුළුවන් එකම දේ, අද දවසෙදි මෙන්න මෙහෙම සිද්ධියකුයි වෙලා තියෙන්නේ, අපි අහු වෙලා තියෙන්නේ මෙහෙමයි කියන-එක පෙන්නන-එක විතරයි.
අනන්ත සංසාරයේ කල්පාන්තර ගණන් අපි ඇවිල්ලා තියෙන්නේ මේ සිද්ධිය දන්නේ නැතුවයි. අපි හැමදාම හිතුවේ: ඉපදෙන්න ඉස්සර තිබුණු ලෝකයක තමයි ඉපදිලා ඉන්නේ, තියෙන ලෝකයක තමයි ඉන්නේ කියලා; එහෙම තියෙන ලෝකයක ඉඳල මැරිලා යනවා කියලා. මෙතෙක් අපට ලෝකය ඇති වන හැටි හා නැති වන හැටි උගන්වන සත්පුරුෂයෝ මුණගැහුණේ නැහැ. පෙර බුදු රජාණන් වහන්සේලාගේ ශාසන අපිට ඇසුරු කරන්න, ඇසුරු කරලා ඒ උත්තමයන්ගේ දහම අහන්න, අපිට ලැබිලා නැහැ. මෙතෙක් මේ සසර ගෙවාගන්න අපට බැරි වුණේ ඒ නිසයි. ඒ නිසා අද දවසේ මේ දේශනා කෙරෙහි ශ්‍රද්ධාවෙන් යොමු වෙන්න ඕන. අපිට පින් තියෙන නිසයි සසර මේ තරම් දුරක් ගෙවාගෙන ඇවිල්ලා, අද දවසේ හරි මෙහෙම තැනකට ඇවිල්ලා, මේ වචන ටික වත් අහන්න පුළුවන් වුණේ.
රෝහිතස්ස සූත්‍රයෙන් මේ ලෝකය කියන-එක බඹයක් පමණ ශරීරයෙන් පනවමි කියලා පෙන්නුවේ ඒ නිසාමයි. “සළායතන පච්චයා ඵස්සෝ” කියන සිද්ධිය නිසා මිසක් බාහිරය නිසා නම් නොවෙයි. අවිද්‍යාව නිසා දිව්‍යලෝක කියන මට්ටමේ කර්මයක් සිදු වුණොත්, ඒ කර්මය දිහා බලාගෙන ප්‍රතිසන්ධි සිත ඇති වෙලා, ඒ සිත නිසාම නාමරූප, ආයතන, ස්පර්ශ හැදෙනවා. ඒ ආයතනවලට ස්පර්ශ වන්නේ ඒ මට්ටමේ රූප නිසා, මේ වාගේම ඇත්ත නොදන්නා නිසා එදාටත් ඒ මට්ටමේ රූපවලට ඇලෙයි: බිරිය, ස්වාමි පුරුෂයා, පුතා, දුව කියලා. අද අපට වෙලා තියෙන්නේ ඒ ටිකනේ? ඒ සියල්ල නව කර්මයි.
හොඳට දකින්න, අපට දිව්‍යලෝකවලදී හමු වන දෙවියන් වත් විමාන වත් තියෙනවා නොවෙයි. “සංඛාර පච්චයා විඤ්ඤාණං, නාම රූප පච්චයා සළායතනං” කියන සිද්ධිය අපි දැන් දන්න නිසා “ඉමස්මිං සති ඉදං හෝති, ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති” කියලා මෙය ඇති කල්හි මෙය වෙයි, මේ ධර්මයන්ගේ ඉපදීමෙන් මෙය වෙනවා කියල වැටහෙන නිසා, දිව්‍යලෝක නෑ කියන්න එපා. ඒ මට්ටමේ අවිද්‍යාව. කර්ම, සළායතන, නාම රූප නැති වුණොත්, ඒ මට්ටමේ ස්පර්ශයක් සිදු නොවන නිසා දිව්‍ය ලෝක ඇත කියන්ටත් එපා. බ්‍රහ්මලෝක පිළිබඳවද මෙසේම දැකිය යුතුයි.
එතකොට දැන් අපට බඹයක් පමණ සිරුර තුළින් තුන් ලෝකයම ඇති වන හැටි නැති වන හැටි දකින්න නුවණ එන්න ඕන. ඒ නිසා මේ ආයතන ටික නිසා දෙවියෙකුගේ මට්ටමේ සැප-දුක් විඳිනවාද, බ්‍රහ්මයෙකුගේ මට්ටමේ සැප-දුක් විඳිනවාද, මනුෂ්‍යයෙකුගේ මට්ටමේ සැප-දුක් විඳිනවාද, සතර අපායේ දුක් විඳිනවාද කියන තීරණය ගන්න, එක් එක් කෙනාට අයිතිය තියෙනවා. මෙවැනි දර්ශනයක් දකින කොට එයා හොඳට දන්නවා පුද්ගලයෙක් හෝ සත්ත්වයෙක් හෝ නොවෙයි, මේ ඇහැ කන ආදි ආයතන මගේ නොවෙයි, මම නොවෙයි, තව කෙනෙකුත් නොවෙයි, සෑම තැනම සිදු වන්නේ මේ සිද්ධියම නේද, පටිච්ච සමුප්පන්න ධර්මතාවයක්ම නේද සිදු වන්නේ කියලා තේරෙනවා. මෙන්න මේක දකින මට්ටමට ආවොත් සක්කායදිට්ඨිය ඉතිරි වන්නේ නැහැ. මේ ආයතන ටික මොන විදියටද හැදෙන්නේ, ඒ විදියටම විපාක විඳිය යුතුයි කියලත් තේරෙනවා.
“අවිජ්ජායත්වේව අසේස විරාග නිරෝධා.” අපායට, මනුෂ්‍ය ලෝකයට, දිව්‍ය ලෝකයට හෝ බ්‍රහ්ම ලෝකයට යන මට්ටමේ අවිද්‍යාවත්, ඒ නිසා සිදු වන කර්මත්, විඤ්ඤාණයත්, නාම-රූපත් නොපිහිටයි නම් ආයතන මේ ලෝකය ස්පර්ශ කරයිද? මේ ලෝකය ඇති වීම නැති වීම නොදන්නාකමමයි අවිද්‍යාව. ඒ නිසායි කර්ම රැස් වන්නේ. එහෙම නම් කර්ම රැස් වුණොත් තමයි මෙහෙම උපදින්නට හේතු වන්නේ කියලත් එයා දන්නව නම් තුන් ලෝකයටම යන කර්ම රැස් වීම නවතිනවා. මෙහෙම කර්ම නිරෝධයත්, ලෝක නිරෝධයත් දැක්කොත් එතැනමයි නිවන.
අපාය නිරුද්ධයි නම් එතැනින් එහා දුක නෑ. මනුෂ්‍ය, දිව්‍ය, බ්‍රහ්මලෝක නිරුද්ධයි නම් ඒ ඒ තැන්වලින් එන සැප-දුක් නෑ, “ජරා, මරණ, සෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාසං නිරුජ්ඣන්ති.” දැන් එයා දන්නවා. පටිච්චසමුප්පාදය හරහා ලෝකය ඇති වන හැටි හා නැති වන හැටි මෙනෙහි කිරීමයි කරන්න ඕන කියලා. දැන් ලෝකය දකින මට්ටමට ආවාම එතැන අවිද්‍යාව නෑ. ඇත්තේ සම්මා දිට්ඨියයි. එතැනදී වෙලා තියෙන්නේ කිසිම ලෝකයකට යන කර්ම රැස් නොවීමයි.
ඊළඟට තියෙන්නේ ශීලයක පිහිටලා, සමාධිය වඩ-වඩා, ලෝකය ඇති වීම හා නැති වීම ආධ්‍යාත්මිකව සිදු වන හැටි පටිච්චසමුප්පාදය ඇසුරෙන් නුවණින් මෙනෙහි කිරීමට හුරු කිරීමයි. දුක නැති කිරීම සඳහා කරන්නට ඇත්තේ එපමණයි; වෙන කළ යුත්තක් නෑ, හීනයකින් වත් වෙන කළ යුත්තක් ඇත්තේම නැහැ.
මට තේරෙන විදියට මේ පින්වතුන්ට දෙන්න තියෙන්නේ ඔය පණිවිඩය තමයි. යමෙක් පටිච්චසමුප්පාදය දැක්කොත් ඔහු ධර්මය දැක්කා; ධර්මය දැක්කොත් ඔහු පටිච්චසමුප්පාදය දැක්කා කියලා නැවත නැවත කියන්නේ මේ නිසයි. එහෙම දැක්ක දවසට පටිච්චසමුප්පාදය කියන්නේ “අචිජ්ජා පච්චයා සංඛාරා...” යනාදි වශයෙන් කියවන තුණ්ඩුවක් නොවෙයි. ඒ අපේ ජීවිත පැවැත්මේ කථාවයි.
හොඳට බලන්න: “කම්මස්සකෝ’මිහි කම්මදායාදෝ කම්මයෝනි, කම්මබන්ධු, කම්මපටිසරණෝ, යං කම්මං කරිස්සාමි කල්‍යාණංවි පාපකංවා තස්ස දායාදෝ භව්ස්සාමී’ති, ඉත්ථියාවා, පුරිසායවා, ගහට්ඨේනවා, පබ්බජිතේනවා, අභින්හං පච්චවෙක්ඛිතබ්බං” කියලා දසධම්ම සූත්‍රයෙන් පෙන්නලා තියෙනවා.
“කම්මස්සකෝ’ ම්හි කම්මදායාදෝ” – මම කර්මය දායාද කරගෙන, “කම්මයෝනි” – කර්මය උත්පත්ති ස්ථානය කරගෙන, “කම්මබන්ධු” – කර්මය නෑදෑ කරගෙන, “කම්මපටිසරණෝ” – කර්මය පිළිසරණ කරගෙන, “යං කම්මං කරිස්සාමි කල්‍යාණංවා පාපකංවා තස්ස දායාදෝ භවිස්සාමී’ති.” යම් හොඳ හෝ නරක කර්මයක් කළොත් මම එයම දායාද කරගෙනම සිටිමියි කියලා, “ඉත්ථියාවා, පුරිසායවා. ගහට්ඨේනවා. පබ්බජිතේනවා, අභින්හං පච්චවෙක්ඛිතබ්බං” යම් ස්ත්‍රියක් වේවා. පුරුෂයෙක් වේවා, ගිහියෙක් වේවා, පැවිද්දෙක් වේවා, නිතරම මෙනෙහි කළ යුතුයි කියලා දේශනා කළේ මෙන්න මේ වාගේ කාරණා නිසයි.
අවිද්‍යාව නිසා ලෝකය ඇති වෙච්ච හැටිත්, නැති වෙච්ච හැටිත් නොදන්නාකමට ඇති වෙච්චි ඒ ලෝකය ඇත්ත වෙලා, බැඳිලා ඉන්න අපට හම්බ වෙන්නේ අවිද්‍යා, සංඛාරා තණ්හා, භව කියන ක්‍රියාදාමයක්.
ලෝකයත්, ලෝකයේ ඇති වීමත් නැති වීමත් ‘නොදන්නාකම’ නමැති අවිද්‍යාව නිසාම ලෝකය ඇති වෙලා.
අවිද්‍යාව නිසා ඇති වන කර්මයෙන් ලෝකය හටගත්තා කියල නොදන්නාකම නිසාම අපට ඇති ලෝකයක් හම්බ වෙලා තියෙනවා. ඒ ලෝකයට අපි බැඳිලා ඉන්නවා. එම නිසා හොඳට මතක තියාගන්න. කිසිම තැනක දුවෙක්, පුතෙක්, ගෙයක්, දොරක් නොවෙයි මේ ස්කන්ධ ටිකයි, කෙලෙස් ටිකයි තියෙන්නේ කියල.
ඒකෙන් කිව්වේ දූදරුවෝ නැත. ඒ අය එළවන්නට කියලා නොවෙයි. ඒ කිසි දෙයක් ඇති කරන්න හෝ නැති කරන්න යන්න එපා. කරන්න ඕන තම තමන් ගැන පමණක් ඇතුළත බලාගැනීමයි. මේක කාටවත් ඇඟිල්ල දික් කරන ශාසනයක් නොවෙයි.
දුවට දුව විදියටත්, පුතාට පුතා විදියටත්, අම්මාට අම්මා විදියටත් සලකන්න. සැලකිය යුතු අයට උපරිමයෙන් සලකන්න. සමහර විට දහමක් නැති කෙනෙක් එයාගෙ අම්මට තාත්තට වඩා වැඩියෙන් දුවට පුතාට සලකයි. නමුත් මේ දහම දන්න කෙනා දහම නොදන්නා කෙනාට වඩා වැඩියෙන් දෙමව්පියන්ට සලකයි. පටිච්චසමුප්පාදය හරහා ලෝකයේ ඇති වීම හා නැති වීම සිදු වන බව දන්නා නිසා, තවත් සසර දුක් විඳින්න වෙන බව දන්නා නිසා.
මෙතැනට මනස ගන්න ඕනෑ බව දන්නා නිසා, තව ටිකක් වැඩිපුර කරුණාවක් දක්වයි. සසර තමන් මේ තත්ත්වයට පත් වෙලා හිටපු බව දන්න නිසා. තව ටිකක් වැඩිපුර කරුණාවක් දක්වයි. සසර තමන් මේ තත්ත්වයට පත් වෙලා හිටපු බව දන්න නිසා හොඳට අනිත් කෙනා ගැන හිතන්නට දන්නවා. ඒ නිසා කරන-කියන යුතුකම් ඇප-උපකාර වැඩිමනත් කරන්න. ඒ මගින් එයා කවදා හරි දහමට ගන්න පුළුවන් උපායක් කරගන්න. එසේ කරමින් කිසිවෙකුටත් නොරිදවා මේ ආයතන ටික හැදිලා තියෙන්නේ මෙහෙම නේද කියලා පටිච්චසමුප්පාදය අනුව නිතරම බලන්න. එවිට ඒ කරණ දෙයින් තමනුත් මිදෙනවා, ලෝකයට උපකාරයකුත් වෙනවා.
මේ විදියට බුද්ධිමත්ව, උපායශීලීව, මේ දහම ගවේෂණය කළොත්, අපිට මේ සසර තව ගොඩාක් දුර යන්න වෙන්නේ නැති වෙයි.
සමහර විට මේ ජීවිතයේ අන්තිම මොහොතේදී හරි නිවන් දැකගන්න පුළුවන් වෙයි.
මේ දීර්ඝ සසරට සාපේක්ෂව මේ ජීවිතය ඇතුළේම ඉක්මනට, හෙටම කරගන්න ඕන කියලා හිතන්න එපා. මෙතැනදී හොඳ උපමාවක් මතක් කරන්නම්: “යන බස්-එකට නඟින්න. හැබැයි බස්-එක ඇතුළේ දුවන්න හදන්න එපා” කියලා. බස්-එකේ වේගයෙන් ඔබට අවශ්‍ය තැනට අරගෙන යයි. නමුත් එය අබිබවා යන්න උත්සාහ ගන්න එපා. ඒක බොහොම හොඳට ගැළපෙන උපමාවක්. ඒ වගේ දහමට එන්න. ඇවිල්ලා ඒ දහමෙහි හැසිරෙන්න. හැබැයි ඉක්මනට කරන්න ඕන කියලා ස්වාභාවික ජීවිතයෙන් පලායන්න හදන්න එපා.
ඊළඟට, ගෙදර-දොර වැඩ-කටයුතු කරනකොට, අනිත් අය ඇසුරු කරන කොට, හැම වෙලාවෙම ස්ථානෝචිත ප්‍රඥාවෙන් කටයුතු කරන්න ඕන. නුවණ නැති කෙනකුට මේ ගමන යන්න බැහැ. ඇතුළතින් දිවෙන යටි අදහස් පවා තේරුම් ගැනීමේ හැකියාවක් තියෙන්න ඕන.
මෙතැනදී පොඩි කථාවක් උදාහරණයක් විදියට කියන්නම්:
ඔන්න එක ගෙදරක හිටියලු අයියයි, මල්ලියි, ආච්චියි. ආච්චි තමයි මේ අයියයි මල්ලියි හදාගත්තෙ. මේ ගෙදරම පූසෙකුත් හිටියා. ආච්චිගේ උදව් උපකාර ඇතිව හැදී වැඩුණු මේ සහෝදරයින් දෙදෙනාගෙන් වැඩිමහල් සහෝදරයාට පසු කාලෙකදී මැද පෙරදිග රැකියාවකට යන්න පුළුවන් වුණා. ඊට පස්සෙ එයා හම්බ කරලා ගෙදරට මුදල් එවනවා. මේ පවුල එකිනෙකාට හරිම ආදරෙන් හිටියේ. අයියාට වැඩ අධික වූ අවස්ථාවක, ටික කාලයක් ගෙදර සමග තොරතුරු හුවමාරු කරගන්න බැරි වුණා.
මාස ගණනාවකට පස්සේ දවසක් කථා කළා. තොරතුරු අහන අතරතුර අයියා මල්ලීගෙන් ඇහුවා පූසා ගැන. මල්ලී කිව්වා ඌ මැරුණා කියලා. මේක ඇහුවාම අයියා හරියට දුක් වුණා. පස්සේ මල්ලීට කියනවා: “දුක හිතෙන පණිවිඩයක් කියන කොට ඔහොම කියන්ට එපා කෙළින්ම. ඉස්සර වෙලාම කියන්න, ‘අයියේ පූසා වහලෙ උඩට නැග්ගා.’ ඊට පස්සෙ කියන්න, ‘පූසා දවස් ගණනක් කෑම කන්නේ නැහැ’ කියලා. ඊළඟට කියන්න, ‘අයියෙ පූසා වහලෙන් වැටුණා නෙ’, කියලා. ඊළඟටයි කියන්න ඕනෑ පූසා මැරුණු බව.” “හා එහෙමද” කියලා මල්ලී ඒක හිතට ගත්තා. ඊළඟට අයියා අහනවා, “ආච්චී කොයි” කියලා. මල්ලී ගත් කටටම කිව්වලු, “අයියේ ආච්චී වහලෙ” කියලා. බලනකොට ආච්චිත් මැරිලා. නමුත් දුක හිතෙන කථාවක් එක පාරටම කියන්න එපා, කියන්න ඕන මෙහෙමයි කියලා අයියා මුලින් සඟවා කියපු ක්‍රමය මල්ලීට තේරුම් ගන්න බැරි වුණා. සඟවා කියන දෙයක අර්ථය තේරුම්ගන්න බැරි වුණොත් සිදු වන්නේ ඔන්න ඔහොම දේවල්!
ඔය වගේ මේ කිව්වේ මේක නේද කියල යමක් අහන කොට තේරුම්ගන්ට පුළුවන් වෙන්න ඕන. අපි තැනට සුදුසු නුවණින් කටයුතු කරන්න දක්ෂ වුණොත් අපිට මේ ජීවිතයේදීම ගැලවෙන්න පුළුවන් බව මතක තියාගන්න ඕනෑ. ද
(අනුග්‍රහය: විශේෂඥ වෛද්‍ය උපුල් ඒකනායක මහතා සහ මාතර කේ. ජී. මුනිදාස මහතා)

මගේකම අතහැර ගියොත් සුබ වේ දහම් මඟ

"පඤ්ඤාවත්තස්‌සායං ධම්මෝ ඤායං ධම්මෝ දුප්පඤ්ඤස්‌ස" යයි තථාගතයන් වහන්සේ දේශනා කර වදාළේ ප්‍රඥවන්ත ලෙසම මේ ධර්මය තේරුම් ගත යුතු බවයි. වැරදියට තේරුම් ගතහොත් අනවබෝධය නිසා මාර්ගය වරදවා ගත හැකි තැන් කිහිපයක්‌ම තිබෙන බව සැලකිල්ලට ගත යුතුවේ.

එක්‌තරා කාන්තාවක්‌ භාවනා පුහුණුවට තිබෙන බාධා වලින් නිදහස්‌ වීම සඳහා දුරක පිහිටි පුහුණු මධ්‍යස්‌ථානයකට යන්නට අදහස්‌ කළේය. ගමනට බාධක වශයෙන් පැවැති දරු මල්ලන් රන් අබරණ ඇතුළු වටිනා දේවල් සුරැකිව තබා සුදු වතින් සැරසුණාය. ඇගේ මූලික අරමුණ වූයේ භාවනාව තුළින් ලබාගත හැකි යයි අසා ඇති ශාන්ත සන්සුන් කමද, චිත්ත ඒකාග්‍රතාවද ඇති කර ගැනීමටයි. දරුවන් හා වටිනා දේවල් දමා ගියත් ඇය ක්‍රියා කළ ආකාරයෙන් ඒවාට තිබූ ඇලීම දුරු කළ බවක්‌ දක්‌නට නැත. කයින් වෙන් වුවත් සිතින් අතහැර නැත. ධර්මයෙහි හැසිරෙන බව සිතමින් ඇය සිද්ධ කර ඇත්තේ බාහිර ක්‍රියාකාරකම් කිහිපයක්‌ පමණි.

බොහෝ දේවල් තදින් අල්ලාගෙන සිටිනතාක්‌ සිතේ එකඟකම වර්ධනය වන්නේ කෙසේද? අත හැරිය යුත්තේ සිතින්ය. බඩු බාහිරාදිය භාවිත කරමින් කාර්යය ඉටුකර ගැනීමට විනා ඇල්මෙන් රැක ගැනීමට නොවේ යන ධර්මය යෝගාවචරයා කල් තබා දැන සිටිය යුතුය. ධර්ම මාර්ගයේ ඉදිරියට ගමන් කිරීම යනු මගේ කම ටිකින් ටික දුරු කිරීමයි.

සංයුක්‌ත නිකායේ කාම බූ සූත්‍ර දේශනාව ඇසුරින් මේ කාරණය මැනවින් දැනගත හැකිවේ. ආනන්ද හිමියන් කොසඹෑ නුවර ඝෝෂකාරාමයේ වැඩ සිටියදී කාම බූ නම් වූ භික්‍ෂුවක්‌ විසින් ආනන්ද හිමියන්ගෙන් අසන ලද ප්‍රශ්න කිහිපයක්‌ වේ. ඇස රූපයට බැඳී ඇත්ද? රූපය ඇසට බැඳී ඇත්ද, කණ ශබ්දයට බැඳී ඇත්ද, ශබ්දය කණට බැඳී ඇත්ද, ආදි වශයෙන් ආයතන සය පිළිබඳව සඳහන් කරමින් සත්‍ය ලෙසට සිදුවන දේ විමසා සිටියේය.

ආනන්ද හිමියෝ එහි යථා තත්ත්වය මෙසේ පැහැදිළි කළහ. රූපය ඇසට වත් ඇස රූපයට වත්, කණ ශබ්දයට වත් ශබ්දය කණට වත් බැඳී නැතැයි දක්‌වමින් ආයතන සය පිළිබඳවම එසේ වේ යෑයි පැහැදිළි කළහ. සිද්ධ වී ඇත්තේ කුමක්‌ දැයි විමසිය යුතුය. සිත තුළම හට ගන්නා ඡන්ද රාගය මීට හේතු විය. භාවනා කරන්නේ හිත නතර කිරීමටයි. සිත නතර කරන්නේ ධර්මය දැකීමටයි. ධර්මය දැකීම යනු අනිත්‍ය බව, දුක බව හා අනාත්ම බව දැකීමයි. දරුවන්ට දේපළවලට ඇලීමෙන් මිදෙන්නට යන ගමනකි. ආයතන සයෙන්ම ගන්නා අරමුණු ස්‌පර්ෂ වීමෙන් (ඵස්‌සය) පසු ඒවා හඳුනා ගැනීමේදී (සංඥ) සංස්‌කාර බවට පත් වන්නේය. විඤ්ඤාණය කරා යන්නේ මේ කුසල හා අකුසල සංස්‌කාරයන්ය.

යමෙක්‌ භාවනාවේදී සැප අසුනක්‌ භාවිත නොකර බිම දෙපා නවා වාඩි වෙන්නට පිළිවන. එවිට ටික වේලාවකින් දණහිස්‌ රිදුම් දිය හැක. එහෙත් භාවනා වටම යොමුවීම නිසා එම වේදනාව විඳ ගැනීමට පුරුදු වීමෙන් පසු කාලයේ පුහුණුව වඩාත් දියුණු විය හැක. සැප අසුනක්‌ භාවිත කළත් එයින් අවැඩක්‌ සිදු වෙනවා නම් එසේ විය හැක්‌කේ හිඳ ගන්නා අසුන නිසා නොවේ.

පූජනීය ස්‌ථානයකට යන විට විශේෂයෙන්ම කාන්තාව සුදුසු ඇඳුමක්‌ ඇඳිය යුතුය. ඇඳුමෙන් සංවරවීම යනු එයයි. අන් අයගේ ඇසට ගෝචර වීමෙන් රාගය මතුවීමට ඉඩ ඇති ස්‌ථාන ආවරණය විය යුතුය. යමෙකු මෙම ඇඳුමට ද්වේෂයෙන් කථා කළොත් රාගය වෙනුවට ද්වේෂය මතුවිය හැක. භවය සකස්‌ වන්නේ රාගය හා ද්වේෂය යන දෙකම නිසාය. මේ සඳහා වගකිව යුත්තේ අඩ නිරුවත් ඇඳුම්ද නැතහොත් එදෙස බැලූ සිතද? අයෙක්‌ ගැහැණු ළමයාට දොස්‌ කියති. ඇතැමුන් එදෙස බලා සිටි අයට දොස්‌ කීමට පිළිවන. රාගය වේවා ද්වේෂය වේවා මේ හැම සිතිවිල්ලකටම වග කිව යුත්තේ තමන්ගේ මනසමයි.

එක්‌තරා පුද්ගලයෙක්‌ දහම් ගැටලු විස¹ගැනීමේ අදහසින් ආනන්ද හිමියන් මුණ ගැසීමට පැමිණියේය. එය ආනන්ද හිමියන් දානය වළ¹ අවසන් වූ මොහොතයි. වැළ» දානයෙහි අවශේෂ කොටස්‌ වූ බත් මාලුපිනි අඹ කෙසෙල් හා රස කැවිලි දක්‌නට ලැබිණි. අමුත්තා එදෙස බලා මෙතරම් ආහාර තමන් වත් අනුභව නොකරමියි සිතමින් මෙවන් පැවිද්දෙකුගෙන් මට කෙබඳු උපදේශයක්‌ පැතුව හැකිදැයි සාකයක්‌ මතු විය. ඔහුට තමන් පැමිණි කාරණයත් අමතක විය. එබැවින් උපදෙස්‌ පැතීම පසෙක තබා ආපසු ගියේය. වරදකරු ආනන්ද හිමියන් ද අමුත්තාද? අමුත්තා ඉතිරිව තිබූ ආහාර දෙස බලා ගත් තීරණය නිවැරදිද? පටු තීරණය ගත් අමුත්තාගේ හිත මේ සියල්ලට වගකිව යුතුය.

රාගයට වග කිව යුත්තේ ශරීරයේ යම් කොටසක්‌ නම් එය කපා දැමීමෙන් රාගය සන්සිඳේද? රාගය ඇස නිසා නම් ඇස හෝ ඒ ඇසට අරමුණ වූ රූපය වගකිවයුතු නොවේ. කණ හෝ ඇසුණ ශබ්දය වගකිව යුතු නොවේ. එසේ කිසියම් ඉන්ද්‍රියයක්‌ රාගයට හේතු වී යෑයි එය කපා දැමූ මිනිසෙකුගෙන් බුදුරජාණන් වහන්සේ අසා වදාළේ මෝඩ පුරුෂය තොප කපා දැමුවේ කපා දැමීමට අවශ්‍ය දේ නොවේ යනුවෙන්ය. අර මුලින් සඳහන් කළ කාන්තාව තම දරුවන් සහ දේපළ අමතක කර අරමුණ ඉටුකර ගැනීමට පිට ප්‍රදේශයකට යැම ආත්මාර්ථයකි. විශාකාව සෝවාන් ඵලයට පත් වී සිටියත් ගෘහස්‌ථ ජීවිතයේ සියලු වගකීම් මනාව ඉටු කරමින් නිවසේම සිටියාය. එක්‌තරා කාන්තාවක්‌ තම මිනිබිරිය මළ සොවින් හඬමින් වැළපෙමින් තෙත් වූ කෙස්‌ වැටිය සහිතවම සිටියාය. ළෙන්ගතු යම් කෙනෙක්‌ මළ විට තෙත් වූ කොණ්‌ඩය සහිතව විසීම එකල සිරිතක්‌ විය. බුදු පියාණන් මේ කාන්තාව දැක, රටේ හැම තරුණියක්‌ම ඔබේ මිනිබිරියන් වූවා නම් ඔබට හැම දාම කොණ්‌ඩය තෙත් කරගෙන සිටීමට සිදුවේ. ඔබ එයට කැමතිදැයි විමසූ සේක. එහෙම නම් එපා යෑයි ඇය පිළිතුරු දුන්නේය.

කාම බූ හිමියන් ඇසූ ප්‍රශ්නය හැම කලටම ගැළපේ. අවුලට හේතුව ඇසේ වත් රූපයේ වත් නොවේ. කණේ හෝ ශබ්දයේ වත් නොවේ. නාසයේ හෝ ඝන්ධයේ වත්, දිවේ හෝ රසයේ වත්, ශරීරයේ හෝ ස්‌පර්ෂයේ වත්, මනසේ හෝ අරමුණු වල වත් නොවේ. මේ අභ්‍යන්තර හා බාහිර අරමුණු පිළිබඳව ඇති අනවබෝධයයි. ඇස ගැන හෝ රූපය ගැන නොදනී. අනෙකුත් ආයතන පිළිබඳවත් එසේමයි.

මුගලන් මහ රහතුන් ඉදිරියට අඩ නිරුවතින් ගණිකාවක්‌ පැමිණියාය. මාහිමියෝ ඇය දෙස නිහඬව බලා සිටියහ. බලා සිටි අයුරු වරදවා වටහාගත් ගණිකාව තමා දෙස ආශාවෙන් බලා සිටිනවා නේදැ යි ඇසීය. මා ඔබ දෙස බලා සිටි ආකාරයට ඔබත් මා දෙස බැලුවා නම් ඔබට මා එපා වෙයි කියා මුගලන් මාහිමියෝ පැවැසූහ. මුගලන් මාහිමියන් ඇය දෙස බැලුවේ ඇගේ කය අභ්‍යන්තරයේ ඇති මස්‌ ලේ නහර වලින් සැදුනු කුණුපයයි. එම නිසා මේ දෙදෙනාම බැලූ ආකාරය දෙවිදියකි.

ඉහතින් දැක්‌වූ හැම නිදසුනකම අන්තර්ගත වන ගැටලුව මෙසේ විස¹ ගනිමු. දුරුකළ යුත්තේ ඡන්ද රාගයයි. සත්‍යය දැකීමට ආශාව හා ඇලීම දුරු කළ යුතුය. ඇලෙන්නේ තණ්‌හාව ඇති නිසාය. භාවනා පුහුණුවට ගිය තැනැත්තිය රන් අබරණ ආදිය ගලවා තබා ගියත් ඒවාට ඇති තණ්‌හාවෙන් මිදුනේ නැත. අවිද්‍යාව සියල්ල වසා සිටී. අවිද්‍යා පච්චයා සංඛාරා යන්නෙහි අරුත නම් සකස්‌ වන බිහි වන සියල්ලෙහි හේතුව අවිද්‍යාව බවයි.

අවිද්‍යාව පියා හා සම වේ. තණ්‌හාව මවයි. මේ දෙදෙනාම මරා දමන තුරු අවබෝධ ඥනය බිහි නොවේ. ඇසද රූපයද අවබෝධ කරනතුරු ඇලීම පවතී. ඇසට ගෝචර රූපය ඇති සැටියෙන්ම අපට නෙපෙනේ. ලෝකයේ සත්‍ය ස්‌වභාවය පෙනෙන්නේ විදර්ශනා ඥනයට පමණි. ඒ සඳහා වීර්යය නුවණ හා සිහිය අවශ්‍යය. සංඥව හෙවත් හඳුනා ගැනීම මිරිඟුවකි. නැති දෙයක්‌ ඇත යන මුළාවට අපව පත්කරයි. ප්‍රශ්නය උද්ගත වන්නේ අනවබෝධය නිසාය.

කලු ගොනෙකුද සුදු ගොනෙකුද රැහැනකින් බැඳී සිටී. දෙදෙනා එක තැනක නතරව ඇත. යමෙකුට පෙනෙන්නේ සුදු ගොනා නිසා කලු ගොනාට යා නොහැකි බවයි. තව කෙනෙකුට පෙනෙන්නේ කලු ගොනා නිසා සුදු ගොනාට යා නොහැකි බවයි. වග කිව යුත්තේ සුදු ගොනාද, කලු ගොනාද? මේ කිසිවෙක්‌ නොව රැහැනයි. කපා දැමිය යුත්තේ රැහැනයි. තණ්‌හාව තිබෙන්නේ අනවබෝධය නිසාය. ආශාව තිබෙන්නේ අවිද්‍යාව හෙවත් නොදන්නා කම හේතුවෙනි.

පැවිදි වූවන් ආහාරය දෙස බැලිය යුත්තේ කාන්තාරයකින් එතර වීමට දරුවා සමඟ ගිය මවක හා පියෙකු ලෙසය. කතරින් එතර වන තෙක්‌ දිවි රැක ගැනීමට දරුවාගේ මස පිළිකුළෙන් අනුභව කරමින් සාගිනි නිවා ගත්තේය. මෙය හුදු උපමාවක්‌ පමණි. පැවිදි වූවන් ආහාර ගත යුත්තේ රස තෘෂ්ණාවෙන් හෝ ශරීරයේ ජවය හෝ ඔපය සඳහා නොවේ. ජීවිතය පවත්වා ගනිමින් ධර්ම මාර්ගයේ හැසිරී සසරින් එතරවීමේ දැඩි අධිෂ්ඨානයෙනි. මැදුම් පිළිවෙත එයයි.

මේ හැම දෙයක්‌ම නොමග යවමින් අප මුළාවට පත් කරන්නට හේතු වන මනසේ ප්‍රශ්නයට පහර නොදී අන් කිසි පරිශ්‍රමයකින් පලක්‌ නැත. ඇසට රූපයක්‌ පෙනෙන්නේ ස්‌පර්ෂය නිසාය. ඇත්ත වශයෙන්ම සිදු වන්නේ අපට පෙනෙන දේ අරභයා සිතීම නොව අපේ සිතේම ඇති වන සංඥවකට අප රැවටීමයි. අපේ මුළු මහත් ජීවිතයම පවතින්නේ රැවටිල්ලකය. සංඥව මිරිඟුවක්‌ බව අපි නොදනිමු. එය දැනගත් විට කලකිරීම, ඇතිවීම නොවැළැක්‌ විය හැකිය. අපේ ආයතන වලින්ම හැදූ රූපයක්‌ නිසා අපේ මනස තුළම හැදුනු සංඥවකටයි අප රැවටී ඇත්තේ. බාහිර අරමුණුවලට නොවේ. ස්‌පර්ෂය නිසාය සංඥව ඇති වූයේ. ස්‌පර්ෂය නැති වූ විට සංඥවද නැතිවේ.

කාන්තාවකගේ ලස්‌සන රූපයක්‌ ඇඳ තිබෙන බිත්තියක්‌ ලෙස බලන එක්‌ පුද්ගලයෙක්‌ ඒ රූපය දකින වාරයක්‌ පාසා රාගයෙන් මත්වේ. තවෙකකු ඒ රූපය දකින්නේ තීන්ත ටිකක්‌ උලා ඇති බිත්තියක්‌ ලෙසය. යමෙක්‌ එය තාර උලා විකෘති කළොත් එහි ලස්‌සන දුටු පුද්ගලයා තුළ ඇති වන්නේ කණස්‌සල්ලකි. ද්වේෂයකි. දෙවැන්නා එය දකින්නේ තවත් තීන්ත උලා ඇති බවක්‌ පමණි. අප බලන බැල්මට හෙවත් මනසිකාරයට රැවටී ඇති බව මෙයින් නෙපෙනේද?

හරි දැකීම වලක්‌ වන්නේ සංඥවයි. එසේ වන්නේ ඇයි? අපට ප්‍රඥ ඇස නැති නිසාය. ඒ නිසා අවුල් හදා ගන්නේ අභ්‍යන්තර හෝ බාහිර ආයතන වත් නොව මනසමය. වෙදකම කළ යුත්තේ මනසටයි. අප හඳුනා ගන්නා හැම දෙයම බඹයක්‌ පමණ වන ශරීරය තුළම වේ.

සංඥාව ස්‌පර්ෂය නිසා පහළ විය. සංඥව අපේ මනස තුළම බිහිවන සිතිවිලි සමූහයකි. මහණෙනි, ව්‍යවහාරය සංඥවගේ විපාකයක්‌ කොට කියමි. හඳුනාගන්නේ ව්‍යවහාරය අනුවයි. යම් රටාවකට ලී කැබලි එක්‌ කළ විට පුටුව යයි ව්‍යවහාර වේ. පුටුව කියා හඳුනා ගන්නේ ව්‍යවහාරයට අනුවයි.

රූප, වේදනා, සංඥ, සංඛාර, විඤ්ඤාණ යනු පංචුපාදානස්‌කන්ධයයි. මෙහි හට ගැනීමත් නැතිවීයාමත් නොදැනීම අවිද්‍යාවයි. එය මෙසේ විග්‍රහ කළ හැක. පංචුපාදානස්‌කන්ධයේ හට ගැනීමත් නැති වී යැමත් නොදැනීම අනිත්‍යතාව නොදැනීමයි. අනිත්‍යතාව නොදැනීම දුක හා අනාත්මතාවත් නොදැනීමයි. ඒ නිසා අවිද්‍යාව වනාහි මේ ත්‍රිලක්‍ෂණයම නොදැනීමයි. අවිද්‍යාවේ දැඩිකම මෙයින් පෙනේ. තථාගත ධර්මයෙහි උපකාරයෙන් තොරව අප වැටී සිටින දුක්‌ත සංසාර ආගාධයෙන් ගොඩ ඒමට උපකාර වන අවිදු අඳුරින් මිදීමට නොහැකි වන බව තරයේ සිතට ගත යුතුය.

මේ අනුව චතුරාර්ය සත්‍යාවබෝධයෙන් නිවන කරා යැමට නම් අපට හැකි වන්නේ පංචුපාදානස්‌කන්ධය අවබෝධ ඥනයට හසුකර ගැනීමෙන් බව අවධාරණය කළ යුතුවේ.
ශාස්‌ත්‍රවේදී පී. ඩී. ආරියරත්න

නූතන බෞද්ධයා සීලයේ නියම ප්‍රතිඵල භුක්‌ති විඳින්නේද?

අනුන්ට කරදරයක්‌ ඇති නොවන ලෙස සිත, කය, වචනය සංවර කර විසිය හැකිනම් එය ඉතා උතුම්ය. සමාජයේදී සෙසු අයට තමාගෙන් හිරිහැරයක්‌ නැතිව වාසය කිරීමට ඉඩකඩ ලබාදීම සුවිශාල දානයක්‌ද වේ. පරපණ නැසීමෙන් වැළකීම උතුම් දානයක්‌ සේ සැලකෙනුයේ එනිසාය. අනුන්ගේ දේ ගැනීමෙන් වැළකීමෙන් පුද්ගල දේපළ පරිහරණය කිරීමේ අයිතිය සමාජයට ලබාදීමද සිදුවේ. කාමමිථ්‍යාචාරයෙන් වැළකීම මගින් අනුන්ගේ ශරීර සිය පසිඳුරන් නොනිසි ලෙස පිනවීමට ගැනීමේ හිරිහැරයෙන් සමාජය මුදවනු ලැබේ. අද බස්‌රිය, දුම්රිය වැනි පොදු ප්‍රවාහන සේවයක පවා කාන්තාවකට නිදහසේ යැමට නොහැකිව ඇත්තේ නිවැරදිව පන්සිල් නොරකින සමාජයක්‌ ඇති බැවිනි. මුසාවාදයෙන් වැළකීම අසත්‍ය සන්නිවේදනයෙන් වැළකීමයි. මත්පැන් මත්ද්‍රව්‍ය නිසා සිදුවනුයේ සිහිකල්පනාව නැතිව යැමයි. ලැඡ්ජාව, බිය යන දේවධර්ම නිසා සත්වයා පාපයෙන් වළකයි. අසිහියෙන් සිටීමෙන් වැළකීම නිසා උමතු හැසිරීම්වලින් සමාජය වැළකේ. එය නිවැරදි සන්නිවේදනය සමාජයට ලබාදීමකි. ඇතැම් අය කල්පනා කරන්නේ සීලය යනු යම් සුවිශේෂිත දිනයක සුවිශේෂිත ස්‌ථානයක සිට පමණක්‌ ආරක්‍ෂා කළ යුතු දෙයක්‌ ලෙසයි. මෙය ඉතා සාවද්‍ය අදහසකි. සීලය යනු කායික වාචසික සංවරයයි. මෙය කිසියම් සුවිශේෂී දිනයකට හෝ ස්‌ථානයකට පමණක්‌ සීමාවූවක්‌ නොවේ. කයින් හා වචනයෙන් සිදුවන වැරදිවලින් වැළකී ජීවත්වීම යාවජීව කටයුත්තකි. එය එක්‌ දිනකට පමණක්‌ සීමාකර අනෙක්‌ දිනවලදී සිතැඟි පරිදි හැසිරීම පොදු මිනිස්‌ දුර්වලකමකි. එය ආගමෙන් පවා අපේක්‍ෂිත පසුබිමක්‌ නොවේ. නමුත් උසස්‌ ශික්‍ෂිත මනසක්‌ ඇත්තා හුදෙක්‌ පව්, පින් ලෙස සලකා නොව කය, වචන සංවරව පැවතීම සලකනුයේ සිය සමාජයීය යුතුකමක්‌ වශයෙනි. අනුන්ට කරදර හිරිහැර නොකර ජීවත්වීම කෙතරම් උසස්‌ දෙයක්‌දැයි වැටහෙනුයේ පවිත්‍ර මනසක්‌ ඇති අයටය. සිල් ගන්නේ එය අනුන්ට ප්‍රදර්ශනය කිරීමෙන් සතුටුවීමට නොවේ. අනෙක්‌ අතට එදිනට සිද්ධස්‌ථානවලට එක්‌රැස්‌වන අතිවිශාල ජන සමූහයා මැද සිත එකඟ කරගෙන සිටීමට වඩා සිය නිවසෙහි හෝ නිස්‌කලංකව සිත පවිත්‍රව කය, වචන සංවර වන සේ ආගමානුකූලව ගත හැකිනම් එය උසස්‌ය. සමහර එබඳු දිනවලට අතිවිශාල ජනසමූහයා එක්‌රැස්‌වන එබඳු ස්‌ථානවල සිට කරනුයේ අනුන්ගේ කේලාම්, ඕපාදූප කතා බහ කරමින් නිකරුනේ කාලය කා දැමීමකි. ඉන් කිසියම් සතුටක්‌ ලබනු රිසින් වැඩි දැන උගත් කමක්‌ රහිත අය මෙලෙස හැසිරෙනු දැකිය හැක. සාමාන්‍ය දිනයක තමා අතින් වන කායික හා වාචසික වැරදිවලට වඩා වැඩිපුර වැරදි සිදුකිරීමට යොමුවීමේ ඉඩප්‍රස්‌තාව මේ නිසා ඇතිවේ. නමුදු වර්තමාන තරුණ පරපුර අතර බුද්ධිමත් උගත්කම් සහිත අය බහුලය. එබඳු අය කරනුයේ මෙබඳු ප්‍රදර්ශනාත්මක ක්‍රියා නොව නිහඬව කය, වචන හික්‌මවා විසීමයි. බොහෝවිට ශාස්‌ත්‍රීය විද්වත් පර්යේෂණ, විමර්ශන කාර්යයන්වල නිහඬවම නිරතවී සැනසීමක්‌ ලැබීමට වෙහෙසවනුයේද මෙබඳු පිරිසවේ.

නීරෝගීබව හා නිරවද්‍ය චර්යා

විවේකී ස්‌ථානයක සිට ධර්මශාස්‌ත්‍රීය කරුණු ඔස්‌සේ විමසුම් නුවණ මෙහෙයවා ගැඹුරු දහම අවබෝධයට උත්සුකවීම කලබලකාරී ජනයා අතර විඩාපත්ව විසුමට වඩා යහපත්ය. එබඳු විවේකී ස්‌ථාන සිද්ධස්‌ථානයක්‌ වීම වඩා හොඳය. නමුත් විශාල පිරිසක්‌ එක්‌ රැස්‌වන ස්‌ථානයක නම් ඇත්තේ විවේකී පරිසරයක්‌ නොවේ. වෘක්‍ෂ මූල, ආරණ්‍ය, හිස්‌ භූමි හා සුසාන භූමි බඳු ස්‌ථාන චිත්ත සමාධිය හා විදර්ශනා භාවනා දියුණු කළහැකි උචිත විවේක ස්‌ථානසේ බුදුරදුන් විසින් පෙන්වාදී තිබේ. ලෞකික කරදර, හිරහැරවල අහිතකර බලපෑම එදින තුළ හෝ නැත්නම් සිය නිවසේ සිට වුවද කය, වචන හික්‌මවාගෙන නුවණ වැඩීම පිණිස දහම් පතපොත පරිශීලනය කළ හැක. නැතහොත් දිනපතා වඩා පුරුදු භාවනාවක විවේකීව නිරතවිය හැක. කායානුපස්‌සනා සතිපට්‌ඨානයට අයත් දසඅසුබ, නවසීවථක, දෙතිස්‌කුණප වැනි භාවනා නූතන කාමභෝගී සමාජ රටාවකට ඇබ්බැහිව දිවිගෙවන අයගේ කාමසංඥව අවම කිරීම පිණිස උපකාරීවේ. හැකිතාක්‌ ඉන්ද්‍රීයප්‍රීණනයද, කාමයේ මෘදුස්‌පර්ශයෙන්ද, අධිශීතකරණවල මස්‌ දමා තබා කල්තබන සේ වායුසමනය කළ නිවෙස්‌, කාර්යාල, රථ ආදිය පරිහරණය නිසා සුඛ විහරණයෙන් කය සැතපවීමෙන්ද නොයෙකුත් කායික රෝගාබාධ හටගනී. රුධිරගත සීනි හා මේද සංයුතිය අධිකවීම, ප්‍රතිශක්‌තිකරණ පද්ධතියේ ඌණතා, අක්‍රමවත් හෝමෝන ශ්‍රාවය, අස්‌ථිපඤ්ජරයේ විකෘතිතා හා පරිවෘත්තීය චක්‍රයේ විෂමතා බඳු කායික රෝගවලට මූලික හේතුව අධික කය පිනවීමයි.

නිරෝගීබව සුරක්‍ෂිත කරදීම සීලයේ ප්‍රධානතම උපයෝගීතාව වේ. පංචශීලයට වඩා ඉහළ සීලවන අෂ්ටාංග ශීල, ගිහි පැවිදි දස ශීල හා උපෝසථශීල ආදියේ පණවා ඇති පරිදි විකාල භෝජනයෙන් වැළකීමේ ශික්‍ෂාපදය හා සිව්නිස්‌සය අතර සඳහන් භෝජනයේ මතඤ්ªතාවයද ශාරීරික නිරෝගීතාව හා පහසුවිහරණය පිණිස වූ පැණවීම් වේ. කට සංවරකර ගැනීම වචනයෙහි සංවරතාව උදෙසා පමණක්‌ නොව රුධිරගත මේද හා සීනි මට්‌ටම වැඩිනොවී තබා ගැනීමටද උපකාරීවේ. විෂම අසම්මත ව්‍යාභිචාරි ඇවතුම් පැවතුම් පමණක්‌ නොව අධිකමෛථුනය පවා ශාරීරික රෝග හටගැනීමට ඉවහල්වේ. ස්‌ත්‍රී, පුරුෂ අය තුළ මඳසරුබව හා නිසරුබව ඇතිවීමට හේතුවනුයේ මෙබඳු චර්යාවලට දිගු කාලීනව ඇබ්බැහිවීමයි. මත්පැන්, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීමද අප්‍රාණිකබව හා වෛවාහික දුබලතාවලට හේතුවකි. ස්‌ත්‍රීන්ගේ ඔසප් චක්‍රයේ අක්‍රමවත් බවට අහිතකර මානසික ආවේග හේතුවිය හැක. ඇඟ උණුකරවායැම. පුරුෂ දුබලතා බඳු රෝගවල හේතුව විෂම ඇවතුම් පැවතුම් හා මානසික ආතතිය විය හැක. ආරමය හා ජානමය දුබලතා හටගනුයේ ප්‍රවේණිගතව රෝග හටගැනීමේ අවදානම මඟිනි. අකුසල කර්මඵල විපාක ආදිය නිසා ඇතිවන කර්මජ ආබාධද මේ අතර ඇත. මේ සියල්ලේ අවසන් ප්‍රතිඵලය අපේ අනාගත පරපුර ක්‍රමිකව දුබලවීමයි. ශක්‌තිමත් ජාතියක්‌ ගොඩනැඟීම අරමුණසේ සැලකීමට නම් තරුණ පරපුර සිල්වත්ව කටයුතු කිරීමට පෙළඹවිය හැකි වාතාවරණයක්‌ පැවැතිය යුතුය.

සීලය හා යහපත් ආකල්ප

මිත්‍යා, විෂම හා අසම්මත කාමයෙන් වැළකීම මෙන්ම, බඹසර වාසයද සෞඛ්‍ය සම්පන්න දිවිපෙවෙතක්‌ ගත කිරීමට මහත්සේ ආධාරවේ. කය පිළිබඳ ඇති සාවද්‍ය ලෝලීබව දුරුකිරීමට එය ප්‍රඥව ඇතිවන පරිදි විමර්ශනයකර සිහිනුවණ උපදවා කටයුතු කිරීම අවශ්‍යය. මෙහි පිළිකුල්බව සැලකීම නම් කය පිළිබඳ කාම තෘෂ්ණාව ඇතිනොවන පරිදි ඊට 

ප්‍රතිවිරෝධී ආකල්ප ඇතිකර ගැනීමය. ඒ මිස ප්‍රතිඝය ඇති කර ගැනීම නොවේ. ප්‍රතිඝය ඇති වනුයේද කාමය නිසාය. ලෝලීබව නිසා සාවද්‍යව සංවේදී බවින් තෙත්වන මනස ඊට ප්‍රතිවිරුද්ධ අන්තයවූ ප්‍රතිඝය නිසා ගැටීම් සහිත බවකට සංස්‌කරණයවේ. මේ දෙයාකාර සංචලනවල ස්‌වභාවය මනාව තහවුරු කරගන්නා තෙක්‌ මනසේ මෝහය රැඳී පවතී. සිහිය හා නුවණ දියුණු තියුණුවත්ම මෝහය දුරුව ප්‍රඥව ඇතිවේ. ඒ ප්‍රඥාව නිසා කාම හා ද්වේෂ සංඥ දුරුවේ. අවිද්‍යාව යනුවෙන් අදහස්‌ වනුයේ මෝහය දුරුකිරීමට නිවැරදි ක්‍රමවේදය නොදත් බවයි. චතුරාර්ය සත්‍යය අවබෝධය මගින් අවිද්‍යාව දුරුවීමට අවකාශ සැලසේ. දුක, දුකට හේතුව, දුක නැති කිරීම හා ඊට මඟ චතුරාර්ය සත්‍යයේ පසුබිමයි.

සීලයේ නියම ප්‍රතිඵල භුක්‌තිවිඳීමට අවකාශ මඳවනුයේ සිල් සමාදන්වන මිනිසුන්ගේ ආකල්පවල පවතින සාවද්‍යබව නිසාය. ඒ නිසා නිවැරදි ප්‍රතිපත්තිගරුක අයෙකුට වුවද ඔවුන් සමඟ සාර්ථකව එදින තුළ කටයුතු කිරීමට පහසුවේ. කිසියම් දැන උගත් බවකින් යුක්‌තව සිල් සමාදන්වීමට එක්‌වන අයෙකුට සිය නිවස තුළ ඇති නිස්‌කලංකබව මෙබඳු අය ගැවසෙන සමාජ පරිසරයක්‌ තුළ දැක ගැනීමට නොහැක. එනිසා බොහෝවිට එබඳු කලබලකාරී පිරිස්‌ මැද මන්දොaත්සාහීවීමට අවංක අපේක්‍ෂාවෙන් එහි යන අයට සිදුවේ. මෙබඳුදේ ඉවසීමට හා උපේක්‍ෂකවීමට එවැනි අය පුරුදු පුහුණුවීම සඳහා එලෙස කලබලකාරී පිරිස්‌මැද කටයුතු කිරීමද අවශ්‍යයෑයි අයෙකු පැවසීමට ඉඩඇත. නමුදු සිය විවේකීබව පාදකකරගෙන වඩා උසස්‌ සීල, සමාධි හා ප්‍රඥ මට්‌ටම් සාක්‍ෂාත් කරගැනීම පිණිස එළඹෙන ආදිකම්මික අයෙකුට මෙබඳු කලබලකාරී පරිසරය මහත් බාධාවක්‌ වනු ඇත. සැබැවින්ම සිල්සමාදන්වන පරිසරයක පැවතිය යුතු වනුයේ කලබලකාරී ඝෝෂාකාරී මානසික ආතති ජනිතකරවන පරිසරයක්‌ නොවේ. නමුදු තමාට ආසන්නව පිහිටි නිස්‌කලංක,විවේකී සිද්ධස්‌ථානයට වඩා ඉතා දුරබැහැර පෙදෙසක පිහිටි බහුලව ජනසමූහයා ගැවසෙන කලබලකාරී ස්‌ථානවලටම මිනිසුන් සිල් ගැනීමට පැමිණෙනුයේ මන්දැයි විචාරපූර්වකව නිගමනවලට එළඹිය නොහැක. මෙබඳු දේ මඟින් පැහැදිලිවන කරුණ නම් මිනිසුන් තුළ ජනසමූහයා පිරිවරා සිටීමේ හා විවිධ දුරබැහැර ස්‌ථාන දැකීමේ දැඩි ආශා පවතින බවයි. වන්දනා ගමන් යැමට බොහෝ දෙනා තුළ ඇති ආශාවද මෙබඳුය. ඇස පිණවීම මූලික කරගත් මෙබඳු දැ අවශේෂ වශයෙන් පසිඳුරන්ම පිණවීම පාදකව ගොඩනැඟේ. සීලයේ ප්‍රධාන පරමාර්ථයෙන් බැහැරවීම මින් සිදුවේ.

සිල් සමාදන්වීම සඳහා පැමිණෙන බහුතර පිරිස ස්‌ත්‍රීහුය. පුරුෂ පක්‍ෂයේ අය දැකිය හැක්‌කේ කලාතුරකිනි. ඒද මැදිවියේ හෝ මහළුවියේ අයය. නූතන තරුණ පරපුර පැරණි තරුණ පිරිසට වඩා ආගමික දැන උගත් බවින් ඉදිරියෙන් සිටී. අධ්‍යාපන පහසුකම් සුලබවීම හෝ තරුණ බුද්ධිමත් දැන උගත් හිමිවරුන්ගේ මඟපෙන්වීම නිසා හෝ විය හැකිය. මේ තරුණ පරපුර අතර ස්‌ත්‍රී, පුරුෂ දෙපක්‍ෂයම වේ. නමුදු තරුණයන් ආගමික කටයුතුවලට අධික නැඹුරුතාවක්‌ ඇතිව බහුලව කටයුතුකරනු පෙනේ. සිල්සමාදන්වීමට පැමිණෙන පිරිස අතර තරුණ පිරිමි එතරම් සුලබ දසුනක්‌ නොවේ. එමනිසා කිසියම් දැන උගත්කමක්‌ සහිතව අවංකව ප්‍රතිපත්තිපූරණය පිණිස එවැනි කටයුතුවලට සහභාගිවන තරුණ පිරිමි පිළිබඳව සැකමුසු විවිධ සෘණාත්මක ආකල්ප ඇති කරගන්නා බව දක්‌නට ලැබේ. එබඳු අය පෙම් සබඳතා බිඳවැටී කලකිරීමට පත්වූ අය හෝ වෙනත් පෞද්ගලික ව්‍යසනවලට මුහුණපෑම නිසා මෙබඳු දේවලට පෙළඹුනු අය බවට සමහරු විවිධ සැකසංකා පවා උපදවා ගනිති. බොහෝවිට මෙබඳු ආකල්ප නිසා එබඳු අය අධෛර්යමත්වීමට ඉඩඇත. අවසාන ප්‍රතිඵලය වනුයේ සිද්ධස්‌ථානවල සීලසමාදාන කටයුතු ස්‌ත්‍රීන්ගෙන් පමණක්‌ම පිරීයැමයි. ස්‌ත්‍රීන්ගේ සහභාගී බව හොඳය. නමුදු එබඳු දේ වඩාත් කාර්යක්‍ෂම හා ප්‍රතිඵලදායීවීමට නම් පුරුෂයන්ගේ දායකත්වයද ඉතා වැදගත්ය.

සිල්සමාදන් විය යුතු දිනයක හිමිදිරි උදයේම සිද්ධස්‌ථාන වෙත ගොස්‌ කරනුයේ එදවස සුව පහසුව ගත කිරීමට පහසුකම් සහිත ස්‌ථානයක්‌ වෙන්කර ගැනීමයි. මේ සඳහා පිට හේත්තුකරගෙන පහසුවෙන් නිදිසුව විඳියහැකි බිත්ති ආසන්නව ගමන්මලු ආදිය තබා සිය ඉඩකඩ වෙනත් අය අත්පත් කරගැනීමෙන් වැළකීමට උත්සුක වේ. සිය සීමාවේ අනුන් බඩුබාහිරාදිය තැබීම පවා නොරිසිවේ. කය සැතපවීම පිණිස සුවපහසු කොට්‌ට, ඇතිරිලි යොදාගනී. හැකිතාක්‌ නිවසේ තමා වෙනුවෙන් පිළියෙළ කළ ආහාරපාන රැගෙන පැමිණ භුක්‌තිවිඳීමට රුචිවේ. මෙබඳු නොයෙක්‌දැ මගින් ප්‍රකටකරනුයේ සිය ආත්මාර්ථකාමී බවයි. සක්‌කායදිට්‌ඨියේ දැඩිබවයි. සිල්සමාදන් විය යුතුවනුයේ එබඳු සෘණාත්මක ආකල්පවලින් වැළකීම පිණිස මූලික පුහුණුවක්‌ ලබාගැනීමට මිස ඒවා වඩාත් තහවුරුවන පරිදි නොවේ. කය, වචන හික්‌මවීම පවා මානසික හික්‌මවීම අරමුණුකරගෙන පැවතිය යුතුය. එසේ නොමැතිව හුදු වචනාර්ථයකට පමණක්‌ සීමා වූ කය, වචන හික්‌මවීමේ ප්‍රතිපදාව සාර්ථක ක්‍රමවේදයක්‌ නොවේ. කයට අසීමිතව දුක්‌දීම සේම සැපදීමද අන්තවාදීබව සේවනය කිරීමක්‌ ලෙස බුදුදහමේ පෙන්වාදී තිබේ. එසේම එය නිවනට මඟද නොවේ. මධ්‍යම ප්‍රතිපදාව නම් මේ කිසිදු අන්තවාදීබවක්‌ දැඩිව ග්‍රහණය නොකර හැරදැමීමයි. ආර්යඅෂ්ටාංගික මාර්ගය නම් සම්මාදිට්‌ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති හා සම්මා සමාධි යන මාර්ගාංගයි.

වගකීම් හා පරමාර්ථ

නියමිත දිනක සිල් සමාදන්වීම නරකය බඳු ආකල්පයක්‌ හෝ එහි දොස්‌ දැක්‌වීමක්‌ මෙහි අන්තර්ගතවේ යෑයි වරදවා නොවටහාගත යුතුය. කය, හික්‌මවා නොගෙන සිතුමනාපයේ අයාලේ යැමට වඩා කිසියම් සුවිශේෂිත දිනයකදී හෝ එසේ හික්‌මී කටයුතු කිරීම උසස්‌ය. මින් අදහස්‌වනුයේ එසේ සුවිශේෂී දිනයකදී හික්‌මීමටද වඩා ජීවිතකාලය තුළම එසේ සිල්වත්ව ජීවත්වීම උතුම්බවයි. මේ සඳහා සමාජයේ සියලු අය පූජ්‍ය හෝ පූජක පක්‍ෂයට එක්‌වීම අනවශ්‍යය. ඒ වෙනස ඇතිවිය යුතුවනුයේ බාහිරව නොවේ. සිය අභ්‍යන්තරගතවය. අභ්‍යන්තරව යහපත් වෙනසක්‌ කළ හැකි නම් ඒ යහමඟ අනුගමනය කිරීමට හැකිනම්, කුමන බාධකයක්‌ පැමිණියත් ඒ සියල්ලට අකම්පිතව නොසැලී මුහුණ දිය හැකි සේ පරිපූර්ණ පෞරුෂයකින් සමන්විතනම් සත්‍යාවබෝධයට තමා අයත් සමාජ මට්‌ටම බාධාවක්‌ නොවේ. ගිහි, පැවිදි දෙපක්‍ෂයටම සත්‍යාවබෝධය පිණිස ඇතිමඟ එකමය. වෙනසක්‌ ඇතොත් ඒ වෙනස ඇත්තේ ගමන්ගන්නා වේගය අනුව මිස අනුගමනය කරන ප්‍රතිපත්තියේ නොවේ. බුදුන්වහන්සේ පැවිදි හා ගිහි පක්‍ෂය උදෙසා වෙනවෙනම ආර්ය අෂ්ටාංගික මාර්ග පනවා නොමැත. වර්තමාන සමාජයේ වඩාත් ඉස්‌මතුව ඇත්තේ ජනප්‍රිය බොල්මත මිස බුදු දහමේ ගැඹුරු සත්‍යය දර්ශනය හෝ ප්‍රතිපදාව නොවේ. ඒ පිළිබඳ අවබෝධය ඇති අයද ඒ වැරදිමත ඉදිරියට ගෙනයැමට දර දිය සපයනවා මිස, එවැනි ආකල්පවල ඇති සාවද්‍යබව පොදුජනතාවට පහදාදීමට පවා උත්සුක නොවන බව පෙනේ.

බොහෝ විට සමාජය තුළ විද්‍යාමානව ඇත්තේ උනුන් පරයා කැපීපෙනීමේ නොනිත් ආශාවට වසඟව කටයුතු කරන අය මිස අවංක, උදාර ආකල්ප සහිත අය නොවේ. සීලය වැනි චර්යා සංස්‌කරණ ක්‍රමවේදයක්‌ මගින් අපේක්‍ෂාව වී ඇත්තේ අවංක, උදාර ආකල්ප සහිත අය බිහිකර ගැනීමයි. වර්තමානයේ සීලසමාදානය ව්‍යාපාරයක්‌ සේ ප්‍රචිලිතව දක්‌නට ලැබෙතත්, මෙබඳු උසස්‌ ආකල්ප සහිත අය බිහිනොවනුයේ එබඳු කටයුතුවල පවතින කිසියම් දුබලතාවයක්‌ නිසා වියයුතුය. බොහෝවිට මෙබඳු සීලව්‍යාපාර නමින්ම අර්ථවත්වන පරිදි එහි ගැබ්විය යුතු මූලික ආගමික හරය ඉවතලා බාහිර ඔපය පමණක්‌ සලකා කටයුතු කිරීමට උත්සුකවීම තුළ එබඳු දැ මගින් අපේක්‍ෂිත අරමුණ අමතකකර දමනු ලැබ තිබේ. සීලය නම් කය, වචන හික්‌මවීම බව සිsහිපත් කරදීමට හෝ අවංක වුවමනාවක්‌ මෙබඳු ව්‍යාපාරවල මූලිකත්වය ගෙන කටයුතු කරන බොහෝ අයට පවා නැත. හුදෙක්‌ ආගමික පසුබිම තුළ ඇති සංස්‌කෘතිකාංගයන් රැක දීමට මෙන් සීලව්‍යාපාර පැවැත්වීම හැරෙන්නට සමාජයට එමඟින් ලබාදිය යුතු අර්ථ සම්පන්න පණිවුඩයක්‌ නොමැති බව මෙබඳු කටයුතු නිරීක්‍ෂණය කරන විට සිතේ. ආගමික ආකල්ප බලහත්කාරයෙන් මිනිසුන්ගේ හිස්‌ගෙඩි තුළට රිංගවිය හැකි නොවේ. අවශ්‍යවනුයේ එබඳු ආගමික ආකල්ප පහළවීමට මූලික පසුබිමක්‌ තනාදීමට අවංකවීම පමණි.
දර්ශනපති සුජිත් නිශාන්ත හේවගේ