දුටුගැමුණු රජු කල පිරිණිවන් පෑ මලියදේව හිමියන් ලංකාවේ අන්තිම රහත් තෙරනම නොවේ. සැබැවින්ම, අද වුව රහතුන් බිහි විය හැකිය. ඒ සදහා අවශ්‍ය වන්නේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ ශ්‍රී සද්ධර්මය සීල සමාධි ප්‍රඥා වශයෙන් දියුණු කොට සාක්ෂාත් කිරීමයි.

ඔබත් බුදුරදුන් පෙන්වා වදාළ උත්තම දහම් මාර්ගයේ ගමන් කරන්න


Powered by දහම් විල


ලිපි සඳහා පහත මාසය අනුව ලිපි පටුන බලන්න

නූතන බෞද්ධයා සීලයේ නියම ප්‍රතිඵල භුක්‌ති විඳින්නේද?

අනුන්ට කරදරයක්‌ ඇති නොවන ලෙස සිත, කය, වචනය සංවර කර විසිය හැකිනම් එය ඉතා උතුම්ය. සමාජයේදී සෙසු අයට තමාගෙන් හිරිහැරයක්‌ නැතිව වාසය කිරීමට ඉඩකඩ ලබාදීම සුවිශාල දානයක්‌ද වේ. පරපණ නැසීමෙන් වැළකීම උතුම් දානයක්‌ සේ සැලකෙනුයේ එනිසාය. අනුන්ගේ දේ ගැනීමෙන් වැළකීමෙන් පුද්ගල දේපළ පරිහරණය කිරීමේ අයිතිය සමාජයට ලබාදීමද සිදුවේ. කාමමිථ්‍යාචාරයෙන් වැළකීම මගින් අනුන්ගේ ශරීර සිය පසිඳුරන් නොනිසි ලෙස පිනවීමට ගැනීමේ හිරිහැරයෙන් සමාජය මුදවනු ලැබේ. අද බස්‌රිය, දුම්රිය වැනි පොදු ප්‍රවාහන සේවයක පවා කාන්තාවකට නිදහසේ යැමට නොහැකිව ඇත්තේ නිවැරදිව පන්සිල් නොරකින සමාජයක්‌ ඇති බැවිනි. මුසාවාදයෙන් වැළකීම අසත්‍ය සන්නිවේදනයෙන් වැළකීමයි. මත්පැන් මත්ද්‍රව්‍ය නිසා සිදුවනුයේ සිහිකල්පනාව නැතිව යැමයි. ලැඡ්ජාව, බිය යන දේවධර්ම නිසා සත්වයා පාපයෙන් වළකයි. අසිහියෙන් සිටීමෙන් වැළකීම නිසා උමතු හැසිරීම්වලින් සමාජය වැළකේ. එය නිවැරදි සන්නිවේදනය සමාජයට ලබාදීමකි. ඇතැම් අය කල්පනා කරන්නේ සීලය යනු යම් සුවිශේෂිත දිනයක සුවිශේෂිත ස්‌ථානයක සිට පමණක්‌ ආරක්‍ෂා කළ යුතු දෙයක්‌ ලෙසයි. මෙය ඉතා සාවද්‍ය අදහසකි. සීලය යනු කායික වාචසික සංවරයයි. මෙය කිසියම් සුවිශේෂී දිනයකට හෝ ස්‌ථානයකට පමණක්‌ සීමාවූවක්‌ නොවේ. කයින් හා වචනයෙන් සිදුවන වැරදිවලින් වැළකී ජීවත්වීම යාවජීව කටයුත්තකි. එය එක්‌ දිනකට පමණක්‌ සීමාකර අනෙක්‌ දිනවලදී සිතැඟි පරිදි හැසිරීම පොදු මිනිස්‌ දුර්වලකමකි. එය ආගමෙන් පවා අපේක්‍ෂිත පසුබිමක්‌ නොවේ. නමුත් උසස්‌ ශික්‍ෂිත මනසක්‌ ඇත්තා හුදෙක්‌ පව්, පින් ලෙස සලකා නොව කය, වචන සංවරව පැවතීම සලකනුයේ සිය සමාජයීය යුතුකමක්‌ වශයෙනි. අනුන්ට කරදර හිරිහැර නොකර ජීවත්වීම කෙතරම් උසස්‌ දෙයක්‌දැයි වැටහෙනුයේ පවිත්‍ර මනසක්‌ ඇති අයටය. සිල් ගන්නේ එය අනුන්ට ප්‍රදර්ශනය කිරීමෙන් සතුටුවීමට නොවේ. අනෙක්‌ අතට එදිනට සිද්ධස්‌ථානවලට එක්‌රැස්‌වන අතිවිශාල ජන සමූහයා මැද සිත එකඟ කරගෙන සිටීමට වඩා සිය නිවසෙහි හෝ නිස්‌කලංකව සිත පවිත්‍රව කය, වචන සංවර වන සේ ආගමානුකූලව ගත හැකිනම් එය උසස්‌ය. සමහර එබඳු දිනවලට අතිවිශාල ජනසමූහයා එක්‌රැස්‌වන එබඳු ස්‌ථානවල සිට කරනුයේ අනුන්ගේ කේලාම්, ඕපාදූප කතා බහ කරමින් නිකරුනේ කාලය කා දැමීමකි. ඉන් කිසියම් සතුටක්‌ ලබනු රිසින් වැඩි දැන උගත් කමක්‌ රහිත අය මෙලෙස හැසිරෙනු දැකිය හැක. සාමාන්‍ය දිනයක තමා අතින් වන කායික හා වාචසික වැරදිවලට වඩා වැඩිපුර වැරදි සිදුකිරීමට යොමුවීමේ ඉඩප්‍රස්‌තාව මේ නිසා ඇතිවේ. නමුදු වර්තමාන තරුණ පරපුර අතර බුද්ධිමත් උගත්කම් සහිත අය බහුලය. එබඳු අය කරනුයේ මෙබඳු ප්‍රදර්ශනාත්මක ක්‍රියා නොව නිහඬව කය, වචන හික්‌මවා විසීමයි. බොහෝවිට ශාස්‌ත්‍රීය විද්වත් පර්යේෂණ, විමර්ශන කාර්යයන්වල නිහඬවම නිරතවී සැනසීමක්‌ ලැබීමට වෙහෙසවනුයේද මෙබඳු පිරිසවේ.

නීරෝගීබව හා නිරවද්‍ය චර්යා

විවේකී ස්‌ථානයක සිට ධර්මශාස්‌ත්‍රීය කරුණු ඔස්‌සේ විමසුම් නුවණ මෙහෙයවා ගැඹුරු දහම අවබෝධයට උත්සුකවීම කලබලකාරී ජනයා අතර විඩාපත්ව විසුමට වඩා යහපත්ය. එබඳු විවේකී ස්‌ථාන සිද්ධස්‌ථානයක්‌ වීම වඩා හොඳය. නමුත් විශාල පිරිසක්‌ එක්‌ රැස්‌වන ස්‌ථානයක නම් ඇත්තේ විවේකී පරිසරයක්‌ නොවේ. වෘක්‍ෂ මූල, ආරණ්‍ය, හිස්‌ භූමි හා සුසාන භූමි බඳු ස්‌ථාන චිත්ත සමාධිය හා විදර්ශනා භාවනා දියුණු කළහැකි උචිත විවේක ස්‌ථානසේ බුදුරදුන් විසින් පෙන්වාදී තිබේ. ලෞකික කරදර, හිරහැරවල අහිතකර බලපෑම එදින තුළ හෝ නැත්නම් සිය නිවසේ සිට වුවද කය, වචන හික්‌මවාගෙන නුවණ වැඩීම පිණිස දහම් පතපොත පරිශීලනය කළ හැක. නැතහොත් දිනපතා වඩා පුරුදු භාවනාවක විවේකීව නිරතවිය හැක. කායානුපස්‌සනා සතිපට්‌ඨානයට අයත් දසඅසුබ, නවසීවථක, දෙතිස්‌කුණප වැනි භාවනා නූතන කාමභෝගී සමාජ රටාවකට ඇබ්බැහිව දිවිගෙවන අයගේ කාමසංඥව අවම කිරීම පිණිස උපකාරීවේ. හැකිතාක්‌ ඉන්ද්‍රීයප්‍රීණනයද, කාමයේ මෘදුස්‌පර්ශයෙන්ද, අධිශීතකරණවල මස්‌ දමා තබා කල්තබන සේ වායුසමනය කළ නිවෙස්‌, කාර්යාල, රථ ආදිය පරිහරණය නිසා සුඛ විහරණයෙන් කය සැතපවීමෙන්ද නොයෙකුත් කායික රෝගාබාධ හටගනී. රුධිරගත සීනි හා මේද සංයුතිය අධිකවීම, ප්‍රතිශක්‌තිකරණ පද්ධතියේ ඌණතා, අක්‍රමවත් හෝමෝන ශ්‍රාවය, අස්‌ථිපඤ්ජරයේ විකෘතිතා හා පරිවෘත්තීය චක්‍රයේ විෂමතා බඳු කායික රෝගවලට මූලික හේතුව අධික කය පිනවීමයි.

නිරෝගීබව සුරක්‍ෂිත කරදීම සීලයේ ප්‍රධානතම උපයෝගීතාව වේ. පංචශීලයට වඩා ඉහළ සීලවන අෂ්ටාංග ශීල, ගිහි පැවිදි දස ශීල හා උපෝසථශීල ආදියේ පණවා ඇති පරිදි විකාල භෝජනයෙන් වැළකීමේ ශික්‍ෂාපදය හා සිව්නිස්‌සය අතර සඳහන් භෝජනයේ මතඤ්ªතාවයද ශාරීරික නිරෝගීතාව හා පහසුවිහරණය පිණිස වූ පැණවීම් වේ. කට සංවරකර ගැනීම වචනයෙහි සංවරතාව උදෙසා පමණක්‌ නොව රුධිරගත මේද හා සීනි මට්‌ටම වැඩිනොවී තබා ගැනීමටද උපකාරීවේ. විෂම අසම්මත ව්‍යාභිචාරි ඇවතුම් පැවතුම් පමණක්‌ නොව අධිකමෛථුනය පවා ශාරීරික රෝග හටගැනීමට ඉවහල්වේ. ස්‌ත්‍රී, පුරුෂ අය තුළ මඳසරුබව හා නිසරුබව ඇතිවීමට හේතුවනුයේ මෙබඳු චර්යාවලට දිගු කාලීනව ඇබ්බැහිවීමයි. මත්පැන්, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීමද අප්‍රාණිකබව හා වෛවාහික දුබලතාවලට හේතුවකි. ස්‌ත්‍රීන්ගේ ඔසප් චක්‍රයේ අක්‍රමවත් බවට අහිතකර මානසික ආවේග හේතුවිය හැක. ඇඟ උණුකරවායැම. පුරුෂ දුබලතා බඳු රෝගවල හේතුව විෂම ඇවතුම් පැවතුම් හා මානසික ආතතිය විය හැක. ආරමය හා ජානමය දුබලතා හටගනුයේ ප්‍රවේණිගතව රෝග හටගැනීමේ අවදානම මඟිනි. අකුසල කර්මඵල විපාක ආදිය නිසා ඇතිවන කර්මජ ආබාධද මේ අතර ඇත. මේ සියල්ලේ අවසන් ප්‍රතිඵලය අපේ අනාගත පරපුර ක්‍රමිකව දුබලවීමයි. ශක්‌තිමත් ජාතියක්‌ ගොඩනැඟීම අරමුණසේ සැලකීමට නම් තරුණ පරපුර සිල්වත්ව කටයුතු කිරීමට පෙළඹවිය හැකි වාතාවරණයක්‌ පැවැතිය යුතුය.

සීලය හා යහපත් ආකල්ප

මිත්‍යා, විෂම හා අසම්මත කාමයෙන් වැළකීම මෙන්ම, බඹසර වාසයද සෞඛ්‍ය සම්පන්න දිවිපෙවෙතක්‌ ගත කිරීමට මහත්සේ ආධාරවේ. කය පිළිබඳ ඇති සාවද්‍ය ලෝලීබව දුරුකිරීමට එය ප්‍රඥව ඇතිවන පරිදි විමර්ශනයකර සිහිනුවණ උපදවා කටයුතු කිරීම අවශ්‍යය. මෙහි පිළිකුල්බව සැලකීම නම් කය පිළිබඳ කාම තෘෂ්ණාව ඇතිනොවන පරිදි ඊට 

ප්‍රතිවිරෝධී ආකල්ප ඇතිකර ගැනීමය. ඒ මිස ප්‍රතිඝය ඇති කර ගැනීම නොවේ. ප්‍රතිඝය ඇති වනුයේද කාමය නිසාය. ලෝලීබව නිසා සාවද්‍යව සංවේදී බවින් තෙත්වන මනස ඊට ප්‍රතිවිරුද්ධ අන්තයවූ ප්‍රතිඝය නිසා ගැටීම් සහිත බවකට සංස්‌කරණයවේ. මේ දෙයාකාර සංචලනවල ස්‌වභාවය මනාව තහවුරු කරගන්නා තෙක්‌ මනසේ මෝහය රැඳී පවතී. සිහිය හා නුවණ දියුණු තියුණුවත්ම මෝහය දුරුව ප්‍රඥව ඇතිවේ. ඒ ප්‍රඥාව නිසා කාම හා ද්වේෂ සංඥ දුරුවේ. අවිද්‍යාව යනුවෙන් අදහස්‌ වනුයේ මෝහය දුරුකිරීමට නිවැරදි ක්‍රමවේදය නොදත් බවයි. චතුරාර්ය සත්‍යය අවබෝධය මගින් අවිද්‍යාව දුරුවීමට අවකාශ සැලසේ. දුක, දුකට හේතුව, දුක නැති කිරීම හා ඊට මඟ චතුරාර්ය සත්‍යයේ පසුබිමයි.

සීලයේ නියම ප්‍රතිඵල භුක්‌තිවිඳීමට අවකාශ මඳවනුයේ සිල් සමාදන්වන මිනිසුන්ගේ ආකල්පවල පවතින සාවද්‍යබව නිසාය. ඒ නිසා නිවැරදි ප්‍රතිපත්තිගරුක අයෙකුට වුවද ඔවුන් සමඟ සාර්ථකව එදින තුළ කටයුතු කිරීමට පහසුවේ. කිසියම් දැන උගත් බවකින් යුක්‌තව සිල් සමාදන්වීමට එක්‌වන අයෙකුට සිය නිවස තුළ ඇති නිස්‌කලංකබව මෙබඳු අය ගැවසෙන සමාජ පරිසරයක්‌ තුළ දැක ගැනීමට නොහැක. එනිසා බොහෝවිට එබඳු කලබලකාරී පිරිස්‌ මැද මන්දොaත්සාහීවීමට අවංක අපේක්‍ෂාවෙන් එහි යන අයට සිදුවේ. මෙබඳුදේ ඉවසීමට හා උපේක්‍ෂකවීමට එවැනි අය පුරුදු පුහුණුවීම සඳහා එලෙස කලබලකාරී පිරිස්‌මැද කටයුතු කිරීමද අවශ්‍යයෑයි අයෙකු පැවසීමට ඉඩඇත. නමුදු සිය විවේකීබව පාදකකරගෙන වඩා උසස්‌ සීල, සමාධි හා ප්‍රඥ මට්‌ටම් සාක්‍ෂාත් කරගැනීම පිණිස එළඹෙන ආදිකම්මික අයෙකුට මෙබඳු කලබලකාරී පරිසරය මහත් බාධාවක්‌ වනු ඇත. සැබැවින්ම සිල්සමාදන්වන පරිසරයක පැවතිය යුතු වනුයේ කලබලකාරී ඝෝෂාකාරී මානසික ආතති ජනිතකරවන පරිසරයක්‌ නොවේ. නමුදු තමාට ආසන්නව පිහිටි නිස්‌කලංක,විවේකී සිද්ධස්‌ථානයට වඩා ඉතා දුරබැහැර පෙදෙසක පිහිටි බහුලව ජනසමූහයා ගැවසෙන කලබලකාරී ස්‌ථානවලටම මිනිසුන් සිල් ගැනීමට පැමිණෙනුයේ මන්දැයි විචාරපූර්වකව නිගමනවලට එළඹිය නොහැක. මෙබඳු දේ මඟින් පැහැදිලිවන කරුණ නම් මිනිසුන් තුළ ජනසමූහයා පිරිවරා සිටීමේ හා විවිධ දුරබැහැර ස්‌ථාන දැකීමේ දැඩි ආශා පවතින බවයි. වන්දනා ගමන් යැමට බොහෝ දෙනා තුළ ඇති ආශාවද මෙබඳුය. ඇස පිණවීම මූලික කරගත් මෙබඳු දැ අවශේෂ වශයෙන් පසිඳුරන්ම පිණවීම පාදකව ගොඩනැඟේ. සීලයේ ප්‍රධාන පරමාර්ථයෙන් බැහැරවීම මින් සිදුවේ.

සිල් සමාදන්වීම සඳහා පැමිණෙන බහුතර පිරිස ස්‌ත්‍රීහුය. පුරුෂ පක්‍ෂයේ අය දැකිය හැක්‌කේ කලාතුරකිනි. ඒද මැදිවියේ හෝ මහළුවියේ අයය. නූතන තරුණ පරපුර පැරණි තරුණ පිරිසට වඩා ආගමික දැන උගත් බවින් ඉදිරියෙන් සිටී. අධ්‍යාපන පහසුකම් සුලබවීම හෝ තරුණ බුද්ධිමත් දැන උගත් හිමිවරුන්ගේ මඟපෙන්වීම නිසා හෝ විය හැකිය. මේ තරුණ පරපුර අතර ස්‌ත්‍රී, පුරුෂ දෙපක්‍ෂයම වේ. නමුදු තරුණයන් ආගමික කටයුතුවලට අධික නැඹුරුතාවක්‌ ඇතිව බහුලව කටයුතුකරනු පෙනේ. සිල්සමාදන්වීමට පැමිණෙන පිරිස අතර තරුණ පිරිමි එතරම් සුලබ දසුනක්‌ නොවේ. එමනිසා කිසියම් දැන උගත්කමක්‌ සහිතව අවංකව ප්‍රතිපත්තිපූරණය පිණිස එවැනි කටයුතුවලට සහභාගිවන තරුණ පිරිමි පිළිබඳව සැකමුසු විවිධ සෘණාත්මක ආකල්ප ඇති කරගන්නා බව දක්‌නට ලැබේ. එබඳු අය පෙම් සබඳතා බිඳවැටී කලකිරීමට පත්වූ අය හෝ වෙනත් පෞද්ගලික ව්‍යසනවලට මුහුණපෑම නිසා මෙබඳු දේවලට පෙළඹුනු අය බවට සමහරු විවිධ සැකසංකා පවා උපදවා ගනිති. බොහෝවිට මෙබඳු ආකල්ප නිසා එබඳු අය අධෛර්යමත්වීමට ඉඩඇත. අවසාන ප්‍රතිඵලය වනුයේ සිද්ධස්‌ථානවල සීලසමාදාන කටයුතු ස්‌ත්‍රීන්ගෙන් පමණක්‌ම පිරීයැමයි. ස්‌ත්‍රීන්ගේ සහභාගී බව හොඳය. නමුදු එබඳු දේ වඩාත් කාර්යක්‍ෂම හා ප්‍රතිඵලදායීවීමට නම් පුරුෂයන්ගේ දායකත්වයද ඉතා වැදගත්ය.

සිල්සමාදන් විය යුතු දිනයක හිමිදිරි උදයේම සිද්ධස්‌ථාන වෙත ගොස්‌ කරනුයේ එදවස සුව පහසුව ගත කිරීමට පහසුකම් සහිත ස්‌ථානයක්‌ වෙන්කර ගැනීමයි. මේ සඳහා පිට හේත්තුකරගෙන පහසුවෙන් නිදිසුව විඳියහැකි බිත්ති ආසන්නව ගමන්මලු ආදිය තබා සිය ඉඩකඩ වෙනත් අය අත්පත් කරගැනීමෙන් වැළකීමට උත්සුක වේ. සිය සීමාවේ අනුන් බඩුබාහිරාදිය තැබීම පවා නොරිසිවේ. කය සැතපවීම පිණිස සුවපහසු කොට්‌ට, ඇතිරිලි යොදාගනී. හැකිතාක්‌ නිවසේ තමා වෙනුවෙන් පිළියෙළ කළ ආහාරපාන රැගෙන පැමිණ භුක්‌තිවිඳීමට රුචිවේ. මෙබඳු නොයෙක්‌දැ මගින් ප්‍රකටකරනුයේ සිය ආත්මාර්ථකාමී බවයි. සක්‌කායදිට්‌ඨියේ දැඩිබවයි. සිල්සමාදන් විය යුතුවනුයේ එබඳු සෘණාත්මක ආකල්පවලින් වැළකීම පිණිස මූලික පුහුණුවක්‌ ලබාගැනීමට මිස ඒවා වඩාත් තහවුරුවන පරිදි නොවේ. කය, වචන හික්‌මවීම පවා මානසික හික්‌මවීම අරමුණුකරගෙන පැවතිය යුතුය. එසේ නොමැතිව හුදු වචනාර්ථයකට පමණක්‌ සීමා වූ කය, වචන හික්‌මවීමේ ප්‍රතිපදාව සාර්ථක ක්‍රමවේදයක්‌ නොවේ. කයට අසීමිතව දුක්‌දීම සේම සැපදීමද අන්තවාදීබව සේවනය කිරීමක්‌ ලෙස බුදුදහමේ පෙන්වාදී තිබේ. එසේම එය නිවනට මඟද නොවේ. මධ්‍යම ප්‍රතිපදාව නම් මේ කිසිදු අන්තවාදීබවක්‌ දැඩිව ග්‍රහණය නොකර හැරදැමීමයි. ආර්යඅෂ්ටාංගික මාර්ගය නම් සම්මාදිට්‌ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති හා සම්මා සමාධි යන මාර්ගාංගයි.

වගකීම් හා පරමාර්ථ

නියමිත දිනක සිල් සමාදන්වීම නරකය බඳු ආකල්පයක්‌ හෝ එහි දොස්‌ දැක්‌වීමක්‌ මෙහි අන්තර්ගතවේ යෑයි වරදවා නොවටහාගත යුතුය. කය, හික්‌මවා නොගෙන සිතුමනාපයේ අයාලේ යැමට වඩා කිසියම් සුවිශේෂිත දිනයකදී හෝ එසේ හික්‌මී කටයුතු කිරීම උසස්‌ය. මින් අදහස්‌වනුයේ එසේ සුවිශේෂී දිනයකදී හික්‌මීමටද වඩා ජීවිතකාලය තුළම එසේ සිල්වත්ව ජීවත්වීම උතුම්බවයි. මේ සඳහා සමාජයේ සියලු අය පූජ්‍ය හෝ පූජක පක්‍ෂයට එක්‌වීම අනවශ්‍යය. ඒ වෙනස ඇතිවිය යුතුවනුයේ බාහිරව නොවේ. සිය අභ්‍යන්තරගතවය. අභ්‍යන්තරව යහපත් වෙනසක්‌ කළ හැකි නම් ඒ යහමඟ අනුගමනය කිරීමට හැකිනම්, කුමන බාධකයක්‌ පැමිණියත් ඒ සියල්ලට අකම්පිතව නොසැලී මුහුණ දිය හැකි සේ පරිපූර්ණ පෞරුෂයකින් සමන්විතනම් සත්‍යාවබෝධයට තමා අයත් සමාජ මට්‌ටම බාධාවක්‌ නොවේ. ගිහි, පැවිදි දෙපක්‍ෂයටම සත්‍යාවබෝධය පිණිස ඇතිමඟ එකමය. වෙනසක්‌ ඇතොත් ඒ වෙනස ඇත්තේ ගමන්ගන්නා වේගය අනුව මිස අනුගමනය කරන ප්‍රතිපත්තියේ නොවේ. බුදුන්වහන්සේ පැවිදි හා ගිහි පක්‍ෂය උදෙසා වෙනවෙනම ආර්ය අෂ්ටාංගික මාර්ග පනවා නොමැත. වර්තමාන සමාජයේ වඩාත් ඉස්‌මතුව ඇත්තේ ජනප්‍රිය බොල්මත මිස බුදු දහමේ ගැඹුරු සත්‍යය දර්ශනය හෝ ප්‍රතිපදාව නොවේ. ඒ පිළිබඳ අවබෝධය ඇති අයද ඒ වැරදිමත ඉදිරියට ගෙනයැමට දර දිය සපයනවා මිස, එවැනි ආකල්පවල ඇති සාවද්‍යබව පොදුජනතාවට පහදාදීමට පවා උත්සුක නොවන බව පෙනේ.

බොහෝ විට සමාජය තුළ විද්‍යාමානව ඇත්තේ උනුන් පරයා කැපීපෙනීමේ නොනිත් ආශාවට වසඟව කටයුතු කරන අය මිස අවංක, උදාර ආකල්ප සහිත අය නොවේ. සීලය වැනි චර්යා සංස්‌කරණ ක්‍රමවේදයක්‌ මගින් අපේක්‍ෂාව වී ඇත්තේ අවංක, උදාර ආකල්ප සහිත අය බිහිකර ගැනීමයි. වර්තමානයේ සීලසමාදානය ව්‍යාපාරයක්‌ සේ ප්‍රචිලිතව දක්‌නට ලැබෙතත්, මෙබඳු උසස්‌ ආකල්ප සහිත අය බිහිනොවනුයේ එබඳු කටයුතුවල පවතින කිසියම් දුබලතාවයක්‌ නිසා වියයුතුය. බොහෝවිට මෙබඳු සීලව්‍යාපාර නමින්ම අර්ථවත්වන පරිදි එහි ගැබ්විය යුතු මූලික ආගමික හරය ඉවතලා බාහිර ඔපය පමණක්‌ සලකා කටයුතු කිරීමට උත්සුකවීම තුළ එබඳු දැ මගින් අපේක්‍ෂිත අරමුණ අමතකකර දමනු ලැබ තිබේ. සීලය නම් කය, වචන හික්‌මවීම බව සිsහිපත් කරදීමට හෝ අවංක වුවමනාවක්‌ මෙබඳු ව්‍යාපාරවල මූලිකත්වය ගෙන කටයුතු කරන බොහෝ අයට පවා නැත. හුදෙක්‌ ආගමික පසුබිම තුළ ඇති සංස්‌කෘතිකාංගයන් රැක දීමට මෙන් සීලව්‍යාපාර පැවැත්වීම හැරෙන්නට සමාජයට එමඟින් ලබාදිය යුතු අර්ථ සම්පන්න පණිවුඩයක්‌ නොමැති බව මෙබඳු කටයුතු නිරීක්‍ෂණය කරන විට සිතේ. ආගමික ආකල්ප බලහත්කාරයෙන් මිනිසුන්ගේ හිස්‌ගෙඩි තුළට රිංගවිය හැකි නොවේ. අවශ්‍යවනුයේ එබඳු ආගමික ආකල්ප පහළවීමට මූලික පසුබිමක්‌ තනාදීමට අවංකවීම පමණි.
දර්ශනපති සුජිත් නිශාන්ත හේවගේ