දුටුගැමුණු රජු කල පිරිණිවන් පෑ මලියදේව හිමියන් ලංකාවේ අන්තිම රහත් තෙරනම නොවේ. සැබැවින්ම, අද වුව රහතුන් බිහි විය හැකිය. ඒ සදහා අවශ්‍ය වන්නේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ ශ්‍රී සද්ධර්මය සීල සමාධි ප්‍රඥා වශයෙන් දියුණු කොට සාක්ෂාත් කිරීමයි.

ඔබත් බුදුරදුන් පෙන්වා වදාළ උත්තම දහම් මාර්ගයේ ගමන් කරන්න


Powered by දහම් විල


ලිපි සඳහා පහත මාසය අනුව ලිපි පටුන බලන්න

ජීවන ගමන ගැන කියා දෙන පාරිච්ඡත්තක සූත්‍රය

මාලබේ අරංගල ශ්‍රී ශෛලාරාමාධිපති කථිකාචාර්ය, 
දර්ශනපති රාජකීය පණ්ඩිත 
ඇත්කඳුරේ සුමනසාර හිමි

කලාතුරකින් කෙනෙකුට ලැබෙන සුවිශේෂි කරුණු තුනක් දැන් අපට ලැබී තිබෙනවා. එනම් උතුම් මිනිසත් බවත්, ගෞතම බුදු සසුනත්, ධර්මාවබෝධය පිණිස ඇති කරගත් ශ්‍රද්ධාවත් ය. යම් කෙනෙක් තුළ මෙකී කරුණු තුන ඒකරාශී වූයේ නම් එය හඳුන්වන්නේ ක්ෂණ සම්පත්තිය නමිනි. ක්ෂණ සම්පත්තිය නම් වූ අතිශයින් ම දුර්ලභව ලද මෙම මොහොත ගෙවී යන්නට පෙර මෙයින් අත්පත් කරගත හැකි උතුම් පිළිසරණ සලසා ගත යුතුය.

බුද්ධ දේශනා තුළින් දාන්ත භාවයට

මේ ලෝකයට පහළ වූ ශ්‍රේෂ්ඨතම උත්තමයන් වහන්සේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේයි. භව කතරේ අතරමංව සසර ගින්නෙන් දැවෙන බොහෝ දුක් විඳින සත්ත්වයාට මේ භයානක දුකෙන් අත මිදෙන්නට උත්තම ශාන්තියක් කරා පිය නැඟීමට හැකිවන පරිදි මේ ලෝකයට අසිරිමත් ධර්ම මාර්ගයක් හෙළිපෙහෙළි කොට වදාළේ අංගීරස තථාගත බුදුරජාණන් වහන්සේ විසිනි. උන්වහන්සේ විසින් දේශනා කළ ධර්ම මාර්ගයේ ගමන් කරන්නේ නම් එයින් සැමට සැපතක් සැනසිල්ලක් ලැබෙනවා.
බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයට සිත යොමු කරනවිට අපේ ජීවිතය පිළිබඳව නිවැරැදි අවබෝධයක් ලැබෙනවා. ඒ වගේම මර උගුලකට අප පටලවන ඇස, කන, නාසය, දිව, කය කියන මේ පංච ඉන්ද්‍රිය දාන්ත භාවයට හුරුපුරුදු වෙනවා. සිත සුවපත් කරගෙන ශාන්තියක් අත්විඳීමට යෝනිසෝමනසිකාරයෙන් බුද්ධ දේශනා ශ්‍රවණය කරන විට අවස්ථාව උදා වෙනවා. කාම භෝග, භව භෝග, දිට්ඨි භෝග, අවිද්‍යා භෝග කියන මේ භයානක සැඬ පහරවල් කපා සිඳ බිඳ සුණුවිසුණු කොට ගෙන මේ භයානක භව සයුරින් එතෙර වන්නට බුදුබණ ශ්‍රවණයෙන් අවස්ථාව උදාවෙනවා. අග්‍ර උතුම් වූ නිවනට උතුම් වූ ශක්තියකින් පැමිණීම ලෙහෙසියෙන් පහසුවෙන් කරන්න අමාරුයි. නමුත් පාපී දේවල් ලෙහෙසියෙන් කරන්න පුළුවන්. මාරයා නිරන්තරයෙන් අප ඇදගෙන යන්නේ පාපී ක්‍රියාවට සහ පාපී අරමුණු වලටයි.

පරසතු මදාරා මල්ගස

අද අප කථා කරන්නේ “පාරිච්ඡත්තක” සූත්‍රය යි. පාරිච්ඡත්තක ලෙස පරසතු මදාරා මල් ගස පිළිබඳව විස්තර වෙනවා.
දිව්‍ය ලෝකයේ තිබෙනවා “නන්දන” කියා ලස්සන උයනක්. මේ උයන තිබෙන්නේ දෙවියන්ට සතුටු වෙන්න. දෙවියන් සතුටින් සතුටට පත් වෙන්න මේ නන්දන උයන වෙත ගමන් කරන්නේ. මේ නන්දන උයනේ පාරිච්ඡත්තක කියා වෘක්ෂයක් තිබෙනවා. මේ වෘක්ෂයේ් ආවාට ගියා මල්, ගෙඩි, හට ගන්නේ නැහැ. දළුලන්නේ නැහැ. කොළ හැලෙන්නේ නැහැ. දළු මේරීමක් වන්නේත් නැහැ. ඒ නිසා දෙවියන් නිරන්තයෙන් ගොස් මේ නන්දන උයනේ ඇති පාරිච්ඡත්තක ගස වටා ගමන් කරමින් පරීක්ෂා කරනවා. දිනක් දෙවියන් දකිනවා පාරිච්ඡත්තක වෘක්ෂයේ කොළ පඬු පාට,ගුරුපාට වෙලා. ඔවුන් බොහෝ සතුටට පත්වෙනවා. දැන් මේ ගස අලුත් වෙන්නයි හදන්නේ කියා. පැරැණි කොළ හැලෙන්නයි හදන්නේ කියා දැනගත්තාම ගස වටේ ගිහින් ප්‍රදක්ෂිණා කරමින් ඔවුන් විශාල සතුටට පත්වෙනවා.
දෙවැනි අවස්ථාව නම් පඬුවන් පාට වූ කොළවලට මොකද වෙලා තිබෙන්නේ? කොළ ටික හැළෙන්න පටන් අරගෙන. කලින් සැරේ පඬුවන් පාට වුණා පමණයි. දෙවැනි අවස්ථාවේදී කොළ හැලෙන්න පටන් අරගෙන. දැන් දෙවියන්ට හරි සතුටුයි. මේ පාරිච්ඡත්තක වෘක්ෂය අලුත්වෙනවා කියා.

තුන්වැනි අවස්ථාව ගසේ කොළ බිමට හැලිලා. අලුතින් දළු දාන්නට පටන් අරගෙන. හරිම සතුටුයි. ටික ටික ගස අලුත් වෙලා නැවුම් භාවයට පත්වෙනවා දෙවියන් සතුටු කරමින්.
හතරවැනි අවස්ථාව පුංචියට දාපු දළු දැන් ලපලු වෙලා. පොකුරු පොකුරු ලෙස දලු දාන්නට පටන් අරගෙන. දෙවියන් ඇවිත් ෙමි නන්දන උයනේ පරසතු මදාරා ගස අසල විශාල ලෙස සතුටු වෙනවා.
දැන් මාස ගණනාවක් ගතවෙලා. පස්වෙනි අවස්ථාව නම් දැන් මල් පිපෙන්න පුංචි පුංචි පොහොට්ටු පීදීලා. දෙවියන්ට විශාල සතුටක්. සතුටු ගීත ගායනා කරමින් දෙවියන් පිරිවරාගෙන සතුටු වෙනවා.
හය වෙනි අවස්ථාව නම් මේ ගසේ පොහොට්ටු ටිකක් මෝරලා. ඒත් තවම මල් පිපිලා නැහැ. දැන් දෙවියන් බලාගෙන ඉන්නේ මල් පිපෙන තෙක්. නැවත මාසයකට පසු බලන විට මුළු ගසේම මල් පොහොට්ටු පිපිලා දසත සුවඳ කරමින් තිබුණා. දැන් සියලුම දෙවි දේවතාවියන් ඇවිත් ගසයට පී‍්‍රති ප්‍රමෝදයෙන් ගීතිකා ගායනා කරමින් සිතුටු වුණා.
අප ඉහත ඉගෙන ගත්තා පාරිච්ඡත්තක සූත්‍රයේදී විවිධ අවස්ථා හතක් පිළිබඳව. මුල් අවස්ථාවේදී කොළ පඬුවන් පාට වුණා. දෙවැනි අවස්ථාව කොළ හැලෙන්න පටන් ගත්තා. තුන් වැනි අවස්ථාවේදී පුංචි දළු දාන්න පටන් ගත්තා. හතරවැනි අවස්ථාවේදී දළු ලපලු බවට පත්වුණා, පස්වැනි අවස්ථාව පුංචි පොහොට්ටු වුණා. හයවැනි අවස්ථාව පොහොට්ටු මේරුවා. හත්වැනි අවස්ථාවේදී ඒ පොහොට්ටු පිපිලා මුළු දිව්‍ය ලෝකයම සුවඳවත් වුණා.

අපේ ජීවිතයත් මදාරා මල්ගස වගේ

මේ පාරිච්චත්ත වෘක්ෂය උපයෝගි කොටගෙන තථාගතයන් වහන්සේ අපට ගැඹුරු දේශනාවක් වදාළා. මේ ආධ්‍යාත්මික මාවතේ යන අපත් හරියට පාරිච්ඡත්තක වෘක්ෂය වගේලු. අපේ ජීවිතය නමැති පරසතු මල් ගස ගැනයි මේ කථා කරන්නේ. අපේ ජීවිතයේ ගසේ කොළ වගේ කාලයකදී පඬුවන් පාට දුඹුරුපාට වෙනවා. මේ දුඹුරුපාට වෙනවා කියන්නේ මොකක් ද? අපට ඇතිවෙනවා සිතිවිල්ලක් මේ ගිහි ගෙයින් ඈත් වුණානම් හොඳයි. මේ පැටලි පැටලි සිටින ජීවිතය ටිකක් හුදකලා කරගත්තා නම් හොඳයි කියා මනසින් සිතනවා. ඒ සිතිවිල්ලට තමා ගසේ කොළ පඬුවන් පාට වුණා කියන්නේ. ගුරුපාට වූ කොළ ටික ටික හැලෙනවා. කොහොමද හැලෙන්නේ? ඒ වෙනුවෙන් කැපවෙලා වෙන්වෙලා සිත දියුණු කිරීමයි. තුන්වැනි අවස්ථාව දළු දෑම. අපේ ජීවිතයේ දළු දෑම කුමක්ද? සිත බලවත් ලෙස අධිෂ්ඨාන කර භාවනාට යොමු වෙද්දී ප්‍රථම ධ්‍යානය ස්පර්ෂ වෙනවා. හතරවැනි අවස්ථාව ප්‍රථම ධාන්‍ය සිත දෙවැනි ධ්‍යානය ස්පර්ෂ කරනවා. පස්වැනි අවස්ථාවේදී තුන්වැනි ධ්‍යානය ස්පර්ෂ වෙනවා. හයවෙනි අවස්ථාව නම් ගසේ පුංචි පොහොට්ටුව මහා පොහොට්ටුවක් බවට පත්වෙනවා වගේ හතරවැනි ධ්‍යානය ස්පර්ෂ වෙනවා. අන්තිමට අර පාරිච්ඡත්තක වෘක්ෂයේ මල් සියල්ල පිපිලා පළාතම සුවඳ කරනවා වගේ සමථ භාවනාව තුළින් විපස්සනා භාවනාවට සිත යොමු කරනවා. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම බව හොඳින් දකිනවා. මම, මගේ, මගේ ආත්මය නොවේ කියා හොඳින් දකිනවා. එය දියුණුවෙනවාත් සමඟ ඔහුට අරහත් භාවයට සිත දියුණු කරනවා. අපේ සිත නමැති ජීවිතය හරියට පාරිච්ඡත්තක ගස වගේ වෙනවා.
පරසතු මදාරා මල් ගස දිව්‍ය ලෝකය සුවඳවත් කළා. ඒ වගේ අපේ ජීවිතය නමැති ලෝකය සිත නමැති ආධ්‍යාත්මික පාරිච්චතක වෘක්ෂයේ සුවඳ විහිදෙනවා. මල් පිපුණා කියන්නේ මනසේ ඇති සියලු රාග, ද්වේෂ, මෝහ ගිනි සියල්ල නැතිකරගෙන මනසේ විරාගි ශෛල අවදිකරගෙන මනස උපරිම පාරිශුද්ධභාවයට පත්කර ගැනීමයි. උපාධාන බැම්ම කඩා ගත්තා වෙනවා. පංච උපාධානස්කන්ධය ඇති උතුමන් පංචස්කන්ධය පමණක් ඇති අය බවට පත්වුණා. මේ සසරට අප අලවන්නේ, බැඳ තබන්නේ, ගට්ටනය කරන්නේ මේ පංචස්කන්ධය තුළ තිබෙන උපාදාන ශක්තියයි. ඒ උපාධානය කඩා බිඳ සුණු විසුණු කරගෙන පරසතු මදාරා ගසේ දිව්‍යමය මල් පිපුණා වගේ අපට සැනසෙන්න, සුවපවත් වෙන්න, සිහිල් වෙන්න අවස්ථාව ලැබුණේ උතුම් අරහත් භාවයෙන්.

සතුට කරා යන මඟ

ඒ නිසා තථාගතයන් වහන්සේ අපට අවවාද කරනවා මේ පාරිච්ඡත්තක වාක්ෂය වගේ ඔබත් පියවරෙන් පියවර ඉදිරියට යන්න. මල් පොහොට්ටු ගස පුරා පිපුණා සේ මේ භයානක සසරෙන් එතෙර වන්න. දුකෙන් පෙළෙන අපට සතුට කරා යන්න, පී‍්‍රතිය නැති අපට පී‍්‍රතිමත් වන්නට මේ පාරිච්ඡත්තක වෘක්ෂය මඟ කියා දෙයි.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

මරණාසන්නයේ සිතෙහි පහළ වන දසුන් ඊළඟ භවයට බලපානවාද?


නිරයෙ අග්ගික්ඛත්ඨ ච
පෙතලොකං ච අත්ධකං
තිරච්ඡානයො නිං ච
මං සක්ඛඣං ච මානුසං
විමා නං දෙව ලො කම්හි
නිමිත්තං ච පංච දිස්රරෙ

මෙම ගාථා ධර්මයෙන් තමන් අදහන්නා වූ ආගම කුමක් වුවද මරණය සිදුවන මොහොතේදී දර්ශනය වන්නා වූ නිමිති පහක් ගැන සඳහන් වේ. එම නිමිත්තට අනුව ඊළග ප්‍රතිසන්ධි තලයේ පුනර්භවය ඇතිවන බැව් පැවසේ.

1.අග්නි ජාලාවක් දර්ශනය වේ නම් – නිරයේ පුනර්භවය සිදුවේ

2.අන්ධකාරයක් දර්ශන වේ නම් - ප්‍රේත යෝනියක පුනර්භවය සිදුවේ

3.වන සතුන් හා වනාන්තර දර්ශනය වේ නම් තිරිසන් යෝනියක පුනර්භවය සිදුවේ

4.මියගිය ඥාතීන් හෝ මිනිසුන් දර්ශනය වේ නම් – මිනිසත් භවයේම පුනර්භවය සිදුවේ

5.දිව්‍ය විමාන දර්ශනය වේ නම් – දිව්‍ය ලෝකයක පුනර්භවය සිදුවේ

මියයමින් සිටින කෙනකුට දර්ශනය වන මෙම පංච නිමිති ගැන පර්යේෂණය කර විමසා බලා අත්දැකීම් ලබාගත් විට මෙකී නිමිතිවල ඇති සත්‍යතාවය ප්‍රත්‍යක්ෂ කර ගැනීමට හැකිවේ. බුදුරජාණන් වහන්සේ ප්‍රේතවත්තු, විමානවත්තු වැනි සූත්‍ර දේශනා කොට වදාළේ මිනිසුන් අතින් සිදුවන්නා වූ අකුසල්වලින් වළක්වා කුසල් රැස්කර ගැනීමට උනන්දු කරවීමට හා ඒතුළින් මිනිසාගේ මෙලොව පරලොව දෙකෙහිම යහපත සලසාදීමටය.

අපාය ගැන දේශනා කොට මිනිසුන් බිය ගන්වා හෝ දිව්‍යලෝක ගැන දේශනාකොට මිනිසුන්ට සුරංගනා ලෝක මවා පා බුදුදහමට මිනිසුන් පොළඹා ගැනීමට ක්‍රියානොකළ ආගමික ශාස්තෘවරයකු වී නම් ඒ බුදුපියාණන් වහන්සේමය. ඒ භාග්‍යවතුන් වහන්සේ ලෝකත්‍රයම ඇති සැටියෙන්ම දැන වදාළ බැවින් ලෝකවිදූ නම් වන සේක. එවන් දහමක් ගැන සැක නොකොට මැරෙන මොහොත දර්ශනය වන පංච නිමිති ගැන විමසිලිමත්ව කරුණු අධ්‍යනය කර බලා සත්‍ය තේරුම් ගත හැකිය. ¼

අග්නි ජාලාවක් දර්ශනය වන්නෝ හඳුනාගත හැකි ලක්ෂණ – මියයන මොහොතේ ගිනි ගොඩක් පේනවා යැයි කියන අය මෙන්ම ඒ බව නොකියා දනවා දනවා යැයි කියමින් කෑ ගසන අයද සිටිති. තවත් සමහරු කිසිවක් නොකියා අභිනයන් මගින් (පිළිස්සෙන විට පළකරන ඉරියව්) පළ කරති. ගින්නක් ඇවිලෙන විට කටින් පිඹ එය නිවා දමන්නට හදන ලෙස හුළං පිඹින අය සිටිති. වතුර වතුර කියා ජලය හොයන අය සිටිති. එවන් අය නිරයේ යන්නෝ වෙති.

අන්ධකාරය දර්ශනය වන්නෝ හඳුනා ගැනීම – ‘මට මොකවත් පේන්නෙ නෑ. ලාම්පු පත්තු කරන්න. ලයිට් දමන්න. හරිම කළුවරයි. මොකවත් පේන්නෙ නෑ’ යැයි මරණ මොහොතේ කියන අය සිටිති. එළියක් අරගෙන එන ලෙස කෑගසන අය සිටිති. ඇස්පිල්ලන් ගසමින් ඇස් පොඩි කරමින් ඇස් නොපෙනෙන අය ඇස්වලින් පලකරන ඉරියව් පළ කරන අය සිටිති. එවන් අය කිසියම් ප්‍රේත යෝනියක පුනර්භවයක් ලබන්නෝ වෙති.

වන සතුන් හා වනාන්තර දර්ශනය වන්නෝ හඳුනා ගැනීම

අලි එනවා හරක් එනවා යැයි සතුන්ගේ නම් කියමින් කෑ ගසන අය මෙන්ම එසේ නොකියා සතුන් එලවන ශරීර පිට කරන්නෝ වෙති. එසේම නොයෙක් සතුන්ගේ කෑගසන හඬට සමාන හඬ පිටකරමින් මියයන්නෝ සිටිති. වනාන්තර ගැන තොරතුරු කියන්නෝ වෙති. එසේම කැලේ යන අය මෙන් විපරමින් වටපිට බලන ඉරියව් පල කරන අය සිටී. එසේ වන සතුන් හා කැලෑවන් දර්ශනය වන්නෝ මරණයෙන් පසු තිරිසන්ගත යෝනිවල පුනර්භවය ලබන්නෝ වෙති.

ඥාතීන් හා මිනිසුන් දර්ශනය වන්නන් හඳුනා ගැනීම

මියයන මොහොතේ තම මියගිය ඥාතීන් දර්ශනය වන අය මෙන්ම ජීවතුන් අතර සිටින අයගේ නම් කියමින් කතා කරන අය එම අයගේ තොරතුරු කියන අය ඒ අය සිහියට එන අය මරණයෙන් මතු මිනිසත් භවයේම පුනර්භවය ලබන්නෝ වෙති.

දෙවියන් හා දිව්‍ය විමාන දර්ශනය වන අය

මරණාසන්න මොහොතේ ප්‍රසන්න මුහුණින් යුතුව මල් සුවඳ හා මල් ගැන කතාකරන එසේම බියකරු ඉරියව් කිසිවක් පළ නොකර අහස දෙස බලා සිටින්නාක් මෙන් උඩ සිටින දෙවිවරු ගැන කියන අය සිටී. එවන් අයගේ මුවින් දිව්‍ය විමාන දිව්‍ය රථ ගැන ප්‍රකාශ වේ. සුදත්ත සිටුතුමා, දුටුගැමුණු රජතුමා වැන්නවුන්ට මෙවන් දර්ශන පෙනුන බැව් බෞද්ධ පතපොතේ සඳහන්ව ඇත. වර්තමානයේද එවැන්නෝ ගැන අසන්නට ලැබෙන අවස්ථා ඇත. එසේ දිව්‍ය විමාන, දිව්‍ය රථ මල්මාලා, මල්වට්ටි ආදී දර්ශනය වන්නෝ මරණයෙන් මතු සුගතිගාමී දිව්‍ය ලෝකවල පුනර්භවයන් ලබන්නෝ වෙති.

මේ නිසාම මරණාසන්නව සිටින අය වෙත භික්ෂුන් වහන්සේ වැඩම කරවා ධර්ම දේශනා කරවීම, පිං පොත කියවීම ආදී සිරිත, චාරිත්‍ර අදත් බෞද්ධ සමාජයේ පවතී. බෞද්ධ ශාසන ඉතිහාසයේ සඳහන්ව ඇති ධම්මික උපාසකතුමාගේ කථාව තුළින්ද දිව්‍ය ලෝකවල උපදින අයට දිව්‍ය රථ හා දිව්‍ය විමාන දර්ශනය වන බව බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට පැහැදිලි කර දී ඇත.

හදිසි අනතුරුවලින් ඉතාමත් කෙටි කාලයක් තුළදී මරණයට පත්වන අය තුළ ඉහත පංච නිමිති දර්ශනය වේද යන්න සිත පිළිබඳව නොදත් කෙනකුට ගැටලුවක් විය හැක. එහෙත් මෙකී දර්ශනයක් පහළවීමට චිත්තක්ෂණයක් ප්‍රමාණවත්ය.

විශුද්ධි මාර්ගයෙන් පෙන්වාදී ඇති ආකාරයට ජීවියකුගේ පරම ජීවිත කාලය ඉතා කෙටි මොහොතක් වන අතර එය එක් සිතිවිල්ලක් පවතින තෙක් පමණක් වේ. රථ රෝදයක් කැරකෙමින් යන විට රෝදය එක් මොහොතක් පොළව හා බද්ධ වී පවතින්නේ එක් ස්ථානයකින් පමණක් වන සේම ජීවියාගේ පැවැත්ම පවතින්නේ එක් සිතිවිල්ලක් පවතින තරම් සුළු මොහොතක් බව පෙන්වා දෙයි. ඒ අනුව යම් සිතිවිල්ලක් සත්ත්වයාගේ සිත තුළ පහළවීද ඊට අදාළ ගති ස්වභාවයන් ඇත. ඒ ගති ස්වභාවය දේවගතියක් විය හැක. මනුෂ්‍ය ගතියක් විය හැක. ප්‍රේත ගතියක් විය හැක. තිරිසන් ගතියක් විය හැක. දුගති සත්ත්ව ගතියක් විය හැක. එම ගති නිමිති ස්වභාවය අනුව පංච නිමිති දර්ශන පහළවීම චිත්ත නියාමය වේ.

මේ නිසා බුදුමඟ ගමන් කරන බෞද්ධයන් වශයෙන් තම තමාගේ චිත්තසන්තානයක් තුළ නිරන්තරයෙන් මනුෂ්‍ය ගතිගුණ හා දේවගති ගුණ පවත්වාගෙන ්‍යෑමට සිහිබුද්ධියෙන් කටයුතු කිරීමට පුරුදු පුහුණු වන්නේ නම් මරණාසන්න මොහොතේ සුගතිගාමී නිමිති දැකගැනීමට හැකියාව ලැබේ.

කොබ්බෑවල සුමනදාස වීරසිංහ
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

සම්බුද්ධ දේශනාවේ හරය තේරුම් ගනිමු

පැපිලියාන සුනේත්‍රා මහදේවි පිරිවෙන් විද්‍යායතනයේ විහාරාධිකාරී 
දර්ශනපති 
පුස්සැල්ලයායේ චන්දිම හිමි

සම්බුද්ධ දේශනාවේ හරය වන්නේ පටිච්ච සමුප්පාද ධර්මයයි. මෙයට හේතුඵල දහම කියලත් කියනවා. නිවන හැර ලෝකයේ සිදුවන සෑම දෙයක්ම සිදුවන්නෙ හේතුවක් නිසාය. කිසිම දෙයක් ඉබේ ඇතිවන්නෙ නැත. අපිට ඇතිවෙන හිසේ කැක්කුමේ ඉඳලා කයේ සහ හිතේ ඇතිවන සියලුම ආබාධ ඇතුළු ලෝකයේ ඇතිවෙන නැතිවන සියල්ලක්ම සිදුවන්නේ මෙම ධර්මතාවයට අනුවයි. ‘හෙතුං පටිච්ච සම්භූථා හෙතු භංගා නිරුජ්ඣති’ යනුවෙන් එය පැහැදිලි කරයි. එවගේම ක්ෂණයක් ක්ෂණයක් පාසාම ඇතිවෙමින් නැතිවෙමින් පවතින ක්‍රියාවලියක් මේ විශ්වය පුරාම දකින්නට පුළුවන්. ඉතින් ක්ෂණය කියන්නේ තප්පරයටත් වඩා ඉතාම අඩුම කාලයක්. ඒක වචනවලින් විස්තර කරන්න බෑ. එය තේරුම් ගන්න පුළුවන් වන්නෙ නිතරම ඔබගේ සිත භාවනාවේ පිහිටුවා ගැනීමෙන් ය.
පෙර බුදුවරු වගේම අප වඳින පුදන මේ භද්‍රකල්පයේ පහළ වූ ගෞතම බුදුන් වහන්සේත් උතුම් වූ බුද්ධත්වයට පත්වූයේ චතුරාර්ය සත්‍යය අවබෝධ කරගෙනයි. ධර්මය දේශනා කිරීමට පෙරාතුව එම උතුම් චතුරාර්ය සත්‍යය හේතුඵල ධර්මයට අනුව කෙසේ සිදුවන්නේද කියා තේරුම් ගෙනයි උන්වහන්සේ ධර්මය දේශනා කළේ. ‘එතෙ තෙ උභො අන්තෙ අනුපගම්ම මජෙඣන තථාගතො ධම්මං දෙසෙති. යදිදං අවිජ්ජා පච්චයා සංකාරා.....’ ආදී වශයෙන් එය දක්වා තිබේ. එසේම උන්වහන්සේගෙ බුද්ධත්වයෙන් පළවෙනි බෝමැඩ ගතකළ සතියේම පටිච්ච සමුප්පාද ධර්මය අනුලෝම වශයෙන්ද මෙනෙහි කළ සේක. අනුලෝම සහ පටිලෝම වශයෙන් යනු මුල ඉඳලා අගට අංග දොළහ මෙනෙහි කිරීමයි. පටිලෝම කියන්නෙ අග ඉඳලා මුලට අංග දොළහ මෙනෙහි කිරීමය. එය විනය පිටකයේ දෙවන පොතවන මහා වග්ග පාලියේ පළමු කොටස වන මහා ඛන්ධකයේදි සඳහන් කර තිබේ. ‘තෙන සමයේන බුදේධා භගවා උරුවෙලායං විහරති නජ්ජා නෙඤෙජාය තීරෙ බොධිරුක්ඛමුලෙ...... පටිච්ච සමුප්පාදං අනුලොමං පටිලොම මනසාකාසි’ මෙම ලිපිය කියවන පින්වත් ඔබ පටිට්ච සමුප්පාදයේදී විස්තර කරන අංග දොළහ හොඳින් දන්නවා ඇතැයි සිතමි. ඒවා නම් අවිද්‍යාව, සංස්කාර, විඥානය, නාමරූප, සලායතන, ස්පර්ශය වේදනාව, උපාදාන, භවය, ජාති සහ ජරාව මරණය, සෝකය පරිදේව දුක්ඛ දෝමනස්ස උපායස යනුවෙනි. මෙහි ජරාවේ සිට උපායාසය දක්වා වූ කොටස දොළොස්වන අංගය ලෙස විස්තර කරයි.

විශේෂයෙන්ම ඔබ මා ඇතුළු සියලු සත්වයාගේ ඉපදීම සිට මරණය දක්වා වූ ක්‍රියාවලිය සිදුවන්නේ කෙසේද? කියන බොහෝ කාරණාවලට පටිච්චසමුප්පාද ධර්මය තේරුම් ගැනීමෙන් පිළිතුරු සොයාගත හැකියි. ඒ නිසා තමයි මජ්ක්‍ධිම නිකායේ 28 වන සූත්‍ර දේශනාව වන මහා හත්ථි පදෝපම සූත්‍ර දේශනාවේදි බුදුන් වහන්සේ දේශනා කළේ ‘චුත්තං ඛො පනේතං භගවතා යො පටිච්චසමුප්පාදං පස්සති සො ධම්මං පස්සති’ යො ධම්මං පස්සති යො පටිච්චසමුප්පාදං පස්සති’ යනුවෙනි. පින්වත්නි මෙම ගාථාවේ එන තේරුමෙන් කියවෙන්නෙ යම්කිසි කෙනෙක් පටිච්චසමුප්පාද ධර්මය දකීද ඔහු ධර්මය දකින බවත්, යමෙක් ධර්මය දකිනව නම් ඔහු පටිච්චසමුප්පාදය දකින බවත්ය. ඔබ දන්නවා බුදුන් වහන්සේගේ අග්‍රශ්‍රාවක දෙනමවන සැරියුත්, මුගලන් දෙනමද පැවිදිවීමට පෙර ගිහිකලදී උපතිස්ස සහ කෝලිත නමින් සිටියදී ගිරග්ග සමජ්ජ කියන නාට්‍යය නරඹලා කළකිරී එම දෙපළ ධර්මය හොයමින් ඇවිදිමින් සිටි වෙලාවෙ පළමුවෙන්ම ධර්මය තේරුම් ගන්නෙ අස්සජි මහරහත් වහන්සේ දේශනා කළ පටිච්චසමුප්පාද ධර්මය අඩංගු දේශනාව ශ්‍රවණය කිරීමෙන්. ‘යෙ ධම්මා හෙතුප්පභවා, තෙසං හෙතුං තථාගතො ආහ, තෙසංච යො නිරොධො එවං වාදිමහාසමණො’ යනුවෙනි.
එසේම බුදුන්වහන්සේගේ පළමු දේශනය වන ධම්මචක්කපවත්තන සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමෙන් කොණ්ඩඤ්ඤ හිමියන්ට දහම් ඇස පහළ වූයේ හේතුඵල ධර්මතාවයට අනුව තේරුම් ගැනීමෙනි. ‘... ආයස්මතෝ කොණ්ඩඤ්ඤස්ස විරජං වීතමලං ධම්ම චක්ඛුං උදපාදි. යං කිඤ්චි සමුදය ධම්මං සබ්බං තං නිරෝධ ධම්මංති’ යනුවෙනි. පින්වත් ඔබට මෙම අංග දොළහ තේරුම් ගැනීමට නම් සන්සුන් මනසක් හදාගන්න ඕන. එවගේම පිනට, කුසලයට නිතරම ඔබගේ සිත යොමුවුන කෙනෙක් වෙන්න ඕන. ඒකට තමා සම්මාදිට්ඨිය කියලා කියන්නෙ. එවැනි යහපත් සම්මාදිට්ඨික සමාජයක් තිබෙනවා නම් ලෝභ, ද්වේෂ, මෝහ යන අකුසලයන් ඇතිවන දේවල්වලින් අයින් වෙන්න අප උත්සාහ කරනවා. ටිකෙන් ටික දාන, සීල, භාවනා පැත්තට යොමුවෙනවා. අපට අකුසල් සිදුවන්නේ ප්‍රධාන වශයෙන්ම අප අනවශ්‍ය විදියට නොයෙක් දේවල් සමඟ සිතින් බැඳෙන නිසාය. අපගෙන් අනිත් අයට වියයුතු යුතුකම් හරියාකාරව අවබෝධයෙන් යුතුව කරනවා නම් අපට සිතේ අනවශ්‍ය බැඳීම් ඇතිවන්නේ නැහැ. ඒක අකුසලයක් එයට ලෝභය කියනවා. ලෝභය නිසා කේන්තිය හටගන්නවා. කේන්ති යෑම නිසා මෝහය හටගන්නවා. මෝහය කියන්නෙ අපට හරියැයි හිතෙන අපේ හිතේ හටගන්නාවූ වැරදි සිතුවිලියි. මුලින්ම හිතින් හැදෙන එක නවත්වාගන්න පුළුවනී නම් ඉතුරු අකුසලයත් නැති කරලන්න පුළුවන්. ඒ සඳහා දානය ප්‍රගුණ කරන්න ඕන.
අපගේ ගෞතම බුදුන්වහන්සේ බෝසත් අවධියේ දී පළමුවෙන්ම පූරණය කළේ ද දාන පාරමිතාවයි. ඒකට හේතුව දානය තුළින් තමා අපට ලෝභය නමැති අකුසලය නැති කරගන්න පුළුවන් වෙන්නෙ. දානය කියන්නෙ ධර්මදාන, ආමිෂ දාන, අභය දාන වලට. දානයෙන් අපට ශීලය ඇතිවෙනවා. ශීලයෙන් අපට භාවනාව වඩන්න පුළුවනි. ශීලයෙන් ද්වේෂය යටපත් වෙන අතර භාවනාවෙන් මෝහය හෙවත් අවිජ්ජාව නැතිකර ගැනීමට පුළුවන් වෙනවා. ලිපි මාලාවකින් පටිච්චසමුප්පාද ධර්මය තේරුම් ගන්නෙ කොහොමද? ඒ සඳහා ප්‍රගුණ කළයුතු භාවනා මොනවාද? එදිනෙදා ජීවිතයට ඒවා කොහොමද සම්බන්ධ කරගන්නෙ? සසර පැවැත්ම නවතාලීමට පටිච්ච සමුප්පාද ධර්මය ඉවහල් කරගන්නෙ කෙසේද? කියන ගැටලු සඳහා මෙම ලිපි මාලාවෙන් පින්වත් ඔබට උත්තර ලබාගත හැකිය.
පටිච්ච සමුප්පාද ධර්මය තේරුම් ගැනීමේ දී ඉතාම වැදගත්ම කොටස තේරුම් ගැනීමට උත්සාහ කරමු.
“අස්මිං සති ඉදං හොති 
ඉමස්සුප්පාදා ඉදං උප්පජ්ජති 
අස්මිං අසති ඉදං න හොති 
ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති

“මෙය ඇති කල්හි මෙය වේ. මෙය හටගැනීමෙන් මෙය හටගනී.
මෙය නැති කල්හි මෙය නැත. මෙය නිරුද්ධ වීමෙන් මෙය නිරුද්ධ වේ. යන එහි අර්ථයයි. ඊට පසුව එන ‘යදිදං’ (එනම්) කියන පදයෙන් කියවෙන්නේ මුලින් දැක්වූ අංග දොළහ එම ගාථාවට ඇතුළත් කළයුතුය යන්නයි. එයට සිද්ධාන්ත කොටස කියලා කියනවා. පටිච්ච සමුප්පාද ධර්මයේ විස්තර කරන එම අංග දොළහ ඉහත දැක්වූ පද හතරෙන් සමන්විත වූ ‘ඉමස්මිං සති’ කියන ගාථාවට සම්බන්ධ කළයුතුවෙනවා. පින්වතුන් ට තේරුම් ගැනීමට ජාති කියන අංගය අර මුලින් දැක්වූ ගාථාවට සම්බන්ධ කර බලමු. ‘ඉමස්මිං සති ඉදං හොති’ කියනවා වෙනුවට ජාති කියන පදය සම්බන්ධ කිරීමේ දී මෙසේ සාදාගත හැකිය.
“ජාතිය සති ජරා මරණං හොති, ජාතිය උප්පාද ජරා මරණං උප්ජ්ජති, ජාතියා නිරෝධා ජරා මරණං නිරුජ්ජති” යනුවෙන් ගළපා ගනිමු. සෙසු අංග එකොළහද පද දෙක බැගින් මෙසේ සම්බන්ධ කර ගත හැකිය. මෙහි අර්ථය මෙසේද දැක්විය හැකිය. “උපත ඇති කල්හි ජරා මරණය වේ. ඉපදීමෙන් ජරාමරණය හටගනී. උපත නැති කල්හි ජරාමරණය නොවෙයි. උපත නිරුද්ධවීමෙන් ජරාමණ නිරුද්ධ වෙයි. මෙම අදහස කියවීමේදී උපත සහ ජරාමරණය දෙකෙහි ස්වභාවය ඉතා හොඳින් තේරුම් ගත හැකිය. අපට උපත සදාකාලිකව නවතා දැමීමට පුළුවන්නම් එවිට ජරාවට පත්වෙන ස්වභාවය මරණයට පත්වෙන ස්වභාවයෙන් මිදීමට හැකිවේ. එසේම පින්වත් ඔබ කුමන හෝ අංගයකින් මෙය තේරුම් ගැනීමට උත්සාහ කරන්න. ඔබට අවිද්‍යාව කියන්නේ කුමක්ද කියලා වැටහෙනවා නම් එය මෙම ගාථාවට සම්බන්ධ කරගෙන අවබෝධ ගොඩනගා ගැනීමට උත්සාහ කරන්න. තමන් කැමති යුගලයක් මෙසේ ගාථාවට සම්බන්ධ කරගෙන නුවණින් විමසීමට උත්සාහ කරන්න.
පටිච්ච සමුප්පාදය ධර්මයෙහි කියවෙන පළමු අංගය අවිජ්ජාවයි. අවිද්‍යාව කියලා සාමාන්‍යයෙන් අප හැමදෙනාම තේරුම් ගෙන ඉන්නෙ චතුරාර්ය සත්‍ය ධර්මය පිළිබඳ අප තුළ ඇති අනවබෝධයට කියලයි. ඇත්තෙන්ම ඒක සත්‍යයයි. නමුත් අවිද්‍යාව කියන්නේ ඒකටම විරතක් නොවේ. සංසාරගත සත්වයා තුළ අඳුර පි‍්‍රයකරන ආලෝකයට අපි‍්‍රය කරන ස්වභාවයත් අවිද්‍යාවයි. මෙහි අඳුර කියන්නේ, පිනට කුසලයට අපේ හිත බර නොවෙන එකටයි. ඒකට හේතුව දාන, ශීල, භාවනා කියන ධර්මයන් වැඩීමට උත්සාහ නොකිරීම. එවිට නිවරණ ධර්ම වන,
කාමචඡන්ද , ව්‍යාපාදය , ථිනමිද්ධය 
උද්ධච්ච කුක්කුච්ච , විචිකිච්චා

කියන නීවරණ පහ බලවත් වෙනවා. මේවා බලවත් වෙන්නේ මුලින් සඳහන් කළ අකුසල මූලයන්වල ලෝභ, ද්වේශ, මෝහ බලවත්වීමයි. ලෝහ, ද්වේශ, මෝහ බලවත් වෙන්නේ සංසාරගත ස්වභාවයන් නිසා මෙන්ම මේ ජීවිතයේ අප ෂඩ් ඉන්ද්‍රියන්ගෙන් එනම් ඇස කන නාසය දිව සහ මනසින් අප ගන්නා අරමුණු පිළිබඳ අවදියෙන් එසේ නැතිනම් යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු නොකිරීමෙනුයි. පින්වත්නි අවිද්‍යාව ආශ්‍රවයක් හැටියටත් දක්වා තිබෙන්නේ මේක මොන තරම් ප්‍රබල අකුසල චෛතසිකයක් නිසාය. ඒ නිසා තමා පටිච්ච සමුප්පාද දේශනාවේ මුලින්ම මෙය දක්වා තිබෙන්නේ. මෙම කාරණ තේරුම් ගත්තොත් අනිත් කාරණා එකොළහ ඉතා සරලව තේරුම් ගත හැකිය. මොන තරම් මහා තීක්ෂණ ප්‍රාඥායින්ට පවා එකසැරේට රහත්භාවයට පත්වන්නට නොහැකි වන්නේද අවිජ්ජා ආශ්‍රවය ආදී ආශ්‍රවයන්ගේ ප්‍රබල බලපෑම නිසාය.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

චේතනාව සහ කර්මය

මහාචාර්ය
ඉඳුරාගාරේ ධම්මරතන හිමි
කැලණිය විශ්ව විද්‍යාලයේ
සංස්කෘත අධ්‍යයන අංශය

තුන්ලෝකාග්‍ර වූ අමා මෑණි ලොව්තුරා බුදුපියාණන් වහන්සේ විසින් දේශනා කළ වදාළ නියාම ධර්මයන් අතර සම්බුද්ධ නියාමයක ලෙසට “චේතනාවම” “කර්මය” ලෙස වදාරා ඇත.
.
ඉතාමත්ම සැදැහැ සිතින් අප පන්සිල් අටසිල් සමාදන් වෙනවා. බුදුපියාණන් වහන්සේගේ සීලය, උන්වහන්සේ අපට වදාළ සීලය සහ සීලය නමින් අප හඳුන්වාගෙන සමාදන් වන්නා වූ සීල සම්පන්නභාවය ගළපාගන්නේ කොහොමද? අප සමාදන් වන පන්සිල් වලින් එක නිදර්ශනයක් ලෙස “සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛා පදං සමාදියාමි “ යන සිල් පදය විශ්ලේෂණය කරමු. රහමෙර පානය කිරීමෙන් වැළකී සිටිමි යන්නයි. සුරාපානය කළ විට සිල් කැඩීමෙන් පව් සිදුවෙනවා නම්, ‘සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛා පදං සමාදියාමි “ යන සිල් පදය කැඩෙන කෙතරම් ප්‍රමාණයක් සුරාපානය කළ යුතුද? සුළු ප්‍රමාණයක් බිව් විට පව් සිදුවෙනවාද? නැද්ද? සුළු ප්‍රමාණයක් බිව්වත්, පවම තමයි කියා ඔබ ප්‍රකාශ කරාවි. වැඩි ප්‍රමාණයක් බිව්වත් පව් සුළු ප්‍රමාණයක් බිව්වත් පව් නොදැනුණවත්ම බිව්වත් පව් දැනුවත්ව බිව්වත් නොදැණුවත්ව බිව්වත් පව් යන්න ඔබ ප්‍රකාශ කරාවිය. යම් කිසි කෙනෙක් ඇල්කොහොල් බීපු විට පව් සිදු වෙනවා නම්, ඇල්කොහොල් නොවන දෙයක් ගත් විට පව් සිදුවන්නේ නැත්නම්, මේ දෙකේදීම ශ්‍රද්ධාව සමගම ප්‍රඥාවෙන් තේරුම් ගත යුතු කරුණු බොහොමයක් තියෙනවා. බුදු පියාණන් වහන්සේ වදාළේ.
“අත්තවියාභාධති සංවත්තති
පරවිව්‍යාභාධායිති පිස්සං වත්තති
උභයවිව්‍යා භාධායති පිස්සං වත්තති
තං අකුසළං“
.
තමන්ට අහිත පිණිස පවතින අනුන්ට අහිත පිණිස පවතින දෙපාර්ශ්වයටම අහිත පිණිස පවතින දීම, ගැනීම, කිරීම එයට අදාළ කටයුතු කිරීම අකුසලයකි. යම් කිසි කෙනෙක් තමන්ගේ ශරීරයට ඉතාමත්ම අහිතකර සුරානොවන දෙයක්, ගතහොත් එයින් යහපතක් වන්නේ නැහැ .අර අකුසලයයි බුදු පියාණන් වහන්සේ දේශනා කළ ධර්ම කරුණු සමහර විට ඉතාම රසවත් මත්වන්නෙක් නැති හොඳ ලේබලයක් ද සහිත ඉතාම ජනපි‍්‍රය කිසියම් බීම වර්ගයකින්ම අපට ලැබෙනවා නම් එයත් සුරාපානය කිරීමක් වැන්නක් නොවන්නේද? ඇල්කොහොල් නමින් විද්‍යාඥයන් විසින් වෙන්කර ගන්නට පුළුවන්කම තියෙන්නා වූ කිසියම් සංඝටකයක් භාවිත කිරීමමද පව? ඇල්කොහොල් සහ මත්ද්‍රව්‍ය සහිත මද්‍යසාර සහිත තව බොහෝ නිෂ්පාදන තිබෙන්නට පුළුවන. මද්‍යසාර ආශි‍්‍රතව නිෂ්පාදනය කළ කේක් වර්ගයක් අනුභව කළා නම් එයින් මද්‍යසාර ශරීරගත වීම පව්ද? මද්‍යසාර මිශ්‍රකොට දෙන ලද යම් යම් කේක් විශේෂ ආහාරයට ගන්නේ කේක් කෑමේ බලාපොරොත්තුවෙන් මිස මද්‍යසාර ගැනීමේ බලාපොරෙත්තුවෙන් නොවේ. ඒ මද්‍යසාර භාවිත කරමින් නිෂ්පාදනය කරන යම් යම් ඖෂධ විශේෂ භාවිත කිරීම පව්ද? බෙහෙත් භාවිත කරයි. භාවිත කරන ලද බෙහෙත්වල මද්‍යසාර අඩංගුයි. ඒ අනුව බෙහෙත් පාවිච්චි කිරීමේදි මද්‍යසාර ශරීර ගතවෙයි. මද්‍යසාර ශරීර ගතවීම පාපයක් නම්, එයද පාපයක් වෙයි. බෙහෙතක් වශයෙන් මද්‍යසාර සහිත සාදන ගලි විශේෂයක්, අරිෂ්ට වර්ග බී විට පව්. සුළු ප්‍රමාණයක් හෝ ඇල්කොහොල් ශරීර ගතවීම, පාපයකි කියන තර්කය අප පැහැදිලි කරගත යුත්තේ කොහොමද?
.
බොරුකීම, හොරකම් කිරීම පාපයක් නම් අපට එහි විදි විරෝධතා හෝ අතුරු ව්‍යවස්ථා හෝ විශේෂතා හෝ දකින්නට ලැබෙන්නේ නැහැ. යම් කිසි ගෙදරක මිනිස් ඝාතනයක් කළ හැකි ආයුධයක් තිබෙනවා යැයි සිතමු. එම ගෙදර කෙනෙකුම මෙම ආයුධය සොරකම් කළා යැයි සිතමු.ගෙදර ආරවුලක්,අර්බුදයක් ඇති වූ විට භාවිත කළ හොත් මිනිස් ඝාතනයක් සිදු වුවහොත්, ඝාතනයක් සිදුවීමේදී ඝාතනය වන්නාගේ් ජීවිතය නැති විය හැකි සේම, ඝාතකයාද සිරගත විය හැකි යැයි කල්පනා කර යමෙකු මෙම ආයුධය සොරකම් කරයි.සොරකම් කිරීම පාපයක් නම්, මෙම ආයුධය සොරකම් කිරීමද පාපයක් නොවන්නේ ද? මෙය පාපයක් නොවේය යන්න අප කෙසේ තර්ක කළ යුතුද? මෙය පාපයක් කියා කෙසේ සිත හදාගත හැකිද?
.
යහපත් සොරකම සහ අයහපත් සොරකම ලෙස වර්ග දෙකක් තිබේද? යහපත් ක්‍රියා සහ අයහපත් ක්‍රියා නමින් හඳුන්වනු ලබන ක්‍රියාවන් පිළිබඳ අපට නැවත වතාවක් ආපසු බැලිය යුතු වන්නේ එම යහපත් සහ අයහපත් ක්‍රියා මොනවාද යන්නයි.
.
බොරුකීම ඉතාමත් අයහපත් දෙයක්. යම්කිසි කෙනකු බොරුවක් කී විට එය අසන්නා රැවටෙනවා. අසන්නා රැවටෙනවා නම්, රැවටෙන්නේ බොරුවට නම් බොරුව කියන්නා කරන්නේ රැවටීම නම් කොහොමද බොරුකීම යහපත් වන්නේ ? බොරු කීමට අනුබලයක් කෙසේ ලබාදිය හැකිද? එම බොරුවල යහපත් බොරු සහ අයහපත් බොරු වශයෙන් බොරු දෙවර්ගයක් අප අසා නැහැ.
.
ඔබ ඔබේ ආදරණීය පුංචි දරුවා වඩාගෙන ගෙදර වටේ ඇවිදිමින්, විවිධ දේවල් පෙන්වමින්, පුංචි දරුවාට බත් කවන්නේ ඇතැම් ප්‍රකාශ කරමින්ද? ශරීරයේ වර්ධනයට අවශ්‍ය පෝෂණීය ප්‍රමාණයන් පිළිබඳව එහි වැදගත්කම නිරෝගී ආහාර පද්ධතියක ඇති අවශ්‍යතාවය කියාදෙමින් සත්‍ය වටහා දෙමින් ආහාර ලබාදෙනවාද?
.
කුඩා දරුවාගේ කුස පුරවාගැනීමට එක කෑම කටක් ගානේ් බොරු කියන එම ආදරණීය අම්මාට දරුවාගේ කුස පිරෙන වේගයට සමාන්තරවම පව් පිරෙනවාද? එහෙම වෙන්න පුළුවන්ද? දරුවාගේ කුස පිරෙන සාපේක්‍ෂ වේගයට අම්මාට පව් පිරෙනවා නම්,එය ආගමිකව නිර්වචනය කිරීමේදි මහත් ගැටලුවක් වෙනවානේ.
.
ජනපද කල්‍යාණිය සුන්දරිය විවාහ ප්‍රාප්ත වන්නට බලාපොරෙත්තුවූයේ නන්ද කුමාරයා සමඟ බව ඔබ අසා ඇති . එම සුන්දරිය විවාහ කරගැනීමට ගිය නන්ද කුමාරයාට බුදුපියාණන් වහන්සේ දිව්‍ය අප්සරාවන් ලබාදීමට පොරොන්දු වීම ඔබ හොඳට අසා ඇති. එම පොරොන්දුව සත්‍යයක්ද? එහිදි නන්ද කුමාරයාට සැබවින්ම දිව්‍ය අප්සරාවන් පෙනුනාද? පෙන්නුවාද? ලැබුවාද? ලබාදුන්නාද? කතන්දර ය ඉහත කී බොරුකීම “පව්” යැයි කියන පොදු ප්‍රකාශය” දෙස බලාගෙන මෙය නිගමනය කළහොත් බුදුපියාණන් වහන්සේ බොරුවක් ප්‍රකාශ කළ යැයි අපට වැරැදියට පෙනෙයි.
.
යම් කිසි ක්‍රියාවක හොඳ නරක මනින්නේ කුමන නිර්ණායක මත සිටද? යන්න ඔබ තීරණය කළ යුතුයි.මෙම නිර්ණායකයන් විය යුත්තේ මොනවාද? වඩාත් තේරුම් ගත හැකිය.
.
මෙම කාරණාව පැහැදිලි කරගැනීම සඳහා සොරකම් කිරීම, සුරාපානය කිරීම, බොරුකීම, නන්ද- සුන්දරී කතා ප්‍රවෘත්තිය යන හැම නිදර්ශනයකින්ම අප වටහාගත්තා ඉතාමත්ම හොඳ හිතින් කරන වැඩ විය හැකි වුණත් අපි සාමාන්‍ය පොදු ඥානයේදි දන්නා දේ අනුව නිර්ණය කිරීමේදි අයහපත් යැයි සම්මත බොහෝ ක්‍රියාවන් එසේ නොවිය හැකිය. මෙම කරුණ තවදුරටත් උද්දීපනය කළහොත් රෝහල් ගත කර සිටින රෝගීන් දෙදෙනෙක් අතරින් ඉතාමත් දරුණු ලෙස කපා කොටා තිබූ රෝගීන් දෙදෙනෙක් සිටියා. ඔවුන්ගෙන් එක් අයෙකු කිසියම් ආරවුලකින් කපා කොටා රෝහල් ගත කර සිටී. අනෙක් රෝගියා දරුණු ලෙස ශල්‍යකර්ම කර ඇත්තේ වෛද්‍යවරයා විසිනි. ඉතාමත් සාහසික ලෙස ඝාතනය කිරීමට භාජනය වූ එම රෝගියාත් අසාධ්‍ය තත්ත්වයේ සිටියා. මෙම පුද්ගලයන් දෙන්නාම කපා අත්තේ තියුණු අවිවලින් වුවත් වෙද්‍යෙවරයකු රෝගියකු ගේ ශරීරය ශල්‍යකර්මයක් සඳහා කපා කොටා දමන ලදදේ ඉතාමත් යහපත් චේතනාවෙනි. හිත හොඳින් ලේ හලන්න හැකි නම්, “චේතනාහං භික්ඛවේ කම්මං වදාමි “ යන්න චේතනාවම කර්මය යන්න අප අවබෝධ කර ගත යුතුය.
.
“චේතනා හං භික්ඛවේ කම්මං වදාමි “ සුරාපානය කළ අයගෙන් සමහර අයකු සුරාපානය කළේ සුරාපානය කිරීම සඳහාමයි. චේතනාව සුරාපානයයි. අරිෂ්ට බීපු පුද්ගලයකු එය පානය කරන ලැබුවේ, සුරාපානය කිරීමේ චේතනාවෙන් නොවන අතරම එය යම් ශාරිරික රෝගයකට ඖෂධයක් සඳහාම වශයෙන් පමණයි “ චේතනාව කර්මය “නම් මද්‍යසාර සහිත බෙහෙතක් රෝගයක් සඳහා පාවිච්ච කිරීම පාපයක් නොවේ. මත්වීම සඳහාම පමණක් බෙහෙතක් පාවිච්ච කරනවා නම් එයද පාපයකි. ආදරණීය මවක් දරුවාට කෑම කවන්නේ බොරු කියමින් වුණත්, එහි අපේක්‍ෂණය වන්නේ දරුවාට ආදරය පෙන්වමින් ආහාර ලබාදීම “චේතනාව“ නම් එය පාපයක් වන්නේ නැහැ සොරකම් කිරීම වරදක් වුවත්, අනතුර ක් හෝ ඝාතනයක් සිදුවිය හැකි යැයි සිතන ආයුධද සොරකම් කිරීම පවක් නොවන්නේ එහිද “චේතනාව “ ඉතාම පිරිසුදු නිසාය.
.
ලෝක ස්වාමි බුදුපියාණන් වහන්සේ සුන්දරී නන්ද ප්‍රවෘත්තියේදි නන්ද කුමාරයා ට දිව්‍ය අප්සරාවන් පෙන්වා දෙනු ලැබුවේ ඉතාමත්ම හොඳ යහපත් චේතනාවෙනි. “චේතනාව“ කර්මය වන අවසථාවේදී අවබෝධ කරගත යුතු වැදගත් දෙය සුන්දරී කතා ප්‍රවෘත්තියේදී බුදුපියාණන් වහන්සේගේ ක්‍රියා කලාපය ඉතාමත් යහපත් දෙයක් ලෙස මිස එය වැරැදි දෙයක් ලෙස අපට අර්ථකථනය කළ නොහැකිය. ශරීරයක ලේ සෙලවීම පිළිබඳ නිදර්ශනයේදී ඉතාම අයහපත් දෙයක් වුණද, ඉන් වෛද්‍යවරයා ලේ සෙලවනු ලැබුවේ ඉතාමත් යහපත් චේතනාවෙන් බව තේරුම් ගත යුතු සේම අනෙකුත් සාහසික පුද්ගලයා පව්කාරයකු ද ලෙසය.
.
‘චේතනාහං භික්ඛවේ කම්මං වදාමි “ චේතනාවට අනුවයි කර්මය හෙවත් ක්‍රියාව සිදු කරනු ලබන්නේ. යම් ක්‍රියාවක් යහපත හෝ අයහපත තීරණය කරනු ලබන්නේ චේතනාව මතයි. යම් කෙනෙකුට හැකියාව තිබෙනව ආශිර්වාද පූර්වකව හිස අතගාන්න. සිත ඇතුළෙන් අයහපතක් වේවායි යමෙකුට ආශිර්වාද කළ හැකිය. ඒ තැනැත්තාට යහපතක් හෝ අයහපතක් සිතේ තබා නොගෙන නරක සිතින් ආශිර්වාද කිරීමටත් හොඳ සිතින් දොස් කීමටත් හැකි බව අමතක නොකරන්න. ඔබේ දරුවන්ට ඔබ පහරදීමට ඔබ කැමති නෑ. ඔබේ දරුවාට ඔබ පහර දෙනවා නම් එය නූතන යම් යම් අත්තනෝමතිකව අන්තගාමී නිර්වචනයන් සමග නොගළපා දරුවන්ට දඩුවම් කරන්නේ කෙතරම් ආදරයෙන්ද යන්න බැලිය යුතුයි.
.
දෙමාපියන් හා ගුරුවරුන් දරුවන්ට දඬුවම් කරන්නේ ඇත්ත වශයෙන්ම අයහපත් චේතනාවකින් නොවේ. මෙම දරුවන්ට දඬුවම් කරන්නේද වැරැදි කරුවන්ට දඬුවම් කරන්නේද? ඉතාම ආදරයෙන්. ඒ අනුව බැලූ විට කොයිතරම් නම්, රිද්දවන්න නරක වැඩක් ලෙස ප්‍රතිචාර දක්වන්න පුළුවන්ද හොඳ හිතකින්.
.
අයහපත්ම චේතනාවක් හිතේ තබාගෙන මුව සරසාගත් සිනහවකින් ආසිරි පැතිය හැකි බවත්, රුදුරු වූ මුවකින් රුදුරු වූ පෙනුමකින්, යහපත් සිතකින් දඬුවම් කළ හැකි බවත් අමතක නොකරන්න. යමක් යහපත් හෝ අයහපත් ලෙස නිශ්චය නිර්ණය කිරීමේදි නිර්ණායකය විය යුත්තේ ක්‍රියාව නොවේ. ක්‍රියාවට පාදක වූ සිත බවයි . එනිසා යම් ආකාරයක ක්‍රියාවක් යහපත් ක්‍රියාවක් ලෙස හෝ අයහපත් ක්‍රියාවක් ලෙස තීරණය කරනු ලබන්නේ ක්‍රියාවට නොව ක්‍රියාවට මුල් වුණ සිත අනුවයි. යහපත් පෙනුම සහිත නරක වැඩ අයහපත් පෙනුම සහිත හොඳ ක්‍රියා අයහපත් සිතින් කරන හොද වැඩ, යහපත් සිතින් කරන අයහපත් වැඩ තේරුම් ගැනීම යහපත් හිතින් කරන යහපත් ක්‍රියා හා අයහපත් සිතින් කරන අයහපත් ක්‍රියා දැන් වඩාත් පැහැදිලියි. බුදුපියාණන් වහන්සේගේ “චේතනාහං භික්ඛවේ කම්මං වදාමි” යන ප්‍රකාශය අවබෝධයෙන් තේරුම් ගත යුතුයි.මින් මතුවට එසේ ක්‍රියා කිරීමට ඔබට හැකියාව ලැබේවාය ප්‍රාර්ථනා කරමු.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤