දුටුගැමුණු රජු කල පිරිණිවන් පෑ මලියදේව හිමියන් ලංකාවේ අන්තිම රහත් තෙරනම නොවේ. සැබැවින්ම, අද වුව රහතුන් බිහි විය හැකිය. ඒ සදහා අවශ්‍ය වන්නේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ ශ්‍රී සද්ධර්මය සීල සමාධි ප්‍රඥා වශයෙන් දියුණු කොට සාක්ෂාත් කිරීමයි.

ඔබත් බුදුරදුන් පෙන්වා වදාළ උත්තම දහම් මාර්ගයේ ගමන් කරන්න


Powered by දහම් විල


ලිපි සඳහා පහත මාසය අනුව ලිපි පටුන බලන්න

මරණාසන්නයේ සිතෙහි පහළ වන දසුන් ඊළඟ භවයට බලපානවාද?


නිරයෙ අග්ගික්ඛත්ඨ ච
පෙතලොකං ච අත්ධකං
තිරච්ඡානයො නිං ච
මං සක්ඛඣං ච මානුසං
විමා නං දෙව ලො කම්හි
නිමිත්තං ච පංච දිස්රරෙ

මෙම ගාථා ධර්මයෙන් තමන් අදහන්නා වූ ආගම කුමක් වුවද මරණය සිදුවන මොහොතේදී දර්ශනය වන්නා වූ නිමිති පහක් ගැන සඳහන් වේ. එම නිමිත්තට අනුව ඊළග ප්‍රතිසන්ධි තලයේ පුනර්භවය ඇතිවන බැව් පැවසේ.

1.අග්නි ජාලාවක් දර්ශනය වේ නම් – නිරයේ පුනර්භවය සිදුවේ

2.අන්ධකාරයක් දර්ශන වේ නම් - ප්‍රේත යෝනියක පුනර්භවය සිදුවේ

3.වන සතුන් හා වනාන්තර දර්ශනය වේ නම් තිරිසන් යෝනියක පුනර්භවය සිදුවේ

4.මියගිය ඥාතීන් හෝ මිනිසුන් දර්ශනය වේ නම් – මිනිසත් භවයේම පුනර්භවය සිදුවේ

5.දිව්‍ය විමාන දර්ශනය වේ නම් – දිව්‍ය ලෝකයක පුනර්භවය සිදුවේ

මියයමින් සිටින කෙනකුට දර්ශනය වන මෙම පංච නිමිති ගැන පර්යේෂණය කර විමසා බලා අත්දැකීම් ලබාගත් විට මෙකී නිමිතිවල ඇති සත්‍යතාවය ප්‍රත්‍යක්ෂ කර ගැනීමට හැකිවේ. බුදුරජාණන් වහන්සේ ප්‍රේතවත්තු, විමානවත්තු වැනි සූත්‍ර දේශනා කොට වදාළේ මිනිසුන් අතින් සිදුවන්නා වූ අකුසල්වලින් වළක්වා කුසල් රැස්කර ගැනීමට උනන්දු කරවීමට හා ඒතුළින් මිනිසාගේ මෙලොව පරලොව දෙකෙහිම යහපත සලසාදීමටය.

අපාය ගැන දේශනා කොට මිනිසුන් බිය ගන්වා හෝ දිව්‍යලෝක ගැන දේශනාකොට මිනිසුන්ට සුරංගනා ලෝක මවා පා බුදුදහමට මිනිසුන් පොළඹා ගැනීමට ක්‍රියානොකළ ආගමික ශාස්තෘවරයකු වී නම් ඒ බුදුපියාණන් වහන්සේමය. ඒ භාග්‍යවතුන් වහන්සේ ලෝකත්‍රයම ඇති සැටියෙන්ම දැන වදාළ බැවින් ලෝකවිදූ නම් වන සේක. එවන් දහමක් ගැන සැක නොකොට මැරෙන මොහොත දර්ශනය වන පංච නිමිති ගැන විමසිලිමත්ව කරුණු අධ්‍යනය කර බලා සත්‍ය තේරුම් ගත හැකිය. ¼

අග්නි ජාලාවක් දර්ශනය වන්නෝ හඳුනාගත හැකි ලක්ෂණ – මියයන මොහොතේ ගිනි ගොඩක් පේනවා යැයි කියන අය මෙන්ම ඒ බව නොකියා දනවා දනවා යැයි කියමින් කෑ ගසන අයද සිටිති. තවත් සමහරු කිසිවක් නොකියා අභිනයන් මගින් (පිළිස්සෙන විට පළකරන ඉරියව්) පළ කරති. ගින්නක් ඇවිලෙන විට කටින් පිඹ එය නිවා දමන්නට හදන ලෙස හුළං පිඹින අය සිටිති. වතුර වතුර කියා ජලය හොයන අය සිටිති. එවන් අය නිරයේ යන්නෝ වෙති.

අන්ධකාරය දර්ශනය වන්නෝ හඳුනා ගැනීම – ‘මට මොකවත් පේන්නෙ නෑ. ලාම්පු පත්තු කරන්න. ලයිට් දමන්න. හරිම කළුවරයි. මොකවත් පේන්නෙ නෑ’ යැයි මරණ මොහොතේ කියන අය සිටිති. එළියක් අරගෙන එන ලෙස කෑගසන අය සිටිති. ඇස්පිල්ලන් ගසමින් ඇස් පොඩි කරමින් ඇස් නොපෙනෙන අය ඇස්වලින් පලකරන ඉරියව් පළ කරන අය සිටිති. එවන් අය කිසියම් ප්‍රේත යෝනියක පුනර්භවයක් ලබන්නෝ වෙති.

වන සතුන් හා වනාන්තර දර්ශනය වන්නෝ හඳුනා ගැනීම

අලි එනවා හරක් එනවා යැයි සතුන්ගේ නම් කියමින් කෑ ගසන අය මෙන්ම එසේ නොකියා සතුන් එලවන ශරීර පිට කරන්නෝ වෙති. එසේම නොයෙක් සතුන්ගේ කෑගසන හඬට සමාන හඬ පිටකරමින් මියයන්නෝ සිටිති. වනාන්තර ගැන තොරතුරු කියන්නෝ වෙති. එසේම කැලේ යන අය මෙන් විපරමින් වටපිට බලන ඉරියව් පල කරන අය සිටී. එසේ වන සතුන් හා කැලෑවන් දර්ශනය වන්නෝ මරණයෙන් පසු තිරිසන්ගත යෝනිවල පුනර්භවය ලබන්නෝ වෙති.

ඥාතීන් හා මිනිසුන් දර්ශනය වන්නන් හඳුනා ගැනීම

මියයන මොහොතේ තම මියගිය ඥාතීන් දර්ශනය වන අය මෙන්ම ජීවතුන් අතර සිටින අයගේ නම් කියමින් කතා කරන අය එම අයගේ තොරතුරු කියන අය ඒ අය සිහියට එන අය මරණයෙන් මතු මිනිසත් භවයේම පුනර්භවය ලබන්නෝ වෙති.

දෙවියන් හා දිව්‍ය විමාන දර්ශනය වන අය

මරණාසන්න මොහොතේ ප්‍රසන්න මුහුණින් යුතුව මල් සුවඳ හා මල් ගැන කතාකරන එසේම බියකරු ඉරියව් කිසිවක් පළ නොකර අහස දෙස බලා සිටින්නාක් මෙන් උඩ සිටින දෙවිවරු ගැන කියන අය සිටී. එවන් අයගේ මුවින් දිව්‍ය විමාන දිව්‍ය රථ ගැන ප්‍රකාශ වේ. සුදත්ත සිටුතුමා, දුටුගැමුණු රජතුමා වැන්නවුන්ට මෙවන් දර්ශන පෙනුන බැව් බෞද්ධ පතපොතේ සඳහන්ව ඇත. වර්තමානයේද එවැන්නෝ ගැන අසන්නට ලැබෙන අවස්ථා ඇත. එසේ දිව්‍ය විමාන, දිව්‍ය රථ මල්මාලා, මල්වට්ටි ආදී දර්ශනය වන්නෝ මරණයෙන් මතු සුගතිගාමී දිව්‍ය ලෝකවල පුනර්භවයන් ලබන්නෝ වෙති.

මේ නිසාම මරණාසන්නව සිටින අය වෙත භික්ෂුන් වහන්සේ වැඩම කරවා ධර්ම දේශනා කරවීම, පිං පොත කියවීම ආදී සිරිත, චාරිත්‍ර අදත් බෞද්ධ සමාජයේ පවතී. බෞද්ධ ශාසන ඉතිහාසයේ සඳහන්ව ඇති ධම්මික උපාසකතුමාගේ කථාව තුළින්ද දිව්‍ය ලෝකවල උපදින අයට දිව්‍ය රථ හා දිව්‍ය විමාන දර්ශනය වන බව බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට පැහැදිලි කර දී ඇත.

හදිසි අනතුරුවලින් ඉතාමත් කෙටි කාලයක් තුළදී මරණයට පත්වන අය තුළ ඉහත පංච නිමිති දර්ශනය වේද යන්න සිත පිළිබඳව නොදත් කෙනකුට ගැටලුවක් විය හැක. එහෙත් මෙකී දර්ශනයක් පහළවීමට චිත්තක්ෂණයක් ප්‍රමාණවත්ය.

විශුද්ධි මාර්ගයෙන් පෙන්වාදී ඇති ආකාරයට ජීවියකුගේ පරම ජීවිත කාලය ඉතා කෙටි මොහොතක් වන අතර එය එක් සිතිවිල්ලක් පවතින තෙක් පමණක් වේ. රථ රෝදයක් කැරකෙමින් යන විට රෝදය එක් මොහොතක් පොළව හා බද්ධ වී පවතින්නේ එක් ස්ථානයකින් පමණක් වන සේම ජීවියාගේ පැවැත්ම පවතින්නේ එක් සිතිවිල්ලක් පවතින තරම් සුළු මොහොතක් බව පෙන්වා දෙයි. ඒ අනුව යම් සිතිවිල්ලක් සත්ත්වයාගේ සිත තුළ පහළවීද ඊට අදාළ ගති ස්වභාවයන් ඇත. ඒ ගති ස්වභාවය දේවගතියක් විය හැක. මනුෂ්‍ය ගතියක් විය හැක. ප්‍රේත ගතියක් විය හැක. තිරිසන් ගතියක් විය හැක. දුගති සත්ත්ව ගතියක් විය හැක. එම ගති නිමිති ස්වභාවය අනුව පංච නිමිති දර්ශන පහළවීම චිත්ත නියාමය වේ.

මේ නිසා බුදුමඟ ගමන් කරන බෞද්ධයන් වශයෙන් තම තමාගේ චිත්තසන්තානයක් තුළ නිරන්තරයෙන් මනුෂ්‍ය ගතිගුණ හා දේවගති ගුණ පවත්වාගෙන ්‍යෑමට සිහිබුද්ධියෙන් කටයුතු කිරීමට පුරුදු පුහුණු වන්නේ නම් මරණාසන්න මොහොතේ සුගතිගාමී නිමිති දැකගැනීමට හැකියාව ලැබේ.

කොබ්බෑවල සුමනදාස වීරසිංහ
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤