දුටුගැමුණු රජු කල පිරිණිවන් පෑ මලියදේව හිමියන් ලංකාවේ අන්තිම රහත් තෙරනම නොවේ. සැබැවින්ම, අද වුව රහතුන් බිහි විය හැකිය. ඒ සදහා අවශ්‍ය වන්නේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ ශ්‍රී සද්ධර්මය සීල සමාධි ප්‍රඥා වශයෙන් දියුණු කොට සාක්ෂාත් කිරීමයි.

ඔබත් බුදුරදුන් පෙන්වා වදාළ උත්තම දහම් මාර්ගයේ ගමන් කරන්න


Powered by දහම් විල


ලිපි සඳහා පහත මාසය අනුව ලිපි පටුන බලන්න

ජීවන ගමන ගැන කියා දෙන පාරිච්ඡත්තක සූත්‍රය

මාලබේ අරංගල ශ්‍රී ශෛලාරාමාධිපති කථිකාචාර්ය, 
දර්ශනපති රාජකීය පණ්ඩිත 
ඇත්කඳුරේ සුමනසාර හිමි

කලාතුරකින් කෙනෙකුට ලැබෙන සුවිශේෂි කරුණු තුනක් දැන් අපට ලැබී තිබෙනවා. එනම් උතුම් මිනිසත් බවත්, ගෞතම බුදු සසුනත්, ධර්මාවබෝධය පිණිස ඇති කරගත් ශ්‍රද්ධාවත් ය. යම් කෙනෙක් තුළ මෙකී කරුණු තුන ඒකරාශී වූයේ නම් එය හඳුන්වන්නේ ක්ෂණ සම්පත්තිය නමිනි. ක්ෂණ සම්පත්තිය නම් වූ අතිශයින් ම දුර්ලභව ලද මෙම මොහොත ගෙවී යන්නට පෙර මෙයින් අත්පත් කරගත හැකි උතුම් පිළිසරණ සලසා ගත යුතුය.

බුද්ධ දේශනා තුළින් දාන්ත භාවයට

මේ ලෝකයට පහළ වූ ශ්‍රේෂ්ඨතම උත්තමයන් වහන්සේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේයි. භව කතරේ අතරමංව සසර ගින්නෙන් දැවෙන බොහෝ දුක් විඳින සත්ත්වයාට මේ භයානක දුකෙන් අත මිදෙන්නට උත්තම ශාන්තියක් කරා පිය නැඟීමට හැකිවන පරිදි මේ ලෝකයට අසිරිමත් ධර්ම මාර්ගයක් හෙළිපෙහෙළි කොට වදාළේ අංගීරස තථාගත බුදුරජාණන් වහන්සේ විසිනි. උන්වහන්සේ විසින් දේශනා කළ ධර්ම මාර්ගයේ ගමන් කරන්නේ නම් එයින් සැමට සැපතක් සැනසිල්ලක් ලැබෙනවා.
බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයට සිත යොමු කරනවිට අපේ ජීවිතය පිළිබඳව නිවැරැදි අවබෝධයක් ලැබෙනවා. ඒ වගේම මර උගුලකට අප පටලවන ඇස, කන, නාසය, දිව, කය කියන මේ පංච ඉන්ද්‍රිය දාන්ත භාවයට හුරුපුරුදු වෙනවා. සිත සුවපත් කරගෙන ශාන්තියක් අත්විඳීමට යෝනිසෝමනසිකාරයෙන් බුද්ධ දේශනා ශ්‍රවණය කරන විට අවස්ථාව උදා වෙනවා. කාම භෝග, භව භෝග, දිට්ඨි භෝග, අවිද්‍යා භෝග කියන මේ භයානක සැඬ පහරවල් කපා සිඳ බිඳ සුණුවිසුණු කොට ගෙන මේ භයානක භව සයුරින් එතෙර වන්නට බුදුබණ ශ්‍රවණයෙන් අවස්ථාව උදාවෙනවා. අග්‍ර උතුම් වූ නිවනට උතුම් වූ ශක්තියකින් පැමිණීම ලෙහෙසියෙන් පහසුවෙන් කරන්න අමාරුයි. නමුත් පාපී දේවල් ලෙහෙසියෙන් කරන්න පුළුවන්. මාරයා නිරන්තරයෙන් අප ඇදගෙන යන්නේ පාපී ක්‍රියාවට සහ පාපී අරමුණු වලටයි.

පරසතු මදාරා මල්ගස

අද අප කථා කරන්නේ “පාරිච්ඡත්තක” සූත්‍රය යි. පාරිච්ඡත්තක ලෙස පරසතු මදාරා මල් ගස පිළිබඳව විස්තර වෙනවා.
දිව්‍ය ලෝකයේ තිබෙනවා “නන්දන” කියා ලස්සන උයනක්. මේ උයන තිබෙන්නේ දෙවියන්ට සතුටු වෙන්න. දෙවියන් සතුටින් සතුටට පත් වෙන්න මේ නන්දන උයන වෙත ගමන් කරන්නේ. මේ නන්දන උයනේ පාරිච්ඡත්තක කියා වෘක්ෂයක් තිබෙනවා. මේ වෘක්ෂයේ් ආවාට ගියා මල්, ගෙඩි, හට ගන්නේ නැහැ. දළුලන්නේ නැහැ. කොළ හැලෙන්නේ නැහැ. දළු මේරීමක් වන්නේත් නැහැ. ඒ නිසා දෙවියන් නිරන්තයෙන් ගොස් මේ නන්දන උයනේ ඇති පාරිච්ඡත්තක ගස වටා ගමන් කරමින් පරීක්ෂා කරනවා. දිනක් දෙවියන් දකිනවා පාරිච්ඡත්තක වෘක්ෂයේ කොළ පඬු පාට,ගුරුපාට වෙලා. ඔවුන් බොහෝ සතුටට පත්වෙනවා. දැන් මේ ගස අලුත් වෙන්නයි හදන්නේ කියා. පැරැණි කොළ හැලෙන්නයි හදන්නේ කියා දැනගත්තාම ගස වටේ ගිහින් ප්‍රදක්ෂිණා කරමින් ඔවුන් විශාල සතුටට පත්වෙනවා.
දෙවැනි අවස්ථාව නම් පඬුවන් පාට වූ කොළවලට මොකද වෙලා තිබෙන්නේ? කොළ ටික හැළෙන්න පටන් අරගෙන. කලින් සැරේ පඬුවන් පාට වුණා පමණයි. දෙවැනි අවස්ථාවේදී කොළ හැලෙන්න පටන් අරගෙන. දැන් දෙවියන්ට හරි සතුටුයි. මේ පාරිච්ඡත්තක වෘක්ෂය අලුත්වෙනවා කියා.

තුන්වැනි අවස්ථාව ගසේ කොළ බිමට හැලිලා. අලුතින් දළු දාන්නට පටන් අරගෙන. හරිම සතුටුයි. ටික ටික ගස අලුත් වෙලා නැවුම් භාවයට පත්වෙනවා දෙවියන් සතුටු කරමින්.
හතරවැනි අවස්ථාව පුංචියට දාපු දළු දැන් ලපලු වෙලා. පොකුරු පොකුරු ලෙස දලු දාන්නට පටන් අරගෙන. දෙවියන් ඇවිත් ෙමි නන්දන උයනේ පරසතු මදාරා ගස අසල විශාල ලෙස සතුටු වෙනවා.
දැන් මාස ගණනාවක් ගතවෙලා. පස්වෙනි අවස්ථාව නම් දැන් මල් පිපෙන්න පුංචි පුංචි පොහොට්ටු පීදීලා. දෙවියන්ට විශාල සතුටක්. සතුටු ගීත ගායනා කරමින් දෙවියන් පිරිවරාගෙන සතුටු වෙනවා.
හය වෙනි අවස්ථාව නම් මේ ගසේ පොහොට්ටු ටිකක් මෝරලා. ඒත් තවම මල් පිපිලා නැහැ. දැන් දෙවියන් බලාගෙන ඉන්නේ මල් පිපෙන තෙක්. නැවත මාසයකට පසු බලන විට මුළු ගසේම මල් පොහොට්ටු පිපිලා දසත සුවඳ කරමින් තිබුණා. දැන් සියලුම දෙවි දේවතාවියන් ඇවිත් ගසයට පී‍්‍රති ප්‍රමෝදයෙන් ගීතිකා ගායනා කරමින් සිතුටු වුණා.
අප ඉහත ඉගෙන ගත්තා පාරිච්ඡත්තක සූත්‍රයේදී විවිධ අවස්ථා හතක් පිළිබඳව. මුල් අවස්ථාවේදී කොළ පඬුවන් පාට වුණා. දෙවැනි අවස්ථාව කොළ හැලෙන්න පටන් ගත්තා. තුන් වැනි අවස්ථාවේදී පුංචි දළු දාන්න පටන් ගත්තා. හතරවැනි අවස්ථාවේදී දළු ලපලු බවට පත්වුණා, පස්වැනි අවස්ථාව පුංචි පොහොට්ටු වුණා. හයවැනි අවස්ථාව පොහොට්ටු මේරුවා. හත්වැනි අවස්ථාවේදී ඒ පොහොට්ටු පිපිලා මුළු දිව්‍ය ලෝකයම සුවඳවත් වුණා.

අපේ ජීවිතයත් මදාරා මල්ගස වගේ

මේ පාරිච්චත්ත වෘක්ෂය උපයෝගි කොටගෙන තථාගතයන් වහන්සේ අපට ගැඹුරු දේශනාවක් වදාළා. මේ ආධ්‍යාත්මික මාවතේ යන අපත් හරියට පාරිච්ඡත්තක වෘක්ෂය වගේලු. අපේ ජීවිතය නමැති පරසතු මල් ගස ගැනයි මේ කථා කරන්නේ. අපේ ජීවිතයේ ගසේ කොළ වගේ කාලයකදී පඬුවන් පාට දුඹුරුපාට වෙනවා. මේ දුඹුරුපාට වෙනවා කියන්නේ මොකක් ද? අපට ඇතිවෙනවා සිතිවිල්ලක් මේ ගිහි ගෙයින් ඈත් වුණානම් හොඳයි. මේ පැටලි පැටලි සිටින ජීවිතය ටිකක් හුදකලා කරගත්තා නම් හොඳයි කියා මනසින් සිතනවා. ඒ සිතිවිල්ලට තමා ගසේ කොළ පඬුවන් පාට වුණා කියන්නේ. ගුරුපාට වූ කොළ ටික ටික හැලෙනවා. කොහොමද හැලෙන්නේ? ඒ වෙනුවෙන් කැපවෙලා වෙන්වෙලා සිත දියුණු කිරීමයි. තුන්වැනි අවස්ථාව දළු දෑම. අපේ ජීවිතයේ දළු දෑම කුමක්ද? සිත බලවත් ලෙස අධිෂ්ඨාන කර භාවනාට යොමු වෙද්දී ප්‍රථම ධ්‍යානය ස්පර්ෂ වෙනවා. හතරවැනි අවස්ථාව ප්‍රථම ධාන්‍ය සිත දෙවැනි ධ්‍යානය ස්පර්ෂ කරනවා. පස්වැනි අවස්ථාවේදී තුන්වැනි ධ්‍යානය ස්පර්ෂ වෙනවා. හයවෙනි අවස්ථාව නම් ගසේ පුංචි පොහොට්ටුව මහා පොහොට්ටුවක් බවට පත්වෙනවා වගේ හතරවැනි ධ්‍යානය ස්පර්ෂ වෙනවා. අන්තිමට අර පාරිච්ඡත්තක වෘක්ෂයේ මල් සියල්ල පිපිලා පළාතම සුවඳ කරනවා වගේ සමථ භාවනාව තුළින් විපස්සනා භාවනාවට සිත යොමු කරනවා. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම බව හොඳින් දකිනවා. මම, මගේ, මගේ ආත්මය නොවේ කියා හොඳින් දකිනවා. එය දියුණුවෙනවාත් සමඟ ඔහුට අරහත් භාවයට සිත දියුණු කරනවා. අපේ සිත නමැති ජීවිතය හරියට පාරිච්ඡත්තක ගස වගේ වෙනවා.
පරසතු මදාරා මල් ගස දිව්‍ය ලෝකය සුවඳවත් කළා. ඒ වගේ අපේ ජීවිතය නමැති ලෝකය සිත නමැති ආධ්‍යාත්මික පාරිච්චතක වෘක්ෂයේ සුවඳ විහිදෙනවා. මල් පිපුණා කියන්නේ මනසේ ඇති සියලු රාග, ද්වේෂ, මෝහ ගිනි සියල්ල නැතිකරගෙන මනසේ විරාගි ශෛල අවදිකරගෙන මනස උපරිම පාරිශුද්ධභාවයට පත්කර ගැනීමයි. උපාධාන බැම්ම කඩා ගත්තා වෙනවා. පංච උපාධානස්කන්ධය ඇති උතුමන් පංචස්කන්ධය පමණක් ඇති අය බවට පත්වුණා. මේ සසරට අප අලවන්නේ, බැඳ තබන්නේ, ගට්ටනය කරන්නේ මේ පංචස්කන්ධය තුළ තිබෙන උපාදාන ශක්තියයි. ඒ උපාධානය කඩා බිඳ සුණු විසුණු කරගෙන පරසතු මදාරා ගසේ දිව්‍යමය මල් පිපුණා වගේ අපට සැනසෙන්න, සුවපවත් වෙන්න, සිහිල් වෙන්න අවස්ථාව ලැබුණේ උතුම් අරහත් භාවයෙන්.

සතුට කරා යන මඟ

ඒ නිසා තථාගතයන් වහන්සේ අපට අවවාද කරනවා මේ පාරිච්ඡත්තක වාක්ෂය වගේ ඔබත් පියවරෙන් පියවර ඉදිරියට යන්න. මල් පොහොට්ටු ගස පුරා පිපුණා සේ මේ භයානක සසරෙන් එතෙර වන්න. දුකෙන් පෙළෙන අපට සතුට කරා යන්න, පී‍්‍රතිය නැති අපට පී‍්‍රතිමත් වන්නට මේ පාරිච්ඡත්තක වෘක්ෂය මඟ කියා දෙයි.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤