දුටුගැමුණු රජු කල පිරිණිවන් පෑ මලියදේව හිමියන් ලංකාවේ අන්තිම රහත් තෙරනම නොවේ. සැබැවින්ම, අද වුව රහතුන් බිහි විය හැකිය. ඒ සදහා අවශ්‍ය වන්නේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ ශ්‍රී සද්ධර්මය සීල සමාධි ප්‍රඥා වශයෙන් දියුණු කොට සාක්ෂාත් කිරීමයි.

ඔබත් බුදුරදුන් පෙන්වා වදාළ උත්තම දහම් මාර්ගයේ ගමන් කරන්න


Powered by දහම් විල


ලිපි සඳහා පහත මාසය අනුව ලිපි පටුන බලන්න

ගැඹුරුකම සරල ය සරලකම ගැඹුරු ය


මේ ලිපිය ලියන්නේ මහනුවර මහරෝහලේ වෛද්‍ය ලලිත් විඡේසිංහ සහෘදයාගේ ආරාධනයක්‌ පරිදි ය. ඔහු අපට වැදගත් වන්නේ දෘෂ්ටිගත නොවී ජීවිතය දකිමින්, සිය ශක්‌ති පමණින් තමා ජීවත් වන සමාජය යහපත් කිරීම උදෙසා කටයුතු කරන චරිතයක්‌ බැවිනි.

නොබෝදා ලලිත්ගේ පියා මිය ගියේ ය. ඔහු සිය පියාගේ අවසන් ඉල්ලීම පරිදි මව, නැගණිය ද ඇතුළු ඥාතිමිත්‍රාදීන්ගේ කැමැත්ත ඇතිව පියාගේ දේහය, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට බාර දුන්නේ ය. ඒ මොහොතේ කළ යුතු වැදගත් ම දෙය ලෙස ඔවුනට දැනී තිබුණේ එය යි. ඒ සරල ක්‍රියාව තුළ ගැඹුරු අරුතක්‌ ඇත. මෙයින් අදහස්‌ වන්නේ සෑම අයකු විසින් ම සිය සමීපතමයන්ගේ දේහ වෛද්‍ය විද්‍යාලයනට බාරදිය යුතු බව නොවේ. වඩා වැදගත් වන්නේ දිනයක්‌ හෝ දෙකක්‌ දේහය තබාගෙන අවසන් කටයුතු සිදුකිරීම නම් කළ යුත්තේ එය යි. 

මෙරට ජීවත් ව සිටි සුවිශිෂ්ට චින්තකයකු මෙන් ම කීර්තිමත් අධ්‍යාපනඥයකු වූ ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම්තුමා, සිය අභාවයෙන් පසු අවසන් කටයුතු කළ යුතු ආකාරය ගැන කිසි ම සඳහනක්‌ කොට නොතිබිණ. 1985 දෙසැම්බර් 28 වන දින අභාවයට පත් වූ එතුමන්ගේ අවසන් කටයුතු සිදු කැරුණේ 1986 ජනවාරි 01 වන දින ය. ඒ නිසා අදිකාරම්තුමන් ඇසුරු කළ, පුවත්පත්, පොතපත ඇතුළු සන්නිවේදන මාධ්‍යවලින් එතුමන් ගැන දැන සිටි දිවයිනේ නන් දෙස විසිර සිටි බොහෝ දෙනා එතුමන්ට අවසන් ගෞරව දැක්‌වීමට පැමිණියහ. ඒ පැමිණි අයගේ අතට අඩු ම වශයෙන් අදිකාරම්තුමන් විසින් ලියන ලද සිතිවිලි ලිපියක්‌ හෝ පත් කිරීමට හැකි විය. ඒ අනුව සිදු වූයේ එතුමන්ගේ අවසාන අවස්‌ථාව පවා අදිකාරම් සාහිත්‍යය සමාජගත කිරීමට ලැබෙන අවස්‌ථාවක්‌ බවට පත්වීම ය.

හොරණ, පොකුණුවිට, විනයාලංකාරාමයේ වැඩ විසූ අතිපූජ්‍ය මහාචාර්ය රේරුකානේ චන්දවිමල නාහිමියන් විසින් තමා අපවත් වූ දින ම සිය අවසන් කටයුතු කළ යුතු ය යනුවෙන් විශේෂ සඳහනක්‌ කොට තිබිණ. ඒ අනුව උන්වහන්සේගේ අවසන් කටයුතු සිදු කෙරුණේ එහිමියන් අපවත් වූ දින ම ය. එම ක්‍රියාවෙහි ද ලෝකය අවදි කරවන සුවිසල් ගැඹුරක්‌ විය. රේරුකානේ චන්දවිමල නාහිමියන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු උන්වහන්සේ අපවත් වූ දින ම සිදු කිරීමත් ලලිත්ගේ පියාගේ දේහය වෛද්‍ය විද්‍යාලයට බාරදීමත් අදිකාරම්තුමන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු දින කිහිපයකට පසු සිදු කිරීමත් බැලු බැල්මට භෞතික වශයෙන් එකිනෙකට වෙනස්‌ ලෙස පෙනී යන ක්‍රියා තුනකි. එහෙත් ඒ ක්‍රියා තුන ම කවර හෝ අන්දමක සමාජාවබෝධයකට හේතු විය. එහෙයින් ඒ ක්‍රියා තුන ම අපට වැදගත් සේ දැනෙයි, හැඟෙයි.


ඇතැම් 'පින්කම් ගෙදරක', ධර්ම දේශනයෙන් හෝ දානයෙන් පසු අපට දකින්නට ලැබෙන්නේ කා බී මත් ව සිහියෙන් තොර ව කටයුතු කරන දර්ශන ය. ඒවා 'පින්කම්' කියා හැඳින්විය හැකි ද? ඇතැම් දෙනා විසින් කරනු ලබන ක්‍රියා තුළ ඇත්තේ අක්‍රියාව යි. මෙය වඩාත් පැහැදිලි කොට ගැන්ම සඳහා අපට භගවද්ගීතා පාඨයක්‌ උපයෝගී කොට ගත හැකි ය.

කර්මණ්‍යකර්ම යඃ විශ්‍යෙයදක

ද කර්මණි ච කර්ම යඃ

ස බුද්ධිමාන් මනුෂ්‍යෙෂු

ස යුක්‌තඃ කෘත්ස්‌නකර්මකෘත්"

මෙයින් කියෑවෙන්නේ යමෙක්‌ අක්‍රියාවෙහි ක්‍රියාවත් ක්‍රියාවෙහි අක්‍රියාවත් දකියි ද ඒ තැනැත්තා මනුෂ්‍යයන් අතර බුද්ධිමතා බව යි. ඔහු සියලු ක්‍රියා කරන යෝගියා බව යි. අනුන් අබිබවා යාමේ අදහසින් තනතුරු, බලය, ධනය උදෙසා කෙනෙකු විසින් කරනු ලබන අනවරත සටන තුළ බැලු බැල්මට ක්‍රියාවක්‌ තිබේ. එහෙත් ඒ වූ කලී ක්‍රියාවෙහි අක්‍රියාව යි. එබඳු තැනක දී කළ යුතු ක්‍රියාව වන්නේ ධනය, බලය, තනතුරු ආදිය උදෙසා කිසිවක්‌ නොකර හිඳීම යි. එතැන ඇත්තේ තරඟ නොකිරීමේ ක්‍රියාව යි. ගීතාවට අනුව අක්‍රියාවේ ක්‍රියාව යි.

අප විසින් කරනු ලබන ක්‍රියා කොතරම් දුරට අර්ථවත් ද අර්ථ හීන ද යන්න ගැන සැලකිලිමත් වනු වටී. අමද්‍යප සමාජයක්‌ ස්‌ථාපිත කිරීම සඳහා කටයුතු කරන අව්‍යාජ අමද්‍යප සාමාජිකයකුට, මද්‍යසාර ගැනීම අනුමත කෙරෙන හෝ ඇගයෙන අදහස්‌ ඇතුළත් ගීත ගායනා කිරීමට පෙළඹිය හැකි ද ? නොඑසේ නම් එබඳු ගීතයකට අත්වැල ඇල්ලිය හැකි ද ? තමා හදවතින් ම කටයුතු කරන්නේ අමද්‍යප සමාජයක්‌ බිහිවනු දැකීමට නම්, එබඳු අය විසින් නොදැනුවත් ව හෝ තමා අතින් සිදුවන මේ ක්‍රියාව ගැන වඩාත් සිතා බලනු වටී.

එසේ ම හිංසකත්වයෙන් තොර සමාජයක්‌ බිහිවනු දකිනු කැමති අව්‍යාජ නිර්මාංසාහාරිකයකුට 'සුරංගනීට මාලු ගෙනාවා' වැනි ගී ගැයීමට ඉදිරිපත් විය හැකි ද ? නො එසේ නම් එබඳු ගීයක අත්වැල් සපයන්නා විය හැකි ද ? තව ද 'සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා' යි ප්‍රාර්ථනා කරන කෙනෙකුට, ඝාතනයට ලක්‌වන සත්ත්ව ජීවිත ආහාරයට ගත හැකි ද ? මේ සම්බන්ධයෙන් ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම් මහාත්මා විසින් දක්‌වනු ලැබ ඇති පහත සඳහන් ප්‍රකාශයට අපගේ අවධානය යොමු කිරීම සුදුසු ය.

''යම් සතෙක්‌ නිදුක්‌ වේවා යි එක දවසක දී ප්‍රාර්ථනා කොට තව දවසක දී උගේ මස්‌ කෑම සිහිය ඇති කෙනෙකුට සිතා ගැනීමට බැරි තරමේ පරස්‌පර විරෝධී ක්‍රියා නොවන්නේ ද ? එහෙත් අද නරක මිනිසුන් පසෙක තිබිය දී මෛත්‍රී භාවනාව වඩන, යහපත් ප්‍රතිපත්ති පුරන්ට උත්සාහ කරන, හොඳ මිනිසුන් කී දෙනෙක්‌ මේ පරස්‌පර විරෝධී ක්‍රියා දෙකෙහි යෙදෙත් ද ?

සියලු ම සත්ත්වයෝ යෑයි කියූ විට අත් හැරිය හැකි එක ද සතෙක්‌ නොවන්නේ ය. හරකා, එළුවා, ඌරා, කකුළා ආදී ගොඩ සිටින සතුන් පමණක්‌ නොව දියෙහි වසන මාළුවා, කකුළු වා, ඉස්‌සා ආදී ලොකු කුඩා සෑම සතෙක්‌ ම ද එහි අන්තර්ගත වන්නේ ය. එම නිසා සියලු සත්ත්වයෝ නිදුක්‌ වෙත් වා යි ප්‍රාර්ථනා කරන කෙනෙකු මසක්‌ මාළුවක්‌ කන විට ඔහු කරන්නේ තමා විසින් මෛත්‍රී කරනු ලැබූ සතෙකු තමා විසින් ම කෑම ය.

ඔබ මෛත්‍රී භාවනාවත් කරන මස්‌ මාළුත් කන කෙනෙක්‌ නම් මීට පසු කෑම සඳහා මසක්‌ හෝ මාළුවක්‌ මේසය මතුයෙහි තිබෙනු දකින විට ඔබ කරන්ට යන ක්‍රියාව ගැන මොහොතක්‌ සිහියෙන් යුක්‌ත ව බලන්න.''

අප මෙතෙක්‌ මේ ගැන නොසිතුවේ නම් කළ යුත්තේ කුමක්‌ ද ? තමාගේ ම ආදරණිය විවේචකයා බවට තමා ම පත් වී සිදුවීම් අවලෝකනය කිරීම ය. අනතුරුව තමාට දැනුණු හැඟුණු සත්‍යය තුළ, අනුනට කායික හෝ මානසික පීඩාවක්‌ නොවන පරිදි, හැකි උපරිම අයුරින් ක්‍රියාත්මක වීම ය. එසේ ක්‍රියාත්මක වන අතර, තමාට වැටහුණු දෙය, හැකිතාක්‌ දෙනාට ඉතා ආදරණීය ලෙස වටහා දීමට උත්සාහ දැරීම ය. එබඳු මෙහෙවරක දී පිරිමියා සේ ම ගැහැණිය ද එක සේ වැදගත් වෙයි.

ගැහැණිය යහපත් ලෞකික ජීවිතයක පැවැත්මට හෝ විමුක්‌තියට බාධාකාරී තැනැත්තිය ලෙස දැක, ඇය හෙළා දකිමින් කටයුතු කරන්නට කරන්නට යහපත් ගිහි ජීවිතය මෙන් ම අපේක්‌ෂිත විමුක්‌තිය ද තවදුරටත් අපෙන් ඈත් වෙනවා ඇත. එසේ ම ඇය ම පමණක්‌ ජීවිතයේ වැදගත් දෙය කොට තකමින්, ඇයට ආසක්‌ත වන්නට වන්නට ද යහපත සහ විමුක්‌තිය අපෙන් ඈත් වෙනවා ඇත. ගැහැණියට ද මේ ආකාරයට ම පිරිමියා ගැන සිතිය හැකි ය. තත්ත්වය මෙසේ නම් අප විසින් කළ යුතු ව ඇත්තේ කුමක්‌ ද ? අපට දැනෙන්නේ, හැඟෙන්නේ මේ සඳහා කළ යුත්තේ බෝධිසත්ත්ව - සිද්ධාර්ථ ආදර්ශය ගැනීම බව යර් බුදුන් වහන්සේගේ පරමාදර්ශය ගැන සිතීම බව ය.

ජාතක පොත අධ්‍යයනය කිරීමේ දී අපට පෙනී යන්නේ බෝධිසත්ත්ව සිය ජීවන චර්යාවෙන් ඇලීම මෙන් ම නොඇලීම ද ප්‍රකට කොට ඇති බව ය. බෝධිසත්ත්ව බිරිඳ ලෙසින් යසෝදරා ද ප්‍රකට කෙළේ ඇලීම සහ නොඇලීම අතර දෝලනය වන චරිත ස්‌වභාවය යි. එහෙත් සිද්ධාර්ථ-යසෝදරා යනු තවත් චරිත දෙකක්‌ පමණක්‌ නොව සිය භව ගමන අවසන් කොට, බොහෝ දෙනාට තමන්ගේ භව ගමන් අවසන් කිරීමට උපකාරී වූ පරමාදර්ශී යුවළකි. සිය අවසන් ජන්මයේ දී අවසන් විමුක්‌තිය උදෙසා, 'ඒ සාංසාරික යුග බන්ධනය' ද කැඩිය යුතු බව සිද්ධාර්ථ කුමරු තරුණ වියේ දී ම අවබෝධ කොට ගත්තේ ය. ඒ අවබෝධය යසෝදරා තුළ ද විය. එහි අවසන් ප්‍රතිඵලය වූයේ සිද්ධාර්ථ කුමරු පැවිදි ජීවිතයට එළඹ, අවසන 'සම්මා සම්බුද්ධත්වය' ලැබීමෙනි. යසෝදරා දේවිය ද හිමි මග ගෙන පැවිදි ව අවසන රහත් මෙහෙණියක බවට පත්වීමෙනි.

මේ අනුව අප විසින් කළ යුතු ව ඇත්තේ කුමක්‌ ද ? ජීවිතය වඩාත් නිවරද කොට ගැන්ම උදෙසා - සුවපත් කොට ගැන්ම උදෙසා අප විසින් අප දෙස ම බැලිය යුතු වෙයි. දුෂ්කර කාර්යය වන්නේ ද එය යි. ලෝකය දෙස බැලීම පහසු මුත් තමා දෙස බලා, තමා විසින් තමා විවේචනයට ලක්‌ කොට ගැනීම අපහසු ය. එහෙත් කළ යුත්තේ ද එය යි. ඒ අනුව තමා විසින් තමාගේ චර්යා දෙස බලා තමාට ම 'රිදවා' ගත යුතු වෙයි. ආදරණීයයන්ගේ සුවය පතා ඔවුනට වුව 'රිදවිය' යුතු ය. එහෙත් ඒ රිදවීමේ අරමුණින් නොව සුවපත් කිරීමේ අරමුණෙනි. 'ආදරයෙන් පහරදීමේ කලාව' උගත යුත්තේ මේ සඳහා ය.

එක්‌තරා සෙන් ගුරු හිමි නමක්‌ උදෑසන සිය සිසු පිරිසට කියා දෙන්නේ ඔබේ දෑත ඇත්තේ ලෝකයට ආදරය දීමට බව යි. එසේ ඉගැන් වූ ගුරුවරයා ම, එම සිසු පිරිසට හවස සටන් කලාව උගන්වයි. එවිට එක්‌ ශිෂ්‍යයෙක්‌ මෙසේ අසයි. 

'හිමියනි, ආදරය කිරීමට ඇති දෑත් පහර දීමට යොදවන්නේ ඇයි ?

ආදරය නිස යි.'

ඒ ගුරුවරයාගේ පිළිතුර යි. මේ කතාව වඩාත් පැහැදිලි කොට ගැන්මට එක්‌ නිදසුනක්‌ දැක්‌වීම සුදුසු ය. කිසියම් තැනැත්තෙක්‌ තවත් තැනැත්තකු මරා දැමීම පණිස අවියක්‌ අමෝරා ගෙන එයි. ඒ මොහොතේ ඒ කාර්යය වැළැක්‌වීම සඳහා කළ යුතු එක ම ක්‍රියාව වන්නේ අවි දැරූ තැනැත්තාට පහරදී මෙල්ල කිරීම නම් 'සටන්කරුවා' විසින් අනිවාර්යයෙන් ම කළ යුතු ව ඇත්තේ එය යි. එතැන දී 'සටන්කරුවා' ඝාතනයට ලක්‌ වන්නට යන තැනැත්තා බේරා ගැන්ම උදෙසා ප්‍රහාරකයාට පහර දීමෙන් ප්‍රකාශයට පත් කරන්නේ පහර ලබන්නා කෙරෙහි ඇති ආදරය යි. එසේ ම අවි දැරූ තැනැත්තාට පහර"ම තුළ ඇත්තේ ද පහර දෙන්නා කෙරෙහි වන ආදරය යි. මන්ද ඔහු මිනීමරුවකු වීමට තිබූ අවස්‌ථාව වැළැක්‌වීමෙන් 'සටන්කරුවා' ප්‍රකාශයට පත් කරන්නේ ඒ ආදරය බැවිනි. 

එහෙයින් අප භෞතික ව හෝ වාචික ව කෙනෙකුට නොකර ම බැරි තැනකදී 'පහර දෙනවා නම්' එහි පදනම විය යුත්තේ ආදරය යි, කරුණා මූලය යි. එවිට 'පහර ලබන තැනැත්තා' තුළ පවා වෛරයක්‌ - අනාදරයක්‌ උපදින්නේ නැත. වරෙක ඡේ. ක්‍රිෂ්ණමූර්ති නම් චින්තකයා සඳහන් කෙළේ ගැඹුරින් කල්පනා කිරීම යනු බුම්මාගත් මුහුණක්‌ ඇති ව සිටීම නොවන බව ය. එසේ ම ලෝකය ම සිය හිස මත පවතින සේ ගැඹුරු මුහුණක්‌ මවාගෙන සිටින තැන ද ගැඹුරුකම නැත. තව ද තමාට ද පැහැදිලි නුවූ කරුණු, දෘෂ්ටියක්‌ ලෙස ගෙන, ඒ කරුණු ගෙන හැර දක්‌වමින් තර්ක විතර්ක කරන තැන ද ගැඹුරක්‌ නොතිබිය හැක.

අප අසා ඇති එක්‌ කතාවක එන පරිදි එක්‌ චින්තකයෙක්‌ සිය මිතුරු පිරිසක්‌ සමග ජීවිතය පිළිබඳ වන ගැඹුරු සාකච්ඡාවක යෙදී සිටියි. මේ සාකච්ඡාව දිගට ම කෙරී ගෙන යන අතරතුර ඒ නිවසේ ම එක්‌ පැත්තකට ගසක්‌ කඩා වැටෙයි. සාකච්ඡාව දිගට ම කෙරීගෙන යයි. යට කී ශබ්දය ගැන සතිමත් වූ චින්තකයා, දිගින් දිගට ම සාකච්ඡාවේ යෙදෙන සිය කලණ මිතුරන්ගෙන් අසන්නේ මේ ගෙදර ම අනික්‌ පැත්තට ගසක්‌ කඩා වැටුණු ශබ්දය ඔබට ඇසුණේ ද යනුවෙනි. එවිට ඒ අය එබඳු යමක්‌ ඒ මොහොතේ සිදු වී ද කියා මවිත වී ප්‍රශ්න කරති. මන්ද ඒ අය සිතන පරිදි, ඒ වන විට ඔවුන් ගැඹුරු ම සාකච්ඡාවක යෙදී සිටි බැවිනි. මෙහි ඇති හාස්‍යජනක කාරණය වන්නේ මේ පිරිස කතා කරමින් සිටියේ 'එළඹ සිටි සිහිය' ගැන වීම යි.

අප බොහෝ දෙනා විසින් කරනු ලබන තවත් වරදක්‌ තිබේ. ඒ තමාට බොහෝ උසස්‌ දේ කිරීමට ඇති බව කියා සරල දෙය අත්හැරීම ය. ඉතා හොඳ උසස්‌ දෙය ලෙස තමාට පෙනෙන දෙය වුව නොගැළපෙන පරිසරයක හෝ නොගැළපෙන අවස්‌ථාවක සිදු කිරීම සුදුසු නොවේ. ක්‌ෂේමේන්ද්‍ර නම් භාරතීය කාව්‍ය විචාරකයා 'ඖචිත්‍යවිචාරචර්වා' නම් සිය කෘතිය ඔස්‌සේ සෞන්දර්යාත්මක දෘෂ්ටි කෝණයකින් විවරණය කිරීමට වෑයම් කෙළේ ද මේ ගැන යි.

ඇලෙන සුළු ලෝකයක නොඇලී සිටීම, ගැටෙන සුළු ලෝකයක නොගැටී සිටීම තුළ ගැඹුරු අරුතක්‌ ඇත. එය සෑම කෙනෙකු විසින් ම සිය ශක්‌ති පමණින් තමාගේ ම චර්යාවෙන් ප්‍රකාශයට පත් කළ යුතු දෙයකි. ඇලීම සහ ගැටීම අපේ ජීවිතවලින් පැහැදිලි ව ම ප්‍රකාශයට පත් වෙයි. එහෙයින් අපට සැබෑ ඕනෑකමක්‌ ඇත්නම් ඒ ඇලීම්වල ගැටීම්වල ස්‌වභාවයන් අපගේ ම ජීවිත සමග ගළපා අවබෝධ කොට ගත හැකි වනු ඇත. එහෙත් 'නොඇලීමට ඇලීම' අපට පහසුවෙන් නොපෙනෙයි. මන්ද සද්ධර්මයට අනුව බැලූවත් එය අපට පහසුවෙන් නොපෙනෙන වංචක ධර්මතාවක්‌ බැවිනි. එසේ නම් දාර්ශනික සංකල්පයක්‌ ලෙස ගෙන නොඇලීමට ඇලීම, නොඇලීමෙහි එල්බ ගැන්ම, නොඇලීමේ සංකල්පය වෙනුවෙන් පෙනී සිටීම ආදිය ද අපට නොදැනුවත් ව ම අපෙන් ප්‍රකාශයට පත්වන ඇලීමේ ම සැඟවුණු ස්‌වරූපවිය නොහැකි ද ?

එසේ නම් ඒ තත්ත්වය නිසා ද කෙනෙකු ලෝකය තුළ ඇලීම හා ගැටීම ම වර්ධනය කරනවා විය හැකි ය. මෙය වඩාත් පැහැදිලි කොට ගැන්ම උදෙසා, අපට සුත්තනිපාතයේ මාගන්දි සූත්‍රයේ එන පහත සඳහන් ගාථා පාඨය ආලෝක ප්‍රකාශයක්‌ වෙනවා ඇත.

'සඤ්ඤා විරත්තස්‌ස න සන්ති ගන්ථා

පඤ්ඤා විරත්තස්‌ස ත සන්ති මොහා

සඤ්ඤං ච දිට්‌ඨිඤ්ච යෙ අග්ගහෙසුං

තෙ ඝට්‌ටයන්තා විචරන්ති ලොකෙ'

මෙයින් කියෑවෙන්නේ සංඥාවන්හි නොඇලුණු තැනැත්තාට ගැටලූ නැති බව යි. ප්‍රඥාව කරණකොට ගෙන ඇලීමෙන් නිදහස්‌ වූ තැනැත්තාට මෝඩකම නැති බව යි. එහෙත් යම් අයෙක්‌ සංඥාව සහ දෘෂ්ටිය දැඩි ව ගනිත් ද ඒ අය ලෝකයෙහි ගැටලු ඇති කරමින් හැසිරෙති.

ඇතැම් විට අපි ඇතැම් චරිත සහ දේවල් භෞතික වශයෙන් මෙන් ම මානසික වශයෙන් ද අල්ලාගෙන සිටිමු. ඇතැම් විට භෞතික වශයෙන් අල්ලා ගැනීමට අප කැමති චරිත හෝ දේවල් අපට අහිමි වෙනවා විය හැකි ය. එහෙත් අපි මානසික වශයෙන් අල්ලා ගැනීම අත් නොහරිමු. අපට භෞතික වශයෙන් තිබෙන දේවල් හා චරිත සමග, ජීවිතය පවත්වා ගෙන යැම සඳහා වන කටයුතු කරමින් 'මානසික අත්හැරීම' සිදු කළ හැකි නම් අපගේ ජීවිතවල මෙයට වඩා වෙනසක්‌ සිදු විය හැකිය. කෙනෙකුට භෞතික වශයෙන් මෙන් ම මානසික වශයෙන් ද අත්හැරිය හැකි නම් හොඳ ම දෙය වන්නේ එය යි. ඒ අතහැරීමට අතීත වර්තමාන අනාගත කාල භේදයකින් තොර ව අතිමහත් වෙනසක්‌ සිදුකළ හැකි ය. ගෞතම බුදුන් වහන්සේ විසින් ලෝකයට ලබා දෙන ලද්දේ ඒ ආදර්ශය යි, පරමාදර්ශය යි. තමාගේ විවේචකයා බවට තමා ම පත් වෙමින් තමා ඇත්ත වශයෙන් ම අයත් වන්නේ ඉහත සඳහන් අත්හැරීම් අතුරින් කවර අත්හැරීමට ද යන්න පැහැදිලි ව අවබෝධ කොටගත් විට එතැන් සිට කළ යුත්තේ කුමක්‌ ද යන්න අපට පැහැදිලි වෙනවා ඇත.

ඊ. ඩබ්ලිව්. අදිකාරම් මහතා 'විවිධ චින්තා' නම් සිතිවිලි ග්‍රන්ථයේ දී සඳහන් කරන්නේ තමාගේ සෑම ක්‍රියාවක්‌ දෙස ම, සෑම සිතිවිල්ලක්‌ දෙස ම, සෑම හැඟීමක්‌ දෙස ම බැලිය යුතු බව ය. කිසියම් ක්‍රියාවක්‌, කිසියම් සිතිවිල්ලක්‌ කිසියම් හැඟීමක්‌ අශෝභන යෑයි කියා පිළිකුලෙන් හෝ භයෙන් අහක බලා ගතහොත් එම ක්‍රියාවේ, එම සිතිවිල්ලේ, එම හැඟීමේ ඇති සැටිය නොපෙනෙන බව ඔහු කියයි. එසේ නම් මේ තත්ත්ව දෙකින් ම මිදී අපට අප දෙස බැලිය නොහැකි ද ? ඒ සඳහා 'ආගම නැවතුම් පොළක්‌ ද ?' යන මැයෙන් එන සිතිවිලි ලිපියේ දී අදිකාරම් මහතා කරන පහත සඳහන් ප්‍රකාශය අපට කිසියම් ආලෝකයක්‌ වෙනවා ඇත. 

'මේ ක්‍රියාව, මේ සිතිවිල්ල, මේ හැඟීම ශෝභන යයි සතුටින් එහි ඇලුණ හොත් එම ක්‍රියාවේ ඇති සැටිය ඔහුට නොපෙනෙන්නේ ය. තමා යනු කෙනෙකු තුළ ඇතිවන අශෝභන සහ ශෝභන ක්‍රියා සමූහය ද අශෝභන සහ ශෝභන සිතිවිලි සමූහය ද අශෝභන සහ ශෝභන හැඟීම් සමූහය ද වේ. එහෙයින් ආත්මාවබෝධයේ පටන් ගැන්ම ඒ කිසිවක්‌ කෙරෙහි පිළිකුල් නොකොට ඒ කිසිවෙක නොඇලී ඒවා දෙස බැලීම ය.'

එසේ නම් අප විසින් කළ යුතු ව ඇත්තේ ලෝක ය දෙස බැලීම ට පෙර තමා දෙස බැලීම ය, ලෝකය විවේචනය කිරීමට පෙර තමා විසින් තමා විවේචනය කර ගැනීම ය. අපගේ 'ඇති සැටිය' දැකීම අප, අප ගැන ම මවාගෙන ඇති ප්‍රතිරූප බිඳ වැටීමට හේතු විය හැකි ය. කොතරම් සුන්දර ලෙස පෙනුණත් ප්‍රතිරූපය යනු මායාවක්‌ බැවින් කවර මොහොතක හෝ එහි බිඳවැටීම වැළැක්‌විය නොහැකි ය. අප පිළිබඳ ව අප විසින් ම ගොඩ නගා ගෙන ඇති ප්‍රතිරූපය බිඳ වැටෙන ආකාරය දෙස කිසිදු ගැටීමකින් හෝ ඇලීමකින් තොර ව බලා සිටීමට අපට හැකි වුවහොත් අප පිළිබඳ වන සත්‍ය තත්ත්වය අනාවරණය වෙනවා ඇත. එහෙයින් ප්‍රතිරූප බිඳවැටීම යනු බියවීමට කරුණක්‌ නොව, අපට අපව ම බලාගැන්මට ලැබෙන අනගි අවස්‌ථාවකි. මන්ද සත්‍යය යනු සොයාගෙන ගොස්‌ පිටතින් ස්‌පර්ශ කිරීමට හෝ දැකීමට ඇති දෙයක්‌ නොවන බැවිනි.

තමා පිළිබඳ වන මේ සත්‍යය දැකීම අන් සියල්ලට ම වඩා වැදගත් ය. ඒ දැක්‌ම ආලෝකය වී අප විසින් කළ යුතු ව ඇත්තේ කුමක්‌ ද යන්න පැහැදිලි කරනවා ඇත. බුදුන් වහන්සේගේ චරිතයෙහි ඇති අප්‍රමාණ ගුණ අතර එන එක්‌ විශේෂ ගුණයක්‌ වන්නේ 'විඡ්ජාචරණ සම්පන්න' භාවය යි. උන් වහන්සේගේ ඒ උතුම් ගුණයට ගරු කරන අතර ම ඒ ගුණයෙන් අල්පමාත්‍රයක්‌ හෝ අපේ ජීවිත සමග ගළපා ගත නොහැකි ද ?

'විඡ්ජා' යන වචනයේ සංස්‌කෘත රූපය වනෙa න් 'විද්‍යා' ය. එය සෑදෙන්නේ 'දැනීම්' හා 'දැකීම් ' යන අරුත් දෙන 'විද් ධාතුවෙනි. මේ දැනීම මෙන් ම, දැකීම අප තුළ ඇති කරන්නේ විද්‍යාව යි, විඡ්ජාව යි. 'චරණ' යනු හැසිරීම යන අරුත් දෙන 'චර්' ධාතුවෙන් සෑදෙන වචනයකි. එම වචනය පාලි, සිංහල, සංස්‌කෘත යන භාෂා තුනෙහි ම භාවිත ය. මේ අනවු 'චරණ' යනු හැසිරී ම යි. 'සම්පනන් ' යන වචනය සෑදෙන්නේ 'සැමතින්a ම' 'යහපත් ව' 'එක්‌ ව' යන අරුත් දෙන 'සම්' උපසර්ගය මුලින් යෙදී 'පැමිණීම', 'ගමන් කිරීම' යන අර්ථයෙහි යෙදෙන 'පද' ධාතුවෙනි. පාලි භාෂා අර්ථ සමග ද ගැළපයි හැකි යට කී සංස්‌කෘත මූලයන් සැලකිල්ල ට ගෙන, 'විඡ්ජාචරණසම්පනන් ' යන වචනය දෙස බලන අපට ඉන් පැහැදිලි අරුතක්‌ මතුකොට ගත හැකි ය. එනම් දැනීSමත්, දැකීම ත් ලැබ ඒ දැනීම ඒ දැකීම තුළ හැසිරෙන - ඒ දැනීම ට, දැකීම ට පැමිණීම - ඒ තුළ ජීවත්වීම 'විඡ්ජාචරණසම්පන්න' ගණ= ය ලෙස අර්ථ දැක්‌වීමෙනි. ජීවිතය දැන දැක ඒ ලද ආලොක්‌ ය චරණය හෙවත් හැසිරීම බවට පත්කොට ගෙන අපට ජීවත් විය නොහැකි ද ?

මෙසේ දැනීම සහ දැකීමත් සමග ඇතිවන ආලෝකය විසින් අප හැසිරිය යුත්තේ කෙසේ ද යන්න පැහැදිලි වෙනවා ඇත. එවිට අප අසන දහම් පදයක ගැඹුරු අරුත් දරාගෙන ඒවා අපගේ ම හැසිරීම් ලෙස ජීවිතයෙන් ප්‍රකාශයට පත් කිරීමට අපට හැකිවනු ඇත. ඒ ජීවිතය සරල ය. ඒ ජීවිතය ගැඹුරු ය. අප විසින් කටයුතු කළ යුතු ව ඇත්තේ එබඳු ජීවිතයක්‌, උදාකොට ගැනීම උදෙසා ය. එවිට 'අසන්න, දරන්න, දහමෙහි හැසිරෙන්න' යන අර්ථය රැගත් සරල වූත් ගැඹුරු වූත් අකාලික වූත් ධර්ම පාඨය අප විසින් අගය කළ යුතු, ගෞරව කළ යුතු ධර්ම පාඨයකි.


මහාචාර්ය සමන් චන්ද්‍ර රණසිංහ
භාෂා හා සංස්‌කෘතික අධ්‍යයනාංශය,
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

පින්-පව්, නැවත උපත හා මරණින් පසු ජීවිතය පිළිබඳ වර්තමාන අත්දැකීම්


බුද්ධ ධර්මයට අනුව සියලුම සත්ත්වයෝ නිරන්තර වෙනස්‌කම්වලට හසුවෙමින් ඉපදීම හා මරණයත්, මරණින් පසු නැවත ඉපදීමත් උරුමකරගත් ස්‌ථිර ආත්මයක්‌ නැති, ඉන්ද්‍රියන් එකට එකතු වීමෙන් හටගන්නා ජීවය ඇති අය වෙති. මේ සත්ත්වයින්ගේ ස්‌වභාවය නිසි පරිදි විස්‌තර කොට නැවත ඉපදීම නොහොත් පුණර්භවය දුරු කිරීමේ මාර්ගය විස්‌තර කිරීම බුදුරජාණන් වහන්සේගේ ප්‍රධාන පරමාර්ථය විය. මෙහිදී උන්වහන්සේ විසින් වටහා ගෙන පැහැදිලි කරන ලද ප්‍රධාන කරුණු තුනක්‌ මූලික වශයෙන් හඳුනාගත හැකිය. එම කරුණු තුන නම්, පින් පව්, නැවත උපත හා මරණින් පසු ජීවිතය යි. මේ පිළිබඳ මූලික හා සරල අවබෝධයක්‌ ලබා ගැනීම ඉතාම වැදගත් වන්නේ බුද්ධ ධර්මයෙහි සඳහන් දාර්ශනික කරුණු හා වර්තමාන අත්දැකීම් පිළිබඳ හැදැරීමට එය අත්‍යවශ්‍යවන බැවිsනි.

පින් පව් පිළිබඳ විග්‍රහය

"පින්/ පුඤ්ඤ - සසර සැප විපාක ගෙන දෙන ක්‍රියා පින් නම්, පුඤ්ඤ කිරිය වත්ථු දහයක්‌ ධර්මයේ ඉගැන්වේ. දානය, ශීලය, භාවනාව, පින්දීම, පින් අනුමෝදන් වීම, වතාවත් කිරීම (වෙය්‍යාවච්ච), පිදිය යුත්තන් පිදීම, දම් දෙසීම, බණ ඇසීම, දෘෂ්ටිය සෘජු කිරීම (නිවැරදි දැකීම) යනු යි. පින යනු සැපයට නමක්‌ බව පෙළ දහමෙහි දැක්‌වේ". (පාඨශාලයීය සද්ධර්ම කෝෂය. 170 පි, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, 2002)

"පාප- දුගතිගාමී වීමට, දුක්‌ විපාක ගෙනදීමට, සැපයෙන් පහවීමට හේතුවන ක්‍රියා පාප නම් වේ. පුඤ්ඤ යන්නට ප්‍රතිපක්‍ෂ වූ ක්‍රියාය".

(පාඨශාලයීය සද්ධර්ම කෝෂය, 168 පි., අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, 2002)

නැවත උපත පිළිබඳ විග්‍රහය

පුනරුත්පත්තිය

පුනර් යනු නැවත යන අර්ථයයි. උත්පත්තිය යනු උපතයි. නැවත උපත යන්න මෙහි වචනාර්ථයි. මේ වචනය පෙළ දහමෙහි යෙදී නොමැති නමුත් සසර පිළිගන්නා බෞද්ධයෝ පුනරුත්පත්තිය යන වචනය භාවිත කිරීමට පුරුදු වී සිටිති. පුනර්භව යන්න නිවැරැදි වචනය ලෙස දැක්‌විය හැකිය. පුනරුත්පත්තිය යන්නෙහි දී ආත්ම ධර්මයක පැවැත්මක්‌ අපේක්‍ෂා කෙරෙන බැවිනි.

උපනිෂද් චින්තනය සසරක්‌ දකින අතර එහි ආත්මය නැවත නැවතත් ශරීරයකට සම්බන්ධ වනබව උගන්වන බැවින් පුනරුත්පත්තිය යන ව්‍යවහාරය එම චින්තනයට ගැළපෙන්නකි.

පුනර්භව

නැවත වීම යනු මෙහි වචනාර්ථ යි. පුනර්භව යන ව්‍යවහාරය ප්‍රතීත්‍ය සමුත් පන්න ධර්මතාවට ගැළපේ. පුද්ගලයකු මරණයට පත්වන අවස්‌ථාවේ ඇති වන චුති චිත්තයට අනුරූප ව ප්‍රතිසන්ධී විඥනය ඇතිවීමෙන් නැවත භවයකට පැමිණීම පුනර්භවයයි. මේ ක්‍රියාවලිය පැහැදිළිව දැක ගත හැකිවන්නේ චුතුපපාත ගුණයෙනි". (පාඨශාලයීය සද්ධර්ම කෝෂය, 171-172 පි., අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, 2002)

මරණින් පසු ජීවිතය පිළිබඳ විග්‍රහය

1. මා විසින් මෙසේ අසන ලදී. එක්‌ කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ, ෙ-තවන නම් අනේපිඬු සිටුහුගේ ආරමයෙහි වැඩවාසය කරනසේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ 'මහණෙනි' යි, භික්‍ෂූන්ට ආමන්ත්‍රණය කොට වදාළසේක. ඒ භික්‍ෂූහු 'පින්වතුන් වහන්සැයි' භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

2. මහණෙනි, යම්සේ දොරවල් සහිත ගෙවල් දෙකක්‌ වෙත්ද එහි ඇස්‌ ඇති පුරුෂයෙක්‌ මැද සිටියේ ගෙට ඇතුළු වන්නාවූද, ගෙයින් පිටවන්නාවූද, හැසිරෙන්නාවූද, ඔබමොබ යන්නාවූද, මිනිසුන් දකින්නේද, මහණෙනි ඒ පරිද්දෙන්ම මම චුත වන්නාවූද, උපදින්නාවූද, හීණ වූද, ප්‍රණීත වූද, යහපත් වර්ණ ඇත්තාවූද, අයහපත් වර්ණ ඇත්තා වූද, සුගතිවලට පැමිණියාවූද, දුගතිවලට පැමිණියා වූද, කර්මය වූ පරිදි පැමිණියා වූ සත්වයන් පිරිසිදු, මිනිස්‌ ඇස ඉක්‌ම පැවැත්තා වූ දිවැසින් දකිමි". 

(දේවදූත සූත්‍රය)

ඉහත සඳහන් උපුටා ගන්නා ලද විග්‍රහ ඇසුරෙන් පින්පව්, නැවත උපත හා මරණින් පසු ජීවිත පිළිබඳ මූලික අවබෝධය ඇතිකර ගැනීමට පුලුවන.

වර්තමාන අත්දැකීම් පිළිබඳ විග්‍රහය

වර්තමාන අත්දැකීම් ලෙස මෙහිදී අදහස්‌ කරනුයේ මෑත භාගයේ ලෝකයේ ජීවත් වූ සුවිශේෂ පුද්ගලයන් විසින් ඉහත සඳහන් කරන ලද කරුණු තුන පිළිබඳ ලබා ගත් පෞද්ගලික අත්දැකීම් සමූහයකි. එම පුද්ගලයන් තුළ දක්‌නට ලැබුණ සුවිශේෂ හැකියාවන් නිසා ඔවුන්ගේ අත්දැකීම් ද බොහෝ වැදගත් තොරතුරු ලෙස සැලකිය හැක. උදාහරණයක්‌ ලෙස පින් පිළිබඳ එඩ්ගා කේ. සී. විසින් ඉදිරිපත් කරන ලද ඇතැම් සංසිද්ධීන් බොහෝ සේ සාකච්ඡාවට ලක්‌ වෙයි. විසිවන සියවසේ ඇමරිකා එක්‌සත් ජනපදයේ විසූ එඩ්ගා කේ. සී. ස්‌වයං මෝහනයෙන් වෛද්‍ය ප්‍රතිකාර කළ අතිවිශේෂ පුද්ගලයෙකි. ඔහු තුළ තිබූ සුවිශේෂ ලක්‍ෂණය නම් භෞතික වෛද්‍ය ප්‍රතිකාර නියම කිරීමට අමතරව රෝගියාගේ අතීත ජන්ම පිළිබඳ විස්‌තරයක්‌ ද ඉදිරිපත් කිරීම යි. මේ නිසා බොහෝ සුව කළ නොහැකි රෝගවල නිධානය අපට නොපෙනෙන උපතක කිසියම් ක්‍රියාවක්‌ යෑයි පැහැදිලි කරගත හැකි විය. ඒ අතර පින් පලදීම නිසා උසස්‌ තත්ත්වයන්ට පත්වෙන බව ද ඔහු විසින් පන්වා දෙන ලදී. නිව්යෝර්ක්‌ නගරයේ විසූ නිරුපිකාවකගේ විස්‌තරය මෙහි දී ඉතා වැදගත් කොට සැලකිය හැක.

"මේ වනාහී නිය පොලිෂ්, අත් සේදීමේ දියර හා ස්‌වර්ණාභරණ විකුණන්නන් විසින් වෙළෙඳ දැන්වීම් සඳහා යොදා ගැනීමට මහත් උනන්දුවක්‌ දැක්‌වූ. ඉතාමත් ම අසාමාන්‍ය වූ ලස්‌සන අත් තිබුණු නිව්යෝර්ක්‌ නගරයේ විසූ නිරූපිකාවකගේ සිත් ඇදගන්නා සුලු සිද්ධිය යි. ඇගේ ලස්‌සනට හේතුවූ කර්මයට පදනම වැටුණේ. ඇය ඉංග්‍රීසි කන්‍යාරාමයක තාපසියක්‌ ලෙස ගත කළ මීට ප්‍රථම ආත්මභාවයේ දීය. අනික්‌ අය පහත් හා අප්‍රසන්න දේ ලෙස සලකනු ලැබූ කටයුතු තම අත්වලින්ම කරමින් ඇගේ ජීවිතය ගෙවා දැමුණි. අතිශය කැපවීමෙන්, පරාර්ථකාමී ව, සේවාවක්‌ ලෙස ඇය මෙම දේවල් කළ අතර, කෙසේ වුවද ඇගේ මෙම ආධ්‍යාත්මික කැපවීම කරණකොට ගෙන අසාමාන්‍ය රූසපුවක්‌ හා ලස්‌සන අත්යුගලක්‌ ඇයට උරුමවිය." 

වර්තමාන අත්දැකීම් ඇසුරෙන් පව හා පව්වල විපාක ලැබෙන ආකාරය විමසා බලන විට සෑම අයෙකුම බොහෝ සේ පවට බිය විය යුතු බව කිවයුතුය. පව්වල විපාක එතරම් ම බියකරු බව අප සිහියේ තබාගත යුතුය. මේ සම්බන්ධයෙන් මහාචාර්ය නන්දසේන රත්නපාල මහතා විසින් සිදුකරන ලද සමාජ විද්‍යාත්මක පර්යේෂණ අතිශයින් ම වැදගත්ය. එක්‌ අවස්‌ථාවක එතුමා ඌරු පැටවුන් හදා වඩා විකිනූ මිනිසකු පිළිබඳ අධ්‍යයනයක්‌ කළේය. මේ මිනිසා ඌරන් හැදූ අතර හෝටල්වල ඉතිරිවූ ආහාර රැගෙන විත් උන් පෝෂණය කළේය. එක්‌තරා ඊරියක ඔහු පසුපස නිතර යන්නට පුරුදු වූ අතර උගේ පැටවුන් ද ලොකු කර මරා මස්‌ විකුණු මුදල් වලින් තවත් ඌරු පැටවුන් මිලට ගෙන ඔහු ජයටම මේ ඌරන් මැරීමේ රැකියාව කරගෙන ගියේය. ඔහු ඌරන් මැරුවේ ගෝනියක දමා පොලුවලින් පහරදී තලාපෙලාය. ඒ සඳහා බල්ලන් දෙදෙනකු ද ඔහුට උදව් වූ අතර එම සතුන් මරණ විට උන්ගේ කෑ ගැසීම සැතපුමක්‌ දෙකක්‌ දුරට ඇසිණි.

"ඌරන් ඇතිකරන මිනිහා හදිසියේ ඔත්පල විය. තමාට කවුරුන්හෝ පොල්ලකින් පහර දෙන්නාක්‌ මෙන් දැනෙන බව හේ කීය. ඔහුට නිදාගත නොහැකි විය. නිදාගත් වහාම හේ අවදිවෙයි. මේ ඌරන් මාව කනවා මාව බේරා ගන්න යෑයි කෑගසයි. ඔහුට අසනීපය හැදුනාට පසු ගොවිපලේ ඌරන් නැතිවිය. ඒත් ඔහුට හීනෙන් ඌරන් පෙනේ.

දවසේ නැගිට සිටින වේලාවේත්, ඔහු ඌරන්ට බිය වී කෑගසයි. 'මෙන්න මේ ඌරෝ මාව ගෝනියක දාගෙන ගහනවා· යයි කියයි. 'මූ මට පිහියෙන් අනින්න යනවා· යෑයි ගෝරනාඩු දෙයි".

(මේ ජීවිතයේදීම පලදෙන කර්මය, 12 පි., ආරිය ප්‍රකාශකයෝ, 2011 මාර්තු)

"මාස කීපයක්‌ ම දුක්‌ වින්ද ඔහු අවසාන දින කීපය ඉතා උග්‍රවේදනාවෙන් කෑ ගැසුවේය. ඔහු මිය ගියේ මෙසේ බලවත් වේදනා විඳීමෙන් පසුවය. ඔහු නැගූ වේදනා හඬ ඌරන් නැගූ හඬට සමාන බව මිනිස්‌සු කීහ."

(මේ ජීවිතයේදීම පලදෙන කර්මය, 13 පී., ආරිය ප්‍රකාශකයෝ, 2011 මාර්තු)

කෙසේ වුවද කර්මය වනාහී මේ ආත්මභාවයේදීම පලදෙන එකක්‌ම නොවන බවත් එය බූමරංගයක්‌ මෙන් තමන් පසුපස එන බවත් වර්තමාන අත්දැකීම් ඇසුරින් බටහිර චින්තකයෝ පවා අවබෝධ කරගෙන සිටිති. මේ නිගමන සඳහා වඩාත් පැහැදිළි නිදසුන් ඉදිරිපත් කළ අයෙකු ලෙස එඩ්ගා කේසි නම් කළ හැකිය. ඔහුගේ ස්‌වයං මෝහන හැකියාවෙන් අසරණ ලෙඩුන් සිය ගණනකට සම්පූර්ණ සුවය ලැබුණා පමණක්‌ නොව තවත් දස දහස්‌ ගණනකට කර්මය පිළිබඳ යථාර්ථය අවබෝධ කරගැනීමට ඔහුගේ මෙම ජීවිත කියවීම් ඉවහල් විය. මේ පිළිබඳ ඉතාමත් ම සිත්ගන්නා සුලු නිදසුනක්‌ මෙසේය.

"මෙබඳු කර්මවලට නිදර්ශන රාශියක්‌ කේසිගේ වාර්තාවල තිබේ. එක්‌ උදාහරණයක්‌ නම්, "මනසේ හාස්‌කම්" නම් කේසි පිළිබඳ ගුවන් විදුලි වැඩසටහනක්‌ ශ්‍රවණය කළ සම්පූර්ණයෙන් ම අන්ධ ව උපන් විද්‍යාලයක මහාචාර්යවරයෙක්‌ය.

ඔහු කායික කියවීමක්‌ ඉල්ලා සිටි අතර, එහි උපදෙස්‌ මත ක්‍රියා කිරීමෙන් සෞඛ්‍ය තත්ත්වය හා ඇස්‌වල පෙනීම පැහැදිළිව ම වැඩිදියුණු විය. අස්‌ථිවේදී සැකසීම්, විද්යුත් ප්‍රතිකර්ම හා ආහාරයේ වෙනස්‌කම් ඊට ඉවහල් විය. මාස තුනක්‌ ඇතුළත ඔහුගේ වම් ඇසේ සියයට 10 ක පෙනීමක්‌ ඇති විය. එය අක්‍ෂි විශේෂඥයන් විසින් බලාපොරොත්තු තැබිය නොහැකියෑයි සලකන ලද එකකි. මහාචාර්යවරයාගේ ජීවිත කියවීම පෙර ජීවිත හතරක්‌ සඳහන් කොට තිබුණි. එකක්‌ ඇමෙරිකාවේ අභ්‍යන්තර යුද සමයේදීය. තව එකක්‌ කුරුස යුද්ධ කාලයේ ප්‍රංශයේය. අනෙක ක්‍රි.පූ. 1000 දී පර්සියාවේ වන අතර ඊළඟ එක අවසාන ගිලාබැසීමට පෙර අත්ලන්තික්‌ දූපතේය. ඔහුගේ වර්තමාන අන්ධභාවයට හේතු වූ ආධ්‍යාත්මික කර්ම ක්‍රියාව සිද්ධ කරන ලද්දේ පර්සියාවේදීය. සතුරන්ගේ ඇස්‌ රත්වූ යකඩවලින් අන්ධ කළ ම්ලේච්ඡ ගෝත්‍රයක සාමාජිකයකු වූ ඔහුගේ කාර්යය වූයේ ඇස්‌ අන්ධ කිරීමයි". (many mansions, p.50 - 51 Neville Spearman, 1983) කයින්, වචනයෙන් හා මනසින් කරන්නා වූ බලවත් අකුසල ක්‍රියා නිසා උත්තරීතර මිනිස්‌ ආත්මභාවයෙන් පිරිහී තිරිසන්, ප්‍රේත හෝ නිරය යන තැන්වල බොහෝ වර්තමාන මිනිසුන් උත්පත්තිය ලබන බව ඇතැම් භික්‍ෂුන් වහන්සේලා ලැබූ වර්තමාන අත්දැකීම්වලින් මනාව පැහැදිලි වේ. මේ ඒ සඳහා හොඳ උදාහරණයකි.

"එක මනුෂ්‍යයෙක්‌ ජීවත් වුණා බොහෝම ඈත දුරබැහැර ගම් ප්‍රදේශයක. සමාජයේ හොඳින් ජීවත්වන දරු මුණුපුරන් ඇති තාත්තා කෙනෙක්‌. මොහු මියයන විට අවුරුදු අනූවක්‌ විතර ඇති. මොහු බොහෝ හොඳින් ගමේ ජීවත් වුන කෙනෙක්‌. ගමේ පන්සලට උපකාර කළා, උදව් කළා. නමුත් මොහුගේ අවාසනාවට මොහු මියයැමට වසර තුනකට පෙරාතුව මේ පුද්ගලයා ගමේ පන්සල සමඟ කුමක්‌ හෝ හේතුවක්‌ නිසා අමනාප වෙනවා. හේතුව කුමක්‌ද කියන්න භික්‍ෂුව දන්නේ නැහැ. එදා පටන් මේ වයසක මනුෂ්‍යයා මොකද කරන්නේ හාමුදුරුවන්ට බනිනවා. පන්සලට බනිනවා. පුදුමාකාර වෛරයක්‌ ඇතිකර ගත්තා. මේ වෛරය, ඊර්ෂ්‍යාව නිසාම ඔහු සීලයෙන් පිරිහුණා. එක සිල්පදයක්‌ ගිලිහෙන කොට අනෙක්‌ සිල්පදත් ගිලිහෙන්න පටන් ගත්තා. මේ හේතුව නිසාම වයස අවුරුදු අනූවක්‌ වුණත් මොහු තුළ කාම සිතුවිලි ඇති වුණා. තමාගේ වැඩිහිටි බව නිසා තමාගේ දෙපතුළ ළඟ වැඳ වැටුණ කාන්තාවකගේ පවා අතින් අල්ලන්නට තරම් මොහු තුළ සිල්පදවල හීනභාවයක්‌ ඇතිවුණා. ඊර්ෂ්‍යාවෙන් දිවෙමින් සිටියදීම මොහු මිය යනවා. භික්‍ෂුව අරමුණු කර බලනවා උතුම් සමාධිය තුළ දී මොහු මරණින් පසු කොහේ නැවත උපත ලැබුවද කියලා. භික්‍ෂුවට දර්ශනය වෙන්නේ උතුම් සමාධිය තුළ දී කිඹුලෙකු ගේ කුසක්‌. ඒ කියන්නේ මොහු කිඹුල් බිත්තරයක එහෙම නැත්නම් කිඹුල් කුසක ප්‍රතිසන්ධිය ලබලා".

(මහරහතුන් වැඩිමග ඔස්‌සේ, අතහැරීම 3, 62-63 පි. චැනල් ලින්ක්‌ පුද්ගලික සමාගම, 2013 ජුනි).

ඉහත සඳහන් කරන ලද වර්තමාන අත්දැකීම්වලින් මනාව ප්‍රකට වනුයේ බුදුරජාණන් වහන්සේ විසින් මැනවින් දෙසන ලද කර්මයේ ස්‌වභාවය හා නැවත උපත පිළිබඳ යථාස්‌වරූපයයි. අප විසින් සෙච්තනිකව සිද්ධ කරනු ලබන සියලු කර්ම පින් හෝ පව් බවට පත්වෙන බව මෙම අත්දැකීම්වලින් පැහැදිලි වෙයි. එම කර්ම එසේ වන්නේ සිතේ ඇතිවන කුසල් මූලික හෝ අකුසල් මූලික සිතුවිලි නිසා බව බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක. කුසල් මූලික සිතුවිලි නම් පරිත්‍යාගය, මෛත්‍රිය හා ගුණවන්ත භාවය යි. අකුසල් මූලික සිතුවිලි නම් ඉහත සඳහන් කරන ලද කුසල් මූලික සිතුවිලිවලට ප්‍රතිවිරුද්ධ ලෝභය, තරහ හා නොදන්නාකමයි. මෙම සිතුවිලිවලට අනුව අප සිදුකරන ක්‍රියාවන් කර්ම බවට පත්වී පින් හෝ පව් ලෙස පලදෙන බවත්, ඒ අනුව ඊළඟ උපත සකස්‌වෙන බවත් වටහා ගැනීමට අපහසු නැත.

සත්ත්වයාගේ මරණින් පසු ජීවිතය, නැවත උපතත් සමඟම සකස්‌ වන්නක්‌ බව තේරුම් ගැනීම ඉහළ බුද්ධියක්‌ සහිත මනුෂ්‍යයන් වශයෙන් ඔබ අප සැමට වැදගත්වන බව තේරුම් ගත යුතුය. විශේෂයෙන්ම තමන් විසින් කරන ලද කුසල ක්‍රියා නිසා මරණින් පසු ජීවිතය වඩා උසස්‌ තත්ත්වයන්ට එනම් දිව්‍ය හෝ බ්‍රහ්ම ස්‌වභාවයන්ට පත්වේ. මෙබඳු තත්ත්වයන් පිළිබඳව තමන් ලත් අත්දැකීම් මැනවින් විස්‌තර කළ මහෝත්තමාවියක්‌ ලෙස විසිවන සියවසේ තායිලන්තයේ වැඩ විසූ සිල්මාතාවක්‌ වන කායිම් මාතාව හඳුන්වා දීමට පුලුවන. බුද්ධංගල භික්‌ඛු ආනන්ද හිමියන් විසින් පරිවර්තනය කරන ලද කායිම් මැණියන්ගේ චරිත කතාවට අනුව මෙතුමිය රහත් ඵලයට පත් වූ උත්තමාවියකි. ඇය එම තත්ත්වයට පත්වීමට පෙර අවුරුදු දහයක්‌ පමණ කාලයක්‌ සමාධි බලයෙන් විවිධ තලවල වෙසෙන භූත, ප්‍රේත, දේව හා බ්‍රහ්ම සත්ත්වයන් සමඟ අදහස්‌ හුවමාරු කර ගත්තාය. ඒ උත්තමාවියගේ ධ්‍යාන බලය පිළිබඳ විස්‌තරයක්‌ මෙසේය.

"සිල්මාතා කායිව්ගේ සමාධි භාවනාව වෙනත් උසස්‌ ලෝකෝත්තර දර්ශන පථයන්ට ද ඇයව සම්බන්ධ කොට හඳුන්වා දුණි. සමහර විටක ඇගේ විඥනය කයෙන් ගිලිහී ඉවතට යයි. එසේ ඉවතට යන ඇගේ විඥනය නා නා දිව්‍ය ලෝක සහ විවිධ වර්ගයේ බ්‍රහ්ම ලෝක ආදී තලයන්හි ගවේශනයක යෙදෙයි. ඇය දේව නමින් හඳුන්වන ඉතා සියුම් ව සකස්‌ වුණු විවිධ අද්භූත ජීවීන් හමුවීමට ද ගියාය.

මෙම දේව නමින් හඳුන්වන ජීව කොට්‌ඨාසය, දිව්‍යමය ආධිපත්‍යයක අතිශයෙන් සියුම් වූ පිරිසිදු තත්ත්වයකින් පෙර යහපත් කර්ම විපාක හේතුවෙන් වාසනාවන්තව ප්‍රීතියෙන් වෙසෙන ජීව කොටසකි. ඇය භූමාට දෙවිවරු හමුවූවාය. එනම් - ගස්‌වලට, වනාන්තර වලට, තරුවදුලුවලට අධිගෘහිත ආලෝකවත් දෙවිවරුය. මොවුන් පෘථිවි තලයට අතිශයින් ඇල්මෙන් සම්බන්ධ වූ ජීවීන් නිසා එසේ ඉපදී ඇත. මෙම දෙවිවරු සාමාන්‍ය මනුෂ්‍ය ඇසට නොපෙනුණ ද සිල්මාතා කායිව්ගේ දිවැසට ඔවුන් පැහැදිලි ව පෙනුණි. මෙම දේව කොට්‌ඨාසය හැම මොහොතකම ඉන්ද්‍රියන් පිනවමින් සතුටින් තෘප්තිමත් ව හැසිරෙන ජීව කොටසක්‌ ලෙසින් සිල්මාතා කායිව් දුටුවාය. මෙම අතිශය ප්‍රීතිමත් ස්‌ථාවරය ඔවුන් රැස්‌ කළ පින් හේතුවෙන් ලද තත්ත්වයන් ය. මොවුන් මිනිසුන් ව සිටිය දී බොහෝ පින් රැස්‌කර සිල්රැක, භාවනාකර එකතු කරගත් කුසල්වල විපාක හේතුවෙන් ලද දිව්‍ය ආත්මයන් ය. මේ දේවතාවන්ගේ පින් මහිමය කෙසේවුවත් එම දේවත්වයෙහි ම දිගින් දිගටම රැඳී සිටිමින් අලුතින් කර්ම රැස්‌ කිරීමට ඇති අවස්‌ථා අල්ප විය. දේවත්වයේ රැඳී සිටීමට පාදක වූ මූලික කුසල් විපාක තුනී වී අහෝසි වූ පසු, නැවත මනුෂ්‍ය ලෝකයේ උපත ලැබ කුසල් රැස්‌කර ගැනීමට අවස්‌ථාව ඇත." (සිල්මාතා කායිව්, 93 - 94 පී. සී/ස කරුණාරත්න සහ පුත්‍රයෝ සමාගම, 2011 ඔක්‌තෝම්බර්)

මරණින් පසු ජීවිතයේ අත්විඳීමට සිදුවන අකුසල විපාක එම කාලය තුළ කරනු ලබන කුසල් ක්‍රියාවලින් යම්තාක්‌ දුරකට හෝ වෙනස්‌ කළ හැකි බව මේ පිළිබඳ දක්‌නට ලැබෙන වර්තමාන අත්දැකීම්වලින් පැහැදිළි වේ. 

සමස්‌තයක්‌ වශයෙන් ගත් කල බහුතරයක්‌ මනුෂ්‍යයෝ තමන්ගේ වර්තමාන ජීවිතය වඩාත් සැපවත් බවට පත්කර ගැනීම සඳහා වෙහෙස වෙති. නමුත් මරණින් පසු තමන්ට උරුමවන ජීවිත ස්‌වභාවය මොනවගේ දැයි බොහෝවිට ඔවුහු කල්පනා නොකරති. විශේෂයෙන්ම බෞද්ධයන් ලෙස මේ ලෝකයේ උත්පත්තිය ලබා සසර හා කර්මය පිළිබඳ වැටහීමක්‌ ලබා ගැනීමට හැකියාව තිබෙන අය වුවත් මෙසේ පටු ආකල්ප වල ගැලෙමින් තමන්ගේ අනාගත ජීවිතය විනාශකර ගැනීම අතිශයින්ම ශෝක ජනකය, බොහෝ දෙනා මෙම ලෞකික ජීවිතය තුළ සැප සොයමින් මිරිඟුව පිටුපස දුවන මුවන් සේ වෙහෙසටපත් ව, අවසානයේ අපේක්‍ෂා භංගත්වයෙන් ම මරණයට පත් වන අතර නරක, ප්‍රේත, අසුර හෝ තිරිසන් අපායවල උත්පත්තිය ලබා ගනිති. මේ නිසා මෙම කෙටිකාලීන මනුෂ්‍ය ජීවිතය තුළ අසීමිත ලෙස අකුසල් සිද්ධ කරගෙන අවසානයේදී කල්ප ගණන් දුගතියේ දුක්‌ විඳිනවාද, නැතහොත් වැඩිපුර පින් රැස්‌කරගෙන මරණින් මතු ජීවිතය හැකිනම් ධර්මාවබෝධයෙන් කෙළවර කර ගන්නවාද, එසේත් නැත්නම් සුගතිගාමී වෙනවාද යන්න තීරණය ගත යුත්තේ තම තමන් විසිනි. සත්ත්ව ජීවිතවල යථා තත්ත්වය තේරුම් ගැනීමට මීට වඩා නිදසුන් අවශ්‍ය නොවන බව නිසැකවම පැවසිය හැකිය.

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය පූජ්‍ය නැදලගමුවේ ධම්මදින්න හිමි
කැලණිය විශ්වවිද්‍යාලය, නූතන භාෂා අංශය 

කඨින පිංකම ගැනයි මේ...

බුදු සමයේ ප්‍රකට පූජා විධි ද්වයකි. එය සාමිස හා ප්‍රතිපත්තිමය වශයෙන් සමන්විත වන අතර තදනුබද්ධ පුජාවිධි හා පින්කම් රාශියකි. පරම පූජාව ධර්මානුධර ප්‍රතිපත්ති වේ. මෙහිදි බෞද්ධ ආරාමික සංස්‌ථාවෙහි එක්‌ සුවිශේෂී ආගමික සංස්‌කාර විධියක්‌ වශයෙන් සැලකෙන කඨින පූජාව සාමිසයන් අතුරෙන් ප්‍රමුඛවේ. මෙය ගිහි,පැවිදි දෙපාර්ශවය අතර අෙන්‍යාන්‍ය සම්බන්ධතාව තහවුරු කෙරෙන සුවිශේෂී පින්කම් මාලාවක්‌ ලෙසින් බොදුනුවෝ සලකති.

එසේම, භික්‍ෂු භික්‍ෂු,, උපාසක-උපාසිකා යන සිව්වනක්‌ පිරිසේම සහභාගිත්වයෙන් යුතුව සිදු කෙරෙන විනය කර්මයක්‌ වන හෙයින් බෞද්ධ විනය සාහිත්‍යයෙහි සුවිශේෂී භූමිකාවක්‌ නිරූපණය කිරීමටද මෙය සමත් වන අතර අත්‍යඋදාරතර පින්කම ලෙසින් පිළිගැනෙන හෙයින් ශ්‍රද්ධාවන්ත ලෝකවාසි බෞද්ධයෝ වස්‌ හාරමාසය තුළ තුන් සරණමමායන හැඟීSsමෙන් තිසරණාලම්භන ප්‍රීතියෙන් ඔදවැඩිය සිත් ඇතිව ආගමික නැඹුරුතාවක්‌ ඇති කරගනිත්. අද්‍යතන කලයානුරූපව මේ පිළිබඳ නිවැරදි ප්‍රජානනය, චර්යාව බෞද්ධ පින්වතුන්ගේ ඓහලෝක හා පාර ලෝක උභයාර්ථ සාධනය සඳහාත් පරිඥාත ශ්‍රද්ධා බුද්ධි වර්ධනයටද හේතු වේ.

'කඨිනය' නමැති වදනින් ''දුක සේ ජීවත්වීම, දැඩිබව, තදබව, උසස්‌ කිරීම, ස්‌ථිර කිරීම යන විවිධ අරුත් ඇතිබව ශබ්ද කෝෂ තුළින් පෙනෙතත්, බුදු සමයේදී මෙම වාච්‍යර්ථර්ය සුභාවිත වන්නේ යථොක්‌ත අර්ථයන්ගෙන් සපුරා වෙනස්‌ වූ බෞද්ධ විනය කර්මයක්‌ පිළිබඳ හැඳින්වීම සඳහායි. කිසියම් උපසපන් භික්‍ෂුවක්‌ වස්‌සාන සමය එළඹුණු පසු ''ඉමස්‌මිං විහාරේ ඉමං තේමාසං වස්‌සං උපේමි. ඉධ වස්‌සං උපේමි.''(මේ වස්‌ තෙමසෙහි මේ ආරාමයේ වස්‌ එළඹෙමි.) යනුවෙන් අධිෂ්ඨාන කොට, කිසියම් නිශ්චිත වාසස්‌ථානයක්‌ සීමාවක්‌ වශයෙන් නියම කරගැනීමෙන් පසු එම වස්‌ තෙමස පුරා එළඹි සිහියෙන් යුතුව නියමිත පරිදි වස්‌ ආරක්‍ෂා කරමින් විනයානුකූලව කටයුතු කර, මහා පවාරණයෙන් වස්‌ පවාරණය සිදු කිරීමෙන් අනතුරුව එම භික්‍ෂුවට භුක්‌තිය තබා වස්‌ කාලය අවසන්ව එළඹෙන චීවර මාසයේදී දායකයන් විසින් පිරිනමනු ලබන චීවරය හෝ වස්‌ත්‍රය හැඳින්වීමට බුදු සමයේදී 'කඨිනය' යන වචනය භාවිතකර ඇත. 

කඨිනයේ සමාරම්භය-

විනය පිටකයට අයත් මහාවග්ග පාළියේ කඨිනක්‌ඛන්ධකයේ සඳහන් වන අන්දමට කඨිනයට සම්බන්ධ එක්‌තරා නිධාන කථාවක්‌ද ඇත. එයට අනුව, ආරණ්‍යක, පිණ්‌ඩපාතික, පාංසුකූලික හා තේචීවරික වත් ආරක්‍ෂා කරමින් වැඩ සිටි පාවා නුවර වැසි භික්‍ෂුන් තිස්‌නමක කණ්‌ඩායමක්‌ බුදුරදුන් බැහැදැකීමට දෙව්රම් වෙහෙරට වඩින අතරමගදී වස්‌ කාලය එළඹීම හේතුවෙන් එම භික්‍ෂු පිරිස සාකේත නුවර වස්‌ විසූහ. වස්‌ තුන් මාසය ඉක්‌ම ගිය පසු දෙව්රම් වෙහෙර කරා එළඹීමට නැවතත් ගමන් ඇරඹූ නමුත් අතරමගදී පතිත වූ අධික වර්ෂාව හේතුවෙන් උන්වහන්සේලාගේ සිවුරුපිරිකර ආදිය තෙත් වී මඩ තැවරී ඉමහත් අපහසුතාවකට පත්වූහ. බුදුරජාණන් වහන්සේ හමුවී මග තොරතුරු පිළිබඳ කතාකිරීමේදී මේ පිළිබඳ කරුණු දැනගත් බුදුරජාණන් වහන්සේ, භික්‍ෂුන් වහන්සේගේ පහසුව පිළිබඳ සලකා 

''අනුජානාමි භික්‌ඛවේ, වස්‌සං වුත්ථානං භිකඛුනං කඨිනං අත්ථරිතුං''

(මහණෙනි, වස්‌ විසූ භික්‍ෂුන් හට කඨිනය ඇතිරීමට අනුදැන වදාරමි.) යනුවෙන් අනුදත්හ.

තදනන්තරව කඨිනය ඇතිරිය යුතු කාලයක්‌ද බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළහ. ඒ අනුව වස්‌සාන සෘතුවේ අවසාන මාසය හෙවත් වප් මස අවපෑලවියේ පටන් ඉල්මස පුර පසළොස්‌වක දක්‌වා ඇති මසක කාලය තුළ" කඨිනFථාර විනය කර්මය සිදුකළ හැකි අතර කඨිනය අතුළ දිනයේ පටන් හේමන්ත සෘතුවේ අවසාන දිනය දක්‌වා වන කාලයේදී කඨිනය අතුළ භික්‍ෂුවට පෙර කියන ලද පඤ්චානිසංසයන් ලැබෙන බවද විනයේ සඳහන් වේ. 

කඨිනය සිදුකරන ක්‍රමවේදය-

මුලින් සඳහන් කරන ලද සුදුසුකම් මැනවින් සපුරන ලද භික්‍ෂු සංඝයා උදෙසා ගිහි හෝ පැවිදි හෝ කිසියම් සැදැහැවතෙකු විසින් ''ඉමං කඨින චීවරං/දුස්‌සං සංඝස්‌ස දේම.'' යන කර්මවාක්‍යය කියා සඟසතු කොට පිදූ පසු මහසඟන එම කඨින චීවරය රැගෙන පොහොය සීමාවට රැස්‌ව එම කඨින චීවරය හෝ වස්‌ත්‍රය දීමට සුදුසු භික්‍ෂුවක්‌ තෝරා ''සුණාතු මේ භන්තෙ සංඝෝ, ඉදං සංඝස්‌ස කඨිනදුස්‌සං උප්පන්නං, යදි සංඝස්‌ස පත්තකල්ලං, සංඝො ඉමං කඨින දුස්‌සං (තිස්‌සස්‌ස) භික්‌ඛුනෝ දෙද්‍යය කඨිනං අථෙරිතුං, එසා ඤත්ති.'' යනාදී වශයෙන් නියමිත කර්මවාක්‍යයන් පැවසීමෙන් පසු කඨින වස්‌ත්‍රය සුදුසු පරිදි අඳනයක්‌ හෝ සිවුරක්‌ වශයෙන් එදිනම සකසාගෙන පඬුපොවා කප් බින්දු තබා එම භික්‍ෂුවට ලබා දිය යුතුය.

කඨින වස්‌ත්‍රය නිශ්චිත නිමාවක්‌ නොමැත්තක්‌ නම්, එය සේදීම, නූල් ගසා කඩ වෙන් කිරීම, කැපීම, බොරු නූල් දමා කඩ එකතු කිරීම, මැසීම, පඬු පෙවීම, කප් බින්දු තැබීම යනුවෙන් සිදුකළ යුතු පූර්වකෘත්‍ය හතක්‌ පිළිබඳවද, කඨිනයක්‌ වශයෙන් පිරිනැමිය හැකි වස්‌ත්‍ර තුනක්‌ පිළිබඳවද විනයෙහි සඳහන් වේ. එය මෙසේය.

1.සුදුපැහැති, වර්ණ ගැන්විය හැකි අලූත් වස්‌ත්‍රයක්‌ දීම.

2. සුදුසු පරිදි වර්ණ ගන්වන ලද අලුත් දෙපට හෝ තනිපට සිවුරක්‌ දීම.

3.සුදුසු පරිදි වර්ණ ගන්වන ලද අලුත් අඳනයක්‌ දීම.

යනුවෙනි. එබඳු කඨිනයක්‌ ලද භික්‍ෂුව ඊට නියමිත විනය පිළිවෙත් නිමවා ''ඉමිනා චීවරෙන කඨිනං අFථරාමි'' (මේ සිවුරෙන් කඨිනය අතුරමි.) යනුවෙන් භික්‍ෂුවක්‌ ඉදිරියේ ප්‍රකාශ කළ යුතුය. තදනන්තරව, වස්‌ තෙමස තුළ වස්‌ ශික්‍ෂා පදය ආරක්‍ෂා කරමින් එකට වැස, වස්‌ පවාරණය කරන ලද අනෙකුත් භික්‍ෂූන්ටද පින් අනුමෝදන් කළ යුතුය. එසේම කඨින චීවර පූජාවක්‌ සිදුකරන අවස්‌ථාවකදී සැදැහැවත් දායකයෝ අවශේෂ පූජා පරිස්‌කාදිය ද පුදති. ඒවා 'කඨිනානිසංස්‌ පරික්‌ඛාර නම් වේ.

කඨිනලාභී භික්‍ෂුවට ලැබෙන වරප්‍රසාද-

යථොක්‌තාකාරයෙන් කඨිනයක්‌ ලද භික්‍ෂුවට වස්‌ විසූ සෙසු භික්‍ෂුන්ට වඩා වැඩි වරප්‍රසාද හෙවත් ආනිසංස පහක්‌ ලැබෙන අතර සාමාන්‍ය භික්‍ෂු ජීවිතයේදී භික්‍ෂුවක විසින් නොකළයුතු යෑයි සම්මත යම් යම් කරුණු කඨිනලාභී භික්‍ෂුවට කඨිනයෙන් පස්‌ මසක්‌ ගතවන තුරු සිදු කිරීමටද අවසර ලැබේ. එම ආනිසංස පහ මෙසේය.

1. අසමාදානචාර - තුන් සිවුර තමා ළඟ නොතිබුණද නිසඟිපචිති සිදු නොවීම. 

2. අනාත්මචාර - විහාරස්‌ථ අනෙක්‌ භික්‍ෂුවකට නොදන්වා දායක කුලවල ඇවිදිය හැකිය.

3. ගණභෝජන - දානයක්‌ වශයෙන් නොව, මිත්‍රත්වයෙන් කළ ඇරයුමකටසතරනමක්‌ හෝ ඊට වැඩි ගණනක්‌ සමඟ ගොස්‌ වැළඳිය හැකිය.

4. යාවදFථචිවර - තුන්සිවුරට අතිරේකව ලැබෙන සිවුරක්‌ හේමන්ත සෘතුව අවසන් වන තෙක්‌ නිසඟි නොවී තබාගත හැකිය.

5. චීවරුප්පාද - හේමන්ත සෘතුව අවසන් වනතුරු විහාරස්‌ථානයට ලැබෙනතාක්‌ සිවුරු පිරිකරාදිය ලබා ගත හැකිය. යනුවෙනි.

එහෙත් මෙම වරප්‍රසාද පහ, කඨිනාස්‌තරනය අවලංගුවීමට බලපාන කරුණුවලින් එකකට හෝ පත්වීම හේතුවෙන් අහිමි විය හැකිය. එබදු කරුණු අටකි. 

1. පක්‌කමන්තිකා - කඨින චීවරය රැගෙන නැවත නොඑන පරිදි විහාරස්‌ථානයෙන් පිටවී යැම.

2. නිට්‌ඨානන්තිකා - කඨිනවස්‌ත්‍රය රැගෙන වෙනත් තැනකදී සිවුර නිමකොට නැවත විහාරස්‌ථානයට නොයන බව සිතීම. 

3. සන්නිට්‌ඨානන්තිකා - කඨිනවස්‌ත්‍රය රැගෙන වෙනත් තැනකට ගොස්‌ ඉන් සිවුරක්‌ නොකරන බවත් ආපසු විහාරස්‌ථානයට නොයන බවත් සිතීම.

4. නාසනන්තිකා - විහාරස්‌ථානයෙන් බැහැරව සිවුර මසාගනිද්" එය විනාශ වී යාම. 

5. සවනන්තිකා - ආපසු විහාරස්‌ථානයට පැමිණෙන්නට සිතා විහාරස්‌ථානයෙන් 

බැහැර ගොස්‌ සිවුර කරවූ භික්‍ෂුව සිය කඨිනබලය සංඝ සම්මුතියෙන් අවසන් කළබව ඇසීම.

6. ආසවච්ඡේදිකා - කඨිනයෙන් සිවුරක්‌ ලද හැකිය යන ආශාවෙන් වෙහෙරකට ගොස්‌ වස්‌ වැස, ඉන් සිවුරක්‌ නොලැබෙන බව දැන එම ආශාව ඉවත් කර ගැනීම. 

7. සීමාතික්‌කන්තිකා - ආපසු එන්නට සිතා විහාරස්‌ථානයෙන් බැහැරට ගොස්‌ සිවුර පිළියෙල කරගෙන එන අතරමගදී හේමන්ත සෘතුව අවසන් වීම.

8. සහුබ්භාරා - ආපසු විහාරස්‌ථානයට එන්නට සිතා කඨින චීවරය පිළියෙල කරගෙන විහාරස්‌ථානයට පැමිණි පසු එහිදී සෙසු භික්‍ෂුන් සමඟ සිටියදී පස්‌මස අවසන්ව කඨින බලය අවසන් වීම යනු එම කරුණු අටයි. 

කඨින වස්‌ත්‍රයක්‌ දැරීමට සපිරිය යුතු සුදුසුකම් අටක්‌ පිළිබඳව පරිවාර පාළියේ සඳහන් වේ. පුබ්බකරණය දැනීම, පච්චුද්ධාරය දැරීම, අධිට්‌ඨානය දැනීම, මාතිකාව දැනීම, පළිබෝධය දැනීම, උද්ධාරය දැනීම, ආනිසංසය දැනීම යනු එම කරුණු අටයි. 

ආවාස පළිබෝධය හා චීවර පළිබෝධය වශයෙන් කඨිනයට අදාළ පළිබොධ දෙකක්‌ද වේ. ආවාස පළිබෝධය යනු කඨිනය ඇතිරූ විහාරස්‌ථානයේම වාසය කළ යුතු බව හා එයින් බැහැරට ගියද නැවත ඒමේ බලාපොරොත්තු ඇති බවයි. චීවර පළිබෝධය යනු භික්‍ෂුවගේ චීවරය නොකළ බව හෝ නොනිමි බව හෝ සිවුරක්‌ ලබා ගැනීමේ බලාපොරොත්තු ඇති බවයි. 

කඨිනානිසංස -

'කඨිනය' යනු ඉමහත් ආනිසංසදායක පින්කමකි. එසේම සෙසු ආගමික පුදසිරිත් සමඟ සැසඳීමේදී ඉමහත් ජනාදරයටද පත් සැලකීමෙන් සිදු කෙරෙන ආමික උත්සව ශ්‍රීයෙන් සෝභමාන පින්කමකි. 'කඨින' යන නාමමාත්‍රයෙන්ම එහි ඇති විපුලතාවත්a ස්‌ථාවරත්වයත් ප්‍රකට වේ. ''කඨිනවFථං නාම බුද්ධප්පසFථං'' යන ප්‍රකාශයෙන්ද එහි ස්‌වභාවය ප්‍රකට කෙරේ. මෙය භික්‍ෂූන්ට හා දායකයන්ට වෙන් වෙන් වශයෙන් ආනිසංස ලබාදෙන්නකි. ''කඨිනට්‌ඨ පරික්‌ඛාරං,,'' යනාදී වශයෙන් ශාසන ඉතිහාසයේ සඳහන් වන අටමහා කුසල්වලද ප්‍රමුඛතාවෙහිලා සැලකෙනුයේද මෙම පින්කමයි. 

මේ අනුව, කඨිනය යනු එදා මෙදාතුර ගිහි පැවිදි සැමගේ සහභාගිත්වයෙන් යුතුව වසරක්‌ පාසා එක්‌ වර බැගින් සිදුකෙරෙන උතුම් පින්කමක්‌ වන අතර භික්‍ෂු භික්‍ෂුණී දෙපිරිසටම එකසේ බලපාන වැදගත් විනය කර්මයකි. බෞද්ධ ආරාමික සංස්‌ථාවෙහි ඇතුළත් වන වැදගත් විනය කර්මයක්‌ වශයෙන් කඨිනය වදගත් බව පසක්‌ වේ. එසේම දායක කාරකාදීන්ට සිව්පසින් (සිවරු,දානය,ආරාම,බෙහෙත්) උපස්‌ථාන කරමින් සසුන් පින් කෙතේ සැදැහැ බිජු වපුරා අස්‌වැන්න නෙලනු වස්‌ සුදුසුම කාලයද වස්‌කාලයයි. බණ භාවනා ප්‍රගුණ කරමින් සව් දුක්‌ නැසීමට වෙහෙසිය යුතු භික්‍ෂුව ප්‍රත්‍යඋපකාර වශයෙන් ගෘහස්‌ථන්ට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කිරීම යෝග්‍යවේ. විහාරවාසි ස්‌වාමින් වහන්සේලා සතර පේරුවේ ගෘහස්‌ථයන් යන උභය පක්‍ෂයටම පරම නිෂ්ටාවට ප්‍රවේශ වීමට වස්‌සාන කාලය තරම් එකසේ මහෝපකාරීවන කාලයක්‌ නොමැති තරම්ය.

වර්තමානය වන විට කඨින පින්කමට අතැම් විවිධාංගයන් එක්‌ වීමෙන් අනුචිත නානා විප්‍රකාර නවතාවන්ටද ලක්‌ වී ඇති නමුත්, කඨින දුස්‌ස පූජා, පෙරහැර, කප්රුක ආදි සංසිද්ධි සම්බන්ධයෙන් බෞද්ධ ජනතාවගේ සිත්වල ඇත්තේ අපරිමිත ගෞරව විශ්වාසයකිs. ශ්‍රද්ධාධ්‍යාශයකි. කඨින පුණ්‍ය මහොත්සව සාසන චිරස්‌තිථියට හේතුවන විනයානුකූල ක්‍රමවේදයකින් සකස්‌ වූවක්‌ බැවින් ලාංකේය ජන විඤ්ඤාණයට ප්‍රජානනය කරවීම අවශ්‍යතාවකි. වත්මන් බාල, තරුණ, මහළු බහුතරයක්‌ චීවරයක්‌ සකස්‌ කරගැනීමේ ක්‍රමෝපායයන් දැක, දැන, කළ පුරුදු ඇත්තෝ නොවෙති. එබැවින් දුරාතීතයේ මෙන් නූතනයටද සාධාරණ වන ප`ඩු පෙවීම් ආදි පෞරාණික විධික්‍රම භාවිතය අත් නොහළ යුතුබවත්, චීවර මාසයේ කඨින විනය කර්මය වඩාත් අර්ථවත් විය යුතු බවත් අවධාරණය කරමින් තත් කාර්යයේ උත්සහවත් වීම බෞද්ධ සමාජයේම අද දවසේ කාර්ය භාරයයි.

ගිහි පැවිදි සබඳතාව තීව්‍රකරවන කඨින පින්කම ගම පන්සල ඒකාත්මික කරවන විස්‌මිත පින්කමක්‌ ලෙස සැලකීමට පුලුවනි. එබැවින්ම කඨින පුෙණ්‍යාත්සවය ආදී බෞද්ධ සංස්‌කෘතික බද්ධ ආගමික උරුමය කියාපාන්නකි. විහාස්‌ථාන කේන්ද්‍රගතවීම සංවිධනශීලීත්වයද මෙයින් විද්‍යමාන වන වැදගත් සංලක්‍ෂණයකි. මෙම පූජෝත්සව සමයේ සිරිලක එදා මෙන් වැවත් දාගැබත් දිස්‌වෙන, නිල් ගොයමින් පීදෙන ගමත් රටත් යා කෙරෙන, කාසාය වතින් සුදිලෙන පන්සල් ඇති යම් පින් බිමක්‌ වේද එය දහම් දීපයක්‌ කරවීමට හැකි බවම කියාපන්නේ නොවේද? එසේනම් අද මෙන් හෙටත් මේ සබැඳියාවන් ගසට පොත්ත මෙන් අනොන්‍ය පූතිබද්ධ විය යුතු හෙයින්ම නිතර දෙසන අසන බණ පහන් මනසින් දැන ප්‍රායෝගික කිරීමට මේ යෝග්‍යම කාලයයි. කඨින පින්කම් මාලාව එයට කදිම උපයෝගිතාවයකි.

රජකීය පණ්‌ඩිත,ශාස්‌ත්‍රපති 
පූජ්‍ය වැහිගල සාරද හිමි

“භාග්‍යවතුන් වහන්ස මම ජනවසභ වෙමි, සුගතයන් වහන්ස මම ජනවසභ වෙමි”

නමෝ තස්ස භගවතෝ අරහතෝ, සබ්බ ධම්මේහි අප්පටිහත ඥානචාරස්ස, දස බල ධරස්ස, චතු වේසාරජ්ජ විසාරදස්ස, සබ්බ සත්තුත්තමස්ස, ධම්මිස්සරස්ස, ධම්ම රාජස්ස, ධම්මස්සාමිස්ස, තථාගතස්ස, සබ්බඤ්ඤුණෝ සම්මා සම්බුද්ධස්ස.!..!!..!!!  
බලන්නන් ඇසට, අසන්නන් කනට, කියන්නන් වදනට, සිතන්නන් සිතට, වඳින්නන් වැඳුමට, පතන්නන් පැතුමට, පුදන්නන් පිදුමට තමන් හා සම, තමනට වැඩි අන් කිසිවෙක් දෙවියන් සහිත බඹුන් සහිත ශක්‍රයන් සහිත මරුන් සහිත මිනිසුන් සහිත කෝටි ලක්ෂයක් සක්වලෙහි එකදු සත්ත්වයෙක් නොමැති බව අසිරිමත් බුදු ඇසින්ම පසක් ව දැනගත්, දානාදී සමතිස් පාරමී බලයෙන් තමන් උදෙසාම පිහිටි වජ්‍රාසන මත හිඳ පස් මරුන් පරදා ලත් සව්නැණ සහිත සම්මා සම්බෝධියෙන් අනන්ත අප්‍රමාණ ලෝ ධාතූන්හි අනන්ත අප්‍රමාණ වූ  සකලවිධ සත්ත්වයන්ගේ සියලු සිත් සියලු සිතුවිලි සිය නුවණෙහිම වැටෙන, ඔබේත් මගෙත් ශාස්තෘ වූ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත පැහැද අසිරිමත් වූ බුද්ධානුභාවය මොනවට පසක් වන මේ දහම් කථා අසමු, දරමු, සිහිකරමු, වඩමු.
සුන්දර වූ අමා ගීයක් බඳු “බුත්සරණ” ලියූ, පින්වත් විද්‍යාචක්‍රවර්තීන් වදනින් උදව් ගෙන කියන්නේ- දොර දොර නැගී සඳක් සේ, හැම සතුන් තමතමා ජීවිතයක් සේ, නොහැකිල පිපිවනින් සිටිනා රන් පියුමක් සේ, කර රස (ලවණ රස) නැතිව අමා රසගත් මහ මුහුදක් සේ, හැම කල්හිම අඩු නොවී සිටිනා පුන් සඳක් සේ, පණු පිලවුන් නොවන මී වදයක් සේ, හෙණ බිය නොදෙන මහා මේඝවලාවක් සේ, නොමිරිකී තිබෙන යෞවනයක් සේ, මරණයෙන් නොමැකෙන ජීවිතයක් සේ, දුගීන් අත්පත් මහා නිධානයක් සේ, මහසාගතයෙහි ලද අනගි රස බොජුනක් සේ, මහ සයුරෙහි නැව් බිඳුණු කල දුටු මහ දිවයිනක් සේ, අන්ධකාර වූ කල්පාරම්භයෙහි දුටු ලහිරුමඩලක් සේ, මහ ලෙඩෙහි ලද දිව ඔසුවක්‌ සේ, දුකෙහි ලද පිටිවහලක් සේ, මරු කතරෙහි දුටු මහ විලක් සේ, මුළුතුන් ලොවට වෙසෙසින් හිමි, මුළු තුන් ලොව අමුතුවෙන් දුටු, මුළු තුන් ලොවට නිවීම දුන් මිහිරි වූ සම්මා සම්බුදුරජුන් සරණ යමි යි පහන් සිත් සිතා දෙලොව වැඩ සලසාගත යුතු.
භාග්‍යවතුන් වහන්සේ එක් කලෙක නාදික (ඥාතිකා) නම් ගමෙහි ගෙඩිගෙහි (ගිඤ්ජකාවස්ථ නම් විහාරයෙහි / ගඩොළු ගෙහි) වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ඥාතිකා ගම සමීපයෙහි වූ, අවට  වූ කාසි, කෝසල, වජ්ජි, මල්ල, චෙතිය, වංස, කුරු, පංචාල, මච්ජ, සූරසෙන ජනපදයන්හි සමීප අතීත කාලයෙහි මියගිය උපාසක උපාසිකාවන්ගේ  නැවත උත්පත්තිය පිළිබඳව ප්‍රකාශ කරන සේක. තවද, ඥාතිකා ගමෙහි විසූ මෑතකදී මියගිය, පංච ඕරම්භාගිය සංයෝජනයන් නැසූ (අනාගාමී ඵලයට පත්ව සිටි) පනහකට වැඩි උවසු උවැසියන් නැවත කාම ලෝකයට එන ස්වභාව නැතිව, සුද්ධාවාස බ්‍රහ්ම තලයන්හි ඉපිද, එහිම පිරිනිවන්පාන ස්වභාව ඇති වූහ, තවද, ඥාතිකා ගමෙහි විසූ මෑතකදී මියගිය සංයෝජන තුනක් නැසීමෙන්ද රාග ද්වේශ මෝහයන් තුනී වීමෙන්ද (සකෘදාගාමී ඵලයට පත්ව) නැවත එක් වරක් පමණක් මෙලොවට එන ස්වභාව ඇති වූ, අනූවකට වැඩි උවසු උවැසියන් වූහ.  තවද, ඥාතිකා ගමෙහි විසූ මෑතකදී මියගිය සංයෝජන තුනක් නැසීමෙන් (සෝවාන් ඵලයට පත්ව) අපායට නොවැටෙනසුලු, රහත් බව පිහිටකොට ගත්, රහත් බවට නියත වූ, පන්සියයකට වැඩි උවසු උවැසියන් වූහ යි, අසිරිමත් බුදු ඇසින් දැක පවසා වදාළ සේක.
මෙසේ තිලෝගුරු භාග්‍යවතුන් වහන්සේ කාසි, කෝසල, වජ්ජි, මල්ල, චෙතිය, වංස, කුරු, පංචාල, මච්ජ, සූරසෙන ජනපදයන්හි සමීපඅතීතයෙහි යෙහි මියගිය උවසු උවැසියන් පිළිබඳව අසවල් තැනැත්තේ අසවල් තැන උපන්නේය, අසවල් තැනැත්තේ අසවල් තැන උපන්නේය, යනුවෙන් දේශනා කරනු ඇසීමෙන්ද, ඥාතිකා ගමෙහි මෑතකදී මියගිය මගඵල ලද උවසු උවැසියන් ගේ සුගතිය පිළිබඳව ඇසීමන්ද ඥාතිකා  ගම්වැසි උපාසක උපාසිකාවන් භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රශ්න විසඳීම් අසා භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි සිත්ගන්නා ලද්දේ, සතුටු වූවාහු, හටගත් ප්‍රීතිය සොම්නස ඇත්තාහු විය.
එකල්හි මහෝත්තම වූ අග්‍ර උපස්ථායක වූ ආනන්ද ස්වාමීන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේගේ මෙම ප්‍රශ්න විසඳීම අසා ඥාතිකා ගම වැසියන් සතුටු වූ බව ආරාධිත සිත් ඇතිබව දැන, ප්‍රීති සොම්නස් ඇති බව දැන මෙසේ සිත් පහල විය.
“මගධ” රාජ්‍යයෙහිද මෑතකදී ජීවත්ව සිට මියගිය චිරරාත්‍රඥ වූ බොහෝ උවසු උවැසියන් සිටියහ. අංග මගධ දෙරටෙහි (අංග දේශයද මගධ රාජ්‍ය විසින් අත්පත් කරගන්නා ලදුව එක් රාජ්‍යයක් ලෙසින් පාලනය විය) වසනලද ආර්ය ශ්‍රාවක වූ උපාසක උපාසිකාවන්ගෙන් තොර වූ බවක් අන්‍යයන්ට සිතෙන්නට පිළිවන. නමුත්, අංග මගධ දෙරටෙහි වැසියෝ බුදුන් කෙරෙහි පැහැදුනාහු, ධර්මය කෙරෙහි පැහැදුනාහු, සංඝයා කෙරෙහි පැහැදුනාහු, ශීලය පුරන ලද්දාහු වෙති. මෑතකදී මියගිය එම දෙරට වැසියන් පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ මෙතෙක් හෙළි නොකරන ලද්දාහුය. ඔවුන්ගේද උත්පත්තිය හෙළි කරනු මනාය. ඉන් බොහෝ දෙනා පහදිනු ඇත. එයින් සුගතියට යනු ඇත. මගධාධිපති “බිම්බිසාර” රජුද ධාර්මික වූද, ධර්මයෙන් රාජ්‍ය පාලනය කරන ලද්දේද, ශ්‍රමණ බ්‍රාහ්මණයන්ටත්, ගෘහපතීන්ටත්, ගම් නියම්ගම් ජනපද වාසීන්ටත් හිතකාමී විය. වැසියෝද, “දැහැමි වූ, දැහැමින් රජ කල ඔහුගේ රටෙහි අප සුවපත්ව විසූහ” යි බිම්බිසාර රජුගේ ගුණ වර්ණනා කරති. ඒ රජද, බුදුන් කෙරෙහි පහන්, ධර්මය කෙරෙහි පහන්, සංඝයා කෙරෙහි පහන් වූවාහු, සිල් පුරනසුලු ද විය. “මියයන තෙක්ම ඒ රජු භාග්‍යවතුන් වහන්සේගේ ගුණ කියනසුලු විය” යි ද වැසියෝ කියන්නාහුය. ඔහුද මෑතකදී කලුරිය කලේ, ඔහුගේ උත්පත්තියද භාග්‍යවතුන් වහන්සේ මෙතෙක් හෙළිනොකරන ලද්දේය. ඔහුගේද උත්පත්තිය හෙළි කරනු මනාය. බොහෝ දෙනා පහදිනු ඇත. එයින් සුගතියට යනු ඇත. භාග්‍යවතුන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වයද සිදු වූයේ මගධ රටෙහිමය. එසේ හෙයින් මගධයෙහි සමීප අතීතයෙහි මියගිය උපාසක උපාසිකාවන්ගේ උත්පත්තීන් හෙළි නොකිරීමට කවර කරුණුද? එසේ භාග්‍යවතුන් වහන්සේ මගධයෙහි උවසු උවසියන්ගේ උත්පත්ති හෙළි නොකරන කල ඔවුන් බලාපොරොත්තු සහිත වූ බැගෑපත් සිත් ඇතිවන්නාහුය. එනිසා භාග්‍යවතුන් වහන්සේ මගධයෙහි සමීප අතීතයෙහි මියගිය උවසු උවසියන්ගේ උත්පත්ති හෙළි කරනු සුදුසය” යනුවෙනි.
මෙසේ නැවත නැවත සිතූ, කාරුණික සිත් ඇති මහෝත්තම වූ ආනන්ද ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක හිඳ මේ පිළිබඳව භාග්‍යවතුන් වහන්සේට සැලකළ සේක. මගධ රට උවසු උවැසියන් ගේද, බිම්බිසාර රජුගේද උත්පත්තිය හෙළි කරන ලෙස ඇයද සිටියහ.මෙසේ ආනන්ද ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වෙත සිය අයදුම දක්වා, හුනස්නෙන් නැගිට, භාග්‍යවතුන් වහන්සේ වැඳ, භාග්‍යවතුන් වහන්සේ ප්‍රදක්ෂිණා කොට නික්ම ගියහ.
භාග්‍යවතුන් වහන්සේ, ආනන්ද තෙරුන් නික්ම ගොස් මද වෙලාවකින්, පෙරවරුවෙහි, හැඳ පෙරෙව, පාසිවුරු ගෙන ඥාතික ගමට පිණ්ඩපාතයෙහි වැඩි සේක. පිඬු පිණිස ඥාතික ග්‍රාමයෙහි හැසිර, පසුබත්වෙලෙහි පා ගමනින් පෙරළා වැඩමකොට පාසෝදා ගඩොලුගෙට වැඩ, මගධ රට උවසු උවැසියන් අරභයා කරුණු සලකා මෙනෙහිකොට සියලු කරුණු සිතින් එක්කොට, ඒ උවසු උවැසියන් කිනම් ඥානගතියක් ඇත්තාහුද, යම්බඳු පරලොව ගතියක් ඇත්තාහුද, යි දැනගනිමියි සිතා පනවන ලද අසුනෙහි වැඩ හුන් සේක. භාග්‍යවතුන් වහන්සේ එහි මගධ රට ඒ ඒ උවසු උවැසියන් යම් ඥානගතියක් ඇත්තාහුද, යම් පරලොව ගතියක් ඇත්තාහුද (කිනම් උපතක්) ඒ සියලු දෙන දුටු සේක.
එයින් පසු සවස් වේලෙහි සමවතින් නැගී සිටි සේක්, භාග්‍යවතුන් වහන්සේ ගඩොළු ගෙයින් නික්ම විහාරය ඉදිරිපස සෙවණෙහි පනවන ලද අසුනෙහි වැඩහුන් සේක.එවිට ආනන්ද තෙරුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වෙත් එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ආනන්ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ අමතා මෙසේ වදාළහ.
“වහන්ස, භාග්‍යවතුන් වහන්සේ උපශාන්ත වූ දැකුම් ඇති සේක. ඔබවහන්සේගේ ඉඳුරන් විශේෂයෙන් ප්‍රසන්නව මුව වර්ණය බබළන්නේය. වහන්ස, අද භාග්‍යවතුන් වහන්සේ ශාන්ත විහරණයෙන් යුක්ත වූ බව හැඟෙයි”
එවිට තථාගත සම්මාසම්බුදු වූ භාග්‍යවතුන්වහන්සේ වදාරන සේක්,
“ආනන්දයෙනි, යම් විටෙක තෙපි මගධ රට උපාසක උපාසිකාවන් අරභයා වර්ණනා කථා කොට හුනස්නෙන් නැගී නික්මුණාහුද, එවිට මම ඥාතික ගම පිඬු පිණිස හැසිර පසුබත පිණ්ඩපාතයෙන් (ආහාර වැළඳීමෙන් පසු) පෙරළා පැමිණ, පා දොවා, ගඩොළු ගෙට විත් මගධ රට උවසු උවැසියන් අරභයා කරුණු සලාකා බලා මෙනෙහි කොට, ඒ පිරිස යම්බඳු ඥාන ගති ඇත්තෝ වූයේද, යම්බඳු පරලොව ගති (කිනම් උත්පත්ති ස්ථාන) වූයේද, ඒ ඥාන ගති, පරලොව ගති දැනගනිමි යි සිතා පනවන ලද අස්නෙහි හිඳගතිමි. ආනන්දය, ඒ පිරිස් යම්බඳු ඥානගති පරලොව ගති ඇත්තෝ වීද, මම එසේ වූ ගති උපත් ඇති මගධ රට වාසය කොට මියගිය ඒ උපාසක උපාසිකාවන් දුටුවෙම්මය.
ආනන්දයෙනි, එකල අතුරුදන් වූ (නොපෙනෙන) යක්ෂයෙක් “භාග්‍යවතුන් වහන්ස මම ජනවසභයෙමි, සුගතයන් වහන්ස මම ජනවසභයෙමි” යි හඬ නැගීය. ආනන්දය, “ජනවසභ” යන මේ නම මෙයින් පෙර ඇසුවා දනීද? යි අසා වදාළ සේක.
“වහන්ස, ජනවසභ යන මේ නාමය මෙයින් පෙර ඇසුවා නොම දනිමි. එහෙත් වහන්ස, ජනවසභ යන මේ නාමය ඇසීමෙන් මා ලොමුදහ ගැන්විණ. වහන්ස, ජනවසභ යන මෙබඳු නමක් යමෙකුහට පනවන ලද්දේ නම් ඔහු එසේමෙසේ යකෙක් නොවන්නේ යයි සිත්විය.  යි’ ආනන්ද තෙරුන් පැවසීය.
නැවත භාග්‍යවතුන් වහන්සේ,
ආනන්දය, හඬ නැගෙන්නා හා සමගම උදාර වූ සිරුර පැහැ ඇති යක්ෂයෙක් මා ඉදිරියේ පහළ විය. දෙවනුවද හෙතෙම “භාග්‍යවතුන් වහන්ස මම බිම්බිසාර වෙමි, සුගතයන් වහන්ස මම බිම්බිසාර වෙමි” යි හඬ නැගීය.
තවද,
“වහන්ස, මේ සත්වන වරට වෙසවුණු (වෙසමුණි / වෛශ්‍රවණ- එනම් සතරවරම් රජ දරුවන් අතරින් චතුර්මහාරාජිකයෙහි උතුරු දෙස පාලනය කරන, යක්ෂයනට අධිපති බලසම්පන්න දිව්‍ය රාජයාය.) රජුගේ සහභාවයට (පිරිස අතරට) පැමිණියෙමි(සත් වන වරට නැවත චාතුර්මහාරාජිකයෙහි බලසම්පන්න යක් රජෙකුව උපන් බවයි).  ඒ මම මෙම භවයෙන් යම් කලෙක චුත වන්නේද, එකල මිනිස්ලොව රජෙකු වන්නට හැකි වෙමි. මෙසේ මිනිස්ලොව සහ දෙව් ලොව පෙර භවයන්හි මා වාසය කලෙම්ද, ඒ සැම තන්හි පෙර විසූ කඳ පිළිවෙල (පෙර භවයන්හි උපත ඇතුළු විස්තර- පුබ්බේනිවාසානුස්සතිය) තුදුසක් (ආත්මභාව දහතුනක්) දනිමි. වහන්ස, දීර්ඝ කාලයක් අපායකට නොවැටුණෙමි. අපායට නැවත මගේ නොවැටීමද (සෝවාන් පලයට පත්ව ඇති බැවිනි) දනිමි. සකෘදාගාමී බව පිණිසද මගේ අපේක්ෂාව පවතී. යයිද ඔහු කීය.
(නැවත භාග්‍යවතුන් වහන්සේ),
“ වහන්ස, දීර්ඝ කාලයක් අපායකට නොවැටුණෙමි. අපායට නැවත මගේ නොවැටීමද දනිමි. සකෘදාගාමී බව පිණිසද මගේ අපේක්ෂාව පවතී” යනුවෙන් තෙපි කියාහු. ආයුෂ්මත් ජනවසභ යක්ෂය, තොපගේ මෙම වචනය අශ්චර්යය. අද්භුතය. ආයුෂ්මත් ජනවසභයන් කවර හේතුවකින් මෙවන් අධිගම විශේෂයක් (මාර්ගඵල ලාභයක්‌) ලද බව හඳුනා ගත්තේද?” යි මම ඇසීමි.
(ජනවසභ යක්ෂයා මෙසේ කියයි.)
“භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේගේ සසුනෙන් බැහැරව නොවෙයි, සුගතයන් වහන්ස ඔබ වහන්සේගේ සසුනෙන් බැහැරව නොවෙයි.” වහන්ස, යම් දිනෙක (යෂ්ටි වනොද්‍යානයෙහි පළමුවෙන්ම බණ අසා සෝවාන්ව) භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ඒකාන්ත වශයෙන් පැහැදුණෙම්ද, වහන්ස එතැන් පටන් කොට දිගු කලක් අපායෙන් මිදුනෙම්ව, අපායට නොවැටීම හඳුනමි.සකෘදාගාමී බව පිණිස මගේ අපේක්ෂාවද ඇත”.
“වහන්ස, මෙහි මම වෙසමුණි මහරජු විසින් යම් කටයුත්තක් සඳහා “විරූඪක මහරජු” (චාතුර්මහාරාජිකයෙහි දකුණුදිග  පාලනය කරන – කුම්භාණ්ඩයන්ට  අධිපති -විරූඪක වරම් දෙව් මහරජ) වෙත එවන ලදුයෙමි. ඒ සඳහා යන අතරමග භාග්‍යවතුන් වහන්සේ, ගඩොළු ගෙට විත් මගධ රට උවසු උවැසියන් අරභයා කරුණු සලාකා බලා මෙනෙහි කොට, ඒ පිරිස යම්බඳු ඥාන ගති ඇත්තෝ වූයේද, යම්බඳු පරලොව ගති (කිනම් උත්පත්ති ස්ථාන) වූයේද, ඒ ඥාන ගති, පරලොව ගති දැනගනිමි යි සිතා වැඩහුන් බව දුටුවෙමි.
වහන්ස, “මගධ රට වාසය කරන ලද මෑතකදී මියගිය ඒ උවසු උවැසියන්, යම් ඥාන ගති ඇත්තෝ වීද, යම්බඳු පරලොව උපත් ඇත්තෝ වීද” යනබව ඒ පිරිස සහිතකොට දෙවියන් අතරදී මින් පෙර ප්‍රකාශිත බවට වෙසමුණි මහරජ විසින් අසන ලදුව, වෙසමුණි මහරජ විසින් මාහට පවසා මා පිළිගත්තා පුදුමයක් නොවෙයි.
වහන්ස, මා විසින් එසේ දෙවියන් අභිමුව අසනලද මේ කරුණු, භාග්‍යවතුන් වහන්සේ දැක භාග්‍යවතුන් වහන්සේට සැළ කරන්නෙමි’ යි යන සිත විය. වහන්ස මේ භාග්‍යවතුන් වහන්සේ දක්නා පිණිස මා එළඹුණු කාරණා දෙකය.
වහන්ස, පෙර දවස, බොහෝ දවසකට පෙර, ඒ පසළොස්වක පොහෝ දිනක, වස්සාන සෘතුව එළඹී කල, පුන් සඳ ඇති රැයක, සියලු තව්තිසා වැසි දෙවියෝ සුදම් සභාවෙහි (සුධර්මා දිව්‍ය ශාලාවෙහි) එක්වී, එක්රැස් වුනාහු වෙත්. සතරවරම් දෙව්රජුන් සිව් දිශාවෙහි හුන්නාහු වෙති. පෙරදිග ධෘතරාෂ්ඨ මහරජ බටහිර දෙසට මුහුණලා දෙවියන් පෙරටු කොටද, දකුණුදිග විරූඪක මහරජ උතුරු දෙසට මුහුණලා දෙවියන් පෙරටු කොටද, බටහිර විරූපාක්ෂ මහරජ පෙරදිගට මුහුණලා දෙවියන් පෙරටු කොටද, උතුරුදිග වෙසවුණු මහරජ දකුණු දිගට මුහුණලා දෙවියන් පෙරටු කොටද සිටියහ.
වහන්ස යම් විටෙක, තව්තිසා වැසි දෙවියෝ සුදම් සභාවෙහි එක්රැස් වූවාහු, මහත් දෙව් පිරිස සහිතව සිටියාහු වෙත්ද, එවිට සතර වරම් මහරජුන් සතර දෙසින් සිටිති. වහන්ස ඒ ඔවුන්ගේ අසුන් ගැනීම වෙයි. ඉක්බිති අපගේ අසුන් ගැනීම වෙයි.
වහන්ස, යම් දෙව් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි (බුදු සසුනෙහි) බඹසර හැසිර තව්තිසා දෙව් ලොවට පැමිණියේද, ඔවුහු වර්ණයෙන්ද, යශසින්දසෙසු දෙවියන් ඉක්මවා බබළති. එවිට තව්තිසා වැසි දෙවියෝ, “ප්‍රීතියකි! දෙව් පිරිස් පිරේ, අසුර පිරිස් පිරිහේ” යැයි ආරාධිත සිත් ඇත්තෝ, සතුටු වූවෝ, හටගත් ප්‍රීති සොම්නස් ඇත්තෝ වෙති. එකල්හි සක්දෙවිඳු තව්තිසාවැසි දෙවියන්ගේ පැහැදීම දැන,
ප්‍රීතියෙක, භවත්නි, ඉන්ද්‍රයා (සක්දෙවිඳු) සහිත තව්තිසාවැසි දෙවියෝ තථාගතයන් වහන්සේද, ධර්මයාගේ සුධර්මත්වයද නමදනාහු, සුගතයන් වහන්සේ වෙත බඹසර හැසිර මෙහි පැමිණි, වර්ණවත් යශස් ඇති අළුත් දෙවියන් දක්නාහු සතුටු වෙත්” යයිද,
“මහනුවණැති බුදුරජුන්ගේ සවු(ශ්‍රාවක) වූ, විශ්ෂ අධිගමයට පැමිණි ඔවුහු මෙහි පැහැයෙන්ද, යශසින්ද අන් දෙවියන් ඉක්මවා බබළති” යිද,
ඉන්ද්‍රයා සහිත තව්තිසා වැසි දෙවියෝ මෙය දැක, තථාගතයන් වහන්සේද, ධර්මයාගේ සුධර්මත්වයද, සංඝයාගේ සුපිළිවෙතද නැමද සතුටු වෙති” යි ගාථාවන් කියා අනුමෝදන් විය.
වහන්ස ඉක්බිති,
තව්තිසා වැසි දෙවියෝ යම් කරුණක් අරභයා රැස් වූයේද, ඒ කරුණ සාකච්ඡා කොට, සතර වරම් රජ දරුවෝ තව්තිසාව පාලනය කරන “තිස්තුනක්” වූ දෙව් රජුන් විසින් දෙනු ලබන උපදෙස් අනුශාසනා අසමින් නැවත නැවත කතිකා කරමින් සිටියාහු වෙති. තෙතිස්‌ දෙව් පුත් රජුන් විසින් දෙනු ලබන අනුශාසනාවෙන් සතුටුව සිය අසුන්හිම සිටියාහු වෙති.
වහන්ස එවිට, දෙවියන්ගේ දිව්‍ය ආනුභාවය මැඩගෙන, උතුරු දෙසින් මහත් වූ ආලෝකයක්, දීප්තියක් පහළ විය. එවිට සක්දෙවිඳුන් තව්තිසාවැසි දෙවියන් අමතා, “නිදුක්වරුනි, යම්සේ පෙරනිමිති දක්නා ලැබේද, දීප්තියක් පහළ වෙයිද, මෙය බ්‍රහ්මයාගේ පහළ වීමට (බ්‍රහ්මයා දෙව් ලොවට පැමිණීමට) පෙර නිමිති වෙයි.” කීහ.
එවිට දෙවියෝ, මේ එලිය කුමක්දැයි දැක, එහි යම් ප්‍රතිපලයක් වෙතොත් එයද දැනම යන්නෙමු” යි කියා සිය අසුන් වලම උන්හ.
“වහන්ස යම් කලෙක ‘සනත් කුමාර’ බ්‍රහ්ම තෙම තව්තිසාවෙහි පහළ වෙයිද, එකල ඔහු දළ අත්බවක් (රළු වූ ශරීරයක්) මවාගෙන පහළ වෙයි. බ්‍රහ්මයාගේ පියවි ස්වභාවය දෙවියන්ගේ ඇසට විෂය නොවෙයි. බ්‍රහ්මයා පහළ වන කල ඔහුගේ පැහැයද යශසද අන් දෙවියන් ඉක්මවයි. යම්සේ රන් රුව මිනිස් රුව ඉක්ම බබළන්නේද, එසේම තව්තිසා වැසි දෙවියන් අතර පහළ වන සනත් කුමාර බ්‍රහ්ම තෙම දෙවියන් ඉක්ම බබළයි.
එකල්හි කිසිදු දෙවියෙක් ඔහු නමදින්නේ හෝ, හුනස්නෙන් නැගී සිටින්නේ හෝ, අසුනක් පිළිගන්වන්නේ හෝ නොවෙයි. සියලු දෙවියෝ, “සනත් කුමාර බ්‍රහ්ම තෙම දැන් යම් දෙවියකුගේ පලඟෙහි හිඳ ගැනීමට කැමති වත් නම් එහිම හිඳගන්නේ යැයි” සිතා නිහඬව දෙඅත් නවා පළෙඟෙහි හිඳිති. වහන්ස යම් දෙවියකුගේ පලඟෙහි සනත්කුමාර බ්‍රහ්මතෙම හිඳීද ඒ දෙව් තෙම රාජ්‍යයෙන් අලුත අභිෂේක ලැබූ ක්ෂත්‍රීය රජෙක් මෙන් මහත් සතුටට පත වුයේ, ප්‍රීතියට සොම්නසට පත්වූයේ වෙයි.
වහන්ස ඉක්බිති, සනත්කුමාර බ්‍රහ්ම තෙම දළ අත්බවක් මවා, කැරලි පහක් කොට බඳින ලද හිසකෙස් ඇතිව, පංචසිඛ ගාන්ධර්ව පුත්‍රයා මෙන් කුමාර වෙස් (යොවුන් වෙස්) ගෙන දෙවියන් අතර පහළ විය. ඔහු අහසට නැග ඈත අහසෙහි, ශක්තිමත් පුරුෂයෙකු මැනවින් ඇතිරිලි වලින් වසන ලද අසුනක හිඳගන්නේද එපරිදි අහසෙහි පළක් බැඳ හුන්නේය. බ්‍රහ්ම තෙම තව්තිසාවැසි දෙවියන්ගේ පැහැදීම දැන මේ ගාථා වලින් අනුමෝදනා කළේය.
ප්‍රීතියෙක, භවත්නි, ඉන්ද්‍රයා (සක්දෙවිඳු) සහිත තව්තිසාවැසි දෙවියෝ තථාගතයන් වහන්සේද, ධර්මයාගේ සුධර්මත්වයද නමදනාහු, සුගතයන් වහන්සේ වෙත බඹසර හැසිර මෙහි පැමිණි, වර්ණවත් යශස් ඇති අළුත් දෙවියන් දක්නාහු සතුටු වෙත්” යයිද,
“මහනුවණැති බුදුරජුන්ගේ සවු(ශ්‍රාවක) වූ, විශ්ෂ අධිගමයට පැමිණි මෙහි ඔවුහු මෙහි පැහැයෙන්ද, යශසින්ද අන් දෙවියන් ඉක්මවා බබළති” යිද,
ඉන්ද්‍රයා සහිත තව්තිසා වැසි දෙවියෝ මෙය දැක, තථාගතයන් වහන්සේද, ධර්මයාගේ සුධර්මත්වයද, සංඝයාගේ සුපිළිවෙතද නැමද සතුටු වෙති” යි ගාථාවන් කියා අනුමෝදන් විය.
වහන්ස මෙසේ පවසන සනත්කුමාර බ්‍රහ්මයාගේ, සුවසේ නික්මෙන්නාවූද, අරුත වහා හෙලිකරන්නාවූද, මිහිරි වූද, කනට සුව එළවන්නා වූද, එකට කැටි වූද, නොවිසිරී පවත්නා වූද, ගාම්භීර වූද, රැව්දෙන්නා වූද, යන මේ අංග අටකින් සමන්විත හඬක් වෙයි. මෙසේ බ්‍රහ්ම ස්වර ඇති සනත් කුමාර බ්‍රහ්ම තෙම අත්බැව් තිස්තුනක් (ශරීර තිස්තුනක්) මවාගෙන තව්තිසා වැසි දෙවියන්ගේ ඒ ඒ පලඟෙහි එකවර පහලව පළක් බැඳ හිඳ මෙසේ කීය.
“පින්වත් තව්තිසා වැසි දෙවියෝ කෙසේ සිතයිද? ඒ භාග්‍යවතුන් වහන්සේ කොතරම් මහත් ලෙස දෙව් මිනුසුන්ට වැඩ පිණිස, හිත සුව පිණිස පිළිපන් සේක්ද! භවත්නි, යම් කිසි කෙනෙක් බුදුන් සරණ ගියෝද, දහම් සරණ ගියෝද, සඟුන් සරණ ගියෝද, ශීලය සම්පූර්ණ කරනසුලු වූවෝද, ඔවුන් ඇතැම් කෙනෙක් මරණින් මතු පරිනිම්මිත වසවර්ති දෙවියන් අතරට යති. ඇතැමෙක්, නිර්මාණරතී,…..,තුෂිත,…..යාම,……… තව්තිසා,…… ඇතැම් කෙනෙක් චාතුර්මහාරාජික දෙවියන්ගේ ස්වභාවයට පැමිණෙති. යම් කෙනෙක් ඉතා පහලම දෙව්පිරිසක් සපුරන්නාහු නම් ඔහු ගාන්ධර්ව පිරිස අතර උපදිති.
මෙසේ හඬ නගන සනත් කුමාර බ්‍රහ්මයාගේ නාදයම පමණකි. එක් ශරීරයක් කථා කරන කල්හි සියල්ලෝම කථා කරති.එකක්හු නිහඬ වූ කල සියල්ලෝ නිහඬ වෙති. එදා තව්තිසා වැසි සියලු දෙවියෝ තමන්ගේ පලඟෙහි හුන් බ්‍රහ්මයාම පමණක් කථා කරති’යි සිතූහ.
ඉක්බිති සනත් කුමාර බ්‍රහ්ම තෙම බොහෝ සිරුරු හැර ඒකත්වයෙන් (එක් ශරීරයකින්) පෙනී සිටියහ. එසේ පෙනී සිට, සක්දෙවිඳුගේ පළගෙහි පළක් බැඳ හිඳ දෙවියන් අමතා මෙසේ කීය:
පින්වත්වූ තව්තිසා වැසි දෙවියෝ ඒ කුමකැයි සිතන්නාහුද?
ඒ භාග්‍යවතුන් වහන්සේ විසින්, ඥානයෙන් දන්නාවූ, දක්නාවූ අර්හත්වූ සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ විසින්, යම් පමණවූ මේ සතර ආකාර සෘද්ධිපාද කෙනෙක් ඉතා හොඳින් පනවන ලද්දාහුද ඒ ධර්මයෝ බොහෝ සෘද්ධිමත් භාවය පිණිසද. සෘද්ධි බලයන්  සේවනය සඳහාද, නොයෙක් ආකාර සෘද්ධි දැක්වීම පිණිසදවෙත්.
ඒ සතර කවරහුද යත් පින්වත්නි,
මේ ශාසනයෙහි යම් මහණෙක් කර්තුකම්‍යතා (කලයුතු දේ කිරීම පිණිස) ජන්දය අධිපති කොට ලත් සමාධියෙන් හා ප්‍රධන්වීර්යයෙන් යුත් සෘද්ධිපාදය වඩයි. වීර්යය අධිපති කොට ලත් සමාධියෙන් හා ප්‍රධන්වීර්යයෙන් යුත් සෘද්ධිපාදය වඩයි. චිත්තය අධිපති කොට ලත් සමාධියෙන් හා ප්‍රධන්වීර්යයෙන් යුත් සෘද්ධිපාදය වඩයි. වීමංසාව අධිපති කොට ලත් සමාධියෙන් හා ප්‍රධන්වීර්යයෙන් යුත් සෘද්ධිපාදය වඩයි. භවත්නි, මේ වනාහි දන්නා දක්නා ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් සෘද්ධිමත් හාවය පිණිසද සෘද්ධියාගේ ආසේවනය පිණිසද, නොයෙක් ආකාර සෘද්ධි දැක්වීම පිණිසද පණවන ලද්දාහුය.
පින්වත්හි අතීතයෙහිද අනාගතයෙහිද මේකාලයෙහිද යම් ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ සෘද්ධිවිධි වලින් ප්‍රයෝජන ගත්තාහුද, ගන්නාහුද ඒ සියලු මහණ බමුණෝ මේ සතර ආකාර සෘද්ධි පාදයන් වැඩු බැවින්ද, බොහෝ සෙයින් පුරුදුකරන ලද බැවින්ද ඒ සෘද්ධි වලින් ප්‍රයෝජන ලබන්නාහුය.
මමද මේ සතර ආකාර සෘද්ධි පාදයන් වැඩු බැවින්ද බහුළ කල බැවින්ද මෙබඳු මහත් සෘද්ධි ඇත්තෙක්ද මෙබඳු මහත් ආනුහාව ඇත්තෙක්ද වෙමියි කීය.
(මේ අයුරින් සනත් කුමාර බ්‍රහ්ම තෙම ත්‍රිවිධ අවකාශාධිගම, සතර සතිපට්ඨාන, සතක් වූ “සමාධි පරිෂ්කාර ධර්ම” යන උතුම් දහම් කරුණු පිලිබඳ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවේ අනුත්තරීය භාවය ප්‍රකාශ කරයි.- මෙම දහම් කරුණු විශේෂයෙන් සාකච්ඡා කලයුතු බැවින් සහ ලිපියෙහි ඉඩකඩ ප්‍රමාණවත් නොවන බැවින් මෙහි විස්තර සඳහන් නොකරනු ලැබේ. උත්සුක සිත් ඇත්තෝ අප කෙරෙහි කරුණාවෙන් ක්ෂමා කොට- දීඝ නිකාය මහා වග්ගයේ, ජන වසභ සූත්‍රය කියවීමට යොමු වෙත්වා. ඉදිරි ලිපිවලින් එම දහම් කරුණු නිසි පරිදි සාකච්ඡා කරනු ලැබේ.)
භවත්නි, සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් යහපත් සමාධියක් වැඩීම පිණිසද, යහපත් සමාධියක් සම්පුර්ණ කිරීම පිණිසද මේ පරිෂ්කාර ධර්ම(පිරිවර ධර්ම) සතක් පනවන ලද්දාහුය. ඒ සත කවරහුදයත්? යහපත් දැකීමය(සම්‍යක් දෘෂ්ටිය) යහපත් කල්පනාවය(සම්‍යක් සංකලපනා) යහපත් වචනය(සම්‍යක් වචනය) යහපත් කර්මාන්තය(සම්‍යක් කර්මාන්ත) යහපත් දිවිපැවත්මය(සම්‍යක් ආජීව) යහපත් වෑයමය (සම්‍යක් ව්‍යායාම) යහපත් සිහිය(සම්‍යක් ස්මෘති) යන මොවූහුයි.

පින්වත්නි, මේ අංග(කරුණු) සතෙන් සිතේ යම් එකඟබවක්(සමාධියක්) පිරිවරණ ලද්දේද, ඒ සමාධිය ආර්යය සම්‍යක් සමාධියද, පිරිවර සහිතද උපනිඃශ්‍රය සහිත යයිද කියනු ලැබේ.
පින්වත්නි, සම්මා දිට්ඨිය ඇත්තාහට සම්මා සංකප්පය පවතී. සම්මා සංකප්පය ඇත්තාහට සම්‍යග් වචනය පවති. සම්‍යග් වචනය ඇත්තාට සම්‍යග් කර්මාන්තය පවතී. සම්‍යග් කර්මාන්තය ඇත්තාහට සම්‍යග් ආජීවය(දිවිපැවැත්ම) පවතී. සම්‍යග්  ආජීවය ඇත්තාහට සම්‍යග් ව්‍යායාමය පවති. සම්‍යග් ව්‍යායාමය ඇත්තාහට සම්‍යග් සතිය (ස්මෘතිය) පවති. සම්‍යග් සතිය ඇත්තාහට සම්‍යග් සමාධිය(සිත එකඟබව) පවති. සම්‍යග් සමාධිය ඇත්තාහට සම්‍යග් ඥානය පවති. සම්‍යග් ඥාන ඇත්තාහට සම්‍යග් විමුක්තිය(කෙළෙසුන්ගෙන් මිදිම) පවති.
පින්වත් තව්තිසාවැසි දෙවියනි, යමක් පිලිබඳ මනාව කියන තැනැත්තෙක්, මේ ධර්මය භාග්‍යවතුන් වහන්සේ මනාකොට වදාරන ලද්දේය, සන්දෘෂ්ටිකය, අකාලිකය, “එව බලව” යි දැක්විය යුත්තේය, සිය සිත් සතන්හි යෙදිය, එළවිය යුත්තේය, නුවණැත්තන් විසින් තම තමන් කෙරෙහිලා දත යුත්තේය, අමා දොරවල් අරිනා ලද්දේය’ යි කියන්නේ නම්, ඒ මේ උතුම් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය පිලිබඳවමය.
භවත්නි, යම් කෙනෙක් බුදුරජුන් කෙරෙහි දැන පැහැදීමෙන් යුක්තද, ධර්මය කෙරෙහි දැන පැහැදීමෙන් යුක්තද, සංඝයා කෙරෙහි දැන පැහැදීමෙන් යුක්තද, ආර්යකාන්ත ශීලයෙන් සමන්විතද, එසේ ආර්ය ධර්ම මාර්ගයෙහි හික්මුනාවූ, ඕපපාතික උපත් ලැබූ (දෙව් ලොව සහ සුද්ධාවාස වලින් පහළ තලයන්හි උපත ලද) උපත ලද, මගධ රට වාසය කොට මෑතකදී මියගිය, තුන් සංයෝජනයන් නැති කිරීමෙන් සොවාන් වූ, රහත් බවට නියත, රහත් ඵලය පිහිටකොටගෙන ඇති, අපායකට නොවැටෙනසුලු වූ, උවසු උවැසියෝ සූවිසි ලක්ෂයකට අධික වෙති. තවත් මේ සුගතීන්හි සකෘදාගාමීහුද වෙති.
සංයෝජන පහක් නැසීමෙන් අනාගාමී වූවාහු, සුද්ධාවාසයෙහි- අවීහ/ අතප්ප/ සුදස්ස/ සුදස්සී/අකනිට්ඨක යන බ්‍රහ්ම තලයන් පහ උපන් තවත් පිරිස්ද ඇති බව මගේ හැඟීමයි. මුසාවාද කෙරෙහි බිය ඇති බැවින් ඔවුන් ගණනින් කොට කියන්නට අපොහොසත්මි.”
සනත්කුමාර බ්‍රහ්ම තෙම මෙසේ පැවසු කල්හි, ඒ ඇසූ වෙසවුණු මහරජු සිතෙහි මෙවන් කල්පනාවෙක් උපන්නේය. භවත්නි, අශ්චර්යයෙක, පුදුමයෙකි, මෙවන් වූ උදාර ශාස්තෘ වරයෙක් වේද, මෙබඳු වූත් උදාර ධර්ම කථාවෙක් වේද, මෙබඳු මහත් විශේෂාධිගමයක් පැණවේද, යනුවෙනි. එවිට වෙසමුණි මහරජුගේ චිත්ත පරිවිතර්කය සිය සිතින් දකින සනත් කුමාර බ්‍රහ්ම තෙම “පින්වත් වෙසමුණි මහරජාණෝ කුමක් සිතයිද, පෙරත් මෙබඳු උදාර ශාස්තෘ වරයෙක්, මෙබඳු උදාර ධර්ම කථාවෙක් වීය. මෙබඳු උදාර විශේෂ අධිගම (මගඵල) පැණහුනාහුය. මතුකල්හිත් මෙබඳු උදාර ශාස්තෘ වරයෙක්, මෙබඳු උදාර ධර්ම කථාවෙක් වන්නේය. මෙබඳු උදාර විශේෂ අධිගම (මගඵල) පැණවෙන්නේය.” යි පැවසීය.
වෙසවුණු මහා රජු දෙවියන් ඉදිරියේ අසනලද, දෙවියන් ඉදිරියේ පිළිගන්නා ලද මේ දහම් කථාව සිය පිරිස ඉදිරියේ කියන ලදහ. වෙසමුණි මහා රාහුගේ වචනයෙන් තමන් අසනලද, පිළිගන්නා ලද, මේ කරුණ ජනවසභ යක් රජු විසින් භාග්‍යවතුන් වහන්සේ හමුයෙහි මෙසේ පවසන ලදී.
භාග්‍යවතුන් වහන්සේද ජනවසභ යක්ෂයා කියන මේ වචනය අසා පිළිගෙන, තමන් වහන්සේද නිමල වූ, සියලු දෙව් බඹුන් ඉක්මවූ බල ඇති, බුදු ඇසින් බලා දැක විශේෂයෙන් දැන පින්වත් ආනන්ද මහතෙරුන් වහන්සේට දේශනා කොට වදාළ සේක.
(සනත් කුමාර මහා බ්‍රහ්ම රාජයා වනාහි අරහත්වයට පත් සුද්ධාවාස වාසී, අති දීර්ඝායුෂ්ක වූ, පෙර බුදු වරයන් වහන්සේලා පවා දැක ඇති මහෝත්තමයෙකි.)
සටහන
භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජානන් වහන්සේ සරණ ගිය, උන්වහන්සේගේ සසුනෙහි වීර්ය වඩන ලද, තිසරණයෙහි පිහිටා ශීලය පුරන ලද අනන්ත් අප්‍රමාණ දෙවියන් සිටී. නමුත් බෞද්ධ උපාසක උපාසිකාවන් තුල ශ්‍රද්ධා ශීල ආදී මූලික ශාසන ධර්ම පිරිහී ගිලිහීම නිසාත්, ධර්මය කෙරෙහිත් (ත්‍රිපිටක අට්ටකථා) විවිධ දුර්මතයන් මතු වී ධර්ම ගෞරවය ගිලිහී ගොස් ඇති නිසාත්, මිත්‍යාදෘෂ්ටි රජයන නිසාත් සම්යග්දෘෂ්ටික වූ බලවත් දෙව් බඹුන්ගේ සහය කනගාටුදායක ලෙස අපෙන් ගිලිහී ගොස් ඇති බව පෙනෙයි. කුඩා හෝ පුණ්‍යකර්මයක් කරන බෞද්ධයෝද ඒ පින් ප්‍රධානකොට අනුමෝදන් කරන්නේ අන්‍යාගමික දෙවිවරුන්ටය. බුදුසසුනේ අභිවෘද්ධිය කැමති, සංඝයා වහන්සේගේ පිළිවෙත් පිරීම උදෙසා විශේෂ ආරක්ෂා රැකවරණ සපයන අතිශය බලවත් දෙව් බඹුන් ගැන භාග්‍යවතුන් වහන්සේ මෙවන් රමණීය සුත්‍ර දේශනා මගින් අප කෙරෙහි කරුණාවෙන්ම දේශනා කොට වදාළ සේක්, අප නොමග යාම නුසුදුසුය. ආරණ්‍යවාසී ස්වාමීන් වහන්සේලා සහ සසුනෙහි පිළිවෙත් පුරන සංඝයා වහ්සේගේ ආරක්ෂා රැකවරණය පිලිබඳ දෙවියන්ගේ ක්‍රියාමාර්ග ගැනීම ගැන විස්තරද ධර්මයේ සඳහන් වෙයි. තවද, සම්මා දිට්ඨියෙහි පිහිටා පින්කම් කොට පින් අනුමෝදන් කරන සත්පුරුෂ මනුෂ්‍යයන් සිය දරුවන් ආරක්ෂා කරන මවුපියන් ලෙසින් රැකවරණ සලසා ආරක්ෂා කරන බව පෙන්වා දී තිබේ. එනිසා පින් අනුමෝදන් කිරීමේදී සියලු සත්ත්වයන් කෙරෙහි මෙත් සිත සහිතව කටයුතු කරන අතර ශාසනාරක්ෂක දිව්‍ය බ්‍රහ්ම මණ්ඩලය කෙරෙහි විශේෂ අවධානය යොමු කිරීම මැනවි.
භාග්‍යවතුන් වහන්සේගේ චරිතයට විශේෂයෙන් සම්බන්ධ පහත දැක්වෙන පිරිස්හ විෂයෙහි බෞද්ධයන් ලෙස අපේ විශේෂ අවධානය යොමු කිරීම අවශ්‍ය වන බව මෙහි අවසන් වශයෙන් දක්වා සිටිමු.
සහම්පති මහා බ්‍රහ්ම රාජයාණන් වහන්සේ, ඝටීකාර මහා බ්‍රහ්ම රාජයාණන් වහන්සේ, සනත්කුමාර මහා බ්‍රහ්ම රාජයාණන් වහන්සේ සහ තිස්ස මහා බ්‍රහ්ම රාජයාණන් වහන්සේ ඇතුළු සියලු සුද්ධාවාස වාසී ආර්යයන් වහන්සේලාද, සියලු බඹ තල වාසී සත්පුරුෂයෝද,
සදිව්‍ය ලෝක වාසී සියලු ආර්යයන් වහන්සේලා,
මහා මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ,
සියලු බෝධිසත්වයන් වහන්සේලා,
අනාගත බුදු සසුන්හි අග්‍රශ්‍රාවක මහාශ්‍රාවක ආදී තනතුරු පතමින් පාරමී පුරන සියලු සත්පුරුෂයන් වහන්සේලා, අනාගත බුදුසසුන්හි අරහත්වය පිණිස පෙරුම් පුරන සත්පුරුෂයෝ,
තව්තිසා වැසි සක් දෙව් රජු ඇතුළු තෙතිස්‌ දෙව් මහරජුන් , සතරවරම් දෙව් රජ දරුවන් ඇතුළු පිරිස, මාතලී දිව්‍ය පුත්‍රයා, විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා,
ධ්‍රැත්රාෂ්ඨ, වීරූඪ, විරූපාක්‍ෂ, වෛශ්‍රවණ නම වූ සතරවරම් දෙව් මහා රජුන් සහ උන්වහන්සේලාගේ පිරිස,
සූර්ය දෙව් රජු, චන්ද්‍ර දෙව් රජු ඇතුළු උන්වහන්සේලාගේ පිරිස,
සියලු වලාහක දේව නිකායයන්, පංචසිඛ දෙව් පුත් ඇතුළු පිරිවර ගාන්ධර්වයෝ,
සාතාගිර හේමවත යක් සෙනෙවියන් දෙදෙනා, ජනවසභ යක්සෙනෙවි, සුමන සමන් දෙව් රජ (චාතුර්මහා රාජිකයෙහි වෙසමුණි රජුගේ රාජ්‍යයට අයත් ප්‍රධාන යක්ෂ සේනාපතියෙකි).
තිසරණයට පැමිණි සියලු නාග රාජයෝ, ගුරුළු රාජයෝ ඇතුළු දිව්‍යමය පිරිස.
වත්මන් බුදුසසුනේ කේන්ද්‍රභූමිය වූ ස්වර්ණමාලි චෛත්‍යරාජයාණන් වහන්සේද, ජයශ්‍රී මහා බෝධිරාජයාණන් වහන්සේද ඇතුළු සිද්ධස්ථාන ආරක්ෂා කරණ ආරක්ෂක දෙවියෝ සහ යක්ෂයෝ.
(මෙහි නම් නොදැක්වෙන, සියලු සම්යග්දෘෂ්ටික දිව්‍යමය සත්ත්වයෝ, ධර්මයෙහි නම් වශයෙන් සඳහන් භාග්‍යවතුන් වහන්සේට සම්බන්ධ දෙවියන් ඇතුළුව,)
දීඝනිකාය – මහාවග්ගය- ජනවසභ සූත්‍රය ඇසුරින් සම්පාදිතයි.
සැමට තෙරුවන් සරණයි!
- සසිත් රාජසූරිය.

October 18, 2013 at 12:01 am | lanka C news

ශ්‍රේෂ්ඨ දානයක අනුසස් පිළින්දවච්ඡ මහ රහත් චරිතාපදානය


පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ
පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ හිටපු කථිකාචාර්ය
අස්ගිරි මහාවිහාර පිරිවෙනෙහි ආචාර්ය
ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත
මහරැඹෑවැවේ පාලිත හිමි


මෙවර අපගේ සාකච්ඡාවට බඳුන් වනුයේ ගෞතම බුද්ධ ශාසනයේ ශ්‍රේෂ්ඨ මහරහතන් වහන්සේ නමක් වූ පිළින්දවච්ඡ මහරහතන් වහන්සේගේ චරිතාපදානයයි. මෙහි සඳහන් වන්නේ උන්වහන්සේ පෙර ආත්මයක බුදුපාමොක් මහසඟන උදෙසා පිරිනැමූ ශ්‍රේෂ්ඨ දානයක විපුල ආනිශංසයන් ය. පිළින්දවච්ඡ මහරහතන් වහන්සේ විසින් එම දානය හා ආනිශංසයන් ප්‍රකාශ කරන්නේ මෙසේය
මම හංසවතී නගරයෙහි දොරටු පාලයෙක් වීමි. මාගේ ගෘහයෙහි රැස්කරන ලද නිරවුල් අපමණ භෝග සම්පත් ද විය. මම එකල්හි පහයෙහි වාඩිවී විවේකව හිඳ සිත පහදවා මෙසේ සිතීමි. ‘
මා විසින් භෝග සම්පත්තීහු ලබන ලදහ. මාගේ අන්තො නගරය සමෘ_ය, පෘථිවිශ්වරවු ආනන්ද රජ තෙමේ ද (බුදුරජුන් ප්‍රධාන සංඝයාට දානය සඳහා ආරාධනය කළේය. “සර්වඥ තෙම ලෝවැඩ සඳහා පහළවන්නේ වේ. මේ සව¢ඥ තෙම ලොව පහළ විය. මාගේ භෝගයෝ ද විද්‍යාමාන වෙත්. ශාස්තෘන් වහන්සේට දනක් දෙන්නෙමි, පදුම නම් රාජ පුත්‍රයා විසින් බුදුරජාණන් වහන්සේ කෙරෙහි උතුම් දානයක් දෙන ලදී. (එම දානයෙහි) හස්තිරාජයන්ද, පය¸ඞ්කයන් ද, හේත්තුවන ඇඳි ද යන බොහෝ දේ වෙයි. “මම ද උතුම් වූ සංඝයා කෙරෙහි දනක් දුන්නෙමි. අනුන් විසින් නොදුන් විරූ’ (දෑ දීමෙහි) ආදි කර්මිකයෙක් වන්නෙමි. “ යමක් පිළිබඳවූ දීමෙහි සැපවත්වූ විපාකයක් ඇද්ද, මම (ඒ විපාකයන්) නන් අයුරින් සිතා මාගේ අදහස් සපුරාලන පරිෂ්කාර දානය (මේ මේයයි) දුටිමි. උතුම් වූ සංඝයා කෙරෙහි පිරිකර දෙන්නෙමි. අනුන් විසින් නොදුන් විරූ (දෑ දීමෙහි) ආදි කර්මිකයෙක් වන්නෙමි. “එකෙණෙහි කුළු පොත්තන් (බට ලී කර්මාන්ත කරන්නන්) වෙත එළඹ ඡත්‍රයක් කරවීමි. (එබඳු) ඡත්‍ර ලක්‍ෂයක් එක්රැස් කළෙමි. (එසේම) වස්ත්‍ර ලක්‍ෂයක් ද එක්රැස් කළෙමි. පාත්‍ර ලක්‍ෂයක් ද එක්රැස් කෙළෙමි.” වෑද, කුඩ, පිහියද, හිඳිකටුද, නියපොතු කපනා පිහියද ඊට සුදුසු ලෙස කරවා කුඩය යට (පැත්තෙහි) එල්බවීමි.

පවන් අතුද, වටාපත්ද, මොනර පියාපත්ද, සෙමර වල්ගද, පෙරහන්කඩ ද, තෙල් බඳුන් ද එයට සුදුසු ලෙස කරවීමි. “ඉඳීකටු ගුලාද, උරහිසේ එල්ලන (අංසකඩ) පටිද, එසේම හිණ බඳනා පටද, කුඩා මේස, කනප්ප, පාත්‍ර අඩි ආදි මැනවින් ආධාරකද එයට සුදුසු ලෙස කරවීමි. පරිභෝගයට ගන්නා බඳුන්ද, එසේම ලොහො තලිද, බෙහෙත් (වර්‍ග) වලින් පුරවා මම ඡත්‍රය යට තැබීමි. (කිනම් බෙහෙත්ද යත් ?) වද කසාය, සැවැන්න (විෂ්ණුක්‍රාන්ති) මුල්ය, දඬුවෙල්බෑ මීය, පිප්පිලි නොහොත් පුලිලය, මිරිස්ය, අරළුය, හිඟුරුය යන මේ සියල්ල බඳුන්හි පිරවීමි. සෙරෙප්පුද, මිරිවැඩිද, එසේම නෑමෙන් පසු දිය පිසනා දිය පිස්නාවන්ද, මැනවින් කළ සැරයටිද එයට සුදුසු ලෙස කරවීමි. බෙහෙත් අඳුන් නාලිකා (භාජනද), බෙහෙත් ගෑම් ආදිය සඳහා ගන්නා ලොහොකුරු හෝ උණ පතුරුද, දම් කොතුරු (පැන් කෙණ්ඩිය) ද, කෙසි (යතුරු) ද, පස් වර්‍ණයකින් (පාට පසකින්) වසා කළ කෙසිගුලා හෙවත් යතුරු දමන කොපුද, යමක් එල්ලා ගැනීම සඳහා උරහිසේ යොදන පටිද, දුම් (බොන) පයිප්පද, දල්වන පහන්ද නොහොත් පහන් එල්ලන කොකුද, ධාන්‍ය මැනීමට ගන්නා තඹ නම් මිණුම්ද, කරඬුද එයට සුදුසු ලෙස කරවීමි. හඬුද, කතුරුද, යළිදු මළ හරනා හඬුද, බෙහෙත් දමනා පසුම්බිද, එයට සුදුසු ලෙස කරවීමි. දිත්හඟලා පුටුද, කුඩා පුටුද, ඇඳි නැති (පා සතරකින් යුත්) අසුන් ද, මම එයට සුදුසු ලෙස කරවා ඡත්‍රයට තැබීමි. එළු ලොම් පිරවූ ගුදිරිද, පුලුන් පිරවූ ගුදිරිද, යළි පුටුවලට දමන ගුදිරිද, මැනවින් කරන ලද මෙට්ටද, එයට සුදුසු ලෙස කරවීය. කුරුවින්දක පාෂාණද, මී ඉටිද, (තල) තෙල්ද, ඇඟ ඉලීමට ගන්නා පෙණද, (ඇඟ ඉලීමට ගන්නා මට කළ) ගල් පතුරුද, සෙනසුන්ද, පාපිසිද, සෙනසුන්හි පරිභෝගයට ගන්නා (සැරයටි ආදී) දඬුද, දැහැටිද, ආටලී නම් ද්‍රව්‍යයද, හිසෙහි ගල්වන ගන්ධ (තෛලාදිය) ද, ගිනිගානා දඬුද, පිදුරු යොදා කළ පුටුද, පාත්‍රයන් වහන පියන් හා තලිද, දිය ගන්නා පිණිස යොදන කිණිසිද, සුණු වර්‍ගද, පඬු ඕරුද, (හමදනා) මුස්නුද, දිය බඳුන්ද, එසේම වැසි සළුද, හිඳිනා ඇතිරිලිද, වණ බඳින රෙදි පටිද, හඳනද, තනිපට සිවුරු හා දෙපට සිවුරුද, නශ්‍ය කරණ ද්‍රව්‍යද, මුව දෝනා බඳුන්ද, ඇඹුල්කාඩ් (විනාකිරි) ද, ලුණුද, බොහෝවූ මීද, දිහියෙන් කළ පාන වර්‍ගද, දුම් අල්ලන ද්‍රව්‍යද, ඉටිද, රෙදි කැබලි (පාන්කඩ) ද, මුව පිස්නා (ලේන්සු) හා නූල් දැයි (මෙසේ) දියයුතු යමක් ඇද්ද, (ඒ) යමක් ශාස්තෘන් වහන්සේට කැපද, මේ සියල්ල රැස් කරවා මහර්ඝීවූ බුදුරජුන්ගේ පියාවූ ආනන්ද රජු වෙත එළඹියෙමි. එළඹ, හිස නමා වැඳ, මෙම වචනය කීමි, (කෙසේද යත් ?) (අප දෙදෙන) එකට ඉපිද, එකට වැඩුනෝ වෙමු. දෙදෙනාගේ සිතද එක්වම පවතී. දෙදෙනා පිළිබඳව සුවදුක් දෙදෙනාටම සාධාරණය. (දෙදෙනාම ඔවුනොවුනට) අනුව පවත්නෝ වෙමු. සතුරන් මඩනාවූ රජතුමනි, මාගේ සිතෙහි තොප අයත් හෙවත්, තොප විසින් මැඩලිය යුතු දුකක් නැත. ක්‍ෂත්‍රියයාණෙනි, ඉදින් හැකිවෙහි නම් එම දුක දුරු කරන්නෙහිය කියායි. ඔබගේ දුක මගේ දුකය, දෙදෙනාගේම සිත එක් බඳුය. ඉදින් තාගේ දුක මා අයත්නම් හෙවත් මා විසින් මැඩලිය හැක්කක් නම්, එය අවසන්වීයයි දැනගනුව. මහරජතුමනි, මගේ දුරුකළ නොහැකි එක් උතුම් දෙයකැයි දැනගනුව. එය කිරීමෙහි පොහොසත් වන්නේ නම් (කරන බවට) ගර්ජනය කරනු මැනවි. විජිතය (පිළිබඳ) යම්තාක් දේ ඇද්ද, ඉදින් මෙකී දෙයකින් ඔබට ප්‍රයෝජන නම් කම්පා නොවූයේ ම (එය) දෙන්නෙමි. දේවයන් වහන්ස, ඔබ විසින් (එසේ කරණ බවට) ගජ¡නය කරන ලදී. එබඳු බොහෝ ගර්ජිතයන් (ඇතැම් විට) බොරු වන්නේය. අද ඔබ සියලු ධර්‍මයන්හි පිහිටියෙක්දැයි දැන ගත්තෙමි. (ඇති) යමක් දෙන්නාවූ මා (ඔබ) දැඩි ලෙස පෙළන්නෙහිය. මා පෙළීමෙන් ඔබට ඇති ප්‍රයෝජනය කිම? තා විසින් පතන ලද්ද මට කියව. මහරජතුමනි, මම අනුත්තරවූ බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේ කැමැත්තෙමි. සම්බුදුරජුන් වළඳවන්නෙමි. ජීවිතය (බඳු) මාගේ වචනය (අන්ලෙසකින්) නොවේවා, මම ඔබට අනික් වරයක් දෙමි. තථාගතයන් වහන්සේ නොඉල්ලනු මැනව. ජොතිරස නම් මැණික වැනිවූ බුදුරදුන් තෙම කිසිවෙකුට නොදිය යුත්තෙකි. දේවයන්වහන්ස ඔබ විසින් තමාගේ ජීවිතය වුවද දෙමැයි ගර්ජනය කරන ලදුයේ නොවේද? ජීවිතය දෙන්නාහු විසින් බුදුරදුන් දීම සුදුසුය. බුදුරජ තෙම (වෙන්කොට) තැබිය යුතුය. සව¢ඥතෙම කිසිවෙකුට නොදිය යුතු වේ. මා විසින් බුදුරජතෙම දෙමැයි පිළිවදන් නොදෙන ලදී. (අනික් කැමැතිතාක්) අපමණවූ ධනය ඉල්ලනු මැනව අධිකරණයට පැමිණෙමු. අධිකරණයෙහිදී (කරුණු) විචාරන්නෙමු. රජුන් අත්ගෙන විනිශ්චය (උසාවියට) ගියෙමි. විනිසකරුවන් ඉදිරියෙහි මෙම වචනය කීමි. විනිසකරුවෝ මාගේ (වචනය) අසත්වා. කිසිවක් නොතබා මට රජතෙම වරයක් දුන්නේය. ජීවිතය පවා පැවරිය හෙවත් කැමැතිවුවහොත් දෙන බව කීය.
මට (එසේ) වර දුන් මම බුදුරදුන් ඉල්ලීමි. මම බුදුරජතෙම මැනවින් දෙන ලද්දේ වේද, එසේ නොදෙන ලද්දේ නම් (එය වරදකැයි) මාගේ සැකයකි. තාගේ වචනයද, පෘථිවි පාලකවූ රජුගේ වචනයද අසන්නෙමු. දෙදෙනාගේම වචන අසා මෙහි සැක දුරු කරන්නෙමු. දේවයන් වහන්ස, කිසිවක් තබා නොගෙන, සියල්ලම ගතයුතු සේ කොට, (ඒ) සියල්ල ඔබ වහන්සේ විසින් මොහුට දෙන ලදද, ජීවිතය (දෙන බව කියා) පැවරීද? (හෙතෙම) කරදරයට පැමිණියෙක්ව, උතුම් වරයක් ඉල්ලීය. අතිශයින් දුකට පත් මොහු දැන (කැමැති සියල්ලක්ම දෙමැයි) සර්වග්‍රාහිකකොට වරයක් දුනිමි. දේවයන් වහන්ස, පරාජය ඔබ වහන්සේටය, බුදුරජතෙම ඔහුට දිය යුතුය. දෙදෙනාගේම සැක පසිඳන ලදී. සත්‍යයෙහි සිටිනු මැනවි.
රජතෙම එහිම සිටගෙන විනිසකරුවනට මෙය කීය. මිත්‍රවරුනි, මටද තෙපි (වරයක්) දෙන්නහු නම් නැවත මම බුදුරදුන් (ආපසු) ලබමි. තාගේ අදහස් සම්පූර්‍ණකොටගෙන, තථාගතයන් වළඳවා, ආනන්ද රජුහට නැවත බුදුරදුන් දෙන්නෙහිය. මම විනිසකරුවනටද, රජතුමාට ද වැඳ සතුටුවූයේ, ප්‍රමුදිතවූයේම බුදුරජුන් වෙත එළඹියෙමි. චතුරෝඝයන් තරණය කළාවූ, ආශ්‍රව රහිතවූ සම්බුදුරදුන් වෙත එළඹ හිස නමා වැඳ මෙම වචනය කීමි. පසැස් ඇත්තාණන් වහන්ස, රහතුන් ලක්‍ෂයක් දෙනා වහන්සේ සමඟ (මාගේ දානය) ඉවසා වදාළ මැනව. මාගේ සිත සතුටු කරමින් මාගේ නිවසට වඩිනු මැනව. මතු සම්බන්ධයි
සටහන: බණ්ඩාර පිළවල