දුටුගැමුණු රජු කල පිරිණිවන් පෑ මලියදේව හිමියන් ලංකාවේ අන්තිම රහත් තෙරනම නොවේ. සැබැවින්ම, අද වුව රහතුන් බිහි විය හැකිය. ඒ සදහා අවශ්‍ය වන්නේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ ශ්‍රී සද්ධර්මය සීල සමාධි ප්‍රඥා වශයෙන් දියුණු කොට සාක්ෂාත් කිරීමයි.

ඔබත් බුදුරදුන් පෙන්වා වදාළ උත්තම දහම් මාර්ගයේ ගමන් කරන්න


Powered by දහම් විල


ලිපි සඳහා පහත මාසය අනුව ලිපි පටුන බලන්න

“භාග්‍යවතුන් වහන්ස මම ජනවසභ වෙමි, සුගතයන් වහන්ස මම ජනවසභ වෙමි”

නමෝ තස්ස භගවතෝ අරහතෝ, සබ්බ ධම්මේහි අප්පටිහත ඥානචාරස්ස, දස බල ධරස්ස, චතු වේසාරජ්ජ විසාරදස්ස, සබ්බ සත්තුත්තමස්ස, ධම්මිස්සරස්ස, ධම්ම රාජස්ස, ධම්මස්සාමිස්ස, තථාගතස්ස, සබ්බඤ්ඤුණෝ සම්මා සම්බුද්ධස්ස.!..!!..!!!  
බලන්නන් ඇසට, අසන්නන් කනට, කියන්නන් වදනට, සිතන්නන් සිතට, වඳින්නන් වැඳුමට, පතන්නන් පැතුමට, පුදන්නන් පිදුමට තමන් හා සම, තමනට වැඩි අන් කිසිවෙක් දෙවියන් සහිත බඹුන් සහිත ශක්‍රයන් සහිත මරුන් සහිත මිනිසුන් සහිත කෝටි ලක්ෂයක් සක්වලෙහි එකදු සත්ත්වයෙක් නොමැති බව අසිරිමත් බුදු ඇසින්ම පසක් ව දැනගත්, දානාදී සමතිස් පාරමී බලයෙන් තමන් උදෙසාම පිහිටි වජ්‍රාසන මත හිඳ පස් මරුන් පරදා ලත් සව්නැණ සහිත සම්මා සම්බෝධියෙන් අනන්ත අප්‍රමාණ ලෝ ධාතූන්හි අනන්ත අප්‍රමාණ වූ  සකලවිධ සත්ත්වයන්ගේ සියලු සිත් සියලු සිතුවිලි සිය නුවණෙහිම වැටෙන, ඔබේත් මගෙත් ශාස්තෘ වූ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත පැහැද අසිරිමත් වූ බුද්ධානුභාවය මොනවට පසක් වන මේ දහම් කථා අසමු, දරමු, සිහිකරමු, වඩමු.
සුන්දර වූ අමා ගීයක් බඳු “බුත්සරණ” ලියූ, පින්වත් විද්‍යාචක්‍රවර්තීන් වදනින් උදව් ගෙන කියන්නේ- දොර දොර නැගී සඳක් සේ, හැම සතුන් තමතමා ජීවිතයක් සේ, නොහැකිල පිපිවනින් සිටිනා රන් පියුමක් සේ, කර රස (ලවණ රස) නැතිව අමා රසගත් මහ මුහුදක් සේ, හැම කල්හිම අඩු නොවී සිටිනා පුන් සඳක් සේ, පණු පිලවුන් නොවන මී වදයක් සේ, හෙණ බිය නොදෙන මහා මේඝවලාවක් සේ, නොමිරිකී තිබෙන යෞවනයක් සේ, මරණයෙන් නොමැකෙන ජීවිතයක් සේ, දුගීන් අත්පත් මහා නිධානයක් සේ, මහසාගතයෙහි ලද අනගි රස බොජුනක් සේ, මහ සයුරෙහි නැව් බිඳුණු කල දුටු මහ දිවයිනක් සේ, අන්ධකාර වූ කල්පාරම්භයෙහි දුටු ලහිරුමඩලක් සේ, මහ ලෙඩෙහි ලද දිව ඔසුවක්‌ සේ, දුකෙහි ලද පිටිවහලක් සේ, මරු කතරෙහි දුටු මහ විලක් සේ, මුළුතුන් ලොවට වෙසෙසින් හිමි, මුළු තුන් ලොව අමුතුවෙන් දුටු, මුළු තුන් ලොවට නිවීම දුන් මිහිරි වූ සම්මා සම්බුදුරජුන් සරණ යමි යි පහන් සිත් සිතා දෙලොව වැඩ සලසාගත යුතු.
භාග්‍යවතුන් වහන්සේ එක් කලෙක නාදික (ඥාතිකා) නම් ගමෙහි ගෙඩිගෙහි (ගිඤ්ජකාවස්ථ නම් විහාරයෙහි / ගඩොළු ගෙහි) වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ඥාතිකා ගම සමීපයෙහි වූ, අවට  වූ කාසි, කෝසල, වජ්ජි, මල්ල, චෙතිය, වංස, කුරු, පංචාල, මච්ජ, සූරසෙන ජනපදයන්හි සමීප අතීත කාලයෙහි මියගිය උපාසක උපාසිකාවන්ගේ  නැවත උත්පත්තිය පිළිබඳව ප්‍රකාශ කරන සේක. තවද, ඥාතිකා ගමෙහි විසූ මෑතකදී මියගිය, පංච ඕරම්භාගිය සංයෝජනයන් නැසූ (අනාගාමී ඵලයට පත්ව සිටි) පනහකට වැඩි උවසු උවැසියන් නැවත කාම ලෝකයට එන ස්වභාව නැතිව, සුද්ධාවාස බ්‍රහ්ම තලයන්හි ඉපිද, එහිම පිරිනිවන්පාන ස්වභාව ඇති වූහ, තවද, ඥාතිකා ගමෙහි විසූ මෑතකදී මියගිය සංයෝජන තුනක් නැසීමෙන්ද රාග ද්වේශ මෝහයන් තුනී වීමෙන්ද (සකෘදාගාමී ඵලයට පත්ව) නැවත එක් වරක් පමණක් මෙලොවට එන ස්වභාව ඇති වූ, අනූවකට වැඩි උවසු උවැසියන් වූහ.  තවද, ඥාතිකා ගමෙහි විසූ මෑතකදී මියගිය සංයෝජන තුනක් නැසීමෙන් (සෝවාන් ඵලයට පත්ව) අපායට නොවැටෙනසුලු, රහත් බව පිහිටකොට ගත්, රහත් බවට නියත වූ, පන්සියයකට වැඩි උවසු උවැසියන් වූහ යි, අසිරිමත් බුදු ඇසින් දැක පවසා වදාළ සේක.
මෙසේ තිලෝගුරු භාග්‍යවතුන් වහන්සේ කාසි, කෝසල, වජ්ජි, මල්ල, චෙතිය, වංස, කුරු, පංචාල, මච්ජ, සූරසෙන ජනපදයන්හි සමීපඅතීතයෙහි යෙහි මියගිය උවසු උවැසියන් පිළිබඳව අසවල් තැනැත්තේ අසවල් තැන උපන්නේය, අසවල් තැනැත්තේ අසවල් තැන උපන්නේය, යනුවෙන් දේශනා කරනු ඇසීමෙන්ද, ඥාතිකා ගමෙහි මෑතකදී මියගිය මගඵල ලද උවසු උවැසියන් ගේ සුගතිය පිළිබඳව ඇසීමන්ද ඥාතිකා  ගම්වැසි උපාසක උපාසිකාවන් භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රශ්න විසඳීම් අසා භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි සිත්ගන්නා ලද්දේ, සතුටු වූවාහු, හටගත් ප්‍රීතිය සොම්නස ඇත්තාහු විය.
එකල්හි මහෝත්තම වූ අග්‍ර උපස්ථායක වූ ආනන්ද ස්වාමීන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේගේ මෙම ප්‍රශ්න විසඳීම අසා ඥාතිකා ගම වැසියන් සතුටු වූ බව ආරාධිත සිත් ඇතිබව දැන, ප්‍රීති සොම්නස් ඇති බව දැන මෙසේ සිත් පහල විය.
“මගධ” රාජ්‍යයෙහිද මෑතකදී ජීවත්ව සිට මියගිය චිරරාත්‍රඥ වූ බොහෝ උවසු උවැසියන් සිටියහ. අංග මගධ දෙරටෙහි (අංග දේශයද මගධ රාජ්‍ය විසින් අත්පත් කරගන්නා ලදුව එක් රාජ්‍යයක් ලෙසින් පාලනය විය) වසනලද ආර්ය ශ්‍රාවක වූ උපාසක උපාසිකාවන්ගෙන් තොර වූ බවක් අන්‍යයන්ට සිතෙන්නට පිළිවන. නමුත්, අංග මගධ දෙරටෙහි වැසියෝ බුදුන් කෙරෙහි පැහැදුනාහු, ධර්මය කෙරෙහි පැහැදුනාහු, සංඝයා කෙරෙහි පැහැදුනාහු, ශීලය පුරන ලද්දාහු වෙති. මෑතකදී මියගිය එම දෙරට වැසියන් පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ මෙතෙක් හෙළි නොකරන ලද්දාහුය. ඔවුන්ගේද උත්පත්තිය හෙළි කරනු මනාය. ඉන් බොහෝ දෙනා පහදිනු ඇත. එයින් සුගතියට යනු ඇත. මගධාධිපති “බිම්බිසාර” රජුද ධාර්මික වූද, ධර්මයෙන් රාජ්‍ය පාලනය කරන ලද්දේද, ශ්‍රමණ බ්‍රාහ්මණයන්ටත්, ගෘහපතීන්ටත්, ගම් නියම්ගම් ජනපද වාසීන්ටත් හිතකාමී විය. වැසියෝද, “දැහැමි වූ, දැහැමින් රජ කල ඔහුගේ රටෙහි අප සුවපත්ව විසූහ” යි බිම්බිසාර රජුගේ ගුණ වර්ණනා කරති. ඒ රජද, බුදුන් කෙරෙහි පහන්, ධර්මය කෙරෙහි පහන්, සංඝයා කෙරෙහි පහන් වූවාහු, සිල් පුරනසුලු ද විය. “මියයන තෙක්ම ඒ රජු භාග්‍යවතුන් වහන්සේගේ ගුණ කියනසුලු විය” යි ද වැසියෝ කියන්නාහුය. ඔහුද මෑතකදී කලුරිය කලේ, ඔහුගේ උත්පත්තියද භාග්‍යවතුන් වහන්සේ මෙතෙක් හෙළිනොකරන ලද්දේය. ඔහුගේද උත්පත්තිය හෙළි කරනු මනාය. බොහෝ දෙනා පහදිනු ඇත. එයින් සුගතියට යනු ඇත. භාග්‍යවතුන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වයද සිදු වූයේ මගධ රටෙහිමය. එසේ හෙයින් මගධයෙහි සමීප අතීතයෙහි මියගිය උපාසක උපාසිකාවන්ගේ උත්පත්තීන් හෙළි නොකිරීමට කවර කරුණුද? එසේ භාග්‍යවතුන් වහන්සේ මගධයෙහි උවසු උවසියන්ගේ උත්පත්ති හෙළි නොකරන කල ඔවුන් බලාපොරොත්තු සහිත වූ බැගෑපත් සිත් ඇතිවන්නාහුය. එනිසා භාග්‍යවතුන් වහන්සේ මගධයෙහි සමීප අතීතයෙහි මියගිය උවසු උවසියන්ගේ උත්පත්ති හෙළි කරනු සුදුසය” යනුවෙනි.
මෙසේ නැවත නැවත සිතූ, කාරුණික සිත් ඇති මහෝත්තම වූ ආනන්ද ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක හිඳ මේ පිළිබඳව භාග්‍යවතුන් වහන්සේට සැලකළ සේක. මගධ රට උවසු උවැසියන් ගේද, බිම්බිසාර රජුගේද උත්පත්තිය හෙළි කරන ලෙස ඇයද සිටියහ.මෙසේ ආනන්ද ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වෙත සිය අයදුම දක්වා, හුනස්නෙන් නැගිට, භාග්‍යවතුන් වහන්සේ වැඳ, භාග්‍යවතුන් වහන්සේ ප්‍රදක්ෂිණා කොට නික්ම ගියහ.
භාග්‍යවතුන් වහන්සේ, ආනන්ද තෙරුන් නික්ම ගොස් මද වෙලාවකින්, පෙරවරුවෙහි, හැඳ පෙරෙව, පාසිවුරු ගෙන ඥාතික ගමට පිණ්ඩපාතයෙහි වැඩි සේක. පිඬු පිණිස ඥාතික ග්‍රාමයෙහි හැසිර, පසුබත්වෙලෙහි පා ගමනින් පෙරළා වැඩමකොට පාසෝදා ගඩොලුගෙට වැඩ, මගධ රට උවසු උවැසියන් අරභයා කරුණු සලකා මෙනෙහිකොට සියලු කරුණු සිතින් එක්කොට, ඒ උවසු උවැසියන් කිනම් ඥානගතියක් ඇත්තාහුද, යම්බඳු පරලොව ගතියක් ඇත්තාහුද, යි දැනගනිමියි සිතා පනවන ලද අසුනෙහි වැඩ හුන් සේක. භාග්‍යවතුන් වහන්සේ එහි මගධ රට ඒ ඒ උවසු උවැසියන් යම් ඥානගතියක් ඇත්තාහුද, යම් පරලොව ගතියක් ඇත්තාහුද (කිනම් උපතක්) ඒ සියලු දෙන දුටු සේක.
එයින් පසු සවස් වේලෙහි සමවතින් නැගී සිටි සේක්, භාග්‍යවතුන් වහන්සේ ගඩොළු ගෙයින් නික්ම විහාරය ඉදිරිපස සෙවණෙහි පනවන ලද අසුනෙහි වැඩහුන් සේක.එවිට ආනන්ද තෙරුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වෙත් එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ආනන්ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ අමතා මෙසේ වදාළහ.
“වහන්ස, භාග්‍යවතුන් වහන්සේ උපශාන්ත වූ දැකුම් ඇති සේක. ඔබවහන්සේගේ ඉඳුරන් විශේෂයෙන් ප්‍රසන්නව මුව වර්ණය බබළන්නේය. වහන්ස, අද භාග්‍යවතුන් වහන්සේ ශාන්ත විහරණයෙන් යුක්ත වූ බව හැඟෙයි”
එවිට තථාගත සම්මාසම්බුදු වූ භාග්‍යවතුන්වහන්සේ වදාරන සේක්,
“ආනන්දයෙනි, යම් විටෙක තෙපි මගධ රට උපාසක උපාසිකාවන් අරභයා වර්ණනා කථා කොට හුනස්නෙන් නැගී නික්මුණාහුද, එවිට මම ඥාතික ගම පිඬු පිණිස හැසිර පසුබත පිණ්ඩපාතයෙන් (ආහාර වැළඳීමෙන් පසු) පෙරළා පැමිණ, පා දොවා, ගඩොළු ගෙට විත් මගධ රට උවසු උවැසියන් අරභයා කරුණු සලාකා බලා මෙනෙහි කොට, ඒ පිරිස යම්බඳු ඥාන ගති ඇත්තෝ වූයේද, යම්බඳු පරලොව ගති (කිනම් උත්පත්ති ස්ථාන) වූයේද, ඒ ඥාන ගති, පරලොව ගති දැනගනිමි යි සිතා පනවන ලද අස්නෙහි හිඳගතිමි. ආනන්දය, ඒ පිරිස් යම්බඳු ඥානගති පරලොව ගති ඇත්තෝ වීද, මම එසේ වූ ගති උපත් ඇති මගධ රට වාසය කොට මියගිය ඒ උපාසක උපාසිකාවන් දුටුවෙම්මය.
ආනන්දයෙනි, එකල අතුරුදන් වූ (නොපෙනෙන) යක්ෂයෙක් “භාග්‍යවතුන් වහන්ස මම ජනවසභයෙමි, සුගතයන් වහන්ස මම ජනවසභයෙමි” යි හඬ නැගීය. ආනන්දය, “ජනවසභ” යන මේ නම මෙයින් පෙර ඇසුවා දනීද? යි අසා වදාළ සේක.
“වහන්ස, ජනවසභ යන මේ නාමය මෙයින් පෙර ඇසුවා නොම දනිමි. එහෙත් වහන්ස, ජනවසභ යන මේ නාමය ඇසීමෙන් මා ලොමුදහ ගැන්විණ. වහන්ස, ජනවසභ යන මෙබඳු නමක් යමෙකුහට පනවන ලද්දේ නම් ඔහු එසේමෙසේ යකෙක් නොවන්නේ යයි සිත්විය.  යි’ ආනන්ද තෙරුන් පැවසීය.
නැවත භාග්‍යවතුන් වහන්සේ,
ආනන්දය, හඬ නැගෙන්නා හා සමගම උදාර වූ සිරුර පැහැ ඇති යක්ෂයෙක් මා ඉදිරියේ පහළ විය. දෙවනුවද හෙතෙම “භාග්‍යවතුන් වහන්ස මම බිම්බිසාර වෙමි, සුගතයන් වහන්ස මම බිම්බිසාර වෙමි” යි හඬ නැගීය.
තවද,
“වහන්ස, මේ සත්වන වරට වෙසවුණු (වෙසමුණි / වෛශ්‍රවණ- එනම් සතරවරම් රජ දරුවන් අතරින් චතුර්මහාරාජිකයෙහි උතුරු දෙස පාලනය කරන, යක්ෂයනට අධිපති බලසම්පන්න දිව්‍ය රාජයාය.) රජුගේ සහභාවයට (පිරිස අතරට) පැමිණියෙමි(සත් වන වරට නැවත චාතුර්මහාරාජිකයෙහි බලසම්පන්න යක් රජෙකුව උපන් බවයි).  ඒ මම මෙම භවයෙන් යම් කලෙක චුත වන්නේද, එකල මිනිස්ලොව රජෙකු වන්නට හැකි වෙමි. මෙසේ මිනිස්ලොව සහ දෙව් ලොව පෙර භවයන්හි මා වාසය කලෙම්ද, ඒ සැම තන්හි පෙර විසූ කඳ පිළිවෙල (පෙර භවයන්හි උපත ඇතුළු විස්තර- පුබ්බේනිවාසානුස්සතිය) තුදුසක් (ආත්මභාව දහතුනක්) දනිමි. වහන්ස, දීර්ඝ කාලයක් අපායකට නොවැටුණෙමි. අපායට නැවත මගේ නොවැටීමද (සෝවාන් පලයට පත්ව ඇති බැවිනි) දනිමි. සකෘදාගාමී බව පිණිසද මගේ අපේක්ෂාව පවතී. යයිද ඔහු කීය.
(නැවත භාග්‍යවතුන් වහන්සේ),
“ වහන්ස, දීර්ඝ කාලයක් අපායකට නොවැටුණෙමි. අපායට නැවත මගේ නොවැටීමද දනිමි. සකෘදාගාමී බව පිණිසද මගේ අපේක්ෂාව පවතී” යනුවෙන් තෙපි කියාහු. ආයුෂ්මත් ජනවසභ යක්ෂය, තොපගේ මෙම වචනය අශ්චර්යය. අද්භුතය. ආයුෂ්මත් ජනවසභයන් කවර හේතුවකින් මෙවන් අධිගම විශේෂයක් (මාර්ගඵල ලාභයක්‌) ලද බව හඳුනා ගත්තේද?” යි මම ඇසීමි.
(ජනවසභ යක්ෂයා මෙසේ කියයි.)
“භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේගේ සසුනෙන් බැහැරව නොවෙයි, සුගතයන් වහන්ස ඔබ වහන්සේගේ සසුනෙන් බැහැරව නොවෙයි.” වහන්ස, යම් දිනෙක (යෂ්ටි වනොද්‍යානයෙහි පළමුවෙන්ම බණ අසා සෝවාන්ව) භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ඒකාන්ත වශයෙන් පැහැදුණෙම්ද, වහන්ස එතැන් පටන් කොට දිගු කලක් අපායෙන් මිදුනෙම්ව, අපායට නොවැටීම හඳුනමි.සකෘදාගාමී බව පිණිස මගේ අපේක්ෂාවද ඇත”.
“වහන්ස, මෙහි මම වෙසමුණි මහරජු විසින් යම් කටයුත්තක් සඳහා “විරූඪක මහරජු” (චාතුර්මහාරාජිකයෙහි දකුණුදිග  පාලනය කරන – කුම්භාණ්ඩයන්ට  අධිපති -විරූඪක වරම් දෙව් මහරජ) වෙත එවන ලදුයෙමි. ඒ සඳහා යන අතරමග භාග්‍යවතුන් වහන්සේ, ගඩොළු ගෙට විත් මගධ රට උවසු උවැසියන් අරභයා කරුණු සලාකා බලා මෙනෙහි කොට, ඒ පිරිස යම්බඳු ඥාන ගති ඇත්තෝ වූයේද, යම්බඳු පරලොව ගති (කිනම් උත්පත්ති ස්ථාන) වූයේද, ඒ ඥාන ගති, පරලොව ගති දැනගනිමි යි සිතා වැඩහුන් බව දුටුවෙමි.
වහන්ස, “මගධ රට වාසය කරන ලද මෑතකදී මියගිය ඒ උවසු උවැසියන්, යම් ඥාන ගති ඇත්තෝ වීද, යම්බඳු පරලොව උපත් ඇත්තෝ වීද” යනබව ඒ පිරිස සහිතකොට දෙවියන් අතරදී මින් පෙර ප්‍රකාශිත බවට වෙසමුණි මහරජ විසින් අසන ලදුව, වෙසමුණි මහරජ විසින් මාහට පවසා මා පිළිගත්තා පුදුමයක් නොවෙයි.
වහන්ස, මා විසින් එසේ දෙවියන් අභිමුව අසනලද මේ කරුණු, භාග්‍යවතුන් වහන්සේ දැක භාග්‍යවතුන් වහන්සේට සැළ කරන්නෙමි’ යි යන සිත විය. වහන්ස මේ භාග්‍යවතුන් වහන්සේ දක්නා පිණිස මා එළඹුණු කාරණා දෙකය.
වහන්ස, පෙර දවස, බොහෝ දවසකට පෙර, ඒ පසළොස්වක පොහෝ දිනක, වස්සාන සෘතුව එළඹී කල, පුන් සඳ ඇති රැයක, සියලු තව්තිසා වැසි දෙවියෝ සුදම් සභාවෙහි (සුධර්මා දිව්‍ය ශාලාවෙහි) එක්වී, එක්රැස් වුනාහු වෙත්. සතරවරම් දෙව්රජුන් සිව් දිශාවෙහි හුන්නාහු වෙති. පෙරදිග ධෘතරාෂ්ඨ මහරජ බටහිර දෙසට මුහුණලා දෙවියන් පෙරටු කොටද, දකුණුදිග විරූඪක මහරජ උතුරු දෙසට මුහුණලා දෙවියන් පෙරටු කොටද, බටහිර විරූපාක්ෂ මහරජ පෙරදිගට මුහුණලා දෙවියන් පෙරටු කොටද, උතුරුදිග වෙසවුණු මහරජ දකුණු දිගට මුහුණලා දෙවියන් පෙරටු කොටද සිටියහ.
වහන්ස යම් විටෙක, තව්තිසා වැසි දෙවියෝ සුදම් සභාවෙහි එක්රැස් වූවාහු, මහත් දෙව් පිරිස සහිතව සිටියාහු වෙත්ද, එවිට සතර වරම් මහරජුන් සතර දෙසින් සිටිති. වහන්ස ඒ ඔවුන්ගේ අසුන් ගැනීම වෙයි. ඉක්බිති අපගේ අසුන් ගැනීම වෙයි.
වහන්ස, යම් දෙව් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි (බුදු සසුනෙහි) බඹසර හැසිර තව්තිසා දෙව් ලොවට පැමිණියේද, ඔවුහු වර්ණයෙන්ද, යශසින්දසෙසු දෙවියන් ඉක්මවා බබළති. එවිට තව්තිසා වැසි දෙවියෝ, “ප්‍රීතියකි! දෙව් පිරිස් පිරේ, අසුර පිරිස් පිරිහේ” යැයි ආරාධිත සිත් ඇත්තෝ, සතුටු වූවෝ, හටගත් ප්‍රීති සොම්නස් ඇත්තෝ වෙති. එකල්හි සක්දෙවිඳු තව්තිසාවැසි දෙවියන්ගේ පැහැදීම දැන,
ප්‍රීතියෙක, භවත්නි, ඉන්ද්‍රයා (සක්දෙවිඳු) සහිත තව්තිසාවැසි දෙවියෝ තථාගතයන් වහන්සේද, ධර්මයාගේ සුධර්මත්වයද නමදනාහු, සුගතයන් වහන්සේ වෙත බඹසර හැසිර මෙහි පැමිණි, වර්ණවත් යශස් ඇති අළුත් දෙවියන් දක්නාහු සතුටු වෙත්” යයිද,
“මහනුවණැති බුදුරජුන්ගේ සවු(ශ්‍රාවක) වූ, විශ්ෂ අධිගමයට පැමිණි ඔවුහු මෙහි පැහැයෙන්ද, යශසින්ද අන් දෙවියන් ඉක්මවා බබළති” යිද,
ඉන්ද්‍රයා සහිත තව්තිසා වැසි දෙවියෝ මෙය දැක, තථාගතයන් වහන්සේද, ධර්මයාගේ සුධර්මත්වයද, සංඝයාගේ සුපිළිවෙතද නැමද සතුටු වෙති” යි ගාථාවන් කියා අනුමෝදන් විය.
වහන්ස ඉක්බිති,
තව්තිසා වැසි දෙවියෝ යම් කරුණක් අරභයා රැස් වූයේද, ඒ කරුණ සාකච්ඡා කොට, සතර වරම් රජ දරුවෝ තව්තිසාව පාලනය කරන “තිස්තුනක්” වූ දෙව් රජුන් විසින් දෙනු ලබන උපදෙස් අනුශාසනා අසමින් නැවත නැවත කතිකා කරමින් සිටියාහු වෙති. තෙතිස්‌ දෙව් පුත් රජුන් විසින් දෙනු ලබන අනුශාසනාවෙන් සතුටුව සිය අසුන්හිම සිටියාහු වෙති.
වහන්ස එවිට, දෙවියන්ගේ දිව්‍ය ආනුභාවය මැඩගෙන, උතුරු දෙසින් මහත් වූ ආලෝකයක්, දීප්තියක් පහළ විය. එවිට සක්දෙවිඳුන් තව්තිසාවැසි දෙවියන් අමතා, “නිදුක්වරුනි, යම්සේ පෙරනිමිති දක්නා ලැබේද, දීප්තියක් පහළ වෙයිද, මෙය බ්‍රහ්මයාගේ පහළ වීමට (බ්‍රහ්මයා දෙව් ලොවට පැමිණීමට) පෙර නිමිති වෙයි.” කීහ.
එවිට දෙවියෝ, මේ එලිය කුමක්දැයි දැක, එහි යම් ප්‍රතිපලයක් වෙතොත් එයද දැනම යන්නෙමු” යි කියා සිය අසුන් වලම උන්හ.
“වහන්ස යම් කලෙක ‘සනත් කුමාර’ බ්‍රහ්ම තෙම තව්තිසාවෙහි පහළ වෙයිද, එකල ඔහු දළ අත්බවක් (රළු වූ ශරීරයක්) මවාගෙන පහළ වෙයි. බ්‍රහ්මයාගේ පියවි ස්වභාවය දෙවියන්ගේ ඇසට විෂය නොවෙයි. බ්‍රහ්මයා පහළ වන කල ඔහුගේ පැහැයද යශසද අන් දෙවියන් ඉක්මවයි. යම්සේ රන් රුව මිනිස් රුව ඉක්ම බබළන්නේද, එසේම තව්තිසා වැසි දෙවියන් අතර පහළ වන සනත් කුමාර බ්‍රහ්ම තෙම දෙවියන් ඉක්ම බබළයි.
එකල්හි කිසිදු දෙවියෙක් ඔහු නමදින්නේ හෝ, හුනස්නෙන් නැගී සිටින්නේ හෝ, අසුනක් පිළිගන්වන්නේ හෝ නොවෙයි. සියලු දෙවියෝ, “සනත් කුමාර බ්‍රහ්ම තෙම දැන් යම් දෙවියකුගේ පලඟෙහි හිඳ ගැනීමට කැමති වත් නම් එහිම හිඳගන්නේ යැයි” සිතා නිහඬව දෙඅත් නවා පළෙඟෙහි හිඳිති. වහන්ස යම් දෙවියකුගේ පලඟෙහි සනත්කුමාර බ්‍රහ්මතෙම හිඳීද ඒ දෙව් තෙම රාජ්‍යයෙන් අලුත අභිෂේක ලැබූ ක්ෂත්‍රීය රජෙක් මෙන් මහත් සතුටට පත වුයේ, ප්‍රීතියට සොම්නසට පත්වූයේ වෙයි.
වහන්ස ඉක්බිති, සනත්කුමාර බ්‍රහ්ම තෙම දළ අත්බවක් මවා, කැරලි පහක් කොට බඳින ලද හිසකෙස් ඇතිව, පංචසිඛ ගාන්ධර්ව පුත්‍රයා මෙන් කුමාර වෙස් (යොවුන් වෙස්) ගෙන දෙවියන් අතර පහළ විය. ඔහු අහසට නැග ඈත අහසෙහි, ශක්තිමත් පුරුෂයෙකු මැනවින් ඇතිරිලි වලින් වසන ලද අසුනක හිඳගන්නේද එපරිදි අහසෙහි පළක් බැඳ හුන්නේය. බ්‍රහ්ම තෙම තව්තිසාවැසි දෙවියන්ගේ පැහැදීම දැන මේ ගාථා වලින් අනුමෝදනා කළේය.
ප්‍රීතියෙක, භවත්නි, ඉන්ද්‍රයා (සක්දෙවිඳු) සහිත තව්තිසාවැසි දෙවියෝ තථාගතයන් වහන්සේද, ධර්මයාගේ සුධර්මත්වයද නමදනාහු, සුගතයන් වහන්සේ වෙත බඹසර හැසිර මෙහි පැමිණි, වර්ණවත් යශස් ඇති අළුත් දෙවියන් දක්නාහු සතුටු වෙත්” යයිද,
“මහනුවණැති බුදුරජුන්ගේ සවු(ශ්‍රාවක) වූ, විශ්ෂ අධිගමයට පැමිණි මෙහි ඔවුහු මෙහි පැහැයෙන්ද, යශසින්ද අන් දෙවියන් ඉක්මවා බබළති” යිද,
ඉන්ද්‍රයා සහිත තව්තිසා වැසි දෙවියෝ මෙය දැක, තථාගතයන් වහන්සේද, ධර්මයාගේ සුධර්මත්වයද, සංඝයාගේ සුපිළිවෙතද නැමද සතුටු වෙති” යි ගාථාවන් කියා අනුමෝදන් විය.
වහන්ස මෙසේ පවසන සනත්කුමාර බ්‍රහ්මයාගේ, සුවසේ නික්මෙන්නාවූද, අරුත වහා හෙලිකරන්නාවූද, මිහිරි වූද, කනට සුව එළවන්නා වූද, එකට කැටි වූද, නොවිසිරී පවත්නා වූද, ගාම්භීර වූද, රැව්දෙන්නා වූද, යන මේ අංග අටකින් සමන්විත හඬක් වෙයි. මෙසේ බ්‍රහ්ම ස්වර ඇති සනත් කුමාර බ්‍රහ්ම තෙම අත්බැව් තිස්තුනක් (ශරීර තිස්තුනක්) මවාගෙන තව්තිසා වැසි දෙවියන්ගේ ඒ ඒ පලඟෙහි එකවර පහලව පළක් බැඳ හිඳ මෙසේ කීය.
“පින්වත් තව්තිසා වැසි දෙවියෝ කෙසේ සිතයිද? ඒ භාග්‍යවතුන් වහන්සේ කොතරම් මහත් ලෙස දෙව් මිනුසුන්ට වැඩ පිණිස, හිත සුව පිණිස පිළිපන් සේක්ද! භවත්නි, යම් කිසි කෙනෙක් බුදුන් සරණ ගියෝද, දහම් සරණ ගියෝද, සඟුන් සරණ ගියෝද, ශීලය සම්පූර්ණ කරනසුලු වූවෝද, ඔවුන් ඇතැම් කෙනෙක් මරණින් මතු පරිනිම්මිත වසවර්ති දෙවියන් අතරට යති. ඇතැමෙක්, නිර්මාණරතී,…..,තුෂිත,…..යාම,……… තව්තිසා,…… ඇතැම් කෙනෙක් චාතුර්මහාරාජික දෙවියන්ගේ ස්වභාවයට පැමිණෙති. යම් කෙනෙක් ඉතා පහලම දෙව්පිරිසක් සපුරන්නාහු නම් ඔහු ගාන්ධර්ව පිරිස අතර උපදිති.
මෙසේ හඬ නගන සනත් කුමාර බ්‍රහ්මයාගේ නාදයම පමණකි. එක් ශරීරයක් කථා කරන කල්හි සියල්ලෝම කථා කරති.එකක්හු නිහඬ වූ කල සියල්ලෝ නිහඬ වෙති. එදා තව්තිසා වැසි සියලු දෙවියෝ තමන්ගේ පලඟෙහි හුන් බ්‍රහ්මයාම පමණක් කථා කරති’යි සිතූහ.
ඉක්බිති සනත් කුමාර බ්‍රහ්ම තෙම බොහෝ සිරුරු හැර ඒකත්වයෙන් (එක් ශරීරයකින්) පෙනී සිටියහ. එසේ පෙනී සිට, සක්දෙවිඳුගේ පළගෙහි පළක් බැඳ හිඳ දෙවියන් අමතා මෙසේ කීය:
පින්වත්වූ තව්තිසා වැසි දෙවියෝ ඒ කුමකැයි සිතන්නාහුද?
ඒ භාග්‍යවතුන් වහන්සේ විසින්, ඥානයෙන් දන්නාවූ, දක්නාවූ අර්හත්වූ සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ විසින්, යම් පමණවූ මේ සතර ආකාර සෘද්ධිපාද කෙනෙක් ඉතා හොඳින් පනවන ලද්දාහුද ඒ ධර්මයෝ බොහෝ සෘද්ධිමත් භාවය පිණිසද. සෘද්ධි බලයන්  සේවනය සඳහාද, නොයෙක් ආකාර සෘද්ධි දැක්වීම පිණිසදවෙත්.
ඒ සතර කවරහුද යත් පින්වත්නි,
මේ ශාසනයෙහි යම් මහණෙක් කර්තුකම්‍යතා (කලයුතු දේ කිරීම පිණිස) ජන්දය අධිපති කොට ලත් සමාධියෙන් හා ප්‍රධන්වීර්යයෙන් යුත් සෘද්ධිපාදය වඩයි. වීර්යය අධිපති කොට ලත් සමාධියෙන් හා ප්‍රධන්වීර්යයෙන් යුත් සෘද්ධිපාදය වඩයි. චිත්තය අධිපති කොට ලත් සමාධියෙන් හා ප්‍රධන්වීර්යයෙන් යුත් සෘද්ධිපාදය වඩයි. වීමංසාව අධිපති කොට ලත් සමාධියෙන් හා ප්‍රධන්වීර්යයෙන් යුත් සෘද්ධිපාදය වඩයි. භවත්නි, මේ වනාහි දන්නා දක්නා ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් සෘද්ධිමත් හාවය පිණිසද සෘද්ධියාගේ ආසේවනය පිණිසද, නොයෙක් ආකාර සෘද්ධි දැක්වීම පිණිසද පණවන ලද්දාහුය.
පින්වත්හි අතීතයෙහිද අනාගතයෙහිද මේකාලයෙහිද යම් ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ සෘද්ධිවිධි වලින් ප්‍රයෝජන ගත්තාහුද, ගන්නාහුද ඒ සියලු මහණ බමුණෝ මේ සතර ආකාර සෘද්ධි පාදයන් වැඩු බැවින්ද, බොහෝ සෙයින් පුරුදුකරන ලද බැවින්ද ඒ සෘද්ධි වලින් ප්‍රයෝජන ලබන්නාහුය.
මමද මේ සතර ආකාර සෘද්ධි පාදයන් වැඩු බැවින්ද බහුළ කල බැවින්ද මෙබඳු මහත් සෘද්ධි ඇත්තෙක්ද මෙබඳු මහත් ආනුහාව ඇත්තෙක්ද වෙමියි කීය.
(මේ අයුරින් සනත් කුමාර බ්‍රහ්ම තෙම ත්‍රිවිධ අවකාශාධිගම, සතර සතිපට්ඨාන, සතක් වූ “සමාධි පරිෂ්කාර ධර්ම” යන උතුම් දහම් කරුණු පිලිබඳ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවේ අනුත්තරීය භාවය ප්‍රකාශ කරයි.- මෙම දහම් කරුණු විශේෂයෙන් සාකච්ඡා කලයුතු බැවින් සහ ලිපියෙහි ඉඩකඩ ප්‍රමාණවත් නොවන බැවින් මෙහි විස්තර සඳහන් නොකරනු ලැබේ. උත්සුක සිත් ඇත්තෝ අප කෙරෙහි කරුණාවෙන් ක්ෂමා කොට- දීඝ නිකාය මහා වග්ගයේ, ජන වසභ සූත්‍රය කියවීමට යොමු වෙත්වා. ඉදිරි ලිපිවලින් එම දහම් කරුණු නිසි පරිදි සාකච්ඡා කරනු ලැබේ.)
භවත්නි, සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් යහපත් සමාධියක් වැඩීම පිණිසද, යහපත් සමාධියක් සම්පුර්ණ කිරීම පිණිසද මේ පරිෂ්කාර ධර්ම(පිරිවර ධර්ම) සතක් පනවන ලද්දාහුය. ඒ සත කවරහුදයත්? යහපත් දැකීමය(සම්‍යක් දෘෂ්ටිය) යහපත් කල්පනාවය(සම්‍යක් සංකලපනා) යහපත් වචනය(සම්‍යක් වචනය) යහපත් කර්මාන්තය(සම්‍යක් කර්මාන්ත) යහපත් දිවිපැවත්මය(සම්‍යක් ආජීව) යහපත් වෑයමය (සම්‍යක් ව්‍යායාම) යහපත් සිහිය(සම්‍යක් ස්මෘති) යන මොවූහුයි.

පින්වත්නි, මේ අංග(කරුණු) සතෙන් සිතේ යම් එකඟබවක්(සමාධියක්) පිරිවරණ ලද්දේද, ඒ සමාධිය ආර්යය සම්‍යක් සමාධියද, පිරිවර සහිතද උපනිඃශ්‍රය සහිත යයිද කියනු ලැබේ.
පින්වත්නි, සම්මා දිට්ඨිය ඇත්තාහට සම්මා සංකප්පය පවතී. සම්මා සංකප්පය ඇත්තාහට සම්‍යග් වචනය පවති. සම්‍යග් වචනය ඇත්තාට සම්‍යග් කර්මාන්තය පවතී. සම්‍යග් කර්මාන්තය ඇත්තාහට සම්‍යග් ආජීවය(දිවිපැවැත්ම) පවතී. සම්‍යග්  ආජීවය ඇත්තාහට සම්‍යග් ව්‍යායාමය පවති. සම්‍යග් ව්‍යායාමය ඇත්තාහට සම්‍යග් සතිය (ස්මෘතිය) පවති. සම්‍යග් සතිය ඇත්තාහට සම්‍යග් සමාධිය(සිත එකඟබව) පවති. සම්‍යග් සමාධිය ඇත්තාහට සම්‍යග් ඥානය පවති. සම්‍යග් ඥාන ඇත්තාහට සම්‍යග් විමුක්තිය(කෙළෙසුන්ගෙන් මිදිම) පවති.
පින්වත් තව්තිසාවැසි දෙවියනි, යමක් පිලිබඳ මනාව කියන තැනැත්තෙක්, මේ ධර්මය භාග්‍යවතුන් වහන්සේ මනාකොට වදාරන ලද්දේය, සන්දෘෂ්ටිකය, අකාලිකය, “එව බලව” යි දැක්විය යුත්තේය, සිය සිත් සතන්හි යෙදිය, එළවිය යුත්තේය, නුවණැත්තන් විසින් තම තමන් කෙරෙහිලා දත යුත්තේය, අමා දොරවල් අරිනා ලද්දේය’ යි කියන්නේ නම්, ඒ මේ උතුම් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය පිලිබඳවමය.
භවත්නි, යම් කෙනෙක් බුදුරජුන් කෙරෙහි දැන පැහැදීමෙන් යුක්තද, ධර්මය කෙරෙහි දැන පැහැදීමෙන් යුක්තද, සංඝයා කෙරෙහි දැන පැහැදීමෙන් යුක්තද, ආර්යකාන්ත ශීලයෙන් සමන්විතද, එසේ ආර්ය ධර්ම මාර්ගයෙහි හික්මුනාවූ, ඕපපාතික උපත් ලැබූ (දෙව් ලොව සහ සුද්ධාවාස වලින් පහළ තලයන්හි උපත ලද) උපත ලද, මගධ රට වාසය කොට මෑතකදී මියගිය, තුන් සංයෝජනයන් නැති කිරීමෙන් සොවාන් වූ, රහත් බවට නියත, රහත් ඵලය පිහිටකොටගෙන ඇති, අපායකට නොවැටෙනසුලු වූ, උවසු උවැසියෝ සූවිසි ලක්ෂයකට අධික වෙති. තවත් මේ සුගතීන්හි සකෘදාගාමීහුද වෙති.
සංයෝජන පහක් නැසීමෙන් අනාගාමී වූවාහු, සුද්ධාවාසයෙහි- අවීහ/ අතප්ප/ සුදස්ස/ සුදස්සී/අකනිට්ඨක යන බ්‍රහ්ම තලයන් පහ උපන් තවත් පිරිස්ද ඇති බව මගේ හැඟීමයි. මුසාවාද කෙරෙහි බිය ඇති බැවින් ඔවුන් ගණනින් කොට කියන්නට අපොහොසත්මි.”
සනත්කුමාර බ්‍රහ්ම තෙම මෙසේ පැවසු කල්හි, ඒ ඇසූ වෙසවුණු මහරජු සිතෙහි මෙවන් කල්පනාවෙක් උපන්නේය. භවත්නි, අශ්චර්යයෙක, පුදුමයෙකි, මෙවන් වූ උදාර ශාස්තෘ වරයෙක් වේද, මෙබඳු වූත් උදාර ධර්ම කථාවෙක් වේද, මෙබඳු මහත් විශේෂාධිගමයක් පැණවේද, යනුවෙනි. එවිට වෙසමුණි මහරජුගේ චිත්ත පරිවිතර්කය සිය සිතින් දකින සනත් කුමාර බ්‍රහ්ම තෙම “පින්වත් වෙසමුණි මහරජාණෝ කුමක් සිතයිද, පෙරත් මෙබඳු උදාර ශාස්තෘ වරයෙක්, මෙබඳු උදාර ධර්ම කථාවෙක් වීය. මෙබඳු උදාර විශේෂ අධිගම (මගඵල) පැණහුනාහුය. මතුකල්හිත් මෙබඳු උදාර ශාස්තෘ වරයෙක්, මෙබඳු උදාර ධර්ම කථාවෙක් වන්නේය. මෙබඳු උදාර විශේෂ අධිගම (මගඵල) පැණවෙන්නේය.” යි පැවසීය.
වෙසවුණු මහා රජු දෙවියන් ඉදිරියේ අසනලද, දෙවියන් ඉදිරියේ පිළිගන්නා ලද මේ දහම් කථාව සිය පිරිස ඉදිරියේ කියන ලදහ. වෙසමුණි මහා රාහුගේ වචනයෙන් තමන් අසනලද, පිළිගන්නා ලද, මේ කරුණ ජනවසභ යක් රජු විසින් භාග්‍යවතුන් වහන්සේ හමුයෙහි මෙසේ පවසන ලදී.
භාග්‍යවතුන් වහන්සේද ජනවසභ යක්ෂයා කියන මේ වචනය අසා පිළිගෙන, තමන් වහන්සේද නිමල වූ, සියලු දෙව් බඹුන් ඉක්මවූ බල ඇති, බුදු ඇසින් බලා දැක විශේෂයෙන් දැන පින්වත් ආනන්ද මහතෙරුන් වහන්සේට දේශනා කොට වදාළ සේක.
(සනත් කුමාර මහා බ්‍රහ්ම රාජයා වනාහි අරහත්වයට පත් සුද්ධාවාස වාසී, අති දීර්ඝායුෂ්ක වූ, පෙර බුදු වරයන් වහන්සේලා පවා දැක ඇති මහෝත්තමයෙකි.)
සටහන
භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජානන් වහන්සේ සරණ ගිය, උන්වහන්සේගේ සසුනෙහි වීර්ය වඩන ලද, තිසරණයෙහි පිහිටා ශීලය පුරන ලද අනන්ත් අප්‍රමාණ දෙවියන් සිටී. නමුත් බෞද්ධ උපාසක උපාසිකාවන් තුල ශ්‍රද්ධා ශීල ආදී මූලික ශාසන ධර්ම පිරිහී ගිලිහීම නිසාත්, ධර්මය කෙරෙහිත් (ත්‍රිපිටක අට්ටකථා) විවිධ දුර්මතයන් මතු වී ධර්ම ගෞරවය ගිලිහී ගොස් ඇති නිසාත්, මිත්‍යාදෘෂ්ටි රජයන නිසාත් සම්යග්දෘෂ්ටික වූ බලවත් දෙව් බඹුන්ගේ සහය කනගාටුදායක ලෙස අපෙන් ගිලිහී ගොස් ඇති බව පෙනෙයි. කුඩා හෝ පුණ්‍යකර්මයක් කරන බෞද්ධයෝද ඒ පින් ප්‍රධානකොට අනුමෝදන් කරන්නේ අන්‍යාගමික දෙවිවරුන්ටය. බුදුසසුනේ අභිවෘද්ධිය කැමති, සංඝයා වහන්සේගේ පිළිවෙත් පිරීම උදෙසා විශේෂ ආරක්ෂා රැකවරණ සපයන අතිශය බලවත් දෙව් බඹුන් ගැන භාග්‍යවතුන් වහන්සේ මෙවන් රමණීය සුත්‍ර දේශනා මගින් අප කෙරෙහි කරුණාවෙන්ම දේශනා කොට වදාළ සේක්, අප නොමග යාම නුසුදුසුය. ආරණ්‍යවාසී ස්වාමීන් වහන්සේලා සහ සසුනෙහි පිළිවෙත් පුරන සංඝයා වහ්සේගේ ආරක්ෂා රැකවරණය පිලිබඳ දෙවියන්ගේ ක්‍රියාමාර්ග ගැනීම ගැන විස්තරද ධර්මයේ සඳහන් වෙයි. තවද, සම්මා දිට්ඨියෙහි පිහිටා පින්කම් කොට පින් අනුමෝදන් කරන සත්පුරුෂ මනුෂ්‍යයන් සිය දරුවන් ආරක්ෂා කරන මවුපියන් ලෙසින් රැකවරණ සලසා ආරක්ෂා කරන බව පෙන්වා දී තිබේ. එනිසා පින් අනුමෝදන් කිරීමේදී සියලු සත්ත්වයන් කෙරෙහි මෙත් සිත සහිතව කටයුතු කරන අතර ශාසනාරක්ෂක දිව්‍ය බ්‍රහ්ම මණ්ඩලය කෙරෙහි විශේෂ අවධානය යොමු කිරීම මැනවි.
භාග්‍යවතුන් වහන්සේගේ චරිතයට විශේෂයෙන් සම්බන්ධ පහත දැක්වෙන පිරිස්හ විෂයෙහි බෞද්ධයන් ලෙස අපේ විශේෂ අවධානය යොමු කිරීම අවශ්‍ය වන බව මෙහි අවසන් වශයෙන් දක්වා සිටිමු.
සහම්පති මහා බ්‍රහ්ම රාජයාණන් වහන්සේ, ඝටීකාර මහා බ්‍රහ්ම රාජයාණන් වහන්සේ, සනත්කුමාර මහා බ්‍රහ්ම රාජයාණන් වහන්සේ සහ තිස්ස මහා බ්‍රහ්ම රාජයාණන් වහන්සේ ඇතුළු සියලු සුද්ධාවාස වාසී ආර්යයන් වහන්සේලාද, සියලු බඹ තල වාසී සත්පුරුෂයෝද,
සදිව්‍ය ලෝක වාසී සියලු ආර්යයන් වහන්සේලා,
මහා මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ,
සියලු බෝධිසත්වයන් වහන්සේලා,
අනාගත බුදු සසුන්හි අග්‍රශ්‍රාවක මහාශ්‍රාවක ආදී තනතුරු පතමින් පාරමී පුරන සියලු සත්පුරුෂයන් වහන්සේලා, අනාගත බුදුසසුන්හි අරහත්වය පිණිස පෙරුම් පුරන සත්පුරුෂයෝ,
තව්තිසා වැසි සක් දෙව් රජු ඇතුළු තෙතිස්‌ දෙව් මහරජුන් , සතරවරම් දෙව් රජ දරුවන් ඇතුළු පිරිස, මාතලී දිව්‍ය පුත්‍රයා, විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා,
ධ්‍රැත්රාෂ්ඨ, වීරූඪ, විරූපාක්‍ෂ, වෛශ්‍රවණ නම වූ සතරවරම් දෙව් මහා රජුන් සහ උන්වහන්සේලාගේ පිරිස,
සූර්ය දෙව් රජු, චන්ද්‍ර දෙව් රජු ඇතුළු උන්වහන්සේලාගේ පිරිස,
සියලු වලාහක දේව නිකායයන්, පංචසිඛ දෙව් පුත් ඇතුළු පිරිවර ගාන්ධර්වයෝ,
සාතාගිර හේමවත යක් සෙනෙවියන් දෙදෙනා, ජනවසභ යක්සෙනෙවි, සුමන සමන් දෙව් රජ (චාතුර්මහා රාජිකයෙහි වෙසමුණි රජුගේ රාජ්‍යයට අයත් ප්‍රධාන යක්ෂ සේනාපතියෙකි).
තිසරණයට පැමිණි සියලු නාග රාජයෝ, ගුරුළු රාජයෝ ඇතුළු දිව්‍යමය පිරිස.
වත්මන් බුදුසසුනේ කේන්ද්‍රභූමිය වූ ස්වර්ණමාලි චෛත්‍යරාජයාණන් වහන්සේද, ජයශ්‍රී මහා බෝධිරාජයාණන් වහන්සේද ඇතුළු සිද්ධස්ථාන ආරක්ෂා කරණ ආරක්ෂක දෙවියෝ සහ යක්ෂයෝ.
(මෙහි නම් නොදැක්වෙන, සියලු සම්යග්දෘෂ්ටික දිව්‍යමය සත්ත්වයෝ, ධර්මයෙහි නම් වශයෙන් සඳහන් භාග්‍යවතුන් වහන්සේට සම්බන්ධ දෙවියන් ඇතුළුව,)
දීඝනිකාය – මහාවග්ගය- ජනවසභ සූත්‍රය ඇසුරින් සම්පාදිතයි.
සැමට තෙරුවන් සරණයි!
- සසිත් රාජසූරිය.

October 18, 2013 at 12:01 am | lanka C news