දුටුගැමුණු රජු කල පිරිණිවන් පෑ මලියදේව හිමියන් ලංකාවේ අන්තිම රහත් තෙරනම නොවේ. සැබැවින්ම, අද වුව රහතුන් බිහි විය හැකිය. ඒ සදහා අවශ්‍ය වන්නේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ ශ්‍රී සද්ධර්මය සීල සමාධි ප්‍රඥා වශයෙන් දියුණු කොට සාක්ෂාත් කිරීමයි.

ඔබත් බුදුරදුන් පෙන්වා වදාළ උත්තම දහම් මාර්ගයේ ගමන් කරන්න


Powered by දහම් විල


ලිපි සඳහා පහත මාසය අනුව ලිපි පටුන බලන්න

ගැඹුරුකම සරල ය සරලකම ගැඹුරු ය


මේ ලිපිය ලියන්නේ මහනුවර මහරෝහලේ වෛද්‍ය ලලිත් විඡේසිංහ සහෘදයාගේ ආරාධනයක්‌ පරිදි ය. ඔහු අපට වැදගත් වන්නේ දෘෂ්ටිගත නොවී ජීවිතය දකිමින්, සිය ශක්‌ති පමණින් තමා ජීවත් වන සමාජය යහපත් කිරීම උදෙසා කටයුතු කරන චරිතයක්‌ බැවිනි.

නොබෝදා ලලිත්ගේ පියා මිය ගියේ ය. ඔහු සිය පියාගේ අවසන් ඉල්ලීම පරිදි මව, නැගණිය ද ඇතුළු ඥාතිමිත්‍රාදීන්ගේ කැමැත්ත ඇතිව පියාගේ දේහය, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට බාර දුන්නේ ය. ඒ මොහොතේ කළ යුතු වැදගත් ම දෙය ලෙස ඔවුනට දැනී තිබුණේ එය යි. ඒ සරල ක්‍රියාව තුළ ගැඹුරු අරුතක්‌ ඇත. මෙයින් අදහස්‌ වන්නේ සෑම අයකු විසින් ම සිය සමීපතමයන්ගේ දේහ වෛද්‍ය විද්‍යාලයනට බාරදිය යුතු බව නොවේ. වඩා වැදගත් වන්නේ දිනයක්‌ හෝ දෙකක්‌ දේහය තබාගෙන අවසන් කටයුතු සිදුකිරීම නම් කළ යුත්තේ එය යි. 

මෙරට ජීවත් ව සිටි සුවිශිෂ්ට චින්තකයකු මෙන් ම කීර්තිමත් අධ්‍යාපනඥයකු වූ ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම්තුමා, සිය අභාවයෙන් පසු අවසන් කටයුතු කළ යුතු ආකාරය ගැන කිසි ම සඳහනක්‌ කොට නොතිබිණ. 1985 දෙසැම්බර් 28 වන දින අභාවයට පත් වූ එතුමන්ගේ අවසන් කටයුතු සිදු කැරුණේ 1986 ජනවාරි 01 වන දින ය. ඒ නිසා අදිකාරම්තුමන් ඇසුරු කළ, පුවත්පත්, පොතපත ඇතුළු සන්නිවේදන මාධ්‍යවලින් එතුමන් ගැන දැන සිටි දිවයිනේ නන් දෙස විසිර සිටි බොහෝ දෙනා එතුමන්ට අවසන් ගෞරව දැක්‌වීමට පැමිණියහ. ඒ පැමිණි අයගේ අතට අඩු ම වශයෙන් අදිකාරම්තුමන් විසින් ලියන ලද සිතිවිලි ලිපියක්‌ හෝ පත් කිරීමට හැකි විය. ඒ අනුව සිදු වූයේ එතුමන්ගේ අවසාන අවස්‌ථාව පවා අදිකාරම් සාහිත්‍යය සමාජගත කිරීමට ලැබෙන අවස්‌ථාවක්‌ බවට පත්වීම ය.

හොරණ, පොකුණුවිට, විනයාලංකාරාමයේ වැඩ විසූ අතිපූජ්‍ය මහාචාර්ය රේරුකානේ චන්දවිමල නාහිමියන් විසින් තමා අපවත් වූ දින ම සිය අවසන් කටයුතු කළ යුතු ය යනුවෙන් විශේෂ සඳහනක්‌ කොට තිබිණ. ඒ අනුව උන්වහන්සේගේ අවසන් කටයුතු සිදු කෙරුණේ එහිමියන් අපවත් වූ දින ම ය. එම ක්‍රියාවෙහි ද ලෝකය අවදි කරවන සුවිසල් ගැඹුරක්‌ විය. රේරුකානේ චන්දවිමල නාහිමියන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු උන්වහන්සේ අපවත් වූ දින ම සිදු කිරීමත් ලලිත්ගේ පියාගේ දේහය වෛද්‍ය විද්‍යාලයට බාරදීමත් අදිකාරම්තුමන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු දින කිහිපයකට පසු සිදු කිරීමත් බැලු බැල්මට භෞතික වශයෙන් එකිනෙකට වෙනස්‌ ලෙස පෙනී යන ක්‍රියා තුනකි. එහෙත් ඒ ක්‍රියා තුන ම කවර හෝ අන්දමක සමාජාවබෝධයකට හේතු විය. එහෙයින් ඒ ක්‍රියා තුන ම අපට වැදගත් සේ දැනෙයි, හැඟෙයි.


ඇතැම් 'පින්කම් ගෙදරක', ධර්ම දේශනයෙන් හෝ දානයෙන් පසු අපට දකින්නට ලැබෙන්නේ කා බී මත් ව සිහියෙන් තොර ව කටයුතු කරන දර්ශන ය. ඒවා 'පින්කම්' කියා හැඳින්විය හැකි ද? ඇතැම් දෙනා විසින් කරනු ලබන ක්‍රියා තුළ ඇත්තේ අක්‍රියාව යි. මෙය වඩාත් පැහැදිලි කොට ගැන්ම සඳහා අපට භගවද්ගීතා පාඨයක්‌ උපයෝගී කොට ගත හැකි ය.

කර්මණ්‍යකර්ම යඃ විශ්‍යෙයදක

ද කර්මණි ච කර්ම යඃ

ස බුද්ධිමාන් මනුෂ්‍යෙෂු

ස යුක්‌තඃ කෘත්ස්‌නකර්මකෘත්"

මෙයින් කියෑවෙන්නේ යමෙක්‌ අක්‍රියාවෙහි ක්‍රියාවත් ක්‍රියාවෙහි අක්‍රියාවත් දකියි ද ඒ තැනැත්තා මනුෂ්‍යයන් අතර බුද්ධිමතා බව යි. ඔහු සියලු ක්‍රියා කරන යෝගියා බව යි. අනුන් අබිබවා යාමේ අදහසින් තනතුරු, බලය, ධනය උදෙසා කෙනෙකු විසින් කරනු ලබන අනවරත සටන තුළ බැලු බැල්මට ක්‍රියාවක්‌ තිබේ. එහෙත් ඒ වූ කලී ක්‍රියාවෙහි අක්‍රියාව යි. එබඳු තැනක දී කළ යුතු ක්‍රියාව වන්නේ ධනය, බලය, තනතුරු ආදිය උදෙසා කිසිවක්‌ නොකර හිඳීම යි. එතැන ඇත්තේ තරඟ නොකිරීමේ ක්‍රියාව යි. ගීතාවට අනුව අක්‍රියාවේ ක්‍රියාව යි.

අප විසින් කරනු ලබන ක්‍රියා කොතරම් දුරට අර්ථවත් ද අර්ථ හීන ද යන්න ගැන සැලකිලිමත් වනු වටී. අමද්‍යප සමාජයක්‌ ස්‌ථාපිත කිරීම සඳහා කටයුතු කරන අව්‍යාජ අමද්‍යප සාමාජිකයකුට, මද්‍යසාර ගැනීම අනුමත කෙරෙන හෝ ඇගයෙන අදහස්‌ ඇතුළත් ගීත ගායනා කිරීමට පෙළඹිය හැකි ද ? නොඑසේ නම් එබඳු ගීතයකට අත්වැල ඇල්ලිය හැකි ද ? තමා හදවතින් ම කටයුතු කරන්නේ අමද්‍යප සමාජයක්‌ බිහිවනු දැකීමට නම්, එබඳු අය විසින් නොදැනුවත් ව හෝ තමා අතින් සිදුවන මේ ක්‍රියාව ගැන වඩාත් සිතා බලනු වටී.

එසේ ම හිංසකත්වයෙන් තොර සමාජයක්‌ බිහිවනු දකිනු කැමති අව්‍යාජ නිර්මාංසාහාරිකයකුට 'සුරංගනීට මාලු ගෙනාවා' වැනි ගී ගැයීමට ඉදිරිපත් විය හැකි ද ? නො එසේ නම් එබඳු ගීයක අත්වැල් සපයන්නා විය හැකි ද ? තව ද 'සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා' යි ප්‍රාර්ථනා කරන කෙනෙකුට, ඝාතනයට ලක්‌වන සත්ත්ව ජීවිත ආහාරයට ගත හැකි ද ? මේ සම්බන්ධයෙන් ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම් මහාත්මා විසින් දක්‌වනු ලැබ ඇති පහත සඳහන් ප්‍රකාශයට අපගේ අවධානය යොමු කිරීම සුදුසු ය.

''යම් සතෙක්‌ නිදුක්‌ වේවා යි එක දවසක දී ප්‍රාර්ථනා කොට තව දවසක දී උගේ මස්‌ කෑම සිහිය ඇති කෙනෙකුට සිතා ගැනීමට බැරි තරමේ පරස්‌පර විරෝධී ක්‍රියා නොවන්නේ ද ? එහෙත් අද නරක මිනිසුන් පසෙක තිබිය දී මෛත්‍රී භාවනාව වඩන, යහපත් ප්‍රතිපත්ති පුරන්ට උත්සාහ කරන, හොඳ මිනිසුන් කී දෙනෙක්‌ මේ පරස්‌පර විරෝධී ක්‍රියා දෙකෙහි යෙදෙත් ද ?

සියලු ම සත්ත්වයෝ යෑයි කියූ විට අත් හැරිය හැකි එක ද සතෙක්‌ නොවන්නේ ය. හරකා, එළුවා, ඌරා, කකුළා ආදී ගොඩ සිටින සතුන් පමණක්‌ නොව දියෙහි වසන මාළුවා, කකුළු වා, ඉස්‌සා ආදී ලොකු කුඩා සෑම සතෙක්‌ ම ද එහි අන්තර්ගත වන්නේ ය. එම නිසා සියලු සත්ත්වයෝ නිදුක්‌ වෙත් වා යි ප්‍රාර්ථනා කරන කෙනෙකු මසක්‌ මාළුවක්‌ කන විට ඔහු කරන්නේ තමා විසින් මෛත්‍රී කරනු ලැබූ සතෙකු තමා විසින් ම කෑම ය.

ඔබ මෛත්‍රී භාවනාවත් කරන මස්‌ මාළුත් කන කෙනෙක්‌ නම් මීට පසු කෑම සඳහා මසක්‌ හෝ මාළුවක්‌ මේසය මතුයෙහි තිබෙනු දකින විට ඔබ කරන්ට යන ක්‍රියාව ගැන මොහොතක්‌ සිහියෙන් යුක්‌ත ව බලන්න.''

අප මෙතෙක්‌ මේ ගැන නොසිතුවේ නම් කළ යුත්තේ කුමක්‌ ද ? තමාගේ ම ආදරණිය විවේචකයා බවට තමා ම පත් වී සිදුවීම් අවලෝකනය කිරීම ය. අනතුරුව තමාට දැනුණු හැඟුණු සත්‍යය තුළ, අනුනට කායික හෝ මානසික පීඩාවක්‌ නොවන පරිදි, හැකි උපරිම අයුරින් ක්‍රියාත්මක වීම ය. එසේ ක්‍රියාත්මක වන අතර, තමාට වැටහුණු දෙය, හැකිතාක්‌ දෙනාට ඉතා ආදරණීය ලෙස වටහා දීමට උත්සාහ දැරීම ය. එබඳු මෙහෙවරක දී පිරිමියා සේ ම ගැහැණිය ද එක සේ වැදගත් වෙයි.

ගැහැණිය යහපත් ලෞකික ජීවිතයක පැවැත්මට හෝ විමුක්‌තියට බාධාකාරී තැනැත්තිය ලෙස දැක, ඇය හෙළා දකිමින් කටයුතු කරන්නට කරන්නට යහපත් ගිහි ජීවිතය මෙන් ම අපේක්‌ෂිත විමුක්‌තිය ද තවදුරටත් අපෙන් ඈත් වෙනවා ඇත. එසේ ම ඇය ම පමණක්‌ ජීවිතයේ වැදගත් දෙය කොට තකමින්, ඇයට ආසක්‌ත වන්නට වන්නට ද යහපත සහ විමුක්‌තිය අපෙන් ඈත් වෙනවා ඇත. ගැහැණියට ද මේ ආකාරයට ම පිරිමියා ගැන සිතිය හැකි ය. තත්ත්වය මෙසේ නම් අප විසින් කළ යුතු ව ඇත්තේ කුමක්‌ ද ? අපට දැනෙන්නේ, හැඟෙන්නේ මේ සඳහා කළ යුත්තේ බෝධිසත්ත්ව - සිද්ධාර්ථ ආදර්ශය ගැනීම බව යර් බුදුන් වහන්සේගේ පරමාදර්ශය ගැන සිතීම බව ය.

ජාතක පොත අධ්‍යයනය කිරීමේ දී අපට පෙනී යන්නේ බෝධිසත්ත්ව සිය ජීවන චර්යාවෙන් ඇලීම මෙන් ම නොඇලීම ද ප්‍රකට කොට ඇති බව ය. බෝධිසත්ත්ව බිරිඳ ලෙසින් යසෝදරා ද ප්‍රකට කෙළේ ඇලීම සහ නොඇලීම අතර දෝලනය වන චරිත ස්‌වභාවය යි. එහෙත් සිද්ධාර්ථ-යසෝදරා යනු තවත් චරිත දෙකක්‌ පමණක්‌ නොව සිය භව ගමන අවසන් කොට, බොහෝ දෙනාට තමන්ගේ භව ගමන් අවසන් කිරීමට උපකාරී වූ පරමාදර්ශී යුවළකි. සිය අවසන් ජන්මයේ දී අවසන් විමුක්‌තිය උදෙසා, 'ඒ සාංසාරික යුග බන්ධනය' ද කැඩිය යුතු බව සිද්ධාර්ථ කුමරු තරුණ වියේ දී ම අවබෝධ කොට ගත්තේ ය. ඒ අවබෝධය යසෝදරා තුළ ද විය. එහි අවසන් ප්‍රතිඵලය වූයේ සිද්ධාර්ථ කුමරු පැවිදි ජීවිතයට එළඹ, අවසන 'සම්මා සම්බුද්ධත්වය' ලැබීමෙනි. යසෝදරා දේවිය ද හිමි මග ගෙන පැවිදි ව අවසන රහත් මෙහෙණියක බවට පත්වීමෙනි.

මේ අනුව අප විසින් කළ යුතු ව ඇත්තේ කුමක්‌ ද ? ජීවිතය වඩාත් නිවරද කොට ගැන්ම උදෙසා - සුවපත් කොට ගැන්ම උදෙසා අප විසින් අප දෙස ම බැලිය යුතු වෙයි. දුෂ්කර කාර්යය වන්නේ ද එය යි. ලෝකය දෙස බැලීම පහසු මුත් තමා දෙස බලා, තමා විසින් තමා විවේචනයට ලක්‌ කොට ගැනීම අපහසු ය. එහෙත් කළ යුත්තේ ද එය යි. ඒ අනුව තමා විසින් තමාගේ චර්යා දෙස බලා තමාට ම 'රිදවා' ගත යුතු වෙයි. ආදරණීයයන්ගේ සුවය පතා ඔවුනට වුව 'රිදවිය' යුතු ය. එහෙත් ඒ රිදවීමේ අරමුණින් නොව සුවපත් කිරීමේ අරමුණෙනි. 'ආදරයෙන් පහරදීමේ කලාව' උගත යුත්තේ මේ සඳහා ය.

එක්‌තරා සෙන් ගුරු හිමි නමක්‌ උදෑසන සිය සිසු පිරිසට කියා දෙන්නේ ඔබේ දෑත ඇත්තේ ලෝකයට ආදරය දීමට බව යි. එසේ ඉගැන් වූ ගුරුවරයා ම, එම සිසු පිරිසට හවස සටන් කලාව උගන්වයි. එවිට එක්‌ ශිෂ්‍යයෙක්‌ මෙසේ අසයි. 

'හිමියනි, ආදරය කිරීමට ඇති දෑත් පහර දීමට යොදවන්නේ ඇයි ?

ආදරය නිස යි.'

ඒ ගුරුවරයාගේ පිළිතුර යි. මේ කතාව වඩාත් පැහැදිලි කොට ගැන්මට එක්‌ නිදසුනක්‌ දැක්‌වීම සුදුසු ය. කිසියම් තැනැත්තෙක්‌ තවත් තැනැත්තකු මරා දැමීම පණිස අවියක්‌ අමෝරා ගෙන එයි. ඒ මොහොතේ ඒ කාර්යය වැළැක්‌වීම සඳහා කළ යුතු එක ම ක්‍රියාව වන්නේ අවි දැරූ තැනැත්තාට පහරදී මෙල්ල කිරීම නම් 'සටන්කරුවා' විසින් අනිවාර්යයෙන් ම කළ යුතු ව ඇත්තේ එය යි. එතැන දී 'සටන්කරුවා' ඝාතනයට ලක්‌ වන්නට යන තැනැත්තා බේරා ගැන්ම උදෙසා ප්‍රහාරකයාට පහර දීමෙන් ප්‍රකාශයට පත් කරන්නේ පහර ලබන්නා කෙරෙහි ඇති ආදරය යි. එසේ ම අවි දැරූ තැනැත්තාට පහර"ම තුළ ඇත්තේ ද පහර දෙන්නා කෙරෙහි වන ආදරය යි. මන්ද ඔහු මිනීමරුවකු වීමට තිබූ අවස්‌ථාව වැළැක්‌වීමෙන් 'සටන්කරුවා' ප්‍රකාශයට පත් කරන්නේ ඒ ආදරය බැවිනි. 

එහෙයින් අප භෞතික ව හෝ වාචික ව කෙනෙකුට නොකර ම බැරි තැනකදී 'පහර දෙනවා නම්' එහි පදනම විය යුත්තේ ආදරය යි, කරුණා මූලය යි. එවිට 'පහර ලබන තැනැත්තා' තුළ පවා වෛරයක්‌ - අනාදරයක්‌ උපදින්නේ නැත. වරෙක ඡේ. ක්‍රිෂ්ණමූර්ති නම් චින්තකයා සඳහන් කෙළේ ගැඹුරින් කල්පනා කිරීම යනු බුම්මාගත් මුහුණක්‌ ඇති ව සිටීම නොවන බව ය. එසේ ම ලෝකය ම සිය හිස මත පවතින සේ ගැඹුරු මුහුණක්‌ මවාගෙන සිටින තැන ද ගැඹුරුකම නැත. තව ද තමාට ද පැහැදිලි නුවූ කරුණු, දෘෂ්ටියක්‌ ලෙස ගෙන, ඒ කරුණු ගෙන හැර දක්‌වමින් තර්ක විතර්ක කරන තැන ද ගැඹුරක්‌ නොතිබිය හැක.

අප අසා ඇති එක්‌ කතාවක එන පරිදි එක්‌ චින්තකයෙක්‌ සිය මිතුරු පිරිසක්‌ සමග ජීවිතය පිළිබඳ වන ගැඹුරු සාකච්ඡාවක යෙදී සිටියි. මේ සාකච්ඡාව දිගට ම කෙරී ගෙන යන අතරතුර ඒ නිවසේ ම එක්‌ පැත්තකට ගසක්‌ කඩා වැටෙයි. සාකච්ඡාව දිගට ම කෙරීගෙන යයි. යට කී ශබ්දය ගැන සතිමත් වූ චින්තකයා, දිගින් දිගට ම සාකච්ඡාවේ යෙදෙන සිය කලණ මිතුරන්ගෙන් අසන්නේ මේ ගෙදර ම අනික්‌ පැත්තට ගසක්‌ කඩා වැටුණු ශබ්දය ඔබට ඇසුණේ ද යනුවෙනි. එවිට ඒ අය එබඳු යමක්‌ ඒ මොහොතේ සිදු වී ද කියා මවිත වී ප්‍රශ්න කරති. මන්ද ඒ අය සිතන පරිදි, ඒ වන විට ඔවුන් ගැඹුරු ම සාකච්ඡාවක යෙදී සිටි බැවිනි. මෙහි ඇති හාස්‍යජනක කාරණය වන්නේ මේ පිරිස කතා කරමින් සිටියේ 'එළඹ සිටි සිහිය' ගැන වීම යි.

අප බොහෝ දෙනා විසින් කරනු ලබන තවත් වරදක්‌ තිබේ. ඒ තමාට බොහෝ උසස්‌ දේ කිරීමට ඇති බව කියා සරල දෙය අත්හැරීම ය. ඉතා හොඳ උසස්‌ දෙය ලෙස තමාට පෙනෙන දෙය වුව නොගැළපෙන පරිසරයක හෝ නොගැළපෙන අවස්‌ථාවක සිදු කිරීම සුදුසු නොවේ. ක්‌ෂේමේන්ද්‍ර නම් භාරතීය කාව්‍ය විචාරකයා 'ඖචිත්‍යවිචාරචර්වා' නම් සිය කෘතිය ඔස්‌සේ සෞන්දර්යාත්මක දෘෂ්ටි කෝණයකින් විවරණය කිරීමට වෑයම් කෙළේ ද මේ ගැන යි.

ඇලෙන සුළු ලෝකයක නොඇලී සිටීම, ගැටෙන සුළු ලෝකයක නොගැටී සිටීම තුළ ගැඹුරු අරුතක්‌ ඇත. එය සෑම කෙනෙකු විසින් ම සිය ශක්‌ති පමණින් තමාගේ ම චර්යාවෙන් ප්‍රකාශයට පත් කළ යුතු දෙයකි. ඇලීම සහ ගැටීම අපේ ජීවිතවලින් පැහැදිලි ව ම ප්‍රකාශයට පත් වෙයි. එහෙයින් අපට සැබෑ ඕනෑකමක්‌ ඇත්නම් ඒ ඇලීම්වල ගැටීම්වල ස්‌වභාවයන් අපගේ ම ජීවිත සමග ගළපා අවබෝධ කොට ගත හැකි වනු ඇත. එහෙත් 'නොඇලීමට ඇලීම' අපට පහසුවෙන් නොපෙනෙයි. මන්ද සද්ධර්මයට අනුව බැලූවත් එය අපට පහසුවෙන් නොපෙනෙන වංචක ධර්මතාවක්‌ බැවිනි. එසේ නම් දාර්ශනික සංකල්පයක්‌ ලෙස ගෙන නොඇලීමට ඇලීම, නොඇලීමෙහි එල්බ ගැන්ම, නොඇලීමේ සංකල්පය වෙනුවෙන් පෙනී සිටීම ආදිය ද අපට නොදැනුවත් ව ම අපෙන් ප්‍රකාශයට පත්වන ඇලීමේ ම සැඟවුණු ස්‌වරූපවිය නොහැකි ද ?

එසේ නම් ඒ තත්ත්වය නිසා ද කෙනෙකු ලෝකය තුළ ඇලීම හා ගැටීම ම වර්ධනය කරනවා විය හැකි ය. මෙය වඩාත් පැහැදිලි කොට ගැන්ම උදෙසා, අපට සුත්තනිපාතයේ මාගන්දි සූත්‍රයේ එන පහත සඳහන් ගාථා පාඨය ආලෝක ප්‍රකාශයක්‌ වෙනවා ඇත.

'සඤ්ඤා විරත්තස්‌ස න සන්ති ගන්ථා

පඤ්ඤා විරත්තස්‌ස ත සන්ති මොහා

සඤ්ඤං ච දිට්‌ඨිඤ්ච යෙ අග්ගහෙසුං

තෙ ඝට්‌ටයන්තා විචරන්ති ලොකෙ'

මෙයින් කියෑවෙන්නේ සංඥාවන්හි නොඇලුණු තැනැත්තාට ගැටලූ නැති බව යි. ප්‍රඥාව කරණකොට ගෙන ඇලීමෙන් නිදහස්‌ වූ තැනැත්තාට මෝඩකම නැති බව යි. එහෙත් යම් අයෙක්‌ සංඥාව සහ දෘෂ්ටිය දැඩි ව ගනිත් ද ඒ අය ලෝකයෙහි ගැටලු ඇති කරමින් හැසිරෙති.

ඇතැම් විට අපි ඇතැම් චරිත සහ දේවල් භෞතික වශයෙන් මෙන් ම මානසික වශයෙන් ද අල්ලාගෙන සිටිමු. ඇතැම් විට භෞතික වශයෙන් අල්ලා ගැනීමට අප කැමති චරිත හෝ දේවල් අපට අහිමි වෙනවා විය හැකි ය. එහෙත් අපි මානසික වශයෙන් අල්ලා ගැනීම අත් නොහරිමු. අපට භෞතික වශයෙන් තිබෙන දේවල් හා චරිත සමග, ජීවිතය පවත්වා ගෙන යැම සඳහා වන කටයුතු කරමින් 'මානසික අත්හැරීම' සිදු කළ හැකි නම් අපගේ ජීවිතවල මෙයට වඩා වෙනසක්‌ සිදු විය හැකිය. කෙනෙකුට භෞතික වශයෙන් මෙන් ම මානසික වශයෙන් ද අත්හැරිය හැකි නම් හොඳ ම දෙය වන්නේ එය යි. ඒ අතහැරීමට අතීත වර්තමාන අනාගත කාල භේදයකින් තොර ව අතිමහත් වෙනසක්‌ සිදුකළ හැකි ය. ගෞතම බුදුන් වහන්සේ විසින් ලෝකයට ලබා දෙන ලද්දේ ඒ ආදර්ශය යි, පරමාදර්ශය යි. තමාගේ විවේචකයා බවට තමා ම පත් වෙමින් තමා ඇත්ත වශයෙන් ම අයත් වන්නේ ඉහත සඳහන් අත්හැරීම් අතුරින් කවර අත්හැරීමට ද යන්න පැහැදිලි ව අවබෝධ කොටගත් විට එතැන් සිට කළ යුත්තේ කුමක්‌ ද යන්න අපට පැහැදිලි වෙනවා ඇත.

ඊ. ඩබ්ලිව්. අදිකාරම් මහතා 'විවිධ චින්තා' නම් සිතිවිලි ග්‍රන්ථයේ දී සඳහන් කරන්නේ තමාගේ සෑම ක්‍රියාවක්‌ දෙස ම, සෑම සිතිවිල්ලක්‌ දෙස ම, සෑම හැඟීමක්‌ දෙස ම බැලිය යුතු බව ය. කිසියම් ක්‍රියාවක්‌, කිසියම් සිතිවිල්ලක්‌ කිසියම් හැඟීමක්‌ අශෝභන යෑයි කියා පිළිකුලෙන් හෝ භයෙන් අහක බලා ගතහොත් එම ක්‍රියාවේ, එම සිතිවිල්ලේ, එම හැඟීමේ ඇති සැටිය නොපෙනෙන බව ඔහු කියයි. එසේ නම් මේ තත්ත්ව දෙකින් ම මිදී අපට අප දෙස බැලිය නොහැකි ද ? ඒ සඳහා 'ආගම නැවතුම් පොළක්‌ ද ?' යන මැයෙන් එන සිතිවිලි ලිපියේ දී අදිකාරම් මහතා කරන පහත සඳහන් ප්‍රකාශය අපට කිසියම් ආලෝකයක්‌ වෙනවා ඇත. 

'මේ ක්‍රියාව, මේ සිතිවිල්ල, මේ හැඟීම ශෝභන යයි සතුටින් එහි ඇලුණ හොත් එම ක්‍රියාවේ ඇති සැටිය ඔහුට නොපෙනෙන්නේ ය. තමා යනු කෙනෙකු තුළ ඇතිවන අශෝභන සහ ශෝභන ක්‍රියා සමූහය ද අශෝභන සහ ශෝභන සිතිවිලි සමූහය ද අශෝභන සහ ශෝභන හැඟීම් සමූහය ද වේ. එහෙයින් ආත්මාවබෝධයේ පටන් ගැන්ම ඒ කිසිවක්‌ කෙරෙහි පිළිකුල් නොකොට ඒ කිසිවෙක නොඇලී ඒවා දෙස බැලීම ය.'

එසේ නම් අප විසින් කළ යුතු ව ඇත්තේ ලෝක ය දෙස බැලීම ට පෙර තමා දෙස බැලීම ය, ලෝකය විවේචනය කිරීමට පෙර තමා විසින් තමා විවේචනය කර ගැනීම ය. අපගේ 'ඇති සැටිය' දැකීම අප, අප ගැන ම මවාගෙන ඇති ප්‍රතිරූප බිඳ වැටීමට හේතු විය හැකි ය. කොතරම් සුන්දර ලෙස පෙනුණත් ප්‍රතිරූපය යනු මායාවක්‌ බැවින් කවර මොහොතක හෝ එහි බිඳවැටීම වැළැක්‌විය නොහැකි ය. අප පිළිබඳ ව අප විසින් ම ගොඩ නගා ගෙන ඇති ප්‍රතිරූපය බිඳ වැටෙන ආකාරය දෙස කිසිදු ගැටීමකින් හෝ ඇලීමකින් තොර ව බලා සිටීමට අපට හැකි වුවහොත් අප පිළිබඳ වන සත්‍ය තත්ත්වය අනාවරණය වෙනවා ඇත. එහෙයින් ප්‍රතිරූප බිඳවැටීම යනු බියවීමට කරුණක්‌ නොව, අපට අපව ම බලාගැන්මට ලැබෙන අනගි අවස්‌ථාවකි. මන්ද සත්‍යය යනු සොයාගෙන ගොස්‌ පිටතින් ස්‌පර්ශ කිරීමට හෝ දැකීමට ඇති දෙයක්‌ නොවන බැවිනි.

තමා පිළිබඳ වන මේ සත්‍යය දැකීම අන් සියල්ලට ම වඩා වැදගත් ය. ඒ දැක්‌ම ආලෝකය වී අප විසින් කළ යුතු ව ඇත්තේ කුමක්‌ ද යන්න පැහැදිලි කරනවා ඇත. බුදුන් වහන්සේගේ චරිතයෙහි ඇති අප්‍රමාණ ගුණ අතර එන එක්‌ විශේෂ ගුණයක්‌ වන්නේ 'විඡ්ජාචරණ සම්පන්න' භාවය යි. උන් වහන්සේගේ ඒ උතුම් ගුණයට ගරු කරන අතර ම ඒ ගුණයෙන් අල්පමාත්‍රයක්‌ හෝ අපේ ජීවිත සමග ගළපා ගත නොහැකි ද ?

'විඡ්ජා' යන වචනයේ සංස්‌කෘත රූපය වනෙa න් 'විද්‍යා' ය. එය සෑදෙන්නේ 'දැනීම්' හා 'දැකීම් ' යන අරුත් දෙන 'විද් ධාතුවෙනි. මේ දැනීම මෙන් ම, දැකීම අප තුළ ඇති කරන්නේ විද්‍යාව යි, විඡ්ජාව යි. 'චරණ' යනු හැසිරීම යන අරුත් දෙන 'චර්' ධාතුවෙන් සෑදෙන වචනයකි. එම වචනය පාලි, සිංහල, සංස්‌කෘත යන භාෂා තුනෙහි ම භාවිත ය. මේ අනවු 'චරණ' යනු හැසිරී ම යි. 'සම්පනන් ' යන වචනය සෑදෙන්නේ 'සැමතින්a ම' 'යහපත් ව' 'එක්‌ ව' යන අරුත් දෙන 'සම්' උපසර්ගය මුලින් යෙදී 'පැමිණීම', 'ගමන් කිරීම' යන අර්ථයෙහි යෙදෙන 'පද' ධාතුවෙනි. පාලි භාෂා අර්ථ සමග ද ගැළපයි හැකි යට කී සංස්‌කෘත මූලයන් සැලකිල්ල ට ගෙන, 'විඡ්ජාචරණසම්පනන් ' යන වචනය දෙස බලන අපට ඉන් පැහැදිලි අරුතක්‌ මතුකොට ගත හැකි ය. එනම් දැනීSමත්, දැකීම ත් ලැබ ඒ දැනීම ඒ දැකීම තුළ හැසිරෙන - ඒ දැනීම ට, දැකීම ට පැමිණීම - ඒ තුළ ජීවත්වීම 'විඡ්ජාචරණසම්පන්න' ගණ= ය ලෙස අර්ථ දැක්‌වීමෙනි. ජීවිතය දැන දැක ඒ ලද ආලොක්‌ ය චරණය හෙවත් හැසිරීම බවට පත්කොට ගෙන අපට ජීවත් විය නොහැකි ද ?

මෙසේ දැනීම සහ දැකීමත් සමග ඇතිවන ආලෝකය විසින් අප හැසිරිය යුත්තේ කෙසේ ද යන්න පැහැදිලි වෙනවා ඇත. එවිට අප අසන දහම් පදයක ගැඹුරු අරුත් දරාගෙන ඒවා අපගේ ම හැසිරීම් ලෙස ජීවිතයෙන් ප්‍රකාශයට පත් කිරීමට අපට හැකිවනු ඇත. ඒ ජීවිතය සරල ය. ඒ ජීවිතය ගැඹුරු ය. අප විසින් කටයුතු කළ යුතු ව ඇත්තේ එබඳු ජීවිතයක්‌, උදාකොට ගැනීම උදෙසා ය. එවිට 'අසන්න, දරන්න, දහමෙහි හැසිරෙන්න' යන අර්ථය රැගත් සරල වූත් ගැඹුරු වූත් අකාලික වූත් ධර්ම පාඨය අප විසින් අගය කළ යුතු, ගෞරව කළ යුතු ධර්ම පාඨයකි.


මහාචාර්ය සමන් චන්ද්‍ර රණසිංහ
භාෂා හා සංස්‌කෘතික අධ්‍යයනාංශය,
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය