දුටුගැමුණු රජු කල පිරිණිවන් පෑ මලියදේව හිමියන් ලංකාවේ අන්තිම රහත් තෙරනම නොවේ. සැබැවින්ම, අද වුව රහතුන් බිහි විය හැකිය. ඒ සදහා අවශ්‍ය වන්නේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ ශ්‍රී සද්ධර්මය සීල සමාධි ප්‍රඥා වශයෙන් දියුණු කොට සාක්ෂාත් කිරීමයි.

ඔබත් බුදුරදුන් පෙන්වා වදාළ උත්තම දහම් මාර්ගයේ ගමන් කරන්න


Powered by දහම් විල


ලිපි සඳහා පහත මාසය අනුව ලිපි පටුන බලන්න

බුද්ධ චීවරය මෙසේ විය යුතු...


ලෝකයේ තවමත් පරිහරණය වන පැරැණිම හා පූජනීයම ඇඳුම වශයෙන් සැලකෙන්නේ වීවරයයි. හෙවත් භික්‍ෂූන් පෙරවන සිවුරයි. එය අවුරුදු දෙදහස්‌ පන්සිය වසරකට අධික කාලයක්‌ තිස්‌සේ නොවෙනස්‌ව පැවත එන්නකි. බුදුරදුන් පහළ වන්නට පෙර සිටිය පැවිදි දිවියක්‌ ගත කළ පිරිස වර්තමානයේ භාවිත චීවරයට සමාන ඇඳුමකින් සැරසී සිටිය බව සිතිය හැකිය. සිදුහත් කුමරු දුටු සතර පෙර නිමිති අතර පැවිදි රුවක්‌ ද විය. මහා බ්‍රාහ්මයා සිදුහත් බෝසතුන්ට අටපිරිකර පිදුව බව බුද්ධ චරිතයේ සඳහන් වෙයි.
සිරුර මුළුමනින්ම වැසෙන ලෝගුවක ස්‌වරූපයේ ඇඳුමක්‌ ග්‍රීක සහ ඉන්දු සමාජයේ ප්‍රභූවරුන් පෙරවූ බව කැටයම්වලින් පෙනෙයි. කෙසේ වුවද චීවරය භික්‍ෂූන්ට පමණක්‌ ආවේණික ඇඳුමක්‌ බවට පත් කෙරුණේ කුඹුරක ලියෑදි අයුරින් පෙනෙන ලෙස නිශ්චිත පරිමාවකට කඩ කපා සිවුර සකස්‌ කිරීම හේතුවෙනි. සිවුර එලෙස සැකසීමට නියම කෙරුණේ වස්‌ත්‍රයේ වටිනාකම අඩු කිරීමේ අරමුණිනි.

සැරියුත් - මුගලන් තෙරවරුන්ගේ පටන් වර්තමානය දක්‌වාම පැවිදි බව ලද සෑම භික්‍ෂුවකම සිවුරක්‌ දරන්නේ සියලු සසර දුක්‌වලින් නිදහස්‌ වීමේ ප්‍රතිඥාව මත විනයානුකූලව ආචාර්ය උපාධ්‍යායන් වහන්සේගෙන් එය ලබා ගැනීමෙනි. ඒ අනුව චීවරය යනු පැවිදි බව පතන කෙනෙකුට ගුරුවරයකුගෙන් පමණක්‌ ලබා ගත හැකි දෙයකි. චීවරයක්‌ දරන ඕනෑම කෙනෙකු සඳහා 'චීවරධාරී' යන නම යෙදිය හැකිය. එහෙත් ජනමාධ්‍ය එය භාවිතා කරන්නේ වැරදිකාර භික්‍ෂුන් වෙනුවෙනි. සිවුරක්‌ සොයා ගෙන තනිවම පෙරවා ගැනීම වංචාවකි. ධර්මාශෝක රජු එවැනි චීවරධාරීන් සසුනෙන් නෙරපීමට පියවර ගත්තේය. මහ පැරකුම්බා රජතුමා ද හොරට සිවුරු පොරවා සිටි වංචනිකයන් සිවුරු හරවා බුදුසසුන පිරිසිදු කළේය. භික්‍ෂු භාවයේ ලක්‍ෂණය ධීවරයයි. සතර වන මිහිඳු රජු පවසා ඇති පරිදි පාත්‍රය හා සිවුර රැකීම රජුගේ වගකීමකි. එහි තේරුම බුදු සසුන සුරැකීමයි. බුද්ධ ශාසනය පවතින්නේ භික්‍ෂුභාවය මුල්කර ගෙනය.

පැවිද්දට වුවමනා කරන මූලික භාණ්‌ඩ අටපිරිකර යනුවෙන් හැඳින්වෙයි. දෙපට සිවුර, තනිපට සිවුර, අඳන සිවුර, පාත්‍රය, බඳපටිය, දැලිපිහිය, නූල් ඉඳිකටු, පෙරහන්කඩ අටපිරිකරට ඇතුළත් වෙයි. භික්‍ෂුවකගේ මූලික අවශ්‍යතා සැලකිල්ලට ගෙන අටපිරිකර සකස්‌ කර ගෙන තිබේ. චීවර බන්ධකය, ඛුද්දක වත්ථුක්‌ඛන්ධකය, සේනාසනඛන්ධකය වැනි විනය විස්‌තරයන් හි භික්‍ෂුව පරිහරණය කරන සිවුරු හා අනෙකුත් භාණ්‌ඩ ක්‍රමවත්ව සකසා ගන්නා පිළිවෙළ ඇතුළත් වෙයි. වෙළෙඳ ව්‍යාපාරිකයන් විසින් හුදෙක්‌ ලාභය පමණක්‌ බලාගෙන පරිහරණයට නුසුදුසු සිවුරු සහ අටපිරිකර සැකසීම නිසා ගැටලු සහගත තත්ත්වයක්‌ මතු වී තිබේ.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සිවුර, පාත්‍රය සහ අටපිරිකර සඳහා නිර්ණායක සකස්‌ කොට තිබේ. ඒ අනුව 2004.03.25 දින අංක ශ්‍රීලංප්‍ර 1257 යටතේ සිවුර ද, ශ්‍රීලංප්‍ර 1258 යටතේ අටපිරිකර ද, ශ්‍රීලංප්‍ර 1308 යටතේ පාත්‍රය පිළිබඳ ප්‍රමිතිය ද සකස්‌ කොට ඇත. එම ප්‍රමිති සකසා තිබෙන්නේ භික්‍ෂු විනයට අනුකූල අයුරිනි. එසේම එම භාණ්‌ඩ නිෂ්පාදනය සඳහා යොදා ගන්නා ද්‍රව්‍යයන් පිළිබඳ තත්ත්ව පරීක්‍ෂණ ක්‍රමවේදයන් ද විස්‌තර කොට ඇත. නිෂ්පාදනයට භාවිත නූල් වර්ග හා වර්ණයන්ගේ පැවැත්ම, වෙනස්‌ වීම්, සිවුරක නිශ්චිත දිග පළල, නුවාව, ගැබ, ගණ්‌ඨිය වැනි කරුණු ප්‍රමිතියට යටත් කොට තිබේ. සිවුර මැසීමේ දී දික්‌ නූල් එකම දිසාවකට තිබිය යුතු ය. ගැබ සිවුරු මැසීමේදී සෙන්ටි මීටරයකට ඇතුළත් දළ මැහුම් ගණන පවා ප්‍රමිතියෙහි දැක්‌වේ. සිවුරක කොටස්‌වල පරිමාවන් සහ නම් සඳහන් සැලැස්‌මක ආකෘතියක්‌ ප්‍රමිති ලේඛනයේ දක්‌වා ඇත. එය සාමාන්‍ය සිවුරක දක්‌නට ලැබෙන ස්‌වරූපයයි. එහෙත් ඇතැම් භික්‍ෂුන් පෙරවන අඟලක පමණ වූ කුඩා කඩ සහිත සිවුර ප්‍රමිතිගත කොට නොමැත. සිවුරක වර්ණයන් ලෙස ප්‍රමිතිගත කොට ඇත්තේ කහ, දුඹුරු, තැඹිලි, හා මදටිය පැහැය යි. සිවුරු වර්ගය, එය නිම කළ රෙදි වර්ගය, නිෂ්පාදකයාගේ නම, ලිපිනය තිබේ නම් වෙළෙඳ ලකුණ හා නිෂ්පාදිත වර්ෂය, භාණ්‌ඩයේ ප්‍රදර්ශනය කළ යුතුයි. ප්‍රමිතිකරණය භික්‍ෂුවකට නිවැරැදි භාණ්‌ඩ ලබාදීමේ අරමුණින් සිවුරු නිෂ්පාදකයාට අදාළව පැන වූ රෙගුලාසියකි. පැවිදි බවට කැපසරුප් පැහැය හා පරිමාවන් සහිත සිවුරු තෝරා ගෙන ප්‍රත්‍යවේක්‌ෂාවෙන් යුතුව පෙරවීම භික්‍ෂුවගේ කාර්යයකි.

පාත්‍රය ලොකු හා කුඩා ප්‍රමාණවලින් සකස්‌ කළ යුතුය. ලොකු පාත්‍රයක මුවෙහි විශ්කම්භය මිලි මීටර් 185 කි. ගැඹුර මිලි මීටර් 145 කි. බඳෙහි වට ප්‍රමාණය මිලි මීටර් 760 කි. කුඩා පාත්‍රයක නම් විශ්කම්භය මිලි මීටර් 160 කි. ගැඹුර මිලි මීටර 120 කි. වට ප්‍රමාණය මිලි මීටර් 600 කි. පාත්‍රය සහ පියන සෑදීම සඳහා භාවිතා කළ යුත්තේ මෘදු වානේ තහඩුවල ඝනකම ගේඡ් 20 හෙවත් මිලි මීටර් දශම නවයකි. පාත්‍රය තල තෙල් වලින් පදම් කළ යුතුය. තීන්ත වර්ණාලේප යෙදීම තහනම් ය. දාර කැපෙන සුළු නොවිය යුතු ය. ඇතුළත හා පිටත මටසිළුටුව තිබිය යුතු වෙයි. පාත්‍රය රඳවන ආධාරකය ගැනුම්කරුගේ ඉල්ලීම අනුව සැපයිය යුතුය. මෙම ප්‍රමිතීන්ට අයත් නොවූ නිසා ගැටලු මතු වූ තායි පාත්‍රය හා සිවුර ද ප්‍රමිතිගත කිරීමට සමස්‌ත ලංකා ශාසනාරක්‍ෂක මණ්‌ඩලය පියවර ගෙන ඇත.

2003 අංක 09 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි පනතෙහි 12 (1) වගන්තිය යටතේ දේශීයව සාදනු ලබන අටපිරිකර ප්‍රමිතීන්ට අනුකූල නොවන්නේ නම්, කිසිම නිෂ්පාදකයකු හෝ වෙළෙන්දකු විසින් ළඟ තබා ගැනීම, නිපදවීම, විකිණීම සඳහා ඉදිරිපත් කිරීම හෝ ගබඩාකර තබා ගැනීම නොකළ යුතු බව සඳහන් වෙයි. වංචනික පුද්ගලයන් ඝන කඩදාසි, සිවුරු කැබලි, ඇළුමිනියම් මුට්‌ටි ආදිය යොදා ගෙන අටපිරිකර සකසා ඇති බවට අස්‌ගිරි මහනාහිමියන් ජනාධිපතිවරයාට පැමිණිලි කිරීමෙන් පසු සිවුරු පිරිකර වෙළෙඳසල් වටලා ප්‍රමිතියෙන් තොර භාණ්‌ඩ අලෙවි කළ පුද්ගලයෝ අධිකරණයට ඉදිරිපත් කරන ලදහ. අටපිරිකර හා සිවුරු පිළිබඳ ප්‍රමිතිකරණයක්‌ තිබුණත් ඒ සම්බන්ධ නිර්ණායක හඳුනාගැනීමට ප්‍රමාණවත් දැනුමක්‌ ගිහි පැවිදි දෙපිරිසටම නොමැත. එසේම ප්‍රමිතිකරණය නෛතික වශයෙන් තවදුරටත් ශක්‌තිමත් කළ යුතු වෙයි. සම්මත ප්‍රමිතියකින් තොරව පෞද්ගලිකව පිරිකර අලෙවි කරන පිරිසක්‌ ද සිටිති. සිවුරු පිරිකර වෙළෙඳසල් පවත්වා ගෙන යැම සිදු කළ හැක්‌කේ ශාසනාරක්‍ෂක මණ්‌ඩලයේ අනුමැතියෙනි.

වංචනිකයන් පමණක්‌ නොව චිත්‍රපට හා ටෙලි නළුවෝ ද සිවුර පොරවා රඟපෑමේ යෙදෙති. ඒ සම්බන්ධයෙන් භික්‍ෂුන්ගේ විරෝධය නිතර පළවෙයි. අතිපූජ්‍ය පලිපාන ශ්‍රී චන්දානන්ද අස්‌ගිරි මහා නාහිමියන් 1980 ජුලි 17 වැනි දින ජනාධිපති ඡේ. ආර්. ජයවර්ධන මහතාට ඒ බව මෙසේ දැනුම් දී ඇත.

"භික්‍ෂූන්ට අයිති නිල ඇඳුමක්‌ තිබේ. එය හිතුමතයේ කිසිවකුට ඇඳීමට විනය නීතියෙන් ඉඩක්‌ නැත. ආචාර්ය උපාධ්‍යායන් වහන්සේ විසින් ම ක්‍රමානුකූලව එම ඇඳුම ඇන්දවීම කළ යුතුය. මහණකම කියන්නේ එයටයි. 

එවැනි ආචාර්ය උපාධ්‍යායන් අතින් සිවුර පැළඳවීම ලබා නොගත් අය "ථෙයH සංවාසික" ය. මෙකල ව්‍යවහාරය අනුව ශ්‍රමණ වේශධාරින් ය. එවැනි අය සංඝ සමාජයට කරනු ලබන නින්දාවන්ගෙන් නියම භික්‍ෂූන් බේරා ගැනීම ධර්මාශෝක රාජ සමයෙහි පටන් රජයේ වගකීමක්‌ ලෙස පවත්නේය. මෙම වගකීම් 1931 බෞද්ධ විහාර දේවාලගම් පනතට වගන්ති කීපයක්‌ එකතු කිරීමටත්, සලස්‌වා ඇත. නීතිය එසේ වුවද, එය ක්‍රියාත්මක කළ අවස්‌ථා දක්‌නට නොමැත. පුරන්අප්පු චිත්‍රපටයෙහි කුඩාපොල හිමියන් වෙනුවට රඟපාන අමු ගිහියෙක්‌ සිවුර පොරවාගෙන ආණ්‌ඩුකාරයා ඉදිරියේ දණ ගසා සිටින දර්ශනයක්‌ ඇති බව එය දුටු අය මට කීහ. එම නීතිය අනුව භික්‍ෂුවට අයිති නිල ඇඳුම ඇඳගෙන ප්‍රසිද්ධියේ භික්‍ෂුත්වයට අපහාස කිරීම ගැන නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස මම සංස්‌කෘතික ඇමැතිතුමාට ලියා යෑවීමි. එතුමා නිහඬ විය."

ඉහත සඳහන අනුව සිවුර භාවිතය පිළිබඳ ශාසන බලධාරි මහ නාහිමිවරුන්ගේ මතය මෙන්ම උන්වහන්සේලාගේ ක්‍රියාකාරීත්වය පැහැදිලි වෙයි. එසේ වුවද, ඇතැම් විට නළුවන් සිවුරු වෙස්‌ ගැන්වීමට භික්‍ෂුන් මැදිහත් වීම විනය නීති නොසලකා හැරීමකි. කෙනෙකු පැවිදි බව ලබන්නේ සියලු දුක්‌වලින් මිදීම සඳහා යෑයි (සබ්බ දුක්‌ඛ නිස්‌සරණ නිබ්බාණ සච්åකරණත්ථාය) ආචාර්ය උපාධ්‍යායන්ට ප්‍රතිඥාවක්‌ දෙමිනි. චිත්‍රපටයක රඟපෑම හෝ වෙනත් කරුණක්‌ අරමුණු කර ගත් පුද්ගලයකු ලවා එම වැකිය කියවා ඔහුට සිවුරක්‌ පෙරවීමත්, කෙනෙකු තනිවම සිවුරක්‌ පොරවා ගැනීමත් පාපී ක්‍රියාවකි. සිවුර පොරවන ආකාරය මතභේද සහිත වූ මාතෘකාවකි. පැරැණි බුද්ධ ප්‍රතිමා අධ්‍යයනය කළ විට අතීතයේ සිවුරු පෙරවූ ක්‍රමය ගැන වටහා ගත හැක. කලා සම්ප්‍රදාය, කාලය, දේශය හා ගුරුකුල අනුව සිවුර පෙරවීමේ ක්‍රමය වෙනස්‌ වි ඇත. එහෙත් මුල් බුදු දහම වූ ථේරවාදී සම්ප්‍රදාය තුළ සිවුර වෙනස්‌ වී නොමැත.

පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි
අස්‌ගිරි මහා විහාරීය කාරක සංඝ සභික
ගරු අනුශාසක - සමස්‌ත ලංකා ශාසනාරක්‍ෂක මණ්‌ඩලය