දුටුගැමුණු රජු කල පිරිණිවන් පෑ මලියදේව හිමියන් ලංකාවේ අන්තිම රහත් තෙරනම නොවේ. සැබැවින්ම, අද වුව රහතුන් බිහි විය හැකිය. ඒ සදහා අවශ්‍ය වන්නේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ ශ්‍රී සද්ධර්මය සීල සමාධි ප්‍රඥා වශයෙන් දියුණු කොට සාක්ෂාත් කිරීමයි.

ඔබත් බුදුරදුන් පෙන්වා වදාළ උත්තම දහම් මාර්ගයේ ගමන් කරන්න


Powered by දහම් විල


ලිපි සඳහා පහත මාසය අනුව ලිපි පටුන බලන්න

බුද්ධිප්‍රභාව ඇත්තෝ අනතිමානී වෙති

 

මහනුවර අස්ගිරි මහා විහාරයේ කාරක සංඝසභික

හා උපාධ්‍යාය ධුරන්ධර
වයඹ පළාතේ ප්‍රධාන සංඝනායක
මහාචාර්ය
තුඹුල්ලේ ශ්‍රී සීලක්ඛන්ධ නාහිමි

අප එදිනෙදා කථා කරන භාෂාවේ නිතර පාවිච්චි වෙන වචනයක් තමා ආඩම්බරකම කියලා කියන්නේ.

මේ ආඩම්බරකම කියන ලක්ෂණය හැම පුහුදුන් මනිසකු තුළම යම් පමණට පවතිනවා. මේ චෛතසිකය හැබෑම දුර්ගුණයක් බව නම් පැහැදිලි කරන්නට ඕන. මේ දුර්ගුණය පුරුදු පුහුණු කර ගත් තැනැත්තා හැමවිටම සමාජයේ පිළිකුළට භාජනය වෙනවා.

බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ මේ ආඩම්බරකම යන්නට මානය කියන යෙදුම යි. ඒකත් අද සමාජයේ යම් පමණකට භාවිත වෙනවා.

බුදුදහමේ ඉගැන්වෙන ආකාරයට ආර්ය මාර්ගයේ අනාගාමි තත්වයට පත් වී සිටින ආර්ය පුද්ගලයා තුළ පවා මේ මානය නම් චෙතසිකය ක්‍රියාත්මක වෙනවා. එයින් කියැවෙන්නේ මානය ආඩම්බරකම ඉතාමත් තදින් පැතිර ගිය දුර්ගුණයක් බව යි.

සමාජයේ තවත් නිතර භාවිත වන වචනයක් තිබෙනවා ”ආත්මාභිමානය” කියන වචනය. එය මේ කියන මානය නොවෙයි. ආත්මාභිමානය යන වචනයෙන් කියැවෙන්නේ පුද්ගලයා තුළ ඇති සුෘජුප්‍රතිපන්න ගතිය හා උදාර මිනිස් ස්වභාවයක්‘, ඥානප්‍රභාවයක් සහිත බවක්. එසේ යම් අයෙක් ආත්මාභිමානය ඇතිව ක්‍රියා කළහොත් එවැනි අය කිසි ලෙසකිනුත් සමාජයේ පරිහානියට පත් වන්නේ නැහැ.

ඒවගේම ඒ පුද්ගලයා කල්‍යාණමිත්‍ර ආශ්‍රයමයි ප්‍රිය කරන්නේ. කිසි ලෙසකිනුත් පහත් ගතිසිරිත් අනුගමනය කරන අයට සමීප වන්නේ නැහැ. එය ඔහුගේ හදවතින්ම එන නිර්ව්‍යාජ ගුණ සම්පත්තියක්. මෙවැනි අය සමාජයේ සුලබයි කියා කියන්නට හැකියාවක් නැතත් සමහර අවස්ථාවලදී අපට එවැනි අය හමු වෙනවා. එවැනි අය ආත්ම වර්ණනාව ප්‍රිය නොකරනවා වගේම තමන් උසස් කොට අනෙක් අය පහත් කොට හිතන්නේවත් තමන්ගේ ආත්මාභිමානය නිසා සෙසු අය ගර්හාවට ලක් කරන්නේවත් නැහැ.

තමන්ගේ හෘදසාක්ෂිය අනුව ක්‍රියා කිරීම ආත්මාභිමානය ඇති අයගේ ලක්ෂණයක්.

මානය ඇති පුද්ගලයාගේ ස්වභාවය මෙයට හාත්පසින් ම වෙනස් වූවක්. ඔහු නිරන්තරයෙන් තමන්ගේ නැති හැකියාවන්, තමන්ගේ ශක්තිය, බලය, පක්ෂය, ධනවත්, බලවත් උදවිය හා තමන්ගේ ඤාති සම්බන්ධකම් මවා පාමින් වැජඹෙන්නට උත්සාහවත් වෙනවා. ඒ නිසාම සෙසු අය ඉදිරියේ තමන්ට නැති ශක්තියක් හුවා දක්වමින් අනුන් පහත් කොට සලකමින් ක්‍රියා කරන්නට උත්සාහවත් වෙනවා. එවැනි අයගේ ගතිසිරිත් මෙන්ම ඔවුන්ට සසර අත්විඳීන්නට සිදුවන විපාක සම්බන්ධයෙන් පැහැදිලි පෙන්වා දීමක් ධම්මපදය කෘතියෙන් අපට සොයා ගන්නට හැකියාව තිබෙනවා.

”මේ පව්කාර දුර්ගුණය තුළින් බැබළෙන්නට උත්සාහවත් වන පුද්ගලයා සසර ගමන තුළ බොහෝ විට වඳුරු යෝනියෙහි උපත ලබනවා.”

(මානෙන මක්කටො හොති)” එපමණක් නොවෙයි අතිමානය හෙවත් අසීමාන්තික ව ඇති කර ගන්නා මාන්නාධික සිතිවිලි හා ඒ නිසා ඇති වන සමාජ ක්‍රියාකාරකම් නිසා සසර ගමන තුළ සුනඛ යෝනියෙහිත් උපදින්ට අවස්ථාව තිබෙනවා(අතිමානෙන කුක්කුටො).

මෙසේ පුද්ගලයා මේ විනාශකාරි අතිමානයට පත්වන හේතු කොතෙකුත් සමාජයේ පවතිනවා. එයත් තේරුම් ගැනීම මෙහි දී වැදගත් වෙනවා. එකක් තමා තමන් එක්වරම මහත් ධනයකට උරුම කරුවෙක් බවට පත්වීම.

ඒ වගේම අඳබාල උදවිය, එහෙම නැතිනම් බාලයන්ගේ ඇසුර නිසාත් මේ ආකාරයෙන් අතිමානය ඇති කර ගෙන රැල්ලට අසුවී ක්‍රියා කර පරිහානියට පත්වෙන්ටත් හැකියාව තිබෙනවා. මෙසේ හදිසියේ තමා වටා එක්වන ධනය, බලය, ප්‍රභුත්වය, තමන්ට වඩා ඉහළ සුදුසුකම් ඇති අයට හිමිවිය යුතු තත්ව තනතරු වෙනත් අදිසි බලවේග ක්‍රියාත්මක වී තමන්ට හිමිවීම වැනි කරුණු ද, ආධිපත්‍යය වැනි කරුණු ද හේතුවෙන් බුද්ධිමත් භාවයෙන් තොරව ක්‍රියා කිරීම නිසා සමාජයේ පහත් තත්වයට මෙන් ම සමාජයේ කොන්වීමකට, ගැරහුමට ලක්වන්නට හොඳටම හැකියාව පවතිනවා.

නුසුදුසු අයට තත්ව තනතුරු ලැබීම නිසා මෙම තත්වයට පත් වූ ආකාරය බුද්ධකාලීන සමාජයෙන් ද අපට පැහැදිලි වෙනවා. දේවදත්ත හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ ඤාති සම්බන්ධය හුවා දක්වමින් උන්වහන්සේ හා සමව සිතා ක්‍රියා කරන්නට හේතු වුණෙත් මේ අනතිමානි ගුණය ඉක්මවා අතිමානයෙන් ක්‍රියාකිරීම නිසා නොවෙයි කියලා කාට ද කිවහැකි වන්නේ?

වර්තමාන ශ්‍රී ලංකාව අධ්‍යාපනය අතින් ලෝකයේ උසස් තත්වයකට පත්ව තිබෙන රටක්. එයට ප්‍රධාන හේතුව වන්නේ අපේ රටේ අවුරුදු දෙදහස් පන්සියයකට වඩා ඈත අතීත උරුමයක් ඇති උසස් අධ්‍යාපන තත්වයක් එදා සිට පැවතීම යි. මේ තත්වය අගාධයට ගියේ බටහිර ජාතීන්ගේ ආධිපත්‍යයට ලංකාව වරින් වර පත්වීමෙනුයි.

එමෙන් ඒ වකවානුවල රජකම් කළ සිංහල රාජ්‍ය පාලකයන්ගේ ක්‍රියාකාරිත්වයන් නිස යි. මෙයට හොඳම නිදසුන සීතාවක රාජසිංහ රජතුමාගේ ශාසනනාසක කටුයුතු යි. එයින් සිද්ධ වුණේ බුදුදහමේ ආභාසය ජනතාවගෙන් ඈත්විමත්, අධ්‍යාපනය අන්තයට පිරිහීමත්.

ඉතින් මෙම අවාසනාවන්ත තත්වය ඉවත් කොට රට නගාසිටුවීමේ කාර්යයට ඇතැම් රජවරු මහනුවර යුගයේ දී ක්‍රියා කරද්දී ජාතියේ පිනට පහළ වූ බෝසත් ගති පැවති වැලිවිට සරණංකර සංඝරාජයන් වහන්සේ ශ්‍රී ලංකාවේ එකම සංඝරාජ ධුරයට හැම අතින්ම සුදුසුකම් ලබා සිටි නිසා එවකට රජකම් කළ කිර්ති ශ්‍රී රාජසිංහ රජතුමා අතින් සංඝරාජ තනතුරේ සන්හස් ලබා ගැනීමෙන් පසුව උන්වහන්සේ වැඩ විසූ මල්වතු මහා විහාරයේ උන්වහන්සේ වැඩ සිටි කුටියේ උන්වහන්සේට පෙනෙන මානයෙන් උළුවස්සේ ”උඩඟු නොව මහණ” කියා සටහන් කර තැබුවේ තත්ව තනතුරු නිසා ස්වභාවයෙන් ම ඇති වන මානය සිතිවිල්ල යටපත් කර ගැනීමේ අදහස නිසයි. උන්වහන්සේගේ බුද්ධිප්‍රභාව නිසා ඇති වු අනතිමානි ගුණය මෙයින් අපට පෙනී නොයන්නේ ද?

මේ මානය යන චෙතසිකය තමා නො දැනුවත්ව ම තමාගේ සිතින් හට ගන්න ඉඩ තිබෙන නිසා මානය ඇති නො වීම පිණිස සතියෙන් යුක්තව ක්‍රියා කිරීමේ අවශ්‍යතාව මෙයින් පැහැදිලි වෙනවා. ඒ තරම්ම මේ මානය අපට නොදැනුවත්ව ම පැන නැඟෙන්නට පුළුවන්කම තිබෙනවා.

මේ මානය නව ආකාර කොට ධර්මයෙහි දක්වා තිබෙවා. සෙය්‍ය මාන, සදිසමාන, හීනමාන වශයෙන් මූලික අවස්ථාවේ කොටස් තුනක් වෙනවා. අපි හුරු වෙලා තිබෙනවා. මනසින් විවිධ කාරණා ඔස්සේ වෙනත් අය සමඟ තම ආත්මය මැන බලන්නට.

මම අහවල් අහවල් කාරණය නිසා අහවල් අයට ඉහළ මට්ටමක යි කියා හිත තුළ ඇති වන මානයට සෙය්‍යමාන කියල කියනවා. සදිසමාන කියලා කියන්නේ අනිත් අය හා තමන්ගේ විවිධ ශක්තින් සමාන කොට මැන බලා ඇති කර ගන්නා මානයයි.

හීනමාන කියලා කියන්නේ තමන් සතු හැකියාවන් බලපුළුවන්කාරකම් අනිත් අය හා සසඳමින් මැන බලා ඒ අයට වඩා පහළ යි කියලා සිතන සිතිවිල්ල යි. මේ සිතිවිලි අවස්ථා තුන නැවතත් ආකාර වශයෙන් බෙදී ගිහින් නව ආකාරයකට මානය ඇති වෙන බව යි මේ කාරණයෙන් ප්‍රකාශ වන්නේ.

අපේ සිතේ යටපත් වී ඇති, එහෙත් ඕනෑම අවස්ථාවක ඉල්පී එන අනුසය හතෙන් එකක් ලෙස මානය සැලකෙනවා. අනුසය යන්නෙන් අදහස් කරන්නේ සත්වයන් කෙරෙහි එක දිගට බැඳීලා තිබෙන ඕනෑම අවස්ථාවක වහා නැගී එන කෙලෙස් සහිත ස්වභාවයක්.

මේවා හතක් තිබෙනවා. කාමරාග, පටිඝ, මාන, දිට්ඨි, විචිකිච්ඡා, භවරාග, අවිජ්ජා කියා ධර්මයේ සඳහන් වෙනවා. හරියට කියනවා නම් අලුයට පවතින ගිනි පුපුරු හා සමාන යි මේ කෙලෙස් හත. කිසියම් හේතුවක් හටගත් සැණින් මේ අනෙකුත් අනුසය වගේම මානයත් ගින්න වගේ සක්‍රිය වී ක්‍රියාත්මක වෙනවා.

එමෙන්ම දශ සංයෝජනයන්ගෙන් එකක් ද වෙනවා. නිවන් මඟ අරමුණු කර ගත් ආර්ය මාර්ගලාභි පුද්ගලයා විසින් සහමුලින්ම එනම් සමුච්ඡේදප්‍රහාණයෙන් මෙම දස සංයෝජන ඉවත් කරන අවස්ථාවේ දී අනාගාමි මාර්ග ඵලයටත් පත් වී අවසාන වශයෙන් රහත් භාවයට පත්වන අවස්ථාවේ දී මෙම දරුණු මානය කියන චෛතසිකය අවසන් කරනවා. ඒ තරමට ම මෙහි බරපතල බවක් පෙන්නුම් කරනවා.

ඉතින් මේ මානය අවසන් කර කරණීයමෙත්ත සූත්‍රයෙහි එන භව ගමන අවසන් කිරීමට හේතු වන අනතිමානි ගුණය ඇති කර ගැනීමෙන් ස්වභාවයෙන් ම ඇති වන ආඩම්බරය නැත්තටම නැති වී අසාමාන්‍ය මානසික සුවයක් උදා කර ගන්නවා.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤