දුටුගැමුණු රජු කල පිරිණිවන් පෑ මලියදේව හිමියන් ලංකාවේ අන්තිම රහත් තෙරනම නොවේ. සැබැවින්ම, අද වුව රහතුන් බිහි විය හැකිය. ඒ සදහා අවශ්‍ය වන්නේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ ශ්‍රී සද්ධර්මය සීල සමාධි ප්‍රඥා වශයෙන් දියුණු කොට සාක්ෂාත් කිරීමයි.

ඔබත් බුදුරදුන් පෙන්වා වදාළ උත්තම දහම් මාර්ගයේ ගමන් කරන්න


Powered by දහම් විල


ලිපි සඳහා පහත මාසය අනුව ලිපි පටුන බලන්න

සසුනට වින කරන මාර පාක්‍ෂික බණ


බෞද්ධ ධර්මය පිළිබඳ එක්‌තරා මහාචාර්යවරයකුගේ නමින් පුවත්පතක පළවූ ලිපියක කරනු සම්බන්ධයෙන් සංවේගයට පත්ව මෙම ලිපිය ඉදිරිපත් කරමි.

පිරිනිවියා වූ බුදුරජුන්ට පූජාවන් පැවැත්වීමෙන් පළක්‌ නැති බවත්, එය හින්දු දේව පූජාවන් අනුකරණයෙන් ගොඩනඟා ගත් හානිදායක චාරිත්‍රයක්‌ බවත් ඔහු සඳහන් කරයි. පළමුව බුද්ධ පූජාව යනු කුමක්‌දැයි හඳුන්වා දිය යුතුය. "බුදු පියාණන් වහන්සේ" යනු සියලු මානුෂික ගුණයන්ගේ පරිණාමයේ අග්‍රම අවස්‌ථාවය. මුදුන්මල්කඩය. සසර දුකට වැටී සිටින අප සියලු දෙනාට ඉන් එතෙර වීමේ මගද, කරුණා - මෛත්‍රී, ප්‍රඥ ආදී ගුණ, සන්තානයේ වඩවා ගැනීමය. මේ ගුණ වගාව ආරම්භ කිරීමට ඇති හොඳම ක්‍රමය, එම ගුණයන්ගෙන් පිරිපුන් උත්තමයකුගේ ගුණ අපගේ හදවතින් අගය කිරීමය. එසේ ගුණ අගය කිරීම එම උත්තරීතර ගුණයන් තමාගේ සන්තානයට ද වැඩමවා ගැනීමේ මුල් පියවරය. මෙසේ ගුණ අගය කිරීම තුන් ආකාරයකින් කළ හැකිය. එනම්, සිතෙන් කයෙන් සහ වචනයෙනි. බුද්ධ වන්දනාව සිදුකරන විට සහ බුද්ධ පූජාවන් පවත්වන විට කායිකව ද, ස්‌තූති පූජාවන් කරන විට සහ ගාථාවන් කියන විට වාචිකව ද මෙසේ බුද්ධ ගුණ ඇගයෙන අතර මනසින්ම බුදුගුණ අගය කිරීම බුද්ධානුස්‌සති භාවනාව යනුවෙන් හැඳින්වේ.

බෞද්ධයන් පූජාවන් පවත්වන්නේ තථාගතයන් වහන්සේගේ චිත්තාකර්ෂණීය ශරීරයට නම්, පරිනිර්වාණයෙන් පසු බුද්ධ පූජාවන් පැවැත්වීම නොකළ හැකි බව සැබෑය. නමුත් බුද්ධිමත් බෞද්ධයා පූජාවන් පවත්වන්නේ බුදු පියාණන් නිසරු යෑයි දෙසූ කය අරමුණුකොට නොව, බුද්ධ ගුණයන් අරමුණු කර ගනිමිනි. තම තමන්ගේ ප්‍රඥවේ තරමට, අදත් අපට බුදුගුණ මෙනෙහි කළ හැක්‌කේමය. චෛත්‍ය, බුද්ධ ප්‍රතිමාව සහ බෝධීන් වහන්සේ අනන්ත බුදුගුණ සිහිකර ගැනීම සඳහා අපට දෘශ්‍යාධාරකයන් වෙයි. අපගේ සන්තානයේ, ශ්‍රද්ධාව - වීර්ය- සතිය - සමාධිය ආදී කුසල් සිත් ජනිත කර ගැනීමට බුද්ධ පරිනිර්වාණය කවර බාධාවක්‌ ද?

දීඝ නිකායේ එන මහා පරිනිබ්බාන සූත්‍රයේදී බුදු රජාණන් වහන්සේ මෙසේ සඳහන් කළහ. "ආනන්දයෙනි, ස්‌ථූප තනා වැඳුම් පිදුම් කිරීමට සුදුසු පුද්ගලයෝ හතර දෙනෙකි. එනම් සම්මා සම්බුදු රජාණන් වහන්සේ, පසේ බුදු රජාණන් වහන්සේ, රහතන් වහන්සේ සහ සක්‌විත් රජු යන මේ සිව් දෙනාය. ආනන්දයෙනි, කවර කරුණක්‌ නිසා තථාගතයන් වහන්සේට ස්‌ථූප තනා වැඳුම් පිඳුම් කිරීමට සුදුසු වන්නේද? ආනන්දයෙනි, "මේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ස්‌ථූපයයි" සිතා බොහෝ දෙනා සිත පහදවාගෙන මරණින් මතු සුගතිගාමී වන හෙයිනි". කළ යුත්තේ බෝධි පූජා, බුද්ධ පූජා නොව, භාවනාව යෑයි කියමින් මාරසිංහ මහතාගේ ගෝත්‍රයේ පිරිස රට කළඹති. භාවනාව පිළිබඳව බුදු හිමියන් දෙසූ මහානර්ඝම සූත්‍ර රත්නයවන, සතිපට්‌ඨාන සූත්‍රයට (ම.නි) අනුව භාවනා කළ හැක්‌කේ පිළිමයක්‌ මෙන් නිසෝල්මන්ව සිටීමේදී පමණක්‌ නොවේ. යන විට එන විට, හිඳින විට, සැතපෙන විට සේම. දොඩන විට, නිහඬවන විට, ආදී සියලු අවස්‌ථාවලදී, වීර්යයෙන්, මනා නුවණින් සහ සිහියෙන් යුතුව ඒ ක්‍රියාවන් සිදුකිරීම භාවනාවයි. ඉතින්, බෝමළු අමදින විට, මල් රැස්‌ කරන විට, ගිලන්පස සකසන විට, භාවනාව වැඩීමට නොහැකිද? පහන් පුදන විට, ගාථාවන් ගයන විට භාවනාව තහනම් ද? පර්යංක භාවනාව සඳහා දෙනෙත් පියා ගන්නා සමහරු සුළු වේලාවකින්, සුව නින්දකට වැටෙති. තමන් නිදාගත් බව පිළිගන්නටත් සමහරු කැමති නොවෙති. සෑමළුව අමදින විට ඔබට බොහෝ කුසල් රැස්‌ වෙනවා පමණක්‌ නොව, නිද්‍රdව විසින් පරදවන්නටත් නොහැකි වෙයි. සාගරය ක්‍රමානුකූලව ගැඹුරු වන්නකි. එය එක්‌වන් ප්‍රපාතයකට නොයයි. පහාරාද සූත්‍රයේදී ශාසනයත් සාගරයට උපමා කරමින් බුදු සමිඳුන් පෙන්වා දෙන්නේ ක්‍රමානුකූලව ගැඹුරුවන ප්‍රතිපදාවක්‌ ඇති බව මෙම සසුනේ ආශ්චර්යවත් ලක්‍ෂණයක්‌ ලෙසය.

සාංඝික දානවලදී විවිධාකාර කැවිලි වර්ග, ගිලන්පස වර්ග සහිතව බුද්ධ පූජාව සිදු කිරීම ගැන මහැදුරුතුමා අප්‍රසාදය පළ කරයි. දන් දීම යුද්ධයක්‌ හා සමාන බව භාග්‍යවතුන් වහන්සේ දෙසූ සේක (දානඤ්ච යුද්ධඤ්ච සමානමාහු - ස.නි). පරිත්‍යාගය පහසු කටයුත්තක්‌ නොවෙයි. තමන් දන් දෙනවා තබා, සමහරුන්ට අන් අයගේ දීම ද ඉවසා ගැනීමට අපහසුය. නමුත් නුවණැති සත් පුරුෂයන් අන් අය දුන් දානයෙහි සතුටු වීම් මාත්‍රයෙන් පවා මහත් සම්පත් ලබන බව බුදු සමය හේතු සහිතව පෙන්වා දෙයි. සම්‍යයක්‌ ප්‍රඥවෙන් යුතුව බුද්ධ වන්දනාවන් සහ පූජාවන් සිදුකරන අයට මේ ජීවිතයේදීමත් බොහෝ යහපත් ප්‍රතිඵල ලැබෙන අයුරු අපි අත්දැකීමෙන්ම දනිමු. අප කළ යුත්තේ වඩා නිවැරැදිව ඒවා සිදුකරන අයුරු කියා දීම මිස, පින්කම් හෙළා දැකීම නොවෙයි. බුදු සමය වඩාත් සමීප වන්නේ දර්ශනයකට මිස ආගමකට නොවන බව සත්‍යයකි. නමුත් දර්ශනයක්‌ සාමාන්‍ය මිනිසුන්ගේ සන්තානවල ජීවමාන වන්නේද, එය මතු පරම්පරාවලට රැකෙන්නේ ද එයට අදාළ සංස්‌කෘතියක්‌ බිහිවීමෙනි. ගසක අරටුව බිහිකිරීමට ඵලද මෙහෙවරක්‌ කරන්නා සේ, සමාජ සංස්‌කෘතියේ අංග ද බුදු සමයේ රක්‍ෂණයට, පෝෂණයට අත්‍යාවශ්‍ය වෙයි. තම පියාගෙන් ලැබුණු අවවාදයක්‌ අනුව දිසා නමස්‌කාරයේ යෙදෙමින් සිටි සිඟාලක සිටු පුත්‍රයාව, බුදුරජාණන් වහන්සේ අවඥාවට ලක්‌ නොකළ සේක. උන්වහන්සේ කළේ දිසා නමස්‌කාරයට නව අර්ථකථනයක්‌ එකතු කරමින් එම තරුණයාගේ සිතත් නොරිදවා, දහමත් ඉගැන්වීමය. සැබෑ බෞද්ධයකු වීම සඳහා මොළය පමණක්‌ නොව හදවතක්‌ද ඇවැසිම වෙයි. තනි කකුලෙන් සිටගෙන ඉන්නා පුද්ගලයකු දුටුවිට අප කළ යුත්තේ අනිත් කකුලත් දිගහැර, දෙපයින්ම සිටගන්නා හැටි කියාදීම මිස, දිගහැරගත් කකුලටත් පහරදී අසරණයාව බිම හෙළීම නොවේ.

දහම් පොත් කියවන සමහරුන්, ඒවායේ දැක්‌වෙන කරුණුවලින් තමන්ගේ කෙලෙස්‌වලට පක්‍ෂ වන දේ පමණක්‌ සත්‍ය යෑයි ගෙන ස්‌වකීය මසුරුකම්, කුසීතකම්, අහංකාරකම් ආදී කෙලෙසුන්ට විරුද්ධ දේ "ඕවා පසු කාලීන අදහස්‌" යෑයි ප්‍රතික්‌ෂේප කිරීම අභාග්‍යයකි. බෞද්ධ පුණ්‍යකර්මයන් අවසානයේ "සිතින්, කයින්, වචනයෙන් වරදක්‌ සිදු වී නම් සමාවන සේක්‌වා"යි බුද්ධ රත්නයෙන් අපි ඉල්ලා සිටිමු. මහාචාර්යතුමාට, මෙය දේවවාදී ආගම්වලින් බුදු සමයට ආ හිස්‌ දෙයක්‌ ලෙස පෙනේ. දේවවාදී ආගම්වල එන පවු සමා කිරීමේ චාරිත්‍රය පවා ඒකාන්තයෙන්ම නිශ්ඵල යෑයි නිර්දය ලෙස හෙළා නොදැකිය යුතුය. එහිද එක්‌තරා මනෝවිද්‍යාත්මක වටිනාකමක්‌ පවතින බැවිනි. සිදුකළ යහපත් දේවල්වලට වඩා, ජීවිතයේ වැරදුණු තැන් පැරදුණු තැන් තදින් මතක තබා ගැනීමේ දුබලකමක්‌ පෘථග්ජන සිත්වල ඇත්තේය. මේ නිසා අප අතින් සිදු වුණු සෘණාත්මක දේවල් ගැන නිරන්තරයෙන් පසුතැවෙන විෂම චක්‍රයකට සමහරු අසුවෙති. තමන්ට හිස එසවිය හැකි බවට ආත්ම විශ්වාසයක්‌ නොමැතිකම නිසාම ඔවුහු නැවත නැවතත් අකුසලයේම අත්අඩංගුවට පත් වෙති. වැරැදි සමා කර ගැනීම, මේ ආත්ම පරාජයට තුඩු දෙන චර්යාවෙන් මිදී ධනාත්මක හැඟීම් ඇතිව, නැවුම් ගමනක්‌ ඇරඹීමට කෙනෙකුට දිරි දෙයි. බෞද්ධ සන්දර්භය තුළ විශාල නිහතමානී බවක්‌ ද ප්‍රකට කරන ත්‍රිවිධ රත්නය ක්‍ෂමා කරවා ගැනීම සිදුකළ යුත්තේමය.

බුදු සසුනේ සමහර අංශ තේරුම් ගැනීම සඳහා තර්ක බුද්ධිය පමණක්‌ නොව අධ්‍යාත්මික බුද්ධිය ද අත්‍යවශ්‍ය වෙයි. එම නිසා මෙවැනි ගැටලු විස¹ ගැනීමේදී අප අනුගමනය කළ යුත්තේ ශාස්‌ත්‍රීය ප්‍රවේශයකින් පමණක්‌ බුදු සමය හඳුනා ගත් උගතුන්ගේ මඟ නොව, පොතපතින් උගත් දේ භාවනාමය ප්‍රඥවෙන් පත්‍රක්‍ෂ කරගත්, අති පූජනීය රේරුකානේ චන්දවිමල නාහිමි, බළංගොඩ ආනන්ද මෛත්‍රීය නාහිමි වැනි සංඝ පීතෘන් වහන්සේලා වැඩිය මගයි.

ශාස්‌ත්‍රපති මත්තුමගල චන්දානන්ද හිමි,
බෞද්ධ උපදේශක, ඇල්බර්ටා විශ්වවිද්‍යාලය, 
කැනඩාව 

ඔබ මේ යන්නේ කොහෙද?


ඔබ මේ කොහේද යන්නේ? කවුරුන් හෝ ඔබෙන් ප්‍රශ්න කළොත් ඔබේ පිළිතුර කුමක්‌ වේවිද? මම වැඩට යනවා. මම පාසල් යනවා හෝ මම කඩපොළට යනවායි ඔබේ පිළිතුර වනු ඇත. එය බොහෝ සෙයින් සෑම අයකුම දෙන පිළිතුරකි.

බුදුරජාණන් වහන්සේ දවස අලව්නුවර වැසි එක්‌තරා පේෂකර්ම දියණියකගෙන් 'ඔබ කොහේ සිට ආවේදැයි' බුදුරජාණන් වහන්සේ ඇසූ විට ප්‍රශ්නයට ඇය පිළිතුරු දුන්නේ 'නොදනිමි ස්‌වාමීනි' යනුවෙනි.

දීර්ඝ සංසාර ගමනක සියලුම දෙනාම කල් ගෙවති. මේ ගමන් මග බොහෝ විටෙක පිරී ඇත්තේ කායික හා මානසික සුවයන්ට වඩා කායික හා මානසික දුක්‌ඛයන්ගෙනි. දුගතියක නොඉපදී දිව්‍ය හා මානුෂික භවයක්‌ ලැබුණොත් සුව විඳිය හැකි නොවේදැයි යමකු ප්‍රශ්න කරනු ඇත. එහෙත් බෞද්ධ දර්ශනය අනුව සැපයි කියමින් සිතින් අල්ලා ගන්නා ඒ සියල්ල ද වහ වහා වෙනස්‌ වෙයි. කෙළවර දුක ශෝකය උරුම කොට පවතී. 

ඔබ අප කාටත් හොඳින් ප්‍රත්‍යක්‍ෂ මිනිස්‌ ජීවිතයේ ගැටලු හා දුක්‌ විපත් මේ බවට සාක්‌ෂි දරයි. අඳ, ගොළු, බිහිරි හා අංගවිකලව උප්පත්තිය ලැබුවහොත් මිනිස්‌ ජීවිතයෙන් ප්‍රයෝජන ගැනීමට අපහසු වනු ඇත. එපමණක්‌ ද නොව ජීවිතය අධර්මයට යොමුවී දුෂ්චරිතයන්ට පුරුදු වුණහොත් හා විපරිත මනසක්‌ පහළ වුවහොත් උතුම් මනුෂ්‍ය භාවයෙහි වටිනාකම ඉවත්ව යනු ඇත. එහි ප්‍රතිඵලය නම් ලද ජීවිතය දුකට පෙරළීමය.

නැවත ඉපදීම බෞද්ධ දර්ශනයේ වැදගත් ඉගැන්වීමකි. මෙම නැවත ඉපදීමට හේතුව මගේයි සිතින් අල්ලා ගනු ලබන තෘෂ්ණාව බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙති. (යායං තණ්‌හා පෝතෝභවිකා නන්දිරාග සහනතා තත්‍රතත්‍රානිනන්දතී)

නැවත ඉපදීමේ ඇති වැරැද්ද කුමක්‌දැයි ධර්මය පිළිබඳ අවබෝධයක්‌ නැති අයකු ප්‍රශ්න කරනු ඇත. නැවත ඉපදීමේ භයානක බව නම් මනුෂ්‍ය ජීවිතය අත්හැරී දුගතියකට වැටීමේ ඇති අවස්‌ථාවන් වැඩි වීමයි. මනුෂ්‍ය ජීවිතයක පරමායුෂ සාමාන්‍යයෙන් අවුරුදු සීයක්‌ නම් දුගතියක ආයු කාලය වචනයකින් කිව නොහැකි තරම් බොහෝ සෙයින් වැඩිවිය හැකිය.

බුදුරජාණන් වහන්සේ මඡ්Cධිම නිකායේ දිවේධා විතක්‌ක සූත්‍රයේ දේශනා කරනුයේ තමන් වහන්සේ තමන්ගේම දීර්ඝවූ සසර ගමන පුබ්බේනිවාසානුස්‌සති ඥානය තුළින් දුටුවා මෙන්ම චුතුපාපත ඥනය මගින් සියලු සත්වයින්ගේ සසර ගමනෙහි උපන් හා විපත් පිළිබඳව දැකිය හැකි බවයි.

එම ඥන ශක්‌තිය පිළිබඳව බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ මානය පිණිස නොවේ. සත්ත්වයන් සුචරිත මාර්ගයෙහි යෙදවීමටය.

බොහෝ සත්වයෝ සිත, කය හා වචනය දස අකුසල්වල පැවැත්වීමෙන් සසරෙහි හඬමින් හා වැළපෙමින් මහත් වූ දුකෙහි පසුවන බව එම ඉගැන්වීම් තුළින් පැහැදිලි වේ.

මෙය කියවන ඔබ මෙසේ සිතන්නට පුළුවන්. කවුද දන්නේ නැවත ඉපදීමක්‌ තිබෙනවාද නැද්ද කියලා. ඒ නිසා මේ ජීවිතයේ කොහොම හරි සතුටින් ජීවත් වෙන්නයි බලන්න ඕන. ඔබ අසා තිබෙනවාද මෙසේ කියනවා සමහර අය ගැන. 'එලොවක්‌ නැති මිනිස්‌සු මොන අපරාධයක්‌ කරල හරි තමන්ගේ වැඩේම කරගන්නයි හදන්නේ' මෙහි කියෑවෙන අදහස ගැන ඔබ මොකද හිතන්නේ? මරණය ගැන අමතක වුණාම හා පරලොවක්‌ ගැන විශ්වාසයක්‌ නැති මිනිස්‌සු හොඳින් හෝ නරකින් ජීවත්වෙන්න පටන් ගනිති.

බුදුරජාණන් වහන්සේ විසින් අවුරුදු දෙදහස්‌ පන්සිය පනස්‌ ගණනාවකට පෙර මිනිස්‌ සිත පිළිබඳ දෙසූ කරුණු වර්තමානයේත් එලෙසම ක්‍රියාත්මකය. අනිච්ච (අනිත්‍ය) නම් පදය පමණක්‌ ගෙන නුවණින් බලන්න.

ලොව ඇති පණ ඇති හා පණ නැති සියල්ලම නිරන්තර වෙනස්‌වීමකට ගොදුරු වන බව කොපමණ පැහැදිලිව වැටහේද? 

අනිත්‍ය මතුකොට පෙන්වනුයේ ජීවිතයෙහි දුකට පත්වෙමින් හඬමින් සිටින්නට නොව වෙනස්‌වන ලෝකයෙහි දැඩි ආශාවෙන්, වෛරයෙන් හා ඊර්ෂ්‍යාවන් ආදී මිනිස්‌ ජීවිතය අප්‍රසන්න කරන සිතුවිලිවලින් මනුෂ්‍ය ජීවිතය රැකගන්නටය.

සියල්ලම අනිත්‍ය බව අමතක වන විට බාහිර වස්‌තූන් වූ ගේ, දොර, ඉඩම්-කඩම්, මිල-මුදල්, යාන-වාහන, ඇඳුම්-පැළඳුම් හා රුව, රත්තරන් වෙනුවෙන් මනුෂ්‍යයන් කොපමණ නම් නපුරු වෙනවාද?

ස්‌වාමියාට බිරිඳත්, බිරිඳට ස්‌වාමියාත්, දෙමව්පියන්ට දරුවනුත්, දරුවන්ට දෙමව්පියනුත්, අවසානයේ මිනිස්‌කමත් අමතකවී රණ්‌ඩු දබර හා නඩුහබවලට පැටලී, විටෙක ඔවුනොවුන්ට හානි කරගනිමින් ජීවිතය නැතිකර ගනිති.

කරුණාව හා මෛත්‍රිය පැවැතිය යුතු සිත් තුළ රාගය, වෛරය, තරහව ආදී කෙලෙස්‌ මතු වූ විට තිරිසන් සතුන්ටත් වඩා මිනිසුන් පහතට වැටෙන බව ඔබ කොතෙකුත් අසා හා දැක තිබේද?

පසුගිය සුනාමි විපතින් මහ මුහුද හා පොරබැද දිවි ගලවා ගත් අහිංසක දියණිවරුන්ට හා මවුවරුන්ට කරදර කරන්නට තරම් යම් පුද්ගලයෙක්‌ පෙළඹුණේ, ජීවිතයත් ඒ හා බැඳී පවත්නා සියල්ලත් අනිත්‍ය බව අමතක වන්නට තරම් රාගාදී කෙලෙස්‌ ප්‍රබලව සිතට පැමිණි නිසා නොවේද? පරලොවක්‌ නැත. ඔක්‌කෝම සිදුවන්නේ මේ ලෝකයේදී පමණයි යෑයි මිථ්‍යාදෘෂ්ටි ඉගැන්වීමේ භයානක බව මේ මගින් හොඳින් වැටහෙනු ඇත. 

සියලු මිනිසුන් මවු කුස හෙවත් ගර්භාෂයෙන් මෙලොව පැමිණ කනත්තෙන් හෙවත් සොහොනෙන් ගමන අවසන් කරන බව සියලු ආගම්හි ඉගැන්වීම වේ. බෞද්ධ දර්ශනයට අනුව තෘෂ්ණාව ඉවත් නොකළහොත් නැවත ගර්භාෂයකටත් කලෙකින් පසු සොහොනකින් ගමන තාවකාලිකව අවසන්වන බව පෙන්වා අලුත් පෙනුමකින් තවත් ගර්භාෂයකට ඇතුළුවනු ඇත.

ගර්භාෂය සහ සොහොනෙන් මෙහි සංකේතවත් කරනුයේ උපත හා මරණය යි. මෙම ගර්භාෂය හා සොහොන අතර ගමනේදී කිසිදු භේදයකින් තොරව ලොව සියලු දෙනාටම මුහුණ පාන්නට සිදුවන කරුණු කිහිපයක්‌ පවතී.

එනම් ව්‍යාධීන්ට මුහුණපෑම හා දිරාගෙන යැම හෙවත් මහලු බවට පත්වීමය. සොහොන හෙවත් මරණය ඉලක්‌ක කරගෙන මේවා විශාල ගිනිකඳු ලෙසින් සියලු දෙනා වෙතට ලුහුබැඳගෙන පැමිණේ. මේවාට මුහුණ දී පරාජය කළ නොහැකිය. එමෙන්ම ඉන් පැන දිවීමට සෑහෙන වේගයක්‌ ද කිසිවකුටත් නැත මෙහිදී මනුෂ්‍යත්වයේ නාමයෙන් අපි ඉගෙන ගත යුතු පාඩමක්‌ ඇත. එනම් අපද ලෙඩවීම හෝ රෝගාතුර විය හැකි බැවින් ගිලනුන් කෙරේ කාරුණික විය යුතු බවය.

ලෙඩ රෝග කිසිවකු විසිනුත් කැමැත්තකින් බාරගන්නා දෙයක්‌ නොවේ. ඒවා අපගේ අකමැත්තෙන් හා අනවසරයෙන් ශරීරයට ඇතුළුවන ඒවාය. ඒවා නොසලකා හැරීමෙන් සිදුවන්නේ රෝගය අසාධ්‍යවීම පමණි. 'සිදුහත් කුමරුන් මෙන්ම, මමත් රෝගාතුරවීමට උරුමය' නම් වූ හැඟීමෙන් විසිරෙන සිත සන්සුන් විය යුතුය. මමත් ලෙඩ වේවි. මමත් මහලු වයසට පත්වෙනවා, මමත් කෙදිනක හෝ මැරේවි ආදී වූ සිතුවිලි මගින් ආශාවෙන්, දැඩි තෘෂ්ණාවෙන්, ආත්මාර්ථකාමී බවෙන් හා වෛරයෙන් පිරුණු සිත තරමකින් හෝ පාලනය කිරීමට ශක්‌තියක්‌ තිබේ.

වයස හා ගිලන් බව හේතුවෙන් අසරණ වන මව්පියන් හා වැඩිහිටියන් තමන්ට කරදරයක්‌ යෑයි සිතන බොහෝ තරුණ හා මධ්‍යම වයසේ පසුවන අයට, මගේ දරුවොත් මා ගැන එසේ සිතන්නට පෙළඹුණොත් මට කුමක්‌ සිතේ දැයි නොසිතන්නේ ඇයි? කාරුණික හා මෘදු හිතක්‌ තිබීම හා තරමකින් හෝ අන් අය ගැන සිතන්නට හැකිවීමත් ශරීරය දිරාගෙන ගියත් මනස නිරෝගීව පැවැතීමට හේතුවේ.

තරුණ අවදියේ දී නපුරු කෙලෙස්‌වලින් සිත පාලනය නොකොට මට සියල්ලම පුළුවනි, මම සියල්ලම දනිමි, මට කිසිවකුත් අවශ්‍ය නැත යි සිතන බොහෝ අයකුට තමන්ගේ මහලු වයස කායිකවත්, මානසිකවත් ගිනි ගොඩක්‌ වේවි.

සියල්ල අත්හැරදා සොහොනෙන් කෙළවර වන ගමනක ආශාවන් පොදි බැඳගෙන තරහවෙන් හා වෛරයෙන් පිරි අනුන්ටත්a නපුරුකම් කරමින් ගතකරන ජීවිතයක ධර්මානුකූල අර්ථයක්‌ නැත. 

සිතන්න, ගෙවෙන හැම මොහොතක්‌ම ඔබගේ ජීවිතය කෙටි කරන බව. සෙමෙන් හෝ වේගයෙන් දහම් මග ගමන් කිරීමට ඉටා ගන්න.


ආචාර්ය පූජ්‍ය මිරිස්‌සේ ධම්මික හිමි

සසුන සුරැකිය හැක්‌කේ ප්‍රතිපත්ති ගරුක වීමෙන් පමණි

මිනිසා යනු සත්වයෙකි. 'මනු උච්චෙඨානෙ සෙතීති වා මනසො උස්‌සන්නත්තා වා මනුස්‌සො" දැනීම ඥනය ඉහළ තැනෙක ඇත්තේය හෝ මනස උසස්‌ ශක්‌තිමත් යන අර්ථයෙන් මනුස්‌ස නම් වේ.

රූපාදී ස්‌කන්ධයන් කෙරෙහි පවතින ඡන්දරාගයෙහි ඇලුණේය දැඩිව ඇලුණේය. යන අරුතින් සත්වයා යෑයි පවසයි. "රූපෙ ඛො රාධ යො ඡන්දො යො රාගො යා නන්දි යා තන්හා තත්‍ර සත්තො තත්‍ර විසත්තො තස්‌මා සත්තොති වුච්චති. වෙදනාය - සඤ්Æය - සංඛාරෙසු - විඤ්Æණෙ යො ඡන්දො යොරාගො යා නන්දි යා තණ්‌හා තත්‍ර සත්තො තත්‍ර විසත්තො තස්‌මා සත්තොති වුච්චති."

සං. නි. රාධ සංයුත්තය, පඨම මාරවග්ගය,

2 - සත්ත සූත්‍රය

රාධය රූපය කෙරෙහි යම් කැමැත්තක්‌ යම් ඇල්මක්‌ යම් සතුටක්‌ යම් ආශාවක්‌ වේද එහි ඇලුණේය. එහි දැඩිව ඇලුණේය. එහෙයින් 'සත්ත' යෑයි පවසයි. වේදනාවෙහි සඤ්ඤාවෙහි සංස්‌කාරයෙහි - විඤ්ඤාණයෙහි යම් කැමැත්තක්‌ යම් ඇල්මක්‌ යම් සතුටක්‌ යම් ආශාවක්‌ වේද එහි ඇලුණේය එහි දැඩිව ඇලුණේය එහෙයින් 'සත්ත' යෑයි පවසයි.

එබැවින් මනස උසස්‌ වූයේද, දැනීම ඥනය ඉහළ තැනෙක තිබුණේද රූපාදී ස්‌කන්ධයන් කෙරෙහි පවතින ඡන්දරාගයෙහි ඇලෙන දැඩිව ඇලෙන බැවින් මිනිසා යනු සත්වයෙකි.

"සබ්බෙ සත්තා ආහරට්‌ඨිතිකා" සියලු සත්වයෝ ආහාරයෙන් සිටිත්. ආහාර ප්‍රත්‍ය කර ජීවත් වේ යනු අර්ථයයි. එම ආහාර සතරෙකි. කබලිකාහාරය, ඵස්‌සාහාරය, මනොසඤ්ඤෙතනාහාරය, විඤ්ඤාණාහාරය යනු ඒවායි.

"ආහරතීති ආහාරො" ගෙන එන්නේ යන අරුතින් ආහාර නම් වේ. කබලිකාහාරය ඕජාව අටවැනි වූ රූපකලාප ගෙනෙයි. ථස්‌සාහාරය වේදනා තුන ගෙනෙයි. මනොසඤ්ඤෙතනාහාරය භවත්‍රයෙහි ප්‍රතිසන්ධි ගෙනෙයි. විඤ්ඤාණාහාරය ප්‍රතිසන්ධික්‍ෂණයෙහි නාම රූප ගෙනෙයි. ඒ අනුව මිනිසා යන සත්වයාද ආහාර මත ආහාර ප්‍රත්‍යකර ජීවත් වෙයි. එසේම ආහාර මත සමාජයම පවතී.

එය එසේමය. උදාහරණය ලෙස කබලීකාහාරය ගනිමු. උපන්නා වූ සත්වයාට තම දිවිය ප්‍රිය බැවින් ඔහු ජීවත් වීමට උත්සාහ ගනියි. ජීවිතය පවත්වාගෙන යැමට ආහාර අවශ්‍ය වෙයි. ආහාර ලබාගැනීමට යම් ක්‍රමයක්‌ අවශ්‍ය වෙයි. එබැවින් උපන්නා වූ සෑම මිනිසකුම තම නැණ නුවණ මෙහෙයවා කළ හැකි වෘත්තියක නිරත වෙයි. ඒ වෘත්තිය අරඹනුයේ දිවි පැවැත්ම උදෙසා නමුදු කෙලෙසුන්ගෙන් මැඩීම හේතුවෙන් අමතර අවශ්‍යතාද පැනනගී. ඒ නිලතල බලතල ආදියයි. ඉදින් සමාජයම පවතිනුයේ ආහාර මත නොවේද?

තවද යම් පුද්ගලයකුට තමාගේ වෘත්තිය ආදායම් මාර්ගයක්‌ පමණක්‌ විය හැකිය. එනමුදු එය තවකෙකුට අත්‍යවශ්‍ය සේවයක්‌ වනු නිසැකය. එබැවින් ආහාර නිසා උපන් වෘත්තිය හෝ රැකියාව යනු සමාජ පැවැත්මෙහි ප්‍රබල සාධකයකි.

විමසා බලමු. ඔබ ගොවියකු යෑයි සිතන්න. ගොවිතැන ඔබගේ රැකියාවයි, ආදායම් මාර්ගයයි. දිවි පවත්නා ක්‍රමවේදයයි. එය එසේය. නමුදු ඔබ ගොවිතැනේදී වගා කරනු ලබන භෝග පරිභෝග කරන පුද්ගලයාට ගොවිතැන යනු අත්‍යවශ්‍ය සේවාවකි. 

ඔබ වෛද්‍යවරයකු යෑයි සිතන්න. වෛද්‍ය වෘත්තිය ඔබගේ රැකියාවයි. ආදායම් මාර්ගයයි. එය එසේය. නමුදු වෙදකම යනු ගිලනෙකුට අත්‍යවශ්‍ය සේවයකි. ඔබ දේශපාලනඥයකු යෑයි සිතන්න. පරිපාලන කටයුතු කරවීම ඔබගේ වෘත්තිය විය හැකි. නමුදු රටවැසියාට නිදහස්‌ව ජීවිත ගත කිරීමට නිසි පාලනය අත්‍යවශ්‍ය සේවයකි. ඔබ මාධ්‍යවේදියකු යෑයි සිතන්න. මාධ්‍ය හැසිරවීම ඔබගේ වෘත්තිය වූයේද තොරතුරු සන්නිවේදනය සමාජයට අත්‍යවශ්‍ය සේවයකි.

මේ සරල උදාහරණ කිහිපය පිළිබඳ ගැඹුරින් සිතන්න. මේ හෝ අන් වෘත්තියක නිරත වන පුද්ගලයකුගේ ප්‍රධාන අවශ්‍යතාව දිවි පැවැත්මම වන්නේය. අමතර අවශ්‍යතා පසුවය. මේ සෑම වෘත්තියක්‌ම සමාජය හා දැඩිලෙස බද්ධ වී පවතී. සමාජය නිසි මගට යොමුවීම කෙරෙහි ප්‍රබල සාධකව පවතී. එනම් ඔබගේ දිවි පැවැත්ම උදෙසා ඔබ කරන කටයුතු සමාජ පැවැත්මට සෘජුව හෝ වක්‍රව බලපායි. හේතුව ඔබ ද ජීවත්වනුයේ එම සමාජය තුළම බැවිනි.

මෙසේ සිතන්න ඔබ ගොවියකු ලෙස හෝ වෛද්‍යවරයකු ලෙස හෝ දේශපාලනඥයකු ලෙස හෝ මාධ්‍යවේදියකු ලෙස හෝ අන් කිසිවකු ලෙස හෝ දිවි රකිද්දී ඔබගේ වෘත්තිය තුළ ඔබ හැසිරෙන ආකාරය තුළින් සමාජයට වන බලපෑම කෙතරම්ද? ඔබගේ හැසිරීම තුළින් සමාජයට සිදුවන යහපත අයහපත පිළිබඳ මොහොතක්‌ හෝ සිතුවේද? නොමැතිනම් ඔබගේ බඩකට පිරවීම ගැන පමණක්‌ම සිතුවේද?

ඔබ ගොවියකු ලෙස අන්තරායකාරක කෘෂිරසායන භාවිත කරන්නකු නම් ඔබ සමාජය ගැන නොසිතන්නකු නොවේද? වෛද්‍යවරයකු ලෙස අසරණ රෝගීන් මියෙද්දී ඉල්ලීම් උදෙසා වැඩවර්ජන කරන්නකු නම් සමාජයට පිළිලයක්‌ නොවේද? දේශපාලනඥයකු ලෙස ජනතාව පෙළා තම සැප සම්පත් තරකර ගන්නකු නම් දේශද්‍රොaහී සමාජද්‍රොaහී පුද්ගලයකු නොවේද? මාධ්‍යවේදියකු ලෙස සත්‍ය දේ යහපත් දේ ගුණදම් පසෙක ලා අසභ්‍ය, අයහපත් අධම තොරතුරු සන්නිවේදනය හරහා මිනිසා විකෘති මනසක්‌ ඇත්තකු බවට පත්කරන්නකු නම් ඔබ ජාතියක්‌ ජන්මයක්‌ නැති වසලයකු නොවන්නේද? සිතන්න ඔබ මෙබදු පහත් ගති ඇත්තෙකු ද නොමැතිනම් සත්පුරුෂයකුද යන වග. ධර්මානුකූල දිවි පැවැත්මක්‌ ඇති ආර්ය පුද්ගලයකු බවට පත්වී ඇති දැයි සිතන්න. ඔබගේ කුසගිනි නිවීම උදෙසා ඔබ කරනු ලබන කටයුතු සමාජයම වෙනස්‌ කරනු ඇත.

ඔබ ඔබගේ කුසගිනි නිවීම උදෙසා අනෙකා ගැන නොසිතා කටයුතු කරන්නේ නම් අනෙකාද ඔහුගේ කුසගිනි නිවීම උදෙසා ඔබ ගැන නොසිතා කටයුතු කෙරේ නම්, දෙදෙනා එක්‌ව දෙදෙනාවම විනාශ කළා නොවේද? සැවොම එක්‌ව සැවොම වනසා ගත්තා නොවේද? එපමණකින් නැවතුනා නොව තම රට තම ජාතිය තම ආගම ද වැනසුවා නොවේද?

ඔබ කුසගින්න නිවීම උදෙසා කටයුතු කරන විට අනෙකා නැසුනා නම් ඔබ නැසුවේ ඔබගේම රටේ පුරවැසියෙකි. රටේ පුරවැසියකු නැසුවා යනු රට නැසුවා යන්නයි. අනෙකා පාගා දමා ඔහු තලා පෙළා තමා වැජඹෙන්නට උත්සාහ ගන්නකු කිසිදු විටෙක තම රට, තම ජාතිය, තම ආගම ගැන සිතන්නා වූ පරාර්ථකාමියකු නොවේමය. සැබෑ පරාර්ථකාමියා නම් තමා මහපොළොව නුහුලනා දුක්‌ ඉහිලුවේද අනෙකාට දුකක්‌ නොදෙන්නාය. නමුදු වර්තමානිකයෝ තම රට, තම ජාතිය, තම ආගම වනසා හෝ තමා සැපවත් වීමට වෙර දරයි. එබඳු පුද්ගලයන් සිටින සමාජය ධාර්මික වනුයේ කෙසේද?

ඉදින් සිතන්න ඔබ සමාජයේ ජීවත්වෙමින් ආත්මාර්ථකාමිත්වයෙන් යුතුව ක්‍රියාකරනු ලබන සෑම මොහොතකම ඔබගේ රට, ඔබගේ ජාතිය, ඔබගේ ආගම විනාශ කළ පුද්ගලයකු නොවේද? එසේ විනාශ කළ පසු අනාගත පරපුරට ඉතිරිවනුයේ කුමක්‌ද? සිතන්න ඔබගේ කය වැඩුණේ මේ හෙළ දීපයේ සාරයෙනි. ඔබගේ දැතට වෙර ලැබුණේ ඔබගේ නැණ නුවණ වැඩුණේ මේ හෙළ දිවයිනේ සාරයෙනි. එබැවින්ම ඔබ මේ හෙළ දිවයිනේ ණයකරුවෙකි. ඔබ ණය නොගෙවා මියෙන්නේ නම් ඔබ වසලයෙකි. තම රට, තම දැය, තම දහම වෙනුවෙන් තමා කළ යුතුකම ඉටුකරන්න. ආත්මාර්ථකාමියකු නොව පරාර්ථකාමියකු වන්න. අනෙකා ගැනද සිතන්න. එවිට ඔබ රට රැකි පුද්ගලයෙකි. ණය නැත්තෙකි. ජාතික වීරයෙකි.

රටට දැයට හිත දපා

මදකට දිවි ලොබ ලොපා

කළ මෙහෙයක්‌ නැති දෙපා

හෙළයකු දැකුමත් එපා

(මුනිදාස කුමාරණතුංග)

හෙළ මියෑසිය 78

මෙසේද සිතන්න. ආර්ය සංස්‌කෘතියෙන් ඔප්නැංවුණා වූ ආර්ය ජාතිය වූ සිංහලයාගේ රට සිංහලයයි. සිංහලයාගේ දහම බුදු දහමයි. එය තථාගත ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පමණක්‌ නොව මේ මහා භද්‍ර කල්පයේ බුදු වූ කකුසඳ, කෝනාගමන, කාශ්‍යප යන ලොව්තුරා බුදුරජාණන් වහන්සේලාගේ ද දායාදයක්‌ ලෙස මේ ද්වීපයට ලැබුණෙකි. (සමන්ත පාසාදිකා විනය අටුවා) අප ගෞතම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේ වැඩසිටියදී තමන් වහන්සේගේ ශාසනය හෙළ ද්වීපයේ චිරස්‌ථායී වන බව දැක සක්‌දෙව් රජුට ලක්‌දිව රැකීමට පැවරූ බව මහාවංශයෙහි දැක්‌වේ. එසේ බුදු ඇසින් දැක බලා වදාළ කරුණ වත්මනෙහි නාම මාත්‍රික සිංහල බෞද්ධයන් ශාසනය රකින්නෙමු යෑයි බඩගෝස්‌තරවාදය පෙරටු කොට කරනු ලබන්නා වූ විගඩම් මැද සක්‌දෙව් රජු කෙසේ නම් ලක්‌දිව රකින්නද? සිංහලයිනි සිතව්, සසුන රැකිය හැක්‌කේ ප්‍රතිපත්තියෙන් විනා අනෙකකින් නොවේමය. තෙපි පංච දුෂ්චරිතයෙහි හැසිරෙමින් රකිනු ලබන්නේ කවර නම් ශාසනයක්‌ද? සම්බුද්ධ ශාසනය සුරැකීම තොපට පැවරෙනා වගකීමයි. එහිලා ගත සිත යොදව්. නැගී සිටිව්. සසුන සුරකිව්.

වැල්ලවායේ සුමනබෝධි හිමි, සිරිමංගල යෝගාශ්‍රමය,
දනව්කන්ද, කිරිකිත්ත.

බුදු දහම සහ චතුස්කෝටික චින්තනය


ලොව්තුරාඅනුබුදු මිහිදු මහා රහතන් වහන්සේ ධර්ම දූතයකු ශ්‍රී ලංකාවට වැඩම කර දේවානම් පියතිස්ස රජ තුමාව මුලින්ම හමු වූ මොහොතේ “අඹ පැනය” හා “ඥාති පැනය” විමසීමේ අරමුණු වූයේ එකල සිංහල දීපයේ වැසියන්ට “චතුස්කෝටික” ව පවත්නාවූ ලෝක ස්වභාවයක් තේරුම් ගැනීමට තරම් චින්තන හැකියාවක් තිබේද යන්න පිරික්සිමය.
මිහිදු හිමියන් අසන ලද පැනයන් දෙකම  “චතුස්කෝටික” (four state) චින්තනය මැන බලෙන ඉතා සරල නිදසුන්ය.  එහිදී මුලින් ම .අසන ලද්දේ  අඹ පැනයයි.
මිහිඳු මාහිමි – “මහරජ, මේ ගසෙහි නම කුමක්ද?”
රජු – ස්වාමිනි, මෙය අඹ ගසකි.
මිහිඳු මාහිමි – මේ ගස හැර තවත් අඹ ගස් තිබේද?
රජු – එසේය, තවත් බොහෝ අඹ ගස් ඇත.
මිහිඳු මාහිමි – මේ අඹ ගසත්, ඒ අඹ ගසත් හැර තවත් ගස් තිබේද?
රජු – බොහෝ ගස් ඇත. එහෙත් ඒවා අඹ ගස් නොවේ.
මිහිඳු මාහිමි – රජතුමනි, ඒ අඹ ගසත් අඹ නොවන ගසුත් හැර වෙනත් ගස් තිබේද?
රජු – එසේය ස්වාමිනී, ඒ මේ අඹ ගසයි.

අනතුරුව අනුබුදු මිහිඳු මාහිමියෝ, දෙවනි පෑතිස් රජතුමාගෙන් තමා පිළිබඳත් තම ඥාතීන් පිළිබඳත් පැනයන් විමසා සිටියහ.
මිහිඳු මාහිමි – රජතුමනි, ඔබට නෑයෝ සිටිත්ද?
රජු – එසේය ස්වාමිනී, බොහෝ නෑයෝ සිටිති.
මිහිඳු මාහිමි – මහරජ, ඔබට නොනෑයෝත් සිටිත්ද?
රජු – එසේය ස්වාමිනී, නොනෑයෝ සිටිති.
මිහිඳු මාහිමි – ඒ නෑයොත් නොනෑයෝත් හැර වෙන කිසිවෙක් සිටීද?
රජු – එසේය ස්වාමිනී, ඒ මම ය.
දෙවන පෑතිස් රජතුමාගේ පිළිතුරුවලින් බොහෝ පැහැදුනු මිහිඳු මාහිමියන් පෙරලා මෙසේ ප්‍රකාශ කළහ.

“මහරජ, ඔබ ඥානවන්තයෙකි”
ඊළගට අප තේරුම් ගත යුත්තේ “චතුස්කෝටික” ව යමක් තේරුම් ගත හැකි වීම බොදුනුවකුට වැදගත් ඇයි ද යන්නය. බුදු රජාණන් වහන්සේ තමන් අවබෝධ කරගත් ධර්මය දේශනා කිරීමට පෙර මෙන් ම අද පවා මිනිස් සිතුවිලි බොහෝ විට හැඩ ගැසී ඇත්තේ ද්විකෝටික (Two state/Boolean logic) තර්කනය මතය. මෙහි පදනම වන්නේ ‘ඇත’ සහ ‘නැත’ (වෙනත් වචන වලින් හදුන්වන ව නම් ‘ඔවු’ සහ ‘නැහැ’) යන අවස්ථා දෙකක් පමණක් යම් සන්සිද්දීයකට (තර්කයකට) ඇතයි සැලකීමය.
බුදු රජාණන් වහන්සේ බුද්ධත්වය අවබෝධ කරගත් කාලය වන විට පැවති බමුණු දහම ප්‍රමුඛ අනිකුත් මිත්‍යා දෘෂ්ටින් සියල්ලද ද්විකොටිකව ජීවියාගේ පැවැත්ම පිළිබද විග්‍රහ කරන දර්ශනයන් විය. එක් පිරිසක් මරණයෙන් පසු නැවත ජිවිතයක් නැතය් පවසන විට තවත් පිරිසක් එකම සත්වයා නැවත නැවත ඉපෙදෙමින් මැරෙමින් පවතින බව පවසන ලදී.තවත් පිරිසක් තමන් බලගතු දෙවි කෙනෙකුගේ ගේ කැමැත්තට අනුව කල මැවීමක් බවත් මරණයෙන් පසු ඔහුගේ කැමැත්තට අනුව සදාකාලික ආත්මීය ස්වභාවයක් හිමිවන බවත් විශ්වාශ කළේය. අද පවා බෞද්ධ දර්ශනය හැර අනෙකුත් සියලු ආගමික මතවාදයන් සහ දර්ශනයන් මෙම ඇත හෝ නැත යන ද්විකෝටික තර්කනයේ ප්‍රතිඵලයන්ය.
භෞතික සංසිද්දී මෙන්ම අප එදිනෙද ජිවිතයේ ගනු ලබන සියලුම තීරණ පාහේ ගනු ලබන්නේ ද්විකෝටික චින්තනය භාවිතයෙනි. මිනිසාට ආශාවක් ඇතිවූ විට එය සන්තර්පණය කර ගනී. ඇතැම් විට එය ලබා ගෙන දෙවියන්ට හෝ නොපෙනෙන බලයකට ස්තුති කිරීම ද කරයි. නැතහොත් එය දෙවියන්ගේ කැමැත්ත යය් සිත හදා ගෙන ජිවත් වේ. ධනවාදයට විකල්පයක් ලෙස සමාජ වාදයත් එය එපා වූ විට නැවත ධනවාදයත් ඉල්ලන ද්විකෝටික චින්තනයට හැඩ ගැසුන මිනිසුන් ඇතැම් විට හද ඉල්ලා හඩන නොදරුවන් වැනිය.
අප එදිනෙදා ජිවිතයේ තොරතුරු සැකසීම සදහා භාවිතා කරන පරිඝනකයද මුළුමනින්ම පාහේ ද්විකෝටික තර්කනයන් සැකසීමට හැකි ලෙස නිපදව ඇති උපකරණයකි. දර්ශනය වැනි විෂය ක්ෂේත්‍රයන් වලට පරිඝනකයෙන් අවම සහයෝගයක් පමණක් ලබාගත හැක්කේ එම පරිපත නිර්මාණය කර ඇති ද්විකෝටික ස්වභාවය හේතුවෙනි.
නමුත් බුදු රජාණන් වහන්සේ අවභෝධ කරගත්තේ ජීවියාගේ පැවැත්මේ සහ සසර ගමනේ ඇති අනිත්‍ය, දුක්ඛ සහ අනාත්ම ස්වභාවයය්. මෙය යමෙකුට තේරුම් ගත හැක්කේ සසර ගමනෙහි ඇති චතුෂ්කෝටික සවභාවය තේරුම් ගැනීමෙන් පමණි. මෙය බුදු දහමටම පමණක් ආවේනික වූ භව පැවැත්ම පිලිබදව කරන විග්‍රහයකි. භව ගමන තේරුම් කරගත හැක්කේ චතුශ්කොටික ච්න්තනයෙනි. සත්වයකු මිය ගිය පසු එය එම ජීවයේ අවසානය නොවේ. අනිත් අතට එම ජිවියාම නැවත උපදිනවාද නොවේ. ඊලග උප්පත්තිය කරා යොමු කරන්නේ පසුගිය භවයන්හි සහ මෙම භවයෙහි ඔහු හෝ ය සිදු කරන ලද කර්මයන්හි ශක්තියකි.
නැවත උපදින්න්නේ මිය ගිය පුද්ගලයාමය. (පුනරුප්පත්ති වාදය)
නැවත උපදින්නේ හෝ උපදින සත්වයා අලුත්ම පුද්ගලයෙක් ද නොවේ. (මැවුම් වාදය)

සම්මුති මරණයෙන් පසු සත්වයකු ලෙස නැවත උපදින්නේ කලින් මිය ගිය සත්වයාම හෝ අලුත්ම සත්වයකු නොවන කර්මය නම් ශක්තිය මත තීරණය වන ජිවයකි.
ස්පර්ශයේ ඇති ‘ආශ්වාදය’ මෙන්ම ‘ආදිනවය’ ද එක වර තේරුම් ගැනීමට බෞධය සමත් වන්නේ චතුශ්කොටිකවැව එය විග්‍රහ කරගැනීමට හැකි සමර්ථතව හේතුවෙනි. ‘නිස්සරණය’ කරා යොමු වන්නේ එම අවබෝධය හේතුවෙනි. අනිත් ආගමික සහ සංස්කෘතික කණ්ඩායම් වලට සාපේක්ෂව බෞධයන් ගහ කොළ සතා
සිව්පාව ඇතුළු පරිසරයද, අනිකුත් මිනිස් ප්‍රජාවන් ආක්‍රමණය කිරීමට නොපෙලබි (නිවටයන් ලෙස අනෙකන්ගේ ආක්‍රමණයට තමන් හිස නැමුවේ යය් මෙයන් අදහස් නොකරේ.) ඔවුන් සමග සහජීවනයෙන් ජිවත් වීමට පුරුදු වුයේ මෙම ගැබුරු ජිවිතාවබෝධය ඔවුන් තුල ඇති වූ බැවිනි.

මෙය මිනිස් චින්තනයේ විප්ලවී අවබෝධයකි. මිහිදු මහා රහතන් වහන්සේ සිදුකරන ලද්දේ මෙම විප්ලවීය අවභෝධය ඇති කරගැනීමට අවශ්‍ය චතුස්කෝටික චින්තනයෙන් එදා සිටි සිංහලයන් පොහොසත් ද යන්න මැන බැලීමය.
බොහෝ අන්තවාදයන් වලට ගොදුරු වන්නේ ද්විකෝටික චින්තනයට ලඝු වූ සමාජයන්ට. ඔවුන් භෞතිකව කෙතරම් දියුණු වුවද අධ්‍යාත්මික සහ සමාජීය වසයෙන් අසහනකාරිව සහ දුක්ඛිතව ජිවත් වේ. බෞධයෝ ලව්කික සහ බෞතික ඇතැම් සංසීදි අවශ්‍ය තැන සරලව ද්විකෝටිකවත්, ජිවිතයේ යථාර්තය සහ භව පැවැත්ම වැනි ගැබුරු කරුණු චතුශ්කොටිකවත් විග්‍රහ කර ගැනීමෙන් සැහැල්ලුවෙන් සහ සතුටින් ජිවත් වන අතර දුක්ඛිත භව චක්රයෙන්ද ක්‍රමිකව එතෙර වේ.
නාලක ගමගේ දියණිය. 

November 17, 2013 at 12:01 am | lanka C news

ජ්‍යොතිෂයට පෙනෙන මතු භවය


යම් කිසිවකු මෙලොව උපදින මොහොතේ නැගෙනහිර ක්‍ෂිතිජයේ උදාව පවතින තත්කාලීන කේන්ද්‍ර සටහනින්, ඔහුගේ මෙම ආත්ම භාවයේ අනාගත ජීවිතය පිළිබඳව විස්‌තරද, පෙර ආත්ම භාවයන් පිළිබඳව ආත්මභාව තුනක පසුපස විස්‌තරද, එම පුද්ගලයා උපදින මතු ආත්ම භාව තුනක්‌ පිළිබඳව ඉදිරි විස්‌තර ද, ජ්‍යොතිෂය උපයෝගි කරගෙන කිව හැකිය.

සියල්ලෝම මනුෂ්‍යයන්ද?

මේ ආත්ම භාවයේ උපන් ස්‌ත්‍රිය හෝ පුරුෂයා මනුෂ්‍ය නාමයෙන් සිටියත් සියල්ලෝම මනුෂ්‍යයන් නොවෙති.

ඒ නිසා ඔවුන් මෙසේ වර්ග කෙරේ
මනුෂ්‍ය - දිව්‍ය
මනුෂ්‍ය - මනුෂ්‍ය
මනුෂ්‍ය - තිරිසන්
මනුෂ්‍ය - යක්‍ෂ
මනුෂ්‍ය - ප්‍රේත
මනුෂ්‍ය - තේරයික

ඒ වර්ග කිරීම මෙසේ නිශ්චය කෙරේ

1. උත්පත්ති ජන්ම කේන්ද්‍රයේ ලග්නාධිපති ජන්ම කේන්ද්‍රයේ සහ නවාංශකයේ උච්ඡව ශුභ තත්ත්වයෙන් සිටියහොත් එම ස්‌ත්‍රිය හෝ පුරුෂයා අයත් වන්නේ මනුෂ්‍ය, දේව තත්ත්වයටය. ඔවුන් පිරිපුන් මිනිස්‌ ගුණයෙන් යුක්‌තය.

2. උත්පත්ති ජන්ම කේන්ද්‍රයේ ලග්නාධිපතියා ජන්ම කේන්ද්‍රයේ ස්‌වක්‌ෂේත්‍රව හෝ මිත්‍ර රාශි ගතව ශුභ තත්ත්වයෙන් සිටියදී, එම තත්ත්වය ඒ තත්ත්වයෙන්ම නවාංශකයෙහිද පිහිටියහොත් එම ස්‌ත්‍රිය හෝ පුරුෂයා ද ගුණධර්ම හොඳින් පිහිටි අයයි.

3. ලග්නාධිපතියා ජන්ම කේන්ද්‍රයේ සමවද, නවාංශකයේ සතුරුවද සිටියහොත් එම ස්‌ත්‍රිය හෝ පුරුෂයා පහත් ගුණ ධර්ම ඇති මනුෂ්‍ය තිරිසන් තත්ත්වයට පත්වේ.

4. ලග්නාධිපතියා ජන්ම කේන්ද්‍රයේ සතුරු රාශිගතව නවාංශකයේද සතුරුව සිටියහොත් එම ස්‌ත්‍රිය හෝ පුරුෂයාද පහත් ගතිගුණ ඇති අය බවට පත්වේ.

5. ලග්නාධිපතියා ජන්ම කේන්ද්‍රයේ සතුරු රාශිගතව නවාංශකයේ නීචව සිටියහොත් එම ස්‌ත්‍රිය හෝ පුරුෂයා අයත් වන්නේ මනුෂ්‍ය ප්‍රේත තත්ත්වයටය.

6. ලග්නාධිපතියා ඡන්ම කේන්ද්‍රයේ නීචව, නවාංශකයේද නීචව සිටියහොත් එම ස්‌ත්‍රිය හෝ පුරුෂයා පහත් ගතිගුණයෙන් යුත් අවාසනාවන්ත දුක්‌ සහිත ජීවිතයක්‌ ගත කරන මනුෂ්‍ය පිසාචයකු බවට පත්වේ.

නවාංශකය

විශේෂයෙන් ඉහත සඳහන් නිගමනයන්ට එළඹෙන්නට පෙර නවාංශකයේ ලග්නාධිපතියා සිටි රාශිය නිවැරදි දැයි සොයා බැලිය යුතුය. නැතහොත් සත්‍ය විකෘති වේ.

12 වන භාවය

උත්පත්ති ඡන්ම කේන්ද්‍රයේ දොළොස්‌ වන භාවයෙන්, සත්වයා මේ ආත්මයෙන් මිදී ගොස්‌ උපදින මතු ආත්මය පිළිබඳව විස්‌තර කියෑවේ.

1. දොළොස්‌ වන භාවාධිපතියා ඡන්ම කේන්ද්‍රයේ උච්ඡව, නවාංශකයේද උච්චව, බලවත්ව සිටියහොත් එම ජන්මියා මීළඟ භවයේදී බලයෙන් යුක්‌ත දිව්‍ය රාජයකුව උපදියි.

2. දොළොස්‌ වන භාවාධිපතියා ජන්ම කේන්ද්‍රයේ ස්‌වක්‍ෂේත්‍රව සිටිමින් නවාංශකයේ උච්ඡව සිටියහොත් එම ජන්මියා මීළඟ බවයේදී මධ්‍යම පංතියේ දේවතාවකු බවට පත්වෙයි.

3. දොළොස්‌ වන භාවාධිපතියා ජන්ම කේන්ද්‍රයේ මිත්‍ර රාශිගතව සිටිමින් නවාංශකයේ උච්ච වුවහොත් එම ඡන්මියා මිනිස්‌ ලොව ඇසුරු කරන උසස්‌ දෙවියකු බවට පත්වේ. ඒ මීළඟ භවයේදීය.

4. දොළොස්‌ වන භාවාධිපතියා ජන්ම කේන්ද්‍රයේ සම තත්ත්වයෙන් සිට නවාංශකයේ උච්ජ වුවහොත් එම ජන්මියා මීළඟ භවයේදී වෘක්‌ෂ දේවතාවකු බවට පත්වේ.

5. දොළොස්‌ වන භාවාධිපතියා ජන්ම කේන්ද්‍රයේ නීව රාශිගතව නවාංශකයේ උච්ජව සිටියහොත් එම ජන්මියා මීළඟ භවයේදී තලස්‌ථ හෝ භූමස්‌ථ දේවතාවකු වශයෙන් උත්පත්තිය ලබයි.

පෙර පින්

උත්පත්ති ජන්ම කේන්ද්‍රයේ දොළොස්‌ වන භාවය සුබ ග්‍රහයන්ගෙන් යුක්‌තව, ශුභ දෘෂ්ටියෙන් පොහොසත්ව තිබුණහොත් එම ඡන්මියා පෙර ජාතීන්හිදී හොඳට පින් දහම් කළ කෙනෙකි.

ඒ හේතුවෙන් මෙලොවදී ද ඔහු කුසල් රැස්‌කර ගන්නට උනන්දු වී සුගතිගාමී වෙයි.

වංශය දැක්‌වීම

එසේම උප්පත්ති ඡන්ම කේන්ද්‍රයේ 12 වන භාවාධිපතියා

1. රවි හෝ කුජ වුවහොත් ලබන ආත්මභාවය කුමන උපතක්‌ වුවද එය ක්‌ෂත්‍රීය වංශයට අයත් වේ.

2. සඳු හෝ ගුරු වුවහොත් ලබන ආත්මභාවය කුමන විධිහේ උපතක්‌ වුවද එය බ්‍රාහ්මණ වංශයට අයත් වේ.

3. බුධ වුවහොත් එම සත්ත්වයා වෛශ්‍ය වංශයට අයත් වේ.

4. ශුක්‍ර වුවහොත් එම සත්ත්වයා ක්‍ෂුද්‍ර වංශයට අයත් වේ.

එසේම උත්පත්ති ජන්ම කේන්ද්‍රයේ 12 වන භාවාධිපතියා ජන්ම කේන්ද්‍රයේ සහ නවාංශකයේ සිටින තත්ත්වය අනුව ලැබෙන මීළඟ ආත්ම භාවය තිරිසන් සතෙකුගේ ආත්ම භාවයක්‌ වුවහොත් ඒ තිරිසන් සතාට ලැබෙන පාද (කකුල්වල) ප්‍රමාණයද ඉසිවරු සඳහන් කර ඇත.

ඒ අනුව

1. දොළොස්‌ වන භාවාධිපතියා ගුරු හෝ සිකුරු නම්, කකුල් දෙකේ සත්ත්වයෙකි.

2. රවි හෝ කුජ නම් ඒ සත්ත්වයාට කකුල් 04 කි.

3. සඳු නම් බහුපාද සත්ත්වයෙකි.

4. බුධ හෝ ශනි නම් අපාද (කකුල් නැති) සත්ත්වයෙකි.

අහෝසි කර්ම

1. යම් කිසිවෙකු තෙරුවන් සරණ යමින් කුසල් රැස්‌කර ගත්තේ නම්, තමා සිතා මතා නොකළ සුළු අකුසල් අහෝසි වී සැප ලැබේ.

2. එසේම බොහෝ අකුසල් හා පාප කර්ම කළ පුද්ගලයාට, තමන් කළ සාමාන්‍ය කුසල කර්ම අහෝසි වී පව් පල දෙන්නට පටන් ගනියි.

ගුරු සිකුරු

එසේම උත්පත්ති ජන්ම කේන්ද්‍රයේ දොළොස්‌ වන භාවාධිපතියා

1. ගුරු හෝ සිකුරු වුවහොත් ලබන ආත්මයේදී ලැබෙන ආත්මය කුමක්‌ වුවත් එම ආත්මය උසස්‌ තත්ත්වයෙන් පවතින බවද

2. රවි - බුධ හෝ සඳු වුවහොත් ලබන ආත්මයේදී ලැබෙන ආත්ම භාවය කුමක්‌ වුවත් එය මධ්‍යම තත්ත්වයේ එකක්‌ වන බවද

3. කුජ හෝ ශනි වුවහොත් ලබන ආත්ම භාවයේදී ලැබෙන ආත්මය හීන භාවයෙන් යුක්‌ත වන බවද, මතක තබාගත යුතුය.

එකොළොස්‌ වන භාවය

එසේම 11 වැන්න හා 11 වැන්නාධිපතියාද බලවත්ව උපත ලබා සිටින අය, යළි මෙලොවදීද කුසල් රැස්‌කර ගෙන මීළඟට හොඳ ආත්මභාවයන් ලබාගන්නට කටයුතු කර ගනිති.

විශේෂයෙන් යම්කිසිවකුගේ ජන්ම කේන්ද්‍රයේ දොළොස්‌වන භාවයත් දොළොස්‌ වැන්නාධිපතියාත් දුර්වල නම්, දැහැමිව ජීවත් වෙමින්.

1. නව අරහාදී බුදුගුණ නිතර සිහි කරන්න

2. කඨ§න පූජා, අටපිරිකර පූජා, බෝධි පූජා වලට සහභාගි වන්න.

3. හැකි අවස්‌ථාවන්හිදී බුදුරජාණන් වහන්සේට එළඟිතෙල් පහනක්‌ දල්වා, මල් සුවඳ දුම් ගිලන්පස පූජා කර පහත සඳහන් ප්‍රාර්ථනාව කරන්න.

ප්‍රාර්ථනාව

සුඛෝ බුද්ධානං උප්පාදෝ

සුඛෝ බුද්ධානං උප්පාදෝ

සුඛෝ බුද්ධානං උප්පාදෝ


බුදුරජාණන් වහන්සේලාගේ පහළ වීම සැපතකි

බුදුරජාණන් වහන්සේලාගේ පහළ වීම සැපතකි

බුදුරජාණන් වහන්සේලාගේ පහළ වීම සැපතකි

බුදුගුණ අනන්තය

බුදුගුණ අනන්තය

බුදුගුණ අනන්තය

ඒ අනන්ත වූ බුදුගුණ බලයෙන්ද, මෙතෙක්‌ මා විසින් ජීවිතය පුරා එක්‌රැස්‌ කර ගත්තා වූ කුසලානි ශංසයන්ගේ බලයෙන්ද, සසර වසනා තෙක්‌ මා තෙරුවන් සරණ ගිය සැදැහැවත් බෞදධයකු වී හොඳ දිව්‍ය ආත්ම වල සහ හොඳ බෞද්ධ පරිසරවල උපත ලබම්වා! දුක්‌ සහිත භවයන්හි නූපදිත්වා!!!

ඉන්පසු දසදිසා පිරිත තුනවරක්‌ද, කරණීය මෙත්ත සූත්‍රය තුන්වරක්‌ ද කියා දෙවියන්ට හා මළගිය ඥතීන්ටද පිංදීමෙන් සෙත සැලසේ. එසේ කිරීමෙන් පාපී වූ දූෂිත 12 වන භාවයේ පාප බලය යටපත් කරගෙන මීළඟ භවය සුගතිගාමී කරගත හැකිය.

මතු භවය

කේන්ද්‍රයේ සහ නවාංශකයේ 12 වැන්නාධිපතියා තැන්පත්ව සිටින රාශිය අනුව මීළඟ භවය පිළිබඳව ඉඟියක්‌ ලබාගත හැකිය.

පහත වගුව බලන්න

නමුත් මෙලොවදී දැහැමිව ජීවත්වෙමින් පිං දහම් කිරීමෙන් ඕනෑම නරක තත්ත්වයක්‌ වෙනස්‌ කරගත හැකි බව මතක තබා ගන්න.

12 වැන්නාධිපතියා පිළිබඳ සටහන

12 වන භාවාධිපතියා


ජ්‍යොතිෂයවේදී වසන්ත කුරුප්පු
රම්මුතුගල, කඩවත.

නිවැරදි පිළිවෙළට සාංඝික දානයක් දෙන්නේ මෙහෙමයි

බෞද්ධයන් ලෙස අපි අපගේ පවු‍ලේ ඥාතියකු මිය ගිය විට පින් අනුමෝදන් කිරීම සඳහා සාංඝික දාන පිරිනමමු. මේ හැරුණු විට විවාහ මංගල්‍යයකට පෙර, උපන් දිනයක් අරමුණු කර ගනිමින් සෙත් ප්‍රාර්ථනා කිරීම සඳහා ද සාංඝික දාන පිරිනැමීම අද දවසේ සිදුවේ. වැඩි දෙනෙකු කරන්නන් වා‍ලේ කරන නමුදු දානයක් පිරිනැමීමේ නියම අරුත සහ කුසල් සිදු වන අයුරින් දානය පිරි නමන්නේ කෙසේද යන්න ගැන වර්තමානයේ බොහෝ දෙනෙකු දන්නේ නැත.
ඒ පිළිබඳව විස්තර කිරීමට පෙර දානය සම්බන්ධයෙන් දළ විස්තරයක් දැන ගෙන හිඳීම ඔබට ප්‍රයෝජනවත් වනු ඇත.
බුදුරජාණන් වහන්සේ දානය පිළිබඳව දක්වා ඇත්තේ විශිෂ්ටතම මනුෂ්‍ය ධර්මයක් ලෙසය.
මේ ලෝකය තුළ මනුෂ්‍යයන් අතර තිබෙන බැඳීම් හැමවිටම ඔවුන් හට ඇති කරවන්නේ දුක සහ කඳුළය. මජ්ජිම නිකායේ පියජාතික සූත්‍රයෙහි පැහැදිලිවම දක්වන අන්දමට මනුෂ්‍යයන් එකිනෙකා අතර හට ගන්නා ආදරය, බැඳීම, ලෙන්ගතුකම වඩාත් වැඩි වූ තරමට ශෝකය සහ කඳුළ ද වැඩි වෙයි. මේ බැඳීම් දුකයි බව දන්නේ නම්, එයින් මිදීමට අවශ්‍ය බව හැඟේ නම්  ඒ සඳහා  බුදු සමය තුළ දක්වා ඇත්තේ අත් හැරීම පුරුදු කිරීමයි. බුදු සමයේ  පදනම වන්නේද එයයි.
දුක දුරු කර ගත හැක්කේ අත් හැරීම මගිනි. බෝධි සත්වවරුන් බුදු වීම සඳහා පාරමී දම් පිරීමේ දී පළමුව සම්පූර්ණ කරන්නේ දාන පාරමිතාවයි. එසේ පියවරෙන් පියවරෙන් අත් හැරීම  තුළින් සියල්ලම අත් හැරීම දක්වා ක්‍රම ක්‍රමයෙන් පැමිණෙන්නට හැකිවේ.
පාරමී දම් ගැන කතා කරන විට පාරමී, උප පාරමී, පරමත්ථ පාරමී යනුවෙන් වර්ග තුනකි. නමුත් අප ඒ සියල්ල මෙහිදී සාකච්ඡා කරන්නේ නැත.
දානය සම්බන්ධයෙන් බැලීමේ දී තමන්ට දිය හැකි බාහිර කවර දෙයක් වුවද දානය ලෙස දෙමින් ඒ පිළිබඳ අදහස, ඇල්ම  නැති කර ගැනීම දාන පාරමිතාව වෙයි. මෙයට ආහාර , ඇඳුම් පැළඳුම් ‍පොත් පත් ගෙවල් දොරවල් මෙකී නොකී ඕනෑම දෙයක් අයත්ය. මෙවැනි දන්දීම් බුදු දහමේ දක්වන්නේ ආමිස දානය ලෙසිනි.
මේ හැරුණු විට ධර්ම දානය සහ අභය දානය ලෙසින්ද දානයෙහි තවත් කොටස් දෙකක් වේ. සරලව විස්තර කළොත් ධර්ම දානය යනු ධර්මය කියා දීම, ධර්ම ‍පොත පත ලිවීම ඒවා පිරිනැමීම නරකට යොමුවන කෙනකුට අවවාද දී යහමගට ගැනීම වැනි දෑ දැක්විය හැකිය.
අභය දානය යනු භය දුරු කිරීමයි. මරණයට කැප වූ සතුන් , නිදහස් කිරීම වැනි පින්කම් මගින් එම සතා තුළ ඇති වූ මරණ භයෙන් නිදහස් කිරීම අභය දානය පින්කමකි.
27-2
ඒ සාමාන්‍යයෙන් අප ‍පොදුවේ කතා කරනු ලබන දානයයි. දැන් අපි සාංඝික දානය පිළිබඳව සවිස්තරව විමසා බලමු.

බුදු දහමේ දැක්වෙන අට මහා කුසලයෙන් දෙවන කුසලය වන්නේ සාංඝික දානයයි. සාංඝික යනු සංඝයා උදෙසා දෙනු ලබන දානය වේ. සංඝයා යනු අතීතයේ වැඩසිටි, වර්තමානයේ  වැඩ වෙසෙන සහ අනාගතයේ වැඩ හිඳින තුන් කාලයටම අයත් සංඝයාය. සාංඝික දානය මෙම ෙතේ‍රකාලික සංඝයා වෙනුවෙන්ම පිරිනමන්නකි.
සාංඝික දානයක් පිරිනැමීම කරන්නන් වා‍ලේ කිරීම පලක් නොවේ. ඒ සඳහා කාරණා තුනක් සම්පූර්ණ විය යුතුය.
එනම් ශ්‍රද්ධා සම්පත්තිය චිත්ත සම්පත්තිය සහ දෙස්‍ය ධර්ම සම්පත්තියයි. 
ශ්‍රද්ධා සම්පත්තිය යනු තෙරුවන් කෙරෙහි අතිශය පැහැදීමෙන් දානය පිරිනැමීමය.
චිත්ත සම්පත්තිය යනු සිත 
පහදා ගෙන දන් දීමයි. එනම් ලෝභ ද්වේෂ මෝහ, යන කරුණු දුරු කරගෙන දන් පිරිනැමීම වේ.
දෙස්‍ය ධර්ම සම්පත්තිය යනු තමන් විසින් අනුන්ගේ  දෙයක් කඩා වඩාගෙන හෝ පැහැර ගැනීමකින් තොරව දැහැමින් දහඩිය මහන්සියෙන්  උපයා ගත් දෙයකින් දන් දීමය. වෙනත් අය කරන පරිත්‍යාග ප්‍රතික්ෂේප කළ යුතු බවක් මෙමගින් අදහස් නොකෙරේ.
මේ හැරුණු විට ප්‍රතිග්‍රාහක සම්පත්තිය එනම් දානය පිළිගන්නා සංඝරත්නය පිළිබඳව සැලකීමේ දී එහි ප්‍රමාණයක් නැත. බොහෝ දෙනකු සිතන්නේ සාංඝික දානයක් පිරිනැමීම සඳහා අඩුම තරමින් උපසම්පදා ලත් සංඝයා වහන්සේලා සිව් නමක් වත් වැඩ සිටිය යුතු බවය. නමුත් එවැනි පිරිසක් අවශ්‍ය වන්නේ භික්ෂූන් වහන්සේලා ගේ විනය කර්මයකට මිස සාංඝික දානයකට නොවේ. සාංඝික දානය යනු භික්ෂූන් හා දායකයා අතර සිදුවන පුණ්‍ය කර්මයකි. ඒ  අනුව ඔබට දානය පිළිගැන්විය හැක්කේ එක් 
සංඝයා වහන්සේ නමකට නම් එයද සාංඝික දානයකි. සියක් නමකට පිරිනැමිය හැකි නම් එයත් සාංඝික දානයම වේ. භික්ෂූන් වහන්සේලා අඩු වූ  විට පින අඩුවන්නේ වත්, වැඩි වූ ප්‍රමාණයට සාපේක්ෂව පින වැඩිවන්නේ වත් නැත.
එනිසා ඔබගේ නිවසේ පහසුවෙන් අසුන් පිළියෙළ කළ හැක්කේ සංඝයා වහන්සේලා කී නමකටද යන්න මුලින් සිතන්න. ඒ අනුව සංඝයා වහන්සේ ලා වැඩම කරවා පිරිසිදු  සිතින් දානය 
පිරි නැමීම කළ යුතුය. සාංඝික දානයක් පිරි නැමීමේ දී ඔබ සිත පිරිසිදු කර ගත යුතු අවස්ථා තුනක් තිබේ.
දානයක් පිරි නැමීම කළ යුතු බවට නිවසේ සාමාජිකයන් සමග එක්ව තීරණය කළ අවස්ථාවේ සිට දානය පිරිනමන අවස්ථාව දක්වා දානය සම්බන්ධ ඔබේ සියලු ච්ෙතනා පිරිසිදු විය යුතුය. මෙය හඳුන්වන්නේ පූර්ව ච්ෙතනා පිරිසිදු වීම ලෙසිනි.
දානය පිරිනමන අවස්ථාවේ කිසිදු කලබලයකින් තොරව, සංසුන්ව , සංඝයා වහන්සේලාගේ ගෞරවය රැගෙන ආකාරයට, පිරිසිදු සිතින් සිදු කිරීම  දෙවන අවස්ථාවය. මෙය දක්වන්නේ මුඤ්චන ච්ෙතනා පිරිසිදු වීම ලෙසිනි.
දානය පිරිනැමීමෙන් පසුවද එම පින්කම සම්බන්ධයෙන් කුමන හේතුවකට වත් සිත නරක් කර ගැනීම පසුතැවීම වැනි දෑ නොකළ යුතුය. අපර ච්ෙතනා පිරිසිදු වීම ලෙස මෙය දැක්වේ.
'තුන් සිත පහදා දුන්නොත් දානය - උන් ගිය ගිය තැන ලැබෙයි නිධානය' යනුවෙන් පැරැන්නන් කීවේ මේ පිළිබඳවය.
සාංඝික දානය ඉතාමත් ආනිශංස සම්පන්න පුණ්‍ය කර්මයකි. මේ පිළිබඳව තවත් මෙලෙස පැහැදිලි කිරීමට පුළුවන.
ප්‍රජාපතී ගෝතමිය වරක් සිවුරු පිළියෙළ කර ගැනීමට සුදුසු වස්ත්‍රයක් වියාගෙන එය පූජා කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ වෙත පැමිණියාය. එහිදී ප්‍රජාපතී ගෝතමිය කියා සිටියේ මෙය බුදුරජාණන් වහන්සේ වෙතම පූජා කළ යුතු බවය. නමුත් බුදුරජාණන් වහන්සේ එය පිළිගත්තේ නැත. 'මෙය 
සංඝයාට පිරි නමන්න. එය බුදුන්ටත් අයිතියි' යනුවෙන් එහිදී උන්වහන්සේ වදාළහ. 
ඒ අනුව බුදුරජාණන් වහන්සේට පෞද්ගලිකව යමක් පූජා කරනවාට වඩා එය ‍පොදුවේ සංඝයා වහන්සේ වෙනුවෙන් දෙන විට ආනිශංස වැඩි බව ඔබට පැහැදිලි වනු ඇත.
ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රජාපතී ගෝතමිය හට දේශනා කරන ලද දක්ඛිණ විභංග සූත්‍රයෙහි දානයක් දිය යුතු ආකාරය සහ එහි ආනිශංස ආදිය පිළිබඳව මැනවින් විස්තර දක්වා ඇත.
සාංඝික දාන පිරිනැමීම අපි විවිධ අරමුණු මුල් කරගෙන සිදු කරමු. මළගිය ඥාතීන්ට පින්දීම වැඩි වශයෙන්ම අප සාංඝික දාන පිරිනැමීමේ අරමුණ වේ. මීට අමතරව ඉහත ද සඳහන් කළාක් මෙන් ජීවිතයේ විශේෂ අවස්ථා සඳහා සෙත් පතාද සාංඝික දාන පිරිනමමු. පිරිසිදු ච්ෙතනා ඇතිව සංඝයා වහන්සේලා උදෙසා යමක් පූජා කරන විට සංසාරය පුරාම හිමි වන ආනිශංස හතරක් වේ. ඒ ආයුෂ, වර්ණ, සැපය සහ බලයයි. ආයුෂය යනු අකල් මරණයක් හිමි නොවේ. දිගු කලක් ජීවත් වීමට හැකි වීමය. වර්ණ යනු ප්‍රසාදනීය ලෙස ජීවත් වීමට හැකි වීම වේ. සැපය යන්නෙහි අදහස්  කරන්නේ නිරෝගී සැපයයි. බලය නම් ඥාන හෙවත් ප්‍රඥා බලයයි. 
අප පිරිසිදු සිතින් දන් දෙන විට මේවා ඉබේම ලැබෙයි. ඒ මිස මේවා ප්‍රාර්ථනා කරමින් දානය දීම තුළින් දානය දීම යන්නෙහි අර්ථය පටුවෙයි. 
තවදුරටත් පැහැදිලි  කළහොත්  දානය යනු අප යම් දෙයකට ඇති ආශාව අතහැර එය පිරිසිදු සිතින් පරිත්‍යාග කිරීමය. එනිසා දානයෙහි පරම කුසලය නිර්වාණය වේ. අප ප්‍රාර්ථනා කළ යුත්තේ නිවන කරා යොමු වීමටය. එනිසා දන් දී ආයුෂ, වර්ණ, සැප, බලය ප්‍රාර්ථනා කරන්නට යාමෙන් දන්දීමේ පරමාර්ථය උසස් වන්නේ නැත.
අනෙක් අතට ඔබ දන් දෙන්නේ ඉහත කී පරිදි තුන් සිත පහදවා ගෙන නම් ඔබ අමුතුවෙන් ප්‍රාර්ථනා කළත් නැතත් එකී ආනිශංස ඔබට ඉබේම වනු ඇත.


සාකච්ඡා කළේ  - ඉන්දු පෙරේරා

පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමිපාණෝ කියති
කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ 
අංශාධිපති 

ගැඹුරුකම සරල ය සරලකම ගැඹුරු ය


මේ ලිපිය ලියන්නේ මහනුවර මහරෝහලේ වෛද්‍ය ලලිත් විඡේසිංහ සහෘදයාගේ ආරාධනයක්‌ පරිදි ය. ඔහු අපට වැදගත් වන්නේ දෘෂ්ටිගත නොවී ජීවිතය දකිමින්, සිය ශක්‌ති පමණින් තමා ජීවත් වන සමාජය යහපත් කිරීම උදෙසා කටයුතු කරන චරිතයක්‌ බැවිනි.

නොබෝදා ලලිත්ගේ පියා මිය ගියේ ය. ඔහු සිය පියාගේ අවසන් ඉල්ලීම පරිදි මව, නැගණිය ද ඇතුළු ඥාතිමිත්‍රාදීන්ගේ කැමැත්ත ඇතිව පියාගේ දේහය, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට බාර දුන්නේ ය. ඒ මොහොතේ කළ යුතු වැදගත් ම දෙය ලෙස ඔවුනට දැනී තිබුණේ එය යි. ඒ සරල ක්‍රියාව තුළ ගැඹුරු අරුතක්‌ ඇත. මෙයින් අදහස්‌ වන්නේ සෑම අයකු විසින් ම සිය සමීපතමයන්ගේ දේහ වෛද්‍ය විද්‍යාලයනට බාරදිය යුතු බව නොවේ. වඩා වැදගත් වන්නේ දිනයක්‌ හෝ දෙකක්‌ දේහය තබාගෙන අවසන් කටයුතු සිදුකිරීම නම් කළ යුත්තේ එය යි. 

මෙරට ජීවත් ව සිටි සුවිශිෂ්ට චින්තකයකු මෙන් ම කීර්තිමත් අධ්‍යාපනඥයකු වූ ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම්තුමා, සිය අභාවයෙන් පසු අවසන් කටයුතු කළ යුතු ආකාරය ගැන කිසි ම සඳහනක්‌ කොට නොතිබිණ. 1985 දෙසැම්බර් 28 වන දින අභාවයට පත් වූ එතුමන්ගේ අවසන් කටයුතු සිදු කැරුණේ 1986 ජනවාරි 01 වන දින ය. ඒ නිසා අදිකාරම්තුමන් ඇසුරු කළ, පුවත්පත්, පොතපත ඇතුළු සන්නිවේදන මාධ්‍යවලින් එතුමන් ගැන දැන සිටි දිවයිනේ නන් දෙස විසිර සිටි බොහෝ දෙනා එතුමන්ට අවසන් ගෞරව දැක්‌වීමට පැමිණියහ. ඒ පැමිණි අයගේ අතට අඩු ම වශයෙන් අදිකාරම්තුමන් විසින් ලියන ලද සිතිවිලි ලිපියක්‌ හෝ පත් කිරීමට හැකි විය. ඒ අනුව සිදු වූයේ එතුමන්ගේ අවසාන අවස්‌ථාව පවා අදිකාරම් සාහිත්‍යය සමාජගත කිරීමට ලැබෙන අවස්‌ථාවක්‌ බවට පත්වීම ය.

හොරණ, පොකුණුවිට, විනයාලංකාරාමයේ වැඩ විසූ අතිපූජ්‍ය මහාචාර්ය රේරුකානේ චන්දවිමල නාහිමියන් විසින් තමා අපවත් වූ දින ම සිය අවසන් කටයුතු කළ යුතු ය යනුවෙන් විශේෂ සඳහනක්‌ කොට තිබිණ. ඒ අනුව උන්වහන්සේගේ අවසන් කටයුතු සිදු කෙරුණේ එහිමියන් අපවත් වූ දින ම ය. එම ක්‍රියාවෙහි ද ලෝකය අවදි කරවන සුවිසල් ගැඹුරක්‌ විය. රේරුකානේ චන්දවිමල නාහිමියන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු උන්වහන්සේ අපවත් වූ දින ම සිදු කිරීමත් ලලිත්ගේ පියාගේ දේහය වෛද්‍ය විද්‍යාලයට බාරදීමත් අදිකාරම්තුමන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු දින කිහිපයකට පසු සිදු කිරීමත් බැලු බැල්මට භෞතික වශයෙන් එකිනෙකට වෙනස්‌ ලෙස පෙනී යන ක්‍රියා තුනකි. එහෙත් ඒ ක්‍රියා තුන ම කවර හෝ අන්දමක සමාජාවබෝධයකට හේතු විය. එහෙයින් ඒ ක්‍රියා තුන ම අපට වැදගත් සේ දැනෙයි, හැඟෙයි.


ඇතැම් 'පින්කම් ගෙදරක', ධර්ම දේශනයෙන් හෝ දානයෙන් පසු අපට දකින්නට ලැබෙන්නේ කා බී මත් ව සිහියෙන් තොර ව කටයුතු කරන දර්ශන ය. ඒවා 'පින්කම්' කියා හැඳින්විය හැකි ද? ඇතැම් දෙනා විසින් කරනු ලබන ක්‍රියා තුළ ඇත්තේ අක්‍රියාව යි. මෙය වඩාත් පැහැදිලි කොට ගැන්ම සඳහා අපට භගවද්ගීතා පාඨයක්‌ උපයෝගී කොට ගත හැකි ය.

කර්මණ්‍යකර්ම යඃ විශ්‍යෙයදක

ද කර්මණි ච කර්ම යඃ

ස බුද්ධිමාන් මනුෂ්‍යෙෂු

ස යුක්‌තඃ කෘත්ස්‌නකර්මකෘත්"

මෙයින් කියෑවෙන්නේ යමෙක්‌ අක්‍රියාවෙහි ක්‍රියාවත් ක්‍රියාවෙහි අක්‍රියාවත් දකියි ද ඒ තැනැත්තා මනුෂ්‍යයන් අතර බුද්ධිමතා බව යි. ඔහු සියලු ක්‍රියා කරන යෝගියා බව යි. අනුන් අබිබවා යාමේ අදහසින් තනතුරු, බලය, ධනය උදෙසා කෙනෙකු විසින් කරනු ලබන අනවරත සටන තුළ බැලු බැල්මට ක්‍රියාවක්‌ තිබේ. එහෙත් ඒ වූ කලී ක්‍රියාවෙහි අක්‍රියාව යි. එබඳු තැනක දී කළ යුතු ක්‍රියාව වන්නේ ධනය, බලය, තනතුරු ආදිය උදෙසා කිසිවක්‌ නොකර හිඳීම යි. එතැන ඇත්තේ තරඟ නොකිරීමේ ක්‍රියාව යි. ගීතාවට අනුව අක්‍රියාවේ ක්‍රියාව යි.

අප විසින් කරනු ලබන ක්‍රියා කොතරම් දුරට අර්ථවත් ද අර්ථ හීන ද යන්න ගැන සැලකිලිමත් වනු වටී. අමද්‍යප සමාජයක්‌ ස්‌ථාපිත කිරීම සඳහා කටයුතු කරන අව්‍යාජ අමද්‍යප සාමාජිකයකුට, මද්‍යසාර ගැනීම අනුමත කෙරෙන හෝ ඇගයෙන අදහස්‌ ඇතුළත් ගීත ගායනා කිරීමට පෙළඹිය හැකි ද ? නොඑසේ නම් එබඳු ගීතයකට අත්වැල ඇල්ලිය හැකි ද ? තමා හදවතින් ම කටයුතු කරන්නේ අමද්‍යප සමාජයක්‌ බිහිවනු දැකීමට නම්, එබඳු අය විසින් නොදැනුවත් ව හෝ තමා අතින් සිදුවන මේ ක්‍රියාව ගැන වඩාත් සිතා බලනු වටී.

එසේ ම හිංසකත්වයෙන් තොර සමාජයක්‌ බිහිවනු දකිනු කැමති අව්‍යාජ නිර්මාංසාහාරිකයකුට 'සුරංගනීට මාලු ගෙනාවා' වැනි ගී ගැයීමට ඉදිරිපත් විය හැකි ද ? නො එසේ නම් එබඳු ගීයක අත්වැල් සපයන්නා විය හැකි ද ? තව ද 'සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා' යි ප්‍රාර්ථනා කරන කෙනෙකුට, ඝාතනයට ලක්‌වන සත්ත්ව ජීවිත ආහාරයට ගත හැකි ද ? මේ සම්බන්ධයෙන් ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම් මහාත්මා විසින් දක්‌වනු ලැබ ඇති පහත සඳහන් ප්‍රකාශයට අපගේ අවධානය යොමු කිරීම සුදුසු ය.

''යම් සතෙක්‌ නිදුක්‌ වේවා යි එක දවසක දී ප්‍රාර්ථනා කොට තව දවසක දී උගේ මස්‌ කෑම සිහිය ඇති කෙනෙකුට සිතා ගැනීමට බැරි තරමේ පරස්‌පර විරෝධී ක්‍රියා නොවන්නේ ද ? එහෙත් අද නරක මිනිසුන් පසෙක තිබිය දී මෛත්‍රී භාවනාව වඩන, යහපත් ප්‍රතිපත්ති පුරන්ට උත්සාහ කරන, හොඳ මිනිසුන් කී දෙනෙක්‌ මේ පරස්‌පර විරෝධී ක්‍රියා දෙකෙහි යෙදෙත් ද ?

සියලු ම සත්ත්වයෝ යෑයි කියූ විට අත් හැරිය හැකි එක ද සතෙක්‌ නොවන්නේ ය. හරකා, එළුවා, ඌරා, කකුළා ආදී ගොඩ සිටින සතුන් පමණක්‌ නොව දියෙහි වසන මාළුවා, කකුළු වා, ඉස්‌සා ආදී ලොකු කුඩා සෑම සතෙක්‌ ම ද එහි අන්තර්ගත වන්නේ ය. එම නිසා සියලු සත්ත්වයෝ නිදුක්‌ වෙත් වා යි ප්‍රාර්ථනා කරන කෙනෙකු මසක්‌ මාළුවක්‌ කන විට ඔහු කරන්නේ තමා විසින් මෛත්‍රී කරනු ලැබූ සතෙකු තමා විසින් ම කෑම ය.

ඔබ මෛත්‍රී භාවනාවත් කරන මස්‌ මාළුත් කන කෙනෙක්‌ නම් මීට පසු කෑම සඳහා මසක්‌ හෝ මාළුවක්‌ මේසය මතුයෙහි තිබෙනු දකින විට ඔබ කරන්ට යන ක්‍රියාව ගැන මොහොතක්‌ සිහියෙන් යුක්‌ත ව බලන්න.''

අප මෙතෙක්‌ මේ ගැන නොසිතුවේ නම් කළ යුත්තේ කුමක්‌ ද ? තමාගේ ම ආදරණිය විවේචකයා බවට තමා ම පත් වී සිදුවීම් අවලෝකනය කිරීම ය. අනතුරුව තමාට දැනුණු හැඟුණු සත්‍යය තුළ, අනුනට කායික හෝ මානසික පීඩාවක්‌ නොවන පරිදි, හැකි උපරිම අයුරින් ක්‍රියාත්මක වීම ය. එසේ ක්‍රියාත්මක වන අතර, තමාට වැටහුණු දෙය, හැකිතාක්‌ දෙනාට ඉතා ආදරණීය ලෙස වටහා දීමට උත්සාහ දැරීම ය. එබඳු මෙහෙවරක දී පිරිමියා සේ ම ගැහැණිය ද එක සේ වැදගත් වෙයි.

ගැහැණිය යහපත් ලෞකික ජීවිතයක පැවැත්මට හෝ විමුක්‌තියට බාධාකාරී තැනැත්තිය ලෙස දැක, ඇය හෙළා දකිමින් කටයුතු කරන්නට කරන්නට යහපත් ගිහි ජීවිතය මෙන් ම අපේක්‌ෂිත විමුක්‌තිය ද තවදුරටත් අපෙන් ඈත් වෙනවා ඇත. එසේ ම ඇය ම පමණක්‌ ජීවිතයේ වැදගත් දෙය කොට තකමින්, ඇයට ආසක්‌ත වන්නට වන්නට ද යහපත සහ විමුක්‌තිය අපෙන් ඈත් වෙනවා ඇත. ගැහැණියට ද මේ ආකාරයට ම පිරිමියා ගැන සිතිය හැකි ය. තත්ත්වය මෙසේ නම් අප විසින් කළ යුතු ව ඇත්තේ කුමක්‌ ද ? අපට දැනෙන්නේ, හැඟෙන්නේ මේ සඳහා කළ යුත්තේ බෝධිසත්ත්ව - සිද්ධාර්ථ ආදර්ශය ගැනීම බව යර් බුදුන් වහන්සේගේ පරමාදර්ශය ගැන සිතීම බව ය.

ජාතක පොත අධ්‍යයනය කිරීමේ දී අපට පෙනී යන්නේ බෝධිසත්ත්ව සිය ජීවන චර්යාවෙන් ඇලීම මෙන් ම නොඇලීම ද ප්‍රකට කොට ඇති බව ය. බෝධිසත්ත්ව බිරිඳ ලෙසින් යසෝදරා ද ප්‍රකට කෙළේ ඇලීම සහ නොඇලීම අතර දෝලනය වන චරිත ස්‌වභාවය යි. එහෙත් සිද්ධාර්ථ-යසෝදරා යනු තවත් චරිත දෙකක්‌ පමණක්‌ නොව සිය භව ගමන අවසන් කොට, බොහෝ දෙනාට තමන්ගේ භව ගමන් අවසන් කිරීමට උපකාරී වූ පරමාදර්ශී යුවළකි. සිය අවසන් ජන්මයේ දී අවසන් විමුක්‌තිය උදෙසා, 'ඒ සාංසාරික යුග බන්ධනය' ද කැඩිය යුතු බව සිද්ධාර්ථ කුමරු තරුණ වියේ දී ම අවබෝධ කොට ගත්තේ ය. ඒ අවබෝධය යසෝදරා තුළ ද විය. එහි අවසන් ප්‍රතිඵලය වූයේ සිද්ධාර්ථ කුමරු පැවිදි ජීවිතයට එළඹ, අවසන 'සම්මා සම්බුද්ධත්වය' ලැබීමෙනි. යසෝදරා දේවිය ද හිමි මග ගෙන පැවිදි ව අවසන රහත් මෙහෙණියක බවට පත්වීමෙනි.

මේ අනුව අප විසින් කළ යුතු ව ඇත්තේ කුමක්‌ ද ? ජීවිතය වඩාත් නිවරද කොට ගැන්ම උදෙසා - සුවපත් කොට ගැන්ම උදෙසා අප විසින් අප දෙස ම බැලිය යුතු වෙයි. දුෂ්කර කාර්යය වන්නේ ද එය යි. ලෝකය දෙස බැලීම පහසු මුත් තමා දෙස බලා, තමා විසින් තමා විවේචනයට ලක්‌ කොට ගැනීම අපහසු ය. එහෙත් කළ යුත්තේ ද එය යි. ඒ අනුව තමා විසින් තමාගේ චර්යා දෙස බලා තමාට ම 'රිදවා' ගත යුතු වෙයි. ආදරණීයයන්ගේ සුවය පතා ඔවුනට වුව 'රිදවිය' යුතු ය. එහෙත් ඒ රිදවීමේ අරමුණින් නොව සුවපත් කිරීමේ අරමුණෙනි. 'ආදරයෙන් පහරදීමේ කලාව' උගත යුත්තේ මේ සඳහා ය.

එක්‌තරා සෙන් ගුරු හිමි නමක්‌ උදෑසන සිය සිසු පිරිසට කියා දෙන්නේ ඔබේ දෑත ඇත්තේ ලෝකයට ආදරය දීමට බව යි. එසේ ඉගැන් වූ ගුරුවරයා ම, එම සිසු පිරිසට හවස සටන් කලාව උගන්වයි. එවිට එක්‌ ශිෂ්‍යයෙක්‌ මෙසේ අසයි. 

'හිමියනි, ආදරය කිරීමට ඇති දෑත් පහර දීමට යොදවන්නේ ඇයි ?

ආදරය නිස යි.'

ඒ ගුරුවරයාගේ පිළිතුර යි. මේ කතාව වඩාත් පැහැදිලි කොට ගැන්මට එක්‌ නිදසුනක්‌ දැක්‌වීම සුදුසු ය. කිසියම් තැනැත්තෙක්‌ තවත් තැනැත්තකු මරා දැමීම පණිස අවියක්‌ අමෝරා ගෙන එයි. ඒ මොහොතේ ඒ කාර්යය වැළැක්‌වීම සඳහා කළ යුතු එක ම ක්‍රියාව වන්නේ අවි දැරූ තැනැත්තාට පහරදී මෙල්ල කිරීම නම් 'සටන්කරුවා' විසින් අනිවාර්යයෙන් ම කළ යුතු ව ඇත්තේ එය යි. එතැන දී 'සටන්කරුවා' ඝාතනයට ලක්‌ වන්නට යන තැනැත්තා බේරා ගැන්ම උදෙසා ප්‍රහාරකයාට පහර දීමෙන් ප්‍රකාශයට පත් කරන්නේ පහර ලබන්නා කෙරෙහි ඇති ආදරය යි. එසේ ම අවි දැරූ තැනැත්තාට පහර"ම තුළ ඇත්තේ ද පහර දෙන්නා කෙරෙහි වන ආදරය යි. මන්ද ඔහු මිනීමරුවකු වීමට තිබූ අවස්‌ථාව වැළැක්‌වීමෙන් 'සටන්කරුවා' ප්‍රකාශයට පත් කරන්නේ ඒ ආදරය බැවිනි. 

එහෙයින් අප භෞතික ව හෝ වාචික ව කෙනෙකුට නොකර ම බැරි තැනකදී 'පහර දෙනවා නම්' එහි පදනම විය යුත්තේ ආදරය යි, කරුණා මූලය යි. එවිට 'පහර ලබන තැනැත්තා' තුළ පවා වෛරයක්‌ - අනාදරයක්‌ උපදින්නේ නැත. වරෙක ඡේ. ක්‍රිෂ්ණමූර්ති නම් චින්තකයා සඳහන් කෙළේ ගැඹුරින් කල්පනා කිරීම යනු බුම්මාගත් මුහුණක්‌ ඇති ව සිටීම නොවන බව ය. එසේ ම ලෝකය ම සිය හිස මත පවතින සේ ගැඹුරු මුහුණක්‌ මවාගෙන සිටින තැන ද ගැඹුරුකම නැත. තව ද තමාට ද පැහැදිලි නුවූ කරුණු, දෘෂ්ටියක්‌ ලෙස ගෙන, ඒ කරුණු ගෙන හැර දක්‌වමින් තර්ක විතර්ක කරන තැන ද ගැඹුරක්‌ නොතිබිය හැක.

අප අසා ඇති එක්‌ කතාවක එන පරිදි එක්‌ චින්තකයෙක්‌ සිය මිතුරු පිරිසක්‌ සමග ජීවිතය පිළිබඳ වන ගැඹුරු සාකච්ඡාවක යෙදී සිටියි. මේ සාකච්ඡාව දිගට ම කෙරී ගෙන යන අතරතුර ඒ නිවසේ ම එක්‌ පැත්තකට ගසක්‌ කඩා වැටෙයි. සාකච්ඡාව දිගට ම කෙරීගෙන යයි. යට කී ශබ්දය ගැන සතිමත් වූ චින්තකයා, දිගින් දිගට ම සාකච්ඡාවේ යෙදෙන සිය කලණ මිතුරන්ගෙන් අසන්නේ මේ ගෙදර ම අනික්‌ පැත්තට ගසක්‌ කඩා වැටුණු ශබ්දය ඔබට ඇසුණේ ද යනුවෙනි. එවිට ඒ අය එබඳු යමක්‌ ඒ මොහොතේ සිදු වී ද කියා මවිත වී ප්‍රශ්න කරති. මන්ද ඒ අය සිතන පරිදි, ඒ වන විට ඔවුන් ගැඹුරු ම සාකච්ඡාවක යෙදී සිටි බැවිනි. මෙහි ඇති හාස්‍යජනක කාරණය වන්නේ මේ පිරිස කතා කරමින් සිටියේ 'එළඹ සිටි සිහිය' ගැන වීම යි.

අප බොහෝ දෙනා විසින් කරනු ලබන තවත් වරදක්‌ තිබේ. ඒ තමාට බොහෝ උසස්‌ දේ කිරීමට ඇති බව කියා සරල දෙය අත්හැරීම ය. ඉතා හොඳ උසස්‌ දෙය ලෙස තමාට පෙනෙන දෙය වුව නොගැළපෙන පරිසරයක හෝ නොගැළපෙන අවස්‌ථාවක සිදු කිරීම සුදුසු නොවේ. ක්‌ෂේමේන්ද්‍ර නම් භාරතීය කාව්‍ය විචාරකයා 'ඖචිත්‍යවිචාරචර්වා' නම් සිය කෘතිය ඔස්‌සේ සෞන්දර්යාත්මක දෘෂ්ටි කෝණයකින් විවරණය කිරීමට වෑයම් කෙළේ ද මේ ගැන යි.

ඇලෙන සුළු ලෝකයක නොඇලී සිටීම, ගැටෙන සුළු ලෝකයක නොගැටී සිටීම තුළ ගැඹුරු අරුතක්‌ ඇත. එය සෑම කෙනෙකු විසින් ම සිය ශක්‌ති පමණින් තමාගේ ම චර්යාවෙන් ප්‍රකාශයට පත් කළ යුතු දෙයකි. ඇලීම සහ ගැටීම අපේ ජීවිතවලින් පැහැදිලි ව ම ප්‍රකාශයට පත් වෙයි. එහෙයින් අපට සැබෑ ඕනෑකමක්‌ ඇත්නම් ඒ ඇලීම්වල ගැටීම්වල ස්‌වභාවයන් අපගේ ම ජීවිත සමග ගළපා අවබෝධ කොට ගත හැකි වනු ඇත. එහෙත් 'නොඇලීමට ඇලීම' අපට පහසුවෙන් නොපෙනෙයි. මන්ද සද්ධර්මයට අනුව බැලූවත් එය අපට පහසුවෙන් නොපෙනෙන වංචක ධර්මතාවක්‌ බැවිනි. එසේ නම් දාර්ශනික සංකල්පයක්‌ ලෙස ගෙන නොඇලීමට ඇලීම, නොඇලීමෙහි එල්බ ගැන්ම, නොඇලීමේ සංකල්පය වෙනුවෙන් පෙනී සිටීම ආදිය ද අපට නොදැනුවත් ව ම අපෙන් ප්‍රකාශයට පත්වන ඇලීමේ ම සැඟවුණු ස්‌වරූපවිය නොහැකි ද ?

එසේ නම් ඒ තත්ත්වය නිසා ද කෙනෙකු ලෝකය තුළ ඇලීම හා ගැටීම ම වර්ධනය කරනවා විය හැකි ය. මෙය වඩාත් පැහැදිලි කොට ගැන්ම උදෙසා, අපට සුත්තනිපාතයේ මාගන්දි සූත්‍රයේ එන පහත සඳහන් ගාථා පාඨය ආලෝක ප්‍රකාශයක්‌ වෙනවා ඇත.

'සඤ්ඤා විරත්තස්‌ස න සන්ති ගන්ථා

පඤ්ඤා විරත්තස්‌ස ත සන්ති මොහා

සඤ්ඤං ච දිට්‌ඨිඤ්ච යෙ අග්ගහෙසුං

තෙ ඝට්‌ටයන්තා විචරන්ති ලොකෙ'

මෙයින් කියෑවෙන්නේ සංඥාවන්හි නොඇලුණු තැනැත්තාට ගැටලූ නැති බව යි. ප්‍රඥාව කරණකොට ගෙන ඇලීමෙන් නිදහස්‌ වූ තැනැත්තාට මෝඩකම නැති බව යි. එහෙත් යම් අයෙක්‌ සංඥාව සහ දෘෂ්ටිය දැඩි ව ගනිත් ද ඒ අය ලෝකයෙහි ගැටලු ඇති කරමින් හැසිරෙති.

ඇතැම් විට අපි ඇතැම් චරිත සහ දේවල් භෞතික වශයෙන් මෙන් ම මානසික වශයෙන් ද අල්ලාගෙන සිටිමු. ඇතැම් විට භෞතික වශයෙන් අල්ලා ගැනීමට අප කැමති චරිත හෝ දේවල් අපට අහිමි වෙනවා විය හැකි ය. එහෙත් අපි මානසික වශයෙන් අල්ලා ගැනීම අත් නොහරිමු. අපට භෞතික වශයෙන් තිබෙන දේවල් හා චරිත සමග, ජීවිතය පවත්වා ගෙන යැම සඳහා වන කටයුතු කරමින් 'මානසික අත්හැරීම' සිදු කළ හැකි නම් අපගේ ජීවිතවල මෙයට වඩා වෙනසක්‌ සිදු විය හැකිය. කෙනෙකුට භෞතික වශයෙන් මෙන් ම මානසික වශයෙන් ද අත්හැරිය හැකි නම් හොඳ ම දෙය වන්නේ එය යි. ඒ අතහැරීමට අතීත වර්තමාන අනාගත කාල භේදයකින් තොර ව අතිමහත් වෙනසක්‌ සිදුකළ හැකි ය. ගෞතම බුදුන් වහන්සේ විසින් ලෝකයට ලබා දෙන ලද්දේ ඒ ආදර්ශය යි, පරමාදර්ශය යි. තමාගේ විවේචකයා බවට තමා ම පත් වෙමින් තමා ඇත්ත වශයෙන් ම අයත් වන්නේ ඉහත සඳහන් අත්හැරීම් අතුරින් කවර අත්හැරීමට ද යන්න පැහැදිලි ව අවබෝධ කොටගත් විට එතැන් සිට කළ යුත්තේ කුමක්‌ ද යන්න අපට පැහැදිලි වෙනවා ඇත.

ඊ. ඩබ්ලිව්. අදිකාරම් මහතා 'විවිධ චින්තා' නම් සිතිවිලි ග්‍රන්ථයේ දී සඳහන් කරන්නේ තමාගේ සෑම ක්‍රියාවක්‌ දෙස ම, සෑම සිතිවිල්ලක්‌ දෙස ම, සෑම හැඟීමක්‌ දෙස ම බැලිය යුතු බව ය. කිසියම් ක්‍රියාවක්‌, කිසියම් සිතිවිල්ලක්‌ කිසියම් හැඟීමක්‌ අශෝභන යෑයි කියා පිළිකුලෙන් හෝ භයෙන් අහක බලා ගතහොත් එම ක්‍රියාවේ, එම සිතිවිල්ලේ, එම හැඟීමේ ඇති සැටිය නොපෙනෙන බව ඔහු කියයි. එසේ නම් මේ තත්ත්ව දෙකින් ම මිදී අපට අප දෙස බැලිය නොහැකි ද ? ඒ සඳහා 'ආගම නැවතුම් පොළක්‌ ද ?' යන මැයෙන් එන සිතිවිලි ලිපියේ දී අදිකාරම් මහතා කරන පහත සඳහන් ප්‍රකාශය අපට කිසියම් ආලෝකයක්‌ වෙනවා ඇත. 

'මේ ක්‍රියාව, මේ සිතිවිල්ල, මේ හැඟීම ශෝභන යයි සතුටින් එහි ඇලුණ හොත් එම ක්‍රියාවේ ඇති සැටිය ඔහුට නොපෙනෙන්නේ ය. තමා යනු කෙනෙකු තුළ ඇතිවන අශෝභන සහ ශෝභන ක්‍රියා සමූහය ද අශෝභන සහ ශෝභන සිතිවිලි සමූහය ද අශෝභන සහ ශෝභන හැඟීම් සමූහය ද වේ. එහෙයින් ආත්මාවබෝධයේ පටන් ගැන්ම ඒ කිසිවක්‌ කෙරෙහි පිළිකුල් නොකොට ඒ කිසිවෙක නොඇලී ඒවා දෙස බැලීම ය.'

එසේ නම් අප විසින් කළ යුතු ව ඇත්තේ ලෝක ය දෙස බැලීම ට පෙර තමා දෙස බැලීම ය, ලෝකය විවේචනය කිරීමට පෙර තමා විසින් තමා විවේචනය කර ගැනීම ය. අපගේ 'ඇති සැටිය' දැකීම අප, අප ගැන ම මවාගෙන ඇති ප්‍රතිරූප බිඳ වැටීමට හේතු විය හැකි ය. කොතරම් සුන්දර ලෙස පෙනුණත් ප්‍රතිරූපය යනු මායාවක්‌ බැවින් කවර මොහොතක හෝ එහි බිඳවැටීම වැළැක්‌විය නොහැකි ය. අප පිළිබඳ ව අප විසින් ම ගොඩ නගා ගෙන ඇති ප්‍රතිරූපය බිඳ වැටෙන ආකාරය දෙස කිසිදු ගැටීමකින් හෝ ඇලීමකින් තොර ව බලා සිටීමට අපට හැකි වුවහොත් අප පිළිබඳ වන සත්‍ය තත්ත්වය අනාවරණය වෙනවා ඇත. එහෙයින් ප්‍රතිරූප බිඳවැටීම යනු බියවීමට කරුණක්‌ නොව, අපට අපව ම බලාගැන්මට ලැබෙන අනගි අවස්‌ථාවකි. මන්ද සත්‍යය යනු සොයාගෙන ගොස්‌ පිටතින් ස්‌පර්ශ කිරීමට හෝ දැකීමට ඇති දෙයක්‌ නොවන බැවිනි.

තමා පිළිබඳ වන මේ සත්‍යය දැකීම අන් සියල්ලට ම වඩා වැදගත් ය. ඒ දැක්‌ම ආලෝකය වී අප විසින් කළ යුතු ව ඇත්තේ කුමක්‌ ද යන්න පැහැදිලි කරනවා ඇත. බුදුන් වහන්සේගේ චරිතයෙහි ඇති අප්‍රමාණ ගුණ අතර එන එක්‌ විශේෂ ගුණයක්‌ වන්නේ 'විඡ්ජාචරණ සම්පන්න' භාවය යි. උන් වහන්සේගේ ඒ උතුම් ගුණයට ගරු කරන අතර ම ඒ ගුණයෙන් අල්පමාත්‍රයක්‌ හෝ අපේ ජීවිත සමග ගළපා ගත නොහැකි ද ?

'විඡ්ජා' යන වචනයේ සංස්‌කෘත රූපය වනෙa න් 'විද්‍යා' ය. එය සෑදෙන්නේ 'දැනීම්' හා 'දැකීම් ' යන අරුත් දෙන 'විද් ධාතුවෙනි. මේ දැනීම මෙන් ම, දැකීම අප තුළ ඇති කරන්නේ විද්‍යාව යි, විඡ්ජාව යි. 'චරණ' යනු හැසිරීම යන අරුත් දෙන 'චර්' ධාතුවෙන් සෑදෙන වචනයකි. එම වචනය පාලි, සිංහල, සංස්‌කෘත යන භාෂා තුනෙහි ම භාවිත ය. මේ අනවු 'චරණ' යනු හැසිරී ම යි. 'සම්පනන් ' යන වචනය සෑදෙන්නේ 'සැමතින්a ම' 'යහපත් ව' 'එක්‌ ව' යන අරුත් දෙන 'සම්' උපසර්ගය මුලින් යෙදී 'පැමිණීම', 'ගමන් කිරීම' යන අර්ථයෙහි යෙදෙන 'පද' ධාතුවෙනි. පාලි භාෂා අර්ථ සමග ද ගැළපයි හැකි යට කී සංස්‌කෘත මූලයන් සැලකිල්ල ට ගෙන, 'විඡ්ජාචරණසම්පනන් ' යන වචනය දෙස බලන අපට ඉන් පැහැදිලි අරුතක්‌ මතුකොට ගත හැකි ය. එනම් දැනීSමත්, දැකීම ත් ලැබ ඒ දැනීම ඒ දැකීම තුළ හැසිරෙන - ඒ දැනීම ට, දැකීම ට පැමිණීම - ඒ තුළ ජීවත්වීම 'විඡ්ජාචරණසම්පන්න' ගණ= ය ලෙස අර්ථ දැක්‌වීමෙනි. ජීවිතය දැන දැක ඒ ලද ආලොක්‌ ය චරණය හෙවත් හැසිරීම බවට පත්කොට ගෙන අපට ජීවත් විය නොහැකි ද ?

මෙසේ දැනීම සහ දැකීමත් සමග ඇතිවන ආලෝකය විසින් අප හැසිරිය යුත්තේ කෙසේ ද යන්න පැහැදිලි වෙනවා ඇත. එවිට අප අසන දහම් පදයක ගැඹුරු අරුත් දරාගෙන ඒවා අපගේ ම හැසිරීම් ලෙස ජීවිතයෙන් ප්‍රකාශයට පත් කිරීමට අපට හැකිවනු ඇත. ඒ ජීවිතය සරල ය. ඒ ජීවිතය ගැඹුරු ය. අප විසින් කටයුතු කළ යුතු ව ඇත්තේ එබඳු ජීවිතයක්‌, උදාකොට ගැනීම උදෙසා ය. එවිට 'අසන්න, දරන්න, දහමෙහි හැසිරෙන්න' යන අර්ථය රැගත් සරල වූත් ගැඹුරු වූත් අකාලික වූත් ධර්ම පාඨය අප විසින් අගය කළ යුතු, ගෞරව කළ යුතු ධර්ම පාඨයකි.


මහාචාර්ය සමන් චන්ද්‍ර රණසිංහ
භාෂා හා සංස්‌කෘතික අධ්‍යයනාංශය,
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

පින්-පව්, නැවත උපත හා මරණින් පසු ජීවිතය පිළිබඳ වර්තමාන අත්දැකීම්


බුද්ධ ධර්මයට අනුව සියලුම සත්ත්වයෝ නිරන්තර වෙනස්‌කම්වලට හසුවෙමින් ඉපදීම හා මරණයත්, මරණින් පසු නැවත ඉපදීමත් උරුමකරගත් ස්‌ථිර ආත්මයක්‌ නැති, ඉන්ද්‍රියන් එකට එකතු වීමෙන් හටගන්නා ජීවය ඇති අය වෙති. මේ සත්ත්වයින්ගේ ස්‌වභාවය නිසි පරිදි විස්‌තර කොට නැවත ඉපදීම නොහොත් පුණර්භවය දුරු කිරීමේ මාර්ගය විස්‌තර කිරීම බුදුරජාණන් වහන්සේගේ ප්‍රධාන පරමාර්ථය විය. මෙහිදී උන්වහන්සේ විසින් වටහා ගෙන පැහැදිලි කරන ලද ප්‍රධාන කරුණු තුනක්‌ මූලික වශයෙන් හඳුනාගත හැකිය. එම කරුණු තුන නම්, පින් පව්, නැවත උපත හා මරණින් පසු ජීවිතය යි. මේ පිළිබඳ මූලික හා සරල අවබෝධයක්‌ ලබා ගැනීම ඉතාම වැදගත් වන්නේ බුද්ධ ධර්මයෙහි සඳහන් දාර්ශනික කරුණු හා වර්තමාන අත්දැකීම් පිළිබඳ හැදැරීමට එය අත්‍යවශ්‍යවන බැවිsනි.

පින් පව් පිළිබඳ විග්‍රහය

"පින්/ පුඤ්ඤ - සසර සැප විපාක ගෙන දෙන ක්‍රියා පින් නම්, පුඤ්ඤ කිරිය වත්ථු දහයක්‌ ධර්මයේ ඉගැන්වේ. දානය, ශීලය, භාවනාව, පින්දීම, පින් අනුමෝදන් වීම, වතාවත් කිරීම (වෙය්‍යාවච්ච), පිදිය යුත්තන් පිදීම, දම් දෙසීම, බණ ඇසීම, දෘෂ්ටිය සෘජු කිරීම (නිවැරදි දැකීම) යනු යි. පින යනු සැපයට නමක්‌ බව පෙළ දහමෙහි දැක්‌වේ". (පාඨශාලයීය සද්ධර්ම කෝෂය. 170 පි, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, 2002)

"පාප- දුගතිගාමී වීමට, දුක්‌ විපාක ගෙනදීමට, සැපයෙන් පහවීමට හේතුවන ක්‍රියා පාප නම් වේ. පුඤ්ඤ යන්නට ප්‍රතිපක්‍ෂ වූ ක්‍රියාය".

(පාඨශාලයීය සද්ධර්ම කෝෂය, 168 පි., අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, 2002)

නැවත උපත පිළිබඳ විග්‍රහය

පුනරුත්පත්තිය

පුනර් යනු නැවත යන අර්ථයයි. උත්පත්තිය යනු උපතයි. නැවත උපත යන්න මෙහි වචනාර්ථයි. මේ වචනය පෙළ දහමෙහි යෙදී නොමැති නමුත් සසර පිළිගන්නා බෞද්ධයෝ පුනරුත්පත්තිය යන වචනය භාවිත කිරීමට පුරුදු වී සිටිති. පුනර්භව යන්න නිවැරැදි වචනය ලෙස දැක්‌විය හැකිය. පුනරුත්පත්තිය යන්නෙහි දී ආත්ම ධර්මයක පැවැත්මක්‌ අපේක්‍ෂා කෙරෙන බැවිනි.

උපනිෂද් චින්තනය සසරක්‌ දකින අතර එහි ආත්මය නැවත නැවතත් ශරීරයකට සම්බන්ධ වනබව උගන්වන බැවින් පුනරුත්පත්තිය යන ව්‍යවහාරය එම චින්තනයට ගැළපෙන්නකි.

පුනර්භව

නැවත වීම යනු මෙහි වචනාර්ථ යි. පුනර්භව යන ව්‍යවහාරය ප්‍රතීත්‍ය සමුත් පන්න ධර්මතාවට ගැළපේ. පුද්ගලයකු මරණයට පත්වන අවස්‌ථාවේ ඇති වන චුති චිත්තයට අනුරූප ව ප්‍රතිසන්ධී විඥනය ඇතිවීමෙන් නැවත භවයකට පැමිණීම පුනර්භවයයි. මේ ක්‍රියාවලිය පැහැදිළිව දැක ගත හැකිවන්නේ චුතුපපාත ගුණයෙනි". (පාඨශාලයීය සද්ධර්ම කෝෂය, 171-172 පි., අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, 2002)

මරණින් පසු ජීවිතය පිළිබඳ විග්‍රහය

1. මා විසින් මෙසේ අසන ලදී. එක්‌ කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ, ෙ-තවන නම් අනේපිඬු සිටුහුගේ ආරමයෙහි වැඩවාසය කරනසේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ 'මහණෙනි' යි, භික්‍ෂූන්ට ආමන්ත්‍රණය කොට වදාළසේක. ඒ භික්‍ෂූහු 'පින්වතුන් වහන්සැයි' භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

2. මහණෙනි, යම්සේ දොරවල් සහිත ගෙවල් දෙකක්‌ වෙත්ද එහි ඇස්‌ ඇති පුරුෂයෙක්‌ මැද සිටියේ ගෙට ඇතුළු වන්නාවූද, ගෙයින් පිටවන්නාවූද, හැසිරෙන්නාවූද, ඔබමොබ යන්නාවූද, මිනිසුන් දකින්නේද, මහණෙනි ඒ පරිද්දෙන්ම මම චුත වන්නාවූද, උපදින්නාවූද, හීණ වූද, ප්‍රණීත වූද, යහපත් වර්ණ ඇත්තාවූද, අයහපත් වර්ණ ඇත්තා වූද, සුගතිවලට පැමිණියාවූද, දුගතිවලට පැමිණියා වූද, කර්මය වූ පරිදි පැමිණියා වූ සත්වයන් පිරිසිදු, මිනිස්‌ ඇස ඉක්‌ම පැවැත්තා වූ දිවැසින් දකිමි". 

(දේවදූත සූත්‍රය)

ඉහත සඳහන් උපුටා ගන්නා ලද විග්‍රහ ඇසුරෙන් පින්පව්, නැවත උපත හා මරණින් පසු ජීවිත පිළිබඳ මූලික අවබෝධය ඇතිකර ගැනීමට පුලුවන.

වර්තමාන අත්දැකීම් පිළිබඳ විග්‍රහය

වර්තමාන අත්දැකීම් ලෙස මෙහිදී අදහස්‌ කරනුයේ මෑත භාගයේ ලෝකයේ ජීවත් වූ සුවිශේෂ පුද්ගලයන් විසින් ඉහත සඳහන් කරන ලද කරුණු තුන පිළිබඳ ලබා ගත් පෞද්ගලික අත්දැකීම් සමූහයකි. එම පුද්ගලයන් තුළ දක්‌නට ලැබුණ සුවිශේෂ හැකියාවන් නිසා ඔවුන්ගේ අත්දැකීම් ද බොහෝ වැදගත් තොරතුරු ලෙස සැලකිය හැක. උදාහරණයක්‌ ලෙස පින් පිළිබඳ එඩ්ගා කේ. සී. විසින් ඉදිරිපත් කරන ලද ඇතැම් සංසිද්ධීන් බොහෝ සේ සාකච්ඡාවට ලක්‌ වෙයි. විසිවන සියවසේ ඇමරිකා එක්‌සත් ජනපදයේ විසූ එඩ්ගා කේ. සී. ස්‌වයං මෝහනයෙන් වෛද්‍ය ප්‍රතිකාර කළ අතිවිශේෂ පුද්ගලයෙකි. ඔහු තුළ තිබූ සුවිශේෂ ලක්‍ෂණය නම් භෞතික වෛද්‍ය ප්‍රතිකාර නියම කිරීමට අමතරව රෝගියාගේ අතීත ජන්ම පිළිබඳ විස්‌තරයක්‌ ද ඉදිරිපත් කිරීම යි. මේ නිසා බොහෝ සුව කළ නොහැකි රෝගවල නිධානය අපට නොපෙනෙන උපතක කිසියම් ක්‍රියාවක්‌ යෑයි පැහැදිලි කරගත හැකි විය. ඒ අතර පින් පලදීම නිසා උසස්‌ තත්ත්වයන්ට පත්වෙන බව ද ඔහු විසින් පන්වා දෙන ලදී. නිව්යෝර්ක්‌ නගරයේ විසූ නිරුපිකාවකගේ විස්‌තරය මෙහි දී ඉතා වැදගත් කොට සැලකිය හැක.

"මේ වනාහී නිය පොලිෂ්, අත් සේදීමේ දියර හා ස්‌වර්ණාභරණ විකුණන්නන් විසින් වෙළෙඳ දැන්වීම් සඳහා යොදා ගැනීමට මහත් උනන්දුවක්‌ දැක්‌වූ. ඉතාමත් ම අසාමාන්‍ය වූ ලස්‌සන අත් තිබුණු නිව්යෝර්ක්‌ නගරයේ විසූ නිරූපිකාවකගේ සිත් ඇදගන්නා සුලු සිද්ධිය යි. ඇගේ ලස්‌සනට හේතුවූ කර්මයට පදනම වැටුණේ. ඇය ඉංග්‍රීසි කන්‍යාරාමයක තාපසියක්‌ ලෙස ගත කළ මීට ප්‍රථම ආත්මභාවයේ දීය. අනික්‌ අය පහත් හා අප්‍රසන්න දේ ලෙස සලකනු ලැබූ කටයුතු තම අත්වලින්ම කරමින් ඇගේ ජීවිතය ගෙවා දැමුණි. අතිශය කැපවීමෙන්, පරාර්ථකාමී ව, සේවාවක්‌ ලෙස ඇය මෙම දේවල් කළ අතර, කෙසේ වුවද ඇගේ මෙම ආධ්‍යාත්මික කැපවීම කරණකොට ගෙන අසාමාන්‍ය රූසපුවක්‌ හා ලස්‌සන අත්යුගලක්‌ ඇයට උරුමවිය." 

වර්තමාන අත්දැකීම් ඇසුරෙන් පව හා පව්වල විපාක ලැබෙන ආකාරය විමසා බලන විට සෑම අයෙකුම බොහෝ සේ පවට බිය විය යුතු බව කිවයුතුය. පව්වල විපාක එතරම් ම බියකරු බව අප සිහියේ තබාගත යුතුය. මේ සම්බන්ධයෙන් මහාචාර්ය නන්දසේන රත්නපාල මහතා විසින් සිදුකරන ලද සමාජ විද්‍යාත්මක පර්යේෂණ අතිශයින් ම වැදගත්ය. එක්‌ අවස්‌ථාවක එතුමා ඌරු පැටවුන් හදා වඩා විකිනූ මිනිසකු පිළිබඳ අධ්‍යයනයක්‌ කළේය. මේ මිනිසා ඌරන් හැදූ අතර හෝටල්වල ඉතිරිවූ ආහාර රැගෙන විත් උන් පෝෂණය කළේය. එක්‌තරා ඊරියක ඔහු පසුපස නිතර යන්නට පුරුදු වූ අතර උගේ පැටවුන් ද ලොකු කර මරා මස්‌ විකුණු මුදල් වලින් තවත් ඌරු පැටවුන් මිලට ගෙන ඔහු ජයටම මේ ඌරන් මැරීමේ රැකියාව කරගෙන ගියේය. ඔහු ඌරන් මැරුවේ ගෝනියක දමා පොලුවලින් පහරදී තලාපෙලාය. ඒ සඳහා බල්ලන් දෙදෙනකු ද ඔහුට උදව් වූ අතර එම සතුන් මරණ විට උන්ගේ කෑ ගැසීම සැතපුමක්‌ දෙකක්‌ දුරට ඇසිණි.

"ඌරන් ඇතිකරන මිනිහා හදිසියේ ඔත්පල විය. තමාට කවුරුන්හෝ පොල්ලකින් පහර දෙන්නාක්‌ මෙන් දැනෙන බව හේ කීය. ඔහුට නිදාගත නොහැකි විය. නිදාගත් වහාම හේ අවදිවෙයි. මේ ඌරන් මාව කනවා මාව බේරා ගන්න යෑයි කෑගසයි. ඔහුට අසනීපය හැදුනාට පසු ගොවිපලේ ඌරන් නැතිවිය. ඒත් ඔහුට හීනෙන් ඌරන් පෙනේ.

දවසේ නැගිට සිටින වේලාවේත්, ඔහු ඌරන්ට බිය වී කෑගසයි. 'මෙන්න මේ ඌරෝ මාව ගෝනියක දාගෙන ගහනවා· යයි කියයි. 'මූ මට පිහියෙන් අනින්න යනවා· යෑයි ගෝරනාඩු දෙයි".

(මේ ජීවිතයේදීම පලදෙන කර්මය, 12 පි., ආරිය ප්‍රකාශකයෝ, 2011 මාර්තු)

"මාස කීපයක්‌ ම දුක්‌ වින්ද ඔහු අවසාන දින කීපය ඉතා උග්‍රවේදනාවෙන් කෑ ගැසුවේය. ඔහු මිය ගියේ මෙසේ බලවත් වේදනා විඳීමෙන් පසුවය. ඔහු නැගූ වේදනා හඬ ඌරන් නැගූ හඬට සමාන බව මිනිස්‌සු කීහ."

(මේ ජීවිතයේදීම පලදෙන කර්මය, 13 පී., ආරිය ප්‍රකාශකයෝ, 2011 මාර්තු)

කෙසේ වුවද කර්මය වනාහී මේ ආත්මභාවයේදීම පලදෙන එකක්‌ම නොවන බවත් එය බූමරංගයක්‌ මෙන් තමන් පසුපස එන බවත් වර්තමාන අත්දැකීම් ඇසුරින් බටහිර චින්තකයෝ පවා අවබෝධ කරගෙන සිටිති. මේ නිගමන සඳහා වඩාත් පැහැදිළි නිදසුන් ඉදිරිපත් කළ අයෙකු ලෙස එඩ්ගා කේසි නම් කළ හැකිය. ඔහුගේ ස්‌වයං මෝහන හැකියාවෙන් අසරණ ලෙඩුන් සිය ගණනකට සම්පූර්ණ සුවය ලැබුණා පමණක්‌ නොව තවත් දස දහස්‌ ගණනකට කර්මය පිළිබඳ යථාර්ථය අවබෝධ කරගැනීමට ඔහුගේ මෙම ජීවිත කියවීම් ඉවහල් විය. මේ පිළිබඳ ඉතාමත් ම සිත්ගන්නා සුලු නිදසුනක්‌ මෙසේය.

"මෙබඳු කර්මවලට නිදර්ශන රාශියක්‌ කේසිගේ වාර්තාවල තිබේ. එක්‌ උදාහරණයක්‌ නම්, "මනසේ හාස්‌කම්" නම් කේසි පිළිබඳ ගුවන් විදුලි වැඩසටහනක්‌ ශ්‍රවණය කළ සම්පූර්ණයෙන් ම අන්ධ ව උපන් විද්‍යාලයක මහාචාර්යවරයෙක්‌ය.

ඔහු කායික කියවීමක්‌ ඉල්ලා සිටි අතර, එහි උපදෙස්‌ මත ක්‍රියා කිරීමෙන් සෞඛ්‍ය තත්ත්වය හා ඇස්‌වල පෙනීම පැහැදිළිව ම වැඩිදියුණු විය. අස්‌ථිවේදී සැකසීම්, විද්යුත් ප්‍රතිකර්ම හා ආහාරයේ වෙනස්‌කම් ඊට ඉවහල් විය. මාස තුනක්‌ ඇතුළත ඔහුගේ වම් ඇසේ සියයට 10 ක පෙනීමක්‌ ඇති විය. එය අක්‍ෂි විශේෂඥයන් විසින් බලාපොරොත්තු තැබිය නොහැකියෑයි සලකන ලද එකකි. මහාචාර්යවරයාගේ ජීවිත කියවීම පෙර ජීවිත හතරක්‌ සඳහන් කොට තිබුණි. එකක්‌ ඇමෙරිකාවේ අභ්‍යන්තර යුද සමයේදීය. තව එකක්‌ කුරුස යුද්ධ කාලයේ ප්‍රංශයේය. අනෙක ක්‍රි.පූ. 1000 දී පර්සියාවේ වන අතර ඊළඟ එක අවසාන ගිලාබැසීමට පෙර අත්ලන්තික්‌ දූපතේය. ඔහුගේ වර්තමාන අන්ධභාවයට හේතු වූ ආධ්‍යාත්මික කර්ම ක්‍රියාව සිද්ධ කරන ලද්දේ පර්සියාවේදීය. සතුරන්ගේ ඇස්‌ රත්වූ යකඩවලින් අන්ධ කළ ම්ලේච්ඡ ගෝත්‍රයක සාමාජිකයකු වූ ඔහුගේ කාර්යය වූයේ ඇස්‌ අන්ධ කිරීමයි". (many mansions, p.50 - 51 Neville Spearman, 1983) කයින්, වචනයෙන් හා මනසින් කරන්නා වූ බලවත් අකුසල ක්‍රියා නිසා උත්තරීතර මිනිස්‌ ආත්මභාවයෙන් පිරිහී තිරිසන්, ප්‍රේත හෝ නිරය යන තැන්වල බොහෝ වර්තමාන මිනිසුන් උත්පත්තිය ලබන බව ඇතැම් භික්‍ෂුන් වහන්සේලා ලැබූ වර්තමාන අත්දැකීම්වලින් මනාව පැහැදිලි වේ. මේ ඒ සඳහා හොඳ උදාහරණයකි.

"එක මනුෂ්‍යයෙක්‌ ජීවත් වුණා බොහෝම ඈත දුරබැහැර ගම් ප්‍රදේශයක. සමාජයේ හොඳින් ජීවත්වන දරු මුණුපුරන් ඇති තාත්තා කෙනෙක්‌. මොහු මියයන විට අවුරුදු අනූවක්‌ විතර ඇති. මොහු බොහෝ හොඳින් ගමේ ජීවත් වුන කෙනෙක්‌. ගමේ පන්සලට උපකාර කළා, උදව් කළා. නමුත් මොහුගේ අවාසනාවට මොහු මියයැමට වසර තුනකට පෙරාතුව මේ පුද්ගලයා ගමේ පන්සල සමඟ කුමක්‌ හෝ හේතුවක්‌ නිසා අමනාප වෙනවා. හේතුව කුමක්‌ද කියන්න භික්‍ෂුව දන්නේ නැහැ. එදා පටන් මේ වයසක මනුෂ්‍යයා මොකද කරන්නේ හාමුදුරුවන්ට බනිනවා. පන්සලට බනිනවා. පුදුමාකාර වෛරයක්‌ ඇතිකර ගත්තා. මේ වෛරය, ඊර්ෂ්‍යාව නිසාම ඔහු සීලයෙන් පිරිහුණා. එක සිල්පදයක්‌ ගිලිහෙන කොට අනෙක්‌ සිල්පදත් ගිලිහෙන්න පටන් ගත්තා. මේ හේතුව නිසාම වයස අවුරුදු අනූවක්‌ වුණත් මොහු තුළ කාම සිතුවිලි ඇති වුණා. තමාගේ වැඩිහිටි බව නිසා තමාගේ දෙපතුළ ළඟ වැඳ වැටුණ කාන්තාවකගේ පවා අතින් අල්ලන්නට තරම් මොහු තුළ සිල්පදවල හීනභාවයක්‌ ඇතිවුණා. ඊර්ෂ්‍යාවෙන් දිවෙමින් සිටියදීම මොහු මිය යනවා. භික්‍ෂුව අරමුණු කර බලනවා උතුම් සමාධිය තුළ දී මොහු මරණින් පසු කොහේ නැවත උපත ලැබුවද කියලා. භික්‍ෂුවට දර්ශනය වෙන්නේ උතුම් සමාධිය තුළ දී කිඹුලෙකු ගේ කුසක්‌. ඒ කියන්නේ මොහු කිඹුල් බිත්තරයක එහෙම නැත්නම් කිඹුල් කුසක ප්‍රතිසන්ධිය ලබලා".

(මහරහතුන් වැඩිමග ඔස්‌සේ, අතහැරීම 3, 62-63 පි. චැනල් ලින්ක්‌ පුද්ගලික සමාගම, 2013 ජුනි).

ඉහත සඳහන් කරන ලද වර්තමාන අත්දැකීම්වලින් මනාව ප්‍රකට වනුයේ බුදුරජාණන් වහන්සේ විසින් මැනවින් දෙසන ලද කර්මයේ ස්‌වභාවය හා නැවත උපත පිළිබඳ යථාස්‌වරූපයයි. අප විසින් සෙච්තනිකව සිද්ධ කරනු ලබන සියලු කර්ම පින් හෝ පව් බවට පත්වෙන බව මෙම අත්දැකීම්වලින් පැහැදිලි වෙයි. එම කර්ම එසේ වන්නේ සිතේ ඇතිවන කුසල් මූලික හෝ අකුසල් මූලික සිතුවිලි නිසා බව බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක. කුසල් මූලික සිතුවිලි නම් පරිත්‍යාගය, මෛත්‍රිය හා ගුණවන්ත භාවය යි. අකුසල් මූලික සිතුවිලි නම් ඉහත සඳහන් කරන ලද කුසල් මූලික සිතුවිලිවලට ප්‍රතිවිරුද්ධ ලෝභය, තරහ හා නොදන්නාකමයි. මෙම සිතුවිලිවලට අනුව අප සිදුකරන ක්‍රියාවන් කර්ම බවට පත්වී පින් හෝ පව් ලෙස පලදෙන බවත්, ඒ අනුව ඊළඟ උපත සකස්‌වෙන බවත් වටහා ගැනීමට අපහසු නැත.

සත්ත්වයාගේ මරණින් පසු ජීවිතය, නැවත උපතත් සමඟම සකස්‌ වන්නක්‌ බව තේරුම් ගැනීම ඉහළ බුද්ධියක්‌ සහිත මනුෂ්‍යයන් වශයෙන් ඔබ අප සැමට වැදගත්වන බව තේරුම් ගත යුතුය. විශේෂයෙන්ම තමන් විසින් කරන ලද කුසල ක්‍රියා නිසා මරණින් පසු ජීවිතය වඩා උසස්‌ තත්ත්වයන්ට එනම් දිව්‍ය හෝ බ්‍රහ්ම ස්‌වභාවයන්ට පත්වේ. මෙබඳු තත්ත්වයන් පිළිබඳව තමන් ලත් අත්දැකීම් මැනවින් විස්‌තර කළ මහෝත්තමාවියක්‌ ලෙස විසිවන සියවසේ තායිලන්තයේ වැඩ විසූ සිල්මාතාවක්‌ වන කායිම් මාතාව හඳුන්වා දීමට පුලුවන. බුද්ධංගල භික්‌ඛු ආනන්ද හිමියන් විසින් පරිවර්තනය කරන ලද කායිම් මැණියන්ගේ චරිත කතාවට අනුව මෙතුමිය රහත් ඵලයට පත් වූ උත්තමාවියකි. ඇය එම තත්ත්වයට පත්වීමට පෙර අවුරුදු දහයක්‌ පමණ කාලයක්‌ සමාධි බලයෙන් විවිධ තලවල වෙසෙන භූත, ප්‍රේත, දේව හා බ්‍රහ්ම සත්ත්වයන් සමඟ අදහස්‌ හුවමාරු කර ගත්තාය. ඒ උත්තමාවියගේ ධ්‍යාන බලය පිළිබඳ විස්‌තරයක්‌ මෙසේය.

"සිල්මාතා කායිව්ගේ සමාධි භාවනාව වෙනත් උසස්‌ ලෝකෝත්තර දර්ශන පථයන්ට ද ඇයව සම්බන්ධ කොට හඳුන්වා දුණි. සමහර විටක ඇගේ විඥනය කයෙන් ගිලිහී ඉවතට යයි. එසේ ඉවතට යන ඇගේ විඥනය නා නා දිව්‍ය ලෝක සහ විවිධ වර්ගයේ බ්‍රහ්ම ලෝක ආදී තලයන්හි ගවේශනයක යෙදෙයි. ඇය දේව නමින් හඳුන්වන ඉතා සියුම් ව සකස්‌ වුණු විවිධ අද්භූත ජීවීන් හමුවීමට ද ගියාය.

මෙම දේව නමින් හඳුන්වන ජීව කොට්‌ඨාසය, දිව්‍යමය ආධිපත්‍යයක අතිශයෙන් සියුම් වූ පිරිසිදු තත්ත්වයකින් පෙර යහපත් කර්ම විපාක හේතුවෙන් වාසනාවන්තව ප්‍රීතියෙන් වෙසෙන ජීව කොටසකි. ඇය භූමාට දෙවිවරු හමුවූවාය. එනම් - ගස්‌වලට, වනාන්තර වලට, තරුවදුලුවලට අධිගෘහිත ආලෝකවත් දෙවිවරුය. මොවුන් පෘථිවි තලයට අතිශයින් ඇල්මෙන් සම්බන්ධ වූ ජීවීන් නිසා එසේ ඉපදී ඇත. මෙම දෙවිවරු සාමාන්‍ය මනුෂ්‍ය ඇසට නොපෙනුණ ද සිල්මාතා කායිව්ගේ දිවැසට ඔවුන් පැහැදිලි ව පෙනුණි. මෙම දේව කොට්‌ඨාසය හැම මොහොතකම ඉන්ද්‍රියන් පිනවමින් සතුටින් තෘප්තිමත් ව හැසිරෙන ජීව කොටසක්‌ ලෙසින් සිල්මාතා කායිව් දුටුවාය. මෙම අතිශය ප්‍රීතිමත් ස්‌ථාවරය ඔවුන් රැස්‌ කළ පින් හේතුවෙන් ලද තත්ත්වයන් ය. මොවුන් මිනිසුන් ව සිටිය දී බොහෝ පින් රැස්‌කර සිල්රැක, භාවනාකර එකතු කරගත් කුසල්වල විපාක හේතුවෙන් ලද දිව්‍ය ආත්මයන් ය. මේ දේවතාවන්ගේ පින් මහිමය කෙසේවුවත් එම දේවත්වයෙහි ම දිගින් දිගටම රැඳී සිටිමින් අලුතින් කර්ම රැස්‌ කිරීමට ඇති අවස්‌ථා අල්ප විය. දේවත්වයේ රැඳී සිටීමට පාදක වූ මූලික කුසල් විපාක තුනී වී අහෝසි වූ පසු, නැවත මනුෂ්‍ය ලෝකයේ උපත ලැබ කුසල් රැස්‌කර ගැනීමට අවස්‌ථාව ඇත." (සිල්මාතා කායිව්, 93 - 94 පී. සී/ස කරුණාරත්න සහ පුත්‍රයෝ සමාගම, 2011 ඔක්‌තෝම්බර්)

මරණින් පසු ජීවිතයේ අත්විඳීමට සිදුවන අකුසල විපාක එම කාලය තුළ කරනු ලබන කුසල් ක්‍රියාවලින් යම්තාක්‌ දුරකට හෝ වෙනස්‌ කළ හැකි බව මේ පිළිබඳ දක්‌නට ලැබෙන වර්තමාන අත්දැකීම්වලින් පැහැදිළි වේ. 

සමස්‌තයක්‌ වශයෙන් ගත් කල බහුතරයක්‌ මනුෂ්‍යයෝ තමන්ගේ වර්තමාන ජීවිතය වඩාත් සැපවත් බවට පත්කර ගැනීම සඳහා වෙහෙස වෙති. නමුත් මරණින් පසු තමන්ට උරුමවන ජීවිත ස්‌වභාවය මොනවගේ දැයි බොහෝවිට ඔවුහු කල්පනා නොකරති. විශේෂයෙන්ම බෞද්ධයන් ලෙස මේ ලෝකයේ උත්පත්තිය ලබා සසර හා කර්මය පිළිබඳ වැටහීමක්‌ ලබා ගැනීමට හැකියාව තිබෙන අය වුවත් මෙසේ පටු ආකල්ප වල ගැලෙමින් තමන්ගේ අනාගත ජීවිතය විනාශකර ගැනීම අතිශයින්ම ශෝක ජනකය, බොහෝ දෙනා මෙම ලෞකික ජීවිතය තුළ සැප සොයමින් මිරිඟුව පිටුපස දුවන මුවන් සේ වෙහෙසටපත් ව, අවසානයේ අපේක්‍ෂා භංගත්වයෙන් ම මරණයට පත් වන අතර නරක, ප්‍රේත, අසුර හෝ තිරිසන් අපායවල උත්පත්තිය ලබා ගනිති. මේ නිසා මෙම කෙටිකාලීන මනුෂ්‍ය ජීවිතය තුළ අසීමිත ලෙස අකුසල් සිද්ධ කරගෙන අවසානයේදී කල්ප ගණන් දුගතියේ දුක්‌ විඳිනවාද, නැතහොත් වැඩිපුර පින් රැස්‌කරගෙන මරණින් මතු ජීවිතය හැකිනම් ධර්මාවබෝධයෙන් කෙළවර කර ගන්නවාද, එසේත් නැත්නම් සුගතිගාමී වෙනවාද යන්න තීරණය ගත යුත්තේ තම තමන් විසිනි. සත්ත්ව ජීවිතවල යථා තත්ත්වය තේරුම් ගැනීමට මීට වඩා නිදසුන් අවශ්‍ය නොවන බව නිසැකවම පැවසිය හැකිය.

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය පූජ්‍ය නැදලගමුවේ ධම්මදින්න හිමි
කැලණිය විශ්වවිද්‍යාලය, නූතන භාෂා අංශය