දුටුගැමුණු රජු කල පිරිණිවන් පෑ මලියදේව හිමියන් ලංකාවේ අන්තිම රහත් තෙරනම නොවේ. සැබැවින්ම, අද වුව රහතුන් බිහි විය හැකිය. ඒ සදහා අවශ්‍ය වන්නේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ ශ්‍රී සද්ධර්මය සීල සමාධි ප්‍රඥා වශයෙන් දියුණු කොට සාක්ෂාත් කිරීමයි.

ඔබත් බුදුරදුන් පෙන්වා වදාළ උත්තම දහම් මාර්ගයේ ගමන් කරන්න


Powered by දහම් විල


ලිපි සඳහා පහත මාසය අනුව ලිපි පටුන බලන්න

භාවනා ක්‍රම හා එහි ඇති ප්‍රයෝජන

01. භාවනා කරන්නේ ඇයි ?
භාවනාව වූ කලී එදිනෙදා ජීවිතයේ දී ඇතිවන ආයාසයන් සමනය කළ හැකි මානසික ව්‍යායාමයකි. නිවසේ හෝ රැකියා ස්ථානයේ අප ගත කරන ජීවිතය හිත්තැවුල් - භේදවීම - දෙගිඩියාවෙන් බලාපොරොත්තු සුන්වීම් හා අසහනයන් ආදියෙන් ගහන වූ එක් විය හැකිය. නාගරික හෝ කාර්මික පරිසරයක ජීවත් වන අය හට ආතතිය (මානසික පීඩන) තදින් බලපාන දෙයකි. කළබල රහිත වේලාවන්හිදී පවා අපගේ මනස තුළ දොම්නස් භාවය, තනිකම හෝ බිය ආදිය ඇති විය හැකිය.
බලාපොරොත්තු රහිත ප්‍රශ්න පැන නගින අවස්ථාවන්හි දී අපගේ ජීවිතය මහත් ගැටලුවක් සේ දිස් වීමට ඉඩ ඇත. තමන් භාවනාව පුරුදු පුහුණු කිරීමෙන් මෙම හිරිහැරදායක අවස්ථාවලින් සිත වෙහෙසට පත් නොවී තබාගත හැකිවෙනවා පමණක් නොව ජීවිතයේ දුක සැප හෝ කුමන ආකාරයේ තත්ත්වයකට වුවද ඉවසීමෙන් සහ සතුටින් මුහුණදීමට හැකිවනවා ඇත.
ඔබේ වයස හෝ වෘත්තීය කුමක් වුවත් භාවනාව මගින් ඔබේ ජීවිතයට යහපතක් උදාකර ගත හැකිය. දවසේ බොහෝ වේලාවක් වෙහෙස මහන්සි වී රාජකාරියෙහි නියුතු වුවත් දිනකට සුළු වේලාවක් වුවත් භාවනාවේ යෙදෙන්නේ නම් ඔවුන්ගේ මනස සැහැල්ලු වෙයි. ඒකාකාරී ක්‍රියාවන්හි නිරතවීමෙන් නීරස සහ අසහනකාරී භාවයට පත්වන මනස එම තත්ත්වයෙන් මුදවා ගැනීමට භාවනාව මහෝපකාරී වේ. වයෝවෘධ හා රෝග පීඩාදියෙන් පෙළෙන අයට, ඒ නිසා ඇතිවෙන නොයෙක් අපහුතාවයන් සහ බිය, භාවනාව නිසා දුරුවේ.
සිසුනට ධාරණ ශක්තිය වර්ධනය කර ගැනීමෙන් තම අධ්‍යාපන කටයුතු සාර්ථකව කර ගැනීමටත්, භාවනාව උපකාරී වේ. ගෘහ ජීවිතය, වෘත්තීය කටයුතු සහ සමාජයීය සබඳතා ඉතා සතුටුදායක තත්ත්වයකට පත්කර ගත හැකිය. භාවනාවේ යෙදීමෙන් මනසේ ස්වභාවය ශක්තිමත් වන බැවින් ශාරීරික හා මානසික දුර්වලතාවයන් නැතිකර ගත හැකිය. සැහැල්ලු මනසක් ඇති තැනැත්තාට ඉතා සුවදායක නින්දක්ද ලැබේ.
සමස්ථයක් වශයෙන් ගත් කළ භාවනාව තුළින් ඉතා ඵලදායී මෙන්ම තෘප්තිමත් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගොඩනගා ගත හැකිය. එපමණක් නොව භාවනා කරන තැනැත්තාට තම නුවණ දියුණුවීම හේතුවෙන් ලැබෙන පී‍්‍රතියට සමාන තරම් පී‍්‍රතියක් කිසිදු අන් ක්‍රමයකින් අත්කර ගත නොහැකිය.

02. භාවනාව යනු කුමක්ද ?
මෙලොව ජීවත් වන සෑම කෙනෙකුටම පින උපකාර වන බවත්, පින් ඇත්නම් ජීවිතයේ සැප ළඟා කර ගත හැකි බවත් අප තථාගතයානන් වහන්සේගේ ඉගැන්වීමයි. පින් වැඩෙන පහසු ක්‍රමයකි භාවනා කිරීම. ඉතා දුෂ්කර දෙයක් සේ සලකා සමහරු එය නොකරති. සමාජය අතහැර දමා ජීවිතය ගැන කළකිරීමක් හෝ සිත් තැවුලක් ඇති වූ විටක, බාහිර උපද්‍රවයන් ගෙන් මිදී, ගසක් යටට වී කරන මහා අමාරු වැඩපිළිවෙළක් ය යන හැඟීම නිසා බොහෝ දෙනා මෙයට බිය වෙති.
ජීවිතයෙන් පලායෑමකැයි සිතති. නමුත් එය එවැනි දෙයක් නොවේ. ජීවිතය සමඟ සම්බන්ධ කර ගත හැකි, කරගත යුතු දෙයකි. භාවනා කිරීමෙන් ජීවිතය මනා ලෙස හැඩ ගැසේ. බුදුපියාණන් වහන්සේගේ භාවනා ක්‍රම මගින් සහනදායී සැපවත් ජීවිතයක් උදාකරගත හැකිය.
මෙලොවට ජනිත වන ඕනෑම සත්වයෙකුට ජීවත් විය හැකිය. එම ජෛව ශක්තිය සෑම සත්වයෙකුටම උපතින්ම උරුම වන දෙයකි. ජීව ශක්තිය අතින් බලන විට මනුෂ්‍යායාත් අනිත් සත්වයාත් අතර කිසිදු වෙනසක් නැත. මනුෂ්‍යයා හා සත්වයා අතර ඇති එකම වෙනස නම් පරිණත වූ සිතක් මනුෂ්‍යයාට උරුමව තිබීමයි. මනුෂ්‍යයාට මේ සිතම තවදුරටත් දියුණු කර ගැනීමේ හැකියාව තිබේ. මෙලොව බුදු කෙනෙක් පහළ වන්නේ අපේ මනස දියුණු කර දෙන්නයි. මනස දියුණු කර ගන්නා ආකාරයට “භාවනාව කියලා කියනවා.”

03. සිතෙහි ස්වභාවය හා භාවනා ක්‍රම
අපි රාත්‍රී කාලයක ජනෙල් දොරවල් ඇර ඇති කාමරයක ඉටිපන්දමක එළියෙන් පොතක් කියවීමක් වැනි යම්කිසි කාර්යයක යෙදී සිටිනවා යැයි සිතමු. සුළඟට මේ ඉටිපන්දමේ දැල්ල සෙලවෙනවා. අපේ වැඩේ කිරීමට මෙය බාධාවකි. දැල්ලේ සෙලවීම නතර කළහොත් අපට හොඳ ආලෝකයක් ලැබෙනවා. එමෙන්ම අපේ සිත් නිතරම සැලෙමින් පවතිනවා. සිත එක්තැන් කරගත හොත්, හැඩ ගස්වා ගතහොත් ඉන් ජීවිතය ආලෝකමත් කර ගන්න පුළුවන්.
අපි බලමු මේ සිත සැලෙන්නේ ඇයි කියා. මනුෂ්‍යයාගේ ඇස, කන, නාසය, දිව හා ශරීරය යන පංච ඉන්ද්‍රීයන් (නම් වූ දොරටු) විවෘතව තිබෙන නිසාය. මේ සැලීම සිදුවන්නේ. මේ දොරටු පහ හැකි තරම් වසා ගැනීමට, සංවර කර ගැනීමට පුරුදු වුවහොත් සිතෙහි සැලීම අඩුවෙනවා. බුදුන් වහන්සේ මේ සිත එක්තැන් කර ගන්නා ආකාරය, ඉන්ද්‍රියන් සංවර කර ගන්නා ආකාරය, නොයෙක් ආකාරයෙන් දේශනා කර තිබෙනවා. මෙය සරළ අභ්‍යාසයේ පටන් ඉගැන්වෙන ගැඹුරු විද්‍යාවක්. මෙය හොඳින් ඉගෙන ගතහොත් ජීවිතයේ කොයි අවධියක වුවත් උපරිම ප්‍රයෝජන ගත හැකියි.
සිත සකස් කර දියුණු කර ගැනීමට ඉවහල් වන ප්‍රධාන වශයෙන් භාවනා ක්‍රම දෙකකි. 
එනම් - 
1. සමථ භාවනා, 
2. විපස්සනා (විදර්ශනා) භාවනා වශයෙනි. 

සමථ භාවනා මගින් කෙරෙනුයේ සිත එකතැන් කර ගැනීමක් නැතහොත් සිත තැනපත් කර ගැනීමක්. විදර්ශනා භාවනාව මගින් අපේ දුර්වලකම් ක්‍රම ක්‍රමයෙන් ඉවත් කර ප්‍රඥාව දියුණු කර ගැනීමෙන් දුක් නැතිකර ගැනීම සිදු කෙරේ.

04. සමථ භාවනාවේ මූලධර්ම කුමක්ද ?
සමථ භාවනාව මගින් සිත එකඟ කරගන්නේ කෙසේද ? අප විසින් කරන නිරන්තර ක්‍රියාව හුස්ම ගැනීමයි. ආශ්වාස ප්‍රශ්වාස කිරීම නිරායාසයෙන්ම සිදුවෙතත්, හැම විටම අපට එය දැනෙන්නේ නැත. එහෙත් ඒ සඳහා සිත යෙදුවහොත්, එම ක්‍රියව දැනේ. නිදාගෙන සිටි විට පංච ඉන්ද්‍රියත්, ඉන්ද්‍රියයන් නිශ්චලයි. ඊට හේතුව සිත ඉන්ද්‍රියයන්ට සම්බන්ධ නොවීමයි. සිතත්, ඉන්ද්‍රියත්, ඉන්ද්‍රියට ගෝචර අරමුණත් යන කාරණා තුන එක්කාසු වීමෙන්ය අපට දැනීමක් ම ඇතිවන්නේ . ඇස, කන ආදී සෑම ඉන්ද්‍රියයක් ම ක්‍රියා කරනුයේ මේ ක්‍රමයටයි.
රූපය, ඇස, සිත යන තුනෙහි එකතුවීමෙන් ම දැකීම නම් ක්‍රියාව ඇති වේ. ශබ්දය, කන, සිත යන තෙවදෑරුම් සම්බන්ධයෙන් ඇසීම සිදුවේ. හුස්ම හෝ ඇස මගින් ලැබෙන දැනීමක් ඔස්සේ සිත නැවත නැවත පවත්වා ගැනීමෙන් සිත එකඟ කරගත හැකිය. සමථ භාවනා ක්‍රම මේ ක්‍රමයෙන් බොහෝ දැකිය හැකිය. ආනාපානා සති භාවනාව ආශ්වාස ප්‍රශ්වාස පිළිබඳව සිහිය පැවැත්වීම බොහෝ දෙනෙකුට අසන්නට ලැබීම නිසාත්, පහසුවෙන් කළ හැකි නිසාත්, එය ජනපි‍්‍රයත්වයට පත් වී ඇත.
එහිදී කරනුයේ වාතයත්, නාසයත්, සිතත් අතර සම්බන්ධයෙන් ඇතිවන දැනීමම නොකඩවා පවත්වා ගනිමින් සිටීමයි. හුස්ම ගැනීම පිට කිරීම සිදුවන විට එය නාසයේ අගටත් උදරයටත් පහසුවෙන් දැනේ. එබැවින් නාසයේ අග හෝ උදරයේ චලනය (උස් පහත්වීම) අරමුණු කරගත හැකියි. වැදගත්කම තිබෙන්නේ ස්ථානයේ නොව සිත එක් අරමුණක පවත්වා ගැනීමට පුරුදු කර ගැනීම මතය. මෙය හොඳින් ඉගෙන ගතයුතු විද්‍යාවක් යැයි කීවේ එහෙයිනි.
සිත, ඇස සම්බන්ධ කරගෙන යම්කිසි පාටක් දෙස බලාගෙන හෝ මැටි දෙස හෝ ජලය දෙස හෝ ගින්නක් දෙස හෝ සුළගෙන් වැනෙන ගසක දල්ලක් හෝ බලාගෙන එම අරමුණම සිත තබා ගැනීමෙන් සිත එකඟ කරගත හැකියි. මේවා කසිණ භාවනා නමින් හඳුන්වනවා. මළ සිරුරක් හෝ ඇට සැකිල්ලක් දෙස බලා සිත එක්තැන් කළ හැකියි. මෙය අසුභ භාවනා නමින් හඳුන්වනවා. ආශා බහුලනයට මේ අසුභ භාවනාවෙන් සිත සංවර කරගත හැකියි. අසහනය හා දොම්නස් ඇත්තත්ට තමා හා සියලු සත්ත්වයන් සුවපත් වේවා යි සිතීම හොඳයි.
මෙම මෛතී‍්‍ර භාවනාවත් ජනපි‍්‍රය වී තිබෙනවා. මෙයින් අපට සමථ භාවනා ක්‍රම සම්බන්ධව පැහැදිලි මූලධර්මයක් සොයාගත හැකිය. එනම් අවශ්‍ය කරනුයේ එක් අරමුණක් මත නැවත නැවත සිත පිහිටුවා ගැනීමයි. එය ශරීරයේ ස්ථානයක් හෝ බාහිර ස්වාභාවික දැයක් හෝ යහපත් සිතුවිල්ලක් හෝ වූවාට කම් නැති බව පෙනේ.
ස්වභාව ධර්මයෙන් මෙසේ භාවනා අරමුණු කමටහන්ව රාශියක් සොයාගත හැකි බව පරීක්ෂා කරන්නෙකුට අමුතුවෙන් කිවයුතු නොවේ. හින්දු යෝගීන් ද නොයෙකුත් සමථ භාවනා ක්‍රම නිපදවා තිබේ. බෞද්ධ සමථ භාවනා ක්‍රම 40 කි. හුස්ම ගැනීමේ දී උදරයේ ඇතිවන චලනය දෙස සිතින් බලා හිඳීමෙන් සිත එකතු කර ගැනීමට නොහැකි යයි සමහරෙක් සිතනුයේ මෙම භාවනා ක්‍රමවල මූලධර්ම නොදැනීම නිසයි.
සැරියුත් හාමුදුරුවන්ගේ ගෝල හිමි නමකට බුදුන් වහන්සේ මලක් දෙස බලා හිඳීමට සැලැස්වූයේත්, චූල පන්තක හිමියන්ට රෙදි කඩක් පිරිමදිමින් බලා හිඳීමට සැලැස්වූයේත් පළමු කොට මේමගින් සිතේ එකඟවීමක් ඇතිවන බව බුදුන් වහන්සේ දත් බැවිනි. සමථ භාවනා ගැන විස්තර දැන ගැනීමට කැමැත්තන් විසින් “විසුද්ධිමාර්ගයම” නම් පොත් කියවීම හොඳයි.

05. විදර්ශනා භාවනාව හා එහි ප්‍රයෝජන
බුදුන් වහන්සේ විසින් දේශනා කළ ධර්මයෙහි හරය වන්නේ දුකින් නිදහස්වීමෙ නුවණ උපදවා ගැනීමයි. සෑම වස්තුවකම පැවැත්මක් මෙන්ම නැතිවීමක් තිබෙනවා. අප ආශා කරන දෙයක් නැතිවන විට අපට දුකක් හට ගන්නවා. සෑම දෙයම අපේ කැමැත්තේ අනුව නොව ස්වභාවධර්ම නීති මත ක්‍රියාකරන බව නුවණින් බලන විට පේනවා. මේ විදියට අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් අපට ඉදිරිපත් වන අරමුණු නුවණින් යුක්තව බැලීම විදර්ශනා භාවනාව වශයෙන් හඳුන්වනවා. සමථ භාවනාවේ මෙන්ම මෙහි සිත එකම අරමුණක පවත්වා ගැනීමක් අවශ්‍ය කරන්නේ නැත.

මෙහිදී කරනුයේ ඊට හාත්පතිස්ම වෙනත් කාර්යයකි. එක් පදනමක් වශයෙන් සිතේ තැන්පත් වීම අවශ්‍ය කරනවා. මෙයට ප්‍රඥා භාවනාව කියලා කියනවා. මෙම භාවනා ක්‍රම පුදුමාකාර බව ඔබට පෙනේවි. මෙය භාවනාවක්දැයි සිතන තරමට එය අමුතුම ආකාරයක් ගනී. භාවනා යන වචනය ඇසෙන විටම සිත එක් අරමුණක තබා ගැනීම යනුවෙන් සිටීමයි. බොහෝ දෙනාට පුරුදුව තිබෙන්නේ. ඊට හේතුව නම් අපට වැඩි වශයෙන් අසන්නට ලැබී ඇත්තෙත් එම සමථ භාවනා ක්‍රම දැක්වෙන ඉගැන්වීම් වලටය.
සතර ඉරියව්ව පිළිබඳ නුවණින් දැන ගනිමින් සිටීම මෙහි එක් භාවනාවකි. එය ඉරියාපථ භාවනාව යනුවෙන් හඳුන්වනවා. අප හිඳගෙන සිටින විට හිඳගෙන සිටිනවා යැයි නුවණින් දැනගන්නා, සිටගෙන සිටින විට සිටගෙන සිටිනවා යනුවෙන්ද, සක්මන් කරන විට සක්මන් කරනවා යනුවෙන් ද , නිදාගෙන සිටින විට නිදාගෙන සිටිනවා යනුවෙන්ද දැන ගැනීම මෙම භාවනා ක්‍රමයයි.
මෙය සරළ ක්‍රමයක් ලෙස පෙනුනද එහිම සිත පවත්වමින් නිතර සිටීමෙන් පුදුම විදියේ දියුණුවක් ඇතිවෙනවා. නොදන්නා අයට මෙය වැඩකට ඇති දෙයක් දැයි සිතෙන්නට පුළුවන. තවත් ක්‍රමයක් මෙසේයි. දෛනික ක්‍රියාවන් අවබෝධයෙන් හා නුවණින් යුක්තව කිරීම, මූණ සේදීම, කෑම, බීම, නෑම, ඇඳුම් ඇදීම ආදී ඕනෑම කටයුත්තක් කරන විට එය සිහියෙන් යුක්තව කිරීමයි. මෙම ක්‍රමය සති සම්පඡඤ්ඤය යනුවෙන් හැඳින්වෙනවා. උදාහරණයක් වශයෙන් මේසය මත ඇති තේ කෝප්පය බීමට අවශ්‍ය යැයි සිතමු.
අත දිගහරිනවා, කෝප්පය අල්ලනවා, කෝප්පය ඔසවනවා, මුව ළඟට ගෙනෙනවා, කෝප්පය ඇල කරනවා, බොනවා, බොනවා, කෝප්පය තබනවා, අතගන්නවා වශයෙනි. එමෙන්ම සිතේ පහළ වන ධර්ම (ගති) ගැන අවධානයෙන් යුක්තව විසීම තවමත් ක්‍රමයකි. අපට ආශාවක් ඇතිවන විට “ආශාවක් ඇතිවුනා” යැයි දැන ගන්නවා. කෝපයක් ඇති වූ විටක කෝපයක් ඇති වුණා යැයි දැනගන්නවා. අලසකමක් ඇති වූ විටක අලසකමක් ඇතිවුනා යැයි දැනගන්නවා. නොසන්සුන්කමක් ඇති වූ විට නොසන්සුන්කමක් ඇතිවුණා යැයි දැනගන්නවා.
මෙසේ භාවනා කරගෙන යෑමෙන් මේ පිළිබඳව හෝ සැකයක් ඇති වූ විටක මා සිත තුළ සැකයක් පහළවුණා යැයි දැනගන්නවා. ආශාවන් නැති විට ආශාවක් නැතැයි දැනගන්නවා. කෝපයක් නැති විටත් ඒ බව දැන ගන්නවා. අනිත් කරණු තුන ගැනත් එසේමයි. දවසේ රාජකාරි කරමින් තමාගේ සිතේ පවතින මෙම ගති පිළිබඳ සෝදිසියෙන් සිටීම පුරුදු වූවෙකුට එතරම් අපහසු නැහැ. මෙයද විදර්ශනා භාවනාවකි. දැන් ඔබට පෙනේවි විදර්ශනා භාවනාවේ දී සිත එක අරමුණකම පැවැත්වීමක් නොකෙරෙන බව.
මෙහිදී කෙරෙනුයේ සිතෙහි හෝ ගතෙහි පවතින වර්තමාන අවස්ථාව තේරුම් ගැනීම බව ඔබට හැඟේවි. හිඳගෙන භාවනා කරන්නේ මෙසේයි. නාසයේ අග හෝ උදරයේ චලනය වෙත සිත යොමු කරන්න. එසේ සිටින විට කල්පනාවක් ආ විට “කල්පනාවක් කල්පනාවක්” යනුවෙන් දෙතුන් වතාවක් සිතා නැවත හුස්ම බැලීම වෙත යන්න. කකුලේ වේදනාවක් එනු පෙනුනොත් “වේදනයි වේදනයි” ම යනුවෙන් එය ඉවත් වී යනතුªරු මෙනෙහි කරන්න. ඉවත් කිරීමේ අදහස සිතට නොගත යුතුයි.
වේදනාව නිසා අපහසු තත්ත්වයක් දැනුනොත් “අපහසුයි අපහසුයි” ම යනුවෙන් සිතා හෙමින් සීරුවේ ඉරියව් වෙනස් කරන්න. වෙනස් කරනවා වෙනස් කරනවා ම යනුවෙන් සිතමින් ඉරියව් වෙනස් කළයුතු බවත් මතක තබාගන්න. දැන් නැවත හුස්ම ගැනීමට සිත යොදන්න. නිදිමතක්, කමිමැලිකමක්, සතුටක් හෝ ඕනෑම අරමුණක් ආවිට ඒ දෙස අවධානය යොමු කොට නිදිමතක් නම් “නිදිමතයි නිදිමතයි” ම යනුවෙන් ද, සතුටක් නම් “සතුටක් සතුටක්” ම යනුවෙන් ද සිතිය යුතුයි. හදිසි ශබ්දයක් ඇසුණොත් “ශබ්දයක් ශබ්දයක්”ම යනුවෙන් සිතන්න. ඒ ඒ අරමුණු අවසන් වූවායින් පසු හුස්ම වෙත සිත යොදන්න. මෙය පුරුදු වුවහොත් ඉතාමත් රසවත් භාවනාවක් බව ඔබට පෙනේවි.
මෙහිදී අපට වර්තමානය පිළිබඳවත් ජීවිතය පිළිබඳවත් හොඳ අවබෝධයක් ලැබේ. මනස නිරවුල් වේ. කරදරයකදී කලබලවීමක් හෝ සතුටේ දී උද්දාම වීමක් මේ නිසා ඇති නොවේ. සමබර මනසක් ඇතිවේ. ශාරීරික හෝ මානසික වේදනා යටපත් කළ හැකි වේ. මනස ප්‍රබෝධවීම නිසා සාමාජීය හා පෞද්ගලික ජීවිතය සැපදායක වේ. ශාරීරික නිරෝගිතාවයට ද හේතු වේ. නුවණ ද වැඩේ.
එබැවින් ප්‍රබෝධමත් ජීවිතයත් ගත කිරීමට ලැදි හැමදෙනාම මේ විදර්ශනා භාවනා ක්‍රමය භක්තියෙන් ඉගෙන ඒ අනුව කටයුතු කරත්වා. සියලු දෙනාට ධර්මාබෝධය ම වේවා.

06. ප්‍රශ්න හා පිළිතුරු

සමථ හා විපස්සනා භාවනාවේ ඇති ප්‍රධාන වෙනස කුමක්ද ?
සමථ භාවනාව තනිකරම සිත එක්තැන් කිරීම සඳහා උපයෝගී කර ගන්නා භාවනා ක්‍රමයක්. විපස්සනා භාවනාව ස්වභාව ධර්මය අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් තේරුම් ගෙන ප්‍රඥාව වැඩි දියුණු කර ගැනීමෙන් සියලු දුකින් මිදීමේ ක්‍රමයක්.

ඉගෙන ගන්නා අයට භාවනාව නිසා ඇතිවෙන විශේෂ යහපත කුමක්ද ?
ඉගෙන ගන්නා කෙනෙකුට විශේෂයෙන් තිබිය යුතු දෙයක් තමයි මතකය හා අවබෝධය. බුදුන් වහන්සේගෙන් එක්තරා බ්‍රාහ්මණයෙක් “ස්වාමීනී, මීට කලින් උගත් දේ දැන් බොහෝවක් මතකයට ගැනීමට අමාරුයි. ඊට හේතු මොනවාදැයි විමසූ කල්හි අමතක වීමට කරුණු පහක් තුඩුදෙන බව උපමා කොට පෙන්වා වදාළහ. ඒවා සැකෙවින් මෙසේයි.
1. සිතේ ආශා දෙයක් බලපැවැත්වීම - ජලයට යම්කිසි වර්ණයක් එකතු වූ වි ඒ තුළ යමක් නෙපෙනෙන්නා සේම උගත් දේ මතකයට නොයේ.
2. සිතෙහි නොරුස්සන ස්වභාවයක් ඇති වීම - ජලය කැකෑරී ඇති විටක ඒ තුළ යමක් නොපෙනෙන්නා සේ එම අවස්ථාවකද යමක් මතක් කිරීම උගහටය.
3. නිදිමත හෝ කම්මැලි ස්වභාවයක් ඇතිවීම - ජලයේ දිය සෙවෙල් ඇති විට ඒ තුළයමක් නොපෙනෙන්නා සේ එහිදීද උගත් දේ සිහි කිරීම දුෂ්කර වේ.
4. සිත නොසන්සුන්වීම - වතුරේ රැල්ලක් හෝ කැළඹීමක් ඇති විටක මෙන් පැහැදිලි යමක් මතක් කර ගැනීම අපහසු වේ.
5. උගත් දේ පිළිබඳව සැක ඇතිවීම - කළුවර අවස්ථාවක ජලය තුළ යමක් නොපෙනෙයි. එමෙන් මැනවින් ධාරණයේ නොපවතී.
මේවා ධර්ම ග්‍රන්ථයන්හි “පංච නීවරණ” ම යනුවෙන් හඳුන්වනවා. මේ යටපත් කළ හැකි ශක්තිමත් ආයුධයක් නම් භාවනාවයි. භාවනාවෙන් පුළුල් නුවණක් ලැබේ. මනස නිරවුල් වීම නිසා හොඳ චින්තන ශක්තියක් ඇති වෙනවා මෙන්ම මනස ප්‍රබෝධමත්වීම නිසා ඉගෙනීමේ කටයුතු හොඳින් කර ගන්නන්ට ද හැකිවේ.

මේ කාලයේ භාවනා කර ප්‍රතිඵල ලැබිය හැකිද ?
නිවැරැදිව භාවනා කරන්නේ නම් ප්‍රතිඵල ලැබීමට කාලය අවහිරයක් නොවේ. ඔබ නිවසේ සිට භාවනාව පුහුණුවීම අරඹන්නේ නම් වාඩි වී සිටීම් ඉරියව්ව පමණක් සෑහේ. ඒ සඳහා නිදන කාමරයක හෝ වෙනත් විශේෂ ස්ථානයක් ඇත්නම් එය යොදා ගත හැක. රාත්‍රී වැඩ අවසන් වී නින්දට ප්‍රථම හා අලුයම කාලය ගෙදරකදී භාවනාව සඳහා යෝග්‍යය.
මීට අමතරව ඔබට සතියක දෙකක විවේකයක් ලබාගත හැකි නම් ඒ සඳහා සියලු පහසුකම් සහිත නේවාසික පුහුණුවක් ද කඳුබොඩ විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ දී හෝ දිවයිනේ වෙනත් භාවනා මධ්‍යස්ථානයක දී ලබාගත හැක. මේ නේවාසික පුහුණුවේ දී සිදුකළ යුතු මූලික පිළිවෙත් මේ සමඟ විස්තර වේ.

07. යෝගාවචරයන් විසින් කළයුතු මූලික පිළිවෙත් පූර්ව කෘතිය.
1. තමන් නියමිත සීලයක පිහිටීම. (ගිහි උදවිය බුදු කුටියට ගොස් ද සිල් සමාදන් වන්න. නැතිනම් ආචාර්ය ස්වාමීන් වහන්සේගෙන් ද සිල් සමාදන් වන්න.)
2. ත්‍රිවිධ රත්නයේ ගුණ සිහිකර වන්දනා කිරීම (බුදුකුටියට යන්න.)
3. බුද්ධ, ධම්ම, සංඝ යන තෙරුවන්ද ගුªරුවර දෙමාපියන්ද ගුණයෙන් හා වයසින් වැඩිහිටි උතුමන්ද ගෞරවාදර භක්තියෙන් නමස්කාර කරමි. මා අතින් දැනුවත්ව හෝ නොදැනුවත්ව උන්වහන්සේලාට වූ සියලු වරදට මට සමාවන සේක්වා.
4. මාගේ ජීවිතය බුද්ධාදී රත්නත්‍රයට පූජා කරමි. පූජා වේවා කර්මස්ථානාචාය¸යන් වහන්සේලාටද ජීවිතය පූජා කරමි ජීවිත පරිත්‍යාග කිරීම.
5. කමටහන් ඇදුරුතුමන් වහන්සේලා විසින් දෙනු ලබන අවවාද පරිදි පිළිපදිමි. එම උපදෙස් පරිදි භාවනා වඩමි. ඒ මගින් මට උතුම් නිවන් සැප අවබෝධ වේවා.
6. තමන්ට හා සියලු සත්වයන්ට සුළු වේලාවක් මෙත් වඩන්න. (මෛත්‍රී භාවනාව)
7. ශරීරයේ අශුභතාවය ගැන සුළු වේලාවක් සිතන්න.(පිළිකුල් භාවනාව)
8. ජීවිතයේ අස්ථිරභාවය ගැන සිතන්න. (මරණානුස්මෘති භාවනාව)
9. පමා නොවී මා නිවන් අවබෝධ කර ගනිමියි දැඩි අධිෂ්ඨානයක් ඇති කර ගන්න.
10. දැන් තමාගේ කුටියට ගොස් පහත පිළිවෙළට භාවනා ආරම්භ කරන්න. භාවනා ක්‍රමයක් කලින් ඉගෙන ගෙන තිබේ නම් හෝ පුහුණු කොට තිබේ නම් මෙහි නැවතී සිටින කාලය තුළ ඒවා ක්‍රියාත්මක නොකරන්න.

08. විදර්ශනා භාවනා අභ්‍යාසය - 1

විදර්ශනා භාවනා කරන ආකාරය (මූලික උපදෙස්)
පහසු පිළිවෙලින් හිඳගෙන පළමු කොට උදරයෙහි නාභිය සමීපයෙහි සිත පිහිටුවා ගන්න. නාසයෙන් හුස්ම ඇතුළුවන විට බඩ ඉදිරියට පිම්බෙන බව දැනේවි. එවිට “පිම්බෙනවා”යනුවෙන් සිතන්න. හුස්ම පිටකරන විට බඩ හැකිලෙයි. එවිට බඩ “හැකිලෙනවා” යනුවෙන් සිතන්න. වරක් පිම්බෙන කල පිම්බීමේ මුලසිට ටිකින් ටික, ටිකින් ටික පිම්බී යන හැටි අවසානය දක්වා දැනගනිමින් මෙනෙහි කළ යුතුය.
හැකිලීමේදී ද මුල සිට ටිකින් ටික හැකිලීගෙන යන හැටි අවසානය දක්වා ගනිමින් මෙනෙහි කළ යුතුයි. ඕනෑකමින් හුස්ම ගැනීම හෝ හුස්ම තදකරගෙන හිඳීම හෝ නොකළ යුතුයි. සාමාන්‍යයෙන් හුස්ම ගන්නා ස්වභාවයෙන් හුස්ම ගැනීම හෙළීම කළ යුතුයි. පිම්බීමක්, හැකිලීමක් පාසා “පිම්බෙනවා හැකිලෙනවා” – “පිම්බෙනවා හැකිලෙනවා” යනුවෙන් කල්පනාකාරීව නිරතුරු මෙනෙහි කළ යුතුයි. පිම්බෙනවා හැකිලෙනවා යනුවෙන් සිතින් සිතනවා විනා කටින් නොකිව යුතුයි.

අන් සිත් පහළ වීම මෙනෙහි කිරීම.
මෙසේ පිම්බීම හැකිලීම මෙනෙහි කරමින් සිටියදී වෙනත් කල්පනා ඇතිවෙයි. ගෙදර මතක් වෙයි. පැවිදි කෙනෙකුට සමහර විට පන්සල මතක් වෙයි. කළ කී දේ මතක් වෙයි. එසේ කල්පනාවක් පහළ වූ විට “කල්පනාවක් කල්පනාවක්” යනුවෙන් සිතා එය මඟහැරුණු විට නැවතත් පිම්බීම හැකිලීම මෙනෙහි කළ යුතුයි.
විටක කම්මැලිකමක් ඇතිවෙයි. එබන්දක් හැඟුණු විටම “කම්මැලියි කම්මැලියි” යනුවෙන් මෙනෙහි කළ යුතුයි. අවසන් වූවාට පසු පිම්බීම හැකිලීම වෙත යා යුතුයි. නමුත් ආධුනික යෝගියා හට මෙසේ සිතුවිල්ලක් ආ විගසම නොදැනෙයි. ටික වේලාවක් එම කල්පනාවේ ගොස් තිබියදීය ඔහුට දැකගන්නට හැකි වෙන්නේ. එබැවින් සිත පිට පනින කොටම දැකගන්නට පරීක්‍ෂාකාරීව උනන්දුවෙන් භාවනා කළ යුතුයි. නැත්නම් භාවනා ක්‍රමයට බාධා ගෙන දෙන කම්මැලි සිත්ම වඩ වඩාත් පහළ වී භාවනා කිරීමට මෙහි ආ උනන්දුව සම්පූර්ණයෙන් නැතිව යන්නට ඉඩ තිබේ. එබැවින් සෑම කල්පනාවක් ම මහත් ඕනෑකමින් මෙනෙහි කිරීමට හොඳින් මතක තබාගත යුතුයි.

වේදනා මෙනෙහි කිරීම
මෙසේ හිඳගෙන ටික වේලාවක් භාවනා කිරීමෙන් ශරීරයේ රුදා, කැක්කුම්, වේදනා, හිරිවැටීම් ඇතිවෙන්නට පටන් ගනී. ඒවා පහළවන විටදීම කල්
නොයවා ඒ මොහොතේම වේදනාවක් නම් “වේදනායි වේදනායි” යනුවෙන් ද, රත්වීමක් නම් “රත්වෙනවා රත්වෙනවා” යනුවෙන් ද මෙනෙහි කළ යුතුයි.
වේදනා උත්සන්න වන තෙක් පිම්බීම හැකිලීම බලමින් නොසිට වේදනාවක් පහළ වූ මොහොතේම “වේදනයි වේදනයි” යනුවෙන් මෙනෙහි කිරීමත් ආරම්භ කිරීමට මතක තබාගත යුතුයි. දුක්ඛ වේදනාව ද විදර්ශනා භාවනාවට අරමුණක් බැවින් වේදනාව අවසන් වනතුරු “වේදනයි වේදනයි” යනුවෙන් ඉවසීමෙන් මෙනෙහි කරගෙන යා යුතුයි. වේදනාව අවසන් වීමට පෙර පිම්බීම හැකිලීම් වෙත නොයා යුතුයි.
වේදනාව නැතිකිරීමට සිතා තල්ලු කර දමන අදහසින් වේදනා දෙස නොබැලිය යුතුයි. එය තිබෙන තාක් ඉවසීමෙන් මෙනෙහි කරන්නේ යයි සිතා මෙනෙහි කළ යුතුයි. ඒ රිදුම්, කැක්කුම්, උණුසුම්, බලවත්ව ඉවසිය නොහැකි තත්ත්වයට පත්වුවහොත් ඉරියව් හෙමින් සීරුවේ වෙනස් කළ යුතුයි. එසේ කරන කල්හි “වෙනස් කිරීමට සිතෙනවා වෙනස් කිරීමට සිතෙනවා” යනුවෙන් සිතා අත් පා වෙනස් කරන විට “දිග හරිමි දිග හරිමි” “නවමි නවමි” යනුවෙන් ශරීරයෙන් සිදු කරන සියලු චලනයන් ආවර්ජනා කරමින් ම කළ යුතුයි.
වේදනාවක් නිසා නිතර ඉරියව් වෙනස් කිරීමෙන් සති සමාධි දියුණු නොවන බැවින් ඉවසීමෙන් මෙනෙහි කිරීමට උනන්දු වන්න.

දැකීම් හා ඇසීම් මෙනෙහි කිරීම.
මෙසේ භාවනා කරගෙන යාමේදී ඇස් ඇර බැලීමට සිතුණහොත් බලන්නට සිතෙනවා යැයි මෙනෙහි කළ යුතුයි. බලන විට “බලනවා” යනුවෙන් ද ඕනෑකමින් නොබලා යමක් දකින විට “දකිමි දකිමි” යනුවෙන් ද මෙනෙහි කළ යුතුය.
හදිසි ශබ්දයක් ඇසුණහොත් “ඇසෙනවා ඇසෙනවා” නැතිනම් “ශබ්දයක් ශබ්දයක්” යනුවෙන් මෙනෙහි කළ යුතුයි. නිතරම ඇසෙන කුරුළු ශබ්ද ආදිය මෙනෙහි කළ යුතු නොවේ. ඔරලෝසුවේ ටක් ටක් හඬ ද මෙනෙහි කිරීම අවශ්‍ය නොවේ. නිතරම පවත්නා බැවිනි. ශබ්ද මෙනෙහි කිරීමේ දී ඇසෙන ශබ්ද පමණක් මෙනෙහි කිරීම ප්‍රමාණවත් වේ.

කුදු මහත් හැම ක්‍රියාවක් මෙනෙහි කළ යුතුයි.
නැගිට ගැනීම් ආදියත් එහිදී අත් පා ක්‍රියා කරන අන්දමත් අනුව සුදුසු පිළිවෙළින් මෙනෙහි කළ යුතුයි. නැතිනම් “නැගිටිමි නැගිටිමි” යනුවෙන් කෙටියෙන් මෙනෙහි කළ යුතුයි. හැරෙන විට “හැරෙමි හැරෙමි” යනුවෙන් ද මෙට්ටය ගැනීමට නැමෙන්නේ නම් “නැමෙනවා නැමෙනවා” යනුවෙන් ද එය අල්ලන විට “අල්ලනවා” යනුවෙන් ද ගරු කොට සලකා මෙනෙහි කිරීමට විශේෂයෙන් මතක තබා ගත යුතුයි.

ගිලන්පස ආදිය ගැනීමේදී
අත ගෙනියනවා. කෝප්පය අල්ලනවා, ඔසවනවා, ඇලකරනවා, මුව අරිනවා, බොනවා, බොනවා, රස දැනෙනවා, කෝප්පය තබනවා යනුවෙන් ඒ ඒ ක්‍රියා සැලකිල්ලෙන් මෙනෙහි කළ යුතුයි.
මූණ සේදීම, නෑම, වැසිකිලි කැසිකිලි කිරීම ආදී සෑම ක්‍රියාවක්ම සිහියෙන් යුක්තවම කළ යුතුයි. කොටින් කියතොත් මැස්සෙක් මදුරුවෙක් එලවීම පවා මෙනෙහි කරමින් ම කළ යුතු බව හොඳින් සිහි තබාගත යුතුයි.

සක්මන් භාවනා කිරීම
”නැගිටිමි නැගිටිමි” සිතා නැගිට ගෙන ඉදිරියට යන්නට සිතනවා යනුවෙන් ඒ සිතුවිල්ල ද මෙනෙහි කරන්න. දැන් දකුණු පය ඉදිරියට තබමින් දකුණ යනුවෙන් ද, වම් පය ඉදිරියට තබමින් වම යනුවෙන් ද සිතමින් සක්මන් කළ යුතුය. වම දකුණ වම දකුණ යනුවෙන් සුදුසු දුරක් ගමන් කොට නවතින්නට සිතෙනවා යනුවෙන් සිතා “නවතිමි නවතිමි” යනුවෙන් මෙනෙහි කරමින් නැවතිය යුතුයි. දැන් “හැරෙනවා හැරෙනවා” යනුවෙන් හෙමින් සීරුවේ හැරී ආපසු වම දකුණ යනුවෙන් සිතමින් සක්මන් කළ යුතුයි. පය එසවීමේ පටන් තැබීම දක්වා සිදුකරන සියලු ක්‍රියාවම බලමින් සිත පයේම පිහිටුවා ගත යුතුයි. සක්මන් කිරීමේ දී පියවරක් පියවරක් පාසා මෙසේ කිරීමට උත්සාහ ගන්න.
ඔසවනවා, යවනවා, තබනවා යනුවෙන් හැකි නම් මෙනෙහි කළ යුතුයි.

08. විදර්ශනා භාවනා අභ්‍යාසය - 2

විදර්ශනා භාවනා අභ්‍යාස අංක 1 හි දැක්වෙන මූලික උපදෙස් අනුගමනය කරන ආධුනික යෝගීන්ට විවිධ අන්දමේ අත්දැකීම් ඇතිවෙයි. ඒවායින් ප්‍රධාන අත්දැකීම් කීපයක් මෙසේයි.

01. ඇතැමෙකුට නිසි ලෙස එම උපදෙස් අනුගමනය කළ නොහැකි වීම.

එහි සඳහන් මෙනෙහි කිරීම වැනි යෙදුම් පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබාගැනීමට නොහැකි වීමෙන් භාවනාව කරනාකාරය නිරවුල්ව වටහා ගැනීමට අපොහොසත්වීම, තමා කලින් භාවනාවක් වඩා ඇත්නම් එයත් සමඟ මෙම භාවනා ක්‍රමය පටලවා ගැනීම, වේදනා ආදිය නිසා නිතර ඉරියව් වෙනස් කරන්නට සිදුවීම, සිත දස අතේ ගමන් කිරීම හෝ නොසන්සුන්කම, කම්මැලිකම හෝ භාවනාව නීරස වීම වැනි කරුණු බාධාවන් සේ පෙනුණ ද එම කරුණු ආධුනිකයාට ලැබෙන පළමු වැනි අත්දැකීම් සේ ගැනීම වඩා ප්‍රඥාගෝචරය.
අප එසේ සඳහන් කරන්නේ භාවනා කිරීමේ දී යෝගියාට ලැබෙන සෑම බාධාවක් හා එය මඟහරවා ගැනීමට යෙදූ සෑම උපාය මාර්ගයක්ම භාවනාවේ පියවරක් සේ සිතිය හැකි බැවිනි. භාවනාව යනු සිත අවුලෙන් නිරවුල් කරගන්නා ප්‍රයත්නයක් බැවින් භාවනාව පිළිබඳ පියවරෙන් පියවර උගනීම වඩා වැඩදායකය. එබැවින් ඒවා අත්දැකීම් ලෙස ගනිමු.

උපදෙස්:
මෙනෙහි කිරීම:
සිතිවිල්ලක් හෝ වේදනාවක් හෝ යම් අරමුණක් පහළ වූ ක්ෂණයෙන් එය දැනගැනීම, එදෙස සිත යොමුකිරීම මින් අදහස් කෙරේ. සාමාන්‍ය ව්‍යවහාරයේ පවතින මෙනෙහි කිරීමක් සමඟ පටලවා නොගත යුතුය. කළ යුතු වන්නේ ගැඹුරට කල්පනා කිරීමක් නැතිව අරමුණක් පහළ වූ බව පමණක් සළකා පැමිණි අරමුණ දැනගැනීම පමණි.

අරමුණ:
ඇස, කණ, නාසය, දිව, ශරීරය, සිත යන ද්වාරවලින් දැනගන්නා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම (සිතිවිලි හෝ වෙනත් දෑවලට මෙහිදී අරමුණු යයි හඳුන්වා දී තිබේ.) සාමාන්‍ය ව්‍යවහාරයේ අරමුණු යනුවෙන් යොදන්නේ අභිප්‍රායටය. මෙහිදී එය නොයෙදේ.

(අ) කලින් භාවනාවක් පුහුණු කොට ඇත්නම් - විදර්ශනා අභ්‍යාස අංක 1 හි දැක්වෙන ක්‍රමය පුහුණු කරන විට නිරායාසයෙන් ම කලින් භාවනාවට හිත යොමුවීම ස්වභාවිකය.
මෙය බොහෝ විට සිදු වන්නේ ආනාපාන සති භාවනාව දීර්ඝ කලක් පුහුණු වූ ඇත්තන්ටය. එහිදී දිය යුතු උපදේශ නම් උදරයේ පිම්බීම – හැකිලීම ගැන නොසලකා කලින් පුරුදු පරිදි නාසය අරමුණු කරමින් භාවනා වඩන අතර වේදනා හා කල්පනා ආදිය ඇතිවන විට අංක 1 හි දැක්වෙන අභ්‍යාසයනට අනුකූ®ලව ඉතිරි කටයුතු සිදුකිරීමයි. එහිදී පටලැවීමක් සිදු නොවේ.

(ආ) වේදනා ආදිය ඇතිවීම - වේදනා පහළ වන හැම විටම ඒවා මෙනෙහි කිරීමෙන් භාවනාව දියුණු වන බව සලකා වීර්ය ඇතිකර ගැනීම, කොපමණ වේදනා පැමිණියත් ඉරියව් වෙනස් නොකරමියි දැඩි අධිෂ්ඨානයක පිහිටීම, එහිදී සමහරුනට ඇතිවන අදහසක් නම් ලේ ගමනාගමනය සිදු නොවී කකුලේ ආබාධයක් හට ගනිතැයි විමති උපදීමයි. දහසක් දෙනාගේ අත්දැකීම් අනුව නම් එසේ වූ බවක් දැනගන්නට නැත. අවශ්‍ය නම් පැයකදී වරක් පමණක් කකුල් වෙනස් කිරීම සෑහේ.

(ඇ) සිත නොසන්සුන් වීම - භාවනාව ආරම්භ කර දින කීපයක් සිත නා නා අතේ ගමන් කිරීම පුදුම සහගත කරුණක් නොවේ. එය ඉතා ස්වභාවිකය. පුදුම විය යුත්තේ සිත පළමු දවසේම තැන්පත් වුවහොත්ය. එබැවින් සිතේ මෙම ස්වභාවික ගතිය අධ්‍යයනය කළ යුතුය. දැකගත යුතුය. අධෛර්යය නොවී දිගටම භාවනාව සිදුකර ගෙන යාමෙන් ක්‍රම ක්‍රමයෙන් සිත තැන්පත් වනවා ඇත. හාල්, වතුරට දැමූ විට කල්යත් යත් එය පොඟන්නා සේ ය.

(ඈ) කම්මැලි සිත් ඇතිවීම හෝ භාවනාව නීරස වීම - මෙයද බලාපොරොත්තු කඩවීමට තරම් කරුණක් නොවේ. ආධුනිකයෙකුට පමණක් නොව තරමක් පුහුණු වූ අයෙකුට පවා මෙවැනි අත්දැකීම් ඇතිවිය හැකිය. යට සඳහන් නොසන්සුන්කමත් මෙහි සඳහන් කම්මැලිකම නොහොත් ථිනමිද්ධයත් යම් යම් අවස්ථාවල අනාගාමි වූවනට පවා ඇතිවිය හැකි ප්‍රබල නීවරණයක් බව භාවනා කරන්නන් විසින් සිහියේ තබා ගත යුතුය.
බොහෝ දෙනෙක් භාවනාව සුළු කලක් කොට අතහැරීමට සිතති. ඔවුන්ගේ මැසිවිල්ල නම් සිත නොසන්සුන් වීම ගැනය. ඔවුන් සිතනුයේ භාවනාව කරන කොටම සියල්ල සමෘද්ධි විය යුතුය කියාය.
එසේ නොමැති වන විට ඔවුහු අධෛර්යය වෙති. ඒ නොමැනවි. එහිදී කළ යුතු වන්නේ කල්‍යාණ පුද්ගලයන් ඇසුරු කිරීමත් ධර්ම පොත් බැලීමත්ය.
විශේෂයෙන් ම පංච නීවරණ, භාවනාවට පළිබෝධ, ඉන්ද්‍රිය ධර්ම, නාම රූප, සප්ත විසුද්ධි ආර්ය අෂ්ඨාංගික මාර්ගය, සත් තිස් බෝධි පාක්ෂික ධර්ම වැනි ධර්ම කරුණු උගෙන ඒවා අවබෝධ කර ගැනීමත් භාවනා ගුරුවරයෙකු ඇසුරු කිරීමත් ඉතා ප්‍රයෝජනවත් ය. තම ජීවිතය බෞද්ධ ප්‍රතිපදාවකට අනුකූලව සකස් කරගත යුතුය. දිනපතා බුදුන් වැඳීමත් දිනකට ස්වල්පයක් නමුත් බණ පොතක් බැලීම හෝ බණක් ඇසීමත් භාවනාවට විශාල පිටුවහලකි.
ඇත්ත වශයෙන් ම මේ ජීවිතයේදී ම භාවනාවෙන් යම් කිසි දියුණුවක් බලාපොරොත්තු වන්නේ නම් මේ බෞද්ධ ප්‍රතිපදාව තිබිය යුතුමය. ඒ බව බුදු හිමියෝ “මහණෙනි, කරුණු 4 ක් ප්‍රඥාවේ වැඩිදියුණුව සඳහා වෙයි” ම යනුවෙන් පෙන්වා දුන් සේක.
1. සත් පුරුෂයන් ආශ්‍රය
2. සද්ධර්ම ශ්‍රවණය
3. යෝනිසෝ මනසිකාරය (භාවනාව)
4. ධර්මානුකූල පැවැත්ම.
එම කරුණු 4 ම සෝවාන් වීමට අවශ්‍ය අංග හැටියට ද දක්වා ඇත. (අංගුත්තර නිකාය – චක්ක නිපාතය)

02. හුස්ම නොදැනී යාම.

භාවනා කරන පළමුවැනි දවසේමත් ඇතැමෙකුට හුස්ම පැහැදිලිව අරමුණු නොවේ. ඇතැමෙකුට දින කීපයක් භාවනා කරගෙන යන විට හුස්ම අප්‍රකට වේ. සති සමාධි දියුණු වීම නිසාත් ඇතැමෙකුට හුස්ම නොදැනී යයි. එබැවින් මෙම තත්ත්වයන් පැහැදිලිව තේරුම් ගැනීම භාවනා දියුණු කර ගැනීමට මහෝපකාරී වේ. පළමු දවසේම හුස්ම නොදැනී යන්නේ සිහිය නිසි ලෙස පවත්වා ගැනීමට අපොහොසත් වීම නිසාත්, හිත බොහෝ නොසන්සුන් වීම නිසාත්ය. උදරය ඉතා මහත් අයගෙත් මෙම නොදැනීම ඇතිවිය හැකිය. භාවනාවට නිසි ලෙස හිඳගැනීමට අපොහොසත් අයගේ කොන්ද වක් වීම නිසා උදර ප්‍රදේශය හැකිළේ. මේ නිසාද ටික වේලාවක් භාවනා කරගෙන යන විට හුස්ම නොදැනී යයි.

උපදෙස්:

(අ) පළමු දවසේ හුස්ම නොදැනී යන්නේ නම් - තමා නිසි ලෙස හිඳගෙන ඉන්නේ දැයි පරීක්‍ෂාකාරී විය යුතුය. කොන්ද කෙලින් තබාගත යුතුය. හුස්ම බලෙන් ගැනීමට තැත් නොකර කිසිවක් නොසිතා නිශ්ශබ්දව හිඳ හෙමින් සීරුවේ තම උදර ප්‍රදේශයට හිත යොමා කල්පනාකාරීව ඉන්න. එසේ සුළු වේලාවක් හිඳීමෙන් හෙමින් හෙමින් උදරයේ චලනය දැනේවි. එවිට පිම්බෙනවා හැකිලෙනවා යනුවෙන් මෙනෙහි කරන්න. ආරම්භ කරන්න.
එසේ කිරීමෙන් ද හුස්ම අරමුණු කර ගැනීමට අපොහොසත් වුවහොත් අල්ල උදරය මත ලිහිල්ව තබා ගත යුතුය. එවිට හුස්ම ගැනීම දැනේවි. එසේත් අරමුණු කර ගැනීමට අපොහොසත් වුවහොත් මතු කියැවෙන අභ්‍යාසයන් (ඇ කොටස) විකල්පයක් සේ යොදා ගත හැකිය.

(ආ) දින කීපයකට පසු හුස්ම අප්‍රකට වීම - ඕලාරික හුස්ම සන්සුන් වීම නිසාත්, වේදනා ආදිය අඩුවීමෙන් ඇතිවන කයේ දරථය අඩුවීම නිසාත් හුස්ම නොදැනී යා හැකිය. මෙහිදී භාවනා ආරම්භයේ සිට විමසිලිමත් වෙමින් හුස්ම බලාගෙන යාමෙන් මේ තත්ත්වය මඟහරවා ගත හැකිය. එවිට හුස්ම ප්‍රකටව දැනෙනවා ඇත. මෙහිදී අත තබා හුස්ම ආයාසයෙන් නොබැලිය යුතු අතර විමසිල්ල පමණක් ප්‍රමාණවත් ය.

(ඇ) සති සමාධි දියුණුවීම නිසා හුස්ම නොදැනී යාම - මෙහිදී ආයාසයෙන් හෝ විමසිලිමත් බවින් හෝ හුස්ම බැලීමට නොයා යුතුය. එසේ කළහොත් සමාධිය දුර්වල වන්නට එය හේතුවක් වෙයි. (අ) සහ (ආ) වලින් විස්තර කළ අවස්ථාවන් හා මෙම අවස්ථාව වෙන්කර හඳුනා ගැනීමේ ලක්‍ෂණ කීපයකි. සති සමාධි දියුණු වීමෙන් හුස්ම නොදැනී යන්නේ නම් විටින් විට යෝගියාට නොයෙක් දර්ශනම පෙනෙන්නට වෙයි.
ඇතැමෙකුට බොහෝ සෙයින් ද, ඇතැමෙකුට ස්වල්ප වශයෙන් ද දර්ශනම නැත්නම් රූපම පෙනීම සිදුවෙයි. හදිසියේ පෙනෙන මෙකී රූපයක් තත්පර ස්වල්පයකින් නැතිවී යයි. තමා කිසිසේත් බලාපොරොත්තු නොවන රූපයක් (මලක්, ඇටසැකිල්ලක්, පිළිමයක්, ගසක්, මුහුණක්, සමහර විට යතුරක්, ගල් කැටයක් වැනි තේරුමක් නැති රූපයක්) පෙනී නොපෙනී යන විට ඇතැමෙක් දැක්කා යයි මෙනෙහි කිරීමට අපොහොසත් වෙති. ඒ දෙස බලා හිඳී.
විරූපී මුහුණක්, ඇටසැකිල්ලක් වැනි දෙයක් දුටු විට ඇතැමෙක් බිය වෙති. ඇත්තෙන්ම මෙම දර්ශන පෙනීමෙන් පැහැදිලි වන්නේ සිත පංච ඉන්ද්‍රියයන්ගෙන් අරමුණු නොගෙන මනෝද්වාර අරමුණුවලට බැස ගැනීමයි.
හීන පෙනෙන්නේ ද මෙසේමයි. නමුත් වෙනසකට ඇත්තේ භාවනාවේ දී පෙනෙන දෑ සිහියෙන් යුක්තව බලා හිඳීමට හැකි කමයි. එය සති සමාධි වල තිබෙන ශක්තියයි.
රූප පෙනීම භාවනා අරමුණින් සිත බැහැර වී ඇති බවට ලකුණක් වුවද සතියට මනෝද්වාරය දක්වා විනිවිද යාමට හැකි කම එම අවස්ථාවේ තිබෙන බවට ද ඉඟියක් කරන බැවින් එහිදී ලැබෙන හුස්ම අප්‍රකට ස්වභාවය සති සමාධි දියුණු නිසා වන බව තේරුම් ගත යුතුය.

සම්පාදක
මඩවල උපාලි හිමි
පරිවර්තනය - නීතිඥ ඩී. ඒ. ගුණසේකර

දම්සක්‌ පැවතුම් සූත්‍රය දෙසූ ඇසළ පොහොය


බුදු සිරිත හා සම්බන්ධ ශ්‍රේෂ්ඨ පසළොස්‌වක පොහොය කීපයක්‌ම අපි සැදැහැතියෙන් සැමරුවෙමු. වෙසක්‌ පුර පසළොස්‌වක හා පොසොන් පුර පසළොස්‌වක එම පෝය දිනයන්ය. බොදු හදවත තුළින් මේ උණුසුම මැකීයන්නට පෙර එවන් වැදගත් සිද්ධි රැසක්‌ සිදු වූ තවත් උත්තරීතර දිනයක්‌ එළඹෙනු ඇත. ඇසළ පුර පසළොස්‌වක පෝය එදවසයි.

බුදු දහමේ ආලෝකයෙන් දෙවි, මිනිස්‌ හදවත් සැනසූ මිනිස්‌ ලොව පටන් අකනිටා බඹලොව තෙක්‌ සාදු නදින් ගිඟුම් දුන් හැමගේ බුද්ධිම ඥානයට මාවත විවර වූ ලොව පවතින සත්‍ය වූ ධර්මය මානව වර්ගයාගේ සිත් තුළ මුල් බැසගත් තෙරුවන් පහළ වූ දිනය වශයෙන් මෙය ශාසන ඉතිහාසයට එක්‌ව ඇත. එදවස " ඇසළ පුර පසළොස්‌වක පෝය" වශයෙන් අපි හඳුන්වමු.

මේ ලෝකයේ පහළවූ ශේ්‍රෂ්ඨ උත්තමයාණන් වහන්සේ අප බුදුරජාණන් වහන්සේය. "සුඛෝ බුද්ධානං උප්පාදෝ" බුදුරජාණන් වහන්සේලාගේ උපත සැපතට හේතුවේ. කාලාන්තරයකින් මෙය සිදු වන්නකි.

"කලකිනි බුදු කෙනෙකුන් උපදින්නේ" යන්නෙන් ද එය පැහැදිලිවේ. බුදු බව පතා කළ යුතු කාර්යයන් බොහෝය. අප ගෞතම බෝසතාණන් වහන්සේ මේ සඳහා සසර බොහෝ කාලයක්‌ කැපවීම් කර ඇත. සාරා සංඛ්‍ය කල්ප ලක්‍ෂයක්‌ පාරමී දම් පුරා ඇතැයි දැක්‌වේ. මෙය සුළු පටු කාලයක්‌ නොවේ. මේ අසීරු තත්ත්වය වර්ණනා කිරීමට පෘතග්ජන කිසිවකුට නොහැක. මේ සඳහා සුදුසුවන්නේ එවන් බුදුවරයෙකුම පමණි.

"එවං අචින්ත්‍යා බුද්ධා, බුදු ගුණය අචින්ත්‍යය"

සිදුහත් බෝසතාණන් වහන්සේ පළමුව නියත විවරණය ලබන්නේ දීපංකර බුදු හිමියන්ගෙන්ය. මෙය සිදුවන්නේ වෙසක්‌ පුන් පොහෝ දිනකය. එතැන් පටන් විවිධ ආත්මභාවයන්හි ඉපිද දාන, සීල, නෙක්‌ඛම්ම, පඤ්ඤා, විරිය, ඛන්ති, සච්ච, අධිට්‌ඨාන, මෙත්තා, උපෙක්‌ඛා යන දස පාරමි දස උපපාරමි දස පරමත්ථ පාරමි යන සමතිස්‌ පෙරුම් පුරා "ඤණත්ථ චරියා, ලෝකත්ථ චර්යා, බුද්ධිචර්යා" සම්පූර්ණ කරමින්.

මනෝපුණිධාය වග්පුණිදාය යනුවෙන් හඳුන්වන මනසින් හා වචනයෙන් සොළසා සංඛ්‍ය කල්ප ලක්‍ෂයක්‌ තුළ බුදුවරු පන්ලක්‍ෂ දොළොස්‌ දාහක්‌ දැක වැඳ සිතින් හා වචනයෙන් බුදු බව පතා ඇත. මේ පාරමී ගුණ සම්පූර්ණ කිරීමෙන් පසු තුසිත දෙව්ලොව, ඉපිද ඇත.

මින් චුත වූ බෝසතාණෝ කපිලවස්‌තු පුරවරයේ සුද්ධෝදන රජුගේ බිසව වු මහාමායා දේවියගේ කුස පිළිසිඳ ගත්හ. මෙය සිදු වුයේ ද ඇසළ පොහෝ දිනකය. අවුරුදු 29 තෙක්‌ ගිහි සැප විඳ සතර පෙර නිමිති දැක කලකිරී ගිහි ගෙයින් නික්‌ම කිංකුසලගවේශි වු ප්‍රවෘඡ්ජා භූමියට පිවිසියහ. මෙතැන් පටන් බුදු බව පතා දුෂ්කර ක්‍රියාකොට අත්ථ කිලමතානුයෝගය හා කාමසුඛල්ලිකානුයෝගය යන අන්ත දෙක අතහැර මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරමින් සුජාතා දේවිය පිදු කිරිපිඬු වළ¹ වෙසක්‌ පුන් පෝ දින ඇසතු වෘක්‍ෂ මූලයේදී කෙළෙසුන් නසා චතුරාර්ය සත්‍යාවබෝධය ලැබූහ. (බුද්ධත්වයට පත්වූහ)

උන්වහන්සේ අවබෝධ කරගත් මේ ගැඹුරු දහම පළමුව දේශනා කිරීමට ආලාර කාලාම, උද්දකාරාම පුත්‍ර යන තවුසන් ගැන සොයා බැලූහ. මේ දෙපළ කලුරිය කොට ඇති බැවිනි. දුෂ්කර ක්‍රියා සමයේ උපකාර කළ පස්‌වග තවුසන් සුදුසුයයි තීරණය කළහ. මොවුන් බරණැස ඉසිපතනේ සිටින බව දැනගත් බුදු හිමි බරණැස ඉසිපතනයට වැඩම කළහ. බුදුන්වහන්සේගේ වැඩමවීම පස්‌වග තවුසන් දුටහ. ඔවුන් කතිකාවක්‌ ඇති කර ගත්හ. බුදු බව ලබා ගැනීමට නොහැකිව බෝසතාණෝ නැවත අපව සොයා එන බවත් ඒ නිසා හුනස්‌නෙන් නැගී සිටීමවත් ඉදිරියට ගොස්‌ පාත්‍රා, සිවුරු නොගැනීමටත් වැඳුම් පිඳුම් නොකිරීමටත් ගත් ඒ තීරණයයි.

නමුත් බුදුහිමි ළංවත්ම ඒ සියලු තීරණ වෙනස්‌ විය. පස්‌දෙනාම පෙරගමන් කොට බුදුන් වහන්සේට වැඳ නමස්‌කාර කර පිළිගත්හ. උන්වහන්සේ වැඩම කළ කාරණය පැහැදිලි කළහ. ඔවුහු බලවත් සතුටට පත් වූහ.

බරණැස ඉසිපතන මිගදාය සිත්කළු පරිසරයකි, කෙළිදෙළෙන් නිදහසේ ඔබ මොබ හැසිරෙන මුව පැටව් නෙතට ගතට සුවයකි. විවිධ පක්‍ෂින්ගේ කන්කළු නාදය වීණාවකින් වැයෙන මියුරු රාවය මෙනි. හාත්පස ගලායන දිය ඇළි, ඵල මලින් පිරුණු තුරුලතා, කඳු බෑවුම් විචිත්‍රවත් වුයේ බුදුහිමි ඇසුරු කළ ඇළුම් කළ, සොබා දහමද ධම්සක්‌ පැවතුම් සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සූදානම් යයි පවසන්නාක්‌ මෙනි.

මේ සොඳුරු වන පෙත මැද පනවන ලද ධර්මාසනය මත බුදුහිමි වැඩ වෙසෙමින් පස්‌වග තවුසන් ප්‍රධාන රැස්‌ වූ දහඅට කෝටියක්‌ දෙව් බඹුන් අමතා "තත්‍ර ඛෝ භගවා පංච වග්ගියේ භික්‌ඛු ආමන්තෙසි" යනුවෙන් පටන් ගෙන දම්සක්‌ පැවතුම් සුත්‍ර දේශනාව පටන්ගත්හ. මෙය ගැඹුරු දහමකි. බුදු දහමේ සැබෑ හරය මෙහි අන්තර්ගතය. චතුරාර්ය සත්‍ය ඇතුළු දහම් කරුණු රාශියකි. බුදු දහමේ ඉගැන් වෙන ගැඹුරු දර්ශනයට මෙය මූලික වූ සාධකයකි.

පැවිද්දන් විසින් සේවනය නොකළ යුතු අන්ත දෙකකි. පෘථග්ජනයන් විසින් සේවනය කරන හීන වූ, ග්‍රාම්‍ය වූ අනාර්ය වූ, කාමසුඛල්ලිකානු යෝගයත් අත්ථකිලමතානු යෝගයත්ය. කාම සුඛල්ලිකානු යෝගය නම් වස්‌තුකාම, කෙළෙස්‌කාම පිළිබඳ අප තුළ පවතින තෘෂ්ණාවයි ආශාවයි. මේ කාමයන් ෂඩ් විධ වේ. රූප, සද්ද, ගන්ධ, රස, පොට්‌ඨම්බ, දම්ම යනුවෙනි. ස්‌ත්‍රී පුරුෂ, ධනධාන්‍ය සියලුදේ වස්‌තුකාමයන්ය. මේ වස්‌තුන් පිළිබඳ සත්ත්වයාට උපදින ආශාව කෙළෙස්‌ කාමයයි. දෙයාකාර වූ මේ කාමයන්හි යමෙක්‌ ඇලී ගැලී වාසය කරයි නම් එය කාම සුඛල්ලිකානුයෝගයයි.

අත්ථකිලමතානු යෝගය නම් ශරීරයට දුක්‌ දීමයි. එදා දඹදිව විමුක්‌තිය පතා බෝහෝ දෙනෙක්‌ ශරීරයට දුක්‌ගෙන දුන් ව්‍රත ක්‍රම අනුගමනය කළහ. අධික ශීතලේ සිටීම, ගිනි තැපීම, ගිනි මත ඇවිඳීම, ඇණ, කටු මත නිදාගැනීම, වැනි වැරදි ව්‍රත ක්‍රම ශරීරයට පීඩාවකි. ඒ අන්තය අත්ථකිලමතානුයෝගයයි.

බුදුහිමි මේ ගැන දම්සක්‌ පැවතුම් සූත්‍ර දේශනාවේදී හඳුන්වන්නේ මේ අයුරිනි. 

"ථෙමේ භික්‌ඛවේ අන්තා පබ්බජිතෙන සේවිතබ්බා යෝචායං කාමේසු කාම සුඛල්ලිකානු යෝගෝ හීනෝ ගම්මො පොතුඡ්ජනිකෝa අනරියෝ අනත්ථ 

සංහිතෝ යොචායං අත්ථකිලමතානු යෝගො දුක්‌ඛෝ අනරියෝ අනත්ථ සංහිතෝ ඒතෙතෙ භික්‌ඛවේ උභෝ අන්තේ අනුප ගම්ම මඡ්ජිම පටිපදා තථාගතෝ අභිසම් බුද්ධා චක්‌ඛුකරණි උපසමාය අභිඤ්ඤය සම්බෝධාය නිබ්බානාය සංවත්තති, යනුවෙනි.

මින් පසු බුදුහිමි මහණෙනි මේ අන්ත දෙකහැර, නුවණැස පිරිසිදුකරන ඥානය පහළ කරන කෙලෙස්‌ දුරු කරන විශ්වඥාණය පිණිස නිර්වාණය පිණිස හේතු වන මධ්‍යම ප්‍රතිපදාව මා විසින් අවබෝධ කරගනිමි. 

කත මා වසා භික්‌ඛවේ මඡ්Cධිමා පටිපදා තථාගතේන අභිසම් බුද්ධා චක්‌ඛුකරණී ඤාණකරණී උපසමාය අභිඤාඤාය සම්බෝධාය නිබ්බාණාය සංවත්තති. අය මේව අරියෝ අට්‌ඨංගිඛො මගෙගා යනුවෙනි. 

මධ්‍යම ප්‍රතිපදා වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය විස්‌තර කර දුනි.

සම්මා දිට්‌ඨි, සම්මා සංකප්ප, සම්මවාචා, සම්මා කම්මන්ත, සම්මාආජීව, සම්මා වායාම,සම්මා සති, සම්මා සාමාධි යන මේ අංග අට තණ්‌හාව නැතිකර නිවන ලබා ගැනීම පිණිස හේතු වන බවත් හැම පුද්ගලයකු විසින්ම මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩිය යුතු බවත් ඉන් අවධානය කෙරෙණි.

මේ ආදි වශයෙන් දම්සක්‌ පැවතුම් සූත්‍ර දේශනාව අවසානයේදී කොණ්‌ඩඤ්ඤ තාපසතුමා, චතුසත්‍යාව බෝධය ලබාගත්හ. බුදු හිමි ඒ බව ප්‍රිති වාක්‍යකින් මෙසේ ප්‍රකාශ කළහ.

අඤ්ඤාසි වතභෝ කොණ්‌ඩඤ්ඤො අඤ්ඤාන වතභෝ කොණ්‌ඩඤෙඤ්ති ඉති හිදං ආයස්‌මතෝ කොණ්‌ඩඤ්ඤස්‌ස අඤ්ඤා කොණ්‌ඩඤේඤෙFවව නාමං අහෝසිති යනුවෙනි. මින් පසු අඤ්ඤා කොණ්‌ඩඤ්ඤය නම් විය.

රැළපනාවේ ධම්ම ජෝති හිමි
අනුරාධපුර ලංකා රාමාධිකාරි
උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක
2013 ජූලි 21 සඳුදා දිවයින

භාග්‍යවතුන් වහන්සේ, සක්වල සහ අපි -(දෙවන කොටස)

නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස, දසබල ධරස්ස, චතු වේසාරජ්ජ විසාරදස්ස, සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුණෝ සම්මා සම්බුද්ධස්ස.!..!!…!!!. 
 කංඛාවිතරණී- නිරයට හෙලනු හැකි සැක දුරු කරනු යහපති 
තිලොවට තිලක වූ භාග්‍යවත් අරහත් තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ සරණ නොලැබෙන්නට ස්වකීය සෘද්ධියෙන් දහසක් සක්වල සත්ත්වයන් දකින්නට තරම් මහා බල ඇති බ්‍රහ්මයෝ සසර දුක් කෙලවර නොදැක අන්ධ වූයේ අසරණ වන්නාහ. කෝටි ලක්ෂයක් සක්වල අපමණ සූර්යයන් සිටියදී අපමණ චන්ද්‍රයන් සිටියදී දුරු නොවූ මහත් අවිද්‍යා අන්ධකාරය නිමවූ අනුත්තරීය ධර්ම චක්‍රය පෙරලූ ඒ බුද්ධ සූර්යයා නොවන්නට මහත් යසස් ඇති ආයු බල ඇති දිව්‍ය රාජයෝ වනාහි ඝෝර සතර අපා දොර නොවැසීම සැපයෙන් මුසපත්ව ප්‍රමාදයට පැමිණෙන්නේ සසරෙහි අසරණ වන්නාහ. දෙවියන්ට දෙවි වූ බම්බුන්ට බඹු වූ සර්වඥතා ඥාන සමන්විත වූ භාග්‍යවතුන් වහන්සේ නොවන්නට උන්වහන්සේගේ ශ්‍රී සද්ධර්මය නොවන්නට ලොවට උතුම් පින් කෙත වූ මහා සංඝ රත්නය නොවන්නට මේ අඳුරු සසරේ ඔබත් මමත් ලබන කවර නම් සරණක්ද? 
 පෙර නූපන් මග ස්වකීය සන්තානයෙහි ඉපදවූ, උපන්නාවූ නිවන් මග තිලොවෙහි පතල කල ඒ සම්මා සම්බුදු රජාණන් වනසේගේ මහත් ගුණ මහත් බව අනන්ත බව දන්නා බැවින්ම භාග්‍යවතුන් වහන්සේගේ සසුන් ලය මඩලෙහි උපන්, භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම නමැති මුව මඩලෙහි උපන්, මහා ප්‍රාඥ වූ, ධම්ම සේනාපති මහෝත්තම මහා සාරිපුත්ත මහා රහතන් වහන්සේ “භගවා” යයි භාග්‍යවතුන් වහන්සේ අමතන්නේ “භගවා” යන වචනය මෙසේ විස්තර කල සේක. 
(ඛුද්දක නිකාය- මහා නිද්දේස පාලිය- සාරිපුත්ත නිද්දේසහි දැක්වෙන පරිදි භාග්‍යවතුන් වහන්සේගේ භගවා ගුණ විස්තරය මෙහි දක්වනු ලැබේ. ශ්‍රද්ධාවෙන් යුතුව එය කියවා ධාරා බොහෝ පින් රැස් කරගනු ලබත්වා!)
භගවා යනු ගාරවධිවචනයයි (අතිශය ගරු කටයුතු බව දක්වන වචනයි). උන්වහන්සේ රාග නැසූ බැවින් භගවා නම් වන සේක. ද්වේශය නැසූ බැවින් භගවා නම් වන සේක. මෝහය නැසූ බැවින් භගවා නම් වන සේක. කෙලෙසුන් නැසූ බැවින්, කෙලෙස් නමැති කටු නැසූ බැවින් භගවා නම් වන සේක. ධර්ම රත්නය උද්දේශ වශයෙන් විභාග කල බැවින් භගවා නම් වන සේක. නිර්දේශ වශයෙන් නානා අයුරින් විභාග කල බැවින් භගවා නම් වන සේක. ප්‍රති නිර්දේශ වශයෙන් අනේකප්‍රකාරයෙන් විභාග කල බැවින් භගවා නම් වන සේක. කාම, රූප, අරූප භාවයන් කෙලවර කරන ලද බැවින් භගවා නම් වන සේක. චීවර පිණ්ඩපාත සේනාසන ගිලානප්‍රත්යයන්ට හිමිවූ බැවින් භගවා නම් වන සේක. මිනිසුන් රහිත, දුර ඈත වන සෙනසුන් භාජනය කල බැවින් භගවා නම් වන සේක. කරන ලද කාය භාවනා ඇති බැවින් කරන ලද ශීල භාවනා ඇති බැවින් කරන ලද චිත්ත භාවනා ඇති බැවින් කරන ලද ප්‍රඥා භාවනා ඇති බැවින් භගවා නම් වන සේක. අර්ථ රස, ධර්ම රස,අධි ශීල, අධි චිත්ත, අධි ප්‍රඥාවන් ලබා ඇති බැවින් භගවා නම් වන සේක. සතරක් වූ ධ්‍යානයන්, සතරක් වූ බ්‍රහ්ම විහාරයන්, සතරක් වූ අරූප සමාපත්තීන් භජනය කල බැවින් භගවා නම් වන සේක. අටක් වූ විමොක්ෂයන්, අටක් වූ අභිභායතනයන්, නවයක් වූ අනුපුර්ව විහාර සමාපත්තීන් ඇති බැවින් භගවා නම් වන සේක. භාවිතා කරන ලද බහුලීකත කරන ලද, දශයක් වූ සඥා භාවනාවන්, දශයක් වූ කසිණ සමාපත්තීන්, ආනාපානසති සමාපත්තිය, අසුභ සමමාපත්තිය ඇති බැවින් භගවා නම් වන සේක. සතරක් වූ සතිපට්ඨානයන්ට, සතරක් වූ සෘද්ධි පාදයන්ට, සතරක් වූ සම්මප්පධානයන්ට, පංච ඉන්ද්‍රියයන්ට, පංච බලයන්ට , සප්ත බෝධි අංගයන්ට, අනුත්තරීය වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයට හිමි වූ බැවින්,.. මේ උතුම් බෝධිපාක්ෂික ධර්මයන් භාජනය කරන ලද බැවින් භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන්ම “භගවා” නම් වන සේක. භගවා යන මේ නාමය මව විසින් කරන ලද්දක් නොවේ. පියා විසින් කරන ලද්දක් නොවේ. නෑයන් සහ ලේ නෑයන් විසින් කරන ලද්දක් නොවේ. දෙවියන් විසින් කරන ලද්දක් නොවේ. භගවා යන මේ උත්තම නාමය බෝධි මූලයහි දී සකල ක්ලේශයන් නසා සම්මා සම්බුද්ධත්වය ලබන අරහත් සම්මා සම්බුදු වරයන්ගේ සර්වඥතා ඥාන ප්‍රතිවෙධයෙන් පන නගින ප්‍රඥප්තියකි (හැඳින්වීමකි).
 ලෝකවිදු වූ ඒ භාග්‍යවතුන් වහන්සේගේ ආඥා ක්ෂේත්‍රය වනාහි මහා සහස්සී ලෝක ධාතුවයි. එනම් කෝටි ලක්ෂයක් සක්වලයි. කෝටි ලක්ෂයක් සක්වලට අති දුලබව පහල වන ඒ බුද්ධ සූර්යයාගේ ධර්ම නමැති ආලෝකය දකිමින්ම සැනහෙන අපි දහම් ගෞරවයෙන්ම බුදු ඇසින් දුටු ඒ සක්වල තතු අසා ධාරා දහම් මග යමු. 
පෙර ලිපියෙන් ආරම්භ කරන ලද “භාග්‍යවතුන් වහන්සේ සක්වල සහ අපි” යන ලිපි පෙළෙහි මීළඟ ලිපියට පූර්විකාවක් වශයෙන් මෙම ලිපිය සැකසෙයි. ලිපියෙහි කරුණු වලට පෙර සඳහන් කල යුත්තක් ඇත. අප මෙම ලිපි පෙළ ලියන්නේ සක්වල පිලිබඳ බොහෝ දෙනාට ඇති කුතුහලය සංසිඳවීමට හෝ ඒ ඇසුරින් තර්ක විතර්ක කිරීමට නොවේ. ඉතා විසිතුරු කරුණු වලින් ගහන මෙවන් දහම් කරුණු වලින් ඔබ තුල පළමුව ඇති විය යුත්තේ අපගේ ශාස්තෘ වූ භාග්‍යවතුන් වහන්සේ පිලිබඳ, උන්වහන්සේගේ අසිරිමත් ඥාන බලය පිළිබඳව නොසෙල්වෙන ශ්‍රද්ධාවකි. දෙවනුව මේ ඝෝර භයංකර සසර ගමනින් මිදී දහම් මග යාමට නිවන් මග යාමට වීර්යයකි. නැතහොත් ඔබේ පුහුදුන් කෙලෙස් පිරි හිසින් කරන තර්ක විතර්ක වාදයෙන් ඔබටත් අන්‍යයන්ටත් වන සෙතක් නොවනු ඇත. භාග්‍යවතුන් වහන්සේ ශාස්තෘ වන සේක. අපි ශ්‍රාවකයෝ වෙමු. උන්වහන්සේ දනිති, දකිති. අපි නොදනිමු. නොදන්නා නොදක්නා අප දන්නා දක්නා භාග්‍යවතුන් වහන්සේ සරණ යමු. 
ප්‍රවේශයක් වශයෙන් ඉහත බුද්ධ ගුණ විස්තරය දක්වන ලද්දේ හේතුවක් සහිතවය. ත්‍රිපිටකය සහ අට්ටකථාව ඇසුරින් සැකසෙන මෙම ලිපි පිළිබඳව ඉදිරිපත් කෙරෙන ප්‍රතිචාර අනුව පෙනී යන්නේ ත්‍රිපිටකය සහ අට්ටකථාව ගැන නිරවුල් අවබෝධයක් බොහෝ දෙනාට නොමැති බවයි. පළමුව මේ ගැන මදක් විමසා බලමු. පසුගිය ලිපියෙහි සඳහන් කරන ලද සක්වල ලෝක ධාතු විස්තර ඇතුලත් “චූලනිකා සූත්‍රය” භාග්‍යවතුන් වහන්සේ විසින් මහෝත්තම වූ ධම්ම භාණ්ඩාගාරික ආනන්ද තෙරුන් වහන්සේ විසින් අසන ලද පැනයක් අරභයා දේශනා කරන ලද්දකි. මෙම චූලනිකා සූත්‍රයට හේතු වූ ප්‍රශ්නය ආනන්ද තෙරුන් වහන්සේ වෙත පන නගින්නේ භාග්‍යවතුන් වහන්සේ විසින් ඊට පෙර දේශනා කරන ලද “අරුණවතී සූත්‍රය” ඇසුරිනි. අරුණවතී සූත්‍රය වනාහි සිඛී භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ සහ උන්වහන්සේගේ අග්‍ර ශ්‍රාවක වූ “අභිභූ” මහා රහතන් වහන්සේ විසින් බ්‍රහ්ම ලෝකයට වැඩම කොට බ්‍රහ්මයන් දමනය කිරීම පිලිබඳ අපගේ භාග්‍යවතුන් වහන්සේ විසින් කරන ලද අතීත ප්‍රවෘත්තිය ගෙන හැර දැක්වීමකි. 
භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද අසිරිමත් දේශනා වලින් ත්‍රිපිටක ශ්‍රී සද්ධර්මය සමන්විත බව අපි දනිමු. භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම දේශනාව “සාමුක්කංසික ධර්ම දේශනය” නම් වෙයි. ඒ සම්මා සම්බුදු රජාණන් වහන්සේලාගේ අනුත්තරීය වූ “අනුශාසනා ප්‍රතිහාර්යයි”. මෙම සාමුක්කංසික ධර්ම දේශනය සර්වඥයන් වහන්සේට පමණක්ම සාධාරණ දේශනයයි. භාග්‍යවතුන් වහන්සේගේ මෙම සාමුක්කංසික ධර්ම දේශනය කිසිදු ශ්‍රාවකයකුට පැවැත්විය නොහැකිය. සර්වඥතා ඥානය, ෂඩ් අසාධාරණ බුද්ධ ඥාණයන්, සම්මා සම්බුද්ධ දශ තථාගත ඥාණ බලයන්, දෙතිස් මහා පුරුෂ ලක්ෂණ, අනු ව්‍යංජන ලක්ෂණ ආදී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ගුණයන් බලයන් නිසාම කළහැකි මෙම සාමුක්කංසික ධර්ම දේශනය වනාහි දාන කතා ශීල කතා ආදී අනුපිළිවෙලින් පටන්ගෙන විස්මිත වූ සර්වඥතා ඥානයෙන් බලා ධර්ම ශ්‍රවණය කරන සකල සත්ත්වයන් අනුව ඒ ඒ සත්ත්වයන්ගේ ඉන්ද්‍රිය ධර්ම බලධර්ම වැදී ඇති බව අනුව අවසානයේ චතුරාර්ය සත්‍ය දේශනාවෙන් කෙලවර වන අති දීර්ඝ දේශනාවකි. භාග්‍යවතුන් වහන්සේ සාරාසංඛ කල්ප ලක්ෂයක් පාරමී පුරා සම්මා සම්බුද්ධත්වයට පත වූයේද මේ උතුම් අනුශාසනා ප්‍රාතිහාරයයෙන් සත්ත්වය සුවපත් කිරීමටය. භාග්‍යවතුන් වහන්සේ විසින් සිදු කරනු ලබන සාමාන්‍ය අනුමෝදනා දේශනය පවා අංගුත්තර සංයුක්ත නිකාය දෙක තරම් ඇති දීර්ඝ දේශනයකි. ඇති සුන්දර වූ බ්‍රහ්ම ස්වරය සහිත භාග්‍යවතුන් වහන්සේගේ මෙම අසමසම දේශන ශක්තිය ශ්‍රාවකයන්ට සාධාරණ නොවේ. 
අප කෙරෙහි මහා කරුණා ඇති භාග්‍යවතුන් වහන්සේ සද්ධර්මයෙහි චිරස්ථිතිය උදෙසා ඒ ඒ දිනයන්හි තමන් වහන්සේ කරනු ලබන දේශනාවන් බුද්ධ ඥානයෙන්ම සලකා අතිශය සංක්ෂේප වශයෙන් සාරය ගෙන මහෝත්තම වූ ධර්මභාණ්ඩාගාරික ආනන්ද මහරහතන් වහන්සේට දේශනා කරන සේක. ත්‍රිපිටකය යනු භාග්‍යවතුන් වහන්සේ විසින්ම කරන ලද ඒ සද්ධර්මයෙහි අතිශය සංක්ෂිප්ත සාරයයි. තවද භාග්‍යවතුන් වහන්සේ විසින් ආනන්ද මහරහතන් වහන්සේට කරන ලද එම දේශනාවන්හිම මූලික අර්ථ විස්තර සහිත දේශනාව “මහාඅට්ටකථාව” නම් වෙයි. පළමු දෙවන සහ තෙවන ධර්ම සංගායනා වන්හි සංග්‍රහ කර ආරක්ෂා කරනු පිණිස වෙනස් නොකරනු පිණිස කටයුතු යොදන ලද්දේ මෙම ත්‍රිපිටකය සහ අට්ටකථාවයි. අප කෙරෙහිම වූ මහත් අනුකම්පාවෙන් අදවන් පොසොන් පොහෝ දිනක ලක්දිවට වැඩම කල මිහිඳු මහා රහතන් වහන්සේ විසින් ගෙන එන ලද්දේද එම ත්‍රිපිටකය සහ අට්ටකථාවයි. මහාවංශයේ තිස්හත් වන පරිච්චේදයෙහි, 228 වන ගාථාවෙහි පැහැදිලිව සඳහන් පරිදි ඉහත සඳහන් කරන ලද මහාඅට්ටකථාව ඇසුරින් සිංහල අට්ටකථා සම්පාදනය කරන ලද්දේද උතුම් වූ සිවුපිළිසිඹියාපත් මහා රහතන් වහන්සේ නමක් වූ මිහිඳු මහරහතන් වහන්සේ විසින්මය. අප විසින් අද භාවිතා කරන අට්ටකථා ග්‍රන්ථ වනාහි මිහිඳු මහා රහතන් වහන්සේ විසින් කරන ලද සිංහල අට්ටකථාව අනුව පාලියෙන් ලියන ලද සද්ධර්ම ග්‍රන්ථ සමූහයයි. එම ග්‍රන්ථ අතිශය ගෞරවාර්හ බුද්ධඝෝෂ හිමියන් ඇතුළු අටුවාචාරීන් වහන්සේලා විසින් ස්ව මතයන් ඇතුලත් කොට සකසන ලද්දක නොවේ. වෙනස් නොකොට, පැවති ග්‍රන්ථ ඒ ආකාරයෙන්ම පාලියට නගන ලද අතර මහා තෙර වරුන්ගේ දැඩි අධීක්ෂණය යටතේම මෙම කටයුතු සිදු වී ඇත. 
පිටු දස දහස ගණනකින් යුත් මෙම අට්ටකථා ග්‍රන්ථ නිසි ගෞරවයෙන් පරිශීලනය නොකොට ඒ ගැන කෙලෙස් පිරුණු පුහු පණ්ඩිතමානී සිතින් දොස් පවරමින් බොහෝ දෙනා කරන විග්‍රහයන් පිලිබඳ ඇතිවන්නේ කණගාටුවකි. සමහර භික්ෂූන් වහන්සේලා පවා ත්‍රිපිටකයෙහි අට්ටකතාවෙහි කොටස් වෙන කරමින්, ප්‍රතික්ෂේප කරමින් කරනු හානිය සුළුපටු නොවේ. බටහිර අධ්‍යාපන ක්‍රමයෙන් වල්මත්වී විශ්ව විද්‍යාල වල අධ්‍යයනාංශ වලින් මතු කෙරෙන විවිධ තර්ක විතර්ක වලට යටවී ධර්මයෙහි අව්‍යක්ත, අවිනීත, විශාරද නොවූ, අල්පශ්‍රැත වූ, ධර්මධර නොවූ, ධම්මානුධම්ම පටිපන්න නොවූ, කෙලෙස් පිරුණු සිත වලින් ගෙන එන මතයන්ට යට වී ඔබත් මමත් ලැබූ මේ ධර්ම දායාදය අහිමි කර ගැනීමට තරම් අපි අනුවණයෝ නොවෙමු. 
අප බොහෝ දෙනා පංචානන්තර්ය පාප කාර්ම ගැන අසා ඇත්තෙමු. ඒකායන වශයෙන් නිරයෙහි ඉපදීමට සිදුවන මහා පාපයන් ලෙස ඒ ගැන අපි දහමින් උගෙන ඇත. නමුත් අවාසනාවටදෝ ධර්මරත්නය අවලංගු කිරීම, භාග්‍යවතුන් වහන්සේට සහ ධර්මරත්නය කෙරෙහි වරදවා පිළිපැදීම, නිගරු කිරීම, ධර්මය සවකීය මතය පරිදි වරදවා කීම ආදී කර්ම හේතුවෙන් නිරයේ උපදින බව බොහෝ දෙනා දන්නේ නැත. පෙර බුදු සසුනක සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමකට නිගරු ලෙස කථා කිරීම හේතුවෙන් පින් කල නමුත් නිරයෙහි ඉපිද බොහෝ කල දුක් විඳ නැවත “කපිල” නම් රන් වන සිරුරු ඇති මහා මත්සයෙක් විය. අප භාග්‍යවතුන් වහන්සේගේ සමයෙහි ධීවර නැවක දලට අසු වන මේ මහා රන් වන් මත්ස්‍යයා රජුට පෙන්වීම පිණිස ධීවරයන් විසින් නව පිටින්ම නුවරට ගෙන එන්නේය. කොසොල් රජු විසින් මේ ගැන භාග්‍යවතුන් වහන්සේට දන්වා සිටින්නේ මත්ස්‍යයා අමතන් භාග්‍යවතුන් වහන්සේ නැවත කොහි නම් උපදින්නේදැයි අසන්නේ සම්මා සම්බුදු වරුනට නිගා කරන ලද බැවින් නැවත නිරහිම උපදින බව දක්වයි. තිසරයෙහි පිහිට ලබා සැනසෙනු, සියලු දුකින් මිදෙනු හැකිවාක් මෙන්ම වරදවා පිළිපැදීම නිසා අනන්ත වාර ගණනින් නැවත නැවත නිරයෙහි ඉපදීමට සිදුවන බොහෝ බරපතල පවුකම් රැස් වෙයි. එනිසා තිසරණ සරණ ගිය අප සැම මහත් ගෞරවයෙන් යුතුව කටයුතු කල යුතුය. 
මිහිඳු මහා රහතන් වහන්සේ අප රටට වැඩම කල පොසොන් පොහෝ දිනයෙහි උන්වහන්සේටත් භාග්‍යවතුන් වහන්සේටත් කරන ඉහලම ගෞරවයක් වන්නේ ත්‍රිපිටකය සහ අට්ටකථා ව කෙරෙහි මහත් ධර්ම ගෞරවය ඇතිකොටගෙන ශ්‍රධාවෙන් සහ වීර්යයෙන් ධර්මය උගෙන ධර්මය දරා වචනයෙන් පුහුණු කොට අරුත දැනගෙන නුවනින් විමසා නිවන් මග පියවර මැනීමයි. ධර්මය කෙරෙහි සැක ඉපදවීමත් නිගරු කිරීමත් ඔබ විසින්ම ඔබ නිරයට විවර කර ගැනීමකි. 

තෙරුවන් සරණයි!!! 

සසිත් රාජසූරිය. 
July 22, 2013 at 12:01 am | lanka C news 

සාංඝික කිරීම පිළිබඳ නිවැරැදි පිළිවෙල...


වර්තමානයෙහි ලංකාවේ බෞද්ධයන් බොහෝ දෙනා බහුල ලෙස සිදුකරන පිංකමක්‌ වනුයේ සඟසතු දානයයි. 'සාංඝික' යන වචනය කනවැකෙත්ම බොහෝ දෙනා සිතනුයේ භික්‌ෂුන් වහන්සේලා නිවසට වැඩම කරවා සිදුකරනු ලබන ආහාර පූජාව හා සම්බන්ධ සකල විධ ක්‍රියාකලාපයයි. එනිසාම එය කටවහරේදී සාංඝිකය යෑයි භාවිත කරයි. 'හෙට අප ගෙදර සාංඝිකයක්‌ තිබෙනවා' යෑයි කෙනකු ප්‍රකාශ කළහොත් අසන්නා නිසැකවම එයින් තේරුම් ගනු ලබන්නේ ඉහත කී අර්ථයයි. මේ වනාහි වචනාර්ථය පටු කොට ගැනීමකි. සාංඝික යන්නෙහි අර්ථවත් වන්නේ සංඝයාට අයත් යන්නයි. සංඝයා අයත් දැ ආහාර පමණක්‌ම ද ? නැත සාංඝික කොට පූජා කරන ලද විනයානුකූලව භික්‌ෂුන්ට කැපසරුප් සියලු දැ ඊට අයත් වේ.

මෙහිදී අප සලකා බලනුයේ මෙම සාංඝික කිරීම හෙවත් සංඝයා සතුකොට යමක්‌ පූජා කිරීමට භික්‌ෂුන් වහන්සේලා කොපමණ සංඛ්‍යාවක්‌ සිටිය යුතුද? යන්නට පිළිතුරක්‌ සපයා ගැනීමයි. මන්ද යත් වර්තමානයේ සමහර ගිහි බෞද්ධ ජනතාව මෙන්ම භික්‌ෂුන් වහන්සේලා ද මෙරට වැඩිපුරම සඟසතුව කෙරෙන පූජාව වන දානමය පිංකම (ආහාර) සම්බන්ධ ක්‍රියාවලියට උපසම්පදාව ලත් භික්‌ෂුන් වහන්සේලා හතර නමක්‌ අනිවාර්යයෙන් සිටිය යුතුය යන අදහසක්‌ පිළිගෙන ප්‍රකාශ කරන නිසාය.

මෙම මතයේ සත්‍යාසත්‍යතාව පරීක්‌ෂා කිරීම සඳහා ත්‍රිපිටක දහම උපයෝගී කරගත යුතුය. ඒ අනුසාරයෙන් මෙහි ඇත්ත කුමක්‌ දැයි තේරුම් ගැනීම මෙහිලා අපේක්‌ෂිත වේ. බුදුරජාණන් වහන්සේ ජීවමාන අවධියේදී බොහෝදුරට දායක පක්‌ෂය විසින් සාංඝිකව පූජා කළේ සිවුරු හෝ සිවුරු සඳහා වස්‌ත්‍රය. ආහාර පාන මෙකල මෙන් සඟ සතු කිරීමේ ක්‍රියාවලියක්‌ එකල එතරම්ම ජනප්‍රියව තිබීනැති බව ද පෙනී යයි. බොහෝ ධනවතුන් තම හැකියාව පරිදි මහ දන් පිරිනමා තිබේ. වැඩිපුරම භික්‌ෂු මහා සංඝයා පිණ්‌ඩපාතිකව යෑපී ඇති බව ත්‍රිපිටක සාහිත්‍ය පරිශීලනයේදී පෙනී යයි. එහෙයින් එකල චීවර පූජාව හා සම්බන්ධව තිබෙන කථා ප්‍රවෘත්ති අනුව මේ පිළිබඳව නිගමනයකට එළඹීම කළ හැකිය.

මහා වග්ග පාලි නම් විනය ග්‍රන්ථයේ චීවරක්‌ඛන්ධකයේ 'තෙන ඛෝ පනසමයේන අඤ්ඤතරෝ භික්‌ඛු ඒකෝ වස්‌සං වසි තFථ මනුස්‌සා සංඝස්‌ස දේමාති චීවරානි අදංසු... තේන ඛෝ පන සමයේන අඤ්ඤතරෝ භික්‌ඛු උතුකාලං ඒකෝ වසි තFථ මනුස්‌ස සංඝස්‌ස දේමාති චීවරානි අදංසු... තේන ඛෝ පන සමයේනතයෝ භික්‌ඛු රාජගහේ වස්‌සං වසJති තFථ මනුස්‌සා සංඝස්‌ස දේමාති චීවරානි දෙන්ති' යනුවෙන් භික්‌ෂුන් වහන්සේ එක නමක්‌ විසූ නැතත්, දෙනමක්‌ විසූ තැනත්, සංඝයාට දෙමුයි (සංඝස්‌ස දේමාති) දායකයෝ චීවර පූජා කළ බව සඳහන් වේ. බුදුරජාණන් වහන්සේ ඒවා සංඝික නොවේ යෑයි වදාළේ නැත. ආහාරය දවසේ උදැසන වරුව තුළ පරිභෝජනය කරන (යාව කාලික) දෙයකි. චීවරය වනාහි එබන්දක්‌ නොවේ. එහෙයින් චීවරය හා සම්බන්ධව ද නොපැනවූ සම්මුතියක්‌ ආහාරය සම්බන්ධව පැනවීමට ඉඩක්‌ නැති බව පෙනී යයි. හැරත් විනයානුකූල ක්‍රියාවලට වැඩිපුරම බඳුන්වන්නේ චීවරය බව අමුතුවෙන් කිව යුතු නොවේ. එහෙයින් චීවරය පිළිගැනීම හා සම්බන්ධයෙන් නොපැනවූ සංඛ්‍යා නියමයක්‌ ආහාර පිළිගැනීම සම්බන්ධව කිසිසේත් පනවනු ඇතැයි සිතිය නොහැකිය.

මෙම හතර නමක්‌ අවශ්‍ය යෑයි පිළිගැනීමක්‌ ඇති වන්නට හේතුව භික්‌ෂුන් වහන්සේ හා සම්බන්ධ විනය කරුණුවලදී ඊට අදාළ අවම ඝන පූරණය හතර නමක්‌ වීම නිසා බව අනුමාන කළහැක. දානය වනාහි විනය කර්මයක්‌ නොවේ. එහෙයින්ද දන් පූජා කිරීම හා සම්බන්ධව මේ පිළිගැනීම කිසිදු අර්ථයක්‌නැති එකක්‌ බව පෙනී යයි. අපේ ථෙරවාද මහා විහාර භික්‌ෂුන් වහන්සේලා ඉතා දැඩි ලෙස විනයගරුක වූ බව නොරහසකි. ලංකා ඉතිහාසය පුරාමත් ඒ සඳහා සාධක විසිරී පවතී. විනයට දැක්‌වූ එකී අවධානය, ප්‍රමුඛත්වය මතින් ගොස්‌ වැඩි හොඳට දානයක්‌ සඟ සතු කිරීම සඳහාද උපසපන් භික්‌ෂුන් වහන්සේලා හතර නමක්‌ සිටිය යුතු යෑයි සම්මතයක්‌ ජන විඤ්ඤානයට ඇතුළුÊකළා විය හැකිය. නමුත් එහි බුද්ධානුමතියක්‌ නැති බව ඉහත දැක්‌වූ මහාවග්ග පාලි පුවතින් පෙනෙයි.

සාංඝික කිරීම පිළිබඳ මේ පිළිගැනීම එන්නට තවත් සමීප හේතුවක්‌ අපට දන් පලකදී දැකගත හැකිය. එනම් භික්‌ෂුන් වහන්සේ විසින් 'ඉමං' භික්‌ඛං භික්‌ඛු සංඝස්‌ස දේම' යනු දායකයන් ලවා කියවන පූජා කිරීමේ පාඨයයි. මෙය නොකියවුවහොත් දානය සාංඝික නොවන බව බොහෝ දෙනාගේ පිළිගැනීම වන තරමටම ප්‍රබලව ඇත. ඇරත් මෙම වාක්‍යය උපසම්පදා භික්‌ෂුන් වහන්සේ නමක්‌ම කියවිය යුතු බව සමහර භික්‌ෂුන් වහන්සේද පිළිගනී. ඒ වනාහි මෙහි අර්ථය වටහා නොගැනීමෙන් උපන් වැරැදි අදහසකි. එම පාඨයෙන් කියවෙනුයේ 'මෙම දානය භික්‌ෂු සංඝයාට පූජා කරමි' යන්නෙන් මෙය දායකයා නොදන්නා නිසා භික්‌ෂුන් වහන්සේ විසින් කියවන්නකි. භික්‌ෂුන්ට දානය පිළිගැනීමට විනා පූජාකරවා ගැනීමට අයිතියක්‌ විනයානුකූලව නැත. එලෙස දානය පූජා කිරීම හෝ නොකිරීම දායකයන්ගේ කාර්යයකි.

මෙකරුණින්ද දන්පූජා කිරීම භික්‌ෂුන් හතර නමකගේ වැඩක්‌ නොව දායකයන්ගේ ක්‍රියාවක්‌ බව පැහැදිලිය. තවද ඉන්දියාවේ මධ්‍ය දේශයේ එකල භික්‌ෂුන් දහස්‌ ගණනින් වැඩ සිටි අතර මධ්‍ය දේශයෙන් පිටත මෙම තත්ත්වය මීට හාත්පසින්ම වෙනස්‌වූ බව පෙනෙන්නේ උපසම්පදා විනය කර්මයකට භික්‌ෂුන් දහ නමක්‌ සොයා ගැනීමට දුෂ්කර වූ අස්‌ථාවක්‌ පිළිබඳ එන විනය පිටකාගත වාර්තාවකිනි. එනිසාම තථාගතයන් වහන්සේ මධ්‍ය දේශයෙන් පිටත උපසම්පදා විනය කර්මයක්‌ සිදුකිරීමට භික්‌ෂුන් පස්‌ නමක්‌ ප්‍රමාණවත් කොට ශික්‌ෂා පද සංශෝධනය කර වදාළහ. තථාගතයන් වහන්සේ ශාසනයේ ජීවය බඳුවූ උපසම්පදාව වැනි වැදගත් විනය කර්මයකටත් බුරුලක්‌ දුන්නේ භික්‌ෂුන්ගේ හිඟකම නිසාය. නමුත් විනය කර්මයක්‌ නොවන දානමය පූජාවකට උපසම්පන්න භික්‌ෂුන් වහන්සේ හතර නමක්‌ අවශ්‍ය යෑයි පැනවීමක්‌ කළහොත් භික්‌ෂුන් වහන්සේලා හිඟ ප්‍රදේශවල සැදැහැතියකුට දානයක්‌ පූජා කිරීමට අපහසු වනු ඇත. අද අප මේ මතය දරනුයේ ද ලංකාවේ භික්‌ෂුන් වහන්සේලා ගණන පිළිබඳ සිහිය තබාගෙනය. නමුත් එකල තත්ත්වය එසේ aනොවේ. මේ ගැන අපේ රටේ ධර්මධර උතුමන් වහන්සේලා දෙනමකගේ අදහස්‌ද මෙහි දක්‌වන්නේ මෙම මතයේ ඇති සාවද්‍යතාව පෙන්වාදෙනු පිණිසය.

'යමක්‌ සඟ සතුකොට පූජා කිරීම සංඝයාගේ වැඩක්‌ නොවේ. එය දායකයින්ගේ ක්‍රියාවකි. සංඝයාගේ නියෝජිතයන් එහි පෙනී සිටීම පමණක්‌ ඒ සඳහා ප්‍රමාණවත්ය. එම නිසා එක උපසපන් භික්‌ෂුන් වහන්සේ නමක්‌ සිටීම ප්‍රමාණවත් වේ.

හේන්පිටගෙදර ඤාණසීහ නාහිමි, ඛන්ධක විනය පිටුව - 303

'එක භික්‌ෂුවක්‌ දෙනමක්‌ තුන් නමක්‌ ඇති නැත්වලදී සාංඝික කළ චීවර සාංඝික වන්නාක්‌ මෙන් ආහාරපානාදී කිනම් දෙයක්‌ වුවත් සාංඝික කළහොත් සාංඝික වන බව කිව යුතුය. එහි සැක කළ යුත්තක්‌ නැත'

රේරුකානේ චන්දවිමල මහ නාහිමි, ධර්ම විනිශ්චය - පිටුව 56

ඉහතින් දැක්‌වූ සියලු කාරණාවන් විමසා බැලීමේදී දානයක්‌ සාංඝික කිරීම සඳහා උපසපන් භික්‌ෂුන් වහන්සේලා හතර නමක්‌ සිටිය යුතුය යන සම්මතය ථෙරවාදීන්ගේ විනය ගරුකත්වය නිසා ඇතිවූවක්‌ බව සිතිය හැකි අතර එකී කාර්යය උදෙසා උපසම්පන්න එක්‌ නමක්‌ පමණක්‌ සිටීම වුවද ප්‍රමාණවත් බව ද පැහැදිලිව පෙනී යයි.

බෙල්ලන්විල රජමහා විහාරවාසී ශාස්‌ත්‍රපති, 
පූජ්‍ය ඌරුපැලැව්වේ හේමාරාම හිමි

චුතවීම හා ඉපදීම


පොසොන් සඳ උදාවෙමින් තිබෙන මේ පොහෝ දිනයේ සියවස්‌ ගණනක අතීතය සිහිපත් වනවිට ඇතිවන සොම්නස හරිම ප්‍රසන්නයි. චමත්කාරජනකයි. රමණීයයි. සිත්කලුයි. පූජනීයයි. මහා සංස්‌කෘතියක ඇරැඹුම පුදුම සහගතයි. ලාංකික බෞද්ධ චින්තනයේ උදාව. ශ්‍රේෂ්ට දිවි පැවැත්මක මුල්ගලේ ප්‍රතිෂ්ඨාපනයයි. බුද්ධ, ධම්ම, සංඝ යන උතුම් තිසරණය තුළ මුළු ජාතියකටම ස්‌ථාපිතවීමේ මහා අනර්ඝ දුර්ලභ අවස්‌ථාව උදාකරදුන් ඒ පොසොන් පොහොය අදයි.

දඹදිව ධර්මාශෝක මහාධිරාජ්‍යයාණන්ගේ පුත් මිහිඳු මහ රහතන් වහන්සේ අප භාග්‍යවත් තිලෝගුරු ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය රැගෙන ශ්‍රී ලංකාවට වැඩම කළේ අද වගේ දවසක. උන්වහන්සේ ප්‍රථමයෙන්ම චූල්ලහත්ථි පදොaපම සූත්‍රය දේශනා කර දේවානම්පියතිස්‌ස රජතුමා ඇතුළු පිරිස උතුම් තිසරණේ පිහිටෙව්වා. දෙවැනි දිනයේදී රජ මාලිගයේදී උදැසන දන් වළ¹, අවසානයේදී ප්‍රේත වස්‌තුව හා විමාන වස්‌තුව දේශනා කළා. ඊළඟට සංයුක්‌ත නිකායට අයත් සච්ච සංයුක්‌තය දේශනා කළා. රජුගේ අග්‍ර මහේෂිකාව වූ අනුලා බිසව ඇතුළු කාන්තාවන් පන්සියයක්‌ මෙම දේශනාව අවසානයේදී උතුම් සෝතාපන්න තත්ත්වයට පත්වුණා.

පින්වතුනි අද ධර්ම දේශනය ඒ සච්ච සංයුක්‌තය පිළිබඳවයි. ඒ ව ගේම ඒකෙන් තෝරගත් සූත්‍ර දේශනා කීපයක්‌. සංයුත්ත නිකායේ පස්‌වන කොටසේ මහා වර්ගයේ තමයි සච්ච සංයුක්‌තය ඇතුළත්වී තිබෙන්නේ. මෙහි වර්ග වශයෙන් එකොළහක්‌ තිබෙනවා. සූත්‍ර වශයෙන් එකසිය තිස්‌පහක්‌ තිබෙනවා. මෙහි තිබෙන වර්ග තමයි සමාධි වර්ගය, ධම්මචක්‌කපවත්තන වර්ගය, කෝටිගාම වර්ගය, සිංසපාවර්ගය, පාජාත වර්ගය, අභිසමය වර්ගය, ආමකධඤ්ඤ පෙය්‍යාල වර්ගය, දුතිය ආමකධඤ්ඤපෙය්‍යාල වර්ගය, තතීය ආමකධඤ්ඤපෙය්‍යාල වර්ගය, චතුත්ථ ආමකධඤ්ඤපෙය්‍යාල වර්ගය, පඤ්චගති ප්‍යාල වර්ගය කියන වර්ග.

මගේ උත්සාහය පඤ්චගති පෙය්‍යාල වර්ගය පිළිබඳව පැහැදිලි කිරීමටයි. මේ කොටසෙ සූත්‍ර තිහක්‌ තිබෙනවා. මනුස්‌ස චුති, දේවචුති, නිරයචුති, තිරච්ඡානචුති, පෙත්තිචුති කියන සූත්‍ර. ඒ ඒ ලෝකවලින් චුතවෙලා සත්ත්වයන් උපදින ආකාරයයි මේ සූත්‍රවලින් කියවෙන්නේ. මනුස්‌සචුති සූත්‍රවලින් මිනිස්‌ ලෝකෙන් චුතවෙලා උපදින ආකාරය, දේවචුති සූත්‍රවලින් දිව්‍යලෝකයෙන් චුතවෙලා උපදින ආකාරය, නිරයචුති සූත්‍රවලින් නිරයෙන් චුතවෙලා උපදින ආකාරය, තිරච්ඡානචුති සූත්‍රවලින් තිරිසන් ලෝකවලින් චුතවෙලා උපදින ආකාරය, පෙත්තිචුති සූත්‍රවලින් පෙරේත ලෝකවලින් චුතවෙලා උපදින ආකාරය විස්‌තර කෙරෙනවා.

මනුස්‌සචුති සූත්‍ර හයක්‌ තිබෙනවා. ඒ අනුව මනුස්‌සචුති, දුතිය, තතිය, චතුත්ථ, පඤ්චම, ඡට්‌ඨම යනුවෙන් හයක්‌ තිබෙනවා. මනුස්‌ස ලෝකයේ උපදින අයගෙන් චුතවෙන ස්‌වල්පයක්‌ නැවත මනුස්‌ස ලෝකෙම උපදිනවා. බහුතරයක්‌ නිරයේ උපදිනවා. ඒ වගේම මනුස්‌ස ලෝකෙ උපදින අයගෙන් චුතවෙලා ස්‌වල්ප දෙනෙක්‌ මනුස්‌ස ලෝකෙ උපදිනවා. බහුතරයක්‌ තිරිසන් ලෝකෙ උපදිනවා. මනුස්‌ස ලෝකෙ උපදින අයගෙන් ස්‌වල්පයක්‌ මනුස්‌ස ලෝකෙ උපදිනවනා. බහුතරයක්‌ පෙරේත ලෝකෙ උපදිනවා. මනුස්‌ස ලෝකයෙන් චුතවෙන අයගෙන් ස්‌වල්පයක්‌ දිව්‍ය ලෝකෙ උපදිනවා. බහුතරයක්‌ අපායෙ උපදිනවා. ඒ වගේම මනුස්‌ස ලෝකෙ උපදින අයගෙන් සුළු පිරිසක්‌ දිව්‍යලෝකෙ උපදිනවා. බහුතරයක්‌ තිරිසන් ලෝකෙ උපදිනවා. මනුස්‌ස ලෝකෙ උපදින අයගෙන් සුළු පිරිසක්‌ දිව්‍ය ලෝකෙ උපදිනව. බහුතරයක්‌ පෙරේත ලෝකෙ උපදිනවා. මේ ආකාරයෙන් තමයි මනුස්‌ස ලෝකෙ උපදින අයගෙ චුතවීම, ඉපදීම සිදුවෙන්නෙ.

ඊළඟට තිබෙන්නේ දේවචුති සූත්‍ර. ඒ සූත්‍රවලට අනුව දිව්‍ය ලෝකවල දෙවියන්ගෙන් චුතවෙන සුළු පිරිසක්‌ දෙව් ලොවම උපදිනවා. බහුතරයක්‌ උපදින්නෙ නිරයෙ. දිව්‍ය ලෝකෙ උපදින අයගෙන් සුළු පිරිසක්‌ චුතවෙලා දිව්‍ය ලෝකෙම උපදිනවා. බහුතරයක්‌ උපදින්නෙ තිරිසන් ලෝකෙ. දිව්‍ය ලෝකේ උපදින අයගෙන් සුළු පිරිසක්‌ චුතවෙලා දෙව්ලොව උපදිනවා. බහුතරයක්‌ උපදින්නෙ පෙරේත ලෝකෙ. දිව්‍ය ලෝකෙන් චුතවෙන අයගෙන් සුළු පිරිසක්‌ මනුස්‌ස ලෝකෙ උපදිනවා. බහුතරයක්‌ නිරයේ උපදිනවා. දිව්‍ය ලෝකෙන් චුතවෙන අයගෙන් සුළු පිරිසක්‌ මනුස්‌ස ලෝකෙ උපදිනවා. බහුතරයක්‌ තිරිසන් ලෝකෙ උපදිනවා. දිව්‍ය ලෝකෙන් චුතවෙන අයගෙන් සුළු පිරිසක්‌ මනුස්‌ස ලෝකෙ උපදිනව. බහුතරයක්‌ පෙරේත ලෝකෙ උපදිනවා. ඒ විදියටයි දිව්‍ය ලෝකවල දෙවිවරු චුතවෙලා ඒ ඒ තැන්වල උප්පත්තිය ලබන්නෙ.

ඊළඟට නිරයේ උපදින සතුන්ගෙන් සුළු පිරිසක්‌ චුතවෙලා මනුස්‌ස ලෝකෙ උපදිනවා. බහුතරයක්‌ චුතවෙලා උපදින්නෙ නිරයෙමයි. නිරයේ උපදින සතුන්ගෙන් සුළු පිරිසක්‌ මනුස්‌ස ලෝකෙ උපදිනවා. බහුතරයක්‌ තිරිසන් ලෝකෙ උපදිනවා. නිරයේ උපදින සතුන්ගෙන් සුළු පිරිසක්‌ මනුස්‌ස ලෝකෙ උපදිනවා. බහුතරයක්‌ පෙරේත ලෝකෙ උපදිනවා. ඒ වගේම නිරයේ උපදින සතුන්ගෙන් සුළු පිරිසක්‌ දිව්‍ය ලෝකෙ උපදිනවා. බහුතරයක්‌ චුතවෙලා නිරයේම උපදිනවා. නිරයේ උපදින සතුන්ගෙන් සුළු පිරිසක්‌ දිව්‍ය ලෝකෙ උපදිනවා. බහුතරයක්‌ තිරිසන් ලෝකෙ උපදිනව. නිරයේ උපදින සතුන්ගෙන් සුළු පිරිසක්‌ දෙව්ලොව උපදිනවා. බහුතරයක්‌ පෙරේත ලෝකෙ උපදිනවා. ඒ විදියටයි නිරයේ උපදින සතුන්ගේ චුතවීම හා ඉපදීම සිදුවෙන්නේ.

ඊළඟට තිරිසන් ලෝකවල උපදින සතුන් පිළිබඳව අපිට දැනගන්නට පුළුවන්. තිරිසන් ලෝකවල උපදින සතුන්ගෙන් සුළු පිsරිසක්‌ චුතවෙලා මනුස්‌ස ලෝකෙ උපදිනවා. බහුතරයක්‌ නිරයේ උපදිනවා. ඒ වගේම තිරිසන් ලෝකෙ උපදින සතුන්ගෙන් සුළු පිරිසක්‌ මනුස්‌ස ලෝකෙ උපදිනවා. බහුතරයක්‌ තිරිසන් ලෝකෙම උපදිනවා. ඊළඟට තිරිසන් ලෝකෙ උපදින සතුන්ගෙන් සුළු පිරිසක්‌ මනුස්‌ස ලෝකෙ උපදිනවා. බහුතරයක්‌ පෙරේත ලෝකෙ උපදිනවා. ඒ වගේම තිරිසන් ලෝකෙ උපදින සතුන්ගෙන් සුළු පිරිසක්‌ චුතවෙලා දෙව්ලොව උපදිනවා. බහුතරයක්‌ නිරයේ උපදිනවා. ඒ වගේම තිරිසන් ලෝකේ උපදින සතුන්ගෙන් සුළු පිරිසක්‌ දෙව්ලොව උපදිනවා. බහුතරයක්‌ තිරිසන් ලෝකෙම උපදිනවා. ඒ වගේම තිරිසන් ලෝකේ උපදින සතුන්ගෙන් සුළු පිරිසක්‌ දිව්‍ය ලෝකෙ උපදිනවා. බහුතරයක්‌ පෙරේත ලෝකෙ උපදිනවා. මේ විදියටයි තිරිසන් ලෝකවල සතුන්ගේ චුතිය හා උත්පත්තිය සිදුවෙන්නේ.

ඊළඟට පෙරේත ලෝකෙ ඉන්න සතුන්ගෙන් සුළු පිරිසක්‌ චුතවෙලා මනුස්‌ස ලෝකෙට එනවා. බහුතරයක්‌ නිරයේ උපදිනවා. ඒ වගේම පෙරේත ලෝකෙ ඉන්න සතුන්ගෙන් සුළු පිරිසක්‌ මනුස්‌ස ලෝකෙ උපදිනවා. බහුතරයක්‌ තිරිසන් ලෝකෙ උපදිනවා. පෙරේත ලෝකේ ඉන්න සතුන්ගෙන් සුළු පිරිසක්‌ මනුස්‌ස ලෝකෙ උපදිනවා. බහුතරයක්‌ පෙරේත ලෝකෙම උපදිනවා. ඒ වගේම පෙරේත ලෝකෙ උපදින සතුන්ගෙන් සුළු පිරිසක්‌ දිව්‍ය ලෝකේ උපදිනවා. බහුතරයක්‌ නිරයේ උපදිනවා. ඒ වගේම පෙරේත ලෝකෙ උපදින සතුන්ගෙන් සුළු පිරිසක්‌ දිව්‍ය ලෝකේ උපදිනවා. බහුතරයක්‌ තිරිසන් ලෝකේ උපදිනවා. ඒ වගේම පෙරේත ලෝකේ උපදින සතුන්ගෙන් සුළු පිරිසක්‌ දිව්‍ය ලෝකෙ උපදිනවා. බහුතරයක්‌ පෙරේත ලෝකේ උපදිනවා.

මේ ආකාරයටයි සත්ත්වයන්ගේ චුතවීම උප්පත්තිය සිදුවෙන්නෙ. මෙහිදී අපිට ඉතාම හොඳින් පැහැදිලිවෙනවා ඉතා සුළු පිරිසකට තමයි දිව්‍ය, මනුෂ්‍ය ලෝකවලට එන්න ලැබෙන්නෙ. බහුතරයකට නිරය තිරිසන් ලෝකය සහ පෙරේත ලෝකයි හිමිවෙන්නේ. ඒ නිසා අපි පාපයෙන් වෙන්වෙලා කුසල් වඩා සංසාරයෙන් නිදහස්‌ වෙන්න, චතුරාර්ය සත්‍යය අවබෝධ කරගන්න මේ පොසොන් පොහෝ දිනයේදී අධිෂ්ඨාන කර ගනිමු.

පූජ්‍ය පොල්පිටිමූකලානේ පඤ්ඤාසිරි හිමි

ධ්‍යානාංග හා ධ්‍යාන ඵල හඳුනාගනිමු


මෑත කාල සීමාව තුළ ලාංකික ගිහි පිංවතුන් තුළ බාල, තරුණ, මහලු භේදයකින් තොරව විවිධ භාවනාවන් කෙරෙහි දැඩි ඕනෑකමක්‌ හා උනන්දුවක්‌ දක්‌නට ලැබේ. සබ්බේ රසං ධම්ම රසං ජිනාති යන බුදු වදනට අනුව සදහම් අමා රසය හා සුවය ගතට සහ සිතට දැනෙන්නේ කිසියම් භාවනාවක්‌ වැඩීම තුළින්මය. එසේ වැඩෙන සිතේ එක එක අවධීන් ධ්‍යාන සමාපත්තීන් ලෙස හැඳින්වේ.

පැවිදි මෙන්ම ගිහි දේශකයන් වහන්සේලා විසින් විස්‌තර කර දෙනු ලබන කමටහන් අනුව භාවනාකරන පිරිස්‌ අතුරින් වැඩි පිරිසකට කට පාඩමෙන් භාවනා පාඨ කියවීමට හැකියාව ලැබී ඒ තුළින් තාවකාලික චිත්ත විවේකයක්‌ ඇති වුවද ධ්‍යාන සමාපත්තිවලට පත්වීමක්‌ හෝ ධ්‍යානාංග හෝ ධ්‍යාන ඵලයන් පිළිබඳව නිවැරැදි වැටහීමක්‌ අත්දැකීමක්‌ ඇත්තන් ඉතාමත් අඩුය. 

ධ්‍යාන ඵල සමාපත්තීන්ට සමවැදී සිටින ආරණ්‍ය සේනාසන යෝගාවචරයන් වහන්සේලා දැනුදු දිවයිනේ යම් යම් සේනාසනවල වැඩ සිටියද උන්වහන්සේලාගෙන්a ධර්මානුශාසනා අසා දැන ගැනීමට හැමෝටම අවස්‌ථාවක්‌ නොලැබෙන නිසා අත්දැකීම් සහිත යෝගාවචරයන් වහන්සේලා ඇසුරෙන් ලද තොරතුරු ආශ්‍රයෙන් ධ්‍යාන හා ධ්‍යානාංග පිsළිබඳ විමර්ශනය කර බැලීමේදී පළමුව ධ්‍යානාංග පහත්, දෙවනුව රූප, අරූප යන ධ්‍යාන ඵල සමාපත්ති අට සිත් තුළ ක්‍රියාත්මක වන ආකාරයත් තේරුම් ගත යුතුය.

ධ්‍යානාංග පහකි

1. විත්ක්‌ක - කල්පනාකිරීම හෙවත් සිතිවිaල

2. විචාර - සලකා බැලීම හෙවත් විමසා බැලීම

3. ප්‍රීති - සතුට 

4. සුඛ - සැපය

5. ඒකාග්ගතා - එකඟවූ සංසුංවු චිත්තය

රූප ධ්‍යාන 4 ක්‌ සහ අරූප ධ්‍යාන 4 ක්‌ වශයෙන් ධ්‍යාන පල අටකි. 

රූප ධ්‍යාන හතර

1. ප්‍රථම ධ්‍යානය

2. ද්විතීය ධ්‍යානය

3. තෘතීය ධ්‍යානය

4. චතුර් ධ්‍යානය

අරූප ධ්‍යාන හතරකි

1. ආකාසඤ්ඤායතනය

2. විඤ්ඤ්ණචඤ්ඤායතනය

3. ආකිඤචඤ්ඤායත

4. නේවසඤ්ඤා නාසඤ්ඤායතනය

සිතක ස්‌වභාවය වන්නේ ඇස, කණ, නාසය, දිව, කය, මනස යන ආයතන තුළින් ගන්නා රූප ශබ්ද, ගන්ධ, රස, ස්‌පර්ශ, ධම්ම යන අරමුණු හේතුකොට ගෙන නොනැවතී ගලායන ජල දහරාවක්‌ මෙන් නිබඳව ඇතිවන සිතුවිලි ධාරාව නවතාලීමෙන් සිත් තුළ ඇතිවන මනෝභාවයන්ගේ අවස්‌ථා අටකි. රූප ස්‌වභාවයන් මෙනෙහි කොට සිත තැන්පත් කර ගැනීම රූප ධ්‍යාන වශයෙනුත් ප්‍රධාන රූපයක්‌ නැති අරූප ස්‌වභාවයක්‌ මෙනෙහි කොට සිත තැන්පත් කර ගැනීම අරූප ධ්‍යාන වශයෙනුත් සැලකේ.

මනාකොට සිත එක අරමුණක රඳවා ගැනීමට හැකියාව ඇති කර ගැනීම තුළින් මිස වෙනත් කිසිම ක්‍රමයකින් ධ්‍යාන ඵලයන්ට පත්වීමට නොහැකිය. එම නිසා තමාට ගැළපෙන කමටහනකට අනුව භාවනා කිරීමෙන්ම ධ්‍යානලාභියකු විය යුතුය.

ප්‍රථම ධ්‍යානයට සමවැදීම යනු

ප්‍රථම ධ්‍යානයට සම වැදීමේදී භාවනායෝගියාගේ ප්‍රඥවේ බල දුබලතාවයන් අනුව ප්‍රඥව බලවත් අයකු නම් විචක්‌ක විචාර යන අවදි දෙක පසුවී සිතේ ස්‌ථාවර ගතියක්‌ ඇති වේ. ප්‍රඥව දුබල යෝගියාගේ චිචක්‌කය පමණක්‌ පහව යයි. චිචක්‌ක යනු කල්පනා කිරීම හෙවත් යම් දෙයක්‌ ගැන මෙනෙහි කර බැලීමය. භාවනා කිරීම සඳහා තෝරාගත් කර්මස්‌ථානයට අනුව කල්පනාව යොමුකරගෙන සිටීමේදී ඒ පිළිබඳව කලින් පැවැති අස්‌ථාවරත්වයක්‌ නැතිවී ස්‌ථිර දැකීමක්‌ වැටහීමක්‌ තුළින් ඇතිවන නිගමනය විතර්කය තුළින් විචාරය ඇතිවීමයි. එය අනුමාන දැනීමක්‌ නොව ස්‌ථාවර දනිගමනයකට බැස ගැනීමකි. 

මේ අනුව ප්‍රථම ධ්‍යානලාභියකු යනු නොසැලෙන ස්‌ථාවර දැකීමක්‌ ඇත්තෙකි. එසේම ප්‍රථම ධ්‍යාන තලයට සිත නැංවීම සඳහා ඊට පාදක කරගත් කමටහනට අනුව පරිකම්ම නිමිත්ත, උග්ගහ නිමිත්ත, ප්‍රථිභාග නිමිත්ත යන නිමිති සිතට ග්‍රහණය වෙයි. ඒවාට අවධානය යොමු නොකර කර්මස්‌ථානය මතම සිත රඳවාගෙන ප්‍රතිභාග නිමිත්ත රැක ගනිමින් භාවනා කරන විටදී ප්‍රතිභාන නිමිත්තත් භාවනා යෝගියාත් ඒකාත්මීය වීමත් ප්‍රථමත් ධ්‍යානයේදී සිදුවේ. නැතිනම් පූර්වභාග නිමිත්ත ලෙස රැක ගනිමින් වර්ධනය කරගත් ප්‍රභාෂ්වර ආලෝකයට තමා ඇදී ගොස්‌ වැසී යන්නා සේ දැනෙයි.

ද්විතීය ධ්‍යානය

ප්‍රථම ධ්‍යානඵලලාභියා දෙවැනි ධ්‍යානයට, ඵලයට පත්වීමේදී සිතේ චිතක්‌ක, චිවාර අවදි ප්‍රථම ධ්‍යානයේදී බැහැරව ඇති නිසා ප්‍රීතිය නමැති ප්‍රකීර්ණක චෛතසිකය හෙවත් විසිරී පැවැති ප්‍රීතිය නමැති චිත්ත ස්‌වභාවය ඒකරාශීවී ඇතිවන කායික හා මානසික පීඩාවලින් තොරවූ සැහැල්ලු හා නිදහස්‌ කායික හා මානසික සුවයක්‌ ලබන්නකු වේ.

තෘතීය ධ්‍යානය

ද්විතීය ධ්‍යානලාභියා තමාට දැනෙන ප්‍රීති සහගත ස්‌වභාවයේ යථා ස්‌වභාවය කුමක්‌ද යන්න මෙනෙහි කරමින් එකී මානසික තලයේ දොස්‌ දකිමින් තවදුරටත් භාවනා කරන විටදී ප්‍රීතියටත් වඩා අධිකවූ කායික හා මානසික සුවයක්‌ ඇතිවන සුඛය නමැති ඵලයට සිත නැංවෙන අතර එම සුඛය කයටද සංවේදී වෙයි. මෙකී සුඛය වේදයිත සුවයක්‌ බැවින් වචනවලින් විග්‍රහ කළ නොහැකිය. එම ධ්‍යාන තලයට සිත නන්වාලත් විට ප්‍රත්‍යක්‍ෂ වන්නකි.

චතුර් ධ්‍යානය

චතුර් ධ්‍යානයට සිත නැන්වීමේදී යෝගියාට තමා අත්විඳින සුඛයේද, සැහැල්ලු නොවන ග්‍රාම්‍ය හෙවත් ගොරෝසු මානසික වින්දනයක්‌ ලෙස එහි ඇති දොස්‌ දැක ඊටත් වඩා අග්‍ර වූ තලයකට සිත පත් කළ හැකි බැව් දැන තවදුරටත් භාවනා කරගෙනයන විටදී සුඛයට වඩා සියුම් වූද, සැලෙන ස්‌වභාවයෙන් තොර ඒකාග්‍රතාවක්‌ පමණක්‌ පවතින චතුර්විධ ධ්‍යාන තලයට සිත නන්වා ගැනීමත් සමග රූප ධ්‍යාන තල නිමා වේ. මෙම ධ්‍යාන තලයට සිත රැගෙන එන තුරු භාවනාව සඳහා තෝරාගත් කමටහන්වල රූප ස්‌වභාවයන් පැවැති නිසා මේවාට රූපද්ධ්‍යානයයි ව්‍යවහාර කරති.

අරූප ධ්‍යාන

ඉහත සඳහන් පරිදි රූපමය ස්‌වභාවයන් එහා තලයකට සිතනැංවිය හැකි බව රූප ධ්‍යානයන්ට සිතනැංවූ යෝගීන් තම අත්දැකීම් තුළින් දන්නා නිසා අරූප ධ්‍යාන වැඩීමට වීර්ය උපදවා ගනී. එහිදී රූප ස්‌වභාවයක්‌ නැති එහෙත් සත්‍ය වශයෙන් පවතින ආකාශ ධාතුව මුල්ම කර්මස්‌ථානය ලෙස අරමුණු කර ගනී. ආකාශය අනන්තය. ආකාශය අනන්තය වශයෙන් සිත පවත්වා ගැනීමේදී චතුර් ධ්‍යානය තුළින් ශේෂ වී තිබූ චිත්ත ඒකාග්‍රතාවයේදී අත්විඳි සැහැල්ලු තත්ත්වයටත් වඩා ආකාශය මෙන් අනන්ත වූද, සැහැල්ලු වූද මානසික තලයක පිහිටයි. එය අකාශය නමැති සඤ්ඤාව මත ඇතිවූ මනෝ ස්‌වභාවය බැවින් ආකාසඤ්ඤායතන නම් වූ ප්‍රථම අරූප ධ්‍යානය වන්නේය.

එම අත්දැකීම්වලත් යෝගාවචරයා දෙවනුව එම මානසික තලයේද දොස්‌ දකීම මන්ද? ආකාශය නම් අනන්ත වූ ස්‌වභාවය තමාට දැනුනේ ඒ හා අසමාන වූද, එහෙත් බද්ධ වී පැවැති විඤ්ඤාණයක්‌ පැවැතීම නිසා බව ද වටහා ගනී. එමනිසා දෙවැනි අරූප ධ්‍යානය ලෙස විඤ්ඤාණය භාවනා නිමිත්ත ලෙස රැගෙන විඤ්ඤාණය අනන්තය විඤ්ඤානය අනන්තය වශයෙන් ස්‌වකීය විඤ්ඤාණය ගැන මෙනෙහි කරයි. එහිදී ප්‍රථම අරූප ධ්‍යානය වූ ආකාශ සඤ්ඤාවටත් වඩා සැහැල්ලු වූ මානසික තලයක සිත පිහිටයි. ඒ දෙවැනි අරූප ධ්‍යානය වන විඤ්ඤාචඤ්ඤණයතනය වේ.

තුන්වැනි අරූප ධ්‍යානයට ප්‍රවිෂ්ට වීමට පෙර යෝගියා විඤ්ඤාණඤ්ඤායතනයේ දොaෂ ලෙස විඤ්ඤාණය අනන්ත වුවද එම අනන්ත ස්‌වභාවය සමග එක්‌ව පවතින තවත් ධර්මතාවක්‌ වූ සංඥව පැවැති බව තේරුම් ගනී. ඒ අනුව ආකිකූචඤ්ඤායනය ස්‌වභාවය මෙනෙහි කරමින් සිටින විට සඤ්ඤාවක්‌ ඇත්තෙත් නැති නැත්තෙත් නැති තලයකට සිත නැංවෙන අතර එම ධ්‍යාන තලය නේවසඤ්ඤා නාසඤ්ඤායතනය ලෙස හැඳින්වේ. එතෙකින් අරූප ධ්‍යාන තල හතරක්‌ සමග අෂ්ටඵල සමාපත්ති ධ්‍යාන තල නිමාවට පත් වේ.

බුදුරජාණන් වහන්සේ ලොව පහළවීමට පෙර සිටි මහා යෝගීන්ට මෙහි ධ්‍යාන තලෙන් එහාට සිත රැගෙන යැමට නොහැකි විය. තථාගතයන් වහන්සේ මෙම අෂ්ඨපල සමාපත්තිවලින් එහා තලය වන ලෝකෝත්තර තලය තුළ සියලුම සඤ්ඤාවලින් තොරවූ සඤ්ඤානිරෝධිත නිර්වාණ ධාතුවට සිත රැගෙන යැම අමාමහ නිවන හෙවත් අරහත් භූමිය වන්නේය.

කොබ්බෑවල සුමනදාස වීරසිංහ