දුටුගැමුණු රජු කල පිරිණිවන් පෑ මලියදේව හිමියන් ලංකාවේ අන්තිම රහත් තෙරනම නොවේ. සැබැවින්ම, අද වුව රහතුන් බිහි විය හැකිය. ඒ සදහා අවශ්‍ය වන්නේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ ශ්‍රී සද්ධර්මය සීල සමාධි ප්‍රඥා වශයෙන් දියුණු කොට සාක්ෂාත් කිරීමයි.

ඔබත් බුදුරදුන් පෙන්වා වදාළ උත්තම දහම් මාර්ගයේ ගමන් කරන්න


Powered by දහම් විල


ලිපි සඳහා පහත මාසය අනුව ලිපි පටුන බලන්න

භාග්‍යවතුන් වහන්සේ, සක්වල සහ අපි -(දෙවන කොටස)

නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස, දසබල ධරස්ස, චතු වේසාරජ්ජ විසාරදස්ස, සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුණෝ සම්මා සම්බුද්ධස්ස.!..!!…!!!. 
 කංඛාවිතරණී- නිරයට හෙලනු හැකි සැක දුරු කරනු යහපති 
තිලොවට තිලක වූ භාග්‍යවත් අරහත් තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ සරණ නොලැබෙන්නට ස්වකීය සෘද්ධියෙන් දහසක් සක්වල සත්ත්වයන් දකින්නට තරම් මහා බල ඇති බ්‍රහ්මයෝ සසර දුක් කෙලවර නොදැක අන්ධ වූයේ අසරණ වන්නාහ. කෝටි ලක්ෂයක් සක්වල අපමණ සූර්යයන් සිටියදී අපමණ චන්ද්‍රයන් සිටියදී දුරු නොවූ මහත් අවිද්‍යා අන්ධකාරය නිමවූ අනුත්තරීය ධර්ම චක්‍රය පෙරලූ ඒ බුද්ධ සූර්යයා නොවන්නට මහත් යසස් ඇති ආයු බල ඇති දිව්‍ය රාජයෝ වනාහි ඝෝර සතර අපා දොර නොවැසීම සැපයෙන් මුසපත්ව ප්‍රමාදයට පැමිණෙන්නේ සසරෙහි අසරණ වන්නාහ. දෙවියන්ට දෙවි වූ බම්බුන්ට බඹු වූ සර්වඥතා ඥාන සමන්විත වූ භාග්‍යවතුන් වහන්සේ නොවන්නට උන්වහන්සේගේ ශ්‍රී සද්ධර්මය නොවන්නට ලොවට උතුම් පින් කෙත වූ මහා සංඝ රත්නය නොවන්නට මේ අඳුරු සසරේ ඔබත් මමත් ලබන කවර නම් සරණක්ද? 
 පෙර නූපන් මග ස්වකීය සන්තානයෙහි ඉපදවූ, උපන්නාවූ නිවන් මග තිලොවෙහි පතල කල ඒ සම්මා සම්බුදු රජාණන් වනසේගේ මහත් ගුණ මහත් බව අනන්ත බව දන්නා බැවින්ම භාග්‍යවතුන් වහන්සේගේ සසුන් ලය මඩලෙහි උපන්, භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම නමැති මුව මඩලෙහි උපන්, මහා ප්‍රාඥ වූ, ධම්ම සේනාපති මහෝත්තම මහා සාරිපුත්ත මහා රහතන් වහන්සේ “භගවා” යයි භාග්‍යවතුන් වහන්සේ අමතන්නේ “භගවා” යන වචනය මෙසේ විස්තර කල සේක. 
(ඛුද්දක නිකාය- මහා නිද්දේස පාලිය- සාරිපුත්ත නිද්දේසහි දැක්වෙන පරිදි භාග්‍යවතුන් වහන්සේගේ භගවා ගුණ විස්තරය මෙහි දක්වනු ලැබේ. ශ්‍රද්ධාවෙන් යුතුව එය කියවා ධාරා බොහෝ පින් රැස් කරගනු ලබත්වා!)
භගවා යනු ගාරවධිවචනයයි (අතිශය ගරු කටයුතු බව දක්වන වචනයි). උන්වහන්සේ රාග නැසූ බැවින් භගවා නම් වන සේක. ද්වේශය නැසූ බැවින් භගවා නම් වන සේක. මෝහය නැසූ බැවින් භගවා නම් වන සේක. කෙලෙසුන් නැසූ බැවින්, කෙලෙස් නමැති කටු නැසූ බැවින් භගවා නම් වන සේක. ධර්ම රත්නය උද්දේශ වශයෙන් විභාග කල බැවින් භගවා නම් වන සේක. නිර්දේශ වශයෙන් නානා අයුරින් විභාග කල බැවින් භගවා නම් වන සේක. ප්‍රති නිර්දේශ වශයෙන් අනේකප්‍රකාරයෙන් විභාග කල බැවින් භගවා නම් වන සේක. කාම, රූප, අරූප භාවයන් කෙලවර කරන ලද බැවින් භගවා නම් වන සේක. චීවර පිණ්ඩපාත සේනාසන ගිලානප්‍රත්යයන්ට හිමිවූ බැවින් භගවා නම් වන සේක. මිනිසුන් රහිත, දුර ඈත වන සෙනසුන් භාජනය කල බැවින් භගවා නම් වන සේක. කරන ලද කාය භාවනා ඇති බැවින් කරන ලද ශීල භාවනා ඇති බැවින් කරන ලද චිත්ත භාවනා ඇති බැවින් කරන ලද ප්‍රඥා භාවනා ඇති බැවින් භගවා නම් වන සේක. අර්ථ රස, ධර්ම රස,අධි ශීල, අධි චිත්ත, අධි ප්‍රඥාවන් ලබා ඇති බැවින් භගවා නම් වන සේක. සතරක් වූ ධ්‍යානයන්, සතරක් වූ බ්‍රහ්ම විහාරයන්, සතරක් වූ අරූප සමාපත්තීන් භජනය කල බැවින් භගවා නම් වන සේක. අටක් වූ විමොක්ෂයන්, අටක් වූ අභිභායතනයන්, නවයක් වූ අනුපුර්ව විහාර සමාපත්තීන් ඇති බැවින් භගවා නම් වන සේක. භාවිතා කරන ලද බහුලීකත කරන ලද, දශයක් වූ සඥා භාවනාවන්, දශයක් වූ කසිණ සමාපත්තීන්, ආනාපානසති සමාපත්තිය, අසුභ සමමාපත්තිය ඇති බැවින් භගවා නම් වන සේක. සතරක් වූ සතිපට්ඨානයන්ට, සතරක් වූ සෘද්ධි පාදයන්ට, සතරක් වූ සම්මප්පධානයන්ට, පංච ඉන්ද්‍රියයන්ට, පංච බලයන්ට , සප්ත බෝධි අංගයන්ට, අනුත්තරීය වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයට හිමි වූ බැවින්,.. මේ උතුම් බෝධිපාක්ෂික ධර්මයන් භාජනය කරන ලද බැවින් භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන්ම “භගවා” නම් වන සේක. භගවා යන මේ නාමය මව විසින් කරන ලද්දක් නොවේ. පියා විසින් කරන ලද්දක් නොවේ. නෑයන් සහ ලේ නෑයන් විසින් කරන ලද්දක් නොවේ. දෙවියන් විසින් කරන ලද්දක් නොවේ. භගවා යන මේ උත්තම නාමය බෝධි මූලයහි දී සකල ක්ලේශයන් නසා සම්මා සම්බුද්ධත්වය ලබන අරහත් සම්මා සම්බුදු වරයන්ගේ සර්වඥතා ඥාන ප්‍රතිවෙධයෙන් පන නගින ප්‍රඥප්තියකි (හැඳින්වීමකි).
 ලෝකවිදු වූ ඒ භාග්‍යවතුන් වහන්සේගේ ආඥා ක්ෂේත්‍රය වනාහි මහා සහස්සී ලෝක ධාතුවයි. එනම් කෝටි ලක්ෂයක් සක්වලයි. කෝටි ලක්ෂයක් සක්වලට අති දුලබව පහල වන ඒ බුද්ධ සූර්යයාගේ ධර්ම නමැති ආලෝකය දකිමින්ම සැනහෙන අපි දහම් ගෞරවයෙන්ම බුදු ඇසින් දුටු ඒ සක්වල තතු අසා ධාරා දහම් මග යමු. 
පෙර ලිපියෙන් ආරම්භ කරන ලද “භාග්‍යවතුන් වහන්සේ සක්වල සහ අපි” යන ලිපි පෙළෙහි මීළඟ ලිපියට පූර්විකාවක් වශයෙන් මෙම ලිපිය සැකසෙයි. ලිපියෙහි කරුණු වලට පෙර සඳහන් කල යුත්තක් ඇත. අප මෙම ලිපි පෙළ ලියන්නේ සක්වල පිලිබඳ බොහෝ දෙනාට ඇති කුතුහලය සංසිඳවීමට හෝ ඒ ඇසුරින් තර්ක විතර්ක කිරීමට නොවේ. ඉතා විසිතුරු කරුණු වලින් ගහන මෙවන් දහම් කරුණු වලින් ඔබ තුල පළමුව ඇති විය යුත්තේ අපගේ ශාස්තෘ වූ භාග්‍යවතුන් වහන්සේ පිලිබඳ, උන්වහන්සේගේ අසිරිමත් ඥාන බලය පිළිබඳව නොසෙල්වෙන ශ්‍රද්ධාවකි. දෙවනුව මේ ඝෝර භයංකර සසර ගමනින් මිදී දහම් මග යාමට නිවන් මග යාමට වීර්යයකි. නැතහොත් ඔබේ පුහුදුන් කෙලෙස් පිරි හිසින් කරන තර්ක විතර්ක වාදයෙන් ඔබටත් අන්‍යයන්ටත් වන සෙතක් නොවනු ඇත. භාග්‍යවතුන් වහන්සේ ශාස්තෘ වන සේක. අපි ශ්‍රාවකයෝ වෙමු. උන්වහන්සේ දනිති, දකිති. අපි නොදනිමු. නොදන්නා නොදක්නා අප දන්නා දක්නා භාග්‍යවතුන් වහන්සේ සරණ යමු. 
ප්‍රවේශයක් වශයෙන් ඉහත බුද්ධ ගුණ විස්තරය දක්වන ලද්දේ හේතුවක් සහිතවය. ත්‍රිපිටකය සහ අට්ටකථාව ඇසුරින් සැකසෙන මෙම ලිපි පිළිබඳව ඉදිරිපත් කෙරෙන ප්‍රතිචාර අනුව පෙනී යන්නේ ත්‍රිපිටකය සහ අට්ටකථාව ගැන නිරවුල් අවබෝධයක් බොහෝ දෙනාට නොමැති බවයි. පළමුව මේ ගැන මදක් විමසා බලමු. පසුගිය ලිපියෙහි සඳහන් කරන ලද සක්වල ලෝක ධාතු විස්තර ඇතුලත් “චූලනිකා සූත්‍රය” භාග්‍යවතුන් වහන්සේ විසින් මහෝත්තම වූ ධම්ම භාණ්ඩාගාරික ආනන්ද තෙරුන් වහන්සේ විසින් අසන ලද පැනයක් අරභයා දේශනා කරන ලද්දකි. මෙම චූලනිකා සූත්‍රයට හේතු වූ ප්‍රශ්නය ආනන්ද තෙරුන් වහන්සේ වෙත පන නගින්නේ භාග්‍යවතුන් වහන්සේ විසින් ඊට පෙර දේශනා කරන ලද “අරුණවතී සූත්‍රය” ඇසුරිනි. අරුණවතී සූත්‍රය වනාහි සිඛී භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ සහ උන්වහන්සේගේ අග්‍ර ශ්‍රාවක වූ “අභිභූ” මහා රහතන් වහන්සේ විසින් බ්‍රහ්ම ලෝකයට වැඩම කොට බ්‍රහ්මයන් දමනය කිරීම පිලිබඳ අපගේ භාග්‍යවතුන් වහන්සේ විසින් කරන ලද අතීත ප්‍රවෘත්තිය ගෙන හැර දැක්වීමකි. 
භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද අසිරිමත් දේශනා වලින් ත්‍රිපිටක ශ්‍රී සද්ධර්මය සමන්විත බව අපි දනිමු. භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම දේශනාව “සාමුක්කංසික ධර්ම දේශනය” නම් වෙයි. ඒ සම්මා සම්බුදු රජාණන් වහන්සේලාගේ අනුත්තරීය වූ “අනුශාසනා ප්‍රතිහාර්යයි”. මෙම සාමුක්කංසික ධර්ම දේශනය සර්වඥයන් වහන්සේට පමණක්ම සාධාරණ දේශනයයි. භාග්‍යවතුන් වහන්සේගේ මෙම සාමුක්කංසික ධර්ම දේශනය කිසිදු ශ්‍රාවකයකුට පැවැත්විය නොහැකිය. සර්වඥතා ඥානය, ෂඩ් අසාධාරණ බුද්ධ ඥාණයන්, සම්මා සම්බුද්ධ දශ තථාගත ඥාණ බලයන්, දෙතිස් මහා පුරුෂ ලක්ෂණ, අනු ව්‍යංජන ලක්ෂණ ආදී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ගුණයන් බලයන් නිසාම කළහැකි මෙම සාමුක්කංසික ධර්ම දේශනය වනාහි දාන කතා ශීල කතා ආදී අනුපිළිවෙලින් පටන්ගෙන විස්මිත වූ සර්වඥතා ඥානයෙන් බලා ධර්ම ශ්‍රවණය කරන සකල සත්ත්වයන් අනුව ඒ ඒ සත්ත්වයන්ගේ ඉන්ද්‍රිය ධර්ම බලධර්ම වැදී ඇති බව අනුව අවසානයේ චතුරාර්ය සත්‍ය දේශනාවෙන් කෙලවර වන අති දීර්ඝ දේශනාවකි. භාග්‍යවතුන් වහන්සේ සාරාසංඛ කල්ප ලක්ෂයක් පාරමී පුරා සම්මා සම්බුද්ධත්වයට පත වූයේද මේ උතුම් අනුශාසනා ප්‍රාතිහාරයයෙන් සත්ත්වය සුවපත් කිරීමටය. භාග්‍යවතුන් වහන්සේ විසින් සිදු කරනු ලබන සාමාන්‍ය අනුමෝදනා දේශනය පවා අංගුත්තර සංයුක්ත නිකාය දෙක තරම් ඇති දීර්ඝ දේශනයකි. ඇති සුන්දර වූ බ්‍රහ්ම ස්වරය සහිත භාග්‍යවතුන් වහන්සේගේ මෙම අසමසම දේශන ශක්තිය ශ්‍රාවකයන්ට සාධාරණ නොවේ. 
අප කෙරෙහි මහා කරුණා ඇති භාග්‍යවතුන් වහන්සේ සද්ධර්මයෙහි චිරස්ථිතිය උදෙසා ඒ ඒ දිනයන්හි තමන් වහන්සේ කරනු ලබන දේශනාවන් බුද්ධ ඥානයෙන්ම සලකා අතිශය සංක්ෂේප වශයෙන් සාරය ගෙන මහෝත්තම වූ ධර්මභාණ්ඩාගාරික ආනන්ද මහරහතන් වහන්සේට දේශනා කරන සේක. ත්‍රිපිටකය යනු භාග්‍යවතුන් වහන්සේ විසින්ම කරන ලද ඒ සද්ධර්මයෙහි අතිශය සංක්ෂිප්ත සාරයයි. තවද භාග්‍යවතුන් වහන්සේ විසින් ආනන්ද මහරහතන් වහන්සේට කරන ලද එම දේශනාවන්හිම මූලික අර්ථ විස්තර සහිත දේශනාව “මහාඅට්ටකථාව” නම් වෙයි. පළමු දෙවන සහ තෙවන ධර්ම සංගායනා වන්හි සංග්‍රහ කර ආරක්ෂා කරනු පිණිස වෙනස් නොකරනු පිණිස කටයුතු යොදන ලද්දේ මෙම ත්‍රිපිටකය සහ අට්ටකථාවයි. අප කෙරෙහිම වූ මහත් අනුකම්පාවෙන් අදවන් පොසොන් පොහෝ දිනක ලක්දිවට වැඩම කල මිහිඳු මහා රහතන් වහන්සේ විසින් ගෙන එන ලද්දේද එම ත්‍රිපිටකය සහ අට්ටකථාවයි. මහාවංශයේ තිස්හත් වන පරිච්චේදයෙහි, 228 වන ගාථාවෙහි පැහැදිලිව සඳහන් පරිදි ඉහත සඳහන් කරන ලද මහාඅට්ටකථාව ඇසුරින් සිංහල අට්ටකථා සම්පාදනය කරන ලද්දේද උතුම් වූ සිවුපිළිසිඹියාපත් මහා රහතන් වහන්සේ නමක් වූ මිහිඳු මහරහතන් වහන්සේ විසින්මය. අප විසින් අද භාවිතා කරන අට්ටකථා ග්‍රන්ථ වනාහි මිහිඳු මහා රහතන් වහන්සේ විසින් කරන ලද සිංහල අට්ටකථාව අනුව පාලියෙන් ලියන ලද සද්ධර්ම ග්‍රන්ථ සමූහයයි. එම ග්‍රන්ථ අතිශය ගෞරවාර්හ බුද්ධඝෝෂ හිමියන් ඇතුළු අටුවාචාරීන් වහන්සේලා විසින් ස්ව මතයන් ඇතුලත් කොට සකසන ලද්දක නොවේ. වෙනස් නොකොට, පැවති ග්‍රන්ථ ඒ ආකාරයෙන්ම පාලියට නගන ලද අතර මහා තෙර වරුන්ගේ දැඩි අධීක්ෂණය යටතේම මෙම කටයුතු සිදු වී ඇත. 
පිටු දස දහස ගණනකින් යුත් මෙම අට්ටකථා ග්‍රන්ථ නිසි ගෞරවයෙන් පරිශීලනය නොකොට ඒ ගැන කෙලෙස් පිරුණු පුහු පණ්ඩිතමානී සිතින් දොස් පවරමින් බොහෝ දෙනා කරන විග්‍රහයන් පිලිබඳ ඇතිවන්නේ කණගාටුවකි. සමහර භික්ෂූන් වහන්සේලා පවා ත්‍රිපිටකයෙහි අට්ටකතාවෙහි කොටස් වෙන කරමින්, ප්‍රතික්ෂේප කරමින් කරනු හානිය සුළුපටු නොවේ. බටහිර අධ්‍යාපන ක්‍රමයෙන් වල්මත්වී විශ්ව විද්‍යාල වල අධ්‍යයනාංශ වලින් මතු කෙරෙන විවිධ තර්ක විතර්ක වලට යටවී ධර්මයෙහි අව්‍යක්ත, අවිනීත, විශාරද නොවූ, අල්පශ්‍රැත වූ, ධර්මධර නොවූ, ධම්මානුධම්ම පටිපන්න නොවූ, කෙලෙස් පිරුණු සිත වලින් ගෙන එන මතයන්ට යට වී ඔබත් මමත් ලැබූ මේ ධර්ම දායාදය අහිමි කර ගැනීමට තරම් අපි අනුවණයෝ නොවෙමු. 
අප බොහෝ දෙනා පංචානන්තර්ය පාප කාර්ම ගැන අසා ඇත්තෙමු. ඒකායන වශයෙන් නිරයෙහි ඉපදීමට සිදුවන මහා පාපයන් ලෙස ඒ ගැන අපි දහමින් උගෙන ඇත. නමුත් අවාසනාවටදෝ ධර්මරත්නය අවලංගු කිරීම, භාග්‍යවතුන් වහන්සේට සහ ධර්මරත්නය කෙරෙහි වරදවා පිළිපැදීම, නිගරු කිරීම, ධර්මය සවකීය මතය පරිදි වරදවා කීම ආදී කර්ම හේතුවෙන් නිරයේ උපදින බව බොහෝ දෙනා දන්නේ නැත. පෙර බුදු සසුනක සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමකට නිගරු ලෙස කථා කිරීම හේතුවෙන් පින් කල නමුත් නිරයෙහි ඉපිද බොහෝ කල දුක් විඳ නැවත “කපිල” නම් රන් වන සිරුරු ඇති මහා මත්සයෙක් විය. අප භාග්‍යවතුන් වහන්සේගේ සමයෙහි ධීවර නැවක දලට අසු වන මේ මහා රන් වන් මත්ස්‍යයා රජුට පෙන්වීම පිණිස ධීවරයන් විසින් නව පිටින්ම නුවරට ගෙන එන්නේය. කොසොල් රජු විසින් මේ ගැන භාග්‍යවතුන් වහන්සේට දන්වා සිටින්නේ මත්ස්‍යයා අමතන් භාග්‍යවතුන් වහන්සේ නැවත කොහි නම් උපදින්නේදැයි අසන්නේ සම්මා සම්බුදු වරුනට නිගා කරන ලද බැවින් නැවත නිරහිම උපදින බව දක්වයි. තිසරයෙහි පිහිට ලබා සැනසෙනු, සියලු දුකින් මිදෙනු හැකිවාක් මෙන්ම වරදවා පිළිපැදීම නිසා අනන්ත වාර ගණනින් නැවත නැවත නිරයෙහි ඉපදීමට සිදුවන බොහෝ බරපතල පවුකම් රැස් වෙයි. එනිසා තිසරණ සරණ ගිය අප සැම මහත් ගෞරවයෙන් යුතුව කටයුතු කල යුතුය. 
මිහිඳු මහා රහතන් වහන්සේ අප රටට වැඩම කල පොසොන් පොහෝ දිනයෙහි උන්වහන්සේටත් භාග්‍යවතුන් වහන්සේටත් කරන ඉහලම ගෞරවයක් වන්නේ ත්‍රිපිටකය සහ අට්ටකථා ව කෙරෙහි මහත් ධර්ම ගෞරවය ඇතිකොටගෙන ශ්‍රධාවෙන් සහ වීර්යයෙන් ධර්මය උගෙන ධර්මය දරා වචනයෙන් පුහුණු කොට අරුත දැනගෙන නුවනින් විමසා නිවන් මග පියවර මැනීමයි. ධර්මය කෙරෙහි සැක ඉපදවීමත් නිගරු කිරීමත් ඔබ විසින්ම ඔබ නිරයට විවර කර ගැනීමකි. 

තෙරුවන් සරණයි!!! 

සසිත් රාජසූරිය. 
July 22, 2013 at 12:01 am | lanka C news