දුටුගැමුණු රජු කල පිරිණිවන් පෑ මලියදේව හිමියන් ලංකාවේ අන්තිම රහත් තෙරනම නොවේ. සැබැවින්ම, අද වුව රහතුන් බිහි විය හැකිය. ඒ සදහා අවශ්‍ය වන්නේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ ශ්‍රී සද්ධර්මය සීල සමාධි ප්‍රඥා වශයෙන් දියුණු කොට සාක්ෂාත් කිරීමයි.

ඔබත් බුදුරදුන් පෙන්වා වදාළ උත්තම දහම් මාර්ගයේ ගමන් කරන්න


Powered by දහම් විල


ලිපි සඳහා පහත මාසය අනුව ලිපි පටුන බලන්න

මෛත්‍රී බුදුන් පහළ වීමට බොහෝ කල් තිබෙනවා

කඳාන පොල්පිටිමූකලාන අශෝකාරාමවාසී

පොල්පිටිමූකලානේ පඤ්ඤාසිරි හිමි
මෑත කාලයේදී යම් යම් පුද්ගලයන් බුදුවරුන් ලෙස පෙනී සිටීම, සමාජයේ ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති කිරීමට හේතු විය. සැබවින්ම වර්තමානයේ බුදුවරයෙකු පහළ විය හැකිද? මේ ප්‍රකාශ කොතෙක් දුරට සත්‍යද? යනාදී කරුණු පිළිබඳ කඳාන පොල්පිටිමූකලාන අශෝකාරාමවාසී පොල්පිටිමූකලානේ පඤ්ඤාසිරි හිමියන් සමඟ සිදු කළ සාකච්ඡාවකි මේ.

l වර්තමානයේ ඇතැමුන් මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ලෙස පෙනී සිටිනවා. බුදු දහමට අනුව වර්තමානයේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ විය හැකිද?
නොලබපු අධිභෞතික දේවල් තමන් තුළ තිබෙන බවට වර්තමානයේ බොහෝ පුද්ගලයන් විවිධ මත පළ කරනවා. බුදු වීම යන්න ඉන් එක් කාරණයක්. නමුත් මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ පහළවීම පිළිබඳ බුදුරජාණන් වහන්සේ හොඳින් පෙන්වා දී තිබෙනවා. චක්කවත්තීසීහනාද සූත්‍රයේ සඳහන් පරිදි මිනිසාගේ ආයුෂ ප්‍රමාණය අවුරුදු 10ට අඩු වෙලා 80,000ට වැඩිවුණු කාලයේදී දඹදිව කේතුමතී රාජධානියේ තමයි මෛත්‍රී බුදුහාමුදුරුවෝ පහළ වෙන්නේ. ඊට පෙර බුදුවරයෙකු පහළ වෙන්න විදිහක් නැහැ. මේ මහා භද්‍ර කල්පයේ පහළ වෙන්නේ බුදුවරුන් පස් දෙනයි. ඉන් හතර දෙනෙක් පහළ වෙලා තිබෙනවා. ඊළඟ බුදු හාමුදුරුවෝ පහළ වෙන්නේ තව අවුරුදු කෝටි ගණනකින්.
l එසේ නම් ඇතැම් පුද්ගලයන් බුදුවරුන් ලෙස පෙනී සිටීමේ පදනම කුමක්ද?
මේ රටේ ඉන්න අඥාන, හිස්, ධර්මය පිළිබඳ කිසිදු දැනුමක් නැති පුද්ගලයන් මිනිස්සු රැවටීමට හෝ එහෙමත් නැතිනම් ඔවුන් තුළ තිබෙන මානසික විකෘතිතාවයන් නිසා තමයි එවැනි අසත්‍ය ප්‍රකාශ සිදු කරන්නේ. ඇතැම් අය වැරැදි ක්‍රමවේදයන්ට අනුව භාවනා කිරීමෙන් ඔවුන්ට විවිධාකාරයේ මනෝ විකෘතිතාවයන් ඇති වෙන්න පුළුවන්. අපි ඒ අයට අනුකම්පා කරන්න ඕනෑ. යම් පුද්ගලයෙක් හිතමතා නොව මානසික රෝගයක් හේතුවෙන් මෙවැනි ක්‍රියාවන් සිදු කරනවා නම් ඔවුන්ට යම් සහනයක් ලැබෙනවා. නමුත් මානසික රෝගයක් රහිතව හුදෙක් ලාබ සත්කාර, කිර්ති ප්‍රසංසා බලාපොරොත්තුවෙන් මිනිස්සු රවට්ටනවා නම් ඔවුන් නිරයට යනවා. එය කිසිවෙකුට නතර කරන්න බැහැ.
l බුදුවරයෙකුගේ පහළවීම වර්තමානයේ ඇතැමුන් ප්‍රකාශ කරන ආකාරයට ලඝු කොට සැලකිය හැකිද?
බුදුවරයෙකුගේ පහළවීම මහා ආශ්චර්යයක්. මජ්ඣිම නිකායේ තුන්වන කොටසේ තිබෙන අච්චරිය අත්භූත සූත්‍රයට අනුව බෝධිසත්වයන් වහන්සේ නමක් මව්කුස පිළිසිඳ ගන්නේ සිහිනුවණින්, මව්කුසේ වැඩෙන්නේ සිහිනුවණින්, මව්කුසින් බිහිවෙන්නේ සිහිනුවණින්, උන් වහන්සේව සතරවරම් දෙවිවරු ආරක්ෂා කරනවා. උන් වහන්සේ උපදින අවස්ථාවේ ආලෝක ධාරාවක් නිකුත් වී අන්ධකාරය පිරුණු නිරය ආලෝකමත් වෙනවා. ඒ වගේම අහසින් සිහිල් දිය දහරාවන් හා උණු දිය දහරාවන් පහළ වෙනවා. බෝධි සත්ත්වයන් වහන්සේ උපදින විට ඇගේ කිසිම අපවිත්‍ර දෙයක් නැහැ. ශරීරය රත්තරන් පාටයි. උන් වහන්සේ ඉපදුණ ගමන් ඇවිදිනවා.
උත්තර දිසා අභිමුඛව සිට “මම ලොවට අග්‍ර වෙමි, මම ලොවට ජ්‍යෙෂ්ඨ වෙමි, ශ්‍රේෂ්ඨ වෙමි, මේ මාගේ අන්තිම උපතයි. මින් මතුවට උපතක් නැති බව ප්‍රකාශ කරනවා. ඒ තමයි බෝධිසත්වරුන්ගේ ඉපදීම. ඒ ආකාරයේ ආශ්චර්යමත් තත්ත්වයක් තමයි බෝධිසත්ව උප්පත්තිය. එය සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පාරමිතා ධර්ම සපුරලා සිදුවෙන දෙයක්.
l වැරැදි ප්‍රචාර පතුරවන්නන් මෙන්ම ඔවුන් පසුපස යන අනුගාමිකයන් නිවැරැදි ධර්ම මාර්ගයට යොමු කළ යුත්තේ කුමන ආකාරයෙන්ද?
මේ අනුගාමිකයන් අතර විශ්වවිද්‍යාල ආචාර්යවරු, කථිකාචාර්ය මට්ටමේ අය, වෛද්‍යවරු, ඉංජිනේරු වැනි යම් ආකාරයක බුද්ධිමත් පිරිසකුත් සිටිනවා. ඔවුන් බුද්ධිමත් ඇති. නමුත් ධර්මය පිළිබඳ ඔවුන්ගේ දැනුම අවමයි. මෙවැනි පුද්ගලයනුත් වැරැදි මාර්ගයේ ගමන් කළහොත් නිරයට යනවා. ඒ නිසා මේ දෙපැත්තම බේරාගන්න භික්ෂූන් වහන්සේලා වශයෙන් අපිට ලොකු වගකීමක් තිබෙනවා. බුදු වූ බව ප්‍රකාශ කරන චරිත බොහෝ කාලයක සිට ලංකාවේ ප්‍රචලිත වෙලා තිබුණත් ඒ අය වෙනුවෙන් ක්‍රියාමාර්ග ගන්න පෙළඹෙන්නේ මෑත කාලයේදීයි.
l මෙවැනි පිරිස් මර්දනයේදී ඇතැම් පුද්ගලයන් කලහකාරී ලෙස හැසිරෙන අවස්ථා තිබෙනවා. එය සුදුසුද?
බුද්ධ ශාසනයේ පැවැත්මට අහිතකර චරිතවලට එරෙහිව කටයුතු කිරීම වැදගත්. නමුත් එහිදී අපි භාවිතා කළ යුත්තේ බුදුරජාණන් වහන්සේගේ ක්‍රමවේදයයි. දේවදත්ත හාමුදුරුවෝ කියන්නේ විවිධ අවස්ථාවලදී බුදුරජාණන් වහන්සේට හිරිහැර කළ භික්ෂුවක්. ඇතැම් අවස්ථාවල ඔහු බුදු හාමුදුරුවෝ ඉදිරිපිටට දුනුවායන් එව්වා. නාලාගිරි ඇතා එව්වා. ඒවාට එරෙහිව දේවදත්ත හාමුදුරුවන්ට හිරිහැරයක් කරන්න බුදු හාමුදුරුවන්ට කොතරම් බලයක් තිබුණත් උන් වහන්සේ එසේ සිදු කළේ නැහැ. උන් වහන්සේ තුළ තිබූ “අනුත්තරෝ පුරිස ධම්ම සාරථි” ගුණයෙන් උන් වහන්සේ දේවදත්ත තෙරුන්ට අනුකම්පා කළා.
බුදු රජාණන් වහන්සේ කිසිවෙකු මර්දනය කරන්න අවි ආයුධ අරන් ගියේ නැහැ. උන් වහන්සේ මහා කරුණාවෙන්, මහා ප්‍රඥාවෙන්, සෘද්ධි බලයෙන්, ඉවසීමෙන්, කරුණාවෙන් කටයුතු කළා. අදත් අපි යොදාගත යුත්තේ ඒ ක්‍රමවේදයයි. බලපුළුවන්කාරකමින් යම් යම් මර්දනයන් සිදු කිරීම භික්ෂූන් වහන්සේ නමක් ලෙස මම අනුමත කරන්නේ නැහැ.
බුදු රජාණන් වහන්සේ අනුගමනය කළ ක්‍රමවේදය අදට ගැළපෙන්නේ නැහැ කියලා යම් කෙනෙක් තර්ක කරන්න පුළුවන්. ඒ ක්‍රමවේදය අදටත් ගැළපෙනවා. එය ක්‍රියාත්මක කරන්නේ නැතිව එය සුදුසු නැහැ කියලා අපිට කියන්න බැහැ. රහත් වෙන්න පුළුවන් මාර්ගය අදත් තිබෙනවා. උත්සහ කරන්නේ නැතිව ඇතැම් අය මේ කාලේ නිවන් දකින්න බැහැ කියනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය සංදිට්ඨිකයි. එදාට වගේම අදටත් හෙටටත් ඒ ධර්මය ගැළපෙනවා.
l භික්ෂූන් වහන්සේ කොතරම් ධර්මය දේශනා කළත් බොහෝ පිරිස් මෙවැනි වැරදි ප්‍රකාශ ඉදිරිපත් කරන්නන් වටා ඒකරාශී වෙනවා නේද?
ජනතාව එවැනි දේවල්වලට මුලාවන්නේ ධර්මය පිළිබඳ අවබෝධයක් නැති නිසයි. ජනතාව මේ තරම් අඥාන මට්ටමට පත් වෙලා තිබෙන්නේ ජනතාවට නිවැරැදි දේ පැහැදිලි කර දී නැති නිසයි. ඒ වගේම කොතරම් ධර්මය කියලා දුන්නත් රැවටෙන පිරිසකුත් ඉන්නවා. එවැනි පිරිස් අද වගේම බුද්ධ කාලයේත් සිටියා.
මම හිතන්නේ වර්තමානයේ මේ අහිංසක ජනතාව මේවාට මුලා වෙන්නේ ධර්මය නොදන්නා කමින්. ඒ නිසා ජනතාවට ධර්මය පිළිබඳ නිවැරැදි අවබෝධයක් ලබා දෙන්න අපි පුළුවන් තරම් උත්සාහ කළ යුතුයි. ඒ වගේම අපි ජනතාවට ආදර්ශ සපයන්න ඕනා. ගරු සම්මාන පවත්වන්න පුළුවන් ආකාරයට භික්ෂූන් වහන්සේලා හැසිරුනොත් ජනතාව ඔවුන් කියන දේ අහනවා. ධර්මධරව, විනයධරව, සිල්වත්ව, ගුණවත්ව කටයුතු කරන ස්වාමීන් වහන්සේලා වටා ජනතාව එකතු වන බව පැහැදිලියි. ඒවාට පරිබාහිරව කටයුතු කරනවා නම් ජනතාව එකතු වෙන්නේ නැහැ.
ජනතාව විකල්පයන් සොයන්නේ එවිටයි යම් පුද්ගලයෙක් කිසියම් මතවාදයක් සමඟ ඉදිරියට පැමිණියහොත් ජනතාව ඒ අයට හසු වෙනවා. ඒ වගේම ඇතැම් විට භික්ෂූන් වහන්සේ එක් කෙනෙක්, දෙන්නෙකුගේ අකටයුතුකම් නිසා ජනතාව සමස්ත සංඝ සමාජය කෙරෙහි වැරැදි අවබෝධයක් ඇති කරගැනීම නිසාත් මේ බොරුකාරයන්ට මුලා වෙනවා. ඒ නිසා භික්ෂූන් වහන්සේ වගේම ගිහි ජනතාවත් නිවැරැදි විය යුතුයි. ජනතාව නිවැරැදි මාර්ගයට ගැනීමට නම් ඔවුන් ධර්මයෙන් සන්නද්ධ කළ යුතුයි.
l භාවනාවෙන් මානසික විකෘතිතා ඇතිකරගත් පිරිස් මෙවැනි අද්භූත ප්‍රකාශ සිදු කරන බව ඔබ වහන්සේ ප්‍රකාශ කළා. ඇත්තටම භාවනාවෙන් එවැනි මානසික විකෘතිතා ඇතිවෙන්න පුළුවන්ද?
බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් භාවනා ක්‍රම අනුගමනය කළහොත් කවදාවත් උන්මාදයන් ඇති වෙන්නේ නැහැ. එක් එක් පුද්ගලයන් තම තමන්ගේ අභිමතය පරිදි භාවනා ක්‍රම අනුගමනය කිරීමෙන් තමයි එවැනි තත්ත්වයන් ඇති වෙන්නේ.
ඒ වගේම අද බුදුවරුන් ලෙස පෙනී සිටින්නන් ගැඹුරු අභිධර්ම වචන පාවිච්චි කරන්න හරිම දක්ෂයි. එවැනි වචන පාවිච්චි කරන විට ජනතාව ඔවුන්ට මුලා වෙනවා. අපේ රටේ කෝටි එකහමාරකටත් වඩා ඉන්න බෞද්ධයන්ගෙන් කෝටියකටත් වැඩි පිරිසක් බුදු ගුණ සිංහලෙන් දන්නේ නැහැ. ඒ නිසා ඔවුන්ව රවට්ටන්න ලේසියි.
l අද ඇතැම් පුද්ගලයන් අන්තර්ජාලය හා ෆේස් බුක් ප්‍රචාරණ මාධ්‍ය හරහා බුදුහාමුදුරුවන්ට හා බුදුදහමට නිගා කරනවා. මේ තත්ත්වය පැහැදිලි කළොත්?
යම් යම් පුද්ගලයන් බුදුහාමුදුරුවන්ට සහ උන් වහන්සේගේ ධර්මයට නිගා කරන්නේ මිථ්‍යා දෘෂ්ටිය නිසයි. බුදු හාමුදුරුවෝ කියන්නේ රාගය, ද්වේශය, මෝහය සම්පූර්ණයෙන් ඉවත් කරපු උත්තමයෙක්. ලෝකයේ මෙතෙක් පහළ වූ ශ්‍රේෂ්ඨතම ශාස්තෘවරයා උන් වහන්සේයි. එවන් උත්තමෙකුට යම් කෙනෙක් අපහාසයක් කළහොත් අනිවාර්යයෙන් ඒ තැනැත්තා නිරයට යනවා.
බුදු හාමුදුරුවන්ගේ ධර්මය කියන්නේ පරම සත්‍යයක්. ඒ පරම සත්‍ය කිසිම කෙනෙකුට නතර කරන්න බැහැ. ඒ නිසා උන් වහන්සේගේ චිත්‍ර ඇඳුම්වලට යොදාගෙන, උන් වහන්සේගේ රූප කඩලා විනාශ කර ඒ පරම සත්‍ය නැති කරන්න බැහැ. එය අවබෝධයක්. ඒ අවබෝධය ජනතාව තුළ තිබෙන තාක් ධර්මය විනාශ වෙන්නේ නැහැ. බුදු දහම විනාශ කිරීමට වැඩි වශයෙන් උත්සහ ගන්නේ අන්‍යාගමිකයන්. ඔවුන් කුමන ප්‍රයත්න දැරුවත් බුදු හාමුදුරුවන්ගේ ධර්මය විනාශ කරන්න බැහැ. එය සදාතනික ධර්මයක්.