දුටුගැමුණු රජු කල පිරිණිවන් පෑ මලියදේව හිමියන් ලංකාවේ අන්තිම රහත් තෙරනම නොවේ. සැබැවින්ම, අද වුව රහතුන් බිහි විය හැකිය. ඒ සදහා අවශ්‍ය වන්නේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ ශ්‍රී සද්ධර්මය සීල සමාධි ප්‍රඥා වශයෙන් දියුණු කොට සාක්ෂාත් කිරීමයි.

ඔබත් බුදුරදුන් පෙන්වා වදාළ උත්තම දහම් මාර්ගයේ ගමන් කරන්න


Powered by දහම් විල


ලිපි සඳහා පහත මාසය අනුව ලිපි පටුන බලන්න

ත්‍රිලක්‍ෂණය පහදා දුන් ධම්ම පද

ධම්ම පදයේ 277,279, 298 යන ගාථා ධර්මයන් තුළින් සියලු සංඛාර ධර්මයන්ගේ යථා ස්‌වරූපය දේශනා කොට ඇත. ඒ බැව් ප්‍රඥාවෙන් දැකීම තුළින්ම චිත්ත විසුද්ධිය මෙන්ම සියලුම දුක්‌ඛයන්ගෙන් මිදීමට හැකි වන්නේය.
සබ්බේ සංඛාරා අනිච්චාති 
යදා පඤ්ඤාය පස්‌සති
අථ නිබ්බින්දති දුක්‌ඛෙ
ඒස මග්ගෝ විසුද්ධියා
සබ්බේ සංඛාරා දුක්‌ඛාති
යදා පඤ්ඤාය පස්‌සති
අථ නිබ්බින්දති දුක්‌ඛෙ
ඒස මග්ගෝ විසුද්ධියා
සබ්බේ ධම්මා අනත්තානි
යදා පඤ්ඤාය පස්‌සති
අථ නිබ්බින්දති දුක්‌ඛෙ 
ඒස මග්ගෝ විසුද්ධියා
සියලු සංස්‌කාර ධර්මයෝ අනිත්‍යයි යන වචන මාලාව බෞද්ධයන්ට නිතර නිතර අසන්නට ලැබෙන එසේම කියවා කටට හුරු පුරුදු වචන ටිකකි. විශේෂයෙන්ම අවමංගල්‍ය අවස්‌ථා වලදී ආගමික වතාවත් සිදු කරන විටදී භික්‍ෂූන් වහන්සේලා මේ ගාථා ධර්මය දේශනා කරති. එසේම මෘතදේහ මිහිදන් කරන විට දීද එතනට රැස්‌වන පිරිස මෙම ගාථාව කියමින් අතින් පස්‌ පිඬක්‌ ගෙන වලට දමති. නමුත් විශ්වයේ පවත්නාවූ සියලුම ලෝක තලයන්ට පොදු වූ ධර්මතාවන් මේ ගාථා තුළින් විග්‍රහ වන බව ප්‍රඥාව තුළින් විමසා බලා තේරුම් ගන්නා පිරිස ඉතාම අල්ප යෑයි සිතෙයි.
ඉහත ගාථා තුනෙන්ම විග්‍රහය වන්නා වූ සංඛාර යනු මොනවාද, පාලි භාෂාවෙන් සංඛාර යන්නෙන් අර්ථ ගැන්වෙන්නේ හටගත්, දෙය, පැවතීමට උපකාර වන දෙය, ක්‍රියාකිරීමේ ශක්‌තිය යන අරුත්ය. සංඛාරක්‌ඛන්ධව යනුවෙන් ලෝභ, ද්වේෂ, මෝහාදී චෛතසික හැඳින්වේ. මේ අනුව විශ්වයේ කොතැනක හෝ හටගත් දෙයක්‌ සංඛාර වශයෙන් අර්ථ ගැන්වෙයි. ඉර, හඳ, වලාකුළු, සුළඟ ගස්‌, ගල්, සාගර වැව්, පොකුණු, ගංගා මෙන්ම ඒවා ආශ්‍රිතව සැකසෙන සෑම දෙයක්‌ම සංඛාර වෙති. සියලුම සත්ත්ව ශරීර මෙන්ම එම සත්ත්වයන්ගේ සිත්ද මෙකී සංඛාරයෝම වෙති. මෙය ගැඹුරු ධර්මතාවකි. එම නිසාම යදා පඤ්ඤාය පස්‌සති යනුවෙන් යම් කලෙක ප්‍රඥාවෙන්ම දැකිය යුතු යෑයි දේශනා කොට වදාළේ එබැවිනි.
මිනිසාගේ මෙන්ම සියලුම සත්ත්වයන්ගේ ගත සිත හෙවත් නාම රූපවලද ස්‌වභාවය ද මොහොතක්‌ පාසා සකස්‌ වෙයි. හටගනියි. වෙනස්‌ වෙයි. අනිච්චං සංඛතං පටිච්ච සමුප්පන්නං ඛයධම්මා වයධම්මා, විරාග ධම්මා නිරෝධ ධම්මා යනුවෙන් මෙම විශ්ව සිද්ධාන්තය පෙන්වා දී තිබේ. එනම් වෙනස්‌ වන සුලු බවය සකස්‌ වී තිබෙන සුලුය. හේතූන් නිසා සැකසෙන සුලුය, බිඳෙන සුලුය, ක්‍ෂය වන සුලුය නැති වන සුලුය. සදහටම නැති වන්නේය යනුවෙනි.
ඉහත ගාථා ත්‍රිත්වයෙන් පෙන්වා දෙනු ලබන්නේ ලෝක තලයන් තුළ පවත්නා සෑම දෙයක්‌ම අනිත්‍ය වූද, දුක්‌ඛ වුද, අනාත්ම හෙවත් ස්‌ථීරතර වූ ආධිපත්‍යයක්‌ නොමැති දේවල් බවත් එකී ස්‌වභාවය ප්‍රඥාවෙන්ම දැකිය යුතු බවත්ය. එසේ සිතා විමසා බැලීමට නොපෙලඹෙනතාක්‌ කල් මෙකී ත්‍රිලක්‍ෂණය ගැන දැනීමක්‌ ඇති නොවන තාක්‌ කල් නිරෝධ ධම්මතාවය හෙවත් සදහටම දුක නැති කර ලීමට හැකියාවක්‌ නොලැබෙයි.
වර්තමාන බෞද්ධ සමාජය තුළ බුදු දහමට අනුව සිතීමට හා විමසා බැලීමට බහුතරයක්‌ දෙනා නොපෙලෙඹෙන නිසා ඔවුනට ධර්මයේ හරය නොපෙනෙයි. කෙනෙක්‌ මිහිදන් කරන විටදී අනිච්චාවත සංඛාරා උප්පාද වය ධම්මිනෝ උප්පඡ්ජිත්වා නිරුඡ්Cඩන්ති තේසං වූප සමෝසුඛෝති කියන පාලි පාඨය කට පාඩමෙන් කියවන නමුත් එයින් ගම්‍ය වන්නා වූ හරය කුමක්‌ද? කියා සිතා බලන්නේ නැත.
මිනිසා මෙන්ම සියලුම සත්ත්වයෝ මරණයට පත් වූ විට එම සිරුර කුණු වී කැඩී බිඳී දිරා පත්වී ක්‍ෂය වී යන්නේය. එය එසේ වන්නේ සංස්‌කාර නිසා සකස්‌ වූ මෙම ශරීරය අනිත්‍ය වී දුක්‌ඛයන්ට ගොදුරු නොවී ස්‌ථාරව තබා ගත නොහැකි අනාත්ම භාවය නිසාය. මරණානුස්‌මෘතිය තුළින් මේ බැව් නොසිතා කොපමණ ආගමික වතාවත් කළත් කෙළෙස්‌ සංසිඳුවා ගත නොහැකිය.
චිත්ත අභ්‍යන්තරයේ පවතින ක්‌ලේශ ධර්මතාවයක්‌ අන්සත්ත්වයන්ට වඩා වසා ගෙන සිටින සත්ත්වයා නම් මිනිසාය. මේ නිසා සෑම මනුෂ්‍යයකු තුළම බාහිරෙන් ප්‍රදර්ශනය කරන මනුෂ්‍යත්වයට යටින් ගති නිමිති වශයෙන් ඔවුන් තුළ සැඟව පවතින නා නා ප්‍රකාර ගති පවතී. ඒවා තිරිසන් ගති, දේවගති, යක්‍ෂ ගති ප්‍රේතගති, බ්‍රහ්ම ගති ආදී වශයෙන් වරින් වර ඉස්‌මතු වී එන අතර බොහෝ විට නරක ගති වසාගෙන සිටිති. ධර්මයේදී ගති නිමිති වශයෙන් මේවා හඳුන්වනු ලබයි.
එසේ නම් කතාවෙන්, සිනාවෙන් හෝ ක්‍රියාවෙන් මිනිසුන් හඳුනාගත නොහැක. මන්ද? ඔවුන්ගේ සිත් තුළ නා නා ප්‍රකාර ක්‌ලේශයන් වසාගෙන සිටින අයවලුත් නිසාය. මේ බැව් ඡන්න මති වස්‌සති විවට්‌ටං නාති වස්‌තති තස්‌මාහි ඡන්න විවරේථං නාති වස්‌සති යනුවෙන් දේශනා කොට ඇත. එහි අර්ථය වනුයේ වසා තිබෙන විට වැගිරේ විවෘතව තිබෙන විට නොවැගිරේ යන්නය. එම නිසා තම තමන් සිත් තුළ පවතින රාග, ද්වේෂ, මෝහ මුල්කොට සැඟව පවතින පංචකාමයන්ට තිබෙන ආශාවන් නිසාම ද්වේශය පහළ වී තරහ යැම නා නා විධ ආශාවන්ට ගිජුවීම හා ඒවාට වහල් වීම නිසා පරම සත්‍ය තේරුම් ගැනීමට නොහැකිව මිරිඟුවක්‌ වූ අවිද්‍යාව පසු පස හඹා යයි. ඒ චිත්ත සංඛාර යන්ගේ ස්‌වභාවයයි.
සංඛාර තේරුම් ගැනීමේදී භෞතිකව ගටගන්නා දේවල් කාය සංඛාර වශයෙන්ද මුවෙන් පිටවන ශබ්දයන් වචී සංඛාර වශයෙන්ද සිතේ හටගන්නා සිතිවිලි මනෝ සංඛාර වශයෙන්ද හැඳින්වෙයි. මෙසේ සැකසෙන සංඛාර ශක්‌තිය ජනිත කර වනුයේ සිතෙනි. එම නිසා සිත තුළ හට ගැනෙන සංඛාර ත්‍රිවිධාකාර වෙති. යහපත් දේවල්වලට යොමු කරවන සංඛාර පුණ්‍යාභි සංඛාර වශයෙනුත් අයහපත් දේවලට යොමු කරවන සංඛාර අපුණ්‍යාභි සංඛාර වශයෙනුත් රූප අරූපාදී ධ්‍යානයන්ට යොමු කරවන සංඛාර අනේභ්‍යාජානු සංඛාර වශයෙනුත් පෙන්වා දී ඇත.
නාම රූප සංයෝජනය නිසා සත්ත්වයෙකු හට ගැනෙයි. මින් රූපය තුළ ඇති වන අනිත්‍ය, දුක්‌ඛ, අනාත්ම ත්‍රිලක්‍ෂණය ප්‍රකටව පෙනෙන පහසුවෙන් වටහා ගත හැක්‌කකි. එහෙත් නාමය හෙවත් සිත රූපයටත් වඩා වේගයෙන් ඇතිවෙමින්, පවතිමින්, නැති වෙමින් පවතී. එය කෙතරම් වේගයෙන් සිදුවන්නේද යත් යමෙකුගේ සිත අනිත්‍ය, දුක්‌ඛ, අනාත්ම තත්ත්වයට පත් වීම එම සත්ත්වයාටවත් නොහැඟේ. මෙකී අති සූක්‍ෂ්ම ධර්මතාව දත හැකි වනුයේ ප්‍රඥාවන්තයාට පමණකි. දුක්‌ඛ වේදනා පහවී ගොස්‌ සුඛ හෝ උපේක්‍ෂා වේදනා හැඟෙන්නෙත් සුඛ උපේක්‌ඛා වේදනාවල් පහව ගොස්‌ දුක්‌ඛ වේදනා හැඟෙන්නෙත් සිතේ සැකසෙන අනිත්‍ය, දුක්‌ඛ අනාත්ම සංඛාර නිසාම බව ප්‍රඥාව තුළින් ප්‍රත්‍යක්‍ෂ කර ගත් විට එයම සියලු දුක්‌ඛයන්ගෙන් සිත මුදවා විසුද්ධි මාර්ගයට ප්‍රවිෂ්ට වීමට හේතු වේ.
සිත් තුළ ඇතිවන වෙනස්‌ වීම නොහැඟෙන නිසාම ස්‌ථීර බවක්‌ හැඟවෙයි. එම හැඟêම අවිද්‍යාව හෙවත් මෝහාන්ධකාරය ලෙස දැක්‌වෙයි. එය පලවා හැරිය හැකි එකම ධර්මතාවය වනුයේ ප්‍රඥාව පමණකි. මේ නිසාම තථාගතයාණන් වහන්සේ අඳුර පලවා හරින පහනක්‌ බඳු බැවින් ප්‍රඥාව පහනකට උපමා කරමින් කර ඇති දේශනා බොහෝය.
මෙසේ සබ්බේ සංඛාරා අනිච්චාති, සබ්බේ සංඛාරා දුක්‌ඛාති, සබ්බේ සංඛාරා ධනත්තානි යන්නෙන් දේශනාකොට වදාළ ගථා ධර්මයන් සංසුන් මනසින් යුතුව විමසා බලන්නෙකුට තිලක්‍ෂණය වනාහි විශ්ව ව්‍යාප්ත ධර්මතාවක්‌ බව මැනවින් අවබෝධ වනවා පමණක්‌ නොව සියලු කෙළෙස්‌මළ පහවී ගොස්‌ චිත්ත විසුද්ධිය ඇතිවීමට හේතු වේ.
කොබ්බෑවල සුමනදාස වීරසිංහ