දුටුගැමුණු රජු කල පිරිණිවන් පෑ මලියදේව හිමියන් ලංකාවේ අන්තිම රහත් තෙරනම නොවේ. සැබැවින්ම, අද වුව රහතුන් බිහි විය හැකිය. ඒ සදහා අවශ්‍ය වන්නේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ ශ්‍රී සද්ධර්මය සීල සමාධි ප්‍රඥා වශයෙන් දියුණු කොට සාක්ෂාත් කිරීමයි.

ඔබත් බුදුරදුන් පෙන්වා වදාළ උත්තම දහම් මාර්ගයේ ගමන් කරන්න


Powered by දහම් විල


ලිපි සඳහා පහත මාසය අනුව ලිපි පටුන බලන්න

ධර්ම රත්නය ධර්ම ගරුත්වය සහ ධර්ම සන්නිවේදනය

පළමු කොටස 

 ධර්ම රත්නය 
අප තිලෝගුරු භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ උන්වහන්සේගේ සම්මා සම්බුද්ධත්වයෙන් අවබෝධ කොට වදාළ උන්වහන්සේ විසින් දේශනා කොට වදාළ සියලු දේ ධර්ම රත්නයයි. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අනුව ආර්ය ශ්‍රාවකයන් විසින් දේශනා කොට වදාළ දේශනාද, ශ්‍රාවකයන් වහන්සේලා විසින් දේශනා කොට භාග්‍යවතුන් වහන්සේ විසින් අනුදැන වදාළ දේශනා සහ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අනුව දේශනා ක්‍රමය අනුව විස්තර වශයෙන් කරන ලද ධර්ම සංග්‍රහ කිරීමද ධර්ම රත්නයටම අයත් වෙයි. උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයෙහි හරයයි. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයෙන් සියලු දුක් නැති කොට විමුක්තිය සාක්ෂාත් කල හැකිය. එසේ විමුක්තිය සාක්ෂාත් කරන සසර බැමි සිඳ බිඳ දමන උතුම් වූ මාර්ග ඥානයන් සතරක් වෙයි. ධර්මයෙහි සෝවාන්, සකෘදාගාමි, අනාගාමී, අරහත් යනුවෙන් දක්වන්නේ මේ උතුම් මාර්ග ඥානයන් සතරයි. දුක් කෙලවර කරන මෙම උතුම් මාර්ග ඥානයන් එකිනෙක ලබනු සමගම අතරක් නොතබාම සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අරහත් යන පල නුවණද ලැබෙයි. අවසන් වශයෙන් උතුම් අරහත් මගපල නුවණ ලබනු සමගම නිවන, නිර්වාණය, විමුක්තිය ප්‍රත්‍යක්ෂ කෙරෙයි. ඒ අනුව ලොවෙන් එතෙර කරවන ධර්මයෝය, යන අදහසින් සතර මාර්ග පල (සෝවාන් මාර්ගය, සෝවාන් පලය, සකෘදාගාමි මාර්ගය, සකෘදාගාමි පලය, අනාගාමි මාර්ගය, අනාගාමී පලය, අරහත් මාර්ගය, අරහත් පලය) සහ නිර්වාණය යන මේ ධර්ම නවය නව ලෝකෝත්තර ශ්‍රී සද්ධර්මය යයි කියනු ලැබේ. භාග්‍යවතුන් වහන්සේගේ සියලු දේශනා අවසන් වශයෙන් අරමුණු කරන්නේ මෙම උතුම් නව ලෝකෝත්තර ශ්‍රී සද්ධර්මය සාක්ෂාත් කිරීම සඳහා චතුරාර්ය සත්‍යය අවබෝධ කිරීමය. එනිසා ලෝකෝත්තර මාර්ගය හෙළි කරන අනුත්තරීය ධර්ම චක්‍රය වශයෙන් භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය උතුම් වූ ධර්ම රත්නය වෙයි. පින්වත් බොදු ඔබ සැම සරණ ගියේ ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම රත්නයයි. මේ ලිපිය ලියන මාගේ, මෙය කියවන ඔබගේ, මෙය නොකියවන අන් සැමගේ දුක් නිවීම පිණිස, සැපය පිණිස, පහසු විහරණය පිණිස, අභියෝග ජය ගැනීම පිණිස එකම, සුදුසුම, ඒකායන මගද නොවරදින මගද පිහිටද ධර්මයයි. 

නමුත් අවාසනාවකට, උතුම් වූ ධර්ම රත්නය අසා එහි පිහිට ලබා ගැනීමට හැකි වාසනාව තිබියදී ධර්ම රත්නය පිළිබඳව නිරවුල් අවබෝධයක් නොමැති කමින් ධර්ම රත්නය පිළිබඳව වරදවා පිළිපැදීමෙන් ඔබ අප බොහෝ දෙනා නොමග යන බවට කරුණු පෙනෙන්නට තිබේ. උතුම් වූ ත්‍රිපිටක ධර්මය, ත්‍රිපිටක ධර්මය සංග්‍රහ වී ඇති ආකාරය, ධර්මය අසන ඉගෙන ගන්නා පිළිවෙල පිළිබඳව භාග්‍යවතුන් වහන්සේගේ උපදේශයන්, ධර්මය අනුව පිළිපැදීමට යොමු විය යුතු ආකාරය, උතුම් වූ අට්ඨකථා (අටුවා) සාහිත්‍ය ආදිය ගැන නිරවුල් අවබෝධයක් නොමැති වීමෙන් ඉතා අවුල් සහගත මතවාද සහ විටෙක ධර්ම විරෝධී අදහස් බෞද්ධ අප වෙතින්ම පැන නගින බව පෙනෙන්නට තිබේ. එනිසා දුෂ්කර කාර්යයක් වුවද අපේ ශක්ති ප්‍රමාණයෙන් උතුම් වූ ත්‍රිපිටක ධර්මය, එය සංග්‍රහ වීම, අටුවා සාහිත්‍යය මෙන්ම විශේෂයෙන් ධර්ම ගරුත්වය සහිතව ධර්ම රත්නය කෙරෙහි පිළිපැදිය යුතු ආකාරය ගැන නිරවුල් කරුණු දැක්වීමක් කිරීම අරමුණු කරගෙන මෙම ලිපිය ලියන්නට සිත්විය. මෙම අරමුණට අදාල සියලු කරුණු එක ලිපියකින් සංග්‍රහ කිරීම කිසිසේත්ම කල හැක්කක් නොවන බවත්, එවැනි පරිපූර්ණ විග්‍රහයක් කිරීමට තරම් විශද නුවණක් හෝ බහුශ්‍රැත බවක් අප සතු නොවන බවත් නිහතමානීව පළමුව දක්වා සිටිමි. නමුත් ධර්මය ඇසුරින්ම කරනු දක්වමින් නිරවුල් විය යුතු තැන් කිහිපයක් දක්වා යම් මග පෙන්වීමක් කිරීමට අපට හැකිය. අප සඳහන් කරන කරුණු වල යම් වරදක් වෙතොත් අප කෙරෙහි කරුණාවෙන් මෙත් සිතැතිව ඒ පෙන්වා දෙන කලණ මිතුරන්ට පින්දෙමි. සියලු කරුණු භාග්‍යවතුන් වහන්සේගේ දේශනා සමග සසඳා ශ්‍රද්ධාවෙන්ද නුවණින්ද යුත් ධර්මධරයන් සමග සාකච්ඡා කරනු ලබන මෙන් පළමුව ඉල්ලා සිටිමි. 

භාග්‍යවතුන් වහන්සේගේ සියලුම දේශනා පොදුවේ “ධර්මය” නමින් හැඳින්වෙයි. ධර්මය නැවත “ධර්ම” සහ “විනය” වශයෙන් කොටස් දෙකකි. එයින් “ධර්ම” යන්න “සූත්‍ර” සහ “අභිධර්ම” යනුවෙන් කොටස් දෙකකි. ත්‍රිපිටකය යනුවෙන් අප දක්වන්නේ සූත්‍ර, විනය,අභිධර්ම යන මේ කොටස් තුන බව ඔබ සම දනිතියි සිතමි. ත්‍රිපිටකය සහ එහි අන්තර්ගතය පිළිබඳව අමුතුවෙන් කරුණු දැක්වීම මෙහි අරමුණ නොවෙයි. නමුත් බෞද්ධ පින්වත් සමහර දෙනෙකු ත්‍රිපිටකය සහ එය සංග්‍රහ වීමත් එය පැවත ආ ආකාරයත් ගැන ඇති අනවබෝධය නිසා අවුලට පත්ව තිබෙනු පෙනෙයි. දැන් දැන් සමහරෙක් අති උතුම් වූ ත්‍රිපිටක ධර්මය පිළිබඳවත් සැක කිරීමටත් කරුණු නොදැනම ඒ පිලිබඳ විවේචන කිරීමටත් යාමෙන් තිසරණයම අහිමි කරගනිති. කල්ප කෝටි කාලාන්තරයකින් ලැබෙන අති දුර්ලභ මේ ධර්ම දායාදය තමනුත් නොලබා අන්‍යයන්ටද එය අහිමි කොට දුකට හේතු වන පව් රැස් කර ගනිති. සමහරෙක් අනවශ්‍ය වාද විවාද කරලීමෙහි අදහසින් දහම් කරුණු උපුටා දක්වා තමාගේ වාදයෙහි ජය පතති. එක් තැනෙක උත්තම වූ “ධම්ම පදයෙහි” බාල වර්ගයෙහි ගාථාවක් ගෙන එහි අරුත නොවිමසා අන්‍යයන්ට ගරහනු පිණිස යොදා ගනු දිටිමි. ඒ අතර තිසරණයට නොපැමිණි, භාග්‍යවතුන් වහන්සේටත් ධර්මයටත් සංඝයාටත් එරෙහිව වෛරයෙන් අදහස් දක්වන පිරිස්, මිත්‍යාව වැළඳ ගත් පිරිස් තිසරණයට පහර දීමෙන් සිය නිරය ගමන සහතික කරගනිති. පින් ඇති ඔබ, තිසරණ සරණ ගිය ඔබ මෙවැනි විටක ඉතාම ප්‍රවේශම් විය යුතුය. ගොඩ නැගිය නොහැකි ලෙස මිත්‍යාවෙහිම ගැලුණු පිරිසට කරුණු පහදා දී ධර්මයට ගැනීම පහසු නොවෙයි. කෙලෙස් මල යටපත් නොකර ඔබත් මමත් ඔවුන් සමග වාදයට යාමෙන් ද්වේශයටත්, මිත්‍යාවෙහි ගැලී නගන සමහර ගැටළු වලට ඉවසිලිවන්ත නොවී නුවණින් නොවිමසා පිළිතුරු දීමට යාමෙන් ධර්මයටත් විශේෂයෙන්ම සංඝ රත්නය විෂයෙහිත් වැරදි කරුණු දැක්වීමෙන් බොහෝ පව් සිදුවිය හැකිය. ඔබේ සරණ නැති කර ඔබ අසරණ කිරීමට ඉඩ නොදෙන්න. මුනින් අතට හරවා ඇති බඳුනකට දිය වත් කල නොහැකිය. ඔවුන්ට කරුණාවෙන් අනුකම්පා කරන්න, ඔවුන් සමග අනවශ්‍ය පරිදි වාදයට නොගොස් පරාජය වන්න. එයින්ම මෙලොව පරලොව දිනන්න. ඒ සඳහා ඔබට නුවණ තිබේ. 

අද තිබෙන ත්‍රිපිටකය භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවන්ගෙන්ම (ප්‍රධාන වශයෙන්) සමන්විත නිවැරදි ථෙරවාද ත්‍රිපිටකය බවට කරුණු. 

භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑමෙන් තෙමසකින්, ශ්‍රී ගෞතම සම්බුද්ධ ශාසනයෙහි තෘතීය ශ්‍රාවක වූ, මහෝත්තම වූ, භාග්‍යවතුන් වහන්සේගේ ඖරස පුත්‍ර, සසුනෙහි ධුතාංගධාරීන් අතරින් අග තැන්පත් මහා කාශ්‍යප මහා රහතන් වහන්සේගේත් මහෝත්තම වූ, අභිඥා ලාභීන් අතර අග්‍ර වූ භාග්‍යවතුන් වහන්සේගේ ඖරස පුත්‍ර අනුරුද්ධ මහා රහතන් වහන්සේගේත් ප්‍රධානත්වයෙන් ප්‍රථම ධර්ම සංගායනාව පැවති බව අපි දනිමු. එහිදී මහෝත්තම වූ, බහුශ්‍රැතයන් අතරින්ද, ස්මෘති ශක්තිය ඇත්තන් අතරින්ද, සිහි නුවණ ඇත්තන් අතරින්ද අග්‍ර වූ ධර්ම භාණ්ඩාගාරික වූ, අග්‍ර උපස්ථායක වූ ආනන්ද මහා රහතන් වහන්සේත්, මහෝත්තම වූ විනය ධරයන් අතරින් අග්‍ර වූ උපාලි මහා රහතන් වහන්සේත් භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවන් ඒ අයුරින්ම දේශනා කළහ. භාග්‍යවතුන් වහන්සේ විසින් ඒ ඒ තැන දේශනා කරන ලද සියලු ධර්මය නැවත සංක්ෂිප්ත වශයෙන් ආනන්ද මහා රහතන් වහන්සේට දේශනා කොට තිබුන බව අපි මතක තබා ගත යුතුයි. තවද, මෙහිදී ධර්ම සංගායනාවට ඒ වන විට වැඩ සිටි ශ්‍රී ගෞතම බුදු සසුනෙහි මහා ශ්‍රාවකයන් වහන්සේලා ඇතුළුව මහෝත්තම වූ, සිව්පිළිසිඹියාපත් මහා රහතන් වහන්සේලා පන්සීය නමක් සහභාගී වූ බව සඳහන් කල යුතුයි. මෙහිදී පැහැදිලිවම සූත්‍ර, අභිධර්ම සහ විනය යන පිටක තුනම සංගායනා වූ බවට පැහැදිලි සාක්ෂි තිබේ. සමහරෙක් අභිධර්ම පිටකය සංගායනා වීම පිළිබඳව ප්‍රශ්න නැගුවත් අභිධර්මය සම්බුද්ධ භාෂිතයක් බවට ඉතාම නිරවුල් සාක්ෂි ඇත.. (අභිධර්ම පිටකය පිළිබඳව විග්‍රහයක් වෙනම ලිපියකින් සිදු කල යුතුය). 

පළමු සංගායනාවෙන් සංගායනා කල අත්‍යුත්තම ත්‍රිපිටකය ඒ අයුරින්ම අපට දායාද වූ අයුරු දැනගනිමු. 

සම්බුද්ධ පරිනිර්වාණය වන විට සාරිපුත්ත මොග්ගල්ලාන අග්‍රශ්‍රාවකයන් වහන්සේලාද, රාහුල මහා රහතන් වහන්සේ ඇතුළු අසූ මහා ශ්‍රාවකයන් අතරින් බොහෝ නමක්ද පිරිනිවන්පා තිබිණි. මහෝත්තම වූ මහාකාශ්‍යප, අනුරුද්ධ, උපාලි, ආනන්ද ආදී මහා ශ්‍රාවකයන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් සම්බුද්ධ පරිනිර්වාණයෙන් තෙමසකින් පළමු ධර්ම සංගායනාව පවත්වන ලදුව බොහෝ මහා ශ්‍රාවකයන් වහන්සේලා විසින් සිය දහස් ගණනින් ශිෂ්‍ය සංඝයා වහන්සේලා හට ත්‍රිපිටක ධර්මය උගන්වා තිබිණ. මහෝත්තම අග්‍රශ්‍රාවක වූ ධම්ම සේනාපති සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය පරම්පරාව විශේෂයෙන් අභිධර්ම පිටකය විශේෂ කොට ත්‍රිපිටක ධර්මය උගෙන තිබිණ. මේ අතරින් පෙර දක්වන ලද උපාලි මහා රහතන් වහන්සේ ගණනය කල නොහැකි තරම් මහත් වූ ශිෂ්‍ය පිරිසකට ත්‍රිපිටක ධර්මය උගැන්වූ බව දක්වා තිබේ. උන්වහන්සේගේ මහත් වූ ශිෂ්‍ය පිරිසෙන් අග්‍ර වූ මහරහතන් වහන්සේලා දහසකට මූලික වූ “දාසක මහා රහතන් වහන්සේ” විශේෂයෙන් උන්වහන්සේගෙන් පසුව ශිෂ්‍ය පරම්පරාවට පළමු ධර්ම සංගායනාව පරිදිම ත්‍රිපිටක ධර්මය උගන්වා ඇත. එම ශිෂ්‍ය පරම්පරාවේ මූලිකයා වූ “සෝණක මහා රහතන් වහන්සේ” විසින් තමන් වෙත පැමිණ පන්සියයක් පිරිස සමග පැවිදි වූ “සිග්ගව සහ චණ්ඩවග්ගී” යන ශිෂ්‍ය රහතන් වහන්සේලාට ත්‍රිපිටක ධර්මය උගන්වා පරිපූර්ණ කොට ඇත. මේ වන විට සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර සියයක් ඉක්මී තිබිණ. එකල භාග්‍යවතුන් වහන්සේ සියැසින් දුටු උත්තම ශ්‍රාවකයෝ අට දෙනෙක් වැඩ වාසය කරන ලද අතර ආනන්ද මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය නමක් වූ රේවත මහා රහතන් වහන්සේ ඉන් ප්‍රධාන විය. දෙවන ධර්ම සංගායනාව පැවැත්වීමට මූලික වූයේද මෙම රේවත මහරහතන් වහන්සේය. එවකට ශ්‍රී ගෞතම සම්බුද්ධ ශාසනයෙහි වැඩසිටි ජ්‍යෙෂ්ඨයා ලෙස මතු බුදු සසුනෙහි ආරක්ෂාව පිරික්සන උන් වහන්සේ නැවත තෙවන ධර්ම සංගායනාවක් පැවැත්වෙන කාලය උතුම් වූ නුවණින් විමසා බලන්නේ එය සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර දෙසිය තිස් හයේදී සිදු වන බව දැන, මතු සසුනේ දියුණුව සලකමින් එම ධර්ම සංගායනාව පැවැත්වීමට සුදුස්සා විමසා බැලූ සේක. එවිට මහත් පින් ඇති ධර්මාවබෝධයට සරිලන නුවණ ඇති බ්‍රහ්ම ලෝකයෙහි වසන ආයු‍ෂ පිරිහුණු “තිස්ස” නම් බ්‍රහ්මයෙක් දැක බඹ ලොවට වැඩ බුදුසසුනේ චිරස්ථිතිය පිණිස මනු ලොව උපදින්නට ආරාධනා කරනලදී. තවද මැනවින් විමසා, බලා පෙර සඳහන් කරන ලද උපාලි මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය පරම්පරාවෙන් පවත එන සිග්ගව, චණ්ඩවග්ගී යන මහරහතන් වහන්සේලා වෙත එළඹ, තිස්ස බ්‍රහ්මයා මනුලොව ඉපදීමෙන් පසුව උන්වහන්සේ පැවිදි කොට උතුම් වූ ත්‍රිපිටක ධර්මය ඉගැන්වීමට භාර කරන ලදී. 

තුන්වන ධර්ම සංගායනාවට මුල් වූ උත්තම වූ, “මොග්ගලීපුත්ත තිස්ස” මහරහතන් වහන්සේ යනු එම තිස්ස බ්‍රහ්මයාය. උන්වහන්සේගේ චරිත කථාව ශාසන ඉතිහාසය දනු කැමති පින්වත් පිරිස කියවා බලන්නේ නම් මැනවි. තවද චණ්ඩාශෝක අධිරාජ්‍යයාගේ සිත පහන් කොට ධර්මාශෝක බවට පෙරලීමට මුල් වූ “නීග්‍රෝධ සාමණේරයන් වහන්සේ” මෙම මොග්ගලී පුත්තතිස්ස තෙරුන් වහන්සේගේ ශිෂ්‍ය නමකි. තවද සිංහල අපට අනුබුදු වූ, අප කෙරෙහි මහත් කරුණාවෙන් අප දිවයිනට පැමිණ බුදුසසුන පිහිටවා මුළුමහත් ජාතියත් ශිෂ්ටාචාරයත් සම්බුදු දහමින් සුවපත් කල, උත්තම වූ මිහිඳු මහරහතන් වහන්සේ වූ කලී මෙම මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේගේ ප්‍රධානම ශිෂ්‍ය රත්නයකි. අපට උතුම් සද්ධර්මය ලැබුනේ උන්වහන්සේගෙනි. තෙවන ධර්ම සංගායනාවෙන් පසු ලොව පුරා ධර්ම ප්‍රචාරය කරවීමට සැලසූ ධර්මාශෝක රාජ්‍ය සමයෙන් පසුවද තවත් වසර සිය ගණනක් දඹදිව බුදුසසුන විරාජමානව පැවතිණි. ග්‍රීසියේ මිලිඳු (මිලැන්ඩර් නමින් හඳුනාගෙන ඇති) රජු සමග දාර්ශනික ධර්ම සංවාදයක් කල “නාගසේන” නම් උතුම් වූ මහරහතන් වහන්සේ පවා දඹදිව වැඩ සිටියේ සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර පන්සියයකටත් පසුවය. ලොව පුරා දේශයන්හි බුදුසසුන මෙසේ මැනවින් පැතිර බොහෝ මහරහතන් වහන්සේලා වැඩ සිටියදී මිහිදු මහා රහතන් වහන්සේගෙන් පසුව ඉතා ශීඝ්‍රයෙන් ලංකාවේද බුදු සසුන මුල් බැසගෙන පැතිර ගියේය. ලක්දිව උතුම් වූ ත්‍රිපිටකය ග්‍රන්ථාරූඨ කරන්නට යෙදුනේ මෙලෙස දඹදිව පවා මහරහතන් වහන්සේලා වැඩ සිටි මැනවින් බුදුසසුන ප්‍රචලිතව පැවති බුද්ධ වර්ෂ (456) හාරසිය පනස් හයේ දීය. එනිසා වර්තමානයේ අප සතුව පවතින නිර්මල ත්‍රිපිටක ධර්මය පිළිබඳව සැක කරන්නට කිසිදු සාධාරණ කරුණක් නැත්තේමය. තවද ධර්මාශෝක රජතුමා ලංකාවට මෙන්ම පෙරදිග කෙලවරින් ග්‍රීසිය ආදී බටහිර රටවල් දක්වාම ධර්ම ප්‍රචාර කටයුතු කල බවට සාධක තිබේ. අද ථෙරවාද ධර්මයේ ප්‍රාමාණික ග්‍රන්ථාවලිය (නිවැරදිම සහ ප්‍රධානම) ලෙස සැලකෙන්නේ මෙසේ ග්‍රන්ථාරූඪ කරන ලදුව රැකගෙන ආ ත්‍රිපිටකයයි. “ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති ත්‍රිපිටකය” නමින් ක්‍රිස්තු වර්ෂ 1956, නොහොත් 2500 බුද්ධ ජයන්ති වර්ෂයේදී යෝජනා කොට සිංහල පරිවර්තනය සහිතව පාලි ත්‍රිපිටකය මුද්‍රණය කිරීමේ කටයුතු ආරම්භ කොට මේ වන විට එය අප අතට පත් වී ඇත. එම කටයුත්ත සිදු කරන ලද්දේ පුළුල් ධර්මධර සංඝ මණ්ඩලයක් විසින් ලංකාවේ, බුරුමයේ, තායිලන්තයේ සහ ඉන්දියාවේ රැකගෙන ආ ත්‍රිපිටක තල් පත්‍ර පිටපත් මැනවින් සංසන්දනය කරමිනි. එම පිටපත් කොතරම් නිවැරදිද කිවහොත් එකී බුරුම තායි පිටපත් සහ ලංකාවේ පිටපත් මැනවින් එකිනෙකට සමානව දක්නට තිබිණ. සමහර සූත්‍ර වල ඉතාම සුළු වශයෙන් වචනයක ඉස්පිල්ලක, පාපිල්ලක, වචනයක කොටසක ආදී වශයෙන් අරුතට හානි නොවන දුලබ වෙනස්කමක් හැරුනුකොට නියම පාලි ත්‍රිපිටකය නොවෙනස්ව මනාව ආරක්ෂා වී තිබිණ. වසර දහස් ගණනක් තිස්සේ ථෙරවාදී සංඝ පරම්පරාව මා වැන්නෙකුට වචනයෙන් කිසිසේත්ම කිව නොහැකි තරම් මහත් පරිශ්‍රමයෙන් කැපවීමෙන් අප වෙත මේ මහඟු ධර්ම දායාදය නිරුපද්‍රිතව පරිපූර්ණව ශේෂ කොට ඇති බව සඳහන් කරන්නේ උත්තම වූ සංඝ රත්නයට සිතින් කයින් වචනයෙන් මාගේ අත්‍යන්ත නමස්කාරයද ගෞරවයද දක්වමිනි. අද බොහෝ බොදුනුවන්ට අමතක වී තිබෙන නමුත් බැමිණිතියාසාය වැනි ස්වභාවික උවදුරු, එළාර, කාලිංඝ මාඝ, චෝල ආදී මෙන්ම ඉංග්‍රීසීන් දක්වාම විවිධ ආක්‍රමණයන් සහිත උපද්‍රව කාලයන්හි අප මහා සංඝ රත්නය මේ උතුම් ධර්මය දායාදය අප වෙනුවෙන්ම ආරක්ෂා කරන්නට සිය ජීවිත කැප කොට කටයුතු කර ඇත. මේ කරුණු දැනගැනීමට උනන්දු පින්වතුන් අඩුම තරමින් අතිශය ගෞරවාර්හ රේරුකානේ චන්දවිමල මහනායක ස්වාමීන්වහන්සේ විසින් ලියන ලද “සූවිසි මහගුණය” තෙරුවන් ගුණ විස්තර දක්වන ග්‍රන්ථය කියවන ලෙස මතක් කරමි. තෙරුවන් ගුණ දැන ඒ කෙරෙහි අචල ප්‍රසාදය ඇති කරගැනීමට මහත් රුකුලක්ද එම මහානර්ඝ දහම් පොතින් ඔබට ලබා ගත හැකිය.  

ධර්ම ගරුත්වය ඇති කරගනිමු. 

ධර්ම ගරුත්වය ඇති වන්නේ අප තුල ධර්මය කෙරෙහි ශ්‍රද්ධාව ඇතිකරගෙන ඒ වැඩිදියුණු කර ගැනීමෙනි. ධර්ම රත්නය ගැන ශ්‍රද්ධාව ඇති කරගැනීමට ධර්ම රත්නයේ ගුණ සහ එහි අනන්ත බව දැනගත යුතුය. ධර්ම රත්නයෙහි ගුණ පිළිබඳව ඇති වැටහීමත් ඒ ගැන ඇති ශ්‍රද්ධාවත් අනන්ත සම්බුදු ගුණ පිළිබඳව ඇති වැටහීමත් ශ්‍රද්ධාවත් සමග වෙන් කල නොහැකි ලෙස අත්‍යන්තයෙන් බැඳී පවතී. අප බොහෝ දෙනෙකුට භාග්‍යවතුන් වහන්සේ ගැන යම් ශ්‍රද්ධාවක් පැහැදීමක් ඇති බව සැබෑය. නමුත් අනුරාධපුර යුගයෙන් පසු සමස්තයක් ලෙස තිසරණය විෂයෙහි අපේ පැහැදීම යම් පිරිහීමකට පත්ව ඇති බව මගේ විශ්වාසයයි. භාග්‍යවතුන් වහන්සේ ගැන ඇති වැටහීම වැඩි වන තරමට ඔබ තුල ධර්මය කෙරෙහි ඇති වන අවබෝධය දියුණු වෙයි. බෞද්ධ සාසන ප්‍රතිපදාව ආරම්භ වන්නේ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ඇති වන පැහැදීමෙනි, ශ්‍රද්ධාවෙනි. සාසනයෙහි මුල ශ්‍රද්ධාවයි. බුදු ගුණ අනන්තය, අචින්ත්‍යය. අප වැනි ගුණ හීන පෘථග්ජනයන් තබා, මහෝත්තම වූ සැරියුත් දම් සෙනෙවියන් වහන්සේ පවා බුදු ගුණයෙන් දන්නේ යම් ප්‍රමාණයක් පමණි. ඒ බව සැරියුත් මහරහතෙන් වහන්සේම පැහැදිලිව සඳහන් කර ඇත. එනිසා බුදු ගුණයෙහි අනන්ත බව තේරුම ගෙන භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ගෞරවයෙන් පිළිපදින්න. භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි නිගරු ලෙස සිතීමෙන්, වචන භාවිතයෙන් සහ හැසිරීමෙන් වලකින්න. භාග්‍යවතුන් වහන්සේ පිලිබඳ සඳහන් කිරීමේදී සුදුසුම ගෞරවනීය වචන හැර හුදු ආමන්ත්‍රණවාචී වචන සහ යෙදුම් භාවිතා නොකරන්න. භාග්‍යවතුන් වහන්සේ පමණක් නොව උන්වහන්සේ සුමේධ තාපසතුමා ලෙස දීපංකර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ හමුයෙහි නියත විවරණ ලබන දින පවා අෂ්ට සමාපත්ති ලාභී අභිඥා ඇති මහත් ගුණවතෙක් වූ බව සිහිකරන්න. කොටින්ම දීපංකර භාග්‍යවතුන් වහන්සේ පවා සුමේධ තාපසයන් වහන්සේ කෙරෙහි ගෞරව කල බව සිහිතබා ගන්න. අසම සම සම්මා සම්බුදු රජාණන් වහන්සේලා පවා, උන්වහන්සේලාට වඩා ගුණයෙන් පහල සිටියද ගුණවතුන් කෙරෙහි ගරු කල බව දක්වා තිබේ. ඉතින් කෙලෙසුන් සහිත අප වැනි ගුණ හීනයන් අසම සම භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි කවර නම් ගෞරවයක් ඇතිව ක්‍රියා කල යුතුද? මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වනාහි අනන්ත කාලයක් සසරෙහි බ්‍රහ්ම ලෝකයන්හි ඉපිද සිටි, මහත් පින් ඇති මහා ගුණවත් උත්තමයෙකි. උන්වහන්සේ ගිහිගෙය හැර පැවිදි වන විට මහපොලව කම්පා විය. නමුත්, උන්වහන්සේ පවා අප භාග්‍යවතුන් වහන්සේ දුරදීම දැක, භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේ නැවි නැවී, දුර සිටම මහත් ගෞරවයෙන් වන්දනා කරමින් අතිශය ගෞරව සම්පන්නවය. ඉතින් ඔබ මම වැනියන් ගැන කවර කතාද? දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත මිනිසුන් සහිත ලෝකධාතූන්හි සම්බුද්ධත්වය ලබන භවයෙහි මහා බෝධිසත්වයන්ට ගුණයෙන් සම කල හැකි වෙනත් අයෙක් නැත. 

ලොවට ධර්ම දායාදය ලබා දුන් භාග්‍යවතුන් වහන්සේගේ පාරමිතා කාලය 

අප බොහෝ දෙනෙක්ට ධර්මය සුලභව අසන්නට දකින්නට ලැබුණු නිසාදෝ එහි දුලභ බවත් එහි අත්‍යන්ත වටිනාකමත් නොදැනෙන බව විටෙක සිතේ. එනිසා මේ උතුම් ධර්මය අවබෝධ කරගැනීමට භාග්‍යවතුන් වහන්සේ දරන ලද අනන්ත පරිශ්‍රමයත් මහා බෝධිසත්වයන් වහන්සේ ලෙස සසරෙහි කරන ලද අප්‍රමාණ පුණ්‍ය සම්භාරයත් ගැන අදහසක් අවශ්‍යමය. අප බෝධිසත්වයන් වහන්සේ සාරාසංඛ්‍ය කල්පලක්ෂයක් පාරමී පුරන ලද බව අපි අසා ඇත. නමුත් මෙම දීර්ඝ කාල ප්‍රමාණය ගැන බොහෝ දෙනෙකුට නිරවුල් අවබෝධයක් නැති බව පෙනෙන බැවින් ඒ ගැන විග්‍රහ කිරීම සුදුසු යයි සිතමි. 

කල්පය සහ අසංඛ්‍ය වටහා ගනිමු. 

කල්පය. 
ලෝකධාතුන් වල හටගැනීම පැවැත්ම විනාශය සැලකීමේදීත් සංසාරය ගැන සඳහන් කිරීමේදීත් සම්මා සම්බුදු රජාණන් වහන්සේලා විසින් දක්වන ඇති දීර්ඝ කාල මිනුමකි “කල්පය”. භාග්‍යවතුන් වහන්සේ බොහෝ විට කල්පය දක්වා ඇත්තේ උපමාවලිනි. බොහෝ දෙනෙකු අසා ඇති “අබ ඇට වල උපමාව මෙහි දක්වමි” . යොදුනක් දිග (සැතපුම් දහසයක්), යොදුනක් පළල, යොදුනක් ගැඹුරු සතරැස් වලක් හෝ අගාධයක් හෝ අවකාශයක් සිතන්න. මේ ඝන යොදුන් අවකාශය මුළුමනින්ම අබ ඇටවලින් පුරවා ඇති බව සිතන්න. පසුව මනුෂ්‍ය වර්ෂ සියයකට එක අබ ඇටය බැගින් මෙම අබ ඇට ඉවත් කලහොත් සියලුම අබ ඇට ඉවත් කිරීමට ගත වනු ඇති කාලයට වඩා “කල්පය” දිග බව දක්වා තිබේ. කල්පය එතරම් අති දීර්ඝ කාලයකි. 

අසංඛ්‍යය 
අසංඛ්‍යය යනු ඉලක්කමකි. දහය, සියය, දහස, මිලියනය, බිලියනය වැනි ඊට වඩා අතිශය විශාල ඉලක්කමකි. දහසට එකයි බින්දු තුනකි. අසංඛ්‍ය ට එකයි බින්දු එකසිය හතළිහකි. පුරාණ බෞද්ධ සාහිත්‍යයෙහි දක්වෙන පිළිගත් සංඛ්‍යා ක්‍රමය අනුව මෙසේ එය දක්වමු. ලක්ෂ සියය කෝටියකි. කෝටි ලක්ෂ සියය ප්‍රකෝටියකි. ප්‍රකෝටි ලක්ෂ සියය නහුතයකි. නහුත ලක්ෂ සියය නින්නහුතයකි. නින්නහුත ලක්ෂ සියය අක්ෂෞභිණියකි. අක්ෂෞභිණි ලක්ෂ සියය බින්දුවකි. බින්දු ලක්ෂ සියය අබ්බුදයකි. අබ්බුද ලක්ෂ සියය නිරබ්බුදයකි. නිරබ්බුද ලක්ෂ සියය අහහ යකි. අහහ ලක්ෂ සියය අබබයකි. අබ්බ ලක්ෂ සියය අටට යකි. අටට ලක්ෂ සියය සෝගන්ධිකයකි. සෝගන්ධික ලක්ෂ සියය උප්පලයකි. උප්පල ලක්ෂ සියය කුමුදයකි. කුමුද ලක්ෂ සියය පුණ්ඩරික යකි. පුණ්ඩරික ලක්ෂ සියය පදුමයකි. පදුම ලක්ෂ සියය කථානයකි. කථාන ලක්ෂ සියය මහා කථානයකි. මහා කථාන ලක්ෂ සියය අසංඛ්‍යයකි. 

පාරමිතා කාලය 
පාරමිතා කාලය කොටස් තුනකි. ඒ මනෝ ප්‍රණීධානය, වාග් ප්‍රණීධානය සහ කායවාග් ප්‍රණීධානය වශයෙනි. මනෝ ප්‍රණිධානය සහ වාග් ප්‍රණිධානය පිලිවෙලින් කල්ප අසංඛ්‍ය සතක් සහ නවයක් වෙයි. නමුත් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂය යන කාලය ගනින්නේ කායවාග් ප්‍රණීධානයේ සිටය. කායවාග් ප්‍රණීධානය ඇරඹෙන්නේ පළමු නියත විවරණ ගැනීමෙනි. ඒ අනුව අප මහා බෝධිසත්වයන් වහන්සේ කල්ප අසංඛ්‍ය සතරක් සහ අමතර තවත් කල්ප ලක්ෂ්‍යයක් පාරමී පුරන ලද සේක. (මුළු පාරමිතා කාලය වශයෙන් ගත්විට කල්ප අසංඛ විස්සකි.) 

සාරාසංඛ්‍ය කල්ප ලක්ෂය = (කල්පය x4 xඅසංඛ්‍යය) + (කල්පය x ලක්ෂය) 
කල්පය යනු ඉතා දීර්ඝ කාලයක් බව ඔබට දැන් වැටහෙනවා ඇති. එවන් කල්පම අසංඛ්‍ය සතරක් යනු පුහුදුන් ඔබට මට සිතින් කල්පනා කිරීමටවත් නොහැකි ඇති දීර්ඝ කාලයක් බව ඔබට පැහැදිලි විය යුතුය. භාග්‍යවතුන් වහන්සේ එවන් අප්‍රමාණ කාලයක් ඔබ අප වෙනුවෙන් සසරෙහි කැපකිරීම් සිදුකොට, මහත් වීර්යයෙන් යුතුව අවබෝධ කර ගත් ධර්මය ඔබට මට සුළුවෙන් තැකීමට කිසිදු කරුණක් නැත. එනිසා භාග්‍යවතුන් වහන්සේ කෙරෙහිත් ධර්මය කෙරෙහිත් අප්‍රමාණ ගෞරවයක් අප සිතෙහි තහවුරු කරගැනීමට ක්‍රියා කල යුතුයි. භාග්‍යවතුන් වහන්සේ ධර්මය අවබෝධ කර ගැනීම උදෙසා සිදු නොකළ කැපකිරීමක් නැත. උන්වහන්සේ අප එක් එක් ශ්‍රාවකයා වෙනුවෙන්ම සසරෙහි කල කැපවීම අප විසින්ම අපගේ යහපත උදෙසා සසරෙහි කල කැපවීමට වඩා අතිමහත්ය. මේ ලිපිය කියවන ඔබ අතරින් එක් අයෙක් උදෙසා පමණක් උන්වහසේ සසරෙහි අනන්ත ගුණ සමුදායක් වඩා ඇති බව, ඇස් ,ඉස්, මස්, ලේ, ධන ධාන්‍ය, රාජ්‍යය , අඹු දරුවන් සිය දහස් වාර ගණනින් කැප කර තිබෙන බව සත්‍යයකි. එනිසා තනි තනිව පුද්ගලිකවම ඔබ අප සැම භාග්‍යවතුන් වහන්සේට ණයගැතිය. ලොවට ණය නැති යමෙක්හු වෙත් නම් ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේලාමය. අන් සියල්ලෝම උන්වහන්සේලාට ණයගැති වෙති. එනිසා භාග්‍යවතුන් වහන්සේ සහ උන්වහන්සේගේ ධර්මය විෂයෙහි අපමණ ගෞරවයෙන් කටයුතු කිරීමට උත්සහ ගන්න. 

දහම් ගුණ දැනගනිමු. 
ධර්ම ගරුත්වය ඇති කරගැනීමට ඔබ දහම් ගුණ දැන ගත යුතුය. මෙසේ අනන්ත ගුණ සහිතව අපට දායාද වූ සද්ධර්මයේ ගුණ සැකෙවින් මෙහි දක්වනු සුදුසු යයි සිතමි. මේ ගුණ විග්‍රහය ඔබේ ශ්‍රද්ධාව සහ නුවණ දියුණු වීම පිණිසම වේවා!!! 

මාගේ ශාස්තෘ වූ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් මැනවින් අවබෝධ කරන ලද ආර්ය වූ, ආශ්චර්යමත් වූ, දුකින් මිදීම පිණිස පවතින උතුම් වූ ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා..!!! මාගේ වන්දනාව වේවා…!!! 

දෙවනුවද, 
උතුම් වූ ආර්ය මාර්ග සමාධියෙහි මනාව පිහිටි සිත් ඇති ශාක්‍යමුනි භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් “කෙලෙසුන් කෙරෙන් දුරුවූ හෙයින් විරාග නම් වූද , ක්ලේශ ක්ෂය වූ, අමෘත වූ, ප්‍රණීත වූද” , යම් නිවනක් අවබෝධ කලේද, ඒ උතුම් වූ නිර්වාණ ධර්මයට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා…!!! මාගේ වන්දනාව වේවා…!!! 

තෙවනුවද, 
ධර්මරාජ වූ, ධර්මස්වාමී වූ, සම්මා සම්බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේ විසින් “කෙලෙස් මල දුරු කරන බැවින් අතිශයින් ප්‍රසංශා කරන ලද”, යම් මාර්ග පල සමාධියක් වේද, සෝවාන්, සකෘදාගාමී, අනාගාමි, අරහත් යන ඒ උතුම් වූ සතර මාර්ගපල සමාධියට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා…!!! මාගේ වන්දනාව වේවා…!!! 

ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ආශ්චර්යවත් ශ්‍රී සද්ධර්මය වනාහි මැනවින් දේශනා කරන ලද්දකි. මුල, මැද, අග යන සියලු තන්හි මනාව කේවල පරිපුර්ණව දේශනා කරන ලද්දකි. සෑම තන්හිම පිරිසිඳු කල්‍යාණ බැවින් යුතු වෙයි. භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් උතුම් වූ සර්වඥතා ඥානයෙන් මැනවින් දැන, මැනවින් දැක, ප්‍රත්‍යක්‍ෂයෙන්ම දේශනා කරන ලද්දේ වෙයි. ප්‍රාතිහාර්ය සහිතවම දේශනා කරන ලද්දකි. ප්‍රාතිහාර්ය රහිතව දේශනා කරන ලද්දේ නොවෙයි. හේතු සහිතවම දේශනා කරන ලද්දකි. හේතු රහිතව දේශනා කරන ලද්දේ නොවෙයි. බැහැර කල යුත්තක් නැති වූ, අර්ථ සහිත, ව්‍යංජන සහිත (මැනවින් පැහැදිලි කරන ලද ), කේවල පරිපුර්ණ වූ, පිරිසිඳු වූ, මාර්ග බ්‍රහ්ම චර්ය දක්වන ශ්‍රී සද්ධර්මය ඒකාන්තයෙන් “ස්වාක්ඛාත” වන සේක. 

භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රත්‍යක්ෂ කරන ලද, සාක්ෂාත් කරන ලද, ශ්‍රී සද්ධර්මය වනාහි, මෙලොවදීම ප්‍රතිවිපාක ලබාදෙන බවින් යුක්ත වෙයි. ධර්මය මේ ජීවිතයේදීම අවබෝධ කල හැකිය. තමා විසින්ම දැකිය යුතුය. භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද උතුම් ධර්ම විනය ඇසීමෙන් දැරීමෙන් අවබෝධ කිරීමෙන් අප්‍රමාණ වූ දෙව් මිනිසුන් මෙලොවදීම, තම අත්බව්හිදීම උතුම් වූ මාර්ග පල ධර්මයන් අවබෝධ කරන ලද බැවින් විමුක්තිය ලබන ලද බැවින්, ශ්‍රී සද්ධර්මය ඒකාන්තයෙන් “සන්දිට්ඨික” වන සේක. 

භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය වනාහි කල් නොයවා විපාක දෙන බැවින්ද සෑම කාලයට සුදුසු බැවින්ද “අකාලික” වන සේක. උතුම් වූ ලෝකෝත්තර ධර්මයන් වන සෝවාන් මාර්ගය උපදවනු සමගම එකෙනෙහිම අතරක් නැතිව කල් නොයවාම සෝවාන් පලයට පත්වන සේක. එසේම සකෘදාගාමී මාර්ගය උපදවනු සමගම සකෘදාගාමී පලයටද අනාගාමී මාර්ගය උපදවනු සමගම අනාගාමි පලයටද අරහත් මාර්ගය උපදවනු සමගම අරහත් පලයටද පත්වන සේක. නිවන් මග වඩා, උතුම් වූ ආර්ය බවට පත්වනු සමගම නැවත කිසි දිනෙක සතර අපායෙහි නුපදින තත්වයට පත්වෙයි. සෝවාන් පලයට පත්වනු සමගම සතර අපායෙන් මුළුමනින්ම නිදහස් බවට පත්වන බැවින් එකෙනෙහිම නැවත සත් වතාවකට වඩා සසරෙහි නුපදින බවට පත් වන බැවින්ද ධර්මය අකාලික වෙයි. සකෘදාගාමී පලයට පත්වනු සමගම නැවත සසරෙහි දෙවතාවකට වඩා නුපදින බවට එකෙනෙහිම පත් වන බැවින් ධර්මය අකාලික වෙයි. උතුම් වූ අනාගාමී පලයට පත්වනු සමගම නැවත මෙලොවට නොපැමිණෙන බවට එකෙනෙහිම පත් වන බැවින් ධර්මය අකාලික වෙයි. උතුම් වූ අරහත් පලයට පැමිණෙනු සමගම එකෙනෙහිම සසර දුකින් මිදුණු නිවී සැනසුණු බවට නැවත නුපදින බවට පත්වෙයි. එබැවින් ධර්මය අකාලික වන සේක. තවද භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය වන්නාහි සෑම කාලයකටම සුදුසුය. යමෙක් ධර්මය අනුව පිළිපදීද කවර කාලයක වුවද ධර්මය විසින් ඔහු රැකෙයි. අතීත වර්තමාන අනාගත කවර කාලයක වුවද ධර්මය අනුව පිළිපදින්නාට නිසි පල ලැබෙයි. කවර යුගයක වුවද භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අනුව පිළිපැදීමෙන් විමුක්තිය සාක්ෂාත් කල හැකිය. 

භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන්වහන්සේගේ ධර්මය වනාහි “එන්න බලන්න” යයි අන්‍යයන්ට දැක්විය හැකි දැන්විය හැකි වන බැවින් “ඒහිපස්සික” වන සේක. උතුම් වූ ධර්ම රත්නය වනාහි අසන්නවුන්ට, පැහැදෙන්නවුනට, දරන්නවුනට, ඒ අනුව පිලිපදින්නවුනට මහත් වූ සෙත සලසන බැවින්, ඒකාන්ත වූ ආරක්ෂාව වන බැවින්ද, ස්ථිරසාර වූ පිහිට වන බැවින්ද, දුකින් මුදවන බැවින්ද, සුගතියට මෙහෙයවන බැවින්ද, නියත විමුක්ති මග දක්වන බැවින්ද ඕනෑම කෙනෙකුට “එව බලව” යි දැක්වීමට සුදුසු වන සේක. භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ශ්‍රී “සද්ධර්මය වනාහි සිතට පමුණුවා ගැනීමට සුදුසු” වන සේක. ශ්‍රී සද්ධර්මය වනාහි තමා විසින්ම විමසා බැලිය හැකිය.වැඩිය හැකිය. ධර්මය තමා තුලට පමුණුවා ගත යුතු වන සේක. තමා තුලට පමුණුවා ගැනීමට හැකි වන සේක. කවර කටයුත්තක් පසෙකලා වුවද කවර සම්පත්තියක් හැරදා වුවද තම සිතට පමුණුවා ගැනීමට, අවබෝධ කිරීම උදෙසා යොමුවීමට, සුදුසු බැවින් ධර්මය වනාහි “ඕපනයික” වන සේක. ධර්මය තමා විසින්ම අවබෝධ කල යුතුය. තමා තුලටම පමුණුවා ගත හැකි බැවින් නිවනට පමුණුවන ශ්‍රී සද්ධර්මය “ඕපනයික” වන සේක. 

ධර්මය තම සිත තුලට පමුණුවා ගැනීමෙන්, ධර්මය අවබෝධ කිරීමෙන් සියලු මනුෂ්‍ය දිව්‍ය ඇතුළු සකල ලෞකික සම්පත්ද අනුත්තරීය වූ විමුක්තිදායක වූ ලෝකෝත්තර සම්පත්ද සාක්ෂාත් කල හැකි බැවින් ධර්මය “ඕපනයික” වන සේක. භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය වනාහි නුවණැතියන් විසින් සිය සිතින්ම අවබෝධ කර ගත හැකි වන සේක. ධර්මයෙහි ගුණ ඒ අනුව පිළිපැදීමෙහි ආනිසංස තම තමන් විසින්ම ස්වසන්තානයෙන්ම දැකිය හැකි වනසේක. ප්‍රඥාවන්තයින් විසින්ම සිය සිතින් දරා දැන ගත හැකි අවබෝධ කල හැකි බැවින් යුක්ත වන නිසා ධර්මය “පච්චත්තං වේදිතබ්බෝ විඤඤූහි” යයි කියන සේක. 

ධර්ම සන්නිවේදනය. 

ත්‍රිපිටක ශ්‍රී සද්ධර්මය යනු භාග්‍යවතුන් වහන්සේගේ විස්මිත අවබෝධයයි. එය අතිශය ගැඹුරුය. අතිශය ප්‍රණීතය. ශ්‍රද්ධා සම්පන්න නුවණැතියන් හට විෂය වන්නකි. එය මැනෙන්නේ භාෂා නුවණ, විෂය දැනුම හෝ උගත් කම යයි අප සලකන මිනුම් දඬු වලින් නොවේ. ඔබ අප සැමට ධර්මය ඇසුරු කිරීමෙන් සහ පින් වඩා ගැනීමෙන් ඒ උතුම් නුවණ දියුණු කර ගත හැකිය. නමුත්, ධර්මය සිංහල භාෂාවට පරිවර්තනය කිරීම යනු අතිශය භාරදුර වගකීම් සහගත කටයුත්තකි. උතුම් පාලි ත්‍රිපිටක භාෂාවෙහි යෙදුම් ධර්මයෙහි අරුත නොනසා නිරුක්තිය නොනසා මතු කරලීමට සුදුසුම භාෂා ශෛලියක් යොදා ගැනීම පින්වත් ස්වාමීන්වහන්සේලා සිය පරිවර්තන කාර්යයේදී සිදුකර ඇත. සම්බුද්ධ ජයන්ති ත්‍රිපිටක පරිවර්තන භාෂාව ඔබට එකවර පහසුවෙන් තේරුම ගත හැකි ව්‍යවහාර භාෂා ශෛලියක් නොවනවා වන්නට පුළුවන. පසුගිය දශක කිහිපය තුල සිංහල අපේ භාෂා ව්‍යවහාර ඥානය මහත්සේ පරිහානියට පත්වූ යුගයකි. අද මාධ්‍ය ආයතන , බොහෝ පොතපත ආදියෙන් යොදා ගැනෙන ව්‍යවහාර භාෂාව අනුව බලන විට ඉදිරියේදී ධර්මය විග්‍රහ කොට කියා දීමට නොහැකි තරම් තව තවත් ව්‍යවහාර භාෂාව ගැඹුරින් සහ හරයෙන් පිරිහී යනු ඇත. එවිට අද වඩා සරල ලෙස දැනෙන දහම් පොත පත පවා ඔබට නොතෙරෙන්නට සහ කියවීමට අපහසු වන්නට පුළුවන. ධර්මය සරල බසින් විස්තර කිරීම කියා දීම අතිශය ප්‍රසංශා කටයුතු මහත් පුණ්‍යකර්මයකි. එය සිදුවිය යුත්තකි. නමුත් සැමවිටම සම්බුද්ධ ජයන්ති ත්‍රිපිටක පොත් මාලාව මුල් තැනෙහි ලා කටයුතු කලයුතුය. එහි බස් වහර යෙදී ඇත්තේ මුල් පාලි ව්‍යවහාරයට හැකිතාක් සමීප වන අයුරිනි. එය ඉතාම වැදගත් කරුණකි. 

ඔබ ගණිතය, බටහිර විද්‍යා, වෙනත් භාෂා ආදිය, පරිඝනක තාක්‍ෂණය වැනි විෂයන් ඉගෙනීමෙහි යෙදෙන විට කොතරම් පරිශ්‍රමයකින් ඊට අදාළ පාරිභාෂික වචන, වෙනත් භාෂාවන් ව්‍යවහාරයන් ඉගෙනීමට උනන්දු වෙනවාද? ඔබ කිසිවිටෙක පරිඝනකයේ වචන සරල සිංහල භාෂාවෙන් නොතිබේ යයි එම නිෂ්පාදන ආයතන වලට දොස් නගන්නේ නැත. භෞතික, ජීව, රසායන විද්‍යා ආදිය, ඉංග්‍රීසි භාෂාව ආදිය ඉගෙනීමට ඔබ දක්වන කැපවීම උතුම් ත්‍රිපිටක ධර්මය ඉගෙනීමට නොයොදා විටෙක එම උතුම් කටයුතු වලට සිය ජීවිතයම කැප කල ස්වාමීන් වහන්සේලාට දොස් නගනු මම දැක ඇත්තෙමි. ධර්ම ගරුත්වය ඇති මහා ශ්‍රාවකයෝ විටෙක රාජ්‍ය සැප හැරදමා, ජීවිතයද පරිත්‍යාග කොට ධර්මය ඉගෙනීමට එය අරුත සහිතව මතක තබා ගැනීමට, කැපවූහ. නමුත් ඔබ අතරින් සමහරෙක් උතුම් ත්‍රිපිටක ධර්මය ඔබේම මවු බසින් ලියා තිබියදී ඔබේ දුර්වලතා මගහරවා වීර්යයෙන් එය ඉගෙනගනු වෙනුවට භාෂා ව්‍යවහාරයට දොස් නගමින් ධර්මය සරල බසින් නොකියන්නේ යයි දොස් නගති. ධර්මයේ සමහර කරුණු ඊට අදාළ පාලි පාඨ වලින්ම මිසක සිංහල බසින් සෘජුවම දක්විය නොහැකි අවස්ථාද තිබේ. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය කොතරම් සරල කරන්නට උත්සහ කලද එක්තරා පමණකින් එහාට එය සරල කර දැක්වීමට අන් කිසිවකුට නොහැකිය. “ආර්යසත්‍යය”, පටිච්ච සමුත්පාදය, පටිසම්භිදා වැනි බොහෝ යෙදුම් වලට සරල සිංහල යෙදුම් යෙදීම උගහටය. එනිසා කලයුත්තේ ධර්ම ගෞරවය ඇති කරගෙන උත්සාහයෙන් ධර්මය ඉගෙනීමයි. සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා මහත් වීර්යයෙන් සාක්ෂාත් කොටගත් අසීමිත සම්බුද්ධ ඥානයට ගෞරවය ඇත්තේ නම් ඔබට මවු බසින්ම ඇති භාෂා ව්‍යවහාරය මදක් උත්සහ කොටම තේරුම ගත හැකිය. උතුම් වූ පින්වත් ස්වාමීන් වහන්සේලා සරල බසින් මෑතකදී ලියා ඇති පොතපතද මහත් ගෞරවයෙන් ඉගෙන ගන්න. ඒ අතරම පාලි භාෂාවෙහි යෙදුම් ආදිය සහිතව ක්‍රමයෙන් සම්බුද්ධත්ව ජයන්ති ත්‍රිපිටක පොත්පෙලට මුල් තැන දී පරිශීලනය කරන්නට උනන්දු වන්න. ක්‍රමයෙන් ඔබේ ධර්මාවබෝධය දියුණු වන සැටි ඔබටම වැටහේවි. අවශ්‍ය වන්නේ වීර්යයත් ධර්ම ගෞරවයත්, සුදුසු ගුරුවරුන් සොයායාමට, ඇසුරට ඔබ දරන උත්සාහයත් පමණි. 

අටුවා සාහිත්‍ය ගැනද විවිධ විවේචන එල්ල කරමින් සමහර විටෙක ඉතා අනුවණ ලෙස ඒ බැහැර කරන අවස්ථාද මම දැක ඇත්තෙමි. අටුවා සාහිත්‍ය සහ “මහා අට්ඨකථාව” පිළිබඳව බොහෝ දෙනෙකුට ඇත්තේ අවුල් සහගත අවබෝධයකි. අටුවාව යනු කුමක්ද යන්නත් එහි ප්‍රභවය පිළිබඳව කරුණුත් නිරවුල් කර ගැනීමෙන් ඔබට ඇති සැක සංකා දුරුකර ගත හැකිය. ලිපිය ඉතා දිග වී ඇති බැවින් මෙහි ඒ ගැන විග්‍රහ කරන්නට නොසිතමි. නමුත් අටුවාව කෙරෙහි අතිශය ගෞරව සම්ප්‍රයුක්තව ධර්ම ගෞරවයෙන්ම ගරු කරමින් ක්‍රියාකල යුතු බව අවසන් වශයෙන් මෙහි සඳහන් කරමි. ඉඩ ලැබෙන පරිදි අට්ඨකථා පිළිබඳව විග්‍රහයක් ඉදිරියේදී සිදු කිරීමට උත්සහ කරමි. 

සමස්ත ත්‍රිපිටක ධර්මයම, එනම් සුත්‍ර විනය අභිධර්ම සහිත සියලු ත්‍රිපිටකය කොටස් අඩු නොකර ධර්ම රත්නය ලෙස සරණ යමු. උතුම් වූ අටුවාව සැඳැහැ සිතින් පිළිගනිමු. ඒ උගනිමු. භාග්‍යවතුන් වහන්සේගෙන් පසුව අපට ශාස්තෘ වන්නේ උතුම් ධර්මයයි. ඉන් කොටසක් හෝ බැහැර කරන ඔබ භාග්‍යවතුන් වහන්සේගේ අපරිමිත අවබෝධයෙන් කොටසක් බැහැර කරයි. එවිට ඔබ තිසරණයෙහි නොපිහිටයි. එවිට ඔබ සරණ ගොස් ඇත්තේ තිසරණය නොව පුද්ගල වාදයකි. තමාට අවශ්‍ය පරිදි ධර්මය කොටස් වශයෙන් වෙන් කරගැනීමකි. භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම දායාදයට උරුමකරුවෝ වෙමු. අනවශ්‍ය වාද පසෙකලා ශ්‍රද්ධාවෙන් වීර්යයෙන් ධර්මය උගනිමු. මෛත්‍රී කරුණා සිතින් අන්‍යයන්ට කියාදෙමු. හැකි තාක් පින් පුරමු. අප තුල ඇති අඩුපාඩු නිහතමානීව පිළිගෙන ඒ නිවැරදි කරගනිමු. මතු පරපුරට ධර්ම දායාදය තිලිණ කර, ඒ උතුම් මහා සඟ රුවන ගිය මග ගොස් නිවී සැනසෙමු. 

මූලාශ්‍ර: ඛුද්දක නිකාය: 
සුත්ත නිපාතය (ස.ජ.ත්‍රි.ග්‍ර.මා.)
දීඝ නිකාය, (ස.ජ.ත්‍රි.ග්‍ර.මා) 
සූවිසි මහගුණය- පූජ්‍ය රේරුකානේ චන්දවිමල මහනාහිමි 
ඇත්ත අපි වෙබ් අඩවියේ ධර්මදේශනා (aathaapi.org) 

ඔබ සැමට තෙරුවන් සරණයි..!!! 
සසිත් රාජසූරිය 
December 27, 2012 at 12:01 am | Lanka C News. 

ලෝකයේ ආරම්භය සහ විනාශය ගැන බුදුරජාණන් වහන්සේ වදාළ දේ

December 21, 2012 at 12:01 am | Lanka C News. 
 බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ වසන කාලයේදී පවා ලෝකය හා විශ්වය ගැන දැන ගැනීමට උනන්දු වූ භික්‍ෂූන් වහන්සේලා හා බ‍්‍රහ්මණ ආදී විවිධ පුද්ගලයන, ලෝකයේ ආරම්භය හා විනාශය ගැනත්, මෙවැනි තවත් ග‍්‍රහ ලෝක විශ්වයේ ඇද්ද යන්න ගැනත් බුදුන්වහන්සේගෙන් කරුණු විමසා තිබේ. විශ්වය හා සත්වයා ගැන අපරිමිත දැනුමක් බුදුන්වහන්සේට තිබුණත් එවැනි අවස්ථාවල උන්වහන්සේ ඒ ගැන කරුණු කියාදීමට එතරම් කැමැත්තක් නොදැක්වූහ. එහිදී උන්වහන්සේ වදාළේ, ‘‘බුදුවරයෙකු ලොව පහළවන්නේ විශ්වය ගැන සෙවීමට නොව, අනන්ත අපරිමිත සංසාර භවයන්හි ඉපිද ඉපිද, මැරි මැරි දුක්විඳින සත්වයා මේ සංසාර කතරින් එතෙර වීමට මග පෙන්වීමට’’ බවයි. බුදුන් වහන්සේ අසංඛ්‍ය අපරිමිත භවයන්හි ඉපදී ප‍්‍රඥාව දියුණු කරගත් අසමසම ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයෙකි. එහි උත්තරීතර තත්ත්වය සම්මා සම්බුද්ධත්වයයි. බුදුවරයෙකුට මසැස, දිවැස, පැණැස, බුදු ඇස, සමතැස යන පස් ඇසක් ඇතැයි බුදු දහමේ සඳහන් වේ. ‘ඉන් සමතැස’ යනුවෙන් හැඳින්වෙන්නේ සංසාරය හා විශ්වය පිළිබඳ උන්වහන්සේ තුළ තිබූ මහා ප‍්‍රඥාවයි. බුදුන් වහන්සේ ලෝක විෂය ගැන කරුණු දැක්වීමට එතරම් උනන්දුවක් නොදැක්වුවත් යම් යම් පුද්ගලයන්, යම් යම් අවස්ථාවල ඇසූ ප‍්‍රශ්නවලට කරුණු දැක්වීමේදී ඒ තුළ ලෝකයේ ආරම්භය, විනාශය හා විශ්වය ගැන කරුණු සඳහන් වී තිබේ. බෞද්ධ සාහිත්‍යයේ එන ‘අග්ගඤ්ඤ’ සූත‍්‍රයේ හා ‘සීහනාද’ සූත‍්‍රයේ ලෝකයේ ආරම්භය ගැනත් ‘සප්ත සුර්යෝද්ගමන’ සූත‍්‍රයේ ලෝකයේ විනාශය ගැනත් කරුණු අන්තර්ගත වි තිබේ. එක් අවස්ථාවක ආනන්ද හිමියෝ, ලෝකය හා වෙනත් ග‍්‍රහලෝක තිබේදැයි බුදුන් වහන්සේගෙන් ඇසූ පැනයකට උන්වහන්සේ කරුණු දැක්වීමේදී, 1.සහස්සි චූලනිකා ලෝක ධාතු 2.ද්විසහස්සි මජ්ක්‍ධිමා ලෝක ධාතු 3. තිසහස්සි මහා සහස්සි ලෝක ධාතු වශයෙන් තවත් ලෝක ධාතු මේ මහා විශ්වය තුළ ඇතැයි උන්වහන්සේ වදාළ බව සඳහන් වේ. තවත් අවස්ථාවකදී ආනන්ද හිමියන්ට ලෝකය ගැන කරුණු දැක්වීමේදී, ‘‘මේ ලෝකය විෂමය, සක්වළවල් අනන්තය. එක් තැනක හිරු නැගෙන කල තවත් තැනක මධ්‍යහ්නයයි. අන් තැනෙක හිරු අවරට ගොස්ය. එක් තැනක පූර්වයාමයයි. තවත් තැනක මධ්‍යහ්නයද, වෙනත් තැනක පශ්චිම යාමයද වේ.’’ යනුවෙන් කරුණු දක්වා තිබේ. දීඝ නිකායෙහි ‘අග්ගඤ්ඤ’ සූත‍්‍රයෙහි සහ අංගුත්තර නිකායෙහි ‘සප්ත සුද්යෝද්ගමන’ සූත‍්‍රයෙහි බුදුන් වහන්සේ දක්වා ඇති ආකාරයට, ලෝකයේ ආරම්භක කි‍්‍රයාවලිය කවදා සිදුවූවාදැයි කිවනොහැකි බවත්, ලෝකයේ ආරම්භය හා විනාශවීම සංස්කාර ධර්මතාවයන්ට අනුව සිදුවන බවත් දක්වා ඇත. ලෝක සත්වයන් කර්මශක්තිය අනුව පේ‍්‍රත, මනුෂ්‍ය, දේව, බ‍්‍රහ්ම ආදා භවයන්හි උපදින බවත්, ලෝකයට කර්මශක්තියක් නැතත් සංස්කාර ධර්මතාවය අනුව ලෝකයේ හටගැනීම හා විනාශවීම සිදුවන බවත් බුදු දහමෙහි දක්වා ඇත. ලෝකය විනාශවන කි‍්‍රයාවලිය සංවට්ට කප්ප යනුවෙන්ද, නැවත ඇතිවීම විවට්ට කප්ප යනුවෙන්ද හැඳින්වේ. බුදු දහමෙහි සඳහන් මහා කල්පයකට සංවර්ථ කල්පය, සංවර්තස්ථායි කල්පය, විවර්ථ කල්පය, විවර්තස්ථායි කල්පය යනුවෙන් අසංඛ්‍ය කල්ප සතරකි. මහා කල්පයක අවසාන අසංඛ්‍ය කල්පයේදී පෘතුවිය ඇතුළු ග‍්‍රහ ලෝකයන්ගේ හා ජීවින්ගේ විනාශය සිදුවන බව බුදු දහමෙහි සඳහන් වේ. බෞද්ධ සාහිත්‍යයෙහි දැක්වෙන ආකාරයට මීට අසංඛ්‍ය කල්ප ලක්‍ෂ ගණනට පෙර (කල්පය යනු කාලය දක්වන අති දීර්ඝ කාලමානයකි.* තණ්හංකර බුදුන්වහන්සේ සිට ගෞතම බුදුන් වහන්සේ දක්වා බුදුවරු විසිඅට නමක් මේ ලොව පහළ වී ඇත. සාර මණ්ඩ කල්පයේ සිට මහා මණ්ඩ කල්පය දක්වා මහා කල්ප 11ක් ගෙවී ඇත. අප දැන් ජීවත්වන කාලය මහා භද්‍ර කල්පයයි. මේ මහා භද්‍ර කල්පයේ, කකුසඳ, කෝණාගමන, කාශ්‍යප හා ගෞතම යන බුදුවරු සිව්නමක් මේ ලොව පහළ වී ඇත. මේ මහා භද්‍ර කල්පයේ ඉදිරියට බුදු වීමට ඇත්තේ මෛතී‍්‍ර බුදුන් වහන්සේය. බුදු දහමේ දැක්වෙන පරිදි මෛතී‍්‍ර බුදුන් වහන්සේගෙන් පසුව මෙම මහා භද්‍ර කල්පය අවසන් වේ. අප දැන් ජීවත් වන්නේ ගෞතම බුදුන් වහන්සේගේ ශාසන කාලයේය. මෙම ශාසන කාලය අවුරුදු 5000ක් දක්වා පවතින බවත්, ඉන්පසු ලෝකයේ මිනිසුන් පංචශීල ප‍්‍රතිපත්තියෙහි පිරිහී, අධර්මිෂ්ටවීමෙන් බුද්ධ ශාසනය පිරිහෙන බවත්, මිනිසුන්ගේ ආයුෂ පිරිහී ආයුෂ දස වසර දක්වා අඩුවන බවත්, දෙවියන්ගේ පෙළඹවීමෙන් මිනිසුන් නැවත පංචශීල ප‍්‍රතිපත්තියෙහි පිහිටා ධාර්මික වීමෙන් ආයුෂ අවුරුදු 80,000 දක්වා වර්ධනය වන බවත් ඒ කාලයෙහි මෛතී‍්‍ර බුදුන්වහන්සේගේ පහළවීම සිදුවන බවත් බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වේ. බුදු දහමෙහි සඳහන් කල්පය යනු කාලය මනින අති දීර්ඝ කාලමානයකි. ‘‘යොදුනක් දිග, යොදුනක් පළල, යොදුනක් උස ලෝහ බලකොටුවක් අබ ඇටවලින් පුරවා, එක අබ ඇටය බැගින් වසරක් පාසා ගැනීමෙන් එම බලකොටුව හිස් වන්නේද කෙදිනකද ඊටත් වැඩි කාලයක් කල්පයකට ගත වන්නේය. ‘‘බුදු දහමෙහි දක්වා ඇත. මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 10ක් දක්වා අඩුවීමට ගතවන කාලය ඉතා දීර්ඝ කාලයකි. ඉන්පසු යහ ධර්මයෙහි ඇලීමෙන් මිනිසුන් යළි දීර්ඝායුෂ ලැබීමද, එම කාලයෙහි මෛතී‍්‍ර බුදුන්වහන්සේගේ පහළවීම සිදුවන බවද, මෛතී‍්‍ර බුදුන්වහන්සේ අවුරුදු 80,000 ක් ආයු වළදා පිරිනිවන් පා දීර්ඝ කාලයකට පසු බුද්ධ ශාසනය නැවත වරක් පිරිහීමෙන් පසු ලෝ වැසියන් පංච ශීලයෙහි පිරිහී, අධර්මයට යොමුවීමෙන් මිනිසුන් සමාජයීය වශයෙන් පිරිහෙන කාලයක් උදාවන්නේය. එම කාලය මෙම මහා භද්‍ර කල්පයේ අවසාන කාලයයි. ඒ දක්වා ගතවන කාලය කොතරම් දීර්ඝ විය හැකිද? මහා කල්පයක අවසානයේදී ලෝකය හා සියලූ ජීවීන්ගේ විනාශය මහා ගින්නෙන්ද, මහා මේඝයෙන්ද, මහා වාතයෙන්ද විනාශ වන බවද, ‘‘ගිතෙල් පිඬක් ගිනිගත් විට යම් දෙයක් ශේෂ නොවන්නේද, ඒ ආකාරයට ගින්නෙන් වන විනාශයේදී ලෝකයේ අළුවත් ඉතිරි නොවන බව’’ ‘සප්ත සූත‍්‍රයෝද්ගමන’ සූත‍්‍රයෙහි සඳහන්ව ඇත. බුදු දහමෙහි සඳහන් ආකාරයට බුදුන්වහන්සේ අසංඛ්‍ය කල්ප ගණනාවක කාලයක් පෙරුම් පුරා, මහා ප‍්‍රඥාවක් ලබාගත්තෙකි. ඒ උත්තරීතර තත්ත්වය සම්මා සම්බුද්ධත්වයයි. ‘ලෝකවි¥’ යන නාමයෙන් උන්වහන්සේ හඳුන්වන්නේ එහෙයිනි. ‘‘සංස්කාර ධර්මතාවයට අනුව හටගන්නා සියලූ දෙයෙහි විනාශවීම සිදුවෙන බව’’ බුදුන්වහන්සේ දේශනා කර ඇත. ඒ ධර්මතාවයට අනුව ‘ලෝකයේ ආරම්භයත් ලෝකයේ විනාශයත්’ සිදුවේ. ඈත ඉතිහාසයට අපේ මතකය යොමු කළහොත් නොයෙක් යුගයන්හි, ලෝකයේ නොයෙක් රාජ්‍යය, නොයෙක් දේශ-දේශාන්තරවල සමාජයීය වශයෙන් ජනතාව පිරිහීමත්, යුධ කෝලාහල ඇතිවීමෙන්, වසංගත රෝග ඇතිවීමෙන් හා ජල ගැලීම්, මුහුදු ගොඩගැලීම්, සුළි සුළං වලින්, ගිනි කඳු පිපිරීමෙන් හා භූමිකම්පා ආදී භයංකර ස්වභාවික ව්‍යසන ඇතිවීමෙන් මිනිස් ශිෂ්ටාචාර මුළුමනින්ම පවා මේ මිහිතලයෙන් වඳවී ගොස් තිබේ. දකුණු ඇමරිකාවේ හා කාම්බෝජයේ තිබූ පුරාණ ශිෂ්ටාචාර විනාශ වී යාම නිදසුන් වශයෙන් දැක්විය හැකිය. ඒවා ලෝක විනාශ නොවේ. අතීතයේදී එම ව්‍යසන ඇතිවූවා සේම අනාගතයේදීද එවැනි ව්‍යසන ඇතිවිය හැකිය. බුද්ධ සාහිත්‍යයේ සඳහන් ආකාරයට මෙම ලෝකය විනාශ වීමට කල්ප ගණනාවක් ගත වන්නේය. බුදු දහමට අනුව මෙම මහා භද්‍ර කල්පයේ අවසානයේදී මෙම ලෝකයේ විනාශය සිදුවන්නේය. ඒ ‘‘හටගැනීමත් විනාශවීමත් යන සංස්කාර ධර්මතාවයට’’ අනුවය. එය වර්ෂ ගණනින් ගතහොත් වර්ෂ දශ ලක්‍ෂ ගණනින් ගතවන අති දීර්ඝ කාලයකි.
 - මේඝ

බුදු සසුන පිරිහුණේ ඇයි? - අවසන් රහතුන් මලියදේව හිමියන් යැයි පතල කිරීම.



පාලි රසවාහිණී හා සද්ධර්මරත්නාවලිය අනුව වළගම්බා රජු කල බැමිණිටියාසාය පවතිද්දී චුළ පිණ්ඩපාතික තිස්ස තෙර විදර්ශනා වඩා රහත් වූ බව රසවාහිණී අම්බ අමාත්‍ය වස්තුව කියයි. වළගම්බා රජු වනගතව සිටියදී උදාවූ බැමිණිටියාසාය කල කොටගලවාසී මහානාග තෙර විදසුන් වඩා රහත් වූ බව පාලි රසවාහිණියේ ජයම්පතී වස්තුව කියයි.
දුටුගැමුණු රජු කල අපවත් වූ මලියදේව
 හිමියන් ලංකාවේ අන්තිම රහත් තෙරනම නොවේ. උන්වහන්සේ අපවත් වී තවත් අවුරුදු 550 – 600 පසුවත් ලංකාවේ රහත්හිමිවරුන් වැඩ සිට ඇත. අත්තනගළු වංශය කියන පළමු උපතිස්ස රජු කල විසූ හිමිනම හා ඉන්පසු පාහියන් හිමි කියන මහානාම රජු කල මහා විහාරයේ වැඩසිටි හිමි නම ලංකාවේ වාර්තාගත අන්තිම රහතන් වහන්සේලා විය හැකි ය.

ලංකාවේ අන්තිම රහත් හිමිනම මලියදේව මහ රහතන් වහන්සේ යැයි පොදු ජනයා තුළ මෙන්ම බොහෝ උගතුන් තුළ ද විශ්වාසයක් ඇත. මේ විශ්වාසය අදහස කොතෙක්දුර තර්කානුකුල දැයි විමසීම මේ ලිපියේ පරමාර්ථයයි. පළමුවෙන්ම මලියදේව රහත් හිමියන් ජීවත්වුණු වකවානුව උන්වහන්සේගේ නමෙහි අර්ථය, ජීවන තොරතුරු කෙටියෙන් සළකා බැලීම සුදුසු ය. උන්වහන්සේ ගැන තොරතුරු කියන මූලාශ්‍ර කීපයකි. මහාවංසය, මහාවංස ටීකා, විශුද්ධිමග්ග, සීලවත්ථුප්‍රකරණය, සහස්සවත්ථුප්‍රකරණය, පාලි රසවාහිණී, විභංග අටුවා, මැදුම් සඟි අටුවාව, සඟ සරණ, සද්ධර්මාලංකාරය ඉන් කීපයකි. ඒ හැර උන්වහන්සේ ගැන ජනප්‍රවාද රැසකි. අංගුත්තර අටුවාවේ මහාදේවහිමි මලියදේවහිමි නමින් ද මහාවංශටීකාවේ මලය මහාදේව නමින් ද උන්වහන්සේ හැඳින්වෙන බව පොල්වත්තේ බුද්ධදත්ත හිමියන්ගේ “අටුවා පරීක්‍ෂණය” ග්‍රන්ථය කියයි. එහෙත් පසුකල පොල්වත්තේ බුද්ධදත්ත හිමි සංස්කරණය කළ සහස්ස වත්ථුප්‍රකරණය ප්‍රස්තාවනාවේ දී ලංකාවේ මලියදේව නමින් තෙරවරුන් දෙදෙනෙකු පිළිබඳ කියවෙයි. ආචාර්ය අදිකාරම් මහතාට අනුව මහාදේව, මලයදේව, මලියදේව, කාලදේවවාසී මහාමලිය, දේව යන නම් රැසකින් උන්වහන්සේ විවිධ මූලාශ්‍රවල හඳුන්වා ඇත. මහාවංශයේ සඳහන් මලියදේව හිමි හා විභංග අටුවා විශුද්ධිමග්ග සඳහන් කරන හිමි මලියදේව නමින් සිටි දෙදෙනා බව පොල්වත්තේ බුද්ධදත්ත හිමියන්ගේ අදහසයි. එහෙත් මූලාශ්‍ර ගණනාවක විවිධ නාමවලින් හඳුන්වා ඇත්තේ එකම හිමිනමක් බව සිතීම සාධාරණය.

මලියදේව මහ රහතන් වහන්සේ වැඩ සිටියේ යැයි ජනප්‍රවාදයේ සැලකෙන කුරුණෑගල ඉබ්බාගමුව අරංකැලේ වනවාසාරාම කුටිය.
ඊළඟට උන්වහන්සේගේ නියම නම ‘මලයදේව‘ ද නැත්නම් මලියදේව ද ැයි විමසා බැලීම සුදුසු ය. ‘මලයදේව‘ යන නම උන්වහන්සේගේ නිවැරැදි නම නම් ඒ නම ලැබුණේ උන්වහන්සේ කඳුරටේ දී උපන් නිසා බව පොල්වත්තේ බුද්ධදත්ත නා හිමියෝ ‘අටුවා පරීක්‍ෂණය’ ග්‍රන්ථයේ දී පෙන්වා දෙති. උන්වහන්සේගේ නියම නම මලියදේව නම් ඒ නම ලැබුණේ මාලදිවයිනේ උපන් නිසා බව පොල්වත්තේ බුද්ධදත්ත හිමි ලිවූ අටුවා පරීක්‍ෂණය ග්‍රන්ථයේ දී හා සහස්සවත්ථුප්‍රස්තාවනාවේදී කියයි. ආචාර්ය අදිකාරම් උන් වහන්සේ ලංකාවේ කඳුරටේ උපන් නිසා ‘මලයදේව‘ නම් වූ බව සිතයි. මහාචාර්ය සෙනරත් පරණවිතාන ලිවූ ‘සිලොන් ඇන්ඩ් මැලේසියා’ ග්‍රන්ථයේ දී උන්වහන්සේට ඒ නම ලැබුණේ ඈත පෙරදිග මලය රාජ්‍යයේ ඉපදුණු නිසා බව කියයි. ජෝන් සිරිමත් ද සොයිසා 1959 අප්‍රේල් 12 සිළුමිණ ශාස්ත්‍රීය අතිරේකයට ලිපියක් සපයමින් මේ අදහස පිළිගනියි.
මලියදේව හිමි වැඩ විසූ කාලය
සාලිය කුමරු පෙරභවයේ දී දුන් දානයක් උන්වහන්සේ පිළිගත් බව මහාවංශ ටීකා හා පාලි රසවාහිණී කියන බැවින් උන්වහන්සේ වැඩ සිටියේ දුටුගැමුණු රජු යුගයට (ක්‍රි.පූ. 161 – 137 ) කිට්ටු කාලයක බව පොල්වත්තේ බුද්ධදත්ත හිමියෝ අදහස් කරති. දුටුගැමුණු කුමරු පියාට අකීකරුව මාගම සිට මලය රටට පලාගිය විට තමාට ලැබුණු ධාන්‍යවලින් මලියමහාදේව තෙරුන්ට දානයක් දුන් බව සීහළවත්ථුප්‍රකරණයේ 42 කතාව කියයි. මේ අනුව කාවන්තිස්ස රජුට ආසන්න යුගයේ සිට දුටුගැමුණු රජු අවදිය දක්වා (ක්‍රි.පූ. 161 – 137 ) මලියදේව රහත් හිමි ජීවත්ව සිටි බව සිතාගත හැකි ය.
මලියදේව හිමි ගැන තොරතුරු
ලංකාවේ කඳුරටේ දී මාලදිවයිනේ දී හෝ ඈත පෙරදිග මලය රාජ්‍යයේ උපන් එතුමා ලංකාවේ මණ්ඩලාරාමයේ දී ශිල්ප හදාරා ඇත. මණ්ඩලාරාමය යනු වට්ටාරාම බව පොල්වත්තේ බුද්ධදත්ත හිමි හා ආචාර්ය අදිකාරම් පෙන්වා දෙති. කෑගල්ලේ පිහිටි වට්ටාරම අවට මලියදේව හිමියන් ගැන ජනකතා රැසක් ඇත. වට්ටාරම තිබූ දඹරන් බුදුපිළිමය මලියදේව හිමියන් විසින් වැඩම කර වු බව විශ්වාසයයි. අවුරුදු තුනකින් ත්‍රිපිටකය හදාරා නිමකළ මලියදේව හිමියන් කුඩා කල තමාට නිතර දානය පිළිගැන් වූ මහලු උපාසිකාවකට පසුව ගැඹුරු ධර්ම දේශනාවක් කර ඇය සෝවාන් මාර්ගයට පත් කළ බව ‘සඟසරණ’ හයවෙනි කතාවේ කියවෙයි. පපංචසුදනී පාලි අටුවාව අනුව මලියදේව හිමිය ලෝවාමහාපායේ පහත මාලයේ දී ධජග්ග සූත්‍රය දේශනා කොට භික්‍ෂූන් හැට නමක් රහත් ඵලයට පත් කරවුහ. එසේම දීඝවාපී, මිහින්තලේ, මුතියංගනය, සිතුල්පව්ව, කැලණිය යන ස්ථානවලදී ද උන්වහන්සේ හැට නම බැගින් රහත් කරවා ඇත. කැලණියේ දී උන්වහන්සේ හැට නමක් රහත් කර වු බව පසුකල ලියවුණු සැළලිහිණි සන්දේශය මෙසේ කියයි.
ගිලිය නොදී සැට මහණුන් බව මහණ
මලියදෙව් තෙරිඳු වැඩහිඳ දෙසූ බණ

මෙහි සඳහන් ලෝවාමහාපාය යනු මහාවංශය කියන දෙවනපෑතිස් රජු කළ ලෝවාමහාපාය ද නැත්නම් දුටුගැමුණු රජු කල මහල් නමයක් තිබූ ලෝවමහාපාය ද පැහැදිලි නැත. තරුණ කල පියා හා අමනාපව මලය රටට පලාගිය ගැමුණු කුමරු තමා ලද ධාන්‍යවලින් මලියදේව හිමියන් වෙත දානයක් දුන් පුවත සිහළවත්ථුවේදී විස්තර වෙයි. සීහළවත්ථු 76 කතාවේ උපාසකයෙකුගේ දානයක් පිළිගත් මලයගිරිවාසී තෙරනම මේ මලියදේව හිමියන් ලෙස හඳුනාගත හැක. තමාට දානය දුන් උපාසකයාට යාමට මාර්ගය පැහැදිලි කර දුන් හ. ඔහු එසේ යන විට රිදී ගොඩක් දැක දුටුගැමුණු රජුට ඒ ගැන දන්වා සිටියි. දුටුගැමුණු රජු ගැල් පන්සීයක් යවා රුවන්වැලි සෑයට අවශ්‍ය රිදී එහි සිට ගෙන්වා යයි. මේ කතාව අනුව මලියදේව හිමි දුටුගැමුණු අවදිය දක්වා ජීවත් වූ බව පෙනෙයි. සහස්සවත්ථු 77 කතාව අනුව මලියදේව හිමියන් චූලගල්ල උපාසක සමඟ දෙව්ලොව ගිය පුවතක් විස්තර වෙයි. මලියදේවහිමියන් තම උදරාබාධය සඳහා බෙහෙත් කැඳක් පිළියෙළ කරදුන් චුලගල්ල උපාසක සමඟ දෙව්ලොව ගොස් මෛත්‍රීය බෝසතුන් හා සිළුමිණිසෑය වැඳගත් අයුරු පාලි රසවාහිණියේ ද විස්තර වෙයි. සිංහල සද්ධර්මලංකාරයේ මේ උපාසාකයාගේ නම සුළුගුළු උපාසක ලෙස දැක්වෙයි. බෙහෙත් කැඳ ලිප තබා පදම් වනතුරු එතුමා චුලගල්ල උපාසක සමඟ දෙව්ලොව ගොස් ආ පුවත මෙහි එයි. ඒ අනුව සුළුගුළු උපාසක විසුවේ කුරුණෑගල දැදුරුඔය අසළ මලියදේව හිමි විසු විහාරයක් අසළ ය.

මලියදේව හිමියන් කුඩා කල වැඩිපුර කල් ගෙවූ වට්ටාරම පොල්ගහවෙල නුදුරු විහාරයකි. පැරැණි ලිපියක වට්ටාරම විහාරය ගෝඨාභය නම් රජෙකු කළ බව කියැවෙයි. වට්ටාරාම හෙවත් මණ්ඩලාරාමයේ දහවෙනි සියවසට පමණ අයිති ටැම්ලිපි කීපයක් හමුවෙයි. ලංකාවේ ස්ථාන ගණනාවක මලියදේව මා හිමියන් විසූ බව කියවෙන විහාර හා ඒ පිළිබඳ ජනප්‍රවාද හමුවෙයි. ඒ අනුව කලින් කල එතුමා සංචාරය කරමින් කල් ගෙවූ බව පෙනෙයි. ජන විශ්වාස අනුව බුදුහිමියන් පිරිනිවන් පෑ පසු බුද්ධදේහය රන් දෙනක බහා ආදාහනය කරන විට ඉන් පැන නැඟුණු දඹරන් බුදුපිළිම හතරක් ලංකාවට වැඩම කළේ මලියදේව හිමියන් විසිනි. ඒ දඹරන් පිළිම හතර 1. කෑගල්ල නුදුරු වට්ටාරාම 2. කොත්මලේ පුසුල්පිටිය 3. හඟුරන්කෙත මාදන්වෙල 4. පදියපලැල්ල නුදුරු මොරපාය විය. (මහාචාර්ය නන්දසේන මුදියන්සේ හා මහාචාර්ය පරණවිතාන අනුව මේ දඹරන් බුදුපිළිම ගම්පළ යුගයේ පමණ ඉන්දියාවේ නිමකළ ඒවා ය. නැත්නම් ඉන්දියාවේ සිට ගඩලාදෙණිය, ලංකාතිලකය වැනි විහාර සෑදීමට ලංකාවට ආ දකුණු ඉන්දීය ශිල්පීන්ගේ නිර්මාණ වෙයි.) සද්ධර්මාලංකාරයේ මේඝවර්ණ වස්තුව අනුව උදුම්බරගිරි පර්වතයේ මලියදේව හිමියන් වැඩ වසන කල එතුමාට උවටැන් කළ මේඝ වර්ණදෙවි ගැන පසුකළ කියවෙයි. මේ කතාවේ කියවෙන උදුම්බරගිරි යනු දිඹුලාගල විය හැක. නවුල්ලේ ධම්මානන්ද හිමි ‘මධ්‍යම ලංකා පුරාවෘත්ත’ ග්‍රන්ථයේ කියනුයේ උදුම්බරගිරි යනු වත්තේගම පන්විල නුදුරු හුන්නස්ගිරිය කඳුවැටිය බවයි. වත්තේගම සිට ඇල්කඩුවට විහිදෙන පාරේ මලියදේව හිමියන් වැඩ සිටි බව කියන කටාරම් කෙටු මලියදේව ආරණ්‍ය නම් ගල් ලෙනක් ඇත. කොත්මලේ පුසුල්පිටියේ කලකට පෙර වැඩ සිටි දඹරන් බුදුපිළිමය අසළ එම දඹරන් පිළිමයට අධිගෘහිත උදුම්බරගිරි සිට ආ එම පිළිමයේ ආරක්‍ෂාව සැළසූ මේඝවර්ණ දෙවිඳුට කැප වූ දේවාලයක් ඇත. කොත්මලේ පුසුල්පිටිය විහාරයේ මලියදේව හිමියන් වැඩ සිටි අතර ඒ පිළිබඳ ජන කතා රැසක් කොත්මලේ විසිර පවතී.

මහාවංසයේ 32 පරිච්ඡෙදයේ දුටුගැමුණු රජු (ක්‍රි.පු. 161- 137 ) තම මරණ මංචකයේ දී තමා කළ පින් ඇතුළත් පින්පොත අසද්දී රජු මලියදේව හිමියන්ට දුන් දානයක් උන්වහන්සේ සමන්ගිරි පර්වතයේ නවසීයක් භික්‍ෂූන් සමඟ වැළඳු බව කියවෙයි. ජනප්‍රවාද අනුව මලියදේව රහත්හිමි අපවත් වූ පසු උන්වහන්සේගේ දේහය තම සහෝදරියට දැක ගැනීම පිණිස අහසින් අවුත් මැණික්දෙන නම් ස්ථානයට පහත් වී ඇත. දඹුල්ලේ පැරණි මැණික් දෙන විහාර සංකීර්ණය පිහිටා ඇත්තේ එහිය. මලියදේව හිමියන් ලංකාවේ අන්තිම රහත් නම යැයි කීම වැරැදියැයි පොල්වත්තේ බුද්ධදත්ත හිමි හා ආචාර්ය අදිකාරම් පෙන්වා දෙති.
මලියදේව මහරහතන් හිමියන්ට පසු වැඩ සිටි රහත් හිමිවරු
වංශකතා සාහිත්‍ය මූලාශ්‍ර හා විදේශීය වාර්තා අනුව මලියදේව මහ රහතන් හිමියන්ට පසු වැඩසිටි රහතන් වහන්සේ පිළිබඳ තොරතුරු හමුවෙයි.
1. දුටුගැමුණු රජු (ක්‍රි.පූ. 161 – 137 ) ඉදිකළ ලෝවාමහාපාය පහළ සිට ඉහළට මහල් වෙන් වී තිබුණේ භික්‍ෂූන් සිටි ආධ්‍යාත්මික මට්ටම් අනුවය. ඒ අනුව ලෝවාමහාපායේ ඉහළම මහල් හතර වෙන්වී තිබුණේ රහතන් වහන්සේලාටය. රහතන් වහන්සේලාට මහල් නවයෙන් හතරක් ම වෙන් කිරීමෙන් පෙනී යන්නේ විශාල රහතන් වහන්සේලා ප්‍රමාණයක් වැඩ සිටි බවයි.
2. දුටුගැමුණු රජුට පසු රජ වූ සද්ධාතිස්ස රජු කල (ක්‍රි.පූ. 137 – 119 ) රුහුණේ සේනාපබ්බතගම මහා නාගතෙර විදසුන් වඩා රහත් වූ බව සදහන් වෙයි.උන්වහන්සේ පිරිනිවන් පෑ පසු සද්ධාතිස්ස රජු මහානාග තෙරුන්ගේ දෙන එසවීමට තැත් කළත් බැරි වූ බව සිහළවත්ථු 29 කතාව කියයි.
3. වළගම්බා රජු කල (ක්‍රි.පූ. 103 – නැවත 89 –77 )බොහෝ රහතන් වහන්සේ හා ධ්‍යානලාභී භික්‍ෂුහු බැමිණිටියා සාගතය නිසා නිරාහාරව පිරිනිවන් පෑහ.
වල්පොල රාහුල හිමියන්ගේ ‘ලංකා බුදුසමයේ ඉතිහාසය’ ග්‍රන්ථය අනුව තිස්සමහාරාමය හා සිතුල් පව්වේ භික්‍ෂූන් 24, 000 එකදා නිරාහාරව අපවත් වූ බව අටුවාවල කියවෙයි. බැමිණිටියා සාගතය කල කුසගින්න උග්‍රව සොර රැළක් මහාභය තෙර මරා මස් කෑමට සැරසෙන විට මහාභය තෙර විදර්ශනා වඩා රහත් වූ බව පාලි රසවාහිණියේ අභය තෙර කතාව කියයි. වළගම්බා රජවූයේ දුටුගැමුණු රජුට අවුරුදු පණහකට පමණ පසුය.
4. පාලි රසවාහිණී හා සද්ධර්මරත්නාවලිය අනුව වළගම්බා රජුකල බැමිණිටියාසාය පවතිද්දී චුළපිණ්ඩපාතික තිස්සතෙර විදර්ශනා වඩා රහත් වූ බව රසවාහිණී අම්බ අමාත්‍ය වස්තුව කියයි.
5. වළගම්බා රජු වනගතව සිටියදී උදාවූ බැමිණිටියාසාය කල කොටගලවාසී මහානාගතෙර විදසුන් වඩා රහත් වූ බව පාලි රසවාහිණියේ ජයම්පතී වස්තුව කියයි.
6. සඳ මුහුණු හෙවත් චන්ද්‍රමුඛ සිව රජු කල (ක්‍රි.ව. 43 – 52 ) අනුරාධපුර මහාවිහාරයේ සිටි ඇස් පෙනීම අඩු රහත් හිමිනමක් ගැන මැදුම්සඟ අටුවාවේ කියයි.
7. වසභ රජු කල (ක්‍රි.ව. 67 – 111 ) කන්ථකසාල පිරිවෙන්වාසී තෙරනමක් රහත් බව ලබා ඇත. ශිලාලිපිවල ‘වහබ’ නමින් හඳුන්වන මේ රජු රජ කළේ මලියදේව හිමි අපවත්ව අවුරුදු 250 පමණ පසුය. ඒ අනුව ක්‍රි.ව. පළමු සියවසේදීත් රහතන් වහන්සේ සිටි බව පෙනී යයි. වසභ රජුට පසු කාලයේ ක්‍රමයෙන් රහතන් වහන්සේලාගේ ප්‍රමාණය අඩු වී ගොස් ඇති අතර ඒ පිළිබඳ තොරතුරු සෙවීම දුෂ්කරය.
8.පාලි හත්ථවනගල්ල විහාරවංශය හා සිංහල අත්තනගළු වංශය (මුල් සිංහල අත්තනගළුවංශය ගම්පළ කල ලියවී ඇත. දෙවැනි සිංහල අත්තනගළු වංශය කෝට්ටේ මහා වීදාගම හිමි කියවන ලදුව එතුමාගේ ශිෂ්‍යයෙකු ලියා ඇත). ඒ අනුව අත්තනගළු විහාරයේ විසූ තෙර නමක් පොළොව ගුගුරුවා ගෙන රහත් වූ බව කියවිණි. පළමු උපතිස්ස රජු (365 – 406 ) එම පොළොව ගිඟුරුම් හඬ අසා අත්තනගළු විහාරයට ගොස් උන්වහන්සේ බැහැ දැක එම රහත්හිමි නමට පස් මහල් මැඳුරක් කරවා පිදු බව අත්තනගළුවංශය 10 පරිච්ඡේදය කියයි. මේ කියවෙන හිමිනම පොළොව ගිඟුරුවා ගෙන රහත්වූයේ අත්තනගළු විහාරයේ ය.
එකළ රජ කළේ පළමු උපතිස්ස රජු ය. (365 – 406 ) ඒ මලියදේව මා හිමියන් අපවත් වී අවුරුදු 550 පමණ පසුය.
9. මහානාම රජු කල (406 – 428 ) ලංකාවට ආ පාහියන් නම් චීන හිමිනම දුටු විස්තර ගමන් චාරිකා විස්තරයක් ලෙස ලිවූ අතර එය ‘පාහියන් දේශාටන වාර්තාව‘ ලෙස සිංහලෙන් පලවී ඇත.
පාහියන් හිමියෝ මහා විහාරයේ උග්‍ර තපස් රැක රහත් වු හිමි නමකගේ ආදාහන උත්සවයක් අනුරාධපුරයේ දී දැක ඒ ගැන විස්තර කරති. මේ රහත්හිමිනම වැඩ සිටියේ මහානාම රජු කල (406 – 428 ) මහාවිහාරයේ ය. වැඩසිටියේ මලියදේව හිමියන්ට අවුරුදු 550 – 600 පමණ පසුකලයි.
10. මේ අනුව දුටුගැමුණු රජු කල අපවත් වූ මලියදේව හිමියන් ලංකාවේ අන්තිම රහත් තෙරනම නොවේ. උන්වහන්සේ අපවත් වී තවත් අවුරුදු 550 – 600 පසුවත් ලංකාවේ රහත්හිමිවරුන් වැඩ සිට ඇත. අත්තනගළු වංශය කියන පළමු උපතිස්ස රජුකල විසූ හිමිනම හා ඉන්පසු පාහියන් හිමි කියන මහානාම රජු කල මහා විහාරයේ වැඩසිටි හිමි නම ලංකාවේ අන්තිම රහතන් වහන්සේලා විය හැකි ය.

වත්තේගම හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ 
එස්.කේ. ජයවර්ධන

පසු විපරම
------------
‘භවත් සුභද්‍ර, මා කියා දෙන පිළිවෙලට භික්ෂූන් වහන්සේලා වාසය කරත් නම්, මේ ලෝකය රහතන් වහන්සේලාගෙන් හිස් නොවන්නේ ය‘
(පරිනිබ්බාන සූත්‍රය - දීඝ නිකාය 2)

මේ අනුව පෙනෙන්නේ, ජයවර්ධන මහතා ගෙනහැර පාන පරිදි, ශාස්තෘ වචනයෙහි හික්මුණ පිරිස් පසු කලෙක ද සිටියා නම්, රහතුන් පහළවිය හැකි බවයි. එසේ ම, පසු කාලින සාක්ෂීන්ට අනුව ද මලියදේව රහතුන් අවසන් රහතුන් නොවේ. කිසිවෙකුත් නොදන්නා හේතුවක් නිසා, මලියදේව රහතුන් ලංකාවේ අවසන් රහතුන් යයි පවසා, ශ්‍රාවකයා මුලාකොට ඇත. සසුන් පිළිවෙතෙහි උකටලී කොට ඇත. ඇතැම් විට මෙය අරි අටැගිමග අතහැර බුදු බව පිණිස පෙරුම්දම් පුරන්නෝ බිහි වූ යුගයේ ඔවුන් විසින් බිහිකළ කල්පිතයක් ද විය හැකිය. අවසානයේ දී සිදු වුයේ මේ ලණු වහන්සේ විමසා බැලිමකින් තොර ව, පරම්පරා ගණනාවක් තිස්සේ වමාර වමාරා ගිලදැමීම යි. කෙසේ වුවත්, වාර්තාගත අවසන් රහත් යුගය මලියදේව රහතුන්ගේ කාලය ද පසු කොට දිවගොස් ඇත. වාර්තාගත අවසන් රහතුන් එසේ වුව ද වාර්තා නොවූ රහතුන් සිටිය නොහැකි ද!

සැබැවින්ම, අද වුව රහතුන් බිහි විය හැකිය. ඒ සදහා අවශ්‍ය වන්නේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ ශ්‍රී සද්ධර්මය සීල සමාධි ප්‍රඥා වශයෙන් දියුනු කොට සාක්ෂාත් කිරීමයි. මේ සත්‍යය මධ්‍යස්ථව විචාරා රහතුන් අද බිහිවිය නොහැකි යැයි පතල කරන කිසිදු මතවාදයක් අප විසින් ශක්තිමත් නොකළ යුතු ය. මහා සංඝයා විසින් බුදු සසුන හදුනාගන්නා තත්වයට පත් කිරීමටත්, ගිහියන්ගේ කටයුතු සිදු නොකර සැබැ ශාසනික ප්‍රතිරූපය ඉස්මතු වන මුනිවරුන්ගේ සසුනක් බිහි කරවීම පිණිසත්, භික්ෂු භික්ෂුණි උපාසක උපාසිකා යන සිව්වනක් පිරිස අධිෂ්ඨානශීලිව පෙරගමන් කළ යුතු ය.

‘චිරං තිට්ඨතු ලෝකස්මිං සම්මා සම්බුද්ධ සාසනං‘

තෙරුවන් සරණයි!!!

පසැස් ඇති මුනිරජ නමදිමු..!!!

November 27, 2012 at 12:01 am | Lanka C News. 
 (නොපැහැදුණු දනන්ගේ පැහැදීම පිණිසත්, පැහැදුණු දනන්ගේ තහවුරු වීම පිණිසත්මය) 

නමෝ තස්ස භගවතෝ අරහතෝ, සබ්බ ධම්මේහි අප්පටිහත ඥානචාරස්ස, දසබල ධරස්ස, චතු වේසාරජ්ජ විසාරදස්ස, සබ්බ සත්තුත්තමස්ස, ධම්මිස්සරස්ස, ධම්ම රාජස්ස, ධම්මස්සාමිස්ස, තථාගතස්ස සබ්බඤ්ඤුණෝ සම්මා සම්බුද්ධස්ස…!. !!.. !!! 

 (මෙම ලිපිය සූත්‍ර පිටකය, ඛුද්දක නිකාය, මහා නිද්දේස පාලිය, සාරිපුත්ත නිර්දේශය ඇසුරින් සම්පාදිතයි.)

භාග්‍යවතුන් වහන්සේ පසැස් ඇති සේක. (භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ පසැසකින් චක්ෂුර්මත් වන සේක.) භාග්‍යවතුන් වහන්සේ පසැස් ඇති සේක. පසැසින් අග්‍ර වන සේක. එබැවින්ම දම් සෙනෙවි (ධම්ම සේනාපති) මහෝත්තම වූ, භාග්‍යවතුන් වහන්සේගේ ඖරස පුත්‍ර වූ, භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම නමැති ලය මඩලින් උපන්, භාග්‍යවතුන් වහන්සේ ගේ දම්සක් පෙරළු ශ්‍රී මුව මඩලින් උපන්, මහා ප්‍රාඥ මහා සාරිපුත්ත මහා රහතන් වහන්සේ විසින් මැනවින් විස්තර කරන ලද පරිදි භාග්‍යවතුන් වහන්සේ පසැසින් චක්ෂුර්මත් වන සේක. භාග්‍යවතුන් වහන්සේ මෙසේ උතුම් වූ පසැසින් (උතුම් වූ දර්ශන ලාභ පහකින්) චක්ෂුර්මත් වන සේක. 

 ඒ කෙසේද යත්, 
 භාග්‍යවතුන් වහන්සේ මසැසින්ද (මාංශමය ඇසින්, පියවි ඇසින්) චක්ෂුර්මත් වන සේක. දිවැසින්ද චක්ෂුර්මත් වන සේක. පැනැසින්ද (ප්‍රඥා ඇසින්) චක්ෂුර්මත් වන සේක. බුදු ඇසින්ද චක්ෂුර්මත් වන සේක. සමතැසින්ද (සමන්ත චක්ඛු නම් වූ සර්වඥතා ඥානයෙන්ද) චක්ෂුර්මත් වන සේක. 

 කෙසේ නම් භාග්‍යවතුන් වහන්සේ මසැසින්(මාංශමය ඇසින්/ පියවි ඇසින්) චක්ෂුර්මත් වීද යත්, 
භාග්‍යවතුන් වහන්සේගේ මසැස්හි නිල් පැහැයද, රන් වන් පැහැයද, රත් පැහැයද, කළු පැහැයද , සුදු පැහැයද යන මේ පංච වර්ණයෝ විද්‍යාමාන වෙති. තවද භාග්‍යවතුන් වහන්සේගේ අක්ෂි රෝමයෝ (භාග්‍යවතුන් වහන්සේගේ නේත්‍රයන් හි මධ්‍ය මණ්ඩලයෝ) යම් තැනෙක පිහිටියේද, එතැන දිය බෙරලිය (නිල් මහනෙල් විය යුතුය) මල් වැනි සුනිල් සුපිරිසිඳු දැකුම්කළු නිල් පැහැය වෙයි. තවද එහි රන් පැහැය නිසි තන්හි දැකුම්කළු කිණිහිරි මල් මෙන් රන්වන් පැහැය වෙයි. දෙනෙත් අග රතිඳු ගොව් සදිසි දැකුම්කළු රත් පැහැය වෙයි.මැද රුක්පෙණල ඇට මෙන් ඉතා කළු, මෙලෙක් සිනිඳු පිරිසිඳු දැකුම්කළු කළු පැහැය වෙයි. ඉනික්බිති දහවත් තරු වන් ඉතා සුදු හෙළ පඞෙර වන් පිරිසිඳු දැකුම්කළු සුදු පැහැය වෙයි. භාග්‍යවතුන් වහන්සේ පෙර සසරෙහි කල මහා පුණ්‍ය ශක්තියෙන් උපන්, පංච වර්ණයෙන් යුත් මේ පියවි දෙනෙතින්ම දවාලෙහිද රාත්‍රීහිද හාත්පස යොදුන් සියයක් දකිති. යම් කලෙක චතුරංග සමන්වාගත (කරුණු සතරකින් සමන්විත වූ) මහා අන්ධකාරයම වෙයිද, එනම්, හිරු අස්තයට ගිය මැදියම් රැය වෙයි, සඳ නැති අමාවක- පොහෝ දින වෙයි, ගහන වූ මහා වන ලැහැබක් වෙයි, ඝන වලාකුලින් අහසද වැසුනේ වෙයි. මෙවන් චතුරංග සමන්වාගත අඳුරු රැයක පවා භාග්‍යවතුන් වහන්සේ හුදු පියවි ඇසින්, කිසිදු සෘද්ධි ඥාන බලයකින් තොරවම හාත්පස යොදුනක් දකින සේක. බිත්ති, දොර, පවුරු, ගල්, ගස් ආදිය විනිවිද දැකිය හැකි මහා දර්ශන ශක්තියක් භාග්‍යවතුන් වහන්සේගේ මසැස (පියවි දෙනෙත) තුල වෙයි. තවද, එවන් අඳුරු රැයක, එක් තල ඇටයක් ලකුණු කොට තල ඇට පිරවූ විශාල ගැලක බහා සඟවා තැබූ කල ඒ එක තල ඇටයම එකවර ගෙනහැර පෑ හැකි ආශ්චර්යමත් දර්ශන ශක්තියක් භාග්‍යවතුන්වහන්සේගේ මසැස සතුය.එවන් මහානුභාව සම්පන්න පියවි නෙත් සඟලකින් යුත් භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන්ම චක්ෂුර්මත් වන සේක. 

 කෙසේ නම් භාග්‍යවතුන් වහන්සේ “දිවැසින්” චක්ෂුර්මත් වීද යත්, 
භාග්‍යවතුන් වහන්සේ මිනිස් ඇස ඉක්මවා සිටි පිරිසිඳු දිව්‍යමය ඇසින්, චුතවන (මිය යන) නැවත උපදින සත්වයෝ දකින සේක. උසස් වූද-පහත් වූද, හීන වුද-ප්‍රණීත වූද, මනා රූප ඇත්තා වූද- විරූපී වූද, සුගතියට ගියා වූද- දුගතියට ගියා වූද, සත්ත්වයන් බලන සේක. අහෝ! මේ සත්ත්වයෝ කයින් පව්කම් කොට , වචනයෙන් පව්කම් කොට, මනසින් පව්කම් කොට, ආර්යයන්ට නිගරු කොට, මිත්‍යාදෘෂ්ටියෙහි පිහිටා, මිත්‍යාදෘෂ්ටිය අනුව සමාදන් වූ විවිධ කර්ම ඇති වූහ. ඔවුහු කය බිඳීමෙන් මරණින් මතු සුව රහිත වූ දුකට ගති වූ විවසව පතිත වන නිරයට පැමිණියාහු වෙති. දුක් ඇති තිරිසන් යෝනියෙහි, ප්‍රේත යෝනියෙහි උපන්නෝ වෙතියි දකින සේක. තවද, ඇතැම් සත්ත්වයෝ, කයින් වචනයෙන් මනසින් පින්කම් කොට, කාය සුචරිතයෙහි හැසිරී, වචනයෙන් සුචරිතයෙහි හැසිරී, මනසින් සුචරිතයෙහි හැසිරී, ආර්යෝපවාද නොකොට (ආර්යයන්ට ගැරහීම නොකොට), සම්‍යග් දෘෂ්ටියෙහි පිහිටා, සම්‍යග් දෘෂ්ටිය අනුව සමාදන් වූ කර්ම ඇති වූහ. ඔවුහු, කය බිඳීමෙන් මරණින් මතු සුන්දර ගති ඇති, සැපයෙන් අග්‍ර වූ ලෝකයන්හි උපන්නෝ වෙතියි, මෙසේ කර්ම විපාක පරිදි ඒ ඒ තැනට පැමිණි (පරලොවට පැමිණි) සත්වයන් දැනගන්නා සේක. දකින සේක. තවද, භාග්‍යවතුන් වහන්සේ කැමති පරිදි සක්වල (විශ්වයෙහි), එක් ලෝකධාතුවක්(එක් ඉරකින් සඳකින් ආලෝකය පැතිරෙන ඉහල බ්‍රහ්ම තල සතරක්, තවත් බ්‍රහ්ම තල දහසයක්, දිව්‍ය තල සයක්, මනුෂ්‍ය ලෝකයක්, සහ අපාය තල සතරක් සහිත ලෝක ධාතුව) බලන සේක. එවන් ලෝක ධාතු දෙකක්ද බලන සේක. ලෝක ධාතු තුනක්, සතරක්, පහක්, දහයක්, විස්සක්, හෝ පනහක් බලන සේක. සියයක් පන්සියයක් හෝ බලන සේක. කැමති පරිදි සහශ්‍රී චූලනිකා ලෝකධාතුවද (සෞරග්‍රහමණ්ඩල දහසක් පමණ වන ලෝක ධාතුව, ඉහත කී තල තිස් එකකින් යුත් ලෝක ධාතූන් දහසකින් සමන්විත ලෝක ධාතුව) බලන සේක. ද්වී සහශ්‍රී මධ්‍යම ලෝක ධාතුවද (චූලනිකා ලෝක ධාතුන් දහසක්) බලන සේක. ත්‍රී සහශ්‍රී මහා සහශ්‍රී ලෝකධාතුව (මධ්‍යම සහශ්‍රී ලෝක ධාතු දහසකින් යුත් මහා ලෝක ධාතුව) ද බලන සේක. තවද, තමන් වහන්සේ යම් පමණ කැමති වන සේක්ද, අනන්ත අප්‍රමාණ ලෝකධාතූන්, සක්වලයන් එපරිදි බලන සේක. භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ මෙසේ උතුම් වූ දිවැසින්ද චක්ෂුර්මත් වන සේක. 

 කෙසේ නම් භාග්‍යවතුන් වහන්සේ පැනැසින්(ප්‍රඥා ඇසින්) චක්ෂුර්මත් වීද යත්, 
භාග්‍යවතුන් වහන්සේ මහත් ප්‍රඥා ඇති සේක. පතල (පැතිරුණු) ප්‍රඥා ඇති සේක. ශීඝ්‍ර ප්‍රඥා ඇති සේක. දිවෙන ප්‍රඥා ඇති සේක. තියුණු ප්‍රඥා ඇති සේක. විනිවිද යන ප්‍රඥා ඇති සේක. ප්‍රඥා ප්‍රභේදයන්හි නිපුණ වූ සේක. නොයෙක් ආකාරයෙන් බෙදා දැක්විය හැකි නුවණින් යුක්ත වන සේක. අධිගම කල (ලබා ගත්) ප්‍රතිසංවිද් (පටිසම්භිදා) ඇති සේක. භාග්‍යවතුන් වහන්සේ චතුර්වෛශාරද්‍යයට පැමිණි සේක. දශබලධාරී වූහ. පුරුෂ ශ්‍රේෂ්ඨ, පුරුෂ සිංහ, පුරුෂ නාග,පුරුෂාජානෙය්‍ය (පුරුෂ ආජානේය) වන සේක. උන්වහන්සේ අනන්ත ඥාන ඇති සේක. අනන්ත තේජස් ඇති සේක. අනන්ත යසස් ඇති සේක. මහත් වූ ප්‍රඥා ධනයෙන් ආඪH වූහ. ප්‍රඥා ධනයෙන් ධනවත් සේක. භාග්‍යවතුන් වහන්සේ සත්ත්වයන් නිවනට පමුණුවන හෙයින් නේතෘ වූහ. වෛනෙයයන් (අන්‍යයන්) හික්මවන බැවින් විනෙතෘ වූහ. සැක සිඳින හෙයින් අනුනෙතෘ වූහ. උන්වහන්සේ අර්ථය පණවන සේක. නිශ්චය කරවන සේක. පිළිවෙත දක්වන සේක. ප්‍රතිපත්ති ඵලයෙන් පහදවන සේක. තවද භාග්‍යවතුන් වහන්සේ, සිය සන්තානයෙහි , නූපන් ආර්ය මාර්ගය ඉපදවූ සේක. අන්‍යයන්ගේ සිත්හි හටනොගත් මාර්ගය උපදවන සේක. ප්‍රකාශ නොකළ මාර්ගය විවරණ දීම් වශයෙන් ප්‍රකාශ කරන සේක. ප්‍රත්‍යවේක්ෂා වශයෙන් ආර්ය මාර්ගය දනා සේක. ප්‍රත්‍යක්ෂ වශයෙන් ආර්ය මාර්ගය දනා සේක. මාර්ගය දන්නසුලු වූහ. මාර්ගයෙහි විචක්ෂණ වූ සේක. තවද භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රකාශිත ආර්ය මාර්ගය අනුව යන ශ්‍රාවකයෝ ශීලාදී ගුණයෙන් උන්වහන්සේ පසුපස යති. භාග්‍යවතුන් වහන්සේගේ මහා නුවණින් නොදන්නා ලද්දක්, නොදක්නා ලද්දක්, ඥානයෙන් නොපැමිණෙන ලද්දක්, ප්‍රත්‍යක්ෂ නොකරන ලද්දක්, ප්‍රඥාවෙන් ස්පර්ශ නොකරන ලද්දක් නම් නැත. “ඥෙය” නම් වූ දතයුතු යම්කිසි ධර්මයක් වේ නම්, අතීත වර්තමාන අනාගත කාලත්‍රයටම අදාලව සකලවිධ ධර්මයෝ සියලු ආකාරයෙන් භාග්‍යවතුන් වහන්සේගේ ඥානයෙහිම වැටෙති. ආත්මාර්ථය, පරාර්ථය, උභයාර්ථය, දෘෂ්ඨධාර්මිකාර්ථය, සම්පරායිකාර්ථය, උත්ථාන (ප්‍රකට) අර්ථය, ගම්භීරාර්ථය ද, ගූඨාර්ථය ද, ප්‍රතිච්චන්නාර්තයද , නෙය්‍යාර්ථයද , නීතාර්තයද , නිර්දෝෂාර්ථයද , නික්ලේශාර්ථයද, පරිශුද්ධාර්ථයද, පරමාර්ථයද යන මේ සියල්ල බුද්ධ ඥානය තුලම පැතිර පවතී. භාග්‍යවතුන් වහන්සේගේ සියලු කාය කර්මය, වාග් කර්මය, මනෝ කර්මය ඥානය අනුවම පවතී. භාග්‍යවත් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ඥානය අතීතයෙහි සැපීමක්, සීමාවක් නැත. අනාගතයෙහි සැපීමක්, සීමාවක් නැත. වර්තමානයෙහි සැපීමක්, සීමාවක් නැත. “ඥෙය” නම් වූ දත යුතු ධර්ම යම් පමණ නම් “ඥානය”ද එපමණ වෙයි. ඥානය යම් පමණද “ඥෙය” එපමණ වෙයි. ඥානය වනාහි “ඥෙය” හිමි කොට ඇත්තේය. “ඥෙය” ඉක්මවා ඥානයද “ඥානය” ඉක්මවා ඥෙය පථය ද නැත්තේය. ඒ ධර්මයෝ දෙදෙනා ඔවුනොවුන් පර්යන්ත කො‍ට මුළුමනින්ම එක්ව සිටින්නාහ. කටවල් මැනවින්, මුළුමනින්ම හේත්තු වන සේප්පුවක් වැසූ කල්හි, යම් සේ උඩු පියන යටි පියන ඉක්මවා නොසිටීද, යටි පියන උඩු පියන ඉක්මවා නොසිටීද, එමෙන්ම භාග්‍යවත් බුදුරජානන් වහන්සේගේ ඥානය සහ “ඥෙය” ඔවුනොවුන් කෙලවර කොට ඇත්තේය. යම් පමණ “ඥෙය” වේද, ඥානයද එපමණ වෙයි. ඥානය යම් පමණද, ඥෙය ද එපමණය. ඥානය “ඥෙය” කෙලවර කොට ඇත්තේය. ඥෙය ඥානය කෙලවර කොට ඇත්තේය. ඥෙය ඉක්මවා ඥානය නොපවතී. ඥානය ඉක්මවා ඥෙය පථය නැත. ඒ ධර්මයෝ දෙදෙනා ඔවුනොවුන් කෙලවර කොට සිටින්නෝය. භාග්‍යවතුන් වහන්ස්ගේ ඥානය සකල ධර්මයන්හි පවතින්නේය. සියලු දහම් විෂයෙහි භාග්‍යවත් බුදුරදුන්ගේ ඥානය පවතී. සියලු ධර්මයෝ බුදු රදුන්ගේ මනොද්වාරාවර්ජනයට (මනසින් අනාවරණය කරගැනීමට) අයත් වෙති. රුචියට අයත් වෙති. සිතින් පිරිසිඳ දැකිය හැකි වෙති. සියලුම සත්ත්වයන් විෂයෙහි භාග්‍යවතුන් වහන්සේගේ ඥානය පවතී. උන්වහන්සේ සියලු සත්වයන්ගේ ආශය(අදහස්) දනිති. අනුශය දනිති. අධිමුක්තිය දනිති. නුවණැසෙහි අල්ප වූ රාගාදී කෙලෙස් රජස් ඇති වූද, මහත් වූ කෙලෙස් රජස් ඇති වූද, තියුණු දියුණු ශ්‍රද්ධාදී ඉඳුරන් ඇති වූද, මෘදු සුන්දර ශ්‍රද්ධාදී ආකාර ඇති වූද, ගර්හාවට සුදුසු අශ්‍රද්ධාදී ඉඳුරන් ඇති වූද, අවබෝධ කරන නුවණ ඇති වූද, අවබෝධ කරන නුවණ මද වූද, මගඵල ලද හැකි වූද, වර්තමාන භාවයේදීම මගඵල ලද නොහැකි වූද සත්ත්වයන් දැනගන්නා සේක. දෙවියන් සහිත බඹුන් සහිත මරුන් සහිත ලෝවැසි තෙම දෙව්මිනිසුන් සහිත සකල සත්ත්ව ප්‍රජාවම, “ඇතුළු බුදු නුවණෙහි”ම අනාවරණය වෙයි. යම් සේ ඇතිතාක් මත්ස්‍ය කැස්බෑවුන් ආදී නොයෙක් සත්ත්වයෝ වෙත්ද, ඔවුන් සියල්ලෝ මහමුහුදෙහිම සැරිසරති. එසෙයින්ම දෙවියන් මරුන් බඹුන් සහිත මිනිසුන් සහිත සකල සත්ත්ව ප්‍රජාවම, ඇතුළු බුදු නුවණෙහිම පවතී (සියලු සත්ත්ව ප්‍රජාවෝ බුදු නුවනට අනාවරණය වෙති). සියලු ආකාර පක්ෂීන් මහා ගුරුළු (පක්ෂීන් අතුරෙහි ශ්‍රේෂ්ඨතම යැයි සැලකෙන දිව්‍යමය පක්ෂියෙකි) රජු ඇතුළුවම හුදු අහසෙහි එක් පෙදෙසක පමණක් වසා පැතිර සිටීද, එපරිදි උතුම්වූ මහා ප්‍රාඥ සාරිපුත්තයන් වහන්සේ හා නුවණින් සම වූවක්හු පවා අනන්ත වූ බුද්ධ ඥානයෙහි පෙදෙසක පමණක් පවතී. බුද්ධ ඥානය සෑම විටම සකල දෙව්මිනිසුන්ගේ සකලවිධ ප්‍රඥාවන් පැතිර මැඩගෙන සිටී. තවද, අතිශය නිපුණවූ අන්‍ය වාදයන් පරාජය කිරීමෙහි සමත් මහත් තියුණු නුවණ ඇති ශ්‍රමණ, බ්‍රාහ්මණ, ගෘහපති පණ්ඩිතයෝ බොහෝ වාදයන් දෘෂ්ටීන් පිලිබඳ වාද කොට, අන්‍යයන් පරාජය කොට ලැබූ ජය ඇතිව, ඉතාම තීක්ෂණ වූ, ගැඹුරු වූ, ගුප්ත වූ, ගූඪ වූ ප්‍රශ්න සකසා භාග්‍යවතුන් වහන්සේ හා විවාදයට පැමිණෙති. එසේ පැමිණ භාග්‍යවතුන් වහන්සේගෙන් ප්‍රශ්න විචාරති. භාග්‍යවතුන් වහන්සේ විසින් ඒ සියලු ප්‍රශ්න කරුණු සහිතව ප්‍රකාශ කොට විසඳන සේක. එවිට එකී පණ්ඩිතයෝ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක බවට උපාසක බවට පත්වෙති. මෙසේ නොයෙක් ලෙසින් භාග්‍යවතුන් වහන්සේගේ මහත් වූ ප්‍රඥාව ප්‍රකාශ වන බැවින්, ප්‍රකට වන බැවින්, භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ඒකාන්තයෙන්ම ප්‍රඥා ඇසින්ද (පැනැසින්) චක්ෂුර්මත් වන සේක. 

 කෙසේ නම් භාග්‍යවතුන් වහන්සේ “බුදු ඇසින්” චක්ෂුර්මත් වීද යත්, 
භාග්‍යවතුන් වහන්සේ බුදු ඇසින් ලොව බලන සේක්, සිතෙහි අල්ප වූ රාගාදී කෙලෙස් රජස් ඇති සත්ත්වයන්ද, මහත් වූ රාගාදී කෙලෙස් රජස් ඇති සත්ත්වයන්ද , තියුණු වූ ශ්‍රද්ධාදී ඉඳුරන් ඇති මෘදු වූ ඉඳුරන් ඇති සුන්දර සත්ත්වයන්ද, අශ්‍රද්ධාදී ගර්හාවට සුදුසු රළු ආකාර ඇති සත්ත්වයන්ද, මෝරනලද තියුණු නුවණ ඇති සත්ත්වයන්ද හීන වූ නුවණැති (බාල) සත්ත්වයන්ද, මගඵල ලැබීමට හැකි (භව්‍ය) සත්ත්වයන්ද, වර්තමාන භාවයේදීම මගඵල ලැබිය නොහැකි (අභව්‍ය) සත්ත්වයන්ද, දකින සේක. පරලොව කෙරෙහිද පවටද බිය ඇතිව වසන ඇතැම් සත්ත්වයන්ද පව්කම්ද පරලොවද බිය වශයෙන් නොගෙන වසන ඇතැම් සත්ත්වයන්ද දකින සේක. යම්සේ උපුල් විලක හෝ පියුම් විලක හෝ නෙළුඹු විලෙක(ඕලු විලෙක), ඇතැම් උපුල් හෝ පියුම් හෝ ඕලු දියෙහි හටගෙන දියෙහි වැඩී දියෙන් නොනැගී දියතුලම ගැලී පරව යයිද, යම්සේ උපුල් විලක හෝ පියුම් විලක හෝ නෙළුඹු විලෙක(ඕලු විලෙක), ඇතැම් උපුල් හෝ පියුම් හෝ ඕලු දියෙහි හටගෙන දියෙහි වැඩී දිය හා සමව පිහිටියාහුද, ඇතැම් උපුල්, පියුම් හෝ ඕලු දියෙහි හටගෙන, දියෙහි වැඩුනාහු දියෙන් උඩට නැගී දිය හා නොගැටී දිය හා නොවැකී, දියෙහි නොගෑවී සිටිත්ද, එසේම, භාග්‍යවතුන් වහන්සේ බුදු ඇසින් ලොව බලන සේක්, කෙලෙස් නමැති දිය ඇති, ලෝකය නමැති විලෙහි ඉපිද, කෙලෙස් දියෙහිම ගැලී සිටිනා කෙලෙස් දියෙහිම ඉපිද මියෙන මහා රජස්ක (අධික කෙලෙස් ඇති) සත්ත්වයෝද, කෙලෙස් නමැති දියෙහි නැගුනු කෙලෙසුන් ගෙන් මිදෙනු හැකි අල්ප රජස්ක (කෙලෙස් අඩු) සත්ත්වයන්ද, දියුණු තියුණු ශ්‍රද්ධාදී ඉන්ද්‍රීන් ඇති, ගර්හිත නොදියුණු ඉන්ද්‍රීන් ඇති සත්ත්වයන්ද පරලොව භය ඇති පවට බිය ඇති සත්ත්වයන්ද, පරලොව භය නැති පව්කම් කරන සත්ත්වයන්ද, දකින සේක. මේ පුද්ගල තෙමේ රාග චරිත ඇත්තෙකි, මේ තෙම ද්වේශ චරිත ඇත්තෙකි. මොහු මෝහ චරිත ඇත්තෙකි. මේ විතර්ක චරිත……, ශ්‍රද්ධා චරිත……, ඥාන චරිත ඇත්තෙකි, ආදී වශයෙන් භාග්‍යවතුන් වහන්සේ බුදු ඇසින් දකින සේක. භාගවතුන් වහන්සේ බුදු ඇසින් එසේ දැක රාග බහුල පුද්ගලයාට අසුභයෙන් (කයෙහි පිළිකුල් බව ඇසුරින්) දහම් දෙසන් සේක. ද්වේශ බහුල පුද්ගලයාට මෛත්‍රී භාවනාව ප්‍රකාශ කරන සේක. මෝහ බහුල පුද්ගලයා ධර්මය ඇසීමෙහි ගුරුවරුන් ඇසුරු කිරීමෙහි දහම් උගෙනීමෙහි දහම් කථා කිරීමෙහි දහම්හි අර්ථ විමසීමෙහි යොදවන සේක. විතර්ක බහුල පුද්ගලයාට සිත සන්සුන් වීම පිණිස ආනාපානාසතිය දෙසන සේක. ශ්‍රද්ධා බහුල පුද්ගලයාහට ප්‍රසාද උපදවනසුළු, ශ්‍රද්ධාව වඩනසුළු සූත්‍රරයන්ද, භාග්‍යවතුන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වයද, ධර්මයෙහි ස්වාක්ඛාත බවද, සංඝයාගේ සුපටිපන්න බවද, ශීල කථාද දේශනා කරන සේක. ඥාන චරිත ඇත්තාට විදර්ශනා නිමිත්ත වූ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වූ ත්‍රිලක්ෂණය පවසන සේක. යම්සේ, මහත් වූ උස වූ ගල් පර්වතයක් මුදුනෙහි සිට ඇස් ඇති පුරුෂයෙක් හාත්පස භූමියෙහි සිටින ජනතාව බලන්නේද, එසෙයින් සොඳුරු බුදු නුවණැති භාග්‍යවතුන් වහන්සේද ධර්මය නමැති මහා පහයට නැගී ජාති, ජරා, මරණාදී දුකින් මඩිනා ලද ජනතාව දෙස මහා කරුණාවෙන් බලන සේක. 

 කෙසේ නම් භාග්‍යවතුන් වහන්සේ “සමතැසින්” (සමන්ත චක්ඛු නම් වූ සර්වඥතා ඥානයෙන්) චක්ෂුර්මත් වීඑද යත්, 
භාග්‍යවතුන් වහන්සේ වෙත පමණක්ම ඇති සම්මා සම්බුදු රජාණන් වහන්සේලා විෂයෙහිම පමණක් විද්‍යාමාන හෙයින් අන්‍යයන්ට අසාධාරණ(අන්‍යයන්ට නොමැති) වන අසම සම වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේලා විෂයෙහි පමණක් සාධාරණ වූ උතුම් වූ සර්වඥතා ඥානය “සමන්ත චක්ඛු” නම් වෙයි. භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ වනාහි සර්වඥතා ඥානයෙන් උපෙතයහ. සමුපෙතයහ. උපගතයහ.සමූපගතයහ. වෙන් නොවූහ. පරිපූර්ණ වූහ. සමන්විත වූ සේක. භාග්‍යවතුන් වහන්සේගේ මේ උතුම් සර්වඥතා ඥානයට ආවරණය වූ කිසිවක් ත්‍රෛලෝක ධාතුවෙහි නැත. උන්වහන්සේ නුවණින් නොදුටු කිසිවක් නැත. අතීත වූ හෝ, අනාගත වූ හෝ, වර්තමාන වූ හෝ උන්වහන්සේගේ නුවණින් දක්නා නොලද්දක් නැත. සියලු ධර්මයෝද සියලු ධර්ම ජාතයෝද සියලු අයුරින් අවබෝධ කරන ලද හෙයින් භාග්‍යවතුන් වහන්සේ “සමන්ත චක්ඛු” වූ සේක. සර්වඥ වූ සේක. මෙසේ හෙයින් භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ සමතැසින්ද (සර්වඥතා ඥානයෙන්) චක්ෂුර්මත් වූ සේක. 

මාගේ ස්වාමී වූ, දෙව් මිනිසුන්ට ශාස්තෘ වූ, මාගේ ශාස්තෘ වූ, භාග්‍යවත් අරහත් වූ, සියලු ධර්මයන් විෂයෙහි පරිපූර්ණ වූ ඥාන ඇති , දශ බලධාරී වූ, චතුර්වෛශාරද්‍ය වූ , සකල සත්වයන් අතුරෙහි අනුත්තරීය වූ අග්‍ර වූ, ධර්මයට ඊශ්වර වූ, ධර්ම රාජ වූ, ධර්ම ස්වාමී වූ, තථාගත වූ සර්වඥ සම්මා සම්බුදු රජාණන් වහන්සේ මෙසේ පසැස් ඇති සේක. පසැසකින් චක්ෂුර්මත් වන සේක. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා…!..!!…!!! 

 “ඝන අඳුර විනිවිඳින – මසැස් ඇති මුනි රජ 
 මියෙන උපදින මියෙන- ලෝ සතුන් දුටහ – නිමල දිවැසින 
 පැනැසින් කළහ එලි – බිඳ අවිදු මොහඳුර 
 යොමා බුදු ඇස මහා කුළුණින – බැලූ සත්වග එතෙර කරමින 
 මහා සමතැස සදා වඳිනෙමි – තබා හිස බුදු දෙපා පියුමග” 

 “මහා මුනිරජ ගොයුම් භගවා – පසැස් දසුනින් සකල දම් දැන 
 මහා බියකරු මහා සසරින් එතෙර වී- සත එතෙර කරමින 
 නිවා දුක ගිනි අමාදොර ඇර- දිනූ මරසෙන් විජය කරමින 
 මහා මුනිරජ සදා වඳිනෙමි – නමා හිස බුදු දෙපා පියුමග” 

තෙරුවන් සරණයි.!!! 
සසිත් රාජසූරිය.

අපණ්ණක ප‍්‍රතිපදාව සහ ජාතිකත්ව සිහිය


අපණ්ණක වචනය 
අපණ්ණක වචනය අප බොහෝ දෙනෙකු මුලින්ම අසන්නට ඇත්තේ උතුම් වූ ජාතක පොත් වහන්සේ කියවීමෙන් යයි සිතමි. අපණ්ණක ජාතකය ජාතක පොතේ පලමුවනියට දැක්වෙන ජාතක කථාවයි. ජාතක පොතට පදනම වන ජාතක අට්ටකථාවේත් ඛුද්දකනිකාය ජාතක පාලියෙහිත් පලමුවනියට අපණ්ණක ජාතකයම දැක්වීමෙන් බුදු සමයෙහි මේ පිළිබඳව ඇති වැදගත් කම මැනවින් පැහැදිලි වෙයි. කොටින්ම කිවහොත් අපණ්ණක ජාතකය ජාතක පොතෙහි “අ”යන්න වැනිය. ඒ කියවා හෝ අසා නැති අයෙක් වෙත් නම් ජාතක පොත ගෙන මැනවින් කියවා බලන මෙන් පළමුව මතක් කල යුත්තේ අපණ්ණක ජාතකය වචනයෙන් වචනය මෙහි සඳහන් කළහොත් ලිපිය බොහෝ දිග වන බැවිනි. දළ වශයෙන් “අපණ්ණක” වදනෙහි තේරුම “නොවරදින, අවිරුද්ධ” ලෙස දැනට සඳහන් කරමි. 

 අපණ්ණක ජාතකය- නිදාන කථාව 
අපගේ ශාස්තෘ වූ තිලෝගුරු භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ජේතවනාරාමයහි වැඩවාසය කරන සේක් උතුම් වූ අනේපිඬුමහසිටානන් විසින් මෙහෙයවන ලදුව ඔහුගේ යහළු එක්තරා අන්‍යලබ්ධික තීර්ථකයන් පන්සියදෙනෙක් භාග්‍යවතුන් වහන්සේගෙන් ධර්මය අසා තෙරුවන් කෙරෙහි පැහැදී තෙරුවන් සරණ ගියහ. අනතුරුව පින් දහම්හි හැසිරෙන මේ පිරිස භාග්‍යවතුන් වහන්සේ සැවත් නුවරින් බැහැරව රජගහ නුවරට වැඩි කල්හි තෙරුවන් සරණ අත්හැර නැවතත් පැරණි ඒ ඒ තීර්ථක ලබ්ධීන් ගෙන හැසිරෙන්නට විය. භාග්‍යවතුන් වහන්සේ නැවත සැවත් නුවරට වැඩමකල කල්හි අනේපිඬුසිටාණන් විසින් මෙම තීර්ථක පිරිස භාග්‍යවතුන් වහන්සේ වෙත කැඳවාගෙන යන ලදුව මේ බව භාග්‍යවතුන් වහන්සේට සැල කරන ලදී. භාග්‍යවතුන් වහන්සේ විසින් මේ ගැන විමසන ලද්දේ මෙසේ නැවත මිත්‍යාදෘෂ්ටීන්හි බැසගත් බව මෙම පිරිස පිළිගනී. තෙරුවන් සරණ ගැනීමෙහි ආනිසංස නොයෙක් අයුරින් දක්වන භාග්‍යවතුන් වහන්සේ මෙම තීර්ථකයන් පන්සීය දෙනාට අවවාද කොට , “අතීතයෙහිත් ඇතැම් කෙනෙක් පිහිට නැතිදේ පිහිට කොට වරදවා ගැනීමෙන් අමනුෂ්‍යයන් අරක් ගත් කාන්තාරයේ යක්ෂයින්ට බිලිව විනාශයට ගිය බව” දක්වා වදාළ සේක. භාග්‍යවතුන් වහන්සේගේ එවදන් ඇසූ පින්වත් අනේපිඬුමහසිටානන් භාග්‍යවතුන් වහන්සේගේ උතුම්වූ ඥානයට පෙනෙන මුත් භවයෙන් වැසුණු බැවින් අන්‍යයන්ට නොපෙනෙන ඒ අතීත පුවත දක්වන ලෙසට ආරාධනා කරයි. 

 අපණ්ණක ජාතකය 
 (ජාතක කථා පොතේ එන අපණ්ණක ජාතකය ධර්ම ගෞරවයෙන් යුතුව මෙසේ සැකෙවින් සඳහන් කරමි. උතුම් වූ ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා!!! , මහා බෝධිසත්වයන් වහන්සේ කෙරෙහි පහන් වූ සිතින් මෙසේ ලියමි.) 

යටගිය දවස දඹදිව කසී රට, බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙකු රාජ්‍ය කරන කල්හි අප මහා බෝධිසත්වයන් වහන්සේ එරට සාත්තු නායක කුලයක (වෙළෙඳ කුලයක) ඉපිද වැඩිවිය පැමිණ ගැල් පන්සියයක් සහිතව වෙළඳාමෙහි යමින් වාසය කරති. තවද එසමයෙහි එනුවරම එවැනි ගැල් පන්සියයක් සහිතව වෙළඳාමෙහි යන තවත් අනුවණ සාත්තු නායකෙයෙක්ද(මෝඩ වෙළෙන්දකු) සිටී. බෝධිසත්වයන් වහන්සේ එක්තරා විටෙක බඩු පුරවාගත් ගැල් පන්සියය සහිතව කාන්තාරයක් මැදින් යායුතු දුර බැහැර පෙදෙසක වෙළඳාමෙහි යාමට සුදානම් වන කල්හි එකී මෝඩ වෙළෙන්දාද එම පෙදෙසටම වෙළඳාමෙහි යාමට කටයුතු කරන බව දන ගන්නට ලැබිණ. බෝධිසත්වයන් වහන්සේ මෙසේ දෙදෙනාම එකවර වෙළඳාමෙහි යාමෙන් වන උවදුරු මෙනෙහි කරන සේක්, ගැල් දහසකට එකවර යාමට මාර්ගය නුසුදුසු බවද දෙදෙනාගේම ගොනුන්ට ජලය තණකොළ ආහාර ආදිය ප්‍රමාණවත් නොවන බවද මිනිසුන්ටද ප්‍රමාණවත් ජලය නොමැති වන බවද දැන මෝඩ වෙළෙන්දා වෙත ගොස් මේ බව දක්වා පළමුව ඔබ යන්නේද, නැතහොත් දෙවනුව යන්නේදැයි විමසීය. එවිට මෝඩ වෙළෙන්දා තමන් පළමුව යාමෙහි වාසි මෙනෙහි කරනුයේ, නොබිඳුණු මඩ නොවූ මගින් යාමට හැකි වීමත්, තම ගවයින්ට ඇති තාක් තණකොළද මිනිසුන්ට පලාකොළද ලැබිය හැකි වීමත්, මඩ නොවූ ජලය ලැබියහැකි වීමත්, පළමුව යාමෙන් තමන්ට කැමති පරිදි මිල නියම කර ලාභ ලද හැකි වීමත් සලකා තමන් පළමුව යාමට කැමැත්ත පල කරන ලදී. නුවණැති බෝධිසත්වයන් වහන්සේත්, දෙවනුව යාමෙහි ආනිසංස මෙනෙහි කරනුයේ, පළමුව ගිය පිරිස විසින් මැනවින් සකසන ලද නොසම තැන සම කොට සකසන ලද මාර්ගයෙහි තම ගමන පහසු වීමත්, පළමුව යන ගොනුන් තණකොළ කෑ පසුව වැඩෙන ලාතණකොළ තම ගවයින්ට හිමිවීමත්, තම මිනිසුන්ටද අලුත වැඩුණු ලා පලාකොළ ආහාරයට ලැබීමත්, ජලය නැති තන්හි පළමුව යන පිරිස කණින ලද තැනින් පහසුවෙන් ජලය ලද හැකි වීමත්, ඉතා අපහසුවෙන් කල යුතු – කෙනෙකු මරන්නා වැනි වූ බඩු මිල කිරීම විශේෂයෙන් නොකර මුලින් ගිය අය විසින් පනවන ලද මිලටම පහසුවෙන් තම බඩු විකිණිය හැකි වීමත් යන කරුණු සලකා දෙවනුව යාමට එකඟ විය. අනතුරුව පළමුව වෙළඳාමෙහි යන මෝඩ වෙළෙන්දා නගර ගම් පසු කොට ගමනාන්තය සඳහා තරණය කල යුතු අමනුෂ්‍යයන් අරක් ගත් නිරුදක(ජලය නැති හෙයින්) කාන්තාරයට පිවිසෙයි. එහිදී කාන්තාරයට අරක්ගත් යක්ෂයෙක් මොවුන් රැවටීම පිණිස, මිනිස් වෙස් මවා ගෙන , තෙමුණු හිසකෙස් ඇතිව, තෙමුණු සිරුරු ඇතිව, තෙමුණු වස්ත්‍ර ඇතිව, නෙළුම් මානෙල් ආදී දියෙහි පිපෙන මල් ගෙන, මඩ සහිත පා ඇතිව, මඩ වැකුණු රිය සක ඇතිව, නායකයකු ලෙස පිරිවර සහිතව මිනිස් වෙසක් මවාගෙන යානයකින් ගැල දෙසට පැමිණේ. ඉක්බිති මෝඩ වෙළෙන්දා සමග පිළිසඳර කථාකොට ඔහු විසින් විමසනු ලබන්නේ තමන් ඉතා සමීපයෙහි දිය සහිත මනාව වැසි වසින වන ලැහැබ ඇති පෙදෙසින් පැමිණෙන බවත්, මනාව ආහාර සහ ජලය සහිත මහා වැසි ඇදහැලෙන එපෙදෙස ආසන්නයේ තිබියදී ගැල් වල ජලය පුරවාගෙන ගවයන්ද මිනිසුන්ද වෙහෙස කරමින් මෙසේ ගමන් කිරීම අනුවණ කමකැයිද කීය. මෙබස් ඇසූ මෝඩ වෙළෙන්දා තමන් විසින් ජලය පුරවාගෙන ආ ගැල් වලින් මදකුදු තබා නොගෙන ජලය ඉවත් කොට ගැල් හිස කොට ගමන් ඇරඹීය. නිරුදක කාන්තාරය මැද ජලය නොමැතිව ගමන් කොට, අවසාන සියල්ලෝම ක්ලාන්ත වී දුර්වල වී ඒ ඒ තැන වැටී සිටින්නේ රාත්‍රීයෙහි පැමිණෙන යක්ෂයෝ සියලු දෙනා මරා මස් කා ඇටකටු පමණක් ඉතිරිකොට ගියහ. මාස එකහමාරකින් පසුව සිය ගැල් සමග වෙළඳාමෙහි එන බෝධිසත්වයන් වහන්සේද පළමු ගිය ගැල පරිදිම නිරුදක කාන්තාරයට අවතීර්ණ විය. යක්ෂයා පෙර පරිදිම විත් බෝසතුන් නොමග යවනු පිණිස කරුණු කියන්නේ සෙවනැලි දක්නට නැති රතු ඇස ඇති මොවුන් යක්ෂයින් බව බෝධිසත්වයන් වහන්සේ විගස හඳුනා ගති. පෙර සේම ජලය සහිත අධික බර ගැල් වලින් නිදහස්ව ජලය හැර ගමන් කරන ලෙස කී කල්හි නුවණැති බෝධි සත්වයන් වහන්සේ “තවත් ජලය දකිනා තෙක් මා ළඟ ඇති ජලය ඉවත් නොකරමි”යි කියා කොපමණ බර වුවද මෙලෙසම යන බව දක්වා නැවත ගමන් අරඹන ලදී. බෝධිසත්වයන් වහන්සේගේ ගැලෙහි අනෙක් පිරිස මෙසේ ගැල් ඉදිරියට යන අතර උන්වහන්සේගෙන් “පහසුවෙන් ජලය ලද හැකි බව පෙනෙන්ට තිබියදී, වැසි ඇදහැලෙන පෙදෙස ළඟ තිබියදී මෙසේ මහත් බර රැගෙන ගමන් කරන්නේ කිමදැයි” විමසීය.

 එවිට බෝධිසත්වයන් වහන්සේ සහ පිරිස අතර වන සංවාදය ඉතා වැදගත්ය. 
 ගැල නවතා සියලු පිරිස එක්රැස් කරන බෝසතානන් වහන්සේ මෙසේ විමසයි, 

 බෝසතුන්: කිසි දිනෙක, මේ මහා නිරුදක කතරෙහි විල් පොකුණු ආදිය ඇති බව අසා තිබේද? 
 පිරිස: නැත. 
 බෝසතුන්: වැසි වසින විට වැසි සුළං කොපමද දුර හමනවාද? ශීතල කොපමණ දුරට දැනෙයිද?
 පිරිස: යොදුනක් පමණ දුරට. 
 බෝසතුන්: අකුණු ගසන හඬ කොපමණ දුරට ඇසෙනවාද? 
 පිරිස: යොදුනක් පමණ. 
 බෝසතුන්: අඳුරු මේඝ වලාවන් කොපමණ දුරට පෙනේද? 
 පිරිස: යොදුනක් පමණ. 
 බෝසතුන්: අකුණු ගසන විට විදුලිය නම් කොපමණ දුරට පෙනේද, 
 පිරිස: ස්වාමීනී යොදුන් සතර පහක් පමණ පෙනෙයි. 
 බෝසතුන්: මේඝ ධ්වනිය කොපමණ දුරට ඇසේද? 
 පිරිස: ස්වාමීනී යොදුනක් පමණ ඇසේ. 
 බෝසතුන්: කිමෙක්ද, තොපි කිසිවෙහුගේ ඇඟෙහි කවර හෝ ශීත සුළඟක් වැදුණු බව හෝ, කිසිවෙකුට මේඝ  ගර්ජනා ඇසුණු බව හෝ අකුණු ගසනු විදුලිය පෙනෙනු බව හෝ යම් දිශාවෙක වැසි වලාවන් දුටු බව හෝ ආදිය මතකද? 
 පිරිස: නැත ස්වාමීනී. 
 බෝසතුන්: එසේ නම් පින්වත්නි දැනගනුව, මොවුහු ඒකාන්තයෙන් අමනුෂ්‍යයෝය, යක්ෂයෝය, පළමුව ගිය සාත්තු නායක පුත්‍රයා අනුවණ හෙයින් ඔහු රවටා විපතට පත කරන්නට ඇත. කිසිවෙක් මගේ අනුදැනුමකින් තොරව එක් දිය බිඳක් හෝ ඉවත් නොකළ යුතුය. 

අනතුරුව ඉදිරියට යන ඔවුන් පළමු ගිය ගැල් පන්සියය පිරුණු බඩු සහිතව කාන්තාරයෙහි තිබෙනු දිටීය. මනුෂ්‍යයන්ගේත් ගොනුන්ගේත් ඇට ඒ ඒ තැන විසිරී තිබෙනුනුද දක්නා ලදී. ඉක්බිති බෝසතුන් ඒ ගැල්ද එක් කොට ගෙන, වටිනා බඩු දමවා නොවටිනා බඩු ඉවත් කොට, ගෙන යා හැකි බර පමණට සකසා රාත්‍රීයෙහි ගැල් වලින් වට කොටගෙන කඳවුරු බැඳ, ගවයන් මිනිසුන් මධ්‍යයෙහි බැඳ තබා, කඩු ඇති ශක්තිමත් මිනිසුන් විසින් රැකවල් යොදා ආරක්ෂිතව රැය පහන කරණ ලදී. පසුදින, මැනවින් ගමන් අරඹා සුවසේ ගමනාන්තයට ගොස්, වෙළඳාම් කොට ලාභ ලබා සතුටින් ගැල් පිරිස සමග නැවත බරණැස් පුරයටම පැමිණියහ. 

 මේ සැකෙවින් අපණ්ණක ජාතකයයි. 

පෙර පර චරිත ගලපා දක්වන භාග්‍යවතුන් වහන්සේ මොබ වෙළෙන්දා වූයේ දෙව්දත්තෙරුන් බවද දක්වා වදාළ සේක. මේ සැකෙවින් අපණ්ණක ජාතක කථාවයි. 

 අපණ්ණක සුත්‍රය – (සුත්‍ර පිටකය, මජ්ඣිම නිකාය, මජ්ඣිම පණ්නාසකය(දෙවන කොටස), දස වන සුත්‍රය) මගේ ස්වාමී වූ මාගේ ශාස්තෘ වූ තිලෝගුරු භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද, කේවල පරිපුර්ණ වූ විමුක්ති රස ඇති, මුල මැද අග මැනවින් දේශිත, ශ්‍රී සද්ධර්මයට අයත් අපණ්ණක සුත්‍ර දේශනාවෙහි මුල් කොටසක් සුදුසු පරිදි අපගේ ශක්ති පමණින්, මහත් ධර්ම ගෞරවයෙන් යුතුව, මාගේ මවු බසින් ලියා දක්වනු ලැබේ. මාගේ ශාස්තෘ වූ භාග්‍යවතුන් වහන්සේ දනිති. මම නොදනිමි. නොදන්නා මම දන්නා වූ භාග්‍යවතුන් වහන්සේ සරණ යමි. ධර්මය ලියා දැක්වීමෙහි මා විසින් නොදැන වන අඩුපාඩු වලට මට තෙරුවනින් සමාව ලැබේවා!! එසේ වන අඩුපාඩු වෙතොත් කල්‍යාණ මිතුරෝ අප වෙත අනුකම්පාවෙන් ඒ නිවැරදි කොට දක්වනු ලැබේවා!! 

 අපණ්ණක ජාතකයට අමතරව අපණ්ණක පතිපදාව ගැන කියවෙන සූත්‍රයක්ද ධර්මයෙහි එයි. බෝධිසත්වයන් වහන්සේ අපණ්ණක ජාතකයෙහි ගත් අපණ්ණක ප්‍රතිපදාවෙන් යම සේ අමනුෂ්‍යයන් අරක් ගත් කාන්තාරයෙන් තමාත් අන්‍යයනුත් තරණය කරවුයේ යම් සේද, අප තිලෝගුරු භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ උතුම් වූ නිර්වාණය දක්වාම දිවෙන ශ්‍රේෂ්ඨ අපණ්ණක ප්‍රතිපදාව සුත්‍ර පිටකයෙහි, මජ්ඣිම නිකාය මජ්ඣිම පණ්නාසකයේ (මජ්ඣිම නිකාය දෙවන කොටස) දස වැනියට එන “අපණ්ණක සුත්‍රයෙන්” දක්වා තිබේ. අපණ්ණක සුත්‍රය විස්තර වශයෙන් ලිවිය යුතු නමුත් එයින් ලිපිය ඉතා දීර්ඝ වන බැවින් වඩා කෙටි කොට එහි පළමු කොටස පමණක් මෙහි දැක්වීමටත් ඒ අනුව කරුණු කිහිපයක් විමසා බැලීමටත් උත්සහ ගනිමි. භාග්‍යවතුන් වහන්සේ කොසොල් රට චාරිකාවෙහි යෙදෙන අතර සාලා නම් බමුණු ගමට වැඩිසේක. අප පෙර ලිපියෙහි කාලාම සුත්‍රය විග්‍රහ කරන කල දැක්වූ පරිදි භාග්‍යවතුන් වහන්සේ වැඩි බව ඇසූ සාලා නම් බමුණු ගම බමුණු ගෘහපතීන්ද, භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹී සේක. බමුණන් අමතන භාග්‍යවතුන් වහන්සේ , බමුණන් වෙතින් මෙසේ විමසන සේක. “ගෘහපතීනි, තොප විසින් කරුණු දැන, (ආකාරවතී ශ්‍රද්ධාවෙන්) හේතු සහිතව ශ්‍රද්ධාවට පැමිණි යම් ශාස්තෘ වරයෙක් තොපට සිටීද?” එවිට බමුණු ගෘහපතීන්, “ස්වාමීනී, අපට විශේෂයෙන් පැහැදුණු, කරුණු සහිතව කරන ඇදහීම් ඇති ශාස්තෘන් වහන්සේ නමක් නැතැ” යි කීහ. භාග්‍යවතුන් වහන්සේ එවිට, ගෘහපතීනි එසේ කරුණු සහිතව ශ්‍රද්ධාවට පැමිණි ශාස්තෘන් නමක් නොමැති කල්හි තොප විසින් මේ “අපණ්ණක ධර්මය” මැනවින් සමාදන්කොට පිලිපද වාසය කල යුතුය. එසේ “අපණ්ණක ධර්මය” අනුව පිළිපැදීම තොපට බොහෝ කල් හිතසුව පිණිස වේ යයි වදාරා, උතුම් වූ “අපණ්ණක ධර්මය” විස්තර කොට දක්වන සේක. ගෘහපතියනි, මෙබඳු වාද ඇති, මෙබඳු දෘෂ්ටි ඇති, විශ්වාස ඇති ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඇත. ඒ කෙසේද යත්, දානයෙහි විපාක නැත, යාගයෙහි(පුද පූජාවන්හි) විපාක නැත, හෝමයෙහි(ගුණවතුනට කරන සත්කාරයෙහි) විපාක නැත, හොඳ නරක කර්ම වල සැප දුක් විපාක නැත, මෙලොව නැත (පරලොව සිටින්නන් නැවත මෙලොව ඉපදෙන බවක් නැත), පරලොව නැත(මරණින් මතු නැවත පරලොවට පැමිණෙන බව නැත), මවක් නැත (විශේෂයෙන් මවට කරන හොඳ නරක වල විපාක නැති බව) , පියෙක් (විශේෂයෙන් පියාට කරන හොඳ නරක වල විපාක නැති බව) නැත, ඕපපාතිකව උපදින සත්වයෝ (දෙවියන්,බඹුන්, ප්‍රේතයන්, අසුරයන් සමහර තිරිසනුන් සහ කලාතුරකින් සමහර මනුෂ්‍යයන් ආදීන් නැත) නැත, මෙලොව පරලොව දෙකම තම විශිෂ්ඨ නුවණින් දැන ප්‍රකාශ කරන යහපත් මාර්ගය ගත් උතුම් ශ්‍රමණ බ්‍රාහ්මණයන් නැත, යනුවෙනි (මේ දශ වස්තුක මිත්‍යාදෘෂ්ටියයි). ගෘහපතියනි, තවත් අනෙක් ශ්‍රමණ බ්‍රාහ්මණයෝද ඇත. ඔවුහු ඉහත කී පිරිසට සෘජුවම විරුද්ධ වූ වාද ඇත්තේ මෙසේ කියත්. දානයෙහි විපාක ඇත, යාගයෙහි(පුද පූජාවන්හි) විපාක ඇත, හෝමයෙහි(ගුණවතුනට කරන සත්කාරයෙහි) විපාක ඇත, හොඳ නරක කර්ම වල සැප දුක් විපාක ඇත, මෙලොව ඇත (පරලොව සිටින්නන් නැවත මෙලොව ඉපදෙන බවක් ඇත), පරලොව ඇත (මරණින් මතු නැවත පරලොවට පැමිණෙන බව ඇත), මවක් ඇත(විශේෂයෙන් මවට කරන හොඳ නරක වල විපාක ඇති බව), පියෙක් (විශේෂයෙන් මවට කරන හොඳ නරක වල විපාක ඇති බව) ඇත, ඕපපාතිකව උපදින සත්වයෝ(දෙවියන්,බඹුන්, ප්‍රේතයන්, අසුරයන් සමහර තිරිසනුන් සහ කලාතුරකින් සමහර මනුෂ්‍යයන් ආදීන් ඇත) ඇත, මෙලොව පරලොව දෙකම තම විශිෂ්ඨ නුවණින් දැන ප්‍රකාශ කරන යහපත් මාර්ගය ගත් උතුම් ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඇත, යනුවෙනි (මේ දශ වස්තුක සම්මාදිට්ඨියයි). 

 යම් ලෙසකින් පලමුවකී දානයෙහි විපාක නැත, යාගයෙහි(පුද පූජාවන්හි) විපාක නැත, හෝමයෙහි(ගුණවතුනට කරන සත්කාරයෙහි) විපාක නැත, හොඳ නරක කර්ම වල සැප දුක් විපාක නැත, ……………….., …………………….., …………….., ………………, …………මෙලොව පරලොව දෙකම තම විශිෂ්ඨ නුවණින් දැන ප්‍රකාශ කරන යහපත් මාර්ගය ගත් උතුම් ශ්‍රමණ බ්‍රාහ්මණයන් නැත, යනාදී වශයෙන් ගත් යම් පිරිසක් වේද, ඔවුහු සම්බන්ධයෙන් මේ කරුණු විද්‍යාමාන වෙයි. ඔවුහු කයින්, වචනයෙන්, මනසින් කෙරෙන යම් සුචරිතයක් වේද, කුසල් සමාදානයක් වේද ඉන් බැහැර වෙයි. කයින්, වචනයෙන් මනසින් කෙරෙන යම් දුශ්චරිතයෙක් වේ නම් ඒ තුන් අකුසල් දහම් ගෙන සමාදන්ව එහිම හැසිරෙයි. ඒ කවර හේතුව නිසාද යත්, මේ පිරිස අකුශල ධර්මයන්ගේ ආදීනවය, ලාමක බව, ඉන් වන කෙළසීම නොදකින බැවිනි. කුසලෙහි හැසිරීමෙහිද, අකුසලින් මිදීමෙහිද අනුසස්ද, එහි ව්‍යවදාන පක්ෂයද නොදකින බැවිනි. විද්‍යාමාන(ඇත්තාවූ) වූම පරලොව පිළිබඳව ඔහුට “පරලොව නැතිය” යන දෘෂ්ටියක් ඔහුට වෙයි. මේ ඔහුගේ මිත්‍යා දෘෂ්ටියකි. විද්‍යාමාන වූම පරලොව පිලිබඳ “පරලොව නැතිය” යනුවෙන් ඔහු සංකල්පනා කරයි. මේ ඔහුගේ මිත්‍යාසංකල්පය වෙයි. විද්‍යාමාන වූම පරලොව පිලිබඳ “පරලොව නැත” යි කියයි. මේ ඔහුගේ මිත්‍යා වචනය වෙයි. විද්‍යාමාන වූ පරලොව ගෙන “පරලොව නැතිය” කීමෙන් මොහු, පරලොව දකින උතුම් රහතුන් වෙත්ද ඔවුනට විරුද්ධ වාද කෙරෙයි. ඔහු “පරලොව නැතැයි” අන්‍යයන්ට හගවමින් අභූතධර්මසංඥප්ති (අසද්ධර්මය පැනවීම/පිහිටුවීම) සිදු කරයි. මෙසේ අභූතධර්ම/අසද්ධර්ම පැනවීමෙන් අන්‍යයන් හෙලා දැකීමත්, පහත කිරීමත්, තමන් උසස් කොට දැක්වීමත් සිදු කරයි. මේ නිසා, ඔහුගේ ශීලය පිරිහෙයි, දුශ්ශීල බව තුලම පිහිටයි. වැඩෙයි. මෙසේ මිත්‍යා සංකල්ප, මිත්‍යා වචන, ආර්යයන්ට විරුද්ධ වීම, අභූත/අසද්ධර්ම පැනවීම, තමන් හුවා දැක්වීම, අනුන් හෙලා දැකීම (පහත කොට සැලකීම) ආදී වශයෙන් මිත්‍යාදෘෂ්ටිය නිසා අනේකවිධ පාපක අකුසල් ධර්මයෝ ඔහු තුල රැස් වෙයි. 

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ නුවණැති අය මේ කරුණු ගැන අනුගමනය කල යුතු “අපණ්ණක ප්‍රතිපදාව” දක්වයි. 

 ගෘහපතීනි, මේ සම්බන්ධයෙන් නුවණැති පුරුෂතෙම මෙසේ කල්පනා කරයි. “යම් හෙයකින් පරලොව නැත්තේ වීනම්, කය බිදීමෙන් මරණින් මතු තමා ස්වස්ති කෙරෙයි. අවසන් වෙයි. යම් හෙයකින් පරලොව ඇත්නම් කය බිදීමෙන් මරණින් මතු සැපයෙන් තොරවූ මහා දුක් ඇති, දුගති වූ නිරයෙහි වැටෙයි. පරලොව ඇතැය කියූ ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ වචනයද සැබෑ වෙයි. පරලොව ඇතද, නැතද, දුශ්චරිත ඇති මේ පුරුෂ තෙම දුෂ්ශීලයෙක, පාපියෙක, මිත්‍යාදෘෂ්ටිකයෙක, නාස්තික වාදියෙක, ආදී වශයෙන් නුවණැතියන්ගේ ගර්හාවට ලක් වෙයි. යම් හෙයකින් පරලොව ඇත්තේ වී නම් මෙබඳු පුරුෂ තෙම දෙලොවින්ම පරාජය වූයේ වෙයි. මෙසේ ඔහු අපණ්ණක ධර්මය වරදවා ගැනීමෙන්, එක් පසෙක දෘෂ්ටියට පැමිණීමත් නිසා කුසලින් බැහැර වුයේ, දුකට පත වූයේ වෙයි.” යනුවෙනි. 

 ගෘහපතීනි, යම් ලෙසකින් පලමුවකී දානයෙහි විපාක ඇත, යාගයෙහි(පුද පූජාවන්හි) විපාක ඇත, හෝමයෙහි(ගුණවතුනට කරන සත්කාරයෙහි) විපාක ඇත, 

 හොඳ නරක කර්ම වල සැප දුක් විපාක ඇත, ……………….., …………………….., …………….., ………………, …………මෙලොව පරලොව දෙකම තම විශිෂ්ඨ නුවණින් දැන ප්‍රකාශ කරන යහපත් මාර්ගය ගත් උතුම් ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඇත, යනාදී වශයෙන් ගත් යම් පිරිසක් වේද, ඔවුහු සම්බන්ධයෙන් මේ කරුණු විද්‍යාමාන වෙයි. ඔවුහු කයින් වචනයෙන් මනසින් කෙරෙන දුෂ්චරිතයෙන් වෙන්ව, සුචරිතයෙහි හැසිරෙයි, කුසල් දහම් සමාදන්කොටගෙන එහි හැසිරෙයි. ඒ කවර හේතුව නිසාද යත්, ඔවුහු අකුසල ධර්මයන්ගේ ආදීනවය, ලාමක බව, කෙලෙසීමද, අකුසලයෙන් වෙන්වීමෙහිත් කුසලයෙහි හැසිරීමෙහිත් ආනිසංස හා ව්‍යවදාන දකිනා බැවිනි. විද්‍යාමාන වූ පරලොව ගැන “පරලොව ඇත” යන දෘෂ්ටියම ඔහුට වෙයි. ඒ ඔහුගේ සම්මා දිට්ඨියයි. විද්‍යාමාන වූ පරලොව ගැන “පරලොව තිබේ” යයි සංකල්පනා කෙරෙයි. ඒ ඔහුගේ සම්‍යග් සංකල්පනාව වෙයි. විද්‍යාමාන වූ පරලොව ගැන “පරලොව ඇත”යි කියයි. ඒ ඔහුගේ සම්‍යග් වචනය වෙයි. පරලොව දන්නා යම් රහත් කෙනෙක් වෙත්ද, මේ ඔහු ඒ රහතුන්ට එරෙහි විරුද්ධ වාද නොකෙරෙයි. විද්‍යාමාන වූ පරලොව ගැන අන්‍යයන්ට හඟවයි. එයින් ඔහු “භූතධර්මසංඥාපනය” (සත්‍ය ලෙස ඇති දැයෙහි පිහිටුවීමක්‌ පිහුටුවීමක්‌) සිදුකරයි. ඒ සැබෑ තතු කීමෙන්ම ඔහු උසස් බවට පැමිණෙයි. අන්‍යයන්ට පරිභව නොකෙරෙයි. අන්‍යයන් හෙලා නොදකී. මෙසේ ඔහුගේ සුශ්ශීල බව දුරු වෙයි. ශීලය වැඩෙයි. මෙසේ සම්‍යග් දෘෂ්ටි, සම්‍යග් සංකල්ප, සම්‍යග් වචන, ආර්යයන්ට විරුද්ධ නොවීම, තමා හුවා නොදැක්වීම, අනුන් හෙලා නොදැකීම, සද්ධර්මයෙහි , සැබෑ ලෙස ඇති දේ පිහුටුවීම සිදුවෙයි. ඒ ලෙසින් සම්‍යග් දෘෂ්ටිය නිසා අනේක විධ කුසල් රැස් වෙයි. 

ඉක්බිති නැවතද, භාග්‍යවතුන් වහන්සේ නුවණැති අය මේ කරුණු ගැනද අනුගමනය කල යුතු “අපණ්ණක ප්‍රතිපදාව” දක්වයි. 

යම්හෙයකින් පරලොව වෙත් නම් මේ තෙම කය බිදී මරණින් මතු මනා ගති ඇති සැප ඇති සුගතියෙහි පිහිටයි. පරලොව ඇති කී ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ වචනයද සත්‍ය වෙයි. මෙලොවද “මොහු සිල්වතෙකි, සම්‍යග් දෘෂ්ටිකයෙකි යි නුවණැතියන්ගේ ප්‍රසංශාවට ලක් වෙයි. එහෙයින් දෙලොවින්ම ජයගත්තේ වෙයි යනුවෙනි. භාග්‍යවතුන් වහන්සේ මෙසේ “අපණ්ණක ප්‍රතිපදාව” විස්තර වශයෙන් දේශනා කරන සේක. මෙම උතුම් වූ සම්බුද්ධ දේශනාව කර්ම විපාක පිළිබඳව, දිව්‍ය ලෝක පිළිබඳව, රූප ලෝක (රූප සහිත බ්‍රහ්ම ලෝක) පිළිබඳව, අරූප ලෝක (රූප නැති බ්‍රහ්ම ලෝක) පිළිබඳව, සහ අවසානයේ උතුම් වූ නිර්වාණය පිළිබඳව වශයෙන් දිගින් දිගටම විග්‍රහ කෙරෙයි. මෙම ලිපියෙහි සියලු සුත්‍රය සම්පුර්ණයෙන් ලිවීමට නොහැකිය. ඒ පිළිබඳව උනන්දුව ඇති පින්වත්හු අප කෙරෙහි කරුණාවෙන් ක්ෂමා කරත්වා. මජ්ඣිමනිකාය දෙවන කොටසින් ඒ කියවීමට උත්සුක වෙත්වා. 

 විමසුම 
 දැන් අපි මේ උතුම් ප්‍රතිපදාවෙන් අපට ලබා දී ඇති පණිවිඩයත්, වර්තමානයට අදාලව ඒ අපට වැදගත් වන ආකාරයත් විමසා බලමු. 

පළමුව “අපණ්ණක ජාතකයෙන් විමසුම අරඹමු. බෝධිසත්වයන් වහන්සේ ගැල් පන්සියයක් සමග ගමන් කලේ නිරුදක කාන්තාරයකය. උන්වහන්සේ මනා සිහියෙන් යුතුව “අපණ්ණක ප්‍රතිපදාව” අනුගමනය කලේ එහිදීය. අද බෞද්ධ අපද ගමන් කරන්නේ නිරුදක කාන්තාරයක් මැදින් යයි මට සිතෙයි. ඒ අන් කිසිවක් නොව “අධර්මරාගය” නමැති නිරුදක කාන්තාරයයි. බෝධිසත්වයන් වහන්සේ කාන්තාරය මැදින් ගමන් කලේ තම ගමනාන්තයට යාමට එයින් යා යුතුම බැවිනි. උන්වහන්සේටද විකල්පයක් නොතිබෙන්නට ඇත. බෞද්ධ අපටද මේ “අධර්මරාගය” නමැති කාන්තාරය මග හැරීමට නොහැකිය. ඒ ලෝක ස්වභාවයයි. අපි සංස්කෘතියෙන් සද්ධර්මයෙන් පෝෂණය වී ධර්මය නමැති ක්ෂේම භූමියෙහි වසර දහසක් පමණ මැනවින් වාසය කල බවට අතීත සාක්ෂි ඇත. (එයද පහසුවෙන් නම් නොවේ, බොහෝ මාර බලයන්ට, විදෙස් ආක්‍රමණයන්ට මුහුණදෙමිනි). මෝඩ වෙළෙන්දා තම පිහිටට තිබු ජලය ඉවත් කොට විනාශයට ගියා මෙන් සද්ධර්මය නමැති ජලය රැස් කොට ගෙන තිබූ බොහෝ සමාජයන් (බුද්ධ භුමිය වූ දඹදිව -ඉන්දියාව, පකිස්තානය හෙවත් පැරණි ගාන්ධාරය, නේපාලය, බංගලාදේශයේ බොහෝ කොටස්/ ඈත පෙරදිග සමහර රටවල්, අද ඇෆ්ගනිස්ථානය, සුළු ආසියාවේ සමහර කොටස්, වර්තමාන දකුණු කොරියාව ආදී) අධර්ම රාගය නමැති කාන්තාරයෙදී මිත්‍යාදෘෂ්ටිය නමැති යක්ෂයාට රැවටී විනාශයට ගියේය. බෝධි සත්වයන් වහන්සේ යක්ෂයාට නොරැවටුණු සේක, තම පිහිටට ඇති දිය බිඳක් වත් ඉවත් නොකළ සේක. සිංහල බෞද්ධ අපද මේ අධර්ම රාග කාන්තාරයෙහි මිත්‍යාදෘෂ්ටිය නමැති යක්ෂයාගේ මායම් වලට, මුලාකිරීම් වලට, බිය වැද්දවීම් වලට, පහර දීම් වලට මැදිවී සිටිමු. මේ වන විට යම් යම් පමණින් අප පරාජය වී ඇත්නම් ඒ අප අපේ පිහිටට ඇති ධර්මය අත්හල පමණටය, නමුත් තවමත් අපි මේ කාන්තාරයෙහි ධර්මය නමැති ජලය රක්ෂා කරෙගෙන සිටීමට සමත් වෙමු. 

 බෝධිසත්වයන් වහන්සේට හමු වූ යක්ෂයා ඉතාම මායාකාරී විය, හේ විසිතුරු වෙස් ගත්තේය, විසිතුරු නෙළුම් මල් දැක්වීය, මිතුරු බවද, කාරුණික බවද පෙන්වීය. මිථ්‍යාදෘෂ්ටිය නමැති යක්ෂයාද අතිශය ප්‍රභලය, විසිතුරුය. අධර්ම රාගය නමැති මේ කාන්තාරයෙහි මේ යක්ෂයා අනේකවිධ වෙස් ගනී. හේ විටෙක අපට යන්ත්‍ර සුත්‍ර පෙන්වයි, අහස් යානා පෙන්වයි, ඉර සඳ, තාරකා පෙන්වයි.විටෙක අපට වස විෂ කවයි. මත් කරයි. මිත්‍යාදෘෂ්ටිය නමැති මේ රුදුරු යක්ෂයා පසුගිය වසර පන්සියය පමණ වන කාලය තුල අප ගමන් කරන අධර්ම රාගය නමැති නිරුදක කාන්තාරයෙදී අප බොහෝ සෙයින් දුර්වල කර ඇත. මේ යක්ෂයා කලෙක යටත් කරගනු පිණිස විත් අපට මහා විනාශයක් කළේය. අදද මිත්‍යාදෘෂ්ටිය නමැති යක්ෂයන්ගේ අවි බලයද, සවි බලයද, පිරිස් බලයද ඉදිරියේ අපට බිය වීමට කරුණු ඇත. නිරුදක කාන්තාරයෙදී යක්ෂයාගෙන් ගැලවීම පිණිස බෝධිසත්වයන් වහන්සේ රාත්‍රීයෙහි කඩුගත් සවිමත් පුරුෂයින් ලවා මුරකාවල් යෙදවීය. යක්ෂයාට පහසුවෙන් බිලිගත හැකි ගවයින්ද රැය පහන වන තෙක් ආරක්ෂා කරනු ලැබීය. අධර්ම රාගය නම් නිරුදක කතරෙහිද අපටද බියජනක යුද්ධ, කුමන්ත්‍රණ, සම්බාධක, අසමගිකම්, නියඟ, වසංගත ආදී දහසකුත් එකක් රාත්‍රීන් පැමිණෙයි. එවන් කල අපිද ආරක්ෂා රැකවරණ සලසා ගතයුතු වෙමු. බෝධිසත්වයන් වහන්සේට කඩු අතින් ගත් සවිමත් පුරුෂයින් සිටියා මෙන්ම අපටද උතුම් වූ අරහත් ධජය නොහොත් චීවරය නමැති අසිපත ඇති ත්‍රිපිටක ධර්මය නමැති නෙතින් මිත්‍යාවේ රාත්‍රිය විනිවිද දැකිය හැකි මහා සංඝ රත්නය සිටිති (දුසිල් වූ චීවර දාරීන් නොවේ). අපිද රැය පහන් කරමු. ඒ සිහියෙන් කල යුතුමය. 

මිත්‍යාදෘෂ්ටිය නමැති යක්ෂයාද අප මරා කන්නේ අප ක්ලාන්ත වී තැන තැන වැටෙන කලය. එවිට යක් පුරයන්ගෙන් බොහෝ යකුන් ගෙන්වාගෙන වහ වහා අප විනාශ කිරීමට මේ යක්ෂයා කටයුතු කරනු ඇත. අධර්ම රාග නමැති නිරුදක කතරෙහි කාලයක් තිස්සේ ගමන් කරන සිංහල බෞද්ධ අපිද බොහෝ දුර්වල වී සිටිමු. නමුත් පෙර විසූ මහා පුරුෂයන්ගේ මහත් පරිශ්‍රමයත්, අප විසින් රැක ගත් සම්‍යග්දෘෂ්ටියේ බලයත් නිසා තවමත් අපට මේ නිරුදක කතර ගෙවා දැමීමට ශක්තියද වාසනාවද ඇත. 

 ජාතිකත්ව සිහිය 
 අපි ජාතිය ගැන කථා කරමු. ජාතිකත්වය ගැනද උනන්දු වෙමු. නුවණැත්තන් විසින් අපේ ජාතියද ජාතිකත්වයද ඉතාම අපහසු කාල වකවානු වලදී පවා දියුණු තියුණු කිරීමට කරුණු සලසා ඇත. අපට දැන් සවිමත් ජාතික චින්තනයක් තිබේ. ඊට සබැඳි ආකල්ප, දාර්ශනික පසුබිම අපේ නුවණැති කලණමිතුරන්ගේ පරිශ්‍රමයෙන් (ඔවුන් ඉතා ස්වල්ප දෙනෙකි) තේරුම ගැනීමට අපට හැකි වී ඇත. නමුත් අවාසනාවක මහත!!! අපට තවම මේ නිරුදක කතරෙහි රැය පහන් කළ හැකි වීමට උපකාර වන “ජාතික සිහිය” ගිලිහුණු තරම!!! අකුසලින් මිදී කුසල් වැඩෙනු පිණිස අප තිලෝගුරු භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ “සතිය” නොහොත් “යෝනිසෝ මනසිකාරය” පිහිටුවා ගතයුතු බව දේශනාකොට වදාළ සේක. මට හැඟෙන්නේ ලෞකික වශයෙන් ගත් කලද ජාතික චින්තනය මත පදනම වූ “ජාතික සිහියක්” අප නිරතුරුව පුහුණු කලයුතු වගයි. සැකෙවින් කියතහොත් සම්‍යග්දෘෂ්ටිය මත පැනනැගුණු “ජාතික චින්තනය” අනුව අප පවත්වන සිහිය ජාතික සිහියයි. (එය ජාතිකත්ව සිහිය ලෙසද හැදින්වියහැක.) මාගේ දැයේ මහා විරුවාණන් වූ, දුටු ගැමුණු මහා රාජෝත්තමයාණන් අපට ස්වකීය චරිතයෙන් ඒ බව පෙන්වාදී ඇත. තවමත් අප ජාතියේ ඉදිරි ගමන එතුමාගේ ව්‍යායාමයෙහි බලයෙන් දිවෙන බව මගේ වැටහීමයි. මොහොතකට සිතන්න. කුඩා කළ බත් පිඬු තුනක් ගෙන පිය රජතුමා, තමන්ගෙන් පොරොන්දු ලබා ගැනීමට උත්සහ කිරීමේදී, යුද්ධ නොකර සිටීමට ගිවිස ගැනීමට උදහස්ව තම යහනට වන ගැමුණු කුමාරයා කීවේ කුමක්ද? එතුමාට කුඩාකළම උතුරින් ආ ද්‍රවිඩ ආක්‍රමණය සහ එමගින් බුදු සසුනට වූ බලපෑම ගැන, විනාශය ගැන මහත් සංවේදී බවක් තිබිණ. එමතුද නොවෙයි, “දකුණින් ගොළු මුහුද” යනුවෙන් එතුමා කියා සිටියේද නිකම්ම නොවන බව මාගේ හැගීමයි. ඉතිහාසය විෂයක් ලෙසින් ගැඹුරින් අධ්‍යයනය නොකලද මෙම ප්‍රකාශය පිටුපස දකුණු ලක ජනතාවටත් බුදුසසුනටත් මුහුද ගොඩගැලීමෙන් වූ මහත් විනාශයක් පිළිබඳව ගැමුණු කුමරු තුල වූ සිත් තැවුල සැඟවී ඇති බව මට විටෙක සිතෙයි. කෙසේ හෝ වේවා එතුමාට අවදිමත් සිහියක් තිබුණු බව පැහැදිලිය. “ජාතික සිහියක්” නොමැති කළ “ජාතික චින්තනයෙන්” ආරක්ෂාව ගෙන නොදෙයි. ජාතික චින්තනය මත පදනම්ව “ජාතික සිහිය” වැඩි දියුණු කරගැනීමට අප උත්සුක විය යුතුය. ජාතික සිහිය සවිමත්ව යෙදෙයි නම්, වස විෂ , මත්පැන්, මත්ද්‍රව්‍ය, සොර මැර කම් දුරලීම අපට අපහසු නොවේ. වස විෂ යොදා කරන ගොවිතැන පිටුදැකීමට කටයුතු කළ යුතු බවත්, එය කළ හැකි බවත් තේරුම ගැනීමට අමුතුවෙන් පර්යේෂණ අවශ්‍ය වන්නේ ධර්මය පිටුදැක මිත්‍යාව නමැති යක්ෂයාට බිලිවූ ක්ලාන්ත වූවෝ බව හඳුනා ගැනීමට එතරම් අපහසු නැත. ජාතික සිහිය තබා “මෙලෝ සිහියක්” නොමැති අඩු තරමින් දස වස්තුක මිත්‍යාදෘෂ්ටියෙන් වත් ගැලවීමට නොහැකි හිස් මිනිසුන් අපේ විඤ්ඤූන් ගේ තැන බලෙන්ම ගෙන අපට බණ පොත පෙරලන කළ අනෙකුත් කරුණු ගැන කවර කථාද? අපණ්ණක සුත්‍රයේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ පළමුව දක්වන්නේ, සුදුසු ශාස්තෘ වරයෙකු සරණ නොගිය කළ අඩුම තරමින් මෙලොව පරලොව කර්ම පල විශ්වාස කොට මහත් මිත්‍යාවෙන් ගැලවීමට නුවණ මෙහෙයවන ආකාරයයි. අපි බෞද්ධයෝ වෙමු. අපේ ශාස්තෘන් වහන්සේ අපි ශ්‍රද්ධාවෙන් සරණ ගිය භාග්‍යවත්අරහත් සම්මා සම්බුදු රජාණන්වහන්සේය. උන්වහන්සේ සරණ ගිය අප අතරට නානාවිධ භෞතිකවාද, ක්‍රියාවාද, හේතුවාද (ධර්මයෙහි දැක්වෙන හේතු වාද යන අදහසින් නොව), මාක්ස්වාද, ධනවාද සහ නිර්මාණ වාද ආදී වෙස්ගෙන එන මේ අධර්ම රාගය නමැති නිරුදක කතරෙහි අරක්ගත් මිත්‍යාදෘෂ්ටි නමැති යක්ෂයාට රැවටීම අපට තරම් නොවේ. නුවණැත්තෝ උත්සුක වෙත්වා, අපි නිරුදක කතර තරණය කරමු. මිත්‍යාවේ යක්ෂයාට රැවටුණු සමහරෙක් මෙන් සියල්ල හෝ කොටසක් තබා, අපි ධර්මය නමැති (විනය, සුත්‍ර, අභිධර්ම සහිත සකල ත්‍රිපිටකය ප්‍රමුඛව සහ මූලිකවද, අටුවා, ටීකා, ටිප්පනී සහිතව) දිය බිදුවක් හෝ ඉවත් නොකරමු. අප අතර සිටිමින් කොටස් වශයෙන් දහම් දිය මග හලන්නට මාන බලන්නවුනටද අපි ඉදිරියේදී අමතමු. 

 මිත්‍යාදෘෂ්ටිය නමැති යක්ෂයා අප රැවටීමට පෙන්වන “මාරයාගේ ආර්ථික විද්‍යාව” නමැති මිරිඟුව පිළිබඳව මීළඟ ලිපියෙන් විමසමු. 

 ඔබට තෙරුවන් සරණයි..!!! 

 - සසිත් රාජසූරිය
October 29, 2012 at 12:01 am | Lanka C News.