දුටුගැමුණු රජු කල පිරිණිවන් පෑ මලියදේව හිමියන් ලංකාවේ අන්තිම රහත් තෙරනම නොවේ. සැබැවින්ම, අද වුව රහතුන් බිහි විය හැකිය. ඒ සදහා අවශ්‍ය වන්නේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ ශ්‍රී සද්ධර්මය සීල සමාධි ප්‍රඥා වශයෙන් දියුණු කොට සාක්ෂාත් කිරීමයි.

ඔබත් බුදුරදුන් පෙන්වා වදාළ උත්තම දහම් මාර්ගයේ ගමන් කරන්න


Powered by දහම් විල


ලිපි සඳහා පහත මාසය අනුව ලිපි පටුන බලන්න

කිව්වොත් රසකර බොරු උපදිති නිරයේ මරු


තවත් පුද්ගලයකු මුලාකිරීමේ ෙච්තනාවෙන් ඇති දෙයක්‌ නැති යෑයිද, නොමැති දෙයක්‌ ඇති යයිද, වූ දෙයක්‌ වේ නම් එය නොවූයේ යයිද, නොවූ දෙයක්‌ වූවේ නම් එය වූවේ යයිද වචනයෙන් හෝ ලිත භාෂාවෙන් හෝ හස්‌ත විකාරාදියෙන් හෝ වෙනත් අයෙකුට ප්‍රකාශ කිරීම මුසාවාදය නමින් හැඳින්විය හැකිය.

මුසාවාද කර්මය සිදුවන්නේ අංක සතරක්‌ සම්පූර්ණ වූ විටය. ඒවා නම්,

1. කියනු ලබන කාරණය බොරුවක්‌ වීම.

2. අනුන් රවටන අදහස්‌ එහි අඩංගුවීම

3. ඇඟවීමේ උත්සාහයක්‌ ඒ තුළ ගැබ්වීම

4. අනෙකා ප්‍රකාශ කළ දෙය තේරුම් ගැනීම යන මෙම කරුණු සතර මුසාවාදයේ අංගයෝ වෙති. ප්‍රකාශ කරන ලද බොරුවක්‌ වුවද, නොදන්නා භාෂාවකින් සඳහන් කිරීමෙන් හෝ හොඳින් නොඇසීමෙන් හෝ අසන්නාට තේරුම් ගත නොහැකි වුවහොත් කර්මය නොවේ. වැරදීමෙන් කියෑවෙන බොරුවලින්ද, මුසාවාද කර්මය සිදු නොවේ. ඉෂ්ට කිරීමේ පරමාර්ථයෙන් පොරොන්දුවක්‌ වී එය ඉටුකරන්නට නුපුළුවන් වීම නිසාද මුසාවාද කර්මය සිදු නොවේ. ඉටුනොකරන අදහසින් පොරොන්දුවක්‌ වන්නවුන්ට එකෙණෙහිම මුසාවාද කර්මය සිදුවේ. පසුව පොරොන්දුව ඉටුකළේ ද එයින් නොමිදේ.

වෙනත් අයෙකු ලවා බොරු කියවීමේදී කියන කියවන දෙදෙනාටම මුසාවාද කර්මය වන බව සඳහන් කළ යුතුයි. එහෙත් අනෙකකුගේ නියෝගයෙන් අනෙකකුට බොරු පණිවුඩයක්‌ කියන තැනැත්තා එහි බොරු සැබෑ බවක්‌ නොදැන රැවටීමේ පරමාර්ථයෙන් තොරව නියෝගය ඉටුකිරීමක්‌ වශයෙන් කියයි නම් එමගින් කියෑවෙන තැනැත්තාට මිස කියන පුද්ගලයාට මුසාවාද කර්මය සිදුනොවේ. දීර්ඝ කාලයක්‌ පවත්නා සැටියට බිත්ති ආදියේ බොරු ලියා තැබීම මුසාවාදය පිළිබඳ ස්‌ථාවර ප්‍රයෝගයයි. එලෙස කළ කල්හි එය කියවා රැවටෙන මිනිසුන්ගේ ගණනට මුසාවාද කර්ම සිදුවේ. ප්‍රවෘත්ති පත්‍ර, සඟරා යනාදියෙහි හා පොත්වල මාර්ගයෙන් බොරු ප්‍රචාර කිරීමේදී ඒවා බලා රැවටෙන්නවුන්ගේ ගණනට මුසාවාද කර්ම සිදුවන බව මෙහිලා තවදුරටත් සඳහන් කළ යුතුය.

කිසියම් ක්‍රියාවක්‌ සිදුකරනු පිණිස හා නොදෙනු කැමැත්තෙන් ඇති දෙය සඟවනු පිණිස, දරුවන් නැළවීම පිණිසද, තමා කළ වරදක්‌ සඟවනු පිණිසද බොරු ප්‍රකාශ කිරීම අල්ප සාවද්‍ය වේ. ඉටුකරමි, දෙමි යනාදී වශයෙන් අනුන් රවටනු පිණිස බොරු බේගල් ප්‍රකාශ කිරීම එයට වඩා මහා සාවද්‍ය වේ. මෙරමා හට අනර්ථවන ලෙසට සාක්‌ෂ්‍ය වශයෙන් බොරු කීම එයටද වඩා මහා සාවද්‍ය වේ. අනර්ථය පිණිස කියන්නා වූ බොරුවලින් සිදුවන්නා වූ අනර්ථයේ අලාභයේ ප්‍රමාණයද අල්ප සාවද්‍ය, මහාසාවද්‍යතාව කිවයුතුය. රවටනු ලබන පුද්ගලයාගේ ගුණවල සැටියෙන්ද අල්පසාවද්‍ය මහා සාවද්‍ය භාවය ප්‍රකාශ කළ හැකිය. බොරු ප්‍රකාශ කිරීමේදී ඇතිවූ ක්‌ලේෂයන්ගේ ප්‍රමාණයෙන්ද අල්ප සාවද්‍ය, මහා සාවද්‍යතාව කිව යුතුය.

බොරු කියන පුද්ගලයෝ මෙලොව වශයෙන්ද, නින්දාවට, අපහාසයට, අපහසුතාවට පත්වෙති. අන්‍යයන් විසින් අවිශ්වාස කරනු ලබයි. සමහර අවස්‌ථාවන්හිදී බොරු ප්‍රකාශ කිරීම හේතුවෙන් දඬුවම් විඳීමද සිදුවෙති. බොරු කියන්නන් එම පවින් මරණින් මතු නිරයෙහි උත්පත්තිය ලබා අනේක සංඛ්‍යාත කෝටි සහස්‍රයෙහි ලෝදිය බිම් ආදී මහ දුක්‌ විඳිති. ප්‍රේත ආත්මවල ඉපිද විවිධාකාරයේ දුක්‌ විඳිති. තිරිසන්ව උත්පත්තිය ලබා බොහෝ දුක්‌ විඳිති. මනුෂ්‍ය ආත්මභාවයන්හි උත්පත්තිය ලබා ගත්තද එක්‌ ජාතියකදී ප්‍රකාශ කළ බොරුවලට සිය ගණන් ජාතිවලදී නොකළ වරදට හසුවී නින්දා ලබති. දඬුවම් විඳිති. මෝඩයෝ වෙති. එසේම දුප්පත් වෙති. කතා කිරීමේදී ගොත ගසති. මෝඩයෝ වෙති. ගොළු බවට පත්වෙති. කට හෙවත් මුඛයෙන් දුර්ගන්ධය හමති. අශෝභන දත් ඇත්තෝ වෙති. කල් නොපවත්නා දත් ඇත්තෝ වෙති. මුඛ රෝගයෙන් පෙළෙන්නෝ වෙති. විරූප වෙති. අවිශ්වාස කරනු ලබන්නන් බවට පත්වෙති. අමිහිරි කටහඬ ඇත්තෝ වෙති. කිසිවෙකු ඔවුන්ගේ බස්‌ නොපිළිගනිති. ඔවුන්ට අඹු දරුවන් නූපදිති. දරුවන් ඉපදුනද ඔවුන් ගැහැනු දරුවෝ වෙති. ඔවුහුද අකීකරු වෙති. පවුල් අතර අඬදබර ඇතිවෙති.

බොරු ප්‍රකාශ කිරීම නොයෙක්‌ පව්කම්වලට වුවමනා දෙයකි. බොරුවෙන් වැළකී සිටින තැනැත්තාහට අන් පව් කිරීමටද වඩා ඉඩක්‌ නොමැත. බොරු ප්‍රකාශ කරන්නා හට නොකළ හැකි පවක්‌ නොමැති බව.

"එකං ධම්මං අතීතස්‌ස - මුසාවාදිස්‌ස ජන්තිනො

විතිණ්‌ණ පරලොකස්‌ස - නත්ථි පාපං අකාරියං" යනුවෙන් බුදුරදුන් දේශනාකොට වදාරා තිබේ. 

"සත්‍යය නමැති එක ධර්මය අත්හල බොරු කියන්නා වූ පරලොව ගැන බලාපොරොත්තු රහිත වූ තැනැත්තා හට නොකළ හැකි පවක්‌ නැතය" යනු එහි අර්ථයයි.

සෑම ආගමකම පව් ලැයිස්‌තුවක්‌ ඇත. ඒවා එකිනෙකට සමාන නොවන නමුත් බොරු කීම ඒ සියල්ලටම ඇතුළත්ය. සියලුම ශාස්‌තූවරු වෙනසක්‌ නොමැතිව බොරු කීම පාපයක්‌ බව දේශනාකොට තිබේ. ලෝකයේ නුවණැති සියල්ලෝම බොරුව පිළිකුල් කරති. බොරු ප්‍රකාශ කරන්නාද පිළිකුල් කරති. අප මහා බෝසතාණන් වහන්සේ විසින් සමහර අවස්‌ථාවන්හිදී පව් කර තිබේ. එහෙත් අනුන්ට අනර්ථයක්‌ වන්නා වූ බොරුවක්‌ විවරණ ලැබීමෙන් පසු උන්වහන්සේ නොකී බව දක්‌වා ඇත. එමගින් පෙනී යන්නේ බොරුකීම අන් පව්වලට වඩා ලාමක පාපයක්‌ වශයෙන් උන්වහන්සේ සැලකූ බවය. බොරු කීමට බිය නොවන, ලැඡ්ජා නොවන තැනැත්තා ගුණවෙතක්‌ නොවේ. එක්‌තරා දිනක්‌ බුදුරජාණන් වහන්සේ පා සෝදා සෙම්බුවෙහි ඉතිරිව තිබූ දිය ස්‌වල්පයක්‌ රහල් හෙරණපාණන්ට පෙන්වා රාහුලය, බොරුකීමට ලැඡ්ජා නැති මහණුන්ගේ මහණකමද මෙසේ ස්‌වල්පයයි. දේශනාකොට වදාළ සේක. ඉන්පසුව තථාගතයන් වහන්සේ එම පැන් ස්‌වල්පයද ඉවතලා රාහුල හෙරණපාණන්ට දක්‌වා රාහුලය මහණකම මෙසේම අහක දමන ලද්දක්‌ වේ යෑයි දේශනාකොට වදාළ සේක. ඉන් අනතුරුව බුදුරජාණන් වහන්සේ එම සෙම්බුව මුනින් අතට නමා පෙන්වා රාහුලය, බොරු කීමට ලැඡ්ජා නැතියනුගේ මහණකම මෙසේ මුනින් නමන ලද්දක්‌ වේ යෑයි දේශනාකොට වදාළහ. ඉන්පසුව තථාගතයන් වහන්සේ එම බඳුන උඩුකරු කොට තබා රාහුලය බොරු කීමට ලැඡ්ජා නැති මහණුන්ගේ මහණකම මෙසේම හිස්‌ වන්නේ යෑයි දේශනා කළ සේක.

බොරු කීමෙන් නොවැළකෙන්නකු කොතෙක්‌ ගුණධර්ම ආරක්‌ෂා කළත් ඒවායේ වටිනාකමක්‌ නොමැති සේය. එබැවින් සැම දෙනම බොරු කීමෙන් වැළකීමට සිතාගත යුතුය. බොරු ප්‍රකාශ කිරීම පිළිකුල් කළ යුතුය. සත්‍යවාදී සමාජයක්‌ ගොඩනැගීමට බොරුවෙන් වැළකීම අප සැමගේ යුතුකමකි.

දර්ශනපති මෝහාන් නන්දන නානායක්‌කාර