දුටුගැමුණු රජු කල පිරිණිවන් පෑ මලියදේව හිමියන් ලංකාවේ අන්තිම රහත් තෙරනම නොවේ. සැබැවින්ම, අද වුව රහතුන් බිහි විය හැකිය. ඒ සදහා අවශ්‍ය වන්නේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ ශ්‍රී සද්ධර්මය සීල සමාධි ප්‍රඥා වශයෙන් දියුණු කොට සාක්ෂාත් කිරීමයි.

ඔබත් බුදුරදුන් පෙන්වා වදාළ උත්තම දහම් මාර්ගයේ ගමන් කරන්න


Powered by දහම් විල


ලිපි සඳහා පහත මාසය අනුව ලිපි පටුන බලන්න

යහපත් සිතින් ලෝකය දැකීම!


"රාජ රාජ රාජාධිරාජ පරම භට්‌ඨාරක උත්තරාපත නාථ" මෙය කුමක්‌දැයි ඔබ දන්නේද? පැරැණි භාරතීය රජවරු උත්සාහ දැරුවේ මෙම ගෞරව නාමය ලබා ගැනීමටය. රජුන්ට ද රජ වූ උත්තම රජ වූ අධිරාජ වූ එක සරණය මම වෙමි යන අදහස එහි ගැබ්ව ඇත.

මෙය ලබා ගැනීම සිතනා තරම් පහසු කාර්යයක්‌ නොවේ. දික්‌විජය කළ යුතුය. තමන්ගේ බල පරාක්‍රමය මෙහෙයවා අනිකුත් රජවරු තමන් යටතට ගත යුතුය. තමාගේ පෞද්ගලික හැඟීම් ගැන නොසලකා ආචාර ධර්ම නොසලකා සටන් වැදිය යුතුය. යුද්ධයේ ඇත්තේ එකම එක ආචාර ධර්මයකි. ජීවිතය හෝ මරණයයි. යුද්ධය තුළ සියල්ල සාධාරණය. භාරතීය රජවරු පමණක්‌ නොව නැපෝලියන්, සීසර් වැනි බටහිර රජවරුන් සියල්ල සාධාරණ යුද්ධයක්‌ තුළින් රජුන් අතර රජෙක්‌ වීමට උත්සාහ දැරූහ. ඔවුන්ගේ ධර්මය ඔවුන්ගේ ආගම යුද්ධය පමණක්‌ වේ. පෙර කී ගෞරව නාමය ලැබීමට එවැනි යුද්ධයක්‌ සිදු කළ යුතුය. එහෙත් අවාසනාවකට ඔවුන් අධිරාජ්‍යයන් බවට පත් වූ පසු ඔවුන්ගේ ඔටුන්නට යටත් වන ඔවුන්ට ගෞරවය පුද කරන පිරිසක්‌ ඉතිරි නොවේ.

රජු යන නාමය ජනයා රංජනය කරන්නේ යමෙක්‌ද , ඒ රජු යන නමින් හැඳින්වේ. රංජනය යනු සතුටු කිරීමයි. දික්‌විජය ප්‍රතිපත්තිය තුළ එවැනි සතුටු කිරීමක්‌ නොමැත. ඔවුන්ගේ බලය සියලු තැන පතුරුවන බැවින් එය රාජචක්‍රය නමින් හැඳින්වේ. චක්‍රය යනු රෝදයයි. එය කැරකේ. එවැනි රෝදයක්‌ මෙන් ඔවුන්ගේ බලය පැතිරේ. අශෝක අධිරාජයා, සීසර්, නැපෝලියන් වැනි රජවරු එවැනි රාජ චක්‍රය පැතිර වුවත් එය බිඳ වැටුණි. මන්ද විශාල ප්‍රදේශයක්‌ ආරක්‍ෂා කර ගැනීමට ඔවුහු අසමත් වූහ. පෙර සඳහන් කළ ගෞරව නාමය ලැබුවත් එය විනාශ වී ගියේය.

චක්‍රවර්ති රජුට ද මෙවැනි බලයක්‌ ඇත. ඔහුගේ අවිය යුක්‌තියයි. ඔවුහු ධර්මය තුළ පිහිටා කටයුතු කරයි. ඔහුගේ යුක්‌තිය නමැති චක්‍රය රෝදයයි. ලොව සැම තැන විසිර පවතී. එසේ වීමට ඔහු මහා පුණ්‍යවන්තයෙක්‌ විය යුතුය. තම බසට අවනත වන පෞරුෂයක්‌ හා ගෞරවයක්‌ තම ජීවිතය තුළ තබා ගත යුතුය. එම රජකම තවත් කෙනෙකුට පවරා දිය නොහැක. එය උපදවා ගත යුතුය.

අපිට ද රජෙක්‌ ඇත. ඒ බුදු රජය. අපිටත් ගුරුවරයෙක්‌ ඇත. අපේ ගුරු තිලෝගුරුය. බුදු රජුන්ගේ චක්‍රය ධර්ම චක්‍රයයි. එය තුන්ලොව පැතිර පවත්නා චක්‍රයකි. එනම් කාම, රූප, අරූප යන ලෝක තුනට අයත් දිව්‍ය ලෝක හයකුත් අපාය සතරකුත්, බ්‍රහ්ම ලෝකයත් එයට අයත් වේ. එයද ධර්මයකි. එහෙත් එය නිකම් නිකම්ම ධර්මයක්‌ නොවේ.

මෙලොවදීම ප්‍රතිඵල ලබාදෙන අකාලික, අවියෙන් බියෙන් හසුරවන්නේ නැති පැමිණ බැලිය යුතු තමන් විසින් ම ප්‍රත්‍යක්‍ෂ කළ යුතු ධර්මයකි.

මෙම ධර්ම චක්‍රය (රෝදය) අභියෝගයට ලක්‌ කළ නොහැක. එනම් මෙය අසත්‍යයකි. වැරදි දෙයකි. පිළිපැදීම නිසා අවැඩක්‌ ඇතිවන්නේ යෑයි කිව නොහැක.

ධම්මචක්‌ක සූත්‍රයේ ඇත්තේ ඒ අනුත්තර ධර්මයයි. එම ධර්මය බුදු රජු විසින් ම මනාව අවබෝධ කළ එකකි. ප්‍රඥ ඇස පිරිසිදු කරන එකකි. නුවණ ඇති කරන දහමකි. කෙලෙස්‌ නැති කරන එකකි. දුක නැති කරන දෙයකි. අවබෝධය පිණිස පවතින දෙයකි. නිවන පිණිස පවතින දෙයකි.

ජනයා සතුටු කරවීමට මෙයටත් වඩා දෙයක්‌ අවශ්‍යවේද? නැත අපේ බුදුරජ මෙසේ ජනයා සතුටට පත් කළ කෙනෙකි. එය තුන්ලොව සිසාරා පැතුරුණු චක්‍රයකි. ඇසූ ඇසූ දෙනා සතුටු වන සිත පහන් වන කාරණයකි. මෙය බුදු කෙනෙකු විසින් ම කළ යුතු දෙයකි.

මෙම ධම්මචක්‌ක දේශනය අසා මනු ලොව සිට අකනිටා බඹලොව දක්‌වා සාධුකාර දුන්නේය. එනම් සත්ත්වයා රංජනය වූවේය. සතුටට පත් වූයේය.

මෙම කාරණය නැවත මතකයට නැගිය යුත්තේ ඇයි. මෙම දම්සක්‌ දේශනාව අසා දේශනා කොට අදවන් ඇසළ පොහෝ දිනට වසර 2600 ක්‌ ගත වේ. විශ්මය එය අධිරාජ්‍යයන්ගේ රාජ්‍යයන් මෙන් ධර්ම චක්‍රය විනාශ නොවීමයි. සැබවින්ම මෙම ලෝක සත්‍ය මේතාක්‌ කාලයක්‌ නොනැසී පවත්නේ කවර කරුණක්‌ නිසාද. කවර බලයක්‌ නිසාද? මෙම ධර්මය පුරුදු කිරීමෙන් පුහුණු කිරීමෙන් ප්‍රඥව නමැති ඥානය උපදවන, විද්‍යාව උපදවා ආලෝකය උපදවන දහමක්‌ නිසා ය.

අප අද දින කතා කරන්නේ මේ දහමේ එන එක්‌ කාරණයක්‌ ගැන ය. එනම් සම්මා දිට්‌ඨ§ය පිළිබඳවය. සම්මා දිට්‌ඨ§ය දෙයාකාරයි. ලෞකික සම්මා දිට්‌ඨ§ය, ලෝකෝත්තර සම්මා දිට්‌ඨ§ය, වශයෙන් ලෝකෝත්තර සම්මා දිට්‌ඨ§ය කියන්නේ නිවන සඳහා ඇති එකම මාවතයි. බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළ ත්‍රිවිධ ශාසනය බව අවබෝධ කර ගැනීමයි. ප්‍රතිපත්ති, ප්‍රීතිවේද, පර්යාප්ති වශයෙන් හඳුන්වන මෙම ත්‍රිවිධ ශාසනය තුළ හැසිරීමෙන් පමණක්‌ ම නිවන අවබෝධ කළ හැකි වේ.

ජාලය යනු දැලයි. බ්‍රහ්මජාලය යනු බුදුරජාණන් වහන්සේගේ ත්‍රිsවිධ ශාසනයෙන් බැහැරව වෙනත් ප්‍රතිපදාවන් අනුගමනය කිරීමෙන් නිවන් බලාපොරොත්තුව කටයුතු කිරීම නිසා ඇතිවන අර්බුදයයි. ලෝකෝත්තර සම්මා දිට්‌ඨ§ය ඇත්තේ නම් මෙවැනි අතරමංවීම් සිදු නොවේ. ඔබට ලෝකෝත්තර සම්මා දිට්‌ඨ§ය අවශ්‍ය ද? එසේ නම් සුවිශාල වූ හික්‌මීමකින් යුක්‌තව ලෝකය දෙස බැලිය යුතුය. සන්සුන් මනසට පමණක්‌ ලෝකය අවබෝධ වේ. අගතිගාමී වේ නම් යථාවබෝධය ලැබිය නොහැක. මෙම අවබෝධය ලැබීමට පෙරාතුව ඔබ ලෞකික සම්මා දිට්‌ඨ§ය ලද යුතු වේ. මෙලොව ඇත. පරලොව ඇත. මව ඇත. පියා ඇත. දානයක්‌ ඇත. යාගයක්‌ ඇත. කුසලාකුසල කර්මයන්ට විපාක ඇත. දෙලොව ජයගත් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඇත යනාදී වශයෙන් දැක්‌මක්‌ ඇතිකර ගැනීම මෙහිදී ප්‍රයෝජනවත් වේ. මෙය ධර්ම චක්‍රයක්‌ වන්නේ කෙසේද? රජවරුන්ගේ රාජ්‍ය චක්‍රය භූමිය පුරා පැතිර පවත්නා සේ මෙම චක්‍රය සියලු මිනිසුන් අතර පැතිර පවතී. මොලාව පරලොව ඇතැයි විශ්වාස කරති. කිසි විටකත් ජීවිත හානියට හෝ අසද්ධර්මයකට පෙළෙඹෙන්නේ නැත. ඔහු නිතරම උත්සාහ කරන්නේ සෑම විටම තමාට හා සමාන වූ අයිතියක්‌ ජීවත් වීමට සැපය අපේක්‍ෂා කිරීමකට, දුක නොකැමති වීමට, සන්සුන් මානසිකත්වයකට, ලෝකය භුක්‌ති විඳීමට සමාන වූ වරප්‍රසාදයක්‌ තම තමන්ගේ කර්මයට අනුරූපව ලැබී ඇති බවයි.

සැබෑ මානව සබඳතාවන්ට ඔවුනොවුන් අතර අබෝධයට මෙය බෙහෙවින් ඉවහල් වේ. බාහිර සමාජ සබඳතා කෙසේ වෙතත් තම පවුල තුළ මාපිය දූදරු සබඳතා පවා මෙවැනි අවබෝධයකින් යුක්‌තව පවතී ද? එසේ පවතින්නේ නම් තම බිරිඳගේ දරුවන්ගේ අපේක්‍ෂාවන් නොසලකා බීමත්ව, එන පියවරුන් නොසිටිය යුතු ය. මානසික තෘප්තියට වඩා කායික තෘප්තිය උසස්‌ කොට සලකන ගැහැනු, පිරිමි නොසිටිය යුතුය. සියලු අපේක්‍ෂාවන් උසස්‌ පරමාර්ථයක්‌ සඳහා එක්‌තැන් කර ගත් ජනතාවක්‌ දැකිය හැකිය.ආතා අපේ

මේ ගෙවෙන්නේ කලියුගයයි. දැන් ඇත්තේ ධර්මයෙන් 1/4 කි. එනම් යමක්‌ හොඳ යෑයි කියනා විට එය සැබෑ ලෙසම හොඳක්‌ සේ දැකීමට කැමැති වන්නේ එක්‌ අයෙකු පමණි. තිදෙනෙකුම කියා සිටින්නේ එය වැරදි බවයි. ඔබ කල්‍යාණ ධර්මයක්‌ අනුගමනය කරනා විට එයට සහයෝගය දක්‌වන්නේ එය අගය කරන්නේ එක්‌ අයකු පමණි. තිදෙනෙක්‌ ම එය නින්දාවට ලක්‌ කරයි. තත්ත්වය එසේ නම් මේ ලෞකික සම්මා දිට්‌ඨිය අත්‍යවශ්‍ය යුගයක්‌ නොවන්නේද? කල්‍යාණ වූ ජීවන රටාවකට උරුමකම් කීමට ඔබ නොකැමතිද? මනුෂ්‍ය භවයක්‌ ලැබීම ඔබ දකින්නේ අයිතිවාසිකමක්‌ ලෙසද? වරප්‍රසාදයක්‌ ලෙසද? එය අයිතිවාසිකමක්‌ සේ සලකන තැනැත්තා සියල්ල තමාට අයිති වියයුතු ලෙසත්, සියලු දෙනා තමන් වෙත සේවය සැලසීමට සැදී පැහැදී සිටිය යුතු බවත් අපේක්‍ෂා කරයි. එහෙත් සැබෑ තත්ත්වය නම් කුමක්‌ද? මනුෂ්‍ය භාවය අයිතිවාසිකමක්‌ නොව වරප්‍රසාදයක්‌ පමණි. වරප්‍රසාදය ර¹පවතින්නේ එයට සුදුසු, එයට ආවේණික ගුණධර්ම ආරක්‍ෂා වනතෙක්‌ පමණි. එය අහෝසි වන තැන වරප්‍රසාද අහෝසි වේ. ඔබ දිවයන්නේ මනුෂ්‍ය වරප්‍රසාදය අහෝසි වී යන පිළිවෙතකය. මඛාදේව සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මෙසේ අනුශාසනා කරයි.

"මා කො ත්වං අනතිම පුරුසො හොති"

ඔබ මේ උතුම් ශාසනයේ පවත්වාගෙන යන්නන් අතර අන්තිමයා නොවිය යුතුය. මනුෂ්‍ය සංහතියේ අවසානය ළඟා කරන තැනැත්තා නොවිය යුතුය. ඔබ අප ගමන් කරමින් සිටින්නේ එවැනි මාවතක ද? 2600 සම්බුද්ධත්ව ජයන්තිය සමරන මොහොතක එහි තේමාව වූයේ "පිළිවෙතින් පෙළ ගැසීමයි" ඔබේ පිළිවෙත ධර්ම චක්‍ර පිළිවෙතෙහි එන සම්මා දිට්‌ඨ§ය පදනම් වී ඇත්නම් ඔබ ලෝකයට ශාන්තියක්‌ වනු ඇත. මතක තබා ගන්න මේ පැවසුයේ ඔබ අකමැති වුවත් ඇත්තකි.

උඩුහාවර සුමනරතන හිමි

පන්සියයක්‌ භික්‍ෂූන්ට වස්‌ විවර කළ සේක

තිලෝගුරු බුදු පියාණන් වහන්සේගේ මුව ගැබින් වැගිර ගලා ගිය දහම් අමා වැහිදිය දහර දඹදිව් පින් බිම සිසාරා පැතිර යද්දී සංඝ ශාසනයද සුවිශාල වශයෙන් පුළුල් වූයේය. සිව් දිගින් ගලා ආ මහ වතුරක්‌ සේ නොයෙක්‌ නොයෙක්‌ බුදු සව්වන්ගෙන් එය ශෝභාමානවත් වෙද්දී එලෙසින්ම එයට ඇතුළත් වූ අසංවර පැවිද්දන්ගෙන් බුදු සසුනටත්, සංඝ ශාසනයටත් විවිධ තර්ජන එල්ල වීමට පටන් ගත්තේය. සම්මා සම්බුද්ධ අනුශාසනාවේ පැවැත්ම සඳහා එකින් එක විනය නීති පනවන්නට සිදුවූයේ මේ නිසාය. ඉතිහාසඥයන් කියන ආකාරයට සේම බුද්ධ ශාසන ඉතිහාස තොරතුරු විග්‍රහකර බලන විටද භික්‌ෂු උපසම්පදා සීලයෙහි ආරම්භයට පදනම් වන්නට ඇත්තේත් මේ කාරණයම බව අපට වටහා ගැනීම අමාරු නැත.

මේ අනුව උපසම්පදාව යනු වඩාත් උසස්‌ වූ සීලයකි. නැත්නම් ශික්‌ෂණයකි. හික්‌මීමකි. අවුරුදු විස්‌සක්‌ පමණ ඉක්‌ම ගිය පසු මෙම උපසම්පදා ශීලයෙහි පිහිටුවන භික්‌ෂූන් වහන්සේ එතැන් පටන් කෝටියක්‌ තරම්වන මහත් වූ සීලයක්‌ ආරක්‌ෂාකළ යුතු වන්නේය. 

බොහෝ විට අපට දක්‌නට ලැබෙන්නේ බොහෝ භික්‌ෂූන් වහන්සේලා තනිව හෝ තවත් කීප නමක්‌ මෙම උපසම්පදා සීලයෙහි පිහිටුවන පුණ්‍යමහෝත්සව අවස්‌ථාවන්ය. එහෙත් පන්සිය නමකටත් අධික භික්‌ෂූන් වහන්සේලා පිරිසක්‌ එකම බද්ධ සීමාවකදී උපසම්පදා සීලයෙහි පිහිටුවන දුර්ලභ අවස්‌ථාවක්‌ පසුගියදා අපට දැකගන්නට ලැබිණි. ඒ රාගම වල්පොල ශ්‍රී විමල රත්නාරාම විද්‍යාභිවාස මහ පිරිවෙනෙහිදීය. 

මෙහිදී උපසම්පදාව ලැබූ සියලුම භික්‌ෂූන් වහන්සේලා අයත් වූයේ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායටයි. අමරපුර මහා නිකාය ඇති වූයේ බුද්ධ වර්ෂ දෙදහස්‌ තුන්සිය හතළිස්‌ හයේදී පමණය. ඒ ශ්‍රී ලංකාවේ රාජ නාමාවලියෙහි අන්තිමයා වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ කාලයේදීය. එදා වැලිතර අඹගහපිටියේ ඥනවිමලතිස්‌ස සාමණේරයන් වහන්සේ ප්‍රධාන පස්‌නමක්‌ බුරුමයේ අමරපුර නුවර වැඩ විසූ මහාධම්ම රාජාධිරාජගුරු ඤාණාභිවංශ සංඝරාජයන් වහන්සේ උපාධ්‍යාය කරගෙන උපසපන් වී මෙරටට වැඩ මාදුගඟේ බළපිටිමෝදර උදකුක්‌ඛෙප සීමාවේදී සිංහල සාමණේරවරුන්ට උපසම්පදාව දීමෙන් මෙසේ මෙම අමරපුර මහානිකාය ආරම්භ වූයේය. 

මෙසේ ආරම්භ වූ මෙම නිකායෙහි වර්තමාන උත්තරීතර මහා නායක හිමියන් වන්නේ අග්ගමහා පණ්‌ඩිත පූජ්‍ය දවුල්දෙන ඤාණේස්‌සර හිමියන්ය. උන් වහන්සේගේද ප්‍රධානත්වය ඇතිව පසුගිය ජුනි මස 25 වැනිදා සිට 02 වැනිදා දක්‌වා මෙම උපසම්පදා උත්සවය පැවැත්විණි. උපසම්පදා සීලයෙහි පිහිටීම සඳහා බදුල්ල, රත්නපුර, කුරුණෑගල, නුවර, ගාල්ල, මාතර, හම්බන්තොට ආදී දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම භික්‌ෂූන් වහන්සේලා වල්පොල විද්‍යාභිනිවාස මහ පිරිවෙනට වැඩමවා සිටියහ. මෙසේ වැඩමවා වදාළ භික්‌ෂූන් වහන්සේලා සියල්ලෝම අමරපුර මහා නිකායට අයත් විවිධ සංඝ පාර්ශ්ව විසි දෙකකට ඇතුළත් වූහ. ඒ අනුව උන්වහන්සේලා සියලු දෙනාම ඒකරාශී කොට එකම බද්ධ සීමාවකදී උපසපන් සීලයෙහි පිහිටුවිණි. ප්‍රථමයෙන් උන් වහන්සේලා අත්‍යලංකාර පෙරහැරකින් මේ සඳහා බද්ධ සීමාවට වැඩමවාගෙන ආ අතර මනරම් වැවක මැද ඉදිකොට තිබූ එම බද්ධ සීමාව සැබැවින්ම නෙතට චමත්කාරයත්, සිතට අපමණ වූ ශ්‍රද්ධාවත් එක්‌කළ දර්ශනයක්‌ වීය. මෙයට පෙරාතුව මෙලෙස වැඩිම භික්‌ෂුන් වහන්සේලා පිරිසක්‌ උපසම්පදා සීලයෙහි පිහිටුවා ඇත්තේ අවස්‌ථා හතරකදීය. වල්පොල දී මෙලෙස මෙම උපසම්පදා උත්සවය පැවැත්වූයේ පස්‌වැනි වරටය. 

මෙම දුර්ලභ උපසම්පදා උත්සවයට අදාළව රාගම වල්පොල විද්‍යාභිවාස මහ පරිවේණාධිපති පූජ්‍ය ගලහ පඤ්ඤාසාර හිමියන් සමග කළ කෙටි කතාබහේදී මේ දුර්ලභ උපසම්පදා උත්සවය පිළිබඳ මෙන්ම උපසම්පදා සීලයට අදාළ තවත් වැදගත් කරුණු කාරණාවන් බොහොමයක්‌මද ඔබ සැම හමුවේ තබන්නට අපට හැකිවිය. ඒ අනුව කෙනකු භික්‌ෂූ ශාසනයට ඇතුළත් වී ළමා වියේ පැවිදි ජීවිතයට පත්වීනම් භික්‌ෂුවගේ උපසම්පදාව සිදුකළ යුතු වන්නේ එතැන් පටන් අවුරුදු විස්‌සක්‌ ගෙවී ගිය තැනෙදීයි. එසේ නොමැතිව මැදි වියේදී හෝ මහලු වියේදී යමකු උත්තරීතර පැවිදි ජීවිතයට පත්වූයේ වීනම් ප්‍රථමයෙන් මාස හයක්‌ පමණ හෙතෙම සාමණේර ජීවිතයක්‌ ගත කිරීම යටතේ ප්‍රාථමික ශික්‌ෂණයක්‌ ලැබිය යුතුවේ. එයින් පසුව එම භික්‌ෂූන් වහන්සේ උපසම්පදා වීමට ඉමහත් කැමැත්තක්‌ දක්‌වන්නට තරම් ධර්මධර මෙන්ම විනයධරද වූයේ නම් අදාළ විශේෂ බද්ධ සීමාවකට වැඩමවාගෙන ගොස්‌ උපසම්පදා අධි සීලයෙහි පිහිටුවයි. බද්ධ සීමාව යනුවෙන් හඳුන්වන්නේ ගොඩබිමට සම්බන්ධ ප්‍රදේශයකි. ක්‍රිස්‌තු වර්ෂ 1753 දී පමණ පළමුවරට මෙවැනි බද්ධ සීමාවකදී ශ්‍රී ලංකාවේ මල්වතු මහා විහාරයෙහි විසුං ග්‍රාම සීමාවෙහිදී උපසම්පදා පුණ්‍ය මහෝත්සවයක්‌ සිදුවී තිබේ. සියම් මහා නිකායට අදාළව සිදුවූ එම උත්සවය පැවැත් වී ඇත්තේ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ අනුග්‍රහයෙන් සියම් දේශයෙන් මෙරටට වැඩම කළ උපාලි මහතෙරුන්ගේ ප්‍රධානත්වයෙනි. අපරට ශාසන ඉතිහාසයේ චිර ප්‍රකට වැලිවිට සිරි සරණංකර හිමියන් ඇතුළු භික්‌ෂූන් වහන්සේලා හයනමක්‌ එහිදී උපසම්පදා කෙරුණු අතර එහි මූලික අරමුණ වූයේ ඒවනවිට පරිහානියට පත් වෙමින් තිබූ ලංකා සම්බුද්ධ ශාසනයටත්, සිංහල භික්‌ෂු වංශයටත් පුනර්ජීවනයක්‌ ලබාදීමයි. 

භික්‌ෂු උපසම්පදාවට අදාළ උදකුක්‌ඛෙ සීමාව යනු බද්ධ සීමාවෙන් වෙනස්‌ ස්‌වරූපයක්‌ ගත් තැනෙකි. එය බොහෝ විට ජලයට සම්බන්ධ වී පවතී. එය සකස්‌ කරන්නේ දිය මත පා කළ හැකි පහුරක්‌ හෝ ඔරුවක්‌ වැනි විශේෂ ස්‌ථානයකයි. වල්පොල විද්‍යාභිනිවාස මහ පිරිවෙනෙහි පැවැති උපසපන් උළෙල පැවතියේ මෙබඳු උදකුක්‌ෙ€ප සීමාවකයි. 

බද්ධ සීමාවකදී මෙන්ම උදකුක්‌ෙ€ප සීමාවකදී වුවද මෙකී විනය කර්මය සිදු කළ හැකි අතර විශේෂයෙන් මෙයින් පසුව එම භික්‌ෂූන් වහන්සේ පරිපූර්ණ පැවිද්දකු බවට පත්වේ. බණ දහම් පිළිබඳ හසළ දැනුමක්‌ මෙන්ම අවබෝධයක්‌ද ලබන උන් වහන්සේලා සංඝ සමාජයට නිසි පරිදි ඇතුළත් වූවා වන්නේද මෙයින් පසුවයි. එයට ප්‍රධානතම හේතුවක්‌ වන්නේ තමන් වහන්සේලා උපසපන් සීලයෙහි පිහිටා ලද ධර්මඥනය තුළින් බොහෝ පිරිසකට නිර්වාණ ශාන්තියටද මඟ හසර පෙන්විය හැකි හෙයිනි. රාගම විද්‍යාභිනිවාස පිරිවෙන් බද්ධ සීමාවේදී මෙඅයුරු උපසම්පදාව ලත් පන්සියයකටත් අධික මේ භික්‌ෂූන් වහන්සේලා උපසම්පදාවෙන් පසුව සිය දුර ඈත ගම්බිම් බලා වැඩමවා වස්‌ සමාදන් වනබව ගලහ පඤ්ඤාසාර හිමියෝ වැඩිදුරටත් පැවසූහ. ඒ අනුව උන්වහන්සේලා තව දින කිහිපයකින් උදාවන ඇසළ පුරපසළොස්‌වක පොහොය දිනයෙන් වස්‌ සමාදන් වීම ආරම්භ කරන අතර පසුව ඇසළ, නිකිණි, බිනර යන තුන් මාසය තුළදීම එම සංවර සීලය ආරක්‌ෂා කිරීමෙහිද නිරත වෙති. 

බිනර පුරපසළොස්‌වක පොහොයෙන් වස්‌ පවාරණය සිදුවේ. එහෙත් ඇසළ පුන් පොහොයට පෙර දින එනම් අව පෑළවිය දිනයෙහි වස්‌ විසීමට නොහැකි වූ භික්‌ෂුවකට ඇසළ පොහොයෙන් මසක්‌ ඉක්‌ම ගිය කල්හි නිකිණි අව පෑළවිය දිනයේද පසුවස්‌ එළැඹෙන්නට පිළිවන. වස්‌ සීලය සමාදන්ව එය සුරක්‌ෂිත කිරීම මෙසේ සාර මාසයක්‌ ඔස්‌සේ සිදුවන අතර බිනර පොහොයෙහි සිට එළැඹෙන වප් මාසය ඒ වස්‌ සාර මාසයෙහි අවසාන මාසය වේ. වප් පොහොයෙන් එළැඹෙන මෙම මාසය චීවර මාසය වේ. සම්මා සම්බුද්ධ ශාසනයෙහි ප්‍රකට අටමහා කුසල් අතරට ගැනෙන කඨ§න චීවර පූජා පින්කම සිද්ධ කරන්නේද මෙම අවධිය තුළයි. කඨින චීවර දානමය කුසලය මහ පොළොව මෙන් කිසිකලෙකත් කම්පානොවන මහාමේරු පර්වතය මෙන් අධික සුළඟින් නොසෙල්වෙන එක ඝන වඡ්ර පර්වතය ද මෙන් නොබිඳෙන, ස්‌ථාවර ගරු පින්කමෙකි. උපසම්පදා සීලයෙහි පිහිටි ධර්මධර මෙන්ම විනයධර වූද භික්‌ෂූන් වහන්සේ නමකටම පමණක්‌ මෙම කඨ§න චීවරය පූජා කිරීමට හැකිවීමද විශේෂත්වයකි.

සුගත් වීරසූරිය
ඡායාරූප - රුක්‌මන් පිංතු

සම්බුදු උපතින් සිදු වූ ලෝක සේවාව

සම්බුද්ධත්වයට පත් වූ එදා පටන් අත්ථාය, හිතාය, සුඛාය දේව මනුස්සානං යන වචනයට ම අනුව ලෝවැසි ජනතාවගේ අර්ථ සම්පත්තිය, ආර්ථික සම්පත්තිය වඩා වර්ධනය කර ගැනීමටත් ඔවුනොවුන් අතර සුහදශීලීව - ප්‍රියශීලීව පිළිපැදීමෙන් මෛත්‍රි සහගත සමාජයක් ඇති කර ගැනීමටත් දම් දෙසීමට ආරම්භ කළහ. සසර පතාගෙන ආ පරිදි ඊට අදාළ අනුගාමික භික්ෂු පිරිසක් ද උන්වහන්සේ වටා ගොනු වූහ. එමගින් බුදුපියාණන් වහන්සේ හතළිස් පස් වසරක් පුරා සිදුකරන ලද අපරිමිත සේවාව පිළිබඳව නම්, මෙතෙක් ලොවැ පහළ වූ කිසිදු කෙනෙකුටවත් අගය කිරීමෙන් ප්‍රමාණයක් කළ නොහැකි වී ඇත

සම්බුද්ධත්වයට පත් වීමෙන් 2600 වසරක් සම්පූර්ණ වන මෙම වෙසඟ පුර පසළොස්වක් පොහෝ දින උදාර බෝසත් ගුණ වඩා වර්ධනය කර ගැනීමට සියල්ලෝම අධිෂ්ඨාන කරගත යුතු ය.

සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේ ලොවැ පහළවීම නිසා සිදුවූ මහඟු සේවාව කියා හෝ ලියා නිම නොකළ හැකිමය. කාලාන්තරයක් පුරා පාරම්පරිකව පැවත ආ, ජාති – කුල – වංශ - ගෝත්‍ර ප්‍රශ්නයන් නිසාත්, ස්ත්‍රීන්ට අඩු සැළකිල්ලක් පැවති හිංසාකාරී ජනසමාජ රටාවක් පැවති වකවානුවක, සුද්ධෝදන මහා රාජයාගේ එකම පුතණුවන් වශයෙන් සිදුහත් කුමරා උපත ලද්දේ ය. සුද්ධෝදන රජතුමා දැහැමි පරිපාලකයෙකි. එදා අපේ රට මෙන් දෙතුන් ගුණයකටත් වඩා විශාල හිමාල දේශයම පරිපාලනය කළෝ, ශාක්‍ය වංශිකයෝ ය. නූතන ඉන්දියාවෙහි ගෝරක්පූර්, කුසිනාරා, ලක්නවු ආදී මහා ප්‍රදේශයක් පුරා පැතිරි පිහිටි මේ ශාක්‍ය රාජධානිය සෞභාග්‍යය සම්පන්න භාවයෙන් අනූනව පැවතිණ. සහල්, ඉරිඟු, මුං, කඩල, කව්පි, ආදී විවිධ ගණයේ ධාන්‍ය වර්ගවලින් සහ එළවළු, පළතුරු, ඕජෝ ගුණයෙන් අනූන පලා කොළ ආදියෙන් ද, අල බතල වලින් ද, විවිධ ගණයේ හතු වර්ගවලින් ද, හිමාල අඩවිය රට වැසියාගේ ස්වයංපෝෂිත භාවය ඉහළින්ම වඩා වර්ධනය කළේ ය.

ගව මහීෂාදී සතුන්ට පවා දේශගුණික සම්පත්තිය නිසා, තෘණ, දළු, කොළ ආදියෙන් අහේනියක් නොවී ය. ආර්ථික ප්‍රශ්න පිළිබඳ ගැටළුවක් නැති, සෞභාග්‍ය සම්පන්න දේශයක ජනතා හදවත දිනාගත් සුද්ධෝදන මහා රාජයාට අඩුවක් වශයෙන් දැනුණේ සරණ බන්දනයෙන් කලක් ගතවෙන තුරු දරු සම්පත්තියක් නොලැබීම ය. මෙය මහ රජතුමාගේත් එතුමාගේ බිසව වූ මහාමායා දේවියගේත් බලවත් කනස්සල්ලට හේතුවක් වූවා පමණක් නොව, රටේ ප්‍රභූ ජනයාගේ ද චිත්ත පීඩාවට කරුණක් විය. මෙයින් දෙදහස් හයසිය පන්තිස් වසරකට පෙර අද වගේ වෙසඟ පුර පසළොස්වක පොහෝ දිනක ඒ මහා පුණ්‍යවන්ත සම්මා සම්බුදුවරයෙකු බවට පත්වීමට පතාගෙන ආ, සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය සිදු විය. උපන් දිනය වූ ඒ වෙසඟ පුර පසළොස්වක් පොහෝ දින ද දඹදිව පුරා අමුතු අසිරියක් පැතිරිණ. සුවදායක ඇඟට දැනෙන මඳ සුළඟකින් යුත් සුවඳවත් සුළං හැමීමක් රට පුරා ව්‍යාප්ත විය. එයට හේතුව විවිධ පුෂ්ප වර්ගයන්ගෙන් යුත් ගස් වැල්වල අමුතු ප්‍රබෝධයකින් යුතුව වෙනදාටත් වඩා අසිරියක් ඇති කරවමින් මල් පිපීම යි. දැඩි අව් රස්නය ද, කඩින් කඩ පැතිරී යන තුනී වළාකුළුවලින් දැඩි බවින් තොර විය. මිනිසුන් තුළ ද අමුතු කරුණාවන්ත ගතියක් සුහදතාවයක් ඇති විය. ගව මහිෂාදි සතුන් අතර පවා කරුණා මෛත්‍රී ගුණයන් ඇතිවීම නිසා ඔවුන් අතර කා කොටා ගැනීමක් සිදු නොවීය. මෙවන් දිනක උපත ලද ඒ පින්වත් බෝසතාණන් වහන්සේ ද, උපත ලබා කුඩා සිරිපතුල් පොළොවෙහි තබත්ම අදහාගත නොහී අසිරිමත් සිදුවීමක් දක්නට ලැබුණි. එය නම් පිළිවෙලින් පොළොවෙන් පියුම් හතක් මතු වීමයි. පියුම් හත මත ගමන් කළ පින්වත් කුමරුවා දකුණත ඔසවා දබරැඟිල්ල නිර්භීතව විහිදුවා ගෙන මෙබදු වාක්‍යයක් ප්‍රකාශ කළේය.
“ අග්ගෝ හමස්මි ලෝකස්ස 

ජෙට්ඨෝ හමස්මි ලෝකස්ස
සෙට්ඨෝ හමස්මි ලෝකස්ස 
අයමන්ති මාජාති නත්ථිදානී පුනබ්භවෝ”

මම ලෝකයට අග්‍ර වෙමි. මම ලෝකයට ජ්‍යෙෂ්ඨ වෙමි. මම ලෝකයට ශ්‍රේෂ්ඨ වෙමි. මේ මාගේ අන්තිම උපතයි. නැවත මාගේ උපතක් නැත.”
මේ ශ්‍රේෂ්ඨ වාක්‍යය හතරෙන් ප්‍රකාශ කළේ නිසැකවම තමා සම්මා සම්බුද්ධත්වයට පත් වෙන බවය. එදා පාරමිතා කුසල බලය උඩ ඉහත සඳහන් වාක්‍යයන්ගෙන් තමන් වහන්සේ කෙබඳු කෙනෙක්දැයි යන්න පැහැදිළි කළ සිද්ධාර්ථ කුමරුවෝ තරුණ වියේදී පිය රජතුමාගේ බලපෑම නිසාම යසෝදරා දේවිය සමඟ සරණබන්දනයට පත් වූහ. විසි නමවන වියට පා තබන විට අසීමිත රජ සැප විඳිමින් පසු වුණ සිදුහත් කුමරාට කොතෙකුත් සැප පහසුකම් ලැබුණ නමුත් ලොකු කුඩා සෑම කෙනෙකුන් විසින්ම මුහුණ දිය යුතු - වයසට යාම, හෙවත් – ජරාවට පත්වීම – විවිධ රෝගාබාධයන්ට ගොදුරුවීම සහ අවසානයෙහි මරණයෙන් ජීවිතය අවසන් වීම පිළිබඳව මනා අවබෝධයක් මහල්ලෙක් - ලෙඩෙක් – මරණයක් දැකීමෙන් ම වඩාත් කරුණු සහිතව, හිතට කා වැදුණේ ය. පිය රජතුªමාට වුවමනා කළේ තම පුතණුවන් ජන්ම පත්‍ර පරීක්ෂාවෙන් සහ ශාරීරික ලක්ෂණ අනුව අධිරාජයෙක් වනු දැකීමයි. එනිසා පුතණුවන් ගිහි ගෙයිම රඳවා ගැනීම පිණිස කළ හැකි සෑම ප්‍රයත්නයක්ම විධිමත් පරිදි යෙදුවේ ය. එනමුදු පින්වත් බෝසතාණන් වහන්සේ යොමු වූයේ පුරා ගෙන ආ පාරමිතා ධර්මයන්ට අනුව යොමු වූයේ ඉපදීමත් – ජරාවට යාමත් - ලෙඩවීමත් – මරණයත් යන මේ සතර පිළිබඳව මනා අවබෝධයක් ලබා ගෙන ඒ මග ලෝකයාටත් අවබෝධ කරවා තමනුත් නැවත නූපදින තත්වයට පත් වීමේ ඇති අනගිතම වටිනාකම පිළිබඳව ය. කිසි සේත්ම මෙවන් අයුරින් රාජකීය සැප සම්පත් විඳිමින් ඒ මග සොයා ගත නොහැකිය යන්න තරුණ සිදුහත් කුමරුගේ මනසට වැටුනු එකම අදහස විය.

ඒ අනුව විසි නම වන වියේදී සියලු රාජකීය සම්පත් අතහැර දමා හුදකලාව වනගත වුණු මේ ශ්‍රේෂ්ඨ පුණ්‍යවන්ත පුද්ගලයා, කලින් අසා කියා දැන සිටි එහෙත්, හමුවීමක් නොවුණ ආළාරකාලාම තවුසාණන් වෙත ගියේ ය. එතුමා ධ්‍යාන සමාපත්ති උපදවා ගත් සෘද්ධිබල සහිත සෘෂිවරයාණ කෙනෙකි. එම ඇසුරෙහි මාසයක් හමාරක් සිටි නමුත් රූපාවචර ධ්‍යාන සමාපත්ති සතරත්, ආකාසා නඤ්චායතන –විඤ්ඤා ණඤ්චායතන – ආකිඤ් චඤ්ඤායතන යන අරූපීය ධ්‍යාන සමාපත්ති තුනත් සහිතව සමාපත්ති උපදවා එයින් එහාට යමක් නැති බව දැන, අනතුරුව උද්දකාරාම සෘෂිවරයාණන් වෙතට ගිය හ.
උද්දකාරාම තාපසතුමා රාම නමැති සෘෂි වරයෙකුගේ ශිෂ්‍ය පුත්‍රයෙකි. එනිසා උද්දකරාම යන නම ඔහුට ලැබී තිබුණේ ය. උද්දකාරාම තවුසාණන් වෙතද ටික කලක් රැඳී නේවසඤ්ඤා – නාසඤ්ඥායතන, සමාපත්තිය උපදවා එයත් සසර කෙළවරක් නොවන බව දැන හුදකලාව උරුවෙල් දනව්වට වැඩම කළ සේක, එතැන් පටන් සය වසරක් පුරාම කෙමෙන් දුෂ්කර ක්‍රියාවට බැස ශරීරය තැවීමෙන් නැත්නම් ශරීරයට දුක්දීමෙන් නිවන ලබා ගත හැකි යැයි සිතූ නමුදු එයින් ප්‍රතිඵලයක් නොලද විට මධ්‍යම ප්‍රතිපදාවට යොමු වූයේ ය. ශරීරයට අධික ලෙස සැප දීමෙනුත්, ශරීරයට අධික ලෙස දුක් පීඩා දීමෙනුත් තමා බලාපොරොත්තු වන අරමුණ වූ නිවන සාක්ෂාත් කළ නොහැකි බව දැන මැදුම් පිළිවෙත අනුව පිළිපැද එහි ප්‍රතිඵලයක් වශයෙන් සිද්ධාර්ථ ගෞතම තාපසයාණන් වහන්සේට සම්මා සම්බුද්ධබවට පත් වීමට හැකි වූයේ ය.
මෙසේ ශරීරයට තරමක් සැප පහසුව දෙමින් මෛත්‍රී භාවනාව වඩාත් දියුණු කරගෙන සමාපත්ති සුවයෙන් යුතුව වෙසක් දිනට කලින් දා රාත්‍රී නින්දට ගිය බෝසතාණන් වහන්සේට පුදුමාකාර සිහින පහක් පෙනුණේ ය. මහ පොළොව උන්වහන්සේ සැතපෙන යහනක් බවට පත්විය. හිමාලය කඳු වැටිය හිසට තැබූ කොට්ටයක් විය, මේ යහනේ උඩුකුරුව සැතපෙන උන්වහන්සේගේ දකුණු අත බටහිර සාගරයෙහිද, වමත නැගෙනහිර සාගරයෙහිද, දකුණු පය දක්ෂිණ සාගරයෙහිද, එසේම වම් පය උතුරු සාගරයෙහිද විහිදී පැවතියේ ය. මේ පළමු සිහිනයෙන් කියැවෙන්නේ මෙතුමෝ සියල්ලන්ටම වඩා ලෝකයෙහි උත්තරීතර බවට පත් වන බවය. බුදු බවට පත්වන බවය. දෙවැනි සිහිනය උන්වහන්සේට පෙනුණේ මෙසේ ය. තමන්ගේ නාභියෙන් ඊතණ ගසක් ඉතා උසට නැගී නො පෙනෙන තරම් අහස උසට නැගී ගියේය. ඉන් අදහස් කළේ උන්වහන්සේ සොයා ගනු ලබන ආර්ය අෂ්ටාංගික මාර්ගය ලෝකයාට අවබෝධ කරවා ලෝක ප්‍රජාව නිවන් මගට පත් කරවන බවයි. තුන්වන සිහිනය දුටුවේ කලුහිස් ඇති සුදු පණුවෝ පාමුලින් මතු වී දණ දක්වා වසා ගත් බවකි. මෙම හීනයෙහි අදහස නම් ලක්ෂ කෝටි සංඛ්‍යාත ගිහියන් උන්වහන්සේගේ දායකකාරකාදීන් බවට – අනුගාමිකයන් බවට පත්වෙන බවය. සතර වන සිහිනය මෙසේය. විවිධ වර්ණ වලින් පාට වලින් යුත් ලිහිණි පක්ෂීන් සතර දෙනෙක් හතර පැත්තෙන් පැමිණ උන්වහන්සේගේ පාමුල බැස - වහා සුදු පැහැති වර්ණයෙන් යුක්ත වූ බවයි. මෙයින් අදහස් කෙරෙන්නේ ක්ෂත්‍රීය – බ්‍රාහ්මණ - වෛශ්‍යය - ශුද්‍ර යන සතර කුලයට අයත් ජනයා එකමුතුව සසුනෙහි පැවිදි වී පිරිසුදු ලෙස පිළිවෙත් පුරා ඒ සියල්ලන්ම නිවන් අවබෝධ කරන බව ය. පස්වැනි සිහිනය වූයේ දුගඳ හමන අපද්‍රව්‍යවලින් පිරි පර්වතයකි. ඒ අපද්‍රව්‍යවල නො ගෑවී සිද්ධාර්ථ ගෞතම බෝසතාණන් වහන්සේ එනම් තමන් වහන්සේ ඒ පර්වතයෙහි සක්මන් කළ ආකාරයයි. එයින් කියැවෙන්නේ විවිධ ලාභ - ලෝභ - ගෞරව - පිළිගැනීම – ප්‍රශංසා වලට නො ඇලී තමන් වහන්සේ අතිශයින්ම පිරිසුදු පුද්ගලයෙකු බවට පත් වන වග යි.
මෙම සිහිනවලින් තමන් වහන්සේ ඒකාන්තයෙන් ම බුදු වන බවට පෙරනිමිති පහළ වූ බව දැනගත්හ. බෙහෙවින්ම සතුටට පත්ව, අද අදම බුදුබවට පත්විය හැකි බව දැන දැඩි අධිෂ්ඨානයක් සිතෙහි ඇති කර ගැනීමට මේ නිසා පිළිවන්කම ලැබිණ. බුදුබව සාර්ථක වෙන බවට පෙර නිමිත්තක් වශයෙන් මේ සිහිනය දුටුු බව ද, දැනගත් සේක. එයින් සතුටට පත්ව පසු දා එනම්, වෙසඟ පුර පසළොස්වක් පොහෝ දින සුජාතා සිටු දේවිය විසින් පූජා කරන ලද කිරිපිඬු දානය වළඳා බෝ මැඩට පැමිණ සසර ගමනේ දී පුරන ලද දස පාරමී ධර්මයන්ගේ ශක්තිය, බලය ඔප් නංවා ගෙන සව් කෙලෙසුන් නසා සම්මා සම්බුද්ධත්වයට පත්වූහ.
සම්බුද්ධත්වයට පත් වූ එදා පටන් අත්ථාය, හිතාය, සුඛාය දේව මනුස්සානං යන වචනයට ම අනුව ලෝවැසි ජනතාවගේ අර්ථ සම්පත්තිය, ආර්ථික සම්පත්තිය වඩා වර්ධනය කර ගැනීමටත් ඔවුන්නොවුන් අතර සුහදශීලීව - ප්‍රියශීලීව පිළිපැදීමෙන් මෛත්‍රි සහගත සමාජයක් ඇති කර ගැනීමටත් දම් දෙසීමට ආරම්භ කළහ. සසර පතාගෙන ආ පරිදි ඊට අදාළ අනුගාමික භික්ෂු පිරිසක් ද උන්වහන්සේ වටා ගොනු වූහ. එමගින් බුදුපියාණන් වහන්සේ හතළිස් පස් වසරක් පුරා සිදුකරන ලද අපරිමිත සේවාව පිළිබඳව නම්, මෙතෙක් ලොවැ පහළ වූ කිසිදු කෙනෙකුටවත් අගය කිරීමෙන් ප්‍රමාණයක් කළ නොහැකි වී ඇත. ඒ ශ්‍රේෂ්ඨ උත්තමයාණන් වහන්සේගේ උපත සිදු වීමෙන් තිස් පස් වසරට එළඹෙත්ම, එම වර්ෂයෙහි යෙදුණ වෙසඟ පුර පසළොස්වක් පොහෝදා මෙහි සඳහන් පරිදි සම්මා සම්බුදු බවට පත්වූහ. එතැන් සිට පන්සාලිස් වසක් එළඹි වර්ෂයෙහි වෙසඟ පුර පොහෝදා දෙවියන් සහිත සකල ලෝකවාසීනට අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණය පහදා දෙමින් සම්මා සම්බුදුපියාණෝ පිරිණිවන් පා වදාළ සේක.
මේ මහොත්තමයාණන් වහන්සේගේ සම්බුද්ධත්වයට පත් වීමෙන් 2600 වසරක් සම්පූර්ණ වන මෙම වෙසඟ පුර පසළොස්වක් පොහෝ දින උදාර බෝසත් ගුණ වඩා වර්ධනය කර ගැනීමට සියල්ලෝම අධිෂ්ඨාන කරගත යුතු ය. එය බුදුපියාණන් වහන්සේ වෙනුවෙන් පවත්වනු ලබන උදාරම බුද්ධ පූජාව වන්නේම ය.

බුදුදහම අගයන මානව හැකියාව

සසර දුක් සහිතයි. ජාති, ජරා, ව්‍යාධි, මරණාදියෙන් යුක්තයි. එනිසා සසර අතෘප්තිකරයි. මේ අසතුටුදායක පැවැත්ම තණ්හාව මුල්කරගෙන කෙලෙස්වලින් බරව පවතිනවා. එනිසා මේ දුක්ඛිත සසරින් නිදහස්වීමට කැමැතිවන මිනිසුන් කෙලෙස් ධර්ම විනාශ කළ යුතු වෙනවා. එය දුක්ඛ නිරෝධයයි.
ඒ සඳහා වන මාර්ගය දුක්ඛ නිරෝධගාමිණී පටිපදාවයි. මෙලෙස සසර දුකත්, දුක්ඛ සමුදයත්, දුක්ඛ නිරෝධයත්, දුක්ඛ නිරෝධගාමිණී පටිපදාවත් දේශනාකිරීමට බුදුවරු ලොව පහළ වෙනවා.
බුදුදහමේ මුඛ්‍ය අරමුණ වන්නේ දුක පිළිබඳව පුද්ගලයා දැනුවත් කරමින් දුකින් අතමුදා නිවන් මග පෙන්වා දීමය.
බුදුදහම මගින් පුද්ගලයාට ඉගැන්වූයේ විරාගී දර්ශනයක්, මෙවන් ධර්ම මාර්ගයක දේශපාලනය වැනි සමාජයීය වූ ලෞකික වූ විෂයයක් පිළිබඳව අවධානයක් තිබෙන්නට පුළුවන් ද? එවන් පසුබිමක් තුළ බෞද්ධ දේශපාලනය කියා දෙයක් අර්ථවත් කළ හැකි බව කියූවිට බැලූ බැල්මට කෙනෙකු තුළ විමතියක් උපදින්න පුළුවන්. ඒක පුදුමයක් නෙමෙයි. බුදුසමය, සමාජ දේශපාලන විරෝධී ධර්මයක් බව ඇතැම් විචාරකයින් පැවැසීම වැරැදියි.
කුමන සමාජයක වූවත් මිනිසුන්ගේ ගතිගුණ, අභිරුචිය, රසිකත්වය ,ආකල්ප, සිතුම් පැතුම් ආදියත් ඔවුන්ගේ විවිධ චර්යා රටාවනුත් කෙරෙහි බලපාන විවිධ සාධක අතුරින් ආර්ථිකයත් දේශපාලනයත් වැදගත්ම තැනක් ගන්නවා. එය මිනිසාගේ චින්තනය හා හැසිරීම හැඩගස්වනවා. එම යථාර්ථයට අනුව කුමන සාමයික චින්තනයක් වුවත් කුමන සංස්කෘතික සම්ප්‍රදායක් වුවත් ආර්ථිකය හා දේශපාලනය නැතිව උපත ලබන්නෙ නැහැ. භාරතය තුළ බුදුදහම පහළ වූයේත් ටිකෙන් ටික සිදු වූ භාරතීය, ආර්ථික හා දේශපාලන වෙනස්කම්වලට සාපේක්‍ෂවයි. එම වෙනස්කම අනුව සංවිධානය වූ සමාජයේ අපේක්‍ෂාවන්ට අනුකූලවයි.
බුදුරදුන් දේශනා කළ ධර්මය, පුළුල් සමාජ අවධානයකින් යුක්තයි. සමාජ සන්දර්භයක් තුළ බෞද්ධ ප්‍රතිපදා මාර්ගය අර්ථවත් වන බව පැහැදිලි කරුණක්. එම ප්‍රතිපදාවෙහි පිහිටා ඒ අනුව යන පුද්ගලයාට අනිවාර්යයෙන්ම දේශපාලනය පිළිබඳ ප්‍රමාණවත් අවධානයකින් ක්‍රියාකිරීමට සිදුවෙනවා. ත්‍රිවිධ ශික්‍ෂාව තුළ මෙම ලක්ෂණය දැකගත හැකි වෙනවා. එනිසා සමාජයක වැදගත්ම සාධකයවන, ආර්ථිකය හා දේශපාලනය මගහැර යාමක් බුදුසමය තුළ සිදුවී ඇති බව කියන්න බැහැ. බෞද්ධ මූලාශ්‍ර අනුව බෝසත් කුමරු, උපන්නේ රජ පවුලකයි. හැදී වැඩුනේ දේශපාලන, ක්‍රියාකාරකම්, හා නිබඳවම බැඳී සිටි දෙමාපියන්, ඥාතීන් අමාත්‍යවරුන් ආදීන්ගෙන් සැදුම් ලත් පරිසරයක් තුළයි.
සුද්ධෝදන රජු තම පුත් කුමරු රාජ්‍ය පාලනය උදෙසා අවශ්‍ය වූ හැකියාවන්ගෙන් යුතු අයෙකු බවට පත්කරන්නට ක්‍රියා කළ බවත් සඳහන් වෙනවා. කුමරු උපන් අවස්ථාවේ විද්වත් බමුණො ගිහිගෙයි සිටියහොත් සක්විති රජ වන බවටත් රජකම හැර පැවිදි වුවහොත් සම්මා සම්බුදු වන බවටත් අනාවැකි පළ කළා. සම්බුද්ධත්වයට පත් වූ පසුවත් උන්වහන්සේ හැඳින්වූයේ දේශපාලන අර්ථයක් ඇති “රාජා” යනුවෙන්. “ධම්මරාජා” “බුදුරජාණන් වහන්සේ” යන්නත් ඊට නිදසුන් වෙනවා. අගසව් සැරියුත් හිමියන් “ධම්ම සේනාපති” වුනා. ස්වකීය ධර්ම දේශනාවල නොයෙක්විට රජය, රාජ්‍යත්වය, රාජ්‍ය පාලනය ආදී විවිධ කරුණු මුල්වෙලා තිබුණා. ප්‍රමාණවත් අවධානයකින් බුදුරදුන් කරුණු දක්වා ඇති බව පැහැදිලිව පෙනෙනවා. රාජ්‍යයේ ප්‍රභවය, වගකීම මෙහෙවර, රාජ්‍ය බලයේ පිරිහීම, දියුණුව ආදී විවිධ කරුණූ පැහැදිලි කෙරෙන බුද්ධ දේශනා රාශියක් පවතිනවා.
ඒ සියල්ල ඇසුරෙන් බෞද්ධ දේශපාලන දර්ශනය උපදිනවා.මානව සමාජය තුළ රජෙකු පළමුව ඇතිවීමත්, රාජ්‍යතාන්ත්‍රික ක්‍රියා සන්තතිය ඇතිවීමත් මුල්කරගෙන සාම්ප්‍රදායික භාරතයෙහි පිළිගත් සාමයික මත කිහිපයක් දක්නට ලැබෙනවා. “සංග්‍රාම අවශ්‍යතාවයක් මුල්කොටගෙන රජය හා රාජ්‍යත්වය උපන් බවට එබඳු එක් අදහසක්. එම අදහස සඳහන් වෙන්නේ බ්‍රාහ්මණ ප්‍රවාද කථාවකයි.
සුර අසුර දෙපක්ෂය අතර ඇතිවූ යුද්ධයේදී, අසුරයන් පැරැදවීමට සුරයන්ට යුද නායකයෙක් අවශ්‍ය වුණා. ඔවුන් ඒ සඳහා යුද්ධයට අධිපති සෝම දෙවියන් තෝරා ගත්තා. සෝමගේ නායකත්වය රාජ්‍ය නායකත්වය බවට පත්වුනේ සුර පක්ෂයේ ජයග්‍රහණයත් සමගයි. උපනිශද් යුගයේදී මෙය තවදුරටත් වර්ධනය වී ඊට ඊශ්වර නිර්මාණය හා යාගය පිළිබඳ සංකල්පයද එකතු වුණා. ඒ අනුව සුරයෝ ප්‍රජාපතිට යාගයක් කළා. ප්‍රජාපති සිය පුත් ඉන්ද්‍ර රජු බවට පත් කළා. සුරයන් යුද වැදුනේ එම නායකත්වය යටතේ බව ඉන් පැහැදිලි වෙනවා. මෙය රාජ්‍යයේ සම්භවය පිළිබඳ එක් මතයක්. අනෙක් මතය නම් වෛදික බ්‍රාහ්මණයන්ගේ වර්ණ ධර්ම හා ස්වධර්ම න්‍යායයි. එම මතය අනුව බ්‍රහ්මයන් චතුර්වරණයක් කොට ප්‍රජාව මැවු බවයි ඍග්වේදයේ එය සඳහන් කළේ.
මහා බ්‍රහ්මයාගේ මුඛයෙන් බ්‍රාහ්මණයොත්, දෙබාහුවෙන් ක්‍ෂත්‍රියෝත්, දෙකලවාවෙන් වෛශ්‍යයෙනුත් දෙපතුලෙන් ශුද්‍රයෝත් උපන් බවයි. ඒ ඒ වර්ණයට හිමි කාර්යය කොටස්ද තිබුණා. ප්‍රජා රක්‍ෂණය උරුම කරගත්තේ දෙබාහුවෙන් උපන් ක්‍ෂත්‍රියෝයි.
දේශපාලන කටයුතු පිළිබඳ වගකීම් දැරූ ක්‍ෂත්‍රියයන්ගේ පරම යුතුකම වූයේ සංග්‍රාමයයි. රාජසුය යාගයෙන් ක්‍ෂත්‍රීයන්ගේ රාජාභිෂේකය තහවුරු වනබවත් රාජ්‍ය බලය සුරක්‍ෂිත වන බවත් විශ්වාස කළා. රජු දෙවියෙකු හෝ දෙවියන්ගේම අයෙක් බවත් පිළිගැනීමක් වුනා. සමස්තයක් වශයෙන් රාජ්‍යයේ සම්භවය පිළිබඳ පූර්වෝක්ත භාරතීය අදහස් එක් අතෙකින් සංග්‍රාමයත් අනෙක් අතින් දෙවියන් හා යාගයත් සමග බැඳී පැවතුණා. එලෙසම රාජ්‍ය බලය පිය පුතු පරපුරින් ලැබිය යුත්තක් බව පෙරදිග ලෝකය පිළිගෙන තිබුණා. බුද්ධ කාලයේ රාජාණ්ඩු ක්‍රමය තුළ මෙම අදහස පැවතුණා. රාජ්‍යයේ උපත පිළිබඳව භාරතයේ පැවැතුණ අදහස් තුන් ආකාරයකට ගොනුකළ හැකියි.
සමකාලීනව වර්ණ ධර්මයක් තුළින් මතුවූ කුලවාදය, බුදුදහම පිළිගන්නෙ නැහැ. බුදුදහම නිරන්තරයෙන් අගය කරන්නේ මානව හැකියාවයි.

ප්‍රඥාව නො වැඩීම

ලැබූ මනුෂ්‍ය ජීවිතය සැනසිලිමත් කරගැනීමට කායික නිරෝගී බව මෙන්ම මානසික නිරෝගීබවද අත්‍යවශ්‍යය. කය නිරෝගීව පවත්වා ගැනීමද එහි මනා වැඩීම පිළිබඳව ද දැනුවත්ව සිටීම අවශ්‍යය. එසේ නොමැතිවීමෙන් නුසුදුසු ආහාරපානාදියෙන් ඔබගේ ශරීර පැවැත්මට මහත්සේ බාධා පැමිණෙනු ඇත. එමෙන්ම, ශරීරය කොපමණ නිරෝගීව පැවතුණත්, මනස නිරෝගීව පවත්වා ගැනීම අත්‍යවශ්‍යය. මනස නිරෝගීව පවත්වා ගැනීමට නම් ප්‍රඥාව හෙවත් කුසල අකුසල ධර්මයන් කෙරේ මනා අවබෝධය අවශ්‍යය. එමෙන්ම අකුසලයෙන් සිත වළක්වා සිත කුසලයෙහි පිහිටවිය යුතුය. එනම් කුසල ධර්මයන්හි සිත පුරුදු පුහුණු කළ යුතුය.
සැවැත්නුවර ජේතවනාරාමයේ විසූ ලාලුදායි නම් තෙරුන් වහන්සේ තැනට සුදුසු ආකාරයෙන් නුවණ මෙහෙයවා කථාවට හෝ දෙසීමට සමතෙක් නොවීය. මේ නිසා මංගල කරුණු පැවසිය යුතු තැන අවමඟුල් කරුණුත්, අවමංගල්‍යයක පැවසිය යුතු සිත නිවන අදහස් වෙනුවට මංගල කරුණුත් පවසති. මෙම තෙරුන්ගේ මෙම චර්යාව බොහෝ දෙනාට ඉතාමත් අප්‍රසන්න විය. ලාලුදායි තෙරුන්ගේ මෙම අඤාණකම පිළිබඳව, අනෙකුත් තෙරුන් වහන්සේලා විසින් භාග්‍යවතුන් වහන්සේට දන්වන ලදුව, භාග්‍යවතුන් වහන්සේ විසින් ඊට කරුණු දේශනා කරන ලදී. මෙහිදී අගනා වචනයක් අඩංගුව ඇත. එනම් “අප්පස්සුත” නම් වචනයයි. මින් අදහස් කරන්නේ දත යුතු හෝ ඉගෙන ගත යුතු ධර්ම බොහෝ සෙයින් හෝ මද වශයෙන් හෝ නොඅසන ලද නොහදාරන ලද, සහ පුරුදු නොකරන ලද නම් වූ අදහසයි. “අප්පස්සුතෝ” වන්නේ එවැනි පුද්ගලයායි. මෙම අදහස් පැවිදි ජීවිතයට ගළපා බැලුවොත් මෙවැනි අදහසකි. එනම් පැවිදි වුවද අවශ්‍ය වු මූලික ධර්ම විනය කොටස්වත් නොහදාරන ලද පුරුදු පුහුණු නොකරන ලද භික්‍ෂුවක්ය යන අදහසයි. මෙම ලිපියෙන් ආමන්ත්‍රණය කරන්නේ තරුණ දරුවන්ද මුල්කොට ගෙන ගෘහස්ථ ජීවිත ගත කරන පිරිසකට නිසා පැවිදි උතුමන් ගැන සඳහන් කරන්නේ නැත.
සුදුසු වයසේ පටන් බාහිර අධ්‍යාපනයක් ගුණ නුවණ හෙවත් දහම් අධ්‍යාපනයත් සුදුසු පරිදි හා අවශ්‍ය පරිදි නොලැබීම මෙහි “අල්පාශ්‍රැත “ ලෙස සඳහන් කළ හැකිය. යම් දරුවෙක් හෝ වැඩිහිටියෙක් වුවද එවැනි ඉගෙනීමක් ගුණ නැණ දියුණු කර නොගැනීමට හෙතුව කුමක්ද? කරුණු කිහිපයක් ගළපා ඉදිරිපත් කළ හැකිය. එනම් අලසකම, අසතිය හෙවත් සිහිය නොපැවැත්වීම, කරුණු හොඳ නරක ලෙසද පරීක්‍ෂා නොකිරීම, දුසිල්වත් හෙවත් පවට බරවීම, අසංවරය, සහ සසරෙහි පුරුදු කරන ලද පුණ්‍ය කර්මවල හීන බවයි. මෙවැනි පුද්ගලයෙකුගේ ගති ස්වභාවය කුමක්ද? මෙම පුද්ගලයා කම්මැලි හෙවත් අලසයෙක් නිසා ඉගෙනීමක් බව නිසිසේ නොකොට “ කකා බිබී” නිදාගනිමින්, නිකරුනේ වාඩිවී සිටිමින්ද හිස්වචන කතා කරමින්ද කාලය ගත කිරීමට පුරුදු වීමයි. යම් දරුවන් පාසල් ගියද අලස වීම නිසා අධ්‍යාපනය නිසිලෙස සම්පූර්ණ නොකර ගනිති. අර්ථවත් දෙයක නොයෙදන මෙම පුද්ගලයා මෙම නිසා ගුණ නුවණින්ද හීන වෙයි. එනමුත් කය වැඩෙමින් පවතී. මෙවිට සිදුවන්නේ කුමක්ද? “ හිස් ඔළුවක් සහ විශාල උදරයක්” ඇති හා එය පෝෂණය කරන “ නිකම්ම නිකම්” මනුෂ්‍යයෙක් වීම පමණක්ය.
සමහර අයට බාහිර පිළිගත් අධ්‍යාපනයක් තිබේ. එනමුත්, ගුණ නුවණෙහි අඩු බවක් හෝ හීන බවක් දක්නට ඇත. වර්තමානයෙහි බොහෝම දරුවන් නිසි බාහිර අධ්‍යාපනයක් ලබන බව පෙනේ. මෙම අධ්‍යාපනය ලැබීමේදි තරඟකාරී බවකට පත්ව සිටින බවද පෙනේ. දරුවෝ උස් මහත්වී එක්තරා මට්ටමකට එනම් වෘත්තීමය අවස්ථාවකට ගැළපෙන පරිදි ඉගෙනීමද නිමාකර ගනිති. එය ප්‍රශංසා කළ යුත්තකි. “උපන් නිසා ජීවත්වෙනවාට වඩා” ලද උතුම් වූ මනුෂ්‍ය ජීවිතයෙන් තමාට යහපතක් වී අනුන්ටත් යහපතක්ම සිදුකිරීම උතුම්ම මනුෂ්‍ය ගුණාංගයකි. සම්මා සම්බුදු, මහරහත් උතුමෝ සහ බෝධිසත්ව චරිත එයට කදිම නිදසුන්ය. මේ නිසා ගුණ නුවණ හෙවත් ප්‍රඥාව වඩා ගැනීම අත්‍යවශ්‍යම කරුණකි.
ගුණ නුවණ දියුණු කරගැනීම නම් බෞද්ධ දර්ශනයේ පෙන්වා දෙන ආකාරයෙන් ප්‍රඥාව අනුක්‍රමයෙන් දියුණුකර ගැනීමටයි. එම සම්‍යක් ප්‍රඥාව දියුණූ කරගැනීමට නම් ක්‍රම තුනක් අනුපිළිවෙළින් පෙන්වා දී තිබේ.
1. සූත්‍රමය පඤ්ඤා
2. චින්තාමය පඤ්ඤා
3. භාවනාමය පඤ්ඤා යනුවෙනි

සුතමය ප්‍රඥාව දියුණු කරගැනීමේදි අල්පශ්‍රැත ස්වභාවයෙන් මිදි ක්‍රමයෙන් බහුශ්‍රැත අයෙක් බවට පත්විය හැකිය. විද්‍යා, කලා, වාණිජ ආදි කුමන ක්ෂේත්‍රයක වුවද ඇසීම, සාකච්ඡා කිරීම, දැරීම, පුරුදු කිරීම ඔස්සේ විෂය දැනුම දියුණු කර ගැනීමය. එසේ ඇතිකරගත් දැනුම ඔස්සේ කරුණු පිළිබඳව සිතීම නුවණින් පරික්‍ෂා කිරීම, අවශ්‍ය දේ ධාරණය කරගෙන අනවශ්‍ය දේ බැහැර කිරීම නම් චින්තාමය ප්‍රඥාවයි. භාවනාමය ප්‍රඥා නම් නිවැරැදි කරුණු ඔස්සේ සිත පුරුදු කිරීමයි. තමා ලද නිවරැදි දැනුම වඩා ප්‍රගුණ කරමින් ඵලය ලබමින් එහි හැසිරීමයි.
මෙය පරමාර්ථ ධර්මයට ගළපා ගනිමු. “එහිපස්සික” ලෙසද පර්යාප්ති ශාසනය ලෙසද දක්වා ඇති පරිදි ධර්මය ශ්‍රවණය කිරීමයි. සාකච්ඡා කිරීමයි. ත්‍රිපිටක ධර්මය ඉගෙනීමයි. දින්තාමය පඤ්ඤා නම් උගත් හා සම්මා සතියෙන් යුතුව අවබෝධ කරගත් වීතරාග, වීතදෝස, වීත මෝහ දහම හා මාර්ගය නැවත නැවතත් මෙනෙහි කිරීමයි. භාවනාමය පඤ්ඤා නම් මුල, මැද, අග, පිරිසුදු, එනම් බ්‍රහ්මචරියාවට එක්කරන ධර්මය සිතෙහි පුරුදු පුහුණු කිරීමයි. කුසල චිත්තය දියුණු කිරීමය. සිත මුළුමනින්ම රාග, දෝස, මෝහ ආදි කෙලෙස්වලින් බැහැරකර ගනිමින් ලබන්නා වූ ප්‍රඥාවයි. කෙළවර ආර්ය අෂ්ඨාංගික මාර්ගය අනුගමනය කිරීමෙන් චතුරාර්ය සත්‍ය ධර්මය කෙරේ ඇතිකර ගන්නා වු අවබෝධයයි.
මෙසේ නිසි බාහිර අධ්‍යාපනයක් හා ගුණ නුවණ දියුණූ නොකරගත් පුද්ගලයා මස් මාංශ පමණක් වැඩුණු හිස් අයෙකි. එමෙන්ම බාහිර අධ්‍යාපනයක් තිබුණද අධ්‍යාත්මික දියුණුවක් නැතිනම් ඔහු හෝ ඇයද ධර්මයට අනුව යහපත් අයෙක් නොවේ. එවැනි අයගේද කයත් මොළයත් වැඩුනද “මනස” වැඩී නැත. එම නිසා රාග, ලෝභ, ද්වේශ ගිනිදැල්වලින් ඔවුන් ඇවිළෙනු ඇත. තරහවෙන්, ඊර්ෂ්‍යාවෙන් ගුණමකු කමෙන්, වෛරයෙන් බැඳෙනු ඇත. අතෘප්තිකර ආශාවන්ගෙන් යුතුව තෘෂ්ණාවට දාසයෙක් වනු ඇත. ඔවුහු මං මුළා වූවෝය. නොවැඩුණු මනසක් නිසා ඇතිවන ආදීනව ධම්මපදයෙන් මෙම ගාථාවෙන් පැහැදිලිවෙයි.
“නත්ථි රාග සමෝ අග්ගී
නත්ථි දෝස සමෝ ගහෝ
නත්ථි මෝහ සමං ජාලං
නත්ථි තණ්හා නදී සමා“

උතුම් වූ ධර්මාවබෝධයම ව්වා!
තෙරුවන් සරණයි

කපුටන්, බල්ලන් වන්නට කැමති නම් නිදන් හාරන්න

පුරාවිද්‍යා දෙපාර්තමේනතුව ප්‍රකාශ කරන පරිදි පසුගිය වර්ෂයේ නිදන් හෑරීම් 1063 ක් වාර්තා වී ඇත.මෙහි උච්චතම සිද්දිය වාර්තා වූයේ මහ විලච්චිය පළාතෙනි. එහි වැව ඉස්මත්තේ බැකෝ යන්ත්‍ර යොදා වලවල් හෑරීමේ නිරත වූ විශේෂ කාර්ය බලකා සෙබලු කණ්ඩායමක් ගම්මුන්ගේ අත්අඩංගුවට පත් වීමෙන් නිදන් හොරකම් ගැන රජයට ද ඇඟිල්ල දික් වූයේය.ඉපැරණි ශිෂ්ඨාරයක් හිමි රටක මෙවැනි තත්වයක් උදාවීම බෙහෙවින්ම ඛේදනීය කරුණකි.
ලංකාවේ බෙහෝ පළාත්වල පැරණි රාජධානි පිහිටා තිබූ බව ඉතිහාසයේ සදහන්ය. බස්නාහිර තෙත් කලාපයේ පවා වනදුර්ග අතර මෙවැනි බලකොටු පිහිටා තිබී ඇත. නමුත් වැඩි වශයෙන්ම පැරණි රජරට නොහොත් උතුරේද රුහුණේද නැගෙනහිර පළාතේද මෙවැනි රාජධානි දීර්ඝකාලයක් පැවතී ඇත. එසේම මේ පළාත්වල සෑම වැවක් ආසන්නයේද පැරණි සිද්ධස්ථානයක් පිහිටා තිබුණු තරමටම බුද්ධ ශාසනය ලංකාව පුරාම ව්‍යාප්ත වී තිබුණි.මෙවැනි ස්ථාන  දාගැබ් පෙති පිළිම මෙන්ම බොහෝ පුරාවස්තු වලින් ගහනය. සතුරු ආක්‍රමණ වලින් පසුව මේ ස්ථාන නටබුන් වී ගිය පසු ගඩොල් ස්ථර ඇරුණු කොට ඉතිරිව ඇත්තේ ගලින් නෙලන ලද විවිධාකාරයේ පුරා වස්තු පමණකි. ඉතිහාසයේ සඳහන් පරිදි මේ ස්ථානයන් සඟසතු කොට පූජා කරන අවස්ථාවලදී ධාතු නිදානයන් කර ඇත.
ඇතැම් සැදැහැවත් රජවරු මෙන්ම උපාසක ඇත්තන්ද තමන්ගේ ශ්‍රද්ධාව නිසා තමන් පරිභෝග කළ නොයෙකුත් වස්තූන් ඒවායේ තැන්පත් කළහ. එම නිසා ධාතු නිදාන හා චෛත්‍ය නිදාන යනුවෙන් සඳහන්කළ ක්‍රියාවලියක් තිබූ බව අප පිළි ගත යුතුය. එසේම සිංහල වෛද්‍යවරු තමන් සතුව පාරම්පරිකව පැවත ආ වෙදකම මෙන්ම ප්‍රතිකාර ක්‍රමයන්ද ඇතුලත් පුස්කොළ පොත් මෙන්ම හෙණරාජ තෛලය වැනි බලගතු තෙල් වර්ග යම් යම් ස්ථානයන්හි තැන්පත් කරන ලද්දේ සතුරන් ගෙන් ආරක්ෂා කර ගැනීම පිනිසය. ඒවා හැඳින්වෙන්නේ බෙහෙත් නිදාන ලෙසිනි.
මීට අමතරව රජරට වැව් ශිෂ්ඨාචාරය පණ ගැන්වූ රජවරු මධ්‍යම ප්‍රමාණයේ වැව් මෙන්ම මහා වැව්  නඩත්තු කරනු පිණිස වැව් අසබඩ වස්තුව නිදහන් කළ බව පැවසෙයි. මේවා හැඳින්වෙන්නේ වැව් නිදහන් වශයෙනි. මේ සියල්ලටම වඩා වෙනස් නිදන් වර්ගය වස්තු නිදන් යනුවෙන් හැඳින්වේ. රජවරුන් අමාත්‍යවරුන් සතුරු ආක්‍රමණයන් අවස්ථාවලදි පලා යන විට හෝ සැඟවී ගත් විට ඔවුන්ගේ වස්තුව නිදන් කිරීම මෙහිදී සිදුවෙයි. අපවත් වී වදාල පූජ්‍ය කිරිඇල්ලේ ඥාණවිමල නාහිමියන් මේ පිළිබඳව වෙසෙසි විමර්ශණයක් කර ඇති බව උන් වහණ්සේ ගේ ලිපි ලේඛන විමසා බැලීමෙන් පෙනේ.
අනුරාධපුර රාජධානිය වැඩි වර්ධනය වන විට බුද්ධ ශාසනය ට වෙසෙසි රාජ්‍ය අනුග්‍රහයක් හිමි විය.රජවරු ශ්‍රද්ධා භත්තියෙන් විහාරස්ථාන වලට ඉඩකඩම් පූජා කළහ. ඉන් පසු ඒ දීමනාවන් ගැන ජනතාවට දැන ගත හැකිවන පරිදි අත්තාණි කණු පිහිටවූහ. ඇතැම් විට ගල් පර්වත වල සටහන් කර තැබූහ. පසු කාලයේදී බහුලව තඹ සන්නස් මගින් මේ ඉඩ කඩම් පූජා කළහ. මෙවැනි ගල් ටැම්වල දීමනා පාඨ වලින් පසු කපුටා බල්ලා වටාපත ආදී සළකුණු ද කොටා තිබේ. මෙයින් අදහස් කරන්නේ යම්කිසිවෙකු මේ ප්‍රදේශ වල තිබෙන පෙති පිළිම චෛත්‍ය ආදියට හානියක් කරන්නේ නම් එම පුද්ගලයා මරණින් පසු තිරිසන් ආත්ම වල උප්පත්තිය ලබන බවයි. කවුඩු බලු වෙත්වා යන පාඨය මෙහිදී අවධානය කර ඇත. මෙලෙස ශාසනික පරිභෝගික වස්තූන්ට හානි කිරීම බරපතල පාපකර්මයක් ලෙසට සලකන ලදී. වැව් ආශ්‍රිතවද යම් යම් වස්තූන් නිදහන් කරන ලද්දේ වැවේ නඩත්තුව පිණිසයි.  කෙනෙකු එම වස්තුව ගොඩ ගෙන පුද්ගල පරිභෝජනයට ගනී නම් එයද බරපතල පාපකර්මයක් ලෙසට සලකන ලදී. බෞද්ධ ධර්ම දේශනා වල හරය මැනවින් තේරුම් කර ගෙන සිටි පැරණි ජනතාව පවට බිය ඇති පිරිසක් වූහ. එසේම රාජ නීතියටද බිය වූහ. මේ නිසා ඔවුන් අතින් මේ පූජා වස්තු වලට කිසිම හානියක් සිදු නොවූහ. සතුරු ආක්‍රමණ වලදී දාගැබ් බිඳ වස්තුව පැහැර ගත් අවස්ථා රාශියක් වාර්තා වී ඇත. එහිදී වුවද සාමූහිකව එම ස්ථාන ආරක්ෂා කර ගන්නට සටන් වැදුණු ජනතාව ගැන ඉතිහාසයේ ඇත.
වස්තු තණ්හාවෙන් සහ රාජ්‍ය ලෝභයෙන් සිටි සිරිනාග නම් බ්‍රාහ්මණ පුත්‍රයෙකු ගැන සද්ධර්මාලංකාර කතා වස්තුවේ තිබේ. ඔහු රජ්‍යත්වය හා බලය ලබා ගැනීම පිණිස අනුරාධපුරයේ දකුණු දාගැබ බිඳවන්නට උත්සාහ කලේය.මේ දාගැබ ආරක්ෂා කරන හෙල්ලොලිය නම් ගමේ ප්‍රධානියා ද අවනත කරගන්නට උත්සාහ කලේය. නමුත් පවට තිබෙන බිය නිසා ඔහු ඊට අකමැති විය. මේ ප්‍රධානියා ඇතුලු පිරිස උල හිඳුවා මරණ ලද අතර සිරි නාග වෙනත් දාගැබ් රාශියක් බිඳවා  වස්තුව එක් රැස් කොට ජන බලය ද ගෙන රජ්‍ය පැහැර ගත්තේය. නමුත් ඔහුට යහතින් සිටින්ට නොහැකි විය. අවසානයේ දී තමන් කළ අකුසල කර්මයන් පලදී තමන් විසින් තමන්ගේම   බඩ පලා ගෙන නිරයට ගියේය. එහි විපාකයන් සද්ධර්මාලංකාරයේ සඳහන්ව ඇත්තේ මෙසේය. යම් කිසිවෙක් බුදුන්ගේ උතුම් වූ ශාරීරික ධාතු පිහිටුවා බැඳි දාගැබක් බින්දේ නම් එසේ වූ පව් කළ තැනැත්තන් පාපිෂ්ඨ වූ සිරි නාගයන් පරිද්දෙන් ම අවීචි මහා නරකයේ උපදන්නේමය. තවද යම් කිසි වෙක් බුද්ධ රූපවල අත් පා කන්නසා සිඳ බිඳ නැසූයේ නම් එවැනියන් එපරිද්දෙන්ම මෙම ජාතියෙහි බොහෝ දුක් විඳ නිරයේම උපදනේය. තවද යම් කිසි කෙනෙකුන් සංඝයා වහණ්සේට කිසියම් අපරාධයක් කලාහු වී නම් එසේවූ සත්වයෝ නරක තිර්‍ය්‍යයක් ප්‍රේත අසුර කාය යන සතර අපායෙහිම මහ දුක් විඳිනාහුමය.
වර්තමානයේදී මේ සියලු පාපකර්මයන් වලට පෙළඹිමක් සමාජය තුල ඇතිවී තිබේ.කොටි ත්‍රස්වාදීන් හෝ යුරෝපීය යටත් විජිතවාදීන් නොකළ තරමේ විනාශයක් රටේ පූජ්‍ය ස්ථාන වල සිදු වේ. ආරක්ෂක අංශවලින් පවා මෙවැනි අපරාධ වලට රුකුල් දීමක් සිදු වන බව වාර්තා වේ. මෙම තත්වය පාලනය කිරීමට පත් කර ඇති පුරාවිද්‍යා දෙපාරත්මේන්තුව කටයුතු කරන ආකාරය දෙස බලන කල්හි අඩුපාඩු රාශියක් ම දක්නට ලැබෙන බව කිව යුතුය. පළවැනි කාරණය නම් පැරණි නිදන් වස්තු පිළිබඳ ඔවුනට තිබෙන අනවබෝධයයි. උදාහරණයක් වශයෙන් යම්කිසි ගල් පර්වතයක් බෝර ගසා එහි තුල තිබෙන යම්කිසි වස්තුවක් ගැනීමට උත්සාහ කළ අවස්ථාවක දෙපාර්තමේන්තුව නිරුත්තර වේ. ඊට හේතුව සළකුණු සෙල්ලිපි හෝ භෞතික ඉඳිකිරීම් නොමැත්තේ නම් එම ස්ථානය පුරවිද්‍යා ස්ථානයක් ලෙසට ඔවුන් නොපිළිගැනීමයි. නමුත් නවීන ස්කෑන් යන්ත්‍ර පවා ගෙන්වා ගෙන නිදන් කොල්ලකරුවන් ඒ ස්ථාන වල තිබෙන භෞතික වස්තූන් නිරීක්ෂණය කරති. එවැනි ස්ථාන රාශියක් ගැනම දිවයින සෑම තැනින්ම වාර්තා වී ඇත. මේ ස්ථාන ගැන තිබෙන නොතේරුම් කම නිසා ඇතැම් විට නිළධාරීන් විසින්ම මේ ගල් පර්වතයන්හි ගල් වලවල් දැමීමට අවසර පත්‍ර නිකුත් කරති.නිදන්හාරන්නන් මේ මගින් නිදන්හෑරීමට නීතිමය ආවරණයක් ලබා ගනිති.
යටත් විජිත සමයේ පිහිටුවා ලූ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තවමත් ක්‍රියා කරන්නේ එම මානසිකත්වය අනුවයි. ඔවුන් ගේ බෙහෝ වාර්තාවන් හෝ සෙල්ලිපි සංග්‍රහයන් සිංහල භාෂාවෙන් පළවන්නේ නැත. මේ නිසා සෙල් ලිපි ගැන හෝ වෙනත් පුරා වස්තු ගැන සාමාන්‍ය ජනතාවට අවබොධයක් නැත. මේ නිසා ටැම් ලිපි රාශියක්ම නිදන් හාරන්නන්ගේ යකුලු පහරට ලක් වී ඇත. කෙසේ වෙතත් පාසල් අවදියේ සිටම මේ පූජනීය වස්තු ගැන වැටහීමක් ලබා දිය යුතුය. පවට බිය ඇති කීරීම මෙන්ම අදාල නීති නිසියාකාරව ක්‍රියාකිරීමද අත්‍යවශ්‍ය කරුණකි. පොළව යට තිබෙන නිධි රජය සතු වුවත් ඒවා දේශපාලකයිනට ලබා ගැනීමට අයිතියක් නැත. මේ පුරා වස්තු විනාශයට ප්‍රධාන හේතුව රජය සිය කාර්යභාරය මග හැර සිටීම යයි කිය යුතුය. ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යංශයට දක්වන කුඩම්මාගේ සැලකිල්ලෙන්ම ඒ බැවි සනාථ වේ.

- මතුගම සෙනෙවිරුවන්.

පුනාරාගමනය කළයුතු ‘‘ආගමනය’’

June 4, 2012 at 12:03 am | Lanka C News.

ශ‍්‍රී බුද්ධ වර්ෂයෙන් වසර 2320ට පෙර එනම් බුද්ධ වර්ෂ 236 වැන්නේදී ඒ අසිරිමත් වූද අර්ථාන්විත වූද ඓතිහාසිකවූද ආගමනය මහින්දාගමනය ලෙසින් මිස්සක පව්වෙන් සනිටුහන් විය. ඓතිහාසිකවූත් පෞඩවූත් සභ්‍යවූත්  ජාතියක අනන්‍යතාවය මේ විශ්වය මත තහවුරු කළ ඒ ශ්‍රේෂ්ඨ ආගමනයේ අරමුණු ඉලක්ක හා වත්මන් සිංහල දේශයේත් සිංහල ජාතියේත් සම්බුද්ධ ශාසනයේත්  දිශානතිය යෝනිසෝ මනසිකාරයෙන් මෙනෙහි කොට මහින්දාගමනයෙන් ලද අනන්‍යතාවයන්   පුනාරාගමනය කිරීමට අවැසිම හා සුදුසුම කාලයයි මේ. මන්ද සියලූම භෞතික අයිතීන් මෙන්ම ගුණ ණැන ආදියද සෑම ආකාරයකින්ම පිරිහෙමින් පවතී. බුදු දහම විනාශ කරන්නට අද පෙරට ඇවිත් ඇත්තේ බහුතර වශයෙන්ම උප්පැන්නයට බෞද්ධ වූවන්ය. එනිසාම තත්ත්වය භායනක වී ඇත. මිත‍්‍ර වේශය හා සතුරු වේශය වෙන් කොට දැකීම පවා අපහසු වී ඇත. මෙවන් සියලූ තත්වයන් මත නියමයෙන් හා අනියමෙන් විනාශ වී යන්නේ ලෝකයේ තවත් බෞද්ධ රටකි. ලෝකයේ එකම සිංහල රටයි. මේ සියල්ල මොන අන්දමින් හඩ ගා කිව්වත් බීරි අලින්ට වීනා වයන්නාක් මෙන් වී ඇත. හුදු දේශපාලනික බලය රැක ගැනීම හා ඒ වටා ගොනු වී ඇති අන්තේවාසිකයන්ගේ සුඛ විහරණය සඳහා පමණක් කටයුතු කරන වගකිව යුත්තන් හා බලධාරීන් ටිකෙන් ටික රට උගසට තබ සියදිවි නසාගන්නේ පහන් දැල්ලට ගිජු වූ පළගැටියෙකු එයට පැන දිවි තොරකර ගන්නාක් මෙනි.  ගිලෙන්න යන මිනිහාට පිදුරු ගහත් ගහක් මෙන් පෙනෙන්නා සේ දවසක උන් ඔක්කෝටම තම තමන් සෘජුව හා වක‍්‍රව කළ විනාශයන් විඳවන්නට වේවි. හැබයි ඒ වන විට පෙරහැර ගිය මගක්වත්  දකින්නට නොලැබෙනු ඇත.
ශ‍්‍රී ලංකාද්වීපය හුදෙක්ම ලෝකයේ පවතින සුවදායි මනරම් දිවයිනක් පමණක් නොව එය තුන් ලොවෙහි ම ශේෂ්ඨතම පුද්ගලයා වන සම්මා සම්බුදුන්ගේ පහස ලද ශ්‍රේෂ්ඨ පුණ්‍ය භූමියකි. එසේ පහස ලැබ නැණ ගුණයෙන් පිරි සත් පුරුෂ දනන් ද දස දෙස ජීවත් වූ භූමියකි. වර්තමානය එසේ නොවුනද අතීතය පිළිබඳව සාභිමානයෙන් යුතුව කතා කිරීමට හැකි පෞඪ ඉතිහාසයක් අපට හිමි වී තිබුණි. එම ඉතිහාසය පෞඪ වූයේ බුදු දහමේ පූර්ණ ආභාෂයෙන් පෝෂණය ලැබ නැණ ගුණයෙන් පිරිපුන් සත් දනන් විසින් වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම සභ්‍ය වූ සංස්කෘතියක් ගොඩ නැගීම නිසාවෙනි. එම ශ්‍රේෂ්ඨ ක‍්‍රියාදාමයන් වදන් හරඹයන් ඔස්සේ අප ප‍්‍රකාශ කළ ද සැබවින් ම එය අති උත්කර්ෂවත් ක‍්‍රියාදාමයකි. විශේෂයෙන් ම රටක්, ජාතියක් ලෙස ලෝකය ම විශ්ව ගම්මානයක් වූ අද දවසේදී ද උදම් අනන්නේ එම ප්‍රෙෘඪ ඉතිහාසයේ සෙවනැලි පහස විඳිමිනි. අද මෙම සැබෑව සියල්ලට අමතක වෙමින් පවතී එනිසා බුදුදහමට නිසි තැන හා හිමිතැන නොදෙමින් සර්වාගමික පූට්ටුවක් සමාජගත කරමින් එහි වාසියද අන්‍යාගමිකයන්ට ලබා දෙමින් කටයුතු කරති. මහින්දාගමනයෙන් ලද ශ්‍රේෂ්ඨත්වයේ අක් මුල් සිඳලන භයානකම මායාව බවට මේ වන විට මිත්‍යාදෘෂ්ටික සර්වාගමික සංකල්පය පත්ව ඇත.
භෞතික මානයන් ඔස්සේ සංවර්ධිතයැයි පවසන ලෝකය තුළදී අප අපේ අනන්‍යතාව ලෝකයා හමුවේ අදටත් පිළිබිඹු කරවන්නේ පෙර දැක්වූ පරිදි බුදු සමය ආශ‍්‍රයෙන් ගොඩ නැගුණ උදාර සංස්කෘතියේ මහඟු දායාදයන්ගෙනි. අද වන විට නවීන ආකාරයට සරිලන අන්දමින් වෙනස් වී ඇතත් එදා මහින්දාගමනයෙන් ලද මහ`ගු ඵලයක් වූ අටලොස් කුලයන්ගේ සංවර්ධනීය අවස්ථාවක් විද්‍යසාන වනවා මිස සිදුව ඇති පරිවර්ථනයක් නොමැත. මේ බව සියුම්ව පරික්‍ෂාකර බැලීමෙන් මනාව තහවුරු වන්නකි. ‘‘ බලත්ත කුලය ල උයන්පල් කුලයල කුලිංග කුලයල මල්කරු කුලයල කපු කුලයල ඔසද වටු කුලයල සත් කරු කුලයල සරස් කුලයල පෙරහැර කුලයල තුනා කුලයල කුඹුල් කුලයල අරක්කැමි කුලයල කුඹුරු කුලයල ලෝකුරු කුලයල සුවණ්නකාර කුලයල වඩු කුලයල සිත්තරු කුලයල දෙව් කුලය ’’ මේ එම අටලොස් කුලයන්ය. මෙයින් අපට සපථ වන්නේ බුදු දහමින් තොරව මේ දෙරණේ කිසිදු දෙයක් නිම වී නොමැති බවයි. මහින්දාගමනයෙන් එලෙසින් තහවරු වූ නව දේශයක ආරම්භය අද වන විට උගසට තබා මුල අමතක කර දමා ඇත. එය එසේ නොවේ නම් දඹුල්ල පුදබිම අලූත්ම බිල්ල වී මුස්ලිම් අන්තවාදීන් අතින් දුෂණය නොවන්නට ඉඩ තිබිණ.
වර්තමානය වන විට ලහි ලහියේ ම ශ‍්‍රී ලාංකික ජාතියක් ගොඩ නැගීමට වෙර දරන විධායකයේ සිට පහළට දිවෙන කවුරුත් පාහේ තරයේ සිහියේ තබාගත යුතු එක් සත්‍යයක් ඇත. ඔබ මේ විනාශකර දමන්නට යත්න දරන්නේ මෙරට තුළ උදාර සංස්කෘතියක්  නිර්මාණය කිරීමේ පෙර ගමන්කරු වූ  අනුබුදු  මහා මහින්ද මහ රහතන් වහන්සේගේ උදාර ආගමනයේ ඓතිහාසිකත්වය හා යතාර්ථය බවයි. එය එසේ සිහියේ තබාගැනීමේ වැදගත්කම වන්නේ අතීතය නොතකා නැගී සිටීමට වෙර දරන්නවුන්ට ලෝක ධර්මය තුළදී යළි යළි පසුබෑම්වලට ලක් වන්නට සිදුවන බව අතීතය විසින් ම තහවුරු කර දී ඇති නිසාවෙනි. මෙරට සිංහල බෞද්ධ පදනම හේතුවෙන් රටක් ජාතියක් ලෙස අතීතයේදී ද අප සෑම විටම ආරක්ෂා කර දී ඇත. අනාගතයේදී ද එය එසේ ම සිදුවන බවට අමුතුවෙන් පැවසිය යුතු නොවන්නේය. මන්ද මෙරට සිංහල බෞද්ධ පදනම පිළිගැනීම නිවටකමක් සේ සලකන පරාදීන මිනිසුන්ට කීමට ඇත්තේ ඔවුන්ගේ ස්වාධීන බව හැකිනම් ඇමරිකාවට ගොස් පෙන්වන බවයි. මන්ද අපේ රටේ තරම් ලෝකයේ වෙන කොහේදී නම් අන්‍ය ජාතිකයන්ට අන්‍යාගමිකයන්ට මේ තරම් සහනශීලිත්වයක් ලැබේද? මේ තරම් දියුණු යුගයක, මේ තරම් ප‍්‍රජාතන්ත‍්‍රවාදය , මේ තරම් මානව හිමිකම් කතාකරන යුගයක පවා අන් කිසිදු තැනක නොමැති නිදසහක් අන් අයට මෙහි ඇත. සමස්තයක් ලෙස සුළුතරය විසින් නිරන්තරයෙන් මහජාතියට හානි පැමුණුවා මිස සුළුතරයට හානී සිදු වී නොමැත. ඒ සභ්‍යත්වය නිරායාසයෙන් බෞද්ධයාට හිමිව ඇත්තේ බුදු දහමෙන් ලැබෙන ශික්‍ෂණයත් සමගය. නමුත් අද  සිදුවෙන සැබෑව නම් බෞද්ධයාගේ ශික්‍ෂණයට අභියෝග කරමින් දිනෙන් දින එය හෑල්ලූ කිරීමයි. පිටස්තරයන් සේම අපේම යැයි කියන්නවුන්ද එසේ හෑල්ලූ කරති.
ලෝක පොලිස්කාරයා ලෙස සලකන ඇමරිකාව ලෝකය දෙස බලන්නේ බහු ජාතික, බහු ආගමික අනුකම්පාවකින් නොව, ඒ බව ප‍්‍රබලව ම තහවුරු වන එක් අවස්ථාවක් පමණක් අපි මෙහිදී දක්වමු. ඇමරිකානු ජනාධිපතිවරයා එරට ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දෙන විට දිවුරුම් දෙන්නේ බයිබලය මත දිවුරාය. එයට අප අපහාස නොකරමු. ඔවුනට හැකිනම් ඔවුන්ගේ අනන්‍යතාව එසේ ප‍්‍රකට කරන්නට, අපිට එහිදී ඇති තහනම කුමක් ද? සිංහල බෞද්ධයෝ එහි වාසය කරන පමණින් එහි සිංහල බෞද්ධ රාජ්‍යයක් කිසිසේත් නිර්මාණය කළ නොහැක. අප එහි යන්නේ නම් අකමැත්තෙන් වුව ද ඔවුන්ගේ මූලික අයිතියට ගරු කරමින් වාසය කළ යුතුය. එහි පමණක් නොව ලෝකයේ කුමන රටක වුව ද තත්ත්වය එසේය. එනිසා මෙරට තව දුරටත් සිංහල බෞද්ධ රාජ්‍යයක් මිසක් ශ‍්‍රී ලාංකික ජාතියක් නොවන බව අපගේ දැඩි හැඟීමයි. එය එසේයෑයි පිළිගැනීමට අකමැති බටහිරගැති නූතන ක‍්‍රිස්තියානිවාදයට උඩ ගෙඩි දෙන පිරිස් ඉතිහාසය අමු අමුවේ ම විකෘති කරමින් මහින්දාගමනයෙන් ගොඩ නැගුණ මෙරට අදීන ඉතිහාසය නොපිළි ගැනීම පමණක් නොව මෙරටට සුඛාගමනයක් වූ මහින්දාගමනය ද බලහත්කාරකමක් ලෙස හූවා දැක්වීමට යත්න දරති. මෙය කෙටිකාලීන වූ ක‍්‍රියාදාමයක් නොව ඉතා සියුම් ලෙස දශක ගණනාවක් තිස්සේ දරන ලද නින්දිත උත්සාහයක ප‍්‍රතිඵලයකි. මෙරටින් සිංහල බෞද්ධකම සමූලඝාතනය කිරීමට නොයෙක් වේශයන්ගෙන් උත්සාහ කළවුන් එය එසේ කිරීමට අපහසු වූ තැන ඒ සඳහා නොයෙක් සියුම් කූට උපක‍්‍රමයන් භාවිතා කරති. මහා වෘක්ෂයක අතු කොළ සිඳ එය වනසාලිය නොහැකි තැනදී එහි මුදුන් මූල සොයා එය නසාලීමට දරන නින්දිත උත්සාහයක් ලෙස ද මෙය අවිවාදයෙන් ම සැලකිය හැක.
මෙම සංස්කෘතික විනාශයේ විද්‍යමාන මූලාරම්භය සනිටුහන් වනුයේ 16 වැනි සියවසයේ පටන්ය. එනම් ක‍්‍රි.ව. 1505 දී ප‍්‍රථම වතාවට පෘතුගීසීන් ලංකාවට පැමිණීමෙනි. ඔවුන් එසේ පැමිණෙද්දී රෝමානු කතෝලික ආගම ද රැගෙන ආවේය. ලක්දිව ජනයා වෙනත් ආගමකට බලහත්කාරයෙන්, වරප‍්‍රසාද ලබාදීමෙන්, සදාචාර විරෝධීව හැරවීම ආරම්භ කරන ලද්දේ පෘතුගීසින් විසිනි. බෞද්ධ ජනතාවගේ ආගමික නිදහස උදුරාගත් පළමු සතුරු කොටස ලෙස පරංගින් ඉතිහාසයේ ලියෑවී ඇත. ඔවුන් මෙරටට පැමිණි විලාසය හා සිදු කරන ලද ආගමික විනාශය පිළිබඳව කරුණු දක්වන බෞද්ධ තොරතුරු පරීක්ෂක සභාව ඒ අඳුරු යුගයේ ආරම්භය මෙසේ සනිටුහන් කර ඇත. (1956) ”ඔවුන් ඉන්දියන් සාගරයේ විද්‍යමාන වූයේ වෙළෙන්දන්, ධර්ම දුතයන්, මූදු කොල්ලකරුවන් යන ත‍්‍රිත්ව ස්වරූපයෙනි. ඔවුන්ට නියමව තිබුණේ ආගම දේශනාවෙන් පටන්ගන්නටත් එයින් වැඩක් සිදු නොවූ තැන කඩුවෙන් තීන්දුව දෙන්නටත්ය”.
පරංගි පාලනය අවසන් වූ 1658 න් පසුව නැවත පරංගි බලය මෙරට ස්ථාපිත කිරීමේ ආගමික වැදගත්කම තේරුම්ගත් පරංගි පූජකයන් විසින් ලියන ලද කේරොස්ගේ ෆර්නා  ඕ ඩික්කේරෝස්ගේ (The Temporal & Spiritïl ntestfo Ceylon) ග‍්‍රන්ථයේ පෘතුගීසි පාලකයන් ආගම පැතිරවීමටත් බලය පැතිරවීමටත් සිංහල බෞද්ධයන්ට කළ අති අමානුෂික වදහිංසා විස්තර කොට ඇත.
අනතුරුව එම විනාශය අඛණ්ඩව දියත් කිරීමේ කාර්ය භාරය ක‍්‍රි.ව. 1638 දී භාරගන්නා ලදී.  ඕලන්දයෝ තම ආගම ලෙස රෙපරමාදු ක‍්‍රිස්තියානිය රාජ්‍ය ආගම ලෙසින් ඉදිරිපත් කළ ආකාරය පැහැදිලිය. නමුත් මොවුන් සිංහල බෞද්ධයන් විෂයෙහි දැක්වූ ආකල්පය එතරම්ම සාහසික නොවූහ. පරංගීන්ගේ සතුරන් ලෙස මෙහි පැමිණි ඔවුන් සිංහල ජාතිය සමග මිතුරු බවක් පෙන්වමින් තම අරමුණු සාක්ෂාත්කරණයට යොමු වී ඇත. ලන්දේසීන් බුදු දහම කෙරෙහි දක්වන ලද ආකල්පය සහාසික නොවූවක් බවට ජනප‍්‍රිය මතයයි. මෙරටදී ඔවුන්ට ගැටුමක් ඇති වූයේ සිංහල බෞද්ධයන් සමග නොව සිංහල කතෝලිකයන් සමගය. කෙසේ වෙතත් ලන්දේසීන් දේශීය ජනයා රෙපරමාදු ක‍්‍රිස්තියානියට හැරවීමේදී තම අදහස කියා පෑවේ ආඥවකිනි. ඒ බව 1956 දී මුද්‍රණය වූ බෞද්ධ තොරතුරු පරීක්ෂක සභා වාර්තාවෙන් පැහැදිළිය.
”බෞතීස්ම ලැබීමෙන් රෙපරමාදු සාමාජිකයෙකු බවට නොපැමිණි කිසිම ස්වදේශිකයෙකුට මුදලිකමක් ලැබිය නොහැකි බවත් ආණ්ඩුව යටතේ තනතුරක් දැරීමට හෝ ගොවිතැන් කිරීමට හෝ ඉඩක් නොලැබෙන බවයි”.
අනතුරුව බි‍්‍රතාන්‍ය ජාතිකයන් විසින් ආරම්භ කරන ලද මහා විනාශයේ අනිටු විපාකයන් අද ද නොයෙක් වේෂයන්ගෙන් ක‍්‍රියාත්මක වෙති. 1815 දී මුළු රට ම නතු කරගත් ඉංග‍්‍රීසීන්ට සිංහල බෞද්ධයන්ගේ එක් කොන්දේසියකට යටත් නොවී සිටින්නට සිදු විය. ඒ අන් කිසිවක් නොව විහාරස්ථාන, දේවාල සහිත බුද්ධ ශාසනය රැකීමයි. සිංහල භාෂාවෙන් ලියා අත්සන් කරන ලද එම ගිවිසුමේ වගන්තිය මෙසේ දැක්වේ.
”මෙකී රටවල මුලාදෑනී සහ වැසියනුත් අදහන්නාවූ බුද්ධ ශාසනය ද දේවාගම ද කඩ කළ නොහැකිව පවත්වණ්ඩ  ඕනෑවා සහ එහි කටයුතු ද සංඝයා ද විහාරස්ථානය ද දේවාල ද පවත්වණ්ඩ සහ ආරක්ෂා කරණ්ඩ  ඕනෑය”.
ඔවුන් එසේ පොරොන්දු වුව ද එය හුදෙක් ම රැවටීමක් පමණි. ඒ බව පසක් වන්නේ ඒ ගිවිසුමෙන් පසුව ඔවුන්ගේ ක‍්‍රියා කලාපය හේතුවෙනි. වරෙක මෙම ගිවිසුමෙන් බුදු දහමට ආරක්ෂාව සපයා ඇති නිසා උරණ වූ එංගලන්ත පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු වූ විලියම් විල්බර් ෆෝස් නමැත්තා එවකට මෙරට ආණ්ඩුකාරයා වූ රොබට් බ‍්‍රවුන්රිග් වෙත දොස් පවරා ලිපියක් පවා එවා ඇත. මේ ආදියෙන් බුදු දහමෙන් පෝෂණය ලද මෙරට මහා සංස්කෘතිය අකා මකා දැමීමට අවශ්‍ය සෑම පියවරක් ම ගත්හ. මහා වෘක්ෂයක් විනාශ කර දැමීම අපහසු බව දැනගත් ඔවුන් එය තුළට රිංගා එහි අරටුව සිඳලීමට අවශ්‍ය කටයුතු යෙදීය. එවිට ඒ මහා වෘක්ෂය සිඳලීමට පහසු කරවන්නේය. මෙම ”කඳ පණු” න්‍යාය උපයෝගි කරගනිමින් මෙරටින් මෙම මහා සංස්කෘතිය විනාශකර දැමීමට කටයුතු සැලැස්වූ ඔවුන්ගේ ගමනේදී ඊට අභියෝගයක් වූ ගිහි පැවිදි බෞද්ධයෝ දහස් ගණනකගේ ජීවිත අහිමි කළේය. 1817-18 නිදහස් අරගල සටනේදී 55,000 කට අධික පිරිසක් දිවිපුදා ඇත. නිරායුද කුඩාපොල හිමියන් ම්ලේච්ඡු ලෙස වෙඩි තබා ඝාතනය කළේය. 1948 පමණවිට විහාරස්ථාන මංකොල්ලකෑම් කර විනාශකර කඩාබිඳ දැමීම බි‍්‍රතාන්‍ය සොල්දාදුවන්ගේ විනෝදාංශයක් බවට පත්වූහ. මේ නිසා බි‍්‍රතාන්‍ය පාලනය සමය සැබවින් ම බුදු සසුනේත්, ජාතියේත්, බෞද්ධයන්ගේත් අන්ධකාර සමය විය.
පෙර කී සියල්ල දක්වන ලද්දේ ඉතා සැකවිණි. එමෙන් ම අන් කවරෙකුටවත් පහර ගැසීමක් හෝ අපහසුතාවයට පත් කිරීමක් ද නොව එය හුදෙක් ම ඉතිහාසය විසින් සපථ කරනු ලබන සත්‍යය වූ සිදුවීම්ය. එනිසා මේ පිළිබඳව කවුරුන් හෝ කලබල විය යුතු නැතැයි අපගේ හැඟීමයි. ඇරත් සමහරුන්ට ඇත්ත තිත්ත බව අපි දනිමු. නමුත් කාගේත් හිතසුව පිණිස වූ ඇත්ත තිත්ත නොවන බව ද සිහි තබාගත යුතුය. නමුත් ලක්දිව සභ්‍ය වූ දේශයක් කිරීම උදෙසා ඉවහල් වූ මහින්දාගමනයේදී එවන් අඳුරු, දුක්ඛිත, අතීතයක් කිසි ම තැනක සඳහන්ව නොමැත. එසේ සඳහන්ව ඇත්නම් එය ඔප්පුකර පෙන්වා දෙන ලෙස ද අපි අභියෝග කරන්නෙමු. මහින්දාගමනය සමග විධිමත් ලෙස මෙරටට බුදුදහම හඳුන්වා දීමෙන් එය සැබවින් ම සුඛාගමනයක් මිසක් කිසි ම විට කළු පැල්ලම් සහිත කාරණයකට ඉවහල් නොවීය. මහින්දාගමනයත් සමග මෙරට ජනයා ලද ශික්ෂණය නිසා ම නොයෙක් ජාතීන්ට මෙරටට විත් රිසි සේ කටයුතු කිරීමට ඉඩ දීමට තරම් මෙරට ජනයා ඉවසිලිමත් වූ බව ද අන්තවාදීන්ට සිහි කළ යුතුය. මූලික පදනම වූ බුදු දහම රැුගෙන මිහිඳු මිහියන් මෙරටට වැඩම කළ අවස්ථාවේ සිට මේ දක්වා කිසි ම අවස්ථාවක බලහත්කාරයෙන් කිසියම් පිරිසක් තම ආගමට හරවා ගැනීම සඳහා වද හිංසා කළ බවක් කිසි තැනක සඳහන් වේද? එහෙත් මුස්ලිම් ආගම ජිහාර් යුද්ධය මගින් ද, කතෝලික භක්තිය කුරුස යුද්ධය මගින් ද කරගෙන ගියේ අන්‍යාගමිකයන් කඩුවේ බලයෙන් තම ආගමට හරවා ගැනීමයි. 16 වැනි සියවසේදී මෙලෙස ඉතා උපක‍්‍රමශීලීව ජපන් ජාතිකයන් ක‍්‍රිස්තියානි ආගමට හරවා ජපන් පාලකයන්ට විරුද්ධව උසි ගැන්වීමේ ප‍්‍රතිඵලය වූයේ එසේ රජුට විරුද්ධව උසි ගැන්වූ අහිංසක ජපන් ජාතිකයන් 20000 ක් පමණ මරුමුවට පත් කිරීමයි. පරංගීන්ගේ මෙම කපටිකම් තේරුම් ගත් ජපාන පාලකයන් ජපානයෙන් පරංගින් නෙරපා දැමුවා පමණක් නොව අන් කිසිදු ජාතිකයෙක් ජපානයට ඇතුල් වීම ද තහනම් කරන ලදී. මෙරට පාලකයන් එවැන්නක් නොකළ ගොංකම එවැනි ඉතිහාසඥයන්ගෙන් පැහැදිලි වේ.
නමුත් මෙහිදී අපට විමතියට කරුණ නම් ඇතැම් බටහිර ගැති නූතන ක‍්‍රිස්තියානිවාදීන්ට ආවඩන පිරිස් මහින්දාගමනය ද පරංගි, ලන්දේසී, ඉංග‍්‍රීසි ආදින් විසින් කරන ලද තිරශ්චීන ආක‍්‍රමණයට සමාන කොට දැක්වීමට යත්න දැරීමයි. එයින් නොනැවතුණ ඔවුන්ට අනුව යන අපූර්ව මන්දබුද්ධික ඉතිහාසඥයන් පිරිසක් මෑතක සිට බිහිව ඇත. ඔවුන් පවසන්නේ මෙරට ශ‍්‍රී විභූතිය විදහා දක්වන ජීවමාන ප‍්‍රතිමූර්තිය බඳු අනුරාධපුර, පොළොන්නරුව ආදි යුගයන්ට පෙර සිට මෙරට කතෝලික දහම තිබූ බවටයි. එයින් ඔවුන් උත්සාහ කරන්නේ මෙරට තුළදී සිය ආගමික ආධිපත්‍යයක් ගොඩනගා ගැනීමටය. ඒ සඳහා ඔවුන්ට අයත්ව ඇත්තේ එක ම සාධකයක් පමණි. එනම් අනුරාධපුර යුගයේ තිබී හමු වී ඇති නෙස්ටෝරියන් කුරිසියක් කෙටූ කළු ගල් පුවරුවකි. එම ගල් පුවරුව දැනට අනුරාධපුර කෞතුකාගාරයේ තැන්පත්කොට ඇත. හුදෙක් එම සාක්ෂිය පදනම් කරගෙන නිර්මාණය කිරීමට යත්න දරන ඉතිහාසය තුළින් ගම්‍ය වන්නේ මෑතකාලීන ලාංකික ඉතිහාසය මැනවින් හා ගැඹුරින් අධ්‍යයනය කර නොතිබීමයි. එවන් එක් සාධකයක් පමණක් හමුවීමේ සම්බන්ධය විමසීමේ දී ක‍්‍රි.ව. 3 – 4 සියවස්වල සිට ලංකාව සහ රෝමය අතර ඉතා දියුණු වෙළඳාමක් පැවති බව ඒ සම්බන්ධව සොයා ගෙන ඇති ”විදේශීය මූලාශ‍්‍ර” සමග ලංකා විශ්වවිද්‍යාලයීය ලංකා ඉතිහාසය පර්යේෂණ ග‍්‍රන්ථයේ විස්තරව දක්වා ඇත. මෝසම් සුළං ආශ‍්‍රයෙන්, රුවල් නැව්වලින් මෙරටට පැමිණි රෝම, ග‍්‍රීක වෙළඳුන් පමණක් නොව අරාබි වෙළෙඳුන් ද තම ආපසු ගමන සඳහා මෝසම් සුළං එන තුරු මෙරට රැඳී සිටි කාලවලදී ඔවුන්ගේ ආරක්ෂාව සැලසීමත් ඔවුන්ට ආගම ඇදහීමට ඉඩදීමට තරම් මෙරට සිංහල බෞද්ධ පාලකයෝ කාරුණික වූහ. මෙම කුරුසිය එවැනි සම්බන්ධයක් ලෙස ගත හැකිය. ඉහතින් අප පැවසූ කරුණ සනාථ කිරීම සඳහා 12 වන සියවසෙහි මහ පැරකුම්බා රජු විසින් නෛනතිවූ හි පිහිටුවා ඇති ශිලා ලිපිය සාධකයකි. එහි විදේශයෙන් පැමිණි මුහුදුබත් වූ හෝ අකරතැබ්බයට පත් වූ නැවියන් හටත් ඔවුන්ගේ අඹුදරුවන්ටත් ආරක්ෂාව සැලසීම විශේෂයෙන් සඳහන්ය.
තර්කානුකූලව විමසා බලන්නේ නම් ශ‍්‍රී ලංකාවෙන් මැද පෙරදිග හෝ වෙනත් රටකට රැකියාවකට යන අයෙකු විසින් ධර්ම චක‍්‍රයක් හෝ වෙනත් බෞද්ධ සංකේතයක් එරටට රැගෙන ගොස් එහි බුදු දහම ව්‍යාප්තව තිබූ බවට පවසන්නාක් මෙනි. මෙනිසා මහා අභියෝග මධ්‍යයෙහි අදටත් ශේෂව පවතින එම ශිෂ්ට සම්පන්න සංස්කෘතිය හා බුදු දහම විනාශ කිරීමට සෑම ප‍්‍රයත්නයක් ම දරන මූලධර්මවාදී පිරිස් ලක්දිව සෑම අතින් ම සභ්‍ය වූ දේශයක් කිරීමට ප‍්‍රමුඛ ඓතිහාසික සන්ධිස්ථානය වූ මහින්දාගමනයට ද නිගා කරමින් මහින්දාගමනයෙන් ලද දායාදයන් භුක්ති විඳීම හාසයට කරුණකි. එමෙන්ම ලාංකීය සමාජයේ මුල සිටන් අග දක්වා සෑම දෙයක්ම ප‍්‍රතිනිර්මාණය වූයේ බුදු දහමේ ආභාෂයෙනි. අද වන විට මේ රටේ ඉතිහාසඥයන් වී ඇත්තේ කළු සුද්දන්ය. අවාසනවක මහත ඉතිහාසය චිත‍්‍රපටවලට නගන්නේද ඔවුන්මය. ඔවුන් ඇත්ත දනිති. එහෙත් කිසිදු විටෙක ඒ ඇත්තට ඉස්මතුවීමට ඉඩ නොතබන්නට තරම් කුහකයන් වී ඇත. ඔවුන් සැබවින්ම ආදරය කරන්නේ රට හෝ ජාතියට නොව බටහිර සංස්කෘතියටයි. උප්පතියෙන් හිමි වූ ලබ්දිය ගතානුගතිකව බදාගනිමින් එහි නැති සුජාතභාවයක් ඇති කර ගැනීමට ප‍්‍රවාද හා බොරු ඉතිහාසයන් ප‍්‍රතිනිර්මාණය කරමින් බෞද්ධ සංස්කෘතියට හා බෞද්ධ පදනමට නිර්දය ලෙස පහර දෙති. මේ සියලූ තත්ත්වයන් මත කළගුණ දන්නාවූ ජාතියක් නම් මේ රට ජාතිය නගා සිටුවන්නට වියැකී යන මහින්දාගමනයේ යතාර්ථයන් නැවත ආවර්ජනය කරමින් බෞද්ධ පදනමට මේ රටේ හිමිතැන ස්ථාපිත කරන්නට මිහිඳු ගමනේ පුනරාගමනය අරමුණු හා ඉලක්ක ඔස්සේ යළි ආගමනය කළ යුතුමය. එසේ නොවුනහොත් අයාලයේ ගිය ජාතියක් ජම්යක් නැති සමාජයක් බිහිව වල්මත් වූ තිරශ්චීනයන් පිරිසකගේ පාරාදීසයක් බවට පත්වනු  නොඅනුමානය.
- පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි.

බුද්ධ බල මහිමය

ජවහර්ලාල් නේරුතුමා එදා කළ විචක්‍ෂණ විවරණයක්‌


වෙනදා මෙන්ම අදත් පෞරුෂත්වය වනාහි සැලකිය යුතු බලයකි. මනුෂ්‍ය වර්ගයාගේ පරම්පරාව කෙරෙහි නොනැසෙන බලවත් හැඟීමෙක්‌ ඇතිකළ බුදුරජාණන් වහන්සේ පිළිබඳව කල්පනා කිරීමේදී අදත් මනුෂ්‍යයන් තුළ ඇතිවන්නේ ජීවාත්මක වූ ක්‍රියාකාරිත්ත්වයෙන් ස්‌ඵාන්දනය වන හැඟීමකි. එහෙයින් මේ මනුෂ්‍යයා අද්භූත පුද්ගලයකු විය යුතුයිs. බාක්‌ නමැති විචාරකයා කියන්නාක්‌ මෙන් "බුදුරජාණන් වහන්සේ වනාහි මියුරු තේජවන්ත ස්‌වභාවයේ හා නිවී සැනසීමේ පරිසමාප්ත ප්‍රතිමූර්තියෙකි.

බුද්ධ ගෞරවය දක්‌වන වර්තමාන භාරතීය ජනනායකයන් අතුරෙන් ප්‍රථමයා වශයෙන් සැලකිය යුත්තේ ගුරු දේව රවින්ද්‍රනාථ තාගෝර්තුමායි. එතුමාගේ අභාවයෙන් පසු එම ස්‌ථානයෙහි තැබිය හැක්‌කේ රාෂ්ට්‍රපති ජවහර්ලාල් නේරු තුමායි. පසුගියදා බන්ධනාගාරයෙහි සිටි කාලයෙහි භාරතීය ඉතිහාසය අළලා එතුමා විසින් "භාරතයේ සොයා ගැනීම" නමැති අගනා විශාල පුස්‌තකයක්‌ සම්පාදනය කරන ලදී. එහි පරිච්ඡේද කිහිපයක බුදුරජාණන් වහන්සේ හා උන්වහන්සේගේ ධර්මයද, එම ධර්මයෙන් සාමාන්‍යයෙන් සකල ලෝකයාට හා විශේෂයෙන් භාරතීය සමාජයට සිදුවූ සේවයද විචක්‍ෂණ විචාර බුද්ධියෙන් විවරණය කොට දක්‌වා තිබේ. එයින් ඉතා වැදගත් කොටස්‌ කිහිපයක අනුවාදය මෙහි පහත පළවේ. ලොවැ වර්තමාන ශ්‍රේෂ්ඨ පුද්ගලයන් අතර මුල් තැනක්‌ ගන්නා අග්‍රාමාත්‍ය නේරුතුමාගේ සිත තුළ බුද්ධාගමය සම්බන්ධයෙන් ඇතිව පවත්නා හැඟීම් වල තත්ත්වය දැන ගැනීම ලංකා වාසී සියලු බෞද්ධයන්ට කිsහිප ආකාරයෙකින් ප්‍රයෝජනවත්ය.

බුද්ධ චරිත කතාව 
මාගේ බිළිඳු වියෙහිදී පවා බුද්ධ චරිත කතාව කෙරෙහි මාගේ සිත තදින් ඇදී ගියේය. දුෂ්කර ක්‍රියාවෙන් වේදනා විඳීමෙන් හා ආධ්‍යාත්මික සටන් බොහෝ ගණනකින් පසුව, බුද්ධත්වයකරා ක්‍රමයෙන් ප්‍රබෝධ වූ තරුණ සිද්ධාර්ථ කුමරයාණන් කෙරෙහි ආකර්ෂණ බලයකින් මෙන් මම ඇදී ගියෙමි. එඩ්වින් ආර්නෝල්ඩ් කවියාගේ "ආසියා ලෝකය" නමැති කාව්‍යය අභිරුචියෙන් මාසිත දිනාගත් පොත් කිහිපයෙන් එකක්‌ විය. පසු කාලයෙහි මාගේ ජන්මභූමි ප්‍රදේශයෙහි විශාල වශයෙන් ඇවිදීමට ප්‍රස්‌ථාව සැලසුණුවිට බුද්ධ චරිතය හා සම්බන්ධ බොහෝ ස්‌ථානයන් දැකීම සඳහා යැමට මම විශේෂයෙන් ප්‍රිය කෙළෙමි. ඇතැම් විට ඒ සඳහා බොහෝ දුර ගමන් කිරීමටද සිදුවිය. මේ ශුද්ධ ස්‌ථාන වලින් වැඩිහරියක්‌ පිsහිටා තිබෙන්නේ මාගේ ජන්මභූමියෙහි හා ඒ අවටෙහිය. නේපාල සීමාවේ ? මෙහි උන්වහන්සේ උපන් සේක. උන්වහන්සේ සැරිසැරූ සේක. මේ බිහාරයේ වන ගයාහි ශ්‍රී මහා බෝධින් වහන්සේගේ සෙවනෙහි වැඩ සිටිමින් උන්වහන්සේ සර්වඥතා ඥනය ලැබූ සේක. 

බෞද්ධ සිද්ධස්‌ථාන 
බෞද්ධ ධර්මය ජීවමාන ආගමක්‌ වශයෙන් බලපවත්වන දේශයන් කරා ගිය ප්‍රස්‌ථාවන්හිදී මම විහාරස්‌ථානයන් හා සංඝාරාමයන් බැලීමට ගියෙමි. එහිදී භික්‍ෂූන් වහන්සේලා හා ගිහියන් හමුව ඔවුන් සමග සාකච්ඡා කිරීමෙන් බුද්ධ ධර්මය හේතුකොටගෙන, එරට ජනතාව යට ලැබී තිබෙන ප්‍රයෝජනය අවබෝධකර ගැනීමට උත්සාහ කළෙමි.

එය ඒ ජනතාව කෙරෙහි බලපැවැත් වූයේ කෙසේද, ඔවුන්ගේ සිත්වලද මුහුණු වලද එයින් ඇතිවූ විශේෂ ලක්‍ෂණය කුමක්‌ද, වර්තමාන ජීවිතය සම්බන්ධයෙන් ඔවුන්ගේ පැවැත්ම කෙසේද, යන මේ ප්‍රශ්නයන් පිළිබඳව දැනගැනීමට මාතුළ ආශාවක්‌ විය. මා අප්‍රිය කරන බොහෝ දේ මට එහිදී දක්‌නට ලැබිණි. සුචරිත මාර්ගයක්‌ පෙන්වා දෙන, නිදහස්‌ බුද්ධියට ගෝචරවන බුද්ධ ධර්මය අලංකාර වචන මාලාවෙන්ද අධික පූජා විධිවලින්ද න්‍යාය, තක_, දර්ශනාදී මතභේදයෙන් පමණක්‌ නොව ඉන්ද්‍රජාලම් වලින් පවා ආවරණයව පවතී. එය බුදුරජාණන් වහන්සේගේ බලාපොරොත්තුවට විරුද්ධව සිදුවී තිබෙන්නකි. එමෙන් බුදුරජාණන් වහන්සේගේ අවවාදයන්ට විරුද්ධව බෞද්ධයෝ උන්වහන්සේ දෙවි බවට පත්කළහ. එහෙයින් විහාරස්‌ථානයන්හිද අන්‍ය ස්‌ථානයන්හිද දක්‌නට ලැබුණු විශාල බුද්ධ ප්‍රතිමාවන් දෙස නෙත් හෙළත්ම, මේ සම්බන්ධයෙන් බුදුන් වහන්සේ කුමක්‌ සිතත් දැයි මා සිතෙහි සැකයෙක්‌ ඇතිවිණි. 

ශාන්ත බුද්ධ පුත්‍රයෝ 
එහෙත් මා ප්‍රිය කරන බොහෝ දේද මට දක්‌නට ලැබිණි. ඇතැම් විහාරස්‌ථානයන්හිද ඒ හා සම්බන්ධ වූ පරිවෙණස්‌ථානයන්හිද පැවැතියේ ඉගෙනීම හා භාවනාව පිළිබඳ අත්‍යවශ්‍ය සාමයික පරිසරයෙකි. බොහෝ භික්‍ෂූන් වහන්සේලාගේ මුහුණුවල විද්‍යමාන වූයේ සාමය හා සැනසිල්ල හැඟවීමේ පෙනීමෙකි. එය මා මෘදුවූ මහාත්ම ලීලාවෙකින් හා ලෞකික කම්කටුල්ලෙන් වෙන්වූ නිදහස්‌ සැහැල්ලු හැසිරීමකින් ඔප්නැගී තිබිණි. මේ සියල්ල වර්තමාන ජීවිතය හා ගැලපේද නැතහොත් මෙය එයින් හුදෙක්‌ වෙන්වීමක්‌ පමණක්‌ද යන හැඟීමක්‌ ඇතිවෙයි. 

බුද්ධ ප්‍රතිමාව 
ශ්‍රද්ධා ප්‍රේමයෙන් මෙහෙයවන ලද අපමණ අත් වලින් ගලින් හෝ කිරිගරුඬයෙන් හෝ රන් රිදී තඹ පිත්තලින් හෝ නෙළා දක්‌වා තිබෙන බුද්ධ ප්‍රතිමූර්තිය වනාහි භාරතීයය චින්තන කලාවේ සම්පූර්ණ ආත්මය නැතහොත් එහි එක්‌ වැදගත් ජීවමාන කොටසක්‌ ලක්‍ෂණානුසාරයෙන් පෙන්වීමෙකි. මොලොව සටනින් එතෙර වූ තණ්‌හාවෙන් විනිර්මුක්‌ත, වීතරාගී, ශාන්තදාන්ත අකම්ප්‍ය බැලීමෙන් යුතුව පද්මාසනයෙහි වැඩ හිඳින උන්වහන්සේගේ රුව අපට ළඟාවිය නොහැකි ඉතා ඈතින් විද්‍යමාන වූවකුසේ දිසේ. එහෙත් එදෙසට නැවත නෙත් හෙළනවිට පෙනීයන්නේ අප දන්නා සියලු හැඟීම් වලට වඩා ප්‍රබල වූද කෞතුකවූද හැඟීමෙකින් නොසෙල්වී දිස්‌වන එම මුහුණුවර සජීවකව පවත්නා බවය. උන් වහන්සේගේ දෙඇස්‌ අඩක්‌ පියවී ඇතත්, එයින් නිකුත් වනුයේ ආධ්‍යාත්මික බල වේගයෙකි. සකල ශරීරය යාත්මක ජීවබලයෙකින් පිරී පවතී. කාල පරිච්ඡේදයෝ ගෙවීයෙති. සියල්ල ගැන සලකා බලන විට බුදුරජාණන් වහන්සේ එතරම් ඈත නොවෙතැයි හැඟේ. උන් වහන්සේගේ හඬ අප කණට රහසක්‌ කොඳුරමින්, සටනින් පැන දුවන්නට එපායෑයිද කම්පා නොවන නෙත් හෙළා එයට මුහුණ දියයුතු යෑයිද ජීවිතයාගේ අභිවෘද්ධිය හා සංවර්ධනය පිළිබඳව වඩ වඩා යෝග්‍ය ප්‍රස්‌ථාවන් සදාකල්හිම සොයන්නට යෑයිද කියයි. 

අනුරාධපුර බුද්ධ ප්‍රතිමාව 
ඇතැම් ස්‌ථූප, බිතු සිතුවම් හෝ ප්‍රතිමාවන් දැකීමෙන් මාතුල ආනන්ද ජනක හැඟීමක්‌ පිරීයෙයි. ලක්‌දිව අනුරාධපුරයේ වන සමාධි බුද්ධ ප්‍රතිමාව දැකීමෙන් මා තුළ ඇති වූයේ වර්ණනා කළ නොහැකි හැඟීමෙකි. අවුරුදු බොහෝ ගණනක්‌ තුළ එම ප්‍රතිමාවේ ඡායාරූපයක්‌ මගේ සහාය මිත්‍රයකු සේ මා සමග විය.

බුද්ධ පෞරුෂත්වය 
වෙනදා මෙන්ම අදත් පෞරුෂත්වය වනාහි සැලකිය යුතු බලයකි. මනුෂ්‍ය වර්ගයාගේ පරම්පරාව කෙරෙහි නොනැසෙන බලවත් හැඟීමෙක්‌ ඇතිකළ බුදුරජාණන් වහන්සේ පිළිබඳව කල්පනා කිරීමේදී අදත් මනුෂ්‍යයන් තුළ ඇතිවන්නේ ජීවාත්මක වූ ක්‍රියාකාරිත්ත්වයෙන් ස්‌ඵාන්දනය වන හැඟීමකි. එහෙයින් මේ මනුෂ්‍යයා අද්භූත පුද්ගලයකු විය යුතුයිs. බාක්‌ නමැති විචාරකයා කියන්නාක්‌ මෙන් "බුදුරජාණන් වහන්සේ වනාහි මියුරු තේජවන්ත ස්‌වභාවයේ හා නිවී සැනසීමේ පරිසමාප්ත ප්‍රතිමූර්තියෙකි. දුක්‌විඳින සියලු සතුන් කෙරෙහි අතුල්‍ය අනුකම්පාවෙන් යුතුවූ සාමාන්‍යයෙන් ජීවමාන සියලු සත්ත්වයන් කෙරේ අප්‍රෙම්‍යය මෛත්‍රියෙන් සෙත සැලසූ උන්වහන්සේ සියලු දුෂ්ට ෙච්තනාවෙන් දුරුව සම්පූර්ණ සදාචාර නිදහසින් සැරිසැරූ සේක" එහෙයින් මෙබඳු අත්‍යqත්තම මනුෂ්‍යයෙකු බිහි කිරීමට සමත් මනුෂ්‍ය වර්ගයක හෝ ජාතිය තුළ අධ්‍යාත්මික බලය හා ප්‍රඥව ගැඹුරින් පිරී රක්‍ෂාවරණයව තිබිය යුතුවේ.

බුද්ධ ධර්මය හා භාරතීය මනුෂ්‍ය සමාජය 
ඉන්දියාවේ සමාජ ජීවිතය හැඩගැස්‌වීමෙහි ශතාධික විවිධ පිළිවෙළින් බුද්ධ ධර්මය බල පවත්වා තිබේ. එය නිතැතින් සිදුවිය යුත්තකි. අවුරුදු දහසකට වඩා අධික කාලයක්‌ තුළ එය භාරත වර්ෂයෙහි ව්‍යාප්තව පැවරී තිබුණේ සජීවක ක්‍රියාකාරී ආගමක්‌ වශයෙනි. එහි එය පරිහානියේ ගමන් කළ දික්‌ කාලය තුළද අන්තයේදී එය වෙනත් ආගමක්‌ වශයෙන් බලපැවැත්වීම නතරවූ පසුද එයට අයත් වූ බොහෝ ධර්මයන්ගේ බලය හින්දු ආගමෙහි කොටස්‌ වශයෙන් ජාතික චාරිත්‍ර වාරිත්‍ර හා චින්තන මාර්ගය හැඩගැස්‌වීමෙහි යෙදී ඉතුරුව පැවතියේය. මහ ජනයා විසින් ආගමක්‌ වශයෙන් පිළිපැදීම ප්‍රතික්‌ෂේප කෙළේමුත් බුද්ධ ධර්මය මගින් භාරතීය ජාතිය කෙරෙහි පිහිටවූ බල ලකුණ නොමැකිය හැකි පරිද්දෙන් තහවුරුවී ජාතික සංවර්ධනය සඳහා ඉවහල් වූයේය. ඒ ස්‌ථිරසාර ක්‍රියා කිරීමේ බලය ආගමික විශ්වාසය හෝ දාර්ශනික න්‍යායන් හා සම්බන්ධ නොවීය. අප ජාතිය කෙරේ බල පවත්වා නොමැකෙන ලකුණක්‌ එහි රැඳවූයේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විද්‍යමාන සමාජ සේවය පිළිබඳ සුචරිත මාර්ගය හා ක්‍රියාකාරී ආදර්ශමත් ජීවිත තත්ත්වයයි. 

නව උල්පත 
භාරතීය සමාජ ජීවිතය නමැති සාගරය ස්‌වීය තාවයෙන් පිරුණු විශාල එකක්‌ විය. එහි වන නොයෙක්‌ ජලප්‍රවාහයන්ට සම්පූර්ණයෙන් ක්‍රියාකාරීව රඟ පෑමට පමණ විශාල වූ විවිධත්වයක්‌ එහි වූයේය. එහි සීමාවන්ට පිටතින් සිදුවන දේ පිළිබඳව කිසිත් නොතකා එය ස්‌වීය භාවයෙන් නිමග්නව ආත්ම හැඟීමෙන් යුතුව පැවතියේය. 

නව විහාර 
බුද්ධ ධර්මය පැතිරී යෙත්ම, සෑම තන්හිම විශාල සංඝාවාසයක්‌ හා මෙහෙණින්ගේ ආරාමයන් ඇති වූයේය. ඒකරා නොකැඩී ඇදෙන ජන සංඛ්‍යාව විශාල විය. භාරතයෙහි පමණක්‌ නොව මධ්‍ය ආසියාවෙහිද එකල බෞද්ධ ආරාමයන් පැතිරී තිබුණේය. බෝල්ක්‌ (BALK) ප්‍රදේශයෙහි දහසක්‌ භික්‍ෂූන්ට විසිය හැකි අති ප්‍රසිද්ධ ආරාමයක්‌ පැවති බව නොයෙක්‌ ඓතිහාසික ලියවිලිවල සඳහන්ව තිබේ. මෙයට එකල නව විහාර යෑයි නම් විය. එය පරසියන් භාෂානු රූපව "නවුබහාර්" (NAUBAHAR) යෑයි දැනුදු ප්‍රකටව පවත්නේය.

භාරතය හා අන්තර් රාෂ්ට්‍රීය සම්බන්ධත්වය 
බුද්ධ ධර්මය භාරතයෙහි ක්‍රියාත්මක වීමට පටන් ගත්තේ එහි සමාජයීය වූද, අධ්‍යාත්මික වූද ප්‍රබෝධයක්‌ හා සංශෝධනයක්‌ ඇතිවූ කාලපරිච්ඡේදයකය. එහෙයින් එය නව ජීවනයක වා වෙන් මහ ජනතාවය ආශ්වාස ප්‍රාශ්වාස කර වූයේය. මහජනයා තුළ ඇතිවූ පැවැති ක්‍රියා ශක්‌තිය නව්‍ය මාර්ගයන් අනුව පිටවෙන්නට විය. එයින් ජනනායකත්වය සඳහා අවශ්‍ය සූරත්වය හා වාසනා මහිමය මහජනයා අතට පැමිණ වූයේය. අශෝක මහීපාලයන්ගේ රාජකීය කරුණා බල මහිමය යටතේ එය සීග්‍රව පැතිරී යැමෙන් බුද්ධාගමය මුළු භාරතයෙහි මහ ජනයාගේ ආගම බවට පත්විය. එය අන්‍ය රටවලද පැතිරෙන්නට පටන් ගැනීම හේතුකොටගෙන දඹදිව සිට බෞද්ධ පඬිවරු ඒ ඒ රටවල් කරා යැමටද ඒ ඒ රටවලින් විශාරද පඬිවරු දඹදිව කරා එන්නටද පටන් ගත්හ. ශතවර්ෂ බොහෝ ගණන් තුළ මෙම සංස්‌කෘතික සම්බන්ධතාවය අවිච්äන්න නදියක්‌ සෙයින් ගලා ගියේය.


මාතර ජස්‌ටින් විජයවර්ධන
1947 සිළුමිණ පුවත්පතට 
දිවංගත මාතර ජස්‌ටින් විජයවර්ධන 
සූරීන් එදා ලියු ලිපියක්‌ ඇසුරින් 
සකස්‌ කළේ නාරද නිශ්ශංක

මිහිඳු මහ රහතන් වහන්සේ ශ්‍රී ලංකාද්වීපයට වැඩම කළ සේක

ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති අග්ග මහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස අනුනාහිමිපාණෝ
මිහිඳු මහ රහතන් වහන්සේ ශ්‍රී ලංකාද්වීපයට වැඩම කළ සේක්, අදවන් ‍පොසොන් පුර පසළොස්වක් ‍පොහෝ දිනකය. ලංකාධිපති දේවානම්පියතිස්ස මහරජතුමා ප්‍රමුඛ හතළිස් දහසක පිරිසක් චුල්ලහත්ථිපදෝපම සූත්‍ර දේශනාවෙන් පසු, ඔවුන් එදිනම බෞද්ධයන් බවට පත්කර ගැනීමට හැකිවිය. මීට මාස ගණනාවකට පෙර ධර්මාශෝක මහා රාජයා විසින්, තමා බුදුදහම වැළඳගත් බවත් බුදුදහමෙහි ඇති වටිනාකම සහ තුනුරුවන්ගේ ගුණ පිළිබඳවත් ලිඛිතව දක්වමින් “මාගේ මිත්‍ර ලංකාධිපති තිස්ස මහරජතුමාත් බුදුදහම වැළඳගනු ඇත යන්න තමාගේ නොවක් පැතුම” බවත් දන්වමින් දූත පිරිසක් එවන ලදහ. ඒ ‍පොසොන් පුර ‍පොහෝ දිනය මෙරට වැසියන් විසින් ජාතික උත්සවයක් පවත්වන දවසක් වූ බැවින් තිස්ස තරුණ රජතුමා ද ‍පොසොන් ‍පෝදා අනුර පුරයෙන් නැගෙනහිර දිසාවට ගව් දෙකහමාරක් පමණ ඈතින් පිහිටි මිස්සක පව්වට සහපිරිවරින් සැපත් විය. එහිදී අරුම පුදුම සිදුවීමක් දක්නට ලැබුණි. තණකොළ කමින් සිටි මුවකු දුටු තිස්ස රජතුමා කෑම කන සතකු මැරීම නුසුදුසු බැවින් මුව ‍පොව්වා එළවා ඌ අල්ලා ගැනීමට පසුපස දිව්වේය. ස්වල්ප දුරක් දුවත්ම, පඳුරක් අස්සේ මුවා සැඟවී ගිය අතර දැනට අම්බස්තලය - ගල්පව්ව උඩ දර්ශනීය පෙනුමක් ඇති උපශාන්ත කිහිප නමකි. විමතියෙන් රජු බලත්ම,

“සමණා මයං මහා රාජ - ධම්මරාජස්ස සාවකා

තවෙව අනුකම්පාය - ජම්බුදීපා ඉධාගතා”


“මහ රජතුමනි, බිය නොවන්න. ශ්‍රමණ භවත් ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකවරු වන අපි, ඔබට ම යහපත පිණිස දඹදිව සිට මෙහි පැමිණියෝ වෙමු” යන වචනය මහින්ද මාහිමියන් විසින් පව්ව මත සිට ප්‍රකාශ කරත්ම, රජතුමාට ධර්මාශෝක රජු විසින් එවන ලද ඉහත කී ලිපිය මතක් විය. ඒකාන්තයෙන් ම ධර්මාශෝක මහරජු විසින් එවන ලද බුද්ධශ්‍රාවක භික්ෂු පිරිසක් බව දැන උන්වහන්සේලා පිළිගෙන සුහදව කතාබස් කොට දෙසූ බණ අසා වඩා පැහැදීමට පත්ව තිස්ස මහ රජතුමා බෞද්ධයෙක් බවට පත්විය. චුල්ලහත්ථිපදෝපම සූත්‍රයෙන් දෙසන ලද එම දේශානවට ඇහුම්කන් දී හතළිස් දහසක් වූ රජතුමාගේ මහ පිරිස ද බෞද්ධයන් බවට පත් වූහ.

මහින්ද මහරහතන් වහන්සේ වැඩමවීමේ ඓතිහාසික පුරාවෘත්තිය ගැන ඇති වූ සාකච්ඡාව පිළිබඳව කවුරුත් විස්තර දනිති. අපි මෙහි දී කාගේත් අවධානය යොමු කිරීමට බලා‍පොරොත්තු වන්නේ ආධ්‍යාත්මික දියුණුවක් ඇතිවන තැන අනුබුදු මිහිඳු මාහිමියන් දුර දිග බලා ක්‍රියා කොට ඇද්ද’ යන බව කාගේත් අවධානයට යොමු කරවන පිණිස යි. රටක සාමයත් සදාචාරයත් ඇති කිරීමට නම් ඔවුනොවුන් අතර භේදකාරී වාද විවාද ඇති වන ක්‍රම උපක්‍රම වළක්වාලිය යුතු ය. රට සෞභාග්‍යමත් කරගැනීමට වුවද මූලික වන්නේ එය යි. සමගියෙන් එකමුතුකමෙන් සහනශීලීව ජීවත් වන විට රටවැසියා ගොවිතැන් - ගවපාලනය - භෝගවගාව ආදී ආර්ථික දියුණුවට හේතු වන කරුණු සපුරා ගනිති. එය සිදුකර ගැනීමට ජනතාව අතර සුහදශීලී බවක් ඇතිවිය යුතුය යන්න මිහිඳු මාහිමියන්ගේ පැතුම විය. ඒ අනුව මේ රට දෙස බලන විට උන්වහන්සේට ඉතා පැහැදිලිව පෙනුණ කරුණු ගණනාවකි.
මේ කුඩා දිවයින මුහුද මැද පිහිටා ඇත. රටේ මැද කොටස කඳු බෑවුම්වලින් පිරුණු බැවින් ගහකොළ වනපෙත් සරුසාර කරගෙන කඳු මුදුන්හි සිට හතර අතට මුහුද බලා ගලාබසින ගංගාවෝ ය. එසේ ම ඌෂ්ණ දේශගුණය සමසීතෝෂ්ණ දේශගුණය සහ කඳු මුහුන්හි අධික සීතල ප්‍රදේශයෝ ය. ඒ ඒ ගැමි පෙදෙස් උරුම කරගත් ගහ කොළ ධන ධාන්‍යයන්ගෙන් ද අඩුවක් නැත. රට අලංකාරවත් කරන අලි, කොටි, වග වලස්, සිංහ, මුව, ගෝණ ආදී විවිධ සත්වයෝ ය. විවිධ මල් වලින් පිරීගිය ගස් වැල් ද සිත් සතන් පිනවන නොයෙකුත් කුරුළු ගණයාගෙන් ද සෑම ප්‍රදේශයක්ම ප්‍රමුදිතය. පස්ගෝරස ගෙන දෙන ගව සම්පතින් ද අනූන ය. කුඹුරෙන් ලැබෙන සහල් ටිකත් ගස්වැල්වලින් ලැබෙන ගෙඩි - ඇට - අල - කොළ - පලා ආදියෙනුත් රට සෞභාග්‍ය සම්පන්නය. ප්‍රාණගාතයෙන්, සොරකමින් තොරව සදාචාර සම්පන්නව ජීවත්වීම සඳහා දැහැමින් සම්පත් ලද රටකි. තක්සලා නුවර මහ සරසවියෙන් උසස් අධ්‍යාපනය ලබා ඇති රාජපුත්‍රයාණන් කෙනකුන් වූ කෞටිල්‍ය අර්ථ ශාස්ත්‍රයත් පරිපූර්ණව හදාරා ඇති මේ රාජකීය පුත්‍රයාණන්ට, රට ගැන තේරුම් ගැනීමට වැඩි කලක් ගතවූයේ නැත. බුදුදහම අනුව අහිංසාවාදීත්වයෙන් යුතුව ජීවත්විය හැකි අංග සම්පූර්ණ රටක් බව තේරුම් ගත් උන්වහන්සේට එකම අඩුව වශයෙන් දැනුනේ - ක්‍රමවත් ශිෂ්ටාචාරමය තත්ත්වයක් මෙරට නොමැති බව පමණි. එය ඇති කිරීමට නම් රටේ ජනතාව එකමුතු කළ යුතු බව සක්සුදක්සේ මිහිඳු මාහිමියන්ට පැහැදිලිව පෙනුණේය.
අනුබුදු මිහිඳු තෙරණුන් විසින් ප්‍රධානම සකස් කළ යුතු කරුණ වශයෙන් දුටුවේ, මේ රටේ ගෝත්‍ර භේදය වහා නැතිකළ යුතු බවය. රටේ වියලි දේශගුණය ඇති ප්‍රදේශවල උරුමක්කාරයෝ යකුන් අදහන යක්ෂ ගෝත්‍රිකයෝය. ඔවුන්ගේ රාජධානිය මහියංගනයයි. රටේ මුහුදු බඩ ප්‍රදේශය පුරාම නාගයන් වෙනුවෙන් වැදුම් පිදුම් කරන නයි පෙණය සහිත හිස්වැසුමක් පළඳින නාග ගෝත්‍රිකයෝ ය. ඔවුන්ගේ අගනුවර කැලණි රාජධානියයි. සීත කඳුකරයෙහි ගොවිතැනින් ගව පාලනයෙන් ජීවත් වන දේව ගෝත්‍රිකයෝ ය. ඔවුන්ගේ අගනුවර රුවන් පුරය විය. ගස්වැලි පර්වත ආදියට බැල්ම හෙළන දෙවියන් ඇතැයි යන විශ්වාසය ඔවුන් තුළ පැවැති හෙයින් ඔවුහු දේව වන්දනාවට නැඹුරු වූහ. ඒ අතර විජය කුමරු දඹදිව ලාට රට සිට සත්සියයක හමුදා පිරිසක් ද සමග ලක්දිව තම්මැන්නාවට පැමිණ යක්ෂ ගෝත්‍රිකයන්ගේ මංගල උත්සවයකට රැස්ව සිටි යක් රජුන් යක් සෙන්පතියන් මරා රජකම අල්ලාගත්තේය. මේ සඳහා විජය යක්ෂ ගෝත්‍රික කුවේණිය සහය කර ගෙන ඇත.
තවත් කරුණකි. ශාක්‍ය දේශයෙන් පැමිණි භද්දකච්චානා කුමරිය - විජය කුමරුගේ මලණුවන්ගේ පුත්‍ර පඬුවස්දේව් කුමරා සරණපාවා ගැනීම නිසා අත් වූ සම්බන්ධතාවය උඩ, විටින් විට පැමිණි උරුවේල - රාමගෝන - අනුරාධ - විජිත - දීඝායූ - උදේනි - රෝහණ ශාක්‍ය කුමරුවෝ හත්දෙනෙක්ම පිරිසත් සමග මෙරට ඒ ඒ ප්‍රදේශ භාරව ප්‍රාදේශීය බලය ද ලබාගෙන පදිංචි වූහ. මේ අනුව යක්ෂ නාග දේව සිංහ ශාක්‍ය කොටස් අතරට, තම පියරජතුමා ද තම සහේදරිය වූ සංඝමිත්තා රහත් තෙරණිය ඇතුළු ජය ශ්‍රී මහා බෝධියත්, විවිධ කාර්මික අංශයන්ට අයත් දඹදිව බිහාර් ප්‍රාන්තයේ සහ මධ්‍ය දේශයේ සිට එවන ලද කාණ්ඩ දහ අටකට අයත් දහ දොළොස් දහසක බෝධි ගුප්තික වංශික සෙනගද මෙරටේ දැන් ජීවත් වෙති. සියල්ලෝම එකමුතු ජනතාවක් බවට පත් නො කරගත හොත්, රටේ අනාගතයක් කිසිදාක ඇතිකර ගත නොහැකි බව රාජධර්ම පිළිබදව ද ගැඹුරු දැනුමක් ඇති මිහිඳු මාහිමියෝ තේරුම් ගත්හ. ධර්මාශෝක පියරජු විසින් “දේවානම්පිය” යන ගෞරව නාමයකින් ද මේ නොබෝදා උපහාර දක්වා ඇති තිස්ස රජතුමා සමග සුහදව එකම පවුලක සහෝදරයන් මෙන් සාකච්ඡා කොට දෙපළම එකම තීරණයකට පැමිණි බව උපකල්පනය කළ හැකිය.
“දෙවන පෑතිස් මහරජතුමනි, මා ලංකාවට පැමිණ දැන් වසරක් පමණ ගත වී ඇත. මගේ පැමිණීමෙන් බුදුදහම පමණක් නොව - මගේ නැගණියගේ පැමිණීමෙන් මෙහෙණි සස්නත් - බුදුබවට පත්වීමේදී සෙවණ දුන් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාවත් ලංකාවට ලැබි ඇත. ඒ අනුව බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නය ම, මේ පුණ්‍ය භූමිය වූ ලක් දෙරණෙහි පිහිටා ඇත. දැන් ඇත්තේ සියවසක් හමාරක් තුළ දී ම මේ රට සෞභාග්‍ය සම්පන්න බෞද්ධ රාජ්‍යයක් බවට පත් කර ගැනීමයි. එයට කළයුතු එකම දෙය ගෝත්‍රික වශයෙන් වංශ වශයෙන්, යක්ෂ - නාග දේව සිංහ ශාක්‍ය සහ බෝධිය රැගෙන ආ පියරජතුමා එවූ බෝධිගුප්තික පිරිස ද එකම කොටසක් බවට පත්කර ගැනීමය.”
“මිහිඳු මහරහතන් වහන්ස, අපි දෙදෙනා ම රාජ ධර්ම පිළිබඳ මනා දැනීමක් ඇති රාජකීයයෝ වෙමු. රටත් ජනතාවත් රැකගැනීමේ වගකීම ඇත්තේ අපේ රාජධර්ම අනුව රාජකීයයන්ටය. මිහිඳු මාහිමියන් වහන්ස, මාගේ පියාණන් මුටසීව මහරජ්ජුරුවෝය. එතුමාගේ හැට අවුරුදු රාජ්‍ය සමයට කලින් රට පාලනය කළෝ මගේ සීයා වන පණ්ඩුකාභය රජතුමාය. පණ්ඩුකාභය රජතුමාගේ හැත්තෑ අවුරුදු රාජ්‍ය සමය තුළ අනුරාධපුරය අගනුවර බවට පත් වී ය. එතුමාගේ මව උම්මාද චිත්‍රාවෝ ය. ඒ මගේ මිත්තණිය යි. ඇයගේ මව ශාක්‍ය දේශයෙන් අහම්බෙන් ලංකාවට පැමිණි භද්දකච්චානා කුමාරිකාවෝ ය. එතුමියගේ පියා පණ්ඩුශාක්‍ය රජතුමාය. එතුමාගේ පියා ශ්‍රමණ භවත් බුදුරදුන්ගේ පිය මහරජතුමන් වූ ශුද්ධෝදන රජතුමා ගේ, එක කුස උපත ලද බාල ම මලණුවන් වූ අමිතෝදන රජ්ජුරුවෝය.
අනිත් පැත්තෙන් බලතොත් ශාක්‍ය රටෙන් මෙහි පැමිණ පදිංචි වූ භද්දකච්චානා කුමාරිකාවගේ ශාක්‍ය සහෝදර පිරිසය. එයින් දීඝායු ශාක්‍ය කුමරු පාලනය කළේ ලක්දිව නැගෙනහිර දේශයයි. එහි විසූ අර පැරණි යක්ෂ ගෝත්‍රික ප්‍රතාපවත් රාවණ රජතුමාගේ පෙළපතට අයත් සිථිලා යක්ෂ ගෝත්‍රික කුමරිය දීඝායු ශාක්‍ය කුමරාගේ බිරිඳ විය. ඒ දෙපළගේ එකම පුත්‍රයා - දීඝගාමිණී කුමරාය. ඔහු සරණපාවා ගත්තේ තම පියාණන්ගේ සහෝදරිය වූ භද්දකච්ඡානා දේවියගේ දියණිය වූ එක්ටැම් ගෙයි රක්ෂිතව සිටි, උන්මාදචිත්‍රාවෝය. ඇගේ පුත්‍රයා පණ්ඩුකාභයය. පියා ශාක්‍ය වංශික දීඝායු කුමරාය. මේ නිසා මගේ ඒ පණ්ඩුකාභය මුත්තණුවන්ට යක්ෂ ගෝත්‍රික කාලවේල සහ චිත්තරාජ යක්ෂ සෙන්පතියන් ප්‍රධාන ජනතාවගේ පූර්ණ ආරක්ෂාව හා ආශීර්වාදය ලැබුණි. එහි ප්‍රතිඵලයක් වශයෙන් එතුමාට රටේ රජකම ලබා ගැනීමට පහසු විය.
“මගේ පිය පාර්ශ්වයේ මූලිකයා වූ විජය රජතුමාගෙන් එන සිංහ කිරීටය අතහැරීමට මම කැමැති නොවෙමි. එනිසා මහින්ද මහරහතන් වහන්ස  මගේ පිය පරපුරෙන් ආ සිංහ නාමයෙන් ම, අපේ රට එකමුතු කරන ජනතාවන්ගේ, කිරීටය සහ සිංහාසනය අනාගතය සඳහා අරක්ෂා කරතැබිම මගේ පරම පවිත්‍ර වගකීම සේ සළකමි. මේ සඳහා ඔබ වහන්සේ මට සපුරා සහාය දිය යුතුයැයි” අයැද සිටිමි.
මේ දේවානම්පියතිස්ස තරුණ රජතුමාගේ කරුණු සහිත ඉල්ලීමට මහින්ද මහරහතන් වහන්සේ සපුරා කැමැත්ත පළ කළහ. දෙදෙනාගේම එකම නිගමනය වූයේ, ඉහත කී සියලු ගෝත්‍රිකයන්ට අයත් ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම භික්ෂු ශාසනයත් මෙහෙණි සසුනත් හිමිකර තැබිමයි. ඒ අනුව වර්ග භේද වර්ණ භේද - ගෝත්‍ර භේදයන්ගෙන් තොරව සියල්ලන්ට ම ‍පොදුවේ මහණකම ලබා දුන්නෝය. භික්ෂු ශික්ෂුණී දෙපක්ෂය පැවිද්දෙන් එකමුතු බවට පත්වීම නිසා පරම්පරා දෙක තුනක් ගතවෙත්ම රටම සිංහල නමින් ජාතියක් බවට පත්විය. එදා මේ උත්තරීතර නිගමනයට පින්සිද්ධ වෙන්ට අදත් ලංකාවේ සිංහල නමන් ජාතියක් පවතී. වෙනත් රටවල මෙන් එක එක භාෂා කතා කරන එක එක සංස්කෘතික ලක්ෂණයන්ගෙන් යුත් අන් ගෝත්‍ර කිසිවක් සිංහල ජනයා තුළ නැත්තේය. මිහිඳු මහරහතන් වහන්සේ පැමිණ බුදුදහම ඇතිකළා පමණක් නොව දෙවන පෑතිස් මහරජතුමා සමග කතාබස් කොට සිංහල ජාතියක් ඇතිකළ ආකාරය මෙයින් දත හැකිය. මේ මහාකාර්යභාර්යයට මුල පිරුෙවේ ද උතුම් ‍පොසොන් පුර පසළොස්වක් ‍පොහෝ දිනක සිදු වූ මේ අසිරිමත් ප්‍රබෝධය ම බව අමතක නොකළ යුතුය.