දුටුගැමුණු රජු කල පිරිණිවන් පෑ මලියදේව හිමියන් ලංකාවේ අන්තිම රහත් තෙරනම නොවේ. සැබැවින්ම, අද වුව රහතුන් බිහි විය හැකිය. ඒ සදහා අවශ්‍ය වන්නේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ ශ්‍රී සද්ධර්මය සීල සමාධි ප්‍රඥා වශයෙන් දියුණු කොට සාක්ෂාත් කිරීමයි.

ඔබත් බුදුරදුන් පෙන්වා වදාළ උත්තම දහම් මාර්ගයේ ගමන් කරන්න


Powered by දහම් විල


ලිපි සඳහා පහත මාසය අනුව ලිපි පටුන බලන්න

පන්සියයක්‌ භික්‍ෂූන්ට වස්‌ විවර කළ සේක

තිලෝගුරු බුදු පියාණන් වහන්සේගේ මුව ගැබින් වැගිර ගලා ගිය දහම් අමා වැහිදිය දහර දඹදිව් පින් බිම සිසාරා පැතිර යද්දී සංඝ ශාසනයද සුවිශාල වශයෙන් පුළුල් වූයේය. සිව් දිගින් ගලා ආ මහ වතුරක්‌ සේ නොයෙක්‌ නොයෙක්‌ බුදු සව්වන්ගෙන් එය ශෝභාමානවත් වෙද්දී එලෙසින්ම එයට ඇතුළත් වූ අසංවර පැවිද්දන්ගෙන් බුදු සසුනටත්, සංඝ ශාසනයටත් විවිධ තර්ජන එල්ල වීමට පටන් ගත්තේය. සම්මා සම්බුද්ධ අනුශාසනාවේ පැවැත්ම සඳහා එකින් එක විනය නීති පනවන්නට සිදුවූයේ මේ නිසාය. ඉතිහාසඥයන් කියන ආකාරයට සේම බුද්ධ ශාසන ඉතිහාස තොරතුරු විග්‍රහකර බලන විටද භික්‌ෂු උපසම්පදා සීලයෙහි ආරම්භයට පදනම් වන්නට ඇත්තේත් මේ කාරණයම බව අපට වටහා ගැනීම අමාරු නැත.

මේ අනුව උපසම්පදාව යනු වඩාත් උසස්‌ වූ සීලයකි. නැත්නම් ශික්‌ෂණයකි. හික්‌මීමකි. අවුරුදු විස්‌සක්‌ පමණ ඉක්‌ම ගිය පසු මෙම උපසම්පදා ශීලයෙහි පිහිටුවන භික්‌ෂූන් වහන්සේ එතැන් පටන් කෝටියක්‌ තරම්වන මහත් වූ සීලයක්‌ ආරක්‌ෂාකළ යුතු වන්නේය. 

බොහෝ විට අපට දක්‌නට ලැබෙන්නේ බොහෝ භික්‌ෂූන් වහන්සේලා තනිව හෝ තවත් කීප නමක්‌ මෙම උපසම්පදා සීලයෙහි පිහිටුවන පුණ්‍යමහෝත්සව අවස්‌ථාවන්ය. එහෙත් පන්සිය නමකටත් අධික භික්‌ෂූන් වහන්සේලා පිරිසක්‌ එකම බද්ධ සීමාවකදී උපසම්පදා සීලයෙහි පිහිටුවන දුර්ලභ අවස්‌ථාවක්‌ පසුගියදා අපට දැකගන්නට ලැබිණි. ඒ රාගම වල්පොල ශ්‍රී විමල රත්නාරාම විද්‍යාභිවාස මහ පිරිවෙනෙහිදීය. 

මෙහිදී උපසම්පදාව ලැබූ සියලුම භික්‌ෂූන් වහන්සේලා අයත් වූයේ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායටයි. අමරපුර මහා නිකාය ඇති වූයේ බුද්ධ වර්ෂ දෙදහස්‌ තුන්සිය හතළිස්‌ හයේදී පමණය. ඒ ශ්‍රී ලංකාවේ රාජ නාමාවලියෙහි අන්තිමයා වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ කාලයේදීය. එදා වැලිතර අඹගහපිටියේ ඥනවිමලතිස්‌ස සාමණේරයන් වහන්සේ ප්‍රධාන පස්‌නමක්‌ බුරුමයේ අමරපුර නුවර වැඩ විසූ මහාධම්ම රාජාධිරාජගුරු ඤාණාභිවංශ සංඝරාජයන් වහන්සේ උපාධ්‍යාය කරගෙන උපසපන් වී මෙරටට වැඩ මාදුගඟේ බළපිටිමෝදර උදකුක්‌ඛෙප සීමාවේදී සිංහල සාමණේරවරුන්ට උපසම්පදාව දීමෙන් මෙසේ මෙම අමරපුර මහානිකාය ආරම්භ වූයේය. 

මෙසේ ආරම්භ වූ මෙම නිකායෙහි වර්තමාන උත්තරීතර මහා නායක හිමියන් වන්නේ අග්ගමහා පණ්‌ඩිත පූජ්‍ය දවුල්දෙන ඤාණේස්‌සර හිමියන්ය. උන් වහන්සේගේද ප්‍රධානත්වය ඇතිව පසුගිය ජුනි මස 25 වැනිදා සිට 02 වැනිදා දක්‌වා මෙම උපසම්පදා උත්සවය පැවැත්විණි. උපසම්පදා සීලයෙහි පිහිටීම සඳහා බදුල්ල, රත්නපුර, කුරුණෑගල, නුවර, ගාල්ල, මාතර, හම්බන්තොට ආදී දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම භික්‌ෂූන් වහන්සේලා වල්පොල විද්‍යාභිනිවාස මහ පිරිවෙනට වැඩමවා සිටියහ. මෙසේ වැඩමවා වදාළ භික්‌ෂූන් වහන්සේලා සියල්ලෝම අමරපුර මහා නිකායට අයත් විවිධ සංඝ පාර්ශ්ව විසි දෙකකට ඇතුළත් වූහ. ඒ අනුව උන්වහන්සේලා සියලු දෙනාම ඒකරාශී කොට එකම බද්ධ සීමාවකදී උපසපන් සීලයෙහි පිහිටුවිණි. ප්‍රථමයෙන් උන් වහන්සේලා අත්‍යලංකාර පෙරහැරකින් මේ සඳහා බද්ධ සීමාවට වැඩමවාගෙන ආ අතර මනරම් වැවක මැද ඉදිකොට තිබූ එම බද්ධ සීමාව සැබැවින්ම නෙතට චමත්කාරයත්, සිතට අපමණ වූ ශ්‍රද්ධාවත් එක්‌කළ දර්ශනයක්‌ වීය. මෙයට පෙරාතුව මෙලෙස වැඩිම භික්‌ෂුන් වහන්සේලා පිරිසක්‌ උපසම්පදා සීලයෙහි පිහිටුවා ඇත්තේ අවස්‌ථා හතරකදීය. වල්පොල දී මෙලෙස මෙම උපසම්පදා උත්සවය පැවැත්වූයේ පස්‌වැනි වරටය. 

මෙම දුර්ලභ උපසම්පදා උත්සවයට අදාළව රාගම වල්පොල විද්‍යාභිවාස මහ පරිවේණාධිපති පූජ්‍ය ගලහ පඤ්ඤාසාර හිමියන් සමග කළ කෙටි කතාබහේදී මේ දුර්ලභ උපසම්පදා උත්සවය පිළිබඳ මෙන්ම උපසම්පදා සීලයට අදාළ තවත් වැදගත් කරුණු කාරණාවන් බොහොමයක්‌මද ඔබ සැම හමුවේ තබන්නට අපට හැකිවිය. ඒ අනුව කෙනකු භික්‌ෂූ ශාසනයට ඇතුළත් වී ළමා වියේ පැවිදි ජීවිතයට පත්වීනම් භික්‌ෂුවගේ උපසම්පදාව සිදුකළ යුතු වන්නේ එතැන් පටන් අවුරුදු විස්‌සක්‌ ගෙවී ගිය තැනෙදීයි. එසේ නොමැතිව මැදි වියේදී හෝ මහලු වියේදී යමකු උත්තරීතර පැවිදි ජීවිතයට පත්වූයේ වීනම් ප්‍රථමයෙන් මාස හයක්‌ පමණ හෙතෙම සාමණේර ජීවිතයක්‌ ගත කිරීම යටතේ ප්‍රාථමික ශික්‌ෂණයක්‌ ලැබිය යුතුවේ. එයින් පසුව එම භික්‌ෂූන් වහන්සේ උපසම්පදා වීමට ඉමහත් කැමැත්තක්‌ දක්‌වන්නට තරම් ධර්මධර මෙන්ම විනයධරද වූයේ නම් අදාළ විශේෂ බද්ධ සීමාවකට වැඩමවාගෙන ගොස්‌ උපසම්පදා අධි සීලයෙහි පිහිටුවයි. බද්ධ සීමාව යනුවෙන් හඳුන්වන්නේ ගොඩබිමට සම්බන්ධ ප්‍රදේශයකි. ක්‍රිස්‌තු වර්ෂ 1753 දී පමණ පළමුවරට මෙවැනි බද්ධ සීමාවකදී ශ්‍රී ලංකාවේ මල්වතු මහා විහාරයෙහි විසුං ග්‍රාම සීමාවෙහිදී උපසම්පදා පුණ්‍ය මහෝත්සවයක්‌ සිදුවී තිබේ. සියම් මහා නිකායට අදාළව සිදුවූ එම උත්සවය පැවැත් වී ඇත්තේ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ අනුග්‍රහයෙන් සියම් දේශයෙන් මෙරටට වැඩම කළ උපාලි මහතෙරුන්ගේ ප්‍රධානත්වයෙනි. අපරට ශාසන ඉතිහාසයේ චිර ප්‍රකට වැලිවිට සිරි සරණංකර හිමියන් ඇතුළු භික්‌ෂූන් වහන්සේලා හයනමක්‌ එහිදී උපසම්පදා කෙරුණු අතර එහි මූලික අරමුණ වූයේ ඒවනවිට පරිහානියට පත් වෙමින් තිබූ ලංකා සම්බුද්ධ ශාසනයටත්, සිංහල භික්‌ෂු වංශයටත් පුනර්ජීවනයක්‌ ලබාදීමයි. 

භික්‌ෂු උපසම්පදාවට අදාළ උදකුක්‌ඛෙ සීමාව යනු බද්ධ සීමාවෙන් වෙනස්‌ ස්‌වරූපයක්‌ ගත් තැනෙකි. එය බොහෝ විට ජලයට සම්බන්ධ වී පවතී. එය සකස්‌ කරන්නේ දිය මත පා කළ හැකි පහුරක්‌ හෝ ඔරුවක්‌ වැනි විශේෂ ස්‌ථානයකයි. වල්පොල විද්‍යාභිනිවාස මහ පිරිවෙනෙහි පැවැති උපසපන් උළෙල පැවතියේ මෙබඳු උදකුක්‌ෙ€ප සීමාවකයි. 

බද්ධ සීමාවකදී මෙන්ම උදකුක්‌ෙ€ප සීමාවකදී වුවද මෙකී විනය කර්මය සිදු කළ හැකි අතර විශේෂයෙන් මෙයින් පසුව එම භික්‌ෂූන් වහන්සේ පරිපූර්ණ පැවිද්දකු බවට පත්වේ. බණ දහම් පිළිබඳ හසළ දැනුමක්‌ මෙන්ම අවබෝධයක්‌ද ලබන උන් වහන්සේලා සංඝ සමාජයට නිසි පරිදි ඇතුළත් වූවා වන්නේද මෙයින් පසුවයි. එයට ප්‍රධානතම හේතුවක්‌ වන්නේ තමන් වහන්සේලා උපසපන් සීලයෙහි පිහිටා ලද ධර්මඥනය තුළින් බොහෝ පිරිසකට නිර්වාණ ශාන්තියටද මඟ හසර පෙන්විය හැකි හෙයිනි. රාගම විද්‍යාභිනිවාස පිරිවෙන් බද්ධ සීමාවේදී මෙඅයුරු උපසම්පදාව ලත් පන්සියයකටත් අධික මේ භික්‌ෂූන් වහන්සේලා උපසම්පදාවෙන් පසුව සිය දුර ඈත ගම්බිම් බලා වැඩමවා වස්‌ සමාදන් වනබව ගලහ පඤ්ඤාසාර හිමියෝ වැඩිදුරටත් පැවසූහ. ඒ අනුව උන්වහන්සේලා තව දින කිහිපයකින් උදාවන ඇසළ පුරපසළොස්‌වක පොහොය දිනයෙන් වස්‌ සමාදන් වීම ආරම්භ කරන අතර පසුව ඇසළ, නිකිණි, බිනර යන තුන් මාසය තුළදීම එම සංවර සීලය ආරක්‌ෂා කිරීමෙහිද නිරත වෙති. 

බිනර පුරපසළොස්‌වක පොහොයෙන් වස්‌ පවාරණය සිදුවේ. එහෙත් ඇසළ පුන් පොහොයට පෙර දින එනම් අව පෑළවිය දිනයෙහි වස්‌ විසීමට නොහැකි වූ භික්‌ෂුවකට ඇසළ පොහොයෙන් මසක්‌ ඉක්‌ම ගිය කල්හි නිකිණි අව පෑළවිය දිනයේද පසුවස්‌ එළැඹෙන්නට පිළිවන. වස්‌ සීලය සමාදන්ව එය සුරක්‌ෂිත කිරීම මෙසේ සාර මාසයක්‌ ඔස්‌සේ සිදුවන අතර බිනර පොහොයෙහි සිට එළැඹෙන වප් මාසය ඒ වස්‌ සාර මාසයෙහි අවසාන මාසය වේ. වප් පොහොයෙන් එළැඹෙන මෙම මාසය චීවර මාසය වේ. සම්මා සම්බුද්ධ ශාසනයෙහි ප්‍රකට අටමහා කුසල් අතරට ගැනෙන කඨ§න චීවර පූජා පින්කම සිද්ධ කරන්නේද මෙම අවධිය තුළයි. කඨින චීවර දානමය කුසලය මහ පොළොව මෙන් කිසිකලෙකත් කම්පානොවන මහාමේරු පර්වතය මෙන් අධික සුළඟින් නොසෙල්වෙන එක ඝන වඡ්ර පර්වතය ද මෙන් නොබිඳෙන, ස්‌ථාවර ගරු පින්කමෙකි. උපසම්පදා සීලයෙහි පිහිටි ධර්මධර මෙන්ම විනයධර වූද භික්‌ෂූන් වහන්සේ නමකටම පමණක්‌ මෙම කඨ§න චීවරය පූජා කිරීමට හැකිවීමද විශේෂත්වයකි.

සුගත් වීරසූරිය
ඡායාරූප - රුක්‌මන් පිංතු