දුටුගැමුණු රජු කල පිරිණිවන් පෑ මලියදේව හිමියන් ලංකාවේ අන්තිම රහත් තෙරනම නොවේ. සැබැවින්ම, අද වුව රහතුන් බිහි විය හැකිය. ඒ සදහා අවශ්‍ය වන්නේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ ශ්‍රී සද්ධර්මය සීල සමාධි ප්‍රඥා වශයෙන් දියුණු කොට සාක්ෂාත් කිරීමයි.

ඔබත් බුදුරදුන් පෙන්වා වදාළ උත්තම දහම් මාර්ගයේ ගමන් කරන්න


Powered by දහම් විල


ලිපි සඳහා පහත මාසය අනුව ලිපි පටුන බලන්න

මිහිඳු මහ රහතන් වහන්සේ ශ්‍රී ලංකාද්වීපයට වැඩම කළ සේක

ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති අග්ග මහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස අනුනාහිමිපාණෝ
මිහිඳු මහ රහතන් වහන්සේ ශ්‍රී ලංකාද්වීපයට වැඩම කළ සේක්, අදවන් ‍පොසොන් පුර පසළොස්වක් ‍පොහෝ දිනකය. ලංකාධිපති දේවානම්පියතිස්ස මහරජතුමා ප්‍රමුඛ හතළිස් දහසක පිරිසක් චුල්ලහත්ථිපදෝපම සූත්‍ර දේශනාවෙන් පසු, ඔවුන් එදිනම බෞද්ධයන් බවට පත්කර ගැනීමට හැකිවිය. මීට මාස ගණනාවකට පෙර ධර්මාශෝක මහා රාජයා විසින්, තමා බුදුදහම වැළඳගත් බවත් බුදුදහමෙහි ඇති වටිනාකම සහ තුනුරුවන්ගේ ගුණ පිළිබඳවත් ලිඛිතව දක්වමින් “මාගේ මිත්‍ර ලංකාධිපති තිස්ස මහරජතුමාත් බුදුදහම වැළඳගනු ඇත යන්න තමාගේ නොවක් පැතුම” බවත් දන්වමින් දූත පිරිසක් එවන ලදහ. ඒ ‍පොසොන් පුර ‍පොහෝ දිනය මෙරට වැසියන් විසින් ජාතික උත්සවයක් පවත්වන දවසක් වූ බැවින් තිස්ස තරුණ රජතුමා ද ‍පොසොන් ‍පෝදා අනුර පුරයෙන් නැගෙනහිර දිසාවට ගව් දෙකහමාරක් පමණ ඈතින් පිහිටි මිස්සක පව්වට සහපිරිවරින් සැපත් විය. එහිදී අරුම පුදුම සිදුවීමක් දක්නට ලැබුණි. තණකොළ කමින් සිටි මුවකු දුටු තිස්ස රජතුමා කෑම කන සතකු මැරීම නුසුදුසු බැවින් මුව ‍පොව්වා එළවා ඌ අල්ලා ගැනීමට පසුපස දිව්වේය. ස්වල්ප දුරක් දුවත්ම, පඳුරක් අස්සේ මුවා සැඟවී ගිය අතර දැනට අම්බස්තලය - ගල්පව්ව උඩ දර්ශනීය පෙනුමක් ඇති උපශාන්ත කිහිප නමකි. විමතියෙන් රජු බලත්ම,

“සමණා මයං මහා රාජ - ධම්මරාජස්ස සාවකා

තවෙව අනුකම්පාය - ජම්බුදීපා ඉධාගතා”


“මහ රජතුමනි, බිය නොවන්න. ශ්‍රමණ භවත් ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකවරු වන අපි, ඔබට ම යහපත පිණිස දඹදිව සිට මෙහි පැමිණියෝ වෙමු” යන වචනය මහින්ද මාහිමියන් විසින් පව්ව මත සිට ප්‍රකාශ කරත්ම, රජතුමාට ධර්මාශෝක රජු විසින් එවන ලද ඉහත කී ලිපිය මතක් විය. ඒකාන්තයෙන් ම ධර්මාශෝක මහරජු විසින් එවන ලද බුද්ධශ්‍රාවක භික්ෂු පිරිසක් බව දැන උන්වහන්සේලා පිළිගෙන සුහදව කතාබස් කොට දෙසූ බණ අසා වඩා පැහැදීමට පත්ව තිස්ස මහ රජතුමා බෞද්ධයෙක් බවට පත්විය. චුල්ලහත්ථිපදෝපම සූත්‍රයෙන් දෙසන ලද එම දේශානවට ඇහුම්කන් දී හතළිස් දහසක් වූ රජතුමාගේ මහ පිරිස ද බෞද්ධයන් බවට පත් වූහ.

මහින්ද මහරහතන් වහන්සේ වැඩමවීමේ ඓතිහාසික පුරාවෘත්තිය ගැන ඇති වූ සාකච්ඡාව පිළිබඳව කවුරුත් විස්තර දනිති. අපි මෙහි දී කාගේත් අවධානය යොමු කිරීමට බලා‍පොරොත්තු වන්නේ ආධ්‍යාත්මික දියුණුවක් ඇතිවන තැන අනුබුදු මිහිඳු මාහිමියන් දුර දිග බලා ක්‍රියා කොට ඇද්ද’ යන බව කාගේත් අවධානයට යොමු කරවන පිණිස යි. රටක සාමයත් සදාචාරයත් ඇති කිරීමට නම් ඔවුනොවුන් අතර භේදකාරී වාද විවාද ඇති වන ක්‍රම උපක්‍රම වළක්වාලිය යුතු ය. රට සෞභාග්‍යමත් කරගැනීමට වුවද මූලික වන්නේ එය යි. සමගියෙන් එකමුතුකමෙන් සහනශීලීව ජීවත් වන විට රටවැසියා ගොවිතැන් - ගවපාලනය - භෝගවගාව ආදී ආර්ථික දියුණුවට හේතු වන කරුණු සපුරා ගනිති. එය සිදුකර ගැනීමට ජනතාව අතර සුහදශීලී බවක් ඇතිවිය යුතුය යන්න මිහිඳු මාහිමියන්ගේ පැතුම විය. ඒ අනුව මේ රට දෙස බලන විට උන්වහන්සේට ඉතා පැහැදිලිව පෙනුණ කරුණු ගණනාවකි.
මේ කුඩා දිවයින මුහුද මැද පිහිටා ඇත. රටේ මැද කොටස කඳු බෑවුම්වලින් පිරුණු බැවින් ගහකොළ වනපෙත් සරුසාර කරගෙන කඳු මුදුන්හි සිට හතර අතට මුහුද බලා ගලාබසින ගංගාවෝ ය. එසේ ම ඌෂ්ණ දේශගුණය සමසීතෝෂ්ණ දේශගුණය සහ කඳු මුහුන්හි අධික සීතල ප්‍රදේශයෝ ය. ඒ ඒ ගැමි පෙදෙස් උරුම කරගත් ගහ කොළ ධන ධාන්‍යයන්ගෙන් ද අඩුවක් නැත. රට අලංකාරවත් කරන අලි, කොටි, වග වලස්, සිංහ, මුව, ගෝණ ආදී විවිධ සත්වයෝ ය. විවිධ මල් වලින් පිරීගිය ගස් වැල් ද සිත් සතන් පිනවන නොයෙකුත් කුරුළු ගණයාගෙන් ද සෑම ප්‍රදේශයක්ම ප්‍රමුදිතය. පස්ගෝරස ගෙන දෙන ගව සම්පතින් ද අනූන ය. කුඹුරෙන් ලැබෙන සහල් ටිකත් ගස්වැල්වලින් ලැබෙන ගෙඩි - ඇට - අල - කොළ - පලා ආදියෙනුත් රට සෞභාග්‍ය සම්පන්නය. ප්‍රාණගාතයෙන්, සොරකමින් තොරව සදාචාර සම්පන්නව ජීවත්වීම සඳහා දැහැමින් සම්පත් ලද රටකි. තක්සලා නුවර මහ සරසවියෙන් උසස් අධ්‍යාපනය ලබා ඇති රාජපුත්‍රයාණන් කෙනකුන් වූ කෞටිල්‍ය අර්ථ ශාස්ත්‍රයත් පරිපූර්ණව හදාරා ඇති මේ රාජකීය පුත්‍රයාණන්ට, රට ගැන තේරුම් ගැනීමට වැඩි කලක් ගතවූයේ නැත. බුදුදහම අනුව අහිංසාවාදීත්වයෙන් යුතුව ජීවත්විය හැකි අංග සම්පූර්ණ රටක් බව තේරුම් ගත් උන්වහන්සේට එකම අඩුව වශයෙන් දැනුනේ - ක්‍රමවත් ශිෂ්ටාචාරමය තත්ත්වයක් මෙරට නොමැති බව පමණි. එය ඇති කිරීමට නම් රටේ ජනතාව එකමුතු කළ යුතු බව සක්සුදක්සේ මිහිඳු මාහිමියන්ට පැහැදිලිව පෙනුණේය.
අනුබුදු මිහිඳු තෙරණුන් විසින් ප්‍රධානම සකස් කළ යුතු කරුණ වශයෙන් දුටුවේ, මේ රටේ ගෝත්‍ර භේදය වහා නැතිකළ යුතු බවය. රටේ වියලි දේශගුණය ඇති ප්‍රදේශවල උරුමක්කාරයෝ යකුන් අදහන යක්ෂ ගෝත්‍රිකයෝය. ඔවුන්ගේ රාජධානිය මහියංගනයයි. රටේ මුහුදු බඩ ප්‍රදේශය පුරාම නාගයන් වෙනුවෙන් වැදුම් පිදුම් කරන නයි පෙණය සහිත හිස්වැසුමක් පළඳින නාග ගෝත්‍රිකයෝ ය. ඔවුන්ගේ අගනුවර කැලණි රාජධානියයි. සීත කඳුකරයෙහි ගොවිතැනින් ගව පාලනයෙන් ජීවත් වන දේව ගෝත්‍රිකයෝ ය. ඔවුන්ගේ අගනුවර රුවන් පුරය විය. ගස්වැලි පර්වත ආදියට බැල්ම හෙළන දෙවියන් ඇතැයි යන විශ්වාසය ඔවුන් තුළ පැවැති හෙයින් ඔවුහු දේව වන්දනාවට නැඹුරු වූහ. ඒ අතර විජය කුමරු දඹදිව ලාට රට සිට සත්සියයක හමුදා පිරිසක් ද සමග ලක්දිව තම්මැන්නාවට පැමිණ යක්ෂ ගෝත්‍රිකයන්ගේ මංගල උත්සවයකට රැස්ව සිටි යක් රජුන් යක් සෙන්පතියන් මරා රජකම අල්ලාගත්තේය. මේ සඳහා විජය යක්ෂ ගෝත්‍රික කුවේණිය සහය කර ගෙන ඇත.
තවත් කරුණකි. ශාක්‍ය දේශයෙන් පැමිණි භද්දකච්චානා කුමරිය - විජය කුමරුගේ මලණුවන්ගේ පුත්‍ර පඬුවස්දේව් කුමරා සරණපාවා ගැනීම නිසා අත් වූ සම්බන්ධතාවය උඩ, විටින් විට පැමිණි උරුවේල - රාමගෝන - අනුරාධ - විජිත - දීඝායූ - උදේනි - රෝහණ ශාක්‍ය කුමරුවෝ හත්දෙනෙක්ම පිරිසත් සමග මෙරට ඒ ඒ ප්‍රදේශ භාරව ප්‍රාදේශීය බලය ද ලබාගෙන පදිංචි වූහ. මේ අනුව යක්ෂ නාග දේව සිංහ ශාක්‍ය කොටස් අතරට, තම පියරජතුමා ද තම සහේදරිය වූ සංඝමිත්තා රහත් තෙරණිය ඇතුළු ජය ශ්‍රී මහා බෝධියත්, විවිධ කාර්මික අංශයන්ට අයත් දඹදිව බිහාර් ප්‍රාන්තයේ සහ මධ්‍ය දේශයේ සිට එවන ලද කාණ්ඩ දහ අටකට අයත් දහ දොළොස් දහසක බෝධි ගුප්තික වංශික සෙනගද මෙරටේ දැන් ජීවත් වෙති. සියල්ලෝම එකමුතු ජනතාවක් බවට පත් නො කරගත හොත්, රටේ අනාගතයක් කිසිදාක ඇතිකර ගත නොහැකි බව රාජධර්ම පිළිබදව ද ගැඹුරු දැනුමක් ඇති මිහිඳු මාහිමියෝ තේරුම් ගත්හ. ධර්මාශෝක පියරජු විසින් “දේවානම්පිය” යන ගෞරව නාමයකින් ද මේ නොබෝදා උපහාර දක්වා ඇති තිස්ස රජතුමා සමග සුහදව එකම පවුලක සහෝදරයන් මෙන් සාකච්ඡා කොට දෙපළම එකම තීරණයකට පැමිණි බව උපකල්පනය කළ හැකිය.
“දෙවන පෑතිස් මහරජතුමනි, මා ලංකාවට පැමිණ දැන් වසරක් පමණ ගත වී ඇත. මගේ පැමිණීමෙන් බුදුදහම පමණක් නොව - මගේ නැගණියගේ පැමිණීමෙන් මෙහෙණි සස්නත් - බුදුබවට පත්වීමේදී සෙවණ දුන් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාවත් ලංකාවට ලැබි ඇත. ඒ අනුව බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නය ම, මේ පුණ්‍ය භූමිය වූ ලක් දෙරණෙහි පිහිටා ඇත. දැන් ඇත්තේ සියවසක් හමාරක් තුළ දී ම මේ රට සෞභාග්‍ය සම්පන්න බෞද්ධ රාජ්‍යයක් බවට පත් කර ගැනීමයි. එයට කළයුතු එකම දෙය ගෝත්‍රික වශයෙන් වංශ වශයෙන්, යක්ෂ - නාග දේව සිංහ ශාක්‍ය සහ බෝධිය රැගෙන ආ පියරජතුමා එවූ බෝධිගුප්තික පිරිස ද එකම කොටසක් බවට පත්කර ගැනීමය.”
“මිහිඳු මහරහතන් වහන්ස, අපි දෙදෙනා ම රාජ ධර්ම පිළිබඳ මනා දැනීමක් ඇති රාජකීයයෝ වෙමු. රටත් ජනතාවත් රැකගැනීමේ වගකීම ඇත්තේ අපේ රාජධර්ම අනුව රාජකීයයන්ටය. මිහිඳු මාහිමියන් වහන්ස, මාගේ පියාණන් මුටසීව මහරජ්ජුරුවෝය. එතුමාගේ හැට අවුරුදු රාජ්‍ය සමයට කලින් රට පාලනය කළෝ මගේ සීයා වන පණ්ඩුකාභය රජතුමාය. පණ්ඩුකාභය රජතුමාගේ හැත්තෑ අවුරුදු රාජ්‍ය සමය තුළ අනුරාධපුරය අගනුවර බවට පත් වී ය. එතුමාගේ මව උම්මාද චිත්‍රාවෝ ය. ඒ මගේ මිත්තණිය යි. ඇයගේ මව ශාක්‍ය දේශයෙන් අහම්බෙන් ලංකාවට පැමිණි භද්දකච්චානා කුමාරිකාවෝ ය. එතුමියගේ පියා පණ්ඩුශාක්‍ය රජතුමාය. එතුමාගේ පියා ශ්‍රමණ භවත් බුදුරදුන්ගේ පිය මහරජතුමන් වූ ශුද්ධෝදන රජතුමා ගේ, එක කුස උපත ලද බාල ම මලණුවන් වූ අමිතෝදන රජ්ජුරුවෝය.
අනිත් පැත්තෙන් බලතොත් ශාක්‍ය රටෙන් මෙහි පැමිණ පදිංචි වූ භද්දකච්චානා කුමාරිකාවගේ ශාක්‍ය සහෝදර පිරිසය. එයින් දීඝායු ශාක්‍ය කුමරු පාලනය කළේ ලක්දිව නැගෙනහිර දේශයයි. එහි විසූ අර පැරණි යක්ෂ ගෝත්‍රික ප්‍රතාපවත් රාවණ රජතුමාගේ පෙළපතට අයත් සිථිලා යක්ෂ ගෝත්‍රික කුමරිය දීඝායු ශාක්‍ය කුමරාගේ බිරිඳ විය. ඒ දෙපළගේ එකම පුත්‍රයා - දීඝගාමිණී කුමරාය. ඔහු සරණපාවා ගත්තේ තම පියාණන්ගේ සහෝදරිය වූ භද්දකච්ඡානා දේවියගේ දියණිය වූ එක්ටැම් ගෙයි රක්ෂිතව සිටි, උන්මාදචිත්‍රාවෝය. ඇගේ පුත්‍රයා පණ්ඩුකාභයය. පියා ශාක්‍ය වංශික දීඝායු කුමරාය. මේ නිසා මගේ ඒ පණ්ඩුකාභය මුත්තණුවන්ට යක්ෂ ගෝත්‍රික කාලවේල සහ චිත්තරාජ යක්ෂ සෙන්පතියන් ප්‍රධාන ජනතාවගේ පූර්ණ ආරක්ෂාව හා ආශීර්වාදය ලැබුණි. එහි ප්‍රතිඵලයක් වශයෙන් එතුමාට රටේ රජකම ලබා ගැනීමට පහසු විය.
“මගේ පිය පාර්ශ්වයේ මූලිකයා වූ විජය රජතුමාගෙන් එන සිංහ කිරීටය අතහැරීමට මම කැමැති නොවෙමි. එනිසා මහින්ද මහරහතන් වහන්ස  මගේ පිය පරපුරෙන් ආ සිංහ නාමයෙන් ම, අපේ රට එකමුතු කරන ජනතාවන්ගේ, කිරීටය සහ සිංහාසනය අනාගතය සඳහා අරක්ෂා කරතැබිම මගේ පරම පවිත්‍ර වගකීම සේ සළකමි. මේ සඳහා ඔබ වහන්සේ මට සපුරා සහාය දිය යුතුයැයි” අයැද සිටිමි.
මේ දේවානම්පියතිස්ස තරුණ රජතුමාගේ කරුණු සහිත ඉල්ලීමට මහින්ද මහරහතන් වහන්සේ සපුරා කැමැත්ත පළ කළහ. දෙදෙනාගේම එකම නිගමනය වූයේ, ඉහත කී සියලු ගෝත්‍රිකයන්ට අයත් ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම භික්ෂු ශාසනයත් මෙහෙණි සසුනත් හිමිකර තැබිමයි. ඒ අනුව වර්ග භේද වර්ණ භේද - ගෝත්‍ර භේදයන්ගෙන් තොරව සියල්ලන්ට ම ‍පොදුවේ මහණකම ලබා දුන්නෝය. භික්ෂු ශික්ෂුණී දෙපක්ෂය පැවිද්දෙන් එකමුතු බවට පත්වීම නිසා පරම්පරා දෙක තුනක් ගතවෙත්ම රටම සිංහල නමින් ජාතියක් බවට පත්විය. එදා මේ උත්තරීතර නිගමනයට පින්සිද්ධ වෙන්ට අදත් ලංකාවේ සිංහල නමන් ජාතියක් පවතී. වෙනත් රටවල මෙන් එක එක භාෂා කතා කරන එක එක සංස්කෘතික ලක්ෂණයන්ගෙන් යුත් අන් ගෝත්‍ර කිසිවක් සිංහල ජනයා තුළ නැත්තේය. මිහිඳු මහරහතන් වහන්සේ පැමිණ බුදුදහම ඇතිකළා පමණක් නොව දෙවන පෑතිස් මහරජතුමා සමග කතාබස් කොට සිංහල ජාතියක් ඇතිකළ ආකාරය මෙයින් දත හැකිය. මේ මහාකාර්යභාර්යයට මුල පිරුෙවේ ද උතුම් ‍පොසොන් පුර පසළොස්වක් ‍පොහෝ දිනක සිදු වූ මේ අසිරිමත් ප්‍රබෝධය ම බව අමතක නොකළ යුතුය.