දුටුගැමුණු රජු කල පිරිණිවන් පෑ මලියදේව හිමියන් ලංකාවේ අන්තිම රහත් තෙරනම නොවේ. සැබැවින්ම, අද වුව රහතුන් බිහි විය හැකිය. ඒ සදහා අවශ්‍ය වන්නේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ ශ්‍රී සද්ධර්මය සීල සමාධි ප්‍රඥා වශයෙන් දියුණු කොට සාක්ෂාත් කිරීමයි.

ඔබත් බුදුරදුන් පෙන්වා වදාළ උත්තම දහම් මාර්ගයේ ගමන් කරන්න


Powered by දහම් විල


ලිපි සඳහා පහත මාසය අනුව ලිපි පටුන බලන්න

අද ශ්‍රී ලංකාවේදී මුළුදෙන ලෝක බෞද්ධ සංඝ සම්මේලනය

අපේ ශාසන ඉතිහාසය දෙස අවධානය යොමු කරන විට පැහැදිලි වෙන්නේ ශාසනික වශයෙන් එළඹෙන අභියෝගවලට මුහුණ දීම භික්ෂු මහා සංඝරත්නය සංවිධානාත්මකව කටයුතු කර ඇති ආකාරයයි. 

සැබැවින්ම සඟ සමාජය සංවිධානාත්මක  වීමට පටන් ගත්තේ බුදුරජාණන් වහන්සේ ධරමාන වැඩ විසූ සමයේදීමය. මුල් යුගයේදී භික්ෂු සංඝ සමාජයෙහි එතරම්  විනය ප්‍රශ්න උද්ගත නොවීය. එහෙත් පසුව විවිධාකාර අරමුණු ද පසුබිම්ද සහිත පුද්ගලයෝ ශාසනයට එක්වීම නිසා නොයෙක් අර්බුද උද්ගත වූ අයුරු අපට පෙනේ. මෙනිසා මුල් වටයේදී විනය ප්‍රඥප්ති නොපැණ වූ බුදුරජාණන්වහන්සේ පසුව විනය නීති පැණවීමට යොමු වූහ. කෙසේ වුවද මෙසේ විනය නීති පැණවීම නිසා සංඝ සමාජයට යම් සංවිධානාත්මක හැඩයක් ලැබිණි. මහ සඟ සමාජයේ ඒකායන සෘජු අරමුණ නිර්වාණ ධර්මය සාක්ෂාත් කිරීමය. ගිහි සමාජයට තිබෙන බාහිර සම්බාධක උන්වහන්සේලාට නොමැත. උන්වහන්සේලාට තිබෙන එකම කාරිය සංඝ වේශයෙන් නිවන් මඟට යොමු වීමය.
විනය ප්‍රඥප්ති පැණවීමෙන් ඒ ගමනට යම් පිටුබලයක් ලැබුණු බව පෙනේ.
එසේම සීමා මාලකයට රැස්ව විනය භික්ෂු කර්මවල නිරතවීමද සංඝයා අතර සංවිධානාත්මක භාවය ප්‍රවර්ධනයට ඉවහල් විය. නිතර භික්ෂුන් ඇමතු බුදුරජාණන් වහන්සේ වදාළේ “භික්ෂුන්ට ඔවුනොවුන්ගේ පිහිට හැර වෙන පිහිටක් නොමැති බවය.” ඊට හේතුව උන්වහන්සේලා මාපිය දූ දරුවන් සහෝදර සහෝදරියන්  ආදි ගිහි නෑ හිතමිතුරන් අතහැර උතුම් පැවිදි බිමට පත්වීමය.
එසේ බුදුරජාණන් වහන්සේ නිතර සඟ සමගිය අවධාරණය කළ හෙයින් භික්ෂුහු සමගියෙන් යුක්තව පෙරට පැමිණියහ.
ශාසන ඉතිහාසය දෙස බලනවිට අපට පැහැදිලිවෙන්නේ ශාසනයෙහි  පැවැත් වූ පළමු මහ සඟ සමුළුව ලොවුතුරා තථාගත බුදුරජාණන් වහන්සේගේ මූලිකත්වයෙන් රජගහනුවර වේළුවනාරාමයේදී පැවැත් වූ බවය. එම මහා සඟ සමුළුවට එදා දඹදිව විවිධ තැන්වල වැඩවිසූ මහා සඟරුවන වැඩම කළහ. භික්ෂු සංඝයාගේ මහා සාමග්‍රිය ලොවට පෙන් වූ එම පළමු මහ සඟ සමුළුවේදී සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලා අගසව් තනතුරු ලැබූහ. ඉන්පසු ඉතිහාසයේ විවිධ අභියෝග හමුවේ භික්ෂුහු රැස්වූහ. සංවිධානාත්මක වූහ.
ලෝකයේ නොයෙක් රටවල බෞද්ධ ඉතිහාසය විමසා බැලීමෙන් අපට එසේ පැහැදිලිවේ.
මෑත යුගයේ අන්තර්ජාතික වශයෙන් ලෝක ශාසනික අරමුණු රැසක් මුල්කරගෙන භික්ෂු සංඝයා සංවිධානාත්මක වීමට දැරූ උත්කෘෂ්ට ප්‍රයත්නයක් සේ ශ්‍රී ලංකාවේදී ලෝක බෞද්ධ සඟ සමුළුව ස්ථාපිත කිරීම දැක්විය හැකිය. අන්තර් ජාතික වශයෙන් වැදගත් වන සංඝ සම්මේලනයක් ඇරඹිය යුතුයැයි 1964දී මිහින්ත‍ලේ පැවැති රැස්වීමකදී තීරණය කර එය සැලසුම් කිරීම සඳහා විදේ‍යා්දය පරිවේනාධිපති කළුකොඳයාවේ ශ්‍රී ප්‍රඥශේඛර මහානාහිමිපාණන් වහන්සේගේ සභාපතිත්වයෙන් කෘත්‍ය සම්පාදක කොමිටියක් පත්කර ගන්නා ලදී.
මෙම සම්මේලනය 1966දී කොළඹ තරුණ බෞද්ධ සමිති ශාලාවේදී පැවැත්වීමට තීරණය කෙරිණි. එම සම්මේලනයේ උපස්ථාන කටයුතු සඳහා ගිහි ප්‍රධානත්වය දරන ලද්දේ රාජනීතිඥ සිරි පෙරේරා මහතාය. 
මෙම මහ සඟ සමුළුවේ සුවිශේෂත්වය වෙන්නේ ඊට ථෙරවාද මහායාන සියලුම සම්ප්‍රදායන්වලට අයත් භික්ෂු නියෝජිතයන්  සහභාගි වීමය.
කොළඹදී එකල සිලෝන් නමින් හැඳින් වූ මේ මහා සඟ සමුළුවට ශ්‍රී ලංකාව සේම කාම්බෝජය, චීන ජනරජය, එංගලන්තය, හොංකොං දේශය, ඉන්දියාව, කොරියාව, ලාඕසය, මැ‍ලේසියාව, නේපාලය, පාකිස්තානය, සිංගප්පූරුව, තායිලන්තය, වියට්නාමය, යන රටවල් නියෝජනය කරමින් නියෝජිතයෝ  135 ක්ද නිරීක්ෂකයෝ 60ක්ද සහභාගි වූහ. මෙම සඟ සමුළුවේ සුවිශේෂතාව අතිපූජ්‍ය ශුද්ධෝත්තම දලයිලාමා තුමාණන් ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගිවීමය. චීනයේ බලපෑම නිසා ඉන්පසු දලයි ලාමාතුමාට මෙරටට වැඩම කිරීමට අවස්ථාවක් නොලැබිණි. 1966 මැයි 8 දා සිට 11 දා දක්වා දින හතරක් තිස්සේ පැවැත්වූ මේ මහා සංඝ සම්මේලනයේදී මූලික පදනම වූයේ ධර්මය පදනම් කරගෙන සාමය සහ සතුට පිරි ලෝකයක් ගොඩනැගීමය. මේ කාලයේදි සම්මේලන ව්‍යවස්ථාවක්ද සම්මත කර ගනු ලැබිණි. එසේම සමුළුවේ ඒකමතික සම්මතයෙන් පහත නම් දැක්වෙන නියෝජිතයන්ගෙන් යුක්ත  ඔවුනොවුන්ගේ රටවල් නියෝජිතයන් කිරීමට කොටසක් පත් කර ගනු ලැබිය.
1. ආචාර්ය තිචි තාම් චූ හිමි - වියට්නාමය (සභාපති)
2. ආචාර්ය එල්ලාවල - නන්දීශ්වර හිමි - ඉන්දියාව  ‍ලේකම්
3. පායිසෙන්ග් හිමි - මහජන චීනය
4. කේ .කේ. පියසීල හිමි -   කාම්බෝජය
5. පාර්ක්ලු ඵලදානය  කවතාන හිමි - මැ‍ලේසියාව
6. ධම්ම වීර්ය කිම් සැන්ග් හිමි  - වියට්නාමය.
7. පාරා මහා පත් ආනන්ද හිමි - ලාඕසය
මෙම සමුළුව දෙවනවර පැවැත්වූයේ වියට්නාමයේ සයිගොන් නුවරදීය.
වර්ෂ 1969 ජුනි මාසයේදී වියට්නාමයේදී පැවැත්වූ මෙම ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ සභාපති ධුරයට පත්කර ගැනීමට එහි කෘත්‍ය විධායක කමිටුව කල් තියාම තීරණය කර තිබුණේ ශ්‍රී ලංකාවේ පමණක් නොව විදේශයන් හි පතල කීර්තිධර ප¾ඩිරුවනක් වූ විදේ‍යා්දය පරිවේනාධිපති හා ශ්‍රී කල්‍යාණි සාම ග්‍රි ධර්ම මහා සංඝ සභාවේ මහානායක කළුකොඳයාවේ ශ්‍රී ප්‍රඥාශේඛර මහානාහිමියන්ය. ඒ අනුව කළුකොඳයාවේ මහානාහිමියන් වියට්නාමයට වැඩම කළ අවස්ථාවේදී උන්වහන්සේ විශාල පිළිගැනීමකට ලක්වී ඇත. උන්වහන්සේ නිසා මෙම සමුළුවට විශාල කීර්තියක් අත්වී ඇත. එම වියට්නාම සමුළුව විවෘත කරන ලද්දේ එවකට වියට්නාම ජනාධිපතිතුමා විසිනි.
පිඹුරේ සෝරත නාහිමි, මාපලගම විපුලසාර නාහිමි, මෙම සමුළුවේ ‍ලේකම් ධුරය හෙබවූහ. වර්තමානයේ මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමියෝ මෙම ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ (ඉංගිරිසි අංශයේ) ‍ලේකම් ධුරය හොබවති.
මෙසේ යහපත් ආරම්භයකින් ගමනට යොමු වූ ලෝක බෞද්ධ  සංඝ සභාව මුලදීම පනවා ගත් ව්‍යවස්ථාව අනුව කටයුතු කළ අතර කිසිම විටෙක එය කඩ නොකළේය. එහි නිල ධජය සේ සම්මත වූයේ ෂඩ්වර්ණ බෞද්ධ  ධජයයි. එසේම මහ ‍ලේකම් කාර්යාලය සහ තොරතුරු මධ්‍යස්ථාන  (මූලස්ථානය)  මහා සම්මේලනයේ අනුමැතිය පරිදි කවර හෝ රටෙක ස්ථාපිත කළ හැකිය. වර්තමානයේ එහි ‍ලේකම් කාර්යාලය ස්ථාපිත කර තිබෙන්නේ තායිවානයේ තායිපේ නුවරය. 
සංවිධානමය සහ පෞද්ගලික වශයෙන්  සාමාජිකත්වය දෙයාකාරය. සංවිධාන  සාමාජිකත්වය සංඝ සම්මේලනයේ රෙගුලාසිවලට ගැලපෙන කවර හෝ බෞද්ධ සංවිධානයකට භික්ෂුන් වහන්සේ නමක් ප්‍රධානත්වය දරන විහාරස්ථානයකට විවෘතය. සංඝ සම්මේලනයේ රෙගුලාසිවලට එකඟ විනයගරුක භික්ෂු භික්ෂුණීන්ට පෞද්ගලික  සාමාජිකත්වය විවෘතය. මහා සම්මේලනයේ පූර්ණ එකඟතාව අනුව සභාපති ධුරය  තීරණය වේ. එසේම එම එකඟතාවය පරිදි උපසභාපති ධුර දෙකක් ඊට වැඩි සංඛ්‍යාවක් සඳහා සුදුස්සන් පත්කරගත හැකිය. ‍ලේඛකාධිකාරී ධුරය චීන සහ ඉංග්‍රීසි අංශ සඳහා පත් කර ගත යුත්තේ සභාපතිවරයාගේ සේම මහා සම්මේලනයේ අනුමැතිය අනුවය. චීන සහ ඉංග්‍රීසි  අංශ සඳහා සහය ‍ලේඛකාධිකාරි ධුර  දෙකක්  පත් කරගත හැකිය. ඒ පෙර සේ සභාපතිවරයාගේ සහ මහා සම්මේලනයේ එකඟතාව පරිදිය. භාණ්ඩාගාරික ධුරයද පූර්ණත්වය පත් කරනුයේ  ඉහත දැක්වූ පිළිවෙළටය.
ධර්මදූත සේවාව අධ්‍යාපනය, සමාජ සුබසාධනය, තරුණ කටයුතු, සංස්කෘතික පුදපූජා, සන්නිවේදන, මූල්‍ය පර්යේෂණ සහ සංවර්ධන භික්ෂුණී කටයුතු  යනාදී ක්‍රියාකාරකම් සඳහා ලෝක බෞද්ධ සංඝ  සම්මේලනය විධායක කමිටු දහයකින් යුක්තය. මුලදී සඳහන් කළ පරිදි 1966 දී ශ්‍රී ලංකාවේ කොළඹදී ආරම්භ වු ලෝක බෞද්ධ සංඝ සම්මේලනය වියට්නාමය (ෂේයිගොං) (1969 දී) තායිවානය (තායිපේහි) දී 1981 (දෙසැම්බර්) තායිලන්තය (බැංකොක්)  (1986) තායිවානය (තායිපේ) (1989) මැ‍ලේසියාව (පිනෑන්ග්) මැ‍ලේසියාව (ක්වාලාලම්පූර්) (2005) යනාදී රටවලද රැස් විය.
මේ වසරේදී ශ්‍රී ලංකාවේදී මැයි 8 වැනිදා (අද) නෙළුම් ‍පොකුණේදී  රැස්වීමට නියමිත ලෝක බෞද්ධ සංඝ සම්මේලනය ඒ අනුව අපේ රටේදී පවත්වනුයේ  දෙවැනි වරටය. එමගින් ‍පොදුවේ භික්ෂු  සමාජයටත් සමස්ත බෞද්ධ  සමාජයටත් යම් යහපත් පෙළඹවීමක් ලැබෙන්නේනම් එය ශාසනකාමීන්ගේ ඉමහත් තෘෂ්ටි වර්ධනයට  හේතුවේ. ලෝක මට්ටමෙන් සංඝ සමාජය සංවර්ධනය කිරීම ලෝක බෞද්ධ ධර්ම දූත සේවාව ප්‍රවර්ධනය, විවිධ බෞද්ධ සම්ප්‍රදායන් අතර සංවාදයන් හා සබඳතාවන් ගොඩ නැගීම, බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් ලෝක භාවිතයට යොදාගැනීම යනාදී මූලික අරමුණු හතරක් මුල් කරගත් ලෝක බෞද්ධ සංඝ සම්මේලනය පිළිබඳ රාජ්‍ය හා සමාජයීය  මට්ටමින් අප අපේ පූර්ණ අවධානය යොමු කර එය බෞද්ධ ප්‍රබෝධයට යොදාගත යුතුය.


2012 මැයි 07 වෙනි සදුදා, ලක්බිම 
ධර්ම ශ්‍රී තිලකවර්ධන, වරුණ අබේසේකර