දුටුගැමුණු රජු කල පිරිණිවන් පෑ මලියදේව හිමියන් ලංකාවේ අන්තිම රහත් තෙරනම නොවේ. සැබැවින්ම, අද වුව රහතුන් බිහි විය හැකිය. ඒ සදහා අවශ්‍ය වන්නේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ ශ්‍රී සද්ධර්මය සීල සමාධි ප්‍රඥා වශයෙන් දියුණු කොට සාක්ෂාත් කිරීමයි.

ඔබත් බුදුරදුන් පෙන්වා වදාළ උත්තම දහම් මාර්ගයේ ගමන් කරන්න


Powered by දහම් විල


ලිපි සඳහා පහත මාසය අනුව ලිපි පටුන බලන්න

වෙසක්‌ : සම්මා සම්බුදුවරුන්ගේ දිනයයි


සියලුම අතීත බුදුවරයන් වහන්සේලා බුද්ධත්වයට පත්වූයේ වෙසක්‌ පොහොය දිනයේය. එහෙයින් වෙසක්‌ යනු බුද්ධත්වයේ දිනයයි. එසේත් නැතිනම් බුදුවරුන්ගේ දිනයයි. බුද්ධත්වය හා බුදු සිරිතේ සෙසු අසිsරිමත් සිදුවීම් දෙක වන උපත හා පිරිනිවීම සිsහිපත් කිරීම සඳහා ලෝකවාසී බෞද්ධයන් විසින් වෙසක්‌ පොහොය දින අතිඋත්කර්ෂවත් අන්දමින් සමරනු ලැබේ. සිද්ධාර්ථ භාරතයේ කපිලවස්‌තුවේ විසූ සුද්ධෝදන මහරජතුමාට දාව මහාමායා දේවියගේ කුසින් උපන් පින්වත් කුමරෙකි. එතුමන්ගේ උපත භාරතයේ ලුම්බිණි සල් උයනේ දී සිදු විය. වයස දහසයේ දී පින්වත් යශෝධරා කුමරිය සමග යුග දිවියට පත්ව රාහුල නමින් පින්වත් පුත් කුමරෙක්‌ ලැබීය. සුද්ධෝදන රජු වැනි ආදරණීය පියකුගේ පුතෙකු වීමේ භාග්‍යය ලද සිද්ධාර්ථ කුමරුට සුඛෝපභෝගවලින් අනූන සැපවත් ජීවිතයක්‌ ලැබුණේය. එහෙත් පෙර පුරන ලද පාරමිතා බලයෙන් ඒ සියලු කාමසුඛල්ලිකානුයෝගයන් තාවකාලික තෘප්තියක්‌ ලබා දුන්නත් ඒවා දුකට හේතු වන බව තේරුම් ගත්තේය. එහි ප්‍රතිඵලයක්‌ වශයෙන් ලෞකික සැප හිමිදිරියේ ඉවතලන කෙළපිඬක්‌ සේ ප්‍රතික්‍ෂේප කොට ලෝකෝත්තර සුවය පතා තම වයස විසිනවයේදී මහා අභිනිෂ්ක්‍රමණය කළේය.

ඉන් පසු අතිශයින්ම කඨෝර වූ දුෂ්කර ප්‍රතිපදාවකට තම ගත සිත යොමු කළ සිද්ධාර්ථ තවුසා ශරීරයට අධික දුක්‌ දීමෙන් විමුක්‌තිය ලැබෙන බව තදින්ම විශ්වාස කළ යුගයක එය දුකට හේතු වන බව අවබෝධ කොට ප්‍රතික්‍ෂේප කළේය. එසේම එම අත්තකිලමථානුයෝගය අනාර්ය වූවක්‌ මෙන්ම අනර්ථය පිණිස වූවක්‌ බව ද ප්‍රකට කළේය. (දුක්‌ඛො, අනරියෝ, අනන්ථ සංහිතො) තම ජීවිතයේ ස්‌ව අත්දැකීම් මගින්ම මෙම කාමසුඛල්ලිකානුයෝගය හා අත්තකිලමථානු යෝගය යන අන්ත දෙකම ප්‍රතික්‍ෂේප කරන සිද්ධාර්ථ බෝසත් යෝගාවචරයා මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කොට මීට වසර 2600 කට පෙර වෙසක්‌ පුන් පොහෝ දිනයක බුද්ධත්වාවබෝධය කළේය. එහෙයින් උන්වහන්සේ දෙව් මිනිසුන් සහිත ලෝකයේ ගුරුවරයා බවට පත් වූ සේක (ලෝකවිදූ) තම වයස තිස්‌පහේදී ලොව්තුරු බුද්ධ රාජ්‍යයට පත් ශාක්‍යමුනි සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේ එතැන් පටන් වයස අසූව දක්‌වා වූ හතළිස්‌පස්‌ වසරක්‌ සමස්‌ත මිනිස්‌ වර්ගයාට පමණක්‌ නොව සතා සිව්පාවාට පවා යහපත සැලසෙන විශ්ව ව්‍යාප්ත ධර්මයක්‌ දේශනා කළ සේක. සෙසු බුදුරජාණන් වහන්සේලා මෙන්ම ගෞතම බුදුරජාණන් වහන්සේ ද තම ශාසනය තුළ ව්‍යක්‌ත විනීත විශාරද ධර්මානුධර්ම පටිපන්න ශ්‍රාවක පිරිසක්‌ බිහිකොට වෙසක්‌ පොහෝ දිනයකම විශාලා මහනුවර උපවර්තන සල් උයනේ දී පිරිනිවන් පා වදාළ සේක. 

වෙසක්‌ උත්සවයේ ආරම්භය ක්‍රි. පූ. 3 වැනි සියවසේ විසූ ධර්මාශෝක අධිරාජයාගේ කාලය තෙක්‌ ඈතට දිවයන්නකි. ධර්මාශෝකගේ 15 වැනි ගිරි ලිපියෙහි එතුමා විසින් පවත්වන ලද ඉතාමත් දැකුම්කලු උත්කර්ෂවත් උත්සවයක්‌ වාර්තා කෙරෙන අතර එහි දිව්‍යමය රථවල දිව්‍යමය පිළිම තබා ප්‍රදර්ශනය කෙරුණු බව වාර්තා වේ. ඊට ශතවර්ෂ කීපයකට පසු එනම් ක්‍රි. ව. 5 වැනි ශතවර්ෂයේ පාහියන් නම් චීන දේශාටන භික්‍ෂුව විසින් පාඨලීපුත්‍ර නගරයේ පවත්වන ලද පෙරහැරක්‌ වාර්තා කරයිs. එය වසරේ දෙවැනි මාසයේ අටවැනි දින පැවැත්වූවක්‌ වශයෙන් දැක්‌වේ. එම ආගමික උත්සවය විස්‌තර කරන පාහියන් හිමි රෝද සතරකින් යුත් රථ මත සතරකට බෙදුණු උණ බම්බුවලින් ඉදිකරන ලද සැකිල්ලක්‌ මත ස්‌වර්ණමය හා රිදී දේව පිළිම හා බුදු පිළිම තබා තිබෙන අයුරු මැනවින් ඉදිරිපත් කරයි. එම රන්වන් බුද්ධ ප්‍රතිමාව හිඳි පිළිමයක්‌ වූ අතර එය වටේට එම උණ සැකිල්ලේ හතර කොනේ දේව පිළිම හතරක්‌ ද තැන්පත් කොට තිබුණු බව ද වාර්තා කරයි. එම සෑම බුද්ධ ප්‍රතිමාවකටම උපස්‌ථායක බෝසත් පිළිරුවක්‌ ද තිබිණි. එබඳු රථ විස්‌සක්‌ පමණ පෙරහැරේ ප්‍රදර්ශනය කෙරුණු අතර එම සෑම රථයක්‌ම එකක්‌ අනෙකට වෙනස්‌ අයුරින් විසිතුරුව නිර්මාණය කොට තිබුණු බව දැක්‌වේ. චීන දේශාටන පාහියන් භික්‍ෂුව විසින් විස්‌තර කරන ලද මෙම මනස්‌කාන්ත පෙරහැර අශෝකාධිරාජයා විසින් ආරම්භ කරන ලද පූර්වෝක්‌ත පෙරහැරේම සංවර්ධිත අවස්‌ථාවක්‌ බව සැලකිය හැකිය. මෙය සත්‍යයක්‌ වශයෙන් ගතහොත් ක්‍රි.පූ. 3 වැනි සියවසේ අර්හත් මහා මහින්ද තෙරුන් බුදු සසුන හා වෙසක්‌ උත්සවය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන්නට ඇතැයි පිළිගත හැකිය. 

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වෙසක්‌ උත්සවය සැමරීම වාර්තා වන්නේ දුටුගැමුණු රාජ්‍ය සමයේය. (ක්‍රි. පූ. 101-72) දුටුගැමුණු රජතුමා විසින් කරන ලද පින්කම් රචනා කොට තබන ලද එතුමාගේම පිං පොතෙහි වෙසක්‌ පින්කම් (උත්සව) විසිහතරක්‌ පැවැත්වූ බව සඳහන් කර තිබේ. ඒ අනුව එතුමා රාජ්‍යය කළ වසර විසිහතරක කාල සීමාව තුළ වෙසක්‌ උත්සවය වාර්ෂිකව සිදුකරන්නට ඇති බව පිළිගත හැකිය. දුටුගැමුණු මහරජතුමා වෙසක්‌ පූජාවන් 24 ක්‌ කළ බව මහාවංශයද මෙසේ වාර්තා කරයි.

"මහා විසාඛ පූජාව - චතුවීසති කාරයිං 

දීපෙ සංඝස්‌ස තික්‌ඛත්තුං - තිචීචරමදාපයිං"

(පරිච්ඡේදය 32, ගාථාව 35)

භාතිකාභය රජතුමා ද රාජ්‍ය විචාළ විසිඅට අවුරුද්දක කාලය තුළ වෙසක්‌ උත්සව විසිඅටක්‌ අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වූ බව වාර්තා වේ. වසභ රජතුමා ද පින්කම් රාශියක්‌ සිදුකළ බව වාර්තා වන අතර වෙසක්‌ උත්සවය ද ඉන් එකකි. එතුමා තම විසිඅට වසරක රාජ්‍ය කාලය තුළ වෙසක්‌ උත්සව විසිඅටක්‌ සිදු කළේය. ඒවායේ පරමාර්ථය වූයේ තමන්ට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමයි. එසේම වෝහාරික තිස්‌ස හා ගෝඨාභය (මේඝවර්ණ) යන උභය රජවරු ද වෙසක්‌ උත්සව පැවැත්වූවා පමණක්‌ නොව මහා සංඝරත්නයට සිවුරු ද පූජා කළෝය. ජෙට්‌ඨතිස්‌ස මුගලන්, දෙවැනි සේන, පළමුවැනි පරාක්‍රමබාහු යනාදී ශ්‍රී ලංකා ඉතිහාසයේ බොහෝ රජවරු මෙම පුරුදුතාව අනුගමනය කරමින් වෙසක්‌ උත්සව හා පින්කම් සිදු කළෝය. දෙවැනි සේන රජතුමා මෙම වෙසක්‌ පින්කමට හා උත්සවයට නව අරුතක්‌ එකතු කරමින් දුප්පත් දුගී ජනතාවට ආහාරපාන හා ඇඳුම් පැළඳුම් ලබාදීම ද සිදු කළේය.

මෙලෙස ඓතිහාසිකව සිදු කරමින් ආ ශ්‍රේෂ්ඨ බෞද්ධ වෙසක්‌ උත්සවය කතෝලික හා ක්‍රිස්‌තියානි බටහිර පාලකයන්ගේ ප්‍රාදූර්භූතියත් සමගම අභාවයට ගියේය. ශීS්‍ර ලංකා මුහුදුබඩ ප්‍රදේශයේ පාලන බලය අත්පත් කර ගත් ඕලන්ද ආක්‍රමණිකයෝ ක්‍රි. ව. 1770 නොවැම්බර් 01 වැනිදා සිට පෝය නිවාඩු දිනය තහනම් කළේය. මෙම තහනම ලංකාවේ එතෙක්‌ සිදු කරමින් ආ වෙසක්‌ උත්සවය හා සෙසු සාම්ප්‍රදායික ආගමික උත්සවවල අවසානයට හේතු විය. එසේම 1817 අප්‍රේල් 05 වැනිදා ඉංග්‍රීසි පාලකයන් විසින් ඉරු දින නිවාඩු දිනයක්‌ කිරීම පෝය දිනය වැඩ කළ යුතු දිනයක්‌ බවට තවදුරටත් නම් කිsරීම වෙසක්‌ උත්සවය හා පෝය නිවාඩුව ලක්‌ පොළොවෙන් තුරන් වීමට බලපෑවේය. මෙම බ්‍රිතාන්‍ය පාලන සමයේ ශ්‍රී ලාංකේය බෞද්ධයන්ගේ සියලුම උරුමයන් විනාශ වී ගියේය. එහෙත් ඔවුන් එබඳු අභාග්‍ය සම්පන්න කාලයක වුවත් තම ආගම වූ බුදු දහම අත් නොහැර සිටීම භාග්‍යයකි. අප්‍රමාණ දුෂ්කරතා මධ්‍යයේ වුවත් දැන උගත් භික්‌ෂූන් විසින් බෞද්ධ ජනතාවගේ අයිතීන් සුරැකීමට ගත් උත්සාහයන් අමරණීය වේ. එබඳු එක්‌ ප්‍රකට අවස්‌ථාවක්‌ වශයෙන් පානදුරේ පඤ්ච මහා වාදය එසේත් නැතිsනම් පානදුරාවාදය සඳහන් කළ හැකිය. මෙය මෑතකාලීන ශ්‍රී ලාංකේය බෞද්ධ පුනරුදයේ හැරවුම් ලCෂ්‍යය වශයෙන් දැක්‌වීම නිවැරැදි විය හැකිය. වාදීභසිංහ මොහොට්‌ටිවත්තේ ගුණානන්ද හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලද මෙම වාදය ඇමරිකාවේ සිටි හෙන්රි ස්‌ටීල් ඕල්කට්‌තුමා ලංකාවට පැමිණ බෞද්ධයන්ගේ අයිතීන් සුරැකීමට කටයුතු කිරීමට තරම් ප්‍රබල වූයේය. ඕල්කට්‌තුමාගේ සහයෝගයෙන් ලාංකේය බෞද්ධයන් විසින් දිනාගත් එක්‌ උත්කෘෂ්ට ජයග්‍රහණයක්‌ වශයෙන් 1885 මාර්තු 25 වැනිදා වෙසක්‌ පුන් පෝය දිනය නිවාඩු දිනයක්‌ වශයෙන් එවකට සිටි යටත්විජිත ආණ්‌ඩුකාරයා ලවා අනුමත කරවා ගැනීම පෙන්වා දිය හැකිය. 

දර්ශනශූරී විද්‍යා විශාරද ආචාර්ය මැදවච්චියේ ධම්මජෝති හිමි 
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පාලි හා 
බෞද්ධ අධ්‍යයන පීඨය කොළඹ විශ්වවිද්‍යාලය