දුටුගැමුණු රජු කල පිරිණිවන් පෑ මලියදේව හිමියන් ලංකාවේ අන්තිම රහත් තෙරනම නොවේ. සැබැවින්ම, අද වුව රහතුන් බිහි විය හැකිය. ඒ සදහා අවශ්‍ය වන්නේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ ශ්‍රී සද්ධර්මය සීල සමාධි ප්‍රඥා වශයෙන් දියුණු කොට සාක්ෂාත් කිරීමයි.

ඔබත් බුදුරදුන් පෙන්වා වදාළ උත්තම දහම් මාර්ගයේ ගමන් කරන්න


Powered by දහම් විල


ලිපි සඳහා පහත මාසය අනුව ලිපි පටුන බලන්න

සත්‍ය ක්‍රියාවක්‌ නිවැරැදිව සිදුකරන ආකාරය

විපත් වළකන සත්‍යක්‍රියාවට ඔබත් එක්‌වන්න
පූජ්‍ය කුකුල්පනේ සුදස්‌සි හිමි

2004 වර්ෂයේ මැද භාගයේ ඇති වූ නිය`ගය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජල හි`ගයක්‌ මතුවිය. බොන්නට දිය පොදක්‌ නැති ප්‍රදේශවලට බව්සර වලින් ජලය ගෙනගොස්‌ බෙදා දෙන්නට බොහෝ දෙනා උනන්දූ වූහ. ජල හි`ගයෙන් මිනිසුන්ට සතා සිවුපාවාට පමණක්‌ නොව ගහකොළවලට පවා හානි පැමිණෙමින් තිබූ හෙයින් වර්ෂාව පතා වැසි පිරිත් ස-ක්‌ධායනා කළද සාර්ථක ප්‍රතිඵල නොපෙනුණි. පිපාසය සංසිඳුවා ගන්නට බොහෝ දුර සිට මුදල් වියදම් කර ගෙනැවිත් දෙන දිය පොද පවා යූරියා මුසු කොට ජලය සොයා එන වන සතුන්ට බොන්නට සලස්‌වා පිපාසය උත්සන්නව වෙහෙසී ඇද වැටෙන වන සිවුපාවුන් මරා කන්නට තරම් ඇතැම් නොමිනිසුන් සාහසික වූ බව පුවත්පත් වලින් දැනගන්නට ලැබුණි. මේ සියල්ල දැක දැක නිහ`ඩව සිටීම නුසුදුසුයෑයි හැ`ගුණු නිසා වර්ෂාව ඇති කරනු පිණිස අපිත් යමක්‌ කළ යුතු යෑයි සත්ජන සමාජ සංවර්ධන පදනමේ නිර්මාතෘ පී. කේ. යූ අදිකාරම් මැතිතුමන්ට යෝජනා කළෙමු. ඊට එක`ග වූ එතුමා ඒ සඳහා -චන්ද පිරිත" සජ්ජායනා කොට සත්‍ය ක්‍රියාවක්‌ සිදු කරමු යයි යෝජනා කර ඒ සඳහා සුදුසු දිනයක්‌ හා වේලාවක්‌ සනිටුහන් කර ගන්නා ලදී. ඒ අනුව නියමිත දින පාන්දර 2.00ට පමණ බුදුරජාණන් වහන්සේ උදෙසා සිසිල් පැන් කල සතරක්‌ පුදා සිසිල් ගුණ ඇති ගිලන් පස හා මල් ආදිය පුදා බුද්ධ වන්දනාව සිදු කළෙමු. ආකාසයේ වලාකුලක සටහනක්‌ පේන මානයක නොවූ අතර තරු පායා ඇති අහස ඉතා පැහැදිලිව දිස්‌ විය. මෙම විශේෂ අවස්‌ථාවට සහභාගි වූයේ අදිකාරම් මහතාත් මමත් තවත් එක්‌ අයෙකුත් පමණි. අපි ටික වේලාවක්‌ චJද පිරිත ස-ක්‌ධායනා කොට සත්‍යක්‍රියාවක නිරත වීමු.

එවලේම වැහිපොද වැටෙන හ`ඩ ඇසී පිටතට ගොස්‌ බලන විට ඉහළ ආකාශයේ කළු වලාකුළු ඒකරාශී වෙමින් වැහි පොද කෙමෙන් වේගවත් වෙමින් තිබුණි. එම දසුන අපටම ඇදහිය නොහැකි තරම් විය. ක්‍රමයෙන් වලාකුළු ඝන, වෙමින්, වැසි බිඳු මහත් වෙමින් උදෑසන වන විට ධාරානිපාත වර්ෂාවක්‌ ඇදහැලෙන්නට විය. එම වැසි වළාවන් අනුක්‍රමයෙන් ව්‍යාප්ත වෙමින් අවට ප්‍රදේශවලටද, අනතුරුව නිය`ගය පැවති ප්‍රදේශයවලටද වර්ෂාව ඇදහැලුණි. ඒ අපගේ උත්සාහයෙන් පමණක්‌ යයි අපි නොකියමු. ලක්‌දෙරණ පුරා බොහෝ දෙනාගේ මානසික උත්සාහය ඊට හේතු වන්නට ඇත. නමුත් අපගේ ප්‍රයත්නය එවේලේම ඵල දැරූ ආකාරයත් සත්‍යක්‍රියාවේ ක්‍ෂණික ඵලයත් අපි එයින් මැනවින් ප්‍රත්‍යක්‍ෂ කළෙමු. ඉන් පෙරත් පසුවත් විවිධ අවස්‌ථාවන්හිදී පොදු විපත් වළකනු පිණිස අපි සත්‍යක්‍රියා කොට සාර්ථක ප්‍රතිඵල අත්දුටුවෙමු. ඉහත දැකවූයේ ඉන් එක්‌ අත්දැකීමක්‌ පමණි.

සත්‍යක්‍රියාවලින් විපත් වළකා ආත්මාර්ථය පරාර්ථය සාධනය කරගත් අවස්‌ථා පිළිබඳව බෞද්ධ ඉතිහාසයේ විවිධ ප්‍රවෘත්ති සඳහන් වේ. මහ බෝසතාණන් වහන්සේගේ සත්‍ය ක්‍රියාවේ බලය පිළිබඳව ජාතක ප්‍රවෘත්තී වලින් බොහෝ කරුණු අනාවරණය වන අතර මෑත ඉතිහාසයේ සිsරිස`ගබෝ රජු සත්‍යක්‍රියා කොට නිය`ගයෙන් හා රක්‌තාක්‍ෂි උවදුරින් රටවැසියන් මුදාගත් අයුරු ලංකා ඉතිහාසයේ දැක්‌වේ. ඒ සියලුතොරතුරු කැටිකොට ගත් කල -'සත්‍යක්‍රියාව යනු ආත්මාර්ථ පරාර්ථ සාධනය සඳහා භාවිත කළහැකි ඉතාම සාර්ථක උපාය මාගර්යක්‌ බව' පැහැදිලි වේ.

නමුත් සත්‍යක්‍රියාවක්‌ නිවැරදිව සිදුකිරීමට නම් ඒ සඳහා තිබිය යුතු ගුණාංග හා මානසික ශක්‌තිය අවදි කරගතයුතු ආකාරය පිළිබඳව නිසි අවබෝධයක්‌ තිබිය යුතුය. සත්‍යක්‍රියාව යනු හුදු ප්‍රාර්ථනාවක්‌ නොවේ. නිවැරදිව හඳුනා නොගත් කරුණක්‌ පිළිබඳව වුවත් ප්‍රාර්ථනාවක්‌ කළ හැකිය. පසුව ඒ පිළිබඳව දැනුවත් වෙමින්, අවශ්‍ය සාධක සම්පාදනය කළහොත් ප්‍රාර්ථනාවක්‌ කවදා හෝ ඉටු කරන ගත හැකිය. සත්‍යක්‍රියාව යනු එබඳු අනාගත පැතුමක්‌ නොවේ. තමන් සතුව පවතින ශක්‌තිය භාවිත කරමින් අවශ්‍ය දේ ඒ මොහොතේ පටන් ක්‍රියාත්මක වීමට බලපෑම් කිරීමකි. එනිසා සත්‍යක්‍රියාවක්‌ සාර්ථක වීමට පහත සඳහන් කරුනු හතර පිළිබඳ ස්‌ථාවරය වැදගත්වේ.

1. තමන් අත්දුටු සත්‍යයක්‌ වීම.

2. මානසික විශ්වාසය.

3. ක්‍රියාව පිළිබඳ අවබෝධය.

4. මානසික ශක්‌තිය යෙදවීම.


1. තමන් අත්දුටු සත්‍යයක්‌ වීම

සත්‍යක්‍රියාවන් සඳහා පාදක කර ගැනීමට යම් සත්‍යයක්‌ තිබිය යුතුය. තමන් අවබෝධයෙන් කළ කුශලයක්‌, අකුසලයෙන් වැළකී සිටි අවස්‌ථාවක්‌ හෝ අවංකවම පිහිටා සිටින ගුණයක්‌ ඒ සඳහා යොදා ගත හැකිය. එහෙත් මම අසවල් පිංකම කළා යන මතකය හෝ එම සිදුවීම සිහිකිරීම් මාත්‍රය ප්‍රමාණවත් නොවන අතර එහිදී තමන් කවර මනෝභාවයක, අදහසක පිහිටා එම කාර්ය කළේද යන්න පැහැදිලිව හඳුනා ගැනීම අත්‍යවශ්‍යය. "මම මෙබඳු අදහසකින්, මෙබඳු මනෝභාවයකින් මේ පිංකම කළා" යන්න සත්‍යයක්‌ විය යුතුය. එය පැහැදිලිව සිහිකළ යුතුය.

පව්කම්වලින් වැළකී සිටි අවස්‌ථාවක්‌ පිළිබඳව සිහි කරන්නේ නම් පොදු සම්මතය මත පන්සිල්, අටසිල් ආදි වශයෙන් නොගෙන ශික්‍ෂාපද වෙන වෙනම ආවර්ජනා කර බලා තමන් අවංකවම ආරක්‍ෂා කළ ශික්‍ෂාපද වෙන්කොට ගැනීම, සත්‍යවාදී වීම සඳහා වඩා වැදගත් වේ. එමෙන්ම වඩාත් මනස නිරවුල් කර ගැනීම සඳහා එම අකුශලයෙන් වැළකී සිටි අවස්‌ථාව හෝ කාල වකවානුව වෙන් කර ගැනීම සුදුසුය.

තමන් සතු යම් ගුණයක්‌ සිහි කරන්නේ නම් වඤ්චක ධමර් වලට හසු නොවී සැබැවින්ම එම ගුණය තමන් සතුව පවතීදැයි සියදහස්‌ වර ආවර්ජනා කොට බලා ප්‍රත්‍යක්‍ෂ කරගත යුතුය. තමන් කොතරම් අවංක සිතින් සිහි කළත් එය සත්‍යයක්‌ නොවේ නම් එබඳු මායාකාරි සිතුවිලි වලට පැටලී සත්‍යක්‍රියාවක්‌ නොකළ හැකි බැවිනි.

"හෙට උදේ ඉර පායන බව සත්‍ය නම් මෙය මෙසේ වේවායි" ආදී වශයෙන් බාහිර සිදුවීම් මත පිහිටා සත්‍යක්‍රියාවක්‌ කළ නොහැක. එය තමන් ප්‍රත්‍යක්‍ෂ කළ කරුණක්‌ නොවන බැවිනි. එමෙන්ම වෙන කෙනෙක්‌ පැවසූ දෙයක්‌ හෝ පෙර භවයක සිදුවූයේයෑයි හ`ගින දෙයක්‌ තමන්ට ප්‍රත්‍යක්‍ෂ නැතිනම් සත්‍යක්‍රියාව සඳහා පාදක කර ගැනීම ඵල රහිතය. බුදුගුණ දහම් ගුණ, ස`ග ගුණ සිහිකර ආශීර්වාදයක්‌ කළ හැකි නමුත් සත්‍යක්‍රියාවට යොදාගත හැක්‌කේ ඉන් තමන් ප්‍රත්‍යක්‍ෂ කරගෙන ඇති කරුණු පමණි.

2. මානසික විශ්වාසය.

තමන් සිහි කරන කාරණය කොතරම් සත්‍යයක්‌ වුවත් ඒ පිළිබඳ විශ්වාසය මනසේ තහවුරු නොවුනහොත්, ඒ මානසික අස්‌ථාවර භාවය සත්‍යක්‍රියාවට බාධාවකි. එනිසා තමන් සිහිකරන කරුණෙහි සත්‍යතාවය පිළිබඳ අවංක විශ්වාසයක්‌ මනසෙහි ගොඩන`ගා ගත යුතුය.

ඒ සඳහා බොහෝ කරුණු එකට ගෙන සිතනවාට වඩා තමන් සිහිකරන කරුණු හැකිතාක්‌ වෙන්කොට වෙන වෙනම සිතා බැලීම වැදගත් වේ. 

"මම මෙතෙක්‌ කලක්‌ පන්සිල් රැක්‌කා" යනුවෙන් සිතනවාට වඩා එක්‌ එක්‌ ශික්‍ෂාපදය වෙන වෙනම ගෙන ප්‍රත්‍යාවේක්‍ෂා කර බලා හැම ශික්‍ෂාපදයක්‌ම සැක සංකා ඇති නොවන ලෙස ආරක්‍ෂා කර තිබේනම් සියල්ල එක්‌ව ගෙන සත්‍යක්‍රියා කළ හැකිය. එසේ නොවේනම් අවංකව සිහිකළ හැකි ශික්‍ෂාපද පමණක්‌ වෙන්කොට ගෙන ඒවා සිහිකර සත්‍යක්‍රියාව කළ යුතුය.

කළ කුසලයක්‌ සිහි කළත්, තමන් සතු යම් ගුණයක්‌ සිහිකළත් මේ ක්‍රමය භාවිත කිරීම වඩා වැදගත්ය. සත්‍ය ක්‍රියාවේදී මනසේ ස්‌ථාවරය එතරම්ම වැදගත් වන බැවිනි. ගසක ඇති අඹගෙඩියක්‌ බිම හෙලන්නට හීයක්‌ වි`දින විට යන්නතමට හෝ අත සැලුණොත් ඉලක්‌කය වැරදී යන්නා සේ, මනසේ සැලීම, අස්‌ථාවර බව සත්‍යක්‍රියාවේ ඉලක්‌කය වැරදි යන්නට හේතු වේ.

3. ක්‍රියාව පිළිබඳ අවබෝධය

තමන් සත්‍යක්‍රියාවෙන් සිදු කරන්නට යන්නේ විපතක්‌ වැළැක්‌වීම හෝ වේවා, යහපතක්‌ සිදුකිරීම හෝ වේවා, ආත්මාර්ථය හෝ පරාර්ථය හෝ වේවා ඒ කරන කාර්යය පිළිබඳව අවබෝධයක්‌ තිබීම අවශ්‍යය. එසේ නොවුණහොත් උත්සාහය නිෂ්ඵල වීමටද ඉඩ ඇත. පොදු අරමුණක්‌ ඇතිව සියලුදෙනා එක්‌ව කරන සත්‍යක්‍රියාවකදී පෞද්ගලික අරමුණු පටලවා නොගැනීමට හා පෞද්ගලික අරමුණක්‌ ඇතිව කරන සත්‍යක්‍රියාවකදී පොදු අරමුණු හරස්‌ නොකරගැනීමට විශේෂයෙන් වගබලා ගතයුතුය. 

පොදු අර්ථයක්‌ ඇතිව කළත්, පෞද්ගලික අර්ථයක්‌ ඇතිව කළත් සත්‍යක්‍රියාවකදී තෘෂ්ණාව මුල්තැනට නොගත යුතුය. කරුණාව මෛත්‍රිය වීයHර් ප්‍රඥාව ආදි යහගුණ පෙරදැරි කරගෙන, යමක්‌ සිදු වන නොවන හේතුඵල සිද්ධාන්තය පිළිබඳව යම් අවබෝධයක්‌ ඇතිව සත්‍යක්‍රියාව සිදු කරයි නම් වඩා සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකිය.

ලොවට පැමිණෙන පොදු විපත් වැළැක්‌වීම, සසුන සුරැකීම වැනි ඉතා බරපතල කායHර්යන් සඳහා සත්‍යක්‍රියා කිරීමේදී තනි තනිව උත්සාහ කරනවාට වඩා සැවොම එක්‌ව ගන්නා උත්සාහය වඩා සාර්ථකව ඵල දරයි. ගිනි කඳකට වෙන වෙනම දිය බිJදු ඉසිනවා වෙනුවට ඒ සියලූ දිය බිඳු එකට එක්‌ කොට ජල දහරාවක්‌ සේ පතිත කළ වි ටමහ ගිනි කඳක්‌ වුවත් නිවී යන්නාක්‌ මෙනි.

4. මානසික ශක්‌තිය යෙදවීම

තමන් සතු සත්‍යය සිහි කරමින් අදාළ කරුණ ඉලක්‌ක කොට 'මේ සත්‍ය බලයෙන් මෙය මෙසේ වේවා' යි නැවත නැවත අධිෂ්ඨාන කිරීම සත්‍යක්‍රියාවේ ප්‍රධාන අංගයයි. නමුත් මෙය හුදෙක්‌ ප්‍රාරථනාවක්‌ හෝ ආශීර්වාදයක්‌ නොව භෞතික ද්‍රව්‍යකට පවා බලපෑම් කළ හැකි මානසික ක්‍රියාවලියකි.

මේ කරුණු සියල්ල සත්‍යක්‍රියාව කරන මොහොතේ මතු කර ගැනීමට නම් කල් ඇතිව නැවත නැවත සිතා බලා කරුණු වටහාගෙන තිබිය යුතුය. තමන් අත්දුටු සත්‍යයක්‌ සිහිපත් කරගෙන, අවංක විශ්වාසයෙන් එහි මනස පිහිටුවාගෙන, කරන්නට යන ක්‍රියාව පිළිබඳව අවබෝධය හා කරුණා මෛත්‍රිය පෙරදැරි කරගෙන සත්‍යක්‍රියාව කළහැකිනම් තම තම ශක්‌ති ප්‍රමාණය මත එවේලේම ප්‍රතිඵල අත්දැකිය හැකිය.

පොදු විපත් වැළකී මිනිස්‌ ජීවිත සුරැකේවා!! සසුන සුරැකේවා! යි අදිටන් කරමින් වසරක්‌ පාසා දෙස්‌ විදෙස්‌ ජනතාව දැනුවත් කරමින් හොරණ, පෝරුවදණ්‌ඩ, සත්ජන සමාජ සංවර්ධන පදනම විසින් සිදුකරනු ලබන සත්‍යක්‍රියාව මෙවරත් 2014-01-15 දින, එනම් දුරුතු පොහෝ දින රාත්‍රී 9.20 ට සිදු කෙරේ. එදින නියමිත වේලාවට ඔබ සිටින කොතැනක හෝ සිට ඔබටත් මනසින් ඊට දායක විය හැකිය. ඔබ විසින් කළයුත්තේ මෙම ලිපිය කියවා සත්‍යක්‍රියාවක්‌ කරන ආකාරය පිළිබඳව කල් වේලා ඇතිව දැනුවත් වී දුරුතු පොහෝ දින රාත්‍රී 9.10 සිට 9.30 දක්‌වා -පොදු විපත් වැළකී මිනිස්‌ ජීවිත සුරැකේවා! සසුන සුරැකේවා! අදිටන් කරමින් සත්‍යක්‍රියාවෙහි නිරත වීමයි.

අතිශය දුලබ බුදුඋපත


මාස්පොත , ශ්‍රී ගංගාරාම විහාරවාසී
කොබෙයිගනේ පුබ්බිලිය ශ්‍රී සාරානන්ද පිරිවෙනේ ආචාර්ය
ගලගෙදර රතනවංස හිමි

“මහණෙනි, අප්‍රමාදයෙන් යුක්ත වව්. ලෝකයෙහි බුද්ධෝත්පාදය දුර්ලභ ය. මිනිසත් බව ලැබීම දුර්ලභ ය. ක්‍ෂණ සම්පත්තිය දුර්ලභ ය. ප්‍රව්‍රජ්ජාව දුර්ලභ ය. සද්ධර්ම ශ්‍රවණය දුර්ලභ ය.” බුදු හිමියන් එසේ දේශනා කළ අවවාදයෙහි පිහිටා ධර්මයෙන් ලැබිය හැකි ප්‍රයෝජනය අප නොඅඩුව ලබාගත යුතු ය. එය මෙලොවටත්, පරලොවටත්, සැප පිණිස වන්නේ ය.
ලොවෙහි බොහෝ දෙනකු දුර්ලභව ලැබිය හැකි දේ වශයෙන් සිතා සිටින්නේ භෞතික සම්පත්, එනම් එදිනෙදා ජීවිතයට අවශ්‍ය කරන ඉඩකඩම්, ගේදොර, යානවාහන ආදි දේය. විඳිනවා යනුවෙන් සිදු කරන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය පිනවීමයි. ඒවාට ගෝචර වන රූප, ශබ්ද, ගන්ධ,රස , ස්පර්ශ තුළින් නිරන්තරයෙන් සුඛ හෝ දුක්ඛ ලබනු ඇත. එසේ නම් මෙම පංචේන්ද්‍රියන්ට ගැටෙන අරමුණු සඳහා අවශ්‍ය වන්නේ අප වඩාත් පිනවීමට, සතුටට පත්කරවන දේ යැයි පෘථග්ජන පුද්ගලයාට වැටහී යනු ඇත.
එසේ වුව ද බුදුඇසින් බලන කල භෞතික සම්පත් වලට එහා ගිය දුර්ලභව ලැබිය හැකි කරුණු කිහිපයක් පිළිබඳව සඳහන් වේ. ඒවා අද සමාජයේ ඇතැම් පුදගලයන් එතරම් ගණන් නොගත්තද එහි ගැඹුරු බව බුදු ඇසින් ම දැක දේශනා කොට වදාළ සේක. දුර්ලභව ලැබෙන එබඳු වටිනාදේ ගැන නොතකන කාම භෝගි සත්වයා සසරින් නොමිදී තව තවත් දුක මතම ජීවත් වන්නේ මුළාව නිසාය.
ඒ අනුව, බුදු හිමියන් දේශනා කළ එම කරුණු පිළිබඳව අවධානය යොමු කිරීම අද සමාජයට ඉතා ප්‍රයෝජනවත් වනු ඇත.

භික්ඛවේ අප්පමාදෙන සම්පාදෙථ
දුල්ලභො බුද්ධුප්පාදො ලොකස්මිං
දුල්ලභො මනුස්සත්ත පටිලාභො
දුල්ලභා ඛණසම්පත්ති දුල්ලභා පබ්බජ්ජා
දුල්ලභං සද්ධම්ම සවණං”

“මහණෙනි, අප්‍රමාදයෙන් යුක්ත වව්.ලෝකයෙහි බුද්ධෝත්පාදය දුර්ලභය. මිනිසත් බව ලැබීම දුර්ලභය. ක්‍ෂණ සම්පත්තිය දුර්ලභය. ප්‍රව්‍රජ්ජාව දුර්ලභය. සද්ධර්ම ශ්‍රවණය දුර්ලභය.”
බුදුහිමියන්ගේ දේශනය අනුව, කරුණු 5 ක් දුර්ලභව ලැබිය යුතු බව පැහැදිලි වේ. පළමු වැනි කරුණ වන්නේ බුදුඋපතයි. බුදුඋපතක් යනු අතිශය දුලබ සිදුවීමකි.
“කිච්ඡො බුද්ධානං උප්පාදො” (ධම්ම පදය- බුද්ධ වග්ගය)
“කලෙකිනි බුදු කෙනෙකුන් උපදින්නේ” (ලෝ වැඩ සඟරාව - 19)

මේ ආදි වශයෙන් ධම්ම පදය හා ලෝවැඩ සඟරාව තුළ ඒ බව පැහැදිලි වේ. සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් මුළුල්ලේ දස පාරමිතා, දස උපපාරමිතා හා දස පරමත්ත පාරමිතා සම්පූර්ණ කරගත් මහබෝසත් උතුමෙක්ම බුද්ධත්වය ලබන්නේය. එම පරිත්‍යාගය සාමාන්‍ය කෙනකුට කළ නොහැකිය. සාගරය පරදා රුධිරයද මහ පොළොව පරදා මස් ද, අහසේ තරු පරදා ඇස් ද මහ මේරුව පරදා හිස් ද දන් දී එතැනින් නොනැවතී තමන් සතු අඹුදරුවන් හා සියලු භෞතික සම්පත් ද දන් දීම බුදු බව පතන උතුමන්ගේ ලක්‍ෂණයයි. මොන තරම් සසර එම පාරමිතා සම්පූර්ණ කළේ ද යන්න මහා ඓශ්චර්යමත් කරුණකි. එබැවින් බුදුවරයෙකුගේ චරිතය තුළ ඇති ගුණ කදම්භය දැන හදුනාගෙන ඒවා අපගේ ජීවිතවලට ද සම්බන්ධ කොට ගෙන ජීවිතය යහපත් කර ගැනීම වටින්නේය.
දෙවැනි දුර්ලභ කරුණ ලෙස බුදු හිමි පෙන්වා වදාළේ මිනිසත් බව ලැබීමයි. එය ද බොහෝ කාලයකින් සිදුවන්නකි.
“කිච්ඡො මනුස්ස පටිලාභෝ” (ධම්මපදය – බුද්ධ වග්ගය)
“දුකකිනි මිනිසත් බව ලැබ ගන්නේ” (ලෝවැඩ සඟරාව – 19)

බුදුරජාණන් වහන්සේ, මිනිසත් බව ලැබුම දුර්ලභ බව මැදුම් සඟියේ බාල පණ්ඩිත සූත්‍රය තුළින් සවිස්තරාත්මකව දේශනා කළ සේක. මිනිසත් බව දුර්ලභ වන්නේ සත්වයා කල්ප ගණන් අපායන්හි දුක් විඳින බැවිනි. ඒ බව මෙලෙස දේශනා කළ සේක.
“මහණෙනි , පුරුෂයෙක් එක් සිදුරක් ඇති විය දඬු කඩක් මහ මුහුදට දමන්නේය. සමුද්‍රගත වූ විය දඬුව නැගෙනහිරින් එන සුළඟින් බස්නාහිරට ගෙන යයි. බස්නාහිරින් එන සුළඟින් නැඟෙනහිරට ගෙන යයි. උතුරෙන් එන සුළඟින් දකුණට ගෙන යයි. දකුණින් එන සුළඟින් උතුරට ගෙන යයි. සමුද්‍රයෙහි වෙසෙන කණ කැස්බෑවෙක්ද වර්ෂ සියයකට වරක් මුහුදු දිය මතු පිටට පැමිණ අහසට හිස දිගු කරයි. මහණෙනි කිමෙක්ද? ඒ කණ කැස්බෑවාගේ හිස විය දඬු සිදුරට සමීප වී කැස්බෑවාට පෙනීම ඇති එක් ඇසෙන් අහස දැකිය හැකිවේද?”
මෙසේ භාග්‍යවතුන් වහන්සේ භික්ෂුන්ගෙන් විචාළ සේක. එකල්හි භික්ෂූහු, ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස දීර්ඝ කාලයක් ගත වන කල්හි එය සිදුවන්නට ද ඉඩ තිබේ යැයි සැල කළෝය.එකල භාග්‍යවතුන් වහන්සේ වදාරන සේක් “මහණෙනි, කණ කැස්බෑවාගේ හිස ඉක්මනින් විය සිදුරට ඇතුළු වන්නේය. පව්කම් කොට වරක් අපායට ගිය බාලයා හට මිනිස් ලොවට පැමිණීම එයට වඩා දුර්ලභ වන්නේය” මිනිසත් බවෙහි දුුර්ලභත්වය එයින්ම පැහැදිලි වේ.
“දුල්ලභං ච මනුස්සත්තං” යනුවෙන්ද එය පැහැදිලිවේ. මිනිසකු පමණකි බුදුවන්නේ. එසේම දෙවි වන්නේද පේ‍්‍රත, භූ®ත වන්නේද තමන් රැස්කළ කුසලාකුසල කර්ම අනුවය. එබැවින් මිනිස් භවය සියල්ල තීරණය කළ හැකි මධ්‍යස්ථානයයි. උසස් මනැසක් ඇත්තේ මිනිසාටය. එබැවින් හැකිතාක් දුරට පින් දහම් කළ යුතු වන්නේය. එතැනින් නොනැවතී ජාති ජරා දුක්වලින් එතෙරව ලැබිය හැකි උතුම් සුවය ලැබීමට ද අද අදම වෙහෙසිය යුතුය. ඒ බවට වටහා ගැනීමට හැකි ශක්තියක් මිනිසාට ඇති බැවින් “ අද අද එයි මරු පින්කර ගන්නේ” යි කී ආකාරයට මාරයාගෙන් ගැලවීමට උත්සාහ කළ යුතුය.
තෙවැනි දුර්ලභ කාරණය වන්නේ ක්ෂණ සම්පත්තිය ලැබීමයි. ක්ෂණ යනු පින් කිරීමට දුෂ්කර අවස්ථා අටෙන් අනන්‍ය වූ අවස්ථාවටය. පින්කිරීමට දුෂ්කර අවස්ථා අට මෙසේයි.
1. නරකයට වැටී සිටින කාලය
2. තිරිසන්ව සිටින කාලය
3. පේ‍්‍රතව සිටින කාලය
4. සිත නැති, කය පමණක් ඇති අසංඥභාවයට පැමිණ සිටින කාලය
5. බුදුවරයන්, බුද්ධශ්‍රාවකයන් නොවඩින ප්‍රත්‍යන්ත ප්‍රදේශවල ඉපිද සිටින කාලය
6. මිත්‍යා දෘෂ්ටිය ගෙන සිටින කාලය
7. හොඳ, නරක තේරුම් ගත නොහැකි මෝඩයකු වී සිටින කාලය
8. අබුද්ධෝත්පාද කාලය

මේ අවස්ථා අටම පින් කිරීමට අපහසු කාලයන්ය. ඒ අවස්ථා අට මග හැරුණ ඇසිල්ලක් බඳු කාලය ඉතා වටනේය. එබැවින් ලද අවස්ථාවෙන් පින් කර ගත යුතුය. ‘පුඤ්ඤං තෙ පුරිසො කයිරා...” යනාදී ගාථාවෙන් සඳහන් පරිදි, දැන් පින් කළා ඇතැයි නොසිතා නැවත නැවත පින් කරගත යුතුය.
සිව්වැනි දුර්ලභ කාරණය වන්නේ ප්‍රව්‍රජ්ජාව ලැබීමයි. බුදුසසුනෙහි පැවිද්ද ලැබිය හැක්කේ බුද්ධෝත්පාද කාලයක මිනිසත් බව ලැබීමෙන් පමණකි. පැවිදි වීමද හැම කෙනකුටම සිදු කළ නොහැකිය. පැවිද්දට සිත අවදි වන්නේ සසර පිළිබඳ අවබෝධයක් ඇති, එසේම සසරින් මිදීමට අවශ්‍ය බව හැඟෙන කෙනකුට පමණි. බොහෝ දෙනෙක් රාගයෙන් රත්ව ද්වේෂයෙන් දූෂිතව මෝහයෙන් මුළාව කල් ගෙවති. එවැනි සමාජයක කෙනකු පැවිදි වනවා යනු ඉතා වටිනා දුර්ලභ කරුණක් වන්නේය.
පස්වැනි දුර්ලභව ලැබිය හැකි කාරණය වන්නේ සද්ධර්ම ශ්‍රවණය කිරීමයි. “සද්ධම්මො පරම දුල්ලභො” යනුවෙන් දේශනා කළේ එබැවිනි. එයට හේතුව වන්නේ ධර්මයක් අසන්නට ලැබෙන්නේ බුද්ධෝත්පාද කාලයකම මිස අන් කාලයක නොවන බැවිනි. මිනිසකු වූ පමණින් ධර්මය අසන්නට නොලැබේ. අද වුවද ඇමර්සන් වැනි වනාන්තරවල ගෝත්‍රිකව වසන්නන්ට හෝ එවැනි සමාජයන්ට සමාන ආකාරයෙන් ජීවත් වන අයට ධර්මය අසන්නට භාග්‍යයක් නැති බව පෙනේ.
දහම් සොඬ කතා පුවත තුළින් පැහැදිලි වන්නේ ධර්මය අසන්නට නොලැබී, බෝසතුන් ජීවිතය හෝ දී ධර්මය අසනු වස් රාක්ෂයෙකුගේ කටට පනින්නට කටයුතු කළ ආකාරයයි. ධර්මය අසන්නට ලැබුණත් එය ශ්‍රද්ධාවෙන්, ගෞරවයෙන් හා අවබෝධයෙන් අසන්නේ සීමිත පිරිසකි. ධර්මයෙන් ප්‍රයෝජන ගන්නේ ඉතා සීමිත පිරිසකි. ධර්මයෙන් සිදු කරන තරම් යහපතක් මවට හෝ පියාටවත් කළ නොහැකිය. “ධම්මං විනා නÀථි පිතාච මාතා” යන්නෙන් ඒ බව පැහැදිලි වේ.
මේ ආදි වශයෙන් ඉහතින් සඳහන් කළ කරුණු පසම දුර්ලභව ලැබිය හැකි දේය. ඒ පිළිබඳ අප දැඩි අවධානයකින් පසුවිය යුතුය. එයට හේතුව දුල්ලභව ලැබිය හැකි මිනිසත් බවක් අප ලබා සිටීමයි. නැවත කවදා එය ලැබේදැයි යනු අවිශ්වාසය. ඒ නිසා ලද මිනිසත් බවෙන් උපරිම ඵල නෙළා ගත යුතුය.
අප්පකා තෙ මනුස්සෙසු – යෙ ජනා පාරගාමිනො
අථායං ඉතරා පජා – තීරමෙවානුධාවති
යෙච ඛො සම්ම දක්ඛාතෙ – ධම්මෙ ධම්මානුවත්තිනො
තෙ ජනා පාරමෙස්සන්ති – මච්චු ධෙය්‍යං සුදුත්තරං
(ධම්ම පදය - පණ්ඩිත වග්ගය)

“මිනිසුන් අතුරෙන් නිවන් පරතෙරට යන්නෝ ඉතා ස්වල්ප දෙනෙක් වෙති. ඉතිරි වූ අනෙක් සත්ව සමූහයා මෙගොඩම ඔබ මොබ දුවන්නෝය. යම් කෙනෙක් මනා කොට දේශනා කරන ලද ධර්මයට අනුව හැසිරෙත් ද ඔව්හු ඉතා අමාරුවෙන් තරණය කළ යුතු වූ සසර සයුරින් පරතෙරට පැමිණෙන්නෝය.”
ධම්ම පදයේ ඉහත සඳහන් පණ්ඩිත වග්ගයේ ගාථා යුගලය තුළින්ද සද්ධර්මයේ ඇති වටිනාකම අවබෝධවේ. එබැවින් අද අදම අප ධර්මයෙන් ලැබිය හැකි ප්‍රයෝජනය නොඅඩුව ලබාගත යුතුය. එය මෙලොවටත්, පරලොවටත්, සැප පිණිස වන්නේය. එතැනින් නොනැවතී සසර දුකින් නිදහස්ව ලැබිය හැකි උතුම් නිවන් සැපත සඳහාද වෙහෙසිය යුතුය.

බුදු දහමේ චිරස්තිථියට තාරුණ්‍යයේ දායකත්වය

ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත
මහරැඹෑවැවේ පාලිත හිමි
බුදුරජාණන් වහන්සේගේ දර්ශනය හුදෙක් පෙනෙන දේට වඩා ස්වභාවයට එකඟ වූ යථාර්ථවාදී වූ දර්ශනයකි. අපගේ තරුණ පෙනුම එක ලෙස සැමදා නොතිබෙනු ඇත. එබැවින් තරුණවිය තුළින් මහලුවිය දැකිය යුතුය. යථාර්ථවාදි දැකීම එයයි. මහලු වියට යෑමට පෙර එය අවබෝධ කරගැනීම යථාර්ථවාදි අවබෝධයයි. බුදු දහම ළඟට වඩා දුර දකින දර්ශනයකි. එබැවින් තරුණවියෙහි ලබන ශික්‍ෂණය, අවබෝධය අගය කරන්නකි. එය පසක් කිරීමට හොඳම නිදසුන නම් බුදුරදුන් වටා එකතු වූ තරුණ ජවයෙන් යුත් බොහෝ භික්‍ෂූන් බුදුරදුන් දේශනා කළ ධර්මය අවබෝධ කොටගෙන ධර්මාවබෝධය ලබා ගනිමින් තම ජීවිතය ශාසන බ්‍රහ්මචරියාව වෙනුවෙන් කැප කිරීමයි.

තම පියරජු විසින් දුක යන වචනය පවා ඇසීමට අවස්ථාව නොදෙමින් අපිරිමිත සැප සම්පත් වලින් ආඪ්‍ය වු දිවියක් ගත කිරීමට සැලැස් වූ සිදුහත් කුමරු අවසානයේ සියලු සැපසම්පත් කෙරෙහි කළකිරී ගිහිගෙය අතහැර ගියේ අවුරුදු 29 දී බව අපි කවුරුත් දනිමු. සිද්ධාර්ථ තාපසතුමා උතුම් වූ බුද්ධත්වයට පත් වූයේ අවුරුදු 35 දීයි.මේ කාල දෙකම සුත්‍ර ධර්මයන්හි හඳුන්වා ඇත්තේ භද්‍ර යෞවනවිය ලෙසය. බුදුරජාණන් වහන්සේගේ දහම කෙරෙහි පැහැදී පැවිදි බව ලබා ගත් බොහෝ දෙනෙක් යොවුන් වියේ පසුවූවන් ය. එයිනුත් බොහෝ දෙනෙක් භද්‍ර යෞවන වියේ පසුවූහ. විශේෂයෙන් පළමු රහත් හැට නමට එකතු වූ යස කුළ පුත්‍රයා ඇතුළු පිරිස අතිශය යොවුන් වියේ පසු වූවන් ය. යසකුල පුත්‍රයා තමාට පිය උරුමයෙන් හිමි වූ අපිරිමිත සැප සම්පත් කෙරෙහි කළ කිරී මානසික සහනය සොයමින් මහමඟට බට අයෙකි.

දිනක් බුදුරජාණන් වහන්සේ අතිශය යොවුන් වියෙහි පැවිදි දිවියට එළැඹි අනුරුද්ධ, භද්දිය,භගු, කිම්භිල කුණ්ඩධාන, රේවත හා ආනන්ද යන තරුණ හිමිවරුන් මුල්කොට ගෙන තාරුණ්‍ය පිළිබඳ කළ වැදගත් දම් දෙසුමක් මැඳුම් සඟියෙහි ඇතුළත් නළකපාන සූත්‍රයෙන් අපට හමුවෙයි. මේ තරුණ හිමිවරු සත් නම එකට පැවිදිව එකට මහණදම්පිරූ සබ්බ්‍රහ්මචාරිහූය. එම දම්දෙසුම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නෙ නළකපාන ගමෙහි මහවන මැද සසුන්බඹරෙහි වෙසෙන මේ යෞවනයන්ගේ දිවිය පිළිබඳ වූ අතිශය කාරුණික හැඟීමෙනි.
මේ තරුණ හිමිවරු ඇමතූ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේලා මහණ දම් පුරන්නේ කැමැත්තෙන් ද එසේ නැතිනම් අකැමැත්තෙන්ද යනුවෙන් විචාළහ. උන්වහන්සේලා නිශ්ශබ්දව හුන්හ. බුදුරජාණන් වහන්සේ දෙවැනි වරටත්, තෙවැනි වරටත් එසේ විමසුව ද මේ තරුණ හිමිවරු නිශ්ශබ්දවම හුන්හ. නමකින් නොවිචාල හොත් කිසිසේත් පිළිතුරු නොලැබෙන බව දැනගත් බුදුරජාණන් වහන්සේ අනුරුද්ධ හිමියන් අමතා ඒ පිළිබඳ විචාළහ. එවිට උන්වහන්සේගේ පිළිතුරු වූයේ “ස්වාමිනි අපි ඒකාන්තයෙන් අපි මේ බඹසර දිවියෙහි ඇළෙමින් කැමැත්තෙන්ම මහණදම් පුරන්නෙමු” යනුවෙනි. ඒ පිළිබඳ අගය කරන බුදුරජාණන් වහන්සේ උන්වහන්සේලා මේ භද්‍ර යොවුන් වියෙහි ගත කරන බඹසර දිවියෙහි වටිනාකම පෙන්වා දෙයි.
යෙන තුම්හෙ අනුරුද්ධා, භද්‍රෙනා යොබ්බනෙන සමන්නාගතා, පඨමෙන එයසා සුසුකාළකෙසා කාමේ පරිභුඤ්ජෙය්‍යාථ තෙන තුම් හේ. අනුරුද්ධා, භද්‍රෙනපි යොබ්බනෙන සමන්නාගතා පඨමෙන එයසා සුසුකාළකෙසා අගාරස්මා අනගාරියං පබ්බජිතා තෙ ච ඛො පන තුම්හෙ,අනුරුද්ධා නෙව රාජාභීනිතා අගාරස්මා අනගාරියං පබ්ජිතා න වොරාහිනිතා අහාරස්මා අනගාරියං පබ්බජිතා න ඉණට්ටා අගාරස්මා අනගාරියං පබ්බජිතා න හයට්ටා අගාරස්මා අනගාරියං පබ්බජිතා , නාජිවිකාපකතා අගාරස්මා අනගාරියං පබ්බජිතා අපි එ ඛොම්හි ඔතිණ්නො ජාතියා ජරාය මරණෙන සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සයෙහි උපයාසෙත. දුක්ඛොතිස්ණෙ, දුක්ඛපරෙතො, අප්පෙව නාම ඉමස්ස කොවස්ස දුක්ඛක්ඛන්ධස්ස අන්තකිරියා පඤ්ඤායෙථාති.
අනුරුද්ධයෙනි, ඔබලා මේ භද්‍ර යෞවන වියෙහි මුල් කාලයේම කාලවර්ණලංකෘත වූ කේශ ඇති කාමයෙහි, ලොල්වන කාලසීමාවෙහිම ඒ සියල්ලම ඔබලාට මනාව තිබිය දී කාමයන්ගෙන් වෙන්ව පැවිදිව උතුම්වු ශාසන බ්‍රහ්මචරියාවෙහි වසන්නාහ. අනුරුද්ධයනි,ඔබලාගේ ඒ පැවිදිවීම රජුන්ගේ බලකිරීමක් නිසා නොවූවකි. සොරුන්ගේ බලකිරීමක් නිසා නොවූවකි. ණයෙන් මිදීම පිණිස හෝ රාජචොරාදීන්ගේ භයෙන් මිදීම පිණිස නොවූවකි. යැපීම පිණිස පැවිදි වූවෝ නොවෙති. හුදෙක් ජාති, ජරා , මරණ ශෝකාදියෙන් යුක්ත වූ මේ දුක්ඛ දෝමනස්ස උපායාසයෙන්ගෙන් මිදීම පිණිසම පැවිදි වූවෝ වෙති. ඒ උදෙසාම බඹසර වසන්නෝ වෙති. එබැවින් පැවිදිවීමත් බඹසර විසීමත් උතුම්ය. ඔබලාගේ අරමුණ විය යුත්තේ භාවනාභීරතව ප්‍රථමජ්ඣාන, ද්වීතියජ්ඣාන , තෘතීයජක්‍ධානාදිය ලැබී අභිද්‍යා, ව්‍යාපාද,කාමච්ඡන්ද , ථීනමිද්ධ උද්දච්චකුක්කුච්චාදී වූ පඤ්ච නීවරණයන්ගෙන් සිත නිදහස්කොට පී‍්‍රතිය හා සුවය ඇති නිවන ළඟාකර ගැනීම බවයි.
මෙය පිය කෙනෙක් තරුණවියේ පසුවන පුත්‍රයන්ට ලබාදෙන උපදෙස් මාලාවක් හා සමානය.බුදුරදුන් සිය ඖරස පුත්‍ර වූ තරුණ භික්‍ෂූන් වහන්සේලා දෙස බලා ඇත්තේ අසහාය කරුණාවකිනි. අනුකම්පාවකිනි. එයට හේතුව තමාගේ මේ භද්‍ර යෞවන වූ තරුණ කාලය ශාසන බ්‍රහ්මචර්යාව වෙනුවෙන් යොදවා කළ අසහාය කැපකිරීම නිසාමය. මෙය සුළුපටු කැපකිරීමක් නොව උතුම්ම කැප කිරීමක් බව බුදුරජාණන් වහන්සේ ද දත් නිසාය.
බුදුදහම කෙරෙහි මුල් යුගයේ පැහැදී උතුම් පැවිදි භාවය ලැබූ බොහෝ පිරිස තරුණවියේ මෙන්ම භද්‍ර යෞවන වියේ වූ පිරිසක් බවයි. තෙරවරු පමණක් නොව තෙරණියන්ද තම යොවුන් දිවිය බුදු සසුන වෙනුවෙන් කැපකළ අයුරු ථේරගාථා හා ථේරීගාථාවන්ගෙන් පැහැදිලි වෙයි.
බොහෝ දෙනෙක් සිතන්නේ තරුණවිය යනු ස්වාභිමතයට අනුව දිවි ගෙවමින් කාමභෝගි දිවියක් ගතකළ යුතුය යන්නයි. ධාර්මික ජීවිතය යනු මහලුවියේ ප්‍රායෝගිකව අත්විඳිය යුත්තක්ය යන්න ඔවුන්ගේ මතයයි. මෙය අද මිනිසුන් අතර පවතින මතයක් පමණක් නොව එදා දෙවියන් අතරද පැවැති මතයක් බව සංයුක්ත නිකායේ සගාථක වර්ගයේ එන සමිද්ධී සුත්‍රයෙන් පැහැදිළි වෙයි. එනම් එක්තරා දෙවඟනක් තරුණ වියෙහි පැවිදිව ශාසනාභීරතව බවුන් වඩන භික්‍ෂූන් වහන්සේ නමක් වෙත පැමිණ කළ මෙම ප්‍රකාශයයි.
“දහරෝ ත්වං භික්ඛූ පබ්බජිතෝ සුසුකාළ කෙසො භද්‍රෙන යොබ්බනේන සමන්නාගතෝ පඨමේන වයසා අනිකිලිකාවි කාමේසු භුඤ්ජ භික්ඛු මානුසකෙ කාමේ මා සන්දිට්ඨිකං භිත්වා අකාලිකං අනුධාවී “
ශ්‍රමණය, ඔබ තරුණ පැවිද්දෙකි.කළු කෙස් ඇත්තේය. භද්‍ර යෞවන වියෙහි සිටින කෙනෙකි. තාරුණ්‍යයේ ප්‍රථම වයසෙහි සිටියි. එහෙත් ඔබ තරුණවියෙහි විඳීය යුතු කම්සැප නොවිඳීන කෙනෙකි. එය නොසුදුස්සකි. මානුසික වූ විඳිය යුතු කම් සැප විඳීන්න. පෙනෙන දේ අතහැර නොපෙනෙන දෙයක් පසුපස නොයන්න.
මෙම ප්‍රකාශය හුදෙක් සාමාන්‍ය ජනයා සමාජය දෙස බලන අයුරින් කළ ප්‍රකාශයකි.එයින් කියවෙන්නේ තරුණ කල අනිවාර්යයෙන්ම කම්සැප විඳීයයුතු යන්නයි. එහෙත් බුදුරජාණන් වහන්සේගේ දර්ශනය හුදෙක් පෙනෙන දේට වඩා ස්වභාවයට එකඟ වූ යථාර්ථවාදී වූ දර්ශනයකි. අපගේ තරුණ පෙනුම එක ලෙස සැමදා නොතිබෙනු ඇත. එබැවින් තරුණවිය තුළින් මහළුවිය දැකිය යුතුය. යථාර්ථවාදි දැකීම එයයි. මහලු වියට යෑමට පෙර එය අවබෝධ කරගැනීම යථාර්ථවාදි අවබෝධයයි. බුදු දහම ළඟට වඩා දුර දකින දර්ශනයකි. එබැවින් තරුණවියෙහි ලබන ශික්‍ෂණය,අවබෝධය අගය කරන්නකි. එය පසක් කිරීමට හොඳම නිදසුන නම් බුදුරදුන් වටා එකතු වූ තරුණ ජවයෙන් යුත් බොහෝ භික්‍ෂූන් බුදුරදුන් දේශනා කළ ධර්මය අවබෝධ කොටගෙන ධර්මාවබෝධය ලබා ගනිමින් තම ජීවිතය ශාසන බ්‍රහ්මචරියාව වෙනුවෙන් කැප කිරීමයි.
තාරුණ්‍යයේ වටිනාකම අගය මනාව වටහාගත් බුදුරජාණන් වහන්සේ ඔවුන්ගේ සිතුම් පැතුම් පමණක් නොව හැකියාවන්ද මනාලෙස හඳුනාගෙන අවශ්‍ය ධර්ම කරුණු පෙන්වා දී ඔවුන් සමාජ විශෝධන ක්‍රියාවලියෙහි යෙදවු ආකාරය මුළු මහත් සූත්‍ර දේශනාවන් පුරාවට පැහැදිළිව පෙනෙයි. ඇතැමෙක් සැනසීම සොයා බුදුරදුන් වෙත පැමිණියේ දුක පිළිබඳ පමණක් නොව සැප පිළිබඳවද කළ කිරුණු මනසින් යුක්තව ය. ඇතමෙක් ජීවිතයේ තමා ලත් අපමණ දුක් ගැහැට නිසා ජීවිතය පිළිබඳ කළකිරී පැමිණියහ. තවත් සමහරෙක් විවිධ ප්‍රශ්න නිසා ජීවිතය ව්‍යාකූල කරගනිමින් බුදුරදුන්වෙත පැමිණියහ. මේ සියල්ලන්ගේම අරමුණ හා අවබෝධයේ මට්ටම් තේරුම්ගත් බුදුරජාණන් වහන්සේ සියල්ලන්ට එම යථාර්ථය අවබෝධ කොට දී ඇත්තේ අසහාය ශාස්තෘවරයෙකු ලෙසය. අසහාය සමාජ විශ්ලේෂකයෙකු ලෙසය. අසහාය මනෝවිද්‍යාඥයෙකු ලෙසය. ඇත්තෙන්ම බුදුසසුනට මේ තරුණ භික්‍ෂූන් ගෙන් ලැබුණූ පිටුබලය අති මහත්විය. එය බුදුරජාණන් වහන්සේගේ ධර්මය ශීඝ්‍රයෙන් සන්නිවේදනය වීමට මෙන්ම ජනපි‍්‍රය වීමට ද මහත් ශක්තියක් වී ඇත.