දුටුගැමුණු රජු කල පිරිණිවන් පෑ මලියදේව හිමියන් ලංකාවේ අන්තිම රහත් තෙරනම නොවේ. සැබැවින්ම, අද වුව රහතුන් බිහි විය හැකිය. ඒ සදහා අවශ්‍ය වන්නේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ ශ්‍රී සද්ධර්මය සීල සමාධි ප්‍රඥා වශයෙන් දියුණු කොට සාක්ෂාත් කිරීමයි.

ඔබත් බුදුරදුන් පෙන්වා වදාළ උත්තම දහම් මාර්ගයේ ගමන් කරන්න


Powered by දහම් විල


ලිපි සඳහා පහත මාසය අනුව ලිපි පටුන බලන්න

සත්‍යාවබෝධයට ප්‍රතිපක්ෂ වන දිට්ඨි උපාදානය

වාද්දුව මොල්ලිගොඩ ප්‍රවචනෝදය මහ පිරිවෙනේ ආචාර්ය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 
බාහිර කථිකාචාර්ය රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති 
අයගම සුසීල හිමි

“දිට්ඨි” යන පාලි වචනය “දැකීම” දුටු දෙය යන අර්ථයෙහි යෙදේ. “උපාදාන” යනු දැඩිව අල්ලා ගැනීමයි. හෙවත් දෘඪ ග්‍රහණයයි. මෙම වචන දෙකෙහි සරල අර්ථය එසේ වුවද එහි පදගතාර්ථය ඉක්මවා ගිය පුළුල් දාර්ශනික අර්ථයක්ද දක්නට ලැබේ.
දිට්ඨි ශබ්දය කල්පනාව, මතවාදය විරුද්ධ ඉගැන්වීම, විශ්වාසය, ඇදහීම, න්‍යාය, ඥානය යනාදී අර්ථ සමූහයක් නියෝජනය කරයි. මෙවන් අර්ථ සමූහයක් දිට්ඨි ශබ්දයට ලැබී ඇත්තේ මිනිස් චින්තනයේ සංකීර්ණතාව හා ඒ මත ගොඩනැගී ඇති ඥාන සම්භාරය දිට්ඨි යන වචනය තුළ අන්තර්ගත වී ඇති හෙයිනි. සමස්තයක් ලෙස ගත් කළ එයින් අදහස් කෙරෙන්නේ මිනිස් ආධ්‍යාත්මය සමඟ බැඳී පවතින පෘථුල ඥාන සම්භාරයයි.උපාදාන යන වචනයද සරල අර්ථය ඉක්මවා ගිය පුළුල් අර්ථයක් හඟවන්නකි. එනම් දෘෂ්ටිගතික බැඳීමයි. හෙවත් අවියෝජනීය මානසික වහල් භාවයයි. මෙම වචන දෙකෙහි යෙදී ඇති අර්ථයට අනුව සත්‍යාවබෝධයට ප්‍රතිපක්ෂ වූ මිත්‍යාදෘෂ්ඨීන්හි එල්බගෙන සිටීම දිට්ඨි උපාදාන යනුවෙන් හඳුනා ගත හැකිය.

බුදුදහම මිථ්‍යා විශ්වාස හා පිළිගැනීම් දැඩිව ප්‍රතික්ෂේප කරයි. එය මිථ්‍යාවෙන් වෙන් වූ සම්‍යග් දර්ශන මාර්ගයකි. සියලුම සීමා මායිම්, වැටකඩොලු බාධක ඉවත දමා නිදහස් මනසින් සත්‍යය දැකීමට මග සැලසූ ප්‍රායෝගික ඥානමාර්ගයක් වූ බුද්ධ දේශනාව මනසට ප්‍රධානත්වය දුන් ආගමික දර්ශනයකි. එය දෘෂ්ටියකට හසුනොවන සම්මා දිට්ඨියෙන් සුපෝෂිත වූවකි.
“දිට්ඨි” යන වචනය බොහෝවිට භාවිතා වී ඇත්තේ වැරදි දෘෂ්ටිය හෙවත් මතවාදය යන අර්ථය ගෙනදීම සඳහායි. ත්‍රිපිටකාගත සූත්‍ර සාහිත්‍යයෙන් ඒබව පැහැදිලිව පෙනේ. බුදුන් වහන්සේ පහළ වූ යුගයේ භාරතීය සමාජය දෘෂ්ටිවාද 62 ක් අතර දෝලනය වෙමින් පැවැති බව බ්‍රහ්මජාල සූත්‍රය අනාවරණය කරයි. සත්‍යය හෙවත් යථාර්ථය කුමක්දැයි සෙවීමට විවිධ දෘෂ්ටිකෝණයන්ගෙන් හා විවිධ වෘත චර්යා අනුගමනය කළ භාරතීය සමාජයට අන්තවාදී සහ ආදානග්‍රාහි කිසිදු වැඩ පිළිවෙළකින් සත්‍යාවබෝධ කළ නොහැකි බව අවධාරණය කළ බුදුන් වහන්සේ විවෘත මනසකින් යුතුව සත්වයා සහ ලෝකය පිළිබඳ යථා ස්වභාවය අවබෝධ කරගැනීමට අවශ්‍ය. මාර්ගය පැහැදිලිව අනාවරණය කළහ. උන්වහන්සේ අනුගමනය කළ මධ්‍යම ප්‍රතිපදාව සත්‍යාවබෝධය සදහා නිර්දිෂ්ට ඍජුම මාර්ගයයි. එකල භාරතීය සමාජයෙහි පැවැති බොහෝ ආගමික ඉගැන්වීම් හුදු සංකල්ප පමණක් වශයෙන් පැවැති අතර ඔවුන් අනුගමනය කළ අන්තවාදී ක්‍රියාමාර්ග හේතුවෙන් බුදුසමය හමුවේ එම ඉගැන්වීම් අර්ථ ශූන්‍යත්වයට පත් වූහ. මොවුන් අතුරෙහි සාර්ථක විමුක්ති ගවේෂකයා ලෙස ගෞතම බුදුන් වහන්සේ ඇති තතු යථා පරිදි නුවණින් දැන, දැක ලොවට හෙළි කළහ. එබැවින් එම ඉගැන්වීම් සමුදාය සම්මා දිට්ඨිය පදනම්කරගත් ඥාන මාර්ගයක් ලෙස ප්‍රකට විය.
යමක පවතින ස්වභාවය වෙනස්ව දැකීම හා විග්‍රහ කිරීමත් ඇති දෙයක් නැති හැටියට දැකීමත් නැති දෙයක් ඇති හැටියට දැකීමත් වැරදි දැකීමකි. හෙවත් මිථ්‍යා දෘෂ්ඨියකි. ඒ අනුව සත්ව පුද්ගල ආත්ම වශයෙන් පංචස්කන්ධය දැකීම වැරදිය. එහි ඇත්තේ නාම රූප පමණි. ඇති දේ ඇති ලෙස දැකීමත් නැති දේ නැති හැටියට දැකීමත් සම්මා දිට්ඨියයි. එය නිවැරදි දැකීමකි. මෙසේ වැරදි ආකල්ප හා විශ්වාසයන් කෙරෙහි අහේතුකව හා පදනම් විරහිතව එල්බ ගැනීම සත්‍යාවබෝධයට බාධාවක් ලෙස දකින බුදුසමය මානසික වහල්භාවයෙන් මිදිය යුතුය යන්න දැඩිව අවධාරණය කර ඇත. ඒ සඳහා බුදුන් වහන්සේ වදාළ ක්‍රමවේදය සිත දමනය කර ආත්ම ගවේෂණයෙහි යෙදීමයි.
‘අත්තානං ගවේසෙය්‍යාථ 
සචිත්ත මනුරක්ඛථ”

එවිට තමාටම තම මනසින් හා නුවණින් හරි වැරදි වටහාගත හැකි වනු ඇත.
විවිධ ආගමික, දේශපාලනික හා සාමාජික පිළිගැනීම් ඒකාන්ත හා නිශ්චිත ඉගැන්වීම් ලෙස දැකීම හා පිළිගැනීම සාමාන්‍ය පෘථග්ජන ස්වභාවයකි. එය ශාස්තෘවරයාගේ හෝ චින්තකයාගේ බසට වහල් වීමෙන් අනුගමනය කරන්නේ නම් එය වැරදි දෘෂ්ටියකට හසුවීමකි.
බුදුන් වහන්සේ තමන් වහන්සේ වදාළ ධර්මය “ඒහි පස්සිකො” යන ගුණයෙන් යුක්ත ඉගැන්වීමක් ලෙස දක්වා ඇත්තේ ශ්‍රාවකයාට පරීක්ෂා කර බලා විමතියෙන් හා සැකයෙන් තොරව අනුගමනය කළයුතු ඉගැන්වීමක් හෙයිනි. එය විශ්වාසයෙන් පමණක් අනුගමනය කළ නොහැකි ප්‍රායෝගික වූ ධර්ම මාර්ගයකි. ඒ සඳහා විවෘත මනසක් අවැසිමය. වරක් බුදුන් වහන්සේ කාලාම වැසියන්ට දේශනා කළේද විශ්වාසයෙන්, කටකතාවෙන්,ආගමික ග්‍රන්ථවල අන්තර්ගත වී ඇති පමණින් හෝ ශාස්තෘවරයා ගෞරවණීය කෙනෙක් ආදි වශයෙන් සලකා සත්‍යය නිගමනය නොකළ යුතු බවයි. “ඉදමේව සච්චං මෝඝ මඤ්ඤං” මෙයම සත්‍යය අන් සියල්ල හිස්වූ මෝඩ ප්‍රලාපය යනුවෙන් අන්‍යාගමික නායකයන් පැමිණ ප්‍රකාශ කරද්දී කාලාමයන්ගේ විමතියට පත්වීම සාධාරණ බව සනාථ කළ බුදුරජාණන් වහන්සේ තම ධර්මය පිළිගන්න යැයි, කිසිවිටෙකත් ප්‍රකාශ නොකළහ. යහපත් යැයි හැඟේ නම් පමණක් පිළිගන්න යැයි සිහිපත් කළ බුදුරදුන් ඔවුන්ගේ මානසික නිදහස උල්ලංඝනය නොකළහ.
පටිච්චසමුප්පාද දේශනාවේ සඳහන් වන පරිදි මිනිස් සිත දැඩි දෘෂ්ටීන්ට යොමුවන ක්ෂේත්‍ර හතරකි. කාමුපාදානය, දිට්ඨූපාදානය, සීලබ්බතූපාදානය හා අත්තවාදුපාදානයයි. මෙහිලා ඉහත සඳහන් ප්‍රස්තුතයට අදාළව දිට්ඨි උපාදානය පිළිබඳ සාකච්ඡා කෙරේ.
මිනිස් සිත් තුළ විවිධ විශ්වාස මතවාද හා පිළිගැනීම් කිඳා බැසගෙන පැවතීම ප්‍රකට කරුණකි. ඇතැම්විට ඔවුන් දරන මතය හරි ද වැරදි ද යන කාරණයට වඩා තම තමන් කාලයක් පිළිගත් හා විශ්වාස කළ දේ එලෙසම දැරීමට ඇබ්බැහිකමක් දැක්වීම ඇතැම් චරිතවල පැහැදිළිව දැකගත හැකි ස්වභාවයකි. ඇතැම්හු හරි වැරදි කුමක්දැයි වටහාගත්තද එල්බගත් දෘෂ්ටීන්ගෙන් වෙන්වීමට දැඩි අකමැත්තක් දක්වති. උපාදාන යනුවෙන් අදහස් කරන්නේ එවන් එල්බගත් මතවාදයන්ගෙන් වෙන් විය නොහැකි ලෙස බැඳී සිටීමයි.
ගසක් පැළයක් ලෙස වැඩෙන කාලයේ දුර්වලකොට උඳුරා දැමිය හැකිය. එහෙත් එය වර්ධනය වී මුල් වැඩි මුදුන්මුලද තහවුරුව ඇති විට උදුරා දැමීම පහසු නොවේ. දිට්ඨි උපාදානයද එබඳු මුල්බැස ගැනීමකි.
සිත් තුළ කාලයක් පැළපදියම් වී පවතින අදහස් මිථ්‍යා විශ්වාස මුලිනුපුටා දැමීමද අතිශය දුෂ්කරය. එහෙත් යථාර්ථය දැකීමට මිථ්‍යාවෙන් වෙන්වීම ඇවැසිමය. ධම්මසංගනී ප්‍රකරණයෙහි සඳහන් වන පරිදි මිනිස් සිත් තුළ මුල් බැසගෙන පවතින ප්‍රධාන මිථ්‍යා දෘෂ්ටි 10 ක් ඇත. ඒවානම් 1. දීමෙහි ඵල නැත. 2. මහදන් පැවැත්වීම පල නැත. 3. ප්‍රතිග්‍රාහක ආගන්තුක ආවාහ විවාහාදියෙහිදී දෙන දානය ඵල නැත. 4. දශ කුසල් සහ දශ අකුසල් වලින් ඵල නැත. 5. පරලොව අයට මෙලොවක් නැත.6.මෙලොව වූවන්ට පරලොවක් නැත. 7. මවට කරන හොඳ නරකින් ඵල නැත. 8.පියාට කරන හොඳ නරකින් ඵල නැත. 9.නැවත නැවත මැරි මැරී උපදනා සත්වයෙක් නැත 10. මෙලොව පරලොව දැනගෙන ප්‍රකාශ කළ හැකි කෙනෙක් නැත. මෙබඳු මිථ්‍යාවන් පඤ්චස්කන්ධය සැපවත් කිරීම පදනම් කොටගත් තෘෂ්ණා සහගත ආකල්පමත ගොඩනැගෙන මිථ්‍යා චේතනාවන් ලෙස සැලකිය හැකිය. මෙබඳු අදහස් දරන්නෝ තම මතයට විරුද්ධ වූ හරි හෝ වැරදි සියලු මතයන් හෙළා දකිති. ඒ වෙනුවෙන් වාද කරති. අර්බුදයට එළඹෙති. ඇතැම්හු තම මතය වෙනුවෙන් ජීවිතයද පුදති. මෙම ස්වභාවය ඔවුන් බැසගත් දෘෂ්ටිය කෙරෙහි ඇති ආදානග්‍රාහීත්වය ප්‍රකට කරයි.
දීඝ නිකායේ සඳහන් වන පාඨාසි රාජඤ්ඤ සූත්‍රය ද මෙවන් දෘෂ්ටිගතිකයෙකුගේ ආදානග්‍රාහී මානසිකත්වය ප්‍රදර්ශනය කරන රසවත් පුවතකි. එක් ගමක මිනිසුන් සියලු දෙනා ආහාර සොයා ගැනීමට අපහසු හෙයින් එගමින් පිට ප්‍රදේශයකට ගියහ. එගම වැසි තරුණයෝ දෙදෙනෙක්ද මෙසේ පිටත්වූහ. එක් ස්ථානයකදී හණ මිටියක් දැක ඒ හණ මිටි දෙකක් කරබාගෙන ඉදිරියට යන දෙදෙනාගෙන් එක් අයෙක් හණ වැහැරී දැක හණමිටි බිම දමා හණ වැහැරී ගත්තේය. අනෙකා හණ මිටියම කර තබාගෙන ගියේය. පිළිවෙළින් හණ ගෝනි, හණ රෙදි, කොමු වැහැරි, කොමු පිළී, කපු පිළි , යකඩ,තඹ, ඊයම්, රිදී , රත්තරන් යන ද්‍රව්‍ය ලැබුණද හණ මිටිය කර තබාගත් පුද්ගලයා එයම කර තබාගෙන, අනෙකා රත්තරන් ගත්තේය. පසුව ඔහු එයින් තම අඹු දරුවන් සමඟ සතුටින් කල්ගෙවූ අතර අනෙකා දුකට පත්විය. මේ කතා පුවත වදාළ බුදුන් වහන්සේ පායාසි රාජඤ්ඤට වදාළේ මෙලොව පරලොව විශ්වාස නොකරන, පින් පව් විශ්වාස නොකරන ඔබද හණමිටි ගත් තැනැත්තා මෙන් දුකට පත් වෙන බවයි. මෙනිසා බුදුසමය අවධාරණය කරන්නේ දෘෂ්ටිගතික භාවයෙන් මිදී සම්‍යග් දර්ශන මාර්ගයට පැමිණෙන ලෙසයි. කරණීය මෙත්ත සූත්‍රයේ දැක්වෙන
“දිට්ඨිංච අනූපගම්ම 
සීලවා දස්සනේන සම්පන්නෝ 
කාමේසු විනෙය්‍ය ගෙධං 
න හි ජාතු ගබ්භ සෙය්‍යං 
පුනරෙතීති”

නැවත නූපදින, දුක් සමූහය බිඳ හෙළුද තත්වයට පත්වීම සඳහා , සීලයෙන් සුචරිත අයෙකු බවට පත්ව, කාමයන්ගෙන් මිදී සම්‍යග් දෘෂ්ටි සංඛ්‍යාත දර්ශනයෙන් කටයුතු කළ යුතු බවයි.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

දැහැමි චින්තනයයි සසර විමුක්තියයි

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ 
ඉතිහාස අධ්‍යයන අංශයේ මහාචාර්ය 
හඟුරන්කෙත ධීරානන්ද හිමි

සිත මුල් කොට ගත් ආගමික පදනමකින් ඉස්මතු වූ දාර්ශනික හා ආගම් අතර මුල් තැනක් බුදුදහමට හිමි වේ. “බෞද්ධ” යන නාමය තුළම සිත පිළිබඳ බෞද්ධ මතය ගැබ්ව තිබේ. බෞද්ධයා යනු බුද්ධිමත් ව හෙවත් ප්‍රඥාවන්ත ව කටයුතු කරන්නා යන අරුතක් වේ. බුද්ධිය යනු කුමක්ද? යන්න විමසා බැලිය යුතුවන අතර බුද්ධිය යොදනු ලබන්නේ කුමන පදනමක් මතද යන්න ගැනද විමසුමක් කිරීම තුළින් බෞද්ධ වචනයේ නියමාර්ථය පසක් කළ හැකිව තිබේ. වත්මන්හි විෂයානුබද්ධිත වූ දැනුමක් ලබා විභාගාදියෙන් ජයගත් පුද්ගලයා හැඳින්වීම පිණිස බුද්ධිමතා, උගතා ,නැණවතා යන වචන නිරතුරුව භාවිත කෙරේ.
බෞද්ධ චින්තනය යනු බෞද්ධයකු විසින් සිතන ආකාරය වේ. සිතීම යනු යම් ක්‍රියාවක් කළ යුත්තේ කෙසේද? යන්න පිළිබඳ සිතින් කරනු ලබන මුල් සැලැස්ම වේ. එම සැලැස්ම කය හා වචනය පදනම් කොට ගෙන හෙළි දැක්වීමෙන් එම චින්තනය ක්‍රියාවලියක් බවට ලක් කෙරේ. හිත හැදීම යනු චින්තනය සැකසීම වේ. සිතක් නැතිනම් සිතිවිලි ද නැත. සිතිවිලි හටගන්නේ සිත තුළය. සිත නිවැරදිනම් සිතේ ඇතිවන සිතිවිලි ද නිවැරදි වේ. සිතිවිලි නිවැරදි නම් සිතිවිලි තුළින් ක්‍රියාවට නඟන ක්‍රියාවෝ ද නිවැරදි බව පැහැදිලිය. තමා නිරතුරුවම සුදුසු ගුණයේ මෙන්ම නිවැරදි සිතිවිලිවල පිහිටමින් අනුනට අනුශාසනය කළ යුතු වේ. තම චින්තනය නිවැරදිව සකස් නොකොට අනුන්ගේ චින්තනය හෝ හැසිරීමේ ගැන අවවාද නොකළ යුතුය. මන්ද තමා ඊට සුදුස්සකු නොවන බැවිනි. වැරදියට අල්වාගත් කුස තන වැරදි විදිහට අල්ලාගත්තහුගේ අතම කපන්නේ වේද වැරදි කරමින් උපදෙස් ලබා දෙන්නාද තමා අතින් තමාටම අවැඩක් කර ගන්නා අතරම අනුනටද අවැඩක්ම සිදු කරලයි.

බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ සම්මාදිට්ඨික සූත්‍රය තුළින් මීට ඍජු පිළිතුරක් ලබා ගත හැකිය. එම සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මහණෙනි, යමෙක් අකුසලය දනීද? අකුසල මූලය දනී ද? කුසලය දනී ද? එපමණකින්ම මහණෙනි, ආර්ය ශ්‍රාවක තෙමේ සම්‍ය දෘෂ්ටිකයෙකු වන බව හා ප්‍රාඥයෙකු වන බව උන්වහනසේ දේශනා කොට ඇත. ඒ අනුව තමා කරනු ලබන දෑ පිළිබඳ ව නිවැරදි දැක්මක් ඇත්තා යන අරුතක් ප්‍රඥාවන්තයා යන්නෙන් මේ අනුව තේරුම් ගත හැකිය.
හොඳ නරක දෙක විනිශ්චය කළ හැකි දැනුමක් හා මැදිමඟක් පෙන්වන ආගම බුද්ධාගම වන අතර එම මාවතේ එබඳු වූ දැනුමක් ඇතිව ගමන් කරන්නා බෞද්ධ නාමයෙන් හැඳින්වීමට සුදුසුකමක් ලබන්නෙකු වේ. එමෙන්ම යමෙකු, බුදුන්, දහම් හා සඟුන් සරණ යයි ද එමෙන්ම චතුරාර්ය සත්‍ය දකියි ද ඔහුම දුකින් මිදේ යැයි දක්වන සඳහනින් ද ඉස්මතු කොට පෙන්වනුයේ බෞද්ධයාගේ චර්යා පද්ධතියේ ලක්ෂණයෝය. බෞද්ධයකු නම් හෙතෙම සත්‍ය සතර පිළිබඳ නිවැරදි වැටහීමක් ලද්දකු විය යුතුය. එමෙන්ම තෙරුවන්ගේ ගුණය නිවැරදිව හඳුනාගත යුත්තෙකු විය යුතුය.එබඳු පුද්ගලයෙකුගේ බුද්ධිමය අවකාශ ධර්මය හා බැඳෙන අතර තමා පිළිබඳව නිවැරදිව නුවණින් දකින්නකු වන බවද එමඟින් ගම්‍ය කෙරේ.

කුසලාකුසල විනිශ්චය

කුසල අකුසල යනු තමා විසින් කරනු ලබන යහපත හා අයහපත නැතහොත් හොඳ නරක දෙක වේ. මේ අංශ දෙක පිළිබඳව දැනීම ඇත්තා ප්‍රඥාවන්තයා ලෙසින් බුදුදමට අනුව විවරණය කළ හැකිය. සෑම ජීවිතයකම පදනම වනුයේ තමා විසින් තිදොරින් කරනු ලබන ක්‍රියාදාමයෝය. එම ක්‍රියාවෝ හොඳ නරක හෝ කුසල් අකුසල් යැයි ප්‍රධාන වශයෙන් වර්ග කළ හැකිය.අකුසලය ගැන ඇති දැනීම කුසලය වැඩීමට රුකුලක් වේ. එමෙන්ම කුසලය පිළිබඳව ඇති දැනීම හා එහි ඵල විපාකය අකුසල් නොකිරීමට හේතු වේ. කුසලාකුසල විනිශ්චයක් කිරීමට නම් පුද්ගලයකුගේ සිත දියුණු කර ගැනීම අත්‍යවශ්‍ය කරුණකි. අපගේ සිත සෑම ක්‍රියාවකටම මූලය වේ. සිත සිතිවිලි මත ක්‍රියාත්මක වේ. එසේ ඇතිවන සිත් ද කුසල් අකුසල් යැයි වර්ග කළ හැකි අතරම එබඳු සිත් හා බැඳෙන සිතිවිලි ද කුසල් අකුසල් යැයි දෙපාර්ශ්වයකට බෙදේ. එසේ ඇතිවන සිතිවිලි මත ත්‍රිවිධ ද්වාරය මඟින් කුසල් අකුසල් ක්‍රියාවෝ ක්‍රියාත්මක වේ.
බුදුරජාණන් වහන්සේ විසින් කර ඇති ප්‍රකාශය වන්නේද යමක් තමා කිරීමට මත්තෙන් ඒ පිළිබඳව පූර්ව විනිශ්චයක් කළ යුතු බවකි. එහි පූර්ව විනිශ්චයට මුල් වන්නේ අන් කවරක් නොව තම සිතම බව පැහැදිලිය. සිතින් සිතා කායික හා වාචසිකව සිදුකරනු ලබන ක්‍රියාවෝ බුදුදහමේ කර්මය යනුවෙන් හඳුන්වා දෙනු ලැබේ. සිතින් සිතා ගතින් හා වචනයෙන් ඉටු කරනු ලබන ක්‍රියාවෝ ඵල සහිතය. කම්මඵල යනු එම ක්‍රියාවන් වන අතර එහි විපාකයක්ද ගැබ්ව තිබේ.
ත්‍රිවිධද්වාර (හිත කය වචනය) සංවර කර ගැනීමේ ඵලය කුමක්ද යන්නද බුදුරජාණන් වහන්සේ විසින් මෙසේ පෙන්වා දී ඇත. වචනය රැක ගත යුතුය. සිත සංවර කර ගෙන තැම්පත් කර ගත යුතුය. අකුසල් නොකළ යුතුය. මෙසේ තිදොරින් සිදුවන තුන් කර්ම පථයන් පිරිසුදු කරගත් කල්හි බුද්ධාදී උතුමන් දෙසූ නිවන් මඟ සම්පූර්ණ කරන්නෙක්ද වන බව උන්වහන්සේගේ දේශනයෙන් අපට පසක් කර දී තිබේ. මානසික හා කාය වාග් සංවරත්වයද නිවන් දැකීමට අත්‍යවශ්‍ය වන මූලයක් බව එමගින් පැහැදිලි වේ. තිදොරේ සංවරත්වය කුසල අකුසල විනිශ්චයේ මෙන්ම සත්‍ය ගවේෂණයේ මූල පදනමක් බව ද මින් පෙන්නුම් කෙරේ.

සිත, සිතුවිලි හා විමුක්තිය

සිත හා සිතිවිලි ගැන බුදුදහමේ නිර්වචනය හා විවරණය වඩාත් තීව්‍රය. එකඟ වූ සිතක් නැති තැනැත්තේ වසර සියයක් ජීවත්වනවාට වඩා නුවණැති ව එක් දිනක් ජීවත්වීම වැදගත් බව බුදුදහමින් අවධාරණය කෙරෙයි. පින් කිරීමට යුහුසුළු විය යුතු අතර පවින් සිත වළකා ගත යුතුය. පින් කිරීම කල් දමන්නාගේ සිත නිතර පාපයේ ඇලෙන්නේ ද වේ යැයි දක්වන සඳහනින් අපගේ සිත නිතර කිනම් දිශාවකට යොමුව තිබේද යන්න බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා දී ඇත. එනම් නිරතුරුවම පාපයට මෙම සිත නැමෙන බවය. නිරතුරුව යහපතට සිත යොදන තැනැත්තකුගේ සිත ආයාසයකින් වුවද නරකින් මුදවා ලිය හැකි බව ඒ සඳහා තමා විසින් මනා අභ්‍යාසයක නිරත විය යුතු බවක්ද මෙමඟින් පෙන්වා දෙයි. වැසි සමයක ඇද වැටෙන ජල බිංදු එක්රැස්වෙමින් කළයක් ඉතිරී යන්නේ යම්සේද එසේම නුවණින් යුතුව පින් රැස් කරන්නා ද පිනින් පිරෙන බව පෙන්වයි. මද පිරිවර ඇති මහත් ධනය ඇති වෙළෙන්දෙකු උවදුරු ඇති මඟ හැරයන්නාක් මෙන්ම ජීවත් වීමට ආශා ඇත්තෝ විෂ ආහාරයෙන් වැළකෙන්නේ යම් සේ ද නුවණ ඇත්තෝ එලෙසින්ම පවින් මිදීමට සිත සකස් කළ යුතු වේ. එබඳු වූ සිතිවිලි මත ක්‍රියා කළ යුතුය. භක්තිය හෝ විශ්වාසය මත සියල්ල සිදු වේය යන මිත්‍යාමතය බුදුදහමින් ප්‍රතික්ෂේපවන බවද කුසලාකුසල විනිශ්චයේ දී පැහැදිලි වේ. අන්ධවිශ්වාස මත කරනු ලබන දැයට වඩා සිත මුල් කොට කරනු ලබන දැයෙහි ඵලයක් හා විපාකයක් ඇතිබව හා එහි වැදගත් කම බුදුදහමින් නිරතුරුව අවධාරණයට ලක්ව ඇති බැවින් සිත පෙරටුකර ගත් ක්‍රියාදාමයකට බෞද්ධයා අවතීර්ණ විය යුතුය යන අදහස ඒ මඟින් ලබා දෙයි. දැකීමට ඉතා අපහසු වූ ඉතාම සියුම් වූ කැමැති කැමැති හැම තැනකම හැසිරෙන්නා වූ සිත නුවණැත්තේ රැකගන්නේ ම වෙයි. එලෙසින් රක්නා ලද සිත ඔහුට නිරතුරුවම සුවයක් ගෙන දෙන්නේ යැයි සිතේ ඇති ශ්‍රේෂ්ඨත්වය උසස් කර දක්වන අතරම මාර බන්ධනයන් ගෙන් මිදීමේ මාවත ලෙසින්ද සිත දමනය කර ගැනීම බුදුරජාණන් වහන්සේ විසින් අවධාරණය කර ඇත.
මාර බන්ධනය යනු ඉපදෙමින් මැරෙමින් ගමන් කරනු ලබන සසරය. සසර ගමන් නැවැත්වීම යනු ඉපදීම හා මරණ සංඛ්‍යාතය නැතිකිරීමය. එසේනම් ඊට මුල්වනුයේ ද සිතය. සිත දමනයකිරීම යනු සසර ගමන රඳා පවත්වාගනු ලබන තණ්හාව මුල් කොටගත් ක්ලේශයන් ගෙන් තම සිත ඉවත් කර ගැනීමය. තමා විසින් තමා දමනය කර ගැනීම පහසු කටයුත්තක් නොවේ (අත්තා හි කිර දුද්දම) අපහසු වුවද තමාට පිහිට තමාම වන බැවින්ම සදාතනික නිවීමක් සඳහා තමා දමනය කළ යුතුව ඇත. මෙහි දමනය යනු සිත පාලනය කර ගැනීම වේ. තමාගේ සිත වෙන කෙනෙකුට පාලනය කළ නොහැකිය. වෙන කෙනෙකු විසින් සිත දමනය කිරීමෙන් තමාගේද හිත පාලනය වේ යැයි සැලකීම මෝඩකමකි. කායික හා මානසිකත්වයේ පිරිසුදු හෝ අපිරිසුදු බව රඳා පවත්නේ තමා අතමය. අනිකෙකුට තමා පිරිසුදු කිරීමට හෝ අපිරිසුදු කිරීමට නොහැක්කේමය. තමාට පිහිට තමාමය. කවරෙකුටවත් තම සිත දමනය කිරීම අරබයා පිහිට විය නොහැකිය. එසේ නම් මෙහි තමා දමනය කිරීම යනු තම හිත දමනය කිරීම වන අතර දැමුණූ හිත ඇති කයද ඒ හා බැඳෙමින් දමනය වීම ස්වභාවිකය.ආනන්ද හිමියන් අමතා බුදුරජාණන් වහන්සේ විසින් කළ මෙම ප්‍රකාශය ද තමා පිළිබඳ දැනීම හා දැකීම වර්ධනයට රුකුලක් වේ. එනම් ආනන්දය ඔබේ ආලෝකය ඔබම වේවා! ඔබේ ආරක්ෂාව ඔබ අතමය. බාහිර සරණක් පතා නොයන්න. ආලෝකය මෙන් සත්‍යය ස්ථාවරව අල්වා ගන්න. සත්‍යය රැකවරණය සඳහා දැඩිව කටයුතු කරන්න. ඔබ අනලස්ව ඔබේ විමුක්තිය සඳහා කටයුතු කරන්න.ආනන්ද හිමියන් අමතා බුදුරජාණන් වහන්සේ විසින් දුන් අවවාදය තුළින්ද පැහැදිලිව ගම්‍ය කරනුයේ තමා ගැන තම වැටහීමහීමත් ඒමගින් තම ක්‍රියාකාරිත්වයේ ඇති වැදගත්කමත්ය. අන්සරණින් තමාට පිහිටක් නොලැබෙන බවය.
සිත නිරතුරුව පාපයට බරය. එබැවින් සිත නිවැරදි මාවතට යොමු කර ගැනීම අපහසුය. නිවැරදි සිතට නිවැරදි චින්තනයක් ඇති කර ගත හැකිය. එබැවින් බුදුරජාණන් වහන්සේ ඇතුලතින් හා පිටතින් මුරකාවල් යොදා පිටිසර නගරයක් ආරක්ෂා කරන්නාක් මෙන් තම සිතද මෙන් තම සිත නිරුතුරුව රැකගත යුතු බව දේශනා කොට තිබේ. දිය පහරවල් තිස් හයකින් සැදුම්ලත් තණ්හාව (ආශාව) නමැති නදිය වේගයෙන් රූපාදි අරමුණු අතරින් ගමන් කරමින් එම නදියට ම අයත් රාග විතර්ක නමැති ජලධාරා මඟින් විපරීත බුද්ධිය ඇති පුද්ගලයන් දුර්ගතිය ගරා ගෙන යති. තණ්හාවට සිත තුළ නිරතුරුව ඉඩක් ලැබී ඇත. තණ්හාවට මුල්වන පාපි සිතිවිලිවලින් මිදී කුසල් සිත් වැඩුම සැම විටෙකම සසර විමුක්තියට මඟ එළිකරවන්නක් වෙන බව බුදුදහමින් අවධාරණය කර තිබේ.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

වස් පවාරණය යනු වස් හමාර කිරීමද?

කඩුගන්නාව, මුදලිවත්ත, 
දීපාලෝක විහාරාධිපති හා ජාතික අධ්‍යාපන ආයතනයේ කථිකාචාර්ය 
නෙළුවාකන්දේ ඤාණානන්ද හිමි

පවාරණයෙන් කෙරෙන්නේ වස් සමාදන්ව සිටි කාලය නිමා කිරීම නොව, වස් සමාදන්ව සිටි කාලය තුළ තමාගෙන් වරදක් සිදුව ඇත්නම්, ඒ වරද ගැන තමාට අවවාද අනුශාසනා කරන ලෙස සංඝයාගෙන්,ගණයාගෙන් හෝ පුද්ගලයාගෙන් ඉල්ලා සිටීමයි. දැකීම, ඇසීම හෝ සැක ඇතිවීම යන කවර ක්‍රමයකින් හෝ වරදක් පිළිබඳ දනී නම්. එකී වරද ගැන අනුශාසනා කරන ලෙස ඉල්ලා සිටින බව, එකී ඉල්ලීම් කරන විට කියනු ලබන, දිට්ඨෙන වා සුතෙනවා පරිසංකාය වා වදන්තු යන පාඨයෙන් පැහැදිලි වෙයි.

ඇසළ පුර පොහෝ දිනයේදී උපසම්පන්න භික්ෂූන් වහන්සේ, පෙර වස් සමාදානයේ යෙදුනාහ. වප් පුන් පොහොය දිනයේ පෙර වස් සමාදන්ව වැඩ සිටි කාලය නිමාකොට උන්වහන්සේලා වස් පවාරණය සිදු කෙරිණි. ව්‍යවහාරයට අනුව වස් පවාරණයෙන් සිදු කෙරෙන්නේ සමාදන්ව සිටි වස් ශික්ෂා පදයෙන් බැහැරවීමයි.
පෙහෙවස් සමාදන් වන උවසු උවැසියෝ, සිල් ප්‍රතික්ෂේප කිරීම, සීලයෙන් බැහැරවීම හඳුන්වන්නේ, සිල් පවාරණය වශයෙනි. වස් පවාරණය යනු, වස් සමාදන්ව සිටි කාලය අත් හැරීමක් හෝ වස් සමාදානයෙන් ඉවත් වීමක් හෝ නොවේ. විනයෙහි දැක්වෙන පරිදි පවාරණය නව වැදෑරුම් වෙයි. එනම්, පවාරණය කෙරෙන දින අනුව, චාතුද්දසී පවාරණය, පණ්ණරසී පවාරණය හා සාමග්ගී පවාරණය වශයෙන් තෙවැදෑරුම් වේ. පවාරණ දිනයේ පොහොය සීමාවට රැස් වෙන භික්ෂූන් වහන්සේලාගේ සංඛ්‍යාව අනුවද, සංඝ පවාරණය, ගණ පවාරණය හා පුග්ගල පවාරණය වශයෙන්ද පවාරණයේ ප්‍රභේද තුනකි. පවාරණයේදී සිදු කෙරෙන කටයුතු වලට අනුවද ක්‍රම තුනක් දැක්වෙයි. තේවාචික පවාරණය, ද්වේවාචික පවාරණය හා ඒකවාචික පවාරණය යනුවෙන්, එය දක්වා තිබේ. මෙලෙස පවාරණයේ නව විධ ප්‍රභේදයක් විනයෙහි දැක්වෙයි.
වස් අවසන් වන දිනය,වස්සාන ඍතුවේ සවැනි පෝය බැවින් එය බොහෝවිට පණ්ණරසී දිනයක්ම වෙයි. බොහෝ සෙයින් පවාරණය කරන්නේ ඒ දිනයටයි. අවශ්‍ය නම් සංඝයාට ඒ දිනයේ පවාරණය නොකොට, වස්සාන ඍතුවේ හත්වෙනි හෝ අටවෙනි පෝයට යොදාගත හැකියි. වස්සාන ඍතුවේ හත්වෙනි පෝය දවසේ, පවාරණය කෙරේ නම්, එය චාතුද්දසි පවාරණය නමින් හැඳින්වේ. එමෙන්ම වස්සාන ඍතුවේ අටවෙනි පෝය දිනයේ කරනු ලබන පවාරණය, පණ්ණරසී පවාරණය ලෙසද හැඳින්වෙයි. යම් ලෙසකින් වප් මස අවපෑළවිය දිනේ පටන්, ඉල් මස පුර පොහොය දිනය දක්වා, දින විසි නවය තුළ සාමගී‍්‍ර උපෝසථයට සුදුසු කරුණක් යෙදුනොත් . සාමගී‍්‍ර පවාරණය කළ යුතුය. ඒ සඳහා භික්ෂූන් වහන්සේ පස් නමක් සහභාගි විය යුතුය.
පවාරණයෙන් කෙරෙන්නේ වස් සමාදන්ව සිටි කාලය නිමා කිරීම නොව, වස් සමාදන්ව සිටි කාලය තුළ තමාගෙන් වරදක් සිදුව ඇත්නම්, ඒ වරද ගැන තමාට අවවාද අනුශාසනා කරන ලෙස සංඝයාගෙන්,ගණයාගෙන් හෝ පුද්ගලයාගෙන් ඉල්ලා සිටීමයි. දැකීම, ඇසීම හෝ සැක ඇතිවීම යන කවර ක්‍රමයකින් හෝ වරදක් පිළිබඳ දනී නම්. එකී වරද ගැන අනුශාසනා කරන ලෙස ඉල්ලා සිටින බව, එකී ඉල්ලීම් කරන විට කියනු ලබන, දිට්ඨෙන වා සුතෙනවා පරිසංකාය වා වදන්තු යන පාඨයෙන් පැහැදිලි වෙයි. පවාරණය සඳහා සංඝයා පොහොය සීමාවට රැස් වූ පසු, එක් භික්ෂුවක් සංඝයාට ඇසෙන සේ අදාළ වාක්‍ය ප්‍රකාශ කොට, සංඝ අනුමැතිය ලබාගෙන, එතැනට රැස්ව සිටින සංඝ ස්ථවිරයන් වහන්සේට හෝ වෙනත් වියත් තෙර නමකට තෙවරක් නම කියා, ඤත්තිය තබන ලෙසට ආරාධනා කරයි. ආරාධනා ලද භික්ෂූන් වහන්සේ “සුනාතු මෙ භන්තෙ සංඝො යදී සංඝස්ස පත්තකල්ලං’ අහං ආයස්මන්තං නාගං විනයං පුච්ඡෙය්‍ය” යන වැකිය කියා, විනය විචාරීමට අවශ්‍ය අවසරය ලබාදෙයි. පසුව ආරාධනාව කළ භික්ෂුව නැවත විනය විචාරීම පිණිස අවශ්‍ය අවසරය ලද බව ප්‍රකාශ කිරීමෙන් පසුව, විනය විචාරීම සිදුකෙරේ.
විනය විචාරීමට මහා සංඝයා පොහොය සීමාවට එක් රැස්වීමට පෙර, පොහොය සීමාව තුළ, සුද්ධ පවිත්‍ර කිරීම, පහන් දැල්වීම (විදුලිය නොමැති විට) අසුන් පැනවීම හා පානීය පරිභෝග පිණිස වන ජලය තැබීම වැනි, පූර්ව කෘත්‍ය කීපයක් කළ යුතුව තිබේ. එකී කටයුතු “පුබ්බ කරණ” යනුවෙන් විනයෙහි දක්වා තිබේ.අනතුරුව “පුබ්බ කිච්ච” පිළිබඳ විමසනු ලබයි. එහිදී එළඹි ඇති ඍතුව, පක්ෂය හා රැස්ව සිටින භික්ෂූන් වහන්සේගේ සංඛ්‍ය ව ආදි කරුණු පිළිබඳව අනාවරණය කරගනී. පසුව අද පැවැත්වෙන පවාරණය කිනම් පවාරණයක් දැයි විමසයි. තේවාචික පවාරණයක්යැයි දන්වා ඊට වුවමනා භික්ෂූන් වහන්සේ පස් නමකට වඩා රැස්ව සිටින බවද හෙළි කරනු ලබයි. ඉන් අනතුරුව සංඝ ස්ථවිරයන් වහන්සේ, එනම් මහණ උපසම්පදාවෙන් ජ්‍යෙෂ්ඨ ස්වාමින් වහන්සේ පළමුව පවාරණය කරති.
”සංඝං ආවුසො පවාරෙමි. දිට්ඨෙන වා සුතෙන වා පරිසංකාය වා, වදන්තු මං ආයස්මන්තො අනුකම්පං උපාදාය, පස්සන්තො පටිකරිස්සාමි” යනුවෙන්. ඇසීමෙන්, දැකීමෙන් හෝ සැක ඇතිවීමෙන්, යන කුමන ක්‍රමයකින් හෝ තමන් වහන්සේගේ වරදක් ඇත්නම් සංඝයාගෙන් ඊට අවවාද ලබා දෙන ලෙස තෙවරක්ම අයැද සිටිති. භික්ෂූන් වහන්සේ පස් නමකට වඩා සහභාගි වී තෙවරක්ම පවාරණ වාක්‍යය ප්‍රකාශ කොට කෙරෙන නිසා, මේ පවාරණය තේවාචික ගණ පවාරණය නමින් හඳුන්වයි. පොහොය සීමාවට රැස්වූ භික්ෂූ පිරිස හතර නමක් නම්, ඒ එක් එක් නම, අනෙක් තෙනම කෙරෙහි පවාරණය කළ යුතුයි. එය ගණ පවාරණයයි. සංඝ ස්ථවිරයන් වහන්සේගේ පවාරණයෙන් පසු සෙසු ස්වාමින් වහන්සේලා එක් එක් නම, වෙන් වෙන්ව පවාරණය කළ යුතුය.
පවාරණ වාක්‍යය එක් වරක් කීමෙන් කරනු ලබන පවාරණය ඒක වාචික පවාරණය ලෙස ද, දෙවරක් පවාරණ වාක්‍ය කියා සිදු කරන පවාරණය, ද්වේවාචික පවාරණය නමින්ද හඳුන්වයි. වස් පවාරණය පිළිබඳ විනයෙහි දැක්වෙන, ඉහත තොරතුරු වලින් පැහැදිලි වන්නේ ,වස් පවාරණය යනු, සමාදන් වූ වස් ශික්ෂාපදයෙන් ඉවත්වීම නොව, වස් කාලය තුළ තම තමන් වහන්සේලා අතරින් වරදක් සිදුව ඇත්නම්, එය සකසා ගැනීම සඳහා (පිරිසුදු බව පිණිස) මහා සංඝයා වහන්සේගෙන්, අවශ්‍ය අවවාද අනුශාසනා ලබා ගැනීම බවයි.
පෙරවස් සමාදන්ව, වස් ශික්ෂාපදය කඩවීමට නොදී ආරක්ෂා කරගෙන, වප් පොහෝ දින මහා පවාරණයෙන් පවාරණය කළ ස්වාමීන් වහන්සේ නමක් වැඩ සිටින විහාරස්ථානය කඨින චීවර මහා පින්කම සිදුකර ගැනීමට ඉඩ කඩ සැලසේ. වප් පොහෝ දිනයෙන් පටන්ගෙන, ඉල් පොහොය දිනයෙන් අවසන් වන මසක කාලය, කඨින චීවර පූජා පින්කම සිදු කරගැනීමට ලැබෙන කාලයයි. මේ කාලය චීවර මාසය ලෙස ඈත කාලයක සිටම හඳුන්වන්නේද එබැවිනි.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

මහා මුනිවත


ගම්පහ සිරිසීවලි හිමි,
වෙළුවනාරාමය, කන්නිමහර, වතුරුගම

ඡසු ලොකො සමුප්පන්නෝ

ඡසු කුබ්බති සංථවං

ඡන්න මේව උපාදාය

ඡසු ලොකො විහඤ්ඤති

'ලෝකය හෙවත් 'හිත' හය පලක හටගනී. ලෝකය හෙවත් සිත හය ඇසුරු කරයි. භය පලෙහිම උපාදානය කරගෙන වෙහෙසට පත්වේ'.

ශාන්ති නායකයාණන් වහන්සේ ආර්ය සමාජයේ ලෝකය පනවා වදාරා ඇත්තේ ආයතන හයෙහිය. සවිඤ්ඤාණ තත්ත්වය සහිත ඇස, කන, නාසය, දිව, කය, මන තුළය. මේ ස්‌ථාන හයෙන් තොරව ලෝකයක්‌ බෞද්ධ දර්ශනයේ පරිබාහිරව පනවානැත. කාමාවචර භූමි, අරූපාවචර භූමි, රූපාවචර භූමි, භෞතිකත්වය මත පදනම්වූ 'සම්මුති ලෝකය' වේ. ඒ ලෝකය තුළ,

1. දුක 2. සමුදය 3. නිරෝධය 4. මාර්ග පනවා නැත. හේතුව චතුරාර්ය සත්‍ය පැනවීමට විෂය ගෝචර නොවන නිසාය. සබ්බ සූත්‍රයේදී

1. ඇසත් - රූපයත්

2. කනත් - ශබ්දයත්

3. නාසයත් - ගන්ධයත්

4. දිවත් - රසයත්

5. කයත් - පොට්‌ඨබ්බයත්

6. මනත් - ධම්ම රූපත්

ලෝකයක ආරම්භය වශයෙන් සනිටුහන් කර ඇත. ඒ බව 'ස සඤ්ඤිම්හි සමනකේ

ලොකඤ්ච විඤ්ඤපේමි' යනුවෙන් දැක්‌වේ.

මේ නිසා මානසික ක්‍රියාකාරීත්වය ඇති සඤ්ඤා සහිත ක්‍රියාකාරී සිත තුළ ලෝකය පනවා වදාළහ. සඤ්Æ සහිත මානසික ක්‍රියාකාරීත්වය ලෝකය නම්, සලායතන නිරෝධයෙන් ලෝකය හටගැනීම අවසන් කළ හැක.. එවිට දුක - සැප විඳීම ඇලීම - ගැටීම අවසාන වනු ඇත.

ඉහත දැක්‌වූ පරිදි අභ්‍යන්තර රූපත් බාහිර රූපත් සම්බන්ධීකරණය වීමේදී රූපය අරමුණෙහි පිහිටීමෙන් 'ධම්මා' නම් වූ ලෝකය හෙවත් හිත හට ගනී. මෙය හටගන්නේ මන පූර්වාංගම කරගෙනය. 

මනෝ පුබ්බං ගමා ධම්මා

මනො සෙට්‌ඨා මනෝ මයා'

'ධම්මා' යනු සියලුම සංඛතයන් හෙවත් පංච උපාදානස්‌කන්ධ හෙවත් සිත හටගන්නේ 'මන' පූර්වාංගම හෙවත් ශ්‍රේෂ්ඨ කරගෙනය.

අභ්‍යන්තර රූපයට බාහිර රූපය යා කිරීමත්, නිශ්ශ්‍රිත වීමක්‌, සම්බන්ධීකරණය සිදුවූ වහාම 'ඵස්‌සය' නම් නාම ධර්මය හටගනී. එවිටම මානසික ක්‍රියාකාරිත්වයෙන් ඵස්‌සය වූ රූපය, වේදනා, සංඥා, ෙච්තනාවලට යොමු කිරීම මනසිකාරය කරයි. මේ නිශ්ශ්‍රීත බව සම්බන්ධීකරණය යොමු කිරීම සිදු නොවූයේ නම් මනසේ චලිත බව හෙවත් ක්‍රියා දාමයකට අවතීර්ණය වීමට මුල පිරීමක්‌ සිදු නොවේ. එනම් ලෝකයේ ක්‍රියාකාරීත්වය ඉපැද්දවීම, හටගැනීම සිදු නොවේ.

නිස්‌සිකස්‌ස හි චලිතං ඇසුරෙන් චලිත වේ. 

අනිස්‌සිතස්‌ස චලිතං නත්ථි ඇසුරක්‌ නොවේ නම් මානසික ක්‍රියාකාරිත්වය සිදු නොවේ. මනස චලනය නොවේ. මෙහි අභ්‍යන්තර රූප හා බාහිර රූප සම්බන්ධතාවයයි. 

මේ ධර්මතාවය හෙවත් ලෝකයේ හටගැනීම ඇණ හිටීම සඳහා කළ යුතු ප්‍රධාන කාර්යභාරය වන්නේ රූපයේ යථාර්ථය ප්‍රඥවෙන් අවබෝධ කිරීමයි. එමෙන්ම ශුද්ධ ධර්මයන්හි මූල ස්‌වභාවය යථාවත්ව අවබෝධයයි. 

ලෝක සමුදය හෙවත් හටගැනීම පැනවිය හැක්‌කේ ප්‍රකට කර ලිය හැක්‌කේ සංඥවන් සහිත සලායතන ක්‍රියාකාරිත්වය තුළය. සලායතන නිරෝධයේ 'ලෝක නිරෝධය හේතු යුක්‌තය. රූපයේ යථාර්ථය අනිත්‍ය බව යථාවත්ව අවබෝධ කටයුතුය. රූප සංඥ නොවීමට එහි ශූන්‍යත්වය අවබෝධ කටයුතුය. ශූන්‍යතාවයේ අවබෝධය ප්‍රඥවට ලැබෙන්නේ විනිවිද හෙවත් විදර්ශනා ප්‍රඥවට සම්බන්ධ වීමෙනි. එය සම්මාඤාණ නම් වේ. ඒ සමගම සම්මා විමුක්‌තියේදී දුටු රූපයක්‌වත්, දුටුවෙක්‌වත් නොමැත. ඉන්ද්‍රිය ගෝචර නොවන තැන, සංඥ විරහිත බවේදි රූපයේ ඇලීම ගැටීම හෙවත් ආශ්වාද ආදීනව ප්‍රපංචනය නොවේ. මේ ශූන්‍යතා දර්ශනයේ වැදගත්ම සන්ධිස්‌ථානයයි. එහිදී එනම් අනිත්‍යතාවය විදසුන් නුවණින් යථාවත් විටදී රූපයේ ශූන්‍යත්වය නිසා දකින දැනෙන, විඳින රූපයක්‌ (දිට්‌ඨ - සුත - මුත) නැත. ඉන්ද්‍රිය ශූන්‍යතාවය නිසා දකින කෙනෙක්‌ නැත. රූප සංඥ මනසේ ව්‍යාප්ත නොවන 'අමනසිකාරය' නම් වූ අවස්‌ථාව ප්‍රකට වේ.

මහාමුනි නම් වන්නේ සම්මා සම්බුදුවරුන් වහන්සේලාය. මුනි හෙවත් මෞන යනු නිහඬ බවයි. හඬ තැලීම නැත. දොඩමලු නැත. චින්තකයෝ යනු මුනි වීමට පෙරාතුව දැකිය හැකි උතුමෝය. බාහිර ලෝකයේ සත්‍ය නැත. බාහිර ලෝකය හෙවත් සම්මුති ලෝකය පදනම් කරගෙන සත්‍ය සෙවීම ඵල රහිතය. මොකද? ඒ තුළ සත්‍ය නැති නිසාය. ඇත්තේ අසත්‍යය යෑයි. සත්‍ය තුළ මම නැත. මම යනු සිහිනයක්‌ පමණි. නිවන විමුක්‌තිය, මුනිබව, නිහඬ බව, සිතුවිලි තවලම මත ජනිත නොවේ. නිවන දොඩමලු මනසේ නැත.

පුහුදුන් සමාජය යනු කපටිකම, වංකකම, අමනෝඥකම ඉහවහා ගිය ස්‌ථානයකි. ඔබ මා එහි ජීවත් වේ.මුදු භෞතික ලෝකයම මායාවක්‌ බව ශාක්‍ය මුනීන්ද්‍රයාණන් වහන්සේ පෙන්වා දෙති. එසේ නම් මායාකාරී ලෝකයක ජීවත්වනවා යනු ජීවිත පැවැත්ම යනු වංක කමින්, කපටිකමින් කාලය මැරීමයි. ඔබට ශ්‍රේෂ්ඨයෙක්‌ වෙන්න උතුමෙක්‌ වෙන්න කියා සමාජය විසින් ඔබට බලකරනවා. ඇත්ත හේතුව කුමක්‌ද? ඔබ අධමයෙක්‌ නිසා. ඔබ ගුණමකුවකු නිසා. එසේ නම් ඔබ කළ යුත්තේ වංකකම, කපටිකම තවත් කරපින්නා නොගෙන ස්‌වභාව ධර්මයට අනුගතවීමයි. බුද්ධියෙන් අවදිවීමයි. අහංකාරකම නැති කිරීමයි. අහං යනු මම යන්නයි. මේ ස්‌වභාවය ධර්මයට නැති 'මමෙක්‌' පනවාගෙන කර්ම කරනවා. කළ යුත්තේ..? කිසිම දෙයක්‌ කරන්න එපාෘ ස්‌වභාව ධර්මයේ ජීවිතයට ගලා යැමට ඉඩ දෙන්න. 'නිරහංකාර' උතුමෝ රහතන් වහන්සේය. උතුමෝ අහං නැති කර ඇත. ඒ නිසා කර්ම කරන්නේ නැත. ක්‍රියාත්මක භාවයක්‌ පමණි. ස්‌වභාව ධර්මයේ ස්‌වභාවයක්‌ම පමණි. ඒ ආධ්‍යාත්මයෙන් අවදිවීමයි. මනසින් අවදිවීම නොවේ.

ධර්මය ප්‍රගුණ කිරීම නොව කළ යුත්තේ 'සත්‍ය' හෙවත් ඇත්ත හඳුනා ගැනීමයි. එයිය වැදගත්. අප ස්‌වභාවධර්මයේ යථාර්ථය නොදැන උපත,මරණය, දුක-සැප, හොඳ-නරක, මම-ඔබ පනවා ගැනීම් කරයි. මේ පනවා ගැනීම් මහා මුනි වත' තුළ නැත. මානසික නිර්මාණ, මවාපෑම්වලින් ගහනය. ඒවා ව්‍යාප්තයෙන් පුහු ආටෝපයෙන් සන්නද්ධය. ප්‍රබල නිහඬබව යනු 'මුනිවතය'. 'මුනිවත' තුළ මනදොළ නැත. දොඩමළු බවද නැත.

ශාන්තිනායකයාණන් වහන්සේ තම ශ්‍රාවකයාට ආමන්ත්‍රණය කරන්නේ 'අමනසිකාරය' නම්වූ යථාභූත ඥන දර්ශනය වෙත සම්ප්‍රාප්ත වීමටය. එය සම්මාඤාණ, සම්මා විමුක්‌තියයි. මනසින් අවදිවීම නොව ප්‍රඥාවෙන් අවදිවීමයි. මුනි වීමට හෙවත් උත්තම නිහඬ බවට පත්වීමට ආයාසයකින් තොර කෘත්‍රිමව හෝ උත්සාහයෙන් කළ නොහැක. ස්‌වභාවධර්මයට අනුගත වීමයි.

සියල්ල කරන්න

කිසිවක්‌ නොකරන්න

'සියල්ල කරන්න' යනු ස්‌වභාවධර්මයේ ස්‌වභාවයයි. ඒ රහත් උතුමන්ගේ ස්‌වභාවයයි. ස්‌වභාවධර්මයේ ක්‍රියාත්මක භාවයයි. කරන්නෙක්‌, විඳින්නෙක්‌ නොමැති තැනය. මෙහි කිසිවක්‌ ඇති තැන 'මම' නම් මායාව ක්‍රියාත්මකයි. මම ඇත්නම් කර්ම බවට පත්වේ. මම පනවා ගැනීමමයි කිසිවක්‌ බව ප්‍රකට වන්නේ.

'දිට්‌ඨේ දිට්‌ඨ මත්තං' දැක්‌කා පමණි. දකින්න කෙනෙක්‌ නැත. ස්‌වභාව ධර්මයේ ස්‌වභාවයයි. 'සුතේ සුත මත්තං' ඇසුණා පමණි. අහන්න කෙනෙක්‌ පුද්ගලයෙක්‌ පැනවීමට කිසිම හේතු සාධක නැත. සතා පුද්ගලයා මම කියා ප්‍රඥප්ති පනවා සම්මුති දී ඇති ස්‌ථානය පංච උපාදානස්‌කන්ධයක්‌ පමණි. මෙහි ශාන්ති නායක දර්ශනය වන්නේ අමනසිකාරය නම් වූ මුනි බවේ ප්‍රතිමූර්තියයි. යථාර්ථයයි.

අනිස්‌සිතො ච විහරති

න ච කිංචි ලෝකේ උපාදියති'

ඇසුරක්‌, නිශ්ශ්‍රිත බවක්‌, දැඩිව ගත් බවක්‌, නැඹුරු වීමක්‌, වුවමනාවක්‌, ඕනෑකමක්‌, කෑදරකමක්‌ නොමැති තැන 'නිසොල්මනයි'. මන සෙලවීම ක්‍රියාත්මකවීම මනසිකාරය නොවීමයි. මනසිකාරය බලාත්මක වුනොත් ඉතිරි නාම ධර්ම එනම් ඵස්‌ස, වේදනා, සංඥ, ෙච්තනා ක්‍රියාත්මක වී ලෝකය හෙවත් හිත බල ගැන්වේ. හෙවත් හටගනී. අවධි බව යනු මානසික ක්‍රියාකාරිත්වය අත්හිටුවීමයි. අමනසිකාරය යනු ලෝකෝත්තර තත්ත්වය හෙවත් ලෝක ධර්මයන්ගේ ඉකුත්වීම 'බුද්ධ මනසයි'. නිහඬ බවයි. මහා මුනි වතයි.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

ඇයි? මෙතරම් ආවේගයක්

ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත
තලල්ලේ චන්දකිත්ති හිමි
“ආවේගය” කියන්නේ අපේ හිතේ හටගන්නා වේගයෙන් ක්‍රියාත්මක වන සිතිවිලිවලටයි. කය, වචනය පාලනයක් කර ගන්නට බැරි දෙයටත් අප ''ආවේගය" යැයි කියනවා. නමුත් ආවේගක් බවට පත්වෙන්නේ කේන්තිය පමණක් නොවේ. රාග, ද්වේශ, මෝහ කියන ක්ලේෂ ධර්මයෝම ආවේග බවට පත්වෙනවා. ආවේගය හෙවත් මේ වේගයෙන් ක්‍රියාත්මක වන සිතිවිලි වලට වේගය සපයන්නේ තමාම යි. බාහිර සමාජය නොවේ.
අපට ආවේගයක් ආ විට අප කියනවා අසවලා නිසායි මගේ සිතේ රාගය ද්වේෂය ඇතිවුණේ කියමින් අනෙක් පාර්ශ්වයට ඇඟිල්ල දිගු කරනවා. යම් කෙනෙක් සිරුර නිරාවරණය වන ලෙස ඇඳුමක් ඇන්දොත් අප කියනවා ඒ ඇඳුම නිසයි, මගේ සිතේ කෙලෙස් ඇවිස්සුනේ කියා සමාජයට වරද පටවනවා. කෙනෙක් බැන්නොත් ඔහු බැන්න නිසයි, මට කේන්ති ආවේ කියා වරද අනෙක් පුද්ගලයා වෙත පටවනවා. අද සිදුවන අපරාධ දෙස බලන විට අපටත් පෙනෙනවා බාහිර සමාජයෙන් යම්කිසි ඇවිලීමක්, උසිගැන්වීමක් මේ සඳහා තිබෙන බව. නමුත් ඒක පෝෂණය කරමින් වැඩි දියුණු කරන්නේ තමායි. තමා ගේ සිත තුළින් නැවත එය අල්ලාගෙන එය ආවේග සිතිවිලිවලට බලයක් සපයන්න සපයන්න ඒ සිතිවිලි වල ක්‍රියාකාරීත්වය වේගවත් වෙනවා. එහෙම වේගවත් වූ විට අභ්‍යන්තර පාලනයකින් තොරව සිතිවිලි පිටවෙනවා. ඒ සිතිවිලි කය සහ වචනය ඔස්සේ සමාජය තුළ පතිත වෙනවා. එවිට සමාජය කියනවා ඒ පුද්ගලයා පවු කළා, නරක දේ කළා, අපරාධ කළා කියලා.
එහෙනම් අප දැනගත යුතුයි මේ සිතිවිලි කොහොමද මෙසේ වේගවත් වුණේ. එයට මූලික වූ බාහිර අරමුණු තිබෙනවා. නමුත් ඒ අරමුණු හැම එකක් හමුවේම අපේ සිතිවිලි වේගවත් වෙන්නේ නැහැ. උදාහරණයකට හිතන්න, කවුරු හරි අපට දොස් කියනවා. ඒ ශබ්දය අපේ කනට ඇසෙනවා. මේ කනට ඇසෙන බැනුම් දෙකක් තිබෙනවා. ඒ තමාට දොස් කීම හා අනුන්ට දොස් කීම. මේ දෙකෙන් තමාට දොස් කියන විට අපට කේන්තියක් ඇතිවෙනවා. මේ දොස් දෙවර්ගයම ඇසෙන්නේ එකම කනට. නමුත් එයින් ඇතිවන ප්‍රතිචාරය වෙනස්. එයට හේතුව මේ බැනුම මගේ කියා අප අල්ලා ගැනීමයි. අනුන්ට දොස් කීම අල්ලා ගත්තේ නැති නිසා එය බැහැරට ගියා. මේ අල්ලා ගැනීමත් සමඟයි ආවේගය පෝෂණය වන්නේ. ඒ දේ පිළිබඳව නිතර නිතර සිතනවිට සිතේ සිතිවිලි වැඩිවෙලා, දියුණුවෙලා, ව්‍යාප්තවෙලා යනවා. එහෙනම් මෙයට වගකියන්න ඕන බාහිර සමාජය නොවේ. එහි වගකීම තමාට යි.
මේ නරක සිතිවිලි පෝෂණය කරන්න යාම නිසයි බොහෝ අපරාධ, දූෂණ වැනි සමාජය පව් කියා පිළිගත් දේ සිදුවෙන්නේ. ඔබ කල්පනා කරනවානම් මේ සිතිවිලි පාලනය කරගත යුතුයි කියා. ඒ සඳහා තථාගතයන් වහන්සේ ක්‍රමවේදයන් පහක් ගැන දේශනා කර තිබෙනවා. භාවනා කරන කෙනෙකුගේ සිතකට රාග, ද්වේශ, මෝහය සිතිවිල්ලක් ඇතුළත් වූ විට කුසලයක් සිතේ දියුණු කරන්න කියනවා. රාගයක් නම් සිතේ වැඩෙන්නේ අසුභ භාවනාව වැඩිය යුතු වෙනවා. ද්වේශයක් නම් ඇවිස්සෙන්නේ මෛත්‍රීය වඩන්න කියනවා. මෝහයක් නම් ප්‍රඥාව වැඩෙන භාවනාවක් කරන්න කියනවා. එවිට කුසල සිතිවිල්ලෙන් අකුසලය යටපත් කරන්න පුළුවන්. අකුසලයක් සිතේ හටගත් විට ඊට ප්‍රතිවිරුද්ධ කුසලය මෙනෙහි කිරීම තුළින් අකුසලය යටපත් වෙනවා. සමාජයේ බොහෝ දෙනා කියනවා ක්ෂණික කේන්තිය ක්ෂණික කෝපය නිසයි අපරාධ වැඩි කියා. ක්ෂණික කෝපය කියන්නේත් පුරුද්දක්. පොඩි දෙයටත් කේන්ති ගන්න පුද්ගලයා නිරන්තරයෙන් කේන්ති ගන්නවා. ක්ෂණික කෝපයට හොඳම පිළියම තමා ක්ෂණික මෛත්‍රිය. කෝපය සිතට ඉක්මනට ගන්න පුළුවන් නම් ඇයි? මෛත්‍රිය ගන්න බැරි? කෝපයත් සිතිවිල්ලක්. මෛත්‍රියත් සිතිවිල්ලක්. නිතර නිතර කෙනෙක් මෛත්‍රිය පුරුදු කරනවානම් කෝපය පාලනය කරන්න එය හේතුවක් වෙනවා. රාගයක් ආ විටක විරාගික සිතිවිලි ඇතිකර ගැනීම එයට හේතුවයි. එවිට ආවේගය පාලනය වෙනවා. දෙවැනි කරුණ රාග, දේවේශ, මෝහය තුළියන් යම් අයහපත් ක්‍රියාවක් කරන්න යනවානම් එහි ආදීනවය දකින්න කියනවා. ඒ දේ සිදුකළොත් වන හානිය කුමක්ද? කියා සෙවිය යුතුයි. තමා ගොඩනඟා ගත් පෞරුෂය, අභිමානය, එක මොහොතකින් විනාශ වෙලා යන හැටි සිහි කරන්න කියනවා. සුළු මොහොතක ක්‍රියාකාරීත්වය නිසා ජීවිතයම අඳුරු කරගන්න හොඳනැහැ කියා එහි ආදීනව දකින්න කියනවා.
තුන්වෙනි කරුණ ඒ සිතිවිල්ල මෙනෙහි නොකර සිටීම. එය අමතක කර විරාගි සිතිවිල්ලක් මෙනෙහි කරන්න කියනවා. අප අකැමැති කෙනෙක් දුටුවොත් අප අහක බලාගන්නවා. අවධානය වෙනතකට යොමු කරනවා. ඒ වගේ රාග, ද්වේෂ, මෝහ සිතිවිල්ලකින් සිත ඇවිලීගෙන එනවානම් අප ඉක්මණින් එයින් බැහැර වෙන්න ඕන.
හතරවන කරුණ ඒ සිතිවිලිවල මූලයන් සොයන්න කියනවා. රාග, ද්වේෂ, මෝහ තුළින් යම් වැරැද්දක් කරන්න සිතිවිල්ලක් ආ විට ඇයි මෙහෙම දෙයක් කරන්න සිතුනේ කියා එහි මූල හේතුව සොයන්න කියනවා. මූල හේතුව සොයනවිට ඒ වගේ දෙයක් කළයුතු නැහැ කියා වැටහෙනවා.
අපට රාග, ද්වේශ, මෝහ කෙලෙස් ඇවිස්සී එනවිට සොයා බලන්න මේ කෙලෙස් අවුස්සා ගත යුතු දෙයක් මෙහි තිබෙනවාද? කියා. එහෙම කල්පනා කරනවිට එය පාලනයක් වෙනවා. ඒ පාලනය සමඟම ඒ සිතිවිලි අතහැර දමනවා. මේ පාලනය අභ්‍යන්තරයෙන් කරන්න පුළුවන්නම් ඔහුගේ කයෙන්, වචනයෙන් සිදුවන ක්‍රියාකාරකම් නැවැත්තුවා වෙනවා. ඔහු නිසා සමාජයට කිසිදු බයක් ඇතිවෙන්නේ නැහැ. තමාගේ සිතිවිලි පාලනය කරන පුද්ගලයා මුළු ලෝකයටම අභය දානය දුන් කෙනෙක් වෙනවා. ඉතින් තථාගතයක් වහන්සේ වදාළා පෙර කී සියල්ල අසාර්ථක නම් දත්මිටි කාගෙන දිවෙන් උඩුතල්ල තදකරගෙන මොන බලවේග ආවත් මම මේ වැරැද්ද කරන්නේ නැහැ කියා ආත්ම ශික්ෂණයක්, උත්සාහයක්, කැපවීමක් ඇතිකරගන්නා ලෙස.
මේ ශක්තිය ඇති පුද්ගලයාගෙන් සමාජයට අපරාධ වෙන්නේ නැහැ. සමාජයට ව්‍යසනයන්, හිංසාවන් සිදුවෙන්නේ නැහැ. සමාජයට කරදරයක් වෙන්නේ ආත්ම පෞරුෂය නැති අයගෙන්. ඒ අයට තමන්ගේ ආවේග පාලනය කරන්න බැහැ. ඒ නිසා එවන් අය මුණගැසුන විට අප කළයුත්තේ අසරණ අයෙකු දෙස බලන ආකාරයට බලා අනුකම්පා කිරීමයි. අපේ ද්වේෂය අවුස්සා අපත් සමඟ ගැටෙන්න, පැටලෙන්න එන අයට එකට එක කර ප්‍රතිචාර දක්වනවාට වැඩිය ඔහුට අනුකම්පා කිරීම සුදුසු යි. ඒ වගේම අපට පුළුවන්නම් ඒ පුද්ගලයාගේ මනස හදන වැඩපිළිවෙලකට යොමු කරන්න තථාගතයන් වහන්සේ අපට දේශනා කළේ එයයි. එහෙම මනස හදන්නේ නැතුව වැරැදි කරන මනුස්සයා මරා දැම්මාට ඒ අපරාධය නවතින්නේ නැහැ. එයින් වෙන්නේ අපරාධකාරයා නිසා අපත් අපරාධකරුවෙකු බවට පත්වීමයි.
ඒ නිසා මිනිසා හදනවා කියන්නේ ඔහුගේ මානසික සංකල්ප දියුණු කිරීමයි. ඒ සඳහා කළයුතු වන්නේ මිනිසා ධර්මයට සමීප කරවීමයි. ධර්මය, ඤාණය ව්‍යාප්ත කර දැනුවත් කිරීම තුළින් අපරාධ අඩුකරගත හැකියි. ධර්මකාමීව ජීවත්වීමේ ආනිශංස ඔවුන්ට හේත්තු ගැන්විය යුතුයි. ධර්මයට කැමැත්ත ඇතිකරගත් පුද්ගලයාට දියුණුවක්මයි වෙන්නේ. යම්කිසි කෙනෙක් ධර්මයට ද්වේශ කරනවානම් ඔහුගේ පිරිහීමයි ඇතිවෙන්නේ. ඒ නිසා හැබෑවටම දහමට නතුව කටයුතු කරන්න හිත හැදෙන වැඩපිළිවෙලකට සමාජය යොමුකළ යුතු වෙනවා. ඒ සඳහා බුදුරජාණන් වහන්සේගේ දේශනා තුළින් පිළිවෙල හොඳින් තේරුම් අරගෙන සමාජයට පණිවිඩයක් දියයුතු වෙනවා.
ඒ වගේම අද සමාජය දියුණු තාක්ෂණයත් සමඟ අපරාධ වලට දෙන ප්‍රසිද්ධිය වැඩිවෙලා තිබෙනවා. ඒ අපරාධ අඩුකරන ආකාරයට අපේ සමාජයේ පරිසරය හදා ගැනීමයි කළයුතු වන්නේ. ඒ පරිසරය හදන්න නම් සමාජයේ ජීවත්වන ජනතාව දහමින් පෝෂණය කරමින් දැනුවත් කරන්න ඕන. ධර්මානුකූලව ජීවත් වී සමාජයේ ඉතා දියුණු වූ උතුම් පුද්ගලයන්ගේ චරිත ප්‍රසිද්ධ කරන්න ඕන. පූර්වාදර්ශ චරිත තිබෙනවා කියා දැනෙනවිට ජනතාව ඒ චරිත අනුගමනය කරන්න පෙළෙඹෙනවා. එහෙම පෙළෙඹෙන විට සමාජය සුචරිතවත් මාර්ගයකට ගමන් කරනවා.
නයනා නිල්මිණි

 ¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

"සට්‌ඨිස්‌සර" නමින් පසේබුදු වන්නේ කවරෙක්‌ද?

සැරියුත් මහරහතන් වහන්සේ බොහෝ ආත්මභාවයන්හි බෝධි සත්වයන් වහන්සේගේ පියාද වූවාසේම බෝධිසත්වයෝද බොහෝ ආත්මභාවයන්හි සැරියුත් හිමියන්ගේ පියා විය. මිලින්ද ප්‍රශ්නයෙහි නාගසේන හිමියන් මිළිඳු රඡ්ජුරුවන්ට "කුශලාකුසලකාරී විශේෂ ප්‍රශ්නය" පිළිබඳ පැහැදිලි කරද්දී මේ සංසාරයේදී බොහෝ සත්වයෝ තමන් හට ප්‍රියවූවන් සමග මෙන්ම අප්‍රිය වූවන් සමග ද එක්‌වන බව ප්‍රකාශ කළහ. බුදුරජාණන් වහන්සේට සිය බෑණනුවන් වූ දෙව්දතුන්ගෙන් ලැබුණේ ගරු සැලකිලි නම් නොවේ. සැමවිටම බුදුන්ට සතුරු වූයේ දෙව්දතුන්ය. මේ වෛරය ආරම්භ වන්නේ බොහෝ කල්ප ගණනකට පෙරදීය. එම වෛරය ආරම්භ වන ආකාරය සේරිවාණිජ ජාතකයේ මැනවින් විස්‌තර කර ඇත. දඹදිව සේරීව නමැති ප්‍රදේශයේ උපත ලබා ගෙයින් ගෙට ගොස්‌ වෙළෙ¹ම් කරන මණිබඩු වෙළෙන්දා "කච්ඡපුට" විය. ඒ බෝධිසත්වයන් වහන්සේය. සේරිවාණිජ ලෙස උපත ලැබුවේ දෙව්දතුන්ය. බෝසත් කච්ඡපුට වෙළෙන්දා රන්තලිය මිලදී ගැනීමේ වෛරය නිසා සේරිවාණිජ පපුවේ අත් ගසමින් මහත් වෛරයෙන් යුතුව ගංතෙර අසලදී හෘදයාබාධයකින් මරණයට පත්විය. සේරිවාණිජ ආත්මයේ සිට දෙව්දත් ආත්මය දක්‌වාම අඛණ්‌ඩව පැවත ආවේ මේ වෛරයයි. මේ වෛරය ගැන බුදුන් මෙසේ පවසා ඇත.
අද පමණක්‌ නොව පෙර ආත්මභාවයන්හිදී ද දේවදත්ත මට හිංසා කළ අවස්‌ථා බොහෝය. ඒ සෑම හිංසාකාරී ක්‍රියාවක්‌ම මම මහණෙනි මගේ වාසියට හරවා ගතිමි. ඉහත කී පරිදි බුදු බවට පත්වීමට ප්‍රධාන වශයෙන්ම උපකාරී වූයේ කරුණාවත් මෛත්‍රියත් සීලයත් පරිත්‍යාගයත් සත්‍යවාදී බවත් අධිෂ්ඨානයත් මුල්කරගෙන මවිසින් ගන්නා ලද අතිශයින් සාර්ථක ගුණාත්මක ක්‍රියාවලිය නිසාමය. එය මගේ පමණක්‌ නොව මහබෝසත්වරුන්ගේ ආවේණික චාරිත්‍ර ධර්මයක්‌ බව සැලකිය යුතුය."
කෙසේ නමුත් මේ දෙව්දතුන් ඉහත ආත්මභාවයන්හිදී බෝධිසත්වයන් වහන්සේගේ පියාද විය. බෝධිසත්වයෝ තිරිසන් ආත්ම ලබද්දී දෙව්දත්හු මනුෂ්‍ය ආත්ම ලැබූහ. එක්‌ කලෙක දේවදත්තයෝ බරණැස්‌නුවර බ්‍රහ්මදත්ත රජුගේ පුරෝහිතගේ පුත් ලෙස ඉපිද සිටියදී බෝධිසත්වයෝ ජටක නම් චන්ඩාලයෙක්‌ විය. මගධ රාජ්‍යයේ මහා මහීපති නම් රජ ලෙස දෙව්දතුන් ආත්මභාවය ලබද්දී බෝධි සත්වයෝ එම රජුගේ ඇත්ගාලෙහි ඇත් රජු ලෙස උපන්නේය. අතීතයේ සිට පැවත එන වෛරය මෙතැනදී ද නැවතත් උත්සන්න විය. මහා මහීපති රජුට මේ ඇත් රජු අප්‍රසන්න විය. ඇතා වදදී මරා දැමිය යුතු යෑයි රජුට සිත් විය. වේපුල්ල පර්වතයෙන් පහළට දමා මේ ඇත් රජු මරා දැමීමට රජ කුමන්ත්‍රණ කළ ද අවසානයේ මේ බෝධිසත්ව ඇත් රජු වේපුල්ල පර්වතයෙන් පැන Rද්ධියෙන් බරණැස්‌ නුවරට ගිය බව මිළින්ද ප්‍රශ්නයෙහි සඳහන් වේ. එක්‌ කලෙක දේවදත්තයෝ බරණැස කලාබූ රජ ලෙස ආත්මභාවය ලබද්දී බෝසතාණෝ අසූකෝටියක්‌ ධනය ඇති බ්‍රාහ්මණ කුලයක ඉපිද සියලු සැප අතහැර තපස්‌ රැකීම සඳහා වනයට වැඩියහ. කාලයක්‌ ගතවූ පසු ලුණු ඇඹුල් සොයනු පිණිස බරණැස්‌ පුරවරයට පැමිණ රජුගේ සේනාපතිගේ ඇප උපස්‌ථාන ලබමින් රජ උයනේ වැඩ සිටියහ. තම උයනේ සිටින තාපසයා දැක රජු උරණ විය. රජු ප්‍රශ්න විමසූ කල තමා ක්‍ෂාන්තිවාදී යෑයි පැවසූ විට තවත් උරණ වූ කලාබුQ රජ නුඹේ ක්‍ෂාන්තිවාදිත්වය මැන බලමි යෑයි පවසා වධකයා ගෙන්වා මේ බෝසත් තාපසයාට කටු මිටියෙන් පහර දෙදහසක්‌ ගැස්‌සවීය. මේ පහර නිසා බෝසතුන්ගේ ශරීරයෙන් ලේ ගලන්නට විය. එවිටද තමා ක්‍ෂාන්තිවාදී බව බෝධිසත්වයෝ පැවසූහ. පසුව මේ රජුගේ අණ පරිදි අත් දෙකද කකුල් දෙක ද සිඳින ලදී. එහෙත් තාපසයා වෙනස්‌ වූයේ නැත. පසුව කන් දෙකද කපා දමන ලදී. එයින් පසු කලාබූ රජු "කූට ජටිලය තෝ කුමනවාදී දැයි ඇසීය. එවිට තාපසයෝ මහරජාණෙනි මම ක්‍ෂාන්තිවාදී යෑයි කීහ. එවිට තවත් කෝප වූ රජ "කූට ජටිලය තාගේ ක්‍ෂාන්තිය තෝම නසාගනුවයි" කියා විලුඹින් බෝධිසත්වයන්ගේ පපුවට ඇන පලා ගියේය. ටික වේලාවකට පසු මේ තාපසයා මරණයට පත්විය. තවත් කලෙක දේවදත්තයෝ බරණස බ්‍රහ්මදත්ත රජු ලෙස කටයුතු කරන කල්හි ඒ රජ හට පුත්‍රව බෝසත්වයෝ මනුෂ්‍ය ආත්මභාවයක්‌ ලබාගත්හ. මේ පුත්කුමරු "මහාපදුම" නම් විය. මේ කුමරා ඉතා රූමත් තරුණයකු විය. මේ කුමරාගේ මව කුඩා කලදීම මිය යැම නිසා බ්‍රහ්මදත්ත රඡ්ජුරුවෝ තරුණ බිසවක්‌ විවාහ කරගත්හ. රජු ඈත ප්‍රදේශයක යුද්ධයක්‌ මෙහෙයවන්නට ගිය කල්හි මේ තරුණ බිසව පදුව කුමාරයාගේ රූපයට වශීවී ඔහු වරදට පෙළඹවීමට වෑයම් කළාය. බිසවගේ මේ ආරාධනයට එකඟ නොවූ බෝසතාණෝ ඇයට වැඳ තමා වරදෙහි බැඳීමට අකැමැති බව ප්‍රකාශ කළේය. මේ ගැන උරණ වූ බිසව රජු නැවත පැමිණ කල මේ පදුම කුමාරයා තමන් වරදේ බැඳගැනීමට උත්සාහ කළ බව පැවසුවාය. මේ පුවත අසා දැඩි කෝපයටපත් රජු, කුමරා මරා දැමීමට අණ කළේය. රන් මල් මාලා දමා මේ කුමරා මහ මඟ දිගේ ගෙන යමින් පහර දෙන විට නගර වැසියෝ බොහෝ කම්පාවූහ. අන්තඃපුරයේ සිටින බිසෝවරුද හඬමින් මේ කුමරා කළ වරදක්‌ නැතැයි පැවසූහ. මේ නිසා රජු නැවත පදුම කුමරා ගෙන්වා ප්‍රශ්න කළේය. එවිට පදුම කුමාරයා "පියාණන් වහන්සේ මා අන්තඃපුරයේ කළ වරදක්‌ නැහැ. මහා මායාකාරි වූ ස්‌ත්‍රීන්ගේ වචනයෙන් නිරපරාධවූ මාගේ දිවි නොනසන්නැයි කියමින් කඳුළු සැලුවද රඡ්ජුරුවන්ගේ හිත වෙනස්‌ වූයේ නැත. "මොහු ගෙනගොස්‌ සොරුන් දමන මහ පර්වතයෙන් පහළට දමන්නැයි රාජපුරුෂයන්ට නියෝග කෙරිණි. චෝර ප්‍රපාත නම් මහ ගලෙන් පදුම කුමාරයා පහළට දමද්දී ඒ පර්වතය අධිගෘහිත වූ දේවතාවා පැමිණ දෑතින්ම මේ කුමරු වඩාගෙන ගොස්‌ පර්වත පාමුල පිහිටා ඇති නාගභවනට ගෙන ගිය බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ. මහා ප්‍රතාප රජු ලෙස දේවදත්තයෝ ආත්මභාවය ලබද්දී බෝධිසත්වයෝ මේ රජුගේ පුත් කුමරු ලෙස මෙලොව එළිය දුටහ. ප්‍රතාප රජු තමාගේ පුත් වූ ධර්මපාල කුමාරයාගේ අත් පා සිඳලූ බව සඳහන් වේ.
බෝධිසත්වයන් වහන්සේගේ සෑම ආත්ම භවයකදීම දෙව්දතුන් හමු වූයේ නැත. ආත්මභාව දෙතුන් සියයකට වතාවක්‌ හෝ දහස්‌ ගණනකට වතාවක්‌ දෙව්දතුන් හමුවන්නට ඇත. හමු වූයේ කලාතුරකින් වුවද හමු වූ විට බෝසතුන්ගෙන් පලිගත් බව පැහැදිලිය. අවසානයේ ඡේතවනාරාමය අසලදී දෙව්දතුන් අපාගත විය. ඒ ගැන සැවොම කතාකරන්නට විය. දම්සභා මණ්‌ඩපයේදී මේ ගැන කතාබහට ලක්‌විය. එහිදී බුදුන්වහන්සේ මෙසේ ප්‍රකාශ කළහ. "මහණෙනි දේවදත්ත මා විසින් කලින් ප්‍රකාශ කළාක්‌ මෙන් මෙවැනි බද්ධ වෛරයක්‌ ඇති කරගෙන පාපකාරී ක්‍රියාවන්හි යෙදුනේ බුදුරජුන් සමගයි. එනම් මා නිසාය. එහෙත් ඔහු රටේ අනෙක්‌ අයට විපත්ති කර නැත. එසේම අවසන් මොහොතෙහි පොලව පැලී අපාගතවෙද්දී "පාණෙහි බුද්ධං සරණ උපේමි" යනුවෙන් බුදුන් සරණ යන්න මැයි කියා මරණයට පත් විය. මේ දේවදත්ත කල්ප ගණනාවක්‌ අපාගතව සිට ඉන් මිදී මිනිස්‌ ආත්ම ලබා තව බොහෝ කාලයකට පසු "සට්‌ඨිස්‌සර" නමින් පසේ බුදු බවට පත්වී නිවන් දකින්නේය යනුවෙන් වදාළහ. කෙසේ නමුත් දෙව්දතුන්ගේ බොහෝ වැරැදි ක්‍රියා නිසාම බුදුන්ගේ උදාර ගුණ ඉස්‌මතුවිය. එම නිසා බුදුගුණ වඩ වඩාත් බැබලෙන්නට වූ බව සටහන් කළ යුතුමය.
චතුර පමුණුව