දුටුගැමුණු රජු කල පිරිණිවන් පෑ මලියදේව හිමියන් ලංකාවේ අන්තිම රහත් තෙරනම නොවේ. සැබැවින්ම, අද වුව රහතුන් බිහි විය හැකිය. ඒ සදහා අවශ්‍ය වන්නේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ ශ්‍රී සද්ධර්මය සීල සමාධි ප්‍රඥා වශයෙන් දියුණු කොට සාක්ෂාත් කිරීමයි.

ඔබත් බුදුරදුන් පෙන්වා වදාළ උත්තම දහම් මාර්ගයේ ගමන් කරන්න


Powered by දහම් විල


ලිපි සඳහා පහත මාසය අනුව ලිපි පටුන බලන්න

දැහැමි චින්තනයයි සසර විමුක්තියයි

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ 
ඉතිහාස අධ්‍යයන අංශයේ මහාචාර්ය 
හඟුරන්කෙත ධීරානන්ද හිමි

සිත මුල් කොට ගත් ආගමික පදනමකින් ඉස්මතු වූ දාර්ශනික හා ආගම් අතර මුල් තැනක් බුදුදහමට හිමි වේ. “බෞද්ධ” යන නාමය තුළම සිත පිළිබඳ බෞද්ධ මතය ගැබ්ව තිබේ. බෞද්ධයා යනු බුද්ධිමත් ව හෙවත් ප්‍රඥාවන්ත ව කටයුතු කරන්නා යන අරුතක් වේ. බුද්ධිය යනු කුමක්ද? යන්න විමසා බැලිය යුතුවන අතර බුද්ධිය යොදනු ලබන්නේ කුමන පදනමක් මතද යන්න ගැනද විමසුමක් කිරීම තුළින් බෞද්ධ වචනයේ නියමාර්ථය පසක් කළ හැකිව තිබේ. වත්මන්හි විෂයානුබද්ධිත වූ දැනුමක් ලබා විභාගාදියෙන් ජයගත් පුද්ගලයා හැඳින්වීම පිණිස බුද්ධිමතා, උගතා ,නැණවතා යන වචන නිරතුරුව භාවිත කෙරේ.
බෞද්ධ චින්තනය යනු බෞද්ධයකු විසින් සිතන ආකාරය වේ. සිතීම යනු යම් ක්‍රියාවක් කළ යුත්තේ කෙසේද? යන්න පිළිබඳ සිතින් කරනු ලබන මුල් සැලැස්ම වේ. එම සැලැස්ම කය හා වචනය පදනම් කොට ගෙන හෙළි දැක්වීමෙන් එම චින්තනය ක්‍රියාවලියක් බවට ලක් කෙරේ. හිත හැදීම යනු චින්තනය සැකසීම වේ. සිතක් නැතිනම් සිතිවිලි ද නැත. සිතිවිලි හටගන්නේ සිත තුළය. සිත නිවැරදිනම් සිතේ ඇතිවන සිතිවිලි ද නිවැරදි වේ. සිතිවිලි නිවැරදි නම් සිතිවිලි තුළින් ක්‍රියාවට නඟන ක්‍රියාවෝ ද නිවැරදි බව පැහැදිලිය. තමා නිරතුරුවම සුදුසු ගුණයේ මෙන්ම නිවැරදි සිතිවිලිවල පිහිටමින් අනුනට අනුශාසනය කළ යුතු වේ. තම චින්තනය නිවැරදිව සකස් නොකොට අනුන්ගේ චින්තනය හෝ හැසිරීමේ ගැන අවවාද නොකළ යුතුය. මන්ද තමා ඊට සුදුස්සකු නොවන බැවිනි. වැරදියට අල්වාගත් කුස තන වැරදි විදිහට අල්ලාගත්තහුගේ අතම කපන්නේ වේද වැරදි කරමින් උපදෙස් ලබා දෙන්නාද තමා අතින් තමාටම අවැඩක් කර ගන්නා අතරම අනුනටද අවැඩක්ම සිදු කරලයි.

බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ සම්මාදිට්ඨික සූත්‍රය තුළින් මීට ඍජු පිළිතුරක් ලබා ගත හැකිය. එම සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මහණෙනි, යමෙක් අකුසලය දනීද? අකුසල මූලය දනී ද? කුසලය දනී ද? එපමණකින්ම මහණෙනි, ආර්ය ශ්‍රාවක තෙමේ සම්‍ය දෘෂ්ටිකයෙකු වන බව හා ප්‍රාඥයෙකු වන බව උන්වහනසේ දේශනා කොට ඇත. ඒ අනුව තමා කරනු ලබන දෑ පිළිබඳ ව නිවැරදි දැක්මක් ඇත්තා යන අරුතක් ප්‍රඥාවන්තයා යන්නෙන් මේ අනුව තේරුම් ගත හැකිය.
හොඳ නරක දෙක විනිශ්චය කළ හැකි දැනුමක් හා මැදිමඟක් පෙන්වන ආගම බුද්ධාගම වන අතර එම මාවතේ එබඳු වූ දැනුමක් ඇතිව ගමන් කරන්නා බෞද්ධ නාමයෙන් හැඳින්වීමට සුදුසුකමක් ලබන්නෙකු වේ. එමෙන්ම යමෙකු, බුදුන්, දහම් හා සඟුන් සරණ යයි ද එමෙන්ම චතුරාර්ය සත්‍ය දකියි ද ඔහුම දුකින් මිදේ යැයි දක්වන සඳහනින් ද ඉස්මතු කොට පෙන්වනුයේ බෞද්ධයාගේ චර්යා පද්ධතියේ ලක්ෂණයෝය. බෞද්ධයකු නම් හෙතෙම සත්‍ය සතර පිළිබඳ නිවැරදි වැටහීමක් ලද්දකු විය යුතුය. එමෙන්ම තෙරුවන්ගේ ගුණය නිවැරදිව හඳුනාගත යුත්තෙකු විය යුතුය.එබඳු පුද්ගලයෙකුගේ බුද්ධිමය අවකාශ ධර්මය හා බැඳෙන අතර තමා පිළිබඳව නිවැරදිව නුවණින් දකින්නකු වන බවද එමඟින් ගම්‍ය කෙරේ.

කුසලාකුසල විනිශ්චය

කුසල අකුසල යනු තමා විසින් කරනු ලබන යහපත හා අයහපත නැතහොත් හොඳ නරක දෙක වේ. මේ අංශ දෙක පිළිබඳව දැනීම ඇත්තා ප්‍රඥාවන්තයා ලෙසින් බුදුදමට අනුව විවරණය කළ හැකිය. සෑම ජීවිතයකම පදනම වනුයේ තමා විසින් තිදොරින් කරනු ලබන ක්‍රියාදාමයෝය. එම ක්‍රියාවෝ හොඳ නරක හෝ කුසල් අකුසල් යැයි ප්‍රධාන වශයෙන් වර්ග කළ හැකිය.අකුසලය ගැන ඇති දැනීම කුසලය වැඩීමට රුකුලක් වේ. එමෙන්ම කුසලය පිළිබඳව ඇති දැනීම හා එහි ඵල විපාකය අකුසල් නොකිරීමට හේතු වේ. කුසලාකුසල විනිශ්චයක් කිරීමට නම් පුද්ගලයකුගේ සිත දියුණු කර ගැනීම අත්‍යවශ්‍ය කරුණකි. අපගේ සිත සෑම ක්‍රියාවකටම මූලය වේ. සිත සිතිවිලි මත ක්‍රියාත්මක වේ. එසේ ඇතිවන සිත් ද කුසල් අකුසල් යැයි වර්ග කළ හැකි අතරම එබඳු සිත් හා බැඳෙන සිතිවිලි ද කුසල් අකුසල් යැයි දෙපාර්ශ්වයකට බෙදේ. එසේ ඇතිවන සිතිවිලි මත ත්‍රිවිධ ද්වාරය මඟින් කුසල් අකුසල් ක්‍රියාවෝ ක්‍රියාත්මක වේ.
බුදුරජාණන් වහන්සේ විසින් කර ඇති ප්‍රකාශය වන්නේද යමක් තමා කිරීමට මත්තෙන් ඒ පිළිබඳව පූර්ව විනිශ්චයක් කළ යුතු බවකි. එහි පූර්ව විනිශ්චයට මුල් වන්නේ අන් කවරක් නොව තම සිතම බව පැහැදිලිය. සිතින් සිතා කායික හා වාචසිකව සිදුකරනු ලබන ක්‍රියාවෝ බුදුදහමේ කර්මය යනුවෙන් හඳුන්වා දෙනු ලැබේ. සිතින් සිතා ගතින් හා වචනයෙන් ඉටු කරනු ලබන ක්‍රියාවෝ ඵල සහිතය. කම්මඵල යනු එම ක්‍රියාවන් වන අතර එහි විපාකයක්ද ගැබ්ව තිබේ.
ත්‍රිවිධද්වාර (හිත කය වචනය) සංවර කර ගැනීමේ ඵලය කුමක්ද යන්නද බුදුරජාණන් වහන්සේ විසින් මෙසේ පෙන්වා දී ඇත. වචනය රැක ගත යුතුය. සිත සංවර කර ගෙන තැම්පත් කර ගත යුතුය. අකුසල් නොකළ යුතුය. මෙසේ තිදොරින් සිදුවන තුන් කර්ම පථයන් පිරිසුදු කරගත් කල්හි බුද්ධාදී උතුමන් දෙසූ නිවන් මඟ සම්පූර්ණ කරන්නෙක්ද වන බව උන්වහන්සේගේ දේශනයෙන් අපට පසක් කර දී තිබේ. මානසික හා කාය වාග් සංවරත්වයද නිවන් දැකීමට අත්‍යවශ්‍ය වන මූලයක් බව එමගින් පැහැදිලි වේ. තිදොරේ සංවරත්වය කුසල අකුසල විනිශ්චයේ මෙන්ම සත්‍ය ගවේෂණයේ මූල පදනමක් බව ද මින් පෙන්නුම් කෙරේ.

සිත, සිතුවිලි හා විමුක්තිය

සිත හා සිතිවිලි ගැන බුදුදහමේ නිර්වචනය හා විවරණය වඩාත් තීව්‍රය. එකඟ වූ සිතක් නැති තැනැත්තේ වසර සියයක් ජීවත්වනවාට වඩා නුවණැති ව එක් දිනක් ජීවත්වීම වැදගත් බව බුදුදහමින් අවධාරණය කෙරෙයි. පින් කිරීමට යුහුසුළු විය යුතු අතර පවින් සිත වළකා ගත යුතුය. පින් කිරීම කල් දමන්නාගේ සිත නිතර පාපයේ ඇලෙන්නේ ද වේ යැයි දක්වන සඳහනින් අපගේ සිත නිතර කිනම් දිශාවකට යොමුව තිබේද යන්න බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා දී ඇත. එනම් නිරතුරුවම පාපයට මෙම සිත නැමෙන බවය. නිරතුරුව යහපතට සිත යොදන තැනැත්තකුගේ සිත ආයාසයකින් වුවද නරකින් මුදවා ලිය හැකි බව ඒ සඳහා තමා විසින් මනා අභ්‍යාසයක නිරත විය යුතු බවක්ද මෙමඟින් පෙන්වා දෙයි. වැසි සමයක ඇද වැටෙන ජල බිංදු එක්රැස්වෙමින් කළයක් ඉතිරී යන්නේ යම්සේද එසේම නුවණින් යුතුව පින් රැස් කරන්නා ද පිනින් පිරෙන බව පෙන්වයි. මද පිරිවර ඇති මහත් ධනය ඇති වෙළෙන්දෙකු උවදුරු ඇති මඟ හැරයන්නාක් මෙන්ම ජීවත් වීමට ආශා ඇත්තෝ විෂ ආහාරයෙන් වැළකෙන්නේ යම් සේ ද නුවණ ඇත්තෝ එලෙසින්ම පවින් මිදීමට සිත සකස් කළ යුතු වේ. එබඳු වූ සිතිවිලි මත ක්‍රියා කළ යුතුය. භක්තිය හෝ විශ්වාසය මත සියල්ල සිදු වේය යන මිත්‍යාමතය බුදුදහමින් ප්‍රතික්ෂේපවන බවද කුසලාකුසල විනිශ්චයේ දී පැහැදිලි වේ. අන්ධවිශ්වාස මත කරනු ලබන දැයට වඩා සිත මුල් කොට කරනු ලබන දැයෙහි ඵලයක් හා විපාකයක් ඇතිබව හා එහි වැදගත් කම බුදුදහමින් නිරතුරුව අවධාරණයට ලක්ව ඇති බැවින් සිත පෙරටුකර ගත් ක්‍රියාදාමයකට බෞද්ධයා අවතීර්ණ විය යුතුය යන අදහස ඒ මඟින් ලබා දෙයි. දැකීමට ඉතා අපහසු වූ ඉතාම සියුම් වූ කැමැති කැමැති හැම තැනකම හැසිරෙන්නා වූ සිත නුවණැත්තේ රැකගන්නේ ම වෙයි. එලෙසින් රක්නා ලද සිත ඔහුට නිරතුරුවම සුවයක් ගෙන දෙන්නේ යැයි සිතේ ඇති ශ්‍රේෂ්ඨත්වය උසස් කර දක්වන අතරම මාර බන්ධනයන් ගෙන් මිදීමේ මාවත ලෙසින්ද සිත දමනය කර ගැනීම බුදුරජාණන් වහන්සේ විසින් අවධාරණය කර ඇත.
මාර බන්ධනය යනු ඉපදෙමින් මැරෙමින් ගමන් කරනු ලබන සසරය. සසර ගමන් නැවැත්වීම යනු ඉපදීම හා මරණ සංඛ්‍යාතය නැතිකිරීමය. එසේනම් ඊට මුල්වනුයේ ද සිතය. සිත දමනයකිරීම යනු සසර ගමන රඳා පවත්වාගනු ලබන තණ්හාව මුල් කොටගත් ක්ලේශයන් ගෙන් තම සිත ඉවත් කර ගැනීමය. තමා විසින් තමා දමනය කර ගැනීම පහසු කටයුත්තක් නොවේ (අත්තා හි කිර දුද්දම) අපහසු වුවද තමාට පිහිට තමාම වන බැවින්ම සදාතනික නිවීමක් සඳහා තමා දමනය කළ යුතුව ඇත. මෙහි දමනය යනු සිත පාලනය කර ගැනීම වේ. තමාගේ සිත වෙන කෙනෙකුට පාලනය කළ නොහැකිය. වෙන කෙනෙකු විසින් සිත දමනය කිරීමෙන් තමාගේද හිත පාලනය වේ යැයි සැලකීම මෝඩකමකි. කායික හා මානසිකත්වයේ පිරිසුදු හෝ අපිරිසුදු බව රඳා පවත්නේ තමා අතමය. අනිකෙකුට තමා පිරිසුදු කිරීමට හෝ අපිරිසුදු කිරීමට නොහැක්කේමය. තමාට පිහිට තමාමය. කවරෙකුටවත් තම සිත දමනය කිරීම අරබයා පිහිට විය නොහැකිය. එසේ නම් මෙහි තමා දමනය කිරීම යනු තම හිත දමනය කිරීම වන අතර දැමුණූ හිත ඇති කයද ඒ හා බැඳෙමින් දමනය වීම ස්වභාවිකය.ආනන්ද හිමියන් අමතා බුදුරජාණන් වහන්සේ විසින් කළ මෙම ප්‍රකාශය ද තමා පිළිබඳ දැනීම හා දැකීම වර්ධනයට රුකුලක් වේ. එනම් ආනන්දය ඔබේ ආලෝකය ඔබම වේවා! ඔබේ ආරක්ෂාව ඔබ අතමය. බාහිර සරණක් පතා නොයන්න. ආලෝකය මෙන් සත්‍යය ස්ථාවරව අල්වා ගන්න. සත්‍යය රැකවරණය සඳහා දැඩිව කටයුතු කරන්න. ඔබ අනලස්ව ඔබේ විමුක්තිය සඳහා කටයුතු කරන්න.ආනන්ද හිමියන් අමතා බුදුරජාණන් වහන්සේ විසින් දුන් අවවාදය තුළින්ද පැහැදිලිව ගම්‍ය කරනුයේ තමා ගැන තම වැටහීමහීමත් ඒමගින් තම ක්‍රියාකාරිත්වයේ ඇති වැදගත්කමත්ය. අන්සරණින් තමාට පිහිටක් නොලැබෙන බවය.
සිත නිරතුරුව පාපයට බරය. එබැවින් සිත නිවැරදි මාවතට යොමු කර ගැනීම අපහසුය. නිවැරදි සිතට නිවැරදි චින්තනයක් ඇති කර ගත හැකිය. එබැවින් බුදුරජාණන් වහන්සේ ඇතුලතින් හා පිටතින් මුරකාවල් යොදා පිටිසර නගරයක් ආරක්ෂා කරන්නාක් මෙන් තම සිතද මෙන් තම සිත නිරුතුරුව රැකගත යුතු බව දේශනා කොට තිබේ. දිය පහරවල් තිස් හයකින් සැදුම්ලත් තණ්හාව (ආශාව) නමැති නදිය වේගයෙන් රූපාදි අරමුණු අතරින් ගමන් කරමින් එම නදියට ම අයත් රාග විතර්ක නමැති ජලධාරා මඟින් විපරීත බුද්ධිය ඇති පුද්ගලයන් දුර්ගතිය ගරා ගෙන යති. තණ්හාවට සිත තුළ නිරතුරුව ඉඩක් ලැබී ඇත. තණ්හාවට මුල්වන පාපි සිතිවිලිවලින් මිදී කුසල් සිත් වැඩුම සැම විටෙකම සසර විමුක්තියට මඟ එළිකරවන්නක් වෙන බව බුදුදහමින් අවධාරණය කර තිබේ.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤