දුටුගැමුණු රජු කල පිරිණිවන් පෑ මලියදේව හිමියන් ලංකාවේ අන්තිම රහත් තෙරනම නොවේ. සැබැවින්ම, අද වුව රහතුන් බිහි විය හැකිය. ඒ සදහා අවශ්‍ය වන්නේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ ශ්‍රී සද්ධර්මය සීල සමාධි ප්‍රඥා වශයෙන් දියුණු කොට සාක්ෂාත් කිරීමයි.

ඔබත් බුදුරදුන් පෙන්වා වදාළ උත්තම දහම් මාර්ගයේ ගමන් කරන්න


Powered by දහම් විල


ලිපි සඳහා පහත මාසය අනුව ලිපි පටුන බලන්න

ඇයි? මෙතරම් ආවේගයක්

ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත
තලල්ලේ චන්දකිත්ති හිමි
“ආවේගය” කියන්නේ අපේ හිතේ හටගන්නා වේගයෙන් ක්‍රියාත්මක වන සිතිවිලිවලටයි. කය, වචනය පාලනයක් කර ගන්නට බැරි දෙයටත් අප ''ආවේගය" යැයි කියනවා. නමුත් ආවේගක් බවට පත්වෙන්නේ කේන්තිය පමණක් නොවේ. රාග, ද්වේශ, මෝහ කියන ක්ලේෂ ධර්මයෝම ආවේග බවට පත්වෙනවා. ආවේගය හෙවත් මේ වේගයෙන් ක්‍රියාත්මක වන සිතිවිලි වලට වේගය සපයන්නේ තමාම යි. බාහිර සමාජය නොවේ.
අපට ආවේගයක් ආ විට අප කියනවා අසවලා නිසායි මගේ සිතේ රාගය ද්වේෂය ඇතිවුණේ කියමින් අනෙක් පාර්ශ්වයට ඇඟිල්ල දිගු කරනවා. යම් කෙනෙක් සිරුර නිරාවරණය වන ලෙස ඇඳුමක් ඇන්දොත් අප කියනවා ඒ ඇඳුම නිසයි, මගේ සිතේ කෙලෙස් ඇවිස්සුනේ කියා සමාජයට වරද පටවනවා. කෙනෙක් බැන්නොත් ඔහු බැන්න නිසයි, මට කේන්ති ආවේ කියා වරද අනෙක් පුද්ගලයා වෙත පටවනවා. අද සිදුවන අපරාධ දෙස බලන විට අපටත් පෙනෙනවා බාහිර සමාජයෙන් යම්කිසි ඇවිලීමක්, උසිගැන්වීමක් මේ සඳහා තිබෙන බව. නමුත් ඒක පෝෂණය කරමින් වැඩි දියුණු කරන්නේ තමායි. තමා ගේ සිත තුළින් නැවත එය අල්ලාගෙන එය ආවේග සිතිවිලිවලට බලයක් සපයන්න සපයන්න ඒ සිතිවිලි වල ක්‍රියාකාරීත්වය වේගවත් වෙනවා. එහෙම වේගවත් වූ විට අභ්‍යන්තර පාලනයකින් තොරව සිතිවිලි පිටවෙනවා. ඒ සිතිවිලි කය සහ වචනය ඔස්සේ සමාජය තුළ පතිත වෙනවා. එවිට සමාජය කියනවා ඒ පුද්ගලයා පවු කළා, නරක දේ කළා, අපරාධ කළා කියලා.
එහෙනම් අප දැනගත යුතුයි මේ සිතිවිලි කොහොමද මෙසේ වේගවත් වුණේ. එයට මූලික වූ බාහිර අරමුණු තිබෙනවා. නමුත් ඒ අරමුණු හැම එකක් හමුවේම අපේ සිතිවිලි වේගවත් වෙන්නේ නැහැ. උදාහරණයකට හිතන්න, කවුරු හරි අපට දොස් කියනවා. ඒ ශබ්දය අපේ කනට ඇසෙනවා. මේ කනට ඇසෙන බැනුම් දෙකක් තිබෙනවා. ඒ තමාට දොස් කීම හා අනුන්ට දොස් කීම. මේ දෙකෙන් තමාට දොස් කියන විට අපට කේන්තියක් ඇතිවෙනවා. මේ දොස් දෙවර්ගයම ඇසෙන්නේ එකම කනට. නමුත් එයින් ඇතිවන ප්‍රතිචාරය වෙනස්. එයට හේතුව මේ බැනුම මගේ කියා අප අල්ලා ගැනීමයි. අනුන්ට දොස් කීම අල්ලා ගත්තේ නැති නිසා එය බැහැරට ගියා. මේ අල්ලා ගැනීමත් සමඟයි ආවේගය පෝෂණය වන්නේ. ඒ දේ පිළිබඳව නිතර නිතර සිතනවිට සිතේ සිතිවිලි වැඩිවෙලා, දියුණුවෙලා, ව්‍යාප්තවෙලා යනවා. එහෙනම් මෙයට වගකියන්න ඕන බාහිර සමාජය නොවේ. එහි වගකීම තමාට යි.
මේ නරක සිතිවිලි පෝෂණය කරන්න යාම නිසයි බොහෝ අපරාධ, දූෂණ වැනි සමාජය පව් කියා පිළිගත් දේ සිදුවෙන්නේ. ඔබ කල්පනා කරනවානම් මේ සිතිවිලි පාලනය කරගත යුතුයි කියා. ඒ සඳහා තථාගතයන් වහන්සේ ක්‍රමවේදයන් පහක් ගැන දේශනා කර තිබෙනවා. භාවනා කරන කෙනෙකුගේ සිතකට රාග, ද්වේශ, මෝහය සිතිවිල්ලක් ඇතුළත් වූ විට කුසලයක් සිතේ දියුණු කරන්න කියනවා. රාගයක් නම් සිතේ වැඩෙන්නේ අසුභ භාවනාව වැඩිය යුතු වෙනවා. ද්වේශයක් නම් ඇවිස්සෙන්නේ මෛත්‍රීය වඩන්න කියනවා. මෝහයක් නම් ප්‍රඥාව වැඩෙන භාවනාවක් කරන්න කියනවා. එවිට කුසල සිතිවිල්ලෙන් අකුසලය යටපත් කරන්න පුළුවන්. අකුසලයක් සිතේ හටගත් විට ඊට ප්‍රතිවිරුද්ධ කුසලය මෙනෙහි කිරීම තුළින් අකුසලය යටපත් වෙනවා. සමාජයේ බොහෝ දෙනා කියනවා ක්ෂණික කේන්තිය ක්ෂණික කෝපය නිසයි අපරාධ වැඩි කියා. ක්ෂණික කෝපය කියන්නේත් පුරුද්දක්. පොඩි දෙයටත් කේන්ති ගන්න පුද්ගලයා නිරන්තරයෙන් කේන්ති ගන්නවා. ක්ෂණික කෝපයට හොඳම පිළියම තමා ක්ෂණික මෛත්‍රිය. කෝපය සිතට ඉක්මනට ගන්න පුළුවන් නම් ඇයි? මෛත්‍රිය ගන්න බැරි? කෝපයත් සිතිවිල්ලක්. මෛත්‍රියත් සිතිවිල්ලක්. නිතර නිතර කෙනෙක් මෛත්‍රිය පුරුදු කරනවානම් කෝපය පාලනය කරන්න එය හේතුවක් වෙනවා. රාගයක් ආ විටක විරාගික සිතිවිලි ඇතිකර ගැනීම එයට හේතුවයි. එවිට ආවේගය පාලනය වෙනවා. දෙවැනි කරුණ රාග, දේවේශ, මෝහය තුළියන් යම් අයහපත් ක්‍රියාවක් කරන්න යනවානම් එහි ආදීනවය දකින්න කියනවා. ඒ දේ සිදුකළොත් වන හානිය කුමක්ද? කියා සෙවිය යුතුයි. තමා ගොඩනඟා ගත් පෞරුෂය, අභිමානය, එක මොහොතකින් විනාශ වෙලා යන හැටි සිහි කරන්න කියනවා. සුළු මොහොතක ක්‍රියාකාරීත්වය නිසා ජීවිතයම අඳුරු කරගන්න හොඳනැහැ කියා එහි ආදීනව දකින්න කියනවා.
තුන්වෙනි කරුණ ඒ සිතිවිල්ල මෙනෙහි නොකර සිටීම. එය අමතක කර විරාගි සිතිවිල්ලක් මෙනෙහි කරන්න කියනවා. අප අකැමැති කෙනෙක් දුටුවොත් අප අහක බලාගන්නවා. අවධානය වෙනතකට යොමු කරනවා. ඒ වගේ රාග, ද්වේෂ, මෝහ සිතිවිල්ලකින් සිත ඇවිලීගෙන එනවානම් අප ඉක්මණින් එයින් බැහැර වෙන්න ඕන.
හතරවන කරුණ ඒ සිතිවිලිවල මූලයන් සොයන්න කියනවා. රාග, ද්වේෂ, මෝහ තුළින් යම් වැරැද්දක් කරන්න සිතිවිල්ලක් ආ විට ඇයි මෙහෙම දෙයක් කරන්න සිතුනේ කියා එහි මූල හේතුව සොයන්න කියනවා. මූල හේතුව සොයනවිට ඒ වගේ දෙයක් කළයුතු නැහැ කියා වැටහෙනවා.
අපට රාග, ද්වේශ, මෝහ කෙලෙස් ඇවිස්සී එනවිට සොයා බලන්න මේ කෙලෙස් අවුස්සා ගත යුතු දෙයක් මෙහි තිබෙනවාද? කියා. එහෙම කල්පනා කරනවිට එය පාලනයක් වෙනවා. ඒ පාලනය සමඟම ඒ සිතිවිලි අතහැර දමනවා. මේ පාලනය අභ්‍යන්තරයෙන් කරන්න පුළුවන්නම් ඔහුගේ කයෙන්, වචනයෙන් සිදුවන ක්‍රියාකාරකම් නැවැත්තුවා වෙනවා. ඔහු නිසා සමාජයට කිසිදු බයක් ඇතිවෙන්නේ නැහැ. තමාගේ සිතිවිලි පාලනය කරන පුද්ගලයා මුළු ලෝකයටම අභය දානය දුන් කෙනෙක් වෙනවා. ඉතින් තථාගතයක් වහන්සේ වදාළා පෙර කී සියල්ල අසාර්ථක නම් දත්මිටි කාගෙන දිවෙන් උඩුතල්ල තදකරගෙන මොන බලවේග ආවත් මම මේ වැරැද්ද කරන්නේ නැහැ කියා ආත්ම ශික්ෂණයක්, උත්සාහයක්, කැපවීමක් ඇතිකරගන්නා ලෙස.
මේ ශක්තිය ඇති පුද්ගලයාගෙන් සමාජයට අපරාධ වෙන්නේ නැහැ. සමාජයට ව්‍යසනයන්, හිංසාවන් සිදුවෙන්නේ නැහැ. සමාජයට කරදරයක් වෙන්නේ ආත්ම පෞරුෂය නැති අයගෙන්. ඒ අයට තමන්ගේ ආවේග පාලනය කරන්න බැහැ. ඒ නිසා එවන් අය මුණගැසුන විට අප කළයුත්තේ අසරණ අයෙකු දෙස බලන ආකාරයට බලා අනුකම්පා කිරීමයි. අපේ ද්වේෂය අවුස්සා අපත් සමඟ ගැටෙන්න, පැටලෙන්න එන අයට එකට එක කර ප්‍රතිචාර දක්වනවාට වැඩිය ඔහුට අනුකම්පා කිරීම සුදුසු යි. ඒ වගේම අපට පුළුවන්නම් ඒ පුද්ගලයාගේ මනස හදන වැඩපිළිවෙලකට යොමු කරන්න තථාගතයන් වහන්සේ අපට දේශනා කළේ එයයි. එහෙම මනස හදන්නේ නැතුව වැරැදි කරන මනුස්සයා මරා දැම්මාට ඒ අපරාධය නවතින්නේ නැහැ. එයින් වෙන්නේ අපරාධකාරයා නිසා අපත් අපරාධකරුවෙකු බවට පත්වීමයි.
ඒ නිසා මිනිසා හදනවා කියන්නේ ඔහුගේ මානසික සංකල්ප දියුණු කිරීමයි. ඒ සඳහා කළයුතු වන්නේ මිනිසා ධර්මයට සමීප කරවීමයි. ධර්මය, ඤාණය ව්‍යාප්ත කර දැනුවත් කිරීම තුළින් අපරාධ අඩුකරගත හැකියි. ධර්මකාමීව ජීවත්වීමේ ආනිශංස ඔවුන්ට හේත්තු ගැන්විය යුතුයි. ධර්මයට කැමැත්ත ඇතිකරගත් පුද්ගලයාට දියුණුවක්මයි වෙන්නේ. යම්කිසි කෙනෙක් ධර්මයට ද්වේශ කරනවානම් ඔහුගේ පිරිහීමයි ඇතිවෙන්නේ. ඒ නිසා හැබෑවටම දහමට නතුව කටයුතු කරන්න හිත හැදෙන වැඩපිළිවෙලකට සමාජය යොමුකළ යුතු වෙනවා. ඒ සඳහා බුදුරජාණන් වහන්සේගේ දේශනා තුළින් පිළිවෙල හොඳින් තේරුම් අරගෙන සමාජයට පණිවිඩයක් දියයුතු වෙනවා.
ඒ වගේම අද සමාජය දියුණු තාක්ෂණයත් සමඟ අපරාධ වලට දෙන ප්‍රසිද්ධිය වැඩිවෙලා තිබෙනවා. ඒ අපරාධ අඩුකරන ආකාරයට අපේ සමාජයේ පරිසරය හදා ගැනීමයි කළයුතු වන්නේ. ඒ පරිසරය හදන්න නම් සමාජයේ ජීවත්වන ජනතාව දහමින් පෝෂණය කරමින් දැනුවත් කරන්න ඕන. ධර්මානුකූලව ජීවත් වී සමාජයේ ඉතා දියුණු වූ උතුම් පුද්ගලයන්ගේ චරිත ප්‍රසිද්ධ කරන්න ඕන. පූර්වාදර්ශ චරිත තිබෙනවා කියා දැනෙනවිට ජනතාව ඒ චරිත අනුගමනය කරන්න පෙළෙඹෙනවා. එහෙම පෙළෙඹෙන විට සමාජය සුචරිතවත් මාර්ගයකට ගමන් කරනවා.
නයනා නිල්මිණි

 ¤☸¤══════¤☸¤☸¤══════¤☸¤