දුටුගැමුණු රජු කල පිරිණිවන් පෑ මලියදේව හිමියන් ලංකාවේ අන්තිම රහත් තෙරනම නොවේ. සැබැවින්ම, අද වුව රහතුන් බිහි විය හැකිය. ඒ සදහා අවශ්‍ය වන්නේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ ශ්‍රී සද්ධර්මය සීල සමාධි ප්‍රඥා වශයෙන් දියුණු කොට සාක්ෂාත් කිරීමයි.

ඔබත් බුදුරදුන් පෙන්වා වදාළ උත්තම දහම් මාර්ගයේ ගමන් කරන්න


Powered by දහම් විල


ලිපි සඳහා පහත මාසය අනුව ලිපි පටුන බලන්න

භාග්‍යවතුන් වහන්සේ, සක්වල සහ අපි (පළමු කොටස)


ඔබ ආවේ කොතනින්ද? ඔබ යන්නේ කොතනටද?
නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස, දසබල ධරස්ස, චතු වේසාරජ්ජ විසාරදස්ස, සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුණෝ සම්මා සම්බුද්ධස්ස.!..!!…!!!.
බලන්නහු ගේ ඇසට සැබෑ සුවයක් වන, අසන්නහු ගේ කනට මහා මිහිරක් වන, සිතන්නහු ගේ සිතට අමා ගඟුලක් වන, වඳින්නහුගේ වන්දනාවට නොවරදින අරුතක් වන, පිහිට කොට ගත්තහුට නිවන් දොර විවර වන ගුණයෙන් අචින්ත්‍ය වූ අප්‍රමාණ වූ, අසම වූ, අසම සම වූ, අප්‍රමේය වූ මගේ ශාස්තෘ වූ දෙව් මිනිසුන්ට ශාස්තෘ වූ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ සරණ ගිය බැවින්ම,  භාග්‍යවතුන් වහන්සේගේ උතුම් වූ ශ්‍රී සද්ධර්මය අසන්නට පින් කල නිසාම අනන්ත වූ අසරණයන් අතරෙහි ඔබත් මමත් වාසනාවන්තයෝ වෙමු. මැරෙන උපදින අඳුරු සසරක ඝෝර වූ සතර අපා දුකට නිරන්තර උරුම කරුවන් වී එන්නේ කොහෙන්ද, යන්නේ කොහේදැයි නොදැන අසරණ ව සිටි සත්ත්ව වර්ගයාට මග කියූ ඒ භාග්‍යවතුන් වහන්සේගේ මහා කරුණාව ලැබ සැනහෙන්නට ඔබට මට ඇති අති දුලභ වූ වාසනාව අතහැර අධර්මයේ මාර ධර්මයන්ට යටත්ව සසරෙහි අතරමං වන්නට සුදුසුද? දෙවියන් සහිත බඹුන් සහිත මරුන් සහිත ලෝකයෙහි, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත මහා කල්ප ගණනින් ආයු ප්‍රභා බල ඇති මහා බ්‍රහ්මයන් සහිත  අනන්ත අප්‍රමාණ සක්වලයන්හි  ශීලයෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන්, විමුක්තියෙන්, විමුක්ති ඥාන දර්ශනයෙන් තමන් වහන්සේට වැඩි කෙනෙකුන් තබා තමන් වහන්සේට සම වූවකු හෝ නැති, තුන් ලොවට ජ්‍යෙෂ්ඨ වූ, ශ්‍රේෂ්ට වූ, අග්‍ර වූ භාග්‍යවතුන් වහන්සේ විසින් අප කෙරෙහි කරුණාවෙන් යම් ශීල සමාධි ප්‍රඥා සහිත ශික්ෂණයක් දේශනා කරන ලද්දේද, එමග අතහැර අන් මගක පිහිට ගන්නට ඔබ අප සිතන්නේද?  නැත. අපි නොසෙල්වෙන ශ්‍රද්ධාවෙන්ද, වීර්ය සහිතව පිහිටුවා ගන්නා ලද ශීල ප්‍රතිපදාවෙන්ද, මහත් ධර්ම ගරුත්වයෙන්ද සවිමත්ව දහම් මග යමු.
පසුගිය පොහෝ දින කිහිපයක ලිපි වලින් අප අරමුණු කරන ලද්දේ තිසරණයෙහි නොසෙල්වෙන ශ්‍රද්ධාවක් ඇති කර ගැනීමට උපකාර වන කරුණු දැක්වීමයි. ශ්‍රද්ධාව ශාසන ප්‍රතිපදාවෙහි බීජයයි. ශ්‍රද්ධාව බෞද්ධයාගේ මූල ධනයයි. පසැස් ඇති දසබලධාරී වූ, භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ අනන්ත බුදුගුණ කෙරෙහි පැහැදීමෙන්, නොයෙක් අයුරින් ඒ අනන්ත ගුණයන් අසා කියවා ලියා සාකච්ඡා කිරීමෙන් ශ්‍රද්ධා ධනය දියුණු කරලීමට අපට හැකිය. භාග්‍යවතුන් වහන්සේ ගේ ස්වාක්ඛාත වූ ධර්ම රත්නය කෙරෙහි මහත් වූ ගෞරවයෙන්, කන්යොමා ඒ අසා ධරා වචනයෙන් පුරුදු පුහුණු කොට නුවණින් විමසා ප්‍රතිපත්තියට නැගීමට අපි උත්සුක විය යුතුය. මෙම ලිපියේ පටන් උතුම් වූ තිසරණයට පැමිණි ඔබ, තිසරණයෙහි පිහිටි ඔබ, ශ්‍රද්ධාව මතුකර ගත් ඔබ ඒ උතුම් වූ ශ්‍රද්ධාව සහිතවම, ශ්‍රද්ධාවන්ත වෙමින්ම ශීලයෙහිද  පිහිටීම පිළිබඳව, සිල්වත් වීම පිළිබඳව සාකච්ඡා කරමු.
මරණින් මතු ඔබේත් මගේත් භවය තීරණය කරන්නේ ප්‍රධාන වශයෙන් අපගේ ශීලයයි. කයින්, වචනයෙන්, මනසින් සුචරිතයෙහි හැසිරීමෙන් සුගතියෙහි ඉපදීමත්  දුශ්චරිතයෙහි හැසිරීමෙන් දුගතියෙහි වැටීමත් පිලිබඳ භාග්‍යවතුන් වහන්සේ විසින් කරන ලද  අතිශය විශ්මයාවහ අතිශය මනරම් දේශනාවන් බොහෝ ගණනක් උතුම් වූ ත්‍රිපිටකය පුරා දකින්නට තිබේ.
භාග්‍යවතුන් වහන්සේ වනාහි ස්වකීය ඥානයෙන් භවයෙහි ඒ ඒ ගති උත්පත්ති දන්නා සේක. නරකය, තිරිසන් යෝනිය, ප්‍රේත විෂය,  මනුෂ්‍යයන්, දෙවියන් යන ගති පහක් භාග්‍යවතුන් වහන්සේ පණවන(දක්වන) සේක. මේ මේ ගති විෂයෙහි භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය දක්වන රමණීය උපමා පහක් උතුම් වූ මහා සාරිපුත්ත මහරහතන් වහන්සේට කරන ලද මහා සීහනාද සූත්‍රයෙහි (මජ්ඣිම නිකායෙහි) දක්නට ලැබේ. පෙර ලිපියෙහිද සාකච්ඡා කරන ලද පරිදි මජ්ඣිම නිකාය මහා සීහනාද සූත්‍රය භාග්‍යවතුන් වහන්සේ විෂයෙහි ශ්‍රද්ධාවට පැමිණීමට මහෝපකාරී වන, කියවීමෙන් දැරීමෙන් මහත් කුසල් සිදුකර ගත හැකි උත්තම සූත්‍ර දේශනාවකි.
මහා සීහනාද සූත්‍රය -මජ්ඣිම නිකාය, මූල පණ්නාසකය (සූත්‍රයෙහි සුගති දුගති පිලිබඳ දේශනා  කොටස මෙහි දක්වනු ලැබේ.)
භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කරන සේක.
සාරිපුත්තය, මේ ගති පසකි. කවර නම් පහක්ද යත්: නරකය, තිරිසන් යෝනිය, ප්‍රේත විෂය, මනුෂ්‍යයෝය, දෙවියෝය. සාරිපුත්තය, මම නිරයත් දනිමි. නිරය ගාමිණි මාර්ගයත් දනිමි. නිරය ගාමිණි ප්‍රතිපදාවත් දනිමි.  යම් සේ පිලිපදින්නෙක් මරණින් මතු සැපයෙන පහ වූ දුකටම ස්ථාන වූ නිරයෙහි උපදීද එයද දනිමි.
සාරිපුත්තය, මම තිරිසන් යෝනියත්  දනිමි. තිරිසන් යෝනියට යන මාර්ගයත් දනිමි. තිරිසන් යෝනියට යන ප්‍රතිපදාවත් දනිමි.  යම් සේ පිලිපදින්නෙක් මරණින් මතු තිරිසන් යෝනියෙහි උපදීද එයද දනිමි.
සාරිපුත්තය, මම ප්‍රේත විෂයයත් දනිමි. ප්‍රේත විෂයට යන මාර්ගයත් දනිමි. ප්‍රේත විෂයට යන ප්‍රතිපදාවත් දනිමි.  යම් සේ පිලිපදින්නෙක් මරණින් මතු ප්‍රේතව උපදීද එයද දනිමි.
සාරිපුත්තය, මම මනුෂ්‍යයන්  දනිමි. මිනිසත්බවට යන මාර්ගයත් දනිමි. මනුෂ්‍ය ලෝකයට යන  ප්‍රතිපදාවත් දනිමි.  යම් සේ පිලිපදින්නෙක් මරණින් මතු මනුෂ්‍යයන් විෂයෙහි උපදීද එයද දනිමි.
සාරිපුත්තය, මම දෙවියන්ද, දෙව්ලොවට  යන මාර්ගය දනිමි දෙව්ලොව උපදින ප්‍රතිපදාවත් දනිමි.  යම් සේ පිලිපදින්නෙක් මරණින් මතු සුගති වූ ස්වර්ගයෙහි උපදීද එයද දනිමි.
සාරිපුත්තය, මම ගති නිස්සරණය නම් වූ නිවනද දනිමි. නිවනට යන මාර්ගයත් දනිමි. නිවනට  යන ප්‍රතිපදාවත් දනිමි.  යම් සේ පිලිපදින්නෙක් ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් නිරාශ්රව වූ චේතෝ විමුක්තියද ප්‍රඥා විමුක්තියද මෙලොවදීම  තමා විසින් දැන ප්‍රත්‍යක්ෂ කොට එයට පැමිණ වාසය කරයිද එයත් දනිමි.
සාරිපුත්තය, මම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයකු මෙසේ මගේ සිතින් ඔහු සිත පිරිසිඳ දනිමි. කය බිඳීමෙන් මරණින් මතු අපාය වූ, දුගතිය වූ, විවසව පතිත වන, නිරයෙහි යම් සේ උපදින්නේද, මේ පුද්ගල තෙමේ ඒ ආකාරයෙන් පිළිපදී. ඉරියවු පවත්වයි. ක්‍රියා කරයි. සාරිපුත්තය පසු කලෙක මිනිස් ඇස ඉක්මවූ පිරිසිඳු දිවැසින් මියගොස් මහත් දුක් ඇති ඒකාන්ත දුක්‌ ඇති තියුණු වූ රළු වූ වේදනා විඳින නිරයෙහි උපන් ඒ පුද්ගලයා දකිමි.
සාරිපුත්තය, ගිනිගෙන දැවුණු, අළු නැති දුම් නැති ශරීර ප්‍රමාණයට වැඩි මහත් ගිනි අඟුරු වලක් වේද, ග්‍රීශ්මයෙන් තැවුණු, ක්ලාන්ත වූ, පිපාසයෙන් පීඩිතව දුර්වල වූ ජාල තෘෂ්ණාවෙන් යුත් පුද්ගලයෙක් යම් සේ එම මහත් වූ ගිනි අඟුරු වල වෙතම, ඊටම යොමු වී ඇති එකම මාර්ගයෙන්, ඒ අඟුරු වල උදෙසාම එන්නේද, එකල්හි  ඒ පුරුෂයා දකින යම් ඇස් ඇති පුරුෂයෙක්, “මොහු මේ අඟුරු වලටම ඊටම වැටී ඇති මාර්ගයෙන් එන්නේය”යි කියන්නේද, පසුව ඒ ගිනි අඟුරු වලට වැටී දුක්‌ විඳින රළු වේදනා විඳින ඒ පුරුෂයා දකින්නේය. එසේම, සාරිපුත්තය, මම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයකු මෙසේ මගේ සිතින් ඔහු සිත පිරිසිඳ දනිමි. කය බිඳීමෙන් මරණින් මතු අපාය වූ, දුගතිය වූ, විවසව පතිත වන, නිරයෙහි යම් සේ උපදින්නේද, මේ පුද්ගල තෙමේ ඒ ආකාරයෙන් පිළිපදී. ඉරියවු පවත්වයි. ක්‍රියා කරයි. සාරිපුත්තය පසු කලෙක මිනිස් ඇස ඉක්මවූ පිරිසිඳු දිවැසින් මියගොස් මහත් දුක් ඇති ඒකාන්ත දුක්‌ ඇති තියුණු වූ රළු වූ වේදනා විඳින නිරයෙහි උපන් ඒ පුද්ගලයා දකිමි.
සාරිපුත්තය, මම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයකු මෙසේ මගේ සිතින් ඔහු සිත පිරිසිඳ දනිමි. කය බිඳීමෙන් මරණින් මතු යම්සේ තිරිසන් යෝනියෙහි උපදින්නේද, මේ පුද්ගල තෙමේ ඒ ආකාරයෙන් පිළිපදී. ඉරියවු පවත්වයි. ක්‍රියා කරයි. සාරිපුත්තය පසු කලෙක මිනිස් ඇස ඉක්මවූ පිරිසිඳු දිවැසින් මියගොස් මහත් දුක් ඇති තිරිසන් යෝනියෙහි උපන් රළු වූ කටුක වූ දුක් වේදනා ඒ පුද්ගලයා දකිමි.
සාරිපුත්තය, අසූචියෙන් පිරුණු  ශරීර ප්‍රමාණයට වැඩි අසූචි වලක් වේද, ග්‍රීශ්මයෙන් තැවුණු, ක්ලාන්ත වූ, පිපාසයෙන් පීඩිතව දුර්වල වූ ජාල තෘෂ්ණාවෙන් යුත් පුද්ගලයෙක් යම් සේ එම මහත් වූ ගිනි අඟුරු වල වෙතම, ඊටම යොමු වී ඇති එකම මාර්ගයෙන්, ඒ අසූචි වල උදෙසාම එන්නේද, එකල්හි  ඒ පුරුෂයා දකින යම් ඇස් ඇති පුරුෂයෙක්, “මොහු මේ අසූචි වලටම ඊටම වැටී ඇති මාර්ගයෙන් එන්නේය”යි කියන්නේද, පසුව ඒ අසූචි වලට වැටී දුක්‌ විඳින රළු වේදනා විඳින ඒ පුරුෂයා දකින්නේය. එසේම, සාරිපුත්තය, මම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයකු මෙසේ මගේ සිතින් ඔහු සිත පිරිසිඳ දනිමි. කය බිඳීමෙන් මරණින් මතු යම්සේ තිරිසන් යෝනියෙහි උපදින්නේද, මේ පුද්ගල තෙමේ ඒ ආකාරයෙන් පිළිපදී. ඉරියවු පවත්වයි. ක්‍රියා කරයි. සාරිපුත්තය පසු කලෙක මිනිස් ඇස ඉක්මවූ පිරිසිඳු දිවැසින් මියගොස් මහත් දුක් ඇති තිරිසන් යෝනියෙහි උපන් රළු වූ කටුක වූ දුක් වේදනා ඒ පුද්ගලයා දකිමි.
සාරිපුත්තය, මම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයකු මෙසේ මගේ සිතින් ඔහු සිත පිරිසිඳ දනිමි. කය බිඳීමෙන් මරණින් මතු යම්සේ ප්‍රේත විෂයෙහි උපදින්නේද, මේ පුද්ගල තෙමේ ඒ ආකාරයෙන් පිළිපදී. ඉරියවු පවත්වයි. ක්‍රියා කරයි. සාරිපුත්තය පසු කලෙක මිනිස් ඇස ඉක්මවූ පිරිසිඳු දිවැසින්, කය බිඳීමෙන් මියගොස් බහුල වූ  දුක් වේදනා විඳින  ප්‍රේත විෂයෙහි උපන් ඒ පුද්ගලයා දකිමි.
සාරිපුත්තය, යම් සේ විෂම භූමියක හටගත්, ඉතා තුනී පත්‍ර ඇති, සෙවන නැති, ගසක් වේද, ග්‍රීශ්මයෙන් තැවුණු, ක්ලාන්ත වූ, පිපාසයෙන් පීඩිතව දුර්වල වූ ජල තෘෂ්ණාවෙන් යුත් පුද්ගලයෙක් යම් සේ වෘක්ෂය  වෙතම, ඊටම යොමු වී ඇති එකම මාර්ගයෙන්, ඒ වෘක්ෂය උදෙසාම එන්නේද, එකල්හි  ඒ පුරුෂයා දකින යම් ඇස් ඇති පුරුෂයෙක්, “මොහු මේ වෘක්ෂය වෙතම, ඊටම වැටී ඇති එකම මාර්ගයෙන් එන්නේය”යි කියන්නේද, පසුව ඒ වෘක්ෂය වෙත පැමිණ හිඳගෙන හෝ වැටී හෝ සිටින  වැටී දුක්‌ විඳින රළු වේදනා විඳින ඒ පුරුෂයා දකින්නේය. එසේම, සාරිපුත්තය, මම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයකු මෙසේ මගේ සිතින් ඔහු සිත පිරිසිඳ දනිමි. කය බිඳීමෙන් මරණින් මතු යම්සේ ප්‍රේත විෂයෙහි උපදින්නේද, මේ පුද්ගල තෙමේ ඒ ආකාරයෙන් පිළිපදී. ඉරියවු පවත්වයි. ක්‍රියා කරයි. සාරිපුත්තය පසු කලෙක මිනිස් ඇස ඉක්මවූ පිරිසිඳු දිවැසින්, කය බිඳීමෙන් මියගොස් බහුල වූ  දුක් වේදනා විඳින  ප්‍රේත විෂයෙහි උපන් ඒ පුද්ගලයා දකිමි.
සාරිපුත්තය, මම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයකු මෙසේ මගේ සිතින් ඔහු සිත පිරිසිඳ දනිමි. කය බිඳීමෙන් මරණින් මතු යම්සේ මනුෂ්‍යය වී උපදින්නේද, මේ පුද්ගල තෙමේ ඒ ආකාරයෙන් පිළිපදී. ඉරියවු පවත්වයි. ක්‍රියා කරයි. සාරිපුත්තය පසු කලෙක මිනිස් ඇස ඉක්මවූ පිරිසිඳු දිවැසින්, කය බිඳීමෙන් මියගොස් සැප බහුල වූ  සැප වේදනා විඳින  මනුෂ්‍යව  උපන් ඒ පුද්ගලයා දකිමි.
සාරිපුත්තය, යම් සේ සම වූ සරුවූ  භූමියක හටගත්, මනාව වැඩුණු  පත්‍ර ඇති, මනා සෙවන ඇති, ගසක් වේද, ග්‍රීශ්මයෙන් තැවුණු, ක්ලාන්ත වූ, පිපාසයෙන් පීඩිතව දුර්වල වූ ජල තෘෂ්ණාවෙන් යුත් පුද්ගලයෙක් යම් සේ වෘක්ෂය  වෙතම, ඊටම යොමු වී ඇති එකම මාර්ගයෙන්, ඒ වෘක්ෂය උදෙසාම එන්නේද, එකල්හි  ඒ පුරුෂයා දකින යම් ඇස් ඇති පුරුෂයෙක්, “මොහු මේ වෘක්ෂය වෙතම, ඊටම වැටී ඇති එකම මාර්ගයෙන් එන්නේය”යි කියන්නේද, පසුව ඒ වෘක්ෂය වෙත පැමිණ හිඳගෙන හෝ නිදා හෝ සිටින සැප  වේදනා විඳින ඒ පුරුෂයා දකින්නේය. එසේම, සාරිපුත්තය, මම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයකු මෙසේ මගේ සිතින් ඔහු සිත පිරිසිඳ දනිමි. කය බිඳීමෙන් මරණින් මතු යම්සේ මනුෂ්‍යය වී උපදින්නේද, මේ පුද්ගල තෙමේ ඒ ආකාරයෙන් පිළිපදී. ඉරියවු පවත්වයි. ක්‍රියා කරයි. සාරිපුත්තය පසු කලෙක මිනිස් ඇස ඉක්මවූ පිරිසිඳු දිවැසින්, කය බිඳීමෙන් මියගොස් සැප බහුල වූ  සැප වේදනා විඳින  මනුෂ්‍යව  උපන් ඒ පුද්ගලයා දකිමි.
සාරිපුත්තය, මම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයකු මෙසේ මගේ සිතින් ඔහු සිත පිරිසිඳ දනිමි. කය බිඳීමෙන් මරණින් මතු යම්සේ ස්වර්ගයෙහි (දිව්‍ය/බ්‍රහ්ම තල) උපදින්නේද, මේ පුද්ගල තෙමේ ඒ ආකාරයෙන් පිළිපදී. ඉරියවු පවත්වයි. ක්‍රියා කරයි. සාරිපුත්තය පසු කලෙක මිනිස් ඇස ඉක්මවූ පිරිසිඳු දිවැසින්, කය බිඳීමෙන් මියගොස් ඒකාන්ත සැප ඇති, සුගති නම වූ ස්වර්ගයෙහි උපන් මහත් වූ ඒකාන්ත වූ  සැප වේදනා විඳින  ස්වර්ගයෙහි  උපන් ඒ පුද්ගලයා දකිමි.
සාරිපුත්තය, යම් සේ ප්‍රාසාදයක් වේද, එහි ඇතුලත පිටත මනාව වැසූ අගුලු දැමූ, සිහිල් වාතය ඇති, මෘදු පලසින් කරන ලද බුමුතුරුණු පලස් උඩු වියන් ඇති පළඟක් (ආසනයක් හෝ සයනයක්) ඇති  මහත් සුවපහසු කුටියක්ද‌ වේද, එකල්හි ග්‍රීශ්මයෙන් තැවුණු, ක්ලාන්ත වූ, පිපාසයෙන් පීඩිතව දුර්වල වූ ජල තෘෂ්ණාවෙන් යුත් පුද්ගලයෙක් යම් සේ ඒ ප්‍රාසාදය වෙතම, ඊටම යොමු වී ඇති එකම මාර්ගයෙන්, ඒ ප්‍රාසාදය  උදෙසාම එන්නේද, එකල්හි  ඒ පුරුෂයා දකින යම් ඇස් ඇති පුරුෂයෙක්, “මොහු මේ ප්‍රාසාදය  වෙතම, ඊටම වැටී ඇති එකම මාර්ගයෙන් එන්නේය”යි කියන්නේද, පසුව ඒ ප්‍රාසාදය වෙත පැමිණ ඒ පළඟෙහි සැප  ඇතිව හිඳින හෝ නිදන ඒ පුරුෂයා දකින්නේය. එසේම, සාරිපුත්තය, මම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයකු මෙසේ මගේ සිතින් ඔහු සිත පිරිසිඳ දනිමි. කය බිඳීමෙන් මරණින් මතු යම්සේ ස්වර්ගයෙහි (දිව්‍ය/බ්‍රහ්ම තල) උපදින්නේද, මේ පුද්ගල තෙමේ ඒ ආකාරයෙන් පිළිපදී. ඉරියවු පවත්වයි. ක්‍රියා කරයි. සාරිපුත්තය පසු කලෙක මිනිස් ඇස ඉක්මවූ පිරිසිඳු දිවැසින්, කය බිඳීමෙන් මියගොස් ඒකාන්ත සැප ඇති, සුගති නම වූ ස්වර්ගයෙහි උපන් මහත් වූ ඒකාන්ත වූ  සැප වේදනා විඳින  ස්වර්ගයෙහි  උපන් ඒ පුද්ගලයා දකිමි.
සාරිපුත්තය, මම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයකු මෙසේ මගේ සිතින් ඔහු සිත පිරිසිඳ දනිමි.  මේ පුද්ගල තෙමේ යම සේ ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් නිරාශ්‍රව වූ චේතෝ විමුක්තියද ප්‍රඥා විමුක්තියද (අරහත් ඵල සමාධියද, අරහත් ඵල ප්‍රඥාවද ) මෙලොවදීම  තමා විසින් දැන ප්‍රත්‍යක්ෂ කොට එයට පැමිණ වාසය කරයිද, මේ පුද්ගල තෙමේ ඒ ආකාරයෙන් පිළිපදී. ඉරියවු පවත්වයි. ක්‍රියා කරයි. සාරිපුත්තය පසු කලෙක ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් නිරාශ්‍රව වූ චේතෝ විමුක්තියද ප්‍රඥා විමුක්තියද (අරහත් ඵල සමාධියද, අරහත් ඵල ප්‍රඥාවද ) මෙලොවදීම  තමා විසින් දැන ප්‍රත්‍යක්ෂ කොට එයට පැමිණ ඊකාන්ත සැපයෙන වාසය කරන ඒ පුද්ගලයා දකිමි.
සාරිපුත්තය, පහන් (පැහැදිලි) දිය ඇති, මිහිරි දිය ඇති, සිසිල දිය ඇති, සුදු වැලි තලා ඇති, මනාව පිහිටි තොට (දියට බැසීමට නිසි තොටුපල) ඇති සිත්කළු පොකුණක් වේද, ඊට නොදුරු ඝන වන ලැහැබක් වේද, එකල්හි  ග්‍රීශ්මයෙන් තැවුණු, ක්ලාන්ත වූ, පිපාසයෙන් පීඩිතව දුර්වල වූ ජල තෘෂ්ණාවෙන් යුත් පුද්ගලයෙක් යම් සේ ඒ පොකුණ වෙතම   වෙතම, ඊටම යොමු වී ඇති එකම මාර්ගයෙන්, ඒ විල උදෙසාම එන්නේද, එකල්හි  ඒ පුරුෂයා දකින යම් ඇස් ඇති පුරුෂයෙක්, “මොහු මේ පොකුණ  වෙතම, ඊටම වැටී ඇති එකම මාර්ගයෙන් එන්නේය”යි කියන්නේද, පසුව ඒ පොකුණ වෙත පැමිණ, පොකුණට බැස, සිහිල් දිය ස්නානය කොට, පැන් බී, සියලු වෙහෙස පවසා නිවා, දාහය සංසිඳවා විඩාව දැවිලි සංසිඳවා, වන ලැහැබෙහි සුවසේ හිඳින හෝ නිදන ඒකාන්ත සුවයට පත් ඒ පුරුෂයා දකින්නේය. එසේම, සාරිපුත්තය, මම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයකු මෙසේ මගේ සිතින් ඔහු සිත පිරිසිඳ දනිමි.  යම් සේ ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් නිරාශ්‍රව වූ චේතෝ විමුක්තියද ප්‍රඥා විමුක්තියද (අරහත් ඵල සමාධියද, අරහත් ඵල ප්‍රඥාවද ) මෙලොවදීම  තමා විසින් දැන ප්‍රත්‍යක්ෂ කොට එයට පැමිණ වාසය කරයිද, මේ පුද්ගල තෙමේ ඒ ආකාරයෙන් පිළිපදී. ඉරියවු පවත්වයි. ක්‍රියා කරයි. සාරිපුත්තය පසු කලෙක ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් නිරාශ්‍රව වූ චේතෝ විමුක්තියද ප්‍රඥා විමුක්තියද (අරහත් ඵල සමාධියද, අරහත් ඵල ප්‍රඥාවද ) මෙලොවදීම  තමා විසින් දැන ප්‍රත්‍යක්ෂ කොට එයට පැමිණ ඊකාන්ත සැපයෙන වාසය කරන ඒ පුද්ගලයා දකිමි.
සාරිපුත්තය, මම ගති නිස්සරණය නම් වූ නිවනද දනිමි. නිවනට යන මාර්ගයත් දනිමි. නිවනට  යන ප්‍රතිපදාවත් දනිමි.  යම් සේ පිලිපදින්නෙක් ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් නිරාශ්රව වූ චේතෝ විමුක්තියද ප්‍රඥා විමුක්තියද මෙලොවදීම  තමා විසින් දැන ප්‍රත්‍යක්ෂ කොට එයට පැමිණ වාසය කරයිද එයත් දනිමි.
 මෙසේ අපගේ ශාස්තෘ වූ භාග්‍යවතුන් වහන්සේ ඒ ඒ ගති දන්නා දක්නා සේක. භාග්‍යවතුන් වහන්සේගේ ඒ උතුම් ඥානය නොවන්නට මේ විශ්වයෙහි, අනන්ත අප්‍රමාණ සක්වලයන්හි උපදිමින් මැරෙමින් ගමන් කරන අනේකවිධ සත්ත්වයන් සත්ත්ව ප්‍රජාවන් ගැන අපට දැන ගන්නට තබා සිතන්නට වත් අවස්ථාවක් නොලැබෙන්නේය. භාග්‍යවතුන් වහන්සේගේ “ලෝකවිදූ” ගුණයට ඒකාන්ත සාක්ෂි සපයන ලෝකය සහ සක්වල පිළිබඳවත් ලෝකධාතූන්හි හටගැනීම පැවැත්ම විනාශය පිළිබඳවත් කල්ප විනාශය ආදිය පිළිබඳවත් විශ්මය දනවන දේශනාවන් ශ්‍රී සද්ධර්මයෙහි එයි. ශීල ප්‍රතිපදාව පිළිබඳවත් දානමය පුණ්‍ය කර්මයන් පිළිබඳවත්  උනන්දු කරවීමේ අරමුණ සහිතව ඉදිරියට ලියවෙන ලිපි කිහිපය සඳහා පසුබිම සකස් කිරීමක් ලෙස ලෝක ධාතුන් පිළිබඳව, ලෝකධාතුවක ඒ ඒ සත්ත්ව භූමි, ආයුෂ සහ ස්වභාවය පිළිබඳව කරුණු දැක්වීමක් මෙහි සිදු කරනු ලැබේ. බොහෝ කරුණු දීර්ඝ වශයෙන් සාකච්ඡා කල හැකි සහ කල යුතු දහම් කරුණු ඇති විෂයක් වන නිසා මෙහි අපට අපේ ශක්ති පමණින් සැකෙවින් කල හැකි මග පෙන්වීමක් පමණක් කරනු ලැබේ.  උතුම් වූ ත්‍රිපිටක ශ්‍රී සද්ධර්මය සහ උතුම් වූ සද්ධර්මයේ  අටුවාව කියවා වැඩි දුර කරුණු විමසා බැලීමට පින් කැමති සැඳැහැවත්හු උත්සුක වෙත්වා!!!

භාග්‍යවතුන් වහන්සේගේ සක්වල විභාගය

චූලනිකා සූත්‍රය
(සූත්‍ර පිටකය, අංගුත්තර නිකාය, තික නිපාතය, දෙවන පණ්ණාසකය, ආනන්ද වර්ගය, දස වන සූත්‍රය
උතුම් වූ ධර්ම භාණ්ඩාගාරික වූ, බහුශ්‍රැතයන් අතරින්ද, ස්මෘතිමතුන් අතරින් අග්‍ර වූද, භාග්‍යවතුන් වහන්සේගේ පුත්‍ර වූ ආනන්ද තෙරුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගෙන් මෙසේ විමසන සේක.
“භාග්‍යවතුන් වහන්ස, මා විසින් ඔබවහන්සේ හමුයෙහි මෙසේ අසා ඇත්තෙමි. කෙසේද යත්, භාග්‍යවත් අරහත් “සිඛී” සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ අග්‍රශ්‍රාවක වූ “අභිභූ” මහරහතන් වහන්සේ විසින් “සහශ්‍රී” ලෝක ධාතුවට ඇසෙන සේ සිංහනාද කරන ලද බවයි (අභිභූ මහවහන්සේ විසින් සහශ්‍රී ලෝක ධාතුවට ඇසෙන සේ “ආරභථ,යුඤජථ,නික්ඛමථ බුද්ධ ශසනෙ ” යන මහා දහම් ඝෝෂාව සිදු කරන ලදී.). වහන්ස, අරහත් සම්මා සම්බුද්ධ වූ භාග්‍යවතුන් වහන්සේට කොපමණ දුරට විශ්වයෙහි/ලෝක ධාතූන්හි දහම් ඝෝෂාව කල හැකි වේද?
 එවිට භාග්‍යවතුන් වහන්සේ,
ආනන්දය “අභිභූ” වනාහි ශ්‍රාවකයෙකි. තථාගතයෝ වනාහි අපරිමේය, ප්‍රමාණ රහිත වෙති.” යි දේශනා කරන සේක. දෙවනුවද ආනන්ද තෙරුන් විසින් විමසන ලදුව භාග්‍යවතුන් වහන්සේ පෙර පිළිතුරම දේශනා සේක.
තෙවන වරටත් ආනන්ද තෙරුන් වහන්සේ විසින් භාග්‍යවතුන් වහන්සේ වෙතින් මෙම පැනය විමසන කල්හි භාග්‍යවතුන් වහන්සේ,
“ආනන්දය, තොප  දහසක් සක්වලයන් සහිත “චූලනිකා ලෝක ධාතුව” අසා තිබේද? යි විමසන සේක.
ආනන්ද තෙරුන් වහන්සේ,
භාග්‍යවතුන් වහන්ස, යම් සේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන සේක්ද, ඒ ලෙසින්ම භික්ෂූන් අසා දරන්නාහ. භාග්‍යවතුන් වහන්ස දේශනා කරනු මැනවි. භාග්‍යවතුන් වහන්ස සිංහනාද කරනු මැනවි. මේ භාග්‍යවතුන් වහන්සේ ගේ සිංහහනාදයට කාලයයි.
භාග්‍යවතුන් වහන්සේ:
ආනන්දය එසේ වී නම් අසව,
හිරුද සඳුද, යම් තාක් දුර ගමන් කරමින් දිශාවන් බබලවයිද, ඒතාක් අවකාශය “සහශ්‍රී ලෝක ධාතුව” යයි කියනු ලැබේ. ඒ ලෝක ධාතුයෙහි හිරු දහසක් ඇත. සඳු දහසක් ඇත. මහා මේරු පර්වත දහසක් ඇත. දඹදිව් දහසක් ඇත. අපර ගොයාන දහසක් ඇත. උතුරු කුරු දිවයින් දහසක් ඇත. පූර්ව විදේහ දහසක් ඇත. (මේ බෞද්ධ ක්‍රමය අනුව පෘථිවියේ ඇති මහාද්වීප  සතරයි- ඒ අනුව මින් දක්වන්නේ අප ලොව වැනි මිනිස් ලෝක දහසක් ඇති බවයි.) මහා සමුද්‍රයෝ හාර දහසක් (එක් මිනිස් ලොවක සතර බැගින්), මහා රාජ්‍යයන් හාර දහසක් (එක් මිනිස් ලොවක සතර බැගින්),  චාතුම්මහාරාජික දහසක්, තව්තිසා දෙව්ලෝ දහසක්, යාම දෙව් ලෝ දහසක්, තුසිත දෙව් ලෝ දහසක්, නිම්මාණරති දහසක්, පරිනිම්මිත වසවත්ති දහසක්, බ්‍රහ්ම ලෝක දහසක් ඇත. ආනන්දය මේ “චූලනිකා සහශ්‍රී ලෝක ධාතුව” යයි කියනු ලැබේ.
ආනන්දය,
මෙවන් චූලනිකා සහශ්‍රී ලෝකධාතුව  දහසින් ගෙන ගැනීමෙන් (එවන් ලෝක ධාතු දහසක් හෙවත් සක්වල මිලියනයක්/ දශ ලක්ෂයක්) “ද්වී සහශ්‍රී ලෝක ධාතුව ” හෙවත් “මධ්‍යම සහශ්‍රී ලෝක ධාතුව” යයි කියනු ලැබේ. තවද, මෙම මැදුම් සහශ්‍රී ලෝක ධාතුව “සහස්සධා” වශයෙන් ගණනය කිරීමෙන් “ත්‍රී සහශ්‍රී ලෝක ධාතුව” හෙවත් “මහා සහශ්‍රී ලෝක ධාතුව” ලැබේ. දශ ලක්ෂය දහසින් ගණනය කිරීමෙන් “සක්වල කෝටි සියයක්” සහිත ලෝක ධාතුව  ලැබිය යුතුය. නමුත් මහා සහශ්‍රී හෙවත් ත්‍රී සහශ්‍රී ලෝක ධාතුවට “කෝටි ලක්ෂයක් සක්වලයන්” අයත් බව ධර්ම සාහිත්‍යයේ එන මතයකි. උතුම් වූ අටුවාව මෙම ගැටලුව විසඳා තිබේ. බෞද්ධ සංඛ්‍යා ගණන ක්‍රමය අනුව “සහස්සධා” යනුවෙන් ගැනීමේදී අදාළ ගණනය කිරීම සිදු කරන්නේ ද්වී සහශ්‍රී ලෝක ධාතුවට අයත් දශ ලක්ෂයක් සක්වලයන් නැවත දශ ලක්ශයෙන්ම ගුණ කිරීමෙන් බව එහි දක්වා තිබේ. ත්‍රී සහශ්‍රී ලෝක ධාතුවට කෝටි ලක්ෂයක් සක්වලයන් අයත් වන්නේ ඒ අනුවය. [බෞද්ධ සංඛ්‍යා ක්‍රමයෙහි වර්තමාන ගණිතයේ එන සංඛ්‍යා වල බල ගණනය කිරීම (උදාහරණ-:10000001000000) යෙදුනු බවට යම් යම් සාක්ෂි තිබේ.]
එක් සක්වලක හෙවත් එක් ලෝක ධාතුවක සත්ත්ව භූමි
චූලනිකා ලෝක ධාතුවෙහි සූර්යයන් දහසක් මගින් ආලෝකය පැතිරෙන ගමන් කරන ලෝක ධාතූන් දහසක් ඇති බව ඉහත සූත්‍ර දේශනාව අනුව ඔබට පැහැදිලි විය යුතුය. අපි දැන් ඒ එක් ලෝක ධාතුවක ඇති සත්ත්ව භූමි හෙවත් ලෝක ගැන විමසා බලමු. සැකෙවින් කියන්නේ නම් එවන් ලෝක ධාතුවක එක් මනුෂ්‍ය ලෝකයක්, ඊට ඉහලින් දිව්‍ය තල හයක්, ඊට ඉහලින් රූප සහිත බ්‍රහ්ම ලෝක දහසයක්, අරූප තල හෙවත් අරූප ලෝක සතරක් තිබේ. එම ලෝක 27 සුගති භූමි නොහොත් සැප ඇති සත්ත්ව භූමි වෙයි. මනුෂ්‍ය ලොවට පහලින් ඇත්තේ නිරය හෙවත් සතර අපායයි. අපගේ මනුෂ්‍ය ලෝකයට පහලින් එවන් නිරය භූමි 8ක් පිහිටා තිබේ. නිරය යනු සතර අපායෙන් එක් අපායකි. අනෙකුත් අපාය තුන වන්නේ “තිරිසන් යෝනිය”, “ප්‍රේත විෂය” සහ “අසුර නිකායයි” නමුත් මෙම සත්ත්ව නිකායයන් උදෙසා වෙනමම භූමි හෝ තලයන් පිහිටා නැත. මනුෂ්‍ය ලෝකය සහ ආසන්න දිවය තල ඇසුරෙහි තිරිසන්, අසුර සහ ප්‍රේත යෝනියේ සත්ත්වයන් කර්මානුරූපව පහල වී සිටින බව ධර්මයෙහි එන විස්තරයන්ගෙන් පැහැදිලි වෙයි. ප්‍රධාන නිරය භූමි 8 වටාම  සතර දිශාවෙහි සතරක් ලෙස අනු නිරය 16 බැගින් අනු නිරයන් 128ක් පිහිටා තිබේ. ඒ අනුව සියලු නිරය භූමි 136කි. මීට අමතරව සක්වලයන් තුනක් එක් වන තන්හි “ලෝකාන්තරික” නමින්ද තවත් නිරයක් පිහිටා තිබේ. මහා පොළවෙහි ගංගා ආදීය ඇසුරු කරගෙනද සමහර අපාය භූමි පිහිටා තිබෙන බවටද සූත්‍ර දේශනා ඇසුරෙන් මතුවන කරුණු තිබේ.
පළමුව කාම සුගතියට අයත් දිව්‍ය තල හය පිළිබඳව සැකෙවින් විස්තර කරනු ලැබේ.
දෙවියන් පිලිබඳ ඉතා දීර්ඝව සහ නිරවුල්ව බෞද්ධ විග්‍රහයක් සිදු කිරීම කල යුතු සහ කල හැකි කටයුත්තකි. සදෙව් ලෝකය පිලිබඳ එහි ඉපදීම, ඒ ඒ තලයන්හි සැපය, ඒ ඒ දේව නිකායන්ගේ ස්වභාවය විස්තර වශයෙන් සාකච්ඡා කල යුතුය. මෙහි ඉතාම සැකෙවින් හැඳින්වීමක් පමණක් කරනු ලැබේ.
පහත වගුව බලන්න. මෙම වගුව සකසා ඇත්තේ මනුෂ්‍ය ලොව සිට ඒ ඒ තලයන්හි පිහිටීම පහසුවෙන් තේරුම ගත හැකි ආකාරයටය. එනිසා කරුණාකර වගුව පහල සිට ඉහලට කියවන්න.


චාතුම්මහාරාජිකය
මිනිස් ලොවට යොදුන් 42000ක් (යොදුනක් යනු සැතපුම් දහසයකි) ඉහලින් පිහිටා ඇති මිනිස් ලොවට ආසන්නතම දිව්‍ය තලය වන මෙය උතුම් වූ සතර වරම් දිව්‍ය රජ වරුන් මගින් පාලනය වෙයි. එහි පෙරදිග පාලනය ගාන්ධර්වයන්ට අධිපති “ධෘතරාෂ්ඨ වරම් දෙව් රජු” විසින්ද, දකුණු දිශාව කුම්භාණ්ඩයන්ට අධිපති  “විරූල්හ” නොහොත් “වීරූඪ නම් වරම් දෙව් රජු” විසින්ද, පැසුණු දිග හෙවත් බටහිර දිශාව නාගයනට අධිපති වූ “විරූපාක්‍ෂ වරම් දෙව් රජ” විසින්ද, උතුරු දිශාව යක්ෂයන්ට අධිපති වූ කුවේර නොහොත් වෙසමුණි (වෙසවුණු යයිද කියනු ලැබේ.) වරම් දෙව් රජු විසින්ද පාලනය වෙයි. මනුෂ්‍ය ලෝකයෙහි වාසය කරන භූමාටු දෙවියෝද වෙනත් සියලු අමනුෂ්‍යයෝද චාතුර්මහාරාජිකය යටතේ පාලනය වෙත්. දෙවියන් භූම්‍යස්ථ සහ ආකාශස්ථ වශයෙන් බෙදා දක්වන කල්හි චාතුර්මහාරාජිකය ඇතුළු සියලු ඉහල දිව්‍ය තල වල දෙවියන් ආකාශස්ථ දෙවියන් ලෙස සලකනු ලැබේ. වෘක්ෂ දේවතාවන්, පොළොවෙහි ගංගා, ඇලදොළ, සමුද්‍ර වාසස්ථාන, සමහර මනුෂ්‍ය වාස, පින් සහිත සමහර මනුෂ්‍යයන්ගේ නිවාස සහ උපකරණ ආදිය ඇසුරෙහි වන “විමාන” නමින් හැඳින්වෙන මනුෂ්‍ය ඉන්ද්‍රීන්ට ගෝචර නොවන වාසස්ථාන ඇසුරෙහි මෙම භූමාටු දෙවියන් වාසය කරන බවට කරුණු තිබේ. සමහර භූමාටු දෙවියන්ට ධර්මය අසා මගපල ලැබීමට වුවද හැකියාව තිබේ. භූමාටු දෙවියන්ගේ ආයුෂ ප්‍රමාණය ගැන නිශ්චිත නියමයක් දක්වා නැත. සමහර භූමාටු දෙවියන් දින සතක් වැනි ඉතා කුඩා කාලයක්ද තවත් භූමාටු දෙවියන් කල්පයක් තරම් අති දීර්ඝ කාලයක්ද ආයුෂ ලබන අතර ඒ ඒ කුසල කර්ම විපාකය අනුව ආයුෂ කාලය තීරණය වන බව දත යුතුය. භූමාටු දෙවියන්ගේ දිව්‍ය සැපත චාතුර්මහාරාජික දෙවියන්ට වඩා අඩු වන නමුත් මනුෂ්‍යයන්ට වැඩි කාම සම්පත්තියක් භුක්ති විඳියි. දෙවියන්ගේ උපත සකලාංග පරිපූර්ණය “ඕපපාතිකව” සිදුවන බව සාමාන්‍ය නියමය වන නමුත් භූමාටු දෙවියන් දරුවන් ලබන බවටත්, කුඩා ශරීර සහිතව පහල වන බවටත් ඔවුන් සමහරෙක් පවුල් වශයෙන් ජීවත් වන බවටත් “මෙත්ත සූත්‍ර(කරණීය-මෙත්ත සූත්‍ර)” නිධාන කථාව ආදී කථා අනුව පෙනී යයි.
සතර වරම් දෙව් රජුන් ප්‍රධාන වශයෙන් තවතිසා දෙව් ලොව ආරක්ෂාව පිණිස කටයුතු කරන ආරක්ෂක දෙවියන් ලෙසද කටයුතු කරයි. ඒ ඒ පරිදි සතර දිශාවෙහි සේනා සහිතව තව්තිසා දෙව් තලයට (අසුරයන් ගෙන් විය යුතුය: ධර්ම සාහිත්‍ය විමසා බලන්න) ආරක්ෂාව සැපයීමත්, මනුෂ්‍ය ලොව කටුයුතු, බුදු සසුන පිලිබඳ කටයුතු සහ සිල්වතුන් සහ පින්වතුන් පිලිබඳ ශක්‍ර දෙවියන්ට වාර්තා සැපයීම මොවුන් අතින් සිදු වෙයි. (ලිපිය දික් වන බැවින් විස්තර මෙතෙකින් නවත්වනු ලැබෙයි.) චතුර්මහාරජිකයෙහි දෙවියන්ගේ ආයුෂ මිනිස් ලොව අවුරුදු අනූ ලක්ෂයකි.
(එක් එක් දිව්‍ය තල පිළිබඳව විශේෂ විස්තර දීර්ධ වශයෙන් ලිවීමට එක් ලිපියක් ප්‍රමාණවත් නොවන බැවින් ඊළඟ දිවය තල පිළිබඳව හුදු නම් කිරීමක් පමණක් කරනු ලැබේ. දෙවියන් පිළිබඳව සවිස්තර විශේෂ ලිපි පෙළක් ඉදිරියේදී බලාපොරොත්තු වන්න.)
තවතිසාව හෙවත් තාවතිංශය
ශක්‍ර දෙව් රජතුමන් සහ එතුමන් යටතේ සිටින දෙවි රජවරුන් තිස්තුන් දෙනෙකුන් මගින් පාලනය වන දෙව්තලයකි. සක් දෙවිඳුන් “දෙදෙව් ලොවට අධිපති” යයි කියන්නේ එතුමන් චාතුර්මහාරාජිකය සහ තව්තිසාව යන දිව්‍ය තල දෙකෙහිම අධිපති බව දරන බැවිනි.
යාමය
දුකින් පහ වූ ස්ථානය යන අරුතින් යාමය නම දරන මෙම දිව්‍ය තලය තුන්වන දිව්‍ය තලයයි.
තුසිතය
අතිශය ප්‍රමොදයෙන් ප්‍රීතියෙන් සතුටින් වාසය කරන දෙවියන්ගේ භූමිය යන අරුතින් “තුසිත” නාමය ඇති මේ දිව්‍ය තලය අප මහා බෝධිසත්වයන් වහන්සේ  සම්බුද්ධත්වය ලැබූ අවසන් භවයට පෙර භවයෙහි උපන් දිව්‍ය තලයයි. “සන්තුසිත” නම් දිව්‍ය රාජෝත්තමයාණන් අධිපති භාවය දරයි.
නිම්මාණරතිය
තමන් විසින් තමන් කැමති ආකාරයේ කාම වස්තුන් මවා ඒ කාම වස්තූන් මගින් කම් සුව ලද හැකි මහත් ආනුභාවයක් ඇති දෙවියන් පහල වන භූමියයි. බුදු සසුනෙහි අග්‍ර දායිකාවක වූ විශාකා මහෝපාසිකා තොමෝ මරණින් මතු උපත ලැබුවේ මෙම දෙව් තලයෙහිය.
පරිනිම්මිත වසවත්තිය
මහත් බල ඇති “මාර දිව්‍ය පුත්‍රයා” වාසය කරකරන මාර පිරිස වාසය කරන දෙව් තලයයි. කාම ලෝකයට අධිපති බව දරන්නේ මේ දෙවියන්ය. කාම ලෝකයට අයත් ඉහලම සහ ආයුෂයෙන්, සැපතින් බලවත්ම දිව්‍ය තලය මෙයයි. “අන්‍යයන්ගේ සම්පත්තිය තමන් විෂයෙහි පවත්වන” යන අරුතින් පරිනිම්මිත වසවත්ති යනුවෙන් කියනු ලැබේ.
මෙම දිව්‍ය තල සයෙහි විසිතුරු බවත්, සැපතත් විශ්මයාවහ වෙයි. දෙවියන් අතර උපදින නොවරදින මග භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කර තිබේ. සම්මා දිට්ඨිය මත පිහිටා ශීලය ආරක්ෂා කිරීම සුගති මාර්ගයෙහි අනිවාර්ය අංගයන් වෙයි. ධර්මයෙහි සඳහන් දෙවියන් ගැන කථා කියවීමේදී පෙනී යන්නේ ඉහල ගනයේ බොහෝ දෙවියන් නොවැරදී පංච ශීලයත්, පොහොය අෂ්ටාංගික උපොසථ ශීලයත් සමාදන්ව ආරක්ෂා කර ඇති බවයි. උත්තම ගනයේ දානමය පුණ්‍ය කර්මයන් ඒ ඒ දෙවියන්ගේ මහේශාක්‍ය බවට හේතු වී ඇත.
අප මුලින් කියන ලද පරිදි මෙම ලිපියෙන් අපි ශීලය සහ දානමය පුණ්‍ය ක්‍රියා සිදුකිරීම පිලිබඳ සාකච්ඡාවක් ආරම්භ කරනු ලැබේ. දානය සහ ශීලය ගැන උනන්දුවක් ඇති කර ගැනීමට එහි අනුසස් දැන ගත යුතුය. දුශ්ශීල බවේ භයානක ආදීනව දැන ගත යුතුය. අනුසස් සහ ආදීනව පැහැදිලි  කර ගැනීමට නම් කර්ම විපාක වශයෙන් අත්වන සැප සහ දුක විපාක දන ගත යුතුය. ඒ ඒ විපාක වල ස්වභාවය අවබෝධ කර ගැනීමට නම් ඒ ඒ පින් පව් වලට අනුව සකස් වන භවය සහ උත්පත්ති ස්ථාන දැන ගත යුතුය. ඒ ගැන අවබෝධයක් ලබීමටනම් ලෝකධාතුව පිළිබඳව ඒ ඒ සුගති දුගති ස්ථාන පිළිබඳව කරුණු වටහා ගත යුතුය. ඒ සඳහා භාග්‍යවතුන් වහන්සේගේ “ලෝක විදු” ගුණය කෙරෙහි ශ්‍රද්ධාවෙන් යුතුව “ලෝක ධාතු” විස්තර, සුගතිය ගැන විස්තර, අපායෙහි දුක පිලිබඳ විස්තර ආදිය දැනගත යුතුය. මෙම ලිපියට හැකි පමණ එම කරුණු එකතු කරන ලද්දේත් සුදුසු පරිදි වගු සකස් කර ඉදිරිපත් කරන ලද්දේත් ඉදිරි ලිපි වලට සාකච්ඡා කිරීමේ පදනම සකස් කිරීම් අරමුණ ඇතිවය. ඒ කරුණු ඇසුරින් පින්වත් ඔබ තමන් විසින්මද දහම් කරුණු සොයා බලා ඉගෙනීමටත්, දන්නා කරුණු නිරවුල් කර ගැනීමටත් උත්සහ කර ගනිත්වා.
ධ්‍යාන සමාධි බලයෙන් කාම ලෝකය අභිභවා ඉහළින සිටින අතිශය බලවත් ආනුභාව ඇති බ්‍රහ්ම තලයන් පිලිබඳ විස්තර හඳුන්වාදෙන වගුවක්  පහතින් දැක්වෙයි. ධ්‍යාන භාවනා සහ සමාධිය පිළිබඳවත්, බ්‍රහ්ම ලෝකය පිළිබඳවත් පසු ලිපියකින් සාකච්ඡා කරමු.

නිරය
සතර අපාය අතරින්, අතිශය ඝෝර දුක් ඇති, නිරන්තර රළු වේදනා ගෙනදෙන දුක් ඇති, මහත් දීර්ඝ කාලයක් දුකෙහිම ගැලී හඬමින්, විලාප දෙමින් සත්ත්වයන් කර්ම විපාක වශයෙන්ම සකස් වූ මහත් දුක්ඛිත තත්වයට උරුම කරවන දුගතිය “නිරය” නම් වෙයි. පිහිටීම සහ ආයුෂ ගැන විස්තර සඳහා පහත වගුව බලන්න. සැබවින්ම “අපාය” යයි යයි කියන්නේ මෙම නිරය ලෝකයන්ටය. “අය” නම් සැපයට නමකි.  අය නම් සැප කිසිවක් නොවන බැවින්  “අපාය” යයි කියනු ලැබේ. ඇසිපිය හෙලන මොහොතකට වත් කටුක දුකින් තොර වීමක් වෙන් වීමක් නැති බැවින්, ඇසිපිය හෙලන මොහොතක තරම් වත් සැපයක් නොමැති බැවින් “නිරය” යයි කියනු ලැබේ. අප ලෝක ධාතුවෙහි “ප්‍රධාන නිරය හෙවත් මහා නිරය අටකි.”
සංජීවය
සත්වඝාතන, කාම මිත්‍යාචාර, සොරකම් ආදිය කළවුන් උපදින නිරයකි. මහා නිරය වටා අනූ නිරයන් දහසයක් ඇත.
කාල සූත්‍රය
මව්පියන්, ගුරුවර වැඩිහිටියන්, උපාධ්‍යායයන් ආදීන් කෙරෙහි වරදවා පිළිපදින ලද්දවුන් වැඩි වශයෙන් උපදින භූමියකි.
සංඝාතය
ගවයන්, එළුවන්, කුකුලන් ආදී සතුන් ඝාතනය කරමින් ජීවිකාව පවත්වන ලද සත්ත්වයන් වැඩි වශයෙන් උපදින භූමියකි.
රෞරවය
සත්ත්වයන්ට හිංසා පීඩාකාර වූ ක්‍රියා කරන ලද, මහත් අකුසල් කරන ලද, ඉන්ද්‍රජාලිකයන්, මායා කරුවන් ආදීන් අනුන් රවටා ජීවත් වන නායකකාරකාදී සත්ත්වයන් උපදින භූමියකි.
මහා රෞරවය
තෙරුවන් සතු වස්තුව පහර ගත්තාවූද, ජනයාගේ යහපත පිණිස ඇති පොදු දේපල විනාශ කරන ලද්දාවූද සත්ත්වයන් උපදින භූමියකි.
තාපය
හොඳ  නරක කර්මයෙහි විපාක නැත. සුගති දුගති නැත ආදී වශයෙන් මිත්‍යා දෘෂ්ටි ගෙන සිටින නියත මිත්‍යා දෘෂ්ටිකයන් උපදින භූමියකි.
මහා තාපය (ප්‍රතාපය)
බුදුන් නැත, දහම් නැත, ආර්ය සංඝයා නැත ආදී වශයෙන් බලවත් දෘෂ්ටි ගන්නා ලද, බලවත් සේ ආර්යෝපවාද කරන ලද, සද්ධර්මයෙ පැවැත්ම විනාශ කිරීමට කටයුතු සංවිධානය කරන සත්ත්වයන් උපදින මහා නිරයකි.
අවීචිය
පන්චානන්තාර්ය පාප කර්ම කළා වූද, පන්සල්, බෝධිය, බෝමළු, බුදු පිළිම විනාශ කරන ලද්දාවූද, බුදු සසුනට වින කරන ලද්දවූද, තෙරුවන් විෂයෙහි බලවත් ද්වේශයෙන් කටයුතු කරන ලද්දාවූද, නියත වූද, බලවත් වූද මිතාදෘෂ්ටිය මත පදනම්ව දරුණු ක්‍රියා කරන ලද්දා වූද සත්ත්වයන් උපදින බලවත්ම දුක් සහිත මහා නිරයයි. දෙව්දත් ආදී ආනන්තර්ය කර්ම කල අවාසනාවන්ත සත්ත්වයන්ද බලවත් පාප ක්‍රම කරන ලද මව්පියන් ඝාතනය කරන ලද, රහතන් වහන්සේලා ඝාතනය කරන ලද, වෙහෙර විහාර විනාශ කරන ලද සත්ත්වයන්ට මෙහි ඉපිද අන්තඃ කල්පයක් තරම් ඇති දීර්ඝ කාලයක් දුක් විඳීමට සිදු වෙයි.


නිරය පිළිබඳව විස්තර කෙරෙන මූලික කරුණු ඇතුලත් වගුව ඉහතින් දක්වා තිබේ. (එම වගුව ඉහල සිට පහලට කියවන්න.)
මෙම සියලුම සත්ත්ව තලයන්, ඒවායේ දුක් සැප ගැන නිරවුල් විස්තර ඒවා ඇති බවට ශ්‍රද්ධාව පිහිටුවා ගන්නා ආකාරය, කල්ප විභංගය, කල්ප විනාශය ඇතුළු දහම් කරුණු සවිස්තරව ලියා තැබීම මාගේ අරමුණයි. නමුත් එය ලිපි ගණනාවකින් වත් පහසුවෙන් කල හැක්කක් නොවෙයි. එනිසා තම තමන්ද මේ කරුණුද උපකාර කරගෙන මේ ගැන ත්‍රිපිටක ධර්මය සහ අටුවා විග්‍රහය කියවා දරා ගැනීමට උත්සහ කරත්වා. කරුණු විස්තර වශයෙන් සඳහන් කිරීම ඉදිරි ලිපි වලින් ඉඩ ලැබෙන පරිදි සිදු කිරීමට උත්සහ ගනිමි. මසකට වරක් පලකෙරෙන නිසා ප්‍රමාදයෙන්  වන යම් අඩුපාඩුවක් වෙතොත් අප කෙරෙහි කරුණාවෙන් කමා කරත්වා. දහම් පිපාසය ඇත්තෝ නිරවුල්ව ඉවසීමෙන් අප්‍රමාදීව ධර්මය උගනිමින් දහමට යොමු වේවා.!!

ඔබ සැමට උතුම් තෙරුවන් සරණයි!!!

- සසිත් රාජසූරිය. 

April 25, 2013 at 12:01 am | lanka C news