දුටුගැමුණු රජු කල පිරිණිවන් පෑ මලියදේව හිමියන් ලංකාවේ අන්තිම රහත් තෙරනම නොවේ. සැබැවින්ම, අද වුව රහතුන් බිහි විය හැකිය. ඒ සදහා අවශ්‍ය වන්නේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ ශ්‍රී සද්ධර්මය සීල සමාධි ප්‍රඥා වශයෙන් දියුණු කොට සාක්ෂාත් කිරීමයි.

ඔබත් බුදුරදුන් පෙන්වා වදාළ උත්තම දහම් මාර්ගයේ ගමන් කරන්න


Powered by දහම් විල


ලිපි සඳහා පහත මාසය අනුව ලිපි පටුන බලන්න

චුතවීම හා ඉපදීම


පොසොන් සඳ උදාවෙමින් තිබෙන මේ පොහෝ දිනයේ සියවස්‌ ගණනක අතීතය සිහිපත් වනවිට ඇතිවන සොම්නස හරිම ප්‍රසන්නයි. චමත්කාරජනකයි. රමණීයයි. සිත්කලුයි. පූජනීයයි. මහා සංස්‌කෘතියක ඇරැඹුම පුදුම සහගතයි. ලාංකික බෞද්ධ චින්තනයේ උදාව. ශ්‍රේෂ්ට දිවි පැවැත්මක මුල්ගලේ ප්‍රතිෂ්ඨාපනයයි. බුද්ධ, ධම්ම, සංඝ යන උතුම් තිසරණය තුළ මුළු ජාතියකටම ස්‌ථාපිතවීමේ මහා අනර්ඝ දුර්ලභ අවස්‌ථාව උදාකරදුන් ඒ පොසොන් පොහොය අදයි.

දඹදිව ධර්මාශෝක මහාධිරාජ්‍යයාණන්ගේ පුත් මිහිඳු මහ රහතන් වහන්සේ අප භාග්‍යවත් තිලෝගුරු ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය රැගෙන ශ්‍රී ලංකාවට වැඩම කළේ අද වගේ දවසක. උන්වහන්සේ ප්‍රථමයෙන්ම චූල්ලහත්ථි පදොaපම සූත්‍රය දේශනා කර දේවානම්පියතිස්‌ස රජතුමා ඇතුළු පිරිස උතුම් තිසරණේ පිහිටෙව්වා. දෙවැනි දිනයේදී රජ මාලිගයේදී උදැසන දන් වළ¹, අවසානයේදී ප්‍රේත වස්‌තුව හා විමාන වස්‌තුව දේශනා කළා. ඊළඟට සංයුක්‌ත නිකායට අයත් සච්ච සංයුක්‌තය දේශනා කළා. රජුගේ අග්‍ර මහේෂිකාව වූ අනුලා බිසව ඇතුළු කාන්තාවන් පන්සියයක්‌ මෙම දේශනාව අවසානයේදී උතුම් සෝතාපන්න තත්ත්වයට පත්වුණා.

පින්වතුනි අද ධර්ම දේශනය ඒ සච්ච සංයුක්‌තය පිළිබඳවයි. ඒ ව ගේම ඒකෙන් තෝරගත් සූත්‍ර දේශනා කීපයක්‌. සංයුත්ත නිකායේ පස්‌වන කොටසේ මහා වර්ගයේ තමයි සච්ච සංයුක්‌තය ඇතුළත්වී තිබෙන්නේ. මෙහි වර්ග වශයෙන් එකොළහක්‌ තිබෙනවා. සූත්‍ර වශයෙන් එකසිය තිස්‌පහක්‌ තිබෙනවා. මෙහි තිබෙන වර්ග තමයි සමාධි වර්ගය, ධම්මචක්‌කපවත්තන වර්ගය, කෝටිගාම වර්ගය, සිංසපාවර්ගය, පාජාත වර්ගය, අභිසමය වර්ගය, ආමකධඤ්ඤ පෙය්‍යාල වර්ගය, දුතිය ආමකධඤ්ඤපෙය්‍යාල වර්ගය, තතීය ආමකධඤ්ඤපෙය්‍යාල වර්ගය, චතුත්ථ ආමකධඤ්ඤපෙය්‍යාල වර්ගය, පඤ්චගති ප්‍යාල වර්ගය කියන වර්ග.

මගේ උත්සාහය පඤ්චගති පෙය්‍යාල වර්ගය පිළිබඳව පැහැදිලි කිරීමටයි. මේ කොටසෙ සූත්‍ර තිහක්‌ තිබෙනවා. මනුස්‌ස චුති, දේවචුති, නිරයචුති, තිරච්ඡානචුති, පෙත්තිචුති කියන සූත්‍ර. ඒ ඒ ලෝකවලින් චුතවෙලා සත්ත්වයන් උපදින ආකාරයයි මේ සූත්‍රවලින් කියවෙන්නේ. මනුස්‌සචුති සූත්‍රවලින් මිනිස්‌ ලෝකෙන් චුතවෙලා උපදින ආකාරය, දේවචුති සූත්‍රවලින් දිව්‍යලෝකයෙන් චුතවෙලා උපදින ආකාරය, නිරයචුති සූත්‍රවලින් නිරයෙන් චුතවෙලා උපදින ආකාරය, තිරච්ඡානචුති සූත්‍රවලින් තිරිසන් ලෝකවලින් චුතවෙලා උපදින ආකාරය, පෙත්තිචුති සූත්‍රවලින් පෙරේත ලෝකවලින් චුතවෙලා උපදින ආකාරය විස්‌තර කෙරෙනවා.

මනුස්‌සචුති සූත්‍ර හයක්‌ තිබෙනවා. ඒ අනුව මනුස්‌සචුති, දුතිය, තතිය, චතුත්ථ, පඤ්චම, ඡට්‌ඨම යනුවෙන් හයක්‌ තිබෙනවා. මනුස්‌ස ලෝකයේ උපදින අයගෙන් චුතවෙන ස්‌වල්පයක්‌ නැවත මනුස්‌ස ලෝකෙම උපදිනවා. බහුතරයක්‌ නිරයේ උපදිනවා. ඒ වගේම මනුස්‌ස ලෝකෙ උපදින අයගෙන් චුතවෙලා ස්‌වල්ප දෙනෙක්‌ මනුස්‌ස ලෝකෙ උපදිනවා. බහුතරයක්‌ තිරිසන් ලෝකෙ උපදිනවා. මනුස්‌ස ලෝකෙ උපදින අයගෙන් ස්‌වල්පයක්‌ මනුස්‌ස ලෝකෙ උපදිනවනා. බහුතරයක්‌ පෙරේත ලෝකෙ උපදිනවා. මනුස්‌ස ලෝකයෙන් චුතවෙන අයගෙන් ස්‌වල්පයක්‌ දිව්‍ය ලෝකෙ උපදිනවා. බහුතරයක්‌ අපායෙ උපදිනවා. ඒ වගේම මනුස්‌ස ලෝකෙ උපදින අයගෙන් සුළු පිරිසක්‌ දිව්‍යලෝකෙ උපදිනවා. බහුතරයක්‌ තිරිසන් ලෝකෙ උපදිනවා. මනුස්‌ස ලෝකෙ උපදින අයගෙන් සුළු පිරිසක්‌ දිව්‍ය ලෝකෙ උපදිනව. බහුතරයක්‌ පෙරේත ලෝකෙ උපදිනවා. මේ ආකාරයෙන් තමයි මනුස්‌ස ලෝකෙ උපදින අයගෙ චුතවීම, ඉපදීම සිදුවෙන්නෙ.

ඊළඟට තිබෙන්නේ දේවචුති සූත්‍ර. ඒ සූත්‍රවලට අනුව දිව්‍ය ලෝකවල දෙවියන්ගෙන් චුතවෙන සුළු පිරිසක්‌ දෙව් ලොවම උපදිනවා. බහුතරයක්‌ උපදින්නෙ නිරයෙ. දිව්‍ය ලෝකෙ උපදින අයගෙන් සුළු පිරිසක්‌ චුතවෙලා දිව්‍ය ලෝකෙම උපදිනවා. බහුතරයක්‌ උපදින්නෙ තිරිසන් ලෝකෙ. දිව්‍ය ලෝකේ උපදින අයගෙන් සුළු පිරිසක්‌ චුතවෙලා දෙව්ලොව උපදිනවා. බහුතරයක්‌ උපදින්නෙ පෙරේත ලෝකෙ. දිව්‍ය ලෝකෙන් චුතවෙන අයගෙන් සුළු පිරිසක්‌ මනුස්‌ස ලෝකෙ උපදිනවා. බහුතරයක්‌ නිරයේ උපදිනවා. දිව්‍ය ලෝකෙන් චුතවෙන අයගෙන් සුළු පිරිසක්‌ මනුස්‌ස ලෝකෙ උපදිනවා. බහුතරයක්‌ තිරිසන් ලෝකෙ උපදිනවා. දිව්‍ය ලෝකෙන් චුතවෙන අයගෙන් සුළු පිරිසක්‌ මනුස්‌ස ලෝකෙ උපදිනව. බහුතරයක්‌ පෙරේත ලෝකෙ උපදිනවා. ඒ විදියටයි දිව්‍ය ලෝකවල දෙවිවරු චුතවෙලා ඒ ඒ තැන්වල උප්පත්තිය ලබන්නෙ.

ඊළඟට නිරයේ උපදින සතුන්ගෙන් සුළු පිරිසක්‌ චුතවෙලා මනුස්‌ස ලෝකෙ උපදිනවා. බහුතරයක්‌ චුතවෙලා උපදින්නෙ නිරයෙමයි. නිරයේ උපදින සතුන්ගෙන් සුළු පිරිසක්‌ මනුස්‌ස ලෝකෙ උපදිනවා. බහුතරයක්‌ තිරිසන් ලෝකෙ උපදිනවා. නිරයේ උපදින සතුන්ගෙන් සුළු පිරිසක්‌ මනුස්‌ස ලෝකෙ උපදිනවා. බහුතරයක්‌ පෙරේත ලෝකෙ උපදිනවා. ඒ වගේම නිරයේ උපදින සතුන්ගෙන් සුළු පිරිසක්‌ දිව්‍ය ලෝකෙ උපදිනවා. බහුතරයක්‌ චුතවෙලා නිරයේම උපදිනවා. නිරයේ උපදින සතුන්ගෙන් සුළු පිරිසක්‌ දිව්‍ය ලෝකෙ උපදිනවා. බහුතරයක්‌ තිරිසන් ලෝකෙ උපදිනව. නිරයේ උපදින සතුන්ගෙන් සුළු පිරිසක්‌ දෙව්ලොව උපදිනවා. බහුතරයක්‌ පෙරේත ලෝකෙ උපදිනවා. ඒ විදියටයි නිරයේ උපදින සතුන්ගේ චුතවීම හා ඉපදීම සිදුවෙන්නේ.

ඊළඟට තිරිසන් ලෝකවල උපදින සතුන් පිළිබඳව අපිට දැනගන්නට පුළුවන්. තිරිසන් ලෝකවල උපදින සතුන්ගෙන් සුළු පිsරිසක්‌ චුතවෙලා මනුස්‌ස ලෝකෙ උපදිනවා. බහුතරයක්‌ නිරයේ උපදිනවා. ඒ වගේම තිරිසන් ලෝකෙ උපදින සතුන්ගෙන් සුළු පිරිසක්‌ මනුස්‌ස ලෝකෙ උපදිනවා. බහුතරයක්‌ තිරිසන් ලෝකෙම උපදිනවා. ඊළඟට තිරිසන් ලෝකෙ උපදින සතුන්ගෙන් සුළු පිරිසක්‌ මනුස්‌ස ලෝකෙ උපදිනවා. බහුතරයක්‌ පෙරේත ලෝකෙ උපදිනවා. ඒ වගේම තිරිසන් ලෝකෙ උපදින සතුන්ගෙන් සුළු පිරිසක්‌ චුතවෙලා දෙව්ලොව උපදිනවා. බහුතරයක්‌ නිරයේ උපදිනවා. ඒ වගේම තිරිසන් ලෝකේ උපදින සතුන්ගෙන් සුළු පිරිසක්‌ දෙව්ලොව උපදිනවා. බහුතරයක්‌ තිරිසන් ලෝකෙම උපදිනවා. ඒ වගේම තිරිසන් ලෝකේ උපදින සතුන්ගෙන් සුළු පිරිසක්‌ දිව්‍ය ලෝකෙ උපදිනවා. බහුතරයක්‌ පෙරේත ලෝකෙ උපදිනවා. මේ විදියටයි තිරිසන් ලෝකවල සතුන්ගේ චුතිය හා උත්පත්තිය සිදුවෙන්නේ.

ඊළඟට පෙරේත ලෝකෙ ඉන්න සතුන්ගෙන් සුළු පිරිසක්‌ චුතවෙලා මනුස්‌ස ලෝකෙට එනවා. බහුතරයක්‌ නිරයේ උපදිනවා. ඒ වගේම පෙරේත ලෝකෙ ඉන්න සතුන්ගෙන් සුළු පිරිසක්‌ මනුස්‌ස ලෝකෙ උපදිනවා. බහුතරයක්‌ තිරිසන් ලෝකෙ උපදිනවා. පෙරේත ලෝකේ ඉන්න සතුන්ගෙන් සුළු පිරිසක්‌ මනුස්‌ස ලෝකෙ උපදිනවා. බහුතරයක්‌ පෙරේත ලෝකෙම උපදිනවා. ඒ වගේම පෙරේත ලෝකෙ උපදින සතුන්ගෙන් සුළු පිරිසක්‌ දිව්‍ය ලෝකේ උපදිනවා. බහුතරයක්‌ නිරයේ උපදිනවා. ඒ වගේම පෙරේත ලෝකෙ උපදින සතුන්ගෙන් සුළු පිරිසක්‌ දිව්‍ය ලෝකේ උපදිනවා. බහුතරයක්‌ තිරිසන් ලෝකේ උපදිනවා. ඒ වගේම පෙරේත ලෝකේ උපදින සතුන්ගෙන් සුළු පිරිසක්‌ දිව්‍ය ලෝකෙ උපදිනවා. බහුතරයක්‌ පෙරේත ලෝකේ උපදිනවා.

මේ ආකාරයටයි සත්ත්වයන්ගේ චුතවීම උප්පත්තිය සිදුවෙන්නෙ. මෙහිදී අපිට ඉතාම හොඳින් පැහැදිලිවෙනවා ඉතා සුළු පිරිසකට තමයි දිව්‍ය, මනුෂ්‍ය ලෝකවලට එන්න ලැබෙන්නෙ. බහුතරයකට නිරය තිරිසන් ලෝකය සහ පෙරේත ලෝකයි හිමිවෙන්නේ. ඒ නිසා අපි පාපයෙන් වෙන්වෙලා කුසල් වඩා සංසාරයෙන් නිදහස්‌ වෙන්න, චතුරාර්ය සත්‍යය අවබෝධ කරගන්න මේ පොසොන් පොහෝ දිනයේදී අධිෂ්ඨාන කර ගනිමු.

පූජ්‍ය පොල්පිටිමූකලානේ පඤ්ඤාසිරි හිමි