දුටුගැමුණු රජු කල පිරිණිවන් පෑ මලියදේව හිමියන් ලංකාවේ අන්තිම රහත් තෙරනම නොවේ. සැබැවින්ම, අද වුව රහතුන් බිහි විය හැකිය. ඒ සදහා අවශ්‍ය වන්නේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ ශ්‍රී සද්ධර්මය සීල සමාධි ප්‍රඥා වශයෙන් දියුණු කොට සාක්ෂාත් කිරීමයි.

ඔබත් බුදුරදුන් පෙන්වා වදාළ උත්තම දහම් මාර්ගයේ ගමන් කරන්න


Powered by දහම් විල


ලිපි සඳහා පහත මාසය අනුව ලිපි පටුන බලන්න

ඔබ මේ යන්නේ කොහෙද?


ඔබ මේ කොහේද යන්නේ? කවුරුන් හෝ ඔබෙන් ප්‍රශ්න කළොත් ඔබේ පිළිතුර කුමක්‌ වේවිද? මම වැඩට යනවා. මම පාසල් යනවා හෝ මම කඩපොළට යනවායි ඔබේ පිළිතුර වනු ඇත. එය බොහෝ සෙයින් සෑම අයකුම දෙන පිළිතුරකි.

බුදුරජාණන් වහන්සේ දවස අලව්නුවර වැසි එක්‌තරා පේෂකර්ම දියණියකගෙන් 'ඔබ කොහේ සිට ආවේදැයි' බුදුරජාණන් වහන්සේ ඇසූ විට ප්‍රශ්නයට ඇය පිළිතුරු දුන්නේ 'නොදනිමි ස්‌වාමීනි' යනුවෙනි.

දීර්ඝ සංසාර ගමනක සියලුම දෙනාම කල් ගෙවති. මේ ගමන් මග බොහෝ විටෙක පිරී ඇත්තේ කායික හා මානසික සුවයන්ට වඩා කායික හා මානසික දුක්‌ඛයන්ගෙනි. දුගතියක නොඉපදී දිව්‍ය හා මානුෂික භවයක්‌ ලැබුණොත් සුව විඳිය හැකි නොවේදැයි යමකු ප්‍රශ්න කරනු ඇත. එහෙත් බෞද්ධ දර්ශනය අනුව සැපයි කියමින් සිතින් අල්ලා ගන්නා ඒ සියල්ල ද වහ වහා වෙනස්‌ වෙයි. කෙළවර දුක ශෝකය උරුම කොට පවතී. 

ඔබ අප කාටත් හොඳින් ප්‍රත්‍යක්‍ෂ මිනිස්‌ ජීවිතයේ ගැටලු හා දුක්‌ විපත් මේ බවට සාක්‌ෂි දරයි. අඳ, ගොළු, බිහිරි හා අංගවිකලව උප්පත්තිය ලැබුවහොත් මිනිස්‌ ජීවිතයෙන් ප්‍රයෝජන ගැනීමට අපහසු වනු ඇත. එපමණක්‌ ද නොව ජීවිතය අධර්මයට යොමුවී දුෂ්චරිතයන්ට පුරුදු වුණහොත් හා විපරිත මනසක්‌ පහළ වුවහොත් උතුම් මනුෂ්‍ය භාවයෙහි වටිනාකම ඉවත්ව යනු ඇත. එහි ප්‍රතිඵලය නම් ලද ජීවිතය දුකට පෙරළීමය.

නැවත ඉපදීම බෞද්ධ දර්ශනයේ වැදගත් ඉගැන්වීමකි. මෙම නැවත ඉපදීමට හේතුව මගේයි සිතින් අල්ලා ගනු ලබන තෘෂ්ණාව බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙති. (යායං තණ්‌හා පෝතෝභවිකා නන්දිරාග සහනතා තත්‍රතත්‍රානිනන්දතී)

නැවත ඉපදීමේ ඇති වැරැද්ද කුමක්‌දැයි ධර්මය පිළිබඳ අවබෝධයක්‌ නැති අයකු ප්‍රශ්න කරනු ඇත. නැවත ඉපදීමේ භයානක බව නම් මනුෂ්‍ය ජීවිතය අත්හැරී දුගතියකට වැටීමේ ඇති අවස්‌ථාවන් වැඩි වීමයි. මනුෂ්‍ය ජීවිතයක පරමායුෂ සාමාන්‍යයෙන් අවුරුදු සීයක්‌ නම් දුගතියක ආයු කාලය වචනයකින් කිව නොහැකි තරම් බොහෝ සෙයින් වැඩිවිය හැකිය.

බුදුරජාණන් වහන්සේ මඡ්Cධිම නිකායේ දිවේධා විතක්‌ක සූත්‍රයේ දේශනා කරනුයේ තමන් වහන්සේ තමන්ගේම දීර්ඝවූ සසර ගමන පුබ්බේනිවාසානුස්‌සති ඥානය තුළින් දුටුවා මෙන්ම චුතුපාපත ඥනය මගින් සියලු සත්වයින්ගේ සසර ගමනෙහි උපන් හා විපත් පිළිබඳව දැකිය හැකි බවයි.

එම ඥන ශක්‌තිය පිළිබඳව බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ මානය පිණිස නොවේ. සත්ත්වයන් සුචරිත මාර්ගයෙහි යෙදවීමටය.

බොහෝ සත්වයෝ සිත, කය හා වචනය දස අකුසල්වල පැවැත්වීමෙන් සසරෙහි හඬමින් හා වැළපෙමින් මහත් වූ දුකෙහි පසුවන බව එම ඉගැන්වීම් තුළින් පැහැදිලි වේ.

මෙය කියවන ඔබ මෙසේ සිතන්නට පුළුවන්. කවුද දන්නේ නැවත ඉපදීමක්‌ තිබෙනවාද නැද්ද කියලා. ඒ නිසා මේ ජීවිතයේ කොහොම හරි සතුටින් ජීවත් වෙන්නයි බලන්න ඕන. ඔබ අසා තිබෙනවාද මෙසේ කියනවා සමහර අය ගැන. 'එලොවක්‌ නැති මිනිස්‌සු මොන අපරාධයක්‌ කරල හරි තමන්ගේ වැඩේම කරගන්නයි හදන්නේ' මෙහි කියෑවෙන අදහස ගැන ඔබ මොකද හිතන්නේ? මරණය ගැන අමතක වුණාම හා පරලොවක්‌ ගැන විශ්වාසයක්‌ නැති මිනිස්‌සු හොඳින් හෝ නරකින් ජීවත්වෙන්න පටන් ගනිති.

බුදුරජාණන් වහන්සේ විසින් අවුරුදු දෙදහස්‌ පන්සිය පනස්‌ ගණනාවකට පෙර මිනිස්‌ සිත පිළිබඳ දෙසූ කරුණු වර්තමානයේත් එලෙසම ක්‍රියාත්මකය. අනිච්ච (අනිත්‍ය) නම් පදය පමණක්‌ ගෙන නුවණින් බලන්න.

ලොව ඇති පණ ඇති හා පණ නැති සියල්ලම නිරන්තර වෙනස්‌වීමකට ගොදුරු වන බව කොපමණ පැහැදිලිව වැටහේද? 

අනිත්‍ය මතුකොට පෙන්වනුයේ ජීවිතයෙහි දුකට පත්වෙමින් හඬමින් සිටින්නට නොව වෙනස්‌වන ලෝකයෙහි දැඩි ආශාවෙන්, වෛරයෙන් හා ඊර්ෂ්‍යාවන් ආදී මිනිස්‌ ජීවිතය අප්‍රසන්න කරන සිතුවිලිවලින් මනුෂ්‍ය ජීවිතය රැකගන්නටය.

සියල්ලම අනිත්‍ය බව අමතක වන විට බාහිර වස්‌තූන් වූ ගේ, දොර, ඉඩම්-කඩම්, මිල-මුදල්, යාන-වාහන, ඇඳුම්-පැළඳුම් හා රුව, රත්තරන් වෙනුවෙන් මනුෂ්‍යයන් කොපමණ නම් නපුරු වෙනවාද?

ස්‌වාමියාට බිරිඳත්, බිරිඳට ස්‌වාමියාත්, දෙමව්පියන්ට දරුවනුත්, දරුවන්ට දෙමව්පියනුත්, අවසානයේ මිනිස්‌කමත් අමතකවී රණ්‌ඩු දබර හා නඩුහබවලට පැටලී, විටෙක ඔවුනොවුන්ට හානි කරගනිමින් ජීවිතය නැතිකර ගනිති.

කරුණාව හා මෛත්‍රිය පැවැතිය යුතු සිත් තුළ රාගය, වෛරය, තරහව ආදී කෙලෙස්‌ මතු වූ විට තිරිසන් සතුන්ටත් වඩා මිනිසුන් පහතට වැටෙන බව ඔබ කොතෙකුත් අසා හා දැක තිබේද?

පසුගිය සුනාමි විපතින් මහ මුහුද හා පොරබැද දිවි ගලවා ගත් අහිංසක දියණිවරුන්ට හා මවුවරුන්ට කරදර කරන්නට තරම් යම් පුද්ගලයෙක්‌ පෙළඹුණේ, ජීවිතයත් ඒ හා බැඳී පවත්නා සියල්ලත් අනිත්‍ය බව අමතක වන්නට තරම් රාගාදී කෙලෙස්‌ ප්‍රබලව සිතට පැමිණි නිසා නොවේද? පරලොවක්‌ නැත. ඔක්‌කෝම සිදුවන්නේ මේ ලෝකයේදී පමණයි යෑයි මිථ්‍යාදෘෂ්ටි ඉගැන්වීමේ භයානක බව මේ මගින් හොඳින් වැටහෙනු ඇත. 

සියලු මිනිසුන් මවු කුස හෙවත් ගර්භාෂයෙන් මෙලොව පැමිණ කනත්තෙන් හෙවත් සොහොනෙන් ගමන අවසන් කරන බව සියලු ආගම්හි ඉගැන්වීම වේ. බෞද්ධ දර්ශනයට අනුව තෘෂ්ණාව ඉවත් නොකළහොත් නැවත ගර්භාෂයකටත් කලෙකින් පසු සොහොනකින් ගමන තාවකාලිකව අවසන්වන බව පෙන්වා අලුත් පෙනුමකින් තවත් ගර්භාෂයකට ඇතුළුවනු ඇත.

ගර්භාෂය සහ සොහොනෙන් මෙහි සංකේතවත් කරනුයේ උපත හා මරණය යි. මෙම ගර්භාෂය හා සොහොන අතර ගමනේදී කිසිදු භේදයකින් තොරව ලොව සියලු දෙනාටම මුහුණ පාන්නට සිදුවන කරුණු කිහිපයක්‌ පවතී.

එනම් ව්‍යාධීන්ට මුහුණපෑම හා දිරාගෙන යැම හෙවත් මහලු බවට පත්වීමය. සොහොන හෙවත් මරණය ඉලක්‌ක කරගෙන මේවා විශාල ගිනිකඳු ලෙසින් සියලු දෙනා වෙතට ලුහුබැඳගෙන පැමිණේ. මේවාට මුහුණ දී පරාජය කළ නොහැකිය. එමෙන්ම ඉන් පැන දිවීමට සෑහෙන වේගයක්‌ ද කිසිවකුටත් නැත මෙහිදී මනුෂ්‍යත්වයේ නාමයෙන් අපි ඉගෙන ගත යුතු පාඩමක්‌ ඇත. එනම් අපද ලෙඩවීම හෝ රෝගාතුර විය හැකි බැවින් ගිලනුන් කෙරේ කාරුණික විය යුතු බවය.

ලෙඩ රෝග කිසිවකු විසිනුත් කැමැත්තකින් බාරගන්නා දෙයක්‌ නොවේ. ඒවා අපගේ අකමැත්තෙන් හා අනවසරයෙන් ශරීරයට ඇතුළුවන ඒවාය. ඒවා නොසලකා හැරීමෙන් සිදුවන්නේ රෝගය අසාධ්‍යවීම පමණි. 'සිදුහත් කුමරුන් මෙන්ම, මමත් රෝගාතුරවීමට උරුමය' නම් වූ හැඟීමෙන් විසිරෙන සිත සන්සුන් විය යුතුය. මමත් ලෙඩ වේවි. මමත් මහලු වයසට පත්වෙනවා, මමත් කෙදිනක හෝ මැරේවි ආදී වූ සිතුවිලි මගින් ආශාවෙන්, දැඩි තෘෂ්ණාවෙන්, ආත්මාර්ථකාමී බවෙන් හා වෛරයෙන් පිරුණු සිත තරමකින් හෝ පාලනය කිරීමට ශක්‌තියක්‌ තිබේ.

වයස හා ගිලන් බව හේතුවෙන් අසරණ වන මව්පියන් හා වැඩිහිටියන් තමන්ට කරදරයක්‌ යෑයි සිතන බොහෝ තරුණ හා මධ්‍යම වයසේ පසුවන අයට, මගේ දරුවොත් මා ගැන එසේ සිතන්නට පෙළඹුණොත් මට කුමක්‌ සිතේ දැයි නොසිතන්නේ ඇයි? කාරුණික හා මෘදු හිතක්‌ තිබීම හා තරමකින් හෝ අන් අය ගැන සිතන්නට හැකිවීමත් ශරීරය දිරාගෙන ගියත් මනස නිරෝගීව පැවැතීමට හේතුවේ.

තරුණ අවදියේ දී නපුරු කෙලෙස්‌වලින් සිත පාලනය නොකොට මට සියල්ලම පුළුවනි, මම සියල්ලම දනිමි, මට කිසිවකුත් අවශ්‍ය නැත යි සිතන බොහෝ අයකුට තමන්ගේ මහලු වයස කායිකවත්, මානසිකවත් ගිනි ගොඩක්‌ වේවි.

සියල්ල අත්හැරදා සොහොනෙන් කෙළවර වන ගමනක ආශාවන් පොදි බැඳගෙන තරහවෙන් හා වෛරයෙන් පිරි අනුන්ටත්a නපුරුකම් කරමින් ගතකරන ජීවිතයක ධර්මානුකූල අර්ථයක්‌ නැත. 

සිතන්න, ගෙවෙන හැම මොහොතක්‌ම ඔබගේ ජීවිතය කෙටි කරන බව. සෙමෙන් හෝ වේගයෙන් දහම් මග ගමන් කිරීමට ඉටා ගන්න.


ආචාර්ය පූජ්‍ය මිරිස්‌සේ ධම්මික හිමි