දුටුගැමුණු රජු කල පිරිණිවන් පෑ මලියදේව හිමියන් ලංකාවේ අන්තිම රහත් තෙරනම නොවේ. සැබැවින්ම, අද වුව රහතුන් බිහි විය හැකිය. ඒ සදහා අවශ්‍ය වන්නේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ ශ්‍රී සද්ධර්මය සීල සමාධි ප්‍රඥා වශයෙන් දියුණු කොට සාක්ෂාත් කිරීමයි.

ඔබත් බුදුරදුන් පෙන්වා වදාළ උත්තම දහම් මාර්ගයේ ගමන් කරන්න


Powered by දහම් විල


ලිපි සඳහා පහත මාසය අනුව ලිපි පටුන බලන්න

සසුනට වින කරන මාර පාක්‍ෂික බණ


බෞද්ධ ධර්මය පිළිබඳ එක්‌තරා මහාචාර්යවරයකුගේ නමින් පුවත්පතක පළවූ ලිපියක කරනු සම්බන්ධයෙන් සංවේගයට පත්ව මෙම ලිපිය ඉදිරිපත් කරමි.

පිරිනිවියා වූ බුදුරජුන්ට පූජාවන් පැවැත්වීමෙන් පළක්‌ නැති බවත්, එය හින්දු දේව පූජාවන් අනුකරණයෙන් ගොඩනඟා ගත් හානිදායක චාරිත්‍රයක්‌ බවත් ඔහු සඳහන් කරයි. පළමුව බුද්ධ පූජාව යනු කුමක්‌දැයි හඳුන්වා දිය යුතුය. "බුදු පියාණන් වහන්සේ" යනු සියලු මානුෂික ගුණයන්ගේ පරිණාමයේ අග්‍රම අවස්‌ථාවය. මුදුන්මල්කඩය. සසර දුකට වැටී සිටින අප සියලු දෙනාට ඉන් එතෙර වීමේ මගද, කරුණා - මෛත්‍රී, ප්‍රඥ ආදී ගුණ, සන්තානයේ වඩවා ගැනීමය. මේ ගුණ වගාව ආරම්භ කිරීමට ඇති හොඳම ක්‍රමය, එම ගුණයන්ගෙන් පිරිපුන් උත්තමයකුගේ ගුණ අපගේ හදවතින් අගය කිරීමය. එසේ ගුණ අගය කිරීම එම උත්තරීතර ගුණයන් තමාගේ සන්තානයට ද වැඩමවා ගැනීමේ මුල් පියවරය. මෙසේ ගුණ අගය කිරීම තුන් ආකාරයකින් කළ හැකිය. එනම්, සිතෙන් කයෙන් සහ වචනයෙනි. බුද්ධ වන්දනාව සිදුකරන විට සහ බුද්ධ පූජාවන් පවත්වන විට කායිකව ද, ස්‌තූති පූජාවන් කරන විට සහ ගාථාවන් කියන විට වාචිකව ද මෙසේ බුද්ධ ගුණ ඇගයෙන අතර මනසින්ම බුදුගුණ අගය කිරීම බුද්ධානුස්‌සති භාවනාව යනුවෙන් හැඳින්වේ.

බෞද්ධයන් පූජාවන් පවත්වන්නේ තථාගතයන් වහන්සේගේ චිත්තාකර්ෂණීය ශරීරයට නම්, පරිනිර්වාණයෙන් පසු බුද්ධ පූජාවන් පැවැත්වීම නොකළ හැකි බව සැබෑය. නමුත් බුද්ධිමත් බෞද්ධයා පූජාවන් පවත්වන්නේ බුදු පියාණන් නිසරු යෑයි දෙසූ කය අරමුණුකොට නොව, බුද්ධ ගුණයන් අරමුණු කර ගනිමිනි. තම තමන්ගේ ප්‍රඥවේ තරමට, අදත් අපට බුදුගුණ මෙනෙහි කළ හැක්‌කේමය. චෛත්‍ය, බුද්ධ ප්‍රතිමාව සහ බෝධීන් වහන්සේ අනන්ත බුදුගුණ සිහිකර ගැනීම සඳහා අපට දෘශ්‍යාධාරකයන් වෙයි. අපගේ සන්තානයේ, ශ්‍රද්ධාව - වීර්ය- සතිය - සමාධිය ආදී කුසල් සිත් ජනිත කර ගැනීමට බුද්ධ පරිනිර්වාණය කවර බාධාවක්‌ ද?

දීඝ නිකායේ එන මහා පරිනිබ්බාන සූත්‍රයේදී බුදු රජාණන් වහන්සේ මෙසේ සඳහන් කළහ. "ආනන්දයෙනි, ස්‌ථූප තනා වැඳුම් පිදුම් කිරීමට සුදුසු පුද්ගලයෝ හතර දෙනෙකි. එනම් සම්මා සම්බුදු රජාණන් වහන්සේ, පසේ බුදු රජාණන් වහන්සේ, රහතන් වහන්සේ සහ සක්‌විත් රජු යන මේ සිව් දෙනාය. ආනන්දයෙනි, කවර කරුණක්‌ නිසා තථාගතයන් වහන්සේට ස්‌ථූප තනා වැඳුම් පිඳුම් කිරීමට සුදුසු වන්නේද? ආනන්දයෙනි, "මේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ස්‌ථූපයයි" සිතා බොහෝ දෙනා සිත පහදවාගෙන මරණින් මතු සුගතිගාමී වන හෙයිනි". කළ යුත්තේ බෝධි පූජා, බුද්ධ පූජා නොව, භාවනාව යෑයි කියමින් මාරසිංහ මහතාගේ ගෝත්‍රයේ පිරිස රට කළඹති. භාවනාව පිළිබඳව බුදු හිමියන් දෙසූ මහානර්ඝම සූත්‍ර රත්නයවන, සතිපට්‌ඨාන සූත්‍රයට (ම.නි) අනුව භාවනා කළ හැක්‌කේ පිළිමයක්‌ මෙන් නිසෝල්මන්ව සිටීමේදී පමණක්‌ නොවේ. යන විට එන විට, හිඳින විට, සැතපෙන විට සේම. දොඩන විට, නිහඬවන විට, ආදී සියලු අවස්‌ථාවලදී, වීර්යයෙන්, මනා නුවණින් සහ සිහියෙන් යුතුව ඒ ක්‍රියාවන් සිදුකිරීම භාවනාවයි. ඉතින්, බෝමළු අමදින විට, මල් රැස්‌ කරන විට, ගිලන්පස සකසන විට, භාවනාව වැඩීමට නොහැකිද? පහන් පුදන විට, ගාථාවන් ගයන විට භාවනාව තහනම් ද? පර්යංක භාවනාව සඳහා දෙනෙත් පියා ගන්නා සමහරු සුළු වේලාවකින්, සුව නින්දකට වැටෙති. තමන් නිදාගත් බව පිළිගන්නටත් සමහරු කැමති නොවෙති. සෑමළුව අමදින විට ඔබට බොහෝ කුසල් රැස්‌ වෙනවා පමණක්‌ නොව, නිද්‍රdව විසින් පරදවන්නටත් නොහැකි වෙයි. සාගරය ක්‍රමානුකූලව ගැඹුරු වන්නකි. එය එක්‌වන් ප්‍රපාතයකට නොයයි. පහාරාද සූත්‍රයේදී ශාසනයත් සාගරයට උපමා කරමින් බුදු සමිඳුන් පෙන්වා දෙන්නේ ක්‍රමානුකූලව ගැඹුරුවන ප්‍රතිපදාවක්‌ ඇති බව මෙම සසුනේ ආශ්චර්යවත් ලක්‍ෂණයක්‌ ලෙසය.

සාංඝික දානවලදී විවිධාකාර කැවිලි වර්ග, ගිලන්පස වර්ග සහිතව බුද්ධ පූජාව සිදු කිරීම ගැන මහැදුරුතුමා අප්‍රසාදය පළ කරයි. දන් දීම යුද්ධයක්‌ හා සමාන බව භාග්‍යවතුන් වහන්සේ දෙසූ සේක (දානඤ්ච යුද්ධඤ්ච සමානමාහු - ස.නි). පරිත්‍යාගය පහසු කටයුත්තක්‌ නොවෙයි. තමන් දන් දෙනවා තබා, සමහරුන්ට අන් අයගේ දීම ද ඉවසා ගැනීමට අපහසුය. නමුත් නුවණැති සත් පුරුෂයන් අන් අය දුන් දානයෙහි සතුටු වීම් මාත්‍රයෙන් පවා මහත් සම්පත් ලබන බව බුදු සමය හේතු සහිතව පෙන්වා දෙයි. සම්‍යයක්‌ ප්‍රඥවෙන් යුතුව බුද්ධ වන්දනාවන් සහ පූජාවන් සිදුකරන අයට මේ ජීවිතයේදීමත් බොහෝ යහපත් ප්‍රතිඵල ලැබෙන අයුරු අපි අත්දැකීමෙන්ම දනිමු. අප කළ යුත්තේ වඩා නිවැරැදිව ඒවා සිදුකරන අයුරු කියා දීම මිස, පින්කම් හෙළා දැකීම නොවෙයි. බුදු සමය වඩාත් සමීප වන්නේ දර්ශනයකට මිස ආගමකට නොවන බව සත්‍යයකි. නමුත් දර්ශනයක්‌ සාමාන්‍ය මිනිසුන්ගේ සන්තානවල ජීවමාන වන්නේද, එය මතු පරම්පරාවලට රැකෙන්නේ ද එයට අදාළ සංස්‌කෘතියක්‌ බිහිවීමෙනි. ගසක අරටුව බිහිකිරීමට ඵලද මෙහෙවරක්‌ කරන්නා සේ, සමාජ සංස්‌කෘතියේ අංග ද බුදු සමයේ රක්‍ෂණයට, පෝෂණයට අත්‍යාවශ්‍ය වෙයි. තම පියාගෙන් ලැබුණු අවවාදයක්‌ අනුව දිසා නමස්‌කාරයේ යෙදෙමින් සිටි සිඟාලක සිටු පුත්‍රයාව, බුදුරජාණන් වහන්සේ අවඥාවට ලක්‌ නොකළ සේක. උන්වහන්සේ කළේ දිසා නමස්‌කාරයට නව අර්ථකථනයක්‌ එකතු කරමින් එම තරුණයාගේ සිතත් නොරිදවා, දහමත් ඉගැන්වීමය. සැබෑ බෞද්ධයකු වීම සඳහා මොළය පමණක්‌ නොව හදවතක්‌ද ඇවැසිම වෙයි. තනි කකුලෙන් සිටගෙන ඉන්නා පුද්ගලයකු දුටුවිට අප කළ යුත්තේ අනිත් කකුලත් දිගහැර, දෙපයින්ම සිටගන්නා හැටි කියාදීම මිස, දිගහැරගත් කකුලටත් පහරදී අසරණයාව බිම හෙළීම නොවේ.

දහම් පොත් කියවන සමහරුන්, ඒවායේ දැක්‌වෙන කරුණුවලින් තමන්ගේ කෙලෙස්‌වලට පක්‍ෂ වන දේ පමණක්‌ සත්‍ය යෑයි ගෙන ස්‌වකීය මසුරුකම්, කුසීතකම්, අහංකාරකම් ආදී කෙලෙසුන්ට විරුද්ධ දේ "ඕවා පසු කාලීන අදහස්‌" යෑයි ප්‍රතික්‌ෂේප කිරීම අභාග්‍යයකි. බෞද්ධ පුණ්‍යකර්මයන් අවසානයේ "සිතින්, කයින්, වචනයෙන් වරදක්‌ සිදු වී නම් සමාවන සේක්‌වා"යි බුද්ධ රත්නයෙන් අපි ඉල්ලා සිටිමු. මහාචාර්යතුමාට, මෙය දේවවාදී ආගම්වලින් බුදු සමයට ආ හිස්‌ දෙයක්‌ ලෙස පෙනේ. දේවවාදී ආගම්වල එන පවු සමා කිරීමේ චාරිත්‍රය පවා ඒකාන්තයෙන්ම නිශ්ඵල යෑයි නිර්දය ලෙස හෙළා නොදැකිය යුතුය. එහිද එක්‌තරා මනෝවිද්‍යාත්මක වටිනාකමක්‌ පවතින බැවිනි. සිදුකළ යහපත් දේවල්වලට වඩා, ජීවිතයේ වැරදුණු තැන් පැරදුණු තැන් තදින් මතක තබා ගැනීමේ දුබලකමක්‌ පෘථග්ජන සිත්වල ඇත්තේය. මේ නිසා අප අතින් සිදු වුණු සෘණාත්මක දේවල් ගැන නිරන්තරයෙන් පසුතැවෙන විෂම චක්‍රයකට සමහරු අසුවෙති. තමන්ට හිස එසවිය හැකි බවට ආත්ම විශ්වාසයක්‌ නොමැතිකම නිසාම ඔවුහු නැවත නැවතත් අකුසලයේම අත්අඩංගුවට පත් වෙති. වැරැදි සමා කර ගැනීම, මේ ආත්ම පරාජයට තුඩු දෙන චර්යාවෙන් මිදී ධනාත්මක හැඟීම් ඇතිව, නැවුම් ගමනක්‌ ඇරඹීමට කෙනෙකුට දිරි දෙයි. බෞද්ධ සන්දර්භය තුළ විශාල නිහතමානී බවක්‌ ද ප්‍රකට කරන ත්‍රිවිධ රත්නය ක්‍ෂමා කරවා ගැනීම සිදුකළ යුත්තේමය.

බුදු සසුනේ සමහර අංශ තේරුම් ගැනීම සඳහා තර්ක බුද්ධිය පමණක්‌ නොව අධ්‍යාත්මික බුද්ධිය ද අත්‍යවශ්‍ය වෙයි. එම නිසා මෙවැනි ගැටලු විස¹ ගැනීමේදී අප අනුගමනය කළ යුත්තේ ශාස්‌ත්‍රීය ප්‍රවේශයකින් පමණක්‌ බුදු සමය හඳුනා ගත් උගතුන්ගේ මඟ නොව, පොතපතින් උගත් දේ භාවනාමය ප්‍රඥවෙන් පත්‍රක්‍ෂ කරගත්, අති පූජනීය රේරුකානේ චන්දවිමල නාහිමි, බළංගොඩ ආනන්ද මෛත්‍රීය නාහිමි වැනි සංඝ පීතෘන් වහන්සේලා වැඩිය මගයි.

ශාස්‌ත්‍රපති මත්තුමගල චන්දානන්ද හිමි,
බෞද්ධ උපදේශක, ඇල්බර්ටා විශ්වවිද්‍යාලය, 
කැනඩාව