දුටුගැමුණු රජු කල පිරිණිවන් පෑ මලියදේව හිමියන් ලංකාවේ අන්තිම රහත් තෙරනම නොවේ. සැබැවින්ම, අද වුව රහතුන් බිහි විය හැකිය. ඒ සදහා අවශ්‍ය වන්නේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ ශ්‍රී සද්ධර්මය සීල සමාධි ප්‍රඥා වශයෙන් දියුණු කොට සාක්ෂාත් කිරීමයි.

ඔබත් බුදුරදුන් පෙන්වා වදාළ උත්තම දහම් මාර්ගයේ ගමන් කරන්න


Powered by දහම් විල


ලිපි සඳහා පහත මාසය අනුව ලිපි පටුන බලන්න

සංස්කාර

පොල්ගහවෙල මහමෙවුනා භාවනා අසපු නිර්මාතෘ 
කිරිබත්ගොඩ 
ඤාණානන්ද හිමි

අප ඔබට පැහැදිලි කරදීමට බලාපොරොත්තු වන්නේ ‘අවිජ්ජා පච්චයා සංඛාරා, සංඛාර පච්චයා විඤ්ඤාණං’ යනුවෙන් පටිච්ච සමුප්පාදයේ සඳහන් වන සංස්කාර පිළිබඳවයි.
පින්වත් මහණෙනි, සංස්කාර යනු මොනවාද? පින්වත් මහණෙනි, සංස්කාර තුනක් තිබේ. එනම් කාය සංස්කාර, වචි සංස්කාර, චිත්ත සංස්කාර වශයෙනි.
කාය සංස්කාර කියා කියන්නේ ආශ්වාස ප්‍රශ්වාස දෙකටයි. මේ ආශ්වාස ප්‍රශ්වාස දෙකට කාය සංස්කාර කියල කියන්නේ කය හා බැඳිල තිබෙන නිසා.
අප වචන කතා කරන විට වචන හා බැඳී තිබෙන දෙයට කියනවා වචී සංස්කාර කියා. වචනයක් කතා කරන්න කලින් ඒ වචනය අපේ මනස ඇතුළේ හැදෙන්න ඕන. එහෙම හැදුනේ නැත්තම් අපට කතා කරන්න බැහැ. අප මෙහෙම හිතමු. අප ළඟ ඉන්නවා හින්දි කතා කරන කෙනෙක්, අපට හින්දි කතා කරන්න බැහැ. කෙනෙක් සිංහලෙන් කතා කරනවා. අන්න ඒ වෙලාවට අපට සිංහල වචන එනවා. වචි සංස්කාර ගොනු කරලා තියෙන හැටියට තමයි සකස් වෙන්නේ.
චිත්ත සංස්කාර කියා කියන්නේ සංඥා, වේදනා දෙකට, මේ ඔක්කොම අවිද්‍යා සහගතයි. කය පිළිබඳව අපට අවිද්‍යාවක් තියෙනවා. කය පිළිබඳ අවිද්‍යාව ප්‍රහාණය වෙන්නේ කායානුපස්සනාවෙන්. කායානුපස්සනා භාවනාව නො කළොත් කය පිළිබඳව තිබෙන අවිද්‍යාව ප්‍රහාණය වෙන්නෙ නැහැ. එවිට කය පිළිබඳව අපිට අවිද්‍යාවක් තියෙනව නම්, අවිද්‍යාව සහිතව, අවිද්‍යා සහගත කයක් පවත්වන කෙනෙකුට ආශ්වාස, ප්‍රශ්වාසවලට විතරක් විද්‍යාව පහළ වෙනවද? අවිද්‍යා සහගත කයක් පවත්වන කෙනෙකුට ආශ්වාස ප්‍රශ්වාසයත් ඒ කය හා ප්‍රතිබද්ධයි. ඒ නිසා ඔහුට ඒ ආශ්වාස ප්‍රශ්වාස තියෙන්නෙත් අවිද්‍යා සහගතවම යි.
වචන කතා කරන කෙනෙකුට ඒ වචනයේ අවිද්‍යාව නැත්නම්, වචී සංස්කාරවල අවිද්‍යාව නැත්නම් බොරු කියන්නෙ නැහැ. රහතන් වහන්සේ බොරුව, කේළම, පරුෂ වචනය, හිස් වචනය කියන්නේ නැහැ. හේතුව තමාගේ වචී සංස්කාරවල අවිද්‍යාව නැහැ. වචි සංස්කාර වල අවිද්‍යාව තිබෙන එක්කෙනා අවිද්‍යා සහගතව නම් ඔහුගේ ජීවිතය පවත්වන්නේ ඔහු සිතන විදිහ තුළ බොරුව, කේලම, පරුෂ වචන, හිස් වචන කියැවෙනවා. මේ සිද්ධ වෙන්නේ, සකස් වෙන්නේ අවිද්‍යාවෙන්ම යි.
චිත්ත සංඛාර කෙළින්ම අවිද්‍යාව එක්ක සම්බන්ධයි. සඤ්ඤා විපල්ලාස කියා වචනයක් ධර්මයේ සඳහන් වෙනවා. ඒ කියන්නේ විපරීත වූ හඳුනා ගැනීම. අසුබ දේ අප හඳුනාගන්නේ සුබ වශයෙන්. ඒ වගේම දුක් දේ හඳුනාගෙන ඉන්නේ සැප වශයෙන්. අනිත්‍ය දේ නිත්‍ය විදිහටයි හඳුනා ගන්නේ. ඒ වගේම තමාගේ වසඟයෙහි පැවැත්විය නොහැකි අනාත්ම දේ අපි හඳුනාගෙන ඉන්නේ මම, මගේ, මගේ ආත්මය වශයෙන් ඒක තමයි අවිද්‍යාව. එබඳු මුලා වූ හඳුනා ගැනීමක් සමඟ යමක් විඳිනවා නම් එතැන මුලා වූ විඳීමක් තමා තිබෙන්නේ.
ආශ්වාස– ප්‍රශ්වාස කියන කාය සංඛාරත්, විතක්ක – විචාර කියන වචී සංඛාරත්, සඤ්ඤා –වේදනා කියන චිත්ත සංඛාරත් යන මේ සංස්කාරයන් පෘථග්ජන සත්වයා තුළ ක්‍රියාත්මක වෙන්නේ අවිද්‍යාවෙන් යුක්තවයි. නමුත් කෙනෙක් භාවනා කිරීමේ දී මේ සංස්කාරයන්ගේ යම් යම් සංසිඳීම් ඇතිවෙනවා. එපමණකින් අවිද්‍යාව නැති වෙන්නෙ නැහැ.
අප සිතමු කෙනෙක් සමාධිය දියුණු කරලා පළවෙනි ධ්‍යානය ඇති කර ගන්නවා. එතකොට පංචනීවරණ නැතිවෙන ආකාරයට විතක්ක විචාර පවත්වනවා. ඒ ආකාරයට සඤ්ඤාවක් පුරුදු කරනවා. එවිට ඔහු ඊට අදාළ පිළිවෙළට තමයි විතක්ක විචාරය හසුරුවන්නේ. ඊට ගැළපෙන වචන තමයි මනසිකාර කරන්නේ.
ඒ පුද්ගලයා අර වචන ඇසුරෙන් තමා අරමුණු ගන්නේ. එතකොට විතක්ක විචාර තිබෙනවා. ඒ නිසාම හිත යම් යම් අවස්ථාවලදී බාහිර අරමුණු වල හැසිරෙන්න පුළුවන්. එතකොට විතක්ක විචාරවල ආදීනව සලකලා දෙවන ධ්‍යානය දියුණු කරනවා. දෙවන ධ්‍යානය දියුණු කරන විට ඒ දෙවන ධ්‍යානය තුළ විතක්ක විචාර සංසිඳුවාගෙන ඉන්න පුළුවන්. නමුත් අවිද්‍යාව නැතිවෙන්නෙ නෑහැ. තුන් වෙනි ධ්‍යානය, හතරවෙනි ධ්‍යානය දියුණු කරනවා. සතරවෙනි ධ්‍යානයේ දී ආශ්වාස ප්‍රශ්වාස සංසිඳෙනවා. ඒත් අවිද්‍යාව නැති වෙන්නේ නැහැ.
ඊට පස්සේ අරූප ධ්‍යාන දියුණු කරල විදර්ශනා ප්‍රඥාව දියුණු කරන අයට පුළුවන්කම තියෙනවා. සඤ්ඤා වේදනා දෙක නිරුද්ධ කර නිරෝධ සමාපත්තියට සමවදින්න. මේ නිරෝධ සමාපත්තියට සමවදින්නෙ චතුරාර්ය සත්‍යය අවබෝධ කළ උත්තමයින්. මේ නිසා මේ අවිද්‍යාව ප්‍රහාණය කිරීමෙන් තමයි ඒ සංස්කාර සහමුලින්ම නැති වෙන්නේ.
ඒ නිසා චතුරාර්ය සත්‍යාවබෝධයකින් තොරව තමයි කෙනෙක් ආශ්වාස ප්‍රශ්වාස කරන්නේ චතුරාර්ය සත්‍යය අවබෝධයෙන් තොරව කයත් පවත්වනවා කියන එක තමයි එහි තේරුම. චතුරාර්ය සත්‍යය අවබෝධයෙන් තොරව වචන පාවිච්චි කරන කෙනා තුළත්, චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් තොරව හඳුනා ගැනීම, විඳීම සිදුකරන එක්කෙනා තුළත් අවිද්‍යා සහගත විඤ්ඤාණයක්මයි හටගන්නේ.
එවිට ඇසෙන් රූපයක් බලන විට අවිද්‍යා සහගත විඤ්ඤාණයක් තමා මේ ඇසේ හටගන්නේ. කනෙන් ශබ්දයක් අහනකොට අවිද්‍යා සහගත විඤ්ඤාණයක් තමා කණේ හටගන්නේ. නාසයෙන් ආඝ්‍රාහණය කරනකොට අවිද්‍යා සහගත විඤ්ඤාණයක් හට ගන්නේ. දිවෙන් රස විඳිනකොට, කයෙන් පහස ලබන කොට අවිද්‍යා සහගත විඤ්ඤාණයක් තමා හටගන්නේ. එහෙම නම් අවිද්‍යා සහගත විඤ්ඤාණයක් අවිද්‍යා සහගත විඤ්ඤාණයක් හටගත්ත ගමන් එතැන ඇතිවෙන ස්පර්ශය, අවිද්‍යා සහගතයි. ඇසයි, රූපයයි, විඤ්ඤාණයයි එකතුවීම අවිද්‍යා සහගතයි. කණයි, ශබ්දයයි, විඤ්ඤාණයයි එකතුවීම අවිද්‍යා සහගතයි. නාසයයි, ගඳ සුවඳයි, විඤ්ඤාණයයි එකතු වීම අවිද්‍යා සහගතයි. දිවය, රසයයි, විඤ්ඤාණයයි එකතුවීම අවිද්‍යා සහගතයි, කයයි, පහසයි, විඤ්ඤාණයයි එකතු වීම අවිද්‍යා සහගතයි. මනසයි, අරමුණුයි, විඤ්ඤාණයයි එකතු වීම අවිද්‍යා සහගතයි.
අප දන්නවා මේ ඇස, කන, නාසය, දිව, කය, මනස කියන ආයතන හැදී තියෙන්නෙ නාමරූපවලින්. මේ විඤ්ඤාණය අවිද්‍යා සහගතවීම නිසාම විඤ්ඤාණය එකතු වෙලා හටගන්න නාමරූප සියල්ල අවිද්‍යා සහගතයි. එතකොට අවිද්‍යා සහගත සංස්කාර, අවිද්‍යා සහගත විඤ්ඤාණ, අවිද්‍යාවෙන් යුක්ත ආයතන හයක්, අවිද්‍යා සහගත ස්පර්ශයක් තිබෙනවා. අවිද්‍යා සහගත විඳීමක් හටගන්න කොට අවබෝධයක් නැති නිසා ඇලෙනවා. ඇලුන ගමන් බැඳෙනවා. කාමයන්ට බැඳෙනවා. දෘෂ්ටිවලට, මතවාද වලට බැඳෙනවා. මම, මාගේ, මාගේ ආත්මය කියන හැඟීමකට බැදෙනවා.ඒ තණ්හාවෙන් යුක්ත බැඳීම තුළ යම් චේතනාවක් පහළ කරනවද, චේතනාවක් පහළ කරල යම් කර්මයක් කරනවාද? එතකොට විපාක පිණිස කර්ම සකස් වෙනවා. ඒකට තමයි භවය කියලා කියන්නේ.
භවය හැදුන විට එක්කෝ ඔහුට කාම භවය තුළ විපාක විඳින්න තියෙන්නෙ නිරයේ නම්, තිරිසන් ලෝකයේ නම්, මිනිස් ලෝකයේ නම් ඒ විදිහට හැදෙනවා. රූප භවය තුළ ඒ ඒ ලෝකවල විඳින්න නම් විපාක තියෙන්නේ ඒ විදිහට හැදෙනවා. අරූප භවය තුළ විපාක විඳින්න තියෙන්නේ ඒ විදිහට නම් ඒ විදිහටත් හැදෙනවා. ආයෙත් උපතක් කරා යනවා.
බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා අවිද්‍යාව නිසා සංස්කාර හටගන්නවා. සංස්කාර නිසා විඤ්ඤාණය හටගන්නවා. විඤ්ඤාණය නිසා නාමරූප හටගන්නවා, නාමරූප නිසා සළායතන හටගන්නවා, සළායතන නිසා ස්පර්ශය හටගන්නවා, ස්පර්ශය නිසා වේදනාව හටගන්නවා, වේදනාව නියා තණ්හාව හටගන්නවා, තණ්හාව නිසා උපාදාන හටගන්නවා, උපාදාන නිසා භවය හටගන්නවා, භවය නිසා ඉපදෙනවා. ඉපදීම නිසා ජරා, මරණ, ශෝක වැළපීම්, දුක, දොම්නස් හට ගන්නවා කියා.
මේ නිසා සංස්කාර කියන වචනය යෙදෙන ඕනෑම තැනක් ගත්තොත් ඒවා පුඤ්ඤාභිසංඛාර, අපුඤ්ඤාභි සංඛාර, හෝ අනෙඤ්ජාභි සංඛාර වේවා අවිද්‍යා සහගතයි. කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාර, අවිද්‍යා සහගතයි, රූප සංචේතනා, ශබ්ද සංචේතනා, ගන්ද සංචේතනා, රස සංචේතනා, පොට්ඨබ්බ සංචේතනා, ධම්ම සංචේතනා ගත්තත් අවිද්‍යා සහගතයි. එහෙම නම් අවිද්‍යා සහගත බව නැතිවෙන්න නම් චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නම ඕන.
රහතන් වහන්සේ නමක් ආශ්වාස ප්‍රශ්වාස කරනවා නමුත් අවිද්‍යාව නැති නිසා අවිද්‍යාව සහගත කාය සංස්කාරයක් නැහැ. උන්වහන්සේ විතක්ක විචාර කරනවා. නමුත් අවිද්‍යාව නැති නිසා වචනයෙන් කිසිම කර්මයක් රැස් වෙන්නේ නැහැ. රහතන් වහන්සේ නමකට සඤ්ඤා. වේදනා. චිත්ත සංඛාර ඇතිවෙනවා. අවිද්‍යා සහගත සඤ්ඤාව කෙරෙහි මුලාවෙලත් නැහැ. විඳීම කෙරෙහි මුලාවෙලත් නැහැ. ඒ කියන්නේ කාය ප්‍රතිබද්ධ වූ අවිද්‍යාවක් නැහැ රහතන් වහන්සේට පටිච්ච සමුප්පාදය නිරුද්ධයි.
ඒ නිසා අපට වුවමනා කරන්නේ අවිද්‍යාවෙන් තොර වූ කයක් පවත්වන්න නම් එදාට අපේ ආශ්වාස ප්‍රශ්වාසයෙන් අවිද්‍යාව නැහැ. අපට ඕනෙ අවිද්‍යාවෙන් තොර වචන පවත්වන්න නම් එදාට අපේ විතක්ක විචාර වල අවිද්‍යාව ඇතිවෙන්නෙ නැහැ. අපිට වුවමනා වෙන්නෙ අවිද්‍යාවෙන් තොර සිතක් පවත්වන්න නම් එදාට අපිට අවිද්‍යා සහගත සඤ්ඤා, වේදනා ඇති වෙන්නේ නැහැ. අවිද්‍යා සහගත සිතක් නැතිනම් මොකද වෙන්නේ? ඒ සිත සියලු ආශ්‍රවයන්ගෙන් නිදහස් වෙනවා. අවිද්‍යාව දුරු වූ ගමන් ආශ්‍රවයන්ගෙන් නිදහස් වෙනවා.
පැහැදිලිව තේරුම් ගත්තොත් ඔබට තේරුම් යාවි නියම විදිහට ධර්මයේ හැසිරෙද්දී මේ අවිද්‍යාව වචී සංස්කාරවල ක්‍රියාත්මක වෙන හැටි. ඔබට ධර්මයේ හැසිරෙද්දී තේරුම් යාවි කය කෙරෙහි කොච්චර අවිද්‍යාව තියෙනවද කියල. ඊළඟට ඔබ තේරුම් ගනීවි මේ ආශ්වාස ප්‍රශ්වාස අවිද්‍යාව හා සම්බන්ධයි කියල ආශ්වාස ප්‍රශ්වාස අවිද්‍යා සහගතයි. ඒ වගේම විතක්ක විචාර අවිද්‍යා සහගතයි.
මේ චතුරාර්ය සත්‍යය අවබෝධ වෙනකොට මේ කය පිළිබඳව අවිද්‍යාවෙන් නිදහස් වෙනකොට ඔබේ විඤ්ඤාණය අවිද්‍යා සහගත වෙන්නෙ නැහැ කියා ඔබ තේරුම් ගනීවි. එවිට විඤ්ඤාණය උපතක් කරා සකස් වෙන්නේ නැතිව පිරිනිවන් පානවා.