දුටුගැමුණු රජු කල පිරිණිවන් පෑ මලියදේව හිමියන් ලංකාවේ අන්තිම රහත් තෙරනම නොවේ. සැබැවින්ම, අද වුව රහතුන් බිහි විය හැකිය. ඒ සදහා අවශ්‍ය වන්නේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ ශ්‍රී සද්ධර්මය සීල සමාධි ප්‍රඥා වශයෙන් දියුණු කොට සාක්ෂාත් කිරීමයි.

ඔබත් බුදුරදුන් පෙන්වා වදාළ උත්තම දහම් මාර්ගයේ ගමන් කරන්න


Powered by දහම් විල


ලිපි සඳහා පහත මාසය අනුව ලිපි පටුන බලන්න

සමාජය සරු කරන බෞද්ධ ආචාර ධර්ම

වාරියපොල ශ්‍රී සුමංගල පිරිවෙන් 
රාජමහා විහාරාධිපති, 
තුඹුල්ලේ සීලක්ඛන්ධ නා හිමි

සාමාන්‍ය සරල අදහස අනුව බලන විට “ආචාර” යනු හැසිරීම යි. ඒ වුණත් “ආචාර ධර්ම” යන වචනයෙන් අදහස් කරන්නේ ඊට වඩා පුළුල් වූ අර්ථයක්. එනම් යහපත් හැසිරීමට අවශ්‍ය කරන ගුණාංග මොනවා ද යන්න ආචාර ධර්මවලින් අදහස් කරනවා. මේ අදහසට විරුද්ධ වචනාර්ථය විමසූවිට එහි අර්ථය වඩාත් තේරුම් ගන්නට පුළුවනි. එනම් “අනාචාර ධර්ම” යන වචනය යි. මේ වචනය කියන විට ම අපට වැටහෙනවා අයහපත් අසාර්ථක, විෂමාචාර, විලිබිය නැති හැසිරීම එයින් අදහස් කරන බව.

“ආචාර” යන වචනයේ අර්ථය තවදුරටත් වැඩි දියුණු කරන වචනයකි. “සදාචාර” යන්න මිනිසාට උසස් මනසක් තිබෙනවා. ඒ නිසා ම “මනුස්ස” යන වචනය නිර්මාණය වී තිබෙනවා. මනසේ උසස් බවක් තිබීම මිනිසා ට ඇති මූලික ම ලක්ෂණයක්. ඉතින් මේ මනස උසස් බවට පත් කරන්නේ මිනිසාට වෙනත් සතුන්ට වඩා උසස් ලෙස මනස මෙහෙයවීමට ඇති හැකියාව නිසයි. තිරිසන්ගත සතුන්ට ඔවුන් සතු මනස උසස් බවට පත් කරගැනීමට හැකියාවක් නැහැ. මිනිසාට ඒ ශක්තිය තිබෙනවා.
මව්පියන් “මුල්ගුරුවරුන්” වශයෙන් සලකා ඔවුන්ගෙන් ලබා ගන්නා දැනමුතුකම්වලින් වගේ ම ගමේ පන්සලෙන්, පාසලෙන්, පසුව සමාජයෙන්, ඇසුරට පත්වන කල්‍යාණමිත්‍රයන්ගෙන් තමන් අදහන ආගම ධර්මයෙන් ලබා ගන්නා දැනුමෙන් ශක්තියෙන් ඒ මනස උසස් තත්වයට පත් කර ගැනීමේ අපූරු ශක්තිය උරුම වී තිබෙනවා. ඒ නිසා මව්පියන්, වැඩිහිටියන්, පවුලේ දෙටු සහෝදර සහෝදරියන්, වෙතින්, ගමේ පන්සලෙන් මේ ආචාරධර්ම දරුවන්ට හුරු කරවීමේ වගකිම මැනවින් ඉටු කිරීම අවශ්‍ය වෙනවා.
මිනිසාට උරුම වී ඇති “ආචාර ධර්ම“ ශක්තිමත් කරන ප්‍රධානම බලවේගය ලෙස ”හිරි හා ඔත්තප්ප” යන චෛතසික දෙක පෙන්වා දෙන්නට පුළුවනි. “හිරි” කියලා කියන්නේ අයහපත්, අසත්පුරුෂ, ලජ්ජාව, සමාජයේ පිළිකුල ඇති කරන යමක් කිරීමට ඇති අකැමැත්ත යි. ඔත්තප්ප කියන්නේ එවැන්නක් කිරීමට ඇති භයයි. මේ හිරි ඔතප් යන දෙක “ලෝකපාලක” ධර්ම ලෙසත් අපේ ධර්මයෙහි සඳහන් වෙනවා.
අද ලෝකයේ සම්මත හැසිරීම් රටා පහක් වශයෙන් පන්සිල් මගින් කියවෙන ගුණධර්ම පිළිබඳව සඳහන් කරන්නට පුළුවන්. මේ පන්සිල්වලින් කියවෙන ගුණධර්ම යම් සමාජයක ක්‍රියාත්මක වෙනවා නම් ඒ සමාජයේ මනා ආචාර ධර්ම රාශියක් ගොඩ නැගී තිබීමේ ඉඩකඩ තිබෙන්නට පුළුවනි. කෙසේ වුවත් මූලික වශයෙන් මේ ආචාරධර්ම පිළිබඳ අවබෝධයක් ඕනෑම අයෙකු විසින් මුලින් ම ලබා ගන්නේ අපේ මව්පියන්ගෙන්. ඒ අය දරුවාට මුලින් කියලා දෙනවා සමාජයේ ශිෂ්ට සම්මත ලෙස අප ජිවත් විය යුත්තේ කොහොම ද? කියලා. බුදුදහමේ මව්පියන් දරුවාගේ “ මුල්ගුරු” නාමයෙන් බුහුමන් ලබන්නේ පාසැලේ දී මෙන් පොත පත ශබ්ද ශාස්ත්‍රය කියාදීමෙන් නොව ජීවත් වෙන කලාව පිළිබඳ මුල් පාඩම් කීපය කියා දෙනවා කියන අර්ථයෙනු යි. ඒ අනුව බෞද්ධ සමාජ පරිසරයන්ඇති ගෙදරක නම් දරුවාට වැඩිහිටියන් කවු ද? වැඩි හිටි සහෝදරයන්, සහෝදරියන් කෙබඳු අය ද? අම්මා, තාත්තා කියන්නේ කෙබඳු දෙදෙනෙක් ද? ඒ අයට කථාබහ කරන විධිය කෙසේ ද? ඒ වගේ ම ඒ වැඩිහිටි ගුරුවර දෙමාපියන් ඉදිරියෙහි කථාබහ කරන පිළිවෙල, ඉරියව් පැවැත්විය යුතු පිළිවෙළ යන මේ ආදි හැම දෙයක්මත් දරුවාට කියලා, වටහලා දෙන්නේ මේ මුල්ගුරුවරු කියන මව්පියන් විසිනු යි.
ඉන් පස්සේ බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම්වලට අනුව මේ ආචාර ධර්ම පිළිබඳව අවබෝධයක් ලැබීමට අපි මෙතැන් සිට උත්සාහ කරමු. බුදුරජාණන් වහන්සේ ගිහි පැවිදි අප හැම දෙනාට ම පැහැදිලි කර දී තියෙන “වත්” කියන කොටසට තමා මේ ආචාර ධර්ම අයත් වන්නේ. මේ වත් පිළිබඳව අප තේරුම්ගත යුතු වන්නේ භික්ෂූන් වහන්සේගේ පැත්තෙන් ගත්තහම අද දවසේ පැවිදි බවට පත්වන අයගේ සිට ආචාර්ය උපාධ්‍යාය වශයෙන් ශාසනයේ ඉහළම තනතුරු දරන භික්ෂූන් වහන්සේ කියන මේ හැම දෙනාම මේ වත් අනුගමනය කළයුතු වෙනවා.
අපේ විනයෙහි සඳහන් වත් සම්පූර්ණ නො කරන භික්ෂුව ශිලය සම්පූර්ණ කරන්නේ නැහැ. ශීලවන්ත භාවයෙන් ගිලිහුණු පුද්ගලයා නුවණ ඇති අයෙකු බවට පත් වන්නේ නැහැ. ඒ නුවණ නැති තැනැත්තා ට සිත එකඟ කර ගැනීමේ ශක්තියක් නැහැ.
මේ නිසා ආචාර ධර්ම කියන්නේ සීලය ශක්තිමත් කරන පොදු දෛනික පැවැත්ම පිළිබඳ සිරිත් සමුදායක් කියා කීවොත් නිවැරැදියි. බුදුරජාණන් වහන්සේ මහාවග්ගපාලියේ දී විශේෂයෙන් භික්ෂූන් වහන්සේගේ මනා පැවැත්ම අරමුණු කොට ගෙන පෙන්වා දී ඇති වත් සමූහයක් තිබෙනවා. මේවා ආගන්තුක වත, ආවාසික වත, පිණ්ඩචාරික වත, සේනාසන වත, ආරඤ්ඤක වත, අනුමෝදනා වත, භත්තග්ග වත, ජන්තාගර වත, වච්චකුටි වත, ආචරිය වත, උපජ්ඣාය වත, සද්ධිවිහාරික වත, අන්තේවාසික වත කියා 14 ක් වෙනවා. මේ වත් භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් දේශනා කර ඇතත් මෙහි එන බොහෝ වත්සිරිත් ගිහි ජීවිතය ගත කරන අයට වුව ද අතිශයින් වැදගත් වේ. නිදසුනක් වශයෙන් ආගන්තුකයෙක් තමන්ගේ නිවසකට පැමිණි විට ඒ ආගන්තුකයා විසින් පිළිපැදිය යුතු ආචාරධර්ම එයින් විස්තර වෙනවා. ආගන්තුකයා පාවහන් පැළඳ ආවේ නම් ඒවා ඉවත් කර, කුඩ ඉහළාගෙන ආවේ නම් ඒවා හකුලා හිස්වැසුමක් දරා ආවේ නම් එය ඉවත ලා සන්සුන් ව ඒ නිවසට පිවිසීම මෙහි මූලික වශයෙන් අනුගමනය කළ යුතු පිළිවෙල යි. දැන් මේ පිළිවෙල භික්ෂූන් වහන්සේ නමක් කිසියම් පන්සලකට පැමිණෙන විට අනුගමනය කළයුතු ක්‍රියා පිළිවෙල වුණත් එය ගිහි ජීවිතයක් ගත කරන කෙනෙකුට වුව කෙතරම් ආචාරශීලි වෙනවා ද? යන්න අපට අවබෝධ කර ගැනිම අපහසු වන්නේ නැහැ.
මේ අතර බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේ යම් යම් චර්යාවන් පවත්වන විට හික්මවිය යුතු ආකාරය කෙලෙස ද? යන්න පිළිබඳව විස්තර කරන තවත් වත් සමූහයක් “සේඛියා” යනුවෙන් ධර්මයෙහි විස්තර කර තිබෙනවා. මෙහි භික්ෂූන් වහන්සේ විසින් දන් වළඳන අවස්ථාවේ අනුගමනය කළ යුතු ආචාර ධර්ම 30 ක් දක්වා තිබෙනවා.
ආහාර ගනිමින් කථාබස් හි යෙදීම, ආහාර කටට විසිකරමින් ආහාර ගැනීම, වානරයා වාගේ ආහාර හක්කේ පුරවා ගනිමින් ආහාර ගැනීම, බත්සුළු අවට විසුරුවමින් ආහාර ගැනීම ආදී මේ කරුණු භික්ෂූන් වහන්සේ සඳහා දේශනා කර තිබුණත් ගිහි සමාජයේ මනා පැවැත්මට කොතරම් දුරට වටිනා ආචාර ධර්ම පද්ධතියක් ද? යන්න සිතා ගත හැකිය. මෙහි එන මළමූත්‍ර පහ කිරීම පිළිබඳ නියමයන් දෙස බලන විට වැඩෙන තණකොළ මත මළමූත්‍ර පහකිරීම, ගහක් මතට වුව ද කෙළ ගැසීම, පරිභෝගයට සුදුසු ජලයෙහි මළමුත්‍ර පහ කිරීම, කෙළ ගැසීම නො කළ යුතු බව, ආදි කරුණු දෙස බලන විට මෙවැනි ආචාර ධර්ම මගින් ස්වාභාවික පරිසරයට හානියක් නොවන පරිදි, වටිනා සම්පතක් වන ජල සම්පතට හානියක් නො වන පරිදි අප ක්‍රියා කළ යුතු ආකාරය ගිහි සමාජයේ වුව ද මනා පැවැත්මට කෙතරම් හේතුවනවා ද යන්න පැහැදිලි වේ. මේ සේඛියා මගින් භික්ෂුන් වහන්සේගේ ආචාරාත්මක පැවැත්ම ශක්තිමත් වන්නා සේ ගිහි ජනයා වුව ද තමන්ට ගැලපෙන ආකාරයෙන් එම නියමයන් භාවිත කිරීම ශිෂ්ට සම්මත සමාජයේ යහ පැවැත්මට මහෝපකාරි වෙනවා යන්න අමුතුවෙන් සඳහන් කළ යුතු නැහැ.
මේ අතර බුදු රජාණන් වහන්සේ “සිඟාලෝවාද සූත්‍රයේ”සදිසා නමස්කාරය අර්ථවත් කරමින් දේශනා කර ඇති කරුණුවල දී ගිහි විනය පිළිබඳ වැදගත් ආචාර ධර්ම රාශියක් ම ඉදිරිපත් වේ. ඒවා හි ඇත්තේ බොහොමයක් ආචාර ධර්ම යි. එහි දී නැගෙනහිර දිසාවට වැටෙන මව්පියන්ට, මව්පියන් විසින් දරුවන්ට, ශිෂ්‍යයන් විසින් දකුණු දිසාවට වැටෙන ගුරුවරුන්ට, ගුරුවරුන් විසින් ශිෂ්‍ය දරුවන්ට, ස්වාමියා විසින් බටහිර දිසාවට වැටෙන භාර්යාවට, කුලපුත්‍රයන් විසින් උතුරු දිසාවට වැටෙන මිත්‍රාමාත්‍යවරුන්ට, ස්වාමියා විසින් යට දිසාවට වැටෙන දැසි දස් කම්කරුවන්ට, දැසි දස් කම්කරුවන් විසින් ස්වාමිවරුන්ට, කුලපුත්‍රයා විසින් උඩ සිටින ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට ආදි වශයෙන් කළයුතු යුතුකම් හා වගකීම් රැසක් විස්තර වෙනවා.
මේවාත් බොහොමයක් සමාජයේ පැවැත්ම සරු කරන ආචාරධර්ම ගණයට යි වැටෙන්නේ. කොහොම වුණත් මේ ආචාර නිසා සමාජය සරු වෙනවා. සරු දේ සරු ලෙසත් නිසරු දේ නිසරු ලෙසත් දකිමින් අසාර දෙයින් සාර දේ වෙන් කර ගෙන තමන්ගේ ජිවිත සරුසාර කර ගැනීමේ වෑයමේ දී මේ සාර කොටසට වැටෙන ආචාර ධර්ම පුද්ගලයාගේ ජීවන පැවැත්ම ඔප් නංවන සැරසිල්ලක් හා සමාන වෙනවා. මංගල, පරාභව, වසල, කරණියමෙත්ත සූත්ත වැනි බෞද්ධ ඉගැන්වීම් රාශියකම මේ ආචාර ධර්ම ගණයට වැටෙන කරුණු විස්තර වෙන බව පෙන්වා දෙන්නට පුළුවනි.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤