දුටුගැමුණු රජු කල පිරිණිවන් පෑ මලියදේව හිමියන් ලංකාවේ අන්තිම රහත් තෙරනම නොවේ. සැබැවින්ම, අද වුව රහතුන් බිහි විය හැකිය. ඒ සදහා අවශ්‍ය වන්නේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ ශ්‍රී සද්ධර්මය සීල සමාධි ප්‍රඥා වශයෙන් දියුණු කොට සාක්ෂාත් කිරීමයි.

ඔබත් බුදුරදුන් පෙන්වා වදාළ උත්තම දහම් මාර්ගයේ ගමන් කරන්න


Powered by දහම් විල


ලිපි සඳහා පහත මාසය අනුව ලිපි පටුන බලන්න

සසල කරන අරමුණු හමුවේ නිසලව සිටීම උතුම්ය

අප කවුරුත් උපත ලබන මොහොතේ දී අපගේ සිත පිවිතුරු ය .පැහැපත්ය. බිලිඳු දරුවකුගේ සුන්දර බව,අව්‍යාජ බව දක්නට ලැබෙන්නේ ඔහුගේ සිතෙහි පවතින එම පවිත්‍රතාවය හේතුවෙනි. එහෙත් වයසින් වැඩෙන විට ඉඳුරන් මෝරන විට එම ස්වභාවය ක්‍රමයෙන් වෙනස් වෙයි. ඇස්, කන්, නාසය ආදී පසිඳුරන්ට ගොදුරුවන රූප, ශබ්ද, ගන්ධ ආදී අරමුණු මුල්කරගෙන හැසිරෙන ආකාරය අනුව සිත අපිරිසුදු වෙයි. බුදුරදුන් එය හැඳින්වූයේ සිත කෙලෙස් කහටින් කිළුටු වීමක් වශයෙනි. මහණෙනි,උපදින තැනැත්තාගේ සිත ඉතා පැහැපත් එකකි. (පභස්සරමිදං භික්ඛවේ චිත්තං) එය බාහිර වශයෙන් පැමිණෙන කෙලෙස්වලින් කිළිටි බවට පත් වෙයි. (ආගන්තුකේහි උපක්කිලේසේහි උපක්කිලිට්ඨං)
පසිඳුරන් හා අරමුණු ගැටීමෙන් මනස තුළ සිදුවෙන ක්‍රියාදාමය ඉස්මතු වන්නේ ප්‍රධාන වශයෙන් ලෝභය, ද්වේෂය හා මෝහය මුල්කරගෙනයි. ඉරිසියාව, ,වෛරය, මාන්නය, වංචාව ආදී කායික හා මානසික ක්‍රියාකාරකම් ඒවාට බද්ධව පවතියි. පසිඳුරන් හා ගැටෙන අරමුණු සැපදායක , පි‍්‍රය දේවල් ලෙස සැලකීමෙන් ඒවා පසුපස ලුහුබඳින රාගයද, පසිඳුරන් අපි‍්‍රය දේවල් ලෙස සලකන අරමුණුවලට එරෙහිව ක්‍රියාකිරීමෙන් ද්වේෂයද සිතෙහි මතුවෙයි. එය සිදුවන්නේ ලෝකයේ නැතිනම් ජීවිතයේ සැබෑ ස්වභාවය නුවණින් වටහාගන්නට නොහැකි බැවිනි. එබඳු තත්ත්වය ඇතිවන්නේ මෝහයෙන් මනස ආවරණය කර තිබීම හේතුවෙනි. මෝහය නිසා මිනිස්සු කලහ විවාද ඇතිකරගනිති. නොයෙකුත් දුක් දොම්නස් වේදනාවන්ට ගොදුරුවෙති. තමන් පි‍්‍රය කරන ගැහැනිය හෝ පුරුෂයා නෙැලැබීම් හේතුවෙන් සියදිවි හානි කරගන්නට තරම් මෝඩකමෙන් ක්‍රියා කරන අය සමාජයේ සිටිති. තමන් අකැමැති දේවල් හා පුද්ගලයන් කෙරෙහි ද්වේෂයෙන්, වෛරයෙන්, ක්‍රියා කරන අයද බහුලව දක්නට ලැබේ. ජීවිතය හා ලෝක ස්වභාවයන් ගැන නිරවුල්ව වටහා ගන්නවා නම්, පුද්ගලයන් එලෙස හැසිරෙන්නේ නැත.
ජීවිතය ගැන නිවැරැදිව තේරුම් ගැනීමේ නුවණ ආවරණයට හේතුවන කාරණා පහක් පංච නීවරණ ධර්ම යනුවෙන් බුදුරදුන් පෙන්වා දී තිබේ. 1.කාමච්ඡන්ද (තණ්හාව) 2. ව්‍යාපාද (ද්වේෂය) 3.ථීනමිද්ධ (කම්මැලිකම) 4.උද්ධච්චකුක්කුච්ච (මනසෙහි නොසන්සුන් බව) 5.විචිකිච්ඡා (සැකය හෙවත් මෝහය) යන එම පංචනීවරණ ධර්මවලින් වැසුණ නුවණ පිරිසුදු කර ගත හැක්කේ භාවනාවෙහි යෙදීමෙනි. භාවනාවෙන් මනස යහපත්ව හසුරුවා ගත්විට අප ජීවිතයේ මුහුණපාන දුක් දොම්නස්වලින් මිදෙන්නට මාර්ගය පැහැදිලි වෙයි.
සිත පිරිසුදු කරගැනීමෙන් සසර දුක්වලින් මිදෙන්නට වෑයම්’ කරන භික්ෂුවක් විසින් කලින් කලට අවධානය යොමුකළ යතු කරුණු පහක් මජ්ක්‍ධිම නිකායේ විතක්ක ඝණ්ඨාන සූත්‍රයෙහි බුදුරදුන් සඳහන් කොට ඇත. එය භික්ෂූන්ට දේශනා කළත්, පැවිද්දන්ට පමණක් නොව ගිහියන්ටද ප්‍රයෝජනවත් වූවකි.
කිසියම් අරමුණක් මුල්කරගෙන සිතෙහි රාගයක් හෝ ද්වේෂයක් හෝ මුළාවක් හටගන්නවා නම් , ඒ අවස්ථාවෙහි කළ යුත්තේ වෙනත් දෙයකට සිත යොමු කිරීමෙන් සිතෙහි ඇතිවූ රාග, ද්වේෂ,මෝහ තත්ත්වය වෙනස් කිරීමයි. ස්ත්‍රියකගේ රූපය නෙත ගැටීමෙන් පිරිමියකුගේ සිතෙහි රාගය පහළවීම ස්වභාවික දෙයකි. සිත සංවර කරගැනීමෙන් තොරව එම රාගික හැඟීම ඔස්සේ ක්‍රියා කිරීම තුළින් පෞද්ගලික ජීවිතයට පමණක් නොව සමාජයට ද බලපාන විවිධ අර්බුද හා ආරවුල් ඇතිවෙයි. සෙසු ඉඳුරන් සම්බන්ධ අරමුණු කෙරෙහි ද මානසික බලපෑම එබඳුය. රාගය, ද්වේෂය හා මෝහය ඇතිවීමට ඒවා පදනම් වෙයි. තමන් අකැමැති පුද්ගලයකු දැකීමෙන් තරහ, වෛරය, මතුවෙයි. ඔහුට එරෙහිව සතුරුකම් කිරීමට පෙළෙඹෙයි. මෙම මානසික හැසිරීම් ගැන මනා අවදියෙන් සිටීම විතක්ක ඝණ්ඨාන සූත්‍රයෙන් පැහැදිලි කෙරේ. සිත පාපකාරි දේවලට යොමු නොවී යහපත්ව පවත්වා ගැනීම සඳහා මුල්ම උපාය මාර්ගය වශයෙන් බුදුරදුන් පෙන්වා දෙන්නේ වෙනත් අරමුණක් කෙරෙහි සිත යොමුකිරීමයි. එනම්, ඉඳුරන්, හා ගැටෙන අරමුණ පසුපස නොගොස් වෙනත් දෙයක් කෙරෙහි මනස යොමුකිරීමයි. එය සඳහන් කොට තිබෙන්නේ 1.අඤ්ඤනිමිත්තං මනසිකාතබ්බං (වෙනත් කරුණක් කෙරෙහි සිත යොමුකරන්න) යනුවෙනි. එය සිදුකරන ආකාරය ගැන නිදසුන්ද එම සූත්‍රයෙහි දැක්වෙයි.
මහණෙනි, දක්ෂ වඩුවෙක් සියුම් ඇණයක් යොදාගෙන පුවරුවක රැඳුන ලොකු ඇණයට පහර ගැසීමෙන් එය පුවරුවෙන් ඉවත් කරන ආකාරයට ලෝභය, ද්වේෂය හා මෝහය පදනම් කරගත් ලාමක වූ පාප සිතිවිලි වෙයි නම්, ඒවා යහපත් සිතිවිලි මඟින් සිතෙන් ඉවත් කරගන්න. යම් කෙනෙකු පිළිබඳව තම සිත රාගයෙන් මුසපත් වන්නේ නම්, මිනිස් සිැරුරෙහි අසුබ, පිළිකුල් ස්වභාවය ගැන මෙනෙහි කරන්න. සිරුර සෑදී ආකාරය ගැන කල්පනා කොට එහි තිබෙන අප්‍රසන්න බව සිතට ගන්න. කිසියම් අචේතනික වස්තුවක් කෙරෙහි සිත අශාවෙන් මැඩගන්නවා නම් එහි කැඩෙන බිඳෙන වෙනස්වන ස්වභාවය ගැන සිතන්න.ඒ අසුබ බව මෙනෙහි කිරීම තුළින් රාගයට. තණ්හාවට මූලික වූ අරමුණ කෙරෙහි බැඳීම ඉවත් වෙයි.
සිතෙහි ක්‍රෝධය තරහ මතුවන අරමුණක් ඉඳුරන් සමඟ ගැටෙන විට වුවද කළ යුත්තේ එයින් බාහිර දෙයක් කෙරෙහි සිත යොමුකිරීමයි. ද්වේෂයට වි්රුද්ධ දෙය මෛත්‍රියයි. එම නිසා මෙත් සිතිවිලි පහළ කරගන්නට වෑයම්’ කළ යුතුයි. පුද්ගලයකු පිළිබඳව ද්වේෂයක් ඇතිවනවා නම්, මම මොහුට ද්වේෂ කරන්නේ කුමටද? මෛත්‍රියෙහි තිබෙන වටිනාකම ගැන සිතන්න.
දෙවන උපදේශය ලෙස බුදුරදුන් පෙන්වා දෙන්නේ අරමුණු කෙරෙහි බැඳීමෙන් ඇතිවන දුක් සහිත ආදීනව ගැන මෙනෙහි කිරීමෙන් හා පරීක්ෂා කිරීමෙන් ඒවායෙන් සිත මුදවා ගැනීමයි.ආශාව, තරහ, ක්‍රෝධය නිසා පුද්ගලයන්ගේ කායික හා මානසික පරිහානිය සිදුවෙයි. මානසික ආතතිය නිසා තමන් කරන දෙය පවා සිතා ගන්නට අපහසු මෝඩයන් බවට ඇතැම්හු පත්වෙති. එම නිසා බාල හෝ තරුණ කාන්තාවක් හෝ පුරුෂයෙක් ගෙලෙහි සර්ප කුණක්,බලුකුණක් දැවටුන විට පිළිකුළෙන් එය ඉවත් කරන්නා සේ, පසිඳුරන් හා බැඳුන ලෝභය, ද්වේෂය හා මෝහය මුල්කරගත් පාපී අකුශලයන් සිතෙන් වහා ඉවත් කළ යුතු යැයි බුදුරදුන් විතක්ක ඝණ්ඨාන සූත්‍රයෙහි පැහැදිලි කර ඇත. එම උපදේශය දැක්වෙන්නේ (ආදීනවෝ උපපරික්ඛිතබ්බෝ) විපාක පරීක්ෂා කර බලන්න යනුවෙනි.
රාගය,ද්වේෂය, මෝහය වැඩෙන අරමුණු කෙරෙහි බැඳී ඒවා ගැන මෙනෙහි කිරීමෙන් වළකින්න යනු (අසති,අමනසිකරෝ ආපප්ජිතබ්බෝ) තුන්වන උපදේශය සිතෙහි රාගය, තරහ වැනි නපුරු සිතිවිලි මුල් බැසගත් විට ඒවා නැවත නැවතත් සිහියට ගනිමින් පීඩාවට පත්වීම මනුෂ්‍ය ස්වභාවයයි. බොහෝ විට ගැහැණු පිරිමි දෙපිරිසම එකිනෙකා දැකීමෙන් ඇතිකරගන්නා මානසික බැඳීම හේතුවෙන් රාගයෙන් මුසපත් වෙති. ඔවුනොවුන් නොදැකීම විරහ වේදනාවන්ට මෙන්ම, අමනාපයෙන් වෙන්වීම වෛරයට හේතුවෙයි. ඒ හේතුවෙන් ජීවිත තෝරා කර ගන්නා අවස්ථා ද ඇත.අරමුණු කෙරෙහි මනසින් දැඩිව නොබැඳී, නොගැලී කටයුතු කළොත් එවැනි ස්වභාවයන් ඇති නොවේ. එය පහසු දෙයක් නොවන බව සත්‍යයකි. වෙනත් දෙයක සිත යොමුකිරීමට සිතා පොතක් කියවන්නට වෙහෙසුනත් ඒ තුලින් මතුවන්නේ තම පෙම්වතාගේ පෙම්වතියගේ රූපයයි. එය තම දියුණුවට මෙන්ම එදිනෙදා ජීවිතයේ කටයුතුවලටද බාධාවකි. මෙවැනි මානසික ආකූලතාවයන් තුරන් කරගැනීමට නම් කළ යුත්තේ මනසට නැඟෙන අරමුණු ගැන කල්පනා නොකිරීමයි.
පසිඳුරන් සමඟ ගැටෙන අරමුණූ හේතුවෙන් ලෝභය, ද්වේෂය,මෝහය මූලික කරගත් අකුසල් සිතිවිලි මතුවන විට මෙවැනි නපුරු සිතිවිලි ඇත්වන්නේ ඇයි දැයි ඒවායේ මූලය ගැන අවධානය යොමුකරන්න. (විතක්ක සංඛාර ඝණ්ඨානං මනසිකාතබ්බං) යනු සිව්වන උපදේශයයි. වේගයෙන් ගමන් කරන කෙනෙකු වෙහෙසට පත්ව, මා වේගයෙන් යන්නේ ඇයි? හෙමින් යාම හොඳ යැයි සිතා ඔහු සෙමින් යයි. කෙනෙකු සිටගෙන හිඳින විට මා මෙලෙස අමාරුවෙන් සිටින්නේ ඇයි? වාඩිවීම සුදුසු යැයි සිතා වාඩි වෙයි. මෙලෙස තමන් පීඩාවට පත්කරන ඉරියව්’ ගැන සියුම් විග්‍රහ කර බලා එයින් මිදෙන මාර්ගය සොයා ගනියි. ඒ අයුරින් නරක මානසික ආතතින් විග්‍රහ කර බලා එයින් මිදෙන්නට සුදුසු මාර්ගයක් සොයා ගත යුතුය. අප සමාජයේ කටයුතු කරන විට එහි මූලය ගැන සොයා නොබලා තීරණවලට එළඹෙන අවස්ථා තිබේ. පුද්ගලයකුගේ බැල්ම හෝ කතාව නිසා ඇතිකරගන්නා සැකයෙන්, වැරැදි වැටහීමෙන්, තරහෙන් ඇතැම්හු ක්‍රියා කරන්නට පෙළඹෙති. ඔහු මෙලෙස මා දිහා බැලුවේ ඇයි? මට කතා කළේ ඇයි ? යන කාරණා විග්‍රහ කරන විට එහි සැබෑ හේතු පෙනී යයි. එයින් තරහ වෛරය ඇතිකරගැනීම සුදුසු නැති බව තමන්ට වැටහෙයි.
අරමුණු පෙරදැරිව පවිටු සිතිවිලි සිතෙහි මතුවන විට ඒවා මර්දනය කළ යුතුයි. දිව එළියට නොඑන ලෙස දත් තදින් විකාගෙන සිටින්නාක් මෙන්ද බලවත් පුරුෂයෙක් දුර්වල පුද්ගලයකු අල්ලා පෙළන්නා සේද අරමුණු හමුවේ මතුවන නරක සිතිවිල මැඬළිය යුතුයි. මෙම සිව්වන උපදේශය හැඳින්වෙන්නේ අකුසල චේතනා මතු නොවන ලෙස පීඩනයට පත්කිරීම (අභිනිග්ගණ්හිතබ්බං) ලෙසිනි. මෙයින් අදහස් වෙන්නේ සිත දැඩිව පාලනය කිරීමයි.
බුදුරදුන් විතක්ක ඝණ්ඨාන සූත්‍රයෙහි පෙන්වා දී ඇති මෙම කරුණු උපදේශන කටයුතු වල දී ඉතා වැදගත්ය. විවිධ හේතු නිසා මානසික පීඩාවලින් පෙළෙන, වරදට පෙළෙඹෙන දරුවන් යහමඟට ගැනීමේදී මෙම උපදේශන ක්‍රම භාවිතයට ගත හැකිය. ලෝකයේ ජීවත් වන විට බාහිර වශයෙන් පැමිණෙන විවිධාකාර අරමුණු, දුක්ගැහැට වේදනාවන් හමුවෙහි මනස ශක්තිමත් කරගත යුතු බව බුදුරදුන් මෙයින් අපට පැහැදිලි කොට ඇත.