දුටුගැමුණු රජු කල පිරිණිවන් පෑ මලියදේව හිමියන් ලංකාවේ අන්තිම රහත් තෙරනම නොවේ. සැබැවින්ම, අද වුව රහතුන් බිහි විය හැකිය. ඒ සදහා අවශ්‍ය වන්නේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ ශ්‍රී සද්ධර්මය සීල සමාධි ප්‍රඥා වශයෙන් දියුණු කොට සාක්ෂාත් කිරීමයි.

ඔබත් බුදුරදුන් පෙන්වා වදාළ උත්තම දහම් මාර්ගයේ ගමන් කරන්න


Powered by දහම් විල


ලිපි සඳහා පහත මාසය අනුව ලිපි පටුන බලන්න

සුගති දුගති වෙනස

කොබෙයිගනේ පුබ්බිලිය 
ශ්‍රී සාරානන්ද පිරිවෙනෙහි ආචාර්ය 
ගලගෙදර රතනවංශ හිමි
මේ ලෝක ධාතුව තුළ ජීවත් වන සත්වයා කෙලෙස්වලින් අනූනය. රාගයෙන් රත් වී, ද්වේශයෙන් දූෂිත වී, මෝහයෙන් මුලා වී වාසය කරති. එහිදී නිවැරැදි දේ නිවැරැදි ආකාරයෙන් දැකීමට තරම් බුද්ධියක් නූපදී. බුදුරදුන් ධර්මය අවබෝධ කොටගෙන පළමුව කෘතගුණ දක්වනු වස් බරණැස් නුවර මිගදායේ ඉසිපතනාරාමයේ එවකට සිටි පස්වග තවුසන්ට දහම් දෙසීමට වැඩම කරන අතර මග හමු වූ උපක නම් ආජිවකයාට මතක් කර දෙන්නේ,
“ධම්ම චක්කං පවත්තේතුං - ගච්ඡාමි කසිනං පුරං 
අන්ධභූතස්මිං ලෝකස්මිං - ආභඤ්ජං අමත දුන්දුභිං”
මම ධර්ම චක්‍රය පවත්වන්නට කසී රට බරණැස් නුවරට යමි. අවිද්‍යාවෙන් අන්ධ වූ ලෝකයෙහි දහම් අමා බෙරය ගසන්නෙමි ආදී වශයෙනි. මේ අනුව බුද්ධ ඤාණයෙන්ම ලෝක සත්වයාගේ ස්වභාවය දේශනා කොට ඇත. සත්වයා සසර සැරිසරන්නේ ද අවිද්‍යාව (නොදැනීම) නිසා ය. එය පටිච්චසමුප්පාද දේශනාවෙන් මනාව දේශනා කොට ඇත.
බුදුරජාණන් වහන්සේ ධම්ම පදයේ ලෝක වග්ගය තුළින් මේ සම්බන්ධව වටිනා උපදෙසක් සේම අර්ථ විවරණයක් කර ඇත. එනම්,
අන්ධභුතො අයං ලෝකො 
තනුකෙත්ථ විපස්සති 
සකුන්තෝ ජාල මුත්තෝව 
අප්පෝ සග්ගාය ගච්ඡති
මේ ලෝකයේ අනුවණ පුහුදුන් පුද්ගලයා අන්ධය. ඔවුන් අතුරෙන් ස්වල්ප දෙනෙක් හරි ආකාරයෙන් ලෝකය දකිත්. ඔවුහු දැලෙන් මිදුනු කුරුල්ලන් සේ සුගතියට පැමිණෙත්.
මෙම ගාථා ධර්මය සරලව සේ පෙනුණ ද ගැඹුරු අර්ථයක් අන්තර්ගතව ඇත. මෙහිදී “අන්ධ” යන වචනය භාවිතා කොට ඇත්තේ ප්‍රඥාව නොමැතිකමටය. යථාර්ථය දැකීමට නම් ප්‍රඥාව අත්‍යවශ්‍ය වේ. බුදුහිමි බොහෝ සූත්‍ර අවසානයේ දී “චක්ඛුං උදපාදි පඤ්ඤා උදපාදි” යනුවෙන් නුවණැස නොහොත් ප්‍රඥාව පහළ විය. ආදී වශයෙන් දේශනා කොට ඇත. ලෝකයේ ටික දෙනෙකුට පමණක් නුවණ ඇත. එය ප්‍රඥාවයි.
එමනිසා ප්‍රඥාව ඇති ටික දෙනා යථාර්ථය දැක මෝහය නමැති අන්ධකාරයෙන් මිදීමට උත්සාහවත් වෙති. එය හරියට දැලකට හසු වූ වටකුරුලු රංචුවක් අතරින් වටුකුරුලු කිහිප දෙනෙක් උත්සාහයෙන් දැලෙන් මිදී මරණයට හසු නොවී පලා යන්නාක් බඳු ය. ඔවුනට සුගතියක්ම හිමි වේ.
නමුදු අන්ධ වූවන් අර දැලට හසු වූ වටු කුරුල්ලන් සේ එතනම මරණයට පත් වේ. අන්ධ බව යනු පස්කම් සැපයට හසු වී යථාර්ථය නොදැක මියගොස් නිරයට යෑමයි. අන්ධ බව නිරයට යන මාවතයි.
එනිසා බොහෝ පිරිස් පස්කම් වලටම ගිජුව එහිම ඇලී ගැටී මැරී ගොස් නිරයේ ඉපදෙති. “අප්පෝ සග්ගාය ගච්ඡති” ඒ අන්ධ සත්වයින් අතුරින් ටික දෙනෙක් සුගතියට යති. මරුගේ පස්කම් ගුණ නමැති දැලට වැසුණු සතුන් අතුරෙන් ටික දෙනෙක් සුගතියට සැපයට පැමිණෙති. සත්වයා නිතරම එකළොස් ගින්නකින් තැවෙති. දැවෙති.
රාගෝච දොසෝචමොහෝ චව්‍යාධි 
ජරා ච මරණම්පි ච සෝක මෙව 
පරිදේව දුක්ඛ මපී ච දෝමනස්සං 
පායාස මෙකාදස මග්ගිමාහු
රාගය, ද්වේශය, මෝහය, ව්‍යාධිය, ජරාව, මරණය, දුක්ඛය, දෝමනස්සය, පායාසය යනාදී එකළොස් ගින්නකින් සත්වයා නිතර නිතර දැවි දැවී, පිච්ච පිච්චී සිටියද, චක්ඛු, සෝත, ඝාණ, ජිව්හා කාය නම් වූ පංචකාම නම් වූ දැලට හසු වී සිටින බැවින් එය නොපෙනේ. නොදැනේ. බුදු හිමි පෙන්වා දෙන්නේ මෙවැනි ගිනි වලින් දැවෙනා සත්වයාට කුමන සිනාවක් ද, කුමන සතුටක් ද, යනුවෙනි.
පංචකාම දැලට හසු වූ බොහෝ දෙනෙක් නිරයට යන්නේ අවසන් මොහොතේ දී පවා උපාදානය නොහොත් මගේ, අපේ යන ආත්ම සංකල්පය ඉවත් කර ගැනීමට අපහසු බැවිනි. සෝවාන් වීමේ දී නැතිවෙන දස සංයෝජන වලට අයත් පළමු අංගය වන්නේ ද සක්කාය දිට්ඨිය නොහොත් ආත්ම දෘෂ්ඨියයි. එනම් මමය, මාගේය ආදී සංකල්පයන්ය. ඒවා නැති නොකර ගැනීම නිරයට නොහොත් අභෞව්‍යස්ථාන වල ඉපදීමට හේතු වන්නේ ය.
බුදු කෙනෙක් ලොව පහළ වන්නේ ද මෝහයෙන් මුලා වී අන්ධකාරයේ සිටින සත්වයාට ප්‍රඥාව නමැති ආලෝකය දල්වා ඉන් මුදා ගැනීමටය. හරියට ලිප ගිනි මොලවන තෙක් කකුළුවා සැපයක් සේ සිතා ක්‍රියා කරන්නා සේ සත්වයා ද පංච කාමයෙන් අන්ධව මරණයට හේතු වී ඒ ගැන නොසිතා කටයුතු කරති.
එතුළින් මියගොස් නිරයෙහි උපදී. මේ කරුණු සිහියට ගෙන බුදුන් දෙසූ දහම තම තම නැණ පමණින් හෝ වටහා ගැනීමට උත්සාහවත් විය යුතු ය. සංසාර චක්‍රය බොහෝ දීර්ඝ බැවින් නැවත නැවත ඉපදීමට ද හේතු වේ. එලෙස නැවත නැවත ඉපදීමට ප්‍රාර්ථනා නොකළත් ප්‍රඥා ඇස පහළ වනතුරු හෝ ඉපදීමට සිදුවේ. එම ඉපදෙන ආත්ම වල නිරයනට නොයා සුගතියක ඉපදීමට උත්සාහවත් වීම උසස් මනසක් ලැබූ සත්වයාගේ කාර්යය යුතුකම වන්නේ ය.