දුටුගැමුණු රජු කල පිරිණිවන් පෑ මලියදේව හිමියන් ලංකාවේ අන්තිම රහත් තෙරනම නොවේ. සැබැවින්ම, අද වුව රහතුන් බිහි විය හැකිය. ඒ සදහා අවශ්‍ය වන්නේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ ශ්‍රී සද්ධර්මය සීල සමාධි ප්‍රඥා වශයෙන් දියුණු කොට සාක්ෂාත් කිරීමයි.

ඔබත් බුදුරදුන් පෙන්වා වදාළ උත්තම දහම් මාර්ගයේ ගමන් කරන්න


Powered by දහම් විල


ලිපි සඳහා පහත මාසය අනුව ලිපි පටුන බලන්න

දිවි නසා ගැනීම ප්‍රාණඝාත කර්‍මය.......


01. සියදිවි නසා ගැනීමෙන් ප්‍රාණඝාත අකුශලය සිදුවේ ද?

තමාගෙන් අන්‍ය වූ සත්ත්වයකු ගේ ජීවිතය නැසීමෙන් මිස සියදිවි නසා ගැනීමෙන් ප්‍රාණඝාත කර්‍මය සිදු නොවේ. බුදුරජාණන් වහන්සේ විනයෙහි තිරිසන් සතුන් මැරීම ගැන භික්ෂූන්ට පනවා තිබෙන්නේ “යො පන භික්ඛු සංචිච්ච පාණං ජීවිතා චොරොපෙය්‍ය පාචිත්තියං” යන සිකපදය ය. ‘දැන දැන තිරිසන් සතකු මැරුව හොත් පචිති ඇවතක් වේය’ යනු එහි තේරුම ය. මනුෂ්‍ය ඝාතනය මහා පාපයෙකි. එබැවින් එය ගැන විනයෙහි පනවා ඇත්තේ පරිජි ඇවතකි. යම් කිසි භික්ෂුවක් විසින් මිනිසකු මැරුව හොත් පාරාජිකා වේ.

ආත්මඝාතනය ගැන විනයෙහි පනවා ඇත්තේ “න ච භික්ඛවෙ, අත්තානං පාතෙතබ්බං, යො පාතෙය්‍ය, ආපත්ති දුක්කටස්ස” යන සිකපදය ය. එහි තේරුම, “මහණෙනි! ආත්මය නො නැසිය යුතු ය. යමෙක් සිය දිවි නසා ගන්නේ නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේය” යනුයි. දුකුළා ඇවත පචිති ඇවතට ද කුඩා ඇවතකි. සියදිවි නසා ගැනීමෙන් ප්‍රාණඝාත අකුශල කර්මය සිදු වේ නම්, තථාගතයන් වහන්සේ එයින් ද පාරාජිකා වන බව වදාරන්නාහ. සිය දිවි නසා ගැනීම ගැන පනවා ඇත්තේ තිරිසනුන් මැරීමෙන් වන ඇවතට ද කුඩා ඇවතකි. එයින් තේරුම් ගන්නට ඇත්තේ එය ප්‍රාණඝාත කර්මයක් නො වන බව හා තිරිසන් සතකු මැරීමෙන් වන පාපය තරම් බරපතළ පවකුත් නො වන බව ය. සියදිවි හානි කර ගැනීම ගැන දුකුළා ඇවතක් පනවා ඇතත් එය කර ගැනීමට සුදුසු අවස්ථා ඇති බවත් විනය අටුවාවෙහි දක්වා තිබේ.

“යස්ස පන මහා ආබාධො චිරානුබද්ධො, භික්ඛු උපට්ඨහන්තා කිලමන්ති, ජිගුච්ඡන්ති, කදා නු ඛො ගිලානතො මුඤ්චිස්සාමාති අට්ඨියන්ති. සචෙ සො අයං අත්තභාවො පටිජග්ගියමානොපි න තිට්ඨති භික්ඛු ච කිලමන්තීති ආහාරං උපච්ඡින්දති, භෙසජ්ජං න සෙවති වට්ටති. අයං රොගො ඛරො ආයුසංඛාරා න තිට්ඨති. අයඤ්ච මෙ විසෙසාධිගමො හත්ථප්පත්තො විය දිස්සතීති උපච්ඡින්දති වට්ටති. අගිලානස්සා පි උප්පන්නසංවෙගස්ස ආහාර පරියෙසනං නාම පපඤ්චො, කම්මට්ඨාන මෙව අනුයුඤ්ජිස්සාමී ති කම්මට්ඨානසීසෙන උපච්ඡින්දන්තස්ස වට්ටති.”

(සමන්තපාසාදිකා 334)

මේ පාඨයේ අදහස; “බොහෝ කල් පවත්නා වූ මහා ආබාධයක් ඇති භික්ෂුවකට උපස්ථාන කරන භික්ෂූන්ට බොහෝ වෙහෙසෙන්නට සිදු වේ නම්, රෝගියාත් පිළිකුල් නම්, ඒ රෝගී භික්ෂුව ‘මේ ආත්ම භාවය ප්‍ර‍තිකර්ම කළත් නො පැවැත්විය හැකි ය. මා නිසා සෙසු භික්ෂූහු ද බොහෝ වෙහෙසෙතියි සලකා බෙහෙත් ආහාර වර්ජනය කරනවා නම් වටනේය. යම් භික්ෂුවක් මට ඇතිවී ඇති මේ රෝගය නපුරු ය. මට විශේෂාධිගමයක් ද අතට පත්වූවාක් සේ පෙනෙන්නේ ය. මම ශරීර පෝෂණය හැර විශේෂාධිගමය පිණිස ද වීර්‍ය්‍ය කරමි යි ආහාර අතහරී නම් වටනේය. රෝගයක් නැති භික්ෂුවක් විසින් තමාට උපන් සංවේගය නිසා ආහාර සෙවීමත් ප්‍ර‍මාදයක් ය, මම භාවනාව ම කරමි යි, භාවනා පිණිස ආහාර ගැනීම අත හරී නම් එය ද වටීය” යනුයි. මේ පාඨයෙහි ‘වට්ටති’ යන වචනයෙන් කියන්නේ ඇවැත් නො වන බව ය. සියදිවි නසා ගැනීමෙන් ප්‍රාණඝාත අකුශල කර්මය වේ නම් කිනම් කරුණක් නිසාවත් එය නො වන්නේ ය. කියන ලද කරුණුවල දී ආහාරෝපච්ඡේදය වටනා බව විනය අටුවාවෙහි කියා තිබීමෙන් ද එය ප්‍රාණඝාත කර්මයට අයත් නො වන බව දත යුතු ය.

02. දිවි නසා ගැනීම ප්‍රාණඝාත කර්‍මය නුවූව ද අපායෝත්පත්තියට හේතු වන අකුශලයක් නො වේ ද?

මෙය විභජ්ජවාදය අනුව විසඳිය යුතු ප්‍ර‍ශ්නයෙකි. සාවද්‍ය වූ දිවි නසා ගැනීමක් ද ඇත්තේ ය. නිරවද්‍ය දිවි නසා ගැනීමක් ද ඇත්තේ ය. ඇතැම් අඥයෝ තමන්ට වූ අලාභ හානි නිසා හෝ ප්‍ර‍සිද්ධ වුවහොත් මහත් ලජ්ජාවට පැමිණිය හැකි වරදවල් තමන් අතින් සිදු වීම නිසා හෝ ඇතැම් අදහස් ඉටුකර ගන්නට ඉඩ නැතිකම නිසා හෝ අනුන්ගෙන් ඇති කරදර නිසා හෝ ජීවත්වීමට මඟක් නැති නිසා හෝ සිත දූෂණය කරගෙන සිය දිවි නසා ගනිති. ඇතැම් මෝඩයෝ අනුන්ට රිදවීම පිණිස ද දිවි නසා ගනිති. ඒවා සාවද්‍ය දිවි නසා ගැනීම් ය. එසේ දිවි නසා ගන්නවුන්ට දෙවන ජාතියේ සුගතියේ ඉපදීමට ද දුෂ්කර ය. දූෂිත වූ සිතින් කාලක්‍රියා කරන පුද්ගලයා ගේ දෙවන උපත ගැන තථාගතයන් වහන්සේ වදාරා ඇත්තේ මෙසේ ය.

“ඉමම්හි වායං සමයෙ කාලං කයිරාථ පුග්ගලො;

නිරයං උපපජ්ජෙය්‍ය චිත්තං හිස්ස පදූසිතං.

යථා හරිත්වා නික්ඛිපෙය්‍ය එව මෙව තථා විධො;

චෙතො පදොස හෙතූ හි සත්තා ගච්ඡන්ති දුග්ගතිං”

(ඉති වුත්තක පාලි)

“සිත දූෂ්‍ය වී ඇති මේ වේලාවේ දී මේ තැනැත්තා කාලක්‍රියා කෙළේ නම් ඔහු නරකයෙහි උපදනේ ය. මක් නිසා ද? ඔහු ගේ සිත දූෂ්‍ය වී ඇති බැවිනි.

එබඳු පුද්ගලයා මළ පසු ගෙන ගොස් දැමුවාක් මෙන් නරකයට වැටෙන්නේ ය. සිත දූෂ්‍ය වීම හේතු කොට සත්ත්වයෝ දුර්ගතියට යෙති” මේ ගාථා දෙක්හි තේරුම ය.

මේ දේශනාව අනුව කිය යුත්තේ පැමිණි අලාභ හානි ආදිය නිසා සිත දූෂ්‍ය කර ගැනීමෙන් දිවි නසා ගන්නා අය මරණින් මතු නරකයෙහි උපදනා බව ය. මෙය සාමාන්‍ය දේශනාවෙකි. එබැවින් දූෂ්‍ය වූ සිතින් මැරෙන අය ප්‍රේත බවටත්, තිරිසන් බවටත් පැමිණිය හැකි බව කිය යුතු ය. දිවි නසා ගැනීම තමාට වූ පාඩුවක් පිරිමසා ගැනීමට කළ යුතු ප්‍ර‍තික්‍රියාවක් නොවේ. එය අනුවණකමෙකි. තමන් ගේ දෙලොව ම නසා ගැනීමකි.

යම් කිසි උසස් අර්ථයක් සඳහා ජීවිතය වුව ද පරිත්‍යාග කිරීමට සමත් වන තරමට නුවණ දියුණු කර ගෙන ඇත්තා වූ වීර පුරුෂයෝ සමහර විට උසස් අර්ථයන් සඳහා තමන් ගේ ජීවිතයත් පරිත්‍යාග කෙරෙති. බ්‍ර‍හ්මසෘෂි නම් තාපස කාලයේ දී අප මහ බෝසතාණන් වහන්සේ අන් අහරක් නො ලැබීමෙන් සිය දරුවන් කා දමන්නට තැත් කරන ව්‍යාඝ්‍රධේනුව ගේ ඉදිරියට පිනූහ. සිරිසඟබෝ රජතුමා තමා ගේ හිස සියතින් ම සිඳ දුගියෙකුට දුන්නේ ය. උසස් අර්ථයක් සඳහා කරන එබඳු දිවි නසා ගැනීම් නිරවද්‍ය දිවි නසා ගැනීම් ය. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ දී ගෝධික තෙරුන් වහන්සේ සියතින් බොටුව සිඳ දිවි නසා ගත්හ. එයත් උසස් අර්ථයක් උදෙසා කළ නිරවද්‍ය දිවි නසා ගැනීමකි.

ආයුෂ්මත් ගෝධික ස්ථවිරයන් වහන්සේ ඉසගිලි පර්‍වතයේ එක් පසෙක විසූහ. උන් වහන්සේ බොහෝ උත්සාහ කොට ලෞකික ධ්‍යානයක් උපදවා ගත්හ. ලෞකික ධ්‍යානය වනාහි ලැබූ තැනැත්තා විසින් එය අත් නො හැර නැවත නැවත සමවැදීම් වශයෙන් ආරක්‍ෂා කර ගත යුතු ය. එසේ නො කොට අන් කටයුතුවල යෙදුන හොත් ධ්‍යානය නැති වන්නේ ය. ධ්‍යානයෙන් පිරිහෙන්නේ ය. ගෝධික තෙරුන් වහන්සේ රෝග බහුල කෙනෙක. එබැවින් උන්වහන්සේට ධ්‍යානය පවත්වා ගත නො හැකි විය. ධ්‍යානයෙන් පිරිහුණාහ. උන් වහන්සේ දෙවන වරද උත්සාහ කොට නැවත ධ්‍යානය උපදවා ගත්හ. එහෙත් රෝග නිසා දෙවන වරත් ධ්‍යානයෙන් පිරිහුණහ. මෙසේ තුනවන සතරවන පස්වන වරද උපදවා ගත් ධ්‍යානයෙන් පිරිහුණහ. සවන වාරයේ ධ්‍යානය ලබාගත් පසු උන්වහන්සේ සිතන්නාහු ධ්‍යානයෙන් පිරිහී ඉන්නා අවස්ථාවක මරණය වුවහොත් මතු උපත අනියත ය. ධ්‍යානය තිබිය දී මරණය වුවහොත් බඹලොව ඉපදීම නියත ය. එබැවින් දැන් ධ්‍යානය තිබෙන වේලාවේ දී දිවි නසා ගනිමි යි සිතූහ. උන්වහන්සේ කරන්නට යන දෙය දුටු මාරයා සිතනුයේ ගෙළ සිඳ ගැනීම ශරීරය කෙරෙහිත් ජීවිතය කෙරෙහිත් ආශාව නැතියකුට මිස අනිකකුට නො කළ හැකි දෙයක. කාය ජීවිත දෙක්හි ආලය නැති මුන් වහන්සේ එසේ කිරීමේ දී කමටහන සිහිකොට රහත් වන්නට ද බැරි නැත. මෙය මා විසින් වැළැක්විය යුතුය යි සිතා මෙය බුදුන් වහන්සේට සැලකර උන් වහන්සේ ලවා වළක්වමි යි ඒ බව බුදුන් වහන්සේට සැල කළේ ය. එකෙණෙහි ම ගෝධික තෙරුන් වහන්සේ සිය ගෙළ සිඳ ගත්හ. එයින් උන්වහන්සේට බොහෝ වේදනා ඇති විය. උන්වහන්සේ වේදනා යටපත් කොට සිහියෙන් යුක්ත වී ඒ වේදනාව ම අනිත්‍යා දී වශයෙන් මෙනෙහි කොට සියලු කෙලෙසුන් නසා රහත්ව පිරිනිවන් පා වදාළ සේක. මාරයාට පිළිතුරු වශයෙන් තථාගතයන් වහන්සේ මෙසේ වදාළ සේක.

“එවං හි ධීරා කුබ්බන්ති නාවකංඛන්ති ජීවිතං,

සමූලං තණ්හං අබ්බුය්හ ගෝධිකො පරිනිබ්බුතො”

එහි තේරුම “නුවණැත්තෝ මෙසේ කෙරෙත්. ජීවිතයට ඇළුම් නො කෙරෙත්. මුල්සහිත තණ්හාව උපුටා දමා ගෝධිය පිරිනිවීය” යනුයි. ඡන්නතෙරුන් වහන්සේ ද දිවි නසා ගෙන රහත් ව පිරිනිවන් පෑ කෙනෙකි. මේ කථා දෙක ම සංයුක්ත නිකායේ සඳහන් වී ඇත්තේ ය. යම් කිසි උසස් අර්ථයක් සඳහා දිවි නසා ගැනීම පාපක්‍රියාවක් නම් දිවි නසා ගන්නා වේලාවේ දී ඒ ඒ තෙරුන් වහන්සේලාට රහත් විය නො හැකි ය. මේ කරුණු අනුව යම් කිසි උසස් අර්ථයක් සඳහා දිවි නසා ගන්නවුන්ට එයින් පාපයක් නො වන බව පිළිගත යුතු ය.

03. මතු ජාතියේ එක්ව විසීමට පතා දිවි නසා ගන්නා පෙම්වතුන්ට පෙම්වතියන්ට ඒ පැතීම නිසා අනාගත භවයේ එක්ව වාසය කරන්නට ලැබේ ද?

නිකම්ම කරන ප්‍රාර්ථනාවල් සිදු වෙත හොත් ලොව හැම දෙනාට ම ලෙහෙසියෙන් ම සුඛිත විය හැකි ය. ලෝකයේ දුඃඛිතයෝ ඉතිරි නො වන්නාහ. නිකම් ප්‍රාර්‍ථනා කළාට යම් කිසිවක් සිදු වන්නේ නො වේ. නිකම්ම යම් යම් දේ අනාගතයෙහි ලබේවා යි පැතීම මුදල් නැතිව බඩු ගන්නට සිතීම වැනි මෝඩ වැඩකි. අනාගතයෙහි යම් කිසිවක් ලැබීමට පතනවා නම් එය කළ යුත්තේ එය ලැබීමට හෝ සිදුවීමට සෑහෙන පිනක් කොටය. පෙම්වතුන්ට ද සෑහෙන පින්කම් කොට “මේ පින් බලයෙන් අපට අනාගත භවයන්හි එක්ව සුවසේ වාසය කරන්නට ලැබේවා” යි පැතුව හොත් එය සිදුවිය හැකි ය. පින් කොට කරන පැතුම් වුව ද නො වැරදී ම සිදුවනවාය යන නියමයක් නැත. සමහර විට එයත් සිදු නොවී යා හැකි ය. “ඉජ්ඣති භික්ඛවෙ සීලවතො චෙතොපණිධි විසුද්ධත්තා”යි තථාගතයන් වහන්සේ විසින් වදාරා තිබෙන්නේ සිල්වතුන් ගේ ප්‍රාර්ථනා සිදු වන බව ය. “තඤ්ච ඛො සීලවතො වදාමි නො තථා දුස්සීලෙ” යි ඒ ප්‍රාර්ථනා සිද්ධිය දුශ්ශීලයන් ගැන කියන්නක් නොව සිල්වතුන් ගැන ම කියන්නක් බව ද වදාරා ඇත්තේ ය. ඇතැම් පෙම්වතුන් දිවි නසා ගැනීමේ දී කිසිම පිනක් නො කොට අනාගතයේ එක්ව විසීමට කරන ප්‍රාර්ථනාව කිසි කලෙක සිදුවිය නොහෙන මෝඩ ප්‍රාර්ථනාවෙකි. පිනක් කොට එසේ කරන ප්‍රාර්ථනාව වුව ද නො වරදවා සිදුවීමට නම් සිල්වත්ව වාසය කළ යුතු ය. සිල්වත්ව විසීමය කියන්නේ ප්‍රාණඝාතාදි දුශ්චරිත පසින් වැළකී සිටීම ය. ඒවායින් කවරක් හෝ කරනවා නම් ඒ තැනැත්තා දුශ්ශීලයා ය. ඒ පව්කම්වලින් ඔහුට අපායට යන්නට සිදු වුව හොත් ප්‍රාර්ථනාව සිදු වන්නට ඉඩ නො ලැබේ. පින් කොට වුව ද කරන දුශ්ශීලයන් ගේ ප්‍රාර්ථනා සිද්ධිය අනියත වන්නේ එහෙයිනි. මතු ජාතිවල එක්ව විසීමේ ප්‍රාර්ථනාව නො වරදවා ම ඉටු කර ගන්නට නම් පින් කොට එසේ පතා පවින් වැළකෙමින් සිල්වත්ව විසිය යුතු ය.

නවකතා කරුවන් විසින් කිවීන් විසින් දිව්‍යමය ගුණයක් කොට වර්ණනා කරන්නා වූ ද, තවත් බොහෝ දෙනකුන් විසින් උසස් ගුණයක් කොට සලකන්නා වූ ද ප්‍රේමය බුදු දහමේ දැක්වෙන සැටියට නම් සත්ත්වයා සුගතියට පමුණුවන පිනක් නොව අවිද්‍යාව හෙවත් මෝඩකම වැඩි වැඩි තරමට වඩ වඩා තියුණුව වඩ වඩා මහත්ව ඇති වන ක්ලේශයෙකි. අවිද්‍යාව නිසා ඇතිවන ප්‍රේමයෙන් අවිද්‍යාව තව දුරටත් වැඩෙන්නේ ය. අවිද්‍යාව වැඩීම නිසා ප්‍රේමය ද තව දුරටත් වැඩෙන්නේ ය. මෙසේ වැඩීම ඒ කෙලෙස් වල සැටියකි. ප්‍රේමය නමැති මේ ක්ලේශය බුදු දහමෙහි බොහෝ තැන්වල දැක්වෙන්නේ රාගය යන නාමයෙනි.

තරුණ තරුණියන් විසින් ඉමහත් මිහිරක් වශයෙන් සලකන මේ රාගය මිහිරක් නොව සත්ත්ව සන්තානය දවන ගින්නකි. එබැවින් තථාගතයන් වහන්සේ“රාගග්ගි දහති මච්චේ රත්තේ කාමෙසු මුච්ඡතෙ” යනුවෙන් රාග නමැති ගින්නෙන් කාමයන්හි ඇලුණු මුළා වූ සත්ත්වයෝ දවනු ලබන්නාහු යි වදාළ සේක. ඇතැම් තරුණ තරුණියන් අපට මතු සංසාරයේ දී වත් එක්ව වාසය කරන්නට ලැබේවා යි පතා, ගඟට මුහුදට පනින්නේ - ඇසිඩ් බොන්නේ රාගයේ දැවීම ඉවසිය නොහෙන තරමට බලවත් වූ විටය. රාගය පුද්ගල සන්තානය දවන ක්ලේශයකි. එහි දවන ස්වභාවය දැනෙන්නට වන්නේ එය බලවත් වූ විටය. සත්ත්වයනට ඉෂ්ටවිපාක ඇති වන්නේ චිත්ත සන්තානය පිනවන අලෝභ මෛත්‍රී ශ්‍ර‍ද්ධා ප්‍රඥාදි ධර්‍මයන්ගෙනි. චිත්ත සන්තානය දවන රාග ද්වේෂාදීන්ගෙන් අනාගතයෙහි ඇති කරන්නේ ද අනිෂ්ඨ විපාකයෙකි. අකුශල්ය කියනුයේ අනිෂ්ට විපාක ඇති කරන ධර්මයන්ට ය. දවන ස්වභාවය ඇතියක් බැවින් රාගය ද අනාගතයෙහි අනිෂ්ට විපාක ඇති කරන පාප ධර්මයෙකි. මරණාසන්නයේ දී එය බල පැවැත්වුව හොත් ප්‍රේත ලෝකයෙහි ඉපදිය හැකි ය.

රාගය විශේෂයෙන් ප්‍රේතව ඉපදීමටත් ද්වේෂය නරකයෙහි ඉපදීමටත් මෝහය තිරිසන් යෝනියෙහි ඉපදීමටත් හේතු වන බව දහම් පොත්වල කියා ඇත්තේ ය. මෙලොව සිය අදහස් පරිදි එක්ව විසීමට ඉඩ නො ලැබීමෙන් මතු ජාතියේ දී එක් වන්නට බලාපොරොත්තුවෙන් දිවි නසා ගන්නා තරුණ තරුණියන් ගේ සන්තානවල මරණාසන්නයේ දී අන්‍යොන්‍ය ප්‍රේමය හෙවත් රාගය හෝ මතු වී පවතී. නැතහොත් බලාපොරොත්තු ඉටු කර ගන්නට නො ලැබීමෙන් වන කෝපය හෝ මතු වී සිටී. නැතහොත් මෝහය මතු වී සිටී. ඒ අවස්ථාවෙහි දී දෙදෙනා කෙරෙහි ම සමානව රාගය මතු වී සිටිය හොත් ඔවුනට සමහර විට ප්‍රේතලෝකයේ එක්ව විසිය හැකි වනු ඇත. එකකු ගේ සන්තානයෙහි රාගයත් අනිකා ගේ සන්තානයෙහි ද්වේෂයත් නැඟ සිටිය හොත් දෙදෙනාට දෙපලකට යන්නට සිදු විය හැකි ය. දුර්ගතියෙහි වුව ද දිවි නසා ගන්නා යුවළකට එක් වන්නට ලැබෙනවා නම් එය කලාතුරකින් සිදුවන කරුණකි. එබැවින් මතු එක්ව කම් සැප විඳීමේ බලාපොරොත්තුවෙන් දිවි නසා ගැනීම මෝඩකම්වලින් ලොකු ම මෝඩකමක් බව කිය යුතු ය.


¤☸¤══════¤☸¤☸¤══════¤☸¤