දුටුගැමුණු රජු කල පිරිණිවන් පෑ මලියදේව හිමියන් ලංකාවේ අන්තිම රහත් තෙරනම නොවේ. සැබැවින්ම, අද වුව රහතුන් බිහි විය හැකිය. ඒ සදහා අවශ්‍ය වන්නේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ ශ්‍රී සද්ධර්මය සීල සමාධි ප්‍රඥා වශයෙන් දියුණු කොට සාක්ෂාත් කිරීමයි.

ඔබත් බුදුරදුන් පෙන්වා වදාළ උත්තම දහම් මාර්ගයේ ගමන් කරන්න


Powered by දහම් විල


ලිපි සඳහා පහත මාසය අනුව ලිපි පටුන බලන්න

නිවන් මඟ හෙළි කරන සති සම්බොජ්ඣංගය

මීරිගම, මිණඔලුවේ, විද්‍යාවාස පිරිවෙන් විහාරාධිපති, 
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අධිකරණ නායක ධුරන්ධර,
සිරි සරණංකරෝපසේන වංශාලංකාර, ශාසනශෝභන, 
ධර්මකීර්ති ශ්‍රී සරණංකර, ත්‍රිපිට විශාරද, ශාස්ත්‍රපති, 
මකුලෑවේ විමල නා හිමි

“සති” යන පාලි භාෂාමය වචනයේ අරුත “සිහිය” යන්නයි. එහි අරුත වැඩි දුරටත් විස්තර කරන ආචාර්යවරු “සරණං සති (සිහි කිරීම සතියයි) කියති. අරමුණක් ඇති සැටියෙන් සිහිපත් කිරීම සති නමින් සැලකෙන බව ඒ අර්ථ විග්‍රහයන්ගෙන් වැඩි දුරටත් කියැවෙයි
“සති” යන පාලි භාෂාමය වචනයේ අරුත “සිහිය” යන්නයි. එහි අරුත වැඩි දුරටත් විස්තර කරන ආචාර්යවරු “සරණං සති (සිහි කිරීම සතියයි) කියති. අරමුණක් ඇති සැටියෙන් සිහිපත් කිරීම සති නමින් සැලකෙන බව ඒ අර්ථ විග්‍රහයන්ගෙන් වැඩි දුරටත් කියැවෙයි. සතිය යනු කලින් කළ කී දෑ අමතක වන්නට නොදී ඒ වූ සැටියෙන් සිතේ එළඹ සිටීම ස්වභාව කොට ඇති චෛතසිකයෙකි. සති චෛතසිකය සති පට්ඨානය, සතින්ද්‍රීය, සතිබල, සම්මාසති යන තැන්වල දී යෙදී බොජ්ඣංග ගැන විස්තර කිරීමේ දී යොදා ඇත්තේ සති සම්බොජ්ඣංග යනුවෙනි

. සතිය ආරක්ෂක සෙබළෙකුට, කලණ මිතුරකුට, භාණ්ඩාගාරිකවරයෙකුට සමාන කොට ද විස්තර කොට තිබේ. දොරටුපාලයා අනවශ්‍ය කිසිවකුට ඇතුළු වන්නට ඉඩ නොදෙයි. කල්‍යාණ මිත්‍රයා ද තම හිතවතා පාප මිත්‍රයන් ඇසුරට යාමට ඉඩ නොදෙයි. භාණ්ඩාගාරිකවරයා ද තම වගකීම යටතේ ඇති රන් මිණි මුතු ආදී ඉතා වටිනා භාණ්ඩ විනාශ වන්නට ඉඩ නොදී සුරක්ෂිතව රැක බලා ගනී. පොළොවේ රියන් අටක් යට සිට වූ ඉන්ද්‍ර ඛීලයක් නගරයේ දොරටුව ශක්තිමත් කරන්නේ යම් අයුරකින් ද එමෙන්ම සතිය අරමුණ ස්ථිරව පිහිටුවයි. ඇසූ කියූ දෑ සිතේ ස්ථිරව පිහිටුවයි. එහෙයින් සම්මා සතිය සිත සමඟ පහළවන ශෝභන චෛතසිකයක් කොට සැලකෙයි. සුචරිත ධර්මයන් සපුරා ලීමෙන් හා විදර්ශනා මාර්ගයෙන් නිපදවා ගත යුතු නිර්වාණය අවබෝධ කර ගැනීමට සතිය අගනා උපාය මාර්ගයෙකි. සතිය බොජ්ඣංගයක් වශයෙන් ගන්නා විට ද මැනවින් සතිය පිහිටුවා ගැනීමට අවශ්‍යයි. තමන්ගේ කටයතු වලදී, රැකීරක්ෂාවලදී, ගමන් බිමන් වලදී, කතා බහේ දී සිහියෙන් යුතුව කළ යුතු ය. එසේ කිරීමෙන් කටයුතු සාර්ථක කර ගත හැකි ය. එහෙත් ඒවා සති සම්බොජ්ඣංගයට අයත් නොවේ. එසේ වනුයේ බොජ්ඣංග නාමයෙන් ගැනෙන්නේ විශේෂ තේරුමකින් නිසා ය. මේ වචනය සන්ධි විසන්ධි වශයෙන් වෙන්කරගත් විට ‘බෝධි + අංග‘ යි සිටී. එයට සං උපසර්ගය යොදා ගත් විට එයින් විශේෂ අර්ථයක් ද ලැබෙයි. මෙහි යෙදී ඇති බෝධි යන්නෙහි තේරුම කුමක්ද? ‘බෝධි වුච්චති චතුසු මග්ගේසු ඤාණං, චතුමග්ග ඤාණං’ සෝවාන් සකදාගාමි, අනාගාමි, අරහත් යන මාර්ග වල දී ලැබෙන ඤාණය බෝධියයි. අංග යන්නෙහි අරුත ඒ බෝධිය ලබා ගැනීමට උපකාර වන මාර්ග යන්නයි. මෙහිලා සති සම්බොජ්ඣංගය නමින් සැලකෙන්නේ මනා සිහියයි. යහපත් සිහියයි. එනම් නිර්වාණගාමී සිව්මග නුවණයි. එවිට මෙහි අර්ථය වනුයේ නිර්වාණාවබෝධය ලැබීමට හේතුවන මනා ‘සිහිය’ යන්නයි. බොජ්ඣංග වශයෙන් සතිය ගන්නා විට නොකඩවා ලැබෙන සතිය ගත යුතු ය. අතරින් පතර ද සතිය ලැබේ. එය අතරින් පතර කැඩේ. මෙතැන ගත යුත්තේ නොකඩවා පවත්නා වූ සතියයි. මේ සතිය යම් ධර්ම සමූහයක් සම්බන්ධව පාවිච්චි කරනවා නම් ඒ අවස්ථාවේදී මෙයින් ක්‍රියා දෙකක් සිදුවෙයි. සාමාන්‍ය වශයෙන් සිතට පහළ වන ප්‍රමාද පක්ෂයක් ඇත. එනම් සිත ප්‍රමාදයට හෙළන, අවුල් කරන කෙලෙස් සමූහයයි. එනම් අවිද්‍යාව, මිත්‍යාදෘෂ්ටිය, පඤ්ච නීවරණ ආදී කෙලෙස් සමූහයයි. කෙනෙකුගේ සිත පහත හෙළන, වැඩ නවත්වන, ගෙන යන වැඩ පිළිවෙලට බාධා කරන යම්කිසි සිතිවිලි ඇත්නම් ඒ සියලුම සිතිවිලි ගැනෙන්නේ ප්‍රමාද පක්ෂයටය. ඒ අයුරින් ප්‍රමාද පක්ෂයට හේතුවන, ප්‍රමාද පක්ෂයට හේතුවන කෙලෙස් රැසක් ඇත. මේ සති සම්බොජ්ඣංගය නිසා ඒ කෙලෙස් රැස අයින් වෙයි. බැහැර කිරීම සිදුවෙයි.
ඒ අයින් කිරීමත් සමඟම, බැහැර කිරීමත් සමඟ ම තවත් කාර්යයක් ඉටුවෙයි. එනම් පුද්ගලයාගේ අප්‍රමාද ගුණය වර්ධනය වීමය. යම්කිසි භාජනයක අපවිත්‍ර ජලය ඇතොත් එය ඉවත් කර අලුත් පිරිසුදු ජලය දමන්න. අර අපිරිසුදු ජලය අයින් වෙයි. අපිරිසුදු ජලය අයින් වෙනවා වාගේ සිතට සම්බන්ධ වන මේ කෙලෙස් ද මේ සතිය නිසා අයින් වෙයි. ඒ එක්කම අප්‍රමාද පාක්ෂික අප්‍රමාද ගුණ රාශියක් ක්‍රමයෙන් වර්ධනය වෙයි. වටිනා ගුණ රාශියක් සිතේ අභ්‍යන්තරයේ වැඩෙයි. සති සම්බොජ්ඣංග වශයෙන් සිදු වන මේ කාර්යය මැනවින් තේරුම් ගත යුතු ය. සති සම්බොජ්ඣංගය වචනයෙන් ප්‍රකාශ කිරීම පමණක් ප්‍රමාණවත් නැත. එම කාර්යයන් දෙක මුදුන් පැමිණෙන ආකාරයෙන් සතිය තමා තුළ වර්ධනය කර ගත යුතු ය. එනම් ප්‍රමාද පාක්ෂික කෙලෙස් විද්වංසනය කිරීම හා අප්‍රමාද පාක්ෂික ගුණ ධර්ම වර්ධනය කර ගැනීමයි. ඒ අයුරින් ක්‍රියාත්මක වන විට ප්‍රමාද පාක්ෂික කෙලෙස් අයින් වෙයි. අප්‍රමාද පාක්ෂික ගුණ දහම් එහි අරක් ගනී. සිත පිරිසුදු වෙයි. මේ තත්ත්වය ක්‍රමයෙන් දියුණු වෙමින් ගොස් සතර මගපල ලැබීමට එය මහෝපකාරී වෙයි.
සති සම්බොජ්ඣංගය ඉපදීමට හා වැඩීමට හේතුවන ධර්ම හතරක් ඇත. එනම්, 1. සති සම්පජඤ්ඤය 2. මුට්ඨස්සති පුග්ගල පරිවජ්ජනතාව 3. උපට්ඨින සති පුග්ගල සේවනතාව 4. තදධි මුත්තතාව යන සතරයි.
1. සති සම්පජ්ඤ්ඤය නමින් සැලකෙන්නේ සිහිය සමඟ මනා දැනීමයි. ඒ දැනීම සාත්ථ සම්පජඤ්ඤ, සප්පායථ, සම්පජඤ්ඤ, ගෝචර සම්පජඤ්ඤ අසම්මෝහ සම්පජ්ඤ්ඤ යනුවෙන් සිවු ආකාර වෙයි. සියලු කටයුතු මනා සිහියෙන් කළ යුත්තේ කෙසේද? ඒ මෙසේ කළ යුතු ය.
01. අභික්කන්තේ පටික්කන්තේ සම්පජාතකාරිහෝති (ඉදිරියට යාමේදීත් ආපසු හැරී බැලීමේදීත් නුවණින් දැන කරයි) 02. ආලෝකිතේ විලෝකිතේ සම්පජාතකාරි හෝනි (ඉදිරිය බැලීමේදීත්, අනුදිසා බැලීමේදීත් නුවණින් දැන බලයි) 03. සම්මඤ්ජිතේ පසාරිතේ සම්පජාතකාරිහෝති (අත්පා හැකි ළිමෙහි දී ද, දිගු කිරීමෙහිදී ද, නුවණින් දැන කරයි.) 04. සංඝාටිපත්ත චීවරධාරණේ සම්පජාත කාරිහෝති (සඟල සිවුර හා පාත්‍ර දැරීම නුවණින් දැන කරයි) 05. අභිතේ පීතේ ඛායිතේ සායිතේ සම්පජානකාරි හෝතිඅනුභව කිරීමේදීත්, පානය කිරීමේදීත් කෑමෙහිදීත් නුවණින් දැන කරයි)
06. උච්චාර පස්සාව කම්මේ සම්පජාතකාරි හෝති (මළ මුත්‍ර පහ කිරීමේදී නුවණින් දැන කරයි)
07. ගතෙඨිතේ නිසින්නේ සුත්තේ ජාගරීතේ හාසිතේතුන්හී භාවේ සම්පජාතකාරි හෝති (යාමේදී සිටීමේ දී හිඳීමෙහි දී නිඳීමෙහි දී නිදිවැරීමෙහි දී කතා කිරීමේ දී, කතා නොකිරීමේ දී නුවණින් දැන කරයි.)
2. මුට්ඨස්සති පුග්ගල පරිවජ්ජනතාව
මෙයින් අදහස් කරන්නේ මන්ද බුද්ධික, මුළා වූ සිහි නුවණ ඇති පුද්ගලයන් ඇසුරින් දුරු කිරීමය.
3. උපට්ඨින සති පුග්ගල සේවනතාව
මෙයින් අදහස් කරන්නේ එළඹ සිටි සිහිය ඇති පුද්ගලයන් සමඟ ඇසුරු කිරීමය.
4. තදධිමුත්තතාව සතර ඉරියව් පැවැත්වීමෙහිදී සති සම්බොජ්ඣංගය උපදවා ගැනීමට එයට නැමී පැවති චිත්ත වේගයෙන් යුතු බව තදධිමුත්තතාවයි.
මෙය උඨඨාන වීර්යය නොවේ. ඒ සමඟම එකට යැවිය යුතු ඵලාපේක්ෂාවෙන් යොමු විය යුතු කැමැත්ත ය. ඒ කැමැත්ත නොයෙක් ප්‍රභේද සහිතයි. මෙයින් කත්තුකම්‍යතා හා කුසලච්ඡන්දය අපේක්ෂිතය. දාන, සීල, භාවනාදියෙහි යෙදීම පිණිස සිතෙහි හට ගැනෙන කැමැත්ත බලාපොරොත්තුව කුසලච්ඡන්දයයි. මෙහි දැක්වෙන තදධිමුත්තතාව සත්ත බොජ්ඣංගයන්ගේ පහළවීම පිණිස සපුරාගත යුතු අංගයකි. ඒ ඒ තැන්වල දී මේ නයින් කෙසේ නමුත් සත්ත බොජ්ඣංගයන් උපදවා ගැනීමට සතර ඉරියව්වෙහි ක්‍රියා කළ යුතු ය. කුසලච්ඡන්දය වීර්ය සමඟ ගමන් කරවිය යුතු ධර්මතාවක් බව මහාසිව නම් තෙරුන්ගේ අපදානයෙන් ස්ඵුට වෙයි. මහාසීව තෙරුන්වහන්සේගේ අවවාදයෙහි පිහිටි තිස්නමක් පමණ ශිෂ්‍ය භික්ෂූහු රහත් වූහ.
එහෙත් ආචාර්ය මහාසීව ස්ථවිරයන් වහන්සේ පුහුදුන් බිමෙහිම සිටින බව දැනගත් ශිෂ්‍ය රහතන් වහන්සේ නමක් මුන් වහන්සේ සංවේගයට පැමිණ වූහ. එබැවින් කිහිපදිනකින් රහත් වී ශිෂ්‍ය රහතුන් වෙත එන්නෙමියි හුදකලාව වනයට ගොස් භාවනා කරන්නට වූහ. විටින් විට පරික්ෂාකාරී වූ මුන් වහන්සේ විසින් දෙයැසින් කඳුළු වැගිර වූවාහ අනන්තයි. මෙසේ වුවත් බලාපොරොත්තුව අතරමග නතර නොකොට වීර්යයෙන් ඵලය ලැබෙනතෙක්ම දෘඩතර වූ සේක් තිස්වසකට පසු රහත් භූමියට පත් වූ බව එම කතාවේ සඳහන් වේ.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤