දුටුගැමුණු රජු කල පිරිණිවන් පෑ මලියදේව හිමියන් ලංකාවේ අන්තිම රහත් තෙරනම නොවේ. සැබැවින්ම, අද වුව රහතුන් බිහි විය හැකිය. ඒ සදහා අවශ්‍ය වන්නේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ ශ්‍රී සද්ධර්මය සීල සමාධි ප්‍රඥා වශයෙන් දියුණු කොට සාක්ෂාත් කිරීමයි.

ඔබත් බුදුරදුන් පෙන්වා වදාළ උත්තම දහම් මාර්ගයේ ගමන් කරන්න


Powered by දහම් විල


ලිපි සඳහා පහත මාසය අනුව ලිපි පටුන බලන්න

කාමරාග නීවරණය

රුහුණ විශ්වවිද්‍යාලයේ කුලපති 
අග්ගමහා පණ්ඩිත
පල්ලත්තර සුමනජෝති නා හිමි

“තත්ථ කතමං දුක්ඛ සමුදයං අරීය සච්චං? යායං තණ්හා පොණො භවිකා නන්දිරාග සහගතා තත්‍ර තත්‍රාහිනන්දිනී. සෙය්‍යථිදං?
කාමතණ්හා, භවතණ්හා, විභව තණ්හා” (ධම්මචක්ක දේශනාව) බුදුරජාණන් වහන්සේ දම්සක් දේශනාව අරඹමින් තණ්හාව තෙවැදෑරුම් බව වදාළේ ඉහත සඳහන් පරිදිය. සියලු සත්ත්වයන්ගේ පුනර්භවය සනිටුහන් ප්‍රධාන ක්ලේශය කාම තණ්හාව හෙවත් කාමච්ඡන්දය බව මෙයින් වදාළහ.
හැම සත්ත්වයෙක් ම තමා උපන් භවය කුමක් වුවත් ඔහු එය පි‍්‍රය කරයි. එම භවයට අයත් රූප, ශබ්ද, ගන්ධ , රස, ස්පර්ශ, ධර්ම යන අරමුණු අල්ලාගන්නා ඇස, කන, නාසය, දිව, කය, සිත යන පසිඳුරන්ට ගෝචර වන ඉහත කී රූපාදිය කෙරෙහි ඇල්මක් හටගැනීම ඒවා අල්ලා ගැනීම කාමයෙහි ස්වභාවයයි. මෙසේ උපදින තණ්හාව , කාමතණ්හා, භව තණ්හා , විභව තණ්හා යයි ත්‍රිභේද යි. කාම තණ්හා නම් කැමැති කැමැති අරමුණු කෙරේ සිතේ ඇලීමයි. භව තණ්හා නම් උපන් භවයෙහි ඇලීමයි. විභව තණ්හා නම් උපත් භවය හැර වෙනත් භවයක් නැතැයි යන විශ්වාසයයි. මේ පිළිබඳ විස්තර කරන බුදුරජාණන් වහන්සේ දිව්‍ය, මනුෂ්‍ය අපා යන එකොළොස් භවයන්හි 
ඉපිද ඒ ඒ භවයන්හි තිබෙන රූපාදි අරමුණුවල ඇලීම කාම තණ්හාවයි. රූපී, අරූපී (බ්‍රහ්ම) ලෝකවල ඉපිද එහි වූ සැප සම්පත් විඳීමේ ආශාව භව තණ්හා වයි. (මේවායින් උපන් සත්ත්වයා සදාකල්හි ඒවායින් ම ජීවත් වෙතැයි යන දෘෂ්ටිය ශාස්වත දෘෂ්ටියයි) කිසියම් භවයක උපන් සත්ත්වයා තුළ මේ භවය හැර වෙනත් භවයක් (උපතක්) නැතැයි යන විශ්වාසය විභව තණ්හාවයි. “කාම භව, විභව යන ත්‍රිවිධ තණ්හාව රූපාදී ආරම්මන හයෙන් ගුණ කළාම අටළොසක් වේ. ඒවා ආධ්‍යාත්මික බාහිර (තමා හා අන්‍යයා) වශයෙන් සලකා ගුණ කළාම සතිස් වැදෑරුම් වේ. යළිත් ඒවා අතීත, වර්තමාන, අනාගත වශයෙන් තුන් කල්වලට බෙදා ගුණ කළාම තණ්හා වේ ප්‍රභේද එකසිය අටක් වේ.
සසර ඇලෙන්නා යන අරුත් දෙන සත්ත්වයා යන නාමපදයට අයත් ප්‍රාණියා සසර බැඳ තබා ගන්නේ තණ්හාව විසිනුයි. ඔහු උපන් භවයෙන් තවත් භවයකට පමුණු වන චුතිසිත හා පුනර්භවයෙහි උපත සිදුකරන පටිසන්ධී සිත මෙහෙය වන්නේ තණ්හාව අනුවයි. මේ තණ්හා චෛතසික චුති පටිසන්ධි දෙකින් සත්ත්වයාට මිදෙන්නට ඉඩ නොදෙයි. තණ්හාවට මිසදිටු බව හා මානය ද මේ සඳහා උපස්ථම්භක වේ. මේවා සසර සත්වයා පමා කරන ප්‍රපඤ්ච (කෙලෙස්) තුනෙකි. ඒ නිසා සසරින් මිදෙන්නට උත්සාහ කර ගන්නා තණ්හා, මාන, දිට්ඨි යන ප්‍රපඤ්ච දුරලිය යුතුයි. ඇතැමුන් ඉතා සුළු කොට සලකා සැදැහැවතා අදම නිවන් දක්වන්නට දේශනා කරතත් එසේ නිවන් ගිය කිසිවෙක් ලොව මෑතක කිසිවකුට හමු වී නැත. එබඳු දහම් දෙසන්නෝ ධර්මයෙහි යථාර්ථය යන්තම් හෝ දැනගෙන ශ්‍රාවකයන්ට කිය යුතුයි. අප හැමෝම අනුන් මේ ආත්මයේම නිවන් යවන්නට දේශනා කිරීම පසෙක තබා සිල් රකින සදාචාර සම්පන්න මිනිසුන් කිරීමටවත් උත්සාහ කිරීම ප්‍රාමාණිකය. නිවන් දක්වන්නට හෙවත් අවබෝධ කරවන්නට ශ්‍රාවකයාට පෙර නිවන ගැන දැනීමක් වත් ලබා දීම අපෙන් සිදුවිය යුත්තකි. නොඑසේම පුහුදුන් බවින් මිනිසා නිවනට උඩින් පන්නවන්න නොහැකි බව තමා තමා ගැන සිතා අන්‍යයාට ද කියන්න. බුදුන් වහන්සේ තම ධර්මය දුද්දස දුරනුබෝධ බව වදාළේ ගැඹුරු නිසයි. සත්වයා සසර බැඳ, තබන රාගාදී කෙලෙස්වලට ආශාව කියනව, “ආසවන්තීති ආසවා” යන විග්‍රහය පරිදි කාමාසව, භවාසව, දිට්ඨාසව, අවිජ්ජාසව යන ආශ්‍රවවලින් සත්ත්වයා වැහිල ඉන්නෙ.ඇස්, කන්,නාස ආදි ඉඳුරන්ගෙන් වැහෙන මේ ආශ්‍රවයෝ සත්වයා තිරිසන්, පේ‍්‍රත, මනුෂ්‍ය,දේව යන ගතිවලට පමුණුවති. රූපාදී අරමුණූ රස වින්දනයට ඇති ආශාව නිසා සත්ත්වයා පව් සිදුකරනවා. භවයෙහි ඉපදීමට ඇති ආශාව නිසා දුක්විඳිනව. මිසදිටුකම නිසා සසර දුකට පත්වෙනව. සසර දුකට සත්ත්වයා පත්කරන මේ ක්ලේශ ධර්මදර්ශනයෙහි (දස්සනා) ප්‍රමාණ කළ යුතුයි. එනම් සිවුසස් අවබෝධයෙන් මයි ප්‍රහීණ කළ හැක්කේ. කටවචනවලට එය කරන්න බැහැ. චක්ෂුරාදී ඉන්ද්‍රිය සංවරයෙන්ම එය කළ යුතුයි. පටිසේවනයෙන් (නුවණින් මෙනෙහි කිරීමෙන්) ඒවා දුරලිය යුතුයි. එනම් චීවරාදී සිවු පසය නුවණින් මෙනෙහි කොට පරමාර්ථ වශයෙන් සලකා පරිභෝග කිරීමෙන් දුරලිය යුතුයි.අධ්වාසනයෙන් හෙවත් ඉවසීමෙන් දුරුකළ යුතුයි. පරවජ්ජනයෙන් එනම් ඇත්, අස්, සර්පාදින් දුරලීමෙන් (මඟ හැරීමෙන්) දුරලිය යුතුයි. විනෝදයෙන් එනම් නුවණින් සලකා බලා (කාමාදී ආශාවන්ට ගිජු නොවී) කාම විතර්ක , ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක උපන්විට ඒවා දුරලීමට ප්‍රයත්න දැරිය යුතුයි. එසේම භාවනාවෙන් හෙවත් බොජ්ඣංග වැඩීමෙන් දුරලිය යුතුයි.
බුදුරජාණන් වහන්සේ කාමාශාව නොයෙක් උපමා මගින් දෝෂ සහගත බව පෙන්නා දී තිබෙනව. ගිනිවළල්ලකට , මස්වැදැල්ලකට , ගිනිහුලකට, සිහිනයකට, ගැරඬිකුණකට ආදී වශයෙන් කාමයෙහි ආදීනව දක්වල තියෙනව. එහි භයානකකම පිළිකුල් සහිත බව, අස්ථීර බව, හිස් බව ඒ තුළින් දක්වා තිබේ. කාමයෙන් වැළකීමෙන් බිය, උවදුරු දාහාදිය නැති වන බව දේශනා කළහ. කාලයෙන් මිදුනහුට සියලු දුක් දුරු කොට සමථ භාවනාවෙන් උපචාර අප්පනාධ්‍යාන ලබා විදර්ශනාවෙන් මග්ග, ඵල නිබ්බාන පසක් කරගෙන ලෝකෝත්තර සැප සාක්ෂාත් කරගත හැකි වේ.
කාමරාගය පඤ්ච නීවරණයන්ගේ පළමු වැන්නයි. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා නීවරණ දෙක සෝතාපත්තිමාර්ගයේදී ප්‍රහීණ වන අතර කාමරාග හා ව්‍යාපාද දෙකේ ඕලාරික බව සකදාගාමි මාර්ගයේදී සිදු වේ. අනාගාමි මාර්ග යේදී ඒවා සම්පූර්ණයෙන් ප්‍රහීණ වේ. සමථයෙන් මේවා වික්කම්භණ (තාවකාලික යටපත් කර තැබීමක්) වශයෙන් යටපත් වේ. යෝගාවචරයාට ධ්‍යාන, විමොක්ඛ, මග්ග, ඵල යන උත්තරගුණධර්ම උපදවා ගැනීමට බාධා කරන්නේ මෙම නීවරණයි. එසේම කාමුපාදාන, දිට්ඨුපාදාන, සීලබ්බතූපාදාන, අත්තවාදුපාදාන, යන මේවා මාර්ගඥානයේදී ක්ෂය වේ. සර්පයකු විසින් මැඩියකු අල්ලාගත්තාක් මෙන් පි‍්‍රයරූපාදී අරමුණු දැඩිව අල්ලා ගැනීමට උපකාර වන නිසා මේවාට උපාදාන යයි කියති. කාමූපාදානය හා දිට්ඨූපාදානය විසින් උපාදානවල යථා තත්ත්වය වනසයි. සීලබ්බත පරාමාස යන වැරදි ශීල හා ව්‍රත විසින් නිවැරදි සීල ව්‍රත, වසයි. ආත්ම දෘෂ්ටිය විසින් අනාත්ම බව වසයි. කාමරාගය වස්තුකාම, ක්ලේශකාම යයි කොටස් දෙකකි. වස්තුකාම නම් ඇස්, කන්, නාසාදී ඉන්ද්‍රියන් විසින් අල්ලා ගැනීමට උත්සාහ කරන පි‍්‍රයකරන මනාප වූ රූපාදියයි. ක්ලේශකාම නම් පි‍්‍රය කරන රූපාදිය අරමුණු කරගෙන සිතේ උපදින කාම ක්ලේශයි. මේවා විදර්ශනා වඩන්නාගේ ලෞකික ආර්ය
අෂ්ටාංගික මාර්ගයේදි රූපාදි අරමුණු පිළිබඳව කාමස්වභාවය ධ්‍යාන ශක්තියෙන් විශ්කම්භන (ධ්‍යාන පවතිනතාක්) වශයෙන් යටපත් වේ. යමෙක් ජලාශයක දියසෙවෙල් බැහැර කොට කළයෙන් දිය ගන්නාක් තෙක් දිය සෙවෙල් ඈත්ව තිබෙන්නාක් මෙනි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ලෝකෝත්තර අවස්ථාවේ එනම් මාර්ග ඵල ලබන අවස්ථාවේ සිතේ ඉතිරිව තිබෙන කලේශ කාමයන් සම්චුඡේද (සම්පූර්ණයෙන්) වශයෙන් ප්‍රහීණ වේ.
යෝගාවචරයා සෝතාපත්ති මාර්ගයට පත්වන්නා වූ විට සක්කායදිට්ඨි , විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, යන ත්‍රිවිධ සංයෝජන (සත්ත්වයා සසර බැඳ තබන කෙලෙස්) සමුච්ඡේද වශයෙන් ප්‍රහීණ කොට අනතුරුව රූපාදී පඤ්චස්ඛන්ධය හෙවත් පඤ්ච උපාදානක්ඛන්ධ මුල්කරගෙන අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන විදර්ශනාව වඩයි. හෙවත් නුවණින් පරීක්ෂා කොට බලයි. දෙවන මාර්ගය වන සකදාගාමී මාර්ගඥානය ලැබීමට විදසුන් වඩන ඔහුගේ සිතේ තිබෙන කාමරාග හා පටිඝ (ක්‍රෝධය) යන සංයෝජන දෙක ඕලාරික බවින් තොරව තුනී වේ. සැහැල්ලු වේ. එසේ වන්නේ ඒ දෙක ඉතා බලවත් නිසයි. මෙහි විශේෂය නම් සෝතාපත්තිඵලස්ථා සත්තක් ඛත්තුපරම හෙවත් මරණින් පසු දෙව්ලොව ඉපිද යළිත් මිනිස් ලොවට එන්නේ නම් හත්වරක් පමණක් වීමයි. නොඑන්නත් පුළුවනි. සකදාගමි පුද්ගලයා දෙව්ලොව උපන් පසු යළිත් මිනිස් ලොවට එන්නේ නම් එක්වරක් පමණයි. අනාගාමී පුද්ගලයා මරණින් පසු දෙව්ලොව ඉපිද භාවනා වඩා ඉහළ ඉහළ ලෝකවල ඉපිද රහත්ව එහි දී පිරිනිවන් පායි. දස සංයෝජනවලින් සක්කායදිට්ඨි , විචිකිච්ඡා , සීලබ්බත පරාමාස, කාමරාග, ව්‍යාපාද යන ඕරම්භාගීය (යට හෙවත් කාමලෝකවල උපදවන) සංයෝජනවලින් සත්ත්වයා දිව්‍ය මානුෂික යන කාම ලෝකයන්හි උපදවයි. රූපරාග, අරූපරාග, මාන, උද්ධච්ච ,අවිජ්ජා යන උද්ධම්භාගීය (බ්‍රහ්ම ලෝක වල උපදවන) සංයෝජනවලින් උඩලෝකවල උපදවයි. මේ සංයෝජන පහ නැසුම තැනැත්තා යළිත් කවරදාකවත් උපතක් නොලබයි. ඒ ඒ සත්ත්වයා සසරට පැමිණි දා සිට මේ භවය තෙක් ඔහු තුළ අප්‍රමාණ භවයන්හි හටගත් කාමාශාවන් අතීත කාමයි. මේ භවයෙන් චුතව ගිය පසු අනාගත භවයන්හි දී උපන් කාමාශා අනාගත කාමයයි.
මේ භවයෙන් චුතවීමක් අනතුරු භවයෙහි ප්‍රතිසන්ධියක් අතර කාලය තුළ උපදින කාමාශාවන් පච්චුප්පන්න හෙවත් වර්තමාන කාමයි. මෙකී නාම රූප, අරූප කවර ලෝකයක වුවත් උප්පත්තියට හේතුවන සියලු ධර්ම තෘෂ්ණාවට වස්තුවන බැවින් හා තෘෂ්ණාවට අරමුණු වන බැවින් අපේක්ෂා සහගත වන බැවින්ද ඇලිය යුතු බැවින්ද මද උපදවන බැවින්ද සියල්ලටම කාම යයි ව්‍යවහාර කරති. කාමරාගය, දුරලීම අනාගාමී මර්ගඥානයෙනුත් රූපරාග, අරූපරාග දුරලීම අර්හත් මාර්ගඥානයෙනුත් සිදුවේ. මාර්ග පිළිවෙලින් ගන්නාවිට සකදාගාමී මාර්ගයෙන් කාම රාගය තුනී වී අනාගාමි මාර්ගයෙන් කාමරාග සම්පූර්ණයෙන් ප්‍රහාණය වේ.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤