දුටුගැමුණු රජු කල පිරිණිවන් පෑ මලියදේව හිමියන් ලංකාවේ අන්තිම රහත් තෙරනම නොවේ. සැබැවින්ම, අද වුව රහතුන් බිහි විය හැකිය. ඒ සදහා අවශ්‍ය වන්නේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ ශ්‍රී සද්ධර්මය සීල සමාධි ප්‍රඥා වශයෙන් දියුණු කොට සාක්ෂාත් කිරීමයි.

ඔබත් බුදුරදුන් පෙන්වා වදාළ උත්තම දහම් මාර්ගයේ ගමන් කරන්න


Powered by දහම් විල


ලිපි සඳහා පහත මාසය අනුව ලිපි පටුන බලන්න

කාම ධාතුවෙන් නෙක්‌ඛම්ම ධාතුවට

ආචාර්ය පූජ්‍ය මිරිස්‌සේ ධම්මික හිමි

'සනිදානං භික්‌ඛවෙ, උප්පඡ්ජති කාමවිතක්‌කෝ නොව අනිදානං, සනිදානං උප්පඡ්ජති ව්‍යාපාද විතක්‌කො අනිදානං, සනිදානං උප්පඡ්ජති විහිංසා විතක්‌කෙ නො අනිදානං.''
'මහණෙනි, කාම විතර්කය ප්‍රත්‍ය සහිතව උපදී. ප්‍රත්‍ය රහිතව නූපදී. ව්‍යාපාද විතර්කය ප්‍රත්‍ය සහිතව උපදී. ප්‍රත්‍ය රහිතව නූපදී. විහිංසා විතර්ක ප්‍රත්‍ය සහිතව උපදී. ප්‍රත්‍ය රහිතව නූපදී.
ඉහත සඳහන් කරනු ලැබුවේ සංයුත්ත නිකායේ ධාතු සංයුත්තයට අයත් සනිදාන සූත්‍රයෙහි මුලධර්ම කොට්‌ඨාසයයි. භාග්‍යවතුන් වහන්සේ විසින් උපන් සංඥාව දුරුකරන ආකාරයත් එමගින් මෙම භවයේදීම ආයාස රහිතව, කෙලෙස්‌ දැවීම් රහිතව, සුවසේ වෙසෙන ආකාරයත් මරණින් මතු සුගතිය ලබන ආකාරයත් පෙන්වාදී තිබේ.
භාග්‍යවතුන් වහන්සේ මෙසේ විස්‌තර කොට දේශනා කරති. 'මහණෙනි, කෙසේ නම් කාම විතර්කය ප්‍රත්‍ය සහිතව උපදීද? ප්‍රත්‍ය රහිතව නූපදීද? ව්‍යාපාද විතර්කය ප්‍රත්‍ය සහිතව උපදීද? ප්‍රත්‍ය රහිතව නූපදීද? විහිංසා ප්‍රත්‍ය සහිතව උපදීද? ප්‍රත්‍ය රහිතව නූපදීද? විහිංසා විතර්ක ප්‍රත්‍ය රහිතව උපදීද? ප්‍රත්‍ය රහිතව නූපදීද?'
''මහණෙනි, කාම ධාතුව නිසා කාම සංඥව උපදී. කාම සංඥව නිසා කාම සංකල්පය උපදී. කාම සංඥ නිසා කාමච්ඡන්දය උපදී. කාමච්ඡන්දය නිසා කාම පරිදාහය උපදී. කාම පරිදාහය නිසා කාම පර්යේෂණාව උපදී. කාම පර්යේෂණය සොයන නූගත් පෘථග්ජන තෙමේ කයින්, වචනයෙන්, සිතින් යන තුන් කරුණින් වරදවා පිළිපදී.''
අභාවිත සිත්වල කාමයෝ සකස්‌ වෙති. අභාවිත සිතක්‌ නම් සංඛත, සංඛාර වස්‌තූන් අනිච්ච, දුක්‌ඛ, අනත්ත නම් වූ ත්‍රිලක්‌ෂණ ධර්මයන්ට යටත්ව දැකීමේ අදක්‌ෂ සිතයි. නැතිනම් එසේ පුරුදු නොකරන සිතයි. කිසිදු බාහිර වස්‌තුවක කාමයෝ නොමැති බවත්, කාමයෝ සකස්‌ වෙන්නේ අභාවිත සිත් ඇතියන්ගේ සිතුවිලි හෝ සංකල්පවල බවත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරති. 

'සංකප්ප රාගෝ පුරිසස්‌ස කාමෝ
න තෙ කාමා යානි චිත්‍රානි ලෝකේ
සංකප්ප රාගො පුරිසස්‌ස කාමෝ
තිට්‌ඨන්ති චිත්‍රානි තථෙව ලෝකේ
අථෙත්ථ ධීරා විනයන්ති චන්දන්න

'ලෝකයෙහි පුරුෂයකුට (හෝ කාන්තාවකට) සංකල්ප උපන් රාගය කාම වෙයි. යම් වූ විසිතුරු වස්‌තු වෙත් ඒවා කාම නොවෙති. පුරුෂයාගේ සංකල්ප රාගයම කාම ලෝකයේ විසිතුරු වස්‌තු ඒ ආකාරයෙන්ම වෙයි. මේ නිසාම යම් අරමුණක උපන් ඡන්ද රාගය, නුවණ ඇත්තෝ (භාවිත සිත් ඇත්තෝ) දුරු කරති. (අං.නි. නිබ්බේධික සූත්‍රය)
මේ අනුව සිතේ පවත්නා අභාවිත බව නිසා ඇසට අරමුණු වන රූපය, කණට අරමුණු වන ශබ්දය, නාසයට අරමුණු වන ආඝ්‍රණය, දිවට අරමුණු වන රසය, කයට අරමුණු වන ස්‌පර්ශය, සිතට අරමුණු වන සිතුවිලි කාම හෙවත් කාම ධාතුව බවට පත්වෙති. මේ නම් ආරම්මණ, අභාවිත සිත්වලට කාම බවට පත්වන මීළඟට සිදුවන්නේ කුමක්‌ද? අභාවිත සිතට, ගෝචර වන ආරම්මණ කාමයන් බවට පත්වීම හේතුකොට ගෙන කාම සංඥව උපදී. කාම සංඥව නිසා නැවතත් කාම සංකල්ප සකස්‌වෙයි. මෙහිදී අභාවිත සිතෙහි නිමිති, අනුනිමිති, ව්‍යඤ්ජන වශයෙන් ප්‍රත්‍ය වැඩෙන්නට සියලු දෙනාටම, එකම අරමුණක්‌ද වුවද එකම ආකාරයකින් සකස්‌ නොවෙයි. කාම සංඥව සකස්‌වීමේදීත්, කාම සංකල්ප ඉපදීමේදීත් කෙලෙස්‌ අඩු වැඩි වශයෙන් සකස්‌ විය හැකිය. යම් කෙනකුට යම් මාත්‍ර වශයෙන් අරමුණෙහි රාග, ද්වේෂාදී වශයෙන් කෙලෙස්‌ ඉපදී නොවැඩී බැහැර විය හැකිය. තවත් අයකුට රාගාදී කෙලෙස්‌ හටගෙන, එය හඳුනා ආදීනව මෙනෙහි කිරීමෙන්, තම සිතෙහි එම කෙළෙස්‌ ක්‍රියාත්මක වෙන්නට ඉඩ නොදී බැහැර කිරීමට හැකිවනු ඇත. තවත් කෙනෙක්‌ නිමිති ව්‍යඤ්ජන වශයෙන් රාගයම වැඩෙන ආකාරයෙන් අරමුණු පරිහරණය කරති. අභාවිත සිතේ රාගාදී කෙලෙස්‌ කොපමණ ප්‍රබල වන්නේදැයි සඳහන් කළොත් ඒ මෙසේයි. එනම් මළ මිනියකට හෝ ඇට සැකිල්ලකට හෝ තිරිසන් සතෙක්‌ කෙරේ වුවද කාම සංඥවන්, කාම සංකල්පය උපදවා ගනී.
මෙම වරදවා පිහිටුවා ගත් කාම සංකල්පය නිසා කාමච්ඡන්දය උපදී. යම් වූ අරමුණක්‌ කෙරේ අභාවිත සිතෙහි කාමයට කැමැත්ත හෙවත් ඡන්දය හටගන්නේ පඤ්ච කාම ගුණයන් සමගිනි. 'ඉට්‌ඨා කන්ත මනාපා, පියරූපා කාමූපසංහිතා රජනීයා'. එනම් ඉටුවඩන, මනවඩන, ප්‍රියදැයෙහි කාමයෙන් යුත් ඇලුම් කරන නම් වූ ගුණ වශයෙනි. මේවා ගුණ නම් පදයෙන් හැඳින්වුවත්, පරමාර්ථ ධර්මයේදී නුගුණමය. මෙම කාමය නිසා කාම පරිදාහය උපදී. පරිදාහය නම් තැවෙන, දැවෙන, රත්වෙන, පිළිස්‌සෙන ස්‌වභාවයයි. කාම පරිදාහය හටගත් විට එයින් නිවීමට හෝ නිදහස්‌වීමට උත්සාහ ගනී. අභාවිත සිතක්‌ ඇත්තා තම සිතෙහි කාමයෙන් තැවෙන ස්‌වභාවයෙන් ගැලවීමට උත්සාහ ගන්නේ කාම ගොදුරකින්මය. කාම ගින්න නිවා ගැනීමට නම් විරාග සිසිලසක්‌ සිතෙහි සකස්‌ කර ගැනීම යහපත් වුව මේ නිසා කාම ගින්න නිවා ගැනීමට කාමයෝම සොයන්නට පෙළඹේ. මෙය කාම පර්යේෂණය යෑයි හඳුන්වා කාම පර්යේෂණයේදී ''හොඳින් නොහැකි නම්, නොහොඳින් හෝ කියාද, ධර්මයෙන් නොහැකි නම් අධර්මයෙන් කියාද, එළිපිට නොහැකි නම් රහසින් හෝ කියාද?' ආදී වශයෙන් සෙවීම, උපක්‍රම යෙදීම, සැලසුම් කිරීමට අභාවිත සිත් ඇති පුද්ගලයා පෙළඹෙයි. මෙම කාම වස්‌තු සවිඤ්ඤාණික හෝ අවිඤ්ඤාණික වස්‌තුන් විය හැක. ඇස ආදී ඉන්ද්‍රිය සයෙන්මත්, රූපාදී ආරම්මණ සයෙන්මත්, චක්‌ඛු විඤ්ඤාණ ආදී විඤ්ඤාණයන්ගේම මෙම අනාර්ය පර්යේෂණයට එකතුවෙයි. මෙම කාම පර්යේෂණයට බැසගත් නූගත්, පුහුදුන් පුද්ගලයා කයින්, වචනයෙන්, සිතින් නම් වූ තුන් කරුණින් වරදවා පිළිපදී. එනම් පස්‌පව්, දස අකුසල් වශයෙන් පාපී ස්‌වභාවයට පත්වීමයි.
භාග්‍යවතුන් වහන්සේ මීළඟට මෙසේ දේශනා කරති. 'මහණෙනි, ව්‍යාපාද ධාතුව නිසා ව්‍යාපාද සංඥව උපදී. ව්‍යාපාද සංඥාව නිසා ව්‍යාපාද සංකල්පය උපදී. ව්‍යාපාද සංකල්පය නිසා ව්‍යාපාද ඡන්දය උපදී. ව්‍යාපාද ඡන්දය නිසා ව්‍යාපාද පරිදාහය උපදී. ව්‍යාපාද පරිදාහය නිසා ව්‍යාපාද පර්යේෂණාව උපදී. ව්‍යාපාද පර්යේෂණය සොයන නූගත් පුහුදුන් පුද්ගලයා කයින්, වචනයෙන්, සිතින් යන තුන් කරුණින් වරදවා පිළිපදී. මෙහිදී කාම ධාතුව පිළිබඳ විස්‌තර කළ අයුරින්ම ව්‍යාපාද සහ සිතුවිලි පිළිබඳ අවබෝධයක්‌ ඇතිකර ගැනීම අවශ්‍යය. කුමන ආරම්මණයක්‌ ඔස්‌සේ වුවද, ව්‍යාපාද සංඥව සකස්‌ වෙන්නේ තම සිතෙහිය. එනම් අභාවිත සිතෙහිය. මේ නිසා ව්‍යාපාද ආරම්මණය ද අනිච්ච දුක්‌ඛ, අනත්ත නම් ත්‍රිලක්‌ෂණයට යටත්කොට දැකීම අවශ්‍යය. මෛත්‍රිය මනාව පුරුදු කිරීමෙන් තම සිත මෙත්තා, කරුණා, මුදිතා, උපෙක්‌ඛා නම් සතර බ්‍රහ්ම විහරණයට පුරුදු කළහ. ආඝාතය ඇතිවන කරුණුවලින් වැළකිය යුතුය. 'ඒ පුද්ගලයා අතීතයේ මම වරද කළේය. වර්තමානයේ වරද කරන්නේය. අනාගතයේaද කරනු ලබන්නේය. තම ප්‍රිය පුද්ගලයාට අතීතයේ වරදක්‌ කළේය. දැන් වරදක්‌ කරන්නේය. අනාගතයේද වරදක්‌ කරනු ලබන්නේය. තම අහිතවන්තයාට අතීතයේ යහපත කළේය. දැනුදු යහපතකරන්නේය. තම අහිතවන්තයාට අනාගතයේ යහපතක්‌ කරනු ලබන්නේය.'' මේ ලෙසින් සිතා ආඝාතයෙන් වැළකීමට සිත පුරුදු කොට නැතිනම් සිතෙහි ව්‍යාපාද ධාතුව සකස්‌ වී ව්‍යාපාද සංඥ ගැනීම වශයෙන් පස්‌පව්, දස අකුසල් දක්‌වා වර්ධනය වේ. මේ ආකාරයෙන් විහිංසා ධාතුවදා (අනුන්ට විපත් කිරීම ) ගලපා බැලිය යුතුය. විහිංසා ධාතුව නිසා විහිංසා උපදී. විහිංසා සංඥව නිසා විහිංසා සංකල්පය උපදී වශයෙනි.
භාග්‍යවතුන් වහන්සේ දේශනා කරති. 'මහණෙනි, පුරුෂයෙක්‌ ඇවිලගත් තණ හුලක්‌ වියෑලී තණ ලා හෙලන්නේද, ඉඳින් අතින් පයින් වහා නොනිවන්නේ. මෙසේ ඒ තණ ලැහැබ සහ දැව ඇසුරු කළ යම් ප්‍රාණීහු ඇත්ද ඔවුහු විනාශයට පැමිණෙන්නාහුය. 'මහණෙනි, එසේම යම්කිසි භික්‌ෂුවක්‌, බමුණෙක්‌ (උපාසකයෙක්‌, උපාසිකාවක්‌) උපන්නාවූ විෂම බවට පැමිණියා වූ අකුසල සංඥව වහාම දුරු නොකෙරේද, බැහැර නොකෙරේද අවසන් නොකෙරේද අනුක්‍රමයෙන් නොඉපදීමට කටයුතු නොකෙරේද, හෙතෙම මේ අත් බවයේම පීඩා සහිත උපායාස (බලවත් සිත් තැවුල්) සහිතව පරිදාහ සහිතව දුකසේ වෙසෙයි. මරණින් මතු දුගතිය කැමති විය යුතුය. 

භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කරති. නෛෂ්ක්‍රම්‍ය විතර්කය ප්‍රත්‍ය සහිතව උපදී, ප්‍රත්‍ය රහිතව නූපදී. අව්‍යාපාද විතර්කය ප්‍රත්‍ය සහිතව උපදී. 

ප්‍රත්‍ය රහිතව නූපදී. අවිහිංසා විතර්කය ප්‍රත්‍ය සහිතව උපදී. ප්‍රත්‍ය රහිතව නූපදී. අවෙ‍ෙෂ්ක්‍රම්‍ය (කෙලෙස්‌වලින් නික්‌මීම) ධාතුව නිසා නෛෂ්ක්‍රම්‍ය සංකල්පය උපදී. නෛෂ්ක්‍රම්‍ය සංකල්පය නිසා නෛෂ්ක්‍රම්‍ය ඡන්දය උපදී. නෛෂ්ක්‍රම්‍ය ඡන්දය නිසා නෛෂ්ක්‍රම්‍ය පරිදාහය උපදී. නෛෂ්ක්‍රම්‍ය පර්යේෂණාව නිසා ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා සිත, කය, වචනය නම් වූ තුන් කරුණින් මනාසේ පිළිපදී. අව්‍යාපාද ධාතුවෙහිත්, අවිහිංසා ධාතුවෙහිදීත් මෙම ධර්ම පරියායම ක්‍රියාත්මක වෙයි. භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කරත්. ''මහණෙනි, යම් සේ පුරුෂයෙක්‌ ගිනිගත් තණ හුලක්‌ වියලි ත ණ ලැහැබක බහාලන්නේද ඒ තණහුල අතින් පයින් වහාම නිවන්නේද, මෙසේ තෘණ සහ දැව ඇසුරු කළ යම් ප්‍රාණිහු වෙත්ද, ඔවුහු විනාශයට නොපැමිණෙන්නාහුය.
එසේම යම් භික්‌ෂුවක්‌ හෝ බමුණෙක්‌ (උපාසකයෙක්‌ හෝ උපාසිකාවක්‌) විෂම බවට පැමිණ අකුසල සංඥව වහාම දුරු කෙරේද බැහැර කෙරේද, මුලින්ම ගළවා දැමේද නැවත හටනොගන්නා බවට පමුණුවාද හෙතෙම මේ අත් බවයේද පීඩා රහිතව, ආයාස රහිතව, පරිදාහ රහිතව සුවසේ වෙසෙයි. මරණින් මතු සුගතිය කැමැති විය යුතුයි. 
උතුම් චතුරාර්යය සත්‍ය ධර්ම අවබෝධම වේවා‍ෙ

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤