දුටුගැමුණු රජු කල පිරිණිවන් පෑ මලියදේව හිමියන් ලංකාවේ අන්තිම රහත් තෙරනම නොවේ. සැබැවින්ම, අද වුව රහතුන් බිහි විය හැකිය. ඒ සදහා අවශ්‍ය වන්නේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ ශ්‍රී සද්ධර්මය සීල සමාධි ප්‍රඥා වශයෙන් දියුණු කොට සාක්ෂාත් කිරීමයි.

ඔබත් බුදුරදුන් පෙන්වා වදාළ උත්තම දහම් මාර්ගයේ ගමන් කරන්න


Powered by දහම් විල


ලිපි සඳහා පහත මාසය අනුව ලිපි පටුන බලන්න

බුදුරදුන් අනිත්‍ය දෙසුවේ ඇයි?


ආචාර්ය පූජ්‍ය මිරිස්‌සේ ධම්මික හිමි

බුදුරජාණන් වහන්සේගේ ධර්මය අකාලික වේ. කල් නොයවාම ප්‍රතිඵල ගෙනදේ. එය හැම කාලයටම ගැළපෙන සනාතනික ධර්මයකි. ඊට හේතුව බුදුරජාණන් වහන්සේ මනුෂ්‍යයකු වීමය. මනුෂ්‍යයකුට කළ නොහැකි කිසිවක්‌ බුදුරජාණන් වහන්සේ දේශනා නොකළහ. ඒ නිසා බුදුදහමට අනුව හැසිරීම, ඉන් පල ප්‍රයෝජන ලබාගැනීම, මනුෂ්‍යයන් වන අපට දුෂ්කර කාර්යයක්‌ නොවේ. දෙවියන් හෝ වෙනත් අදෘශ්‍යමාන බලවේගයක්‌ හෝ සම්බන්ධ දෙයක්‌ නම් ඒවා කළ හැකිද යන්න ගැටලුවක්‌ විය හැකිය. නමුත් බුදුරජාණන් වහන්සේගේ තත්ත්වය ඉඳුරාම වෙනස්‌ විය.
බුදුරජාණන් වහන්සේ සීතලට උණුසුමට සංවේදී වූහ. පරිසර සාධකවලින් ආරක්‌ෂාවීම සඳහා සිවුරු දැරූය. මනුෂ්‍ය සිතිවිලි උන්වහන්සේටද විය. මනුෂ්‍යයන් වශයෙන් අපට දැනෙන කායික වද වේදනා බුදුරජාණන් වහන්සේටද දැනුණි. බුදුරජාණන් වහන්සේ මනුෂ්‍යකු වශයෙන් එසේ සමාන්‍යයද වන විට මිනිසුන්ට වෙනත් බලවේග හා සමකර සලකන්නට අවශ්‍යතාවක්‌ නොවීය. තමන් වන්සේත් මනුෂ්‍යයකු වශයෙන් සිත දියුණු කර, මිනිස්‌ සිතක පහළ කරගන්නා ඉහළම ස්‌වභාවයට හෙවත් සසර නිමා කිරීමට සමත් වූ බව වදාළහ. උන්වහන්සේ සෑම දුර්ගුණයක්‌ම දුරුකළේ යහපත් ධර්මතා මානසිකව, වාචිකව, කායිකව උත්පාදනය කරගනිමිනි. 
බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද්දේ සිය ජීවිතය තුළදී පිළිපැද ලත් අත්දැකීම් සම්බාරයකි. අත්දැකීම්වලින් බැහැරවූ කිසිවක්‌ උන්වහන්සේ සාමාන්‍ය මිනිසාට දේශනා නොකළහ. අත්දැකීම්වලින් ලද යහපත් දේ පිළිපදින ලෙසත් අයහපත් අවැඩම සලසන දේ නොකරන ලෙසත් ජනතාවට දැනුම් දුන්හ. බුදුසිරිතේ එය තවත් යහපත් ගුණධර්මයක්‌ වේ. ඒ බෝධිසත්ව අවධියේ පටන් සසර ගමනේ පෙරුම්පුරන විට තමන්ට ලැබුණු නරකම අත්දැකීම් මිනිසුන්ට විඳින්නට ඉඩ නොතැබීමය. ලැබීමට උනන්දු කළේ යහපත් වූ ප්‍රතිපත්තීන්ය. මෙය ගුණබර මවකගේ සහ පියකුගේ ක්‍රියාකලාපයට සමානය. බුදුරජාණන් වහන්සේ බුදු අම්මා, බුදු තාත්තා යනුවෙන් හඳුන්වන්නේ ද මේ නිසාය.
කටුක අමිහිරි දුක්‌වේදනා දරුවන් ලබනවාට කිසිදු මවක්‌ හෝ පියෙක්‌ කැමැති නොවෙති. තමන් ලද සියලු සැපසම්පත් තමන්ටත් වඩා දරුවන්ට ලබාදීමට ඔවුහු උත්සාහ කරති. බුදුරජාණන් වහන්සේද එසේ ක්‍රියාකළහ. වසර හයක්‌ දුෂ්කර ක්‍රියාකිරීමෙන් පසු එය නිරර්ථක උත්සාහයක්‌ බව උන්වහන්සේම ප්‍රත්‍යක්‍ෂ කරගත්හ. ශරීරයට අධික දුක්‌දීම හෙවත් අත්ථකිලමථානු යෝගයෙහි හෝ ශරීරයටඅධික සැප ගෙනදීම හෙවත් කාලමුඛල්ලිකානු යෝගයෙහි නියෑළීමෙන් ලද හැකි දෙයක්‌ නොවන බව තේරුම්ගත් බුදුරජාණන් වහන්සේ තම පළමු ධර්ම දේශනාවේදීම පැහැදිලි කරන්නේ එම අන්ත දෙකෙන්ම බැහැර විය යුතු බවය. මම දුක්‌විඳි නිසා නුඹලාත් දුක්‌විඳිය යුතු යෑයි බුදුරජාණන්වහන්සේ කිසිදු විටෙක දේශනා නොකළහ.
මෙයින් පසු උන්වහන්සේ ලද සම්බුද්ධත්වය ලබන ආකාරය පිළිබඳව අනුශාසනා කළහ. වෙනත් දර්ශනවල කිසිම අවස්‌ථාවක ශාස්‌තෘවරයාගේ තත්ත්වයට පත්වන ලෙස කියා නැත. එහෙත් ඕනෑම පුද්ගලයකුට පාරමිතා පිරීම මගින් බුද්ධත්වයට පත්විය හැකි බව දේශනා කළහ. මේතුළින් ප්‍රකට වන්නේ සැබෑ මනුෂ්‍යයකුගේ අත්දැකීම් මගින් දිනාගත් චරිතයක්‌ බවය. 'දිනාගත්' යන්නෙන් අදහස්‌ වන්නේ ලෞකික ලෝකය පරදවා දිනාගත් දෙයක්‌ නොවේ. මිනිස්‌ සිතක පහළ වන රාග, දොaෂ, මෝහ මුල්කරගත් දුක්‌ ගෙන දෙන කෙළෙස්‌ ඉවත් කිරීමෙන් තමා තුළම ලද දිනුමයි.
බුද්ධ ධර්මය දේශනා කර අද වනවිට වසර දෙදහස්‌ පන්සියය හැටද ඉක්‌මවා තිබේ. මෙය එදා මෙන්ම අදටත් මතුවටත් ලෝකයේ ඕනෑම රටක ඕනෑම සංස්‌කෘතියක ජීවත්වන පිරිසකට ගැළපෙන්නේ මිනිස්‌ සිත මුල්කරගෙන දේශනා කළ දහමක්‌ නිසාය. මිනිස්‌ සිතක පහළ විය හැකි බරපතළම දුර්ගුණ වචන තුනකින් උන්වහන්සේ සඳහන් කළා. ඒ ලෝභ, දොaෂ, මෝහ යනාදී වශයෙනි. මේ ධර්මතා සෑම මිනිස්‌ සිතකම පහළවිය හැකිය. ඉතිහාසය අනුව ලෝකයේ ආරම්භයෙත් වර්තමානයේත් සියලුම කායික මා මානසික ගැටලුවලට මුල ලෝභය හෙවත් තෘෂ්ණාව බව පැහැදිළිය. ලෝභය හටගන්නේ සිතෙහිය. මේ නිසා බුදුරජාණන් වහන්සේ ප්‍රථමයෙන් අනුශාසනා කළේ 'මම' කියන වචනයෙන් විග්‍රහ කරන මමත්වය හෙවත් සිතින් අල්ලා ගැනීම දුරුකිරීමටය. මමත්වය දුරු කළහොත් ලෝකය පිළිබඳව ඉන්ද්‍රියන් තුළින් ලබන සතුට හෙවත් පිනවීම ලබන්නට අපහසු බව යමකුගේ සිතට ගැටලුවක්‌ මතුවිය හැකිය.
එය එසේ නොවන බව ධර්මය විමසා බලන විට පැහැදිළි වේ. මේ පවත්නා සාමාන්‍ය ලෝකයෙන් පළා යැමට බුදුරජාණන් වහන්සේ කවර අවස්‌ථාවක හෝ දේශනා නොකහළ. ලෝකයෙන් පළා යාමටවත් ස්‌වභාවධර්මයට විරුද්ධව කටයුතු කිරීමටවත් පහසු නැත. උන්වහන්සේ වදාළේ ලෝකය දකින ආකාරයෙහි වෙනසක්‌ ඇති කළ යුතු බවයි. ඉන්ද්‍රියන් තුළින් හසුකරගන්නා සියලු දැ සම්මුතියට අනුව ලස්‌සනයි.,සුඛයි කියමින් ඒවා පරිහරණය කිරීම වරදක්‌ නොවේ. බුදුරජාණන් වහන්සේ වදාළේ ලස්‌සනයි සුඛයි යනුවෙන් ඉන්ද්‍රියන් තුළින් හසුකරගන්නා සෑම වස්‌තුවක්‌ම වෙනස්‌වන බව දිරාගෙන යන බව එකම ආකාරයකින් නොපවතින බව තේරුම්ගත යුතු බවය.
සරල වචනයෙන් සඳහන් කරන්නේ නම් මම කියා තමන්ට කතා කරමින් විසිතුරු ඇඳුමකින් සැරසී එහි හැඩය ගැන සතුටු වුවත් මෙය වෙනස්‌වීමට ගොදුරුවන බව දිරායන බව අමතක නොකළ යුතුය. දිරායැම, වෙනස්‌වීම යම් වස්‌තුවක අනිත්‍ය බව සිහිපත් කිරීම සිනාවට කරුණක්‌ නොවේ. මෙලොව පවත්නා පණ ඇති පණ නැති හැම වස්‌තුවකම ඇති අනිත්‍ය බව බුදුරජාණන් වහන්සේ ඇති කළ දෙයක්‌ නොවේ. බුදුරජාණන් වහන්සේ විසින් සිදුකළේ විද්‍යාඥයකු මෙන් ලොව ස්‌වභාවයෙන් පවත්නා දෙයක්‌ මතුකොට පෙන්වාදීම පමණි.
බුදුරජාණන් වහන්සේ විසින් අනිත්‍ය බව දේශනා කළේ ඇයිදැයි කෙනකු විමසිය හැකිය. ලෙඩ දුක්‌වලට හේතුවන විෂබීජ පිළිබඳව හෝ වෛරස්‌ පිළිබඳව යමෙක්‌ සොයාගෙන ඒ රෝගයෙන් වැළකෙන මග කියාදීම වරදක්‌ද? හැබෑවටම එය උතුම් ක්‍රියාවකි. බුදුරජාණන් වහන්සේ ද සිදුකළේ සෑම මනුෂ්‍යයකුම අකැමැති හැම, වැළපීම, දුක-වේදනා ඇතිවීමට හේතුවත්, ඒ හේතුව නැතිකරන ආකාරයත්, නැති කරන්නට ක්‍රියා කළ යුතු මාර්ගය දේශනා කිරීමයි.
සදාතනික වූ අකාලික වූ බෞද්ධ දර්ශනය සෑම තැනටම එක සේ ගැළපුනාක්‌ මෙන්ම ඒ මගින් ප්‍රතිඵලද ලැබිය හැකි බව අපට පැහැදිළි වේ. වර්තමානයේ ඇතිවී ඇති පොදුවේ සමාජය පිළිගත් සදාචාරයෙහි පිරිහීම කුමන හේතුවක්‌ නිසාදැයි බෞද්ධ දර්ශනය තුළින් විමසා බැලිය යුතුය. එනම් බුදුන්වහන්සේ දේශනා කළ මිනිස්‌ සිතක ස්‌වභාවයෙන් පහළ වන රාග, දොaෂ, මෝහ වැඩීම එසේම පවතිද්දී ඒවා පාලනය කිරීමට හා සන්සිඳීමට උත්සාහ නොගැනීමයි. වර්තමානයේ මිනිස්‌ සිත අද වගේම අවුරුදු දහස්‌ ගණනකට පෙරාතුවත් එක්‌ ආකාරයකින් බල පැවැත්විණි.අ තීතයේ බහුභාර්යා, බහුපුරුෂ සේවනය වැනි සිත මහත් සේ රාගයට බැඳුණු අවස්‌ථා පැවතුණ බව ත්‍රිපිටකයට අනුවත් ලෝක ඉතිහාසයට අනුවත් පෙනේ. එවැනි ගැඹුරු ස්‌වභාවයක්‌ වර්තමානයේ දක්‌නට නැත. එයින් අදහස්‌ කළේ නායකත්වයේ පටන් අන්තඃපුරය වැනි අවස්‌ථා සලසා ගැනීම පිළිබඳවය.
එදා සදාචාරය ලෙස සැලකුවේ මංගල සූත්‍රයේ සඳහන් කරුණු 38ක්‌ පෙන්වාදෙන යහපත් කරුණු ආදිය ඇතුළත් කරගත් ගුණාංගය. එනම් හොඳ මගට පැමිණි වැඩි පිරිසක්‌ ඒවාට උනන්දු කරවීමත්, ඒ මග යැමට මාර්ගය කියාදීමත්ය. වර්තමානයේදීද එදා පැවැති යහපත් දෙයට යහපත් දේ ලෙස එනම් සදාචාරාත්මක දැ ලෙස පිළිගත්තත් ඒවා පිළිපදින හා ඒ මග යන්නට උනන්දු කරවන පිරිසත් අවස්‌ථාත් අඩුවී ඇත. සදාචාරාත්මක පිරිහීම ලෙස අප දකින්නේ මේ ටිකය.
සතුන් මැරීම, සොරකම, කාමමිච්ඡාචාරය, බොරුකීම, මත් මතුර භාවිතය මේවා අදත් පවතී. එහෙත් එහි වැඩි පාලනයක්‌ තිබිණි. අද පාලනයකින් තොරව ඒවා වේගයෙන් ක්‍රියාත්මක වන බවක්‌ දක්‌නට ලැබේ. මෙයට හේතුව බාහිර වස්‌තුවල ඇති මායාකාරී ස්‌වභාවය යෑයි කෙනකුට සිතිය හැකිය. සැබෑවටම සිදුවන්නේ සිත පාලනයකින් තොරව අයාලේ ගමන් කරන්නට ඉඩ හැරීමය. මේ නිසා බුදුදහම එදා වගේම අදත් මනාව පිළිපැද්දේ නම් සදාචාරාත්මක පැවතුම් අප අතර පවත්වාගත හැකිය.
වර්තමානයේ බෞද්ධ දර්ශනය පමණක්‌ නොව අනෙකුත් ආගම්වලද ඉගැන්වීම් දැනුමටත් පොතපටත් හා කතා කිරීමටත් සීමාවේගෙන යන බව කිව හැකිය. මින් අදහස්‌ කරන්නේ සියලු දෙනා ධර්මය නොඅදහන බවක්‌ නොවේ. වැඩි පිරිසක්‌ ධර්මයෙන් ඈත්වන බවය. අද ඇති එක්‌ පිළිගැනීමක්‌ නම් පන්සිල් රකින අයට වඩා පන්සිල් කියන අය පමණක්‌ දහස්‌ ගණනින් වැඩි බවය. බුදුරජාණන් වහන්සේ වදාළේ පර්යාප්ති එනම් ඉගෙනගන්න, ප්‍රතිපත්ති ඉගෙනගත් දේ විමසා බලා නිවැරැදි යෑයි තේරුම්ගත් දේ අනුගමනය කරන්නට කියාය. අවසානයේ ඵලය ලැබෙන තුරු අත් නොහැර ක්‍රියා කළ යුතු බවත්ය.
බෞද්ධ දර්ශනය වැනි සදාතනික ධර්මයක්‌ අප අනුගමනය කළත් සදාචාරාත්මක වෙනස්‌ වීමක්‌ද ඇතිවී යෑයි පෙනෙන්නේ ප්‍රතිපත්තිය හා ප්‍රතිවේදය බොහෝ අය තුළ නොමැති නිසාය. බුදුන් දවස යම් යම් සදාචාරාත්මක පිරිහීම් ඇතිවන විට බුදුරජාණන්වහන්සේ විවිධ ධර්ම කරුණු හා විනය නීති පැනවූහ. කාලය වෙනස්‌ වෙද්දී වර්තමානයට අනුව ධර්මය ගැළපීමක්‌ යම් විනය නීති හෙවත් ශික්‍ෂා පද නොපැනවීමත් මෙම සදාචාරාත්මක වෙනස්‌වීමටඑක්‌ හේතුවක්‌ විය හැකිය.
මේනිසා බෞද්ධ දර්ශනයේ නාමයෙන් ත්‍රිපිටක දහම ගැනත් ගිහි පැවිදි උතුමන්ට කාලයට අනුව ධර්මය ගළපා හා පහදා බෙදා දීමත් යම් යම් විනය නීති බෞද්ධ දර්ශනයට අනුව ඇතුළත් කිරීමත් හඳුන්වාදීමට පැවරී ඇති කාර්යයකි.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤