දුටුගැමුණු රජු කල පිරිණිවන් පෑ මලියදේව හිමියන් ලංකාවේ අන්තිම රහත් තෙරනම නොවේ. සැබැවින්ම, අද වුව රහතුන් බිහි විය හැකිය. ඒ සදහා අවශ්‍ය වන්නේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ ශ්‍රී සද්ධර්මය සීල සමාධි ප්‍රඥා වශයෙන් දියුණු කොට සාක්ෂාත් කිරීමයි.

ඔබත් බුදුරදුන් පෙන්වා වදාළ උත්තම දහම් මාර්ගයේ ගමන් කරන්න


Powered by දහම් විල


ලිපි සඳහා පහත මාසය අනුව ලිපි පටුන බලන්න

දිවි මඟ එළිය කරන දහම් මඟ

බත්තරමුල්ල හීනැටිකුඹුර පුරාණ විහාරවාසී
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ
අඹගහවත්තේ සුධම්මවංශ හිමි

අනන්ත සසර තුළ පුහුදුන් මිනිසා රාගයෙන් රත්ව, ද්වේෂයෙන් හා මෝහයෙන් මුලාවී ඉපදෙමින් මැරෙමින් ගමන් කරන මේ සසරෙහි පුද්ගලයාට සසර දුක් දුරු කොට අපාදුක් නසා මෙලොව පරලොව සැප පිණිස මෙන් ම නිවන් අවබෝධය සඳහා හේතුවන මහා පිනක් ලෙස ධර්ම ශ්‍රවණය හැඳින්විය හැකිය.
අප මහා බෝසතාණන් වහන්සේ සාරා සංඛ්‍යෙය කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි දාන, සීලා දී පාරමිතාවන් පූර්ණය කොට ධර්මය අවබෝධ කොට ගත් බවත් එය සංදිට්ඨික, අකාලික, ඒහි පස්සිකෝ ආදී ගුණයෙන් යුක්ත වන හෙයින් උන්වහන්සේගේ දේශනාව වූයේ ‘සබ්බ දානං ධම්ම දානං ජිනාති’ ලොවෙහි සියලු දානයන් පැරදවීම පිණිස ධර්ම දානය හේතුවන බවයි.
එනම් ලොව කොපමණ නිවාස, යාන, වාහන, ආහාරපාන, මුදල් ආදිය පරිත්‍යාග කළ ද එය එම පරිත්‍යාග ලබන පුද්ගලයාට මෙලොව සැප පිණිස පමණක් හේතුවේ. නමුත් ධර්ම දානය තුළින් ධර්ම ශ්‍රවණය කරන ඇත්තන්ට මෙලොව හා පරලොව ජීවිතය සාර්ථක කර ගැනීමට පමණක් නොව නිවන් අවබෝධය සඳහා ද හේතුවන බව තථාගත දේශනාවයි.
අංගුත්තර නිකාය අටුවාව තුළ දී දැක්වෙනුයේ මෙලොව යම් ඇසීමක් වේ නම් ත්‍රිපිටක බුද්ධ වචනය ඇසීම ශ්‍රේෂ්ඨ වන බවයි. දස පුණ්‍ය ක්‍රියා අතර සද්ධර්ම ශ්‍රවණය නව වැනි පින් ක්‍රියාව බව දක්වයි. වර්තමානයේ දී අප විවිධ අවස්ථාවන්වල සද්ධර්ම ශ්‍රවණය සිදුකරන අතර විහාරස්ථානයක, නිවසක නැතහොත් විවිධ සමිති සමාගම්වලින් සිදුකරන ධර්ම දේශනාවන්ට ඇහුම්කන් දේ. එමෙන් ම ඥාතියෙකු මිය ගිය පසු ඒ සඳහා ධර්ම ශ්‍රවණය කිරීම, මතක බණ, අරියවංස ධර්ම ශ්‍රවණය, යුගාසන ධර්ම ශ්‍රවණය, කාව්‍ය ධර්ම ශ්‍රවණය ආදී විවිධ ධර්ම දේශනාවන් ශ්‍රවණය කරයි. බුදු දහම වනාහි සර්වකාලීනය. එනම් අතීත, වර්තමාන, අනාගත තුන් කාලයටම ගැළපෙන්නේ ය. මැනවින් ධර්මය හදාරා පෙළ, අටුවා, ටීකා ආදිය පරිශීලනය කොට ධර්මය දේශනා කළ යුතුය. බෙරයක් අවැසි වන්නේ දසත හඬ පැතිරවිමටය. යම් හෙයකින් එම බෙරය සිදුරු වූ විට එම කඩතොළු වැසීම සඳහා රත්තරනින්, මුතු, මැණික්වලින් කළ පැලැස්තරවලින් වැසීමේ දී බෙරය බාහිරව ඉතා අලංකාර වන නමුදු බෙරයේ ශබ්දය ලබා ගැනීමට නොහැකිය.
තථාගත බුදුරජාණන් වහන්සේගේ පළමු ධර්ම දේශනාවේ දී උන්වහන්සේ වදාළේ ධර්ම ශ්‍රවණයක මූලික අරමුණ නම් ශ්‍රාවකයාට නිබ්බිදාය, විරාගාය, උපසමාය, අභිඤ්ඤාය, සබ්බෝධාය, නිබ්බානාය යන කරුණු අවබෝධය සඳහාය.
නිබ්බිදාය යනු කළ කිරීම ඇතිවන පිණිසය. එනම් සසර පිළිබඳවය. යමෙකුට තමා මෙම සසරෙහි දිගු කාලයක් තිස්සේ ජාති, ජරා, මරණ, ව්‍යාධි ආදී තත්ත්වයන්වලට පත්වෙමින් දුක් විපාක ලබා ගනිමින් ගමන් කිරීම පිළිබඳව ඇතිවන සසර කලකිරීමයි.
විරාගාය යනු රාගය දුරු කිරීමටය. ලොවෙහි බොහෝ දෑ නිර්මාණය වී ඇත්තේ අපගේ ආශාවන් වැඩි කිරීමටය. ඇස, කන, නාසය, දිව, ශරීරය පිනවීමටය, ගෙවල් දොරවල්, මුදල් ආදිය පිළිබඳව අපගේ ආශාව දිනෙන් දින වැඩිවේ. නමුත් අප ධර්ම ශ්‍රවණය කිරීම තුළින් අප තුළ ඇති තද ආශාව සමනය කර ගැනීමට හේතුවේ.
උපසමාය යනු අප මෙලොව ජීවත්වීමේ දී විවිධාකාර ප්‍රශ්න, ගැටළු, ආදියෙන් මානසික සතුටක් නොමැතිව ජීවිතය පවත්වා ගෙන යාමය. තථාගත දේශනාවට අනුව ධර්ම ශ්‍රවණය වනාහි කෙලෙස් සංසිඳීම හා මානසික සතුට පිණිස හේතු වේ. බුද්ධ කාලයේ දී පාටාචාරා, කිසාගෝතමී, කොසොල් රජතුමා, අජාසත්ත රජතුමා ආදි සෑමදෙනාම තම ජීවිතයේ සංසිඳීම සොයා ගත්තේ බුද්ධ දේශනාව ශ්‍රවණය කිරීම තුළින්ය. එබැවින් යමෙකුට තම මනසට සුවයක්, සතුටක් හැම කාලයට ම ලබා ගැනීමට අවැසි නම් එය ලබා ගැනීමට හැකිවනුයේ ධර්ම ශ්‍රවණය කිරීම තුළ පමණය.
අභිඤ්ඤාය යනු දැන ගැනීම පිණිසය. එනම් බුද්ධ, ධම්ම, සංඝ රත්නත්‍රය පිළිබඳව දැන ගැනීම පිණිස හේතුවනුයේ ධර්ම ශ්‍රවණය පමණකි. යමෙකු ලෝකයේ ‘බහුශ්‍රැත’ පුද්ගලයෙකු බවට පත්වනුයේ හුදෙක් ඔහු යම් යම් දේ පිළිබඳව දැන ගැනීම පිණිසය. ඒ අනුව යමක් දැන ගැනීම පිණිස ධර්ම ශ්‍රවණය හේතුවේ.
සම්බෝධාය යනු අවබෝධයයි. එනම් බුද්ධ දේශනාව තුළ අඩංගු චතුරාර්ය සත්‍යය, පටිච්ච සමුප්පාදය ආදිය මනාව අවබෝධය ලබා ගැනීමට අවැසිය. දුක, දුක ඇතිවීම, දුක නැති කිරීම හා දුක නැති කිරීමේ මාර්ගය අප අවබෝධ කොට ගත යුතු අතර, පටිච්ච සමුප්පාදයේ ඉගැන්වෙන හේතුඵල වාදය පිළිබඳව අපට අවබෝධයක් ලැබීමට නම් නිතර නිතර ධර්ම ශ්‍රවණය කළ යුතුය.
නිබ්බානාය යනු සියලු දුක් නැති කොට නිවන අවබෝධය සඳහා ධර්ම ශ්‍රවණය හේතුවන අතර, ධර්ම ශ්‍රවණයේ අවසාන බලාපොරොත්තුව වන්නේ එයයි.
එබැවින් අප නිතර නිතර ධර්ම ශ්‍රවණය කළ යුතුය. කෙනෙකු යහපත් වීමට ඇත්තා වූ එකම මාර්ගය බුද්ධ ධර්මය ඇසීමය. මිනිසුන් ධර්මයෙන් ටික ටික ඈත් වූ පමණට සමාජයේ ප්‍රාණඝාත, කොල්ලකෑම්, ස්ත්‍රී දූෂණ, මත්පැන්, මත්ද්‍රව්‍ය, ප්‍රශ්න වැඩිවෙයි.. ගුණවතුන් අඩුවේ. ශිල්ප ශාස්ත්‍ර කොතෙක් දැන සිටියත්, ධනයෙන් යුක්ත වූවන්, නෑ හිත මිතුරන් පිරිවරාගෙන හිටියත් මෙලොව අප සැමට යම් දිනක තනිවීමට සිදුවේ. එනම් තමා අවසාන මරණයට පත්වන අවස්ථාවයි. එවෙලෙහි තමාගේ පිහිට පිළිසරණ වනුයේ භෞතික දෑ නොව, තමා කළ යහපත් කටයුතු වේ. නූතන ලෝකයේ රූපවාහිනිය, ගුවන් විදුලිය, අන්තර්ජාලය වැනි දෑ තුළින් පවා ධර්ම ශ්‍රවණය කළ හැකිය. තථාගත දේශනාවට අනුව නිතර නිතර ධර්මය ශ්‍රවණය කිරීම තුළ,
අස්සුතං සුනාති
- නො ඇසූ දෑ අසන්නට ලැබීම
සුතං පරියොදපෙති
- ඇසූ දෑ නැවත අසන්නට ලැබීම
කංඛං විහරති
- සැක දුරු කර ගැනීමට
දිට්ඨිං උජුං කරොති
- දෘෂ්ඨිය ඍජුවට
චිත්ත මස්ස පසේදති
- සිත පැහැදීම
මේ අනුව සද්ධර්ම ශ්‍රවණය කිරීම තුළින් දිව්‍ය, මනුෂ්‍ය ලෝක සැප සම්පත් ලබා ගත් පිරිස අපමණය. සෝවාන්, සකෘදගාමී, අනාගාමි හා අරහත් තත්ත්වයට පත්වුණ අය අපමණය. එම තත්ත්වයට පත් වූ අය අතර, විශේෂ වනුයේ හුදෙක් දෙවි මිනිසුන් පමණක් නොව තිරිසන්ගත සතා සිවුපාවා හා සද්ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලද ප්‍රතිඵල බොහෝය. සද්ධර්මය ශ්‍රවණය කරන කල සාධුකාර දෙන පින්වතාගේ මුඛයෙන් මානෙල් මල් සුවඳ ඇතිවන බව මමෝරථ පූරණි අටුවාවේ දැක්වේ.
විමාන වත්ථු ප්‍රකරණයට අනුව චම්පා නුවර ගග්ගරා නම් පොකුණෙහි විසූ මැඩියෙක් කිසිම අරමුණක් නැතිව දහම් දෙසන හඬ පමණක් අසා දෙව් ලොව උපන් බව සඳහන් වේ. එමෙන් ම ලක්දිව කුඹල් තිස් පව්වෙහි විසූ පන්සියයක් පමණ කිරි වවුලන් තේරුමක් නොමැතිව සතුටු සිතින් දහම් හදාරන හඬ අසා එපිනෙන් මිනිස් ලොව ඉපදීම. ආදී නිදසුන් අනුව සද්ධර්ම ශ්‍රවණය තුළින් තිරිසන් ගත සත්ත්වයන් පවා ප්‍රයෝජන ලබාගෙන ඇත. අප බෝසතාණන් වහන්සේ දහම් සොඬ ජාතකයේ දී ධර්මය සඳහා තම ජීවිතය කැප කිරීමට යෙදිණ. එබැවින් අප ද සිත, කය, වචනය තුන්දොර හික්මවා ගැනීමෙන් යුක්තව සාවධානව ධර්මය ශ්‍රවණය කිරීම තුළ මෙන් ම ධර්ම මාර්ගයේ හැසිරීමෙන් මෙලොව ජීවිතය හා පරලොව ජීවිතය සාර්ථක කර ගැනීමට හැකිය.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤