දුටුගැමුණු රජු කල පිරිණිවන් පෑ මලියදේව හිමියන් ලංකාවේ අන්තිම රහත් තෙරනම නොවේ. සැබැවින්ම, අද වුව රහතුන් බිහි විය හැකිය. ඒ සදහා අවශ්‍ය වන්නේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ ශ්‍රී සද්ධර්මය සීල සමාධි ප්‍රඥා වශයෙන් දියුණු කොට සාක්ෂාත් කිරීමයි.

ඔබත් බුදුරදුන් පෙන්වා වදාළ උත්තම දහම් මාර්ගයේ ගමන් කරන්න


Powered by දහම් විල


ලිපි සඳහා පහත මාසය අනුව ලිපි පටුන බලන්න

මිනිසත් බවින් ඵල නෙළමු

ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත 
තලල්ලේ චන්දකිත්ති හිමි

ධර්මයේ දී වටිනා කරුණු කිහිපයක එකතුවට ක්ෂණය කියා කියනවා. එම කරුණු කිහිපය ක්ෂණ සම්පත්තිය නමින් හැඳින්වෙන අතර, ධර්මාවබෝධයට, නිවන් අවබෝධයට එය හේතු වෙනවා. නිවන් අවබෝධයට හේතුවන කාරණා සමූහයක් එකතු වන තැන ක්ෂණ සම්පත්තිය පිහිටන බව අප දන්නවා. එය ඉතාමත් දුර්ලභ ඉතාම කලාතුරකින් සිදුවන්නක්.
බෞද්ධ අප හැම දෙනාගේම මූලික බලාපොරොත්තුව කවදා හෝ නිවන අවබෝධයටයි. ඒ නිවන සාක්ෂාත් කරන්නට නම් සම්පූර්ණ වියයුතු කරුණු කිහිපයක් තිබෙනවා. ඒ දුර්ලභ කරුණු අද ඔබට සම්පූර්ණව ලැබී තිබෙනවා. ඒ ක්ෂණ සම්පත්තිය යි.

දුර්ලබව ලැබූ මිනිස් බව

ක්ෂණ සම්පත්තියට අවශ්‍ය මූලිකම කාරණාව නම් මනුෂ්‍ය ආත්මයක් ලබා ගැනීමයි. මුලින්ම මනුෂ්‍යයෙක් ලෙස ඉපදෙන්න ඕන. එය ඉතා දුලබයි. (දුල්ලභං ච මනුස්සත්තං) මනුෂ්‍ය ආත්ම භාවයක් ලබා ගැනීම හරිම දුර්ලභයි. ඔබට සිතෙයි මනුස්ස ජීවිතය ලැබීම දුර්ලභනම් මෙතරම් ජනගහණයක් ලෝකයේ වැඩිවෙන්නේ ඇයි කියලා.මනුෂ්‍යයෙක්ව උපත ලබනවා කියන දේ දුර්ලභ වෙන්න හේතුවක් තිබෙනවා. ඒ සඳහා තනි මනුෂ්‍යයෙක්ව පමණක් උදාහරණයට ගතයුතු නැහැ. මේ ලෝකයේ සිටින අනෙකුත් සියලු සත්ත්ව ප්‍රජාවන් සමඟ මනුෂ්‍ය වර්ගයා සසඳන්න ඕන. එවිට දුර්ලභයි කියා කියන්නේ. ඒ හැමෝම අතරේ මනුෂ්‍යයෙක් ව ඉපදීම අමාරු දෙයක්. සත්ව ලෝකයේ සත්ත්වයන් සමඟ සංසන්දනය කරන විට මනුෂ්‍යයන් කෙතරම් අඩුද කියා ඔබට තේරුම් ගන්න පුළුවන්. කූඹි ගුලකින් නිකුත්වෙන කුඹි ප්‍රමාණය සමහර විට එය මනුෂ්‍ය ලෝකයේ ඉන්න මනුෂ්‍යයන්ට වඩා වැඩි වෙන්න පුළුවන්. මහා මුහුදේ සිටින මාළු බැලුවොත් ඒක කෙතරම් ලොකු ගණනක්ද? මනුෂ්‍යයෙක් මැරුණාම ඒ මිනිය වසා ගන්නා පණුවෝ එකතු කළොත් ඒකත් මොන තරම් ප්‍රමාණයක්ද?

පරිපූර්ණ ආත්ම භාවයක

පිරිපුන් මනුෂ්‍ය ආත්මභාවයක් ලබන්නට ඇස්, කන්, නාස් ආදිය පිහිටි, විකලත්වයක් නැති මනුෂ්‍ය ජීවිතයක් ලබන්න ඕන. මනුස්සයන් ලෙස ඉපදිලා අන්ධ වූ, බිහිරි වූ, අංගවිකල වූ අය කී දෙනෙක් අප අතර සිටිනවාද? ශරීර විකලත්වයක් නැතිව මනුෂ්‍ය ජීවිතයක් ලැබීම ක්ෂණ සම්පත්තියේ මුල් කාරණාවයි. ඒ වගේම හොඳ නොහොඳ කල්පනා කරන්නට පුළුවන් ඤාණ ශක්තියක් තිබෙන්න ඕන. එහෙම අය අප අතර ඉතාම අඩුයි. එයාට නුවණ තිබුණානම් එසේ කියන්නේ නැහැ. එසේ කරන්නේ නැහැ කියා අප කියන්නේ යම් කෙනෙක් ඤාණ ශක්තිය නොමැතිව වැඩක් කළ විටයි.
ඒ වගේම කිසිවෙකුට අත නොපා ජීවත්විය හැකි ආර්ථික ශක්තියක් තිබීමත් වැදගත්. එය පරමාර්ථ මනුෂ්‍ය ජීවිතයකට අත්‍යවශ්‍ය කාරණාවක්. අධික දුක්ඛිත ජීවිත ගතකරන අයට සත්‍යාවබෝධය වෙත යාම ටිකක් අපහසුයි. අධික පීඩාවන් කරදර එනවිට එයින් නිරන්තරයෙන් ඇතිවෙන්නේ ගැටීමක් බව අප දන්නවා. නිරයගාමි සතුන්, පේ‍්‍රතයන්, තිරිසන් සතුන්ට සත්‍යාවබෝධය වෙත යන්න බැරි ඒකයි. ඒ අයගේ සිත නිතර පීඩාවෙන් විඳවනවා. එසේ දුර්ලභ මනුෂ්‍ය ජීවිතයක් ලබන්න නම් ඇස්, කන්, නාසා ආදී ඉන්ද්‍රියයන්ගේ විකලත්වයෙන් තොරව මිනිසත් බවක් තිබෙන්න ඕන. ඒවගේම මනුෂ්‍ය ආත්මයක් ලබන කෙනෙක් මන්ද බුද්ධික නම් ඒ පුද්ගලයාට ක්ෂණ සම්පත්තිය අත්විඳින්න ලැබෙන්නේ නැහැ. මන්ද බුද්ධික කියනවිට ඒ ජීවිතය කෙතරම් අවාසනාවන්ත ද? ඒ ආකාරයට බලනවිට ඔබේ ජීවිතය කෙතරම් වසනාවන්තද? ලෝකයේ බොහෝ අය උපන්විට අඳ, ගොළු, බිහිරි මන්ද බුද්ධිකව ඉපදෙනවා නම් එය අභාග්‍යයක් නොවේද?

කලණ මිතුරු ඇසුර

දැන් ඔබ මිනිසෙකුව ඉපදී සිටිනවා. බුද්ධෝත්පාද කාලයක ඉපදිලා. නමුත් බුදුවරයෙක් ලෝකයේ පහළවෙලා සිටියත් සමහරුන්ට ඒ බුදුරජාණන් වහන්සේ අසලට යාමට, ඒ ධර්මය අසන්නට හැකියාව හෝ වාසනාව නැහැ. කල්‍යාණ මිත්‍ර සම්පත්තිය තිබෙන කෙනෙකුට පමණයි බුද්ධ, ධම්ම, සංඝ කියන තෙරුවන් වෙත සමීපවීමේ හැකියාව තිබෙන්නේ. කල්‍යාණ මිත්‍රත්වය කියන්නේ අතිශයින්ම වැදගත් දෙයකටයි. “ස්වාමිනි බුදුරජාණන් වහන්ස මේ ශාසනයේ අඩක්ම පවතින්නේ කල්‍යාණ මිත්‍ර සේවනය නිසා නොවේද?” කියා දිනක් ආනන්ද තෙරුන් විමසා සිටියා. “ආනන්දය, අඩක් නොව මේ ශාසනය සම්පූර්ණයෙන්ම පවතින්නේ කල්‍යාණ මිත්‍ර සේවනය මත” බව තථාගතයන් වහන්සේ වදාළා. එවැනි කල්‍යාණ මිත්‍රයෙක් ලැබුණොත් පමණයි බුදුන් වහන්සේගේ දහම සොයාගෙන යා හැකි වන්නේ.

සදහම් ඇසුම

දැන් ඔබ බුද්ධෝත්පාද කාලයක ඉපදුණා. කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කළා. දුර්ලභ කරුණ වන්නේ සද්ධර්ම ශ්‍රවණයයි. මෙයත් ඉතාමත් දුර්ලභ කරුණක්. තථාගතයන් වහන්සේ වදාළා ඕපසමිකෝ, පරිනිබ්බායිකෝ, සම්බෝධගාමි, සුගතප්්පවේදිතෝ කියා වචන කිහිපයක්.
මෙහිදී ඕපසමික කියන්නේ කෙලෙස් සංසිඳවන සද්ධර්මය යන අරුතයි. යම් දේශනාවක් අසනවිට සිතේ කෙලෙස් වැඩෙනවානම්, සංසාරය දිගු වෙනවානම්, මානය වැඩිනම් එය සද්ධර්මය නොවේ. ඕපනයික කියන්නේ මේ රාග, ද්වේශ, මෝහය අඩුවීමේ වැඩපිළිවෙලක් ඇති ධර්මය යි. සම්බෝධගාමි - මේ ධර්මය ආර්ය සත්‍ය අවබෝධය පිණිස හේතුª වේවා කියන සංඥාවෙන් ධර්මය ශ්‍රවණය කිරීමයි. සසර දුක වැටහිලා නිවන උදෙසා ගමන් කිරීමට අප උනන්දු කරන ආකාරයේ දේශනාවක් විය යුතුයි. පරිනිබ්බායිකෝ - අප තුළ තිබෙන කෙලෙස් පිරිනිවන් පාන්නට උපකාරි වන ධර්මයක්. සුගතප්පවේදිතෝ - සුගත තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරගෙන දේශනා කරන ලද ධර්මයම විය යුතුයි. එහෙම ධර්මයක් ඇසීම දුර්ලභයි.

සුදුසු පෙදෙසක විසුම

මේ කියන ධර්මය වටහා ගැනීමටත්, ධර්මානුකූලව ජීවිත්වීමටත් සුදුසු පරිසරයක විසීම වැදගත්. එයට “පතිරූපදේස වාසෝ” කියා කියනවා. ධර්මය ඇසීමට සුදුසු පරිසරයක ජීවත්වීම සහ ඒ අසන ධර්මය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළහැකි පරිසරයක් වීම එහි අරුතයි. මෙයටයි ක්ෂණය නැත්නම් මොහොත කියන්නේ. ඒ වටිනා මොහොත නැවත ලැබේවි යැයි සිතීම අපහසුයි. ඒ නිසා මේ ලැබුණ මොහොතින් ප්‍රයෝජන ගන්න ඔබ උත්සාහ කරන්න. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයේ පහළවීම ඉතාම කලාතුරකින් වන සිදුවීමක්. අපට ඒ පිළිබඳව අගයක් හෝ වැටහීමක් නැත්තේ බුද්ධෝත්පාද කාලයක අප ඉපදුන නිසායි. තථාගතයන් වහන්සේ නමක් ලෝකයට පහළවෙලා ඒ සද්ධර්මය පවතින කාලය තුළත් එවැනි පිරිසක් සිටිනවානම් කල්ප ගණනාවකට බුදු කෙනෙක් පහළ නොවෙන බුද්ධ ශුන්‍ය කල්පයක ඉපදෙන අයගේ ජීවිත කෙසේද කියා සිතා බලන්න. බුදුරජාණන් වහන්සේ පහළ නොවුණොත් ධර්මය පහළ වෙන්නේ නැහැ. ධර්මය පහළ නොවුණොත් සංඝයාගේ පහළවීමකුත් නැහැ. බුද්ධ ධම්ම, සංඝ පහළවීමක් නැතිනම් නිවන්මඟ එළිපෙහෙළි වීමක් නැහැ. එසේ නොවන්නට සුදුසු පරිසරයක ජීවත්වීමේ වාසනාව දැන් අපට මේ මොහොතේ උදා වී තිබෙනවා.

අෂ්ට දුෂ්ඨක්ෂණ

බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළවෙලා ධර්මය පවතින අවස්ථාවක වුවත් එයින් ප්‍රයෝජන නොගන්නා පිරිසක් අප අතර සිටිනවා. බුදුරජාණන් වහන්සේ ලෝකයේ පහළවෙලා ධර්මය දේශනා කරන විට ඔහු නිරයේ ඉපදිලානම් ඒ අවස්ථාව මඟ හැරෙනවා. ඒ අයට මේ ක්ෂණ සම්පත්තිය අහිමියි. ඒ වගේම යමෙක් තිරිසන් ලෝකයේ ඉපදිලානම් එවිටත් ඒ මොහොත, ක්ෂණ සම්පත්තිය අහිමියි. ක්ෂණ සම්පත්තිය කියන්නේ සත්‍ය අවබෝධ කර ගන්නට පුළුවන් මොහොතටයි. සත්‍ය අවබෝධ කරනවා කියන්නේ භවය සුවපත් කරගන්නවා කියන එකටයි.ඒ වගේම යමෙක් මිලේච්ඡ ප්‍රත්‍යන්ත ජනපදයක ඉපදුණොත් ඔහුටත් මේ ධර්මය ඇසෙන්නේ නැති නිසා අවබෝධ කරන්න බැහැ. දරුණු මිනිසුන් නිසා මානව ගුණධර්ම අඩුයි. වනචාරි වගේ ජීවිත ගත කරන්නේ. ඒ නිසා ඔවුන්ටත් සත්‍ය අවබෝධය කරා යාම අපහසුයි.
ඒ වගේම තවත් සමහරු හොඳ පරිසරයක ඉපදුනත් මිථ්‍යා දෘෂ්ටිකයි. ඔහු මෙලොව, පරලොව, හොඳ නරක කර්මඵල ගැන විශ්වාසයක් නැහැ. මව, පියා කියා විශේෂ කෙනෙක් සිටිනවා කියා විශ්වාස නැති අවදිමත් දේ පිළිබඳව එල්බ සිටිනවා. ඔහුටත් සත්‍යාවබෝධය වෙත යන්න බැහැ.
තවත් කෙනෙක් ඉපදෙනවා අබුද්ධෝප්පත්ති කාලයක සියලු දෙය සම්පූර්ණයෙන් ලැබුණත්, බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයේ පහළ වෙලා නැත්නම් ඔහුටත් මේ ක්ෂණ සම්පත්තිය අහිමියි. යහපත් මනුෂ්‍ය ජීවිතයක් ලබා ප්‍රඥාව ඇතිව ඉපදුනත් ධර්මය දේශනා කරන්නට බුදු කෙනෙකු ලෝකයේ නැති නිසා මේ ක්ෂණය කියන මොහොත අහිමියි.
එනිසා අද අප සැමටම සත්‍යය අවබෝධය පිණිස මාර්ගය විවෘතව තිබෙනවා. ඒ මාර්ගයේ ගමන් කිරීමයි අප සතු වගකීම වන්නේ.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤