දුටුගැමුණු රජු කල පිරිණිවන් පෑ මලියදේව හිමියන් ලංකාවේ අන්තිම රහත් තෙරනම නොවේ. සැබැවින්ම, අද වුව රහතුන් බිහි විය හැකිය. ඒ සදහා අවශ්‍ය වන්නේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ ශ්‍රී සද්ධර්මය සීල සමාධි ප්‍රඥා වශයෙන් දියුණු කොට සාක්ෂාත් කිරීමයි.

ඔබත් බුදුරදුන් පෙන්වා වදාළ උත්තම දහම් මාර්ගයේ ගමන් කරන්න


Powered by දහම් විල


ලිපි සඳහා පහත මාසය අනුව ලිපි පටුන බලන්න

සැපයට හේතුවන සීලය

බත්තරමුල්ල හීනැටිකුඹුර පුරාණ විහාරවාසී
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ
අඹගහවත්තේ සුධම්මවංශ හිමි

බුදු දහමේ ඉගැන්වෙන ධර්මානුකූල ප්‍රතිපදාවේ අවසන් බලාපොරොත්තුව නිවන් අවබෝධයයි. එහි දී අප ගමන් කළ යුතු ප්‍රතිපදාව නොහොත් මාර්ගය අනුපූර්ව ශික්ෂාවයි. පෘථග්ජන පුද්ගලයා අනුක්‍රමයෙන් සීලයෙන් යුක්තව නිර්වාණය උදෙසා ගමන් කරයි. එය ලෞකිකත්වයෙන් ලෝකෝත්තර අධිගමනයට පත්වීමක් ලෙස දැක්විය හැකිය.
මෙලොව සාර්ථක බවෙහි ප්‍රධාන අංගය සීලයයි. එනම් සීලයෙන් සමාධියටත්, සමාධියෙන් ප්‍රඥාවන්ත වී උතුම් වූ නිර්වාණය අවබෝධ කරගන්නා ආකාරය බුදුහිමියන් තමන් වහන්සේ අවබෝධ කරගත් ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ දී පියවරෙන් පියවර පෙන්වා දී ඇත. එහි දී සීලයෙන් තොර සමාධියත්, සමාධියෙන් තොර ප්‍රඥාවත් පිළිබඳව සාකච්ඡා කිරීමක් නොමැත. සීලය පළමුවෙන් ම සම්පූර්ණ කළ යුතු ප්‍රතිපදාවයි. සීලයෙහි නොපිහිටීම තුළ සත්ත්වයා අනේකවිධ දුක් කම්ටොලු, වේදනා පීඩාවන්ට මුහුණපාමින් සසර දීර්ඝ කාලයක් සැරිසරන බව බුදුහිමියන් වදාළ සේක.
සීලයෙන් තොරව ලෞකික හා ලෝකෝත්තර සුවයක් ද, මෙලොව හා පරලොව දියුණුවක් ද ලබාගත නොහැකි බවයි. උන්වහන්සේ දේශනා කොට වදාළේ යමෙකුගේ ජීවිතය සාර්ථක බවට හෝ අසාර්ථක බවට පත් කරන ප්‍රධාන මූල ධර්මය සීලයයි. සීලයෙන් තොරවීම දෙලොව අයහපතට හේතුවන අතර නිර්වාණගාමී ප්‍රතිපදාවෙන් ද ඈතට ගෙන යයි. සීලයෙන් තොරවීම අපරාධ රාශියකට දොරටු විවෘත කරන්නකි. එහි කෙළවර පුද්ගලයා හා සමාජය කායික හා මානසික, අධ්‍යාපනික, ආර්ථික, සාමාජික හා අධ්‍යාත්මික ආදි විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ විනාශයෙන් විනාශයට ගොදුරුවීමයි. එදිනෙදා අපට ඇතිවන ගැටලු, ප්‍රශ්න විසඳාගැනීම සඳහා සීලය හේතුවන බව දිනක් බුදුහිමියන් වෙත පැමිණි දෙවියකු උන්වහන්සේගෙන් විමසා සිටිනුයේ සත්ත්වයා කරදර, ප්‍රශ්නවලින් පෙලෙමින් ජීවත්වන බවත් එම ගැටලු විසඳන්නේ කෙසේද? යනුවෙනි. එහි දී බුදුහිමියන් වදාළේ,

“සීලේ පතිට්ඨාය න රො සපඤ්ඤො” යනුවෙන් ප්‍රඥාවන්ත මිනිසා සීලයෙහි පිහිටා සීලයම ප්‍රගුණ කිරීමෙන් පුද්ගලයාට පැන නගින සියලු අභ්‍යන්තර හා බාහිර ගැටලුවලින් මිදීමට මගක් බව දක්වයි.
සීලය යන්නට විවිධ අර්ථ කථන දක්වා ඇත. ඒ අනුව සීලය යනු සීතල, සිසිල යන අර්ථයෙන් දක්වා ඇති අතර එහි දී සීලය නිසා පුද්ගලයා මෙලොව හා පරලොව මෙන් ම, තමා හා අනුන් යන දෙපිරිසට ම යහපතක්, සිසිලසක් ගෙන දෙන අර්ථයෙනි. පුද්ගලයා කය, වචනයෙන් යහපත්ව කටයුතු සිදු කිරීමයි. “කාය වාචානං සමෝදානං සීලං” යනුවෙන් දක්වනුයේ කය, වචනය දෙකෙහි සංවර භාවයයි. එහි දී කයෙන් සිදුවන
ප්‍රාණඝාතය, 
සොරකම් කිරීම, 
කාමය වරදවා හැසිරීම යන අකුසල් කර්මද, වචනයෙන් සිදුවන, 
මුසාවාදය හෙවත් බොරුව, 
කේලාම්කීම, 
හිස්වචන කතා කිරීම,

පරුස වචන කතා කිරීම යන වචනයෙන් සිදුවන අකුසල් යන මෙම කාය – වාග් අකුසල් දුරුකළ යුතුය. මේවා දුරුකළ යුතු වනුයේ දැඩි ආශාව, තරහව හා මිථ්‍යාදෘෂ්ටිය බැහැර කිරීමෙනි. මෙම අකුසල් දුරු කිරීම හා ඊට ප්‍රතිවිරුද්ධ කුසල් කර්ම කිරීම සීලය ලෙස හැඳින්විය හැකිය. ගිහි පින්වතුන් විසින් රැකිය යුතු සීලයන් ලෙස
පංචසීල ප්‍රතිපදාව, 
උපෝසථ අෂ්ඨාංගික සීලය, 
ආජීව අෂ්ඨමක සීලය, 
ගිහි දස සීලය ආදිය දැක්විය හැකිය.

පංචසීල ප්‍රතිපදාව පිළිබඳව සැලකීමේ දී ගිහි නිත්‍ය සීලය මෙයයි. සමාජයේ බහුල වශයෙන් සිදුවන සමාජයේ යහපැවැත්මට බාධා පමුණුවන පුද්ගල හා සමාජ ජීවිතයේ මුහුණ දෙන ගැටලු තත්ත්වයන් නම් මනුෂ්‍ය ඝාතන, සොරකම, ළමා අපචාර, කාන්තා හිංසන, මත්පැන් භාවිතයයි. මේවා සමාජයේ සිදුවන සාපරාධි ක්‍රියාවන්ය. බුදුහිමියන් වදාළේ මේ සියලු ගැටලු නිරාකරණය සඳහා පංචසීල ප්‍රතිපත්තිය සුදුසු බවයි. පංචසීල ප්‍රතිපදාව නම්
ප්‍රාණඝාතයෙන් වැළකීම, 
සොරකමින් වැළකීම, 
කාමය වරදවා හැසිරීමෙන් වැළකීම, 
බොරුකීමෙන් වැළකීම, 
මත්පැන්-මත්ද්‍රව්‍ය ආදියෙන් වැළකීම,

පංචසීල ප්‍රතිපදාව ආරක්ෂා කිරීම තුළ සියලු සත්ත්වයාට අවිහිංසාව පතුරවමින්, ඔවුන්ගේ ජීවත්වීමේ අයිතිය සුරකමින්, හිංසනය ප්‍රචණ්ඩත්වයෙන් මිදී දයානුකම්පාවෙන් හා කරුණාවෙන් යුතුව අනෙකාට ජීවත්වීමට අවස්ථාව සලසා දෙයි. එමෙන් ම අනෙක් ශික්ෂා පද තුළින් ද සොරකමින් වැළකී පරිත්‍යාගශීලි බව, පවුල් ජීවිත සාර්ථක කරගනිමින්, බොරුකීමෙන් වැළකී සත්‍යවාදිවීම, මදයට හා ප්‍රමාදයට හේතුවන රහමෙර පානයෙන් ඉවත්ව ජීවත්වීම තුළින් ප්‍රකට කරනුයේ යහපත් පුද්ගල හා සමාජ ප්‍රගමනයට අවශ්‍ය කරුණුය. පංචසීල ප්‍රතිපදාව තුළ ගමන් කිරීමෙන් පුද්ගල ජීවිතය කායික හා මානසිකව සතුටින් සැනසීමෙන්, සැහැල්ලුවෙන් හා යහපැවැත්මෙන් ගත කළ හැකිය.
වර්තමානයේ දී පංචසීල ප්‍රතිපදාව පමණක්වත් ආරක්ෂා නොකිරීම තුළ මුහුණපාන්නට සිදුවන විවිධ විපාක දැකගත හැකිය. විවිධ මනුෂ්‍ය ඝාතන, සොරකම් කිරීම් ආදිය සිදුකොට පසුව තැවෙමින් දීර්ඝකාලයක් බන්ධනාගාර ගත වූවන්, තම ජීවිතය විඳවන මිනිසුන් අප ඕනෑ තරම් දැක ඇත. එමෙන් ම වැරදි කාම සේවනය ආදිය නිසා විවිධ සමාජ රෝග, මානසික රෝගවලින් පීඩා විඳින උදවිය අනන්තය. සියදිවි නසා ගැනීම් ඉහළ ප්‍රතිශතයක් ගෙනෙනු ඇත. දුප්පත්කම ද ප්‍රබල සමාජ ගැටලුවකි. මෙම සියලු ප්‍රශ්න විෂයෙහි ප්‍රධාන හේතුව නම් පුද්ගලයා සීලවන්ත නොවීමයි.
එමෙන් ම පෝය දිනයන් තුළ පෙහෙවස් සමාදන්වීම බෞද්ධ අප සියලු දෙනාගේ චාරිත්‍රයක් වී ඇත. බුදුහිමියන් දිනක් විශාඛා උපාසිකාවට වදාළේ ඇතැම් උදවිය පෝය දිනය තුළ දී පෙහෙවස් සමාදන් වූව ද එදිනට පවා තම කටයුතු අත්හැරීමට බොහෝ දෙනාට අපහසුවන බවයි. උපෝසථ වර්ග තුනක් පවතින බව තථාගත බුදුහිමියන්ගේ දේශනාවයි.
ගෝපාලක උපෝසථය, 
නිගණ්ඨ උපෝසථය, 
ආර්ය උපෝසථය.

මෙලෙස පුද්ගලයා සීලය ආරක්ෂා කර ගැනීම තුළින් මෙලොව වශයෙන් ම තම ජීවිතයට ලද හැකි ප්‍රයෝජන පහ විශුද්ධි මාර්ගයේ දැක්වේ.
මහත් වූ භෝග සම්පත් ලැබීම
සීලවන්තයාගේ කීර්තිරාවය පැතිරයෑම
සිල්වත් පුද්ගලයා යම් තැනකට ගිය ද එහි විශාරදව කටයුතු කිරීම
සිහිවිකල් නොවී පහන් සිතින් මරණයට පත්වීම
මරණින් පසු දිව්‍යලෝකයේ ඉපදීම
බොහෝ දෙනාට තමා සමාදන් වූ සීලය ආරක්ෂා කර ගැනීමට නොහැකි වනුයේ අධිකතර ලාභ සත්කාර හා කීර්ති ප්‍රශංසා ආදිය ලැබීම නිසාය. මේ බව අවබෝධ කොටගෙන සීලය රැකීමට අපහසු වූවත් ඉතාමත් ඕනෑකමින් රැකිය යුතු බව මෙසේ විස්තර කරයි. එනම් “කිරිල්ලියක් ඇයගේ බිත්තර මහත් උත්සාහයෙන් රකින්නේ යම් සේද , කටු ලැහැබෙහි පැටලුනු වලිගය රකිනා සෙමෙර මුවා මෙන් ද, ප්‍රිය වූ තම එකම පුතු රකින මව මෙන් ද, එක් ඇසක් අන්ධ පුද්ගලයකු තම අනෙක් ඇස රැක ගැනීමට වෑයම් කරන්නාක් මෙන් ද සීලය ආරක්ෂා කරගත යුතුය.”