දුටුගැමුණු රජු කල පිරිණිවන් පෑ මලියදේව හිමියන් ලංකාවේ අන්තිම රහත් තෙරනම නොවේ. සැබැවින්ම, අද වුව රහතුන් බිහි විය හැකිය. ඒ සදහා අවශ්‍ය වන්නේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ ශ්‍රී සද්ධර්මය සීල සමාධි ප්‍රඥා වශයෙන් දියුණු කොට සාක්ෂාත් කිරීමයි.

ඔබත් බුදුරදුන් පෙන්වා වදාළ උත්තම දහම් මාර්ගයේ ගමන් කරන්න


Powered by දහම් විල


ලිපි සඳහා පහත මාසය අනුව ලිපි පටුන බලන්න

සිත රැක ගැනීම මැනවි


බිබිල යල්කුඹුර මො / ශ්‍රී විද්‍යානන්ද පිරිවෙණේ 
පරිවෙණාධිපති, රාජකීය පණ්‌ඩිත 
පදියතලාවේ ඤාණවිමල හිමි 

සුදුද්දසං සුනිපුනං
යත්ථ කාමනිපාතිනං
චිත්තං රක්‌ෙඛ්ථ මේධාවි
චිත්තං ගුත්තං සුඛාවහං

''රැකීමට අපහසු නිතර විවිධ අරමුණුවල වැටෙන සිතක්‌ යම් පණ්‌ඩිතයෙකු විසින් රකිනු ලබන්නේ ද ඔහු සැපයට පැමිණේ.''

සිතෙහි ස්‌වභාවය පෙන්වා දෙමින් එය ආරක්‌ෂා කිරීමේ, රැකගැනීමේ ඇති වැදගත්කම උලුප්වා දක්‌වන ගාථාවකි ඉහතින් දැක්‌වෙන්නේ. සම්බුදු හිමියන් සැවැත්නුවර වැඩ වාසය කරන කාලයේ දී එක්‌ අවස්‌ථාවක්‌ මුල් කරගෙන මෙම ගාථා ධර්මය දේශනා කොට වඳාළ සේක. 

සැවැත්නුවර සම්බුදු හිමියන් දිවිගෙවන කල්හි එක්‌තරා කුමාරයෙක්‌ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව උපදවා ගෙන දැහැමි දිවියක්‌ ගත කරයි. සිල්වත් භික්‌ෂුන් ද ආශ්‍රය කරයි. සසර පිළිබඳ කලකිරුණු ඔහු සංසාර ගමන කෙළවර කරගැනීම සඳහා සුදුසු මාර්ගය පෙන්වා දෙන ලෙස එක්‌තරා සිල්වත් භික්‌ෂුන් වහන්සේ නමකගෙන් අයෑද සිටියේය. උන්වහන්සේ ලෝකෝත්තර විමුක්‌තිය සඳහා හේතුවන කරුණු රැසක්‌ දේශනා කළ අතර ඒවා හිස්‌ මුදුනින් පිළිගත් ඔහු නිරන්තරයෙන් භික්‌ෂු සංඝයාට දන්පිළිගැන්වීම්, සිල් රැකීමේ ආදිය කරමින් මනාව පින්දහම් කරගත්තේය. මෙකී දේවල් සිදුකළත් සංසාර ගමනින් එතෙර වීම සඳහා ප්‍රමාණවත් නොවන බව දැනගත් ඔහු මේ බව තම කුළුපග භික්‌ෂුන් වහන්සේලා හමුවේ ප්‍රකාශ කර සිටියේය. උන්වහන්සේ 'ඔහුට පැවිදි වන ලෙස්‌ කියා සිටිසේක. එම තරුණයා ද උන්වහන්සේගේ වදන් කනට වැකීමක්‌ සමග ඉමහත් සන්තෝෂයට පත් විය. 

ඔහු පැවිදි වීමේ දී ආචාර්ය උපාධ්‍යායන් වහන්සේලා වූයේ ධර්මධර සහ විනය ධර හිමිවරුන් දෙදෙනෙකි. උන්වහන්සේලා නවක පැවිද්ද ලද මෙම තරුණ භික්‌ෂුන් වහන්සේට ධර්මවිනය ඉගැන්වු අතර සංසාර ගමන කෙළවර කර ගැනීමේ මාර්ගය පෙන්වා දීමට වෙහෙස වූයේ නැත. තමා මෙතෙක්‌ සෙවූ සත්‍ය මාර්ගය, නිවන් මාර්ගය සඳහා වූ මාවත දොරගුළු වැටී ඇති බව අවබෝධ කරගත් උන්වහන්සේ එම ස්‌ථානයෙන් මිදී ගිහිව සිල් රකිමින් දානාදී පින්කම් කරමින් දිවි ගෙවමීයි සිතා ගෙන විහාරයෙන් ඉවත්ව යන කල්හි මේ පිළිබඳ දැනගත් ඇදුරෝ ඔහු ඇතුළු පැවිදි දිවිය පිළිබඳ කළකිරුණු අනෙකුත් භික්‌ෂුන් වහන්සේලා ද බුදුන් හමුවට පැමිණ වූහ. මෙම අවස්‌ථාව මුල් කරගනිමින් මෙම ගාථාව දේශනා කරන්නට යෙදිණි. 

මෙම ගාථාවෙන් පැනෙන ධර්ම කරුණු පිළිබඳ ඊළඟට අවධානය යොමු කිරීම වැදගත් වේ. සම්බුදු හිමියන් සිතෙහි පවතින ළාමක බව, ක්‌ෂණයකින් වෙනස්‌වන සුලු බව කදිමට පෙන්වා ෙදුන් අවස්‌ථාවක්‌ බව මෙහි දී මෙම සිදුවීම හා බැඳුණු කථා ප්‍රවෘත්තිය දක්‌වා ලිය හැකිය. මෙහි දී එන සුදුද්දසං යන පදය පිළිබඳ අවධානය යොමු කිරීමේදී එයින් කියෑවෙන්නේ ඇස්‌ දෙකෙන් දැකිය නොහැකි සිත පිළිබඳවයි. සිත යනුවෙන් හඳුන්වන්නේ ඇසට දැකගත නොහැකි ඇසට ගෝචර නොවන වස්‌තුවකි. එය රූ සටහන් ආදි වශයෙන් හැඳින්විය හැකි දෙයක්‌ නොවේ. මේ නිසා කිසි ලෙසකින් දැකිය නොහැකි වන බැවින් සුදුද්දසං යනුවෙන් දහමේ හැඳින්වේ. ඊළඟට සුනිපුණං යන ගාථා පදය ගෙන බැලීම වැදගත් වේ. සුනිපුනං කියන්නේ ඉතා සියුම් බවයි. සිත හා සමාන වෙනයම් වූ සියුම් දෙයක්‌ මේ ලෝකධාතුවේ වෙනත් නැත්තේමය. සිත හටගැනෙන ආකාරය, එය පවත්නා පිළිවෙළ, අරමුණු ගන්නා ආකාරය, කැමති අරමුණු වෙත වහා එළඹෙන ස්‌වභාවය ආදි ලක්‌ෂණ හඳුනාගත හැකි වන්නේ සිත පිළිබඳ දීර්ඝ අධ්‍යයනයක්‌ කිරීම මගින්මය. මෙම සිත නිරන්තරයෙන් කැමති කැමති අරමුණු කරා යොමුවන බව ඉහතින් පෙන්වා දුනි. කාමලෝකයේ ජීවත්වන අප නිරන්තර වැටෙනුයේ කාමයන් හා සමීප වන රූපාදී අරමුණු කෙරෙහිය. එය පෘථග්ජන සිතක සාමාන්‍ය ස්‌වභාවයයි. ඉතින් මේ ආකාරයට හිතකර හා අහිතකර යන දෙපක්‌ෂය කෙරෙහි කිසිදු විරුද්ධත්වයක්‌ නැතිව ලොල් වූ සිතින් යුතුව විවිධ අරමුණු ගනී නම් එය පුද්ගලයාගේ අහිත, අවැඩ පිණිසම පවතී. සිතෙහි කුමනාකාර අරමුණු ඇති වූවත් එම අරමුණු ක්‍රියාවට නැංවීමේ දී ලෝකයාගෙන් විවිධ දෝෂාරෝපණ අසන්ට ලැබේ නම් එය බුද්ධිගෝචර සෙවීමක්‌ නොවේ. එබැවින් රූපාදී අරමුණු ගැනීමේ දී ඒ පිළිබඳ සිය දහස්‌වරක්‌ සිතා බැලීම නුවණැත්තා විසින් කළ යුතු කරුණක්‌මය. 

තෙවැනි පාඨයෙන් කියෑවෙන්නේ එවැනි රැකීමට අපහසු සිතච රැකගන්නේ මොනවගේ පුද්ගලයාද යන කරුණයි. සැබැවින්ම මේ ලෝ තලයේ උපත ලැබූ සියලු දෙනාට සිත මනාව රැක ගැනීමට හැකියාවක්‌ නැත. ඊට නිසි පුහුණුවක්‌ තිබිය යුතුය. එසේම නුවණක්‌ තිබිය යුතුය. මෙහි මේධාවි යනුවෙන් හඳුන්වන්නේ මෙකී පුහුණුව ලැබූ, සිත රැකගැනීමට සමර්ථ තැනැත්තාය. ඔහු සිත මනාව රැකගන්නා සේම එම රැකගැනීමේ හේතුවෙන් වහා සැපය කරා ළඟා වේ. 

මේ ගාථාවෙන් අප කෙරෙහි ලබා දෙන ධර්ම අවවාදය අතිශයින්ම වැදගත්ය. සිතක්‌ රැකීම අපහසු බව පෙන්වා දෙන අතර එය රැකීමෙන් ලැබෙන ප්‍රතිලාභ පිළිබඳව ද හැඳින්වීමක්‌ සපයා තිබේ. අපි යම් යම් වූ දේ සිදු කිරීමේ දී එයින් ලැබෙන ප්‍රතිවිපාක ගැන ද සිතන්නෙමු. බොහෝ දෙනා ජීවත්වීමේ දී තමා අනෙකාට සිදු කරන උපකාර හෝ වෙනයම් දෙයක්‌ ආපසු ලබාගැනීමේ අරමුණින් කරනා බව සැබවි. එවැනි සිතක්‌ නොමැතිව වගකීමක්‌, මනුෂ්‍ය ගුණධර්මයක්‌ සේ සිතා කටයුතු කරන සත්පුරුෂයන් ද මේ සමාජයේ දුලබ නොවේ. කෙසේ නමුදු අපි යමක්‌ සිදු කරන්නේ ආපසු යමක්‌ අපේක්‌ෂා සහිතවය. ඉතින් සිත රැක ගැනීම නිසා අපට ලැබෙන්නේ මොනවගේ විපාකයක්‌ ද කියන එකත් දැන ගැනීම වැදගත් නොවන්නේ මන්ද?

සිත කියන්නේ පුදුම සහගත දෙයක්‌ බව ඉහතින් පෙන්වා දුන්නා. ඉතින් ඒ පුදුම සහගත දෙයින් කළ නොහැක්‌කක්‌ නැති තරම්. හොඳ දේවල් වගේම සමාජයේ දෝෂාරෝපණය එල්ල වන තමාගේ දිවිය පරිහානියට ඇද දමන ඕනෑම දෙයක්‌ කිරීමේ හැකියාව පවතින්නක්‌. අපි බෞද්ධයන් හැටියට පුරුදු පුහුණු කර ඇත්තේ තමාට හොඳක්‌ කරගෙන අන්‍යයාට ද හොඳක්‌ කර දීමටයි. බෞද්ධයා යනු අනෙකාට වඩා මේරූ දැනුමකින් හා මනා දැක්‌මක්‌ ඇති තැනැත්තා යෑයි සඳහන් කිරීම වරදක්‌ නොවේ. එබැවින් සැබෑ බෞද්ධයා නිරන්තරයෙන් කැපවෙන්නේ කෙසේ හෝ තමාගේ මෙලොව පරලොව සහ ලෝකෝත්තර විමුක්‌තිය සඳහා අවශ්‍ය කෙරෙන කටයුතු සම්පාදනය කර ගැනීම කෙරෙහිය. අපි යමක්‌ කර එයින් යම් විපාකයක්‌ අපේක්‌ෂා කරන්නේ නම් හැකි සැම විටෙකම හොඳ දෙයක්‌ කිරීමට අදිටන් කර ගත යුතු වෙමු. මන්ද ඉන් එහා ගිය යමක්‌ කරන්නේ නම් එයින් ලැබෙන විපාක සිතට සැනසිල්ල ලබා දෙන විපාක නොවන හෙයිනි. 

මේ හේතු නිසා සිතකින් ලබා ගත හැකි වටිනාකම් බොහෝ බව ඔබට අවබෝධ වනු ඇත. තමාට අභිමත අරමුණු කෙරෙහි සිත නොයොදවා යහපත් දෙයෙහිම සිත යෙදවීම කළයුතු වැදගත් ක්‍රියාවයි. අපහසුවෙන් හෝ අමාරුවෙන් හෝ සිත රැක ගැනිමට පෙළඹීම ඔබට හොඳක්‌ සිදුකරගැනීමක්‌ම වන්නේය. අකුසල් යනුවෙන් හඳුන්වන ක්‍රියාකාරකම්වලින් බැහැරව කුසල් යනුවෙන් හඳුන්වන ක්‍රියාකාරකම්වල යෙදීමට වෙහෙස ගත යුතු වෙමු. මේ ලබා ගත් ජීවිතයේ දී සිත මනාකොට සුරක්‌ෂණය කොට ලබාගත හැකි උතුම් වූ නිවන් සුවය සඳහා මාර්ගය හෙළි පෙහෙළි කර ගනිමු. 

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤