දුටුගැමුණු රජු කල පිරිණිවන් පෑ මලියදේව හිමියන් ලංකාවේ අන්තිම රහත් තෙරනම නොවේ. සැබැවින්ම, අද වුව රහතුන් බිහි විය හැකිය. ඒ සදහා අවශ්‍ය වන්නේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ ශ්‍රී සද්ධර්මය සීල සමාධි ප්‍රඥා වශයෙන් දියුණු කොට සාක්ෂාත් කිරීමයි.

ඔබත් බුදුරදුන් පෙන්වා වදාළ උත්තම දහම් මාර්ගයේ ගමන් කරන්න


Powered by දහම් විල


ලිපි සඳහා පහත මාසය අනුව ලිපි පටුන බලන්න

කිව්වොත් රසකර බොරු උපදිති නිරයේ මරු


තවත් පුද්ගලයකු මුලාකිරීමේ ෙච්තනාවෙන් ඇති දෙයක්‌ නැති යෑයිද, නොමැති දෙයක්‌ ඇති යයිද, වූ දෙයක්‌ වේ නම් එය නොවූයේ යයිද, නොවූ දෙයක්‌ වූවේ නම් එය වූවේ යයිද වචනයෙන් හෝ ලිත භාෂාවෙන් හෝ හස්‌ත විකාරාදියෙන් හෝ වෙනත් අයෙකුට ප්‍රකාශ කිරීම මුසාවාදය නමින් හැඳින්විය හැකිය.

මුසාවාද කර්මය සිදුවන්නේ අංක සතරක්‌ සම්පූර්ණ වූ විටය. ඒවා නම්,

1. කියනු ලබන කාරණය බොරුවක්‌ වීම.

2. අනුන් රවටන අදහස්‌ එහි අඩංගුවීම

3. ඇඟවීමේ උත්සාහයක්‌ ඒ තුළ ගැබ්වීම

4. අනෙකා ප්‍රකාශ කළ දෙය තේරුම් ගැනීම යන මෙම කරුණු සතර මුසාවාදයේ අංගයෝ වෙති. ප්‍රකාශ කරන ලද බොරුවක්‌ වුවද, නොදන්නා භාෂාවකින් සඳහන් කිරීමෙන් හෝ හොඳින් නොඇසීමෙන් හෝ අසන්නාට තේරුම් ගත නොහැකි වුවහොත් කර්මය නොවේ. වැරදීමෙන් කියෑවෙන බොරුවලින්ද, මුසාවාද කර්මය සිදු නොවේ. ඉෂ්ට කිරීමේ පරමාර්ථයෙන් පොරොන්දුවක්‌ වී එය ඉටුකරන්නට නුපුළුවන් වීම නිසාද මුසාවාද කර්මය සිදු නොවේ. ඉටුනොකරන අදහසින් පොරොන්දුවක්‌ වන්නවුන්ට එකෙණෙහිම මුසාවාද කර්මය සිදුවේ. පසුව පොරොන්දුව ඉටුකළේ ද එයින් නොමිදේ.

වෙනත් අයෙකු ලවා බොරු කියවීමේදී කියන කියවන දෙදෙනාටම මුසාවාද කර්මය වන බව සඳහන් කළ යුතුයි. එහෙත් අනෙකකුගේ නියෝගයෙන් අනෙකකුට බොරු පණිවුඩයක්‌ කියන තැනැත්තා එහි බොරු සැබෑ බවක්‌ නොදැන රැවටීමේ පරමාර්ථයෙන් තොරව නියෝගය ඉටුකිරීමක්‌ වශයෙන් කියයි නම් එමගින් කියෑවෙන තැනැත්තාට මිස කියන පුද්ගලයාට මුසාවාද කර්මය සිදුනොවේ. දීර්ඝ කාලයක්‌ පවත්නා සැටියට බිත්ති ආදියේ බොරු ලියා තැබීම මුසාවාදය පිළිබඳ ස්‌ථාවර ප්‍රයෝගයයි. එලෙස කළ කල්හි එය කියවා රැවටෙන මිනිසුන්ගේ ගණනට මුසාවාද කර්ම සිදුවේ. ප්‍රවෘත්ති පත්‍ර, සඟරා යනාදියෙහි හා පොත්වල මාර්ගයෙන් බොරු ප්‍රචාර කිරීමේදී ඒවා බලා රැවටෙන්නවුන්ගේ ගණනට මුසාවාද කර්ම සිදුවන බව මෙහිලා තවදුරටත් සඳහන් කළ යුතුය.

කිසියම් ක්‍රියාවක්‌ සිදුකරනු පිණිස හා නොදෙනු කැමැත්තෙන් ඇති දෙය සඟවනු පිණිස, දරුවන් නැළවීම පිණිසද, තමා කළ වරදක්‌ සඟවනු පිණිසද බොරු ප්‍රකාශ කිරීම අල්ප සාවද්‍ය වේ. ඉටුකරමි, දෙමි යනාදී වශයෙන් අනුන් රවටනු පිණිස බොරු බේගල් ප්‍රකාශ කිරීම එයට වඩා මහා සාවද්‍ය වේ. මෙරමා හට අනර්ථවන ලෙසට සාක්‌ෂ්‍ය වශයෙන් බොරු කීම එයටද වඩා මහා සාවද්‍ය වේ. අනර්ථය පිණිස කියන්නා වූ බොරුවලින් සිදුවන්නා වූ අනර්ථයේ අලාභයේ ප්‍රමාණයද අල්ප සාවද්‍ය, මහාසාවද්‍යතාව කිවයුතුය. රවටනු ලබන පුද්ගලයාගේ ගුණවල සැටියෙන්ද අල්පසාවද්‍ය මහා සාවද්‍ය භාවය ප්‍රකාශ කළ හැකිය. බොරු ප්‍රකාශ කිරීමේදී ඇතිවූ ක්‌ලේෂයන්ගේ ප්‍රමාණයෙන්ද අල්ප සාවද්‍ය, මහා සාවද්‍යතාව කිව යුතුය.

බොරු කියන පුද්ගලයෝ මෙලොව වශයෙන්ද, නින්දාවට, අපහාසයට, අපහසුතාවට පත්වෙති. අන්‍යයන් විසින් අවිශ්වාස කරනු ලබයි. සමහර අවස්‌ථාවන්හිදී බොරු ප්‍රකාශ කිරීම හේතුවෙන් දඬුවම් විඳීමද සිදුවෙති. බොරු කියන්නන් එම පවින් මරණින් මතු නිරයෙහි උත්පත්තිය ලබා අනේක සංඛ්‍යාත කෝටි සහස්‍රයෙහි ලෝදිය බිම් ආදී මහ දුක්‌ විඳිති. ප්‍රේත ආත්මවල ඉපිද විවිධාකාරයේ දුක්‌ විඳිති. තිරිසන්ව උත්පත්තිය ලබා බොහෝ දුක්‌ විඳිති. මනුෂ්‍ය ආත්මභාවයන්හි උත්පත්තිය ලබා ගත්තද එක්‌ ජාතියකදී ප්‍රකාශ කළ බොරුවලට සිය ගණන් ජාතිවලදී නොකළ වරදට හසුවී නින්දා ලබති. දඬුවම් විඳිති. මෝඩයෝ වෙති. එසේම දුප්පත් වෙති. කතා කිරීමේදී ගොත ගසති. මෝඩයෝ වෙති. ගොළු බවට පත්වෙති. කට හෙවත් මුඛයෙන් දුර්ගන්ධය හමති. අශෝභන දත් ඇත්තෝ වෙති. කල් නොපවත්නා දත් ඇත්තෝ වෙති. මුඛ රෝගයෙන් පෙළෙන්නෝ වෙති. විරූප වෙති. අවිශ්වාස කරනු ලබන්නන් බවට පත්වෙති. අමිහිරි කටහඬ ඇත්තෝ වෙති. කිසිවෙකු ඔවුන්ගේ බස්‌ නොපිළිගනිති. ඔවුන්ට අඹු දරුවන් නූපදිති. දරුවන් ඉපදුනද ඔවුන් ගැහැනු දරුවෝ වෙති. ඔවුහුද අකීකරු වෙති. පවුල් අතර අඬදබර ඇතිවෙති.

බොරු ප්‍රකාශ කිරීම නොයෙක්‌ පව්කම්වලට වුවමනා දෙයකි. බොරුවෙන් වැළකී සිටින තැනැත්තාහට අන් පව් කිරීමටද වඩා ඉඩක්‌ නොමැත. බොරු ප්‍රකාශ කරන්නා හට නොකළ හැකි පවක්‌ නොමැති බව.

"එකං ධම්මං අතීතස්‌ස - මුසාවාදිස්‌ස ජන්තිනො

විතිණ්‌ණ පරලොකස්‌ස - නත්ථි පාපං අකාරියං" යනුවෙන් බුදුරදුන් දේශනාකොට වදාරා තිබේ. 

"සත්‍යය නමැති එක ධර්මය අත්හල බොරු කියන්නා වූ පරලොව ගැන බලාපොරොත්තු රහිත වූ තැනැත්තා හට නොකළ හැකි පවක්‌ නැතය" යනු එහි අර්ථයයි.

සෑම ආගමකම පව් ලැයිස්‌තුවක්‌ ඇත. ඒවා එකිනෙකට සමාන නොවන නමුත් බොරු කීම ඒ සියල්ලටම ඇතුළත්ය. සියලුම ශාස්‌තූවරු වෙනසක්‌ නොමැතිව බොරු කීම පාපයක්‌ බව දේශනාකොට තිබේ. ලෝකයේ නුවණැති සියල්ලෝම බොරුව පිළිකුල් කරති. බොරු ප්‍රකාශ කරන්නාද පිළිකුල් කරති. අප මහා බෝසතාණන් වහන්සේ විසින් සමහර අවස්‌ථාවන්හිදී පව් කර තිබේ. එහෙත් අනුන්ට අනර්ථයක්‌ වන්නා වූ බොරුවක්‌ විවරණ ලැබීමෙන් පසු උන්වහන්සේ නොකී බව දක්‌වා ඇත. එමගින් පෙනී යන්නේ බොරුකීම අන් පව්වලට වඩා ලාමක පාපයක්‌ වශයෙන් උන්වහන්සේ සැලකූ බවය. බොරු කීමට බිය නොවන, ලැඡ්ජා නොවන තැනැත්තා ගුණවෙතක්‌ නොවේ. එක්‌තරා දිනක්‌ බුදුරජාණන් වහන්සේ පා සෝදා සෙම්බුවෙහි ඉතිරිව තිබූ දිය ස්‌වල්පයක්‌ රහල් හෙරණපාණන්ට පෙන්වා රාහුලය, බොරුකීමට ලැඡ්ජා නැති මහණුන්ගේ මහණකමද මෙසේ ස්‌වල්පයයි. දේශනාකොට වදාළ සේක. ඉන්පසුව තථාගතයන් වහන්සේ එම පැන් ස්‌වල්පයද ඉවතලා රාහුල හෙරණපාණන්ට දක්‌වා රාහුලය මහණකම මෙසේම අහක දමන ලද්දක්‌ වේ යෑයි දේශනාකොට වදාළ සේක. ඉන් අනතුරුව බුදුරජාණන් වහන්සේ එම සෙම්බුව මුනින් අතට නමා පෙන්වා රාහුලය, බොරු කීමට ලැඡ්ජා නැතියනුගේ මහණකම මෙසේ මුනින් නමන ලද්දක්‌ වේ යෑයි දේශනාකොට වදාළහ. ඉන්පසුව තථාගතයන් වහන්සේ එම බඳුන උඩුකරු කොට තබා රාහුලය බොරු කීමට ලැඡ්ජා නැති මහණුන්ගේ මහණකම මෙසේම හිස්‌ වන්නේ යෑයි දේශනා කළ සේක.

බොරු කීමෙන් නොවැළකෙන්නකු කොතෙක්‌ ගුණධර්ම ආරක්‌ෂා කළත් ඒවායේ වටිනාකමක්‌ නොමැති සේය. එබැවින් සැම දෙනම බොරු කීමෙන් වැළකීමට සිතාගත යුතුය. බොරු ප්‍රකාශ කිරීම පිළිකුල් කළ යුතුය. සත්‍යවාදී සමාජයක්‌ ගොඩනැගීමට බොරුවෙන් වැළකීම අප සැමගේ යුතුකමකි.

දර්ශනපති මෝහාන් නන්දන නානායක්‌කාර

නොඉඳුල් දානය නම් ලුණු ඇඹුල්වත් නොබලා දීම ද?


ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ අනුනායක හා ප්‍රධාන ලේඛකාධිකාරි 
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති 
මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනු නාහිමි

තමන් ආශාව අතහැර දීමෙන් පසු යළි ඒ කෙරෙහි ඇල්මක් ඇති කරගැනීමෙන් සිදුවන්නේ දානය පූජා කිරීමේ පුණ්‍ය කර්මය ලැබුණත් යළි තෘෂ්ණාව හට ගැනීම නිසා කුසලය සම්පූර්ණ නොවීමයි
බු දුරජාණන් වහන්සේගේ ජීවමාන කාලයේ දෙසැටක් මිථ්‍යා දෘෂ්ටීන් ඉන්දියාව පුරා පැතිර තිබූ බව ශාසන ඉතිහාසය දෙස බැලීමෙන් පෙනී යනවා. මේ මිථ්‍යා විශ්වාස මත ආදිය පසුකාලීනව බෞද්ධයන්ගේ වත් පිළිවෙත් අතරටද එක්ව තිබෙන බව අපට පැහැදිලි වන කරුණකි.
විශේෂයෙන් ලාංකික බෞද්ධ ජනතාවගේ මේ මිථ්‍යා මතයන් ඇතැම් විට දෛනික ජීවිතයට පවා යම් බලපෑමක් ඇති කරනු ලබන බව පෙනෙනවා. මෙය හුදෙක් බෞද්ධ සමාජයටම පමණක් නොව සමස්ත ලෙසින් ප්‍රජාවටම යම් බලපෑමක් ඇති කිරීමට පුළුවන්. විශේෂයෙන්ම මිථ්‍යා මත සනාථ කළ නොහැකි නිසා බෞද්ධයන් යම් හෑල්ලුවකට පවා ලක්විය හැකියි.
බෞද්ධ චාරිත්‍ර වාරිත්‍ර පින්කම් වත් පිළිවෙත් හා මුසු වූ පදනම් විරහිත එහෙත් ජනතා මත අතර මුල් බැසගත් කරුණු සම්බන්ධ විවරණයක් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියන් විසින් ගෙනහැර දැක්වූවා.
හරි හම්බ කරන මුදලින් උපරිම විදිහට දන් පින් කරන්න අපේ බෞද්ධ සමාජය පෙළඹිලා තියෙනවා. එය බුදුරජාණන් වහන්සේ පෙන්වූ ධර්ම මාර්ගය අනුව යාමක් වුවත් සමහර විට ඇතැම් වත් පිළිවෙත් බුදුරජාණන් වහන්සේගේ දේශනාව වරදවා වටහාගෙන නැත්නම් වැරැදි ක්‍රමවේදයට අනුව කටයුතු කරනු ලබන බව පෙනෙනවා.
නිවැරැදි වත් පිළිවෙත් ගැන බෞද්ධයන් දැනුම්වත් වීම බුදුදහම තවත් චිරාත් කාලයක් ස්ථාපිත වීමට හේතු සාධක වනවා.
දානයක් සකස් කිරීමේදී එය නොඉඳුල්ව නැත්නම් ඉඳුල් නොකර පිළිගැන්විය යුතු බවට මතයක් තිබෙනවා. එහෙත් මෙහි සැබෑ අරුත දැන ගැනීමයි වැදගත්. බොහෝ දෙනා සිතන්නේ උයන පිහන කෑම බීම වල ලුණු බැලීම පවා නොකළ යුතු බවයි. එසේ වූ විට සිදුවන්නේ දානය නීරස වීමය. නොඉඳුල් යනුවෙන් හඳුන්වන්නේ පිසින ලද ආහාරය කවුරුන් විසින් හෝ ආහාරයට නොගෙන පිරි නැමීමයි. එසේ නොමැතිව එහි ලුණු ඇඹුල් ආදිය නිසි පමණට ඇත්දැයි නොබලා පිරිනැමීම නොවන බව බෞද්ධයන් වශයෙන් තෝරා ගැනීම බෙහෙවින් වැදගත් වනවා.
පිළියෙල කරනු ලබන ආහාරයේ පළමු කොටස බුද්ධ පූජාව තැබීමෙන් පසු සංඝයා වහන්සේට පිරිනැමීමයි. නොඉඳුල් දානයක් ලෙස හඳුන්වන්නට පුළුවන්.
දෙන දෙය හෙවත් දානය ඉතා ප්‍රණීතව පිරිසිදුව ලබා දිය යුතුය. එසේම දෙන දෙය ධාර්මිකව හරි හම්බ කරගත් දෙයින් ලබා දිය යුතුයි. ධර්මයේ දානය සම්බන්ධව ලබා දී ඇත්තේ එවන් ක්‍රමවේදයක් එසේම යම් පුණ්‍ය කර්මයක් සිදු කිරීමේදී ඒ සඳහා වැය වන නැත්නම් වැය වූ මුදල් සම්බන්ධව සොයා බැලීම නුසුදුසු බවට ඇතැම් අය අතර මතයක් තිබෙනවා. මේ සම්බන්ධයෙන්ද නිසි අවබෝධයක් ඇති කරගැනීම බෞද්ධයන් වශයෙන් අපට බෙහෙවින්ම වැදගත් වනවා.
දානමය පින්කමකදී හෝ වෙනත් පින්කමකදී වැයවන මුදල් ගැන සිතීමේදී යම් තෘෂ්ණාවක් ඇතිවී තම පුණ්‍ය කටයුත්ත නිසියාකාරව කර ගැනීමට එය බාධාවක් වීමට ඉඩ තිබෙන නිසා මෙසේ එවන් මතයක් ජනතාව අතර ගොඩනැඟී ඇති නමුත් දානය යන්නෙහි නිවැරැදි අර්ථයන් අප වටහා ගත යුතුයි. දානය යනුවෙන් “දීම “ යන්න පමණක් අදහස් වන්නේ නැහැ.අප සතු තෘෂ්ණාව “අත්හැරීමයි” එයින් අදහස් වන්නේ ඒ කෙරෙහි ඇති බැඳීම ඉවත් කිරීමයි. එහිදී සිදුවන්නේ. එහෙත් තම අයවැය සමව සිතා බලා විය පැහැදම් කිරීමත් මෙහිදී වැදගත් වනවා.

සාමාන්‍යයෙන් අප සතුටට පත්වන්නේ අපට යමක් ලැබෙන කොටයි. එහෙත් දානයේදි සිදුවන්නේ අප සතු යමක් අත්හැර ඒ සම්බන්ධයෙන් අප සතුටට පත්වීමයි. දානයේ විශේෂම වැදගත්කම එයයි.
දානයේ නියම ආනිසංස ගැන අභිධර්මයේ දක්වා ඇත්තේ “සෝමනස්ස සහගත ඤාණ සම්ප්‍රයුක්ත අසංඛාරික සිතින් දිය යුතු බවයි.
මෙහිදී සෝමනස්ස සහගත යනුවෙන් හඳුන්වන්නේ සතුටු සිතින් කටයුතු කළ යුතු බවයි.
ඤාණ සම්ප්‍රයුක්ත යනුවෙන් හඳුන්වන්නේ තමාගේ නුවණින් කල්පනා කර කර්ම ඵල කෙරෙහි විශ්වාසය තබා කටයුතු කළ යුතු බවයි. පුණ්‍ය කර්මයක් කිරීමේදී එමඟින් යහපත් ඵලයක් ලැබෙන බව සිතිය යුතු බවය. අසංඛාරික යනුවෙන් හඳුන්වන්නේ පෙරලා කිසිවක් බලාපොරොත්තු නොවී කිසිවකුගේ මෙහෙයවීමෙන් තොරව කටයුතු කිරීමයි.
ඇතැම් පුද්ගලයන් දීමෙන් පසු ඒ ගැන සොයා බැලීමටත් කටයුතු කරනවා. එවන් අවස්ථාවලදී කුසලය සම්පූර්ණ වන්නේ නැහැ. භික්ෂූන් වහන්සේට දානයක් පූජා කිරීමෙන් පසු එම භික්‍ෂූන් වහන්සේ තමන් විසින් දානය උදෙසා ලබා දුන් දේ පරිහරණය කරනවාද? එසේත් නැතිනම් තවත් අයෙකුට ලබා දෙනවාද? භික්ෂූන් වහන්සේ සිල්වත්ද?
තමන් ආශාව අතහැර දීමෙන් පසු යළි ඒ කෙරෙහි ඇල්මක් ඇති කරගැනීමෙන් සිදුවන්නේ දානය පූජා කිරීමේ පුණ්‍ය කර්මය ලැබුණත් යළි තෘෂ්ණාව හට ගැනීම නිසා කුසලය සම්පූර්ණ නොවීමයි.
අප අතර මුල් බැසගෙන ඇති තවත් සාවද්‍ය කරුණක් වන්නේ අවමංගල්‍යය චාරිත්‍රයි. අඟහරුවාදා සහ සිකුරාදා දිනවල මෘතදේහය ගෙදරට ගෙන නොඑන තත්ත්වයක් බෞද්ධයන් අතර තිබෙනවා. බුදු දහමේ කොතැනකවත් ඒවැන්නක් දක්වා නැහැ.
මිය ගිය පසු දින 7 කින් ධර්ම දේශනා පැවැත්වීම පසුදින දානමය පින්කම් පැවැත්වීම වැනි දින සහිත චාරිත්‍ර බුදුදහමේ දක්වා නැහැ. මිය ගිය පසු එම තැනැත්තා උදෙසා පින් පැමිණවීමට බුදු දහමේ අනු දැන වදාරා තිබෙනවා. එහෙත් දින නියම කර එදිනට පින්කම කළ යුතු යැයි දක්වා නැහැ.
මේ ඉලක්කම් දින සහිත චාරිත්‍ර කාලාන්තරයක් තිස්සේ අපේ සංස්කෘතිය හා මිශ්‍ර වූ බ්‍රාහ්මණයන්ගේ චාරිත්‍රයි. එහි විශාල වරදක් අඩුවක් දක්නට නැතත් ඊටම අනුගත වී අපහසුතාවන්ට පත්වීම සුදුසුයැයි කියන්නට බැහැ.
හත් දවසේ පින්කම පැවැත්වීම සම්බන්ධවද දින ගණන් කිරීමේ ගැටලුවක් අප සමාජයේ දක්නට තිබෙනවා. ඇතැමුන්ගේ මතය වන්නේ මියගිය දිනයේ සිට දින 7 ක් ගණන් කළ යුතු බවයි. තවත් අයගේ මතය වන්නේ මිය ගිය දිනය අතහැර පසු දින සිට දින 7 ගණන් කළ යුතු බවයි.
මිය ගොස් දින 7 කින් පින්කම පැවැත්විය යුතු යැයි නියමයක් නැති නිසා එදින හෝ එදින යොදාගත නොහැකිනම් පසු දින යොදා ගත හැකියි. හරියටම දින 7 කින් පින්කම සිදු කිරීමට යාමේදි බොහෝ විට අපහසුතාවනට පත්වන්නේ භික්ෂූන් වහන්සේයි. පෙර බාර ගන්නා ලද දානමය පින්කම් ආදිය තිබෙන අවස්ථාවල ඒවා මඟහැර යාමට හැකියාවක් භික්ෂූන් වහන්සේට නැහැ. එම නිසා බෞද්ධයන් වශයෙන් අප නම්‍යශීලිව යථාර්ථය සහ නිවැරදිව බුදු දහම අනුව කටයුතු කිරීම බෙහෙවින් වැදගත් වනවා.
මස් මාංශ අනුභවය සම්බන්ධවත් අප නිවැරැදි තත්ත්වය තේරුම්ගත යුතුයි. දෙව්දත් තෙරුන් විසින් බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලූ වර 5 න් එකක් වූයේ ‘භික්ෂූන් වහන්සේ ජීවිතාන්තය දක්වා මස් මාංශවලින් වැළකිය යුතුය’ යන්නයි. එහෙත් බුදුරජාණන් වහන්සේ එම ඉල්ලීම් නොපිළිගත් අතර කැමැති කෙනෙක් එය පිළිගත්තාට වරදක් නැති බව පමණක් අනුදැන වදාළහ.
භික්ෂූන් වහන්සේට දායකයන් විසින් ලබාදෙන දානය වැළැදිය යුතු බවයි. බුදු දහමේ අන්තර්ගත වන්නේ විශේෂයෙන්ම පිණ්ඩපාතයේදී නම් දායකයන් විසින් ලබාදෙන ආහාරමය දානය වර්ගීකරණයක් කරන්නට බැහැ. එහිදී තමන්ට අපත්‍ය නොවන සෞඛ්‍යයට හානිදායක නොවන ආහාර ලැබී ඇත්නම් වැළැඳීය යුතුයි. පිණ්ඩපාතිකාංගය නම් ප්‍රතිපත්තියක් ලෙසින් ආරක්‍ෂා කරන ලද භික්‍ෂූන් පිණ්ඩපාත දානයෙන්ම පමණක් යැපුණි. එසේම පත්ත පිණ්ඩිකානය ප්‍රතිපදාවක් ලෙස අනුගමනය කරනු ලබන භික්ෂූන් ආහාරය සම¼ග ලැබෙන කුරුඳු පොතු , කරපිංචා , වැනි කිසිවක් ඉවත නොදමා ඒ සියල්ල වළඳනු ලැබේ. මස් මාංශ අනුභවය සම්බන්ධව බුදු දහමේ දක්වා ඇත්තේ ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශ අනුභව කිරීම සුදුසු බවයි.
බොහෝ දෙනා විසින් අසනු ලබන ප්‍රශ්නයක් වන්නේ සත්ව හිංසාව මෙතරම් අනුගමනය කළත් මාංශ අනුභවයට තහනම් නොපැනවූයේ ඇයිද? යන්නයි. බුදුරජාණන් වහන්සේ එවන් විනය ශික්ෂා පද නොපැනවූයේ කාලයාගේ ඇවෑමෙන් සමාජයේ ඇතිවන වෙනස්කම් හමුවේ බුදුදහම නොසැලී තිබිය යුතු නිසයි.කෙසේ වෙතත් මස් මාංශ අනුභවයෙන් වැළකී සිටින පැවිදි ගිහි දෙපාර්ශ්වයේම ශරීර සෞඛ්‍යයට හිතකර බවද මෙහිදී කිව යුතුයි.
ලොව බොහෝ රටවල මේ වන විට නිර්මාංශ ආහාර ගැනීම කෙරෙහි අවධානය යොමු වී තිබෙනවා. මාංශ අනුභවයෙන් ලෙඩ රෝග වැඩිවන නිසාත් සතා සිවුපාවා නැසීමෙන් පරිසරයට හානිදායක වන බවද මෙහිදී කිව යුතුයි.
සාකච්ඡා කළේ
තාරක වික්‍රමසේකර

බුද්ධ චීවරය මෙසේ විය යුතු...


ලෝකයේ තවමත් පරිහරණය වන පැරැණිම හා පූජනීයම ඇඳුම වශයෙන් සැලකෙන්නේ වීවරයයි. හෙවත් භික්‍ෂූන් පෙරවන සිවුරයි. එය අවුරුදු දෙදහස්‌ පන්සිය වසරකට අධික කාලයක්‌ තිස්‌සේ නොවෙනස්‌ව පැවත එන්නකි. බුදුරදුන් පහළ වන්නට පෙර සිටිය පැවිදි දිවියක්‌ ගත කළ පිරිස වර්තමානයේ භාවිත චීවරයට සමාන ඇඳුමකින් සැරසී සිටිය බව සිතිය හැකිය. සිදුහත් කුමරු දුටු සතර පෙර නිමිති අතර පැවිදි රුවක්‌ ද විය. මහා බ්‍රාහ්මයා සිදුහත් බෝසතුන්ට අටපිරිකර පිදුව බව බුද්ධ චරිතයේ සඳහන් වෙයි.
සිරුර මුළුමනින්ම වැසෙන ලෝගුවක ස්‌වරූපයේ ඇඳුමක්‌ ග්‍රීක සහ ඉන්දු සමාජයේ ප්‍රභූවරුන් පෙරවූ බව කැටයම්වලින් පෙනෙයි. කෙසේ වුවද චීවරය භික්‍ෂූන්ට පමණක්‌ ආවේණික ඇඳුමක්‌ බවට පත් කෙරුණේ කුඹුරක ලියෑදි අයුරින් පෙනෙන ලෙස නිශ්චිත පරිමාවකට කඩ කපා සිවුර සකස්‌ කිරීම හේතුවෙනි. සිවුර එලෙස සැකසීමට නියම කෙරුණේ වස්‌ත්‍රයේ වටිනාකම අඩු කිරීමේ අරමුණිනි.

සැරියුත් - මුගලන් තෙරවරුන්ගේ පටන් වර්තමානය දක්‌වාම පැවිදි බව ලද සෑම භික්‍ෂුවකම සිවුරක්‌ දරන්නේ සියලු සසර දුක්‌වලින් නිදහස්‌ වීමේ ප්‍රතිඥාව මත විනයානුකූලව ආචාර්ය උපාධ්‍යායන් වහන්සේගෙන් එය ලබා ගැනීමෙනි. ඒ අනුව චීවරය යනු පැවිදි බව පතන කෙනෙකුට ගුරුවරයකුගෙන් පමණක්‌ ලබා ගත හැකි දෙයකි. චීවරයක්‌ දරන ඕනෑම කෙනෙකු සඳහා 'චීවරධාරී' යන නම යෙදිය හැකිය. එහෙත් ජනමාධ්‍ය එය භාවිතා කරන්නේ වැරදිකාර භික්‍ෂුන් වෙනුවෙනි. සිවුරක්‌ සොයා ගෙන තනිවම පෙරවා ගැනීම වංචාවකි. ධර්මාශෝක රජු එවැනි චීවරධාරීන් සසුනෙන් නෙරපීමට පියවර ගත්තේය. මහ පැරකුම්බා රජතුමා ද හොරට සිවුරු පොරවා සිටි වංචනිකයන් සිවුරු හරවා බුදුසසුන පිරිසිදු කළේය. භික්‍ෂු භාවයේ ලක්‍ෂණය ධීවරයයි. සතර වන මිහිඳු රජු පවසා ඇති පරිදි පාත්‍රය හා සිවුර රැකීම රජුගේ වගකීමකි. එහි තේරුම බුදු සසුන සුරැකීමයි. බුද්ධ ශාසනය පවතින්නේ භික්‍ෂුභාවය මුල්කර ගෙනය.

පැවිද්දට වුවමනා කරන මූලික භාණ්‌ඩ අටපිරිකර යනුවෙන් හැඳින්වෙයි. දෙපට සිවුර, තනිපට සිවුර, අඳන සිවුර, පාත්‍රය, බඳපටිය, දැලිපිහිය, නූල් ඉඳිකටු, පෙරහන්කඩ අටපිරිකරට ඇතුළත් වෙයි. භික්‍ෂුවකගේ මූලික අවශ්‍යතා සැලකිල්ලට ගෙන අටපිරිකර සකස්‌ කර ගෙන තිබේ. චීවර බන්ධකය, ඛුද්දක වත්ථුක්‌ඛන්ධකය, සේනාසනඛන්ධකය වැනි විනය විස්‌තරයන් හි භික්‍ෂුව පරිහරණය කරන සිවුරු හා අනෙකුත් භාණ්‌ඩ ක්‍රමවත්ව සකසා ගන්නා පිළිවෙළ ඇතුළත් වෙයි. වෙළෙඳ ව්‍යාපාරිකයන් විසින් හුදෙක්‌ ලාභය පමණක්‌ බලාගෙන පරිහරණයට නුසුදුසු සිවුරු සහ අටපිරිකර සැකසීම නිසා ගැටලු සහගත තත්ත්වයක්‌ මතු වී තිබේ.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සිවුර, පාත්‍රය සහ අටපිරිකර සඳහා නිර්ණායක සකස්‌ කොට තිබේ. ඒ අනුව 2004.03.25 දින අංක ශ්‍රීලංප්‍ර 1257 යටතේ සිවුර ද, ශ්‍රීලංප්‍ර 1258 යටතේ අටපිරිකර ද, ශ්‍රීලංප්‍ර 1308 යටතේ පාත්‍රය පිළිබඳ ප්‍රමිතිය ද සකස්‌ කොට ඇත. එම ප්‍රමිති සකසා තිබෙන්නේ භික්‍ෂු විනයට අනුකූල අයුරිනි. එසේම එම භාණ්‌ඩ නිෂ්පාදනය සඳහා යොදා ගන්නා ද්‍රව්‍යයන් පිළිබඳ තත්ත්ව පරීක්‍ෂණ ක්‍රමවේදයන් ද විස්‌තර කොට ඇත. නිෂ්පාදනයට භාවිත නූල් වර්ග හා වර්ණයන්ගේ පැවැත්ම, වෙනස්‌ වීම්, සිවුරක නිශ්චිත දිග පළල, නුවාව, ගැබ, ගණ්‌ඨිය වැනි කරුණු ප්‍රමිතියට යටත් කොට තිබේ. සිවුර මැසීමේ දී දික්‌ නූල් එකම දිසාවකට තිබිය යුතු ය. ගැබ සිවුරු මැසීමේදී සෙන්ටි මීටරයකට ඇතුළත් දළ මැහුම් ගණන පවා ප්‍රමිතියෙහි දැක්‌වේ. සිවුරක කොටස්‌වල පරිමාවන් සහ නම් සඳහන් සැලැස්‌මක ආකෘතියක්‌ ප්‍රමිති ලේඛනයේ දක්‌වා ඇත. එය සාමාන්‍ය සිවුරක දක්‌නට ලැබෙන ස්‌වරූපයයි. එහෙත් ඇතැම් භික්‍ෂුන් පෙරවන අඟලක පමණ වූ කුඩා කඩ සහිත සිවුර ප්‍රමිතිගත කොට නොමැත. සිවුරක වර්ණයන් ලෙස ප්‍රමිතිගත කොට ඇත්තේ කහ, දුඹුරු, තැඹිලි, හා මදටිය පැහැය යි. සිවුරු වර්ගය, එය නිම කළ රෙදි වර්ගය, නිෂ්පාදකයාගේ නම, ලිපිනය තිබේ නම් වෙළෙඳ ලකුණ හා නිෂ්පාදිත වර්ෂය, භාණ්‌ඩයේ ප්‍රදර්ශනය කළ යුතුයි. ප්‍රමිතිකරණය භික්‍ෂුවකට නිවැරැදි භාණ්‌ඩ ලබාදීමේ අරමුණින් සිවුරු නිෂ්පාදකයාට අදාළව පැන වූ රෙගුලාසියකි. පැවිදි බවට කැපසරුප් පැහැය හා පරිමාවන් සහිත සිවුරු තෝරා ගෙන ප්‍රත්‍යවේක්‌ෂාවෙන් යුතුව පෙරවීම භික්‍ෂුවගේ කාර්යයකි.

පාත්‍රය ලොකු හා කුඩා ප්‍රමාණවලින් සකස්‌ කළ යුතුය. ලොකු පාත්‍රයක මුවෙහි විශ්කම්භය මිලි මීටර් 185 කි. ගැඹුර මිලි මීටර් 145 කි. බඳෙහි වට ප්‍රමාණය මිලි මීටර් 760 කි. කුඩා පාත්‍රයක නම් විශ්කම්භය මිලි මීටර් 160 කි. ගැඹුර මිලි මීටර 120 කි. වට ප්‍රමාණය මිලි මීටර් 600 කි. පාත්‍රය සහ පියන සෑදීම සඳහා භාවිතා කළ යුත්තේ මෘදු වානේ තහඩුවල ඝනකම ගේඡ් 20 හෙවත් මිලි මීටර් දශම නවයකි. පාත්‍රය තල තෙල් වලින් පදම් කළ යුතුය. තීන්ත වර්ණාලේප යෙදීම තහනම් ය. දාර කැපෙන සුළු නොවිය යුතු ය. ඇතුළත හා පිටත මටසිළුටුව තිබිය යුතු වෙයි. පාත්‍රය රඳවන ආධාරකය ගැනුම්කරුගේ ඉල්ලීම අනුව සැපයිය යුතුය. මෙම ප්‍රමිතීන්ට අයත් නොවූ නිසා ගැටලු මතු වූ තායි පාත්‍රය හා සිවුර ද ප්‍රමිතිගත කිරීමට සමස්‌ත ලංකා ශාසනාරක්‍ෂක මණ්‌ඩලය පියවර ගෙන ඇත.

2003 අංක 09 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි පනතෙහි 12 (1) වගන්තිය යටතේ දේශීයව සාදනු ලබන අටපිරිකර ප්‍රමිතීන්ට අනුකූල නොවන්නේ නම්, කිසිම නිෂ්පාදකයකු හෝ වෙළෙන්දකු විසින් ළඟ තබා ගැනීම, නිපදවීම, විකිණීම සඳහා ඉදිරිපත් කිරීම හෝ ගබඩාකර තබා ගැනීම නොකළ යුතු බව සඳහන් වෙයි. වංචනික පුද්ගලයන් ඝන කඩදාසි, සිවුරු කැබලි, ඇළුමිනියම් මුට්‌ටි ආදිය යොදා ගෙන අටපිරිකර සකසා ඇති බවට අස්‌ගිරි මහනාහිමියන් ජනාධිපතිවරයාට පැමිණිලි කිරීමෙන් පසු සිවුරු පිරිකර වෙළෙඳසල් වටලා ප්‍රමිතියෙන් තොර භාණ්‌ඩ අලෙවි කළ පුද්ගලයෝ අධිකරණයට ඉදිරිපත් කරන ලදහ. අටපිරිකර හා සිවුරු පිළිබඳ ප්‍රමිතිකරණයක්‌ තිබුණත් ඒ සම්බන්ධ නිර්ණායක හඳුනාගැනීමට ප්‍රමාණවත් දැනුමක්‌ ගිහි පැවිදි දෙපිරිසටම නොමැත. එසේම ප්‍රමිතිකරණය නෛතික වශයෙන් තවදුරටත් ශක්‌තිමත් කළ යුතු වෙයි. සම්මත ප්‍රමිතියකින් තොරව පෞද්ගලිකව පිරිකර අලෙවි කරන පිරිසක්‌ ද සිටිති. සිවුරු පිරිකර වෙළෙඳසල් පවත්වා ගෙන යැම සිදු කළ හැක්‌කේ ශාසනාරක්‍ෂක මණ්‌ඩලයේ අනුමැතියෙනි.

වංචනිකයන් පමණක්‌ නොව චිත්‍රපට හා ටෙලි නළුවෝ ද සිවුර පොරවා රඟපෑමේ යෙදෙති. ඒ සම්බන්ධයෙන් භික්‍ෂුන්ගේ විරෝධය නිතර පළවෙයි. අතිපූජ්‍ය පලිපාන ශ්‍රී චන්දානන්ද අස්‌ගිරි මහා නාහිමියන් 1980 ජුලි 17 වැනි දින ජනාධිපති ඡේ. ආර්. ජයවර්ධන මහතාට ඒ බව මෙසේ දැනුම් දී ඇත.

"භික්‍ෂූන්ට අයිති නිල ඇඳුමක්‌ තිබේ. එය හිතුමතයේ කිසිවකුට ඇඳීමට විනය නීතියෙන් ඉඩක්‌ නැත. ආචාර්ය උපාධ්‍යායන් වහන්සේ විසින් ම ක්‍රමානුකූලව එම ඇඳුම ඇන්දවීම කළ යුතුය. මහණකම කියන්නේ එයටයි. 

එවැනි ආචාර්ය උපාධ්‍යායන් අතින් සිවුර පැළඳවීම ලබා නොගත් අය "ථෙයH සංවාසික" ය. මෙකල ව්‍යවහාරය අනුව ශ්‍රමණ වේශධාරින් ය. එවැනි අය සංඝ සමාජයට කරනු ලබන නින්දාවන්ගෙන් නියම භික්‍ෂූන් බේරා ගැනීම ධර්මාශෝක රාජ සමයෙහි පටන් රජයේ වගකීමක්‌ ලෙස පවත්නේය. මෙම වගකීම් 1931 බෞද්ධ විහාර දේවාලගම් පනතට වගන්ති කීපයක්‌ එකතු කිරීමටත්, සලස්‌වා ඇත. නීතිය එසේ වුවද, එය ක්‍රියාත්මක කළ අවස්‌ථා දක්‌නට නොමැත. පුරන්අප්පු චිත්‍රපටයෙහි කුඩාපොල හිමියන් වෙනුවට රඟපාන අමු ගිහියෙක්‌ සිවුර පොරවාගෙන ආණ්‌ඩුකාරයා ඉදිරියේ දණ ගසා සිටින දර්ශනයක්‌ ඇති බව එය දුටු අය මට කීහ. එම නීතිය අනුව භික්‍ෂුවට අයිති නිල ඇඳුම ඇඳගෙන ප්‍රසිද්ධියේ භික්‍ෂුත්වයට අපහාස කිරීම ගැන නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස මම සංස්‌කෘතික ඇමැතිතුමාට ලියා යෑවීමි. එතුමා නිහඬ විය."

ඉහත සඳහන අනුව සිවුර භාවිතය පිළිබඳ ශාසන බලධාරි මහ නාහිමිවරුන්ගේ මතය මෙන්ම උන්වහන්සේලාගේ ක්‍රියාකාරීත්වය පැහැදිලි වෙයි. එසේ වුවද, ඇතැම් විට නළුවන් සිවුරු වෙස්‌ ගැන්වීමට භික්‍ෂුන් මැදිහත් වීම විනය නීති නොසලකා හැරීමකි. කෙනෙකු පැවිදි බව ලබන්නේ සියලු දුක්‌වලින් මිදීම සඳහා යෑයි (සබ්බ දුක්‌ඛ නිස්‌සරණ නිබ්බාණ සච්åකරණත්ථාය) ආචාර්ය උපාධ්‍යායන්ට ප්‍රතිඥාවක්‌ දෙමිනි. චිත්‍රපටයක රඟපෑම හෝ වෙනත් කරුණක්‌ අරමුණු කර ගත් පුද්ගලයකු ලවා එම වැකිය කියවා ඔහුට සිවුරක්‌ පෙරවීමත්, කෙනෙකු තනිවම සිවුරක්‌ පොරවා ගැනීමත් පාපී ක්‍රියාවකි. සිවුර පොරවන ආකාරය මතභේද සහිත වූ මාතෘකාවකි. පැරැණි බුද්ධ ප්‍රතිමා අධ්‍යයනය කළ විට අතීතයේ සිවුරු පෙරවූ ක්‍රමය ගැන වටහා ගත හැක. කලා සම්ප්‍රදාය, කාලය, දේශය හා ගුරුකුල අනුව සිවුර පෙරවීමේ ක්‍රමය වෙනස්‌ වි ඇත. එහෙත් මුල් බුදු දහම වූ ථේරවාදී සම්ප්‍රදාය තුළ සිවුර වෙනස්‌ වී නොමැත.

පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි
අස්‌ගිරි මහා විහාරීය කාරක සංඝ සභික
ගරු අනුශාසක - සමස්‌ත ලංකා ශාසනාරක්‍ෂක මණ්‌ඩලය

ඔබත් අනාගාමීද?


'මා එතෙර (කැනඩාවේ) ඉන්න කාලෙදි එතනට ආවා, ඇල්බර්ටා විශ්වවිද්‍යාලයේ තරුණ ආචාර්යවරයෙක්‌ භාවනා කරන්න. ඔහු කීවා මගේ වයස අවුරුදු තිස්‌ පහයි. මගේ නෝනා මහත්තයට වයස අවුරුදු විසි අටයි. අපට ඉන්නව අවුරුදු හතරක පමණ දරුවෙක්‌. අපි දෙන්නම කාලෙක ඉඳල භාවනා කරනවා. විවේක ඇති හැම වේලාවෙම භාවනා කරනවා. අවුරුදු තුනක පමණ සිට අපි දෙන්නා ජීවිත ගත කරන්නෙ සහෝදරයයි, සහෝදරියයි වගේ. අඹුසැමි යුවළක්‌ වගේ ජීවිත ගත කරන්න අපට වුවමනාවක්‌ නැහැ. අපට මොන විධියකින්වත් රාග සිතුවිල්ලක්‌ මතුවන්නේ නෑ. රාගය අපි දෙන්නටම නෑ. කොහෙත්ම නෑ කියල කියන්න පුළුවන්'

'ඒ දෙන්නගෙ පැවැත්ම බැලුවම මට තේරුණා මේ දෙන්නා අනාගාමී බවට පත්වෙලා කියලා' ඉහත දැක්‌වූයේ අග්ගමහා පණ්‌ඩිත අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රය මහ නාහිමිපාණන් වහන්සේගේ ප්‍රකාශනයක කොටසකි. (ලේඛකයාගේ සෝවාන් මඟ කෘතියේ 182 පිටුව)

ආර්ය පුද්ගලයන් අට දෙනා, බුදු පසේබුදු, ගොත්‍රභූ පුද්ගලයා සමග ආර්යයන් වහන්සේලා එකොළොස්‌ දෙනෙකි. එහි අනාගාමී ඵලස්‌ථයා සත්වැන්නායි.

'අනාගාමී' න 'ආගමී' ආපසු නොඑන කාම ලෝකවල උපතට නැවත නොඑන අරුත් දෙයි. 'අනාගාමී' යන පාලි වචනයට ශබ්ද කෝෂය දෙන අර්ථය මෙලොවට නොවන්නා, තෙවැනි ඵලය ලැබූ අය, අනාගාමික - නොඑන බව අනාගාමී බව අනාගමනය නොපැමිණීම ලෙසද, සුමංගල ශබ්ද කෝෂය 'මරණින් පසු කාම භවයට උත්පත්ති වශයෙන් නොඑන, තුන්වැනි මාර්ගයට පැමිණි' යනුවෙන්ද අරුත් දේ.

අනාගාමී මාර්ගස්‌ථයා සහ අනාගාමී ඵලස්‌ථයා යනුවෙන් දෙදෙනෙකි. අනාගාමී මාර්ගස්‌ථයා නම් අනාගාමී ඵලස්‌ථයකු වීම සඳහා මඟේ ගමන් කරන්නාය.ලෝකෝත්තර සිත් අටෙන් අනාගාමී මග්ග සිත නම් නැවත කාමභවයේ උත්පත්තියට නොපැමිණෙන ආර්ය මාර්ග කුසල් සිතයි. තුන්වැනි මාර්ග කුසල් සිත කාම ධාතුවෙහි පිළිසිඳ ගැනීමට කිසි කලෙක නොපැමිණෙන බව සිදුකර දෙන්නාවූ මාර්ගය අනාගාමී මාර්ගය වෙයි.

සකදාගාමී ඵලස්‌ථ ආර්ය පුද්ගල තෙමේ නැවතත් ඒ ත්‍රිලක්‌ෂණ භාවනා වඩන කල්හි විදර්ශනා ඥන පහළවීමෙන් මාර්ග චිත්ත වීථිය ඇතිවී එහි අනුලෝම චිත්තයට අනතුරුව චෝදනා සිත ඉපිද නිරුද්ධ වූ කල්හි තුන්වැනි වරට චතුරාර්ය සත්‍යය අවබෝධ කරමින් කෘත්‍ය සතරම ක්‌ෂණිකව සිද්ධ කරමින් අනාගාමී මාර්ග සිත නිවන අරමුණු කොට උපදින්නේය. මාර්ග සිතට අනතුරුවම ඵල සිත උපදින්නේය.

අනාගාමී මාර්ගයට පෙර ප්‍රහීන කෙළෙස්‌ සහ සංයෝජන (සෝවාන් මගින් හා සකදාගාමී මගින්) සක්‌කාය දිට්‌ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස යන අපායට පමුණුවන කාමරාග සහ පටිඝ සංයෝජනද දිට්‌ඨි, විචිකිච්චා කෙලෙස්‌ද, දිට්‌ඨි, මුසාවාද, මිථ්‍යා කම්මන්ත හා මිථ්‍යා ආජීව යන මිච්ඡත්තද, මච්ඡරිය හෙවත් මසුරු කමද, අනිත්‍යයෙහි නිත්‍යයි, අනාත්මයෙහි ආත්මයි ගන්නා සංඥ චිත්ත, දිට්‌ඨි, විප්පල්ලාසද, දුකෙහි සුඛයයිද, අශුභයෙහි ශුභ යෑයිද ගන්නා දිට්‌ඨි විපල්ලාසද, ඡන්දා, දොaසා, භයා, මෝහා යන සතර අගතීහු ද දිට්‌ඨාශවයද, දිට්‌ඨි යොගයද විචිකිච්ඡා හා ඕලාරික කුක්‌කුච්ඡ, නීවරණද පරමාස මිථ්‍යා දිට්‌ඨියද, දිට්‌ඨි, සීලබ්බත පරාමාස, අත්තවා යන උපාදානද, ප්‍රාණඝාත, අදත්තාදාන, කාම මිථ්‍යාචාර, මුසාවාද, මිථ්‍යා දිට්‌ඨි අකුසල කර්මපථද, දිට්‌ඨිගත සම්ප්‍රයුක්‌ත සිත්සතර විචිකිච්ඡා සම්ප්‍රයුක්‌ත සිතද, ඕලාරික කාමරාග, පටිඝ සංයෝජනද ඕලාරික පටිඝ සම්ප්‍රයුක්‌ත චිත්තොත් පාදයද යන කෙලෙස්‌ අනු කෙලෙස්‌ ප්‍රහීනයහ.

අනාගාමී වීම සඳහා අනුගමනය කළ යුතු මාර්ගය

සෝවාන්වීම සඳහා සමුච්ඡේද වශයෙන් ප්‍රහානය කළයුතු මුල් සංයෝජන තුන දර්ශනයෙන් ප්‍රහානය කළ යුතු බව අභිධර්මයේ දැක්‌වෙන අතර, ඉතිරි සංයෝජන භාවනාවෙන් ප්‍රවාහනය කළයුතු බවත් දැක්‌වේ. එසේ නම් කාමරාග, පටිඝ යන සංයෝජන දෙකේ ප්‍රබලත්වය අඩු කිරීමටත්, සම්ච්ඡේද වශයෙන් ප්‍රහීන කිරීමටත් ඊට උචිත කමටහන් වැඩිය යුතු වේ. චරිත වශයෙන් ගත් කල රාග චරිතයාට අසුභ කමටහන්ද, ද්වේෂ චරිතයාට මෙත්තා කමටහනද, තථාගථ නියමයි. එසේ අසුභයත්, මෙත්තාවත් සමථ විපස්‌සනා යුගනන්ධ වශයෙන් වඩන විට අනාගාමී වීමට පුළුවන.

අනාගාමී ඵලයට පත්වූ ආර්යයන්ගේ සිත අභිධර්මයේ මෙසේ පැහැදලි කර ඇත.

'අනාගාමී මාර්ග කුසල් සිතට අනතුරුව අනාගාමී ඵල සිත් දෙකක්‌ හෝ තුනක්‌ ආන්නතරිය සමාධිය හා අකාලික විපාක වශයෙන් ඉපිද නිරුද්ධවීමෙන් පසු පළමු පරිදි චිත්ත සන්තතිය භවංග වේ.'

පටිපදා සතරක්‌ ධර්මයේ දැක්‌වේ.

ප්‍රතිපදාව සැප සහිත හා අභිඥව පහළවීම ඉක්‌මන්. ප්‍රතිපදාව සැප සහිත එහෙත් අභිඥාව පහළවීම ප්‍රමාදය. ප්‍රතිපදාව දුක්‌ සහිත එහෙත් අභිඥාව පහළවීම ඉක්‌මන්. ප්‍රතිපදාව දුක්‌ සහිතයි අභිඥව පහළවීමත් ප්‍රමාදයි.

මේ සතර ප්‍රතිපදාවෙන් එක්‌ ප්‍රතිපතාවකින් අනාගාමී මග ඵල කෙනෙක්‌ ලබයි.

උදා (- අංක 01 ප්‍රතිපදාවෙන් සැරියුත් තෙරණුවෝද, අංක 3 ප්‍රතිපදාවෙන් මුගලන් තෙරණුවෝද අනාගාමීව අර්හත්වයට පත් වූහ.

ප්‍රඥාවේ තීක්‍ෂණත්වය හා මෘදුත්වය අනුවද අනාගාමී වීම ඉක්‌මන් සහ ප්‍රමාද වේ. පෙර සසර භාවනා වඩා ප්‍රඥව තියුණු කරගත් තැනැත්තා භාවනා වඩනවිට අප්‍රමාදව ඉතා කෙටි කලකින් අනාගාමීත්වයට පත් වේ.

අනාගාමී වන්නන් හය දෙනා සුඛ පටිපදාවෙන් අනාගාමී වීම

1. කෙනෙක්‌ කාමයන්ගෙන් වෙන්ව, අකුසල ධර්මයන්ගේ (පංචකාම හා දොළොස්‌ අකුසලයෙන්) වෙන්ව සමථ කමටහනකින් පළමු දැහැන ලබා එහි සිට විදසුන් වඩා සෝවාන් මඟ ඵල ලබා සකදාගාමී මගඵල අනාගාමි මග ඵල ලබයි.

2. කෙනෙක්‌ කාමයෙන් වෙන්ව, අකුසල ධර්මයන්ගෙන් (පංචකාම හා දොළොස්‌ අකුසලයෙන්) වෙන්ව සමථ කමටහනකින් දෙවන දැහැන ලබා එහි සිට විදසුන් වඩා සෝවාන් මඟ ඵල ලබා සකදාගාමී මග ඵල ලබා අනාගාමී මගඵල ලබයි.

3. කෙනෙක්‌ කාමයන්ගෙන් වෙන්ව අකුසල ධර්මයන්ගෙන් (පංචකාම හා දොළොස්‌ අකුසලයන්ගෙන්) වෙන්ව සමථ කමටහනකින් තෙවැනි දැහැන ලබා එහි සිට විදසුන් වඩා සෝවාන් මඟ ඵල ලබා සකදාගාමී මග ඵල ලබා අනාගාමී ඵල ලබයි.

4. කෙනෙක්‌ කාමයන්ගෙන් වෙන්ව අකුසල ධර්මය්ගෙන් (පංචකාම හා දොළොස්‌ අකුසලයෙන්) වෙන්ව සමථ කමටහනකින් හතරවැනි දැහැන ලබා එහි සිට විදසුන් වඩා සෝවාන් මගඵල ලබා සකදාගාමී මගඵල ලබා අනාගාමී ඵල ලබයි.

5. කෙනෙක්‌ කාමයන්ගෙන් වෙන්ව අකුසල ධර්මයන්ගෙන් (පංචකාම හා දොළොස්‌ අකුසලයෙන්) වෙන්ව සමථ කමටහනකින් පස්‌වැනි දැහැන ලබා එහි සිට විදසුන් වඩා සෝවාන් මඟඵල ලබා සකදාගාමී මගඵල ලබා අනාගාමී මගඵල ලබයි.

දුක්‌ඛ පටිපදා

06. කෙනෙක්‌ ධ්‍යාන නොවඩා විදර්ශනා භාවනා වඩා, සෝවාන් මඟඵල සකදාගාමි මගඵල, අනාගාමී මගඵල ලබයි.

අනාගාමී පුද්ගලයන්

1. අන්තරා පරිනිබ්බායි - අවිහාදි පංච ශුද්ධාවාස අතුරින් එක්‌ සුද්ධාවාසයක ඉපිද එහි ආයු ප්‍රමාණයෙන් මධ්‍යයට පැමිණීමට පෙර රහත්ව පිරිනිවන්පාන අනාගාමී ආර්යයා.

2. උපසච්ච පරිනිබ්බායි පංච සුද්ධාවාසවලින් එකක ඉපිද ඊට නියමිත ආයුසයෙන් අඩක්‌ පසුකර රහත්ව පිරිනිවන් පාන අනාගාමී ආර්යයා. අසංඛාර පරිනිබ්බාධි නිරුත්සාහයෙන් අර්හත් මාර්ගය උපදවා පිරිනිවන්පාන අනාගාමී වූ මෙවැනි අනාගාමීහු දෙදෙනෙක්‌ ලෙස අංගුත්තර නිකායේ ක්‌ලේශ පරිනිබ්බායි සූත්‍රයේ වදරා ඇත. 479

3. විදර්ශනා ඉන්ද්‍රිය බලවත් නිසා මෙලොවදීම ක්‌ලේශ පරිනිර්වාණයට පැමිණෙන සංස්‌ඛාර පරිනිබ්බායි.

4. විදර්ශනා ඉන්ද්‍රිය දුබල නිසා මරණින් මතු සුද්ධාවාස බඹලොවක ඉපිද එහිදී රහත්ව පිරිනිවන් පාන්නා සංසඛාර පරිනිබ්බායි අනාගාමීවූ දෙදෙනෙක්‌ ද දැක්‌වේ.

5. සමථ ඉන්ද්‍රිය බලවත් නිසා මෙලොවකදී ක්‌ලේශ පරිනිර්වාණය පැමිණෙන්නා

6. සමථ ඉන්ද්‍රිය දුබල නිසා (මෘදු ඉන්ද්‍රිය) මරණින් මතු බඹලොව ඉපිද එහිදී පිරිනිවන් පාන්නා උද්ධංඝොත අන්තර පරිනිබ්බායි අකණිඨාගාමී අනාගාමිය තිදෙනෙකි.

අවිහයෙහි උපන් කෙනෙකි. පිරිනිවන් පාන්නා ආයු මධ්‍යයට පැමිණ පිරිනිවන්පාන්නා, ආයු මධ්‍යයට පැමිණීමට පෙර පිරිනිවන්පාන්නා, උපහච්ච පරිනිබ්බායි එක්‌ අයෙකි. උද්ධංසොත අකණිට්‌ඨාගාමි එක්‌ අයෙකි.

මේ පස්‌දෙනා අසංඛාර සසංඛාර වශයෙන් 10 කි. අවිහ, අතප්ප, සුදස්‌ස, සුදස්‌සී යන බඹලොව 4ං10+40 දෙනෙකි. අකණිටුගාමිහු හතර දෙනෙකි. ඒ සතර දෙනා අසංඛාර වශයෙන් 8 දෙනෙකි. එකතුව 48 කි.

සුද්ධාවාසවල ආයුෂ කල්ප (සුද්දාවාසය යනු කෙලෙස්‌වලින් පිරිසිදු අය වෙසෙන යන අරුත්ය.)

අවිහ බඹලොව මහාකල්ප 1000, අතප්ප බඹලොව මහාකල්ප 2000, සුදස්‌ස බඹලොව මහාකල්ප 4000, සුදස්‌සී බඹලොව මහාකල්ප 8000, අකණිට්‌ඨ බඹලොව මහාකල්ප 16000.

යොදුනක්‌ දිග, යොදුනක්‌ පළල, යොදුනක්‌ උසට අබ ඇටවලින් පුරවා වර්ෂ 100 කට වරක්‌ එක්‌ අබ ඇටය බැගින් ඉවත් කළත් අබ ඇට අවසන් වුවද කල්පයේ ආයුෂ අවසන් නොවේ.

ධ්‍යානලාභී අනාගාමි ආර්යයා මරණින් මතු පංච සුද්ධාවසයන්හි ඉපිද එහිදීම රහත්ව පිරිනිවන් පාති. ශුෂ්ක විදර්ශක වූ අනාගාමී ආර්යයා දිවිහිමියෙන් ධ්‍යාන නොවඩා කාල ක්‍රියා කළේ වී නම් ඔහු තුළ කාමරාග, පටිඝ නැති බැවින් කාම ලෝකයේ ප්‍රතිසන්ධිය නොගනී. හෙතෙම චුතියට පෙර චතුත්ථ ධ්‍යානය ලබා එයින් චුතව සුද්ධාවාසවලින් එකක උපදී.

ස්‌ත්‍රීහු අනාගාමී වුවද එක්‌වරම සුද්ධාවාසවල උපත නොලබති. ධ්‍යානලාභී කාන්තාවන්ට නියම වන්නේ බ්‍රහ්ම පාරිසඡ්ජයයි. එහිදී චතුත්ථ ධ්‍යානය ලබා බ්‍රහ්ම පාරිසඡ්ජයෙන් වුවද චුතව සුද්ධාවාසයක උපදී.

මෙලොවදී සංස්‌කාර පරිනිබ්බාණයි වීමට නම්,

1. කයෙහි අසුභය බැලීම වැඩීම

2. ආහාරයේ පිළිකුල් සංඥව වැඩීම

3. සියලු සංස්‌කාරවල අනිත්‍ය මෙනෙහි කිරීම

4. සියලු ලෝකවල අනභිරති සංඥව

5. මරණ සතිය වැඩීම

6. සද්ධාව, හිරි, ඔත්තප්ප, විරිය, ප්‍රඥ යන සේඛබල පහෙන් යුක්‌තවීමය.

මෙලොවදී අසංකාර පරිනිබ්බායි වීමට නම්,

1.කාමයන්ගෙන් වෙන්ව අකුසල ධර්මයන්ගෙන් වෙන්ව 1, 2, 3, 4 වැනි ධ්‍යාන ලබාගැනීම

2. සද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥ යන ඉන්ද්‍රීය පහෙන් අධිමාත්‍රාව පහළ වීම

අනාගාමී ඵලස්‌ථ ආර්යයන්ගේ ප්‍රත්‍යවේක්‍ෂාව

1.මම මේ මාර්ගයේ ගමන් කර ඒකාන්තයෙන්ම සත්‍යය අවබෝධ කර ගනිමියි ආ මාර්ගය ප්‍රත්‍යවේක්‍ෂා කිරීම

2.මේ මාර්ගයේ ගමන් කිරීමෙන් මේ මේ අනුසස්‌ ලබන ලදැයි ප්‍රත්‍යාවේක්‍ෂ කිරීම

3. මා මේ මාර්ගයේ ගමන් කිරීමේදී මේ මේ කෙලෙස්‌ ප්‍රහීන වී යෑයි ප්‍රත්‍යවේක්‍ෂා කිරීම

4.මා විසින් මෙම ධර්මය ප්‍රතිවේධ කරන ලදැයි ප්‍රත්‍යවේක්‍ෂා කිරීම

5. එසේම මේ කෙලෙස්‌ ප්‍රහීන කිරීමට ඇතැයි ප්‍රත්‍යවේක්‍ෂ කිරීම

අනාගාමී ආර්යයා සමාපත්තීන්හි පිහිටීම

ආර්ය ඵලයේ නිරෝධයෙහි අර්පණාව පිහිටීම ඵලසමාපත්ති නම් වේ. සියලු සියලුම ආර්යයෝ තම තමාගේ ඵල සමාපත්ති ඵලයට සමවදිති. අනාගාමී ආර්යයා සෝවාන්, සකදාගාමී ආදීන්ගේ ඵල සමාපත්තිවලට සම නොවදිත්.

රහතන් වහන්සේලාටත් ආර්යයන්ටත් නිරෝධ සමාපත්තියට සම වැදිය හැක. ඒ ඔවුන් තුළ පංචනීවරණ සමුච්ඡේද වශයෙන් ප්‍රහානය වී ඇති බැවිනි. සමාපත්තියට සමවැදුණු විට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්‌පර්ශ ආදී සංඥ නිරෝධ වේ. ඒ සංඥවෝ අක්‍රීයය. ඒ කාලය තුළ ධ්‍යාන සුඛයත් නිවන් සුඛයත් වළඳති. චතුත්ථ ධ්‍යානයට සමවැදුනහුට නොයෙකුත් සෘද්ධි ලැබිය හැකිය.

සමාපත්තියට සමවැදීමට පෙර පංච වසිතාවන් සිහිපත් කරයි. එනම් ආවර්ජන, සමාවඡ්ජන, (සමාපත්තියේ යෙදෙන කාලය තීරණය කිරීම හා සමාපත්තියෙන් නැගිටීම) අධිෂ්ඨාන, වුට්‌ඨාන ප්‍රත්‍යවේක්‌ෂණ පහයි.

අනාගාමී ඵල සමාපත්තියේ ගතකරන කාලය උපරිම දින හතකි. ඒ කාලය තුළ කිසිම අහරක්‌ නොගනී. (මිථ්‍යා දෘෂ්ටිකයන්ට ද ඔවුනගේ ධ්‍යාන බලයෙන්ද ආහාර නොගෙන දින ගණනක්‌ ගෙවත හැක) මනෝ සංවේතනා ආහාරයෙන් යෑපෙත්. එනම් ධ්‍යාන සුඛයි, සිතේ සන්තානයේ ජනනය වන ඒකග්‍රතාවයයි. ඒ චතුර්ථ හෝ පංචම ධ්‍යාන ලැබූ අනාගාමීන් හට පමණක්‌ ලැබෙන්නකි. ඒ සඳහා රූප, ශබ්ද, ගන්ධ ආදියෙන් තොර පරිසරයක්‌ අවශ්‍ය වේ. සමාපත්තියේ යෙදුණ ද තමාට සිදුවීමට එන යම් විපතක්‌ වේනම් වහා එය තම මනසට දැනේ. වරක්‌ සැරියුත් තෙරුණුවෝ ඵල (නිරෝධ) සමාපත්තියෙහි යෙදී සිටින විට අහසින් ගමන් කරන මිථ්‍යාදෘෂ්ටික යකෙක්‌ උන්වහන්සේ ගේ හිසට පා පහරක්‌ දුන්නේය. ඒ පහර කොතරම් බල සම්පන්නද කියතොත් ඇතුන් සත් දෙනකුගේ ජවය තරම් බලවත්ය. එහෙත් සැරියුත් තෙරුණුවෝ ක්‌ෂණයෙන් ඒ පහර වළකාලූහ. අනාගාමී වූවෝ කවරහුද යන්න පෘතග්ජනයාට අවබෝධ කළ නොහැක්‌කකි. ඔහුද තමා අනාගාමී යෑයි ප්‍රකාශ නොකරයි. අනාගාමී වූවකු තුළ පවත්නා ලක්‌ෂණ කීපයක්‌ බ.අ. නාහිමිපාණන්ගේ පෙර සඳහන් ප්‍රකාශයේ දැක්‌වේ.

අංගුත්තර නිකායේ සූත්‍ර දෙකක දැක්‌වෙන ප්‍රකාශවලින් අනාගාමීන් කවුරුන් දැයි හඳුනාගත හැකි කරුණු කිහිපයක්‌ දැක්‌වේ. එහි නන්දමාතා සූත්‍රයේ නන්මාතා නම් වූ උපාසිකාව සැරියුත් මහරහතන් වහන්සේ දන්වළ\ අවසානයේ ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් තමා තුළ ඇති මේ ආශ්චර්යය කරුණු ප්‍රකාශ කර ඇත.

දිනක්‌ ඇය රාත්‍රියේ පාරායන වග්ගය සඡ්Cධායනා කරමින් සිටින විට අහසින් ගිය වෙසමුණි රජු නැවතී සඡ්Cධායනා අවසන් වන තෙක්‌ සිට සැරියුත්, මුගලන් මහරහතන් වහන්සේලා ඇය වසන ගමට පැමිණ ඇති බවත්, මහ දන්දී පින් තමාටද අනුමෝදන් කරන ලෙසත් ඉල්ලා ඇත. ඇගේ එකම පුතාට රජු විසින් මරණ දඬුවම දුන් නමුත් ඇය ඊට කම්පා නොවූ බව, තම ස්‌වාමියා මැරී යක්‍ෂයකුව ඉපිද තමා ඉදිරියේ පෙනී සිටිය නමුත් බිය නොවූ බව, පතිවත රැකීම, සික්‍ෂාපද සමාදන් වූදා පටන් නොබිඳ රැකීම, චතුර්ථ ධ්‍යානය ලබාතිබීම ඒවා වේ.

තවත් සූත්‍රයක්‌ අංගුත්තර නිකායේ එයි. එය උග්ග ගහපති සූත්‍රයයි. උග්ග ගහපති තෙමේ තම නිවසට දානයට වැඩි භික්‌ෂුන් වහන්සේ නමක්‌ ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු වශයෙන් මෙම ආශ්චර්ය කරුණු තමා තුළ ඇති බව ප්‍රකාශ කර ඇත.

දෙවියන් තමා ඉදිරියට පැමිණ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ස්‌වාක්‌ඛාත බව කියූවද, දෙවියන් නොකීවාට තමා ඒ බව දැන සිටීයෑයි කීම, ගිහිව සමාදන් වූ බ්‍රහ්මචාරී සික්‍ෂාපද නොබිඳ රැකීම, ඔහුට සිටි භාර්යාවන් හතරදෙනා ඔවුන් කැමැති අයට වස්‌තුව සමග විවාහ කර දීම (මෛථුන සේවනයෙන් වෙන්වීම), තමා සතු ධනය සිල්වතුන් සොයාම පරිත්‍යාග කිරීම, තමන් හමුවට පැමිණෙන භික්‌ෂුන් වහන්සේ ධර්මය දේශනා නොකරන්නේ නම් ඔවුන්ට ධර්මය දේශනා කිරීම, දෙවිවරු තමා ඉදිරියට පැමිණ අසවල් භික්‌ෂුන් වහන්සේ සිල්වත්ය, දුසිල්වත්ය කියා කියතත් කිසි වෙනසක්‌ නොකොට සියලු දෙනාට එක සේ සැලකීම. දෙවියන් තමා සමග කතා කළා කියා සිතේ මානයක්‌ ඇතිකර නොගැනීම. තමා තුළ පහ නොවූ ඕරම්භාගි සංයෝජන නැතැයි දැන සිටීම.

ඉහත දැක්‌වූ සූත්‍ර දෙකේ දැක්‌වෙන කරුණු විවිධ වෙතත්, ඒ කරුණු සම්පිණ්‌ඩනය කළ විට සෝවාන්, සකදාගාමී, අනාගාමී මගඵල වලදී ප්‍රහානය වූ සංයෝජන පහ හා අනෙකුත් ක්‌ලේශයන් ඇත්තකු හට එවැනි සෘජු ප්‍රකාශ කළ නොහැකි බව පෙනේ. විශේෂයෙන්ම අසත්‍ය තොරතුරු පිටකයට ඇතුළත් නොකරුනු ඇත. (අනාගාමී ඵලය තෙක්‌ ප්‍රහීන වූ කෙලෙස්‌ මෙහි දක්‌වන ලදී) මේ සූත්‍ර දෙකේම දැක්‌වෙන පොදු ආශ්චර්ය කරුණු නම් වෙසමුනි රජු නන්දමාතාව සමගත්, උපදෙස්‌ දෙන දෙවිවරු උග්ගගහපති සමග කතා කිරීමත්)

සෝවාන්, සකදාගාමී, අනාගාමී යන තිදෙනාගේම ප්‍රත්‍යවේක්‍ෂාව සමාන බැවින් තමා තුළ පවත්නා සංයෝජන, උප ක්‌ලේශ, නීවරණ හා අනෙකුත් කෙලෙස්‌ පිළිබඳ පැහැදිලි නිරවුල් අවබෝධයක්‌ තිබෙන බවට කිසිම සැකයක්‌ නැත. මේ ආර්ය සම්මා දිට්‌ඨිය ලත් පුද්ගලයාගේ ප්‍රඥවේ ලක්‌ෂණයි.

චරිතවලට අනුකූලව සමථ කමටහන් තෝරා ගත යුතුවාක්‌ මෙන්ම, අනාගාමීවීම සඳහා විදර්ශනා කමටහන් තෝරාගත යුතු බව බුද්ධ නියමයයි. එසේ නොකළොත් ධ්‍යාන නොලැබීමටත්, අනාගාමී ඵලය දක්‌වා සත්‍යාවබෝධය නොලැබීමටත් හේත =වනවා ඇත.

ශුෂ්ක විදර්ශක අනාගාමීන් හට කුසල් සිත් තිස්‌ නවයකුත්, සමථයානික අනාගාමීන්හට සිත් හතළිස්‌ අටකුත් ලැබේ. අනාගාමීත්වයට පත්වීමෙන් පසු රහත්වීම සඳහා අරහත් මග්ග සිතින් ප්‍රහීන කිරීමට ඇති සංයෝජන සහ කෙලෙස්‌ මෙසේය.

අර්හත් මාර්ග ඥනයෙන් අකුසල චිත්තයන් අතුරින් දිට්‌ටිගත, විප්පයුත්ත සිත් සතර සහ උද්ධච්ච සම්ප්‍රයුක්‌ත සිතද, දස සංයෝජනයන් අතරින් රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ඡ, අවිඡ්ජා යන පංච උද්ධංභාගිය සංයෝජන පහ ක්‌ලේශයන් අතුරින් ලෝභ, මෝහ, මාන, ථීන, උද්ධච්ච, අහිරික, අනෝතප්ප යන සත් දෙනද මිච්චත්තයන් අතුරින් මිථ්‍යා වාචා, සම්පප්‍රලාප, මිථ්‍යා වායාම, මිථ්‍යා සති, මිථ්‍යා සමාධි, මිත්‍යා විමුක්‌තිය, මිථ්‍යා ඥාන යන මේවාද ලෝක ධර්මයන් අතුරින් භවාන්සවයද, අවිජාශ්‍රව හා භවාශ්‍රවද, නීවරණයන් අතුරින් ථිනමිද්ධ හා උද්ධච්ච දෙකද අනුශය වශයෙන් පවතින භවරාග, මාන අවිද්‍යා ද නිරවශේෂයෙන් සමුච්ඡේද ප්‍රහානය කළ යුතුය.

අනාගාමී ඵලයට පත් ආර්යය සිතින්, වචනයෙන්, කයින් කරන අකුසල් දොළහ වෙන් වේ. භව රාග මිදේ. සියල්ල අනිත්‍ය, දුක්‌ඛ, අනාත්ම වශයෙන් දකී. නිවන හැර කිසිම ලෞකික වස්‌තුකාම නොපතයි. සියල්ල අලුයම කෙළ පිඬ සේ සලකයි. සර්ප හැව සේ සලකයි. තමාගේ යෑයි කිසිවක්‌ බදා නොගනී. ඇස, කන, දිව, නාසය, කය යන ඉන්ද්‍රිය පහම වසා අගුලු දමයි. අමෘත මහා නිවන අවබෝධයට මුළු දිවියම කැපකර වීරිය වඩයි. කිසිම භවයක උපත නොපතයි. සද්ධා, සීල, සූත්‍ර, ත්‍යාග, ප්‍රඥ යන ධන පසින් යුක්‌තව වෙසේ. ආර්යකාන්ත සීලය රකී.


අනගාරික සම්‍යක්‌ බ්‍රහ්මචාරී දයාසේන සේනාරත්න

සත්‍ය ක්‍රියාවක්‌ නිවැරැදිව සිදුකරන ආකාරය

විපත් වළකන සත්‍යක්‍රියාවට ඔබත් එක්‌වන්න
පූජ්‍ය කුකුල්පනේ සුදස්‌සි හිමි

2004 වර්ෂයේ මැද භාගයේ ඇති වූ නිය`ගය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජල හි`ගයක්‌ මතුවිය. බොන්නට දිය පොදක්‌ නැති ප්‍රදේශවලට බව්සර වලින් ජලය ගෙනගොස්‌ බෙදා දෙන්නට බොහෝ දෙනා උනන්දූ වූහ. ජල හි`ගයෙන් මිනිසුන්ට සතා සිවුපාවාට පමණක්‌ නොව ගහකොළවලට පවා හානි පැමිණෙමින් තිබූ හෙයින් වර්ෂාව පතා වැසි පිරිත් ස-ක්‌ධායනා කළද සාර්ථක ප්‍රතිඵල නොපෙනුණි. පිපාසය සංසිඳුවා ගන්නට බොහෝ දුර සිට මුදල් වියදම් කර ගෙනැවිත් දෙන දිය පොද පවා යූරියා මුසු කොට ජලය සොයා එන වන සතුන්ට බොන්නට සලස්‌වා පිපාසය උත්සන්නව වෙහෙසී ඇද වැටෙන වන සිවුපාවුන් මරා කන්නට තරම් ඇතැම් නොමිනිසුන් සාහසික වූ බව පුවත්පත් වලින් දැනගන්නට ලැබුණි. මේ සියල්ල දැක දැක නිහ`ඩව සිටීම නුසුදුසුයෑයි හැ`ගුණු නිසා වර්ෂාව ඇති කරනු පිණිස අපිත් යමක්‌ කළ යුතු යෑයි සත්ජන සමාජ සංවර්ධන පදනමේ නිර්මාතෘ පී. කේ. යූ අදිකාරම් මැතිතුමන්ට යෝජනා කළෙමු. ඊට එක`ග වූ එතුමා ඒ සඳහා -චන්ද පිරිත" සජ්ජායනා කොට සත්‍ය ක්‍රියාවක්‌ සිදු කරමු යයි යෝජනා කර ඒ සඳහා සුදුසු දිනයක්‌ හා වේලාවක්‌ සනිටුහන් කර ගන්නා ලදී. ඒ අනුව නියමිත දින පාන්දර 2.00ට පමණ බුදුරජාණන් වහන්සේ උදෙසා සිසිල් පැන් කල සතරක්‌ පුදා සිසිල් ගුණ ඇති ගිලන් පස හා මල් ආදිය පුදා බුද්ධ වන්දනාව සිදු කළෙමු. ආකාසයේ වලාකුලක සටහනක්‌ පේන මානයක නොවූ අතර තරු පායා ඇති අහස ඉතා පැහැදිලිව දිස්‌ විය. මෙම විශේෂ අවස්‌ථාවට සහභාගි වූයේ අදිකාරම් මහතාත් මමත් තවත් එක්‌ අයෙකුත් පමණි. අපි ටික වේලාවක්‌ චJද පිරිත ස-ක්‌ධායනා කොට සත්‍යක්‍රියාවක නිරත වීමු.

එවලේම වැහිපොද වැටෙන හ`ඩ ඇසී පිටතට ගොස්‌ බලන විට ඉහළ ආකාශයේ කළු වලාකුළු ඒකරාශී වෙමින් වැහි පොද කෙමෙන් වේගවත් වෙමින් තිබුණි. එම දසුන අපටම ඇදහිය නොහැකි තරම් විය. ක්‍රමයෙන් වලාකුළු ඝන, වෙමින්, වැසි බිඳු මහත් වෙමින් උදෑසන වන විට ධාරානිපාත වර්ෂාවක්‌ ඇදහැලෙන්නට විය. එම වැසි වළාවන් අනුක්‍රමයෙන් ව්‍යාප්ත වෙමින් අවට ප්‍රදේශවලටද, අනතුරුව නිය`ගය පැවති ප්‍රදේශයවලටද වර්ෂාව ඇදහැලුණි. ඒ අපගේ උත්සාහයෙන් පමණක්‌ යයි අපි නොකියමු. ලක්‌දෙරණ පුරා බොහෝ දෙනාගේ මානසික උත්සාහය ඊට හේතු වන්නට ඇත. නමුත් අපගේ ප්‍රයත්නය එවේලේම ඵල දැරූ ආකාරයත් සත්‍යක්‍රියාවේ ක්‍ෂණික ඵලයත් අපි එයින් මැනවින් ප්‍රත්‍යක්‍ෂ කළෙමු. ඉන් පෙරත් පසුවත් විවිධ අවස්‌ථාවන්හිදී පොදු විපත් වළකනු පිණිස අපි සත්‍යක්‍රියා කොට සාර්ථක ප්‍රතිඵල අත්දුටුවෙමු. ඉහත දැකවූයේ ඉන් එක්‌ අත්දැකීමක්‌ පමණි.

සත්‍යක්‍රියාවලින් විපත් වළකා ආත්මාර්ථය පරාර්ථය සාධනය කරගත් අවස්‌ථා පිළිබඳව බෞද්ධ ඉතිහාසයේ විවිධ ප්‍රවෘත්ති සඳහන් වේ. මහ බෝසතාණන් වහන්සේගේ සත්‍ය ක්‍රියාවේ බලය පිළිබඳව ජාතක ප්‍රවෘත්තී වලින් බොහෝ කරුණු අනාවරණය වන අතර මෑත ඉතිහාසයේ සිsරිස`ගබෝ රජු සත්‍යක්‍රියා කොට නිය`ගයෙන් හා රක්‌තාක්‍ෂි උවදුරින් රටවැසියන් මුදාගත් අයුරු ලංකා ඉතිහාසයේ දැක්‌වේ. ඒ සියලුතොරතුරු කැටිකොට ගත් කල -'සත්‍යක්‍රියාව යනු ආත්මාර්ථ පරාර්ථ සාධනය සඳහා භාවිත කළහැකි ඉතාම සාර්ථක උපාය මාගර්යක්‌ බව' පැහැදිලි වේ.

නමුත් සත්‍යක්‍රියාවක්‌ නිවැරදිව සිදුකිරීමට නම් ඒ සඳහා තිබිය යුතු ගුණාංග හා මානසික ශක්‌තිය අවදි කරගතයුතු ආකාරය පිළිබඳව නිසි අවබෝධයක්‌ තිබිය යුතුය. සත්‍යක්‍රියාව යනු හුදු ප්‍රාර්ථනාවක්‌ නොවේ. නිවැරදිව හඳුනා නොගත් කරුණක්‌ පිළිබඳව වුවත් ප්‍රාර්ථනාවක්‌ කළ හැකිය. පසුව ඒ පිළිබඳව දැනුවත් වෙමින්, අවශ්‍ය සාධක සම්පාදනය කළහොත් ප්‍රාර්ථනාවක්‌ කවදා හෝ ඉටු කරන ගත හැකිය. සත්‍යක්‍රියාව යනු එබඳු අනාගත පැතුමක්‌ නොවේ. තමන් සතුව පවතින ශක්‌තිය භාවිත කරමින් අවශ්‍ය දේ ඒ මොහොතේ පටන් ක්‍රියාත්මක වීමට බලපෑම් කිරීමකි. එනිසා සත්‍යක්‍රියාවක්‌ සාර්ථක වීමට පහත සඳහන් කරුනු හතර පිළිබඳ ස්‌ථාවරය වැදගත්වේ.

1. තමන් අත්දුටු සත්‍යයක්‌ වීම.

2. මානසික විශ්වාසය.

3. ක්‍රියාව පිළිබඳ අවබෝධය.

4. මානසික ශක්‌තිය යෙදවීම.


1. තමන් අත්දුටු සත්‍යයක්‌ වීම

සත්‍යක්‍රියාවන් සඳහා පාදක කර ගැනීමට යම් සත්‍යයක්‌ තිබිය යුතුය. තමන් අවබෝධයෙන් කළ කුශලයක්‌, අකුසලයෙන් වැළකී සිටි අවස්‌ථාවක්‌ හෝ අවංකවම පිහිටා සිටින ගුණයක්‌ ඒ සඳහා යොදා ගත හැකිය. එහෙත් මම අසවල් පිංකම කළා යන මතකය හෝ එම සිදුවීම සිහිකිරීම් මාත්‍රය ප්‍රමාණවත් නොවන අතර එහිදී තමන් කවර මනෝභාවයක, අදහසක පිහිටා එම කාර්ය කළේද යන්න පැහැදිලිව හඳුනා ගැනීම අත්‍යවශ්‍යය. "මම මෙබඳු අදහසකින්, මෙබඳු මනෝභාවයකින් මේ පිංකම කළා" යන්න සත්‍යයක්‌ විය යුතුය. එය පැහැදිලිව සිහිකළ යුතුය.

පව්කම්වලින් වැළකී සිටි අවස්‌ථාවක්‌ පිළිබඳව සිහි කරන්නේ නම් පොදු සම්මතය මත පන්සිල්, අටසිල් ආදි වශයෙන් නොගෙන ශික්‍ෂාපද වෙන වෙනම ආවර්ජනා කර බලා තමන් අවංකවම ආරක්‍ෂා කළ ශික්‍ෂාපද වෙන්කොට ගැනීම, සත්‍යවාදී වීම සඳහා වඩා වැදගත් වේ. එමෙන්ම වඩාත් මනස නිරවුල් කර ගැනීම සඳහා එම අකුශලයෙන් වැළකී සිටි අවස්‌ථාව හෝ කාල වකවානුව වෙන් කර ගැනීම සුදුසුය.

තමන් සතු යම් ගුණයක්‌ සිහි කරන්නේ නම් වඤ්චක ධමර් වලට හසු නොවී සැබැවින්ම එම ගුණය තමන් සතුව පවතීදැයි සියදහස්‌ වර ආවර්ජනා කොට බලා ප්‍රත්‍යක්‍ෂ කරගත යුතුය. තමන් කොතරම් අවංක සිතින් සිහි කළත් එය සත්‍යයක්‌ නොවේ නම් එබඳු මායාකාරි සිතුවිලි වලට පැටලී සත්‍යක්‍රියාවක්‌ නොකළ හැකි බැවිනි.

"හෙට උදේ ඉර පායන බව සත්‍ය නම් මෙය මෙසේ වේවායි" ආදී වශයෙන් බාහිර සිදුවීම් මත පිහිටා සත්‍යක්‍රියාවක්‌ කළ නොහැක. එය තමන් ප්‍රත්‍යක්‍ෂ කළ කරුණක්‌ නොවන බැවිනි. එමෙන්ම වෙන කෙනෙක්‌ පැවසූ දෙයක්‌ හෝ පෙර භවයක සිදුවූයේයෑයි හ`ගින දෙයක්‌ තමන්ට ප්‍රත්‍යක්‍ෂ නැතිනම් සත්‍යක්‍රියාව සඳහා පාදක කර ගැනීම ඵල රහිතය. බුදුගුණ දහම් ගුණ, ස`ග ගුණ සිහිකර ආශීර්වාදයක්‌ කළ හැකි නමුත් සත්‍යක්‍රියාවට යොදාගත හැක්‌කේ ඉන් තමන් ප්‍රත්‍යක්‍ෂ කරගෙන ඇති කරුණු පමණි.

2. මානසික විශ්වාසය.

තමන් සිහි කරන කාරණය කොතරම් සත්‍යයක්‌ වුවත් ඒ පිළිබඳ විශ්වාසය මනසේ තහවුරු නොවුනහොත්, ඒ මානසික අස්‌ථාවර භාවය සත්‍යක්‍රියාවට බාධාවකි. එනිසා තමන් සිහිකරන කරුණෙහි සත්‍යතාවය පිළිබඳ අවංක විශ්වාසයක්‌ මනසෙහි ගොඩන`ගා ගත යුතුය.

ඒ සඳහා බොහෝ කරුණු එකට ගෙන සිතනවාට වඩා තමන් සිහිකරන කරුණු හැකිතාක්‌ වෙන්කොට වෙන වෙනම සිතා බැලීම වැදගත් වේ. 

"මම මෙතෙක්‌ කලක්‌ පන්සිල් රැක්‌කා" යනුවෙන් සිතනවාට වඩා එක්‌ එක්‌ ශික්‍ෂාපදය වෙන වෙනම ගෙන ප්‍රත්‍යාවේක්‍ෂා කර බලා හැම ශික්‍ෂාපදයක්‌ම සැක සංකා ඇති නොවන ලෙස ආරක්‍ෂා කර තිබේනම් සියල්ල එක්‌ව ගෙන සත්‍යක්‍රියා කළ හැකිය. එසේ නොවේනම් අවංකව සිහිකළ හැකි ශික්‍ෂාපද පමණක්‌ වෙන්කොට ගෙන ඒවා සිහිකර සත්‍යක්‍රියාව කළ යුතුය.

කළ කුසලයක්‌ සිහි කළත්, තමන් සතු යම් ගුණයක්‌ සිහිකළත් මේ ක්‍රමය භාවිත කිරීම වඩා වැදගත්ය. සත්‍ය ක්‍රියාවේදී මනසේ ස්‌ථාවරය එතරම්ම වැදගත් වන බැවිනි. ගසක ඇති අඹගෙඩියක්‌ බිම හෙලන්නට හීයක්‌ වි`දින විට යන්නතමට හෝ අත සැලුණොත් ඉලක්‌කය වැරදී යන්නා සේ, මනසේ සැලීම, අස්‌ථාවර බව සත්‍යක්‍රියාවේ ඉලක්‌කය වැරදි යන්නට හේතු වේ.

3. ක්‍රියාව පිළිබඳ අවබෝධය

තමන් සත්‍යක්‍රියාවෙන් සිදු කරන්නට යන්නේ විපතක්‌ වැළැක්‌වීම හෝ වේවා, යහපතක්‌ සිදුකිරීම හෝ වේවා, ආත්මාර්ථය හෝ පරාර්ථය හෝ වේවා ඒ කරන කාර්යය පිළිබඳව අවබෝධයක්‌ තිබීම අවශ්‍යය. එසේ නොවුණහොත් උත්සාහය නිෂ්ඵල වීමටද ඉඩ ඇත. පොදු අරමුණක්‌ ඇතිව සියලුදෙනා එක්‌ව කරන සත්‍යක්‍රියාවකදී පෞද්ගලික අරමුණු පටලවා නොගැනීමට හා පෞද්ගලික අරමුණක්‌ ඇතිව කරන සත්‍යක්‍රියාවකදී පොදු අරමුණු හරස්‌ නොකරගැනීමට විශේෂයෙන් වගබලා ගතයුතුය. 

පොදු අර්ථයක්‌ ඇතිව කළත්, පෞද්ගලික අර්ථයක්‌ ඇතිව කළත් සත්‍යක්‍රියාවකදී තෘෂ්ණාව මුල්තැනට නොගත යුතුය. කරුණාව මෛත්‍රිය වීයHර් ප්‍රඥාව ආදි යහගුණ පෙරදැරි කරගෙන, යමක්‌ සිදු වන නොවන හේතුඵල සිද්ධාන්තය පිළිබඳව යම් අවබෝධයක්‌ ඇතිව සත්‍යක්‍රියාව සිදු කරයි නම් වඩා සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකිය.

ලොවට පැමිණෙන පොදු විපත් වැළැක්‌වීම, සසුන සුරැකීම වැනි ඉතා බරපතල කායHර්යන් සඳහා සත්‍යක්‍රියා කිරීමේදී තනි තනිව උත්සාහ කරනවාට වඩා සැවොම එක්‌ව ගන්නා උත්සාහය වඩා සාර්ථකව ඵල දරයි. ගිනි කඳකට වෙන වෙනම දිය බිJදු ඉසිනවා වෙනුවට ඒ සියලූ දිය බිඳු එකට එක්‌ කොට ජල දහරාවක්‌ සේ පතිත කළ වි ටමහ ගිනි කඳක්‌ වුවත් නිවී යන්නාක්‌ මෙනි.

4. මානසික ශක්‌තිය යෙදවීම

තමන් සතු සත්‍යය සිහි කරමින් අදාළ කරුණ ඉලක්‌ක කොට 'මේ සත්‍ය බලයෙන් මෙය මෙසේ වේවා' යි නැවත නැවත අධිෂ්ඨාන කිරීම සත්‍යක්‍රියාවේ ප්‍රධාන අංගයයි. නමුත් මෙය හුදෙක්‌ ප්‍රාරථනාවක්‌ හෝ ආශීර්වාදයක්‌ නොව භෞතික ද්‍රව්‍යකට පවා බලපෑම් කළ හැකි මානසික ක්‍රියාවලියකි.

මේ කරුණු සියල්ල සත්‍යක්‍රියාව කරන මොහොතේ මතු කර ගැනීමට නම් කල් ඇතිව නැවත නැවත සිතා බලා කරුණු වටහාගෙන තිබිය යුතුය. තමන් අත්දුටු සත්‍යයක්‌ සිහිපත් කරගෙන, අවංක විශ්වාසයෙන් එහි මනස පිහිටුවාගෙන, කරන්නට යන ක්‍රියාව පිළිබඳව අවබෝධය හා කරුණා මෛත්‍රිය පෙරදැරි කරගෙන සත්‍යක්‍රියාව කළහැකිනම් තම තම ශක්‌ති ප්‍රමාණය මත එවේලේම ප්‍රතිඵල අත්දැකිය හැකිය.

පොදු විපත් වැළකී මිනිස්‌ ජීවිත සුරැකේවා!! සසුන සුරැකේවා! යි අදිටන් කරමින් වසරක්‌ පාසා දෙස්‌ විදෙස්‌ ජනතාව දැනුවත් කරමින් හොරණ, පෝරුවදණ්‌ඩ, සත්ජන සමාජ සංවර්ධන පදනම විසින් සිදුකරනු ලබන සත්‍යක්‍රියාව මෙවරත් 2014-01-15 දින, එනම් දුරුතු පොහෝ දින රාත්‍රී 9.20 ට සිදු කෙරේ. එදින නියමිත වේලාවට ඔබ සිටින කොතැනක හෝ සිට ඔබටත් මනසින් ඊට දායක විය හැකිය. ඔබ විසින් කළයුත්තේ මෙම ලිපිය කියවා සත්‍යක්‍රියාවක්‌ කරන ආකාරය පිළිබඳව කල් වේලා ඇතිව දැනුවත් වී දුරුතු පොහෝ දින රාත්‍රී 9.10 සිට 9.30 දක්‌වා -පොදු විපත් වැළකී මිනිස්‌ ජීවිත සුරැකේවා! සසුන සුරැකේවා! අදිටන් කරමින් සත්‍යක්‍රියාවෙහි නිරත වීමයි.

අතිශය දුලබ බුදුඋපත


මාස්පොත , ශ්‍රී ගංගාරාම විහාරවාසී
කොබෙයිගනේ පුබ්බිලිය ශ්‍රී සාරානන්ද පිරිවෙනේ ආචාර්ය
ගලගෙදර රතනවංස හිමි

“මහණෙනි, අප්‍රමාදයෙන් යුක්ත වව්. ලෝකයෙහි බුද්ධෝත්පාදය දුර්ලභ ය. මිනිසත් බව ලැබීම දුර්ලභ ය. ක්‍ෂණ සම්පත්තිය දුර්ලභ ය. ප්‍රව්‍රජ්ජාව දුර්ලභ ය. සද්ධර්ම ශ්‍රවණය දුර්ලභ ය.” බුදු හිමියන් එසේ දේශනා කළ අවවාදයෙහි පිහිටා ධර්මයෙන් ලැබිය හැකි ප්‍රයෝජනය අප නොඅඩුව ලබාගත යුතු ය. එය මෙලොවටත්, පරලොවටත්, සැප පිණිස වන්නේ ය.
ලොවෙහි බොහෝ දෙනකු දුර්ලභව ලැබිය හැකි දේ වශයෙන් සිතා සිටින්නේ භෞතික සම්පත්, එනම් එදිනෙදා ජීවිතයට අවශ්‍ය කරන ඉඩකඩම්, ගේදොර, යානවාහන ආදි දේය. විඳිනවා යනුවෙන් සිදු කරන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය පිනවීමයි. ඒවාට ගෝචර වන රූප, ශබ්ද, ගන්ධ,රස , ස්පර්ශ තුළින් නිරන්තරයෙන් සුඛ හෝ දුක්ඛ ලබනු ඇත. එසේ නම් මෙම පංචේන්ද්‍රියන්ට ගැටෙන අරමුණු සඳහා අවශ්‍ය වන්නේ අප වඩාත් පිනවීමට, සතුටට පත්කරවන දේ යැයි පෘථග්ජන පුද්ගලයාට වැටහී යනු ඇත.
එසේ වුව ද බුදුඇසින් බලන කල භෞතික සම්පත් වලට එහා ගිය දුර්ලභව ලැබිය හැකි කරුණු කිහිපයක් පිළිබඳව සඳහන් වේ. ඒවා අද සමාජයේ ඇතැම් පුදගලයන් එතරම් ගණන් නොගත්තද එහි ගැඹුරු බව බුදු ඇසින් ම දැක දේශනා කොට වදාළ සේක. දුර්ලභව ලැබෙන එබඳු වටිනාදේ ගැන නොතකන කාම භෝගි සත්වයා සසරින් නොමිදී තව තවත් දුක මතම ජීවත් වන්නේ මුළාව නිසාය.
ඒ අනුව, බුදු හිමියන් දේශනා කළ එම කරුණු පිළිබඳව අවධානය යොමු කිරීම අද සමාජයට ඉතා ප්‍රයෝජනවත් වනු ඇත.

“භික්ඛවේ අප්පමාදෙන සම්පාදෙථ
දුල්ලභො බුද්ධුප්පාදො ලොකස්මිං
දුල්ලභො මනුස්සත්ත පටිලාභො
දුල්ලභා ඛණසම්පත්ති දුල්ලභා පබ්බජ්ජා
දුල්ලභං සද්ධම්ම සවණං”

“මහණෙනි, අප්‍රමාදයෙන් යුක්ත වව්.ලෝකයෙහි බුද්ධෝත්පාදය දුර්ලභය. මිනිසත් බව ලැබීම දුර්ලභය. ක්‍ෂණ සම්පත්තිය දුර්ලභය. ප්‍රව්‍රජ්ජාව දුර්ලභය. සද්ධර්ම ශ්‍රවණය දුර්ලභය.”
බුදුහිමියන්ගේ දේශනය අනුව, කරුණු 5 ක් දුර්ලභව ලැබිය යුතු බව පැහැදිලි වේ. පළමු වැනි කරුණ වන්නේ බුදුඋපතයි. බුදුඋපතක් යනු අතිශය දුලබ සිදුවීමකි.
“කිච්ඡො බුද්ධානං උප්පාදො” (ධම්ම පදය- බුද්ධ වග්ගය)
“කලෙකිනි බුදු කෙනෙකුන් උපදින්නේ” (ලෝ වැඩ සඟරාව - 19)

මේ ආදි වශයෙන් ධම්ම පදය හා ලෝවැඩ සඟරාව තුළ ඒ බව පැහැදිලි වේ. සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් මුළුල්ලේ දස පාරමිතා, දස උපපාරමිතා හා දස පරමත්ත පාරමිතා සම්පූර්ණ කරගත් මහබෝසත් උතුමෙක්ම බුද්ධත්වය ලබන්නේය. එම පරිත්‍යාගය සාමාන්‍ය කෙනකුට කළ නොහැකිය. සාගරය පරදා රුධිරයද මහ පොළොව පරදා මස් ද, අහසේ තරු පරදා ඇස් ද මහ මේරුව පරදා හිස් ද දන් දී එතැනින් නොනැවතී තමන් සතු අඹුදරුවන් හා සියලු භෞතික සම්පත් ද දන් දීම බුදු බව පතන උතුමන්ගේ ලක්‍ෂණයයි. මොන තරම් සසර එම පාරමිතා සම්පූර්ණ කළේ ද යන්න මහා ඓශ්චර්යමත් කරුණකි. එබැවින් බුදුවරයෙකුගේ චරිතය තුළ ඇති ගුණ කදම්භය දැන හදුනාගෙන ඒවා අපගේ ජීවිතවලට ද සම්බන්ධ කොට ගෙන ජීවිතය යහපත් කර ගැනීම වටින්නේය.
දෙවැනි දුර්ලභ කරුණ ලෙස බුදු හිමි පෙන්වා වදාළේ මිනිසත් බව ලැබීමයි. එය ද බොහෝ කාලයකින් සිදුවන්නකි.
“කිච්ඡො මනුස්ස පටිලාභෝ” (ධම්මපදය – බුද්ධ වග්ගය)
“දුකකිනි මිනිසත් බව ලැබ ගන්නේ” (ලෝවැඩ සඟරාව – 19)

බුදුරජාණන් වහන්සේ, මිනිසත් බව ලැබුම දුර්ලභ බව මැදුම් සඟියේ බාල පණ්ඩිත සූත්‍රය තුළින් සවිස්තරාත්මකව දේශනා කළ සේක. මිනිසත් බව දුර්ලභ වන්නේ සත්වයා කල්ප ගණන් අපායන්හි දුක් විඳින බැවිනි. ඒ බව මෙලෙස දේශනා කළ සේක.
“මහණෙනි , පුරුෂයෙක් එක් සිදුරක් ඇති විය දඬු කඩක් මහ මුහුදට දමන්නේය. සමුද්‍රගත වූ විය දඬුව නැගෙනහිරින් එන සුළඟින් බස්නාහිරට ගෙන යයි. බස්නාහිරින් එන සුළඟින් නැඟෙනහිරට ගෙන යයි. උතුරෙන් එන සුළඟින් දකුණට ගෙන යයි. දකුණින් එන සුළඟින් උතුරට ගෙන යයි. සමුද්‍රයෙහි වෙසෙන කණ කැස්බෑවෙක්ද වර්ෂ සියයකට වරක් මුහුදු දිය මතු පිටට පැමිණ අහසට හිස දිගු කරයි. මහණෙනි කිමෙක්ද? ඒ කණ කැස්බෑවාගේ හිස විය දඬු සිදුරට සමීප වී කැස්බෑවාට පෙනීම ඇති එක් ඇසෙන් අහස දැකිය හැකිවේද?”
මෙසේ භාග්‍යවතුන් වහන්සේ භික්ෂුන්ගෙන් විචාළ සේක. එකල්හි භික්ෂූහු, ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස දීර්ඝ කාලයක් ගත වන කල්හි එය සිදුවන්නට ද ඉඩ තිබේ යැයි සැල කළෝය.එකල භාග්‍යවතුන් වහන්සේ වදාරන සේක් “මහණෙනි, කණ කැස්බෑවාගේ හිස ඉක්මනින් විය සිදුරට ඇතුළු වන්නේය. පව්කම් කොට වරක් අපායට ගිය බාලයා හට මිනිස් ලොවට පැමිණීම එයට වඩා දුර්ලභ වන්නේය” මිනිසත් බවෙහි දුුර්ලභත්වය එයින්ම පැහැදිලි වේ.
“දුල්ලභං ච මනුස්සත්තං” යනුවෙන්ද එය පැහැදිලිවේ. මිනිසකු පමණකි බුදුවන්නේ. එසේම දෙවි වන්නේද පේ‍්‍රත, භූ®ත වන්නේද තමන් රැස්කළ කුසලාකුසල කර්ම අනුවය. එබැවින් මිනිස් භවය සියල්ල තීරණය කළ හැකි මධ්‍යස්ථානයයි. උසස් මනැසක් ඇත්තේ මිනිසාටය. එබැවින් හැකිතාක් දුරට පින් දහම් කළ යුතු වන්නේය. එතැනින් නොනැවතී ජාති ජරා දුක්වලින් එතෙරව ලැබිය හැකි උතුම් සුවය ලැබීමට ද අද අදම වෙහෙසිය යුතුය. ඒ බවට වටහා ගැනීමට හැකි ශක්තියක් මිනිසාට ඇති බැවින් “ අද අද එයි මරු පින්කර ගන්නේ” යි කී ආකාරයට මාරයාගෙන් ගැලවීමට උත්සාහ කළ යුතුය.
තෙවැනි දුර්ලභ කාරණය වන්නේ ක්ෂණ සම්පත්තිය ලැබීමයි. ක්ෂණ යනු පින් කිරීමට දුෂ්කර අවස්ථා අටෙන් අනන්‍ය වූ අවස්ථාවටය. පින්කිරීමට දුෂ්කර අවස්ථා අට මෙසේයි.
1. නරකයට වැටී සිටින කාලය
2. තිරිසන්ව සිටින කාලය
3. පේ‍්‍රතව සිටින කාලය
4. සිත නැති, කය පමණක් ඇති අසංඥභාවයට පැමිණ සිටින කාලය
5. බුදුවරයන්, බුද්ධශ්‍රාවකයන් නොවඩින ප්‍රත්‍යන්ත ප්‍රදේශවල ඉපිද සිටින කාලය
6. මිත්‍යා දෘෂ්ටිය ගෙන සිටින කාලය
7. හොඳ, නරක තේරුම් ගත නොහැකි මෝඩයකු වී සිටින කාලය
8. අබුද්ධෝත්පාද කාලය

මේ අවස්ථා අටම පින් කිරීමට අපහසු කාලයන්ය. ඒ අවස්ථා අට මග හැරුණ ඇසිල්ලක් බඳු කාලය ඉතා වටනේය. එබැවින් ලද අවස්ථාවෙන් පින් කර ගත යුතුය. ‘පුඤ්ඤං තෙ පුරිසො කයිරා...” යනාදී ගාථාවෙන් සඳහන් පරිදි, දැන් පින් කළා ඇතැයි නොසිතා නැවත නැවත පින් කරගත යුතුය.
සිව්වැනි දුර්ලභ කාරණය වන්නේ ප්‍රව්‍රජ්ජාව ලැබීමයි. බුදුසසුනෙහි පැවිද්ද ලැබිය හැක්කේ බුද්ධෝත්පාද කාලයක මිනිසත් බව ලැබීමෙන් පමණකි. පැවිදි වීමද හැම කෙනකුටම සිදු කළ නොහැකිය. පැවිද්දට සිත අවදි වන්නේ සසර පිළිබඳ අවබෝධයක් ඇති, එසේම සසරින් මිදීමට අවශ්‍ය බව හැඟෙන කෙනකුට පමණි. බොහෝ දෙනෙක් රාගයෙන් රත්ව ද්වේෂයෙන් දූෂිතව මෝහයෙන් මුළාව කල් ගෙවති. එවැනි සමාජයක කෙනකු පැවිදි වනවා යනු ඉතා වටිනා දුර්ලභ කරුණක් වන්නේය.
පස්වැනි දුර්ලභව ලැබිය හැකි කාරණය වන්නේ සද්ධර්ම ශ්‍රවණය කිරීමයි. “සද්ධම්මො පරම දුල්ලභො” යනුවෙන් දේශනා කළේ එබැවිනි. එයට හේතුව වන්නේ ධර්මයක් අසන්නට ලැබෙන්නේ බුද්ධෝත්පාද කාලයකම මිස අන් කාලයක නොවන බැවිනි. මිනිසකු වූ පමණින් ධර්මය අසන්නට නොලැබේ. අද වුවද ඇමර්සන් වැනි වනාන්තරවල ගෝත්‍රිකව වසන්නන්ට හෝ එවැනි සමාජයන්ට සමාන ආකාරයෙන් ජීවත් වන අයට ධර්මය අසන්නට භාග්‍යයක් නැති බව පෙනේ.
දහම් සොඬ කතා පුවත තුළින් පැහැදිලි වන්නේ ධර්මය අසන්නට නොලැබී, බෝසතුන් ජීවිතය හෝ දී ධර්මය අසනු වස් රාක්ෂයෙකුගේ කටට පනින්නට කටයුතු කළ ආකාරයයි. ධර්මය අසන්නට ලැබුණත් එය ශ්‍රද්ධාවෙන්, ගෞරවයෙන් හා අවබෝධයෙන් අසන්නේ සීමිත පිරිසකි. ධර්මයෙන් ප්‍රයෝජන ගන්නේ ඉතා සීමිත පිරිසකි. ධර්මයෙන් සිදු කරන තරම් යහපතක් මවට හෝ පියාටවත් කළ නොහැකිය. “ධම්මං විනා නÀථි පිතාච මාතා” යන්නෙන් ඒ බව පැහැදිලි වේ.
මේ ආදි වශයෙන් ඉහතින් සඳහන් කළ කරුණු පසම දුර්ලභව ලැබිය හැකි දේය. ඒ පිළිබඳ අප දැඩි අවධානයකින් පසුවිය යුතුය. එයට හේතුව දුල්ලභව ලැබිය හැකි මිනිසත් බවක් අප ලබා සිටීමයි. නැවත කවදා එය ලැබේදැයි යනු අවිශ්වාසය. ඒ නිසා ලද මිනිසත් බවෙන් උපරිම ඵල නෙළා ගත යුතුය.
අප්පකා තෙ මනුස්සෙසු – යෙ ජනා පාරගාමිනො
අථායං ඉතරා පජා – තීරමෙවානුධාවති
යෙච ඛො සම්ම දක්ඛාතෙ – ධම්මෙ ධම්මානුවත්තිනො
තෙ ජනා පාරමෙස්සන්ති – මච්චු ධෙය්‍යං සුදුත්තරං
(ධම්ම පදය - පණ්ඩිත වග්ගය)

“මිනිසුන් අතුරෙන් නිවන් පරතෙරට යන්නෝ ඉතා ස්වල්ප දෙනෙක් වෙති. ඉතිරි වූ අනෙක් සත්ව සමූහයා මෙගොඩම ඔබ මොබ දුවන්නෝය. යම් කෙනෙක් මනා කොට දේශනා කරන ලද ධර්මයට අනුව හැසිරෙත් ද ඔව්හු ඉතා අමාරුවෙන් තරණය කළ යුතු වූ සසර සයුරින් පරතෙරට පැමිණෙන්නෝය.”
ධම්ම පදයේ ඉහත සඳහන් පණ්ඩිත වග්ගයේ ගාථා යුගලය තුළින්ද සද්ධර්මයේ ඇති වටිනාකම අවබෝධවේ. එබැවින් අද අදම අප ධර්මයෙන් ලැබිය හැකි ප්‍රයෝජනය නොඅඩුව ලබාගත යුතුය. එය මෙලොවටත්, පරලොවටත්, සැප පිණිස වන්නේය. එතැනින් නොනැවතී සසර දුකින් නිදහස්ව ලැබිය හැකි උතුම් නිවන් සැපත සඳහාද වෙහෙසිය යුතුය.

බුදු දහමේ චිරස්තිථියට තාරුණ්‍යයේ දායකත්වය

ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත
මහරැඹෑවැවේ පාලිත හිමි
බුදුරජාණන් වහන්සේගේ දර්ශනය හුදෙක් පෙනෙන දේට වඩා ස්වභාවයට එකඟ වූ යථාර්ථවාදී වූ දර්ශනයකි. අපගේ තරුණ පෙනුම එක ලෙස සැමදා නොතිබෙනු ඇත. එබැවින් තරුණවිය තුළින් මහලුවිය දැකිය යුතුය. යථාර්ථවාදි දැකීම එයයි. මහලු වියට යෑමට පෙර එය අවබෝධ කරගැනීම යථාර්ථවාදි අවබෝධයයි. බුදු දහම ළඟට වඩා දුර දකින දර්ශනයකි. එබැවින් තරුණවියෙහි ලබන ශික්‍ෂණය, අවබෝධය අගය කරන්නකි. එය පසක් කිරීමට හොඳම නිදසුන නම් බුදුරදුන් වටා එකතු වූ තරුණ ජවයෙන් යුත් බොහෝ භික්‍ෂූන් බුදුරදුන් දේශනා කළ ධර්මය අවබෝධ කොටගෙන ධර්මාවබෝධය ලබා ගනිමින් තම ජීවිතය ශාසන බ්‍රහ්මචරියාව වෙනුවෙන් කැප කිරීමයි.

තම පියරජු විසින් දුක යන වචනය පවා ඇසීමට අවස්ථාව නොදෙමින් අපිරිමිත සැප සම්පත් වලින් ආඪ්‍ය වු දිවියක් ගත කිරීමට සැලැස් වූ සිදුහත් කුමරු අවසානයේ සියලු සැපසම්පත් කෙරෙහි කළකිරී ගිහිගෙය අතහැර ගියේ අවුරුදු 29 දී බව අපි කවුරුත් දනිමු. සිද්ධාර්ථ තාපසතුමා උතුම් වූ බුද්ධත්වයට පත් වූයේ අවුරුදු 35 දීයි.මේ කාල දෙකම සුත්‍ර ධර්මයන්හි හඳුන්වා ඇත්තේ භද්‍ර යෞවනවිය ලෙසය. බුදුරජාණන් වහන්සේගේ දහම කෙරෙහි පැහැදී පැවිදි බව ලබා ගත් බොහෝ දෙනෙක් යොවුන් වියේ පසුවූවන් ය. එයිනුත් බොහෝ දෙනෙක් භද්‍ර යෞවන වියේ පසුවූහ. විශේෂයෙන් පළමු රහත් හැට නමට එකතු වූ යස කුළ පුත්‍රයා ඇතුළු පිරිස අතිශය යොවුන් වියේ පසු වූවන් ය. යසකුල පුත්‍රයා තමාට පිය උරුමයෙන් හිමි වූ අපිරිමිත සැප සම්පත් කෙරෙහි කළ කිරී මානසික සහනය සොයමින් මහමඟට බට අයෙකි.

දිනක් බුදුරජාණන් වහන්සේ අතිශය යොවුන් වියෙහි පැවිදි දිවියට එළැඹි අනුරුද්ධ, භද්දිය,භගු, කිම්භිල කුණ්ඩධාන, රේවත හා ආනන්ද යන තරුණ හිමිවරුන් මුල්කොට ගෙන තාරුණ්‍ය පිළිබඳ කළ වැදගත් දම් දෙසුමක් මැඳුම් සඟියෙහි ඇතුළත් නළකපාන සූත්‍රයෙන් අපට හමුවෙයි. මේ තරුණ හිමිවරු සත් නම එකට පැවිදිව එකට මහණදම්පිරූ සබ්බ්‍රහ්මචාරිහූය. එම දම්දෙසුම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නෙ නළකපාන ගමෙහි මහවන මැද සසුන්බඹරෙහි වෙසෙන මේ යෞවනයන්ගේ දිවිය පිළිබඳ වූ අතිශය කාරුණික හැඟීමෙනි.
මේ තරුණ හිමිවරු ඇමතූ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේලා මහණ දම් පුරන්නේ කැමැත්තෙන් ද එසේ නැතිනම් අකැමැත්තෙන්ද යනුවෙන් විචාළහ. උන්වහන්සේලා නිශ්ශබ්දව හුන්හ. බුදුරජාණන් වහන්සේ දෙවැනි වරටත්, තෙවැනි වරටත් එසේ විමසුව ද මේ තරුණ හිමිවරු නිශ්ශබ්දවම හුන්හ. නමකින් නොවිචාල හොත් කිසිසේත් පිළිතුරු නොලැබෙන බව දැනගත් බුදුරජාණන් වහන්සේ අනුරුද්ධ හිමියන් අමතා ඒ පිළිබඳ විචාළහ. එවිට උන්වහන්සේගේ පිළිතුරු වූයේ “ස්වාමිනි අපි ඒකාන්තයෙන් අපි මේ බඹසර දිවියෙහි ඇළෙමින් කැමැත්තෙන්ම මහණදම් පුරන්නෙමු” යනුවෙනි. ඒ පිළිබඳ අගය කරන බුදුරජාණන් වහන්සේ උන්වහන්සේලා මේ භද්‍ර යොවුන් වියෙහි ගත කරන බඹසර දිවියෙහි වටිනාකම පෙන්වා දෙයි.
යෙන තුම්හෙ අනුරුද්ධා, භද්‍රෙනා යොබ්බනෙන සමන්නාගතා, පඨමෙන එයසා සුසුකාළකෙසා කාමේ පරිභුඤ්ජෙය්‍යාථ තෙන තුම් හේ. අනුරුද්ධා, භද්‍රෙනපි යොබ්බනෙන සමන්නාගතා පඨමෙන එයසා සුසුකාළකෙසා අගාරස්මා අනගාරියං පබ්බජිතා තෙ ච ඛො පන තුම්හෙ,අනුරුද්ධා නෙව රාජාභීනිතා අගාරස්මා අනගාරියං පබ්ජිතා න වොරාහිනිතා අහාරස්මා අනගාරියං පබ්බජිතා න ඉණට්ටා අගාරස්මා අනගාරියං පබ්බජිතා න හයට්ටා අගාරස්මා අනගාරියං පබ්බජිතා , නාජිවිකාපකතා අගාරස්මා අනගාරියං පබ්බජිතා අපි එ ඛොම්හි ඔතිණ්නො ජාතියා ජරාය මරණෙන සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සයෙහි උපයාසෙත. දුක්ඛොතිස්ණෙ, දුක්ඛපරෙතො, අප්පෙව නාම ඉමස්ස කොවස්ස දුක්ඛක්ඛන්ධස්ස අන්තකිරියා පඤ්ඤායෙථාති.
අනුරුද්ධයෙනි, ඔබලා මේ භද්‍ර යෞවන වියෙහි මුල් කාලයේම කාලවර්ණලංකෘත වූ කේශ ඇති කාමයෙහි, ලොල්වන කාලසීමාවෙහිම ඒ සියල්ලම ඔබලාට මනාව තිබිය දී කාමයන්ගෙන් වෙන්ව පැවිදිව උතුම්වු ශාසන බ්‍රහ්මචරියාවෙහි වසන්නාහ. අනුරුද්ධයනි,ඔබලාගේ ඒ පැවිදිවීම රජුන්ගේ බලකිරීමක් නිසා නොවූවකි. සොරුන්ගේ බලකිරීමක් නිසා නොවූවකි. ණයෙන් මිදීම පිණිස හෝ රාජචොරාදීන්ගේ භයෙන් මිදීම පිණිස නොවූවකි. යැපීම පිණිස පැවිදි වූවෝ නොවෙති. හුදෙක් ජාති, ජරා , මරණ ශෝකාදියෙන් යුක්ත වූ මේ දුක්ඛ දෝමනස්ස උපායාසයෙන්ගෙන් මිදීම පිණිසම පැවිදි වූවෝ වෙති. ඒ උදෙසාම බඹසර වසන්නෝ වෙති. එබැවින් පැවිදිවීමත් බඹසර විසීමත් උතුම්ය. ඔබලාගේ අරමුණ විය යුත්තේ භාවනාභීරතව ප්‍රථමජ්ඣාන, ද්වීතියජ්ඣාන , තෘතීයජක්‍ධානාදිය ලැබී අභිද්‍යා, ව්‍යාපාද,කාමච්ඡන්ද , ථීනමිද්ධ උද්දච්චකුක්කුච්චාදී වූ පඤ්ච නීවරණයන්ගෙන් සිත නිදහස්කොට පී‍්‍රතිය හා සුවය ඇති නිවන ළඟාකර ගැනීම බවයි.
මෙය පිය කෙනෙක් තරුණවියේ පසුවන පුත්‍රයන්ට ලබාදෙන උපදෙස් මාලාවක් හා සමානය.බුදුරදුන් සිය ඖරස පුත්‍ර වූ තරුණ භික්‍ෂූන් වහන්සේලා දෙස බලා ඇත්තේ අසහාය කරුණාවකිනි. අනුකම්පාවකිනි. එයට හේතුව තමාගේ මේ භද්‍ර යෞවන වූ තරුණ කාලය ශාසන බ්‍රහ්මචර්යාව වෙනුවෙන් යොදවා කළ අසහාය කැපකිරීම නිසාමය. මෙය සුළුපටු කැපකිරීමක් නොව උතුම්ම කැප කිරීමක් බව බුදුරජාණන් වහන්සේ ද දත් නිසාය.
බුදුදහම කෙරෙහි මුල් යුගයේ පැහැදී උතුම් පැවිදි භාවය ලැබූ බොහෝ පිරිස තරුණවියේ මෙන්ම භද්‍ර යෞවන වියේ වූ පිරිසක් බවයි. තෙරවරු පමණක් නොව තෙරණියන්ද තම යොවුන් දිවිය බුදු සසුන වෙනුවෙන් කැපකළ අයුරු ථේරගාථා හා ථේරීගාථාවන්ගෙන් පැහැදිලි වෙයි.
බොහෝ දෙනෙක් සිතන්නේ තරුණවිය යනු ස්වාභිමතයට අනුව දිවි ගෙවමින් කාමභෝගි දිවියක් ගතකළ යුතුය යන්නයි. ධාර්මික ජීවිතය යනු මහලුවියේ ප්‍රායෝගිකව අත්විඳිය යුත්තක්ය යන්න ඔවුන්ගේ මතයයි. මෙය අද මිනිසුන් අතර පවතින මතයක් පමණක් නොව එදා දෙවියන් අතරද පැවැති මතයක් බව සංයුක්ත නිකායේ සගාථක වර්ගයේ එන සමිද්ධී සුත්‍රයෙන් පැහැදිළි වෙයි. එනම් එක්තරා දෙවඟනක් තරුණ වියෙහි පැවිදිව ශාසනාභීරතව බවුන් වඩන භික්‍ෂූන් වහන්සේ නමක් වෙත පැමිණ කළ මෙම ප්‍රකාශයයි.
“දහරෝ ත්වං භික්ඛූ පබ්බජිතෝ සුසුකාළ කෙසො භද්‍රෙන යොබ්බනේන සමන්නාගතෝ පඨමේන වයසා අනිකිලිකාවි කාමේසු භුඤ්ජ භික්ඛු මානුසකෙ කාමේ මා සන්දිට්ඨිකං භිත්වා අකාලිකං අනුධාවී “
ශ්‍රමණය, ඔබ තරුණ පැවිද්දෙකි.කළු කෙස් ඇත්තේය. භද්‍ර යෞවන වියෙහි සිටින කෙනෙකි. තාරුණ්‍යයේ ප්‍රථම වයසෙහි සිටියි. එහෙත් ඔබ තරුණවියෙහි විඳීය යුතු කම්සැප නොවිඳීන කෙනෙකි. එය නොසුදුස්සකි. මානුසික වූ විඳිය යුතු කම් සැප විඳීන්න. පෙනෙන දේ අතහැර නොපෙනෙන දෙයක් පසුපස නොයන්න.
මෙම ප්‍රකාශය හුදෙක් සාමාන්‍ය ජනයා සමාජය දෙස බලන අයුරින් කළ ප්‍රකාශයකි.එයින් කියවෙන්නේ තරුණ කල අනිවාර්යයෙන්ම කම්සැප විඳීයයුතු යන්නයි. එහෙත් බුදුරජාණන් වහන්සේගේ දර්ශනය හුදෙක් පෙනෙන දේට වඩා ස්වභාවයට එකඟ වූ යථාර්ථවාදී වූ දර්ශනයකි. අපගේ තරුණ පෙනුම එක ලෙස සැමදා නොතිබෙනු ඇත. එබැවින් තරුණවිය තුළින් මහළුවිය දැකිය යුතුය. යථාර්ථවාදි දැකීම එයයි. මහලු වියට යෑමට පෙර එය අවබෝධ කරගැනීම යථාර්ථවාදි අවබෝධයයි. බුදු දහම ළඟට වඩා දුර දකින දර්ශනයකි. එබැවින් තරුණවියෙහි ලබන ශික්‍ෂණය,අවබෝධය අගය කරන්නකි. එය පසක් කිරීමට හොඳම නිදසුන නම් බුදුරදුන් වටා එකතු වූ තරුණ ජවයෙන් යුත් බොහෝ භික්‍ෂූන් බුදුරදුන් දේශනා කළ ධර්මය අවබෝධ කොටගෙන ධර්මාවබෝධය ලබා ගනිමින් තම ජීවිතය ශාසන බ්‍රහ්මචරියාව වෙනුවෙන් කැප කිරීමයි.
තාරුණ්‍යයේ වටිනාකම අගය මනාව වටහාගත් බුදුරජාණන් වහන්සේ ඔවුන්ගේ සිතුම් පැතුම් පමණක් නොව හැකියාවන්ද මනාලෙස හඳුනාගෙන අවශ්‍ය ධර්ම කරුණු පෙන්වා දී ඔවුන් සමාජ විශෝධන ක්‍රියාවලියෙහි යෙදවු ආකාරය මුළු මහත් සූත්‍ර දේශනාවන් පුරාවට පැහැදිළිව පෙනෙයි. ඇතැමෙක් සැනසීම සොයා බුදුරදුන් වෙත පැමිණියේ දුක පිළිබඳ පමණක් නොව සැප පිළිබඳවද කළ කිරුණු මනසින් යුක්තව ය. ඇතමෙක් ජීවිතයේ තමා ලත් අපමණ දුක් ගැහැට නිසා ජීවිතය පිළිබඳ කළකිරී පැමිණියහ. තවත් සමහරෙක් විවිධ ප්‍රශ්න නිසා ජීවිතය ව්‍යාකූල කරගනිමින් බුදුරදුන්වෙත පැමිණියහ. මේ සියල්ලන්ගේම අරමුණ හා අවබෝධයේ මට්ටම් තේරුම්ගත් බුදුරජාණන් වහන්සේ සියල්ලන්ට එම යථාර්ථය අවබෝධ කොට දී ඇත්තේ අසහාය ශාස්තෘවරයෙකු ලෙසය. අසහාය සමාජ විශ්ලේෂකයෙකු ලෙසය. අසහාය මනෝවිද්‍යාඥයෙකු ලෙසය. ඇත්තෙන්ම බුදුසසුනට මේ තරුණ භික්‍ෂූන් ගෙන් ලැබුණූ පිටුබලය අති මහත්විය. එය බුදුරජාණන් වහන්සේගේ ධර්මය ශීඝ්‍රයෙන් සන්නිවේදනය වීමට මෙන්ම ජනපි‍්‍රය වීමට ද මහත් ශක්තියක් වී ඇත.

සසුනට වින කරන මාර පාක්‍ෂික බණ


බෞද්ධ ධර්මය පිළිබඳ එක්‌තරා මහාචාර්යවරයකුගේ නමින් පුවත්පතක පළවූ ලිපියක කරනු සම්බන්ධයෙන් සංවේගයට පත්ව මෙම ලිපිය ඉදිරිපත් කරමි.

පිරිනිවියා වූ බුදුරජුන්ට පූජාවන් පැවැත්වීමෙන් පළක්‌ නැති බවත්, එය හින්දු දේව පූජාවන් අනුකරණයෙන් ගොඩනඟා ගත් හානිදායක චාරිත්‍රයක්‌ බවත් ඔහු සඳහන් කරයි. පළමුව බුද්ධ පූජාව යනු කුමක්‌දැයි හඳුන්වා දිය යුතුය. "බුදු පියාණන් වහන්සේ" යනු සියලු මානුෂික ගුණයන්ගේ පරිණාමයේ අග්‍රම අවස්‌ථාවය. මුදුන්මල්කඩය. සසර දුකට වැටී සිටින අප සියලු දෙනාට ඉන් එතෙර වීමේ මගද, කරුණා - මෛත්‍රී, ප්‍රඥ ආදී ගුණ, සන්තානයේ වඩවා ගැනීමය. මේ ගුණ වගාව ආරම්භ කිරීමට ඇති හොඳම ක්‍රමය, එම ගුණයන්ගෙන් පිරිපුන් උත්තමයකුගේ ගුණ අපගේ හදවතින් අගය කිරීමය. එසේ ගුණ අගය කිරීම එම උත්තරීතර ගුණයන් තමාගේ සන්තානයට ද වැඩමවා ගැනීමේ මුල් පියවරය. මෙසේ ගුණ අගය කිරීම තුන් ආකාරයකින් කළ හැකිය. එනම්, සිතෙන් කයෙන් සහ වචනයෙනි. බුද්ධ වන්දනාව සිදුකරන විට සහ බුද්ධ පූජාවන් පවත්වන විට කායිකව ද, ස්‌තූති පූජාවන් කරන විට සහ ගාථාවන් කියන විට වාචිකව ද මෙසේ බුද්ධ ගුණ ඇගයෙන අතර මනසින්ම බුදුගුණ අගය කිරීම බුද්ධානුස්‌සති භාවනාව යනුවෙන් හැඳින්වේ.

බෞද්ධයන් පූජාවන් පවත්වන්නේ තථාගතයන් වහන්සේගේ චිත්තාකර්ෂණීය ශරීරයට නම්, පරිනිර්වාණයෙන් පසු බුද්ධ පූජාවන් පැවැත්වීම නොකළ හැකි බව සැබෑය. නමුත් බුද්ධිමත් බෞද්ධයා පූජාවන් පවත්වන්නේ බුදු පියාණන් නිසරු යෑයි දෙසූ කය අරමුණුකොට නොව, බුද්ධ ගුණයන් අරමුණු කර ගනිමිනි. තම තමන්ගේ ප්‍රඥවේ තරමට, අදත් අපට බුදුගුණ මෙනෙහි කළ හැක්‌කේමය. චෛත්‍ය, බුද්ධ ප්‍රතිමාව සහ බෝධීන් වහන්සේ අනන්ත බුදුගුණ සිහිකර ගැනීම සඳහා අපට දෘශ්‍යාධාරකයන් වෙයි. අපගේ සන්තානයේ, ශ්‍රද්ධාව - වීර්ය- සතිය - සමාධිය ආදී කුසල් සිත් ජනිත කර ගැනීමට බුද්ධ පරිනිර්වාණය කවර බාධාවක්‌ ද?

දීඝ නිකායේ එන මහා පරිනිබ්බාන සූත්‍රයේදී බුදු රජාණන් වහන්සේ මෙසේ සඳහන් කළහ. "ආනන්දයෙනි, ස්‌ථූප තනා වැඳුම් පිදුම් කිරීමට සුදුසු පුද්ගලයෝ හතර දෙනෙකි. එනම් සම්මා සම්බුදු රජාණන් වහන්සේ, පසේ බුදු රජාණන් වහන්සේ, රහතන් වහන්සේ සහ සක්‌විත් රජු යන මේ සිව් දෙනාය. ආනන්දයෙනි, කවර කරුණක්‌ නිසා තථාගතයන් වහන්සේට ස්‌ථූප තනා වැඳුම් පිඳුම් කිරීමට සුදුසු වන්නේද? ආනන්දයෙනි, "මේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ස්‌ථූපයයි" සිතා බොහෝ දෙනා සිත පහදවාගෙන මරණින් මතු සුගතිගාමී වන හෙයිනි". කළ යුත්තේ බෝධි පූජා, බුද්ධ පූජා නොව, භාවනාව යෑයි කියමින් මාරසිංහ මහතාගේ ගෝත්‍රයේ පිරිස රට කළඹති. භාවනාව පිළිබඳව බුදු හිමියන් දෙසූ මහානර්ඝම සූත්‍ර රත්නයවන, සතිපට්‌ඨාන සූත්‍රයට (ම.නි) අනුව භාවනා කළ හැක්‌කේ පිළිමයක්‌ මෙන් නිසෝල්මන්ව සිටීමේදී පමණක්‌ නොවේ. යන විට එන විට, හිඳින විට, සැතපෙන විට සේම. දොඩන විට, නිහඬවන විට, ආදී සියලු අවස්‌ථාවලදී, වීර්යයෙන්, මනා නුවණින් සහ සිහියෙන් යුතුව ඒ ක්‍රියාවන් සිදුකිරීම භාවනාවයි. ඉතින්, බෝමළු අමදින විට, මල් රැස්‌ කරන විට, ගිලන්පස සකසන විට, භාවනාව වැඩීමට නොහැකිද? පහන් පුදන විට, ගාථාවන් ගයන විට භාවනාව තහනම් ද? පර්යංක භාවනාව සඳහා දෙනෙත් පියා ගන්නා සමහරු සුළු වේලාවකින්, සුව නින්දකට වැටෙති. තමන් නිදාගත් බව පිළිගන්නටත් සමහරු කැමති නොවෙති. සෑමළුව අමදින විට ඔබට බොහෝ කුසල් රැස්‌ වෙනවා පමණක්‌ නොව, නිද්‍රdව විසින් පරදවන්නටත් නොහැකි වෙයි. සාගරය ක්‍රමානුකූලව ගැඹුරු වන්නකි. එය එක්‌වන් ප්‍රපාතයකට නොයයි. පහාරාද සූත්‍රයේදී ශාසනයත් සාගරයට උපමා කරමින් බුදු සමිඳුන් පෙන්වා දෙන්නේ ක්‍රමානුකූලව ගැඹුරුවන ප්‍රතිපදාවක්‌ ඇති බව මෙම සසුනේ ආශ්චර්යවත් ලක්‍ෂණයක්‌ ලෙසය.

සාංඝික දානවලදී විවිධාකාර කැවිලි වර්ග, ගිලන්පස වර්ග සහිතව බුද්ධ පූජාව සිදු කිරීම ගැන මහැදුරුතුමා අප්‍රසාදය පළ කරයි. දන් දීම යුද්ධයක්‌ හා සමාන බව භාග්‍යවතුන් වහන්සේ දෙසූ සේක (දානඤ්ච යුද්ධඤ්ච සමානමාහු - ස.නි). පරිත්‍යාගය පහසු කටයුත්තක්‌ නොවෙයි. තමන් දන් දෙනවා තබා, සමහරුන්ට අන් අයගේ දීම ද ඉවසා ගැනීමට අපහසුය. නමුත් නුවණැති සත් පුරුෂයන් අන් අය දුන් දානයෙහි සතුටු වීම් මාත්‍රයෙන් පවා මහත් සම්පත් ලබන බව බුදු සමය හේතු සහිතව පෙන්වා දෙයි. සම්‍යයක්‌ ප්‍රඥවෙන් යුතුව බුද්ධ වන්දනාවන් සහ පූජාවන් සිදුකරන අයට මේ ජීවිතයේදීමත් බොහෝ යහපත් ප්‍රතිඵල ලැබෙන අයුරු අපි අත්දැකීමෙන්ම දනිමු. අප කළ යුත්තේ වඩා නිවැරැදිව ඒවා සිදුකරන අයුරු කියා දීම මිස, පින්කම් හෙළා දැකීම නොවෙයි. බුදු සමය වඩාත් සමීප වන්නේ දර්ශනයකට මිස ආගමකට නොවන බව සත්‍යයකි. නමුත් දර්ශනයක්‌ සාමාන්‍ය මිනිසුන්ගේ සන්තානවල ජීවමාන වන්නේද, එය මතු පරම්පරාවලට රැකෙන්නේ ද එයට අදාළ සංස්‌කෘතියක්‌ බිහිවීමෙනි. ගසක අරටුව බිහිකිරීමට ඵලද මෙහෙවරක්‌ කරන්නා සේ, සමාජ සංස්‌කෘතියේ අංග ද බුදු සමයේ රක්‍ෂණයට, පෝෂණයට අත්‍යාවශ්‍ය වෙයි. තම පියාගෙන් ලැබුණු අවවාදයක්‌ අනුව දිසා නමස්‌කාරයේ යෙදෙමින් සිටි සිඟාලක සිටු පුත්‍රයාව, බුදුරජාණන් වහන්සේ අවඥාවට ලක්‌ නොකළ සේක. උන්වහන්සේ කළේ දිසා නමස්‌කාරයට නව අර්ථකථනයක්‌ එකතු කරමින් එම තරුණයාගේ සිතත් නොරිදවා, දහමත් ඉගැන්වීමය. සැබෑ බෞද්ධයකු වීම සඳහා මොළය පමණක්‌ නොව හදවතක්‌ද ඇවැසිම වෙයි. තනි කකුලෙන් සිටගෙන ඉන්නා පුද්ගලයකු දුටුවිට අප කළ යුත්තේ අනිත් කකුලත් දිගහැර, දෙපයින්ම සිටගන්නා හැටි කියාදීම මිස, දිගහැරගත් කකුලටත් පහරදී අසරණයාව බිම හෙළීම නොවේ.

දහම් පොත් කියවන සමහරුන්, ඒවායේ දැක්‌වෙන කරුණුවලින් තමන්ගේ කෙලෙස්‌වලට පක්‍ෂ වන දේ පමණක්‌ සත්‍ය යෑයි ගෙන ස්‌වකීය මසුරුකම්, කුසීතකම්, අහංකාරකම් ආදී කෙලෙසුන්ට විරුද්ධ දේ "ඕවා පසු කාලීන අදහස්‌" යෑයි ප්‍රතික්‌ෂේප කිරීම අභාග්‍යයකි. බෞද්ධ පුණ්‍යකර්මයන් අවසානයේ "සිතින්, කයින්, වචනයෙන් වරදක්‌ සිදු වී නම් සමාවන සේක්‌වා"යි බුද්ධ රත්නයෙන් අපි ඉල්ලා සිටිමු. මහාචාර්යතුමාට, මෙය දේවවාදී ආගම්වලින් බුදු සමයට ආ හිස්‌ දෙයක්‌ ලෙස පෙනේ. දේවවාදී ආගම්වල එන පවු සමා කිරීමේ චාරිත්‍රය පවා ඒකාන්තයෙන්ම නිශ්ඵල යෑයි නිර්දය ලෙස හෙළා නොදැකිය යුතුය. එහිද එක්‌තරා මනෝවිද්‍යාත්මක වටිනාකමක්‌ පවතින බැවිනි. සිදුකළ යහපත් දේවල්වලට වඩා, ජීවිතයේ වැරදුණු තැන් පැරදුණු තැන් තදින් මතක තබා ගැනීමේ දුබලකමක්‌ පෘථග්ජන සිත්වල ඇත්තේය. මේ නිසා අප අතින් සිදු වුණු සෘණාත්මක දේවල් ගැන නිරන්තරයෙන් පසුතැවෙන විෂම චක්‍රයකට සමහරු අසුවෙති. තමන්ට හිස එසවිය හැකි බවට ආත්ම විශ්වාසයක්‌ නොමැතිකම නිසාම ඔවුහු නැවත නැවතත් අකුසලයේම අත්අඩංගුවට පත් වෙති. වැරැදි සමා කර ගැනීම, මේ ආත්ම පරාජයට තුඩු දෙන චර්යාවෙන් මිදී ධනාත්මක හැඟීම් ඇතිව, නැවුම් ගමනක්‌ ඇරඹීමට කෙනෙකුට දිරි දෙයි. බෞද්ධ සන්දර්භය තුළ විශාල නිහතමානී බවක්‌ ද ප්‍රකට කරන ත්‍රිවිධ රත්නය ක්‍ෂමා කරවා ගැනීම සිදුකළ යුත්තේමය.

බුදු සසුනේ සමහර අංශ තේරුම් ගැනීම සඳහා තර්ක බුද්ධිය පමණක්‌ නොව අධ්‍යාත්මික බුද්ධිය ද අත්‍යවශ්‍ය වෙයි. එම නිසා මෙවැනි ගැටලු විස¹ ගැනීමේදී අප අනුගමනය කළ යුත්තේ ශාස්‌ත්‍රීය ප්‍රවේශයකින් පමණක්‌ බුදු සමය හඳුනා ගත් උගතුන්ගේ මඟ නොව, පොතපතින් උගත් දේ භාවනාමය ප්‍රඥවෙන් පත්‍රක්‍ෂ කරගත්, අති පූජනීය රේරුකානේ චන්දවිමල නාහිමි, බළංගොඩ ආනන්ද මෛත්‍රීය නාහිමි වැනි සංඝ පීතෘන් වහන්සේලා වැඩිය මගයි.

ශාස්‌ත්‍රපති මත්තුමගල චන්දානන්ද හිමි,
බෞද්ධ උපදේශක, ඇල්බර්ටා විශ්වවිද්‍යාලය, 
කැනඩාව