දුටුගැමුණු රජු කල පිරිණිවන් පෑ මලියදේව හිමියන් ලංකාවේ අන්තිම රහත් තෙරනම නොවේ. සැබැවින්ම, අද වුව රහතුන් බිහි විය හැකිය. ඒ සදහා අවශ්‍ය වන්නේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ ශ්‍රී සද්ධර්මය සීල සමාධි ප්‍රඥා වශයෙන් දියුණු කොට සාක්ෂාත් කිරීමයි.

ඔබත් බුදුරදුන් පෙන්වා වදාළ උත්තම දහම් මාර්ගයේ ගමන් කරන්න


Powered by දහම් විල


ලිපි සඳහා පහත මාසය අනුව ලිපි පටුන බලන්න

බෞද්ධ අධ්‍යාපනයේ පුරෝගාමියා

සෙන්පති හෙන්රි ස්‌ටිල් ඕල්කට්‌තුමා

හෙට දිනට යෙදෙන ඕල්කට්‌ තුමාගේ 106 වැනි ගුණ සමරුව නිමිත්තෙනි


මෑත කාලීන ශ්‍රී ලාංකීය අධ්‍යාපනයේ පුරෝගාමියා ලෙස සැලකෙන සෙන්පති හෙන්රි ස්‌ටීල් ඕල්කට්‌තුමා උත්පත්තියෙන් ඇමෙරිකන් ජාතිකයෙකි. ශ්‍රී ලංකාවේ බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරයට හා බෞද්ධ අධ්‍යාපන ක්‍ෂේත්‍රයට උපරිම සහයක්‌ දුන් එතුමා 1832 අගෝස්‌තු මස 02 වැනි දින ඇමෙරිකා එක්‌සත් ජනපදයේ නිව් ජර්සි ප්‍රාන්තයේ ඔරෙන්ඡ් නම් ග්‍රාමයේ උපත ලබා ඇත. එතුමාගේ පියා හෙන්රි චයිකෝµ ඕල්කට්‌ මහතාය. මෑණියන් ඇට්‌ලි ස්‌ටීල් මැතිණියයි. ඔහුගේ පවුලේ සහෝදර සහෝදරියන් පස්‌දෙනෙකි. නිව්යෝක්‌ නුවර පාසල් කීපයකින්ම මූලික අධ්‍යාපනය ලද ඕල්කට්‌තුමා පසුව නිව්යෝක්‌ සරසවියේ අධ්‍යාපන කටයුතුවල නිරත විය. විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබීමෙන් අනතුරුව ඔහු උතුරු ඔහියෝ ප්‍රදේශයේ ගොවිතැන් කටයුතුවල නිරත විය. නැවත නිව්යෝක්‌ නුවරට පැමිණ ඔල්කට්‌ තුමා කෘෂිකාර්මික රසායන විද්‍යාව පිළිබඳ හදාරා විද්‍යාත්මක කෘෂිකර්මාන්තයට අදාළව ජාත්‍යන්තර වශයෙන් ප්‍රසිද්ධියට පත්වීමත්, මවුන්ට්‌ වර්නන්හි වෙස්‌ට්‌වෙස්‌ටර් ගොවිකම් පාසල ආරම්භ කිරීමත් ඔහුගේ ජීවිතයේ ඉතා වැදගත් සිද්ධීන්ය. 

ඕල්කට්‌තුමා ශ්‍රී ලංකාවට පැමිණෙන වකවානුව වනවිට බෞද්ධ ශිෂ්ඨාචාරයේ හා බෞද්ධ අධ්‍යාපනයට අදාළව සිරිලක පැවැති තත්ත්වය බෙහෙවින් ෙ€දජනක විය. අනුරාධපුර, පොලොන්නරු යුගවලදී උසස්‌ තත්ත්වයක පැවැති බෞද්ධ ශිෂ්ඨාචාරය විදේශික ආක්‍රමණ එකිනෙකා මරාගන්නා රණකාමිත්වය හා බටහිර ජාතීන් කණ්‌ඩායම් තුනක්‌ මගින් වසර 500 කට ආසන්න කාලයක්‌ අපගේ දේශය යටත් විජිතයක්‌ වශයෙන් පවත්වාගෙන යැම ආදිය නිසා පිරිහීමට පත්විය. මෙවන් තත්ත්වයක්‌ පවතිද්දී පූජ්‍යපාද වැලිවිට සංඝරාජ නායක හිමියන්ගේ නොපසුබට අධිෂ්ඨානය හේතුකොටගෙන මහ සඟ පරපුරක්‌ ලක්‌දිව ඇති වීමටත්, පිරිවෙන් අධයාපනය යලි ක්‍රියාත්මක කිරීමටත්, සාමනේරවරුන් සඳහා පොත් ලිවීමටත් මග සැලසුනි. එවන් පිරිවෙන් අතරින් රත්මලාන පරම ධම්ම ෙච්තිය පිරිවෙන පූජ්‍යපාද වලානේ ශ්‍රී සිද්ධාර්ථ නායක ස්‌වාමීන් වහන්සේ යටතේ ද, විෙද්‍යාදය පිරිවෙන පූජ්‍යපාද හික්‌කඩුවේ ශ්‍රී සුමංගල නායකහිමිපාණන් වහන්සේ යටතේ ද, කැලණියේ විද්‍යාලංකාර පිරිවෙන පූජ්‍යපාද රත්මලානේ ශ්‍රී ධම්මාලෝක නායක ස්‌වාමීන් වහන්සේගේ භාරකාරත්වය යටතේ ද පිහිටුවන ලදී. මේ වනවිට දිවයිනේ උසස්‌ භික්‍ෂුන් වහන්සේලා රාශියක්‌ වැඩ විසූහ. ශ්‍රී ලංකාවේ හා ඉන් පිටත බෞද්ධ අධයාපනය ලබාදෙන මධ්‍යස්‌ථානයක්‌ බවට විහාරස්‌ථානය පත්කළ පූජ්‍යපාද වස්‌කඩුවේ සුභූති ස්‌වාමීන් වහන්සේ හා ප්‍රසිද්ධ විද්‍යාර්ථයෙකු හා පඬිවරයකු වූ පූජ්‍යපාද දොඩන්දූවේ පියරතන නායක ස්‌වාමීන් වහන්සේ ද ඒ අතර ප්‍රමුඛස්‌ථානයක්‌ ගත්හ.

බෞද්ධ අධ්‍යාපන ප්‍රබෝධයේ පුරෝගාමී භික්‍ෂුන් වහන්සේ වශයෙන් සැලකිය හැකි පූජ්‍යපාද හික්‌කඩුවේ ශ්‍රී සුමංගල නායක ස්‌වාමින්ද්‍රයන් වහන්සේගේ මග පෙන්වීම මත වාදීභසිංහ මිගෙට්‌ටුවත්තේ ගුණානන්ද නායක ස්‌වාමීන් වහන්සේ කිතුණුවන් සමඟ බද්දේගම 1864 දී, උදම්විට 1866 දී, ඔරුගොඩවත්තේ 1899 දී, ගම්පොල 1871 දී හා පානදුරේ 1873 දී වාද පැවැත්වූහ. මේ හැම වාදයකින්ම වාදීභසිංහ ගුණානන්ද හිමිපාණන් වහන්සේ ජය ලැබූහ. එය උන්වහන්සේ ඇතුළු කණ්‌ඩායමට පමණක්‌ පෞද්ගලික වූ විජයග්‍රහණයක්‌ නොව පොදුවේ ලාංකික බෞද්ධයා ලැබූ විජයග්‍රහණයක්‌ විය.

පානදුරා වාදය ඇතුළු සියලු වාදවල ඉංග්‍රීසි පරිවර්තනයක්‌ "සිලෝන් ටයිම්ස්‌" (පසුව ටයිම්ස්‌ ඔµa සිලෝන්) පුවත්පතේ ජෝන් කුරේ මහතා විසින් සකස්‌කරන ලද අතර එය ඡේ. එම්. පීබල්ස්‌ විසින් පොතක්‌ වශයෙන් සකස්‌ කරන ලදී. මෙම පොත් පිංචට පෙර නොදුටු විරූ ප්‍රසිද්ධියක්‌ ලැබුණු අතර එම පොත වේගයෙන් ජනතාව අතරට ගියේය. විදේශ රටවල ද මෙම පොත ජනප්‍රිය විය. වීරෝධාර යුද නිලධාරියකු, විද්‍යාත්මක කරුණු පදනම් කරගෙන වගා කටයුතුවල යෙදුණු ගොවියකු, හසල බුද්ධියක්‌ ඇති ප්‍රසිද්ධ නීතිවේදියකු, පරම විඥනාර්ථවාදී නිදහස්‌ චින්තකයකු, සත්‍ය ගවේශකයකු හා මානව හිතවාදියකු වූ ඕල්කට්‌ තුමාට මෙම පොත් කියවීමට අවස්‌ථාව ලැබුණු අතර, ශ්‍රී ලංකාවේ භික්‍ෂුන් වහන්සේලා හමුවීමටත්, ලක්‌දිව බෞද්ධ කටයුතු දැකබලා ගැනීමටත් ඔහුට අවශ්‍ය විය. ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර බොහෝ කාලයක සිට ලක්‌දිව භික්‍ෂුන් වහන්සේලා සමඟ ඕල්කට්‌තුමා ලිපි ගෙනුදෙනු කර ඇත.

ඕල්කට්‌තුමා ශ්‍රී ලංකාවට පැමිණෙන විටත් අප රට මහා බ්‍රිතාන්‍යයට යටත් විජිතයක්‌ව පැවතුණි. එතුමා හා බ්ලැවට්‌ස්‌කි මැතිණිය රැගත් නැව 1880 මැයි 17 වැනි දින ගාලු වරායට සේන්දු විය. ඕල්කට්‌තුමා ගැනත් ඔවුන්ගේ සේවාවන් කල් තබා දැන සිටි ලාංකිකයන් විශාල පිරිසක්‌ එතුමන්ලා පිළිගැනීමට යුහුසුළු වූහ. ගාල්ලේ ධනවත් බෞද්ධයකු වූ සයිමන් පෙරේරා අබේවර්ධන මහත්මාගේ නිවසේ විශේෂ භෝජන සංග්‍රහයක්‌ සූදානම් කර ඒ සඳහා ව්‍යාංජන වර්ග 57 ක්‌ පිළියෙල කර තිබූ බවත් සෑම ව්‍යාංජනයකම රස බැලීමට ඕල්කට්‌තුමා ඇතුළු පිරිසට ගෙහිමියන් පෙරැත්ත කරමින් බෙදමින් දැක්‌ වූ පුදුම සහගත ආගන්තුක සත්කාරය පිළිබඳ තම දිනපොතේ ඕල්කට්‌තුමා සටහන් කර ඇති බව ඉතිහාසයේ සඳහන් වී ඇත.

1880 මැයි 19 වැනි දින ගාල්ලේ බෞද්ධ ජනතාව වැලිවත්තේ විජයානන්ද විහාරස්‌ථානයේ දී බෞද්ධ අති විශාල ජනතාවක්‌ ඉදිරියේ දී පැවැත් වූ ගෞරවාන්විත උත්සවයේ දී පූජ්‍යපාද අක්‌මීමන ධර්මාරාම හිමියන්ගෙන් තිසරණ සහිත පන්සිල් සමාදන්වීමෙන් ඕල්කට්‌තුමා හා බ්ලැවට්‌ස්‌කි මැතිණිය ඇතුළු දූත පිරිස උපාසක උපාසිකාවන් බවට පත්වූහ. ඒ බව සඳහන් කරමින් එතුමාගේ අත් අකුරින් ලියූ ලිපියක්‌ ද කෞතුක වස්‌තුවක්‌ වශයෙන් අදත් ආරක්‍ෂා කරගෙන ඇත. 1880 මැයි මාසයේ දී පරම විඥනාර්ථ සමාගමේ ශාඛාවක්‌ ගාල්ලේ පිහිටුවන ලදී.

1880 ජුනි මාසයේ බෞද්ධ නායකයන් 40 දෙනකුගේ සහභාගීත්වයෙන් කොළඹ දී පරම විඥනාර්ථ බෞද්ධ සමිතිය පිහිටුවන ලදී. අදත් අති විශිෂ්ට සේවාවක්‌ ඉෂ්ට කරන, ක්‍රියාත්මක වන සමිතියක්‌ බව සඳහන් කළයුතු වේ. එදා කටයුතුවල නිරතව සිටි පූජ්‍යපාද හික්‌කඩුවේ ශ්‍රී සුමංගල, පූජ්‍යපාද වාදීභසිංහ මිගෙට්‌ටුවත්තේ ගුණානන්ද නායක ස්‌වාමීන් වහන්සේලා ඕල්කට්‌තුමාගේ පැමිණීමෙන් හා එතුමාගේ වැඩ කටයුතුවලින් නව ප්‍රබෝධයක්‌ ලැබූහ. විවිධ දුෂ්කරතා මධ්‍යයේ පවත්වා ගෙන ආ "සරසවි සඳරැස්‌" පුවත්පත නව මුහුණු වරකින් පවත්වාගෙන යැම පිණිස පරම විඥානාර්ථ බෞද්ධ සමාගමට පැවරීමට පූජ්‍යපාද හික්‌කඩුවේ සුමංගල නායක හිමිපාණන් වහන්සේ තීරණය කළහ. අනගාරික ධර්මපාලතුමා නමින් ප්‍රසිද්ධ වූ දොන් ඩේවිඩ් හේවාවිතාරණ තරුණයා ඉගෙනුම ලැබුවේ ශාන්ත තෝමස්‌ විද්‍යාලයේයි. ඩේවිඩ් හේවාවිතාරණ තරුණයා දිනපතාම පාසල් යන්නේ මිගෙට්‌ටුවත්තේ ගුණානන්ද හාමුදුරුවන්ගේ පන්සල ළඟින්ය. සෑම සෙනසුරාදා දිනකම සවස්‌වරුවේ එම පන්සලට යැමට පුරුද්දක්‌ කරගෙන සිටි නිසා ඕල්කට්‌තුමා ගැන සහ බ්ලැවට්‌ස්‌කි මැතිණිය පිළිබඳ මිගෙට්‌ටුවත්තේ ගුණානන්ද හිමියන් ඩේවිඩ් තරුණයාට ඔවුන්ගේ වටිනාකම පැහැදිලි කර දුන්හ. අවුරුදු 14 දී පමණ ඕල්කට්‌තුමා ගැන ඩේවිඩ් තරුණයාට දැනගන්නට අවකාශ ලැබී ඇත. ඩේවිඩ් හේවාවිතාරණ තරුණයාගේ ජීවිතය කෙරෙහි, ඕල්කට්‌තුමාගේ හා බ්ලැවට්‌ස්‌කි මැතිණියගේ අවවාද, අනුශාසනා, ආදර්ශවත් ජීවිත, පරම විඥනාර්ථ සමිතියේ කටයුතු ගැන ඉතා තදින් බල පෑවේය. රජයේ දෙපාර්තමේන්තුවක ලිපිකරුවෙකු වශයෙන් සේවය කළ ඔහු ඉන් ඉවත්ව පරම විඥනාර්ථ බෞද්ධ සමාගමේ හා විශේෂයෙන් ම බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරයේ කටයුතුවලට පූර්ණ කාලීනව ඕල්කට්‌තුමා සමඟ සම්බන්ධ විය.

පරම විඥනාර්ථ බෞද්ධ සමිතිය මගින් ඉංග්‍රීසි බෞද්ධ පාසල් ගණනාවක්‌ පාලනය කරන ලදී. කොළඹ ආනන්ද විද්‍යාලය, අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය, මහනුවර ධර්මරාජ විද්‍යාලය, ගාල්ල මහින්ද විද්‍යාලය, කොළඹ නාලන්දා විද්‍යාලය, පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය, කුරුණෑගල මලියදේව විද්‍යාලය, වලාන මහානාම විද්‍යාලය ඇතුළු විද්‍යාල 46 ක්‌ විය. එපමණක්‌ ද නොව ඕල්කට්‌තුමාගේ බෞද්ධ අධ්‍යාපන සංවර්ධන ක්‍රියාවලියෙහි බෞද්ධ කාන්තා පක්‍ෂය ද අමතක නොකෙරුණි. බෞද්ධ කාන්තා අධ්‍යාපනය නඟා සිටුවීමට එතුමන්ට සහය ලැබුණේ විදේශීය කාන්තාවන්ගෙනි. ඕක්‌ලට්‌තුමාගේ මුල්ම කලණ මිතුරිය වූ බ්ලැවට්‌ස්‌කි මැතිණිය බෞද්ධ බාලිකාවන් සඳහා ඕල්කට්‌තුමාගේ මග පෙන්වීම යටතේ පාසල් කීපයක්‌ ඇරඹීමේ අරමුණින් 1884 දී නාරිශික්‍ෂාදාන සමිතිය ආරම්භ කරන ලදී. මරදානේ සංඝමිත්තා බාලිකා විද්‍යාලය ආරම්භ කොට උගත් ඕස්‌ටේ්‍රලියානු ජාතික කාන්තාවක්‌ වූ කේ. එන්. පිකටි මෙනවිය විද්‍යාලයේ විදුහල්පති තනතුරට පත් කරලීය. විදුහල්පති තනතුරේ වැඩ කරමින් සිටිය දී අවාසනාවකට මෙන් ඇය ළිඳක වැටී මැරුමුවට පත් වූවාය. ඉන්පසු ඇයගේ පුරප්පාඩුවට පත්කළේ උගත් විදේශීය කාන්තාවක වූ මාරි මියුසියස්‌ හිගින්ස්‌ මැතිණියයි. සංඝමිත්තා බාලිකා විද්‍යාලය උසස්‌ තත්ත්වයක්‌ කරා ගෙන ආ ඇය 1897 දී මියුසියස්‌ බාලිකා විද්‍යාලය ආරම්භ කළාය. පරම විඥනාර්ථ බෞද්ධ සමාගම හරහා බම්බලපිටිය විශාඛා විද්‍යාලය, කොළම දේවි බාලිකා විද්‍යාලය, කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලය, කොළඹ ගෝතමී විද්‍යාලය, කොළඹ රත්නාවලී බාලිකා විද්‍යාලය, මහනුවර මහමායා විද්‍යාලය ඇතුළු විද්‍යාල 400 ක්‌ දියුණු තියුණු තත්ත්වයට ගෙන ඒමට කටයුතු සිදු කළාය.

මෙසේ බෞද්ධ බලය ක්‍රමයෙන් සංවිධානය වෙමින් පවතිද්දී 1883 අප්‍රේල් පාස්‌කු ඉරිදා කොටහේන මහ පල්ලිය අභියස දී සිද්ධියක්‌ පිළිබඳව සෙන්පති ඕල්කට්‌තුමා ඉතා ඕනෑකමකින් සෙයාබලා බුද්ධිමත්ව කටයුතු කිරීම නිසා බෞද්ධයන්ට සිය අයිතිවාසිකම් දිනා ගැනීමට අවස්‌ථාවක්‌ උදා විය. 1883 ජනවාරි මාසයේ සිට තුන්මසක්‌ පුරා මහා පරිත්‍රාණ ධර්මදේශනාවක්‌ පවත්වන ලද අතර විහාර මන්දිරයේ නව බුද්ධ ප්‍රතිමා වහන්සේගේ නේත්‍ර ප්‍රතිෂ්ඨාපන කටයුතු සඳහා මහා පින්කමක්‌ සංවිධාන කරන ලදී. පින්කම අවසානයේ සාංඝික දානමය පිංකමකට මහා සංඝයා වහන්සේලා 500 නමකට අවශ්‍ය දානෝපකරණ, අටපිරිකර ආදිය සහිත ගැල් සිය ගණනක්‌ සමඟ බෞද්ධ උපාසක උපාසිකාවන් දහස්‌ ගණනක්‌ බොරැල්ල, කොරතොට හා පෑලියගොඩ ආදී ප්‍රදේශවලින් මහ පෙරහැරින් පෙරහැර තුනම එක්‌ වී පසඟතුරු, නැටුම්, ගැයුම් ආදියෙන් යුතුව කොටහේන දෙසට ගමන් කරමින් තිබුණි. මේ අතර පාස්‌කු ඉරිදා මලවුන් අතරින් උත්ථාන වූ යේසුස්‌ ක්‍රිස්‌තුස්‌ වහන්සේට නිගා කිරීම පිණිස කුරුසියක ඇමුණූ වඳුරෙකුගේ මළකුණක්‌ පෙරහැරකින් බෞද්ධයන් රැගෙන එන බවට කට කථාවක්‌ පැතුරුණි. මෙය ඇසීමෙන් කුපිත වූ ක්‍රිස්‌තු භක්‌තිකයෝ සිය ගණනක්‌ සංවිධාන වී සන්නද්ධ මැර පිරිස්‌ යොදා පෙරහැරේ ගමන් කළ නිරායුධ අහිංසක බෞද්ධ පිරිසට අමානුෂික අයුරින් පහර දුන්හ. එහිදී එක්‌ බෞද්ධයකු මියගිය අතර බෞද්ධයන් දහස්‌ ගණනක්‌ තුවාල ලැබූහ. පිරිකර සහිත ගැල් සියල්ල ගිනිබත් කර ගොනුන් ද මරා දමන ලද අතර, හමුදාව පැමිණෙනතුරුම පහරදීම නොනවත්වාම සිදුවිය. බෞද්ධයන්ගේ පැමිණිලි පවා භාරගැනීමට පොලිසිය සූදානම් නොවීය. ඉන් නොනැවතුණු ඉංග්‍රීසි ආණ්‌ඩුව බෞද්ධයන්ට ලංකාවේ කිසිදු පෙරහැරක්‌ පැවැත්වීම තහනම් කළේය. මේ අසාධාරණ ක්‍රියාකලාපයට විරුද්ධව බෞද්ධ නායකයෝ නැගී සිටියහ. බ්‍රිතාන්‍ය මහ රැජිනට ඉදිරිපත් කිරීමට පෙත්සමක්‌ පිළියෙල කළ ඔවුන් ඕල්කට්‌තුමා ළවා එම සන්දේශය බ්‍රිතාන්‍යයේ යටත් විජිත භාර ලේකම්ව සිටි ඩර්බි සාමිවරයාට භාර දුන්නේය. බෞද්ධයන්ගේ පෙරහැර තහනම් කිරීමට තිබූ නියෝග අවලංගු කළා පමණක්‌ නොව, විහාර දේවාල අයිතිය හා තේවාභාරය බෞද්ධයන්ටම පැවරීමටත්, වෙසක්‌ පෝය රජයේ නිවාඩු දිනයක්‌ කිරීමට හා බෞද්ධයන්ගේ විවාහ ලියාපදිංචි කිරීම සඳහා පල්ලියට යා යුතුව තිබූ නියෝගය ඉවත් කිරීමට හා විවාහ ලේකම්වරුන් මගින් විවාහ ලියාපදිංචි කිරීමට ද අවශ්‍ය නියෝග හා අනුමැතිය ඩර්බි සාමිවරයා විසින් ලංකාවේ සිටි ඉංග්‍රීසි ආණ්‌ඩුකාරයා වෙත එවීය. මේ අනුව වෙසක්‌ පෝය රජයේ නිවාඩු දිනයක්‌ කරන බව හැමිල්ටන් ගෝර්ඩන් ආණ්‌ඩුකාරයා විසින් 1885 මැයි 25 වැනි දින ප්‍රකාශයට පත්කරන ලදී. ඕල්කට්‌තුමාගේ මෙම දූත මෙහෙවරින් බෞද්ධයන්ට පමණක්‌ නොව හින්දු හා ඉස්‌ලාම් භක්‌තිකයන්ට ද සිය වැදගත් ආගමික දිනයන්හිදි ද පාසල්වලට හා සේවා ස්‌ථානයන්ට නොගිහින්ම, ඒ වෙනුවෙන් දඬුවම් ලැබීමෙන් නිදහස්‌ වීමටත් එකී දිනයන් නිවාඩු දිනයන් වශයෙන් දිනාගැනීමටත්, උත්සව පැවැත්වීමටත් අවස්‌ථාව ලැබූහ.

මෙවැනි අති උදාර සේවාවක්‌ බෞද්ධ පුනර්ජීවය හා බෞද්ධ අධ්‍යාපනය වෙනුවෙන් සේවාවක්‌ ඉටු කළ සෙන්පති ඕල්කට්‌තුමා දිවංගත වී දෙට දිනට (17 දා) වසර 106 ක්‌ සම්පූර්ණ වේ. ඒ නිමිත්තෙන් පෙබරවාරි 16 වැනි දින මහා සංඝයා වහන්සේ විෂයෙහි සපිරිකර සංඝගත දක්‍ෂිණාවක්‌ පිරිනැමීමට හා 17 වැනි දින ඕල්කට්‌ මාවතේ බෞද්ධ මන්දිරයේ දී ප.ව. 2.00 ට ගුණ සමරු උත්සවයක්‌ පැවැත්වීමට හා එදින ප.ව. 4.30 ට ඕල්කට්‌තුමාගේ ප්‍රතිමාව අභියසට ජනතාවගේ සහභාගිත්වයෙන් මහා පෙරහැරකින් ගොස්‌ පුෂ්පෝපහාර දැක්‌වීමට පරම විඥනාර්ථ බෞද්ධ සමිතිය කටයුතු සංවිධාන කර ඇති බව සඳහන් කරමි.

සෙන්පත් ඔල්කට්‌තුමා ට නිවන් සුව ප්‍රාර්ථනා කරමු.

විජිත කදිරගොන්න
උප සභාපති කොළඹ පරම විඥනාර්ථ බෞද්ධ සමිතිය

2013 පෙබරවාරි 16 සෙනසුරාදා දිවයින