දුටුගැමුණු රජු කල පිරිණිවන් පෑ මලියදේව හිමියන් ලංකාවේ අන්තිම රහත් තෙරනම නොවේ. සැබැවින්ම, අද වුව රහතුන් බිහි විය හැකිය. ඒ සදහා අවශ්‍ය වන්නේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ ශ්‍රී සද්ධර්මය සීල සමාධි ප්‍රඥා වශයෙන් දියුණු කොට සාක්ෂාත් කිරීමයි.

ඔබත් බුදුරදුන් පෙන්වා වදාළ උත්තම දහම් මාර්ගයේ ගමන් කරන්න


Powered by දහම් විල


ලිපි සඳහා පහත මාසය අනුව ලිපි පටුන බලන්න

ශ‍්‍රද්ධාවන්තයා මෙතැනයි.. ඔබ කොතැනද?

 ධර්ම රත්නය ධර්ම ගරුත්වය සහ ධර්ම සන්නිවේදනය (තෙවන කොටස)

ප්‍රවේශය

සයින් පීඩිත වූවහුට දිව බොජුනක් මෙන්ද පිපාසයට අමා දහරක් මෙන්ද රුදුරු කතරට මහා මේඝයක් මෙන්ද රෝගීනට දිව ඔසුවක් මෙන්ද මුලා වූවහුට ක්ෂේමයට මග කියන කලණ මග කියන්නකු මෙන්ද අනන්ත සසර අවිද්‍යා මෝහ ඝන අඳුරින් වැසීගත් දෙව් මිනිසුන් සහිත සසර දුකින් පීඩිත සත්ත්ව ලෝකයට “බුද්ධ” සූර්යයා පහල වූහ. ශ්‍රී ගෞතම නාම දැරූ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුද්ධරාජයෝ දෙවියන් සහිත බඹුන් සහිත මරුන් සහිත මිනිසුන් සහිත දස දහසක් මහා සක්වල මහා ලෝක ධාතුවෙහි ඝෝර සතර අපා දුක් සහිතව මග නොදැන සිටියවුනට නිර්වාණ ස්වර්ණ දොරටුව විවර කළහ. අනුත්තර ධර්ම චක්‍රය පෙරළිණ. නූපන් මාර්ගය ස්වසන්තානයෙහි ඉපදවූ ඒ මහාවීර භාග්‍යවතුන් වහන්සේ උපන් මාර්ගය ලොවෙහි පතල කළහ. උපදිමින් මැරෙමින් දුකෙහිම ගැලුණු සත්ත්වයෝ ධර්ම නමැති රසයෙහි බැසගත්තේ නිරෝධ නමැති අනන්ත සුව විඳිනට වූහ.
ඒ අමා සුව දොර, පෙර කරන ලද පිනින්ද සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අදිටනින්ද ඔබෙත් මගෙත් මාතෘ භූමියෙහි අපටම විවර වූයේ, හිරුද දෑසද ඇති කල නෙත් වසා අතපත ගාමින් මැණිකකැයි බොරළු අහුලන්නා සේ නොමග යන්නට නොවෙයි. එහෙයින් “බුත්සරණ” ලියූ මහා පඬි විද්‍යාචක්‍රවර්තීහුගේ සුබසින් සහය ගෙන කියන්නේ,
සුවයෙහි මිහිර දන්නා, දුක්හි දැඩිකම් දන්නා, සදෙව් ලොව සැප අයත්කොටගෙන විඳිනා කැමති, බුදු පසේබුදු මහරහතුන් විඳි නිවන් පුර වැද සනහෙනු කැමති, නිරයෙහි නම් නොඅසනු කැමති, ප්‍රේත යෝනියෙහි වැටී නැසෙනු නොකැමැති, අසුර නිකායෙහි වියවුල් පිටුදක්නා කැමති, තිරිසන්ව වල්මත්ව අසරණ නොවනු කැමති,  තමන් හට සෙනෙහෙ ඇති, අබුද්ධෝත්පාදයෙහි නොලැබෙන මහඟු අමා රසයකින් ලය සනහනු කැමති සත්පුරුෂයන් විසින් සසර වසන තුරු අන්සරණක් නැවත නොමගනිමියි, උතුම් වූ බුදු සරණ යායුතුය.
මේ උතුම් බුද්ධෝත්පාද කාලයයි. අධර්මයට යට වී ධර්මයෙන් දුරුව නියතවශයෙන්ම වැනසෙන මග අන්ධයන් සේ දුවන මිනිස් ලොවක මුලාවූවන්ට නොවැටහුනද තුන් ලෝක ධාතුවෙහිත් අනන්ත සක්වලයන්හිත්  නුවණැති සත්වයන් අප්‍රමාණ කොට තවමත් ගයන්නේ උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ අනන්ත ගුණයයි. අසන්නේ උන්වහන්සේගේ ගම්භීර ධර්ම නාදයයි. සොයන්නේ ඒ භාග්‍යවතුන් වහන්සේගේ දම් අමා හඬයි. දෙවියන් තවමත් සාධු නද දෙන්නේ තිසරණය ඇති තැනය.  ධර්මය නොවැසුණු මේ යුගයේ ඔබෙත් මගේත් වගකීම වන්නේ හරසුන් මිනිසුන්ගේ මානාධික විජ්ජාවන් ඉගෙනීමට කාලය වැය කිරීම හෝ කෙස් පැලෙන තර්ක වලින් හිස උදුමවා ගැනීම නොව, නිහතමානී ගුණ වඩාගෙන උනන්දුවෙන් සහ ගෞරවයෙන් සද්ධර්මය ඉගෙනීමත්,කසිකබල් වත්මන් දිවි පෙවෙතට අනුව දහම ගලපනු පසෙකලා, දහමට අනුව දිවිපෙවෙත ගලපා ගැනීමත්ය. මේ ලිපි පෙළෙහි උත්සාහය තිසරණයෙහි ශ්‍රද්ධාව ඇති කොටගෙන දහම් මග යාමට අපේ ශක්ති පමණින් උපකාර කොට පින් පුරා ගැනීමය.
ශ්‍රද්ධා ධනය සහ ධර්ම ගරුක භාවය
සම්බුද්ධ ශාසනයේ මුල ශ්‍රද්ධාවයි. බෞද්ධයාගේ මූල ධනයද ශ්‍රද්ධාවයි. මිනිසකු හෝ දෙවියකු බෞද්ධයකු වන්නේ තිසරණය කෙරෙහි ශ්‍රද්ධාවට පැමිණීමෙනි. බෞද්ධ දෙමාපියනට දාව බෞද්ධ සංස්කෘතියක උපදින පින්වත් මනුෂ්‍යයකුට අන් කෙනෙකුට වඩා පහසුවෙන් තිසරණ දායාදය ලැබීමට සහ එහි පිහිටීමට හැකියාව ඇත. එනමුත් තමන් තුල හටගත්  තිසරණය කෙරෙහි වන  ශ්‍රද්ධාව දියුණු තියුණු කර ගැනීමත් එය නොවෙනස් වන ස්ථිර ශ්‍රද්ධාවක් බවට පත් කරගැනීමත්  සියලු බෞද්ධයන් උත්සාහයෙන් කල යුත්තක් බව අපගේ වැටහීමයි. තිසරණය කෙරෙහි ශ්‍රද්ධාවට පැමිණ තිසරණයෙහි පිහිටීම බොහෝ දෙනා සිතන පරිදි සරල පහසු කරුණක් නොවෙයි. මෙම ලිපි පෙළ ලිවීමේදී මා මුලින් අදහස් කරගෙන සිටි බොහෝ සූත්‍ර දේශනා සහ දහම් කරුණු වෙනුවට බෞද්ධයාගේ ශ්‍රද්ධාවට සම්බන්ධ කරුණු සහ තිසරණය පිලිබඳ වන පැහැදිලි කිරීම් සිදු කිරීමට සිදුවී ඇත. මෙම ලිපිවලට සහ අපට ලැබෙන ප්‍රතිචාර මෙන්ම සම්බුද්ධ ශාසනය පසුබිමෙහි සිදුවන බොහෝ කරුණු විමසා බලන විට පෙනීයන්නේ තිසරණය පිළිබඳව සහ තිසරණයෙහි පිහිටීම පිළිබඳව බෞද්ධයා විසින් දැඩි අවධානයක් යොමු කල යුතු කාලයක් එළඹී ඇති බවයි.
මෙම ලිපිය කියවන ඔබ “ධර්ම රත්නය ධර්ම ගරුත්වය සහ ධර්ම සන්නිවේදනය- පළමු කොටස” ලිපිය නැවතත් ඉවසීමෙන්ද අවධානයෙන්ද කියවා බලන්නේ නම් වඩා සුදුසුය. මේ එම ලිපි පෙළෙහි තුන්වන ලිපියයි. දෙවන ලිපියෙහි සඳහන් කරන ලද ප්‍රධාන අවධාරණයක් වූයේ අප තුල ඇති “ධර්ම ගරුත්වය” දියුණු තියුණු කරගත යුතු බවයි. ඊට ගැලපෙන වඩාත්ම සුදුසු ආදර්ශය වශයෙන් අප ගන්නා ලද්දේ ශ්‍රී ගෞතම බුදු සසුනෙහි ධම්ම සේනාපති මහා සාරිපුත්ත අග්‍රශ්‍රාවකයන් වහන්සේගේ චරිතයයි. වඩා නිවැරදිව කියන්නේ නම් භාග්‍යවතුන් වහන්සේ හැරුනුකොට ඉහලම ධර්ම ගරුත්වය ඇති, ධර්ම රත්නය කෙරෙහි ඉහලම සත්කාරය දක්වන ශ්‍රේෂ්ඨයා මහා සාරිපුත්තයන් වහන්සේමය.
රහතන් වහන්සේලාගේ ධර්ම ගරුත්වය ගැනත් උන්වහන්සේලාගේ කෙලෙස් රහිත සිත පිළිබඳව අතිපණ්ඩිත තර්ක විතර්ක කරන සමහර කෙනෙක්, “ධර්ම ගරුත්වය” පිලිබඳ ත්‍රිපිටක මතයට හෙවත් භාග්‍යවතුන් වහන්සේගේ මතයට විරුද්ධ,  තමන්ගේ ව්‍යාජ මතයක් දක්වා ශ්‍රද්ධාවන්තයා නොමග යවනු පෙනෙන බැවින් ඒ පිළිබඳව සූත්‍ර ඇසුරින් කරුණු කිහිපයක් දැක්වීම සුදුසු යයි සිතමි.
භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම ගරුත්වය.
රහතන් වහන්සේලාගේ ධර්ම ගරුත්වය ගැන නුනුවණින් තර්ක විතර්ක කරන්නවුන්ගේ නිරවුල් අවබෝධය පිණිසත් ධර්ම රත්නය පිලිබඳ ඇති පැහැදීම වැඩි දියුණු කර ගැනීම පිණිසත් හේතු වන උතුම් වූ සූත්‍ර දේශනාවකි“ගාරව සුත්‍රය”. මෙහි  සැකෙවින් ගාරව සූත්‍රය දක්වනු ලැබේ.

ගාරව සූත්‍රය- (සූත්‍ර පිටකය – සංයුක්ත නිකාය, සගාථ වර්ගය, බ්‍රහ්ම සංයුක්තය, කෝකාලික වර්ගය)

  1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ බුදුව නොබෝ කලකින් උරුවෙල් දනව්වෙහි නේරංජරා ගංතෙර අජපල් නුග රුක මුල වැඩවසනසේක.
  2. එකල්හි තනිව චිත්ත විවේකයෙන් හුන් භාග්‍යවතුන් වහන්සේට මේ සංකල්පනාව ඇතිවිය. ´´ කිසිවකු ගුරුතන්හි නොතබා, කිසිවකු දෙටු තන්හි නොතබා, ඉන්නා තැනැත්තේ දුකසේ වෙසේ. මම් කවරනම් මහණකුට හෝ බමුණකුට හෝ සත්කාරකොට, ගෞරවකොට, ඇසුරුකොට වෙසෙන්නෙම්ද?´
  3. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේට මෙසේ සිතෙක්විය. ´´පරිපූර්‍ණ නොවූ ශීලස්කන්‍ධයක් පුරාලීමට යම් අන් මහණකුට හෝ බමුණකුට හෝ සත්කාරකොට, ගරුකාරකොට, ඇසුරුකොට වසන්නෙම් නම්, එසේවූ මාහට වැඩි තරම් ශීලසම්පන්නවූ, සත්කාර ගරුකාර ලැබියයුතු, මා විසින් ඇසුරු කටයුතු, කිසිම පුද්ගලයකු දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත ලොවෙහි, මහණ බමුණන් සහිත, දෙව් මිනිසුන් සහිත සත්ත්‍ව සමූහයා අතර නොමදකිමි.´´
  4. 4.        ´´පරිපූර්‍ණ නොවූ සමාධිස්කන්‍ධයක් පුරාලීමට යම් අන් මහණකුට හෝ බමුණකුට හෝ සත්කාරකොට, ගරුකාරකොට, ඇසුරුකොට ඇසුරුකොට වසන්නෙම් නම්, එසේවූ මාහට වැඩි තරම් ශීලසම්පන්නවූ, සත්කාර ගරුකාර ලැබියයුතු, මා විසින් ඇසුරු කටයුතු, කිසිම පුද්ගලයකු දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත ලොවෙහි, මහණ බමුණන් සහිත, දෙව් මිනිසුන් සහිත සත්ත්‍ව සමූහයා අතර නොමදකිමි.´´
  5. ´´පරිපූර්‍ණ නොවූ ප්‍රඥාස්කන්‍ධයක් පුරාලීමට යම් අන් මහණකුට හෝ බමුණකුට හෝ සත්කාරකොට, ගරුකාරකොට, ඇසුරුකොට වසන්නෙම් නම්, එසේවූ මාහට වැඩි තරම් ශීලසම්පන්නවූ, සත්කාර ගරුකාර ලැබියයුතු, මා විසින් ඇසුරු කටයුතු, කිසිම පුද්ගලයකු දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත ලොවෙහි, මහණ බමුණන් සහිත, දෙව් මිනිසුන් සහිත සත්ත්‍ව සමූහයා අතර නොමදකිමි.´´
  6. 6.       ´´පරිපූර්‍ණ නොවූ විමුක්තිස්කන්‍ධයක් පුරාලීමට යම් අන් මහණකුට හෝ බමුණකුට හෝ සත්කාරකොට, ගරුකාරකොට, ඇසුරුකොට වසන්නෙම් නම්, එසේවූ මාහට වැඩි තරම් ශීලසම්පන්නවූ, සත්කාර ගරුකාර ලැබියයුතු, මා විසින් ඇසුරු කටයුතු, කිසිම පුද්ගලයකු දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත ලොවෙහි, මහණ බමුණන් සහිත, දෙව් මිනිසුන් සහිත සත්ත්‍ව සමූහයා අතර නොමදකිමි.´´
  7. ´´පරිපූර්‍ණ නොවූ විමුක්තිඥාන දර්‍ශනස්කන්‍ධයක් පුරාලීමට යම් අන් මහණකුට හෝ බමුණකුට සත්කාර ගරුකාරකොට, ඇසුරුකොට වසන්නෙම් නම්, එසේවූ මාහට වැඩි තරම් සමාධිසම්පන්නවූ, වැඩි තරම් ප්‍රඥාසම්පන්නවූ, වැඩි තරම් විමුක්තිසම්පන්නවූ, වැඩි තරම් විමුක්තිඥාන දර්‍ශනසම්පන්නවූ, මගෙන් සත්කාර ගරුකාර ලැබියයුතු, මා විසින් ඇසුරු කටයුතු, කිසිම පුද්ගලයකු දෙවියන් සහිත,මරුන් සහිත, බඹුන් සහිත ලොවෙහි, මහණ බමුණන් සහිත, දෙව් මිනිසුන් සහිත සත්ත්‍ව සමූහයා අතර නොමදකිමි.´´
  8. “මා අවබෝධකළ යම් ධර්‍මයක් ඇද්ද, ඒ ධර්‍මයම සත්කාර ගරුකාර කොට, ඒ දහමම ඇසුරු කොට වෙසෙන්නෙම් නම් ඉතා යෙහෙක.”
  9. එකල්හි සහම්පති බ්‍රහ්මතෙම තම සිතින් භාග්‍යවතුන් වහන්සේගේ අදහස දැන ශක්තිමත් මිනිසකු නවාගත් අත දික්කරන්නේ හෝ දික්කළ අත නවාගන්නේ යම්සේද එසේම ( විගසින් ) බඹලොවින් අතුරුදහන්ව භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි පහළවිය.
  10. ඉක්බිති සහම්පති බ්‍රහ්මතෙම උතුරු සළුව එකස්කොට පෙරව, භාග්‍යවතුන් වහන්සේ දිසාවට ඇඳිලි නමා භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය. ´´ භාග්‍යවතුන් වහන්ස, ඒ එසේය. සුගතයන් වහන්ස, ඒ එසේය. ස්වාමීනි, අතීත කාලයෙහි යම් රහත් සම්මා සම්බුදු කෙනෙක් වූහු නම්, ඒ භගවත්හුද ධර්‍මයටම සත්කාරකොට, ධර්‍මයටම ගරුකාරකොට, ධර්‍මයම ඇසුරුකොට විසූහ. ස්වාමීනි, මතු කාලයෙහිද යම් රහත් සම්මා සම්බුදු කෙනෙක් වන්නාහු නම්, ඒ භගවත්හුද ධර්‍මයටම සත්කාරකොට, ධර්‍මයටම ගරුකාරකොට, ධර්‍මයම ඇසුරුකොට වසන්නාහ. ස්වාමීනි, දැන් රහත් සම්මා සම්බුදුවූ භගවත් තෙමේද ධර්‍මයටම සත්කාරකොට, ධර්‍මයටම ගරුකාරකොට, ධර්‍මයම ඇසුරුකොට වෙසේවා.´´
  11. සහම්පති බ්‍රහ්මතෙම එසේ කීය. මෙය කියා නැවත අනෙකක්වූ මෙබස් පැවසීය:´´ යම් අතීත සම්බුදු කෙනෙක් වූහුද, යම් අනාගත සම්බුදු කෙනෙක් වන්නාහුද, බොහෝ දෙනාගේශෝක නසන සම්බුදුවරයෙක් දැන් ඇත්තේද,´´ ඒ සියල්ලෝ දහමම ගුරු කොට ගෙන විසූහ, වසත්, වසන්නාහුද වෙත්. මේ බුදුවරුන්ගේ ධර්‍මතාවෙකි.´´ එබැවින් තමහට වැඩ කැමති, තමාට මහත් බව පතන, බුද්ධානුශාසනය සිහි කරන්නහු විසින් සද්ධර්‍මය ගරුතන්හි තබා පිදිය යුතුයි.´
රහතන් වහන්සේලාගේ සිත කෙලෙසුන්ගෙන් තොරය. එහි රාග ද්වේශ මෝහ කෙලෙස් මුල් සහමුලින්ම දුරු වී ඇත. නමුත් “ධර්ම ගරුත්වය” යනුවෙන් හැඳින්වෙන්නේ එවැනි ක්ලේශ ධර්මයක් නොවේ. තම පණ්ඩිතමානී තර්ක න්‍යායන්ට අනුව රහත් ශ්‍රාවකයන් වහන්සේලාගේ සිතුවිලි විග්‍රහ කිරීමට යාමෙන් ඔබේ හෝ ඔබේ වචන අසන්නවුන්ගේ නොපහන් සිත පැහැදීමත් පහන් සිත තහවුරු වීමත් සිදු නොවේ. සම්මා  සම්බුදු  භාග්‍යවතුන් වහන්සේලා තරම් ධර්ම ගරුක, ධර්මයට සත්කාර කරන ලද තවත් කෙනෙක් මේ විශ්වයෙහි අතීතයෙහිත් නොවීය. අදත් නොවේ. අනාගතයෙහිත් පහල නොවේ. භාග්‍යවතුන් වහන්සේ යනුම පරිපූර්ණ ධර්මයයි. උන්වහන්සේගේ අවබෝධයම, ඥානයම ධර්මය වෙයි. උන්වහන්සේ යම් දිනෙක මහා බෝධි මූලයෙහි ශ්‍රී සම්බුද්ධත්වයට පත් වීද එතෙක් පටන් උන්වහන්සේගේ සකල සිතද, සිතුවිලිද, වචනද, ක්‍රියාද ඥාණමය වෙති. ධර්මමය වෙති. ඉහත දක්වන ලද උතුම් වූ “ගාරව” සූත්‍රයෙන් තහවුරු කරන්නේද ඒ බවයි. පෙර බුදුවරුන්ද දුටු උතුම් වූ සහම්පති මහා බ්‍රහ්ම රාජයා විසින්ද සහතික කරන ලද, එමෙන්ම  භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් පවසන ලද උන්වහන්සේගේ ධර්ම ගරුත්වය ආදර්ශයට ගෙන ඔබ තුල ඇති ධර්ම විරෝධී අදහස් දුරුකොට ගැනීමට අපේ මේ ව්‍යායාමය උපකාර වනු ඇතැයි සිතමි. ධර්මය පිලිබඳ වරදවා පිළිපැද්දවුන් වරද වරද ලෙස හඳුනාගෙන නිවැරදි කරගනිත්වා! තිසරණය කමා කර ගැනීම මහා ශ්‍රාවකයන්ටත් පොදු වූ කල පුහුදුන් අපට කවර නම් අලාභයක්ද?
භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම ගරුක බව පිලිබඳ සාක්ෂි උතුම් වූ ත්‍රිපිටකය පුරාම විහිදී පැතිරී ඇත. ලිපිය ඉතා දිග වන බැවින් සැකෙවින් උදාහරණ කිහිපයක් දක්වනු ලැබේ.

නන්දක සූත්‍රය.

අංගුත්තර නිකාය, නවක නිපාතය

භාග්‍යවතුන් වහන්සේ ධර්මයට ගරු සත්කාර කල ආකාරය දැක්වෙන තවත් උතුම් සූත්‍ර දේශනාවකි අංගුත්තර නිකාය නවක නිපාතයෙහි සම්බෝධි වර්ගයෙහි  නන්දක සූත්‍රය.
එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එසමයෙහි නන්දක මහරහතන් වහන්සේ (අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා අතරින් එක් නමකි) උපස්ථාන ශාලාවෙහි (දාන ශාලාවෙහි) මධුර ස්වරයෙන් ධර්මය දේශනා කරන සේක. දැහැමි කතාවෙන් සංඝයාට කරුණු දක්වන සේක. සමාදන් කරවන සේක. උනන්දු කරවන සේක. පහදවන සේක. භාග්‍යවතුන් වහන්සේට මෙම දහම් කථාව ඇසී උතුම් වූ ආනන්ද තෙරුන් විමසන්නේ එදින නන්දක තෙරුන් වහන්සේගේ දහම් දේශනා වාරය බව දැන ගනී. ඉක්බිති භාග්‍යවතුන්වහන්සේ “ආනන්දය අති මධුර ලෙස නන්දක ධර්ම දේශනය කරයි, එනිසා දහම් ඇසීම පිණිස මාද එහි යායුතු යයි පවසා උපස්ථාන ශාලාව දෙසට වැඩම කල සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ  උපස්ථාන ශාලාව දෙසට වැඩම කොට, උපස්ථාන ශාලා දොර ළඟ සිටගෙන උපස්ථානශාලා දොර නොඇර තමන් වැඩි බව නොඅඟවා දහම් දෙසුමට සවන් දී වැඩ සිටියහ. රාත්‍රී ප්‍රථම යාමය, මධ්‍යම යාමය,පශ්චිම යාමය අවසන් වන තෙක්ම (එනම් මුළු රාත්‍රිය පුරාම පසුදා පහන් වන තුරු) මෙසේ භාග්‍යවතුන් වහන්සේ නන්දක තෙරුන් වහන්සේගේ දේශනය උපස්ථාන ශාලා දොර අභියස සිටගෙන සවන් දුන් සේක.
ඉන් අනතුරුව නන්දක තෙරුන් වහන්සේගේ ධර්ම දේශනය අවසන් වීමෙන් පසුව භාග්‍යවතුන් වහන්සේ උපස්ථාන ශාලාවට වැඩම කොට ධර්ම දේශනය ගැන ඉහළින් ප්‍රශංසා කල සේක. අනතුරුව භාග්‍යවතුන් වහන්සේගේ උත්තම දේශනය අරඹමින් ශාසන ප්‍රතිපදාව අදියර සතරකින් දේශනා කරන සේක. ශ්‍රද්ධාවන්ත වීම, ශීලවන්ත වීම, චිත්ත සමථය වැඩීම, විදර්ශනා ඥාණ ලැබීම යන අදියර සතර තහවුරුව වඩන ලෙස භාග්‍යවතුන් වහන්සේ සංඝයා වහන්සේට මෙම දේශනයේදී පෙන්වා දෙන සේක (ලිපිය ඉතා දීර්ඝ වන බැවින් වචනයෙන් වචනය සූත්‍රය මෙම ලිපියෙන් විග්‍රහ කිරීමට නොහැකිය).
භාග්‍යවතුන් වහන්සේ ධර්මය කෙරෙහි මෙවන් උත්තම ඝනයේ ගරුත්වයක් දක්වා ඇති බව ත්‍රිපිටකය පුරාවට ඇති කරුණු වලින් පැහැදිලිය. මහා ප්‍රාඥ දම් සෙනෙවි මහා සාරිපුත්තයන් වහන්සේ, සෘද්ධි මතුන් අතරින් අග්‍ර මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ, මහා කාශ්‍යප මහරහතන් වහන්සේ, අනුරුද්ධ මහරහතන් වහන්සේ, මහා කච්චායන මහරහතන් වහන්සේ, ආනන්ද මහරහතන් වහන්සේ ආදී අග්‍ර ශ්‍රාවක මහා ශ්‍රාවකයන් වහන්සේලාගේ උත්තම චරිත ඉවසීමෙන්ද ගෞරවයෙන්ද කියවා බැලීමේදී උන්වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට සහ ශ්‍රී සද්ධර්මයට දක්වන ලද අසීමිත වූත් අප්‍රමාණ වූත් ගෞරවය පෙනී යයි. එමෙන්ම මෙම උත්තම මහා ශ්‍රාවකයෝ එකිනෙකා වහන්සේ කෙරෙහි දක්වන ලද ගෞරවයද  අසීමිතය. සබ්‍රහ්මචාරීන් වහන්සේලා කෙරෙහි ගරු කටයුතු ලෙස පැවතීම ශාසන ප්‍රතිපදාවෙහි අත්‍යන්ත ලක්ෂණයකි.
මහා සාරිපුත්ත ස්වාමීන් වහන්සේගේ ආචාර්යයන් වහන්සේ වූයේ පස්වග මහණුන් අතර සිට පළමු ධර්ම දේශනයට සවන් දීමේ භාග්‍ය හිමිවූ උතුම් වූ අස්සජි මහා රහතන් වහන්සේය. එනිසා සිරිතක් වශයෙන් දම් සෙනෙවි මහා සාරිපුත්තයන් වහන්සේ සැමදා රාත්‍රී අස්සජි මහා රහතන් වහන්සේට වන්දනා කිරීමට පුරුදුව සිටියහ. උන්වහන්සේ කෙතරම් ගෞරවයෙන් ස්වකීය ආචාර්යයන් වහන්සේට සත්කාර සම්මාන කරන ලද්දේද යත්, තමන් වාසය කරන විහාරයෙහි හෝ ආරාමයෙහි හෝ අස්සජි මහරහතන් වහන්සේ වාසය නොකරන්නේ නම් උන්වහන්සේ සිටින දිශාව සලකා ඒ දිශාවට මුහුණලා අස්සජි ස්වාමීන් වහන්සේට වන්දනා කරන සේක.
රහතන් වහන්සේලාගේ නික්ලේශී චිත්තය විරාගය නිරෝධය නොඇල්ම ආදීය වචන වශයෙන් අප අසා ඇති නමුත් පෘතග්ජනයන්ට පහසුවෙන් විෂය වන කරුණු නොවේ. කිසිවකට නොඇලෙන රහතන් වහන්සේලාගේ ප්‍රතිපදාව අපේ පුහුදුන් මනසින් විග්‍රහ කිරීම පසෙකලා අපි භාග්‍යවතුන් වහන්සේගේ දේශනා ඇසුරින් නිහතමානීව උගනිමු.
මහා ශ්‍රාවකයන් වහන්සේලා පවා දහම් කරුණු විෂයෙහි තමන් විමසූ විට සැම විටම භාග්‍යවතුන් වහන්සේගේ වචනයම අසා දරා එයම ගරු කරන ලෙස අනෙකුත් සංඝයා වහන්සේලාට අවවාද කල බවට බොහෝ සාධක තිබේ.
ගෞතම බුද්ධ ශාසනයෙහි “සතර මහා තෙරවරුන්ට” අයත් වන මහා ශ්‍රාවකයෙකි “මහා කච්චායන” මහා රහතන් වහන්සේ. උන්වහන්සේ වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් සංක්ෂේපයෙන් දේශනා කරන ලද දහම් කරුණු විස්තර වශයෙන් දේශනා කිරීමෙහි අග්‍රස්ථානය ලැබූ මහත් ප්‍රඥා ඇති මහා ශ්‍රාවකයෙකි. නමුත්, භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද යම් දේශනයක් විස්තර වශයෙන් දැන ගැනීම උදෙසා සංඝයා වහන්සේ උන්වහන්සේ වෙත එළඹුණු විට උන වහන්සේ මෙසේ කියති,
“ආයුෂ්මත්නි,  ඔබ භාග්‍යවතුන් වහන්සේගෙන්ම අසා දැන ඒ අනුව ධරන්නේ නම් වඩා සුදුසුය. ඔබ වඩාත් සුදුසු අවස්ථාව මගහැර ඇත. උන්වහන්සේ සංක්ෂේපයෙන් දේශනා කරන විටම විස්තර අසා දැනගතයුතුව තබිණ. භාග්‍යවතුන් වහන්සේ සිටියදී මගෙන් විමසීම වනාහි, ගසක අරටුව පසෙකලා අතුරිකිලි වලින් හරය සෙවීමක් වැනිය. එනිසා භාග්‍යවතුන් වහන්සේගෙන්ම අසා දැන ගැනීමට කටයුතු කරන්නනේ නම් සුදුසුය” යනුවෙනි.
අනතුරුව සංඝයා වහන්සේලා විසින් නැවත, “භාග්‍යවතුන් වහන්සේ විසින් ඔබ වහන්සේ ධර්මය විස්තර වශයෙන් කියා දීමෙහි අග්‍ර ස්ථානයෙහි තබා ප්‍රශංසා කර තිබේ, එනිසා ඔබ වහන්සේ මේ දහම් කරුණු විස්තර කර දීමට සුදුසුය” ආදී වශයෙන් ඇවිටිලි කල විට,
“එසේනම් මට වැටහෙන පරිදි විස්තරකොට අරුත ගන්වා දේශනා කරන්නම්, නමුත් ඔබ නැවත භාග්‍යවතුන් වහන්සේගෙන් අසා උන්වහන්සේ එම විස්තර කිරීම පිළිබඳව පවසන අයුරින්ම දරන්න”යි පවසා විස්තර කරන සේක.”
මහා ශ්‍රාවකයෝ පවා මෙසේ භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රඥාවත්, ශ්‍රී සද්ධර්මයත් ගරු කටයුතු කොට සත්කාර කොට ගුරු තන්හි තබා සලකන ලද්දේ ඒ තරමින්ම භාග්‍යවතුන් වහන්සේගේ ගුණය සහ ප්‍රඥාව අප්‍රමාණද, අචින්ත්‍යද, අප්‍රමේයද වන බැවින් සහ ශ්‍රී සද්ධර්මය එතරම්ම අප්‍රමේය, අප්‍රමාණ, අචින්ත්‍ය ගම්භීර බවකින් යුක්ත බැවින්ය. අප පෙරද සඳහන් කර ඇති පරිදි භාග්‍යවතුන් වහන්සේ විසින් පවත්වන ලද අනුත්තරීය ධර්ම චක්‍රය නැවත ඒ අයුරින්ම පැවැත්වීමට හැකි එකම උත්තම ශ්‍රාවකයා වන මහා සාරිපුත්ත මහරහතන් වහන්සේ පවා භාග්‍යවතුන් වහන්සේගේ ගුණයෙන් දන්නේ එක් ප්‍රමාණයක් පමණි. භාග්‍යවතුන් වහන්සේගේ අසීමිත දහම් ඇස සහ ධර්මයේ පරිපූර්ණ පථය සියල්ල අභිබවා සිටී. එනිසා ධර්ම ගෞරව ඇතිකොටගෙන ක්‍රියාකිරීමට අපි අදිටන් කර ගත යුතු වෙමු.
තවද, ගුණ ඇති තන්හි ඒ බව පවසා ගරු කිරීමට සම්මා සම්බුදු රජාණන් වහන්සේලා පවා ඉදිරිපත් වෙති.ගුණයෙන් විපුල බවට පැමිණි උත්තම වූ අග්‍ර ශ්‍රාවක මහා ශ්‍රාවකයන් සහිත මහා සංඝයා කෙරෙහි භාග්‍යවතුන් වහන්සේ තුල පවා මහත් ගෞරවයක් හටගන්නා බව උන්වහන්සේ විසින්ම පවසා තිබේ. සංඝයා කෙරෙහි ධර්මරාජ වූ භාග්‍යවතුන් වහන්සේම තමන් වහන්සේ තුල ගෞරවයක් හට ගන්නා බව පවසා ඇති කල, අනෙකුත් ශ්‍රාවක සංඝයා තුල ධර්මයටත්, සංඝයා විෂයෙහිත් පවත්වන ලද ගෞරවය ගැන අමුතු සාක්ෂි අවශ්‍ය නැත.
එක් වරක් භාග්‍යවතුන් වහන්සේ සැවත් නුවර කලක් වාසය කොට අන්‍ය ප්‍රදේශයන්හි චාරිකා පිණිස පිටත්ව යාමට සුදානම් වන සේක. එවිට බොහෝ කලකින් භාග්‍යවතුන් වහන්සේ නැවත දකින්නට නොලැබෙන බැවින් විශාකාව, අනේපිඩුසිටාණන් ආදීන් පැමිණි තව කලක් සැවත් නුවරම වැඩ වාසය කරන ලෙසත් බැහැර නොයන ලෙසත් ආයාචනා කරන ලදී. නමුත් ඒ සියලු ඉල්ලීම් ඉවතලූ භාග්‍යවතුන් වහන්සේ සැවත් නුවරින් නික්ම යාමට ගමන් ඇරඹු සේක. එවිට අනේපිඬු සිටාණන්ගේ එක් දාසියක, භාග්‍යවතුන් වහන්සේ තමන්ට නවතා ලියහැකි බව දන්වා එසේ කල හැකි වුවහොත් දාසි භාවයෙන් මුදවාලන බවටත් සත්කාර කරන බවටත් සිටුතුමා සමග ගිවිස ගත්තාය. ඒ දාසී තොමෝ නුවර සීමාවෙහි වඩින භාග්‍යවතුන් වහන්සේ වෙත දිව ගොස් වැඳවැටී සැවත් නුවරම තවත් කලක් වැඩවාසය කරන සේ ආයාචනා කලාය. භාග්‍යවතුන් වහන්සේ එවිට “තමන් වහන්සේ එසේ තව කලක් සැවත් නුවර වැඩ වාසය කලහොත් තී කුමක් නම් කරයිද?” යි විමසූ කල්හි දාසිය “එසේ වී නම් මම දිවිහිමියෙන් පංචශීලය ආරක්ෂා කරමි” යි කීවාය. එකෙනෙහිම භාග්‍යවතුන් වහන්සේ බැහැර යන ගමන නතරකොට නැවත සැවත් නුවර තව කලක් වැඩ වාසය කිරීමට ආපසු වැඩම කල සේක.
විමසා බලන්න, ශීලය පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ තුල තිබූ ගෞරවය, උන්වහන්සේ එසේ දාසියකගේ ශීලය හේතුවෙන් ආපසු ගමන් ගන්නට වූයේ එතරම් ඉහල ධර්ම ගෞරවයක් උන්වහන්සේ තුල පැවතී බැවිනි.
ඔබටත් මටත්, දෙව් මිනිසුන් සහිත, මහා බ්‍රහ්මයන් සහිත, මරුන් සහිත, මිනිසුන් සහිත,මහන බමුණන් සහිත මේ ලොවෙහි භාග්‍යවතුන් වහන්සේ, ශ්‍රී සද්ධර්මය සහ මහා සංඝයා තරම් වටිනා සම්පතක් රත්නයක් පිහිටක් සරණක් ආරක්ෂාවක් තවත් නැත. එනිසා තිසරණය කෙරෙහි මහත් ගෞරවයෙන් පිළිපදිමින් ශ්‍රද්ධාව දියුණු තියුණු කර ගැනීමටත්, “භාග්‍යවතුන් වහන්සේ මාගේ ශාස්තෘ වෙති. මම උන්වහන්සේගේ ශ්‍රාවක වෙමි, ශාස්තෘ වූ භාග්‍යවතුන් වහන්සේ දනිති. මම නොදනිමි. නොදන්නා මම දන්නා වූ භාග්‍යවතුන් වහන්සේ සරණ යමි”යි නිහතමානී ගුණයෙන් යුතුව ශ්‍රද්ධාවට පැමිණිය යුතුය. මේ ශ්‍රද්ධාවන්තයා සිටිනා තැනයි.
මහා පරිනිර්වාණ සුත්‍රයේදී භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද්දේ උන්වහන්සේගේ පරිනිර්වාණයෙන් පසුව “උන්වහන්සේ දේශනා කරන ලද ධර්ම විනයම අපගේ ශාස්තෘ වන බවයි. එනිසා  ශ්‍රී සද්ධර්මය අපගේ ශාස්තෘ වෙයි. ධර්මයම ශාස්තෘත්වයෙහිලා සලකා මහත් ගෞරවයෙන් කටයුතු කරමු.
ශ්‍රී සද්ධර්මය යනු උතුම් වූ ත්‍රිපිටකයයි. උතුම් වූ අට්ටකථාව ඒ ශ්‍රී සද්ධර්මයේම විවරණයකි. සමහරු අභිධර්ම පිටකය නොසලකා හරිති. සමහර ස්වාමීන් වහන්සේලා පවා විටෙක ප්‍රසිද්ධියේද විටෙක අප්‍රසිද්ධියේද ත්‍රිපිටකයේ සමහර කොටස් නොසලකා ඉවත් කරන්නේ බුද්ධ දේශනාවන් නොවේ යයි කියමිනි. මෙම තත්වය ථෙරවාද බුදුසසුනට මෑතකදී අභ්‍යන්තරයෙන්ම එල්ල වී ඇති බලවත් තර්ජනයකි. ත්‍රිපිටකයෙන් කොටස් ඉවත් කරන්නෝ භාග්‍යවතුන් වහන්සේගේ ශාස්තෘත්වය බැහැර කරන්නෝ වෙති. එසේ කිරීමට සමත්හු සිටිය නොහැකිය. බොහෝ දෙනා අටුවාව ප්‍රතික්ෂේප කරමින් ස්වකීය මත ඉදිරිපත් කරන්නේද අටුවාව ගැන හරිහැටි නොදැනය. අපි සම්පූර්ණ ත්‍රිපිටකයම අඩු නොකොට ශාස්තෘත්වයෙහි සලකා සරණ ගොස් පිරිපුන් බෞද්ධයෝ වෙමු. ථෙරීය සම්ප්‍රදායේ උරුමකරුවෝ වෙමු. සැබෑ දම් සරණ ලබමු. අවසන් වශයෙන් අංගුත්තර නිකාය, දුක නිපාතයේ අධිකරණ වර්ගයෙහි එන පහත සූත්‍ර දෙක ඔබේ අවධානය පිණිස සටහන් තබමි.

අංගුත්තර නිකාය, දුක නිපාතය

සම්මොස සූත්‍රය.
´´මහණෙනි, මේ ධර්මයෝ දෙදෙනෙක් සද්ධර්‍මයාගේ විනාශය පිණිස, අතුරුදන්වීම පිණිස පවතිත්. කවර දෙදෙනෙක්ද යත්: වරදවා ගන්නා ලද පාලි පදයද, වරදවා පමුණුවන ලද්දාවූ අත්‍ර්‍ථයද යන දෙදෙනයි. මහණෙනි, පිළිවෙල වරදවා ගන්නා ලද්දාවූ පදව්‍යඤ්ජනයාගේ අත්‍ර්‍ථයද දුකසේ දැනගත යුතුය. මහණෙනි, මේ ධර්මයෝ දෙදෙන වනාහි සද්ධර්‍මශාසනයාගේ විනාශය පිණිස, අතුරුදන්වීම පිණිස, පවතිත්.´´

අසම්මොස සූත්‍රය.
´´මහණෙනි, මේ ධර්මයෝ දෙදෙනෙක් ධර්‍මයාගේ චිරස්ථිතිය පිණිස, අවිනාශය පිණිස, අතුරුදන්නොවීම පිණිස පවතිත්. කවර දෙදෙනෙක්ද යත්: පිළිවෙළ නොයික්මවා ගන්නා ලද දෙශනා පාලියද, පරිපාටිය නොපෙරළා ගන්නා ලද අත්‍ර්‍ථයද යන දෙදෙනයි. මහණෙනි, මනාකොට ගන්නා ලද්දාවූ පදව්‍යඤ්ජනයාගේ අත්‍ර්‍ථයද මනාකොට දත හැකි වේ. මේ ධර්මයෝ දෙදෙන වනාහි ශාසනයාගේ චිරස්ථිය පිණිස, අවිනාශය පිණිස, අතුරුදන්නොවීම පිණිස, පවතිත්.´´

මූලාශ්‍ර:
අංගුත්තර නිකාය – ස.ජ.ත්‍රි.ග්‍ර.මා
සංයුක්ත නිකාය- ස.ජ.ත්‍රි.ග්‍ර.මා
සූත්‍ර පිටක අට්ටකතාව
බුත්සරණ – විද්‍යාචක්‍රවර්තී
ආතාපි වෙබ් අඩවියේ ධර්ම දේශනා

 සටහන:
අප මෙම ලිපි පෙළ ලියන්නේ බෞද්ධයන් ප්‍රධාන වශයෙන් අරමුණු කරගෙනය. බුදු දහම ගැන උනන්දු අන්‍යයන්ටද ධර්මය ඇසීමට කියවීමට කිසිදු බාධාවක් නැත. නමුත්, තිසරණය කෙරෙහි ද්වේශ සහගත සිතින් සහ සැලසුම් සහගතව තිසරණයට අපහාස කරන ආකාරයේ ප්‍රතිචාර ඉවත් කිරීමට කටයුතු කරන ලෙසට අදාළ ආයතන ප්‍රධානීන්ට දන්වා ඇත. එනිසා ඔබ අන්‍ය ලබ්ධියක් අනුගමනය කරමින් මෙහි තිසරණයට අපහාස කරන්නට කටයුතු කරන්නේ නම් එසේ සිදුකොට බොහෝ දෙනෙකුට යහපත සැලසෙන දහම් කථාවක්‌ අඩපණ කොට පව් පුරා නොගැනීම පිණිස එවැනි ප්‍රතිචාර ඉවත් කිරීමට කටයුතු කරනු ලැබේ. පින්වත් බෞද්ධ ඔබද සංවර අබෞද්ධ මිතුරන්ද ප්‍රතිචාර දැක්වීමේදී ධර්මය පිලිබඳ සංවාද වඩාත් සංයමයෙන් සහ ඉවසීමෙන් සිදුකිරීමටත් තිසරණය කෙරෙහි නිගරු නොවන ලෙස ක්‍රියා කරන ලෙසත් මෙත් සිතින් නිහතමානීව ඉලා සිටිමි.

ඔබ සැමට තෙරුවන් සරණයි!!!


- සසිත් රාජසූරිය 

February 25, 2013 at 12:01 am | lanka C news